This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 4 June 2025

ලංකාවේ පළමු ග්‍රැමෆෝන් ගායිකා මීගමුවේ ග්‍රේටා ජෙනට් ද සිල්වා අවසන් ගමන් යයි.

මීගමුව, කට්ටුව, පදිංචිව සිටි, ශ්‍රී ලංකාවේ පළමු ග්‍රැමෆෝන් ගායිකාවද වූ ද, චිර ප්‍රසිද්ධ "මුනි නන්දන සිරි පාද වදිමි සමනෙළ කන්දේ" නම් ගීතය හා "දුල් සල්වනේ ලකල් ව" ආදී බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත කළ ගීත මුලින්ම ගැයූ ගායිකාව වූ ද, ශ්‍රි ලංකාවේ මෙතෙක් ජීවත්ව සිටි ජ්‍යෙෂ්ඨතම ගායිකාව වු ද, වයස අවුරුදු 12 ක් වනවිටම, ලංකා ෆිල්ම් කොම්පැණි ග්‍රැමෆෝන් තැටියක සිය කටහඩ තැටිගත කිරීමට භාග්‍යය ලද්දා වූ ද, කොලොම්බියා ලේබලය යටතේ ගී තැටිගත කළ ලබාලම කාන්තාව වූ ද, ගී තැටියක විරුදු පටිගත කල මුල්ම ලාංකික කාන්තාව වූ ද, ජීවත්ව සිටි සමයේ දී සිංහල ග්‍රැමෆෝන් ගීත ක්ෂේත්‍රයේ ජීවමාන සාක්ෂිය ලෙස සැලකූවා වූ ද, 1926 වසරේ මැයි මස 06 වැනි දා මීගමුවෙි උපන් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කලාකාරීනියක් වූ ගරු ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය, වසර 99 ක් ආයු වළඳා, පසුගිය 02 දින (02/06/2025), සිය දිවිසැරිය නිමා කර ඇත.

ඇයගේ දේහය මීගමුව, කට්ටුව, හලාවත පාරේ, අංක 115 දරණ නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු අද (ජුනි මස 05 වෙනි බ්‍රහස්පතින්දා) සවස 4.30ට මීගමුව කට්ටුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

කුඩා කාලයේ පටන්ම කලාලෝලී මීගමුව පුරවරයේ හැදී වැඩුන ඇය, පාසැල් සමයේම ගීත ගායනයට දස්කම් පා, ගායනා තරඟ රාශියකට සහභාගී වී, විවිධ වූ ජයග්‍රහණ රාශියක් අත්කර ගන්නට සමත් වී ඇත. ඇයගේ එම දස්කම් ගැන පැහැදුනු ලංකා ෆිල්ම් කොම්පැණි හි ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වූ යු.ඩී ප්‍රේරා මහතාගේ දිරිගැන්වීම තුල කොළොම්බියා ලේබලයේ ගායිකාවක ලෙස වයස අවුරුදු 12 දී, එනම් 1938 දී, ගිවිසුම්ගත වූ ඈ "පානා මේ කුරුලන්ගේ" සහ "මෙරුන් වගේ සතර අතින්" යන විරිදු දෙක මුලින්ම තැටිගත කර ඇත. එකී විරිදු ශ්‍රී ලාංකික ගායිකාවක විසින් මුලින්ම ගී තැටියක තැටිගත කළ විරිදුව ද විය.

ඉන් අනතුරුව ඈ කොළොම්බියා ලේබලය යටතේ ගීත 29 ක් පමණ තැටිගත කර ඇත. එම ගීත අතර සරළ ගී, සරල ශාස්ත්‍රීය ගී, කපිරිඤ්ඤා, විරිදු හා බැති ගී ආදී විවිධ ශෛලීන්වල ගීත අඩංගුය. එමෙන්ම ඇස්. ඩී. ස්ටීවන් සිල්වා, මාස්ටර් මොහිදීන් බෙග්, එඩී ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි, වසන්තා සන්දනායක හා රුක්මණී දේවී ආදී ගායක ගායිකාවන් සමඟ ද ග්‍රේටා ජෙනට් මහත්මිය ගීත ගායනා කර ඇත.

විවාහයෙන් පසු දරු පිලිසිදගැනීමුත් සමග වරුගනන් ගතවෙන ගී තැටි සඳහා ගීත ගැයීම ඇය නතර කර තිබේ. ඒ 1945 දී පමණය. එහෙත් කොළඹ ගුවන් සේවයට, ලංකා ගුවන්විදුලි වැඩසටහන් සඳහා ඇය 1950 පමණ වනතෙක්ම සම්බන්ධව සිට ඇත. ඇය ගීත ගායනයෙන් ඉවත් වුව ද ඇගේ ගායනා මෑතක් වන තුරුම ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ “පැරැණි රසාංග’ තීරය ඔස්සේ ප්‍රචාරය විය. එසේ ප්‍රචාරය වූ ගීත අතර “මුණි නන්දන සිරිපාද වඳිම් සමනොළ කන්දේ”, “පුංචි නංගි එයි දැන් තාත්තා අපේ”, “නුඹෙ අම්මත් කලුම කලුයි නුඹෙ අප්පත් කලුම කලුයි”, “මල්ලි නංගි එන්න අම්මට වඳින්න”, මගේ පනවැනි පුංචි නංගි සැනසෙන්න නාඩා” වැනි ගීත ශ්‍රාවකයන් අතර මුල් බැසගත් ගීතය.

දශක හතරක් පමණ මාධ්‍යය අවධානයෙන් ගිලිහී ගොස් තිබුණ ද, ඇගේ ගිත, තමන්ගේ ගීත මෙන් අන් අය ගයා, ඇයගේ මුල් අයිතිය පිලිබද අයිතිය අමතක කර තිබුණ ද, ඇගේ යසස යටත් කළ නොහැකි විය.

ජීවිතයේ අවසාන භාගය ලගාවෙත්ම ඇය පිලිබද මතකය නැවත දැල්වී දසත පැතිරෙන්නට විය. එහිලා ඇගේ දරු මිනි මුනුබුරන්ගේ දායකත්වය ද අගය කළ යුතුය. ඔවුහු සිය මිත්තණියගේ කීර්තියෙන් වැජඹ්මට, ඇයගේ අනන්‍යතාවයෙන් තමන්ගේ අනන්‍යතාවය ගොඩනැගීමට නොගියේය. ඒ වෙනුවට, සිය මිත්තණියට සිය ජීවිතයේ අවසාන කාලය යසසේ ගෙවන්නට, ඇගේ යසස දසත පතුරුවාලමින් ඇයට හිමි ගෞරවය අත්කර දීමට, ඇගේ ජීවිතයේ අවසාන භාගය යසසින් ගෙවන්නට, අවශ්‍ය සියළු කටයුතු සකසා ලූහ. එහිලා අපි ඇගේ දරු මිනි මුනුබුරන්ට ස්තුතිවන්ත විය යුතුය.

ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මියට මොක් සුව අත්වේවා!!🙏❤️🙏

මාකස් ප්‍රියන්ත පෙරේරා
05/06/25 

ඇයගේ ගීත කිහිපයක් පහතින් ඇසිය හැක👇 





Monday, 2 June 2025

R.ප්‍රේමදාස මහතාගේ පියාට මිගමුව පෙරියමුල්ලේ දුම්කොළ කඩයක් තිබුණා ද?

ඉහත කාරණය පිළිබඳව මගේ අවධානය යොමුවන්නේ, ශ්‍රී ලංකාවේ පුළුල් ජනමාධ්‍ය සාහිත්‍යයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය වෙනුවෙන් කැපවී සිටි ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකුගේ අත්දැකීම් පදනම් කරගෙන ලියවුණු පොත් තුනකින් සමන්විත මතක සටහන් ගොන්නක කුඩා ඡේද කිහිපයක විස්තරයක් ඇසුරින්ය.

ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රකට මීගමුවේ, ධීවර හා මත්ස්‍ය නිෂ්පාදන සඳහා තොග වෙළඳපොලක් පවතින බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත්, කලකට පෙර මීගමුව අවට ප්‍රදේශවල වෙනත් නිෂ්පාදන සඳහා ද තොග වෙළඳපොලවල් දැකිය හැකිවිය. උදාහරණයක් ලෙස, මීගමුවට බොහෝ දුරක් නොවූ මරදගහමුල ප්‍රදේශයේ සහල් තොග වෙළඳපොලක් පැවතුණි . ඒ සේම, මීගමුව පෙරියමුල්ලේ පිහිටි පිගන් කර්මාන්තශාලාව පදනම් කරගෙන, තොග වශයෙන් පිගන් භාණ්ඩ සැපයීමක් ද සිදු වී තිබුණි.

එහෙත්, මීගමුව පෙරියමුල්ලේ දුම්කොළ තොග වෙළඳපොලක් පැවති බව අද වන විට බොහෝ දෙනා නොදන්නා කරුණකි.

මීගමුව පෙරියමුල්ලේ දුම්කොළ තොග වෙළඳපොල පිහිටුවා තිබුණේ මීගමුව-හලාවත පාරේ, පෙරියමුල්ල හන්දිය සහ ඩිපෝ හන්දිය අතර කොටසකය. කඩ පේළි කිහිපයකින් හා එම පිටුපස ගබඩා කිහිපයකින් සමන්විත වූ මෙම වියලි දුම්කොළ තොග වෙළඳපොල, රටේ බොහෝ දුරබැහැර ප්‍රදේශවලින් පැමිණි වෙළඳුන්ට විවිධ වර්ගයේ දුම්කොළ සැපයූ ප්‍රධාන වෙළඳපොළක් වූ අතර, දේශීය දුම්කොළ වෙළදාමේ සැලකිය යුතු ස්ථානයක් හිමිකරගෙන තිබුණි.

උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන යුගයේදී මීගමුවේ දුම්කොළ වගාවන් පැවැත ඇති බවට මෙන්ම ඈත එපිට තමණ්ඩුව වැනි ප්‍රදේශවලින් පවා විකිණීම සඳහා මීගමුවට දුම්කොළ සැපයූ බව 1883 දෙසැම්බර් මාසේ 'The Tropical Agriculturist' සගරාවේ කතුවරයාගේ විමසුමට සිය දුම්කොළ නිෂ්පාදන සමග එවා තිබූ ලිපියක සදහන්ව ඇත: DEAR SIR, I send you (accompanying my letter) a small packet of tobacco, prepared from plants grown in the Tamankaduwa district on the banks of the Mahaweliganga. It is, I believe, of good quality, and is said to have been sold in Negombo (where native tobacco of the best kind is grown and cured) at the rate of R48 per thousand, the standard price there being, I think, R50.

ක්‍රි.ව. 1850 වන විටම, මීගමුවේ දුම්කොළ වගාවන් මෙන්ම දුම්කොළ තොග වෙළඳපොලක්ද ගොඩනැගී තිබුණ බව 1857 දී ප්‍රකාශයට පත් කළ The Journal of Agriculture කෘතියේ දැක්වෙන කරුණු මඟින් පෙනී යයි.

මීගමුවේ දුම්කොළ වගාව, ලන්දේසි යුගය තෙක් දිව යන බවටත්, ඒත්තුකාල, දුන්ගාල්පිටිය, දළුපොත සහ දළුවකොටුව වැනි ප්‍රදේශවල දුම්කොළ වගා කර තිබුණ බවට ප්‍රදේශවාසීන් අතර මතයක් පවතී.

උදාහරණයක් ලෙස, මීගමුවේ පරවර ජනයා සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වූ නුවන් ගන්කන්දගේ 'අපි නොදන්න ලාංකිකයෝ' (2006) කෘතියේ සඳහන් වූ, මීගමුව ඒත්තුකාල ශාන්ත සිල්වෙස්තර පල්ලියේ වාසය කළ අන්නවී රාළ වූ වාස් මහතාගේ ප්‍රකාශයක් උපුටා දැක්විය හැක:

'අපේ අය ඉස්සර දුම්කොළ, මිරිස්, ලූණු වගේ බෝග වගා කෙරුවා. ඒ වගේම ව්‍යාපාරික කටයුතු වලත් නියැලුණා...' (පිටුව 58)

1850 වාර්තාවල සඳහන් වූ මීගමුවේ දුම්කොළ තොග වෙළඳපොල, ඉන් වසර සීයකට පසුව — එනම් 1950 දී ද — දැකිය හැකිවීම පමණක් නොව, එවක මීගමුව පෙරියමුල්ලේ පිහිටි එකී දුම්කොළ තොග වෙළඳපොලේ කඩයක්, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පියා වන ඒ. රිචඩ් සිල්වා මුදලාලි මහතාගේ පියාට අයත් වී තිබූ බව, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදී ඩී. එෆ්. කාරියකරවන මහතාගේ 'දසක සතක මතක' (1998) කෘතියේ සඳහන් විස්තරයකින් හෙලිවේ.

එම විස්තරය මෙසේය :

"මේ අතර තුරේ ලැබුණු අනෙකුත් ලියුම් වලින් මගේ සිත ගියේ ඉතා ලස්සන අකුරෙන් වියත් සහ ආචාර ශීලී අන්දමට ලියා තුබුණු ලියුමකට ය. එය ආර්. ප්‍රේමදාස නමැත්තකු ගෙනි. "මිහිර" සගරාව අගයමින් ලියූ එම ලියුමෙන් තවත් කරුණක් ද අසා තිබිණි. ඒ, ඔහුත් සඟරාවක් පළ කරන්නට යන හෙයින් ඊට උපදෙස් දිය හැකි ද යන්න යි.

මම පිළිතුරු ලියනුවා වෙනුවට කොළඹ ගිය විටෙක කෙහෙල්වත්තේ, සාන්ත බස්තියමේ "සැනසුම" සොයා ගියෙමි. මුඩුක්කු පෙදෙසක වුවද ඇතුළට වන්නට පිහිටි ඒ ගෙය විශාල එකක් විය. ඉහළ මධ්‍යම පන්තියේ ගෙයක් සේ පෙනිණි.

මා යන විට ඒ තැනැත්තා එහි සිටියේ නැත. "ඉක්මනින්ය ඒවි. ටිකක් ඉන්නැ " යි ගෙදර ළඳක කී හෙයින් මම සුදුසු අසුනක් බලා වාඩි ගතිමි. ටික වේලාවක් ගත වන විට කාකි කොට කලිසමකින් සහ සුදු ටී කමිසයකින් සැරැසුණු ගැටවරයෙක් බයිසිකලයක් පැදගෙන ඇවිත් ගෙට ගොඩ වුණේ ය. බතල ගෙඩියක් වගේ පිරිපුන් නිරෝගී දේහයකින් යුත් ඔහු ගෙට ගොඩ වන ගමන් හොඳ සිනාවක් පා, මේ මහත්මයා කොහෙන්දැ " යි ඇසී ය. මේ නම් ආර්. ප්‍රේමදාස විය යුතු යැයි සිතූ මම, 'මී ගොමු වෙනැ" යි පිළිතුරු දුනිමි. " ඕ, කාරියකරවන මහත්මයා නේ ද?" යි කියමින් ඉමහත් ප්‍රීතියෙන් හා ඉමහත් ආදරයෙන් මා පිළි ගත්තේ ය.

