This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 22 June 2016

බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමයේ අනාගතය තීන්දුකරන මේ සියවසේ වැදගත්ම ජනමතවිචාරණය

රටකට පමණක් නොව සමස්ථලෝක ප්‍රජාවටම බලපෑ හැකි ඉතාම තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගැනීමට අද (23/06/2016) බ්‍රිතාන්‍යය ජනයාට අවස්ථාව සැලසේ. ඒ බ්‍රිතාන්‍යය ජාතිකයන්ට සහ මෙරට රැදීසිටින පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ජනයාට සිය ඡන්ද බලය මගින් බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ සාමාජිකත්වයේ රැදීසිටිනවාද? නැතිද? යන්න ප්‍රජාතන්ත්‍රවාදී ජනමතවිචාරණයකින් තීන්දුකිරීමට හැකිවීම නිසාය.

යුරෝපා සංගමයක් බිහිවීමට පදනම වැටෙනුයේ  දෙවන ලෝක යුද්ධය අවසන්වී වසර කිහිපයකට පසුව, එනම් 1951 පැරීසියේදී බිහිකරගන්නා ලද 'යුරෝපා ගල්අගුරු සහ වානේ  සංගමය' ('European Coal and Steel Community-ECSC)' බිහිවීමත් සමගය

ප්‍රංශය, බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය, ලක්සම්බර්ග් සහ එවකට පැවති බටහිර ජර්මනිය එහි මුල්ම සාමාජිකයන්විය. බ්‍රිතාන්‍යයටද ඒ සදහා ආරාධනා කරන ලදී. එහි නිර්මාතෘවරුන්වූ  Jean Monnet සහ Robert Schuman කිහිපවතාවක්ම බ්‍රිතාන්‍යයට පැමිණ මෙම ගිවිසුමට බ්‍රිතාන්‍යය එකගකරවා ගැනීමට සාකච්ඡාවට කිහිපයක්ම පවත්වනලදී. එහෙත්, වින්සන්ට් චර්චිල්ගේ කාලයේ සිට එක්සත් යුරෝපයක් ගැන බ්‍රිතාන්‍යය සාකච්ඡා කලද එය ප්‍රයෝගිකව ක්‍රියාත්මකවීමට සැකසූ 'යුරෝපා  ගල්අගුරු සහ වානේ සංගමයේ (ECSC)'  සාමාජිකත්වය ගැනීමට බ්‍රිතාන්‍යය අකමැතිවිය. එයට හේතුව වශයෙන් බ්‍රිතාන්‍යය දැක්වුයේ එමගින් තම රටේ ගල්අගුරු සහ වානේ නිෂ්පාදනයට බලපෑම් සිදුවියහැකි බවයි. එවකට (1951  අප්‍රියල්) බ්‍රිතාන්‍ය උප අගමැතිවරයාවූ කම්කරු පක්ෂයේ (Labour) Herbert Morrison දැක්වූ ලෙස යුරෝපා ගල්අගුරු සහ  වානේ සංගමයේ තීරණ පිළිගැනීමට බ්‍රිතාන්‍යයන් සුදානම් නොවනබව දක්වන ලදී ("The Durham miners won't wear it")

බ්‍රිතාන්‍යය මුලපටන්ම යුරෝපයේ මෙම නව ගොඩනැන්ම දෙස බැලුවේ තරමක කුකුසකිනි. එක්සත් යුරෝපයක සාමාජිකත්වය වෙනුවට බ්‍රිතාන්‍යය සිය ජාතික රාජ්‍ය සහ ස්වාධිපත්‍ය (Nation State and Sovereignty) පිළිබද වැඩිබරක් තබමින්, හිරු නොබසින අධිරාජ්‍ය පිළිබද මතකය මෝදුකරමින්, පොදු රාජ්‍ය මණ්ඩල නායකත්වය ගැන පාරම්බාමින්, සිය ජාතිකත්වය සහ ජාතිවාත්සල්‍ය පිළිබද ගුණවයමින් යුරෝපයේ නව පෙළගැස්ම ගැන එතරම් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීය. 

එහෙත්, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව නැවත හිස එසවීමට අපේක්ෂාකල යුරෝපය, සිය කලාපයේ ස්ථීරසාර සාමයක් සදහා නැවත අමුද්‍රව්‍ය, බලශක්ති සහ සම්පත් වෙනුවෙන් යුද්ධයක් ඇතිනොවීමට අදිටන් කරගන්නා ලදී. ඒ අනුව අදාල රටවල අවශ්‍යතාවය සහ සමාජ උවමනාවන් වෙනුවෙන් සිය රටවල අමුද්‍රව්‍ය, බලශක්ති සහ සම්පත් පොදු සැලැස්මක් තුල භාවිතා කිරීමට 'යුරෝපා ගල්අගුරු සහ වානේ සංගමය' ('European Coal and Steel Community) යටතේ ගිවිසුම් සකස්කළේය. මෙම ගිවිසුම් ක්‍රියාත්මකවීමත් සමග 'යුරෝපා ගල්අගුරු සහ  වානේ  සංගමයේ' රටවල් තමන් ජාතික රාජ්‍ය, ජාතික අභිලාෂයන් සහ ජාතික සීමාවන් ඉක්මවා කටයුතු කරන 'Supranational Union' ලෙස හදුන්වාදුනි.

ඉන් වසර 06ක් ගතවනවිට, එනම් 1957, 'යුරෝපා ගල්අගුරු සහ  වානේ  සංගමය'ට අයත්, ජාතික රාජ්‍ය, ජාතික අභිලාෂයන් සහ ජාතික සීමාවන් ඉක්මවා කටයුතු කරන  'Supranational Union' ලෙස හදුන්වාගත් රටවල් 06  තවදුරටත් ආර්ථික, කෘෂිකාර්මික, සමාජීය සහ දේශපාලන වශයෙන් බද්දකරගැනීම සදහා 'යුරෝපා ආර්ථික හවුල' (European Economic Community -EEC) ගොඩනගා ගන්නා ලදී. ඒ සමග නිෂ්පාදන, අමුද්‍රව්‍ය, බෙදාහැරීම සහ බලශක්ති සදහා බදු සහන මෙන්ම ආධාර සලසන වැඩපිළිවෙලක් EEC සාමාජික රටවල් අතර ක්‍රියාවට  නැන්විනි. එය යුරෝපා හවුලේ රටවල ආර්ථික සහ සමාජ වර්ධනයක් මෙන්ම ව්‍යාපාර එකමුතුවක්ද ඇති කලේය. ඒතුල ජර්මනිය (බටහිර) සහ ප්‍රංශය ඉතා වේගවත් ආර්ථික වර්ධනයකට ලක්විය.

ඇතිවෙමින් තිබු තත්වය හමුවේ බ්‍රිතාන්‍යයටවත්, එහි ව්‍යාපාරික ප්‍රජාවටවත්  තවදුරටත්  'යුරෝපා ආර්ථික හවුල' නොසලකා සිටිය නොහැකිවුයෙන් 1961 දී 'යුරෝපා ආර්ථික හවුලේ' (European Economic Community-EEC) සාමාජිකත්වය ඉල්ලා සිටියහ. එහෙත් එවකට ප්‍රංශයේ ජනාධිපතිවරයාවූ චාල්ස් ඩිගොල් (Charles de Gaulle) විසින් එය ප්‍රතික්ෂේප කළේය. එහිලා හේතුව ලෙස දැක්වුයේ බ්‍රිතාන්‍යය කෙතෙක්දුරට 'යුරෝපා ආර්ථික හවුල' සමග බද්දවීමට සුදානම්ද යන්න සැක සහිත බවත්, ඇය මෙම සංගමයට වඩා ඇමෙරිකාව සමග ඇති සම්බන්දය තීරනාත්මක ලෙස සලකන බවත් දැක්වීය. බ්‍රිතාන්‍යය නැවත නැවත් 'යුරෝපා ආර්ථික හවුලේ' සාමාජිකත්වය ලබාගැනීමට ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම උත්සහකලේය. ඒ සියල්ල සදහා යහපත් ප්‍රතිචාර නොලැබෙන ලදී.
එහෙත් 1973 දී කොන්සර්වේටිව් (Conservatives)  පක්ෂ අගමැති Edward Heathගේ නායකත්වය යටතේ බ්‍රිතාන්‍යයට 'යුරෝපා ආර්ථික හවුලේ' (European Economic Community-EEC) සාමාජිකත්වය හිමිවිය. 

කෙසේවුවද, Edward Heath බලාපොරොත්තුවූ තරම්  ආර්ථික ප්‍රතිලාභයක් මුල්වසර දෙක තුල බ්‍රිතාන්‍යයට හිමි නොවිනි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයට  'යුරෝපා ආර්ථික හවුලේ'  සාමාජිකත්වය සදහා ඉහල සාමාජික මුදලක් ගෙවීමට සිදුවිය. ඔවුන්ට කලින් සාමාජිකත්වය ගත් රටවල කෘෂිකර්ම, කර්මාන්ත, බලශක්ති සහ සේවා අංශවලට හිමිවූ ප්‍රතිලාභ බ්‍රිතාන්‍යයේ එම අංශවලට එතරම් ධනාත්මකව හිමි නොවන ලදී. එහෙත් 'යුරෝපා ආර්ථික හවුලේ' එකගතා ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍යය බැදී සිටියහ. ඒයට එරෙහිව   රටපුරාම වර්ජනද, ඉන් නොනැවතී ආර්ථික අවපාතයක්ද රට තුල ඇතිවිය.  ඒ අවස්ථාවේදී, එනම් 1975දී,  බ්‍රිතාන්‍යය 'යුරෝපා ආර්ථික හවුලේ' රැදී සිටින්නේද? නැතිද? යන්න තීරණය කිරීම සදහා සිය ප්‍රථම ජනමත විචාරණය පැවැත්වූ අතර එහිදී බ්‍රිතාන්‍යයන්ගෙන් 66%ක්ම චන්දය භාවිතාකලේ 'යුරෝපා ආර්ථික හවුල' සමග සිටිය යුතුය යන ස්ථාවරය වෙනුවෙනි. 

ඉන් අනතුරුව ගෙවීගිය වසර 18ක කාලය තුල 'යුරෝපා ආර්ථික හවුල' වඩ වඩා ශක්තිමත්වූ අතර ග්‍රීසිය, පෘතුගාලය, ස්පාඤ්ඤ, ඩෙන්මාර්කය, අයර්ලන්තය, ස්වීඩනය ආදී රටවල් එයට එකතු විය. 1993 දී අත්සන් කල මැස්ට්‍රිච් ගිවිසුමත් සමග (Maastricht Treaty)  'යුරෝපා ආර්ථික හවුල',  'යුරෝපා  සංගමය (European Union) බවට පත්විය. එමගින් සාමාජික රටවල ණය ප්‍රතිශතය, අයවැය පරතර, ගෙවුම් ශේෂය, විදේශ ප්‍රතිපති, පාරිසරික, වන, තෙත්බිම් සහ ස්වභාවික සම්පත් කළමනාකරණය, වානිජ්‍ය සහ ප්‍රවාහන, මත්ස්‍ය සහ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ කම්කරු අයිතිවාසිකම්, කාන්තා සහ ළමා අයිතිවාසිකම්, පරිහොජන සහ ආහාරපාන ප්‍රමිතීන්, ජීවන තත්වය, අධ්‍යාපන, සෞඛ්‍ය සහ නිවාස ආදී සෑම සියලු ක්ෂේත්‍රයක් සම්බන්දයෙන්ම  ජාතික රාජ්‍ය, ජාතික අභිලාෂයන් සහ ජාතික සීමාවන් ඉක්මවා කටයුතු කරන පොදු රාජ්‍ය එකතුවක් (European Community) සහ පොදු වෙළදපොලක් (Common Market) බවට යුරෝපා සංගමය (European Union) යටතේ පත්වන ලදී.  

යුරෝපා සංගමය (European Union) යටතේ දියත්වූ අනෙක් වඩාත් වැදගත් අංගයවුයේ  'ආබාධ පැමිණීම සහ පිටවීමයි'. එනම් ප්‍රාග්ධනයට, භාණ්ඩ සහ සේවාවලට මෙන්ම මිනිස් ශ්‍රමයට කිසිදු දේශසීමා බලපෑමකින් තොරව නිදහසේ සංචලනය වීමට ඉඩකඩ සැලසීමය. ඒ අනුව යුරෝපා සංගමයේ සාමාජික රටක ඕනෑම වැසියෙකුට වෙනත් ඕනෑම සමාජික රටකට ගොස් ජීවත්වීමට, සේවයකිරීමට, එම රටේ සේවාවන් ලැබීමට  ඉඩකඩ සහ නිදහස ඉන් සැලසිනි. එමගින් මෙතෙක් යුරෝපා වැසියන් පුන පුනා බලාසිටි දේශසීමාවලින් තොර නිදහසක් අත්කරගැනීමට හැකිවිය.

