This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 15 September 2016

ස්වර්ණ පුස්තකය හිමිවිය යුත්තේ මීගමුවේ එරික් ඉලයප්ආරච්චිටය!!

ශ්‍රී ලංකාවට චිත්‍රපටි කලාව හදුන්වාදුන්නේ මීගමුවෙන් බව අපි බොහෝදෙනෙකු දන්නෙමු. එමෙන්ම එම කලාව පෝෂණය කිරීමට අවශ්‍ය නළු-නිළියන් ආදී රංග ශිල්පීන්ද,   කැමරාශිල්පීන්, සංස්කාරකවරුන්, පිටපත් රචකයින් ආදී බොහෝ තාක්ෂණික ශිල්පීන් සියගණනක් ද මීගමුවෙන් බිහිකල බවද, අදටද බිහිකරමින් සිටින බවද අපි දන්නෙමු. 

එමෙන්ම, ලංකාවේ නාට්‍ය කලාවේ ආරම්භය මීගමු දූවේ පාස්කු නාට්‍ය කලාව බවත්, නුතන සිංහල නාට්‍ය කලාවේ මුදුන්මල්කඩ ලෙස හදුන්වන එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය පවා ගොඩනැගෙනුයේ මීගමු දූවේ පාස්කු නාට්‍ය කලාව අස්වද්දාලූ ආකෘතීන් අතුරින් බවත් බොහෝ අධ්‍යයන ඔස්සේ හෙළිකර ඇති බව නොරහසකි.  

තවද, ලංකාවට කණ්ඩායම් සංගීතයක් බිහිකළේ මීගමුවේ නෙවිල් ප්‍රනාන්දුගේ 'ලොස් කැබැල්රොස්' (Los Caballeros) සංගීත කණ්ඩායම බවත්, ක්ලැරන්ස් විජේවර්ධනයන් පවා එහි නාද ශික්ෂණය ඇසුරුකළ අයකු බවත්, අදටත් පොකුරු පිටින් සංගීත කණ්ඩායම්ද, ගායක ගායිකාවන්ද, සංගීත ශිල්පීන් රාශියක්ද මීගමුවෙන් බිහිකරමින් සිටින බවත් මම මෙන්ම ලංකාවේ බොහෝ අයද මතුකළ කරුණකි. 

එසේම, ලංකාවේ චිත්‍රකථා සම්ප්‍රදායක් ගොඩනැන්වීමෙහිලා කැමිලස් පෙරේරා මෙන්ම නුතන චිත්‍ර කලාව  ගොඩනැන්වීමෙහිලා මුලිකත්වය ගත්   කුලනාථ සේනාධීරයන්ද බිහිවුයේ මීගමුවෙන් බව විෂයානුබද්ධ දැනුමක් ඇත්තෝ දනිති. 

එහෙත්, නුතන ලාංකීය සිංහල සාහිත්‍යයේ  වත්මන් අද්වීතීය සලකුණවන  එරික් ඉලයප්ආරච්චි ශූරීන් බිහිවන්නේද මීගමුවෙන් බව දන්නෝ මීගමුවේ සිටින්නේද අල්පයකි. 

එරික් ඉලයප්ආරච්චි මහතාගේ 'බගන්දරා' (1998), 'විතණ්ඩ සමය' (2003), 'ආදරයේ සිමෙන්ති' (2005), 'ලලිත සමය' (2011), 'පාද යාත්‍රා' (2013) යන නවකතාවන්ද, 'මගේ කොළඹට සඳ පායයි' (2008),  'පියස්සක් නැති පරෙවියෙක් ' (2011) සහ 'පිත්තල හන්දිය' (2012) යන කවි පොත්ද  බොහෝ ලාංකීය සාහිත්‍ය විචාරකයන්ගේ විශිෂ්ඨ ඇගයීමට මෙන්ම  විවිධ සම්මානයන්ටද පාත්‍ර වූ ගද්‍ය සහ පද්‍ය නිර්මාණයන්ය. 

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ‘ස්වර්ණ පුස්තක සම්මානය' සදහා මේ වසරේ (2016) තෝරාගත් අවසාන පොත් පහ අතරට  ද එරික් ඉලයප්ආරච්චි මහතාගේ නවතම නවකතාව වන 'පර්දේසි' (2016) නව කතාව  තෝරා ගැනිණි.  එම නවකතාව සම්බන්දයෙන්ද ලාංකීය සාහිත්‍ය විචාරකයන් දැක්වුයේ සුවිශේෂී උන්නදුවකි. 2016 මැයි 05 වෙනි දින 'දිවයින' ඉරිදා සංග්‍රහයට  'කලා ගවේසි - පරදේසි, නූතන නවකතා කලාවේ අර්බුදය හමුවේ පරදේසි නවකතාව' නමින් ලිපියක් ලියන සජීව ප්‍රසන්න මහතාගේ ඇගයීමට අනුව 'එරික් ඉලයප්ආරච්චි ශූරීන් යනු පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, සයිමන් නවගත්තේගම වැනි සිංහල නවකතාවේ විකාශනයේහිලා බලපෑ දැවැන්තයින් සමග අද්විතීය ස්ථානයක තැබිය හැකි සුවිශේෂී සාහිත්‍ය සලකුණකි.'


මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් බිහිවූ රට සුපතලයන් දෙදෙනෙක්වූ නැසීගිය කෘතහස්ත දේශපාලනඥයෙක් වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හෙවත්, එවකට පුවත්පත් වැඩියෙන්ම ආමන්ත්‍රණයට කැමතිවු ලෙස, ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  (ජය+රාජ්+ප්‍රනාන්දු+පුල්ලේ) මහතාගේ මෙන්ම  එරික් ඉලයප්ආරච්චි (එරික්+ඉලයප්ප+ආරච්චි) මහතාගේ නමින් පමණක්වුවද ඔවුන් මීගමුවේ වැසියන් බව  නොවහලා කිව හැක. මන්දයත්  මීගමුවේ ඇති  සිංහල, දෙමළ, දකුණු ඉන්දියානු, අරාබි, නැගෙනහිර ආසියානු සහ බටහිර යන විවිධ ජාතීන්ගේ  සහ කතෝලික, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් සහ බෞද්ධ  යන ආගම්වල සම්මිශ්‍රණයෙන් ගොඩනැගුනු විශ්වීය සංස්කෘතිය ඒ නම් ඔස්සේ පවා විද්‍යාමානවන නිසාය. 


එරික් ඉලයප්ආරච්චි මහතාගේ ඇතැම් සාහිත්‍ය කෘතිවල වස්තුවිෂය පමණක් නොව වාස්තවිකයද මීගමුවය. උදාහරණයක් ලෙස 'බගන්දරා' (1998) නවකතාව පදනම් වනුවේ මීගමුවේ මහිමගොඩැල්ල ප්‍රදේශයය. 'ආදරයේ සිමෙන්ති' (2005)  නවකතාවේ (පිටු 166-7) එන 'සුදේෂ් ගරාජයේ සේවය කල අයූබ්ගේ මරණය' 90 දශකයේ මීගමුව පෙරියමුල්ලේ  සිදුවූ මුස්ලිම් ජාතිකයෙකුගේ මරණය සමග ඇතිවූ තත්වය සිහි කැදවයි. 

එරික් ඉලයප්ආරච්චි මහතාගේ සියළුම සාහිත්‍ය කෘතීන් නිරූපණය කරන  ජාතී, ආගම්, කුළමල සහ දේශසීමා ඉක්මවා ගිය විශ්වීය සංස්කෘතිය සහ ජාත්‍යන්තර ඥානප්‍රභාව ප්‍රතිබිම්භනය  කරනුයේ විවිධ ජාතීන් සහ විවිධ ආගම්  සම්මිශ්‍රණයෙන් ගොඩනැගුනු මීගමුවේ පවත්නා උක්ත විශ්වීය සංස්කෘතියය. එයට එක් උදාහරණයක් ලෙස පිත්තල හන්දිය (2012) කවි පොතේ එන 'ආකාස කඩේ බෝම්බය' නම් පහත සදහන් කවිය ගෙන බලන්න:
ලෝ යදමින් නිදහස් වී
අහස උසින් පිහාටුවකසැප සිටුවර පුටුව තබා 
තොළ ගානා විට මධුවිත
කොටි වට කර මගෙ සිහිනය
වෙඩි තබනා සැටි දුටුවෙමි

දැරියක සේ නිරුවත් වී
නාගසාකි මහ පාරේ
මගෙ සිහිනය දිව යන කල
අරගත් පින්තූර රැසක්
බීබීසි නිව්ස් ලෙසින්
පත්තර පිටුවල පළ විය‍

යුද ගිනිදැල් නිවුණු පසුව
මගේ සිහින අවතාරය
යටි පතුලේ සිට ම වෙළා
මොඩර්න් ආර්ට් මූර්තියක්
විලස තනා කලාභවන
මැද සිටුවා මළකඩ කෑ
එන්නත් කටු ගසා තිබිණ

සුවපත් වුණු මගෙ සිහිනය
අහිමි දෙපා ගැන සිතමින්
රෝද පුටුව මත සැතපී
අහස අඳුරු නැති දිනවල
වලා අතර සුදට පෙනෙන
හෙද සඳ දෙස බලා සිටියි.
ආකාස කඩේ යනු පැරණි සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට අයත් මුලස්ථාන ගොඩනැගිල්ලේ පැවති අවන්හලකි. එයද කොටින්ගේ මහා බැංකු මහා බෝම්බ ප්‍රහාරයෙන් විනාශවිය. එම සිද්ධිය තේමාකරගත් උක්ත කාව්‍ය  විස්තර කිරීමට කවියා වියට්නාම් නාපන් ප්‍රහාරය(දැරියක සේ නිරුවත්වී),  ජපානයේ පරමාණු බෝම්බ ප්‍රහාරය (නාගසාකි මහ පාරේ) සහ බීබීසි නිව්ස්  ආදී විශ්වීය ඥානප්‍රභාවන් ගෙන එයි. එහෙත් කවියේ රසයට හෝ අර්ථයට කිසිදු හානියක් ඉන් නොසිදුවේ. මා වැරදිද යන්න තක්සේරු කර බැලීමට නැවතත් එම කාව්‍ය පන්තිය කියවා බලන්න.

මෙවර ‘ස්වර්ණ පුස්තක සම්මානය'
සදහා  (2016) තෝරාගත් අවසාන පොත් පහ අතර වූ එරික් ඉලයප්ආරච්චි මහතාගේ 'පර්දේසි' (2016) නව කතාවද  'ජාතික සහ විජාතිකත්වය' තුල සිරවූ ශ්‍රී ලාංකිකයා ගැන සාකච්ඡා කරන, ලාංකීය පාඨකයා කියුබාව, හංගේරියාව නොර්වේ යන රට රටවලට පමණක් නොව සමාජ, දේශපාලන, සාහිත්‍ය සහ දර්ශනය වැනි විෂයන් රාශියක් වෙත ගෙනයන අති පුළුල් සාහිත්‍ය කෘතීයක් බව සදහන්ය.

