This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 26 February 2017

ශාන්ත සෙබස්තියන්තුමාගේ සොහොන සොයා ගියෙමි

ශාන්ත සෙබස්තියන්තුමා යනු ලොව පුරාම වෙසෙන කිතුනුවන් අතර විශාල භක්ති-ආදරයකට ලක්වූ ක්‍රිස්තියානි ආග
මීක විශ්වාසය වෙනුවෙන් දිවිපිදූ (martyrdom) ප්‍රාණ පරිත්‍යාගවරයෙකි (martyr). ක්‍රි. ව. 256 දී නිරිත දිග ප්‍රංශයේ වෙරළ අද්දර පිහිටි කුඩා නගරයක් වන නර්බෝනා (Narbonne) නගරයේ උපතලද මෙතුමා ක්‍රි.ව. 288 දී දියෝකිලේටියන් අධිරාජ්‍යයා (Emperor Diocletian) විසින් රෝමයේදී මරාදමනු ලදි. එහෙත් එතුමාගේ නාමය සහ විශ්වාසය අදටද එතුමා ජීවත්වූ ප්‍රදේශයෙන් සැතපුම් දහස්ගනනක් ඈත එපිට ප්‍රදේශයන්වල ජනයා අතර පවා  ලැගුම්ගත්තකි. 

පුංචි රෝමයවූ අපගේ මීගමුව නගරයේ පමණක්  ශා. සෙබස්තියන් මුනිදුන් වෙනුවෙන් ඉදිකළ විශාල දේවස්ථාන තුනක් මීගමුව කටුවපිටිය සහ වැල්ලවීදිය ප්‍රදේශයේද, වැලිහේන අඩික්කණ්ඩියේද ඉදිකර තිබේ. ඊට අමතරව තවත් කුඩා දේවස්ථාන දෙකක් මීගමුව ඇළපාර පෙරියමුල්ලේ සහ මීගමුව පළගතුරේ කුඩා ලෙල්ලම ඉදිරිපිට ඉදිවී ඇත. ඉන් තුනක් ගැනම මම මීට පෙර මෙහි සටහන්කර තිබේ. ඒවා

1.මීගමුව කටුවපිටිය ගම, එහි ශා. සෙබස්තියන් පල්ලිය සහ කතෝලික පල්ලියේ දේශීය ලක්ෂණ (මෙතැනින් පිවිසෙන්න)

2.මීගමුවේ සැබෑ වූ එකම Reims සිහිනය - වැල්ලවිදිය ශා. සෙබස්තියන් පල්ලිය !!(මෙතැනින් පිවිසෙන්න)

3.ඇළපාර පල්ලියේ සුරැවම අතුරුදහන්වීම ගැන අපූර්ව කථාවක්(මෙතැනින් පිවිසෙන්න)

ආදී ඉහත යොමු ඔස්සේ කියවිය හැක. මෙම පල්ලිවල මංගල්‍යය සමයේ  නිතර වාදනය වූ 'නර්බෝනා නගරයේ වීරයනී' නම් ගීතිකා ඛණ්ඩය පවා තවමත් මා සවනේ රැදී තිබේ. 

එම නිසාම වරක් ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ සිට දකුණු ප්‍රංශයේ තුළුස් (Toulouse) නුවර දක්වාවූ දුම්රියෙන් ගමන් කරමින් සිටින විට එම මාර්යේ පිහිටි නර්බෝනා (Narbonne) නගරයට ගොඩවී එය කුමනා කරාදැයි විමසා බැලීමට මම අමතක නොකලෙමි. සෙබස්තියන් මුනිදුන් ගැන කථා පුවත අප ග්‍රාමයේ පිහිටි ඉහත පල්ලි  ඔස්සේ කුඩාකල සිටම අප හදවත් තුල තැම්පත්වී, මුල් බැසගෙන තිබුනේ ඒ ආකාරයටය. 

