This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 17 June 2015

මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය සමග මීගමු ජනයා පාරට බසී - දැන් අපි නොනැවතිය යුතුය !!!



රටේ පාලකයින් විසින් කලාන්තරයක් පුරා තම ප්‍රදේශය සහ එහි ජනයාගේ ගැටළු දිගින් දිගටම නොසලා හරිමින් ඇතැයි මැසිවිලි නගමින් සිටි මීගමු ජනයා අද (17/06/2015) සිය ප්‍රශ්න සම්බන්ධයෙන් රජයේ අවදානය දිනා ගැනීම සදහා මහ පාරට පැමිණ උද්ගෝෂණයක නිරතවිය. ඒ මීගමුව මහ රෝහලේ සත්මහල් ප්‍රධාන ගොඩනැගිල්ල තනා වසර 13ක් වැනි කාලයක් තුල කඩාවැටීමට ආසන්න තත්වයකට පත්ව තිබීම තුල මීගමුව සහ ඒ අවට ජනයාට මුහුණදීමට සිදුවී ඇති සෞඛ්‍ය අපහසුකම් වලට විසදුම් ඉල්ලීමටය. 

මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් සංවිධානය කරතිබු මේ දැවැන්ත උද්ගෝෂණය සදහා මීගමුව ප්‍රදේශයේ සියළුම කතෝලික පල්ලිවලින් 60 දෙනකට ආසන්න පියතුමන්ලාද, මීගමුවේ සියළුම කන්‍යාරාමවලින් අඩුම වශයෙන් එක් කන්‍යා සොයුරියක්වත්ද, වෙනත් කිතුනු  සභාවල දේවගැතිවරුන්ද, මීගමුව අගුරුකරමුල්ල පන්සලේ සහ පොඩි පන්සලේ  ස්වාමීන්වහන්සේලාද, මීගමුව හින්දු සහ මුස්ලිම් පුජකවරුන් ද, ප්‍රදේශයේ සියළු ආගම් සහ විවිධ ජනකණ්ඩායම් නියෝජනය කරන ජනයාද  එයට සහභාගීවී ඇත. එය මීගමුවේ ජනයාගේ ඇති සමගි සම්පන්නකම විදහාපාන්නක් විය. නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ රොයිස් විජිත වැනි ප්‍රදේශයේ පක්ෂ-විපක්ෂ දේශපාලන නායකයන්ද මෙයට එක්ව ඇත. එය අගය කල යුත්තකි.

ඉකුත් ඉරිදා (14/06/2015) ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ මුල්පිටුවේ මීගමුවේ කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සංවිධායක එම්මානුවෙල් පියුම්වර්ධන මහතා විසින් "මීගමුව රෝහල රැකගනිමු' යනුවෙන් නිකුත්කළ නිවේදනයට (මෙතැනින් පිවිසෙන්න) අනුව මෙම උද්ගෝෂණය පැවැත්වීමට නියමිතව තිබුනේ කලින් (16/06/15) දිනයේය. එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලංකාවේ අදටත් ක්‍රියාත්මකවන පැරණිම නේවාසික කාන්තා පාසැල වන මීගමුව 'නිවුස්ටඩ්' බාලිකා විදුහලේ 200 වන සැමරුම සදහා ඉදිකළ ගොඩනැගිල්ල විවෘත කිරීමට මීගමුවට ඊයේ පැමිනි බැවින් එයට බාධා නොවන පිණිස උද්ගෝෂණය අදට (17/06/15) කල්තබා තිබුණි. එහෙත් මෙම දින වෙනස් කිරීම උද්ගෝෂණයේ සාර්ථකත්වයට කිසිදු ලෙසකින් බලපා නොතිබි බව එයට සහභාගී වූ ඉහල ජන සභාගීත්වය සාක්ෂි දරයි. 

මෙයට අමතරව 'මීගමුව මහ රෝහල සුරැකීමේ සංවිධානය' විසින් 'මීගමුව මහ රෝහල විනාශයි' යනුවෙන් පත්‍රිකාවක් ද බෙදා මෙම උද්ගෝෂණය ගැන ජනයා දැනුවත් කර තිබුණි. මේ එම පත්‍රිකාවයි. 




