This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 27 January 2016

යුරෝපය ආගමීක ආධිපත්‍යයෙන් මිදීම සහ ලංකාවේ ඥානසාර හිමියන් ඇතුළු ආගමීක නායකයන් දේශපාලනයට මැදිහත්වීම


ක්‍රි. ව. 1302 'ශුද්ධ රෝම අධිරාජ්‍යයේ පාලකයා වූ අටවන බොනිෆස් (Boniface VIII) පාප්වරයා වරක් ප්‍රකාශකලේ 'පාප්වහන්සේ වන තමන්ට දෙවියන්ගේ නියෝජිතයා වශයෙන් සියල්ලන්ව විනිශ්චයකල හැකි බවත්, එහෙත් කිසිවෙකුට තමාව විනිශ්චයකල නොහැකි බවත්ය (The pope can rightly judge all humans but could be judged by none). ඔහු ඒ සදහා බයිබලේ එන පාවුළුතුමා කොරෙන්තිවරුන්ට ලියන ලද පලමුවන සංදේශයේ පාඨයක්  වන 'ශුද්ධවූ තැනැත්තන්ට සියල්ල විනිශ්චය කලහැක, එහෙත් කිසිවෙකුට ඔහුව විනිශ්චය කල නොහැක' යන අර්ථය දෙන 'The spiritual person judges all things, but is himself to be judged by no one' (1 corinthians 2:15) යන පාඨය භාවිතා කරන ලදී.  බයිබල් පාඨයේ එන ශුද්ධවූ තැනැත්තන් ලෙස හැදින්වූයේ දෙවියන්වය. එහෙත් VIII වන බොනිෆස් පාප්  සිය ධුරයේ බලය සදහා එය තමන්ට කැමති ලෙස අර්ථකථනය කරගන්නා ලදී. 

කෙසේවුවද, ඒ ක්‍රිස්තියානි ආගම බොහෝ රාජ්‍යයන්ගෙන් සැදුම්ලත් ශුද්ධ රෝම අධිරාජ්‍යයේ "රාජ්‍ය ආගම' ලෙස පැවති යුරෝපයේ අදුරුතම යුගයවූ  මධ්‍යතන යුගයේය (Medieval period). එම කාලයේදී  රජවරුන් පත්කිරීම, ඉවත්කිරීම, ඔවුන්ගේ කසාද තීරණය කිරීම, රාජ්‍යයේ සීමා- මායිම් තීරණය කිරීම, රාජ්‍යය තුල ජීවත්විය හැක්කේ කාටද, ඉවත්කල යුත්තේ කාවද ආදී සියල්ල තීරණය කලේ පාප්තුමා සහ ඔහු නායකත්වය දුන් පල්ලිය විසිනි. 

එහෙත්, පාප්ගේ සහ පල්ලියේ මෙම අසීමිත බලය සහ ආගමික ඉගැන්වීම් තම අභිමතය පරිදි භාවිතා කිරීම සම්බන්දයෙන් යුරෝපයේ ක්‍රිස්තියානි පුජකයන් පිරිසක්ම ප්‍රශ්න කිරීමට පටන්ගත්හ. විශේෂයෙන්ම ජේසුතුමා දෙවියන්ගේදේ දෙවියන්ටත්, සීසර්ගේදේ සීසර්ටත් දෙන ලෙස උගන්වා තිබියදී පාප්ගේ සහ පල්ලිය මේ දෙක එකක් ලෙස සලකා කටයුතු කිරීම සම්බන්දයෙන් ඔවුන් දැඩිව විවේචනය කළහ. යුරෝපයේ ආගමික පුනරුදය ලෙස හැදින්වුවේ එයයි. 

එය කෙතරම් පැතිර ගියේදයත් ඇතැම් ගවේෂකයන් බයිබලයේ මුල් පිටපත් හෝ පැරණිම පිටපත් සොයා ඊජිප්තුවේ, පලස්තීනයේ, ජෝර්දානයේ සහ මැදපෙරදිග වෙනත් රටවල පැරණි ක්‍රිස්තියානි ආශ්‍රරම පීරුහ. තවත් පිරිස් වෙනත් ක්‍රිස්තියානි පල්ලි තනාගනිමින් පාප්ගේ නායකත්වයෙන් වෙන්වන යනලදී. එය යුරෝපයේ බොහෝ රජවරුන්ට පාප්ගේ අධිකාරීත්වයෙන් මිදී නිදහස් රාජ්‍යයන් ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් උදාකරන ලදී. මුල් කාලයේ කුරුස යුද්ධ සහ තුර්කි අධිරාජ්‍යයේ ආක්‍රමණ ගැන භීතියක් ඇති කරමින් නැවත නැවතත් පල්ලියේ බලය රැකගැනීමට පාප්වරයාගේ පිරිස් උත්සුකවුවද ආගමික පුනරුදය සහ චින්තන විප්ලවය (Protestant revolution and Renaissance) රැගෙනා විචාර බුද්ධිය ඒ සදහා කිසිදු ඉඩක් ලබා නොදෙන ලදී. 

මෙලෙස යුරෝපයේ බිහිවන ලද නව රාජ්‍යයන් පිලිබදව ප්‍රකට ඉතිහාස විශ්ලේෂකයෙකුවන Joseph Reese Strayer ගේ 'On the medieval origins of the modern state'(1973) කෘතියේ දැක්වූයේ  'The state give orders to all, take orders from none' යනුවෙනි.

එය යුරෝපයේ පැවති පාප්ගේ බලය හැදින්වීමට 'can judge all and could be judged by none' යන කියමනේ පැහැදිලි විලෝමයය. 

කෙසේවුවද, යුරෝපය  එතරම් පහසුවෙන් ආගමික ආධිපත්‍යයෙන්, පල්ලියෙන් හෝ පාප්ගේ හස්තයෙන් ගැලවී නොයනලදී. ඒ සදහා තවත් සියවස් ගනනාවක්ම ගතවිය. අදද ජනරජයක් (Republic) නොවී ඇති බ්‍රිතාන්‍ය වැනි රටවල්  තවමත් පල්ලියේ බලපෑමෙන් සම්පුර්ණයෙන්ම නිදහස් වී නැත. එහෙත් අඛණ්ඩව ගලාගිය ආගමික පුනරුදය සහ චින්තන විප්ලවය (Protestant revolution and Renaissance) යුරෝපයේ ජනයා විචාර බුද්ධියක් සහිත පිරිසක් බවට පත්කළහ. එය ඔවුන්ව ආගමික බලහත්කාරයෙන් මෙන්ම පාප්ගේ ආධිපත්‍යයෙන්ද සම්පුර්ණයෙන් නිදහස් පුරවැසියන් බවට පත්කර ඇත. 

අපේ රටේ පුරවැසියන්ටද අද අවශ්‍යව ඇත්තේ උසාවිවලට ගොස් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන කියාදෙන, රාජ්‍ය ආයතනවලට ගොස් එහි කටයුතු පිලිබදව නියෝගදෙන, රාජ්‍ය විචාලය කලයුතු ආකාරය ගැන රාජ්‍ය නායකයන්ට උපදෙස් දෙන, රාජ්‍ය කටයුතු පිලිබදව මැදිහත්වෙන, නීතියේ ආධිපත්‍යයට අභියෝග කරන ආගමික නායකයන්ගේන්, පුජක සහ අනුකාරකයන්ගෙන් පුර්ණ නිදහසකි. එහිලා අපිද ආගමික පුනරුදයකට සහ චින්තන විප්ලවයකට නතුවිය යුතුය.

ශ්‍රී ලංකාව තුල පුරවැසියන් ලෙස නිදහස්ව ජීවත්වීමට නම් රාජ්‍ය, දේශපාලනය පමණක් නොව පුද්ගලයාද ආගමෙන් නිදහස් විය යුතුව ඇත. රාජ්‍ය කිසිදු ආගමක ආරක්ෂකයා, අනුග්‍රහයකයා හෝ ප්‍රවර්ධකයා නොවිය යුතුය. ආගම පුද්ගලයාගේ පෞද්ගලික සහ සාමුහික කටයුත්තක් ලෙස සලකා කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසිය යුතුය. එය කිසිලෙසකින්වත් අවහිර කලයුතු නොවේ. මන්දයත් එය පුද්ගලයාගේ නිදහස අවහිර කිරීමක් වන බැවිනි. ආගමේ ප්‍රවර්ධනය එහි දායකයන්ටම පැවරිය යුතුය.  එහෙත් පෞරාණික සහ ඉතිහාසය වශයෙන් වැදගත් සියළු ගොඩනැගිලි සහ ඒවාට අයත් සියල්ල ප්‍රතිසංස්කරණකර නඩත්තු කිරීමට රාජ්‍ය ඉදිරිපත්විය යුතුය. මන්දයත්, එය ශිෂ්ටාචාරයේ කොටස්වන බැවිනි. තවද, රාජ්‍ය උත්සවවලට හෝ වෙනත් රාජ්‍ය කටයුතුවලින් ආගම මෙන්ම පුජකයන්ද ඉවත්කර තැබිය යුතුය. ඔවූන්ව පුද්ගලයාගේ මානසික සුවය, හැදියාව සහ සත්භාවය පිළිබද කටයුතුවලට පමණක් සීමාකල යුතුය. 

ලෝකයේ සෙසු බොහෝ දියුණු ජාතීන් මෙන් ශ්‍රී ලාංකීකයන්ටද නිදහස් පුරවැසියන් ලෙස ජීවත්වීමට අවශ්‍ය නම් අද සිටම කලයුතු ප්‍රධානම දේවලින් එයත් එකකි.

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
27/01/2016.

1. Raphael ගේ (පුජකයන් නොමැති) බුධිමතුන් පමණක් ඇති ආයතනය හෙවත්  "School of Athens" චිත්‍රය

2. ලෝකයේ අනාගාමික රාජ්‍ය (secular states), ආගමික රාජ්‍ය හෙවත් ආගම රාජ්‍ය ආගම වී ඇති රාජ්‍ය (states with state religions) සහ රාජ්‍ය සහ ආගම මිශ්‍රව ඇති හෝ තොරතුරු නැති රටවල් දක්වන සිතියමක් - ලංකාව අයත් වන්නේ මෙම රාජ්‍ය සහ ආගම මිශ්‍රව ඇති රටවල් ගොඩටය.

No comments:

Post a Comment