කෙසේවුවද, සිය ළමා කාලයෙන් වැඩි කොටසක් ඉතාලියේ මිලානෝ නගරයේ  ගෙවූ සෙබස්තියන් මුනිදුන් රෝම අධිරාජ්‍යය වෙනුවෙන් සටන්කල සෙන්පතියෙක් විය. එහෙත් ඔහු රහසිගතව ක්‍රිස්තියානි ආගම වැළදගත් තැනැත්තෙක් බව රෝම හමුදා නිලදාරීන්ට සොයාගෙන තිබේ. ක්‍රිස්තියානි ආගම තහනම් ආගමක්වූ එකල, රෝම අධිරාජ්‍ය තුල ක්‍රිස්තියානි ආගම ඇදහු තැනැත්තන්ව දසවද දී මරාදමන ලදී. 

එහෙත් තරුණ රෝම සෙන්පතියෙක්වූ සෙබස්තියන් හට අවස්ථාවක් දුන් රෝම නිලධාරීන් ඔහු සිය ක්‍රිස්තියානි ආගම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර, සෙසු ක්‍රිස්තියානීන්වද අල්ලාදෙන්නේ නම් ඔහුව නිදහස් කොට නැවත සිය තනතුරේම පිහිටවිය හැකි බව දන්වා ඇත. එහෙත් ඔහු සිය විශ්වාසය සහ ආගම වෙනුවෙන් දිවිපිදීම තෝරාගෙන තිබේ. ඒ අනුව ගසක බැද හේවායින් විසින් දුනුවිද මරාදැමීමට ක්‍රියා කලද ඔහු මිය නොයන ලදී. පසුව මාරාන්තික තුවාල ලබා සිටියදී ක්‍රිස්තියානීන් විසින් ඔහුව මුදාගෙන නැවත සුවපත්කර තිබේ. 

අනතුරුව ක්‍රි.ව. 288 දී දියෝකිලේටියන් අධිරාජ්‍යයා  (Emperor Diocletian) ගමන්කරන මාර්ගයේ රැදී සිට ඔහු පැමිණිවිට ඔහු සමීපයටම ගොස් තමා මියගියේ නැති බවත්, ක්‍රිස්තියානි ආගම එසේ ක්‍රිස්තියානීන් මරා දමා යටපත් කල නොහැකි බවත්, එහෙයින් ක්‍රිස්තියානනීන්ට එරෙහි මර්ධනය නතර කරන  ලෙසත් දියෝකිලේටියන් අධිරාජ්‍යයාගෙන් (Emperor Diocletian) ඉල්ලා ඇත. එහිදී නැවත අත් අඩංගුවට ගත් මෙතුමාව අධිරාජ්‍යාගේ අණ පරිදි මැරෙන තුරු කටු සැමිටියෙන් (scourge) පහරදී මරණයට පත්කර පැරණි රෝම අපද්‍රව්‍ය ප්‍රවාහක කානුවට (Cloaca Maxima) ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර තල්ලුකර දමා තිබේ. 

එහෙත් එදින රාත්‍රීයේදී ඔහුගේ සිරුර වැටී ඇති තැන තවත් ක්‍රිස්තියානි බැතිමතෙකුට සිහිනයෙන් දැකගැනීමට හැකිවී ඇති අතර ඒ අනුව ක්‍රිස්තියානීන් ඔහුගේ සිරුර සොයාගෙන පැරණි රෝම නගර පවුරෙන් (The Aurelian Wall) එපිට පිහිටි ක්‍රිස්තියානීන් භාවිත කල පැරණි රෝම උමං සොහොනක (catacomb) තැම්පත් කර තිබේ. 

අද Catacombe San Sebastiano පල්ලිය ඉදිකර ඇත්තේ එම උමන් සොහොන මතය. ක්‍රිස්තියානි වාර්තාවලට අනුව මෙම ශා. සෙබස්තියන්  උමන් සොහොන තුල පේදුරුතුමාගේ සහ පාවුළුතුමාගේ සිරුරුද කලක් තැම්පත් කර තිබේ. ඒ ක්‍රිස්තියානි ආගම තහනම් ආගමක්වූ ක්‍රි.ව. 1-322 අතර කාලයේදීය. එකල කිලෝමීටර් 12ක් දුරට විහිදී තිබු  මෙම උමන් සොහොන මෙන්ම තවත් එවැනිම සොහොන් 55 රෝම නගර පවුරෙන් එපිට පිහිටා තිබී සොයාගෙන ඇත. ඉන් බොහෝමයක් එකල විසු ක්‍රිස්තියානී ජනයා විසින් භාවිතා කර තිබේ. එහෙත් අද මහජනයාට නැරබීමට විවෘතව ඇත්තේ 05ක් පමණි. 

කෙසේවුවද, රෝමයේ ශා.පීතර බැසිලිකාව ඉදිකළවිට  පේදුරුතුමාගේ සිරුර එම බැසිලිකාවේද, පාවුළු තුමාගේ සිරුර රෝමයේ ශා. පාවුළු බැසිලිකාව ඉදිකලවිට එහිද තැන්ම්පත්කර තිබේ.  එහෙත් ශා. සෙබස්තියන්තුමාගේ සිරුර පිහිටි උමන් සොහොන මතම එතුමා නමින් ක්‍රි.ව. 4වෙනි සියවසේදී මෙම දේවස්ථානය ඉදිකර එතුමාගේ සිරුර එහි තැම්පත්කර තිබේ. එමෙන්ම එතුමාව මරා දැමුවේ යැයි සැලකෙන Palatine කන්ද මතද San Sebastiano al Palatino නමින් 10වෙනි සියවසේ ඉදිකළ දේවස්ථානයක් ශා. සෙබස්තියන්තුමා නමින් පිහිටුවා ඇත. එහෙත් San Sebastiano fuori le mura (Basilica of Saint Sebastian outside the walls) හෙවත් San Sebastiano ad Catacumbas (Saint Sebastian Catacumbas) නම් මෙම ශාන්ත සෙබස්තියන් දේවස්ථානය රෝමයේ පිහිටි කතෝලිකයන්ගේ  ප්‍රධාන වන්දනීය ස්ථාන 07න් (Seven Pilgrimage Churches of Rome) එකකි. සෙසු දේවස්ථානය වනුයේ ශා. පීතර බැසිලිකා, ශා. පාවුළු බැසිලිකා, ශා. ජෝන් ලේටරන්, ශා. මේරි මැජෝරේ, ශා. ලෝරන්ස් සහ ශුද්ධවූ කුරුසේ බැසිලිකා දේවස්ථානය.

ශා. සෙබස්තියන්තුමා ඇතුළු සියළු ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගවරුන් මට සිහිකරනුයේ ක්‍රිස්තියානි  සුභාරන්චිය නොනැසී, සියවස් ගණනාවක් පවත්වාගෙන යෑමට කෙතරම් නම් පිරිසක් ජීවිත පුජාවෙන් කටයුතු කර තිබේද යන්නය. ඔවුන්ගේ ප්‍රාණ පරිත්‍යාගයන්, ජීවිත පුජාවන් නොවන්නට කිතුදහම  අද ලබා ඇති අද්වීතීය ස්ථානය කිසිසේත්ම හිමි කර නොගැනීමට පවා ඉඩ තිබුණි. අද ඇතැම් මුලධර්මවාදීන් කතෝලික සභාව ශාන්තුවරයන් ස්මරණය කරනුයේ ඇයිදැයි අසන අවස්ථා තිබේ. එහෙත් ශාන්තුවරයන්ගේ ඉහත ප්‍රාණ පරිත්‍යාගයන් නොවන්නට එසේ ඔවුනට වාද කිරීමට පවා ක්‍රිස්තියානි දහමක් ඇතැම් විට ඉතිරිවීමට ඉඩ නොතිබිණි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
26/02/17.


 


6 comments: