This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 13 January 2016

ගමන්පිලගේ 'සිංහලේ' පිළිබද අර්ථකථනය සහ ශ්‍රී ලංකාවේ ජාතිකත්වය පිළිබද කතිකාව

උදය ගමන්පිල මහතා 'ඊලාම්', 'සිලෝන්', 'සීලාන්', 'සේයිලෑන්ඩ්', 'සෙරෙන්ඩිබ්' ආදී මෙකී නොකී නොයෙකුත් ලංකාවට කියන නම්  'සිංහලේ' යන්නෙන් පැනනැගී ඇති බවත් එය ලංකාවේ ප්‍රධාන ජනවර්ගික අනන්‍යතාවය වන  'සිංහල ජනයා ගේ රට' යන්න පදනම් කරගෙන ඇතිවූවක් බවත් දෙරණ රූපවාහිනියේ 360 (11/01/16) වැඩසටහනේ විස්තර කරන අයුරු දුටුවෙමි. එහි යම් අර්ථයක් තිබේ. 'ඊලාම්' යන්න කෙතරම් සතුරු ආකල්පයක් දනවන භයංකර වචනයක් ලෙස දැක්වුවද එයත් ලංකාවට පුරාණයේදී කියූ නමකි. කලින් 'ඊලාම්' නම ඇති සියළු සංවිධාන, දේශපාලන පක්ෂ ආදි සියල්ල තහනම්  කළ යුතුයැයි කියූ අය අතර සිටි ඔහු, නැවත සොයාගත් 'ඊලම' සමග ඇතිවූ  අළුත් ලෙන්ගතුකමත් සමග, ප්‍රභාකරන් ඉල්ලා සිටියේ 'තමිල් ඊලාම්' හෙවත් ද්‍රවිඩ බහුතරයක් වෙසෙන ඊලම යැයි නැවත සිය ස්ථාවරය සකස් කරගැනීමටද ප්‍රවේසම් විය. (එහිදී සිංහල ජනයා ගේ රට හෙවත් 'සිංහලේ' හි ද්‍රවිඩ බහුතරයක් වෙසෙන ප්‍රදේශ හෙවත් 'තමිල් ඊලාම්' කොටසකුත් තිබෙන බව ගම්‍යවන බවක් ඔහුට නොතේරේ.) එමෙන්ම, එම විග්‍රහයට අනුව, 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව මගින් සම්මත කල ශ්‍රී ලංකා යන්නට වඩා  සුද්දා යොදාගත් 'සිලෝන්' යන්න රටේ බහුතර ජනයා වන සිංහලයන් වඩා නියෝජනය කරන බවක් පෙනේ. මන්දයත්, 'සිලෝන්' යන්න  'සිංහලේ' යන්නෙන් පැනනැගී ඇති බැවිනි.
එහෙත්  උදය ගමන්පිල මහතා පවසන්නේ අසත්‍යක්  බව මින් අදහස් නොවේ. නිවැරදිවම නම්, ඔහු පවසන්නේ සත්‍යය/අසත්‍යතාවයකට වඩා 'මතයකි'. එනම් 'සිංහලේ' යන්නෙන් ලංකාවේ ප්‍රධාන ජනවර්ගික අනන්‍යතාවය වන  'සිංහල ජනයා ගේ රට' යන්න අදහස්වන බව දැක්වීම එක් මතයකි. වඩා නිවැරදිව කිවහොත් එය එක් දේශපාලන මතයකි. ඒ මන්දයත්, 'සිංහලේ' යන්නට තවත් අර්ථකථන රාශියක් තිබෙන බැවිනි. 

එක් අදහසක් නම් සිංහලේ යනු සිංහල ජනතාව හැදින්වීමට හෝ ලංකාවම හැදින්වීමට හෝ යොදාගත් පදයක් යන්නට වඩා එය ලංකාවේ යම් ප්‍රදේශයක් පමණක් හැදින්වීමට භාවිතාවු පදයක් යන්නය. එයට හොදම උදාහරණය මාටින් වික්‍රමසිංහගේ 'ගම්පෙරලිය' නවකතාවේ 'ජිනදාස' වෙලදාම් කිරීමට යන්නේ 'සිංහලේ' ටය. එය 'බිබිල' ප්‍රදේශය බව පසුව කියවේ.  

