This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 8 December 2021

Zurbarán ගේ Immaculate Conception චිත්‍රය, මරියතුමිගේ 'නිර්මල පිළිසිදගැනීම' සහ ස්ත්‍රිවාදීන්

පහතින් දක්වා ඇත්තේ Francisco de Zurbarán නම් ස්පාඤ්ඤ චිත්‍ර ශිල්පියෙක් 1632දී අදින ලද මරියතුමිගේ 'නිර්මල පිළිසිද ගැනීම' (Immaculate Conception) නම් චිත්‍රය ය.

කතෝලික පල්ලිය මරියතුමියගේ නිර්මල පිලිසිදගැනීම සමරන අද දින (08/12) මෙම චිත්‍රය ගැන අවධානය යොමුවෙන්නේ කාරණා කිහිපයක් හේතුවෙනි.

එක් කරුනක් නම් ස්පාඤ්ඤ චිත්‍ර ශිල්පී Francisco de Zurbarán මේ නමින්ම (Immaculate Conception) මේ චිත්‍රයම පදනම් කරගත්, යම් යම් වෙනස්කිරීම් සහ එකතුකිරීම් ඇතුලත්, තවත් චිත්‍ර කිහිපයක් ස්පාඤ්ඤයේ බාසිලෝනා කෞතුකාගාරයේ ඇතුලු කෞතුකාගාර කිහිපයකම දකින්නට තිබීමය. එම චිත්‍ර පසුව සංස්කරණය කරන ලද චිත්‍ර ලෙස සැලකේ.

පින්තුරයේ දැක්වෙන නියම/මුල් (the original) චිත්‍රය සියවස් තුනක කාලයක් අතුරුදන්වී තිබි ප්‍රංශයේ බෝදෝ (Bordeaux) නගරය කිට්ටුව ඇති ලැන්ගොන් (Langon) ගම්මානයේ පරණ පල්ලියක සොල්දෝරයක (attic) තැම්පත් කර තියෙද්දී නැවත සොයාගත්තේ 1863 දි ය.

ඒ, මරියතුමියගේ 'නිර්මල පිළිසිද ගැනීම' (Immaculate Conception) කතෝලික පල්ලියේ ආගමික ඉගැන්වීම්වල නිල මතයක් වශයෙන් නමවන පියුස් පාප්තුමා (Pope Pius IX) 1854දී ප්‍රකාශයට පත්කර වසර 9කින් අනතුරුවය.

ප්‍ර‍ංශයේ ලූර්දු නුවර (Lourdes) බර්නදෙත් සුබ්‍රියු (Bernadette Soubirous) නම් දැරියට මරියතුමියගේ දර්ශනයවීම (Marian Apparition) සහ ලූර්දු නුවර (Lourdes) හාස්කම් සිදුවීම වාර්තාවන්ට පටන් ගන්නේද මෙම කාලය තුලය.

Francisco de Zurbarán ගේ මුල් චිත්‍රය නැවත සොයාගන්නේ නමවන පියුස් පාප්තුමා (Pope Pius IX) 1854 දී 'නිර්මල පිළිසිද ගැනීම' (Mary's Immaculate Conception) නිලවශයෙන් ප්‍රකාශයට පත්කලායින් අනතුරුව වුවද මරියතුමිය යනු 'ජම්ම පාපයෙන් නිර්දෝශව පිලිසිදගත්' (Virgin Mary was free original sin) තැනැත්තියක් යැයි යන්න මධ්‍යකාලීන (Medieval) යුගයේ සිට කතෝලික පල්ලිය තුල විවිධ වාදවිවාදයන්ට, හැලහැප්පීම්වලට ලක්වී ඉදිරියට පැමිණි ආගමික මතයක් බව කතෝලික ආගමික ඉතිහාසය තුල ප්‍රකාශවන්නකි.

ස්පාඤ්ඤ චිත්‍රශිල්පී Francisco de Zurbarán විසින් 1632 දි අදින ලද මෙම චිත්‍රයට නිර්මල පිළිසිද ගැනීම' (Immaculate Conception) ලෙස නම් තැබීම තුලද, මරියතුමියගේ නිර්මල පිළිසිද ගැනීම පිලිබද මතය නමවන පියුස් පාප්තුමා (Pope Pius IX) විසින් 08/12/1854 දින නිකුත්කල 'Ineffabilis Desu' ප්‍රකාශණය මගින් නිල වශයෙන් පිලිගැනීමටත් පෙර, කාලයක් තිස්සේ පැවැති බවට එක් උදාහරණයක්. ඇතැම්විට නියම/මුල් චිත්‍රය කාලයක් සැගවී තිබීමටත්, මුල් චිත්‍රය විවිධ ස‍ංස්කරණයන්වලට ලක්වී සංස්කරණය කරන ලද චිත්‍ර පමණක් ප්‍රසිද්ධව පැවැතීමටත් හේතුව මරියතුමියගේ නිර්මල පිලිසිදගැනීම පිලිබද කතෝලික පල්ලියේ පැවැති විවිධ වාදවිවාදයන් කඹ ඇදීම්, පරස්පරයන් වීමට පුලුවන.

ඒ කෙසේ වෙතත්, නිර්මල පිලිසිදගැනීම පිලිබද කතෝලික ආගමික ඉගැන්වීම කතෝලික පල්ලියවුවද නිලවශයෙන් ප්‍රකාශයට පත්කලේ කලාන්තරයක් තිස්සේ දියත්වු සුවිශේෂවු අධ්‍යනයකින් පසුවය. ඒ සමගත්, සමකාලීනවත් සහ ඉන් අනතුරුව මරියතුමියගේ දර්ශනයවීම් (Marian Apparition) රාශියක් වාර්තාවන්නටවිය.

එමෙන්ම ක්‍රිස්තියානි ආගමේ ආරම්භයේ සිටම කිතුනුවන් අතර මුල්බැසගත් මරියතුමියටවු සුවිශේෂී භක්තිය, මරියබැතිය (Mariology) මරියතුමියගේ නිර්මල පිලිසිදගැනීම (Immaculate Conception) නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීමත් සමග මහත් ගැබුරුකට යොමුකිරීමට හේතුවිය.

කතොලික පල්ලිය 1854 දී මරියතුමියගේ නිර්මල පිළිසිද ගැනීම (Immaculate Conception) පිලිගැනීම ම ස්ත්‍රි අයිතිවාසිකම් වෙනුවෙන්, කාන්තාවන්ට සම අයිතින් දිනාගැනීම වෙනුවෙන්වු ඉදිරියටයාමට මහත් පිටුවහලක් සැපයු බව Mary Daly සහ වෙනත් ස්ත්‍රිවාදීන් (Feminist) දක්වා තිබේ. Mary Daly දක්වා ඇත්තේ 'ආදම්ගේ බිරිදවූ ඒව (Eve) තහනම් ගහේ ගෙඩි කෑමෙන් උපන් ජම්ම පාපයෙන් තවත් ස්ත්‍රීයක්වු මේරි නිර්දෝෂව උපන්බව පිලිගැනීමම සහ ඇය දේව පුත්‍රයාගේ මවවීම ම (Mother of God) කතෝලික ආගමීක ඉගැන්වීම තුලත්, සමාජය තුලත් කාන්තාවන් ඇති ස්ථානය උසස් කරලීමට හේතුවු බව දක්වයි.

එකී අර්ථය තුල මරියතුමියගේ නිර්මල පිළිසිද ගැනීම (Immaculate Conception) පිලිබද කතෝලික ආගමීක ඉගැන්වීම මානව සමාජයේ ප්‍රගමනයටද හේතුවී ඇතිබව පෙනී යන්නෙකි. මරියතුමියගේ නිර්මල පිළිසිදගැනීම (Immaculate Conception) සමරන අද දිනය (08/12/21) කතෝලික පල්ලියේ පමණක් නොව ඉතාලිය වැනි ඇතැම් යුරෝපා රටවලද ප්‍රධාන නිවාඩු දිනයක් සහ මංගල්‍යය දිනයක් ලෙස සැමරීමට එම කරනුද හේතුවී ඇතිවාට සැක නැත.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
08/12/21

3 comments:

  1. ඔබගේ ලිපි කිතුණු ආගමේ කවුළු අප වෙත ඇර දමයි!

    ReplyDelete