මෙම පත්‍රිකාවත්, මීගමුවේ කතෝලික ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඉහත නිවේදනයත් මුලික වශයෙන්ම ඉල්ලා සිටියේ මීගමුවේ රෝහල වහාම බස්නාහිර පළාත් සභාවේ පාලනයෙන් ඉවත්කොට මාධ්‍ය රජයේ හෙවත් සෞඛ්‍ය අමාත්‍යශයේ ඍජු පාලනයට පවරා ගන්නා ලෙසයි. ඒ බස්නාහිර පළාත් සභාව දිගින් දිගටම මීගමුව මහ රෝහල නොතකාහරිමින් ගම්පහ රෝහලේ නවීකරණයට පමණක් කටයුතු කරන නිසාය. බස්නාහිර පළාත් සභාවේ නොසැලකිල්ල නිසා මීගමුව රෝහල කෙතෙක් නම් විනාශ වී ඇත්දැයි ඉහත පත්‍රිකාව හා අදාල පුවත්පත් නිවේදනය කියවීමෙන් සිතා ගතහැක.     

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් විකාශනය කල රාජ්‍ය ප්‍රතිපත්තිය තුල මීගමුව දිගින් දිගටම නොසලාහැරී බව නිතර නිතර මතක්කල යුතු සත්‍යයකි. බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන අද විනාශයට ගොදුරුව ඇති මීගමුව රෝහල එයට තවත් එක් උදාහරණයක් පමණි. ගාල්ල, මාතර වැනි පැරණි ලන්දේසි බලකොටු ප්‍රතිසංස්කරණ කරන ලංකා රජය මීගමුව ලන්දේසි බලකොටුව, බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජිණ වැනි රාජකීය සම්භාවනීය අමුත්තන් පැමිණි මීගමුව නව තානායම ආදී මීගමුවේ එතිහාසික වටිනාකමක් ඇති ස්ථාන ක්‍රමයෙන් විනාශ වීමට ඉඩහැර ඇස්-කන් පියා සිටීම තවත් උදාහරණයකි. තවත් දෑ ඕනෑ තරම්ය.

 යටත්විජිත යුගයේදී කොළඹ හැරුණු විට බස්නාහිර පළාතේ තිබු ඊලගට දියුණුම සහ විශාලතම නගරය වුයේ මීගමුව ය. එය කලක් මීගමුව දිස්ත්‍රික්කය ලෙසද, පසුව කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් ලෙසද පැවතිනි. 1977 නව දිස්ත්‍රික්කයක් වශයෙන් මීගමුව නම් කිරීමට ඉඩ නොදී එය ගම්පහ  ලෙස නම් කර මීගමුව යටපත් කරන ලදී. 1957 දක්වා පැවති මීගමුව ගුවන් තොටුපලින් මීගමුව නම හලා එය කටුනායක ගුවන්තොටුපල ලෙස නම් කළේය. සියවස් ගණනාවක් වෙළද නැව් පැමිණි මීගමුව වරාය ධීවර වරායක් ලෙස සීමා කරමින් ගැසට් නිවේදනයකින් පහත හෙලන ලදී. මීගමුව අධිකරණ බලප්‍රදේශය, මීගමුව පොලිස් බල ප්‍රදේශය ක්‍රමයෙන් හකුළුවමින් මීගමුවේ පරිපාලන වැදගත්කම හීන කරමින් ඇත. මීගමුව ලංකාවේ පැරණිම මහ නගර සභා 05න් එකකි. 1960 පාසැල් රජයට පවරාගැනීමේ පනත නිසා  ලංකාවේ පැරණිම මෙන්ම ඉතාම හොදින් ක්‍රියාත්මකවූ මීගමුවේ පාසැල් පද්ධතිය බෙලහීන කර ඇත. කලක් ජාතික පාපන්දු කණ්ඩායමට හරි අඩකට වඩා ක්‍රීඩකයන් සැපයු, ආසියානු පදක්කම් ලද මළල ක්‍රීඩකයින් බිහිකළ මීගමුවට අද හොද මට්ටමේ ක්‍රීඩාංගනයක්වත් නැත. ශ්‍රී ලංකාවට සිංහල සිනමාවක්, සිංහල කණ්ඩායම් සංගීතයක් හදුන්වාදුන් මීගමුවට අද ද හොද සිනමාහලක් සහ කලාගාරයක් නැත. එහි ඉතිහාසය මතුපරපුරට සුරක්ෂිතව ප්‍රදර්ශනය කිරීමට කෞතුකාගාරයක් නැත. ඒ මෙම නගරයේ ජනයා, මැසි-මදුරු උවදුරුන් පීඩාවට පත්ව, නිවාස හිගයකින් සහ දහසකුත් එකක් ගැටළුවලින් පෙලෙන අතරය. 

