This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 9 April 2018

UNPයේ ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහද?

ලංකා සමසමාජ පක්ෂය ඇතුළු පැරණි වාමාංශිකයන් එක්සත් ජාතික පක්ෂය (UNPය) හැදින්වුයේ කොම්ප්‍රදෝරු (comprador/compradoreධනපති පක්ෂයක් ලෙසය. ඒ අනුව එහි නායකයින් කොම්ප්‍රදෝරු ධනපති නායකයින් ලෙස හැදින්වීය. එහි අර්ථය වුයේ විදේශීය ධනපතීන්ගේ දේශීය නියෝජිතයන් (foreign agent)  යන්නය.  කාලයක් පුරාම  පශ්චාත් යටත්විජිත රටවල   වාමාංශිකයින් සිය රටවල දක්ෂිණාංශික පාලකයින් හැදින්වීමට භාවිතාකල 'කොම්ප්‍රදෝරු' ධනපතීන් යන්න වෙනුවට පසුව 'කෝපරේටිව්' (cooperative) ධනපතීන් යන්න භාවිතයට ගත්හ. එය  සමුපකාර ක්‍රමය ඇසුරෙන්  පැනනැගුනකට වඩා,  Gardiner Coit Means (1962) ආදීන් විස්තරකල 1960 ගණන්වල හිස එසවූ 'collective capitalism' නම්වූ ධනවාදය සමාජ දේශපාලන තත්වයන්ට හැඩගැසීමේ තත්වය යටතේ විස්තර විය. 

කලින් සදහන්කල 'කොම්ප්‍රදෝරු' ධනපතීන්  විදේශීය ධනපතීන්ගේ දේශීය නියෝජිතයන් (foreign agent) නම්  'කෝපරේටිව්' (cooperative) ධනපතීන්  පශ්චාත් යටත්විජිත රටවල දේශීය ධනේශ්වරයේ උවමනාවන් ඉටුකරන, ස්වදේශීය අධිපති වාර්ගිකයන්ගේ අවශ්‍යතාවයන් ආමන්ත්‍රණය කරන ධනවාදයක්විය.  ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල ක්‍රමයෙන් මුල්බැසගත් මෙම මොඩලය, අග්නිදිග ආසියාව තුල ආර්ථික ව්‍යාඝ‍්‍රයින් බිහිකරන අතරම බහුතර ජනවර්ගයාට දේශපාලන බලය පමණක් නොව ආර්ථික, සමාජ සහ සංස්කෘතික ආධිපත්‍යය පවා අත්කරදෙන සමාජ-දේශපාලන-ආර්ථික ආදී පෙරමුණු කිහිපයකින් සමන්විත ස්වොත්මවාදීන්ගේ (chauvinist)  ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියක්ද වියජාතිකවාදීන් Corporate nationalism නමින් හදුන්වාදුන් මෙම Collective capitalism නම්වූ  ධනවාදය දේශීය තත්වයනට ගලපාගැනීමේ ව්‍යාපෘතිය   Ted Grant (May 1960) වැනි ට්‍රොට්ස්කිවාදී වාමාංශිකයින් හැදින්වුයේ 'Landlord capitalism' නමිනි (Socialist Fight, vol. 2 no. 4). එය එක්තරා ආකාරයකට 'භූමිපුත්‍රයන්ගේ ධනවාදය' ක් ලෙස නම්කළ හැක.  

