This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 19 June 2022

මගේ පොසොන් සිතුවිල්ල සහ මහරැජින උඩමළුවට යෑම

පසුගිය පොසොන් පොහෝදා මම මගේ Facebook පිටුවේ "මිහිදු හිමියන් බුද්ධාගම ගෙනඒම සංස්කෘතික ආක්‍රමණයක් නොවී පෘතුගීසින්  ක්‍රිස්තියානි ආගම ගෙනඒම සංස්කෘතික ආක්‍රමණයක් වන්නේ ඇයි?"දැයි ඇසුවෙමි. එය දෙබරයකට ගල් ගැසීමක් බදුවිය. බොහෝ දෙනෙකු තර්ක කලේ පෘතුගීසින් බලහත්කාරයෙන් තුවක්කුවෙන්, විවිධ වදබන්දන පැමිණවීමෙන්, ක්‍රිස්තියානි ආගම බලෙන් පැතිරවූ බවත් එහෙත්   මිහිදු හිමියන් බෞද්ධාගම හදුන්වා දුන්නේ එවැනි ආකාරයකට නොවන බවත්, එය ජනයා ස්වකැමැත්තෙන්ම පිලිගත් බවත් දක්වා තිබුනි.

 පෘතුගීසින් බලහත්කාරයෙන්, වවදහිංසාවලට ලක් කිරීම ඔස්සේ කතෝලික ආගම පැතිරවු බවට මූලාශ්‍ර ලෙස බොහෝදෙනෙකු දැක්වූයේ පෘතුගීසි සෙනවි අසවේදූ ගේ කෲර ක්‍රියාකරම්‍ ය. එහෙත් අසවේදු පැතිරවූ ක්‍රිස්තියානි ආගමක් නැත. ඇත්ත වශයෙන්ම ක්‍රිස්තියානි ආගම පැතිරවූයේ පෘතුගීසි නැව් වල පැමිණි මිශනාරී පියතුමන්ලා ය. ඔවුන් මුලින්ම ලංකාවට පැමිණ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කලේ හත්වැනි බුවනෙකබාහු රජතුමාගේ ඉල්ලීමකට අනුවය. එසේ පැමිණ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කල ක්‍රිස්තියානි පියතුමන්ලා පෘතුගීසින්ගේ කෲරතර ක්‍රියාමාර්ග නිර්ධය ලෙස විවේච්නය කලා පමණක් නොව ජෙනරාල් අසවේදුට එරෙහිව ලිස්බන් නුවරට පැමිණිලි කර, ඔහුට එරෙහි නඩුවේ සාක්ෂි පවා ලබාදෙමින්, අසවේදුව සිරගත කිරීමට පවා එම මිශනාරී පියතුමන්ලා කටයුතු කල බව සුප්‍රකට පෘතුගීසි යුගයේ ඉතිහාස රචකයෙක් වන ක්වේරෝස් පියතුමාගේ රචනාවල පවා කියවෙන බවත් දැක්වීය.

 එහෙත් පෘතුගීසින්ගේ කෲර ආක්‍රමණත්, ඔවුන්ගේ නැව්වලින් පැමිණ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කල පියතුමන්ලාද ඈදා 'එකම කාසියක දෙපැත්ත' යැයි දක්වමින් ගොඩනන්වා ඇති ඉතිහාස ආඛ්‍යානයන් වලට මා මතුකල එකී කාරණා කිසිසේත්ම අදාල නොවුනි. 

ක්‍රිස්තියානි ආගම මෙන්ම ඉස්ලාම් ආගම්ද ව්‍යාප්තවූයේ ආක්‍රමණවලින් බවත් එහෙත් බුදුදහම ව්‍යාප්තවූයේ එසේ කිසිදු ලේ සෙලවීමකින් නොවන බවත් බොහෝ දෙනා මතුකල තර්කයකි. ඇත්තවශයෙන්ම, ඕනෑම ආගමක ව්‍යාප්තිය සදහා දේශපාලන බලය බලපා ඇති බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනීයයි. ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තියට යූරෝපීන්ගේ බලයද, ඉස්ලාමීය ආගමේ ව්‍යාප්තියට මැදපෙරදිග බලයද, බුද්ධාගමේ ව්‍යාප්තියට ධර්මාශෝක අධිරාජ්‍යයේ බලයද හේතුවී තිබුනි. ක්‍රිස්තියානි ආගමේ සහ ඉස්ලාමී ආගමේ ව්‍යාප්තිය සදහා යුරෝපීන්ගේ සහ මැදපෙරදිග බලය කෙතෙක් ඉවහල් වූයේද යන්න ගැන සවිස්තරාත්මකව ලියවී තිබුනද බුද්ධාගමේ ව්‍යාප්තියට ඉංදියාවේ සිටි  ධර්මාශෝකගේ සහ ලංකාවේ සිටි විවිධ රජවරුන්ගේ බලය කෙසේ බලපෑවේද  යන්න ගැන එසේ ප්‍රමාණ වත්ව ලියවී ඇද්ද යන්න ගැන ප්‍රශ්නයකි. අඩුම තරමේ බුද්ධාගම හදුන්වාදීමට පෙර ලංකාවේ පැවැති  ආගම්, ඇදහිලි, ජන කන්ඩායම්වලට සිදුවූයේ කුමක්ද යන්න ගැන පවා ලංකාවේ ඉතිහාසය හදාරන්නන් පවා ලියා ඇත්තේ සීමා සහිතවය. අඩුම තරමේ මහියංගන පෙරහැරේ සිදුකරනවා යැයි කියන 'මිහිදුට ගල් ගැසීම' නම් චාරිත්‍රය ගැන පවා කිසිදු අධ්‍යාපනයක් සිදුවී නොමැත. ඇත්ත වශයෙන් මෑත කාලීන ලංකාවේ බුද්ධාගම, සංඝයා වහන්සේලා සහ ඔවුන්ගේ දේශපාලන මැදිහත්වීම් ගැන ලියවී ඇති දෑ අසුරින් පවා පෙනි යන්නේ දැන් අහිංසක යැයි කිවහැකි, ලේ නොතැවරණු කිසිදු ආගමක් නැති බවයි. 

කෙසේවෙතත්, මගේ ප්‍රශ්නයවු මිහිදු හිමියන් ලංකාවට බෞද්ධාගම ගෙන ඒම සංස්කෘතික අක්‍රමණයක් ලෙස සලකන්න බැරි ඇයි? යන්න ගැන උත්තර දෙන එක කොහොමවුනත් රුවන් M ජයතුංග ලියලා තිබුනා "මුලින්ම කතෝලික වූ අපේ මී මුත්තෝ බෞද්ධ ලූ... ඒ අය විශාල වධබන්ධනයට ලක්වූ පිරිස් ලූ...කුල ප්‍රශ්ණෙත් බලපාන්න ඇතිලූ.. වෙරළ බඩ ප්‍රදේශවල හිටියේ ඉන්දීය ද්‍රවිඩ මූලයන් තිබූ කරාව වංශිකයන්ව රදල ගොවිගම බෞද්ධයන් කෙවුල ලෙස පහත් කොට සැලකුවා ලූ...ඔය  පීඩනයට අසුවෙලා කරාව වංශිකයනුත් ස්ව කැමැත්තෙන් කතෝලික උනාලු..."

ඕය කතාව පියදාස සිරිසේන ලාගේ කාලේ ඉදන් රටේ සිංහල-බෞද්ධ මනස්වලට කාලයක් තිස්සේ කා වැද්දූ කතාවක්. කරුමේ කියන්නේ දැන් ඔවුන් ( කොමෙන්ට් එක පලකල තැනැත්තාට අදාලව)  'රොක්' ඇහැව්වාත් තවමත් ඔලුවෙන් කබොක්. 

බලන්න අපි දන්නවද අපේ මී මුත්තා සිංහලද, දෙමළද, බෞද්ධද, හින්දු ද, කියලා... ක්‍රිස්තියානි ආගම වැලද ගත්ත අපි විතරක් නෙමේ  අනෙක් අයටත් කියන්න පුලුවන්ද ඔවුන්ගේ මී මුත්තා සිංහලද, දෙමළද, බෞද්ධද, හින්දු ද, කියලා. බෑ !! කවුරු හරි ඒහෙම හිතනවා නම් ඒවා නිකම් මවා ගත්ත මනස්ගාත නේ...

 අනෙක් කාරනේ තමයි, කතෝලික ආගම වැලද ගත්තේ කුල පීඩාවෙන් පෙලුන ඉන්දීය සම්භාවයක් සහිත පිරිස් ලූ !! බලන්න කුල ක්‍රමයට එරෙහිව හඩ නැගූ ඉන්දියාවේ ශාස්තෲ වරයෙක් වන ගෞතම බුදුන්ගේ ආගම අදහන අයත් පිලිගන්නවා පෘතුගීසින් එනවිටත් ලංකාවේ  උග්‍ර කුල පීඩනක් තිබුන බව. පෘතුගීසින් ඇවිත් තමයි ඒ කුල පීඩනයෙන් බැට කාපූ මිනිස්සුන්ට විමුක්ති දීලා තියෙන්නේ...ඒ අතින් පෘතුගීසින් කොච්චර දෙයක්ද කරලා තියෙන්නේ... උන් කඩුවෙන් හරි බයිබලයෙන් හරි කරලා තියෙන්නේ පීඩිත ජනතාවක් මුදවා ගැනිම නෙමේද? (ඕනේ නම් එහෙමත් කියන්න පුලුවන් නේ...)

කුල ක්‍රමයෙන් විවිධ ජන කොටස් පීඩාවට පත්වීමට අමතරව සිංහල-බෞද්ධ යැයි කියලා ගොඩනගාගෙන තිබුන සංස්කෘතියෙන් රටේ කාන්තාවන්ටද අසමාන ලෙස සලකා තිබූ බව මෑත යුගයේ සිංහල-බෞද්ධ කතිකාවේ ප්‍රමුඛයෙක්වූ නලින් ද සිල්වාත් මෙසේ සදහන් කර තිබුනා : "සිංහල බෞද්ධ සංස්කෘතියෙ වුණත් මා එහි බෞද්ධ නොවන දේට කැමති නැහැ. විශේෂයෙන් ම කුල ප්‍රශ්නය සඳහන් කරන්න පුළුවන්. එදා කොහොම වෙතත් අද වන විට ස්ත්‍රීන්ට සමාජයේ ලැබෙන්නේ අඩු සැලකිල්ලක්. ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ වසන උඩමළුවට හැමෝට ම යන්න දෙන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙත් ඒ ටික දෙනා අතරත් ස්ත්‍රීන්ට තැනක් නැහැ. ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කළේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ. මෙහෙණින් වහන්සේ නමකට වඩම්මන්න පුළුවන් බෝධියෙ මළුවට ගැහැණුන්ට යන්න බැරි ඇයි? දන්ත ධාතුන් වහනසේ මෙරට වැඩැම්මුවෙත් ස්ත්‍රියක්. හේමමාලි කුමරිය. පත්තිරිප්පුවට ගැහැණුන්ට නගින්න දෙන්නෙ නැත්තෙ හින්දු බමුණු මතය නිසා ද? මගේ අම්මාට භාර්යාවට දුවට ලේලිලාට නංගිලාට යන්න බැරි නම් මා යන්නෙ කොහොමද?" (නලින් ද සිල්වා, 'අප බටහිරයන්ගෙ ගෑස් බලන්නෙ ඇයි?' , 'කාලය', වෙබ් අඩවිය, 15/06/22) .

දැන් මම මේ කියන්න හදන්නේ පෘතුගීසින් ආව නිසා  කුල පිඩිතයෝ විතරක් නෙමේ කාන්තාවන් පවා නිදහස් වුනා වගේ කතාවක් නෙමේ... 

ඉතිහාස ලියවිලි අනුව ලංකාවේ කුල ක්‍රමය සහමුලින්ම අත් හිටවූයේ 1833 'කෝල්බෲක් - කැමරන්' ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලින් පස්සේ. ඒ කියන්නේ සුද්දගේ කාලේ, බ්‍රිතාන්‍යය යුගයේ. පෘතුගීසින්ගේ පැමිණිමෙනුත් අවුරුදු 300කට පස්සේ. ඒත් කුල ක්‍රමය, රාජකාරීක්‍රමය මුල්කරගත් නිෂ්පාදන මාදිලියක් නොවුනත්, සමාජ ස්ථර වර්ගීකරණයක් විදිහට තවදුරටත් ලාංකික සමාජය තුල පවතින බව පත්තරවල පලවෙන මංගල දැන්වීම් ඇසුරෙන් වුවත් තේරුම් ගන්න පුලුවන්.

ඇත්තටම පෘතුගීසි යුගයෙන් පසුව ලංකාවේ ජනයාට ක්‍රිස්තියානි ආගම වැලදගැනීමෙන් හෝ ක්‍රිස්තියානි නොවී හෝ තම තමන්ගේ නම්/ වාසගම් වෙනස් කරගැනීමට අවස්ථාවක් හිමිවුනා. ඒ අනුව ලංකාවේ බොහෝ දෙනෙක් සිංහලද/දෙමළද/මුස්ලිම්ද/ ක්‍රිස්තියානිද ආදිය කොහොමවුනත් ඔවුන්ගේ මී මුතුන් මිත්තන්ගේ නම් ගම් වෙනස් කරගත්ත අය. විශේෂයෙන්ම යමක් කමක් හම්බකරගත්ත, යම් යම් රැකියාවන්, ආර්ථික වත් පොහොසත්කම් ගොඩනගා ගත්ත අය එසේ කරලා තිබෙනවා කියලා ඕනෑ තරම් ලියවී තිබෙනවා. ඒ නිසා අද ඔය ලංකාවේ සිංහල-බෞද්ධ ගොවිගම කියලා කියන බොහෝ දෙනෙකුගේ මී මුතුන් මිත්තන් පවා ඇත්තටම එහෙම වෙන්ඩ නැතිව ඇති...

අනික ඔය කෙහෙල් මල් ඔක්කොම ලංකාව කියන දූපතේ කොටුවුනු අය අතර විතරයි..ඔය පින්තූරය බලන්න... ලංකාවේ සිංහල වුනත්, බෞද්ධවුනත්, ගොවි ගම රදල වුනත් ස්ත්‍රින්ට/ කාන්තාවන්ට යන්න දෙන්නේ නෑ කියලා නලින් ද සිල්වාම කියන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ වසන උඩමළුවට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින ඔය හොද අපුරුවට ගිහින් සක්මන් කරන්නේ....

මෙහෙමයි, ප්‍රාග්ධනයට ඔය ඔක්කොම යටයි කියනවානේ...මාක්ස්වාදය කියන විදිහට අධෝව්‍යවුහය (ප්‍රාග්ධනය) විසින් උපරිව්‍යවුහය (සංස්කෘතිය ආදීය) වෙනස් කරනවා කිව්වත් ලංකාව වගේ රටවල ඒ සදහාත් දැඩි ව්‍යායාමයක් දරන්න වෙනවා. මොකද ලාංකික සමාජය ජාතිවාදයෙන්, වර්ගවාදීයෙන් ඔද්දල්වෙලා, කුණුවෙලා, පැසෝලා, උඩුදුවලා, මුල් බැහැලා තියෙන්නේ...එයින් නිදහස් වෙන්න නම් අපි මේ ඇත්ත යැයි කියලා ගොඩනගලා තියෙන යථාභූතයන් ප්‍රශ්න කරන්න ම ඕනේ... පන්සල්ද/පල්ලියද/කෝවිලද/ආගමද/ධර්මයද/දර්ශනයද/කුලයද/ ජාතියද/ගැහැනුද/පිරිමිද/කුමන වර්ගයද? ඔය සියල්ල ප්‍රශ්න කරන්න ම ඕනේ...අවසාන වශයෙන් මේ සියල්ලෝම මනුෂ්‍යයෝය යන්න මතුකර ගන්නකම් අපි ප්‍රශ්න කරන්න ඕනේ...

මාකස් ප්‍රියන්ත පෙරේරා 

19/06/22

Wednesday, 18 May 2022

රනිල් වික්‍රමසිංහ සොයන අසඩක්ලා කවුද?

රනිල් වික්‍රමසිංහ ඊයේ (17/05/22) පාර්ලිමේන්තුවේ දී කියනවා එයා වැල් පාලමේ කොතනද ඉන්නේ කියලා දන්නේ නැහැල්ලු...ඒ කතාව සම්බන්ධ කලේ ඔහු ඊට පෙර දින (18/05/22) කල කතාවේ අවසානයේ උපමා-රූපකව ඉදිරිපත් කල හුණු වටයේ කතාවේ දරුවා රැගෙන වැල්පාලමේ යන ගෲෂා ගේ කතාවටයි.

උපමා-රූපක ඕනෑ කෙනෙකුට විවිධ අර්ථ දැනෙන ලෙස විග්‍රහ කරගන්න පුලුවන්...ඒ හින්දා සමහරු හුණුවටයේ කතාවේ දරුවා මයිකල් කුමරු නිසා රනිල්ගේ උපමාවේ දරුවා නාමල් යැයි විග්‍රහ කර තිබුනා...ඒක එක අර්ථ දැක්වීමක්.

එහෙත් රනිල් ගේ හුණුවටයේ උපමා කතාවේ ගෲෂා ඔහු නම් දරුවා රට, රටේ අර්ථිකය සහ රටේ අනාගතය, විය යුතුයි.

ඒ උපමාව තුල රනිල් කියන්න හදන්නේ රට අමාරු අඩියක වැටිලා තියෙද්දී, වගකීමක් අරන් කරගෙන යන්න කෙනෙක් නැතිව සියල්ලෝ කරා අරිද්දී හුණුවටයේ කතාවේ සේවිකාවක් වූ ගෲෂා මයිකල් කුමරුව අරන් අබලන් වැල් පාලමෙන් එගොඩවෙලා දරුවා ව සුරක්ෂිත කලා වගේ තමනුත් රටේ අගමැති කම භාරගත්තේ රට ගොඩ දාන වැඩේ කරන්න කියන එක තමයි අදහස...

රනිල් ට එහෙම රට ගොඩදාන්න පුලුවන්ද? බැරිද? කියන එක පස්සේ බලන්න පුලුවන්. හැබැයි රනිල්ගේ ඒ උපමාව තුල රටේ ආර්ථිකය ගැන වගේම ඔහුගේ දේශපාලන අනාගතයත් දකිනවා කියලයි මගේ අදහස.

හුණුවටයේ කතාවේ ගෲෂා මයිකල් කුමාරයාව බේරාගෙන වැල් පාලමේනුත් එතරවෙලා ළමයව යන්තම් ලොකු කර ගත්තාහම ළමයගේ වදාපු මව, නටෙල්ලා අබෂ්විල්ලි බිසව, එනවා දරුවාගේ අයිතිය ඉල්ලන්.

නාට්‍යයට අනුව දරුවාගේ අයිතිය හිමි වෙන්න ඕනේ හදපු අම්මටද? වදපු අම්මටද? කියන එක විසදන්න වෙන්නේ නඩුකාරයා වෙච්ච අසඩක් ට. අසඩක් දරුවාගේ අයිතිය ගැන තීරණය ගන්නේ හුණු වටයක දාලා ලමයව දෙපැත්තට අදින්න කරලා තීන්දු කරලා එහිදී දරුවාගේ අත අත් හරින ගෲෂා ට දරුවාගේ භාරකාරත්වය හිමි කිරීමෙන්.

දැන් ඒ දරුවා නෙමේ රනිල් ගේ හුණුවටයේ උපමා කතාව දිහා බැලුවොත්, මේ වෙලාවේ දරුවා අතහරිනව ද? අසඩක් ගේ තීන්දුව දෙන වෙලාවේ දරුවා අතහරිනවද? කියලා තීන්දුවක් ගන්න වෙලා තියෙද්දී හුණුවටයේ ගෲෂා වගේ රනිලුත් තමන්ට කොහොමත් අයිතියක් ඇති දරුවෙක් ට කරගහනවා...දරුවා බේරගෙන ලොකු කරගත්තහම උරුමක්කාරයෝ හොයන් එයි කියලත් දන්නවා...එදාට තමන්ගේ ඉරණම තීන්දු කරන්නේ අසඩක් ලා කියලත් දන්නවා...

ඉතින් කවුද මේ අසඩක්ලා...රටේ මිනිස්සු වෙන්න ඕනේ...ඔහු පෙර දින (18/05) කතාවෙත්, ඊයේ (17/05) පර්ලිමේන්තුවේත් කිව්ව අපි මේ පාර්ලිමේන්තුවේ සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ නැත්නම් ආපහු අපිට එන්න පාර්ලිමේන්තුවකුත් ඉතුරුවෙන්නේ නෑ කියලා ඔහු කියන්නේ මේ පාර්ලිමේන්තුවට විතරක් නෙමේ රට ට මයි. රටේ මිනිස්සුට ඇහෙන්න තමයි ඔහු කියන්නේ...ඔහු කියන්නේ රටේ මිනිස්සුට අසඩක් ලා වෙන්න කියලා නෙමේද? ඔහුගේ විතරක් නෙමේ මේ බලයේ ඉන්න, මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ අනාගතය තීන්දු කරන අසඩක්ලා රටේ මිනිස්සු කියලා හිතේ තියන් නෙමේද ඔහු එහෙම කතා කියන්නේ...

අපි දන්නවා රනිල් කියන්නේ ජනතා හඩට කන්දීපු නායකයෙක් කියලා ඉතිහාසයක් තියෙන පාලකයෙක් නෙමේයි... එහෙම නම් ඇයි දැන් අවසාන තීන්දුවක් ගන්න පුලුවන් අසඩක්ලා වැනි ජනතාවක් ගැන රනිල් වැනි ජනතාවට කන්දීමේ ඉතිහාසයක් නැති පාලකයෙක් හිත යොමුකරන්නේ...

මම කියන්නේ අන්න ඒක තමයි අරගලය මේ රටට උරුම කලේ...දැන් රටේ අවදිවූ ජනතාවක් ඉන්නවා...ඒ ජනතාව තමයි අවසාන තීන්දුවක් ගන්නේ...ගෝල්ෆේස් අරගල භූමියට ගහද්දී දුවගෙන ආවේ අරගලය එහෙම මැඩපවත්වන්න දෙන්න බෑ.. මේක අපේ අරගලයක් කියල හිතපු ජනතාව..හෝටල් වල..අවට කොම්පැනිවල... වරායේ.. සේවය කල ජනතාව..කොළඹ අවට වතුවල ජනතාව..අවට හිටිය මිනිස්සු...ඒ ජනතාවගේ නැගිටීම පාවිච්චි කරලා සමහරු ගිනිතැබීම්, කොල්ලකෑම් ආදියත් කලා..ඒවා අනුමත කරන්න බෑ..හැබයි ජනතාවක් ලෙස රටේ මිනිස්සු නැගී සිටියා...එහෙම අවදියෙන් ඉන්න ජනතාවක් දැන් රටේ ඉන්නවා කියලා ඔප්පු කලා.

අන්න ඒකයි අරගලයේ ජය...

උන්නත් දහයි, මලත් දාහයි, කියලා හිතලා රනිල් බලයට කර ගැහැවත් ඔහු උනත් දන්නවා ඇති දැන් බලය තියෙන්නේ ජනතාව අතේ මිසක් පාර්ලිමේන්තුවේ ඉන්න උන් අතේ නෙමේ කියලා.. ඒත් ඒක පාර්ලිමේන්තුවේ අයට තවම තදින්ම දැනිලා නෑ වගේයි..ඒකට තව කොච්චර කල් යයිද කියන්න දන්නේ නෑ..හැබැයි ඒ තාක් මේ අරගලය දියත්වෙන්නම ඕනේ...

මාකස් ප්‍රියන්ත පෙරේරා

18/05/22

Sunday, 15 May 2022

ලෝගු අත්හල ලීනස් සුවාමි

 ලීනස් ජයතිලක ගේ මරණය ගැන අසා මම අතීශයින් දුක්වූවෙමි. මා ලීනස් ජයතිලකව හදුනන්නේ අසූව දශකයේ අගභාගයේ සිටය. ඒ බ්‍රිටෝ අය්යා හරහාය. පල්ලියේ තරුණ වීරයෙක් වු බ්‍රිටෝ අය්යා ඒ දිනවල නව සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු විය. නිතර එහි යන අප, වරක් ලීනස් ජයතිලකව මුණගැහුණි. අපට වඩා බොහෝ වැඩිමහල් වූ ඔහු කොල්ලෝ-කුරුට්ටන්වු අපගෙන් කෙලින්ම ඇසුවේ "සහෝදරයා කොහෙද? දෙමව්පියෝ කවුද?" කියාය. මම මගේ මවගේ සහ පියාගේ නම් කිව්වෙමි. එසැනකින්ම ඔහු "ආ මේ ෆීලික්ස්ගෙයි, ෆ්‍රීඩාගෙයි පුතාද? එයාලා ඒකාලේ අපේ මහවීදිය පල්ලියේ තරුණ සමාජයේ හිටියනේ..ඒගොල්ලෝ හමුවුනෙත් එහෙ වෙන්න ඕනේ.." යැයි කියා මගේ දෙමාපියන්ගේ සුවදුක් විමසුවේය.