බ්‍රිතාන්‍යයද මේ සියල්ලෙන් අඩුවැඩි වශයෙන් ප්‍රතිලාභ භුක්තිවිදින ලදී. එමගින් දෙවන ලෝක යුද්දයෙන් අඩපනවූ බ්‍රිතාන්‍යය ආර්ථිකය නැවතත් ශක්තිමත්ව ලෝක ආර්ථිකයේ 06වෙනි ස්ථානය ලෙස සුරක්ෂිතවීය. ඒ මහජන සුභසාධනය සදහා බ්‍රිතාන්‍ය රාජ්‍යයක් ලෙස ඉහල දායකත්වයක්   සපයන අතරය.

කෙසේවෙතත්, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුල රැදීසිටිමින් එහි ඉහල ප්‍රතිලාභයන් ලබමින් සිටිනවිටවුවද සිය ජාතික රාජ්‍ය සහ ස්වාධිපත්‍ය (Nation State and Sovereignty) පිළිබදවවූ ප්‍රමුඛතාවය විතැන්කල බවක් නොපෙනිණි. විශේෂයෙන්ම 1995දී යුරෝපා සංගමයේ රටවල් සිය පොදු වෙළෙදපොලට අවශ්‍ය අංගයක් ලෙස සිය ජාතික මුදල් ඒකක ඉවත්කර ඒ වෙනුවට 'යුරෝ' (Euro) නමින් පොදු මුදල් ඒකකයක් හදුන්වාදීමට තීරණය කලවිට බ්‍රිතාන්‍යයද අවසාන මොහොතවනතුරුම පොදුමුදල් ඒකකය සදහාවූ යාන්ත්‍රනයේ කොටස්කරුවෙකුව සිට අවසාන මොහොතේ ඉන් ඉවත්වන ලදී. 

බ්‍රිතාන්‍යය සිය ජාතික රාජ්‍ය සහ ස්වාධිපත්‍ය (Nation State and Sovereignty) පිළිබදව ප්‍රමුඛතාවයදීමත්, යුරෝපා සංගමය ජාතික රාජ්‍ය, ජාතික අභිලාෂයන් සහ ජාතික සීමාවන් ඉක්මවා කටයුතු කරන  'Supranational Union' ලෙස වර්ධනයවීමත් අතර ද්වන්ධනය පසුගිය දසවසර තුල ක්‍රමයෙන් ඉහලයන ලදී. විශේෂයෙන්ම සාමාජික රටවල් 25 විසින් 2004 වසරේ අත්සන්කල යුරෝපා ව්‍යවස්ථාවත් (Treaty establishing a Constitution for Europe) සහ සාමාජිකයන් 751ක් පත්කරගන්නා යුරෝපා පාර්ලිමේන්තුවක් බිහිකළ 2007 ලිස්බන් ගිවිසුමත් (Treaty of Lisbon) නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉහලින් අණපනත් පනවන වෙනත් උත්තරීතර ව්‍යූහයන් බිහිවීමත්, බ්‍රිතාන්‍ය මහජනයා විසින් කෙලින්ම පත්නොකරන නිලධාරීන් පිරිසක් විසින් තීන්දුතීරණ ගැනීම තුල බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයත්, බ්‍රිතාන්‍යයේ  ස්වාධිපත්‍යත්  උල්ලංඝනයවන බව නිතර දැක්විනි. තවද යුරෝපියානු අධිකරණ පද්ධතීන්වන Court of Justice of the European Union /European Court of Auditors සහ යුරෝපියානු මහා බැංකුවේ (European Central Bank) ක්‍රියාකාරීත්වය තුල බ්‍රිතාන්‍යයේ අධිකරණ සහ පිස්කල් ස්වාධීනත්ව පවා විනාශ කර ඇතැයිද චෝදනා එල්ලවේ. 

තවද 2004 වසරේදී කලින් නැගෙනහිර යුරෝපයේ රටවල් ලෙස පැවති පෝලන්තය, ස්ලෝවේනියාව, ස්ලොවැකියාව, ලැට්වෙනියාව, ලිතුවෙනියාව වැනි රටවල් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ගැනීමත්, ඔවුන්ට ද 'ආබාධ පැමිණී සහ පිටවීම' යටතේ කිසිදු දේශසීමා බලපෑමකින් තොරව නිදහසේ සංචලනය වීමට ඉඩකඩ හිමිවීමත් තුල බ්‍රිතාන්‍යයට විශාල සංක්‍රමනිකයින් ප්‍රමාණයක් පැමිණීමත්, එය පාලනය කරගැනීමට බ්‍රිතාන්‍යයට අභ්‍යන්තර වශයෙන් නීති පැනවීමට නොහැකිවීමත් සිදුවිය.

මේ ගැටුම් කළමනාකරණය කරගැනීමට බ්‍රිතාන්‍යය විසින් යුරෝපා සංගමය සමග සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්වූ නමුත් ඔවුන් ඒසදහා නිසි ප්‍රතිචාරයක් නොදක්වන බව බ්‍රිතාන්‍යයේ අදහසයි. එහෙත් යුරෝපා සංගමයේ අදහස වනුයේ  සාමාජික රටවල් විසින් පොදු එකගතාවයක් මත ඇති කරගත් ගිවිසුම් එක් එක් රටවල ජාතික අවශ්‍යතා අනුව නැවත සකස් කිරීම සිය ප්‍රතිපත්තිය නොවන බවයි. 

අද (23/06/16) දිනයට යෙදී ඇති  බ්‍රිතාන්‍යය තවදුරටත්   යුරෝපා සංගමයේ සාමාජිකයෙකු ලෙස රැදී සිටිනවාද ? නැතිද ? යන්න තීරණය කරන ජනමත විචාරණය පවත්වනුයේ මෙම පසුබිම තුලය.

එහිදී බ්‍රිතාන්‍යයන් අතර අවධානය දිනාගෙන ඇති ප්‍රධාන කරුණු 03ක් වනුයේ ආර්ථික, සංක්‍රමන සහ  ස්වාධිපත්‍ය පිළිබදවවූ කරුණුය.  ආර්ථික සහ සංක්‍රමණ පිළිබද කරණා එකිනෙකට සම්බන්ධකර තිබේ. එනම් සීමාකල නොහැකි යුරෝපා සංක්‍රමණිකයන් විසින් බ්‍රිතාන්‍ය ආර්ථිකයට, පාසැල්, නිවාස, සෞඛ්‍ය සහ ප්‍රවාහනයට එල්ල කර තිබෙන පීඩනය අති මහත්ය යන්න ඉන් හැගවේ. සංඛ්‍යාලේඛන ගැන විවාදයක් තිබුනද අඩුම වශයෙන් වසරකට ලක්ෂ තුනකට වඩා සංක්‍රමණිකයන් පිරිසක් නිලවශයෙන් බ්‍රිතාන්‍යයට පැමිණෙන බව පිළිගනී. එහෙත් එමගින් ආර්ථික උත්පදනයක් සිදුවෙන බව සහ යුරෝපා සංගමය සමග සිටීම තුල ඇතිවෙන ආර්ථික වර්ධනය විසින් අදාල පීඩනය දියකර හරිනබවටද තර්ක ඉදිරිපත්වේ. තවද බ්‍රිතාන්‍ය ජාතිකයන් ලක්ෂ 5ක් පමණ මෙම 'ආබාධ පැමිණී සහ පිටවීම' යටතේ යුරෝපයේ සෙසු රටවල ජීවත්වෙන බවටද ගන්නබලා තිබේ.

අනෙක් අතට, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය වෙනුවෙන් සතියකට පවුම් මිලියන 350ක් යොදවන නමුත් එවැනි ප්‍රතිලාභයක් ඔවුන්ගෙන් බ්‍රිතාන්‍යයට අත්නොවන බවත්, ඒහින් එය නිස්කාරන වියදමක් ලෙස දක්වන්නොද වේ. එම මුදල් රට තුල ඉතිරිකරගතහොත් එමගින් එයට වඩා සේවයක් කල හැකිබවද දැක්වේ. එහෙත් අනෙක් අතට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වුවහොත් එමගින් බ්‍රිතාන්‍ය ආර්ථිකය කඩා වැටෙන බවත්, මිලියන 3කගේ රැකියා රැදී ඇත්තේ යුරෝපා සංගමය සමග බවත්, බ්‍රිතාන්‍ය බොහෝ රැකියාවන්හී නියුතුවුවන්ගේ අයිතිවාසිකම්, නිවාඩු සහ වෙනත් දීමනා රැදී ඇත්තේ යුරෝපා සංගමය තුල සිටීම මත බවත් දැක්වේ. තවද යුරෝපා සංගමයෙන් ඉවත්වීම තුල ආහාරපාන ආනයන වියදම් ඉහල ගොස් ජීවීනවියදම වැඩිවීමටත්, මුදලේ අගය පිරිහීමටත් හේතුවන බව පෙනේ. 

