This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 13 September 2021

අගමැති මහින්ද සහභාගිවූ බොලොඤ්ඤ සමුළුවේ ඇත්ත සහ නැත්ත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ඉතාලියට පැමිණ ඇත්තේ ඉතාලියේ බොලොඤ්ඤ විශ්ව විද්‍යාලය විසින් පවත්වන සමුළුවක ප්‍රධාන ආරධිතයා ලෙස දේශනයක් පැවැත්වීමටයයි ලංකාවේ මාධ්‍යය මහත් අභිමානයෙන් පසුගියදා වාර්තාකර තිබුනි.

එම වාර්තාවලට අනුව ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියට පැමිණ අදාළ දේශනය පවත්වන්නේ ක්‍රි.ව.1088දී පිහිටවූ යුරෝපයේ පරණම විශ්ව විද්‍යාලයවන බොලොඤ්ඤ විශ්ව විද්‍යාලයේ (Università di Bologna /University of Bologna) බවත්, එම සමුළුව ජී20 (G20) රටවල රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන සමුළුවක් බවත්, සමුළුව ඉතාලි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවෙන බවත්, ඉන් අනතුරුව අගමැතිවරයා වතිකන් නුවරට ගොස් පාප්තුමාව හමුවී පාස්කු ප්‍රහාරය පිලිබදව ශ්‍රී ලංකා රජය සිදුකරන විමර්ශන සම්බන්දයෙන් දැනුවත් කරන බවත් කියවිණි. 

ශ්‍රී ලංකා ආන්ඩුවේ සහ ආන්ඩුවට හිතැති මාධ්‍යය විසින් අගමැති මහින්ද රාජපක්ෂගේ ඉතාලි සංචාරය අරභයා දියත්කල එකී ප්‍රචාරක වැඩපිලිවෙල තුල බලාපොරොත්තුවුයේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ රාජ්‍යය තාන්ත්‍රික වැදගත්කම සහ ජාත්‍යන්තර පිලිගැනීම ඉස්මතුකරලිමය.

එහෙත් එකී පුම්බෑලීමේ ප්‍රචාර ව්‍යාපාරයේ හුලං එකවරම  බැසගියේ  කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු හිමියන් ''අගමැති පාස්කු ප්‍රහාරය ගැන කියන්න පාප්වහන්සේ හමුවන්නේ නම්, යුක්තිය ඉල්ලා ඔවුන් ජාත්‍යන්තරයට'' යනවා යැයි කිමත් සමගය. කාදිනල්වරයා මාධ්‍ය හමුවක් පවත්වා නිකුත්කළ එම නිවේදනයේ තවදුරත් දැක්වුයේ ''ආණ්ඩුවට වාසිදායක විදිහට හැමදේම කරමින් සත්‍ය යටගහන්නට මේ රජය ගෙනයන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්නට ලෑස්ති වෙන්නේ'' යැයි දැක්වීය. ඒ සමග අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයාගේ ඉතාලි සංචාරය අතරතුර පාප්තුමා හමුනොවෙන බව කියන්නට විය. මෙකී පරස්පර නිවේදන සමග අගමැතිගේ ඉතාලි සංචාරය පිලිබදව රටපුරාම කසුකුසුවක් පැනනගින්නට විය.

බොහෝදෙනා විපරම්කල අගමැතිගේ බොලොඤ්ඤ සමුළුව පිලිබදව දැන් සත්‍ය තොරතුරු හෙළිවී ඇත. කාදිනල් මැල්කම් රංජිත් දැක්වූ ලෙසම මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ඉතාලි සංචාරය සත්‍යය යටගැසූ තවත් එක් ප්‍රචාරක තුරුම්පුවකි. ඊටත් වඩා තමන් පුම්බාගන්නා ප්‍රෝඩාකාරී ප්‍රචාරක ව්‍යාපෘතියකි.

ශ්‍රී ලංකා අගමැතිවරයා සහභාගීවන්නේ බොලොඤ්ඤ විශ්ව විද්‍යාලය විසින් පවත්වන සමුළුවකට නොවේ. ඇත්තවශයෙන්ම ඔහු සහභාගිවුයේ ධරණිය සංවර්ධනය (Sustainable Development Goals) සදහා ආගමික, රාජ්‍ය සහ අනෙකුත් ආයතන අතර සබැදියාවක් ගොඩනගා ගැනීමේ අරමුණින් ජී20 (G20) රටවල් 2014 දී පිහිටවාගත් අන්තර් ආගමික සංසදයේ (Interfaith Forum / IF20) වාර්ෂික සමුළුවටය. මෙම සමුළුව මීට පෙර ඔස්ට්‍රේලියාවේ (2014), තුර්කියේ (2015), චීනයේ (2016), ජර්මනියේ (2017), ආර්ජන්ටිනාවේ (2018), ජපානයේ (2019) සහ සෞදි අරාබියේ (2021)දී පවත්වා තිබේ. මේ වසරේ එය පවත්වන්නේ ඉතාලියේ බොලොඤ්ඤ නුවරය. ලංකාවේ මාධ්‍යවල දැක්වූ ලෙස මේම සමුළුව විවෘත කිරීමට ඉතාලි ජනාධිපතිවරයා සහභාගීවුයේ නැත. මෙවර (2021) ජී 20 රටවල සමුළුවේ සභාපතිත්වය දරන්නේ ඉතාලිය නිසා ඉතාලි ජාතික Mario Draghi මහතා ජී 20 රටවල සමුළුවේ සභාපති ලෙස මේම සමුළුවට සභභාගීවීමට නියමිතව සිටි. එහෙත් ලංකාවේ මාධ්‍ය මෙම සමුළුව සදහා ඉතාලියේ ජනාධිපතිවරයා සහභාගීවන්නේයැයි කීම කරුණු වරදවා වටහාගැනීමක් හෝ කරුණු විකෘතිකර වාර්තා කිරීමකි.

මෙවර සමුළුවේ සත්කාරක දායකත්වය ලබාදෙන්නේ ඉතාලියේ 'ආගමික විද්‍යාව පිළිබඳ පදනම' (The Fondazione per le scienze religiose - FSCIRE) නම් සංවිධානය විසිනි. 1953දී පිහිටුවාගත් මෙම සංවිධානයේ අරමුණ වන්නේ පෞරාණික-ආගමික ශික්ෂණයන්(historical -religious disciplines) පිළිබද පරීක්ෂණ කටයුතුවල නිරතවීමය. එකී ආයතනය බොලොඤ්ඤ විශ්ව විද්‍යාලය සහ තවත් විශ්ව විද්‍යාල රාශියක් සමග ඔවුන්ගේ අධ්‍යන ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්දයෙන් එකගතා ගිවිසුම් අත්සන්කර ඇති බව ඇත්තය. එහෙත් 'ආගමික විද්‍යාව පිළිබඳ පදනම' (The Fondazione per le scienze religiose - FSCIRE) බොලොඤ්ඤ විශ්ව විද්‍යාලයේ අංශයක්වත්, බොලොඤ්ඤ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක්වත් නොවේ. කොටින්ම ජී 20 රටවල අන්තර් ආගමික සංසදයේ (Interfaith Forum / IF20) වාර්ෂික සමුළුව බොලොඤ්ඤ විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරන්නක් නොවේ. එහින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ බොලොඤ්ඤ විශ්ව විද්‍යාලය විසින් පවත්වන සමුළුවක ප්‍රධාන ආරධිතයා ලෙස දේශනයක් සදහා පැමිණියේයැයි සදහන් ආණ්ඩුවේ ප්‍රචාරය සත්‍යයෙන් තොර පට්ටපල් බොරුය. රැවටිලිකාර ප්‍රෝඩාවන්ය.

මහින්ද රාජපක්ෂ මහතාට ජී 20 රටවල අන්තර් ආගමික සංසදයේ (Interfaith Forum / IF20) වාර්ෂිකව සමුළුවට ආරධනා කලේ එකී සමුළුවේ සත්කාරක ආයතනය වන 'ආගමික විද්‍යාව පිළිබඳ පදනම' ය (The Fondazione per le scienze religiose - FSCIRE). ඒද සමුළුවේ ප්‍රධාන දේශණය සදහා නොව එක් දේශනයක් සදහා පමණි. එම සංවිධානය රාජ්‍ය, පෞද්ගලික සහ වෙනත් ආයතනවල ආධාර මත යැපෙන තවත් රාජ්‍ය නොවන සංවිධානයකි. එකී 'ආගමික විද්‍යාව පිළිබඳ පදනම' (FSCIRE) ජී 20 රටවල අන්තර් ආගමික සංසදයේ (Interfaith Forum / IF20) මෙවර සමුළුව සදහා සත්කාරය සපයන්නේ ඔවුන්ගේ අරමුදල් රැස්කිරීමේ (fundraising) ක්‍රියාවලියක කොටසක් වශයෙන් මෙන්ම සිය මුලික අරමුණ වන පෞරාණික ආගමික - ශික්ෂණයන් පිළිබද අධ්‍යානයේම කොටසක් ලෙසය. ඒ අනුව දේශන සදහා ආරාධනා කල පුද්ගලයින්, ආයතනවලින් සහ වෙනත් සංවිධානවලින් ආධාර එකතුකර ගැනීම මෙවැනි සමුළු සංවිධානය කරන බොහෝ ආයතනවල සමාන්‍ය ක්‍රියාපටිපාටිය ය. පොල් තෙල් පහන් දැල්වීමට හේතුවක් නැතිව  කිසිවෙකුට නිකම්ම නිකන් ආරාධනා කරන්නේ නැති බව ලංකාවේ අපි හොදින් දනී. ඒ අනුව සමුළුවේ දේශනයක් සදහා ආරාධනා ලැබූ මහින්ද රාජපක්ෂ මහතා හෝ ශ්‍රී ලංකා රජය විසින් 'ආගමික විද්‍යාව පිළිබඳ පදනම'ට (FSCIRE) කිසියම් ආධාරයක්, ප්‍රදානයක් සිදුකළේද / නැද්ද? යන්න ඔවුන්ගේ මුල්‍ය වාර්තාවලින් පසුව හෙලිවනු ඇත.

කෙසේවුවද ඉකුත් පාස්කු ප්‍රහාරයේ සිටම 'ආගමික විද්‍යාව පිළිබඳ පදනම' (FSCIRE) ශ්‍රී ලංකාව සම්බන්දයෙන් විශේෂ උන්නදුවකින් කටයුතු කරන බව පැහැදිලිය. සමුළුව ආරම්භ කරමින් ප්‍රදර්ශනය කල ආගමික ස්ථානවල සිදුකල ඝාතන ('Plorabunt: A Memory of the People Killed in the Places of Prayer) නම් ප්‍රදර්ශන වැඩසටහන තුල ශ්‍රී ලංකාව අවස්ථා කිහිපයදීම ඉස්මතුකර දක්වා තිබුණි. පාස්කු ප්‍රහාරය විශේෂවත්, සිරිමා බෝධි මළුවේ ඝාතනයත්, දළදා මැදුරේ බෝම්බ ප්‍රහාරයත්, කාන්තන්කුඩි මුස්ලිම් පල්ලිවල ඝාතනත්, යාපනයේ නාවලි හී ශා. පිතර පල්ලියට ගුවන් හමුදා ප්‍රහාරයකින් 150ක් දෙනෙකු මියයැමත් ලංකාවේ ආගමික ස්ථානවල සිදුකල ඝාතන ලෙස (Memory of the Killings 1982–2021) එක පෙලට ගොනුකරලිමට 'ආගමික විද්‍යාව පිළිබඳ පදනමේ' (FSCIRE) අධ්‍යයන අංශ සමත්වී තිබුණි. මෙම දිග හැරමේ බරපතලකම පිලිබදව හෝ මෙම සමුළුව ශ්‍රී ලංකාව ඉලක්ක කර ගැනීම පිලිබදව හෝ මහින්ද රාජපක්ෂ මහතාට හෝ ශ්‍රී ලංකා රජයට කෙතරම් අවබෝධයක් පැවතියේද යන්න ගැන තවමත් යමක් කිව නොහැක. එහෙත් ශ්‍රී ලංකාව ආගමික ස්ථානවල ඝාතන සිදුවෙන රටක් ලෙස, අන්තර් ආගමික සහජීවනය අර්බුධයකට ගිය, ආගමික අන්තවාදීන් හිස ඔසවන රටක් ලෙස  මේවර (2021) ජී 20 රටවල අන්තර් ආගමික සංසදයේ (Interfaith Forum / IF20) වාර්ෂිකව සමුළුව තුලදී විශේෂ අවධානයකට ලක්වූ බව නම් පැහැදිලිය.

ඒ බව වඩවඩාත් සනිටුහන් කරමින් සමුළුවේ තේමාව වූ “Time to Heal: Peace among Cultures, Understanding between Religions” ඔස්සේ ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව අමතමින් දේවානම් පියතිස්සේ රජතුමාගේ සිට ලංකාව ශිෂ්ටාචාරය ගැන කියමින් සිටිනවිට ඉන් පිටත බොලොඤ්ඤවේ රිඑන්සෝ පැලස් ද පොඩෙස්ටා (The Palazzo del Podestà) ශාලාව ඉදිරිපිට ''පාස්කු ප්‍රහාරය පිළිබද නිසි විමර්ශනයක් කරුණු !!'', ''විමර්ශන ඔස්සේ හෙළිවී ඇති හමුදා බුද්ධි අංශ නිලධාරින් පිලිබදව විමර්ශනය කරනු !!'', ''වරදකරුවන්ට දඩුවම් දෙනු !!'' යැයි බලකරමින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකිකයන් පිරිසක් විරෝධය දක්වා තිබුණි.

බොලොඤ්ඤ නගරයේම වෙනත් තැනක යුද්ධයෙන් පිඩාවට පත්වූ දෙමළ ජනයාද උද්ගෝෂණයක නිරතවූ බව වාර්තාවිය. මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ හෝ වෙන් ඕනෑම ශ්‍රී ලංකා රාජ්‍ය නායකක් විදේශයන්ට පැමිණිවිට දෙමළ ඩයස්පෝරාව උද්ගෝෂණවල නිරන්තවීම සමාන්‍යයෙන් නිතර සිදුකරන්නක්වුවද සිංහල ජනතාවගෙන් කොටසක්වන සිංහල කතෝලිකයින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පිටරටකදී ආණ්ඩුවට බලකරන උද්ගෝෂණයක නිරතවූයේ මේ පළමුවතාවටය. ඔවුන්ගේ ඉල්ලීමට රජය නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉදිරියේදී ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිටත් රජයට බලකරමින් උද්ගෝෂණවල නිරතවෙන බවට ඔවුන් සපථ කළේය.

රජය හුදු දේශපාලන වාසි නොසයමින් උත්සන්න වෙමින් ඇති විරෝධය හමුවේ හෝ පාස්කු ප්‍රහාරය පිළිබදව නිසි විමර්ෂණයක් සිදුකර වරදකරුවන්ට දඩුවම් දෙන්නේ නම් එය ශ්‍රී ලංකා රාජ්‍යයේ වගවීම සහ විනිවිදභාවය පිළිබද ඉහළ නිදර්ශනයක් ලෙස ලොවට පෙන්විය හැක.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
13/09/2021

8 comments:

  1. ලේ තැවරුණු අත්!

    ReplyDelete
    Replies
    1. ඔවුන් කවුද කියලා හෙලිකර ගැනීමයි වැදගත්.

      Delete
  2. හූ කිව්වද කියලත් දැනගන්ට ඕන

    ReplyDelete
    Replies
    1. ඒහෙම සිද්ධියකුත් වෙලා තියෙනවාලු.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දෙවියන්ගේ දඩුවම දෙවියන් දෙයි, එහෙත් යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් පෙනීසීටිම මනුෂ්‍යන්ගේ යුතුකමක්, වගකීමක් -'He has told you, O man, what is good; and what does the Lord require of you but to do justice,, and to love kindness, and to walk humbly with your God (Micah 6:8).

      Delete
  4. Yes, whole world knows what is happening in Srilanka. Our leaders can say anything and preach stories but reality is different. Mr.Marcus your information is very important and most of Srilanka not aware about this our MPs tour.

    We appreciate to your attempt to show us hidden information

    ReplyDelete