එහෙත් ඒ සියල්ල තුල අපි අපේ ජනයා, සමගියෙන්, ප්‍රීතියෙන් එකිනෙකාට උදව්කරමින් ගෙවන ජීවිතය ගැන, අපේ නගරය ගැන තරම්ම ආඩම්බර වෙමු. අද මීගමුවේ ජනයා සිය රෝහලේ ගැටළුව සම්බන්දයෙන් සිදුකල මේ පෙළගැස්ම නොනවත්වා ඉදිරියට ගෙන ගොස් අපේ නගරයේ සෙසු ගැටළු විසදීමටත් නොනවතින අරගලයක නිරතවීමට අද උද්ගෝෂණය සංවිධානය කල මීගමුවේ කතෝලික ශාසනා රක්ෂක බල මණ්ඩලයටත් සෙසු සැමටත් අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා !!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
17/06/2015. 

5 comments:

  1. මෙයට හේතුව ප්‍රධාන දේශපාලන පක්ෂයකට අයත් මන්ත්‍රී/ඇමති කෙනෙක් මීගමුවෙන් බිහි නොවීමද? කතෝලිකයන්ට විරෝධය පෑම ද? නැත්නම් වෙනත් හේතුවක් ද?

    ReplyDelete
    Replies
    1. Marcus Priyantha Perera: මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය සමග මීගමු ජනයා පාරට බසී - දැන් අපි නොනැවතිය යුතුය !!! >>>>> Download Now

      >>>>> Download Full

      Marcus Priyantha Perera: මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය සමග මීගමු ජනයා පාරට බසී - දැන් අපි නොනැවතිය යුතුය !!! >>>>> Download LINK

      >>>>> Download Now

      Marcus Priyantha Perera: මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය සමග මීගමු ජනයා පාරට බසී - දැන් අපි නොනැවතිය යුතුය !!! >>>>> Download Full

      >>>>> Download LINK Dg

      Delete
  2. හිතා මතා රාජ්‍ය මට්ටමින් සිදුවන දේවල් ගැන නම් දන්නේ නෑ. නමුන් මීගමුව නගරසභාවේ පරිපාලනය නම් අමු කුණු කෑමක් වෙලා තියෙන්නෙ. පගාව නොදී කිසි දෙයක් කර ගන්න බෑ. :(

    ReplyDelete
  3. ඕනෑම අරගලයක් හොඳයි මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන, පොදු දේ ගැන සැලකිලිමත් වෙන. අපි එන්ෆිල්ඩ් වල චේස් ෆාම් රෝහල රක ගන්න උත්සහ කලා. බැරි වුන. මෙහෙම සමගියක් තිබ්බේ නැහැ.
    http://nelumyaya.com/?p=3289

    ReplyDelete
  4. Marcus Priyantha Perera: මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය සමග මීගමු ජනයා පාරට බසී - දැන් අපි නොනැවතිය යුතුය !!! >>>>> Download Now

    >>>>> Download Full

    Marcus Priyantha Perera: මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය සමග මීගමු ජනයා පාරට බසී - දැන් අපි නොනැවතිය යුතුය !!! >>>>> Download LINK

    >>>>> Download Now

    Marcus Priyantha Perera: මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය සමග මීගමු ජනයා පාරට බසී - දැන් අපි නොනැවතිය යුතුය !!! >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete