පසුගිය පොසොන් පොහෝදා මම මගේ Facebook පිටුවේ "මිහිදු හිමියන් බුද්ධාගම ගෙනඒම සංස්කෘතික ආක්‍රමණයක් නොවී පෘතුගීසින් ක්‍රිස්තියානි ආගම ගෙනඒම සංස්කෘතික ආක්‍රමණයක් වන්නේ ඇයි?"දැයි ඇසුවෙමි. එය දෙබරයකට ගල් ගැසීමක් බදුවිය. බොහෝ දෙනෙකු තර්ක කලේ පෘතුගීසින් බලහත්කාරයෙන් තුවක්කුවෙන්, විවිධ වදබන්දන පැමිණවීමෙන්, ක්‍රිස්තියානි ආගම බලෙන් පැතිරවූ බවත් එහෙත් මිහිදු හිමියන් බෞද්ධාගම හදුන්වා දුන්නේ එවැනි ආකාරයකට නොවන බවත්, එය ජනයා ස්වකැමැත්තෙන්ම පිලිගත් බවත් දක්වා තිබුනි.
පෘතුගීසින් බලහත්කාරයෙන්, වවදහිංසාවලට ලක් කිරීම ඔස්සේ කතෝලික ආගම පැතිරවු බවට මූලාශ්‍ර ලෙස බොහෝදෙනෙකු දැක්වූයේ පෘතුගීසි සෙනවි අසවේදූ ගේ කෲර ක්‍රියාකරම් ය. එහෙත් අසවේදු පැතිරවූ ක්‍රිස්තියානි ආගමක් නැත. ඇත්ත වශයෙන්ම ක්‍රිස්තියානි ආගම පැතිරවූයේ පෘතුගීසි නැව් වල පැමිණි මිශනාරී පියතුමන්ලා ය. ඔවුන් මුලින්ම ලංකාවට පැමිණ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කලේ හත්වැනි බුවනෙකබාහු රජතුමාගේ ඉල්ලීමකට අනුවය. එසේ පැමිණ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කල ක්‍රිස්තියානි පියතුමන්ලා පෘතුගීසින්ගේ කෲරතර ක්‍රියාමාර්ග නිර්ධය ලෙස විවේච්නය කලා පමණක් නොව ජෙනරාල් අසවේදුට එරෙහිව ලිස්බන් නුවරට පැමිණිලි කර, ඔහුට එරෙහි නඩුවේ සාක්ෂි පවා ලබාදෙමින්, අසවේදුව සිරගත කිරීමට පවා එම මිශනාරී පියතුමන්ලා කටයුතු කල බව සුප්‍රකට පෘතුගීසි යුගයේ ඉතිහාස රචකයෙක් වන ක්වේරෝස් පියතුමාගේ රචනාවල පවා කියවෙන බවත් දැක්වීය.
එහෙත් පෘතුගීසින්ගේ කෲර ආක්‍රමණත්, ඔවුන්ගේ නැව්වලින් පැමිණ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කල පියතුමන්ලාද ඈදා 'එකම කාසියක දෙපැත්ත' යැයි දක්වමින් ගොඩනන්වා ඇති ඉතිහාස ආඛ්‍යානයන් වලට මා මතුකල එකී කාරණා කිසිසේත්ම අදාල නොවුනි.