එය මෙවර ‘ස්වර්ණ පුස්තක සම්මානය' සදහා අවසාන වශයෙන්  සලකා බැලූ සෙසු  කෘතීන්  හතරටම වඩා පුළුල් වපසරියක් සහිත, සිංහල පාඨකයන් තව තවත්  හුබස් තුලටම ගෙනයනවා වෙනුවට එයින් එපිට ලෝකයක් දැකීමට පොලබවන්නක් බව සෙසු නවකතා ගැන ඇති හැදින්වීම්වලින් පවා තේරුම්ගත හැක:

1.   ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක – 

ශ්‍රී ලංකාවේ වලව් පැලැන්තිය අවසානවී යාමත්, ලංකාවේ  පැරණි වාමාංශික ව්‍යාපාරයේ බිදවැටීමත්, නව වමේ  ව්‍යාපාරය ද පැරණි වමේ විකාශනයක් වීමත් තේමාව කරගත්තකි. 

2.  මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මාණික්කාවත

ශ්‍රී ලංකාවේ 18 වන සියවසේ රත්නපුරය වැනි සබරගමුව ප්‍රදේශයේ විශාල වනාන්තර එළිපෙහෙළි කරගනිමින් පදිංචියට ගිය ජනයාට මැණික් ලැබීම නිසා සිදුවන සමාජ ජීවන පෙරලිය කේන්ද්‍ර කරගත්තකි. 

3. සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දුල්වල අලංකාරේ-

බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ මුඩුබිම් පනත කේන්ද්‍ර කරගත්තකි.

4. සුනේත්‍රා රාජකරුණානායකගේ කොළඹයා සහ ෂැන්හයියා - පාරම්පරිකව කොළඹ සිටින චීන ව්‍යාපාරිකයන් කේන්ද්‍ර කරගත්තකි. 


ඉහත නවකථා ඇසුරින් එරික් ඉලයප්ආරච්චි මහතාගේ 'පර්දේසි' (2016) නව කතාව සිංහල පාඨකයන් තව තවත්  හුබස් තුලටම ගෙනයනවා වෙනුවට එයින් එපිට ලෝකයක් දැකීමට පොලබවන, සිංහල නව කතාවට නව ආකෘතියක් සැපයු,  පුළුල් වපසරියක් සහිත, ජාති, ආගම්, දේශසීමා ඉක්මවා ගිය,  ජාත්‍යන්තර ඥානප්‍රභාවකට  පාඨකයා ලක්කළ  විශිෂ්ඨ කෘතියක් ලෙස බොහෝ විචාරයකයින්ගේ නිර්දේශයට ලක්වුවද, ස්වර්ණ පුස්තක සම්මානය හිමිවුයේ ලියනගේ අමරකීර්ති මහතාගේ අහම්බකාරක නවකතාවටය

එහිලා ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයා ලෙසත්, විවිධ සාහිත්‍ය පොතපත නිතර පලකරන්නෙකු ලෙසත්, සිංහල පුවත්පත්වලට මෙන්ම facebook වල පවා භාෂාව සහ  සාහිත්‍ය පිළිබද  ලිපි ලේඛන සපයන්නෙකු ලෙසත්, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර අභිනන්දනය කිරීමෙහිලා හෝ වෘත්තීය නියුතු ස්ථානයවීම නිසා හෝ, නියමින් හෝ අනියමින්, පේරාදෙණිය ගුරුකුලය වෙනුවෙන් පෙනීසිටීම වැනි සාධකයන් තුල ගොඩ නගාගෙන ඇති සිවිල් බලය වක්‍රාකාරව හේතුවුයේදැයි අපි නොදනිමු. තවද සජීව ප්‍රසන්න මහතාගේ කලින් සදහන් කල 'දිවයින' පුවත්පතේ  ලිපියේ ලියවී තිබු ගුණදාස අමරසේකරගේ "නොසෙවුනා කැඩපත" නම් ග්‍රන්ථයේ සදහන්වූ ලෙස "සිංහල නවකතාව පේරාදෙණිය වෙත සංක්‍රමණය වීමෙන් පරිහානියට පත් වූවායි" යන්නේහි නුතන පෙළගැසීම මෙය වීමට හැකිදැයි අපි නොදන්නෙමු. 

කෙසේවුවද, ස්වර්ණ පුස්තක සම්මානය හිමිවීම නොවීම මත  එරික් ඉලයප්ආරච්චි ශුරීන්ගේ නිර්මාණ දායකත්වය කිසිම ලෙසකින් අඩපනවීමක් නොවන බව ඔහුගේ සාහිත්‍යකරණය ඔස්සේම ප්‍රදර්ශනය වී හමාරය. 

එහෙත් දෙවතාවක්ම  ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබන අමරකීර්ති ආදීන් පණපොවන අදහස් සමුදායන් තුලින් ස්වොත්මවාදී සිංහල සමාජ දේශපාලන කදවුර තව තවත් ශක්තිමත් කරනු ඇත. එයට එක් උදාහරණයක් ලෙස පසුගිය දිනක ඔහු සිය facebook පිටුවේ තැබූ සටහනක් ගෙනහැර දැක්විය හැක....

තිසර පෙරේරා සෑම තරගයකදීම පිටියට එද්දී සිය පපුව මත ශුද්ධ වූ ත්‍රිත්ත්වය සටහන් කර දෙවියන් යදින නමුත් ඒ කුරුසිය සටහන් කරන්නට පපුවක් මිස විශිෂ්ට ක්‍රීඩකයෙකු බවට පත්වීමට අවශ්‍ය මොළයක් ඔහුට ලබාදීමට දෙවියෝ සෑම දවසකම ප්‍රතික්ශේප කරති. පිරිත් නූල් කිලෝ ගණන් පැළදි අයගේ හිසෙහි ඊට වැඩි මොළයක් ඇතැයි ඉන් අදහස් නොවේ. අනේ ඩිල්ෂාන් ඔබේ විශ්‍රාමික ජීවිතයේ තනියට තිසර පෙරේරාද රැගෙන යන්න. නැති නම් මහේල ජයවර්ධනගේ සුඛනම්‍ය මැණික් කටු යුවළ ටික කාලෙකට ඔහුට ඉල්ලා දී පිටියේ ඕනෑම තැනක ඇති හිස් තැන් වෙත පන්දුව එල්ල කිරීමේ කලාව තිසර පෙරේරාට කියාදෙන්න.

