This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 7 December 2016

නත්තල් ගස ඇලකර නත්තල අල කරමුද ?


ඉහත චිත්‍රයෙන් දැක්වෙනුවේ 8වන සියවසේදී ජර්මනිය තුල ක්‍රිස්තියානි ධර්මය පැතිරවූ ශාන්ත බොනිෆස් තුමා (St. Boniface) ජර්මනියේ Geismar පළාතේ එවකට සිටි පැරණි ආගම් (pagan religion) ඇදහු ජනකොටස් ශීත කාලයේදී බිලිපුජා පවත්වා තෝර් දෙවියන් (god Thor) වන්දනාමාන කල  Thunder Oak ගස කපාදමන අන්දමය. එම ගස කපා තෝර් දෙවියන්ට (god Thor) අභියෝග කල ශාන්ත බොනිෆස්තුමා (St. Boniface) කෑලි හතරකට කඩා වැටුණු Thunder Oak ගසට යටනොවී බේරුණු හොදින් වැඩෙමින් තිබු දේවදාර ගසක් (fir tree) ගෙන  "This little tree, a young child of the forest, shall be your holy tree tonight. It is the wood of peace, for your houses are built of the fir. It is the sign of an endless life, for its leaves are ever green. See how it points upward to heaven. Let this be called the tree of the Christ-child; gather about it, not in the wild wood, but in your own homes; there it will shelter no deeds of blood, but loving gifts and rites of kindness.."  යැයි කියමින් නුතන නත්තල් ගස පිළිබද කථාවට මුල පිරූ බව  කියවේ. 

ගිය වසරේ විශේෂ නිවේදනයක් නිකුත්කල ශ්‍රී ලංකාවේ මැල්කම් රංජිත් කාදිනල්වරයා ජේසුතුමාගේ උපත සමග සම්බන්ද නැති නත්තල් ගස් ලංකාවේ පල්ලි ඇතුලට නොගන්නා ලෙස ඉල්ලා තිබුණි. එහෙත් එම නිවේදනය නිකුත්කරන විටත් කතෝලික පල්ලියේ මූලස්ථානයවන වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිට දැවැන්ත නත්තල් ගසක් ඉතා අලංකාර ලෙස සරසා දිදුලමින් තිබුණි.  

දැන් මේ වසරේ ලෝකයේ උසම නත්තල් ගස ලෙස ඉදිකිරීමට ගිය නත්තල් ගස ලංකාවේ ගාලුමුවදොර පිටියේ ඉදිකිරීමට ගත් උත්සාහය මැල්කම් රංජිත් කාදිනල්වරයා විසින් විවේචනය කර තිබේ. එය නාස්තිකාර වියදමක් බවත් එම මුදල් ලංකාවේ දිළිදන් වෙනුවෙන් යොදවන්නේ නම් වඩා යහපත් බවත්, දැන් හෝ එම කටයුත්ත නවත්වා එම මුදල් දිළින්දන් වෙනුවෙන් යොදවන්නේ නම් හොද බවත් ඔහු ඊයේ (06/12/16) කියනු ඇසුවෙමි. ඒ අනුව එම නත්තල් ගස කියූ පරිදි ඉදිවන්නේද නැද්ද යන්න ඉදිරියේදී තීරණය වනු ඇත. කාදිනල්තුමාගේ ප්‍රකාශයට අනුව මෙම නත්තල් ගස ඉදිකිරීම නාස්තිකාර, නිස්කාරන වියදමකි. අනෙක, මෙම කටයුත්ත සම්බන්දයෙන් ලංකාවේ කතෝලික සභාවේ කිසිදු සම්බන්දයක් නැති බවත් ඒ සම්බන්දයෙන් තමාගේ කිසිදු විමසීමක් සිදුකර නොතිබි බවත් දක්වන ලදී. 