ක්‍රිස්තියානි ආගම මෙන්ම ඉස්ලාම් ආගම්ද ව්‍යාප්තවූයේ ආක්‍රමණවලින් බවත් එහෙත් බුදුදහම ව්‍යාප්තවූයේ එසේ කිසිදු ලේ සෙලවීමකින් නොවන බවත් බොහෝ දෙනා මතුකල තර්කයකි. ඇත්තවශයෙන්ම, ඕනෑම ආගමක ව්‍යාප්තිය සදහා දේශපාලන බලය බලපා ඇති බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනීයයි. ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තියට යූරෝපීන්ගේ බලයද, ඉස්ලාමීය ආගමේ ව්‍යාප්තියට මැදපෙරදිග බලයද, බුද්ධාගමේ ව්‍යාප්තියට ධර්මාශෝක අධිරාජ්‍යයේ බලයද හේතුවී තිබුනි. ක්‍රිස්තියානි ආගමේ සහ ඉස්ලාමී ආගමේ ව්‍යාප්තිය සදහා යුරෝපීන්ගේ සහ මැදපෙරදිග බලය කෙතෙක් ඉවහල් වූයේද යන්න ගැන සවිස්තරාත්මකව ලියවී තිබුනද බුද්ධාගමේ ව්‍යාප්තියට ඉංදියාවේ සිටි ධර්මාශෝකගේ සහ ලංකාවේ සිටි විවිධ රජවරුන්ගේ බලය කෙසේ බලපෑවේද යන්න ගැන එසේ ප්‍රමාණ වත්ව ලියවී ඇද්ද යන්න ගැන ප්‍රශ්නයකි. අඩුම තරමේ බුද්ධාගම හදුන්වාදීමට පෙර ලංකාවේ පැවැති ආගම්, ඇදහිලි, ජන කන්ඩායම්වලට සිදුවූයේ කුමක්ද යන්න ගැන පවා ලංකාවේ ඉතිහාසය හදාරන්නන් පවා ලියා ඇත්තේ සීමා සහිතවය. අඩුම තරමේ මහියංගන පෙරහැරේ සිදුකරනවා යැයි කියන 'මිහිදුට ගල් ගැසීම' නම් චාරිත්‍රය ගැන පවා කිසිදු අධ්‍යාපනයක් සිදුවී නොමැත. ඇත්ත වශයෙන් මෑත කාලීන ලංකාවේ බුද්ධාගම, සංඝයා වහන්සේලා සහ ඔවුන්ගේ දේශපාලන මැදිහත්වීම් ගැන ලියවී ඇති දෑ අසුරින් පවා පෙනි යන්නේ දැන් අහිංසක යැයි කිවහැකි, ලේ නොතැවරණු කිසිදු ආගමක් නැති බවයි.
කෙසේවෙතත්, මගේ ප්‍රශ්නයවු මිහිදු හිමියන් ලංකාවට බෞද්ධාගම ගෙන ඒම සංස්කෘතික අක්‍රමණයක් ලෙස සලකන්න බැරි ඇයි? යන්න ගැන උත්තර දෙන එක කොහොමවුනත් රුවන් M ජයතුංග ලියලා තිබුනා "මුලින්ම කතෝලික වූ අපේ මී මුත්තෝ බෞද්ධ ලූ... ඒ අය විශාල වධබන්ධනයට ලක්වූ පිරිස් ලූ...කුල ප්‍රශ්ණෙත් බලපාන්න ඇතිලූ.. වෙරළ බඩ ප්‍රදේශවල හිටියේ ඉන්දීය ද්‍රවිඩ මූලයන් තිබූ කරාව වංශිකයන්ව රදල ගොවිගම බෞද්ධයන් කෙවුල ලෙස පහත් කොට සැලකුවා ලූ...ඔය පීඩනයට අසුවෙලා කරාව වංශිකයනුත් ස්ව කැමැත්තෙන් කතෝලික උනාලු..."
ඕය කතාව පියදාස සිරිසේන ලාගේ කාලේ ඉදන් රටේ සිංහල-බෞද්ධ මනස්වලට කාලයක් තිස්සේ කා වැද්දූ කතාවක්. කරුමේ කියන්නේ දැන් ඔවුන් ( කොමෙන්ට් එක පලකල තැනැත්තාට අදාලව) 'රොක්' ඇහැව්වාත් තවමත් ඔලුවෙන් කබොක්.
බලන්න අපි දන්නවද අපේ මී මුත්තා සිංහලද, දෙමළද, බෞද්ධද, හින්දු ද, කියලා... ක්‍රිස්තියානි ආගම වැලද ගත්ත අපි විතරක් නෙමේ අනෙක් අයටත් කියන්න පුලුවන්ද ඔවුන්ගේ මී මුත්තා සිංහලද, දෙමළද, බෞද්ධද, හින්දු ද, කියලා. බෑ !! කවුරු හරි ඒහෙම හිතනවා නම් ඒවා නිකම් මවා ගත්ත මනස්ගාත නේ...
අනෙක් කාරනේ තමයි, කතෝලික ආගම වැලද ගත්තේ කුල පීඩාවෙන් පෙලුන ඉන්දීය සම්භාවයක් සහිත පිරිස් ලූ !! බලන්න කුල ක්‍රමයට එරෙහිව හඩ නැගූ ඉන්දියාවේ ශාස්තෲ වරයෙක් වන ගෞතම බුදුන්ගේ ආගම අදහන අයත් පිලිගන්නවා පෘතුගීසින් එනවිටත් ලංකාවේ උග්‍ර කුල පීඩනක් තිබුන බව. පෘතුගීසින් ඇවිත් තමයි ඒ කුල පීඩනයෙන් බැට කාපූ මිනිස්සුන්ට විමුක්ති දීලා තියෙන්නේ...ඒ අතින් පෘතුගීසින් කොච්චර දෙයක්ද කරලා තියෙන්නේ... උන් කඩුවෙන් හරි බයිබලයෙන් හරි කරලා තියෙන්නේ පීඩිත ජනතාවක් මුදවා ගැනිම නෙමේද? (ඕනේ නම් එහෙමත් කියන්න පුලුවන් නේ...)
කුල ක්‍රමයෙන් විවිධ ජන කොටස් පීඩාවට පත්වීමට අමතරව සිංහල-බෞද්ධ යැයි කියලා ගොඩනගාගෙන තිබුන සංස්කෘතියෙන් රටේ කාන්තාවන්ටද අසමාන ලෙස සලකා තිබූ බව මෑත යුගයේ සිංහල-බෞද්ධ කතිකාවේ ප්‍රමුඛයෙක්වූ නලින් ද සිල්වාත් මෙසේ සදහන් කර තිබුනා : "සිංහල බෞද්ධ සංස්කෘතියෙ වුණත් මා එහි බෞද්ධ නොවන දේට කැමති නැහැ. විශේෂයෙන් ම කුල ප්‍රශ්නය සඳහන් කරන්න පුළුවන්. එදා කොහොම වෙතත් අද වන විට ස්ත්‍රීන්ට සමාජයේ ලැබෙන්නේ අඩු සැලකිල්ලක්. ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ වසන උඩමළුවට හැමෝට ම යන්න දෙන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙත් ඒ ටික දෙනා අතරත් ස්ත්‍රීන්ට තැනක් නැහැ. ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කළේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ. මෙහෙණින් වහන්සේ නමකට වඩම්මන්න පුළුවන් බෝධියෙ මළුවට ගැහැණුන්ට යන්න බැරි ඇයි? දන්ත ධාතුන් වහනසේ මෙරට වැඩැම්මුවෙත් ස්ත්‍රියක්. හේමමාලි කුමරිය. පත්තිරිප්පුවට ගැහැණුන්ට නගින්න දෙන්නෙ නැත්තෙ හින්දු බමුණු මතය නිසා ද? මගේ අම්මාට භාර්යාවට දුවට ලේලිලාට නංගිලාට යන්න බැරි නම් මා යන්නෙ කොහොමද?" (නලින් ද සිල්වා, 'අප බටහිරයන්ගෙ ගෑස් බලන්නෙ ඇයි?' , 'කාලය', වෙබ් අඩවිය, 15/06/22) .
දැන් මම මේ කියන්න හදන්නේ පෘතුගීසින් ආව නිසා කුල පිඩිතයෝ විතරක් නෙමේ කාන්තාවන් පවා නිදහස් වුනා වගේ කතාවක් නෙමේ...
ඉතිහාස ලියවිලි අනුව ලංකාවේ කුල ක්‍රමය සහමුලින්ම අත් හිටවූයේ 1833 'කෝල්බෲක් - කැමරන්' ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලින් පස්සේ. ඒ කියන්නේ සුද්දගේ කාලේ, බ්‍රිතාන්‍යය යුගයේ. පෘතුගීසින්ගේ පැමිණිමෙනුත් අවුරුදු 300කට පස්සේ. ඒත් කුල ක්‍රමය, රාජකාරීක්‍රමය මුල්කරගත් නිෂ්පාදන මාදිලියක් නොවුනත්, සමාජ ස්ථර වර්ගීකරණයක් විදිහට තවදුරටත් ලාංකික සමාජය තුල පවතින බව පත්තරවල පලවෙන මංගල දැන්වීම් ඇසුරෙන් වුවත් තේරුම් ගන්න පුලුවන්.
ඇත්තටම පෘතුගීසි යුගයෙන් පසුව ලංකාවේ ජනයාට ක්‍රිස්තියානි ආගම වැලදගැනීමෙන් හෝ ක්‍රිස්තියානි නොවී හෝ තම තමන්ගේ නම්/ වාසගම් වෙනස් කරගැනීමට අවස්ථාවක් හිමිවුනා. ඒ අනුව ලංකාවේ බොහෝ දෙනෙක් සිංහලද/දෙමළද/මුස්ලිම්ද/ ක්‍රිස්තියානිද ආදිය කොහොමවුනත් ඔවුන්ගේ මී මුතුන් මිත්තන්ගේ නම් ගම් වෙනස් කරගත්ත අය. විශේෂයෙන්ම යමක් කමක් හම්බකරගත්ත, යම් යම් රැකියාවන්, ආර්ථික වත් පොහොසත්කම් ගොඩනගා ගත්ත අය එසේ කරලා තිබෙනවා කියලා ඕනෑ තරම් ලියවී තිබෙනවා. ඒ නිසා අද ඔය ලංකාවේ සිංහල-බෞද්ධ ගොවිගම කියලා කියන බොහෝ දෙනෙකුගේ මී මුතුන් මිත්තන් පවා ඇත්තටම එහෙම වෙන්ඩ නැතිව ඇති...
අනික ඔය කෙහෙල් මල් ඔක්කොම ලංකාව කියන දූපතේ කොටුවුනු අය අතර විතරයි..ඔය පින්තූරය බලන්න... ලංකාවේ සිංහල වුනත්, බෞද්ධවුනත්, ගොවි ගම රදල වුනත් ස්ත්‍රින්ට/ කාන්තාවන්ට යන්න දෙන්නේ නෑ කියලා නලින් ද සිල්වාම කියන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ වසන උඩමළුවට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින ඔය හොද අපුරුවට ගිහින් සක්මන් කරන්නේ....
මෙහෙමයි, ප්‍රාග්ධනයට ඔය ඔක්කොම යටයි කියනවානේ...මාක්ස්වාදය කියන විදිහට අධෝව්‍යවුහය (ප්‍රාග්ධනය) විසින් උපරිව්‍යවුහය (සංස්කෘතිය ආදීය) වෙනස් කරනවා කිව්වත් ලංකාව වගේ රටවල ඒ සදහාත් දැඩි ව්‍යායාමයක් දරන්න වෙනවා. මොකද ලාංකික සමාජය ජාතිවාදයෙන්, වර්ගවාදීයෙන් ඔද්දල්වෙලා, කුණුවෙලා, පැසෝලා, උඩුදුවලා, මුල් බැහැලා තියෙන්නේ...එයින් නිදහස් වෙන්න නම් අපි මේ ඇත්ත යැයි කියලා ගොඩනගලා තියෙන යථාභූතයන් ප්‍රශ්න කරන්න ම ඕනේ... පන්සල්ද/පල්ලියද/කෝවිලද/ආගමද/ධර්මයද/දර්ශනයද/කුලයද/ ජාතියද/ගැහැනුද/පිරිමිද/කුමන වර්ගයද? ඔය සියල්ල ප්‍රශ්න කරන්න ම ඕනේ...අවසාන වශයෙන් මේ සියල්ලෝම මනුෂ්‍යයෝය යන්න මතුකර ගන්නකම් අපි ප්‍රශ්න කරන්න ඕනේ...
මාකස් ප්රියන්ත පෙරේරා
19/06/22