2015දී එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවීමට පෙර චම්පික රණවක ආදීන් පවා මෙම Collective capitalism නම්වූ  ධනවාදය දේශීය තත්වයනට ගලපාගැනීමේ ව්‍යාපෘතිය හෙවත් බහුතර ජනවර්ගයාට දේශපාලන බලය පමණක් නොව ආර්ථික, සමාජ සහ සංස්කෘතික ආධිපත්‍යය පවා හිමිකරදෙන  Corporate nationalism ව්‍යාපෘතිය පිළිබද අදහස් දක්වා තිබිණි. ඔහුට අනුව මැලේසියාවේ  මහතීර් මොහොමඩ්,  ඉන්දුනීසියාවේ සුකර්ණෝ ආදීන් පමණක් නොව ලංකාව තුල  D.S. සහ ඩඩ්ලි සේනානායකවරුන්ගේද,  J.R. ජයවර්ධනගේ සහ ප්‍රේමදාසගේ එක්සත් ජාතික පක්ෂය විසින්ද,  S.W.R.D. සහ සිරිමා බණ්ඩාරනායකවරුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින්ද මෙම Corporate nationalism ව්‍යාපෘතිය ලංකාවතුල අඩුවැඩි වශයෙන් ක්‍රියාවට නන්වා තිබුණි. ඔහුගේ තර්කය වැරදි නොවන බව පෙනීයනුවේ නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවූ ධනවාදය බහුතර වර්ගයාගේ ආර්ථික, සමාජ, දේශපාලන සහ සංස්කෘතික පදනම් ශක්තිමත් කල, සුළුතර වාර්ගිකයන් ක්‍රමයෙන් අවශේෂණයකල ව්‍යාපෘතියක් බව බොහෝ ශාස්ත්‍රිය අධ්‍යනයන් මගින් පවා දක්වා තිබෙන බැවිනි (Peiris, G.H. 1975,  Gunasinghe, Newton 1984, Kuruppu L.P.  ‎1983, Moore, Mick 2001).
    
එහෙත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම රනිල් වික්‍රමසිංහගේ  එක්සත් ජාතික පක්ෂයද ඔවුන්ගේ පක්ෂවල එතෙක් සිටි නායකයින් අනුගමනයකල ඉහත සදහන්කල       Corporate nationalism ව්‍යාපෘතියට වඩා වෙනස් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතියක් ගැන විශ්වාස තැබු නායකයින් විය. විශේෂයෙන්ම මෙතෙක් පැවති දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික ක්ෂේත්‍රවල බලය බහුතර ජනවර්ගයාට අත්කරදීමේ ව්‍යාපෘතිය වෙනුවට බලය බෙදීම, පුද්ගල නිදහස, මානව හිමිකම්,  සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද නව මානයන් ගැන උනන්දුවීම එහිලා කැපී පෙනෙන ලක්ෂණයන්විය. එයිනුත් රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගටත් වඩා ක්‍රියාත්මක ඉහල තලයකට මෙම මානයන් ඔසවා තැබීමට ක්‍රියාකල බව පෙනේ. 

විශේෂයෙන්ම, රනිල් වික්‍රමසිංහගේ ලිබරල්  ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය පැහැදිලිවම ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වෙමින් පැවති ආර්ථික, සමාජ සහ සංස්කෘතික ක්ෂේත්‍රවල යම් තීරණාත්මක බලපෑමක් සිදුකිරීමට අපේක්ෂිත මට්ටමින් දියත්වෙන බව (රට බෙදීම, දේශීය සම්පත් විකිණීම, බටහිර පදයට නැටීම් ආදී ලෙස)  ඔහුගේ විරුද්ධවාදී නිතර දැක්වුවද එම ක්ෂේත්‍රවල පමණක් නොව දේශපාලන මට්ටමින්වත් චන්ද්‍රිකාට මෙන්ම රනිල්ටද සිය ව්‍යාපෘතීන් තීරණාත්මක මට්ටමකින්  ක්‍රියාත්මක කිරීමට හැකිවී නැත.

විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගෙන් පසුව බලයට පැමිණි මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ එතෙක් වර්ධනය වෙමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විකාශනයන් මිලිටරි ඒකාධිපතිත්වයකට නැබුරු, ජනප්‍රියවාදී, පවුල්වාදී,  ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් වලපල්ලට යවන, බොනපාර්ට්වාදී (Bonapartism) දේශපාලන ප්‍රවාහයකින් යටපත් කිරීමත් සමග එතෙක් ශ්‍රී ලංකාව තුල විකාශනයවෙමින් පැවති දේශපාලන වර්ධනයන්ගේ ස්වරූපය සහමුලින්ම වෙනස් තලයකට රැගෙන යනලදී. 

පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ ධනේශ්වර දේශපාලන වර්ධනයන් කොම්ප්‍රදෝරු (comprador/compradore) අවධියක සිට Corporate nationalism ව්‍යාපෘතියට මාරුවුනි නම්, පසුව එය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ යටතේ ලිබරල්  ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතියක් බවට පත්කිරීමට අපේක්ෂා කලේ නම් අද එය මහින්ද රාජපක්ෂවාදීන් විසින්  බොනපාර්ට්වාදයකට (Bonapartism) යටකර තිබේ. 

අද උද්ගතව ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් ගලාගිය  දේශපාලන ප්‍රවාහයේ අනිසි හැරවුම් ලක්ෂයවූ රාජපක්ෂලාගේ බොනපාර්ට්වාදී (Bonapartism) ව්‍යාපෘතිය වෙතින් බැහැරව ශ්‍රී ලංකාව එතෙක් අනුගමනයකල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විකාශනයන් වෙත  නැවත යොමුකිරීම පිළිබද අභියෝගයය.   

තවද එහි ඊලග අවධිය ලෙස Corporate nationalism ව්‍යාපෘතිය වෙනුවට ලිබරල්  ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය ඉස්මතුවෙන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගමනය සම්බන්දයෙන් ඉතා වැදගත්ය. මන්දයත් බහුතර වර්ගයාගේ ආධිපත්‍යය තහවුරුකල  ශ්‍රී ලංකාවේ Corporate nationalism ව්‍යාපෘතියට සුළුතර වාර්ගිකයන් විසින් අභියෝගයට ලක්කර තිබීම නිසාය. 

ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවාහය නැවත නිසි ධහරාව වෙත යොමුකරලීමට පමණක් නොව එය එහි ඊලග තලය ලෙස පෙනීගිය   ලිබරල්  ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය දක්වා ගෙනෙයාම පිලිබදව ඇති අභියෝගය භාරගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහය.    එවැනි  රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වෙනස සිදුකිරීමට නම් රනිල් වික්‍රමසිංහට දැවැන්ත දේශපාලන පිම්මක් පැනිය යුතුව ඇත. එය කල  හැක්කේ ඔහු වාමවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමග සන්ධාන ගතවීම තුලත් පසමිතුරු සම්ප්‍රදායික සහ ගතානුගතික බලවේග තුලනය කරගැනීමත් තුලය. ඒ සියල්ල කල හැකි මාධ්‍ය වනුවේ ඔහු වර්තමානයේ උසුලන එක්සත් ජාතික පක්ෂයේ නායකකම සහ අගමැතිධුරය පමණි.   

එහෙත්, ඔහුගේ පක්ෂය සහ අනෙකුත් දේශපාලන බලකදවුරුද ඉල්ලා සිටින්නේ රාජපක්ෂලාගේ බොනපාර්ට්වාදයට (Bonapartism) මුහුණදීමට  සමත් ජාතිකවාදියෙකි, බහුතර වර්ගයාගේ ආධිපත්‍යය තහවුරුකල හැකි  Corporate nationalism ව්‍යාපෘතියක් නැවත මතුකළ හැකි නායකයෙකි. රනිල් වික්‍රමසිංහගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය යටතේ එක්සත් ජාතික පක්ෂයේ හිස රැඩිකල්වුවද කද සම්ප්‍රදායකවම කසිකබලකි.  J.R. ජයවර්ධන සහ ප්‍රේමදාස යටතේ පමණක් නොව රනිල් වික්‍රමසිංහ යටතේද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීධුරවලට සහ සංවිධායක තනතුරුවලට පත්ව ඇති අතිමහත් බහුතරයක් එක්කෝ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික පවුල්වලින් පැමිණි දරුවන්ය, නැතහොත් නිදහස් අධ්‍යනය ඔස්සේ ස්වදේශීය භාෂාවලින් ඉගෙනුම ලැබූ ප්‍රාමානික වෘත්තීකයන්ය, නැතිනම් නැතිනම් හයිකාරකම් පෙවිය හැකි මැරයන්ය, නැතහොත් මධ්‍යම පන්තික සිහිනවලින් ඔද්දල්වූ කදවල්ය. රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය කරා යෑමට සිදුව ඇත්තේ ඔවුන් සමගය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ එම ශරීර වඩාත් ඉල්ලන්නේ ඔවුන්ගේ කදවලට ගැලපෙන හිසකි. එය එක්තරා ආකාරයකට එක්සත් ජාතික පක්ෂයට පමණක් සීමාවූ ගැටළුවක් නොවේ. එය අපේ රටේ තත්වයය.  රටේ ජනයාගේ තත්වයය. ඇතැම් පක්ෂවලට, දේශපාලන කණ්ඩායම්වලට තමන්ගේ කදවලට ගැලපෙන දේශපාලන හිස් ලැබී ඇති බව සත්‍යය. එහෙත්  ශ්‍රී ලංකාවේ ජනයාගෙන් අති විශාල බහුතරයක් තවමත් පසුවෙන්නේ සම්ප්‍රදායික වැඩවසම් තත්වයකය. ඔවුන්ගේ සමාජ-සංස්කෘතික  සහ දේශපාලන සබදතා සියල්ල පසුවෙන්නේ එවැනි තලයකය. ඔවුන් ආර්ථික වශයෙන් වෙන වෙනත් ප්‍රතිලාභ භුක්ති වින්දද  සමාජ-සංස්කෘතික  සහ දේශපාලන වශයෙන් තවමත්  සම්ප්‍රදායික වැඩවසම් ජන කොටසකි. එවැනි ජන කොටසකට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් පෙරටුකරගත් දේශපාලන නායකත්වයක් බොහෝදුරට දුරස්ථ ස්වරූපයක් ගත හැක. එහෙත් ශ්‍රී ලාංකික ජන සමාජය දේශපාලන වශයෙන්  වඩාත් ප්‍රගතිශීලි අඩියකට ගෙන යෑහැකි ව්‍යාපාරයක් ප්‍රගතිශීලී ව්‍යපෘතියක් බව පැහැදිලිය. විශේෂයෙන්ම රාජපක්ෂවාදීන්ගේ බොනපාර්ට්වාදයට (Bonapartism)  එරෙහිව එය වඩාත් අභියෝගාත්මකවුවද වඩාත් ප්‍රගතිශීලිවුවකි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
(09/04/2018)

12 comments:

  1. මාකස් ඔබේ විග්‍රහය හා සමඟ බොහෝ දුරට එකඟ විය හැකියි.එහෙත් ලංකාවේ දේශපාලනය කිරීමේහිදී ලිබරල් වාදී නව ප්‍රවණතාවයන්ට රුචි කරන නායකයින් මුහුණදෙන සනාතනික ගැටළුව මහජනතාව බහුතරයක් ඒ හා සමායෝජනය නොවීම. මම හිතන්නෙ පහසුවෙන් විසඳාගත නොහැකි ගැටළුවක් මේ පසුගාමී මහජනතාව.

    ReplyDelete
  2. එක හරි. අපේ මිනිස්සු ඉන්නේ ගවුගානක් ඈතින් !!!

    ReplyDelete
  3. A very perceptive analysis

    ReplyDelete
  4. බොහොම සාධාරණ විග්‍රහයක් , නමුත් මෑතකාලීනව මට පෙනෙන ආකාරයට රනිල් වික්‍රමසිංහ තුල ඔය ලිබරල්වාදී දෘෂ්ටිය දකින්නට ලැබුනේ බොහොම සීමිතව. ඊට වඩා ජනප්‍රිය තලයේ දේශපාලනය සහ ජාතිකවාදය පැත්තට නැඹුරුවක් ඔහු තුලින් දකින්නට් ලැබුනා , පිට පිටම මැතිවරණ ගණනාවක් පරාජය වීම සහ නායකත්වය රැකගැනීමේ අභියෝගය නිසා වෙන්නටත් ඇති

    ReplyDelete
  5. මම හිතන්නේ ඔහු තරමක් දුරට සම්ප්‍රදායික සහ ගතානුගතික කොටසක් තුලනය කරගැනීමට දැන් පෙරට වඩා උනන්දුයි කියලයි.

    ReplyDelete
  6. https://gadyanohothkavi.blogspot.com/2018/04/unp.html

    ReplyDelete
  7. දැන් බන්ඩාරනය පුත්තු නෑ... දැන් හැම තැනම ඉන්නේ ජේ ආර්ගේ පුත්තු...

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න පුත්තුන්ට පියවරු ගොඩයි !!!

      Delete
  8. කතාව ඇත්ත.මිනිසුන් සිතන අයුරු වෙනස් කිරීම පළමුව කළ යුතුයයි සිතේ.ඔවුන්ගේ සාම්ප්‍රදායික සිතිවිලි රටාව ඉන් වෙනස් කළ හැකි අතරඉන්පසු යතාව අවබෝධ කර ගැනීමත් ඒ අනුව කටයුතු කිරීමත් සිදු කරනු ඇත.