ඔහුගේ ඒ  අදහස සම්බන්ධයෙන් මට කීමට තිබුනේ මෙපමණකි..


තිසර පෙරේරාගේ අසාර්ථක පිතිහරඹයන් ගැන අදහස් දැක්වීමේදී ඔබේ ඇස ගැටෙනුයේ ඔහු 'සිය පපුව මත ශුද්ධ වූ ත්‍රිත්ත්වය සටහන් කරගැනීම' වැනි Fetish දේවල්. ඒ වගේම ඉස්ලාමිය කාන්තාවන්ගේ මුහුණ ආවරණය ගැන අදහස් දක්වන post එකක් share කරන ඔබ දක්වන්නේ 'මේ වගේ අභ්‍යන්තරයෙන්ම (මුස්ලිම් සමාජය තුලින්ම) විචාරයක් මතු කිරීම විය යුතු බවයි - ඒ බුර්කාව පිටුදැකීමට. මෙහිදී අප කියවන්න අවශ්‍ය ඒ අයගේ සංස්කෘතික ආයිතම් සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් අතර අර්ථාන්විත සම්බන්දකමක් නැතිකම නෙමේද? තිසර පෙරේරාගේ අසාර්ථක පිතිහරඹයන්ට හේතුව ඔහුගේ අනුවණ පහරවල් තෝරාගැනීමයි. එය ඕනෑම ක්‍රීඩකයෙක් අතින් වියහැක්කක්. එහෙත් මෙහිදී ඔබ තිසර පෙරේරා 'සිය පපුව මත ශුද්ධ වූ ත්‍රිත්ත්වය සටහන් කරගැනීම' හෝ ඔහුගේ මොළය සහ ලබ්බ්ධිය/ දෙවියන් ආදිය අතර ඇති සම්බන්දය ගැන කථා කරමින් ඒ සම්බන්දය විමසා බලන්නැයි ඔබ අපිට යෝජනා කරනවාද ? නොඑසේනම් මෙවැනි ප්‍රකාශ තුල ඔබ යෝජනා කරන්නේ සිංහල භාෂාත්මක පරිකල්පනයන් ඔස්සේ ගොඩනැගී ඇති සිංහල-බෞද්ධ සමාජයේ වර්තමාන ආත්මීය ලක්‍ෂණයන් අපට තේරුම් ගන්නා ලෙසද ?

ඉහත ආකාරයට, සිංහල පාඨකයා තව තවත්  හුබස් තුලට ගෙනයනවා වෙනුවට, ජාති, ආගම්, දේශසීමා ඉක්මවා ගිය, එයින් එපිට ලෝකයක් දැකීමට පොලබවන, පුළුල් වපසරියක් සහිත, ජාත්‍යන්තර ඥානප්‍රභාවකට  පාඨකයා රැගෙන යන, මීගමුවේන් බිහිවූ, එරික් ඉලයප්ආරච්චි මහතාගේ 'පර්දේසි' (2016) නව කතාවට  ස්වර්ණ පුස්තක සම්මානය හිමිවිය යුතුයැයි මම දක්වන්නේ ඒහිනි.
මාකස් ප්‍රියන්ත පෙරේරා
15/09/16.

21 comments:

  1. ;-)
    1. එරික් මීගොමුවේ නොවුණා නම්?
    2. අමරකීර්ති පේරාදෙණියේ නොව කොළඹ විවියේ උගත් අයෙකි.
    3. අමරකීර්ති ගේ තිසර පෙරේරා කුරුසිය ලකුණු කිරීමේ කතාව ආගම ගැන නොව පුහු විශ්වාස ගැන එකකි. ක්‍රීඩකයින් පිරිත් නූල් බැඳගෙන සිටීම ගැන කොපමණ සරදම් තිබේද ?

    ReplyDelete
    Replies
    1. රසික, එරික් ඉලයප්ආරච්චි මීගමුවේ යන්න සහ ඔහුගේ කෘතීන් සදහා මීගමුව වස්තුවිෂයක් සේම වාස්තිවිකයක් වනබවත් මීගමුවේ බහුතරයක්දෙනා දන්නේ නැහැ. ඒ සම්බන්දයෙන් මීගමුවේ ජනයා තුල යම් අවධානයක් ඇතිකිරීම මගේ මේ ලිපියේ එක් අරමුණක්. ඔහු මීගමුවේ නොවුනානම් එවැනි කරනා සාකච්ඡා කිරීමට අවශ්‍ය නොවුණු ඇත.

      එමෙන්ම අමරකීර්ති මෙන්ම සමකාලීනයෙක් වූ ඔහුගේ බිරිදත් අපේ විශ්වවිද්‍යාලයේම (කොළඹ) බව මම හොදාකාරවම දන්නේමි. එහෙත් ඔහුගේ සාහිත්‍යකරනුය තුල පේරාදෙණි ගුරුකුලයේ ලකුණු පහලවෙන්නේ කෙසේදැයි දැනගැනීමට මම උත්සුක වෙමි.

      තවද ඔහු තිසර පෙරේරාගේ අසාර්ථක පිතිහරඹයන් ගැන අදහස් දැක්වීමේදී පපුව මත ශුද්ධ වූ ත්‍රිත්ත්වය සටහන් කරගැනීම' වැනි Fetish දේවල් ගැන අදහස් දැක්වීමත්, එවැනිම තත්වයක් ඔහු බුරුකාව ගැන දක්වන අදහසේ කැටිවීමත් විමසා බැලිය යුතුයි නේද?

