This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 5 August 2021

මැටිල්ඩාගේ අශ්වයා විකුණනවාද?

කවුරුහරි මැටිල්ඩා කාල්සන්ගෙන් අහන් නැද්ද ඔය අශ්වයා විකුණනවාද   කියලා?

ගන්න නෙමේ. අපිට ඔය අශ්වයා ගන්න රුපියල් කෝටි 142ක්වත්, යුරෝ මිලියන 6ක් වත් නෑ. හැබැයි ඒ ගාන දීලා අශ්වයෝ ගන්න මිනිස්සු ලෝකේ ඕනේ තරම් ඉන්නවා.

මැටිල්ඩා කාල්සන් සහ එයාගේ සහකරුව කරන්නේ ජර්මනියේ හැම්බර්වල ඉදන් ඔය වගේ ඉහල මිලකට අලෙවිකල හැකි අශ්වයෝ හදන එකයි, පුහුණුකරන එකයි.

ඒවා පොඩි පොඩි වෙලද ව්‍යාපාර නෙමේ ඩොලර්/යුරෝ/පවුම් මිලියන ගානක ව්‍යාපාර. 2012 වසරේදී කුඩාවට පටන්ගත්ත මැටිල්ඩලගේ Grönwohld Hof නම් සමාගම  විසින් කරගෙන යන පුහුණු කරනලද අශ්වයන් විකිණීමේ වෙලදාම මේ වනවිට කිසියම් විශාල සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. මැටිල්ඩා කාල්සන් ඉදිරිපත්වූ මෙම ටෝකියෝ ඔලිම්පික් උළෙලේන් අනතුරුව ඔවුන්ට අලුත් සල්ලිකාරයෝ වැහිවැහලා ඉන්න ආසියානු, මැද පෙරදිග කලාපවලත් හොද වෙලදපොලක් විවර කරගන්න හැකිවෙන බව නොඅනුමානයි.

මැටිල්ඩා කාල්සන් පහුගිය දවස්වල ලංකාවේ වගේම විදේශීය මාධ්‍යයවලිනුත් ලබාගත්ත ප්‍රචාරණය ඊට හොද ඉඩ ප්‍රස්ථාවක් ඇති කර ඇති බව නම් පැහැදිලියි.

ඇත්තටම, මැටිල්ඩා ඔලිම්පික් පදක්කමක් දින්නත්, පැරදුණුත්, ඒ අය දිනුම්. ඒ අයගේ Grönwohld Hof ආයතනය යටතේ සිදුකරන පුහුණු කරනලද අශ්වයන් විකිණීමේ වෙලදාම ඒ අය කලින් කලාටත් වඩා හොදට කරයි.

හැබැයි, අර ලංකාවට පදක්කමක් ගෙනත්දෙනකම් ඇස්දල්වා බලන්හිටිය, පහන් හැගුමෙන් පවන් සලපු, 'අපේ කෙල්ලට පදක්කමක් ලබාදියන් චෝපින්වා' කියලා අශ්වයාටත් පහන් පත්තුකරපු අපේ මිනිස්සුන්ට නම් පව්.

කොච්චර අමාරුවෙන් ජීවත්වුනත් මොහොතකට හරි ආත්මාභිමානයෙන් ආඩම්බර වෙන්න, රටේ ජයග්‍රහණයක් වෙනුවෙන් සංතෝෂ වෙන්න බලන් උන්නු අපේ රටේ මිනිස්සු පව්.

ඒ වගේම අර උනුත් කන ගමන් ජනතාවටත් කැවුම් කවන මාධ්‍යය සෙට් එකට නම් හොද වැඩේ... බලා නොබලා එන ඕනෑ කෙහෙල්මලක් කරේ තියන් දුවනවට හොද වැඩේ... කාව කාව හරි පුම්බමින් අශ්වයින්ටත් වඩා වේගයෙන් දුවන, උන්ටත් වඩා උඩින් පැනලා ලංකාවේ මිනිස්සුන්ව අන්දන මාධ්‍යයකාරයින්ට නම් මේ පාරත් උනේ දඩස් ගාලා බිමට කඩන්පාත්වෙන එක විතරයි. හැබැයි ඉතින් ඒ අයටත් ඒවා හොදට පුරුදුයි. ඒවා ඒ ඔගොල්ලෝ පුරුදුවෙන්න කරන වැඩ නෙමේ. හැබැයි මෙහෙම වූනහම ඒ අයටත් ටිකක් බිම ඉදලා බැලුව හැකියි.

ඒත් ඒ අය තවමත් ලියන්නේ, කියන්නේ, පරන කයි-කතන්දරමයි; ඩන්කන් වයිට්ලා ගැනයි, සුසන්තිකාලා ගැනයි. නැත්නම් ක්‍රිඩා තරගවලට ගිහිලා වෙන රටවලට පැන්න 'මචං' ලා ගැනයි.