ඒ අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුල රැදී සිටීම හෝ නොසිටීම තීරණය කිරීම සදහා අද පවත්වන ජනමතවිචාරණය විසින් බ්‍රිතාන්‍යය සහ යුරෝපයේ ආර්ථික ප්‍රවණතා මෙන්ම, යුරෝපයේ සාමය සම්බන්දවද, ජාතික රාජ්‍යයේ (Nation State) විකාශනය තීරණය කිරීම සම්බන්දයෙන්ද, ඉංග්‍රීසි ජාතිකවාදයේ (English Nationalism) පුනරාගමනය අතින්ද, ක්‍රියාවට නැන්වීමේ අඩුපාඩුකම් කෙතෙක් පැවතියද, මිනිස්  ප්‍රජාවක් ලෙස සංකල්පීය වශයෙන් හෝ මෙතෙක් බිහිකරගත් දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ආකෘතිය වන යුරෝපා සංගමයේ ('Supranational Union' / 'European Superstate') අනාගතය තීරණය කිරීම අතින්ද ඉතා වැදගත් වනබව මගේ අදහසයි.
මාකස් ප්‍රියන්ත පෙරේරා 
23/06/16.

13 comments:

  1. ලාංකීය දෙමළ ජාතිවාදය ලන්දේසීන් බිහිකල, ඉංග්‍රීසීන් විසින් බව්තීස්ම කෙරුණු දෙයක්. ලාංකීය දෙමළ ජාතිවාදයට ඉන්දියාව හැර අන් ජාත්‍යන්තර සහයෝගයක් ඇත්නම් එය බිරිතානියේ බලපෑමෙන් සිදුවූවක් ලෙස සැලකිය හැකියි. මේ ආකාරයට බිරිතානිය යුරෝපයෙන් කොන්වීම සිංහලයාට වාසියක්.
    මෙම වාසිය දෙවෙනි වන්නේ. හින්දු දෙමළුන් හා කිතුනු දෙමළුන් අතර ගැටුමක් ඇතිවීමට සහ බිරිතානිය හා ඇමරිකාව අතර ගැටුමක් ඇතිවීමට පමණයි.

    ReplyDelete
    Replies
    1. ඔබත් අර මැක්කා වගේ, කොහෙන් ගියත් 'දෙමළ ජාතිවාදය'කියන කේන්ද්‍රයෙන් තමයි අවසාන වන්නේ. ඒතුල ඔබ සහ ඔබ මතවාදී වශයෙන් නියෝජනය කරන පාර්ශ්වය කෙතරම් පීඩාවකින් පසුවෙනවාද, කෙතරම් භීතියකින් පසුවෙනවාද, කෙතරම් ඛේදවාචකයක පත්වෙනවාද යන්න නිරූපණය වෙනවා. මේ පිරිස කවදා කෙලෙස නිදහස සහ සතුට සිය ජීවිතවල අත්දකීද, භුක්තිවිදීද කියලා හිතාගන්නවත් බැහැ !!!

      Delete
    2. මැක්කා නොවේ, මැක්කා ඇඟ රැඳි කුක්කා.

      Delete
  2. හොඳ ලිපියක්. ලංකාවේ අය චන්දෙ දෙන්නේ අනිත් පැත්තට රස්සා නිසා.

    ReplyDelete
    Replies
    1. අනිත් පැත්තට කිව්වේ යුරෝපියානු සංගමයෙන් ඉවත්වීම සදහාද ?

      Delete
    2. ඔව්. දෙමල අය පවා ඉවත් වීමට චන්දය දෙන බවයි පෙනෙන්නේ. ඔබේ ලිපියත් පල කලා.

      Delete
    3. ඔව්, පන්ති හැගීමකින් හෝ දේශපාලන විශ්ලේෂණයකින් තොරව තමයි ඔවුන් වැඩිදෙනෙක් මේ තීරණය ගන්නේ. මම කථා කරපු බොහෝ දෙනෙකුගේ අදහස්වලින් කියවුනේ අර 'හිගන්නාගේ පාත්‍රයට හෙනහුරා කඩා වැටීම්' ගැන ඇති නොරිසීම වැනි හැගීමකුත්, මුන්ව block කෙරුවොත් අපේ උන්ව ගෙන්වා ගතහැකියි යන හැගීමක්. එහෙත් එකට ඉඩ ලැබෙන්නේ ආර්ථික වශයෙන් මේ රටේ කෙතරම් ස්ථාවරද යන්න මතයි යන්න ඒ අය අවබෝධකර ගන්නේ නැහැ.

      Delete
  3. එක්ව සිටීම හොදයි කියලයි මගේනම් අදහස..

    ReplyDelete
  4. ඔව් ඒක තමයි කලයුතු හොදම දේ !!!

    ReplyDelete
  5. ඉංග්‍රීසි රාජාණ්ඩුව එංගලන්ත සභාව පිහිටුවා කතෝලික ජාත්‍යන්තරවාදයෙන් ඉංග්‍රීසි ජාතිය නිදහස් කරගැනීමට;
    කෙමල් අතා තුර්ක් ඉස්ලාමීය ජාත්‍යන්තරවාදයෙන් තුර්කි ජාතිය නිදහස්කර ගැනීමට; පෝලන්තය කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදයෙන් නිදහස්වීමට; පසු මනුශ්‍ය ශිෂ්ඨාචාරයේ සිදුවූ වැදගත්ම නිදහස්වීම මෙයයි.
    මෙය බටහිර ක්‍රිස්තියානි නූතන ජාත්‍යන්තරවාදයෙන් බ්‍රිතාන්‍ය ජාතිය නිදහස්වීමක් ලෙස සැලකිය හැකියි.මෙය බ්‍රිතාන්‍ය සමාජයේ බහුතරය යක්ෂ ධාරාව නියෝජනය කරන්නන් බව ඔප්පුවූ අවස්ථාවක් Jo Cox වැනි අතලොස්ස නාග ධාරාවේ අය.

    ReplyDelete
    Replies
    1. මෙහිදී පොනිලා අනුගමනය කලේ ඉතා අමනෝඥ ක්‍රියාවක්. බුද්ධිමත් රාජතාන්ත්‍රිකයෙක් නම් කලයුතුවූයේ ඡන්දය ඉවරවෙනතුරු නිහඬව සිට ඉන්පසු දිනන පැත්තට සහයෝගය දීමයි. මම අගමැති වුනානම් කරන්නේ එයයි.

      Delete
    2. ජගත් මට හිතෙන්නේ නැහැ ඔයා ලියන දේවල් ගැන පැහැදිලි ඔයාට පැහැදිලි අවබෝදයක් තියෙනවා කියලා. කරුණු වශයෙන්, සංකල්ප වශයෙන් විතරක් නෙමෙයි අර්ථය වශයෙනුත් පරස්පරයි, ගැටළු සහගතයි, අවුල්. මුලික සිද්ධාන්ත සහ පිළිගැනීම පිළිබද පුළුල් අවබෝධයක් තිබෙන බව පෙන්නේ නැහැ. එක ඔබේ විතරක් නෙමේ ඔයගොල්ලන්ගේ මතවදයේම ඇති අර්බුධයක්.

      Delete
    3. මම දැක්කා ලංකා ආණ්ඩුවේ උත්සාහය එක ගලෙන් කුරුල්ලෝ දෙනෙක් ඇල්ලීමයි කියලා Lanka Enews දාල තිබෙනවා. එකියන්නේ බ්‍රිතාන්‍යය රජයයි, EU එකයි දෙකම සතුටුකිරීම කියන එක. එක රාජතාන්ත්‍රික වශයෙන් වැරැදී නැහැ නේද? ජගත් ඔයා අගමැතිවුනහමත් එහෙම පාර්ශව සිල්ලන්ට යහපතක් වෙන තීන්දුගන්න !!!

      Delete