      Delete
  2. සම්මාන කන්නද අප්පා...

    පොත හොඳ නම් මිනිස්සු කියවාවි.

    ReplyDelete
    Replies
    1. මාතලන් සම්මා එතරම් වැදගත් නොවෙන්න පුළුවන් එහෙත් ඒ ඔස්සේ කුළුගන්වන සමාජ ප්‍රවණතාවයක් වේනම් එය සාකච්ඡාවට ලක්කළ යුතුයි නේද? ඒකයි මම ලිව්වේ 'දෙවතාවක්ම ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබන අමරකීර්ති ආදීන් පණපොවන අදහස් සමුදායන් නම් ස්වොත්ත්මවාදී සිංහල සමාජ දේශපාලන කදවුරු තුල තව තවත් ශක්තිමත් වනු ඇත' කියා.

      Delete

      Delete
    2. පොත් සැනකෙලියෙ වැඩියෙන්ම විකිනෙන පොත, මෙජර් ජෙනරාල් කමල්ගෙ නන්දිකඩාල් පොත.

      ඉදින් තවත් කිමැ කුමන නැටුම් කෙලි කවට සිනා දා....

      Delete
    3. ඇත්ත මාතලන්, එයිනුත් පෙනීයන්නේ සිංහල පාඨකයාගේ රුචිකත්වය අද බොහෝදුරට තම ජාතියේ විරාජමනත්වය කේන්ද්‍රකරගත් ස්වොත්ත්මවාදී තලයක රැදී තිබෙන බවයි.ස්වර්ණ පුස්තක සම්මානය පවා එයින් වෙනස්වෙන්නේ නැහැ.

      Delete
  3. අවසන් පරිච්ඡේදය සිනහ උපදවන සුළුයි. එරිල් ඉලයප්පාරච්චි ගේ උත්සාහය මිනිසුන් සීමා නැති ලොවකට ගෙනයාම නම්. ඔබ එයට හසුවී නොමැතිබව කනගාටුවෙන් කිවයුත්තේ මීගමුවෙන් එහා කතෝලික නොවන ලොවක් ඔබ නොදකින බැවිනි. ප්‍රඟාව පහලවේවා

    ReplyDelete
    Replies
    1. ඉවාන් පවුලුශා, ඒ ඔබ දකින ආකාරය වෙන්න පුළුවන්. එහෙත් මගේ උත්සහය එහි අනික් පැත්ත පිලිබදව අවදානය යොමුකරවීමයි. එනම් ශ්‍රී ලංකාවේ සිංහල-බෞද්ධ අනන්‍යතාවයෙන් එහා ගිය, එම අනන්‍යතාවයෙන්ම පමණක් පැන නොනගින ලද තව අනන්‍යතාවයෙන් තිබෙන බවත්, මීගමුව එයට එක් උදාහරණයක් පමණක් බවත්, එය ජාතී, ආගම්, දේශසීමා ඉක්මවා ගිය සම්මිශ්‍රණයකින් නිර්මාණය වී ඇතිබව දැක්වීමයි. ශ්‍රී ලංකාවේ නුතන ජාතික රාජ්‍ය ගොඩනැන්වීමේ ක්‍රියාවලියතුල සිදුව ඇත්තේ මෙවැනි අනන්‍යතාවයන් යටපත්කර බහුතර ජනයාගේ මහා සංස්කෘතික අනන්‍යතාවයේ අධිපත්‍ය තහවුරුකර ඒ මත අධිපති ජාතිකත්වයක් ගොඩ නැගීම බව මගේ මුලික තර්කයයි. මීගමුව පිළිබද මා මතුකරනුයේ එම ක්‍රියාවලියට විසංයෝජනයක් වශයෙනුයි.

      Delete
    2. ඔබේ තර්කය වලංගුයි මෙයින් වසර දෙක්කට මත්තෙන්. නමුත් අද වනවිට රාජ්‍ය අධිපතිවාදය කියන දේ සහ සිංහල බෞද්ධ කියන අධිපතිවාදී දැක්මක්‍ රජය සමග නැහැ. රජය ඒ නිර්භීත පියවර ගනිද්දී රජය තුල සිටිමින් සුළුතර කණ්ඩායම් තමා ජාතිවාදී ආගම්වාදී අයුරින් හැසිරෙන්න උත්සාහ ගන්නෙ. ස්තුතියි ඔබට

      Delete
    3. ඔබේ තර්කය වලංගුයි මෙයින් වසර දෙක්කට මත්තෙන්. නමුත් අද වනවිට රාජ්‍ය අධිපතිවාදය කියන දේ සහ සිංහල බෞද්ධ කියන අධිපතිවාදී දැක්මක්‍ රජය සමග නැහැ. රජය ඒ නිර්භීත පියවර ගනිද්දී රජය තුල සිටිමින් සුළුතර කණ්ඩායම් තමා ජාතිවාදී ආගම්වාදී අයුරින් හැසිරෙන්න උත්සාහ ගන්නෙ. ස්තුතියි ඔබට

      Delete
    4. ඉවාන් පවුලුශා, ආණ්ඩු වෙනස්වුනාට රාජ්‍ය වෙනස් වෙන්නේ නැහැ.

      Delete
  4. ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත එකද නවකථාවක් හෝ මෙතෙක් කියවා නොමැති බැවින් ඒවායේ ගුණාගුණ පිලිබඳව මගේ අදහස් පළකිරීම අපහසුය.

    රචකයාගේ සිවිල් බලය මත පිහිටා සම්මාන විනිශ්චය පිළිබඳව ඔබ දක්වන මතයේ යම් සත්‍යතාවයක් තිබිය හැක. ඒ එවැනිදේ සිදුවූ බවට අනේක පූර්වාදර්ශයන් ඇති බැවිනි.

    ලියනගේ අමරකීර්ති තිසර පෙරේරා කුරුසිය සළකුණු කිරීම සම්බන්ධව දක්වන අදහස් කෙරෙහි ඔබගේ විවේචනය පිළිගත නොහැක. එහිදී රසික හා එකඟ වෙමි. අමරකීර්ති එහිදී කරනුයේ තිසර පෙරේරාගේ එම පුරුද්ද හාස්‍යයට ලක්කිරීමයි.

    ඕස්ට්‍රේලියානුවන් හා සමඟ පල්ලෙකැලේ පැවති සීමිත ඕවර තරඟ දෙකට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම දළඳා මාළිගාවට ගොස් පිරිත් නූල බැඳ ගැනීම ද එලෙසම හාස්‍යයට ලක්විය යුතු කරෞණකි. දළඳාවේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟ දෙකම පරාජය විය...:)

    ReplyDelete
    Replies
    1. රවී, මම උත්සහ කලේ අමරකීර්ති තිසර පෙරේරා 'සිය පපුව මත කුරුසය සලකුණ සටහන් කිරීම' වැනි Fetish දේවල් ගැනත්, ඒ වගේම ඉස්ලාමිය කාන්තාවන්ගේ මුහුණ ආවරණය ගැන අදහස් දක්වන post එකක් share කරන ගමන් දක්වන 'මේ වගේ අභ්‍යන්තරයෙන්ම (මුස්ලිම් සමාජය තුලින්ම) විචාරයක් මතු කිරීම විය යුතු බව' ආදි ලෙස ඔහු දක්වා තිබු අදහස් ගැන ඔහුගේ ස්ථාවරය කුමක්ද යන්න විමසිමයි. එකයි මම ඇහැව්වේ
      1. මෙහිදී අප කියවන්න අවශ්‍ය ඒ අයගේ සංස්කෘතික ආයිතම් සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් අතර අර්ථාන්විත සම්බන්දකමක් නැතිකම නෙමේද?
      2. ඔබ තිසර පෙරේරා 'සිය පපුව මත ශුද්ධ වූ ත්‍රිත්ත්වය සටහන් කරගැනීම' හෝ ඔහුගේ මොළය සහ ලබ්බ්ධිය/ දෙවියන් ආදිය අතර ඇති සම්බන්දය ගැන කථා කරමින් ඒ සම්බන්දය විමසා බලන්නැයි ඔබ අපිට යෝජනා කරනවාද ?
      3. නොඑසේනම් මෙවැනි ප්‍රකාශ තුල ඔබ යෝජනා කරන්නේ සිංහල භාෂාත්මක පරිකල්පනයන් ඔස්සේ ගොඩනැගී ඇති සිංහල-බෞද්ධ සමාජයේ වර්තමාන ආත්මීය ලක්‍ෂණයන් අපට තේරුම් ගන්නා ලෙසද ?

      මේ සම්බන්දයෙන් ඔහුගේ ස්ථාවරය දැන ගැනීම වැදගත්, නැත්නම් එමගින් සිදුවෙන්නේ ස්වොත්ත්මවාදී (chauvinist) සිංහල සමාජ දේශපාලන කදවුරු තුල එම අදහස් තවත් ශක්තිමත්ව මතුවීමයි.

      අමරකීර්තිගේ අදහසක් ගැන මම මීට පෙරත් 'මීගමුවේ පාස්කුව: ජාතික අනන්‍යතාවයක් ගොඩනැගු ප්‍රබල ප්‍රාදේශීය කලා සම්ප්‍රදායකි', යන ලිපිය ඔස්සේ සකච්ඡා කර තිබෙනවා. (http://marcuspriyanthaperera.blogspot.co.uk/2015/04/blog-post.html) ඒයත් කියවා බලන්න.

      Delete
  5. එරික් ඉලයප්පාරච්චි මෙන්ම මංජුල වෙඩිවර්ධනත් මීට වඩා ඇගයීමට ලක්වෙන්න ඕන.මංජුල ගෙ අදහස් සමග මා දැඩිලෙස විරුද්ධ වුනත් ඔහු ලේඛකයෙක් ලෙස මීට වඩා සමාජ පිලිගැනීමක් අවශ්‍ය බව මා විශ්වාස කරනවා.
    පිරිත් නූල් කඹ වගෙ අතේ බැදගෙන යන ක්‍රීඩකයන් ඉන්න තැන කුරුසිය ලකුනු කිරීම ගැන කතා කිරීම විහිලුවක්. ආගම කියන්නෙ පුද්ගලික දෙයක් නිසා ආගමෙන් තමන්ට යම් ශක්තියක් ලබාගන්න ක්‍රියා කිරීමෙ වරදක් නෑ.
    මීගමු ලයින් එකේ නොකී කතා බොහොමයි.ඒවා එලියට එන්න ඕන සාහිත්‍ය තුලිනුයි. එරික් වගෙ අය ගැන මීට වඩා අවධානයක් අවශ්‍ය ඒ නිසයි.

    ReplyDelete
  6. මධ්‍යස්ථ මතධාරියා, මම දැක්කා පුවත්පත් කිහිපයකත් ස්වර්ණ පුස්තකය එරික් ඉලයප්පාරච්චිට දුන්නනම් හොදයි යනුවෙන් දක්වලා තිබුණා. ඇත්ත එරික් ඉලයප්පාරච්චි වගේම මංජුල වෙඩිවර්ධනත් මීට වඩා ඇගයීමට මීට වඩා ඇගයීමකට ලක්විය යුතුයි. එහෙත් ලංකාවේ මුල්බැසගත් අධිපති මතවාදයන් තුල එවැන්නකට ඉඩ ලැබෙන්නේ අඩුවෙන්, ලැබුනත් ලැබෙන්නේ මීගමුව කියන කෑල්ල අයින් කරලා.