ලෝකයේ ක්‍රිඩාවේ නව ප්‍රවනතා ගැන අපේ මාධ්‍යවල පලවෙන්නේ ඉතා අඩුවෙන්. ක්‍රිඩාවේ නව තාක්ෂණික වර්ධනයන් ක්‍රිඩාවේ සහ ක්‍රිඩක/ක්‍රිඩිකාවන්ගේ දක්ෂතාවලට සිදුකර ඇති, සිදුකරමින් ඇති බලපෑම් ගැන, ඒ ඒ රටවල ක්‍රිඩාවේ අභිවෘද්ධියට වෙන්කර ඇති ප්‍රතිපාදන ගැන, ඒ ඒ රටවල ක්‍රිඩාවේ වර්ධනයට ගෙන ඇති ක්‍රියාමාර්ග ආදිය ගැන කිසිම අවධානයක් අපේ රටේ මාධ්‍යය යොමු නොකිරීම අපේ රටේ ක්‍රිඩාව කඩා වැටීමට එක් හේතුවක්. ඒ අය එහෙම හොයාබලා තොරතුරු ගෙන එනවා නම් අපේ රටේ ක්‍රිඩාවේ සහ ක්‍රිඩක/ක්‍රිඩිකාවන්ගේ අභිවෘද්ධියට මෙන්ම ක්‍රිඩාවේ තීන්දු තීරණ ගන්නා ආයතන සහ නිලධාරීන්ටත් විශාල පිටුවහලක්වේවි. ඒහෙත් අපේ මාධ්‍යය වඩා කැමති කාව කාව හරි පිම්බීමට. නැත්නම්, තියෙන එකම තලුමැරීමට විතරයි.

කොහොමවුනත්, රටේ ක්‍රිඩාව යකාට ගියත් ව්‍යාපාරික අරමුණින් ක්‍රිඩාවට ප්‍රවිශ්ඨ වෙන ක්‍රිඩක/ක්‍රිඩීකාවන්ට නම් ලංකාව වගේ රටවල ඉඩකඩ තවදුරටත් වැඩි වැඩියෙන් විවෘත කරන බව නම් පැහැදිලියි. ඒ අනුව මැට්ල්ඩා වුනත් ජර්මනියේ සිය ව්‍යාපාර හොදින් කරගෙන යන ගමන් ලංකාවේ නම සහ කොඩිය යටතේ නැවත නැවත ක්‍රිඩාවේ නිරතවෙයි. ක්‍රිඩකයෙක්, ක්‍රිඩාවක් වෙලද දැන්වීමකට පෙනී සිටිනවාට වඩා වැඩි මුදලක් ඒ අයට සිය ව්‍යාපාර ඔස්සේ ඉපැයීමට ඇති ඉඩ අතිවිශාලයි. ඒ අනුව ආසියානු වෙලද පොලේ ලොකු ඉඩක් විවර කරගන්නා තුරු ඔවුන් අශ්වයෝ පදියි. සමහරවිට ඇයගේ ඊලඟ ඉලක්කය ආසියානු ක්‍රිඩා උලෙළ වෙන්නත් පුලුවන්.

එදාටත්, ඒ අයගේ ව්‍යාපාර කෙසේවුනත්, දෙමව්පියෝ අපේ රටේනේ, අපේ සිංහ කොඩියනේ ඒ අය  ඔසවන්  යන්නේ  යැයි කියමින් රටේ මොන ප්‍රශ්න තිබුණත්, ආත්මාභිමානයෙන් ආඩම්බර වියහැකි ඉඩප්‍රස්ථාවක් ක්‍රිඩා පිටියේද සොයමින් ලංකාවේ මිනිස්සු ඇස්  දල්වා බලා සිටීයි.      

මාකස් ප්‍රියන්ත පෙරේරා
05/08/21

2 comments:

  1. ලංකාවෙ බොහො අයට නොතේරන ඇත්ත මේකයි.යටි අරමුන වුයේ තම ලේ අයති⁣ය පාවිච්චිකර දැවැනත පුචාරයක් නොමිලේ ලබා ගැනිමයි .ඒ අතින් ඇ නුවනක්කාරයි. දැනට කිසිදු ලාංකකයෙක් මේ කුිුඩාව ජත්‍යන්තර මට්ටමින් නොකරන නිසා ඇයට අවස්ථාව ලබා දිම ගැටලුවක් නැ.ඇය කරග වදින්නෙ ලංකා කොඩිය යටතේ නිසා රටට යම්කිසි පුසිද්දියක් ලැබේවි.
    මේවාට සංවෙිදි ව පහන් පත්තුකරන අයට නමි හිනාවෙනවා නොඅනුමානය.

    ReplyDelete
  2. ඇත්තටම දැන් තමන්ගේ රටින් ඔලිම්පික් වැනි තරගවලට වගේම ව්‍යාපාර අරමුණින් ක්‍රිඩාවට යොමුවෙන්න බැරිවෙන බොහෝ දෙනෙක් කරන්නේ වෙනත් රටකින් විවිධ තරගවලට පිවිසී සිය අරමුනු ජයගැනීමයි. මැටිල්ඩා කලෙත් ඒකයි. තමන්ගේ අශ්ව වෙලදාමේ ව්‍යාපාරයට වගේම පෞද්ගලික අභිමතාර්ථයන් ජයගැනීමටත් හැකි ඉඩක් ඇය ලංකාවේන් හොයාගත්තා. ඒත් පදක්කමක් දිනාගැනීමට පුන පුන බලාසිටින අපි වගේ රටකට ඇයගෙන් උනත් ඒක වෙනවා නම් ඕනෑ එකක් කියන තත්වයකට වැටීම ගැන අපි කල්පනා කලයුතු දෙයක්.

    ReplyDelete