This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 21 March 2023

ණය ජම්ම පාපයක් නම් අපිට අහිමිවෙන්නේ සුගති උද්‍යානයද?


 IMF ඒකෙන් ලංකාවට ඩොලර් බිලියන තුනක් ලැබුනා තමයි, හැබැයි ඒකත් ණයක්... අපි ඔය සියලු ආර්ථික සංවර්ධන සිහින දකින්නේ ණය කන්දක් උඩ ඉදගෙන... රටවල් විතරක් නෙමේ මිනිස්සුත් එහෙම තමයි... ගෙවල් දොරවල් යානවාහන තව බොහෝ දේවල් ගන්නේ, කරන්නේ ණය වෙලා... ටික ටික ගෙවනවනේ කියන එක තමයි උත්තරේ... ඒත් ඒ එක්ක අපි පොලියක් ගෙවන්න ඕනේ, අපි පොලියටයි, මුදලටයි දෙකටම ගෙවන්න දිගටම උපයන්න ඕනේ කියන එක ගැන තකන්නේ නෑ... අන්තිමට අපි අපේ වත්කම් කියලා කියන්නේ ණය... අපි උපයලා තියෙන්නේ ණයයි, පොලීයි ගෙවන්න කියන එක අපි දැනුවත්ව හෝ නොදැනුවත්වම අමතක කරනවා, අනාගත ලාභයන් ගැන සිහින දකිමින්  ඒ කාරණය අපි අපේ මතකයේ කෙරවලක තබනවා...

අපි මිනිස්සු විදිහට වගේම, එහෙම හිතන මිනිස්සු ඉන්න රටක් විදිහටත්, අපි දැක්කේ පියවරෙන් පියවර ආදායම් මාර්ග දියුණු කරගෙන සංවර්ධන සිහින සැබෑ කරගන්නවා වෙනුවට කොහෙන් හෝ ණයක් අරන් එකපාර අදායම් වැඩි කරගැනීමයි, එහෙම ආදයම් ගැන පුරෝකතනය කරමින් තව තවත් ණයට වත්කම් එකතුකර ගැනීමයි. අපි සංවර්ධනය කියලා දැක්කේ එහෙම හීන. ඒ සංවර්ධන සිහින අපේ ඇස් ඉදිරියේම බිදවැටුනේ රට බංකොලොත් රටක් වෙලා, මිනිස්සුන්ට දවස් ගණන් පෝලිම්වල තපින්න වෙලා, පැය ගණන් ලයිට් නැතිව ජීවිත  අන්දකාරයට පත් කරලයි. 

අන්තිමට එදිනෙදා දේවල් ටික ගෙන්න ගන්නවත්, විකුණාගන්න මොනවා හරි දෙයක්  හදාගන්නවත්, වවාගෙන කන්නවත් ණයක් ගන්න කෙනෙක් නැතිවුනා. බංකොලොත් රටකට ණය දෙන්නේ කවුද? ඔය IMF උනත් අපිට ණය දුන්නේ අපි අහවල් අහවල් දේවල් කරන්න කටයුතු එකගවෙන නිසයි. 

ඉස්සර ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න IMF එකයි, ලෝක බැංකුවයි, ලෝක වෙළද සංවිධානය යි හැදුන්වුයේ නූතන ධනවාදයේ ත්‍රීමුර්තිය ලෙසයි. ඒ අය පෙනී ඉන්නේ ලෝක ධනවාදී ක්‍රමය පවත්වාගෙන යන්නයි කියන එක තමයි ඔහු අපිට ඉගැන්වුයේ. කවුරුත් ණය නොදී බංකොලොත් වුන ලංකාවට පවා ආපහු ආපහු පාරක් ණය දෙන්නේ (මේ පාර දුන්නේ 17වෙනි වතාවට) මේ එක කොනක හෝ එක රටක් කඩන් වැටුනාම එහි ප්‍රතිවිපාක අනෙක් අයටත් පැතිරෙන නිසයි.. බලපාන නිසයි. අපි ණය කොච්චර ගත්තත් ගොඩ ආපු නැති නිසා මේ පාර IMF එකෙන් උනත් ණය ගත්තේ අමාරුවෙන් වෙන්න පුලුවන්...

"එහෙම ගන්නත් මාර ගේමක් ගහන්න වුනා, රනිල් නැත්නම් ඒකත් නෑ, ඒක රනිල්ගේ ජයග්‍රහණයක් කියලා අයත් ඉන්නවා.." හැබැයි එකත් ණයක්!!

ඇත්ත ජයග්‍රහණය තමයි ණය නැතිව ඉන්න එක... ඒත් ණය නොවී කොහොමද කරගන්නේ කියන එක තමයි අභියෝගය.. ඇත්ත, මේ ක්‍රමය ඇතුලේ ණයක් ගන්නේ නැතිව කරගන්න බෑ තමයි... එහෙම කරන්න නම් අපි වෙනස්ම විදිහට හිතලා, වෙනස්ම විදිහට ජීවත්වෙන්න පටන් ගන්න වෙනවා... හැබැයි එහෙම හිතලා, එහෙම ජීවත්වෙන්න පටන්ගත්තත් මිනිස්සුන්ට ගැලවීමක් නෑ... මොකද රට ගත්ත ණය ගෙවන්න වෙනවා. ඒක පැටැවෙන්නෙත් රටේ මිනිස්සුන්ටමයි. භූමිතෙල් බෝතලේ ඉදන්, පාන් ගෙඩියේ ඉදන්, බෙහෙත් පෙත්ත වෙනකම්ම රටේ මිනිස්සු  වෙනවා... මේ සිස්ටම් එක ඇතුලේ ලේසියෙන් ගැලවීමක් නෑ, බේරීමක් නෑ...

ඉතින් ණය කියන්නේ එක්තරා ආකාරයක කරුමයක්... ජම්ම පාපයක්... එහෙම ගත්තාම  IMF එකෙක් අපිට දීලා තියෙන්නේ සාතාන් ඒවට දීලා, ඒවා ආදම් ට දුන්නා වගේ ඇපැල් ගෙඩියක්... අපිට අහිමිවෙනේ මොකක්ද දන්නවාද? සුගති උද්‍යානය!! සුගති උද්‍යානය අහිමිවීම ගැන  'ආදම්-ඒව සහ ඇපල් ගෙඩිය' ගැන ඔය කතාව කියන බයිබලයේ  කියන්නේ 'උබලට මීට පස්සේ කන්න වෙන්නේ  මුහුණ ඩාදියෙන් පෙගෙනකම් වැඩකරලා, වෙහෙසවෙලා..' කියලයි. අපි දැන් ගෙවමින් ඉන්නේ එහෙම  ජීවිත නෙමේද? සුගති උද්‍යානය කියන්නේ හීනයක්ම විතරද? 

“Cursed is the ground because of you; through painful toil you will eat food from it all the days of your life.

It will produce thorns and thistles for you, and you will eat the plants of the field.19By the sweat of your brow you will eat your food until you return to the ground.." (Genesis 3 17-19).

මාකස් ප්‍රියන්ත පෙරේරා 

21/03/23

1 comment: