This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 12 December 2019

'ලෝක විවාහක රූ රැජින' කැරෝලයින් ජුරි සහ 'අපේ උරුමය'


මම ඔය රූපරැජින තරගවලින් දිනන්නේ කවුද කියන ගැන උනන්දු නැත, ඒවායින් ප්‍රවර්ධනය (promote) කරන්නේ මොනවාද යන්න ගැන තමයි මා වඩාත් උන්නදු. මේ වසරේ 'විවාහක රූ රැජින' ලංකාවේනුත්, 'විශ්ව රූ රැජින' දකුණු අප්‍රිකාවෙනුත් තෝරාගත්තා. ඒ අය ගැන ලියා තිබු දේවල් අතර ඒ අයගේ සමේ පැහැය ගැනද සදහන් කර තිබෙනු දුටුවෙමි. එය ඇතැම්විට රූපලාවන්‍ය ආලේපන වර්ග ප්‍රවර්ධනය සහ එකී නිෂ්පාදනවල ඊලග වෙළද පොළ ගැන දක්වන ඉගිකිරීමක්ද විය හැක.

ඒ වගේම මා උනන්දු තවත් දෙයක් තිබේ. ඒ විශේෂයෙන්ම ලංකාවේ කැරෝලයින් ජුරි (Caroline Jurie) ගැනය. මුලික වශයෙන්ම ඇය ජයග්‍රහණයෙන් අනතුරුව සිදුකල ප්‍රකාශයක් ගැනය: “I'm so honored to share my heritage and culture on the global stage”.

ක්‍රිස්තියානි, බර්ගර්, නම කියුවිට ද ලංකාවේ කෙනෙක් වගේ නෙමේ යැයි හිතෙන 'කැරෝලයින් ජුරි' (Caroline Jurie) මගේ "උරුමය" (heritage) සහ "සංස්කෘතිය"(culture) "ගෝලීය තලයට (global stag) ගෙන යෑමට ලැබීම භාග්‍යයක්" ලෙස සලකන බව එම ප්‍රකාශයෙන් දක්වා තිබුණි. ඇත්තටම, ඇය එයින් අදහස් කර තිබුනේ කුමක්ද? ඇය කියන 'උරුමය' සහ 'සංස්කෘතිය' කුමක්ද? කලින් කියූ ලෙස මගේ උනන්දුව ඇත්තේ ඒ ගැනය. ජයග්‍රහණයෙන් අනතුරුව ඇය ඇගේ Facebook profile පින්තුරය යාවත්කාලීන කරමින් මෙසේ දක්වා තිබුණි: ''All Glory to Jesus"!!! එය ඇය දක්වා ලූ ඇගේ 'උරුමය' සහ 'සංස්කෘතිය' කුමක්ද යන්න ගැන විස්තර කිරීමක්ද?

එය එසේය. ලංකාවට පැමිණි පසුව ඇය සිදුකල ප්‍රථම මාධ්‍ය සාකච්චාවේදීම සිය ආගම අනුව දෙවියන් පසසමින් ඇය ඇගේ සංස්කෘතික අනන්‍යතාවය ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන ලදී. එහෙත්, එම මාධ්‍ය සාකච්චාවේදී ඇය දෙවියන් පසසමින් කල ප්‍රකාශය ලංකාවේ කිසිදු මාධ්‍යකින් නොපෙන්වීමට ශ්‍රී ලංකාවේ විද්‍යත් මාධ්‍ය කටයුතු කරන ලදී. 

එයට හේතුව ඇය නියෝජනය කරන අනන්‍යතාවය ලංකාවේ මේ වනවිට ගොඩ නැගෙමින් ඇති 'සිංහල-බෞද්ධ ජාතික අනන්‍යතාවය' සමග  අනන්‍ය නොවීමද?

මේවන විට ශ්‍රී ලාංකීක  අනන්‍යතාවය 'සිංහල-බෞද්ධ' අනන්‍යතාවය තුල පමණක් ලඝු කිරීමට උත්සහයක් ඇති බව පැහැදිලිව පෙනීයයි. ඒ සමග අනෙක් අනන්‍යතා සහිත පිරිස් සිංහල බෞද්ධයාට තර්ජනයක් ලෙස සලකා ඔවුන් ලාංකීක සමාජයේ පිටස්තරයන් ලෙස සලකන තත්වයක්ද ක්‍රමයෙන් මතුවෙමින් තිබේ.  ක්‍රිස්තියානි / බර්ගර් අනන්‍යතාවයක් සහිත පිරිස් 'සිංහල-බෞද්ධ' සංස්කෘතිය කාදමන ''පරදේසක්කාර විලිසංගෙ නැති සංකර'' පිරිසක් ලෙසද, මුස්ලිම් නම් 'ආක්‍රමණිකයන්' පිරිසක් ලෙසද, දෙමළ නම් රට බෙදන ඩයස්පෝරාවේ එකෙක් ලෙසද සලකන තත්වයක් උද්ගතවී තිබේ.

යටත් විජිත පාලකයින් යටතේ 'සිංහල-බෞද්ධ උරුමය' විනාෂවුවා යැයි දක්වමින් ගොඩනැගු 'සිංහල-බෞද්ධ' ස්වොත්තමවාදී ව්‍යාපෘතිවල අවසාන ඉලක්කය වී ඇත්තේ ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ රටක් බවට පත්කරගැනීමය. එහිදී 'සිංහල-බෞද්ධ' නොවන දෙමළ, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ඇතුළු අනෙක් සියළු ජන කොටස් පිටස්තරයන් ලෙස දැක්වීම පියවරෙන් පියවර සිදුවුවකි. දැන් එය එසේ කිරීම, එසේ සිතීම පවා රටේ ජාතිමාපක, දේශමාපක, දේශප්‍රේමීත්වයේ අනිවාර්ය ලක්ෂණයක් බවට පත්වී තිබේ. එය අනෙක් ජනකොටස්වලට සෑම අතින්ම අහිතකර ලෙස බලපානවා පමණක් නොව, ලංකාවට දියුණු රටක් ලෙස නැගී සිටීමට ඇති ඉඩත් සීමා කර ඇත.

මා ලියන්නේ මහජාතියේ එකී වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී, අධිපතිවාදී (hegemonic) ව්‍යාපෘතියට විරුද්ධවය. ඒකී ප්‍රවාහය විසින් යටපත්කර සම්පුර්ණයෙන්ම අතුගා දැමීමට දගලන චූල, (මීගමුව වැනි) ප්‍රාදේශීය, ප්‍රගතිශීලි අනන්‍යතාවයන් මතුකරලීම සදහාය. ඒක-වාර්ගික අනන්‍යතාවයක් මුල්කරගෙන දියත් වෙන වාර්ගික-ජාතිකවාදී (ethno-nationalism) ප්‍රවණතා මෙන්ම එය යටතේ ඉදිරියට පැමිණ ඇති 'වාර්ගික ජාතික රාජ්‍ය ගොඩනැගීමේ ව්‍යාපෘතියද (ethno-cultural nation-state building projects) පරාජය කලයුතුය. 

කිසිවෙකු ඉහතකී මහජාතියේ, වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී, අධිපතිවාදී (hegemonic) ව්‍යාපෘතියට වඩ වඩා අනන්‍ය වෙන තරමට ඔවුනට මා හතුරෙකු ලෙස පෙනීයාම සිදුවන බව මම දනිමි. එහෙත් මම දේශපාලනය ලෙස දකිනුයේ 'රාජ්‍ය' සහ 'බලයට' ප්‍රතිචාර දැක්වීමය. එහෙයින් පුද්ගලයන් සමග පැටලීම අනවශ්‍ය. අඩුම වශයෙන් බොහෝ පුද්ගලයින්ගේ කොමෙන්ට් වලට පවා ප්‍රතිචර දැක්වීම තේරුමක් නොමැති වැඩක් බව සිතන්නේ ඒහිනි. 

වැඩිකල් නොගොස්ම අහන ප්‍රශ්නයක් වනුවේ කැරෝලයින් ජුරි (Caroline Jurie) කොතරම් ශ්‍රී ලාංකිකද? යන්නය. ඒය එවැනි නම් සහ වෙනත් අනන්‍යතාවයන් තියෙන බොහොමයක් දෙනෙකුට මුහුණ පෑමට සිදුවෙන ප්‍රශ්නයකි. එදිනට කිරුල දිනූ නිසා 'කැරෝලයින් ජුරි' (Caroline Jurie) ශ්‍රී ලංකා කියමින් උඩදාන සියල්ලෝම ඇයව උඩම දාලා කොන්ද කැඩේන්න වැටෙන්න අත්හරිති. නැතිනම් හැකිතාක් විගස ඇය මෙන්ම ඇගේ කිරුලද සම්පුර්ණයෙන් අමතකර ඉතිහාසයෙන්ම අකාමකා දැමීමට කටයුතු කරති.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
09/12/2019

2 comments:

  1. මාකස් අයියා
    ශ්‍රී ලාංකික කියන වචනේ හැදිලා තියෙන්නේ සිලෝනියන් කියන වචනෙට ආදේශකයක් හැටියට.
    බ්‍රිතාන්‍ය පාලන කාලයේදී සිලෝනියන් කිව්වේ ලංකාවේ පදිංචි යුරෝපීයයන්ට සහ ඔවුන් සමඟ විවාහවූ ස්වදේශිකයන්නේ පැවත එන්නන්ට. සරලව කිව්වොත් ලංසින්ට.

    ඒ අනුව මේ ලංසි ගෑණිත්, ලක්ෂ්මන් කදිරගාමර් වගේ කළු සුද්දොත් ශ්‍රී ලාංකිකයෝ තමයි.
    මම නම් සිංහලයෙක්.

    ReplyDelete
  2. සිංහල කියන්නේ, දෙමළ, මුස්ලිම් වගේ වාර්ගික අනන්‍යතාවයක්. ශ්‍රී ලංකික කියන්නේ ජාතික අනන්‍යතාවයක්. ඔයා සිංහල වෙන්න පුළුවන් එත් රටේ මිනිස්සුගේ අනන්‍යතාවය නියෝජනය වෙන්නේ රටේ ජාතික අනන්‍යතාවය අනුවයි. ඒ අනුව අපි සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි, බර්ගර්, ලංසි ආදී මොන වාර්ගික අනන්‍යතාවයනට අයත්වුනත් රටක් ලෙස, ජාතියක් ලෙස සලකනුයේ ශ්‍රී ලංකික යනුවෙනුයි.

    ReplyDelete