This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 7 September 2025

කතෝලික සභාව සාන්තුවරයට එසවූ කාර්ලෝ අකුටිස්ගේ දේහය බැලීමට ගියෙමි.

කතෝලික සභාව අද, 07/09/25, දින, 2006 දී ලෙව්කීමියා (leukemia) රෝගයෙන් මියගිය, 15 හැවිරිදි තරුණයෙකු වු කාර්ලෝ අකුටිස් (Carlo Acutis) හා 1925 දී පෝලීයෝ රෝගයෙන් මියගිය, එවකට, වයස අවුරුදු 24 ක් වු, කතෝලික සමාජ ක්‍රියාකාරිකයෙකු වු, ඉතාලි ජාතික, පියර් ජෝර්ජියෝ ෆ්‍රාසාටි (Pier Giorgio Frassati) යන තරුණයින් දෙදෙනා සාන්තුවරයට ඔසවනු ලබයි.

මේ අතරින් කාර්ලෝ අකුටිස් (Carlo Acutis) ගේ නාමය අප අතර නිතර රැදී පැවැතියේ ඔහු ඉතා මෑතකදී මිය ගිය තරුණයෙකු නිසාම පමණක් නොව ඔහුගේ දෙමාපියන් ලංඩනයේ පැවැත්වූ දේශන මාලාව නිසාය.

ඉතාලි ජාතික දෙමාපියන්ට දාව 1991 මැයි 3 දින ලන්ඩනයේ උපන් කාර්ලෝ අකුටිස් (Carlo Acutis) හැදී වැඩුනේ ඉතාලියේ මිලානෝ නගරයේය.

පරිගණක තාක්ෂණයට, සමාජ මාධ්‍යය භාවිතයට කුඩා කල පටන්ම අති විශේෂ දක්ෂතාවක් දක්වා ඇති කාර්ලෝ අකුටිස් එම දක්ෂතාවය යොදාගෙන ඇත්තේ සිය සම වයසේ මිතුරු මිතුරියන් අතරේ යහපත්කම හා විශ්වාසය වර්ධනය කරන ආකාරය උගන්වන ආදර්ශයක් ලෙසය. තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය යොදාගනිමින් සිය ජීවිතය තුල මුල් බැසගෙන තිබූ ක්‍රිස්තියානි ඉගැන්වීම් හා වටිනාකම් බෙදාගැනීම ඔහු තුල පුදුම සහගත කැපවීමක් තිබී ඇත.

ඔහු ඉතාම කුඩා වියේ පටන්ම සිය දෙමාපියන්ටත් වඩා කතෝලිකයෙක් විය. බහ තෝරණ වියේ සිටම ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කිරීමටත් , දිව්‍ය සත්ප්‍රසාදය තුල ක්‍රිස්තුස් වහන්සේ නිරන්තරයෙන් වැඩ සිටින බව තහවුරු කිරීමටත් අතිමහත් උත්සහයකින් කටයුතු කර තිබුණි. ඔහු ඒ සදහා තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය යොදාගන්නට විය. එම නිසාම ඔහුට “දෙවියන්ගේ සමාජ මාධ්‍ය බලපෑම්කරු” ("God's Influencer") නමින් නාමයක් ද පටබැදුනි. ඒ තරමටම ඔහු සමාජ මාධ්‍ය තුල දෙවියන් වහන්සේ පිලිබදව, ක්‍රිස්තුස් වහන්සේ පිලිබදව, දිව්‍ය සත්ප්‍රසාදය පිලිබදව, කතෝලික ඉගැන්වීම් හා කතෝලික සභාව පිලිබදව සිය විශ්වාසයන් හා ඉගැන්වීම් බෙදාහරින්නට විය.

වයස අවුරුදු 12 වනවිට ක්‍රමයෙන් අසනිපවීමට ගත් කාර්ලෝ අකුටිස් (Carlo Acutis) 15 වෙනි වියේදී ලෙව්කීමියා (leukemia) රෝගයෙන් මිය යන විටත් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ ක්‍රිස්තුස් වහන්සේ පිලිබදවත්, දිව්‍ය සත්ප්‍රසාදය පිලිබදවත් ඉගැන්වීම අත් හැර තිබුනේ නැත.

2006 දී ඔහු මියගිය පසු ද ඔහු ඩිජිටල් මාධ්‍යය තුල බෙදා හැර තිබූ, ඔහු ප්‍රචාරය කළ කිතුණු විශ්වාසන් අදහාගත් පුද්ගලයන් අතරින් ලෙඩ රෝග සුව වීම් හා ප්‍රාතිහාර්ය වාර්තාවන්නට වීම නිසා, කාර්ලෝ අකුටිස් (Carlo Acutis) ගේ දේහය නැවත ගොඩගැනීමට තීරණය කළේය. සියල්ලන් මවිත කරමින් ඔහුගේ දේහය නොදිරා තිබුණි.

මේ සිදුවීම මෙම සියවසේ කිතුණුවන් අතර මහත් අවධානයට ලක්වූ සිද්ධියක් විය. තුනී සිලිකන් ආවරණයකින් ආරක්ෂා කර ඇති ඔහුගේ දේහය මහජන ප්‍රදර්ශනය සදහා ඉතාලියේ, අසීසි නුවර, සාන්ත මරියා මැජියෝර් දේවස්ථානයේ තැම්පත් කරනු ලැබීය. අපි ගෙවී ගිය මේ අගෝස්තුවේ (2025) අසීසියට ගිය විට එම දේහය බැලීමට ගියෙමු.

ඔහු විශ්මයජනක තැනැත්තෙකු බව ඔහුගේ එම දේහය දුටු පමණින්ම සිතා ගත හැක්කකි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
07/09/25

No comments:

Post a Comment