එමෙන්ම, සිංහලේ යන්න තුල මහා වංශය දක්වන ඉන්දියාවේ  ලාට රටේ සිට පැමිණි  'සිංහ' ජනයා සහ මෙරට සිටියේ යැයි කියන 'හෙළයන්' (සිංහ+හෙළ=සිංහළ) මිශ්‍රරව සෑදුනු ජනවර්ගයක් නියෝජනය කරන බවට තවත් මතයක් වේ. මහා වංශයේ එන පණ්ඩුකාභය කථා වස්තුව මේ මතය කියපාන්නක් බව හෙළ හවුලේ ආදිතමයන් මෙන්ම ජැක්සන් ඇන්තනීගේ සාකච්ඡාවලින් ද මතුවේ.   මෙහිදී සිංහලේ යන්න සිංහයාගෙන් පැවත එන්නකට පමණක් සීමාකළහොත් 'රාවණා', 'දඩුමොනර', 'විභීෂණ', 'මහා යක්කිනි', 'අසුරයන් මැඩලූ හෙළයන්', ආදී සියළු කථාවලට යන-එන මං නැතිවේ. 
සිංහලේ යන්න ජාතියක් යන්නට වඩා භාෂාවක් (සිංහල භාෂාව) කථාකරන ජන කොට්ටාශයක්ය  යන අදහස කැටි කරගත්තක් බවට ද තවත් මතයක් වේ. මේ අනුව එය ලේ සම්බන්දයකට වඩා වාග් විද්‍යාත්මක සම්බන්දයකි.

මේ අනුව සිංහල/සිංහලේ යන්නට ඉහතින් දැක්වූ ගමන්පිල මහතාගේ අර්ථදැක්වීමට/මතයට අමතරව තවත් වෙනත් අර්ථදැක්වීම් සහ මතයන් රාශියක් තිබෙන බව පෙනේ. එහෙත් ඒවාද බොහොමයක් ගැටළු සහගත සහ අපැහැදිලි බවකින් යුක්තය. (ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ MPhil නිබන්ධනයේ මෙම සිංහල/සිංහලේ යන්නෙහි ඇති ගැටළු සහගත බව අධ්‍යානය කර ඇති බව මහාචාර්ය නීරා වික්‍රමසිංහගේ 'Sri Lanka in the Modern Age. A history of contested identities (2006)' කෘතියේ (පාද සටහනක (footnote) දැක්වේ - එම MPhil නිබන්ධනය මම කියවා නොමැති නිසා ඒ ගැන කිසිවක් කීමට නොදනී

එහෙත්, 'සිංහලේ' මෙන්ම 'සිංහල' යන ජනවාර්ගික අනන්‍යතාවය වංශ කථා සාහිත්‍යයේ සිට  ශ්‍රී ලාංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය සමයේ  යුරෝපයේ ජනප්‍රියව පැවති  භාෂා, වාග්විද්‍යා සහ වාර්ගික (ආර්ය) අධ්‍යනයන් ඇසුරින් පෝෂණය ලබා අනගාරික ධර්මපාල යුගය දක්වා ගොඩනැගුණ ආකාරය  සම්බන්දයේන් R.A.L.H. ගුණවර්ධන මහතාගේ (1990) 'The People of the Lion - The Sinhala Identity and Ideology in History and Historiography' රචනය මෙම 'සිංහලේ' පිළිබද උනන්දු සියල්ලන්ට එහි සියළු පැතිකඩයන් පිළිබද ඉතා පුළුල් අවබෝදයක් ලබා දීමට සමත් අධ්‍යනයක් බව නම් ඉදුරාම දැක්විය හැක. 

කෙසේවුවද, ඉහත ගමන්පිලගේ 'සිංහලේ' පිළිබද අර්ථකථනයෙන් සාක්ෂාත් කිරීමට උත්සහ කරනුයේ 'ශ්‍රී ලංකාව වූ කලී සිංහලයාගේ ප්‍රධාන ජනවර්ගික අනන්‍යතාවය මත පදනම්වූ ඉතිහාසයක් සහ සභ්‍යත්වය ඇති සිංහලයන් බහුතරයක් වෙසෙන සිංහල  රට හෙවත් සිංහලේ බව නම් පැහැදිලිය. එහි තවදුරටත් ඔබ්ට ගියහොත් 'සිංහලේ' යනු සිංහල ජාතිකත්වයේ  වර්තමාන ප්‍රකාශනය බව ඔහුගේ එම ප්‍රකාශනයේ වේ. එහි ඇති  වරද කුමක්දැයි ඕනෑම කෙනෙකුට පැහැදලිවම සාධාරණ ප්‍රශ්නයක් නැගිය හැක. 

ඇත්ත වශයෙන්ම, ඕනෑම කෙනෙකුට සිය රට පිළිබද ඇති බැදීම, දේශප්‍රේමය, ලබ්ධිය සහ භක්තිය ඕනෑම ආකාරයකට ප්‍රකාශකිරීමට ඕනෑම භාෂාවක ඇති තරම් පද, යෙදුම්, අරුත් සහ නිරුත් තිබේ. 'සිංහලේ' යන්න තුල ප්‍රකාශ වනුවේ එබදු සිය රට වන ශ්‍රී ලංකාව පිළිබදව උපන්නාවූ බැදීම, දේශප්‍රේමය,  ලබ්ධිය සහ භක්තිය නම් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට ප්‍රශ්නයක් පැවතිය නොහැක.  

එහෙත් 'සිංහලේ' යනු බලය (Power -කිසියම් අභිලාශයක් වෙනුවෙන් යොදවන බලපෑම), අධිකාරීත්වය (Authority), ආධිපත්‍ය (Hegemony) සහ මර්ධනය (oppression) පිලිබදව වූ ව්‍යාපෘතියක් හෙවත් බහුතර සිංහල ජනයාගේ බලය මත ස්ථාපිත කරන පාලන අධිකාරීත්වයක්  විසින්  ඔවුන්ගේ ආගමික, වාර්ගික, සංස්කෘතික සහ ඉතිහාස ආධිපත්‍ය පතුරුවමින් සෙසු සියල්ලන් (හිංසාව හෝ කැමැත්ත මත) යටපත් කිරීම සදහාවූ  ව්‍යාපෘතියක් නම්, ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රශ්නයක් තිබේ. 
ඒවැනි ව්‍යාපෘති පැහැදිලිවම වර්ගවාදී ව්‍යාපෘති වන අතර එවැන්නක් වඩාත් සමීපවනුයේ හිට්ලර්ගේ නාසී වැඩපිලිවලටය. දැනටමත් නාසීන් යුදෙව් ජනයාගේ වාසස්ථාන, ව්‍යාපාරික ස්ථානවල යුදෙව්වන් යනුවෙන් ඇදිසේම ශ්‍රී ලංකාවේද මුස්ලිම් ජනයාගේ නිවෙසක් ඉදිරිපිට එවැන්නක් සිදුකර තිබෙන බව වාර්තාවිය. 

මෙවැනි කිසිදු ව්‍යාපෘතියක්  ජාතිකත්වය (Nationalism) පිළිබද ව්‍යාපෘතියන් ලෙස තබා අඩුම වශයෙන් වර්ගීක-ජාතිකත්වයන් ලෙසවත් (Ethno-Nationalistic) පිළිගත හැකිදැයි ප්‍රශ්නයක් මතුවේ. මන්දයත්  ජාතිකත්වය පිළිබද කතිකාවේ දී ජාතිකත්වය හැදින්වීමට වඩා පිළිගැනෙනුයේ 'රාජ්‍ය තුල ජීවත්වන පුරවැසියන්ගේ ශිෂ්ට/ප්‍රජා අනන්‍යතාවය සහ සමාන අයිතීන්ගේ හිමිකාරීත්වය' තහවුරු කරන සිවික් (Civic) වටිනාකම් මිස වර්ගීක අනන්‍යතාවයන් පදනම ලෙස සැලකීම සිදුනොවන නිසාය. 

ඒ අනුව ඉංග්‍රීසි යනුවෙන් ජනවර්ගයක් සිටියද, භාෂාවක් පැවතියද, එංගලන්තය යනුවෙන් රටක් තිබුනද, එංගලන්තය යනුවෙන් රාජ්‍යයක්වත්, ඉංග්‍රීසි යනුවෙන් ජාතිකත්වයක්වත් නිල වශයෙන්  නොපවතී. බ්‍රිතාන්‍යයේ නුතන ජාතික රාජ්‍ය බිහිවීමත් සමග ඒ සියල්ල පසෙකලා,  ඒ වෙනුවට  බ්‍රිතාන්‍යය (Britain) හෙවත් එක්සත් රාජධානිය (United Kingdom/UK) නමින් රාජ්‍යක් සහ බ්‍රිතාන්‍යන් (British) නමින් ජාතිකත්වයක් ඔවුන් ගොඩනගා ගෙනඇත.

අවසාන වශයෙන් කිව හැක්කේ, විදග්ධ සමාජයක පිළිගත් සම්ප්‍රදායය වනුයේ යම්කිසි  විෂයකට අදාල න්‍යායයන්, සංකල්පයන්, මතවාදයන්, දර්ශනික ඉගැන්වීම්, අර්ථකථනයන් සාකච්ඡා කිරීමේදී  එම විෂයේ අදාල දැනුම් පද්ධති තුල පිහිටා, එම විෂයට අදාල පාරිභාෂිත ශබ්දකෝෂයන්  තුල අදහස් දැක්වීමය. 

එහෙත් ලංකාවේ වෙනත් කිසිම විෂය ක්ෂේත්‍රයක වඩා දේශපාලන විෂයට අදාලව කරුණු-කරණා   සාකච්ඡා කිරීමේදී එවැනි පිළිගත් සම්ප්‍රදායක් මත පිහිටා කිසිසේත්ම කටයුතු කරන බවක් නොපෙනේ. ඒ වෙනුවට සිදුවෙනුවේ එක් එක් පුද්ගලයින් තමන්ට අවශ්‍ය ලෙස, අදාල අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස, දේශපාලන විෂය ක්ෂේත්‍රයට අදාල කරුණු-කරණා   සදහා විවිධ අර්ථ නිරූපණයන් ඉදිරිපත් කිරීමය. මෙම විකෘතිය සදහා වඩාත් දායකවන්නේ දේශපාලකයින්, මාධ්‍යකරුවන්, විවිධ මාධ්‍ය සාකච්ඡා සදහා සහභාගී වෙන බොහෝ පුද්ගලයින්ය. තවද මෙම විකෘතිකරණයන් සදහා විද්‍යුත්මාධ්‍ය මෙන්ම සමාජමාධ්‍ය ජාලාද භයානක ඉඩක් විවිර කර දී ඇති බව පෙනේ. දේශපාලන විෂය සම්බන්ධයෙන් මෙන්ම වෙනත් ඕනෑම විෂයක් සම්බන්දයෙන්ද අදාල දැනුම් පද්ධති තුල පිහිටා නොසිට සිදුකරන එවැනි අදහස් දැක්වීම් මගින් ශ්‍රී ලාංකිකයින්ට අදාල විෂය ක්ෂේත්‍රයේ කරුණු-කරණා සම්බන්ධයෙන් නිවැරදි අවබෝදයක් ලබාගැනීමට නොහැකිව ඇති සේම, ඔවුන්ට   විදග්ධ සමාජයක පුරවැසියන් ලෙස ජීවත්වීමට  ඇති අවකාශයද සාපරාධී ලෙස අහුරා ඇත.  ශ්‍රී ලංකාවේ මේ දිනවල සාකච්චා කරන ජාතිකත්වය, රාජ්‍ය, ඒකීය, පෙඩරල්, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, මිශ්‍ර මැතිවරණ ක්‍රම ආදියෙහි පලවන අදහස් ලෙස බැලීමේදී ඉහත තර්කය හොදින්  තේරුම්ගත හැක.

මාකස් ප්‍රියන්ත පෙරේරා
(1/14/16)
සිංහ චිත්‍ර, මූර්ති සහ ඡයා රූප පිළිබද අදහස්.

1. මුල්ම චිත්‍රය George Stubbs (1724-1806) ගේ Lions and Tigers Fighting over a Stag (මුව දෙන වෙනුවෙන් සිංහයාගේ සහ කොටියාගේ ගැටුම - ලේ පිපාසිත බව, අත්කර ගැනීමේ උවමනාව මෙන්ම සිංහයාට නොදෙවෙනි කොටියා යන්න සිහිකරවයි).

2. Una and the Lion (1866) සිංහයා සහ කුමාරිකාව සම්බන්ධ කථා රාශියක් වේ. රුසියාවේ, ඉරානයේ, ඊශ්රායලයේ, බ්‍රිතාන්‍ය, ජර්මනියේ සහ ස්කොට්ලන්තයේ ඇති කථා බොහොමයක කුමාරිකාවගේ ස්පර්ශයෙන්, ඇගිලිතුඩුවලින් දාමරික, කෘර සිංහයා මුදුමොලොක් වනබව දක්වයි.

3. Britannia - බොහෝ ජාතීන්ගේ ජාතික අනන්‍යතාවය සමග සිංහයාද වේ. හොදම උදාහරණය බ්‍රිතාන්‍යයේ  Britannia ප්‍රතිමාවන්ය - රෝම අධිරාජ්‍යට විරුද්ධ බුන්ඩිකාගේ සටන එහි මුලාශ්‍රයයි.

4.යුද්ධය, උදාරත්වය, නිර්භීත්වය, ප්‍රෞත්වය සිංහගෙන් නිරූපණය වනබව පිළිගනී - හිට්ලර්ගේ නාසී හමුදාවේ ප්‍රධානියාවූ ගොරින්  සිංහයා සමග ඇති ඡයා රූපයක්.

5. William Strutt ගේ Peace (1896) සාමය සහජීවනය - නව දේශයක් පිළිබද බලාපොරොත්තුව.

9 comments:

  1. හොද විග්‍රහයක්.................... සාකච්ඡාව දිගට ම යනවා නං හොදයි.....

    මේ සංකල්පයන් දේශපාලනීකරණය වීම තුළ ඔබ කියන අාකාරයට ම අවිචාර විදිහට ඒවා ඉස්මතුවීමේ ගැටලුවක් තියෙනවා...... නැති පදනමක් සහ නැති සාධාරණීකරණය කිරීමක් ඒක්ක මේවා ජනතාව තුළට කාවද්දන ඒකයි වැරැද්ද..... ට්‍රෙන්ඩ් ඒකක් විදිහට ඒවා සමාජගත කරලා දේශපාලනික අවශ්‍යතාවයන් කරගන්න හදනවා.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒත් ජාතිවාදින් එක්ක හරවත් සාකච්ඡාක් කරන්න බැහැ. ඒ වෙනුවෙන් කාලය කැපකරන එකත් තේරීමක් නැහැ කියලා හිතෙනවා!!!

      Delete
  2. සිංහලේ ව්‍යාපෘතිය ආණ්ඩුවෙම වැඩක් විය හැකියි. ඔතනදී එයට සහයෝගය දක්වන්නන් සහ විරුද්ධව තර්ක කරන්නේ එකම පිරිසක් විය හැකියි. මෙය සිංහලයන්ගේ අවධානය වෙනතක හරවන්න කල උපායක් ලෙස සැලකිය හැකියි.

    ඔබ බ්‍රිතාන්‍ය ගැන කියන කතාව තුල නොකියු දෙයක් තියෙනවා. එනම් බ්‍රිතාන්‍ය ජාතිය තුල ඉංග්‍රීසි ආධිපත්‍යයක් තියෙනබව. බ්‍රිටිෂ් කවුන්සිලයේ අයිරිෂ් උගන්වන්නේ නෑ.

    අවසාන වශයෙන් ඔබ ඔයවිදියට හිතන්නේ ඔබේ ආගමේ වැරැද්ද නිසා. බුදුහාමුදුරුවො අයිති සිංහලයන්ට විතරයි, ජේසු අයිති දෙමලාට විතරයි.

    ReplyDelete
    Replies
    1. 'බුදුහාමුදුරුවො අයිති සිංහලයන්ට විතරයි, ජේසු අයිති දෙමලාට විතරයි කියපුහම මට එතෙනින් එහාට ඔබත් එක්ක කොච්චර දුරට මේ අදහස් කථා කරන්න පුළුවන්ද කියාලා හිතපු නිසා උත්තරයක් ලිව්වේ නැහැ.එහෙත් සිංහලේ ගැන ඔබ මුලින් දැක්වූ අදහස ගැන නම් සකච්ඡා කරන්න කැමතියි. බ්‍රිතාන්‍ය තුල ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍යක් තිබෙනවා. ඒක ඇත්ත. එහෙත් වෙල්ෂ්වල ගෙලික් භාෂාව එහි ප්‍රධාන භාෂාව ලෙස තවම සැලකෙනවා, ස්කොට්ලන්තය සහ උ.අයර්ලන්තයේත් ප්‍රාදේශීය භාෂා වලට ඉඩ ලබාදීල තියෙනවා. නැවත වරක් බ්‍රිතාන්‍ය තුල ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍යක් තිබෙනවා එහෙත් ඒනිසා බ්‍රිතාන්‍ය රාජ්‍ය යනු ඉංග්‍රීසිගේ රට කියා හදුන්වන්නේ නැහැ. ඉංග්‍රීසිගේ රට එංගලන්තය, එය බ්‍රිතාන්‍ය රාජ්‍යයේ තුල තවත් එක් ප්‍රධාන රටක් විතරයි.

      Delete
    2. ඒ වගේම 'ඔබ ඔයවිදියට හිතන්නේ ඔබේ ආගමේ වැරැද්ද නිසා' කියලා කිව්වහම් ඔබට ලැජ්ජාහිතෙන් ඕනෑ. මොකද එකෙන් ඔබේ ආගමික සහ සංස්කෘතික හැදියාව ගැන ප්‍රශ්න මතුවෙන නිසා. අන් අයගේ ආගම්වලට ගරුකිරීම, කොයි ආගමේත් උගන්වන විශ්වීය පිලිගැනීමක්.

      Delete
  3. ඇත්තටම ඔබට උඩ ජගත් කියපු කතාවට උත්තරයක් තියනවද . මට පේන්නෙ එහෙ තියෙන්නෙ වෙල්ෂ්,ස්කොටිෂ් ,අයිරිශ් ජනයා මැඩලූ නිරුවත් ඉංග්‍රීසි ජාතිවාදයක්.

    ReplyDelete
    Replies
    1. 'බුදුහාමුදුරුවො අයිති සිංහලයන්ට විතරයි, ජේසු අයිති දෙමලාට විතරයි කියපුහම මට එතෙනින් එහාට ඔහුත් එක්ක කොච්චර දුරට මේ අදහස් කථා කරන්න පුළුවන්ද කියාලා හිතපු නිසා උත්තරයක් ලිව්වේ නැහැ. බ්‍රිතාන්‍ය තුල ඉංග්‍රීසි ජාතිවාදයක් නැහැ. එහෙත් ඔබට එහෙම මතයක් තියෙන්නේ කුමන කරුණු පදනම් කරගෙනද කියා දැනගන්න මම කැමතියි, එහෙත් ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍යක් තිබෙනවා.එහෙත් වෙල්ෂ්වල ගෙලික් භාෂාව එහි ප්‍රධාන භාෂාව ලෙස තවම සැලකෙනවා, ස්කොට්ලන්තය සහ උ.අයර්ලන්තයේත් ප්‍රාදේශීය භාෂා වලට ඉඩ ලබාදීල තියෙනවා. නැවත වරක් බ්‍රිතාන්‍ය තුල ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍යක් තිබෙනවා එහෙත් ඒනිසා බ්‍රිතාන්‍ය රාජ්‍ය යනු ඉංග්‍රීසිගේ රට කියා හදුන්වන්නේ නැහැ. ඉංග්‍රීසිගේ රට එංගලන්තය, එය බ්‍රිතාන්‍ය රාජ්‍යයේ තුල තවත් එක් ප්‍රධාන රටක් විතරයි.

      Delete
    2. කොහොමත් කතෝලික ආගම ජාතිකත්වයට විරුද්ධයි. උදාහරණයක් හැටියට ඇමරිකාවේ කෙනඩි ජනාධිපති තනතුරට තරඟ කරන විට විරුද්ධ වාදියන්ගේ තර්කය වුනේ කෙනඩි කතෝලික නිසා චන්දෙ දෙන්න එපා කියන එක. ඒක දේශපාලන මඩ ප්‍රහාරයක් තමයි. නමුත් ඒ මඩට සමාජය තුල පිළිගැනීමක් ලැබෙන්න හේතු තිබුනා. උදාහරණයක් හැටියට රාජපක්ෂලා රූමත් කාන්තාවන් ආශ්‍රය කරන බවට ප්‍රචාරයන් විරුද්ධ වාදීන් විසින් කලා. නමුත් කවුරුවත් රාජපක්ෂලා සමලිංගික සම්බන්ධකම් කරනබව ප්‍රචාරය කලේ නෑ. මොකද එහෙම දෙයක් ඇත්තටම වුනත් සමාජය ඒක පිළිගන්නේ නෑ.
      ඒ වගේම කතෝලිකයෙක් ‍100% ඇමරිකානුවෙක් නොවෙයි කියන සැකය ඇමරිකානු සමාජය තුල තිබුන නිසා තමයි අරවගේ මඩක් ගැහුවේ. නමුත් චීනය රුසියාව උතුරු කොරියාව වගේ රටක ආණ්ඩුවක් සමඟ කතොලික සභාව ගැටුමක් ඇතිකර ගතහොත් ඇමරිකානුවන් ඉතා භක්තිමත් කතෝලිකයන් හැටියට හැසිරෙනවා.
      තරමක් උගත් සිංහල කතෝලිකයන් ගැන කිව්වොත් ඔවුන් හිතාගෙන සිටින්නේ සිංහලයන් බල්ලන් ලෙසත් දෙමළු දෙවිවරු ලෙසත්, මුස්ලිම්වරු යක්කු ලෙස බවත් පෙනෙනවා. සිංහල බෞද්ධයන් සිංහල කතෝලිකයන් සමඟ හැසිරෙනවිට මෙම කරුණු විවෘතව ප්‍රකාශ කල යුතුයි එතකොට සිංහල කතෝලිකයන් ටික දෙනෙක් හෝ හැදෙනවා. නැත්නම් අපි බොරුවට ආචාරශීලී වුනොත් කිසිම හොඳක් වන්නේ නෑ

      Delete
    3. ඔබ යම් සංයමයක් සහ ආචාරශීලිභාවක් ඇති පුද්ගලයෙක් ලෙස ඉහත පිළිතුර ලියාඇති බව පෙනෙනවා. සමහරෙක් මෙවෙනි දේවල් ගැන ලියන්නේ බොහෝම නරක විදිහට. ඔබ එසේ නොවීම ගැන ස්තූතියි. එහෙත් ඔබේ අදහස් සම්පුර්ණයෙන්ම පදනම් වෙලා තිබෙන්නේ ඔබ හරියි කියා හිතන හෝ ඔබ පිලිගන්න ආශාකරන කරුණු මතයි. කෙනඩිට ආගම ඒ ආකාරයට ප්‍රශ්නයක් වුනේ නැහැ. ජෝර්ජ් වොෂින්ටන්ගේ සිට විවිධ කතෝලික ජනාධිපතිවරු ඇමෙරිකාව පාලනය කරලා තිබෙනවා. ඒ වගේම වෙනත් ක්‍රිස්තියානි පල්ලිවලට අයත්, අයත් පාලනය කරලා තියෙනවා. ඒත් ආගම හෝ මුල් පරපුරේ රට ඇමෙරිකානු ජනාධිපති තරගයේදී එතරම් තීරණාත්මකව කෙනෙඩිගේ ජනාධිවරනයේදී බලපෑ බවක් මම කියවා නැහැ. ඒත් මම හොයා බලන්නම්
      ('උගත් සිංහල කතෝලිකයන් ගැන කිව්වොත් ඔවුන් හිතාගෙන සිටින්නේ සිංහලයන් බල්ලන් ලෙසත් දෙමළු දෙවිවරු ලෙසත්, මුස්ලිම්වරු යක්කු ලෙස බවත් පෙනෙනවා. සිංහල බෞද්ධයන් සිංහල කතෝලිකයන් සමඟ හැසිරෙනවිට මෙම කරුණු විවෘතව ප්‍රකාශ කල යුතුයි එතකොට සිංහල කතෝලිකයන් ටික දෙනෙක් හෝ හැදෙනවා') - මේක සම්පුර්ණයෙන්ම ඔබේ හිතලුවක්. ඔබ හිතනවා ඔවුන් එහෙම හිතනවා කියා.අපි කොහොමද ජගත් අනිත් අය හරියටම හිතන්නේ මෙහෙමයි එහෙමයි කියා තීරනය කරන්නේ ? එහෙම හිතලා අනෙක් අය විනිශ්ය කිරීම වැරදියි. එය පිලිගත් හැසිරීම් රටාවක් නොවෙයි. සමාවෙන්න ඔබේ අදහස් ඔබම නැවතවරක් කියවා හිතන්න. මම මතුකරන අදහස එවිට ඔබටම පෙනේවි. මම හිතනවා අපි මේ කථාව මෙතනින් නතර කරන එක අපි දෙදෙනාගේම වේලාව ඉතිරිකරගැනීමට හොදයි කියලා.


      Delete

      Delete