මම ගෙදර විත් මට බ්‍රිටෝ අය්යලාගේ ගෙදරදී ලීනස් ජයතිලකව හමුවූ බව මගේ දෙමාපියන්ට කීවෙමි. ඔවුන් ලීනස් ජයතිලක මීගමුව මහවීදියේ සා. මරියා දේවස්ථානයේ එවකට සිටි තරුණ පියතුමෙකු බවත්, ඔහු තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍යය ව්‍යාපාරය (YCS) බාරව සිටි බවත්, 1971 කැරැල්ල සමයේ ඇතිවූ තරුණ පිබිදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික පල්ලිය දැක්වු ඇල්මැරැනු උනන්දුව ගැන පල්ලිය දැඩිව විවේචනය කල පියතුමෙක්වූ බවත්, පසුව කතෝලික සභාවේ පුජකවරයෙන් ඉවත්වී පුර්ණ කාලිනව වාමාංශික දේශපාලනයට කැපවු බවත් දැන ගන්නා ලදි. ඔහු මීගමුවේ සා. මරියා දේවස්ථානයේ සහයක පියතුමා ලෙස පත්වීමට පෙර කදවල මීසමේ පියතුමා ලෙස එම ප්‍රදේශයට විශාල සේවයක් කල බවත්, 1980 වැඩ වර්ජනයෙන් රැකියා අහිමිවූ දහසකුත් දෙනා වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිස්තියානි ස්වෙච්ඡා සංවිධානයක් වන Christian Aid සංවිධානයෙන් අරමුදල් සපයාගෙන විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නැන්වූ තැනැත්තෙක් බවත් පසුව දැනගත්තෙමි.

කතෝලික පල්ලියේ පූජකවරයෙන් ඉවත්වු ඔහු සිය ජීවිත කාලය පුරාම ජනතාවගේ පියතුමා විය. කතෝලික පුජකවරයෙන් ඉවත්වී දශක ගණනාවකට අනතුරුව පවා ඔහුගේ ගමවු උස්වැටකෙයියාවේ පමණක් නොව, මීගමුවේ ජනයාද, ලීනස් ජයතිලකව හැදින්වුයේ 'ලීනස් ස්වාමි' ලෙසය. වෙනකක් තබා බ්‍රිටෝ අය්යාගේ පියාවූ නැසීගිය ප්‍රවීන නළු හියුගෝ මාස්‍ටර් ද ලීනස් ජයතිලකව හැදින්වුයේ 'ලීනස් ස්වාමි' යනුවෙනි. මා දන්නා ලෙස බ්‍රිටෝ ප්‍රනාන්දු ව නව සම සමාජ පක්ෂයේ දේශපාලනයට එකතුකර ගත්තේද ලීනස් ජයතිලක විය යුතුය . ඒ 1977 දී පමණය. හමුවු දා පටන්ම 'සහෝදරයා යනුවෙන් අප ආමන්ත්‍රණය කල නිසාම අපද ලිනස් ජයතිලකව පසුව හැදින්වුයේ ලීනස් සහෝදරයා' යනුවෙනි.

බොහෝ ඇසූ පිරූ තැන් අතැතිව, රටවල් රාශියක සංචාරය කර තිබූ ලීනස් සහෝදරයා, ඉතා හොදින් පොතපත කියවූ, භාෂා කිහිපයක් හැසිරවිය හැකි අයකු විය. විශේෂයෙන්ම මාක්ස්වාදය, කතෝලික ආගම සහ ක්‍රිස්තියානි සමාජ දර්ශනය පිලිබදව සුවිශේෂ දැනුමක් ඔහු සතුවිය. වරක් සුරේෂ් ප්‍රනාන්දු කුරණ-කටුනායක ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය සමග ඇති කර ගත් මතවාදී ආරවුල විසදීමට බ්‍රිටෝ භාරකලේ ලීනස් ජයතිලකටය. දෙපාර්ශවයන් කැදවා ලීනස් ජයතිලක ඉදිරිපත්කල විග්‍රහය මම එතෙක් ක්‍රිස්තියානි ආගම සහ මාක්ස්වාදය සම්බන්ධයෙන් ඇසූ විශිෂ්ඨම විග්‍රහයන් වලින් එකකි. ඕනෑම සාකච්ඡාවකින් අනතුරුව "සහෝදරයා තේරුනාද? මොකක්ද ගත්ත පණිවිඩය?" යනුවෙන් විමසීම ඔහුගේ සිරිතක්ව තිබුනි. කුරණ-කටුනායක කම්කරු සෙවනේ ඇතිවු ඉහත සංවාදයේදී නම් මම උකහාගත්තේ 'විප්ලවාදි ජීවගුණය' පිලිබද ඔහු ඉදිරිපත් කල අදහස යැයි කී විට එහිදී මෙන්ම, ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම, විප්ලවවාදී ජීවගුණය පිලිබදව ඔහුගේ අදහස ඔහු නැවැත නැවැතත් කතා කලේය.

න්‍යාය සම්බන්ධයෙන් මෙන්ම ප්‍රායෝගිකව සමාජ සංවිධාන ගොඩනැගීම ගැනත්, ඒවා පවත්වාගෙන යෑමට වැඩ සටහන් ගොඩනගා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙනුත් ලීනස් සහෝදරයා මහත් හපන්කම් දැක්වුවෙක් ය. වරක් පුත්තලම එළුවන්කුලමේ සත්ව ගොවිපලක් ගොඩනන්වා සමාජ-දේශපාලන ක්‍රියාකාරීන් නඩත්තු කිරීමට වැඩපිලිවෙලක්ද ඔහු ක්‍රියාත්මක කලේය. 88/89 අතුරුදන්වූවන් වෙනුවෙන් ගොඩනැගුනු 'අතුරුදන්වූවන්ගේ මාපිය දූදරු සංගමය' ගොඩනැගීමටත්, ඒවාට අරමුදල් සොයා දීමට ඔහු පල්ලිය සමග ඔහුට ඒ වන විටත් ඉතිරිව පැවැති සම්බන්ධකම් භාවිතා කරමින් Christian Aid වැනි ජාත්‍යන්තර ක්‍රිස්තියානි ස්වෙච්ඡා සංවිධානවලින් අරමුදල් ඉල්ලා දෙන ලදි. වෙනකක් තබා අතුරුදන් වුවන් පිලිබදව පැමිණිලි කිරීමට ජිනීවා හි පිහිටි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට යෑමට සියලු කටයුතු පිලියල කර දුන්නේද, ලියකියවිලි සකස්කර දුන්නේද, ගුවන් ටිකට් පත් ගැනීමට Christian Aid සංවිධානයෙන් මුදල් ඉල්ලා දුන්නේද ඔහුය. මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර සමග ජිනිවා ගිය ඔහු මහින්ද අවශ්‍ය කටයුතුවලට මුල්තැන නොදී වෙනත් දේවලට කාලය මිඩංගු කිරීම ගැන සිටියේ කලකිරීමකිනි. මහින්ද ගැන වු එකී කලකිරීම අතුරුදන්වූ තරුණයෙකුගේ මවක් සිය පුතා අතුරුදන්වූ මාතලේ ප්‍රදේශයේ හමුදා කදවුරක් බාරව සිටියේ මහින්ද ගේ සහෝදරයාවු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව දැන ගැනීමෙන් තවත් කලකිරුණි.

එහෙත්, ඔහු කිසිවෙකු සම්බන්ධයෙන් කිසිදු කහටක් හිතේ දරා සිටියෙකු නොවිනි. පූජක වරයෙන් ඉවත්වුවද කිසිදා විවාහ නොවු ඔහු සිය මුලු ජීවිතය පුරාම නිකලැල්, පිරිසිදු, සරල, චාම් ජීවිතයක් ගත කලේය. ඔහුගේ කරුණාබර මුදු කතා විලාශය මෙන්ම පිලිවෙකට ඇදුම් ඇදීමත් මට කිසිවිටක අමතක වන්නේ නැත. එමෙන්ම ඔහුට එක එක සංවිධාන වැඩ සදහා එක එක දින පොත් තිබීම ගැනත්, ඒවා එහෙ මෙහෙ වීම ගැනත්, අප ඔහුට විහිලු කල වාර අනන්තවත් මතකයට නැගේ.