    ReplyDelete
  9. මේ සම්බන්දයෙන් සුමිත් චාමින්ද ලියා ඇතිදේ ඉතා වැදගත්. ලංකාවේ සමකාලීන දේශපාලනය තේරුම් කිරීම සඳහා ඉදිරිපත්ව ඇති වාම-ලිබරල් විග්‍රහයන් අතුරින් වඩාත් න්‍යායිකව දැනුවත් විග්‍රහය මෙය (පහත අමුණා ඇති මාකස් ප්‍රියන්තගේ විග්‍රහය) යැයි සිතමි. මාකස් තියුණු ලෙස නිරීක්ෂණය කරන පරිදි චන්ද්‍රිකා-රනිල් පාලන මාදිලිය පැහැදිලිවම ඉන් පෙර පැවති පශ්චාත් යටත් විජිත පාලන මාදිලීන්ගෙන් වෙනස්ය. එසේම, 'රාජපක්ෂ ජනප්‍රියවාදය' පිලිබඳ ඔහුගේ නිරීක්ෂණ සමගද බොහෝ දුරට එකඟ විය හැකිය. නමුත් රනිල්-චන්ද්‍රිකා මොඩලය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සමග සාම්‍ය කොට එය සාපේක්ෂව ප්‍රගතිශීලි යැයි නිගමනය කිරීමේදී ඔහු සිට ගන්නේ සමකාලීන දේශපාලනය පිලිබඳ ග්‍රාම්‍ය ලිබරල් විශ්ලේෂකයන් යැයි හැඳින්විය හැකි ගාමිණී වියන්ගොඩ, මහින්ද රත්නායක, ජනරංජන යනාදීන් සමගය. වාමාංශික න්‍යායික පසුබිමක්ද ඇති විශ්ලේෂකයෙකුට මේ අත් වැරැද්ද සිදුවන්නේ මන්ද?
    මට හැඟෙන පරිදි මෙම චින්තන රටාවේ මූලයන් ඇත්තේ 1980 දශකයේදී නිව්ටන් ගුණසිංහ කළ න්‍යායික තේරුම් කිරීමක් මතය. එනම්, ජනවාර්ගික පසමිතුරුතාව දේශපාලනයෙහි කේන්ද්‍රයට පැමිණීමත් සමග (ඔහු භාවිතා කළේ ප්‍රතිවිරෝධය යන යෙදුමය; එසේම එහිදී ඔහු අල්තුසර්ගේ අධි-නිශ්චය සංකල්පය වැරදි ලෙස යෙදීය) වාමාංශික බලවේග රාජ්‍යයේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයක් සඳහා වන උපාය මාර්ගය තම න්‍යාය පත්‍රයේ මුලට ගත යුතු බවය. නමුත්, අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ චින්තනය ලංකාවට හඳුන්වා දුන් පුරෝගාමී න්‍යායවේදියා හට ලංකාවේ ජාතික ප්‍රශ්නය පශ්චාත් යටත් විජිත පාලක පංතියේ හෙජමොනික අර්බුදයක ප්‍රතිපලයක් බව ප්‍රශස්ත ලෙස තේරුම් කිරීමට නොහැකි විය. නිව්ටන්ගේ ග්‍රාම්ස්චි කියැවීම තුළ 'නූතන-කුමාරයා' කේන්ද්‍රයට පැමිණ ඇති අතර ධනපති හෙජමොනිය පිලිබඳ ග්‍රාම්ස්චිගේ ඓතිහාසික විශ්ලේෂණයක් වූ 'ඉතාලි ඉතිහාසය පිලිබඳ සටහන්' පසුබිමට තල්ලු වී ඇති බව පෙනේ. එහෙයින් පාලක පංති හෙජමොනියේ අසාර්ථකත්වය පිලිබඳ ඓතිහාසික විශ්ලේෂණයකින් තොරව ජාතික ප්‍රශ්නය තේරුම් කෙරිණ.