ලෝකයේ උසම නත්තල් ගස යැයි කියමින් වරාය ඇමති අර්ජුන රණතුංග පදනම මගින් තනන්නට යන නත්තල් ගස සම්පුර්ණයෙන් ඔහුගේ නම ඉස්මතුකරගැනීමේ ක්‍රියාවක් බව පැහැදිලිය. එමගින් වරාය ආධිකාරියටවත්, ශ්‍රී ලංකාවටවත්,  ලාංකීක කිතුනු ප්‍රජාවටවත් කිසිදු ප්‍රයෝජනයක් අත්නොවේ. අනෙක් අතට ගිනස් වාර්තාව පිහිටවීමට හැකිවේද? ඒ කෙතෙක් කාලයකටද ? එම ගිනස් කමිටුව ජාත්‍යන්තර වශයෙන් පිළිගනීද යන්නද සැකසහිතය. මන්දයත් දැනටමත් එහි කටයුතු සහ ප්‍රගතිය සම්බන්දයෙන් නීරීක්ෂණ මට්ටටමින් හෝ ගිනස් කමිටුව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත. කරන්නන් වාලේ කටයුතු කිරීමෙන් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වාර්තා තිබීමට නොහැක. ඒ සදහා නියමිත ක්‍රියාවලිය අනුගමනය කල යුතුය. මෙම නත්තල් ගස නිසා අගනුවර හෝ ලංකාවේ කිසිම තැනක නත්තල් සමරුවකට හෝ ලංකාවේ සමරන නත්තලට  විශේෂ ආලෝකයක් හෝ වැදගත්කමක් හිමිවෙන්නේද නැත. සිදුවිය හැක්කේ ලෝකයේ ලොකුම, ප්‍රථම, එකම, උසම, විශාලතම ආදී ලෙස දේවල් කරනවා යැයි සිතමින් මනෝ වින්දනයක් ලැබීමට කැමති ලාංකීකයන්ගේ මන-දොළ සපිරීම පමණි. 

එහෙයින් ලෝකයේ උසම නත්තල් ගස යැයි කියන නත්තල් ගස ලංකාවේ ගාලුමුවදොර පිටියේ ඉදිකිරීමට ගත් උත්සාහය මැල්කම් රංජිත් කාදිනල්වරයා විසින් විවේචනය කර තිබීම නිවැරදිය. එම මුදලින් දිළිදුන්ට යම්  සේවයක් සැපයිය හැක. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම කතෝලික පල්ලිය සහ වෙනත් ක්‍රිස්තියානි සභා දිළිදුන්ට සෙත සැලසීම වැනි මහත් උදාර සමාජ සේවාවල නිරතවේ. එය ඉතා ඉහලින් අගය කල යුත්තකි. එහෙත් එවැනි සමාජ සේවා සැපයිම මගින් පමණක් සමාජයේ දිළිදුකම පිටු දැකිය නොහැක. එහිලා පවත්නා ආර්ථික-සමාජ ව්‍යූහය වෙනස් කල යුතුය. ඒ සදහා කතෝලික පල්ලියටවත්, වෙනත් ක්‍රිස්තියානි සභාවලටවත් පොදුවේ කිසිදු ආගමකටවත් සංයුක්ත වැඩ පිළිවේලක් නැත. කෙසේවුවද ක්‍රිස්තියානි ඉගැන්වීම තුල දිළිදුකම විවිධ ලෙස අර්ථ දක්වන බවද අමතක නොකල යුතුය. එය වෙළද පොළ ආර්ථිකය තුල ආර්ථික දිළිදුකම හෙවත් ක්‍රය ශක්තිය හීනවීම මෙන්ම  තම වැරදි ගැන මනස්ථාපනයවී දෙවියන්වෙතට හැරීමද දිළිදුකමක් ලෙස (සිතින් දිළිදුකම) ක්‍රිස්තියානි ආගම දක්වයි. මෙම නත්තල් කාලයේ ජේසුතුමාගේ උපත සමරන ඔවුන් ඉල්ලා සිටින්නේ තම වැරදි ගැන මනස්ථාපනයවී දෙවියන් වෙතට හැරීමට මුල්තැන දෙන ලෙසය.  ඔවුන්ගේ ආගමික ඉගැන්වීම තුල ඔවුන් බලාපොරොත්තු වන්නේ එය වුවද නත්තල යනු එසේ ජේසු උපත හා පමණක් බැදී හුදෙක් පරම ශුද්ධ නිර්මල දෙයක් නොවේ.

ඇත්තවශයෙන්ම කිවහොත් නත්තල යනු ජේසුතුමාගේ උපත සැමැරීම කේන්ද්‍රකරගත්  ගෝලීය සංස්කෘතික උත්සවයකි. ඒ මක්නිසාද යත් ක්‍රිස්තියානි ආගමේ ශුද්ධවූ ලියවිල්ලවන බයිබලයේ කිසිදු තැනක ජේසුතුමා උපන්නේ කුමන මාසේ කුමන දිනයක වේදැයි නොදක්වන අතර ජේසුතුමාගේ උපතක් සැමැරීම සිදුකල යුතු යැයි දැක්වීමක්ද සිදුකර නොමැත. ජේසු තුමාගේ උපත උත්සවාකාරයෙන් සැමැරීම පසුකාලයකදී ක්‍රිස්තියානි ආගම ජනප්‍රිය කරවීමේ ව්‍යායාමක් ලෙස ඉදිරියට පැමිණි දෙයකි. එය දෙසැම්බර් 25වෙනි දින සිදුකිරීම බොහෝදුරට පැරණි යුරෝපයේ ජනයාගේ වර්ෂ අවසාන ශීතකාලයේ ඔවුන් පවත්වාගෙන ගිය පැරණි දෙවිවරුන්(pagan gods) නැමදීම් වෙනුවට ආදේශ කිරීමක් ඔස්සේ බිහිවුවකි. 

කලින් සදහන් කලලෙස ශාන්ත බොනිෆස් තුමා (St. Boniface) ජර්මනියේ Geismar පළාතේ ජනයා වන්දනාමාන කල  Thunder Oak ගස කපාදමා ඒ වෙනුවට දේවදාර ගස (fir tree)  නව හරයක් ඔස්සේ හදුන්වාදුන් ලෙසම පැරණි රෝමානු ජනයාගේ Saturnalia දෙවියන් සැමරීමට වාර්ෂිකව පවත්වාගෙන ගිය උත්සවය වෙනුවට ජේසු උපත සිහිකරමින් නත්තල් උත්සවයක් හදුන්වාදුන් බව ක්‍රිස්තියානි ආගමික ඉතිහාසය ගැන අධ්‍යනය කල තැනැත්තන් දනිති. ඒ වෙනත් පැරණි ආගම් ඇදහු ජනයා (pagan) ක්‍රිස්තියානි ආගමට ඈදා ගැනීමටය. එසේ ඔවුන් ක්‍රිස්තියානි ආගමට ඈදා ගැනීමේදී ඔවුන් පමණක් නොව ඔවුන් එතෙක් ඇදහූ පැරණි ආගමික (pagan) චාරිත්‍රවලින්  තෝරාගත් දේවල් රාශියක්ද ක්‍රිස්තියානි ආගමට ඇතුල්කරගත් බව සත්‍යකි. එය ක්‍රිස්තියානි ආගමට විශ්වීය ලක්ෂණයක්, පොදු බවක් අත්කර දෙනලදී. මෙසේ ක්‍රිස්තියානි ආගමට ඇතුල්කරගත් පැරණි ආගම්වලින් (pagan) උකහාගත් දේවල් අතර නිරාගින්න (hellfire), ශුද්ධවූ ත්‍රිත්වය (Holy Trinity), දේව අම්මා (Mother goddess) ආදිය මෙන්ම නත්තල් උත්සවයදවේ. 

ඒ අතරින්  නත්තල් උත්සවය සෙසු සෑමදෙයක් අතරින්ම වඩාත් ජනප්‍රිය ක්‍රිස්තියානි අංගයවිය. ප්‍රේමය, සමාව, සහෝදරත්වය, ආත්ම පරිත්‍යාගය සහ විශ්වාසය තුල නව ජීවිතයක් ගැන දේශනා කල ජේසුතුමාගේ උපත සමරන නත්තල් උත්සවය තවත් එක් විශිෂ්ඨ ආගමික නායකයකුගේ හෝ උදාර මිනිසෙකුගේ උපතක් සැමරීමකට සීමා නොවී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනයාගේ ප්‍රධාන ආගමීක උත්සවය වන්නේද, ලෝකයේ ප්‍රධාන සංස්කෘතික ධාරාව බවට පත්වන්නේද එම උපත උත්කර්ෂවත් ලෙස සැමරීම සදහා නත්තල් ගස්, නත්තල් සැරසිලි, නත්තල් ගායනා, කැරොල්, නත්තල් සීයා, නත්තල් සුභ පැතුම්පත්, නත්තල් ඉටිපන්දම්, ගවලෙන්, නත්තල් කේක්, මෝල්ඩ් වයින්, නත්තල් කඩපිල් ආදී විවිධ ජනකණ්ඩායම්වලට අයත් පැරණි මෙන්ම අළුත් චාරිත්‍රවාරිත්‍ර රාශියක් එකතු කරගැනීම තුලය. 

නත්තල් උත්සවය හා බැදී එම ගෝලීය ලක්ෂණ ඉවත් කර හුදෙක් දේව පුත්‍රයාගේ ආගමනය සිහිකිරීමට පමණක් සීමාවූයේනම් ක්‍රිස්තියානි ආගම විශ්වීය ආගමක් බවට පත්නොවී Igbo Jew වැනි තවත් යුදෙව් ආගමේන් බෙදීගිය ආගමක් පමණක් බවට පත්වීමට ඉඩ තිබුණි. මෙම සත්‍ය කතෝලික සභාවද, මැල්කම් රංජිත් කාදිනල්වරයාද, හොදින් පුහුණුව ලැබූ කතෝලික පුජකයන්ද හොදින් දනී. එහෙත් දේශීය තත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සදහා ශ්‍රී ලංකාව කතෝලික සභාව දක්වන අතිමහත් උනන්දුව තුල ඉහත කතෝලික ආගමේ විශ්වීය ලක්ෂණයන් බරපතල ලෙස අභියෝගයන්ට ලක්වෙමින් පවතින බව මගේ හැගීමයි. පසුගිය වසරේදී මෙන්ම මේ වසරේද නත්තල් ගස ගැන කාදිනල්තුමා දැක්වූ ප්‍රතිචාරයත්, මරදාන ශා. ජෝසොප් විදුහලේ දරුවන්ගේ මවුවරුන්ට ඇදිය යුතු ඇදුම් ගැන උපදෙස්දීමට දැන්වීම් පුවරු සවිකිරීමත්, කතෝලික පුබුදුව සංවිධානය ඇසුර ඔස්සේ බිහිවූ පුජකවරුන් පල්ලියට පැමිණෙන ජනයාට සුදු ඇදුමින් තොරව පැමිණීම තහනම් කිරීමත් ආදිය මගේ ඉහත නිගමනයට හේතුවවේ. ශ්‍රී ලංකාව තුල  බෞද්ධ ආගම තුලට හින්දු ආගම ඇතුල්වී කර ඇති අවුලට සමාන අවුලක් විශ්වීය කතෝලික ආගම  දේශීය තත්වයන්ට අනුව හැඩගස්සවා ගැනීමට ගොස් සිදුකරගැනීමට ආසන්න දැයි සිතෙනවාර අනන්තය. 

'නත්තල් ගස ඇලකර නත්තල අල කරමුද?' යන්නෙන් මම විමසා සිටියේ කුමක්දැයි මේ කරුණු කරණා පදනම් කරගනිමින් ඔබට තේරුම් ගත හැකි යැයි සිතමි.
මාකස් ප්‍රියන්ත පෙරේරා
07/11/2016

15 comments:

  1. කතෝලික ආගම දේශීයකරණය ගැන කියන්න තියෙන්නේ සරල දෙයක්.
    සිංහල බෞද්ධයෝ යුද්ධයට කැමතියි. සිංහල කතෝලිකයෝ සාමයට කැමතියි. වෙනත් ආකාරයකට කියනවා නම් සිංහල කතෝලිකයා දෙමළෙක් වගේ එකෙක්. මේ ගැප් එක තියෙනකම් මොනවා කලත් කතෝලික ආගම දේශීය කරනය වෙන්නේ නෑ.

    ReplyDelete
  2. Mmmm Mona krnnada cardinalwa dn thiththai.....

    ReplyDelete
  3. සබඳ ජගත්, සිංහල කිතුනු ඔබ, සිංහල බෞද්ධයා යුධගෝචර යැයි කියන්නේ කතෝලිකයන්ගේ ඉතිහාසයේ කුරුස යුද්ධ හා බ්‍රිතාන්‍යයේ witch massacre ගැන හොඳ අවබෝධයෙන් කියා සිතමී. එය සිංහලයන්ට අදාළ නොවන එත් කිතුනු නියාවෙන් අපට ගැවෙන අඳුරු අප්‍රසිද්ධ ඉතිහාසයකි. ඔබෙ දැනගැන්මට, මම සිංහල කිතුනුවෙක් වෙමී.

    කාදිනල්තුමා ඉහතකදි සඳහන් කළ සේ මෙරට බෞද්ධ අත්තිවාරම හො වපසරිය නොවන්න, අද නත්තල් ගස් ගාලුමුවදොර නෙවේ අපේ ගෙදරක හදනවා බොරු.

    මෙරටෙ මිනිස්සු රටක් ආක්‍රමණය කිරිමක් කර තිබෙනවාද? (අප රටෙහි 12000ක ජනතාව වහල් සේවයෙන් ගලවන්න බුරුමය විනා) නැත්නම් ආක්‍රමණිකයන්ගෙන් රට බේරාගැනීමක්ද කර තිබෙන්නෙ කියා හොඳින් හිතලා බලන්න.
    සිංහල කිතුනුවා දමිළයෙක් වගේ?
    එතකොට අපි අැතැම් දමිළ ජනතාව අදහන කාලී අම්මා වැනි, සිය අධාර්මිකයන්ගේ හතුරගේ ගෙල සිඳින ආගමක් අදහනන් වගේද අපි?
    මං හිතුවෙ අපි අනුන්ගෙ පණ රකින නැත්නම් අපේ පණ දෙන ආගමිකයන් කියයි.

    නම ජගත් වගේම ඔබ උගත් කියාද මම සිතමී,
    නැත්නම් ඔබ ඉදිගොල්ල නව දේවස්ථානයට බලන්න කියා ඉල්ලා සිටිනවා. එ කතෝලික ධර්මය දේශියකරණය වු එක් උදාහරණයක් පමණි.
    කරුණාකරලා මෙහි තේමාවට අදාළ Comment දමන්න.
    ජේසු පිහිටයි.

    ReplyDelete
  4. මාර්කස්, මම ඔබගේ දැනුම සහ කරුණු ඉදිරිපත් කරන පරිණතභාවය ගැන අතීශයින්ම සතුටු වන එය අගය කරන කෙනෙක්. කාදිනල්තුමා කියන මුදල් නාස්තිය කියන කාරණය පිලිගත නොහැකි වන්නේ අපේ පල්ලිවල කරණ නිස්කාරණ නාස්තිය නිසා. මම මාබෝල මීසමේ කෙනෙක්. මේ පල්ලියේ 200වන ජුබිලිය පැවැත්වූයේ මේ වසරේ අගෝස්තු 16. ඒ ජුබිලියට මුළු පල්ලියම නවීකරණය කලා. දෙපස තිබුණු පරණ කුඩා පල්ලි දෙක කඩලා විකාර ආකාරයට විශාල කලා. හැම කතෝලික පවුලකින්ම මාසෙකට ගාණක් එකත්‍ර කලා. ඒ විතරක් නෙමෙයි. දහම් පාසල් ළමයින්ගේ කැටවලින් පවා මුදල් ගත්තා. අවසානයේ ඒ මුදල මිලියන 45ක් හැටියට සටහන් වුණා. මේක පුංචි මීසමක්. බහුතරය දුප්පතුන්. ජුබිලි පූජාවට ආවේ කාදිනල්තුමා. එතුමා මේ නාස්තිය දැනගෙන හිටියා. නමුත් මේ විය ගස දුප්පතුන්ට දරන්නට හැර පියා සිටියා මිස ඇගිල්ලක්වත් තැබුවේ නෑ. එවන් චරිතයක් මාධ්‍ය ඉදිරියේ අර වගේ ප්‍රකාශයක් කිරීම කොයිතරම් යුක්ති සහගතදැයි මට හිතෙනවා. මේ තමයි පරිසි සම්ප්‍රදාය.
    මම සමන් ආර්. සිල්වා

    ReplyDelete
    Replies
    1. Piyathumek lesa oba veni charitha mata behevin hamuvee etha. oba idiripatha karana de thaarkika netha.

      oba pawasana akarayata avrudu 200 parana dewasthanaya aluthwediya nokala yuthuya.
      Varthamana Mabola janathawa oba kiyana tharam dilidu nam denata awrudu 200 ihatha jeewath una Mabola janathawage arthika thathwaya obatath matath sitha gatha nohakiya. eka deyak isthira washyen mata kiwa hakiya enam oba weni kenek nositinnata ethi kiyaya.

      Milliona 45 dilidungen soyagaththanam e gena adambara viya yuthuya manda deshpalgnainta ho wenath balawathunta yatath novee meweni deyak kireema prashansaneeyai.

      piyathuma eka duppath pawlakin milliana 45 ekathu karagaththa nam mamath ita virudda vemi. namuth garu piyathuma ese nokala bawa mama vishwasa nokarami. mabole dilidun gena kakkumak thiyana oba thuma piyathuma naveekarana katayuthu walata mudal ekathu kireemata aramba kala mohothe oba thuma millianayakwath parithyaga kala nam dilidu pawlakin ekathu wiya yuth mudala rupiyalakin ho adu weemata ida thibuni. oba thuma satha pahakwath nodun bawa mama vishwasa karami. dan oba thumata Cardinal wahanseta abiyoga kala noheka!

      avrudu 200 perani dewasthanaya aluth wediya nokala nam eya garawetee kadaweteemata ida thibuni ese uvanam aluthwediya kireemata wada wedi mudalak viyadam kireemata siduwe......ema viyadama daranne kawda? jeevith vinash uvahoth e aduwa pirimasanne kawda......

      awasana kota oba weni kithunuwan gena mata eththe lejjawaki...kanagatuwaki...pilikulaki......

      Delete
    2. මේ කාලෙ ඕනෙම පල්ලියකට ගිහින් බලන්න හැම පල්ලියකම වගේ මොකක් හරි හදන්න කියලා සල්ලි ඉල්ලනවා. සමහර පල්ලි හොඳට තියෙද්දි සල්ලි එකතුකරලා චැපල් අටවන්නෙ මොන කෙහෙල්මලකටද? ඒ චැපල් වලට වෙන දෙවි කෙනෙක් වඩිනවද?

      දැන් ස්වාමිලාගෙ මීසම් ගෘහ වලට ගියාම ධන කුවේරයෝ පරාදයි. තට්ටු ගණන්වල මාලිගා. යන්නෙ ඇමතිවරුන්ගෙ වගේ ලොකු ලොකු වාහනවල. ඇයි එව්වා දුප්පතුන්ට දෙන්න බැරි. ජේසුස් වහනේට ඔය මොකුත් තිබුනේ නෑ. ඇවිද්දෙ පයින්. ස්වාමිලාට ඒසී කාමර නැත්නම් ඉන්න බෑ.

      දැන් පන්සල් වල දායක සභාවල මුල්තැනට දානවා වගේ ස්වාමිලා හදන්නෙ ගමේ සල්ලිකාරයාව ගෙනැල්ලා මීසම් සභාවෙ මුල් පුටුවට දාන්න.

      කියන්න තියෙන්නෙ දැන්නම් සභාව ගොඩක්ම පිරිහිලා. ආයෙ ජේසුස් වහන්සේම එන්න ඕනෙ මේ අලුත් පරිසිවරු ටික පන්නලා දාන්න.

      Delete
    3. /////ආයෙ ජේසුස් වහන්සේම එන්න ඕනෙ මේ අලුත් පරිසිවරු ටික පන්නලා දාන්න.//////////

      මේක සියළුම ආගම්වලට අදාලයි. බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ.

      Delete
  5. ස්තූතියි සමන්, නාස්තිකාර වියදම් යන්න කෙසේවෙතත්, කාදිනල්තුමාගෙන් අහලා කතෝලික පල්ලියෙන් අවසර අරන් මේ නත්තල් ගස හදන්න පටන්ගත්නම් කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. මට පෙනෙන්නේ කාදිනල්තුමාත් බලය පෙන්වන්න පටන් වගේ, අර මහා නායකවරුන් වගේ. කිසිම තේරුමක් නැහැ. දෙවියන්ගේ දේ දෙවියන්ට දීලා නත්තල්ගස් එහි වියදම් ආදි මිනිස්සුන්ගේ දේවල් මිනිස්සුන්ට දුන්නනම් ඉවයිනේ !!!

    ReplyDelete
  6. විච් හන්ටිං ඉතා කෲර වුනාට පේගන් දේවල් ක්‍රිස්තියානි බවට පත් කිරීම ඉතා සුමට ලෙස කර තිබෙනවා. මං හිතන්නෙ සෑම ආගමක්ම වගේ ඊට කලින් තිබූ ඇදහිලි තමන්ගේ බවට පත් කරගෙන තිබෙනවා. බුද්ධාගමත් ඉතා විශාලවශයෙන් හින්දු හා ජන ඇදහිලි ලබා ගෙන තියනවා. වෙන එකක් තියා පීතෲ මූලික ග්‍රීක දේව ඇදහිලි වුනත් ඊට කලින් තිබුන මාතෲ මූලික දේව ඇදහිලි තමන්ගේ පැත්තට හරවාගෙන තියනවා.

    Btw, do you read alternate history. It is light reading but you might like -
    https://en.wikipedia.org/wiki/The_Hammer_and_the_Cross

    ReplyDelete
  7. යුරෝපීය රටක ඉන්න බුද්ධාගම අදහන සුද්දෙක් හිම වැටෙන කාලෙට නිවසේ නත්තල් ගසක් සෑදීම බුදුදහමට එකඟයි.
    නමුත් සිංහල බෞද්ධයෙක් එහෙම කල යුතු නෑ.
    නත්තල් ගස නත්තල් සීයා ක්‍රිස්තියානි කරනය වුනාට හැලෝවින් නිසි විදියට ක්‍රිස්තියානි වුනේ නෑ නේද? ඒකට හේතුව මොකක්ද?