ඔහු වචනේ පරිසමප්ත අර්ථයෙන්ම පල්ලියෙන් පිටවු නමුත් සිය ජීවිතකාලය පුරාම ශුද්ධවූ ජීවිතයක් ගෙන ගිය සැබෑ ජනතා පියතුමෙක් විය. ඔහුට, ඔහු සිය ජීවිතයම කැපකල ස්වර්ග රාජ්‍යය හිමිවේවායි යන්න මාගේ පැතුමයි !! R.I.P ලීනස් සහෝදරයා!! ❤️❤

මාකස් ප්‍රියන්ත පෙරේරා
11/05/2022

Thursday, 12 May 2022

ජනාධිපතිවරයාගේ සංයුක්ත වැඩපිලිවෙල

ඊයේ ජනාධිපතිවරයාගේ කතාව අසා සිටියෙමි. එය ඔහු මෙතෙක් කල කතා කිහිපයටම වඩා වෙනස් ස්වරූපයක කතාවක් බව පසුගිය මාස කිහිපයේ ඔහු කල අනෙකුත් කතා දෙක, තුනක් නැවත නැරබීමෙන් වුවද පෙනී යනු ඇත.

මෙවර ඔහුගේ කතාව සංයුක්ත වැඩපිලිවෙලක් පිලිබදව අදහසක් ඉදිරිපත් කරයි.

මීට පෙර පැවැත්වු ඔහුගේ අනෙකුත් කතාවල පැවැති වියුක්ත, ව්‍යාකූල සහ විසිරුණු ස්වරූපය ඊයේ කතාව තුල නොතිබුණු බව මගේ හැගීමයි. මෙවර ඔහු කිසියම් වැඩපිලිවෙලක්, කිසියම් න්‍යායපත්‍රයක්, දේශපාලන මාර්ග සිතියමක් ඇතිව පැමිණ තිබේ.

මෙම වැඩපිලිවෙල කාගේද? ඔහුට එවැනි වැඩපිලිවෙලක් සකස්කර දුන්නේ කවුද? යන්න පිලිබදව අවධානය කිරීමට පලමුව ඔහුගේ කතාවේ පැවැති සංදර්භය/පෙලගැස්ම කුමක්ද? යන්න විමසා බැලීම වටී.

1. කතාව ආරම්භ කරමින් - "අපේ රට ඉතිහාසයේ බරපතලම අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්ථාවක්" යැයි කියයි.

2. "විසඳුම් හැටියට විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කල පොදු යෝජනාවක් වුයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් පක්ෂ එකතුකරන නව ආණ්ඩුවක් පිහිටුවීම " යන්නයි.

3. ඒ සදහා පලමු පියවරක් ලෙස "රාජපක්ෂවරු නැති තරුණ ඇමැතිවරුන්ගේ යුතු කැබිනට් එකක් පත්කලා" යැයි දක්වයි.

4. "අගමැතිවරයා ඉල්ලා අස්වී සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවා නව අගමැතිවරයෙකුට සහ කැබිනට් මණ්ඩලයකට අවස්ථාව සලසා දෙන්න එකඟතාවකට පැමිණියා." යැයි කියයි.

5. එහෙත්, 9වෙනිදා, "හමුදාව ස්ථානගත කරන්නත් කලින් සිද්ධීන් ඇතිවුනා." යැයි ද

6. "ඒ සදහා අනුබල දුන්න අයට දැඩි පියවර ගන්නවා" යැයි ද

7. ඒවගේම, "ඉන් පසුව ඇතිවු මංකොල්ලකෑම්, ජීවිත හා දේපළ හානි දෙස බලා තවදුරටත් වෛරය වපුරුවන කණ්ඩායම් හෙළා දකින්නට මේ රටේ වගකිවයුතු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින.."බවත්

8. රට අරාජිකවීම වලක්වන්න, පාර්ලිමේන්තුවේත්, රටේත් බුහුතර විශ්වාසය දිනාගත් නව අගමැතිවරයෙක් සහ රජයක් මේ සතිය අවසන් වෙන්න පෙර පිහිටුවන බවත්,

9. ඊට පස්සේ පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක කරන බවත්,

10. පත්වන රජය රට ස්ථාවර කර ඉදිරියට ගෙන ගියායින් පසු ජනාධිපතිධූරය අහෝසි කරන්න සලකා බලන බවත් දක්වයි..

ජනාධිපතිවරයාගේ කතාව පෙලගැසී තිබුන ආකාරයටය එයයි .

එම කතාවට අනුව ජනාධිපතිවරයා දේශපාලන සංශෝධන කිහියකට එකගවී සිටි බවත් හිටපු අගමැතිවරයා සහ ඔහුගේ පාර්ශ්වය එය කිසියම් ආකාරයකින් ප්‍රමාද කිරීමට හෝ නොකිරීමට වගබලාගෙන සිට ඇති බවත් පෙනී යයි.

ඇත්තවශයෙන්ම, ජනාධිපතිවරයා රාජපක්ෂලා නැති, නව අගමැතිවරයෙක් සහිත රජයක් පිහිටුවිමට කටයුතු කිරීම තුල කිසියම් දේශපාලන සංශෝධන කිරීමට එකගබව පමණක් නොව ඒ සදහා පියවර ගනිමින් සිටින බවද කියා පෑමකි.

ජනාධිපතිවරයා දේශපාලන සංශෝධන කිරීමට පියවර ගැනීම ම අරගලයේ ජයග්‍රහණයකි.

එහෙත් ඒ අරගලය ජය ගැනීම නම් නොවේ.

අරගලය ජය ගැනීමට නම් ජනාධිපතිවරයා ඉවත්වී සමස්ථ රාජ්‍යය ව්‍යහුයම වෙනස්කිරීමක් කරා යොමුවිය යුතුය.

ජනාධිපතිවරයාගේ කතාව තුල ඔහු ඉවත්වී, සමස්ථ රාජ්‍යය ව්‍යහුයේම වෙනසක් කරා යොමුවෙන බවක් නොකියයි. ඒ වෙනුවට සංශෝධනයන් ඉදිරිපත් කරයි.

නව අගමැතිවරයෙක් යටතේ නව රජයක් යන්න මෙන්ම අන්තර්වාර / අන්තර්කාලීන පාලනයක් ආදිය ඔස්සේ ද ඉදිරිපත් වූයේ එකී සංශෝධනයන් ය.

ජනාධිපතිවරයා එකගවුවා යැයි කියන දේශපාලන සංශෝධන කිරීමට දැන් ඔහුට අවස්ථාවක් හිමිවී ඇත. ඒ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉවත්වීම පමණක් නොව ඔහුගේ ආධාරකරුවන්ගේ සහ ඔහුගේ පාර්ශ්වයේ බලය බිදවැටීම තුලය. ඇත්තවශයෙන්ම, එකවිට දියත්වූ පොහොට්ටුවේ කෙරුමන්ගේ ගෙවල් ගිනිතැබීමද මහින්ද පාර්ශ්වයේ බලය බිදවැටීම, සහ බිද දැමීමට, හේතුවී ඇති බවට සලකුණුකි.

එවැනි අවකාශයක් තුල ජනාධිපතිවරයා එකගවු බව කියන සංශෝධන ක්‍රියාත්මක කල හැකි වනුයේ ඔහු ජනාධිපති ලෙස සිටියදීම කිසිවෙක් අගමැතිධූරය බාර ගැනීමට එකග වන්නේ නම් පමණි.

රනිල් වික්‍රමසිංහ අගමැති වෙනු ඇතැයි කියවෙන්නේ එවැනි පසුබිමකය. ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ සමග ඊයේ සාකච්ඡා කල බව මාධ්‍යය මගින් නිවේදනය කලේය. පාර්ලිමේන්තුවේ එක් මංත්‍රිධුරයක් ඇති රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවා නම් වෙන්නේ පොහොට්ටුවේ ජනාධිපතිවරයාගේ පූර්ණ අනුග්‍රහය සහ රනිල් හිතවාදී සෙසු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිවය.

ඇත්තවශයෙන්ම, ගොල්ෆෙස් අරගලය පෙරටුකරගත් රටපුරාම දියත්වූ මහජන අරගලය විසින් රාජපක්ෂලාට ඉතිරිකර තිබුනේ විසදුම් කිහිපයක් පමණි.

1. ජනාධිපතිවරයා ඉවත්වීම

2. අගමැතිවරයා ඉවත්විම.

3.ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගෙන් එක් අයකු ඉවත්වී ඔවුන්ට අනතුරු අවම නව පාලනයක ඉඩ කඩ සැකසීම.

රාජපක්ෂලා තෝරාගන්නේ 3 වන විසදුම බව දැන් පෙනෙන්නට තිබේ. එහිලා රනිල් වික්‍රමසිංහව අගමැති ලෙස තෝරගැනීමට ඔවුන්ගේ නඩු වැටුනු ඉතිහාසය තුල රනිල් ඔවුන්ට ලබා දුන් සහන ම හොදටම ප්‍රමාණවත් ය. ශ්‍රී ලංකාවේ රාජපක්ෂ මාෆියාව Godfather චිත්‍ර පටියේ Don Corleone ලාට වඩා දේශපාලන වශයෙන්ද ශූරය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ කතාවෙන් නොකීවද ජනාධිපතිවරයා ගේ තීරණය රටේ ජනයාට කැමැතෙන් හෝ අකමැත්තෙන් බාර ගැනීමට සිදුවන වටාපිටාවක්ද ඔවුන්ගේ දායකත්වයෙන්ම දැන් ගොඩනැගී ඇත. එනම්

1. මහබැංකුවේ අධිපතිවරයා ඊයේ ඉදිරිපත්කල රටේ ආර්ථිකයේ සෝචනීය ඉරණම තුල නව රජයක් වහා පිහිටවුයේ නැති නම් බෙහෙත් ටිකවත්, කන්නවත් නැතිවෙන බවට වු අනතුර.

2. රටපුරාම හමුදාව බලාත්මකව ස්ථාන ගතකිරීම ඔස්සේ හමුදා පාලනයක් ඇතිවේ ද යන භීතිය.

මේ තත්වය තුල ජනාධිපතිවරයා පත්කරන නව රජයක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බාරගැනීමට රටවැසියාට සිදුවෙනු ඇත.

එවැනි තත්වයක් තුල අරගලයට සිදුවන්නේ කුමක්ද?

මගේ අදහස නම් 'පියවරක් පස්සට, පියවර දෙකක් ඉස්සරහට' -“It is necessary sometimes to take one step backward to take two steps forward” (Lenin -1904) ක්‍රියාවට නැන්වීම වඩා උචිත බවයි.

අරගලය ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා ඉවත්වීමේ සිට සමස්ථ රාජ්‍යය ව්‍යහුයේ වෙනසකි. ඒවෙනුවට දැන් ලැබෙන්න යන්නේ සංශෝධනයකි. එම සංශෝධනය භාරගැනීමට බලකරන පසුබිමක්ද නිර්මාණය වී හමාරය. අද අරගල භූමිය සම්බන්ධයෙන් නඩු තීන්දුවක්ද නිකුත්වීමට නියමිතය.

දැන් කල යුත්තේ අරගලයේ ඉදිරි දිශානතිය සකස් කරගනිමින්, ඉදිරි වැඩපිලිවෙලක්, සම්මුතියක්, යෝජනා කර, සකස්කර, අරගල භූමියෙන්ම එය සම්මත කරගැනීමය. මින් අදහස් කරන්නේ අරගලය අවසන් කිරීම යන්න නොවේ එය අලුත් පියවරකට ගෙන යා යුතු බවයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා

12/05/22

Wednesday, 11 May 2022

මීගමුව ජාතිවාදීන්ගේ හා වර්ගවාදීන්ගේ ඉලක්කයක් වීම

පල්ලිවල පියතුමන්ලා, පැවිදි කන්‍යා සොයුරියන්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල මැදිහත්වීම් නොවන්නට මීගමුවේ මහා විනාශයක් සිදුවීමට බොහෝදුරට ඉඩ තිබුනි.

බලය අහිමිවෙමින් යන හොර නඩය ඔවුන්ට කවදත් පුරුදු ජාතිවාදී වර්ගවාදී ගැටුමක් නිර්මාණය කර හෝ නැවැත බලය තහවුරු කර ගැනීමටත්, සිය දේපල සහ පැවැත්ම අහිමිවී ගොස් ඇති බලවතුන්ගේ වෛරය, ද්වේෂ සහ ක්‍රෝධයත්, ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන කාගේ හෝ දෙයක් කඩාවඩා ගැනීමට බලාසිටින අවස්ථාවාදීන්ගේත්, කුඩු කාරයින් සහ මංකොල්ල කරුවන්ගෙත්, දරිද්‍රතාවයෙන් පෙලෙන්නගෙත් එකම සංකලනයක් ලෙස දියත්වූ කොල්ලකෑම් සහ ගිනිතැබීම් ජාතිවාදී, ආගම්වාදි රැල්ලක් බවට පත්වීම වලක්වා ගැනීම මීගමුවේ ජනයා පමණක් නොව සමස්ථ ලංකාවාසීන්ම ලත් ජයග්‍රහණයකි.

එහිලා ප්‍රදේශයේ කතෝලික පියතුමන්ලාටද, කන්‍යා සොහොයුරියන්ලාටද, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලටද විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුය. සැහැසිකම්වලට පාරට පැමිණ සිටි පුද්ගලයන් අතරට ගොස්,සිය ජීවිත අනතුර ගැන පවා නොතකමින්, පිරිස් සන්සුන් කිරීමට කිතුනු පියතුමන්ලා මෙන්ම වෙනත් ආගමික නායකයින්ද දැඩි උත්සහයක් ගෙන තිබුනි. ඊට නොදෙවෙනි ලෙස එම ස්ථානවලට පැමිණි ආරක්ෂක අංශ සමාජිකයන්ද කටයුතු කරමින් පිරිස විසුරුවා හැර ඇත.

ගැටුම් ඇතිකිරීමට පැහැදිලිවම පිටස්තර බලවේගයක් ක්‍රියාත්මක වෙන බව අවබෝධ කරගත් සැනින්ම මීගමුවේ වෙසෙන වෙන වෙනස් ආගම් අදහන, විවිධ භාෂා කතාකරන, විවිධ ජාතීන්ට අයත් පිරිස් එකට එකතුවී එකාවන්ව කටයුතුකර අනතුරට එරෙහිව එක්ව මුහුණ දීමට එකා මෙන් සාමුහිකව නැගී සිටියහ. එය මීගමුවේ කවදත් ඇති ශක්තිය ය.

වර්ගවාදී, ජාතිවාදී බලවේග එකී සාමුහිකවත්ය බිද දැමිමට විවිධ තුරුම්පු අදිමින් සිටී. පැහැදිලිවම මීගමුව ජාතිවාදීන්ගේ මෙන්ම වර්ගවාදීන්ගේද ඉලක්කයක් වී ඇති නගරයකි. ගෝල්ෆේස් අරගල භුමීයට නිතිපතා ශක්තිය සපයාදිමට මිගමුවන් නිරන්තරයෙන් ක්‍රියා කිරීමත්, පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලමින්, සත්‍ය යටපත් වීමට ඉඩ නොදෙමින් අඛණ්ඩව නැගී සිටීමත් තුල ජාතිවාදීන්ගේ මෙන්ම වර්ගවාදීන්ගේද කැකෑරෙන වෛරයට මීගමුව පාත්‍රවී ඇත. ඔවුන් කිසියම් හෝ මොහොතක මීගමුව ඉලක්ක කරගැනීමට යම් ඉඩක් තිබේ. එයට මුහුණදීමට මෙන්ම ඔවුන් පරාජය කිරීමටද අපට ඇත්තේ ප්‍රාජාවක්, ජනතාවක් ලෙස සාමුහිකව, එකට එක්ව නැගී සිටීමය. එහිලා මුලින්ම අපි අප අතර ඇති අගතිගාමීත්වයන් මුලුමනින්ම හෙලිදරව් කර පිටුදැකිය යුතුමය.

මේ රාත්‍රි ගෙවීගොස්, හිරු නැග එනට තවත් හොරා කිහිපයක්ම තිබේ. ඒ දක්වාද අපි අපේ උත්සහයන් අත්නොහැර අවදියෙන් සිටිමු!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා

11/05/22

Thursday, 28 April 2022

ගෝල්ෆේස් අරගලය සහ නඩු තීන්දු

විරෝධතාවයට වෙඩි තියන්නට අණ දුන් කෑගල්ල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න සහ එම අණ ක්රියාත්මක කළ පොලිස් නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි, කෑගල්ල මහේස්ත්රාත් වාසනා නවරත්න ඊයේ (27) නියෝග කල බව කියවුවෙමි.

ඊට පෙර දින අරලියගහ මන්දිරය අසල විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන්ට ඉන් ඉවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා විසින් ප්රතික්ෂේප කර තිබුනු බවද දැනගැනීමට ලැබුනි.

ඊටත් පෙර, එනම් මේ වසරේ පෙබරවාරි 17, ත්රස්ත ප්රහාරයක් එල්ලවන බවට ප්රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු අධි චෝදනා 855ක් යටතේ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය වලක්වාගැනීමට කටයුතු නොකිරීම යන චෝදනාව යටතේ නඩු පවරා තිබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ව, නාමල් බලල්ලේ, ආදිත්ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම නිදොස්කොට නිදහස් කෙරුනි.

එමෙන්ම එම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම නඩුවේදී රජයේ සාක්ෂිකරුවෙක් ලෙස ඉදිරිපත් කර තිබු හිටපු රාජ්ය බුද්ධි අංශ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධනගේ වගකීම හරිහැටි ඉටු නොකර එම වගකීම වෙනත් කෙනෙකු මත පැටවීමට කටයුතු කර ඇති බව ඔහුගේ සාක්කියෙන් පෙනී යන්නේ යැයි කියමින් ඔහුටත්, දේශපාලන අධිකාරියක් පැවතිද් දී රාජ්ය නිලධාරීන්ට පමණක් මෙලෙස නඩු පැවරීම අනුමත කළ නොහැකියි කියමින් නීතිපතිවරයාටත් කෙලින්ම ඇගිල්ල දිගු කල ඍජු නඩු තීන්දුව ගැන ලෙස නිකුත් කර තිබුනි.

මේ අධිකරණ තීන්දු පැහැදිලිවම කිසිදු බලපෑමකට යටත් නොවී, නිතියේ ආධිපත්යය ඉහලින්ම ඔසවා තබමින් ලබාදුන් ප්රබල තීන්දු බව පැහැදිලිය.

වික්ටර් අයිවන් වැනි අය නිතර ලියන දෙයක් වනුයේ යම් යම් සිද්ධින් වාර්තාවූවද රටේ විධායකය සහ ව්යවස්ථාදායකයට සාපේක්ෂව අඩුවෙන්ම බිදවැටුන, අඩුවෙන්ම නරක් වු ආයතනය අධිකරණය බවයි. ඉහතින් දැක්වු නඩු තින්දු ද එහිලා තවත් හොද නිදර්ශන වීමට හැක.

එමෙන්ම: "මහින්ද රාජපක්ෂ අද එතැන ඉන්නේ තමා නිසායි, හෙල්පින් හම්බන්තොට නම් රාජ්ය නොවන සංවිධානයක් හරහා සුනාමි ප්රතිසංස්කරණ වෙනුවෙන් ලැබුණු අතිවිශාල මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවට මහින්ද රාජපක්ෂ වරදකරු කොට සිරගත නොකිරීම සම්බන්ධයෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා" යැයි කියූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සිදුකල ප්රකාශයත්, එම නඩු කටයුත්තත් අධිකරණ ක්රියාවලිය පිලිබද කලු පැල්ලමක් එක් කිරීමට සමත්වූ නිදර්ශන ලෙස පෙන්වා දිය හැක.

එහෙත්, සරත් එන්. සිල්වා සිය තීන්දුව ප්රකාශ කරන අවධියේත්, මුලින් සදහන් කල රබුක්කන ඝාතකයින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට දුන් නියෝගයත්, අරලියගහ මැදුර අවටින් විරෝධතා කරුවන් ඉවත් කිරීමට සිදුකල ඉල්ලීම ප්රතික්ෂේප කරන තීන්දුවත්, නිලන්ත ජයවර්ධනට සහ නීතිපතිවරයාට ඇගිල්ල දිගුකරමින් දුන් තීන්දුව නිකුත්කරන කාලෙයේත් පැහැදිලි වෙනසක් තිබු බව පෙනේ. ඒ, අධිකරණය ක්රියාවලියට පිටින් යුක්තිය වෙනුවෙන්, එක්කෝ විශාල මහජන බලයක් ක්රියාත්මක වෙමින් පැවැතීමයි, නැතහොත් එලෙස විශාල බලයක් ක්රියාත්මකවෙමින් නොපැවතීමයි.

පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා විශාල මහජන ක්රියාකාරිත්වයක් ඇති බව අපි දනිමු. එමෙන්ම රාජපක්ෂලාට එරෙහිව මේ යුගයේ මේ වනවිට විශාල මහජන ක්රියාකාරිත්වයක් දැකිය හැකිය. එහෙත් සුනාමි මුදල් ගසාකෑම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා හෙල්පින් හම්බන්තොට නඩුවෙන් මහින්ද රාජපක්ෂව නිදහස් කරන තීන්දුව ප්රකාශ කරන සමයේ මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් කිසිදු සැලකිය යුතු මහජන ක්රියාකාරිත්වයක් නොතිබිණි. එකල මහජනයා යනුවෙන් යමක් තිබේද යන්න ගැනද තිබුනේ සංවාදයක් පමණි. ඒ තරමටම මහජන ක්රියාකාරිත්වය පැවැතියේ උදාසීනවය.

මේ අනුව පෙනී යන්නේ රටේ මිනිස්සු වන මහජනයා ක්රියාකාරීව සිටින්නේ නම් රටේ නීතිය පමණක් නොව දේශපාලකයෝද, දේශපාලන බලය පමණක් නොව, මහජන මුදල් පවා අවභාවිතා කිරීම සම්බන්ධයෙන්ද දැඩි උනන්දුවක්, අවධානයක් යොමුවෙන බවයි.

ගෝල්ෆේස් අරගලයේ වටිනාකම මතුවෙනුවේ එතැනදීය. ගෝල්ෆේස් අරගලය පෙන්වාදෙන්නේ මිනිසුන් හැමදාම කරබාගෙන සිටින්නේ නැති බවය. ඔවුන් නැගිටින දිනක්ද එන බවය. එලෙස මිනිස්සුන් නැගී සිටින විටක, එය විකුණා හෝ තමාගේ මඩිය තරකර ගැනීමට හදන 'කොවුලන්' වන් චරිතවලටද එවැනි මහජන අරගලයක ඉඩක් නැති බව ගොල්ෆෙස් පිටියට වහන 'යූ ටියුබ්' නාලිකාකරුවන් එලවා දැමීම තුල පවා කියවිය හැක. තම තමන්ගේ ගොඩවල් ගොඩ ගසා ගන්නවා වෙනුවට නිර්මාණශිලී දෙයක් රැගෙනවිත් අරගලයත් ජනතාවත් පෝෂණ කරන මෙන් ඔවුන් ඉල්ලා සිටී. අපට අවශ්ය වන්නේ එවැනි සමාජයක් නොවේද?

මහජන අභිලාෂයන් මතුකරන.. ජාති,ආගම්,භාෂා, පක්ෂ අනුව එකිනෙකා බෙදා එකිනෙකා යටනොකරන ජනතාවක් ගැන බලාපොරොත්තුවක් දල්වන්න..මහජන ක්රියාකාරිත්වයක් මතුකරන...ගෝල්ෆේස් අරගලය රැකගත යුත්තේ අන්න ඒ නිසාය. එවැනි මහජන ක්රියාකාරිත්වයක් ඇති රටක කිසිදු බලපෑමකින් තොරව තීන්දු, තීරණ, නියෝග නිකුත්වෙනු ඇතැයි යන්න දැන් නිකුත්වෙන අධිකරණ තීන්දු ඇසුරින් පවා ඕනේ නම් හිතා ගැනීමට පුලුවන. එසේ නොවුහහොත් සිදුවන්නේ සුමිනා ආධාර සොරා කෑ හොරුන් රජවීම වැනි තක්කඩි සමාජයක් දිගටම රජ වීය.


මාකස් ප්රියන්ත පෙරේරා

28/04/22

Thursday, 21 April 2022

පාස්කු ප්‍රහාරයට අදට වසර 03යි. අපි ඔවුන් කිසිසේත් අත් නොහරිමු!!

2019 අප්‍රියල් 21 එල්ලවූ පාස්කු ප්‍රහාරයට අදට (21/04/2022) වසර තුනක් ගතව අවසන්ය. එහෙත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකරගැනීමේ සහ පාස්කු ප්‍රහාරයේ සත්‍ය මතුකරගැනීමේ උත්සහයන් කිසිසේත්ම අවසන්ව නැත. අද රට පුරාත්, ලොව පුරාත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සමරමින් සිදුකරන විවිධ සමරු වැඩසටහන් ඊට උදාහරණය. 'ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුවිය යුතුය, පාස්කු ප්‍රහාරයේ සත්‍ය මතුකර ගැනීමට සියළු කරණු හෙලිකරගත යුතුය', යන හඩ අද වඩ වඩාත් තීවුරව, පෙරටත් වඩා ශක්තිමත්ව පෙරට පැමිණ රට තුලත්, ලොව පුරාත් රැව් පිළිරැව් දෙමින් ඇත. 

එසේ වන්නේ;  

(1.) පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කල මලල්ගොඩ කොමිසමේ වාර්තාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව, ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ FBI පරීක්ෂණ වාර්තාව ආදී ඉහතකී සියළු පරීක්ෂණ වාර්තාවල කරුණු අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කල සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම සමග සබදතා පැවැත්වූ තවත් පිරිස් ඇති බව හෙළිවී ඇති නිසාත්, එකී පිරිස් අතර ශ්‍රී ලංකා ආරක්ෂා අංශයේ බුද්ධි අංශයට සම්බන්ද පිරිසක්ද සිටින බව කියවීමත්,

 (2.) ප්‍රහාරය, ප්‍රහාරකයින්, ස්ථානයන්, දිනය ආදී නම්, ගම් ඇතුළු සියළු විස්තර හෙළිවී තිබියදීත් රජයේ බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන ආදී නිලධාරින් සහ බලධාරීන් පිරිසක් ප්‍රහාරය වලක්වා ගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් කිසිදු උත්සහයක් නොදරා ඇති බව සහ  ප්‍රහාරකයින්ට කිසිදු බාධාවකින් තොරව සිය විනාශකාරී කෘර අරමුණු සාක්ෂාත් කරගැනීමට ඉන් ඉඩප්‍රස්තා විවරවූ බව හෙළිවී ඇති නිසාත්,

 (3.) ප්‍රහාරය සහ ප්‍රහාරකයින් ආදිය  පිලිබදව  තොරතුරු විමර්ශන කල ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන්ට  ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේම නිලධාරින් පිරිසක්  විසින්  බලපෑම් එල්ලකර වලක්වා ලූ බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට ඔහු පෙත්සමක් මගින් දැනුම්දීමත්, 

(4.) පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කල වාර්තා සහ සාක්ෂි පිලිබදව අපරාධ නිතියමය දෘෂ්ටි කොණයකින් බලා කටයුතු කල දප්පුල ද ලිවේරා හිටපු නීතිපතිවරයා 'පාස්කු ප්‍රහාර පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව' පෙනී යන්නේ යැයි  ප්‍රකාශ  කිරීමත්,

 (5.) පාස්කු ප්‍රහාරයේ එල්ලවන්නේ රටේ ජාතික ආරක්ෂාව බිදවැටී ඇති නිසා බව කියමින්  ජාතික ආරක්ෂාව ගොඩනැගීමට ජනවරමක් ඉල්ලා, විශාල ජනවරමකින්  බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා දිගින් දිගටම  හඩ නගන කොලබ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා දුරකථනයෙන් අමතා 'රාජ්‍ය ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව කරුනුකොට ගෙන පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් මිට වඩා යමක්  කල නොහැකි බව ජනාධිපතිවරයා තමාට දැන්වූ බව කාදිනල්වරයා හෙළිකිරීමත් තුල,

 පාස්කු ප්‍රහාරය පිලිබදව සැගවුණු, හෙළිනොකළ කිසියම් දෘඩ කරුණු කරනා රාශියක් ඇති බව වඩ වඩාත්  තහවුරු වී ඇති  නිසාය.

 මෙකි  කරුණු  කරණා රාශිය නිසාම ගෝඨාභය  රාජපක්ෂ කදවුරේ වර්ගවාදී, ජාතිවාදී බලවේග පමණක් නොව ත්‍රස්‌තවාදී කටයුතු පිලිබදව විශේෂ හැදෑරීම්  ඇත්තෙකු යැයි කියා ගන්නා රොහාන් ගුණරත්න ආදීන් ප්‍රවර්ධනය කල ''පාස්කු ප්‍රහාරය එල්ලවෙන්නේ ලොව පුරාම හිස ඔසවා ඇති ඉස්ලාමීය අන්තවාදයේ ප්‍රථිපලයක් ලෙස යැයි'' යන ප්‍රවේශය බිදවැටී: ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයද 'Deep state' න්‍යායික ප්‍රවේශය  ඔස්සේ විග්‍රහ කරන විවිධ රාජ්‍යයවල දේශපාලන නායකත්වයන් විසින් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් සහ දේශපාලන ඉලක්කයන් මුදුන්පත් කරගැනීමට හෝ ලගාකර ගැනීමට ස්වාධීනව ක්‍රියාත්මකවිය හැකි රහසිගත හෝ අවසර හෝ අනවසර කණ්ඩායම්/ බුද්ධි නිලධාරීන්/ නිල හෝ නිල නොවන හමුදා ජාලයන් යොදා ගනිමින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම්ක්ද? යන්න  තහවුරු වීමය.

 ඒ ඔස්සේ, පාස්කු ප්‍රහාරය යනු ශ්‍රී ලංකා දේශපාලන බලය හැසිරවීමට ගත්  උත්සහයක්ද? යන්න දැඩි විමසුමකට ලක් කරන පසුබිමක් ගොඩනැගී ඇත. තවද එම කාරණයම පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කල පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාව  පැහැදිලිවම  මතුකර තිබේ. පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරුණු ජනවාරි 15 දින රාගම තේවත්ත  බැසිකාවේ පැවති දෙවියන්ට මොරගැසිමේ දේව මෙහෙයේදී ''පාස්කු ප්‍රහාරය ජන්දය දිනන්න ගහපු උප්පරවැට්ටියක්'' යැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව උපුටා දක්වමින් කාදිනල් මැල්කම් රංජිත් හිමියන් කල ඉතා තීරණාත්මක ප්‍රකාශය මෙන්ම ශ්‍රී ලංකා කතෝලික සභාව ප්‍රමුඛ යුක්තිය  සහ සත්‍ය පිලිබදව මොරගසන සෑම සියළු දෙනාම ගෝඨාභය රාජපක්ෂ රජය කෙරෙහි කෙලින්ම ඇගිල්ල දිගුකරන තත්වයකට ගමන්  කර ඇත්තේ  ඉහත විස්තර කරන ලද  කරුණු-කරනා පදනම්  කරගෙනය.

ශ්‍රී ලංකාව වූ කලී කාලාන්තරයක් තිස්සේම දේශපාලන ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ රාජ්‍යයක් බව නොරහසකි. ශ්‍රී ලංකා රාජ්‍යය මෙන්ම එහි ආණ්ඩුද ප්‍රචණ්ඩත්වය විසින් දුර්මුඛ කරන ලද වාර අපමණය. සාහසිකත්වය සහ ඝාතන ඔස්සේ දේශපාලන බලය අත්කර ගැනීම මෙන්ම දේශපාලන බලය ස්ථාපිත කරගැනීම් පිළිබවද නිරන්තරයෙන් අවධාරණයට ලක්කරන, කුතුහලයට  සහ  බුද්ධියේ විමසුමට ලක්කරන සිද්ධීන් අපමණය. ඝාතන  ඔස්සේ දේශපාලන බලය අත්කර ගන්නේ යැයි චෝදනා එල්ලවී ඇති රාජ්‍යයක පාස්කු ප්‍රහාරය යනුද තවත් එවැනිම එක් සිද්ධියක් විය හැක. 

එහෙත් එය එසේ වියයුතුද? එසේවීමට ඉඩ හැර තවදුරටත් අප බලාසිටිය යුතුද? දෙසිය හැට නම දෙනෙකු ඝාතනය කර, පන්සියකට වැඩි පිරිසකට තුවාල සිදුකර එකී ලේ කදුල ගංගා ඔස්සේ කිසිවෙකු බලයට එන්නේ නම් තවත් කෙනෙකු බලය සදහා ඊටත් වඩා විශාල විනාශයක්   නොකර සිටිද? 

ඝාතන ඔස්සේ බලය අත්කරගන්නා, බලය ස්ථාපිත කරගන්නා ඉතිහාසය අවසන්කල යුතුය. මනුෂ්‍යත්වය, යුක්තිය, සත්‍යය, සාධාරණත්වය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන සමාජයක් ගොඩනැගිය යුතුය. පාස්කු ප්‍රහාරයට වසර තුනක් පිරෙන අද දින, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තියත්, පාස්කු ප්‍රහාරයේ සත්‍යයත් වෙනුවෙන් අඛණ්ඩව හඩ නගන අද දිනත්,  අප අදිටන් කරගත යුත්තේ එයයි. පාස්කු ප්‍රහාරයත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්වත් අපි කිසිදිනක අත් නොහරිමු. මන්දත්,ඝාතන සංස්කෘතියෙන් අත්මිදීමේ ශ්‍රී ලාංකිකයන්ගේ ගැලවීමේ පණිවිඩය පාස්කු ප්‍රහාරයේ වින්දිත්යන්ට යුක්තිය  ඉටුකරගැනීමේ සහ පාස්කු ප්‍රහාරයේ සත්‍ය මතුකර ගැනීමේ අරගලය තුල ගැබ්වී ඇති නිසාය !!!     

මාකස් ප්‍රියන්ත පෙරේරා 

21/04/2022