    ජාතික ප්‍රශ්නය දේශපාලනිකව විසඳීම සඳහා සම්ප්‍රදායික ප්‍රභූ-ධනේශ්වරයට දේශපාලන අධිෂ්ටානයක් සහ ශක්‍යතාවක් තිබේය යන මතිබ්‍රමය මත පදනම් වූ ඊනියා රාජ්‍ය-ප්‍රජාතන්ත්‍රිකකරණය කිරීමේ ලිබරල් ව්‍යාපෘතිය පෙරට ආවේ 1980 ගණන්වලින් පසුවය. එම ව්‍යාපෘතිය තුළ නව-ලිබරල් ආර්ථික ප්‍රවේශය පිලිබඳ වාමාංශික විවේචනය ක්‍රමයෙන් අද්දරට තල්ලු වී ගියේය. (නිව්ටන්ගෙන් පසුව 'ජාතික ප්‍රශ්නය' යන යෙදුම වෙනුවට 'ජනවාර්ගික ගැටුම' යන ලිබරල් හැඟවුමක් ඇති යෙදුම වාම-ලිබරල් බුද්ධිමය කව තුළ භාවිතා වන්නට පටන් ගැනීම අහඹුවක් විය හැකිද?) එසේම නිව්ටන් සහ ඔහුගේ චින්තන සගයන් ඉතාලියේ 1920 දශකයේදී පැන නැගුණු ෆැසිස්ට්වාදී ව්‍යාපාරය පිලිබඳ ග්‍රාම්ස්චිගේ විග්‍රහය ඇසුරින් ජවිපෙ තේරුම් කිරීමටද පෙළඹිණ. (එය අතිසරල තේරුම් කිරීමක් වූ බව අමුතුවෙන් කිව යුතු නැත). ඒ අනුව, ග්‍රාම්ස්චි ඉතාලියේ වාමාංශයට යෝජනා කළ ස්ථානික යුද උපාය මාර්ගය (war-of-position) ලංකාවේ 'සිවිල් සමාජය ශක්තිමත් කිරීමේ ව්‍යාපාරයක්' ලෙස පරිවර්තනය කෙරිණ. නමුත් ඒ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවති ධනවාදීකරණයට එරෙහි දේශපාලන-ආර්ථිකමය විවේචනයකින් තොරවය. ඉහත න්‍යායික දේශපාලනික ප්‍රයානයේ අග භාගයේදී එනම් දැන් අප ඉදිරියේ ඇත්තේ එක්කෝ ''ධනවාදයට එරෙහි වීම වෙනුවෙන් අධිපති ජාතිකවාදය වැළඳගන්නේද'', නැතහොත් ''ජාතික ප්‍රශ්නයට ප්‍රජාතාන්ත්‍රික විසඳුමක් වෙනුවෙන් නව-ලිබරල් ධනවාදී බලාධිකාරයට සහය දක්වන්නේද'' යන තෝරා ගැනීමයි. ස්ටාලින් වරක් පැවසූ පරිදි මේ තෝරා ගැනීම් දෙකම වැරදිය.
    මෑතකදී මා මිත්‍ර විදර්ශන කන්නංගර පෙන්වා දුන් පරිදි දැන් පිළිතුර නොව ප්‍රශ්නය යළි සංකල්පගත කළ යුතුව පවතී. එහි පළමු පියවර විය යුත්තේ මෙරට ජාතික ප්‍රශ්නය ධනවාදී හෙජමොනියෙහි ඓතිහාසික අසාර්ථකත්වයක් තුළින් පැන නගින්නේ කෙසේද යන්න හැකිතාක් ප්‍රශස්ත ලෙස තේරුම් කිරීමයි. එනම්, නිව්ටන් හට 1980 දශකයේදී මග හැරුණු කාර්යය සම්පූර්ණ කිරීමයි. මෙහිදී 'දේශපාලන පංතිය', 'සුපිරි සමාජය', 'දේශපාලන ප්‍රභූ-තන්ත්‍රය' වැනි ව්‍යාකුල සමාජ විද්‍යාත්මක යෙදුම් වෙනුවට දේශපාලනික න්‍යායික සංකල්ප ඇසුරින් සංයුක්ත තත්ත්වය පිලිබඳ සංයුක්ත විශ්ලේෂණයක් කළ යුතුය. නොබෝ දිනකදීම මේ කර්තව්‍යය සඳහා අපගේ දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වෙමු.

    ReplyDelete