    ReplyDelete
  7. බහු සංස්කෘතික, බහු ආගමික නගරයක් හැටියට මීගොමුවේ වැදගත්කම ගැන කිසි විවාදයක් නෑ.

    මේ ළඟදී මා කතා කළ ලෙච්චුමනන් මුරුගතිපූපති නම් සිංහල හොඳන් දත් දෙමළ ලේඛකයෙකු සමග. ඔහුත් සාහිත්‍ය සම්මානලාභියෙක්. මීගොමු හිටපු වැසියෙක්. තවත් ඒ ආකාරයේ මිගොමුවේ උපන් සාහිත්‍යධරයෝ එමටයි.

    නමුත් මීගොමුවේ හිටපු වැසියෙකුවන ඔබ මේ ලියා ඇති කරුණුවල, එය ලියා ඇති ආකාරය නිසා, යම් කිසි ග්‍රෝත්‍රවාදී බවක් බැලු බැල්මට පේනවා.

    මා එරික් ගේ පොත කියා නෑ. අමරකීර්තිගේ පොත කියවූවා.

    අගම්බකාරක කෘතිය ඔබ කියවූවා නම්, එහි ප්‍රධාන කතා තේමාවක් වන්නේ 1983 ජාතිවාදී කළබල බව ඔබ දැනගත යුතුයි. නමුත් ඔබ කර ඇති හැඳින්වීමේ එය සඳහන් නෑ. අහම්බකාරක නවකතාව කිසිසේත්ම හුඹසක් තුල සිරවෙන එකක් නොවේ.

    පසු සටහනක ඔබ මංජුල වෙඩිවර්ධන ගැන සඳහන් කර තියෙනවා.ුත්තලම අවට දුපතක ක2තා්ලික ධතවර සංස්කෘතිය පාදක කොට ගෙන ලියවුණු ඔහු ගේ බත්තලංගුණ්ඩුව නවකතාව මීට වසර කිහිපයකට පෙර රාජ්‍ය සම්මානය දිනාගත් කෘතියක්!

    ReplyDelete
    Replies
    1. රසික, මට තියෙන ප්‍රශ්නය තමයි මාටින් වික්‍රමසිංහ කොග්ගල, මලළගම මාටින් වික්‍රමසිංහ ලෙස හදුන්වාදීමේදීත්, මහගමසේකර ගම්පහ රදාවානේ මහගමසේකර ලෙස හදුන්වාදීමේදීත් පැන නොනගින ගෝත්‍රික බවක්, එරික් ඉලයප්පාරච්චි මීගමුවේ ලෙස හදුන්වාදීමේදී ඇතිවන්නේ කොහොමද කියන එකයි. එතැනම නුතන සිංහල-බෞද්ධ සමාජයේ වර්තමාන ආත්මීය ලක්‍ෂණයන් කියවෙනවා කියලයි මට හිතෙන්නේ. ඒ වගේම මම මේ ලියන දේවලින් එකී ගොඩනැන්වීම් පැහැදිලිවම අභියෝගයට ලක්වෙනව බවයි මට නම් පෙනෙන්නේ.

      මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුවට රාජ්‍ය සම්මානය විතරක් නෙමෙයි විචාරක සම්මානත් හිමිවූ බව මම දන්නවා. එමෙන්ම එම නවකතාවේ මීගමුව මුන්නක්කරය ගම ගැන කරන විග්‍රහය මම හිතන්නේ ඒ ගම කරපු හොද සමාජ විග්‍රහයක්.ඔහුගේ කවි, නවකතා, ඒ තුල ඔහු මතුකරන කරනා මීට වඩා අපේ සමාජය තුල සකච්ඡාවට ලක්විය යුතුයි. මීගමුවේත්,මුන්නක්කරය ගමෙත් මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව ගැන දන්නේ බොහොම අල්යයි.

      ඒවගේම අමරකීර්ති ගැන මට තියෙන්නෙත් සාධනය අදහසක් ඔහුගේ අහම්බ්කාරකය වගේම කුරුළු හදවතත් ලස්සන කෘතීන්, ඒවගේම එම කෘතීන් දෙක ඔස්සේම සාකච්ඡා කරන කරණා මට අනුවනම් එතරම් නැවුම් නැහැ. සිංහල පාඨකයා තමන් දන්න කියන අඩවිවලම නැවතවරක් වෙනත් විදිහකට රැගෙන යන එකයි සිදුකරන්නේ කියලයි මම හිතන්නේ. එහෙත් එරික් ඉලයප්ආරච්චිගේ 'පර්දේසි' ඊට එහා ලෝකෙකට පාඨකයා රැගෙන යනවා කියන එකයි මම කියන්නේ. අන්න ඒ නිසයි මම කියන්නේ එරික් ඉලයප්ආරච්චිට ස්වර්ණ පුස්තකය හිමිවුනානම් හොදයි කියලා. එහි කිසිම ගෝත්‍රික බවක් නැහැ. ඒ කෙසේවෙතත් ලියනගේ අමරකීර්ති යනු නුතන සිංහල සමාජයේ වඩාත්ම ක්‍රියාකාරී භාෂාත්මක පරිකල්පනයන් නිර්මාණය කරන්නෙක් බව මගේ අදහසයි. ඒහින් අමරකීර්ති ආදීන් පණපොවන අදහස් තුලින් ස්වොත්මවාදී සිංහල සමාජ දේශපාලන කදවුර සම්බන්දයෙන් කෙතෙක් මැදිහත්වෙනවාද යන්න මගේ විමර්ශනයට ලක්වෙන දෙයක්. මට හිතෙනනවා ඔහුගේ බොහෝ රචනා සම්බන්දයෙන් මට හිතෙන්නේ ඒවා එම කදවුරට ආනියම් ආකාරයකට හෝ සේවය කරන බව.

      Delete
    2. මට තියෙන ප්‍රශ්නය තමයි මාටින් වික්‍රමසිංහ කොග්ගල, මලළගම මාටින් වික්‍රමසිංහ ලෙස හදුන්වාදීමේදීත්, මහගමසේකර ගම්පහ රදාවානේ මහගමසේකර ලෙස හදුන්වාදීමේදීත් පැන නොනගින ගෝත්‍රික බවක්, එරික් ඉලයප්පාරච්චි මීගමුවේ ලෙස හදුන්වාදීමේදී ඇතිවන්නේ කොහොමද කියන එක//
      ඒක තමයි.
      අපි දන්න දේම හතර අතට කරකවනව වෙනුවට වෙනත් ඉසව් එපාද.
      මංජුලට සම්මානෙ දීම එපා වාහෙට හොදි බෙදීමක්. ඔහුගෙ නිර්මාන මීට වඩා ඇගයීමට ලක් විය යුතුයි.

      Delete
  8. රසික ගෝත්‍රවාදී කතාවක් කියා ඇති නිසා මම මේ ලිපිය එක් වරක් නොව දෙපාරක්ම කියෙව්වා. මට නම් කිසිම ගෝත්‍රවාදී බවක් පෙනෙන්නෙ නෑ. මෙහෙම කියන්නෙ නැතිව මේ කාරනය කොහොම කියන්නද.
    මාක්ස් කියා ඇති සේම මීගමුව කියන්නෙ විශ්ව සංස්කෘතියක්.කුඩා කුඩා සමාජ කන්ඩායම් විශාල ප්‍රමානයක් සිටිනවා.අපූරු ජාන තඩාගයක්. සංස්කෘතික කෞතුකාගාරයක්.
    මීගමුව කියන්නෙ මටත් නුපුරුදු තැනක් නෙමෙයි.මෙම කලාපයේ සංස්කෘතික දියුණුව මා දකිනවා.
    නමුත් මාක්ස් කියන ලෙසින්ම අධිපති මතවාදය නිසා ඔවුන් පීඩාවට පත්වී තිබෙනවා.
    විශිෂ්ට සංගීත නිර්මානවල තනු පවා වෙනස් කිරීමට සිදුවූ අවස්ථා අසා තිබෙනවා.
    කපිරිඤ්ඤා සංගීතයට මෙහෙමවත් තැනක් ආවෙ බොහොම අමාරුවෙන්.
    සාහිත්‍ය ක්ශේත්‍රයෙත් චිනුවා අචිබෙල න්ගුගි වා තියොන්ගොල ගාබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ල බිහිවෙන්න ඕන කලාපයක්.පැහැදිලිවම මීගමු නාමයට කුඩම්මාගෙ සැලකිල්ලක් හා වෙනස් කොට සැලකීමක් තියනව.
    එරික් ලට මංජුල ලට අසාධාරනයක් වුනේ අද ඊයෙ නෙමෙයි.සම්මාන දෙන ඒවනම් ගුරුකුල වල තරගයක් නෙ.මීගමුවෙ නොවුනත් රැඩිකල් ලේඛකයන්ට තැනක් නෑ.
    මංජුලට සම්මාන දෙන්න වුනේ නොදී බැරිකමට.සම්මාන දිය යුතු අවස්ථා ගනනාවක ඒ අවස්ථාව මග ඇරිල තියනව.
    මම ගාබ්‍රියෙල් ගාර්ෂියාගෙ රසිකයෙක්.ඔහු ලියන ලතින් ඇමරිකානු සංස්කෘතියට බොහෝ සමාන ලක්ෂන තියන අපේ මීගමුව ගැන ඇගෙන්ම එන සාහිත්‍ය යක් නැත්තෙ ඇයි කියන එක කවදත් මට තිබුන ප්‍රශ්නයක්.

    මීගමුවෙ කෙනෙක් වුනත් ලියන්නෙ බෞද්ධ මහා සංස්කෘතියට ආවේශ වෙලා. ගීත සාහිත්‍ය වුනත් එහෙමයි.දෙව් මැදුරු ගැන ගීත නැති තරම් මීගමුවෙ කෙනෙක් වුනත් ගීයක් ලියන්නෙ පන්සලක් පදනම්ව . මෙය වෙනස් වෙන්න ඕන.
    අද දෙමලට සාධාරනයක් කරන්න කතා කරනව. ඊට පෙර කල යුතු වැඩ තියනව.
    එරික් ල මංජුලල වගෙ අය දෙමල මුස්ලිම් සමාජයෙනුත් බිහිවෙන්න ඕන. අපි එතනට යන්න නම් වෙනත් ජනකොටස් මත වසා තිබෙන අධිපති මතවාදයේ කවචය ( බිත්තර කට්ට ) ඉවත් කරන්න ඕන.
    මීගමුවට වඩා පීඩනයක් තියනව කාත්තන්කුඩියට (මුස්ලිම් වරුන්ට ). ඔවුන්ගෙත් ලේඛිකාවන්ට. එය වෙනම කතා කල යුත්තක්.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත. මට උනත් හිතෙනවා මම ලියන දේවල් කියවද්දීම මිනිස්සු තම තමන්ගේ ඔලුවල චිත්‍රයක් තනගන්නවා, මේ ලියන එකා ක්‍රිස්තියානි කාරයෙක්, අරහෙමයි මෙහෙමයි කියලා. ඒතකොට මම මීගමුව ගැන ලියද්දී ඒක දෙපිටින් යනවා. එහෙම තමයි අපේ සමාජය හැඩගැසීලා තියෙන්නේ.

      Delete