ඒ මුහුණ මා කවදා හෝ කොහේදී හෝ දැක ඇති සැටියක් මට හැගිණි. ඔහුටත් එසේම හැගෙන්නට ඇත. අප ඒ ගැන කතා කළේ කලක් ගත වූවාට පසුව ය.

පුංචි කලේ අප දෙදෙනා මුණ ගැසී තිබුණි. මීගොමුවේ පෙරියමුල්ලේ දුම්කොළ තොග වෙළද පළේ කඩ පේළියෙකය. මගේ පියා සිරියාලේ, අඹන්පොළ, වැටකේපොත, සහ ඒ අවට තවත් පෙදෙස්වල දුම්කොළ වතු වවමින් වියැළි දුම්කොළ තෝරා වර්ග කොට ඒවා පෙරියමුල්ලේ තොග වෙළෙඳ පළට ගෙනවුත් විකුණන තොග වෙළෙන්දෙකි. ඔහු එහි හැඳින්වුණේ "මනුවෙල් මුදලාලි යනුවෙනි. අල්ලපු කඩේ අයිති "සිල්වා මුදලාලි" මපියා ගේ හිත මිතුරෙකි. ඒ රිචඩ් සිල්වා මුදලාලි තමා ප්‍රේමදාස ගේ පියා.

කුරණ අපේ නිවසේ සිට, පෙරියමුල්ලේ දුම්කොළ කඩ පේළියට එතරම් දුරක් නොවීය. පාසල් සමයේ සනි දිනවල එහි යෑම මගේ සිරිතක් විය. එහි දී සිල්වා මුදලාලි සිහින් ස්වරයෙන් නිතොර කියන සිංදුවේ මුල් පේළිය මට තවමත් මතකය. "ලක් මවගේ හොඳ ම පුතා - ගුණසිංහ අපෙ මැතිඳා" ඒ. ඊ. ගුණසිංහ මහතා සිල්වා මුදලාලිගේ ඥාතියකු බව ද මා අසා තිබිණි.

එ සමයෙහි සමහර දිනයන්හි රිචඩ් සිල්වා මුදලාලි ගේ දුම් කොළ කඩේ දී ඔහු ගේ පුතා මට මුණ ගැසී ඇත. කතා බස් කැර ඇත. එහෙත් දිගු කලක් තිස්සේ හැදී වැඩුණු සිරුරු නිසා අප එකිනෙකාට හඳුනා ගත නො හැකි වන්නට ඇති..."

ප්‍රවීණ මාධ්‍යවේදී ඩී. එෆ්. කාරියකරවන මහතාගේ ස්වයං ලිඛ්ත චරිතාපදානයේ 48-49 පිටුවල කුඩා ඡේද කිහිපයක සදහන් ඉහත විස්තරය මීගමුව ඉතිහාසයේ මෙතෙක් සාකච්ඡා නොවූ එක් පැතිකඩක් පිලිබදව අපේ අවධානය යොමු කරණු නියතය.

ඇත්තවශයෙන්ම, 1980 දශකය වන විටත්, මීගමුවේ ඒත්තුකාල, දළුවකොටුව, දුන්ගාල්පිටිය වැනි ප්‍රදේශවල දුම්කොළ ගස් එක දෙකක් දැකිය හැකිවීම පමණක් නොව, මීගමුව පෙරියමුල්ලේ එවකටත් සක්‍රියව ක්‍රියාත්මක වූ දුම්කොළ තොග වෙළඳපොළක් ද දැකිය හැකිවිය.

එහෙත් 1990 දශකය අගභාගය වන විට මීගමුව පෙරියමුල්ලේ දුම්කොළ තොග වෙළඳපොළ ඉතිහාසයට එක්වෙමින් අවසන් ගමන් ගියේය. එහිලා ප්‍රධාන හේතුව වූයේ එම කඩපේළි හිමිව තිබූ මීගමුව දළුපොත සා. අන්තෝනි පල්ලිය එම කඩපේළි විකුණා දැමීමය. අද එහි දැකිය හැක්කේ රෑ කඩය, මුස්ලිම් අපනශාලා හා කෑම කඩය. එකළ දුම්කොළ තොග වෙළදාමේ නිරතවු පවුල් කිහිපයක් අදටත් කුඩා පරිමානයෙන් එම වෙලදාමේ නිරතව සිටී. මීගමුව දළුවකොටුව වැලිහේනේ අදටත් කුඩා පරිමානයේ දුම්කොළ තොග වෙළදපොළක් ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ. එහෙත් මිගමුවේ පෙරියමුල්ලේ පැවැති දුම්කොළ තොග වෙළඳපොළ සුන්දර දසුනක් ලෙස පමණක් අප මතකයේ ඉතිරිව ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා
02/06/25

Tuesday, 27 May 2025

සෞම්‍ය ලියනගේ මාලනී ෆොන්සේකාගේ මලගෙදරදී කළේ eulogy ක් ද?


මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ සෞම්‍ය ලියනගේ කළ කථාව අහපුවාහම පෙනෙන දෙයක් තමයි "eulogy" යන්න ලංකා සමාජයට තවමත් එහෙම්පිටින්ම ආගන්තුකයි කියන එක...

මම මේ කියන්නේ සෞම්‍ය ලියනගේ ගේ කතාවේ තිබ්බ "මහා අෂ්පශ්‍ර දායකත්වය"/ "භාවමය ආචරණය"/ "සෞන්දර්යාත්මක ආචරණය"/"රූපණ දේහබන්දුතාව"/ "උක්ත මෙලෝනාටක සිනමාව"/ "උපස්ථම්භක"/ "සාදෘෂ්‍යය"/ "උත්තරාරෝපනය" වැනි යෙදුම් ගැනවත්, ඒ 'බර වචන' ගැනවත්, ඔහුගේ වචන මාලාවෙ හෝ වාග් කෝෂය (vocabulary) ගැනවත් නෙමේ - eulogy ය ගැන.

Eulogy කියන්නේ මියගිය කෙනෙකුට විශේෂ උපහාරයක් පිදීමේ සම්ප්‍රදායක්. මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ ඒ කාර්ය පැවැරී තිබුනේ සෞන්දර්ය විෂය, අධ්‍යායනය පිලිබදව, ආචාර්ය උපාධියක් හිමි, මාලනී ෆොන්සේකාගේ සිනමා දායකත්වය පිලිබදව ශාස්ත්‍රීය අධ්‍යායනයක් කර ඇති, සෞම්‍ය ලියනගේට බව පැහැදිලියි.

එහෙත් සෞන්දර්ය විෂය, සිනමාව, කලාව, සාහිත්‍යය පිලිබදව ශාස්ත්‍රීය අධ්‍යායනයක් ඇති සෞම්‍ය ලියනගේ පවා මියගිය කෙනෙකුට උපහාරයක් පිදීමේ විශේෂ කථා හෝ රචනා (eulogies) සම්බන්ධයෙන් යම් අධ්‍යායනයක් ඇතිව සිටියා නම් මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවයේදී ඔහුට මිටත් වඩා හොද උපහාරයක් දැක්විය හැකිව තිබුනා..

කලාව ගැන ශාස්ත්‍රීය හැදෑරීමක් ඇති සෞම්‍ය ලියනගේ අඩුම තරමේ Marilyn Monroe ගේ මරණය ගැන Lee Strasberg ගේ සුප්‍රකට කතාව (She had a luminous quality — a combination of physical beauty and a great inner beauty.. a woman who touched the hearts of millions around the world.. to the world, she was the blonde bombshell, the sex symbol, the icon... but to those who knew her, she was so much more. She was a dreamer..

අඩුම තරමේ, ඩයනා කුමාරියගේ (Princess Diana) අවමංගල්‍යය වෙනුවෙන් ඇමැරිකාවේ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ සුප්‍රකට සාහිත්‍යය විචාරකයෙක් වූ මහාචාර්ය Harold Bloom ගේ ඉදිරිපත් කිරීම් ගැන අවබෝධයක් ඇතිව සිටියා නම්....

Harold Bloom ඩයනා කුමාරිය (Princess Diana) ව ඉතිහාසය පුරාම පුරාවෘත්තයන් වූ ට්‍රෝයි නගරයේ හෙලේනා (Helen of Troy), විලියම් ශෙක්ෂියර්ගේ හැම්ලට් (Hamlet) පිටපතේ Ophelia යා, ග්‍රීක දේවකතාවල එන Medea යා ආදීන් සසදමින් ඩයනා කුමාරිය කියන්නෙත් ඒ වගේ උත්කර්ෂවත් සුන්දර, අහිංසක, ප්‍රේමාන්විත ස්ත්‍රීයගේ ඛේදනීය ඉරණම නැවැත මතක් කරන පුරාවෘත්තයක් බදු (mythic figure) ස්ත්‍රීයක් යැයි සදහන් කරමින් ඩයනා කුමාරියගේ මරණය ගැන සිදුකල විශේෂ උපහාරය සෞම්‍ය ලියනගේ කියවලාවත් තිබුනා නම්..

අඩුම තරමේ සෞම්‍ය ලියනගේ, ඩයනා කුමාරියගේ (Princess Diana) අවමංගල්‍යය උළෙලේ දී විශේෂ උපහාර පිදීම (eulogy) සිදුකල ඇගේ සහෝදරයාගේ (Earl Spencer) ගේ කථාව - "It’s important to remember one of the greatest ironies about Diana: she was a girl named after the ancient goddess of hunting, yet in her life, she became the most hunted person of the modern age" - අසාවත් තිබුනා නම් ...

එහෙමත් නැතිනම්, මයිකල් ජැක්සන් (Michael Jackson) ගේ මරණය සම්බන්ධයෙන් විශේෂ උපහාරයක් පිදූ ඇමැරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ මහාචාර්යවරයකුවූ Cornel West ගේ සුප්‍රකට "Black, tragicomic genius" ප්‍රකාශය.. "Michael Jackson was a wounded healer. He had been broken. He had been scarred. But he turned his pain into love through his art "..

ඔය ආදී විශේෂ උපහාර පිදීම (eulogy) ගැන අහලාවත් තිබුන නම්...

සෞම්‍ය ලියන ගේ මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ ඇයට විශේෂ උපහාර පිදීම (eulogy) ක් ලෙස තමන්ගේ ශාස්ත්‍රීය රචනාවල (research papers) වල කෑලී ටිකක් එකතු කරලා කතාවක් කරනවා වෙනුවට මීට වඩා විශිෂ්ඨ, ශ්‍රේෂ්ඨ උපහාරයක් පිදීමට ඉඩ තිබුනා.

මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ eulogy යක් වෙනුවට සෞම්‍ය ලියනගේ කළේ ඔහුගේ ශාස්ත්‍රීය අධ්‍යායනවල (academic reserch) දී එකතුකරගත් කෑලී ටිකක් එකතු කර යමක් ඉදිරිපත් කිරීමයි. එක eulogy යක් නෙමේ..

Eulogy ඒකක් අහපුවහම හෝ කියවපුහම තේරෙනවා.. එය මියගිය පුද්ගලයට පිදිය හැකි උපරිම ගෞරවය පිදීමක් ද? නැතිනම් වෙන මොකක් හරිද කියලා..

මට සෞම්‍ය ලියනගේ මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ කළේ ඔහුගේ ශාස්ත්‍රීය අධ්‍යායනවල (academic reserch) දී එකතුකරගත් කෑලී ටිකක් කතාවක් ලෙස ඉදිරිපත් කිරීමක් විදිහටත්.... , Marilyn Monroe ගේ මරණය ගැන Lee Strasberg ගේ.., ඩයනා කුමාරියගේ (Princess Diana) මරණය ගැන Harold Bloom හා Earl Spencer ගේ ත්..., මයිකල් ජැක්සන් (Michael Jackson) ගේ මරණය ගැන Cornel West ගේත් විශේෂ උපහාර පිදීම් eulogy ලෙසත් පෙනෙන්නෙත් ඒ පදනමින්.

මේකට එක හේතුවක් වෙන්න පුළුවන් eulogy යන වචනය සම්බන්ධයෙන් ඇති සිංහල තේරුම... eulogy කියන වචනයේ සිංහල තේරුම ලෙස හුගාක් තැන්වල දක්වා ඇත්තේ.. වාක් ප්‍රණාමය, අභිනන්දනය වගේ තේරුමක්. ඒත් ඇත්තටම eulogy කියන්නේ ඊට වඩා ගැබුරු දෙයක්. ඒක තේරුම් ගන්න අවමංගල්‍යය උත්සවයක පැවැත්වෙන eulogy යක් යැයි හදුන්වන විශේෂ උපහාර පිදීමේ සංස්කෘතික සංදර්භය තේරුම් ගන්න ඕනෑ.. ඒක රටේම විතරක් නෙමේ රටේ ජාතික අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වන විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ ආචාර්ය මහචාර්ය ඇදුරන්ටවත් නැති බව තමයි සෞම්‍ය ලියනගේ මාලනී පොන්සේකා ගේ අවමංගල්‍යය උත්සවයේදී සිදුකළ කතාවේදී පෙනී ගියේ...

මාකස් ප්‍රියන්ත පෙරේරා
27/05/25

Saturday, 24 May 2025

මාලනී ෆොන්සේකා - සිංහල සිනමාවේ නව ස්ත්‍රී සලකුණ (La nouvelle femme).

ලංකාවේ සිනමා නිලියෝ දිහා බලලා ලංකාවේ සිනමාව විතරක් නෙමේ, ලංකාවේ සමාජ දේශපාලන පරිවර්තනයන් පවා කියවාගන්න පුලුවන්.

මුලින්ම අපි බැලුවොත් රුක්මණී දේවී දිහා, අපි දන්නවා රුක්මණී දේවිව දැක්ක ගමන්ම හිතෙනවා එයා නිකන් 'අපේ නෙමේ' වගේ.. දෙමළ වගේ.. සිංහල නෙමේ වගේ කියලා.. ඇගේ නම, ඩේසී රාසම්මා ඩැනියෙල්, කියන නම ඔස්සේ වුනත් එයා සිංහල නොවන බව තහවුරු වෙනවා.

හැබැයි මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා හෙවත් මාලනී ෆොන්සේකා දිහා බැලුව එහෙම නෑ.. එයා කෙලින්ම 'අපේ වගේ'.. 'හදවතින්ම ලාංකිකයි'.. 'සිංහලයි', 'බෞද්ධයි ', යැයි පිලිඹිබු වෙනවා.. අන්න ඒක තමයි මාලනීගේ විශේෂත්වය.. 1956 පසු බලවත් වූ සිංහල - බෞද්ධ අනන්‍යතාව මුල්කරගත් නව සමාජ සැකැස්මේ ස්ත්‍රී සලකුණ වෙන්නේ මාලනී පොන්සේකායි... මහින්ද රාජපක්ෂලා වුනත් මාලනිව එයාලගේ කදවුරේ සංකේතයක් විදිහට භාවිතා කරන්නේ ඒ පදනමින්... ලාංකික සිනමාවක් වෙනුවට සිංහල සිනමාවක් පමණක් ඇති ලංකාවේ ඇයව 'සිංහල සිනමාවේ නිළි රැජින' යන නමින් හදුන්වන්නෙත් ඒ පදනමින්. ඕනෑ නම් පරණ පින්තුර අරන් බලන්න සිංහල සිනමාවේ හුගාක් නිලියෝ මාලනී වගේ.. ඒකට හේතුව සිනමාවේ අධ්‍යක්ෂකවරුන්ට වුනත්, සිනමා ලෝලීන්ට වුනත් මාලනීගේ හැඩ - රුවෙන් සම්පුර්ණයෙන්ම මිදෙන්න බැරිවෙනවා. මාලනීගෙන් පස්සේ ආපු හුගාක් නිලියන්ට මාලනීගේ රූපකායෙන්, ස්ත්‍රී ලකුණෙ යම් යම් සමානකම් ඇත්තේ ඒ නිසයි.

හේතුව මාලනී තමයි තමයි 1956 පසු බලවත් වූ සිංහල - බෞද්ධ අනන්‍යතාව මුල්කරගත් නව සමාජ සැකැස්මේ නව ස්ත්‍රී සලකුණ (La nouvelle femme).

පසුකාලීනව මාලනීට වඩා වෙනස් ස්ත්‍රී සලකුණක් ලෙස ස්වර්ණා මල්ලවආරච්චි මතුවෙන්නේත් ඒ සමාජ දේශපාලනය සැකැස්මේ වෙනස් වීම් වලට සමපාතවයි.

ඉතින් අර කලින් කිව්වා වගේ ලංකාවේ සිනමා නිලියෝ දිහා බලලා ලංකාවේ සිනමාව විතරක් නෙමේ ලංකාවේ සමාජ දේශපාලන පරිවර්තනයන් පවා කියෝගන්න පුලුවන් කිව්වේ ඒ අනුවයි.

මාලනී පොන්සේකා කියන්නේ 1956 පසුව ලංකාවේ මුල්බැසගත් සිංහල - බෞද්ධ අනන්‍යතාව මුල්කරගත් නව සමාජ සැකැස්මේ 'නාරී පරිකල්පනාවේ සංකේත යයි' (symbol of a nouvelle femme/La nouvelle femme) යැයි යන්න ඇයට හිමි සිංහල සිනමාවේ නිළි රැජින යැයි කියන යෙදුමෙන්ම තහවුරු වෙනවා. ශ්‍රී ලංකාවේ සිංහල - බෞද්ධ අනන්‍යතාව මුල්කරගත් සමාජ - සංස්කෘතික සැකැස්ම තියෙන තාක්කල් මාලනී ෆොන්සේකා රිදී තිරයේ විතරක් නෙමේ ශ්‍රී ලංකාවේම මුල් බැසගත් ස්ත්‍රී සලකුණක් ලෙස පවතීවි.

සුබ ගමන්!!

මාකස් ප්‍රියන්ත පෙරේරා

24/05/25

Tuesday, 20 May 2025

Brexit වලින් පස් වසරකට පසුව බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර ගිවිසුමක්

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වී (Brexit) පස් වසරකට පසුව යුරෝපා සංගමය සමග ඊයේ (19/05/25) නව ගිවිසුමකට එළබුනි. මෙම ගිවිසුම බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර විශේෂ සමීප සම්බන්ධයක් නැවත ඇති කිරීමට අතීශයින්ම ඉවල්වනු ඇත. ගිවිසුම අනුව:

1. වෙළඳ, ආර්ථික, ආහාර සහ පරිභෝජන (SPS) සහයෝගිතාවය තහවුරු කරණු ඇත. එමගින් මස් නිෂ්පාදන හා කෘෂි නිෂ්පාදන ඒ ඒ වෙළදපොළ වෙත ඇතුල්වීම පහසු කරන අතර ආහාර මිල අඩු කිරීමට සහ වෙළඳ ද්‍රව්‍යය වල විවිධත්වය හා සුලබ බව වැඩි කිරීමට කටයුතු යෙදෙනු ඇත.

2. බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධනයට මෙම ගිවිසුම මගින් යහපත් බලපෑමක් ඇති කරණු ඇත. විශේෂයෙන්ම යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් (Brexit) සමග බ්‍රිතාන්‍යය ආර්ථිකයට සිදුවූ අයහපත් බලපෑම අවම කරගැනීමට මෙම ගිවිසුම මගින් අපෙක්ෂා කෙරේ. 2040 වන විට බ්‍රිතාන්‍යය ආර්ථිකයට පවුම් බිලියන 9කට ආසන්න ආදායමක් මෙම ගිවිසුම මගින් ලබාදෙනු ඇතැයි ද බලාපොරොත්තු වේ.

3. මෙම ගිවිසුම මගින් ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වෙනු ඇත. ගිවිසුම අනුව 2038 දක්වා යුරෝපියානු ධීවරයන්ට බ්‍රිතාන්‍යය මුහුදේ ධීවර කටයුතු කිරීමට අවසර ලබා දේ. ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ධීවර ප්‍රජාවෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇත. ගිවිසුමේ මෙම කොටස සම්බන්ධයෙන් දැඩිව විවෙචන එල්ල කරන විරුද්ධ පක්ෂ එමගින් බ්‍රිතාන්‍යය ධිවරයින් කබලෙන් ලිපට ඇද දමා ඇති බව ද, බ්‍රිතාන්‍යයේ ස්වාධිපත්‍යය උල්ලංඝනය වී ඇති බව ද දක්වයි. එහෙත් සැමන් මත්ස්‍ය නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් මෙම ගිවිසුම ඉහලින්ම අනුමත කර සිටී. මන්දයත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වී (Brexit) වීමෙන් පසුව සැමන් මත්ස්‍යය නිෂ්පාදන යුරෝපයට අලෙවි කිරීමට පැවැති බාධාක මින් ඉවත්වන නිසාය. බ්‍රිතාන්‍යයේ වඩාත්ම සංවිධානාත්මක ධීවර ප්‍රජාවක් වන ස්කොට්ලන්ත ධීවර සංගමය මෙම ගිවිසුම ඔවුන්ට අවාසිදායක බලපෑමක් ඇති කරනු ඇති බව දක්වයි.

3. මෙම ගිවිසුම ඔස්සේ බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර නව ආරක්ෂක සහයෝගිතාවයක් ගොඩනැගේ. ජාතික හා කලාපීය ආරක්ෂාව, ආරක්ෂක ක්ෂේත්‍ර අතර අන්තර් සම්බන්ධය සහ මිලිටරි උපකරණ වෙළදාම මෙම නව ගිවිසුම ඔස්සේ යළි ස්ථාපිත කරණු ඇත. ඒකාබද්ධ ආරක්ෂක අරමුදලක්ද පිහිටවනු ඇත.

4. අපරාධ නීති ක්‍රියාමාර්ග අතර අන්තර් සම්බන්ධය යලි ක්‍රියාත්මක කිරීම, අපරාධ යුක්තිය ඉටුවීම සහ අපරාධ සම්බන්ධ තොරතුරු හුවමාරුව වඩාත් සක්‍රිය කිරීමට මෙම ගිවිසුම අනුව ගිවිසුම් ගත්වේ. එමගින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම පහසු කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු හුවමාරුව, නිතී විරෝධී සංක්‍රමණ අවම කිරීම සහ Europol සමඟ බ්‍රිතාන්‍යය ආරක්ෂක සේවයන්ට වැඩ කිරීම පහසු කරනු ඇත. නව සැලසුම්වලට ද එලඹෙනු ඇත.

5. යුරෝපයේ හා බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 18- 30 අතර තරුණ/තරුණියන්ට සංචරණයට, අධ්‍යාපනය ලැබීමට (Erasmus හා සම්බන්ධවීමට) හා රැකියා කිරීමට අවස්ථාව හිමිවෙනු ඇත. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමග අහිමිවූ එම අයිතිය නැවැත තහවුරුවීම සම්බන්ධයෙන් ඉතා යහපත් ප්‍රතිචාරයක් ශිෂ්‍යය ප්‍රජාවන්ගෙන් ලැබී තිබේ. මෙම ගිවිසුම අනුව විස්තර කර නැති තරුණ අත්දැකීම් හුවමාරු කරගැනීමේ ක්‍රමයක් යෝජනා කර ඇත. එය තරුණ/ තරුණියන්ට එක් රටකින් අනෙක් රටට ගමන් කිරීම පහසු කිරීම අභිබවා ගිය නව සංස්කෘතික හුවමාරු වැඩසටහනක යෝජනා ක්‍රමයක් වනු ඇත.

මෙම නව ගිවිසුමේ ධීවර කටයුතු පිලිබදව එකගතාවයන්ට දැඩ් විරෝධයක් එල්ලවුව ද සමස්ථයක් වශයෙන් ගිවිසුම පිලිබදව ඇත්තේ මිශ්‍ර නමුත් යහපත් ආකල්පයක් බව පෙනී යැයි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ ආර්ථික, ආරක්ෂක හා සංක්‍රමණික අභිලාෂයන් සම්බන්ධයෙන් මෙම ගිවිසුමට කිසියම් සාධනීය දායකත්වයක් සැපයිය හැකි බව පෙනේ. විශේෂයෙන්ම තරුණ/ තරුණියින්ට එමගින් විවරවන ඉඩ ප්‍රස්තාව අති විශාලය.

මාකස් ප්‍රියන්ත පෙරේරා
20/05/25

Saturday, 10 May 2025

නව පාප්වරයා 'ලියෝ' නාමය තෝරාගත්තේ ඇයි?


 ලොවපුරාම වෙසෙන බිලියන 1.4 වන කතෝලිකයින්ගේ පාප්තුමා ලෙස කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් (Cardinal Robert Francis Prevost) තේරීපත්වීමත් සමග ඔහු ලියෝ (Leo) යන නාමය තෝරාගැනීම සම්බන්ධයෙන් ලොවපුරාම විශේෂ සාකච්ඡාවක් මතුවී ඇත.

එයට හේතුව, මීට පෙර ලියෝ (Leo) යන නාමය දැරූ අවසාන පාප්තුමා වූ 13 වෙනි ලියෝ (Pope Leo XIII) පාප්තුමාගේ උරුමය (legacy) හා කීර්ති නායමයයි (honour).. ක්‍රි.ව. 1878 සිට 1903 දක්වා කතෝලික පල්ලියට නායකත්වය දුන් 13 වෙනි ලියෝ පාප්තුමා (Pope Leo XIII) කතෝලික සභාව නව යුගයකට රැගෙන ගිය පාප්තුමෙකි.

විශේෂයෙන්ම දහනව සියවසේ අගභාගය වන විට වර්ධනය වෙමින් පැවැති සමාජ දේශපාලන ව්පර්යාසයන්ට අනුව කතෝලික සභාවේ ඉගැන්වීම් යාවත්කාලීන කිරීමට 13 වෙනි ලියෝ පාප්තුමා (Pope Leo XIII) විශාල කාර්‍යභාරයක් ඉටුකළ පාප්තුමෙකු විය.

දහනව සියවස වනවිට කර්මාන්ත ශාලා ඉදිවෙමින්, ග්‍රාමීය ජනතාව නගර කරා සංක්‍රමණය වෙමින්, නව සමාජ පංතියක් ලෙස කම්කරු පංතියක් බිහිවෙමින් තිබූ අවදියක් විය. කම්කරු අයිතිවාසිකම් ඉල්ලමින් ඇවිලී ගිය කම්කරු උද්ගෝෂණ හා කම්කරු සටන්, කාල් මාක්ස් (Karl Marx) හා ෆ්‍රෙඩ්රික් එංගල්ස් (Friedrich Engels) 1848 පළකල "කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය" (The Communist Manifesto) යත් සමග සමාජවාදය නම් දේශපාලන වැඩපිළිවෙළක් වෙත මතවාදීමය නැඹුරුවක් නිරූපනය කළ කාලවකවානුවක් විය.

1886 ඇමරිකාවේ චිකාගෝ නගරයේ පැය 8 වැඩ මුරයක් ඉල්ලා ඇතිවූ Haymarket ගැටුමෙන් කම්කරුවන් මිය යෑමත්, එය සැමරීමට 1889 දී ජාත්‍යන්තර සමාජවාදී සම්මේලනය විසින් මැයි 1 වැනිදා “ජාත්‍යන්තර කම්කරු දිනය” ප්‍රකාශයට පත් කිරීමත් සිදුවූයේ ද එම අවදියේ ය.

13 වෙනි ලියෝ පාප්තුමා (Pope Leo XIII) කතෝලික සභාවට නායකත්වය දෙමින් සිටියේ එවැනි යුගයකය.

එතුමා ඒ යුගයේ සිදුවෙමින් පැවැති ගෝලීය පෙළගැස්ම හදුනාගනු ලැබූ පාප්තුමෙකු විය. එහි ප්‍රතිඵලය වූයේ එතුමා 1891 දී පළකල 'Rerum Novarum' නම් විශ්ව ලේඛණය ය. 'Rerum Novarum' යනු කතෝලික සභාවේ සමාජ දර්ශනය ඉදිරිපත් කළ ලියවිල්ලය.

එම Rerum Novarum විශ්ව ලේඛණය තුල: වද හිංසාවෙන් තොරව රැකියාවක් කිරීමට ඇති අයිතිය, නිසි වැටුපක් ලැබීමට ඇති අයිතිය, වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානයවීමට ඇති අයිතිය කතෝලික සභාව ද තහවුරු කළේය. එමෙන්ම එම විශ්ව ලේඛණය තුල යහපත් පවුල් ජීවිතයක් සදහා සාධාරණ වැටුපක් හා සුරක්ෂිත වටාපිටාවක් ගොඩනගාදිමට රජයක ඇති වගකීම ද අවධාරණයට ලක් කරන ලදි. 13 වෙනි ලියෝ පාප්තුමා (Pope Leo XIII) ලෝක පූජිත පාප්වරයෙකු වෙන්නේ එම Rerum Novarum විශ්ව ලේඛණයත් සමගය.

කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් (Cardinal Robert Francis Prevost) නව පාප්වරයා ලෙස තේරීපත්වීමත් සමග 'ලියෝ' යන නාමය තෝරාගෙන 14වෙනි ලියෝ (Pope Leo XIV) පාප්වහන්සේ ලෙස පත්වීමත් සමග එතුමා 13 වෙනි ලියෝ පාප්තුමා (Pope Leo XIII) ගේ ඉහත උරුමය රැගෙන යන්නෙකු ද? යන කුතුහලය ජනිත කරන්නක් විය. ඒ මන්දයත්, ලෝක කම්කරු දිනය ප්‍රකාශයට පත්කළ Haymarket සිද්ධිය සිදුවූ, ඇමැරිකාවේ චිකාගෝ නුවර ඉපදී, පේරූ රටේ පිඩිත ජනයා සමග දශක ගණනාවක් සේවය කළ කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් (Cardinal Robert Francis Prevost) ට සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමේ ඉතිහාසයක් ඇති තැනැත්තෙක් වීමත් ඊට තවත් හේතුවක් විය.

අනෙක් අතට, කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් (Cardinal Robert Francis Prevost) යනු ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අනුගාමිකයෙක් ලෙසත්, ෆ්‍රැන්සිස් පාප්තුමා හදුන්වාදුන් සිනෝඩ් ක්‍රියාදාමය තුල කැපී පෙනෙන කාර්‍යභාරයක් ඉටු කළ තැනැත්තෙක් ලෙසත්, පේරු හි ධර්මදූත සේවයේ යෙදෙමින් ජනතා සේවයට ඇපකැපව සිටීමත් තුල ත, ෆ්‍රැන්සිස් පාප්තුමාගේ විශේෂ අවධානයට ලක්වූවෙක් විය. එසේ ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අවධානයට ලක්වූ එතුමාව ෆ්‍රැන්සිස් පාප්තුමා විසින් 2023 වසරේ දී කාදිනල්වරයට පත්කළා පමණක් නොව කාදිනල්වරුන් තෝරාගැනීමේ ක්‍රියා පටිපාටියේ නායකත්වයට ද ඔසවා තබන ලදි. මෙම පසුබිම තුල ෆ්‍රැන්සිස් පාප්තුමාට ගරුකිරීමක් ලෙස නව පාප්තුමා 'ලියෝ' යන නාමය තෝරාගත ද? යන්න ද මතුවන්නකි.

ඒමන්දයත් "ලියෝ" නමින් 13වැනි සියවසේදී අසීසියේ ජීවත්වූ අසිසියේ ෆ්රැන්සිස් ශාන්තුවරයාගේ ඉතා විශ්වාසනීය ගෝලයෙකු සිට ඇති අතර ඔහුව ලියෝ සහෝදරතුමා (Brother Leo/ “බ්‍රදර් ලියෝ) ලෙස හදුන්වා ඇත. අභිනවයෙන් තේරීපත්වූ 14වෙනි ලියෝ (Pope Leo XIV) පාප්තුමා 'ලියෝ' නාමය තෝරාගැනීමේදී එම කාරණය ද සැලැකිල්ලට ගත්තා ද? යන්න ද අවධානයට යොමුවන්නකි.

කෙසේවෙතත්, අභිනවයෙන් තේරීපත්වූ පාප්තුමා 'ලියෝ' නාමය තොරාගැනීම තුලම කිසියම් විශේෂත්වයක් ඇති බව නම් පැහැදිලිය.

එය එතුමාගෙන්ම අසා දැනගත හැක්කේ ලබන සතියේ පැවැත්වීමට නියමිත එතුමාගේ පලමු මාධ්‍යය සාකච්ඡාවේදීය. මීට පෙර 2005 දී ෆ්‍රැන්සිස් පාප්තුමා පත්වූ පසු පැවැත්වූ පළමු මාධ්‍යය සාකච්ඡාවේ දී එතුමා 'ෆ්‍රැන්සිස්' යන නාමය තෝරාගත්තේ ඇයි යන්න ගැන විශේෂයෙන් සදහන් කළේය..

මම ඒ ගැන පසුව ලියන්නම්..

මාකස් ප්‍රියන්ත පෙරේරා
09/05/25

Tuesday, 29 April 2025

සමන් ද සිල්වාගේ පරමාදර්ශය ඩෙස්මන්ඩ් ද සිල්වා ද?


සමන් ද සිල්වා (Saman de Silva) බොහෝදුරට ඩෙස්මන්ඩ් ද සිල්වා (Desmond de Silva) ව අනුගමනය කළාද?" කියන කුතුහලය මට කාලයක් තිස්සේ තිබුන දෙයක්. හැබැයි මට එහෙම හිතන්නේ සමන් ද සිල්වාගේ හැම සින්දුවක් සම්බන්ධයෙන්ම නෙමෙයි. අර "පුන්චි කුරුළු කුඩූවේ උන් ඉන්නවා පාඩුවේ" වගේ සින්දු එහෙම සන්සන්දනය කරන්න බෑ. ඒත් ඔහුගේ බොහෝ සින්දු සම්බන්ධයෙන් ඩෙස්මන්ඩ් ද සිල්වාගේ බලපෑමක් ලැබූ බව පෙනී යන දෙයක්. සමන් ද සිල්වාගේ සින්දු සම්බන්ධයෙන් ඩෙස්මන්ඩ් ද සිල්වාගේ බලපෑම සීයට 50 (50% ක්) නැතිනම් අර්ධ වශයෙන් යැයි කියලා හිතමු, ඒත්, සමන් ද සිල්වාගේ ප්‍රාසාංගීක ඉදිරිපත් කිරීම් (Stage performance) සම්බන්ධයෙන් බලන විට, ඔහු හුගාක්දුරට ඩෙස්මන්ඩ් ද සිල්වාගේ විලාසිතාව සහ ඉදිරිපත් කිරීම සෑහෙන්න දුරට අනුගමනය කළ බව නම් පැහැදිලියි.

මේ දෙදෙනාම එකම තේමාවක් ඇති සින්දු කිව්වත්, දෙදෙනාගේ ගායන ශෛලිය එකිනෙකට සමාන වෙන්නෙ නෑ. ඩෙස්මන්ඩ්ගේ ගායන ශෛලිය වඩාත් උද්වේගජනකයි (vibrant) සහ ටිකක් පරිණත යි (matured). සමන් ද සිල්වා ගේ සින්දු වල කිසියම් ආකාරයක හැඟීම් බර ගතියක්, චිත්තවේගී බවක් (emotional ) බවක් දකින්නට තියෙනවා. නියරේ පිය නගලා ගීතයේ උනත්  ඒ ලක්ෂණ දකින්න පුලුවන්.


කාල වකවානු එක්ක බලද්දි දෙදෙනාම 1980–90 දශකයන් ඉහළ ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටි ගායකයින්. ඩෙස්මන්ඩ්ලගේ කාලේම සමන් ද සිල්වාටත් එසේ ඉහල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට එක හේතුවක් තමයි සමන් ද සිල්වා "කාලේ තාලය" ආමාන්ත්‍රණය කිරීමට සමත්වීම. "තණ නිල්ල දිගේ ඇදිල යනවා" කියන්නේ අන්න එහෙම සින්දුවක

ඒවගේම සමන් ද සිල්වාට, අර  "දෙව්ලොව දෙවියනේ", "පෙම් මාලිගාවේ අප්සරාවියේ", "පිණිබර හීත යෑමේ මේ උදෑසනේ " වගේ, ප්‍රාසාංගීක ප්‍රසංග වලට ගැලපෙන, නැගලා යන, නටන කට්ටියට අත්පය විසිකරලා නටන්න පුළුවන් සින්දු සෙට් එකක් තිබුනා. එය ඔහුට ප්‍රසංග අඩුවක් නැතුව ගලා ඒමට විතරක් නෙමේ ලෝකය පුරාම වෙසෙන ලාංකිකයන්ගේ ප්‍රසංග වේදිකාවලට ආරාධනා ලැබීමටත් හේතු වුනා. ඇතැම්විට ඩෙස්මන්ඩ් ගෙන් පස්සේ වැඩිම විදේශ ප්‍රසංග සංඛ්‍යාවකට සම්බන්ධ වුනු ලාංකික ගායන ශිල්පියා ඔහු විය හැකියි.

ප්‍රේක්ෂකයන් සමන් ද සිල්වා තුලින් ඩෙස්මන්ඩ් ද සිල්වා දැක්කා ද? කියන්න පැහැදිලි එකගතාවයකට එන්න බැරි ප්‍රශ්නයක් වුනත් සමන් ද සිල්වා ව ඩෙස්මන්ඩ් ද සිල්වා සමග සංසන්දනාත්මකව විමසා බැලීමට ඉන් කිසියම් පදනමක් සැකසෙන බව එයින්ම කියවෙනවා.

මම නම් සමන් ද සිල්වාගේ ආසම සින්දුව "රුවල් නැවෙන් ගොඩ බැහැලා" කියලා කියන සින්දුවටයි. ඒ සින්දුව තුල සමන් ද සිල්වාගේ ලකුණ විතරක් නෙමේ , සමන් ද සිල්ව ලා නියෝජනය කල සංස්කෘතියත් නිරූපනය වෙනවා කියලා මට හිතෙනවා.

මාකස් ප්‍රියන්ත පෙරේරා

28/04/25

රුවල් නැවෙන් ගොඩ බැහැලා

ගාලු කොටුව මැද ඉඳගෙන

හඳපානෙ ගැයුවත් බයිලා

අර ලිස්බන් වල බෝයේ නගරෙ

පෘතුගීසි ජෝලිය අරන්

අහන්නෙ මේ අපේ කපිරිඤඤා

වයලින් මැන්ඩලින්, ට්‍රැංගල්,

බැන්ජො රබන් අතට අරන්

වේදිකාව උඩට ඇවිල්ලා

එළිසම අක්ෂර යොදාලා දහඅට තාලෙට බෙදාල

කියල බලමු තරඟෙට බයිලා

සෙනසුරාගෙ කරට නැගල සිකුරු තරුව තරණ කරල, බ්‍රහස්පතිය දෙවෙනි කෙරුව මං

රාවණාව මෙල්ල කරපු හනුමන්තගෙ බණ අසාල

මූදු හතෙන් එතෙර වුණා මං

සක්වල ගල මුදුනෙ ඉඳල පිදුරුතලාගලට නැගල

සීගිරි ගල අතට ගත්තනං

ගුරැ සරසවි වරම් ලබල හිටිවන පද ගැනල ගොතල බයිල කියල පරදිනවද මං

පොළව යටින් උමං කපල නාග දරණ හඳට විදල

ඉරයි දෙකයි දෙක හැංගුව නං

සක්‍රභවන තුලට නැගල තරු ඔක්කොම බිමට දාල

අහස පුරා කුරුටු ගෑව මං

කැපිලි කෙටිලි අහක දාල දිණුංකණුව මත ඉඳගෙන

තනි කකුලෙන් පිණුං ගැහුවනං

ගුරැ සරසවි වරම් ලබල විදුරණ පද ගැනල ගොතල

බයිල කියල පරදිනවද මං

# සමන් ද සිල්වා මහතාට මොක්සුව අත්වේවා#

Friday, 25 April 2025

මීගමුවට පැමිණි එකම පාප්තුමාට මීගමුවේ සොව පලවේ!!

හයවෙනි පවුළු පාප්වහන්සේ (1970), දෙවෙනි ජුවාම් පාවුළු පාප්වහන්සේ (1995), හා ෆ්‍රැන්සිස් පාප්වහන්සේ (2015), ඇතුළු ශ්‍රී ලංකාවට පාප්තුමන්ලා තිදෙනෙක් සැපැත්වී තිබුන ද, ලංකාවේ කිතුණුවන්ගේ මුදුන් මල්කඩ වන් නගරය ලෙස මීගමුව සැලකුව ද, මීගමුවට පැමිණ ඇත්තේ එක් පාප්වරයෙකු පමණි. ඒ ෆ්‍රැන්සිස් පාප්තුමා පමණි. ඇත්තවශයෙන්ම, 1954 අප්‍රියෙල් 21 වෙනි දින බ්‍රිතාන්‍යයේ දෙවෙනි එළිසබෙත් මහරැජින මීගමුවට පැමිණියායින් පසු පැමිණි එකම රාජ්‍යය නායකයා වන්නේ ද වතිකානු රාජ්‍යයේ නායකයා වන ෆ්‍රැන්සිස් පාප්තුමාය.

ඉතා කෙටි වේලාවකට පමණක් පැමිණි එතුමා මීගමුව බෝලවලානේ 16 වෙනි බෙනඩික්ට් ජෝශප් (the Benedict XVI Catholic Institute of Higher Education) උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය (BCI Campus) විවෘත කර ගියේය. මීගමුවේ ජනයා එතුමා එන මග දෙපස රැස්වී එතුමාට ආචාර කළෝය. ප්‍රීතිගෝෂා නැගූහ. ඒ 2015 ජනවාරි 15 දාය.

අද එතුමාගේ අභාවය සම්බන්ධයෙන් ද මීගමු වැසියන් බැනර් දමමින් සිය ශෝකය පළකර ඇත. මීගමුව කතෝලික බලමණ්ඩලය ද සිය නිල ශෝක ප්‍රකාශයන් නිකුත් කර ඇත. එතුමාගේ අවමංගල්‍යය වෙනුවෙන් හෙට ද මීගමුවේ ශෝකය පළකිරීමේ වැඩසටහන් යෙදෙනු ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා
25/04/25

Monday, 21 April 2025

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 6යි: විමර්ශනය කළ යුතු මූලිකතම ගැටළුව විමර්ශනය වුවා ද?


පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට වසර 6කි. 2019 අප්‍රේල් 21 වනදා පාස්කු ඉරිදා උදෑසන 8.45ට, කොළඹ කොච්චිකඩේ පිහිටි සා. අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවපිටියේ සා. සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුවේ සියෝන් දේවස්ථානය වෙතත්, එදිනම කොළඹ පිහිටි කිංග්ස්බරි, ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වෙතත් එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පුද්ගලයින් 270 දෙනෙකු මියගිය අතර, 508කට අධික පිරිසක් තුවාල ලැබුහ.

මියගිය අය අතර විදේශිකයන් 45 දෙනෙකු වූ අතර, දේවස්ථාන තුනෙහිදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 202කි. එහිදී, කටුවපිටිය දේවස්ථානයේදී 115 දෙනෙකු, කොච්චිකඩේ දේවස්ථානයේදී 56 දෙනෙකු, මඩකලපුවේ දේවස්ථානයේදී 31 දෙනෙකු ද මියගියහ.

මෙම ප්‍රහාරයෙන් කටුවපිටියේ 32 දෙනෙකු ද, කොච්චිකඩේ 10 දෙනෙකු ද, මඩකලපුවේ 15 දෙනෙකු හා හෝටල් තුලට එල්ලවූ ප්‍රහාරවලින් මියගිය අය ද ඇතුළුව දරුවන් 68 දෙනෙකු මිය ගියේය. පවුල් 482ක් විපතට පත්විය.

ප්‍රහාරයට පෙර ලැබුණු අනතුරු ඇඟවීම් හා තොරතුරු අභිබවා යෑම
=======================

ප්‍රහාරය සිදුවී පැය දෙකක් යෑමට මත්තෙන්, ශ්‍රී ලංකා ආරක්ෂක අංශයන් මෙම ප්‍රහාරය ගැන දැන සිටි බව පැවසෙන බහුවිධ ආරක්ෂක ආඥා සහිත රහසිගත ලියවිල්ලක් සමාජ මාධ්‍යය තුල සංසරණය වන්නට විය. එදිනම (2019 අප්‍රේල් 21) ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ප්‍රහාරය එල්ල විය හැකි ස්ථාන සම්බන්ධයෙන් පූර්ණ බුද්ධි තොරතුරු සහිත වාර්තාවක්, එදින උදෑසන 6 වන විටත් ඉංදියානු බුද්ධි අංශ විසින්, ශ්‍රී ලංකා බුද්ධි අංශ වෙත ලබාදී ඇති බවය.

ඉන් දින කිහිපයකට පසුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා "ප්‍රහාරයක් සිදුවෙන බව දැන සිටියත් මෙතරම් විශාල ප්‍රහාරයක් සිදුවේ යැයි" නොසිතූ බව ප්‍රසිද්ධියේම පිලිගත්තේය. ප්‍රහාරය සිදුවන විට රටේ නොසිටි එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ පොලීසියේ ඉහල නිලධාරින්ට ප්‍රහාරය ගැන අනතුරු ඇගවීම් කලින්ම දැනුම් දුන් බව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

එකී තොරතුරු අනුව පාස්කු ඉරිදා දින ප්‍රහාරයක් එල්ලවනු ඇති බව දැන සිටියද, එය වළක්වා නොගැනීම පිළිබඳව වහාම සත්‍යය හෙළිදරව් කළ යුතුයැයි කාදිනල් තුමන් ඇතුළු කතෝලික සභාව, ආණ්ඩු පක්ෂ හා විපක්ෂයේ දේශපාලන පක්ෂ, රට තුළ සහ ලෝකය පුරා විශාල අවධානයක් යොමු කළ හෙයින්, එම කාරණය විමර්ශනය කිරීමට පළමුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද, දෙවනුව මලල්ගොඩ කොමිසම ද, අනතුරුව ජනාධිපති කොමිසමක් ද පත් කරන ලදී.


විමර්ශනවල අරමුණ කුමක්ද?
=============================

එකී සියළු විමර්ශන අවසන් වී වාර්තා නිකුත් කර තිබුණද, පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර හයක් ගතවී ඇති අද දිනට ද, එම විමර්ශන වල මුලික අරමුණ වූ 'පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ලවනු ඇති බව දැන සිටියද, එය වළක්වා නොගත්තේ ඇයි?' යන ප්‍රශ්නයට තවමත් පිළිතුරක් ලැබී නොමැත.

විමර්ශන වාර්තා ගැන කිසියම් පරිචයක් ඇතිව සිටි හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා "පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවුයේද? යන සැකය තවදුරටත් සැකයක් නොව, පැහැදිලිවම සාක්ෂි සටහන් ඔස්සේ නිගමනයකට පැමිණිය හැකි කාරණයක්" යැයි සදහන් කළ ද 'පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ලවනු ඇති බව දැන සිටියද, එය වළක්වා නොගත්තේ ඇයි?' යන්න ගැන සදහන් නොකළේය. ඒ කුමන්ත්‍රණයක් යැයි කීම තුල ප්‍රහාරය වලක්වා නොගැනීම ද කුමන්ත්‍රණයේම කොටසක් යැයි සිතාගැනීමකට යොමුකළේ ද?

2023 ජනවාරි 12 වැනිදා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ ඓතිහාසික තීන්දුව මඟින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි සේවා ප්‍රධානී සිසිර මෙන්ඩිස්, සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිස, තොරතුරු ලැබී තිබූන ද, ප්‍රහාරය වළක්වා ගැනීමේ වගකීම පැහැරහැරීම නිසා මිනිස් ජීවිත 270 ක් අහිමිවීමට සහ 500යකට අධික පිරිසක් තුවාල ලැබීමට වරදකාරුවන් කරමින්, වන්දි වශයෙන් රුපියල් කෝටි 31ක මුදලක් ගෙවීමට නියම කළ ද, 'එම ප්‍රහාරය වැළක්විය නොහැකිවූයේ ඇයි?' යන්න පිළිබඳව කරුණු හෙළිවූයේ නැත.

විමර්ශන වෙනත් මගකට යොමුවී ද?
===========================

විමර්ශනය කළ යුතු එකී මූලිකතම ගැටළුව වු "ප්‍රහාරයක් එල්ලවනු ඇති බව දැන සිටියද, එය වළක්වා නොගත්තේ ඇයි?' යන්න මෙතෙක් නිසි ලෙස විමර්ශනය නොවී, තවදුරටත් නොවිසදී පවතින අතර, මේ දක්වා සිදුකළ විමර්ශන ප්‍රධාන වශයෙන්; පාස්කු ඉරිදා ප්‍රහාරය ISIS සංවිධානයක ක්‍රියාවක්ද? නැතහොත් රටේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක්ද? යන්න මූලික කර ගනිමින් දියත්වෙමින් තිබේ.


පැහැදිලිවම, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළේ 'ජාතික තව්හීත් ජමාත්' (NTJ) සංවිධානයේ සහරාන් හෂීම් සහ ඔහුගේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් වන අතර, ඔවුන් 'ඉස්ලාමීය රාජ්‍යය' (ISIS) ක් වෙනුවෙන් ක්‍රියාත්මකවුවන්‍ ය. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දින, එනම් 2019 අප්‍රේල් 20 වැනිදා, සහරාන් සහ ඔහුගේ සමූහය ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි වෙත 'බයාත්' (පක්ෂපාතීත්වය) ප්‍රකාශ කර ඇති බව විමර්ශන වලින් සහතික වී ඇත. අනෙකුත් ISIS ත්‍රස්තවාදීන් මෙන්ම ඔවුන්ද, ක්‍රිස්තියානි ආගමිකයින් ඉලක්ක කරගෙන පාස්කු ඉරිදා දින දේවස්ථානවලට, හා බටහිර පුද්ගලයන් ඉලක්ක කරගෙන හෝටල්වලට, මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම තුල ද ඔවුන් පෙනී හිටි අරමුණ කුමක්ද යන්න තවදුරටත් සනාථ කරයි.

ඒ සමගම, මෙතෙක් පැවැති විමර්ශනවලින් හෙළිවී ඇති අනෙක් කරුණා වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ලවෙනු ඇතැයි යන්න පමණක් නොවේ: ප්‍රහාරයන් එල්ල කරන පුද්ගලයන් කවුද? ඔවුන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ කලාන්තරයක් පුරා දැන සිටි, ප්‍රශ්න කිරීම්වලට හා සෝදිස්සි කිරීමවලට පවා ලක්වු, ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරීන් ද දැන සිටි හා බුද්ධි අංශ නිලධාරීන් සමඟ සබදතා පවත්වා ඇති පුද්ගලයින් බව හෙලිවී ඇත. එම නිසාම පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදී කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සබදතා පවත්වා ඇති බව තවදුරටත් රහසක් නොවේ.


සම්බන්ධය කුමක්ද යන්න හෙළිකර ගැනීම
===============================

සහරාන් ඇතුළු ඉස්ලාමීය අන්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයන් රටේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ද යන්න මතුවන්නේ ශ්‍රී ලංකා බුද්ධි අංශයන් හා සහරාන් ඇතුළු ඉස්ලාමීය අන්තවාදීන් අතර පැවැති එකී සබදතා පදනම් කරගෙනය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන උනන්දු බෙහෝ දෙනාගේ අරමුණ වී ඇත්තේ සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් සමඟ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ කුමන ආකාරයේ සම්බන්ධයක් පවත්වාගෙන ගියේද යන්න හෙළිකරගැනීම බව පෙනී යැයි. එය හෙළිකරගැනීම තුල පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලන බලය ලබා ගැනීම සඳහා කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ද යන්න හෙළිකරගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. දේශපාලන අරමුණු වෙනුවෙන් නිමක් නැති මිනීමැරූම් වල අඩුවක් නැති ශ්‍රී ලංකාව වැනි රටක් තුල පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි සමුහ ඝාතනයක් පිටුපස ද එම හෙවනැල්ලිම ඇති බවට සිතා ගැනීම සම්පුර්ණයෙන්ම අත්භූතජනක සිතාගැනීමක් නොවීමට පුළුවන.

එහෙත්, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු ඉස්ලාමීය අන්තවාදීන් සමඟ ශ්‍රී ලංකා බුද්ධි අංශයන් සබදතා පවත්වා ඇති බව හෙළිවීම තුල පමණක්, පාස්කු ඉරිදා ප්‍රහාරය යනු රටේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක්ද?, යන්න හෙලිවේ ද?

ඇත්ත වශයෙන් එම කාරණා දෙක අතර දැවැන්ත පරතරයක් පවති. එනම්, ඉස්ලාමීය අන්තවාදීන් සමඟ ශ්‍රී ලංකා බුද්ධි අංශයන් සබදතා පවත්වා ඇති බව තහවුරු වූ පමණින් පාස්කු ඉරිදා ප්‍රහාරය රටේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා කළ කුමන්ත්‍රණයක්ද? යන්න තහවුරු වන්නේ නැත. ඒ සදහා තවදුරටත් වෙනම ම විමර්ශනය කළ යුතුව ඇත.


අපට අවශ්‍යය කුමක්ද?
==================


එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන ඒදෙසට යොමුවූවහොත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍යය මතුකරගන්නවා වෙනුවට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශන දේශපාලන අභිලාෂයක් ඉටුකරගැනීම වෙත යොමු වෙනු ඇත. විමර්ශන එවැනි මගක ගමන් කළහොත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබද විමර්ශන දේශපාලනීකරණයකට ලක්වනු නියතය.

අපිට අවශ්‍ය වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය ඉටුකරගැනීමට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සම්පුර්ණ සත්‍යය මතුකර ගැනීමය.

එය ඉටුකර ගත හැක්කේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබද විමර්ශනවල මුලික අරමුණ වූ 'පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ලවනු ඇති බව දැන සිටියද, එය වළක්වා නොගත්තේ ඇයි?' යන්න සොයාගැනීමට විමර්ශන මූලික වශයෙන්ම යොමුකිරීම තුලය.

එහෙත් එය පහසු කටයුත්තක් නොවේ: පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන්ගේ පිරිස හා ISIS ඉස්ලාමීය ත්‍රස්තවාදීන් අතර පැවැති සබදතා ශ්‍රී ලංකාවේ විමර්ශකයන් අඩුවක් නැතිව හෙළි කරණු ඇත. එහෙන්ම, ශ්‍රී ලංකාවේ විමර්ශකයන් සහරාන් ඇතුළු ඔහුගේ පිරිස සමග ශ්‍රී ලංකා ආරක්ෂක අංශ හා බුද්ධි අංශ පවත්වාගෙන ගිය සබදතාද කිසියම් ප්‍රමාණයකට හෙළිකිරීමකට එකගවනු ඇත. එහෙත්, තොරතුරු දැන දැනත් ප්‍රහාරය වලක්වා නොගත්තේ ඇයි? යන්න ශ්‍රී ලංකාව වැනි අපරාධකාරී පැවැත්මක් ඇති රාජ්‍යයක් හෙළිකරයි ද? එය විශ්වාස කිරීමට අපහසුය.

මන්දයත්, ඒවැනි හෙළිදරව් වීමක් ඔස්සේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ද, රාජ්‍ය යාන්ත්‍රණයේ ද, සමස්ථ රාජ්‍යයේ ද අභ්‍යන්තර සැකැස්ම, දෘෂ්ටිවාදී පෙළගැස්ම, ක්‍රියාත්මකවිමේ සීමා සහිතකම් හා භාවිතයේ දුර්වලත්වයන් සහමුලින්ම හෙළිදරවී සමස්ථ රාජ්‍යයේ පැවැත්ම උවදුරේ හෙළිය හැකියැයි ශ්‍රී ලංකාව පිලිගන්නා නිසාය.

එහෙත් මෙතෙක් පැවැති ශ්‍රී ලංකා රාජ්‍යයේ සැබෑ වෙනස් අපේක්ෂා කරන්නේ නම් පවත්නා රාජ්‍යය වෙනස කළ යුතුය. එහිලා පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබදව නිසි විමර්ශනයක් සැබෑ අවස්ථාවක් උදාකරණු ඇත.

එහිලා දේශිය හා විදේශීය විශේෂඥ විමර්ශකයන්ගෙන් සමන්විත ජාත්‍යන්තර වෂයෙන් පිලිගත් විමර්ශනයක් ඉල්ලා සිටිමු!!


මාකස් ප්‍රියන්ත පෙරේරා
21/04/25

Saturday, 19 April 2025

ආලේලූයියා සෙනසුරාදා මීගමුවේ "යක්කු යෑම"


මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර 1968 පලකල 'සිංහල ගැමි නාටක' කෘතියේ කරුණු අනුව, මීට වසර 60කට පෙර, එනම් 1960 දශකයේ පවා, මිගමුව වැනි කතෝලික ප්‍රදේශවල ආලේලුය්යා සෙනසුරාදා හෙවත් මහ සිකුරාදායින් පසුව එළබෙන සෙනසුරාදා, ජේසුස්වහන්සේ මරණයට පත්වීමත් සමග යක්ෂයන් අපායෙන් නික්මී පොළොවට පැමිණ, ගස්කොලන්වල ගෙඩි පලතුරු පමණක් නොව ගෙවල් දොරවල්, කඩවල් පවා කොල්ල කන ආකාරය සංකේතවත් කිරීම සදහා තරුණයින් යක්කු යෑම රග දැක්වා තිබේ.

එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ 'සිංහල ගැමි නාටක' කෘතියේ 176 පිටුවේ එම කාරණය දක්වා ඇත්තේ මේ ආකාරය ය:

''යක්ෂයන් හිස ලූ ලූ අත දිවූ සැටි දැක්වීමට ගමේ පිරිමි ළමයි කොළ ඇතු ඇද, ඇගේ දැලි තවරාගෙන ක්‍රීඩා විලාසයෙන් අවට කඩවලට වැද කොල්ල කෑහ. මෙය සිදුවෙන බව දැන සිටි කඩකාරයෝ නොවටිනා ද්‍රව්‍ය හා වුවමනා නැති බඩු මුට්ටි එළියේ තැබුහ....'"

එකී සංකේතවත් කිරීම තුල 'ජෙසු' නම් 'යහපත' මැරීම තුල 'නපුර' නම් යක්ෂයා රජවෙන ආකාරයත් එවැනි යක්ෂාධිපත්‍යක් තුල මහජනයාට අත්වෙන විනාශයත් හුවාදැක්වීම එම යක්කු යෑම තුල සංකේතවත් කිරීම සිදුවිය.

එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ඉහතකී 'සිංහල ගැමි නාටක' කෘතියේ 177 පිටුවේ දැක්වෙන ආකාරයට කලකට ඉහත (එනම් 1960 දශකයේ පවා) ආලේලුය්යා සෙනසුරාදා මීගමුවේ පිටිපන "සාතන්ගේ පරාජය' නම් නාට්‍යයක්ද රගදක්වා තිබූ බව කියවේ: 'පිටිපන නම් මෑත කාලයෙහි ද මේ වෙනුවට (යක්කු යෑම වෙනුවට) සෙනසුරාදා සවස, සාතන්ගේ පරාජය නමින් හැදින්වෙන නාට්‍යයක්ද රග දැක්වුහ. මේ නාට්‍යයෙහි යක්ෂයින් නිරයෙන් පිට වී යාමත් 'යක් සෙනෙවියා' විත් මිනිස්සුන්ගේන් නඩු විභාග කිරීමත් ඇතුළු මුළු සිද්ධිය ම නිරූපනය කෙරේ. මේ නාට්‍යය පොදු ව්‍යවහාරයෙහි "යකා පාට්" වශයෙන් හැදින්විණි." යැයි දක්වයි.

මෙම නාට්‍යය අවසන්වී ඇත්තේ පාස්කු ඉරිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරදා උත්ථානවූ බව සිහිකරන පුවතිනි. මෙහිදී මරිය මග්ලීනා හා මාර්තා යන දෙදෙනා කුරුසයේ ඇනගසා මරාදැමූ ජේසුගේ සිරුර තැම්පත්කර තිබූ සොහොනට ගොස් සිරුර සොයන ආකාරයත්, එකවිටම මුලු වේදිකාව ආලෝකමත් කර "ඔබ මලවුන් අතර ජීවත්වන්නන් හොයන්නේ ඇයි? ඔහු මලවුන්ගේන් නැගිට්ටේය" යැයි කියවෙන හඩක් ඇසේ. ඒ සමග නළු නිළියන් ද සෙනග ද සතුටින්, මහා හඩින් ජයගෝෂා තැබූ බවත්. එම 'සාතන්ගේ පරාජය' නම් නාට්‍යය අවසන්වන්නේ මෙලෙස සියල්ලෝම ජයග්‍රාහී සතුටකින් ඉපිලයෑමත් සමග බවත් දක්වයි.

මේ සියලු සටහන් ඔස්සේ පෙනී යනුවේ ජේසුගේ දුක් ප්‍රාප්තිය යෙදෙන පාස්කු සමය මීගමුවේ ජනයා සිය ආධ්‍යාත්මය කරගන්නා ආකාරය ය. ජේසුගේ මරනය සහ උත්ථා‍නය සිය ජීවිත තුලට ලංකරගන්නා අපූරුවත්වයත් ය.

2009 දෙසැම්බර් 09 වෙනි දින දිවයින පුවත්පතේ පලවූ වාර්තාවකට අනුව මහ සිකුරාදා රාත්‍රියේ ඡේසුතුමාගේ මරණයත් සමග පාතාල ලෝකයේ දොරටු විවෘත වන බවත්, එය නැවැත වැසී යන්නේ මරණය පරාජය කොට ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු ඉරිදා උත්ථානයත් සමග (ස්‌වරගීය මාර්ගය) බවත්, ඊට පෙර දින සෙනසුරාදා දින (අලේලුයියා සෙනසුරාදා) යකුන්ගේ නිදහස්‌ දිනය ලෙස සලකන බවත්, එසේ යකුන් රජ කරන ආකාරය මීගමුවේ රගදක්වන බවත් දක්වයි.

එම රගදැක්වීම ඉහත පුවත්පත් වාර්තාවේ දැක්වේ මෙලෙසය:

"මේ සිදුවීම සිහිකිරීම සඳහා ගමේ ළමෝ යකුන් ලෙසින් වෙස්‌වලා ගනු ලබති. කොළ අතුවලින් සහ විවිධ දැලි වර්ගයකින් ශරීර විකෘති කරගනු ලබයි. මේ ළමෝ ගමේ නිවෙස්‌ වෙත සහ කඩසාප්පු වෙත ගොස්‌ හිඟමන් ඉල්ලති. කලින් දින සිටම ඔවුන්ගේ පැමිණීම අපේක්‍ෂා කරන ව්‍යාපාරිකයෝ ඔවුන්ට අවශ්‍ය දේ තෑගි කිරීම සඳහා සූදානම් කරගනු ලබයි. මේ ක්‍රියාවලිය යකාපාටි ක්‍රමය ලෙස ක්‍රිස්‌තු බැතිමත්තු ව්‍යවහාර කරයි. මෑතක්‌ වන තුරුම මෙම ක්‍රියාවලිය මීගමුව නගරයේ පාස්‌කු සමයේදී දක්‌නට ලැබුණු සුලබ දර්ශනයක්‌ වී තිබිණ" ය යනුවෙනි.

අප කුඩා සමයේද ආලේලූයියා සෙනසුරාදාට එසේ "යක්කු යෑම් දැකිය හැකිවූ අතර, එසේ යන යක්කු කී සුපුරුදු වදන් පෙළ අද මෙන් මතක... ඒය මෙසේය:

"අපි මොක්කුද - යක්කු පැටව්‍

කොහෙන් ආවේ - පාතාලේන්

දුන් නැත්නම් යන්නෙත් නැහැ

දෙකෙන් අඩුව ගන්නෙත් නැහැ'',

"අපි කවුරුද, යක්කු පැටව්‍

කොහෙන් ආවේ

පාතාලේන්

ලේ බීලයි මේ එන්නේ

සල්ලි නොදුන්නෝත්

ලේ බොනවා....''.

මීගමුවේ නත්තල මෙන්ම කොරොස්ම හෙවත් පාස්කු සමයේ ද මීගමුවටම හිමි සුවිශේෂී සංස්කෘතික අනන්‍යතාවයක් නිරූපනය කරන සමයකි.


මාකස් ප්‍රියන්ත පෙරේරා.

19/04/25


photo courtesy Riyanzi Pushpamal

Friday, 7 March 2025

ආබාධිත ප්‍රජාවගේ අයිතීන් සුරැකිය හැක්කේ කෙසේද?

 


වැඩි ජන්ද 9000 කට වඩා ලබමින් බ්‍රිතාන්‍යයේ Penistone and Stocksbridge අසුන නියෝජනය කරමින් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට තේරීපත්වූ Marie Tidball ගේ මංගල පාර්ලිමේන්තු කතාවට ඇහුම්කන් දෙන්න... ඇයගේ එම කතාව තුල ඇය ස්තුති කරන්නේ ඇය වටාවූ සමාජය. ජනතාවටය. ආබාධ සහිතව, ජීවිතයත් මරණයත් අතර අවිනිශ්චිත අන්තයක, උපත ලබන ඇය කුඩා දරුවෙක් ලෙස පටන්ම රටේ අනෙක් දරුවන්ට හිමිවන සියළු අවස්ථාවන් ලබමින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නීතිය හැදෑරීම හා අචාර්ය උපාධියක් දක්වා ඉගැනීමට අවස්ථාව සලසාදීම ගැනත්, පාර්ලිමේන්තු මංත්‍රීවරියක් ලෙස තෝරා පත්කර ගැනීම ගැනත් සිය ප්‍රදේශයේ ජනතාවටත්, මහජන බදු මුදලින් ඇය ලැබූ සියළු දේ සම්බන්ධවත් බ්‍රිතාන්‍යයේ ජනතාවටත් ස්තුතිවන්ත වෙයි. ඇය මෙම හදපිරි ප්‍රණාමය පිරිනමන්නේ මෙහි ජන සමාජයටත්, එහි පුරවැසියාටත් අවංකවමය. එමෙන්ම ඇය කුමන අපහසුතා පැවැතිය ඇය පෙරලා සමාජයට ඉටුකරන කාර්‍යභාරය සුළු පටු නොමැත. පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ඇගේ සේවය අති විශාලය.

මේ කාරණය ඉදිරිපත් කරන්නේ දයාසිරි ජයසේකර මංත්‍රීවරයා සුගත් වසන්ත මංත්‍රීවරයා සම්බන්ධයෙන් සිදු කළ වාචාල, ශෝබන ප්‍රකාශය සම්බන්ධවයි. දයාසිරි ජයසේකර මංත්‍රීවරයා සමාව ගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. එසේ සමාව ගැනීමෙන් පමනක් මෙම ප්‍රශ්න කෙළවර වන්නේ නැත. එනම් හෙටත් සුගත් වසන්ත මංත්‍රීවරයාට පමණක් නොව වෙනත් ජන ප්‍රජාවකට පවා අශිෂ්ට, අශීලාචාර ලෙස, නින්දා සහගත ලෙස රට වැසියා කතා කිරීම නවත්වයිද? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාම පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් ලෙස සිටියදී තවත් මංත්‍රීවරයෙකුගේ "අම්මත් පිස්සන් කොටුවේ හිටියේ, නංගිත් පිස්සන් කොටුවේ හිටියේ" යැයි පාර්ලිමේන්තුවේ කියන වීඩියෝවක් මම දැක ඇත ( එය ද පහලින් පලකරමි). මේ කාරණය සදහන් කළේ කිසිවෙකු අහිංසක නැතයි කියන්න ය. දයාසිරිට හෝ වෙනත් ඕනෑම අයෙකුට ගල් ගැසීම පහසුය එහෙත් අපි හැමෝම එසේ නොකරන, එසේ නොකර සිටින මිනිස්සුන් වෙන්නේ කවදා ද?

එහෙම මිනිස්සුන් බිහිවෙන්නේ තවත් ජන ප්‍රජාවක් හෙලා දකින, අපවාද, නින්දා අපහසකරන නොකරන සමාජයක් ගොඩනැගුණු විටය. එය බිහිවෙන්නේ එවැනි දේ වැරදි යැයි තේරුම් ගත් අධ්‍යාත්මික වශයෙන්ම දියුණු ජනතාවක් බිහිව්ම තුල පමණක් නොවේ: එසේ කිරීම වැරදි යැයි නීතියක් පවතින රටකය.

'රට වටකර වැට බැන්ද ද, කට වටකර වැට බදින්න බෑ' යැයි ලංකාවේ කියමනක් තිබේ. මිනිස්සු කියන දේවල් නැවැතිය නොහැකි බව එහි අදහසයි. එහෙත් එසේ කිරීමෙන් කිසිවෙකුට හානියක් සිදුවන්නේ නම් එහිලා නිතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ප්‍රස්ථා පැවැතිය යුතුය. බ්‍රිතාන්‍යයේ නම් කිසියම් ජනප්‍රජාවක් පමණක් නොව එම ජන ප්‍රජාවේ එක් කෙනෙකුට හෝ අගතියක් සිදුවුවහොත් එහිලා ගත හැකි ක්‍රියාමාර්ග නිතිය අනුවම පෙන්වා දී තිබේ. එමගින් එම ප්‍රජාවන්ගේ අයිතීන් සුරක්ෂිත කළ හැක.

අප උගත් කොළඹ විශ්ව විද්‍යාලයෙන්ම ඉතිහාසය පිළිබඳව ප්‍රථම පංතියේ සමාර්ථයක් ලද ද, කොළඹ විශ්ව විද්‍යාලයේ අචාර්ය මණ්ඩලයට බදවා නොගැනීමෙන්, සුගත් වසන්තට පැහැදිලිව අසාධාරණයක් සිදුව තිබුණි. සිය දෘශ්‍යාබාධ තත්වය තුල තමන්ට අසාධාරණයක් වූවා යැයි දක්වමින් ඒ මහතාට අධිකරණයෙන් හෝ පිහිටක් පැතීමට අවස්ථාවක් උදාවූවා නම් එය රටේ තවත් ජන සමාජයක් සවිබල ගැන්වීමට හේතුවිය හැකිව තිබුණි. කිසිවෙකු ආබාධිතයෙක් වීම නිසා නොසලකා හැරීමට ලක්නොවිය යුතුය. සුගත් වසන්ත මහතා එවැනි නිතිමය ක්‍රියාමාර්ගයකට යොමුවූයේ ඇතැම්විට ඔහු අපේ ද ගුරුවරයෙකු විය හැකිව තිබුණි. එසේ වුවා නම් ලාංකික සමාජය තවත් අඩියක් ඉස්සරහට යනු ඇත.

නිදහසින් පසු ගෙවී ගිය 76 වසරම ශාපයක් නොවේ. දෘශ්‍යාබාධ තත්වයකින් පසුවන සුගත් වසන්ත මහතාට කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රථම පංතියේ සමාර්ථයක් ලැබීට හැකි තත්වයක් දක්වා රට විවිධ විනාශයන් හමුවේ පවා අඛණ්ඩව ඉරියට ගොස් ඇත. එහෙත් ලෝකයේ සෙසු රටවලට සාපෙක්ෂව අප තවමත් දියුණුවෙමින් පවතින රටකි. එය බොහෝ කාලයක් තිස්සේ පවතින්නේ එතැනමය.

මේ එකතැන පල්වෙමින් එකිනෙකා සමග උරුම්පූට්ටුවෙමින්, එදිරිවාදිකම් නඩත්තු කරමින් යන ගමනින් රට නන්වාලිය නොහැක. ඒ සදහා අවශ්‍ය නිති සකසමින්, එම නීති ක්‍රියාත්මක කරමින්, නිසි වේගයකින්, අවශ්‍ය වෙනස්කම් කරමින් ඉදිරියට යායුතු. මේ ආණ්ඩුවට පැවැරී ඇති වගකීම ඒකය. එහිලා Marie Tidball මහත්මියගෙන් සුගත් වසන්ත මහතාට ද, දෘශ්‍යාබාධිත David Blunkett ව ස්වදේශ ඇමැතිවරයා (home secretary) ලෙස පත්කරගත් බ්‍රිතාන්‍යයේ ටෝනි බෙලයාර් (Tony Blair) ගේ හා ආබාධිතයන් නම දෙනෙකුට පාර්ලිමේන්තු වරම් හිමිකර දෙමින් පාර්ලිමේන්තුවේ නීති සම්පාදන ක්‍රියාවලිය තුල වඩාත් පලදායි ලෙස ඔවුන් ක්‍රියාවේ යොදවා ඇති වත්මන් අගමැති කිර් ස්ටාමර් (Keir Starmer) ගේ කම්කරු පක්ෂ රජයන්ගෙන් ද (Labour party governments) මාලිමා රජයට බොහෝ දේ උගත හැක.

මාකස් ප්‍රියන්ත පෙරේරා

06/03/25

Marie Tidball ගේ මංගල පාර්ලිමේන්තු කතාව

👇👇👇👇


Tuesday, 4 March 2025

යුගයේ අභියෝගය කීර් ස්ටාමර් කරට ගනී ද?



ඇමැරිකාවේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කිට එරෙහිව ඇමැරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් එල්ලකළ දැඩි වාග් ප්‍රලාපයන් සමග ඇතිවූ දේශපාලන තිගැස්ම මට මතක් කළේ 2019 දී Tom Holland (ටොම් හොලන්ඩ්) පළකළ 'Dominion: The Making of the Western Mind' නම් කෘතියේ ඉදිරිපත් කරන තර්කයකි.

ටොම් හොලන්ඩ්ට අනුව පුරාණ ලෝකය සහ නූතන ලෝකය අතර ඇති ශ්‍රේෂ්ඨතම වෙනස නම් පැරණි ලෝකය හෙවත් ක්‍රිස්තු පූර්ව යුගය සමාජ ගෞරවය, බලය සහ වාචාලත්වය (honor, power, adominance and rhetoric) මත නිර්මාණය වූවක් වන අතර එය ශක්තිය සහ ජයග්‍රහණ ගැන ගුණ ගරුක විය යුතු යුගයකි. එහෙත් නව ලෝකය හෙවත් ක්‍රිස්තු දර්ශනයේ බලපෑම මත දිගහැරෙන ක්‍රිස්තු වර්ෂ යුගයේදී මනුෂ්‍යයත්වයේ උතුම්කම, ආදරය, සමාවදීම සහ දුබලයන්ට, පීඩිතයන්ට කාරුණික වීම (humility, love, forgiveness, caring for the weak and oppressed ) වැනි කරුණු අවධානයට ලක් කරයි. පැරණි ලෝකය හා නූතන ලෝකය ලෙස ටොම් හොලන්ඩ් (Tom Holland) 2019 දී බෙදා දක්වන මෙම වෙනසේ පදනම ලෙස ඔහු දක්වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් හා බයිබලයේ නව ගිවිසුමයි (New Testament)

යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි පසුගිය සිකුරාදා ඇමැරිකාවේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ජනාධිපති ට්‍රම්ප්ව මුණ ගැසීමට පෙර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ද බ්‍රිතාන්‍යය අගමැති කීර් ස්ටාමර් ද ජනාධිපති ට්‍රම්ප්ව මුණගැසුන අතර එහිදී ඔවුන් දෙපොළම යුක්‍රේනයේ යුද්ධය සදහා ස්ථීරසාර විසදුමක අවශ්‍යතාවය මතුකර තිබුණි. එම අවස්ථා දෙකේදීම යුක්‍රේනයේ යුද්ධය සදහා ඇමැරිකාව දරා ඇති වියදම ගැන ජනාධිපති ට්‍රම්ප් කරුණු ඉදිරිපත් කළහ. ජනාධිපති ට්‍රම්ප් එසේ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවක ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ට්‍රම්ප් ජනාධිපතිට අත තබා එම කතාවට බාධා කලේය. බ්‍රිතාන්‍යය අගමැති කීර් ස්ටාමර් ඉදිරියේදී ද ජනාධිපති ට්‍රම්ප් යුක්‍රේනයේ යුද්ධය සදහා ඇමැරිකාව දරා ඇති වියදම ගැන කියත්ම අගමැති කීර් ස්ටාමර් රාජ්‍යය තාන්ත්‍රික ඉරියව්වකින් ජනාධිපති ට්‍රම්ප්ගේ එකී කතාවට බාධා කලේය.

යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි හමුවේද ජනාධිපති ට්‍රම්ප් එසේ කරුණු ඉදිරිපත් කිරීම කෙලවර වූයේ දැඩි වාග් සංග්‍රාමයකිනි. එය දෙපාර්ශවයටම පිලිගත් රාජ්‍යය තාන්ත්‍රික හැසිරීම ඉක්මවා ගිය ලැජ්ජා සහගත අවමානයක් බව පැහැදිලිය. එවැනි වාග් ප්‍රහාරයන් හා හැසිරීම් වලින් කිසිවෙකු ජය ලබන්නේ නැති වුවද දෙපාර්ශවයටම තම තමන්ගේ ස්ථාවරයන් ගැන දැඩි අධිෂ්ඨානයකින් තහවුරු කිරීමට අවස්ථාවක් සැලසෙන බව නම් කිව යුතුමය. ජනාධිපති ට්‍රම්ප්ගේ පදය අනුව රැසියාව හා ඇමැරිකාව අතර ඇතිවන එකගතාවයකින් යුද්ධය අවසන් කිරීමට තමන් හෝ යුක්‍රේනය එකගවන්නේ නැති බව ජනාධිපති සෙලෙන්ස්කිගේ ස්ථාවරය පොලීකාරයෙක් ලෙස හැසිරෙන ඇමැරිකානු ජනාධිපති ට්‍රම්ප් හා උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් කියවා ගන්නට ඇත.

ධවල මන්දිරයෙන් එළියට බැසගත් යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි කෙලින්ම ලංඩනය බලා ඒමත්, එහිදී බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර් පමණක් නොව චාල්ස් රජ පවා ඔහුව ඉතා ඉහලින් පිලිගැනීමත් තුල ජනාධිපති සෙලෙන්ස්කි හෝ යුක්රේනය හුදකලා නොවන බව යුක්‍රේන ජනතාවට පමණක් නොව ඇමැරිකා එක්සත් ජනපදයට ද, රුසියාවට ද, ලබා දුන් පණිවිඩය විය. එපමණක් නොව යුරෝපයේ රාජ්‍යය නායකයින් කැදවා බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගාව ආසන්නයේ ඇති ලැන්කැෂර් හවුස් හි දී ආරක්ෂක සමුළුවක් කැදවීමට ද බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර් සමත්විය. යුක්‍රේනයේ ආරක්ෂාව වෙනුවෙන් බ්‍රිතාන්‍යය පමණක් නොව යුරෝපයේම සහය ලැබෙන බව ඉන් ප්‍රකාශයට පත්විය.

බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර් බලයට පත්වීමෙන් පසු ඔහු මේ ගෙවන්නේ ඔහුගේ දේශපාලන ජීවිතයේ හොදම සතිය යැයි කිවහොත් ඔහුගේ දරුණුතම විරුද්ධවාදීන් වන කෝබීන්වාදීන් හා නයිජල් ෆෙරාජ් පවා පිළිගත හැක. කීර් ස්ටාමර් ඩව්නිං වීදියට ඇතුළු වූ දා සිට එතරම් තීරණාත්මක දේශපාලන නායකත්වයක් ලබාදුන්නේ නැති බව ඔහුගේ විවේචකයින් විසින් උපහාසයට ලක් කර තිබුණි. එහෙත් පසුගිය සතිය වන විට කීර් ස්ටාමර් රට අභ්‍යන්තරයේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද සිය දේශපාලන අස්ථානය තවුරුකරගත් නායකයෙක් බවට පත්විය. මෙම "නව ස්ටාර්මර්" යනු දේශපාලන යුග මෙහෙවරක් කිරීමට හා එහිලා අවශ්‍යය නායකත්වය දීමට විශ්වාසයක් හා හැකියාවක් ඇති නායකයෙක් බව ප්‍රකට කළේය. මෙය පසුගිය සතිය මුලදී වොෂින්ටනයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිම තුලින්ම ප්‍රකට කළේය. ජනාධිපති ට්‍රම්ප් සමග සාකච්ඡාවේදී බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර් සාකච්ඡාවට ප්‍රවේශ වූයේම ඔහු පුරුදු පුහුණුව සිටි සම්මුති විරහිත විශිෂ්ඨ මානව හිමිකම් නීතිඥවරයාගේ චරිතයෙන්ය. අගමැති කීර් ස්ටාමර් කලකට පෙර බ්‍රිතාන්‍යය රජයේ තීන්දු පවා ආපසු හැරවූ අති ප්‍රබල මානවහිමිකම් නීතිඥවරයෙක් විය.

අගමැතිවරයා වශයෙන් පසුගිය දින කිහිපයේදී කීර් ස්ටාමර් ප්‍රකට කළේ ඔහු කලින් පනපෙවූ "නපුරට එරෙහි ශිෂ්ටත්වයේ" මූලධර්මයන් ය. එනම් බ්‍රිතාන්‍යය හා යුරෝපය තවදුරටත් පෙනී සිටින්නේ මහා බල තරඟය වෙනුවෙන්වත්, සිය බලපෑමට සෙසු ක්ෂේත්‍රයන් අත්කර ගත යුතු යටත් විජිත සූරාකෑමේ ප්‍රාථමික තත්වය වෙත ආපසු යෑම වෙනුවටවත් නොව ආක්‍රමණිකයාට එරෙහිව සිය අසල්වැසියාගේ ආරක්ෂාව හා පීඩිතයාගේ යහපැවැත්ම වෙනුවෙන් වූ සදාචාරාත්මක රාජ්‍යය තාන්ත්‍රික ස්ථාවරයක් වෙනුවෙන් ය. එ සදහා යුරෝපයේ සෙසු නායකයින් ද එකග කරගැනීමට බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාමර්ට හැකිවූ බව බ්‍රිතාන්‍යයේ පැවැති බ්‍රිතාන්‍යය ආරක්ෂක සමුළුවේ ඒකාබද්ධ නිවේදනයෙන් පිලිඹිබු වේ. අගමැති කීර් ස්ටාමර්ට යුක්‍රේනය හා ඇමැරිකාවේ ට්‍රම්ප් පරිපාලනය සමග සහයෝගයක් ගොඩනැගීමේ මැදිහත්කරු ලෙස කටයුතු කිරීමට දැන් අවස්ථාවක් උදාවි ඇත. එකී ප්‍රවනතා ඔස්සේ යුක්‍රේන යුද්ධයට පිලිගත හැකි ස්ථීරසාරව විසදුම් සෙවීමට සිය යූරෝපියානු හවුල් කරුවන් සමග කටයුතු කිරීමේ දැඩි අභියෝගය ද එල්ලවි ඇත. එය කිසිසෙත්ම පහසු කටයුත්තක් නම් නොවනු ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා
03/03/25

Tuesday, 21 January 2025

වික්ටර් අයිවන් තුල වු නිරන්තර කැරලිකරුවා ඔහු තුල නිදන් කළේ කව්ද?


වික්ටර් අයිවන් සම්බන්ධයෙන් මගේ උනන්දුව කාරණා කිහිපයක් ඔස්සේ දිවයයි. එකක් නම් වික්ටර් අයිවන් කිතුණුවෙකු බවත්, ඔහුට පියතුමෙකු වීමේ ආශාවක් තිබූ බවත්, කුමන වූ හේතුවක් නිසා ඔහුට එය මගහැරුනු බවත්, මා අසා ඇති කතාවකි.

එම කථාව කිව්වේ අප කලින් එකට වැඩ කළ සංවිධානක් තුල සිදුවූ සාකච්ඡාකදී වික්ටර් අයිවන්ට වි. අයි. (V.I.) යැයි කෙටි යෙදුමක් භාවිතා කළ සිරිල් අය්යා බව මගේ මතකයයි. මා වැරදි නම් සිරිල් එඩේරමුල්ල මහතාට එය ප්‍රතික්ෂේප කළ හැක. 1971 අප්‍රේල් කැරැල්ලට පෙර වික්ටර් අයිවන් මහතාගේ ජීව දත්ත පිළිබඳව නිසි තොරතුරු මා සතුව නැති නිසා ඔහු ගැන මා අසා ඇති කතාවේ අගක් මුලක් ගැන කීමට මම නොදනිමි. වික්ටර් අයිවන් මහතා මියගිය පසු ඔහු ගැන පළවී ඇති ඇතැම් විස්තර වල ඔහු ගාල්ල ශා. ඇලෝසියස් පාසැලේ උගත් අයෙකු ලෙස ද, ඇතැම් විස්තර වල ඔහු මහනුවර කටුගස්තොට ශා. අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලෙස ද දක්වා ඇති පසුබිමක් තුල ජනතා විමුක්ති පෙරමුණත් සමග දිගහැරනු ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වයට පෙර ඔහුගේ පසුබිම ගැන මා තුල පමණක් නොව රට තුල ද ඇත්තේ අපැහැදිලි චිත්‍රයක් හා සීමිත දැනුමක් බවට සැකයක් නැත.

මා වික්ටර් අයිවන් සම්බන්ධයෙන් උනන්දුවෙන දෙවන කරුණ නම්, 1971 ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද ආයුධ සන්නද්ධ පළමු කැරැල්ලේ 7 වන විත්තිකරු ලෙස දඩුවම් විද, 1977 නිදහස් වීමෙන් පසු දිග හැරුණු ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වයයි.

ඔහුගේ එම ක්‍රියාකාරිත්වය අවශ්‍ය නම්:

A) 'රාවය' ආරම්භ කිරීමට පෙර යුගය,

B) 88/89 ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ලෙන් පසු 1994 චන්ද්‍රිකා බලයට ගෙන ඒම,

C) 'චෞර රැජින' ගෙන් පසු චෞර යුගයේ වික්ටර් අයිවන්

ආදී ලෙස කොටස් කිහිපයකට හෝ බෙදා වෙන, වෙනම විමසා බැලිය යුතු තරම් විශාල සංදර්භයක් සහිතය.

හිරෙන් නිදහස්වී ලංකා සමසමාජ පක්ෂයෙන් ගාල්ල ආසනයට තරඟ කල ඔහු පසුව ජාතිකවාදී ගුණදාස අමරසේකරලාගේ ගොඩේ සිටගෙන ඇත. එය සුනන්ද දේශප්‍රිය මහතා ද ලියා තිබුණි. එය ඔහුගේ විශාල දේශපාලන විපරිවර්තනයක මුල් අවස්ථාව බදුය. පසුව ප්‍රකට පුවත්පතක් වූ 'රාවය' සඟරාව දියත් කරමින් ලාංකික රාජ්‍යය අභ්‍යන්තරයෙන්ම කුණුවීම සම්බන්ධයෙන් දූෂණ, විෂමතා ඇසුරෙන් පෙන්වා දෙමින් ඔහු නැවත බලපෑම් සහගත ලෙස දේශපාලන කරලියට ප්‍රවිශ්ඨ විය.

88/89 යේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල සමයේ දී රාජ්‍ය බලයට අභියෝග කරමින් මැතිවරණ වර්ජනය කිරීමට බල කළ ජ.වි.පෙ දේශපාලනයට හතුරුව සිට ගත් වික්ටර් අයිවන් ජන්ද බලය වෙනුවෙන් පෙනී සිටියේය. පසුව එම චන්දයෙන් බලයට පත් රණසිංහ ප්‍රේමදාස යුගයේ ජන ඝාතනවලට එරෙහිව හඩ නැගුවේය. සූරිය කන්දේ මරා වළලා දැමූ යෞවනයට යුක්තියක්, සාධාරණයක් වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ගෙන ඒමට කටයුතු කළේය. පසුව චන්ද්‍රිකගේ ව්‍යාජ දේශපාලනය හෙළිකරමින් ඊට එරෙහිව හඩ නැගීය.

ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක හෙළිකරමින් ඔහු ලියූ 'චෞර රැජින' කෘතියත් සමග චන්ද්‍රිකා බණ්ඩාරනායක සම්බන්ධයෙන් පමණක් නොව ඔහුගේ භාවිතය සම්බන්ධයෙන් ද ව්වේනයක් ගොඩනැගෙන්නට විය.

මේ ගොඩනැගී ඇත්තේ චෞරයින්ගේ යුගයක් ය/තව දුරටත් පරමාදර්ශ යනුවෙන් කිසිවක් ඉතිරිවී නැත ය/ රාජ්‍යය පමණක් නොව පුරවැසියා ද, රාජ්‍යය නායකත්වයේ සිට එහි පහලම ස්ථරයන් ද දක්වා වූ සියල්ල තුල දූෂණය ඉහවහ ගොස් ඇත ය/ අප ජීවත්වන්නේ අතිශය කුණුවූ සමාජයක ය, යනුවෙන් රටවැසියා තුල තර්කයකින් තොරව මුල් බැසගත් මතයක් නිර්මාණය වීමට වික්ටර් අයිවන් ගේ මධ්‍යය භාවිතය දායක වූ බව පෙනී යන්නකි.

සරත් එන් සිල්වා අගවිනිසුරු කිරීමට චන්ද්‍රිකා බණඩාරනායක ජනාධිපතිනිය ගත් තීන්දුව හෙළා දකිමින් උඩියටිකුරු පින්තූරයක් දමමින් අභීත මාධ්‍යය භාවිතයක නිරත වුව ද, රටේ ජනාධිපතිගේ සිට විනිසුරුවරුන් දක්වා කිසිවෙකුට නොපැකිලව අභියෝග කළ හැකි ගවේෂණාත්මක මාධ්‍යය භාවිතයක නියලුණ ද, හිරෙන් නිදහස් වූ පසු වික්ටර් අයිවන් ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය හා ඔහුගේ මාධ්‍යය භාවිතයේ සාධණීය හා නිෂේධනාත්මක බලපෑම සම්බන්ධයෙන් සිදුකරන විමසුම් අරභයා ඔහු පිලිබදව වූ මගේ උනන්දුව දිව යයි.

වික්ටර් අයිවන් සම්බන්ධයෙන් මම උනන්දු වෙන අනෙක් කරුණ නම් ඔහුගේ අධ්‍යයන ක්ෂේත්‍රයන්‍ ය. විශේෂයෙන්ම ලංකාවේ කුල ක්‍රමය හා එහි සමාජ - දේශපාලන බලපෑම සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කර ඇති විග්‍රහයන් අපි ඉගෙන ගත් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාගේ විග්‍රහයන් වලටත් වඩා තියුණුය. කරණු සහගතය. විග්‍රහය අතින් ද විනිවිද යන සුළුය. උදාහරණයක් ලෙස වික්‍ටර් අයිවන් මහතා ලියූ 'ශ්‍රි ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම' කෘතියේ 164 පිටුවේ සිට ඉදිරිපත් කරන කාරණා විමසා බලන්න..

71 කැරැල්ලේ කුල පසුබිම ගැන කරුණු සලකා බලන ඔහූ 1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ල හදුන්වන්නේ පිරිසිදු අර්ථයෙන් පීඩිත කුල විසින් දියත් කරන ලද කුල අරගලයක් ලෙසවත්, පිරිසිදු අර්ථයෙන් පංති අරගලයක් ලෙසවත් නොවේ. එය එක විට "ඒ දෙකම" ලෙසය. ඔහු එය "එක අතකින් බලන විට එය පීඩිත පංති වලට අයත් තරුණයන්ගේ ධනපති විරෝධී නැගිටීමක් වූ අතර අනෙක් අතට බලන විට පීඩිත කුලවලට අයත් තරුණයන්ගේ වැඩවසම් විරෝධී නැගිටීමක් ද විය" යැයි දක්වයි...(166 පිටුව).

එම පදනමින්ම 1988/89 දියත් වූ ජනතා විමුක්ති පෙරමුණේ දෙවෙනි කැරැල්ල ද "පීඩිත පන්තිය හා පීඩිත කුලය එක් තැන්කල කැරැල්ලක්" යැයි දක්වයි. මෙම කෘතිය පලකළ 1989 රටේ පැවැති තත්වය ඇසුරෙන් සිය විග්‍රහ කරමින් වික්ටර් අයිවන් දක්වන්නේ: "71 කැරැල්ල තුළ පීඩිත කුලය නමැති සාධකයට ලැබී තිබුණු වැදගත් කමට වැඩි වැදගත්කමක් මේ කැරල්ල (88/89 කැරැල්ල) තුළ එම සාධකයට ලැබී ඇති බවක් ද පෙනෙන්නට ඇත්තේය. ජ. වි. පෙරමුණේ වර්තමාන ව්‍යාප්තිය දෙස බලන විට ග්‍රාමීය සමාජයේ පීඩිත කුල සඳහා වෙන් වී තිබෙන ගම්වල ජ.වි. පෙරමුණේ තත්ත්වය ඉතා ශක්තිමත් බවත්, පීඩිත කුල නොවන ගම්වල ඔවුන්ගේ තත්ත්වය දුර්වල බවත්, මිශ්‍ර ගම්වල සාමාන්‍ය වශයෙන් ශක්තිමත් බවත් පෙනෙන්නට ඇත්තේ ය."(පිටුව 168) යැයි යනුවෙන් "කුලය හා කැරලි" අතර ඇති සම්බන්ධය ඔහු 88/89 යේ ජ.වි.පෙරමුණේ දෙවන කැරැල්ල ඇසුරෙන් ද ගෙනහැරපායි.

2000 පසු ගෙවී ගිය දශක දෙකේ ජනතා විමුක්ති පෙරමුණ හා එහි පදනම අරභයා "කුල සාධකය" ක්‍රියාත්මක වූ ආකාරය සොයා බැලීමට වඩා ඔහු කළේ, ජ.වි.පෙ. ඇසුරෙන් ඔහු ඉදිරිපත් "කුල සාධකය" උතුරේ යුද්ධය ඇසුරෙන් ද, විශේෂයෙන්ම L.T.T.E. තුල ක්‍රියාත්මක වූ ආකාරය ඇසුරෙන් ද සොයා බැලීමයි. එය එක්තරා ආකාරයකට "කුලය හා කැරැලි" සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ උපන්‍යාසය (hypothesis) සාධනය කිරීමට උත්සාහ දැරීමකට සමාන යැයි පෙනී ගිය ද වික්ටර් අයිවන් උත්සාහ කළේ කිසියම් දෘෂ්ටිවාදී ඇසකින් ලාංකික පීඩිතයන්ගේ දේශපාලනය කියවා ගැනීමට හා එය විචාරය කිරීමට බව මගේ අදහසයි. ඔහුගේ බොහෝ රචනා තුල පීඩිතයාගේ පැතිකඩ නිරන්තරයෙන්ම මතු කිරීමක් දැකිය හැක. එය ඇතැම්විට ඔත්පලව හෝ ඔහු තුලම නිදන්ව උන් නිරන්තර කැරැල්ලකරුවාට නැවත නැවතත් පණ පෙවීමක් වැනිය.

එහෙත් මගේ ප්‍රශ්ණය නම් ඔහු තුල වූ ඒ නිරන්තර කැරලිකරුවා ඔහු තුල මුල්බැසගත්තේ කෙසේද? ඔහු තුල නිදන් කළේ කවුද? ආගම ද? දේශපාලනය ද? නැතහොත් ඔහුගේ සමාජ පසුබිම ද? ඔහුගේ අන්තිම කැමැති පත්තරය අනුව නම් ඔහු ආගමෙන් සහමුලින්ම ඛණ්ඩනය වී ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා
20/01/25.

# පසුව ලියමි.

වික්ටර් අයිවන් කිතුණුවෙකු බවත්, ඔහුට පියතුමෙකු වීමේ ආශාවක් තිබූ බවත් සිරිල් එඩේරමුල්ල මහතා 21/01/25 දින සනාථ කර තිබුණි. ඒ මහතාගේ පිලිතුර මෙසේය:

"VI පූජා උදව් සේවයේ යෙදුන බව මා ද ඇතුළු පිරිසක් ඉදිරියේ පැවසුවේ ඔහුමයි. 1978 තරමේ ලංකා කතෝලික සංගමය, පිටකොටුව 6 පාවුළු මධ්‍යස්ථානයේ පැවැත්වූ සාහිත්‍ය උත්සවයේ කථිකයා ලෙස පැමිණි විටයි VI ඒ හෙළිදරව්ව කළේ. සිය ශිෂ්‍ය සමයේ වසරක සිංහල අවුරුදු දිව්‍ය පුජාවක් පැවැත්වූ ගාල්ල ශා. ඇලෝසියස් විද්‍යාල අල්තාරයට, රටට ගෞරවයක් ලෙස ජාතික ධජයක් තබමුයි ඔහු පියතුමාට යෝජනා කර ඇත, පියනම ඔහුව ද බලවත් හෑල්ලුවකට ලක්කරමින් යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ ඉතා කර්කශවය.. එදායින් පසු ඔහු නිරාගමික වී ඇත. එදා කොළඹ සහයක රදගුරු ඔස්වල්ඩ් ගෝමස් හිමි ද එතැන විය.

සිය කථාවේ දී ඔහු හෙළි කළේ මෙ රටට , එඩ්මන්ඩ් පීරිස්, ජෝ ක්වින්ටස් පෙරේරා, මර්සලින් ජයකොඩි බඳු දේශීය පූජකවරු හා යුරෝපීය හැව අත්හළ ගිහියන් අවශ්‍ය බවයි. ඔස්වල්ඩ් හිමි ඒ අදහස ගැන හ්ම් කිව්වේ නෑ. රුහුණු රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ හිමි රාවයේ සමීප පාඨකයෙක් වුනා. මෑතක් වනතුරුම VI ව අගය කළා. ආශ්‍රය කළ බවත් මා දන්නවා.

'ඇද නැති ක්‍රිස්තු චරිතය ගැන ' ඔහු අල්පයක් වූ කිතුනු ලේඛකයන් හා සාකච්ඡා කළ වාර එමටයි.

ඔහු බයිබලයේත් සමීප පාඨකයෙකුව සිටියා.

ඔහු ආගම කරමාලයක් කර ගත්තේ නෑ.

නමුත් ඔහු කරැති හෙළිදරව් හා ඔහු ගෙ මාධ්‍ය හැසිරීම් සියල්ලේම ක්‍රිස්තු චරිත ලක්ෂණ මා නම් දුටුවා.

ඔහු ගෙ සමහර මත ගැන මුහුණට මුහුණ වාද කරන්නටත් අපට ඉඩ තිබුනා.

සාධාරණය ඔහු ගෙ දුරදැක්ම වුනා

යුක්තිය ඔහු ගෙ තිර පැතුම වුනා.

ඒ වා ම පසුකාලීනව ඔහු ගෙ ආගම වුනා.

මෑත ඔහු ගේ ක්‍රියා ගැන නම් අප හිටියෙ එකඟව නොවේ."

# ඊට අමතරව අද දින සිරිල් එඩේරමුල්ල මහතා සිය Facebook ගිනුමේ පළකර ඇති පහත කවිය ද කරන්න උක්ත කරුණ සනාථ කරයි:


                          රාවයෙ පියා

                රාවය අරගෙනම ගියා !


රාවය වචනෙ බලගතු කළ V අයිව න්

ඊයේ සවස දිවි හැර ගිය බව ඇසුණෙ න්

කම්පා වුවත් රට වැසියන් එක හුස්මෙ න්

පවසා හිටියෙ විශ්මිතයෙකි මත දැක්මෙ න්


දහමින් කිතුනුවෙකි VI කුඩා වියේ

පූජක කෙනෙකු වීමට සෙමනේරි ගියේ

ඇද නැති ක්‍රිස්තු චරිතයෙ ගති වලට ප්‍රියේ

එහෙත් ඔහුට ඒ දොර නෑ විවර. වුයේ


ඒ හේතුවෙන් කලකිරුණාවූ හෙතෙ ම

කරමාලයක් සේ නො පැළඳ කිතු දහ ම

නිරාගමික බව ආගම කර ගෙන ම

දුන්නා රටට ගොඩ එන්නට සිය දැනු ම


පත්තරකාරයෙකු වී ඉපදුන රට ට

කළ මෙහෙවරේ තරමට පිය තුමෙකු හ ට

වැඩ කළ හැකිද ඍජු බවකින් ලෝගුව ට

VI නො රිංගූ එක නම් සතුටකි අප ට


සාධාරණය විය ඔහු ගේ දුර දැකු ම

යුක්තිය වීය හැම මොහොතෙම තිර පැතු ම

කරුණ කුමක් වුව ඔහු ගේ ලිපි ගෙතු ම

මෙ රට වෙනත් කෙනෙකුට වී නෑ උරු ම


අග විනිසුරු ද මහ ඇමති ද අගමැති ද

කාගෙන් වුවත් කාහට වූවත් වර ද

තමකම තබා පැත්තක කෙතරම් දිග ද

කළ හෙළිදරව් අමතක කරනුයෙ කවු ද ?


කැබිනෙට්ටුවෙ ද රජ ගෙදර ද පල්ලියෙ ද

රේගුවෙ පොලීසියෙ සම්බුදු ශාසනෙ ද

අයුක්තියට බර වැඩ හෙම කෙරෙනව ද

පෙන්වා දුන්නෙ ඔහු නො නමා පිට කොන් ද


රිදුන මිනිස්සුත් ආවා සොයා ගෙ න

සමහරු ආවෙ දුක්ගැනවිලි ලියා ගෙ න

හැමටම සවන් දුන්නේ අත වෙළා ගෙ න

කිසිවක් කරල නැතිවැති තුති බලා ගෙ න


බිය හැක නැතිව මව්බිම රැක්මට දිවි ය

ඔහු වැය කළා බෝදෙන හට විය පිරි ය

මෑතක වෙනත් මගකට දැරුවත් විරි ය

ප්‍රජාතන්තරේටම ඔහු දුනි සවි ය


පත්තර ලෝකයේ එක් නුගයක් නම් ඔහු ය

'රාවය' එ ලොව මහ ඉන්දරකීලය ය

නොලියා නොහැකි කෝපයකුත් හිත ඇති ය

රාවය මරා දැම්මෙත් රට නොව ඔහු ය


--- සිරිල් එඬේරමුල්ල. ---

2025.01.20.