    ReplyDelete
  8. https://holytemplenet.wordpress.com/2016/12/10/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b7%80%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb/

    ReplyDelete
  9. "මෙසේ ක්‍රිස්තියානි ආගමට ඇතුල්කරගත් පැරණි ආගම්වලින් (pagan) උකහාගත් දේවල් අතර නිරාගින්න (hellfire), ශුද්ධවූ ත්‍රිත්වය (Holy Trinity), දේව අම්මා (Mother goddess) ආදිය මෙන්ම නත්තල් උත්සවයදවේ."

    ප්‍රියන්ත, මේ ප්‍රකාශය සඳහා ඔයා පාදක කරගන්නා සාක්ෂි මොනවාද කියලා දැනගන්න කැමතියි. මම දන්නා තරමින්, නිරය ගැන බයිබලයේ තැන් කිහිපයක ම සඳහන් වෙනවා. ජේසුස් වහන්සේත් සෘජුවම ඒ ගැන කතා කරලා තියෙනවා. ත්‍රීත්වය කියන වචනය බයිබලයේ නැති වුනත් ඒ සංකල්පය ඉතා පැහැදිලිව බයිබලයේ ඇතුළත් වෙනවා. කතෝලික සභාව කළේ නමක් දීමයි. දේව මාතාවන්ට ඇති තැනත් එසේමයි. දේව දූතයාගේ ආචාරයේ සිට එතුමියට තිබූ තැන ඉතා පැහැදිලියි. කිතුනුවන් තුළ දේව මාතාවන්ට ඇති භක්ත්‍යාදරය 4වන 5වන සිදුවූ කතෝලික ආගමට පැරණි ආගම් වල බලපෑම ලැබුණායි කියන කතාවට වඩා ගොඩාක් ඈතට යනවා. ඒ නිසා ඔබට මේ ගැන පැහැදිලි කර දීමට හැකිනම් අගෙයි.

    ReplyDelete
  10. සූරිය, මම සාමාන්‍යයෙන් කොමන්ට් වලට ප්‍රතිචාර දක්වන්නේ ඉතා අඩුවෙන්. එහෙත් ඔබ දිගටම අහන නිසා කියන්නම්. නිරාගින්න (hellfire), ශුද්ධවූ ත්‍රිත්වය (Holy Trinity), දේව අම්මා (Mother goddess) යන කරනා බයිබලයේ නැහැ. නමුත් එවැනි ඉගැන්වීම් සංකල්ප ගත කිරීමට පදනම් වූ යෙදුම් බයිබලයේ තිබෙනවා. උදාහරණයක් ලෙස Matthew 25:41, 12:42, 13:50, 25:46, Revelation 21:8 සහ Mark 9:43 ආදිය තුල නිරාගින්න අර්ථ දැක්විය හැකියි. එහෙත් කතෝලික සභාව එවැනි ඉගැන්වීම් විස්තර කරදීමේදී එතෙක් පැවති විවිධ පැරණි ආගම් වල සංකල්පවලට සමාන අර්ථගැන්වීම් පදනම් කරගෙන තිබෙනවා. Mark 9:43 ආදිය විස්තර කරදීමේදී පැරණි ග්‍රීක ිආගම්වල එන නිරාගින්න වැනි සංකල්ප වලින් ඈත් වෙන්නේ නැහැ. විෂ්ණු, ශිව, බ්‍රාහ්ම වැනි ත්‍රිත්වික් දෙවියන් සහ ශුද්ධවූ ත්‍රිත්වය අතර සමානකම් තිබෙනවා. දේව මාතාවන් සහ මව් දෙවගන පිළිබදවත් මෙලෙස සාකච්ඡාකල හැකියි. මේ සම්බන්දයෙන් ඔබට අවශ්‍ය නම් G. Barna and F. Viola (2008), Pagan Christianity?: Exploring the Roots of Our Church Practices පොතේ තව කියවිය හැකියි. එහෙත් මට ඒවා ගැටළු නෙමෙයි. ඕනෑම අළුත් ඉගැන්වීමක් ඉදිරිපත් කිරීමේදී පැරණි දැනුමෙන් සම්පුර්ණයෙන්ම ඛණ්ඩනය විය නොහැකියි. කිතුනුවන් තුල දේව මාතාවන් පිලිබදව ඇති භක්තිය, ශුද්ධවූ ත්‍රිත්වය ගැන ඔවුන්ට ඇති හැගීම, නිරා ගින්න ගැන ඔවුන්ට ඇති භය ඊට සමාන ඉගැන්වීම් ඉදිරිපත්කර ඇති පැරණි අගම්වලට වඩා (pagan) ගොඩාක් ඈතට යනවා කියන ඔබේ කියමන හා මම සම්පුර්ණයෙන්ම එකගයි. මොකද ප්‍රේමය, සමාව සහ සහෝදරත්වය ආදිය දේශනාකරන ක්‍රිස්තියානි ආගම තුල තමන්ගේම සමානකමට මැවූ මිනිසාව සදාකල් නිරාගින්නට හෙලන දෙවිකෙනෙක් ඉන්නට විදිහක් නැතයි මම විශ්වාස කරන නිසා.

    ReplyDelete
  11. ප්‍රියන්ත, delete කරලා දාන්න තරම් නරක දෙයක් මගේ පහත ප්‍රකාශයේ තියෙනවද? ප්‍රසිද්ධියේ බ්ලොග් එකක් ලියන කෙනෙක් විදිහට ඔබ මීට වඩා පරිණත විය යුතුයි.

    "ඔබේ පැහැදිලි කිරීමට ස්තුතියි. ඔබ කියනවා වගේ යමක් තේරුම් ගැනීමේදී මිනිසුන් ඒ සඳහා තමන් ඒ වෙනකොට අසා, දැක ඇති දේවල් පිළිබඳ දැනුම යොදා ගන්නවා. මමත් එහි වරදක් දකින්නේ නෑ. නමුත් ඔබේ මුල් ප්‍රකාශය කියවන කෙනෙකුට හැඟී යන්නේ කතෝලික සභාව විසින් බයිබලයේ නැති දෙයක් වෙනත් ආගම් වලින් අරගෙන කිතු දහමට එකතුකර ඇති බවයි. එමනිසා වචන හැසිර වීමේදී මීට වඩා කල්පනාකාරී වන්න.

    අදාළ යෙදුම් බයිබලයේ ඇතත් සංකල්ප නැහැයි කියන කතාවේ තේරුම මොකක්ද? නිරය පිළිබඳව ක්‍රිස්තුන් වහන්සේ ම උගන්වා ඇත. එය අපට වෙන තැනකින් ලබා ගත යුතු සංකල්පයක් නොවේ. මේවා වැඩිදුර විස්තර කිරීමේදී යම් යම් කරුණු පිටින් එකතු වන්නට ඇත. එහෙත් මූලික සංකල්පය කිතු දහමේ ඇත.

    නිරාගින්න ගැන ඔබම උදාහරණ දක්වා ඇත. ඒවාට අමතරව මතෙව් 5:22, 5:29, 10:28, 23:33, ලූක් 12:5 සහ 2 පේදුරු 2:4 බලන්න.

    ත්‍රීත්වය, මතෙව් 28:19 හි ඉතා පැහැදිලිව සඳහන් ය. ජොහන් 10:30ත් බලන්න.

    දේව මෑණියන් ගැන පැහැදිලි කිරීමට පුරාණ ගිවිසුමේ සිට බැලිය යුතුය. මේ කතාව අහන්න. https://www.youtube.com/watch?v=o48-Jo2p9wM&t=11s "

    ReplyDelete
  12. මේක තේරුමක් නැති වචන හුවමාරුවක්. ඔබ විශ්වාස කරනවා නම් කතෝලික සභාව සම්පුර්ණයෙන්ම බයිබලය මත පදනම් වෙච්ච, ඒ ඉගැන්වීම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන දෙවියන්ගේ නියෝජිතයාන් විසින් මෙහෙයවන සභාවක් කියලා ඔබ විශ්වාස කර ගන්න. මට ඒහෙම අන්ධ විශ්වාසයක් නැහැ. මට පැහැදිලිව ඒ ගැන විවේචනයක් තියෙනවා. එත් මම ඔය ආගමික ඉගැන්වීම්, ලබ්දිය ආදිය ගැන පලක් නැති වාද කරන කෙනෙක් නෙමෙයි. ඊට වඩා වැදගත් දේවල් තියෙනවා. ඔබට කතෝලික පල්ලිය ඔසවා තියා ගන්න ඕනෑ නම් ඔබ ඒක කරගන්න. කොහෙත්ම මට ඔබ සමග ඒගැන එල්ලෙන් වුමනාවක් නැහැ. මොකද ඔබගේ වචන තුල මම කිසිම ආලෝකයක් දකින්නේ නැහැ. ඒ වෙනුවට මට දකින්න ඇත්තේ අධිපති කතිකාවක්. මම ආදරය කරන, පාරට්ටු නොකරන ධර්මය එතැන නැහැ. ස්තූතියි. අපි මේ ගැන මීට වඩා කථා කරලා වැඩක් නැහැ. ඔබට ජය, අපි මෙතැන් ඔය කථා නවත්වමු.

    ReplyDelete