This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 29 May 2024

තිළිනා හර්ෂණී වැනි පාස්කු වින්දියන්ට ඉටුකළ හැකි යුක්තිය කුමක්ද?


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව වසර 5ක් ගිලන්ව, එකතැන්වූ තිළිනා හර්ෂණී මහත්මියද මියගොසින් ය. මිය යනවිට වයස අවුරුදු 40ක් පමණක් වූ ඇය තිදරු මවක් විය. 2019 අප්‍රියෙල් 21 එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් කටුවපිටිය දේවස්ථානය තුලදී ඇයගේ කුඩා පුතුනුවන් ඇගේ උකුළේ එතනම මිය යනවිට ඇය සදාකාලික අබ්බගාතයෙක් විය. දරුවාගේ දේහයට පස් මිටක් දැමීමට තියා සිය දරුවා මළ බව වත් ඇය දැන ගත්තේ ඉන් දින ගණනාවකට පසු ශල්‍යකර්ම රාශියකින් අනතුරුව ඇය පියවි සිහියට පත්වූ කල්හි ය. එකෙනෙහිම ඇගේ සිහිය ඇයට නොලැබුනා නම් හොද යැයි ඇය සිතන්නට ඇත් ද? එහෙත් ඇය ඇගේ අනෙක් දරු දෙදෙනා වෙනුවෙන් ජීවත්වීමට අදිටන් කරගන්නට ඇත. ගිලන් ඇදේ හෝ සිටිමින් අනෙක් දරු දෙදෙනාගේ සුව දුක් විමසා බලන්නට ඇය සිත යොමු කරන්නට ඇත. සිය දරුවා නැති වී, බිරිද ඔත්පල වී, ඔවුන්ගේ කැදැල්ල සී සී කඩ යෑමෙන් විකල්වූ පියා ද යුක්තිය ඉල්ලා කාදිනල් හමුවේද, දේශපාලකයන් ඉදිරියේද, විලාප තබන්නට විය. ඔහුගේ විලාපය මැතිවරණ දේශපාලනයේ චන්ද රැස්කිරීමේ මෙවලමක් කරගත් දේශපාලකයෝ ඔවුන්ගේ දේශපාලන වේදීකාවලද, මාධ්‍යයවලද ඔහුට අත්වූ ඉරණම පෙන්වා ජය කෙහෙළි නන්වන්නට වූහ. ජනපතිකම්, අගමැතිකම්, මැති ඇමැතිධුර අත්කර ගන්නට වූහ. තමාට සිය දරුවා ද, බිරිද ද, පමණක් නොව තමාට තමාද අහිමිවූ බව තේරුම් ගත් ඔහු සිය පවුලද, නෑ හිතවතුන්ද, අතහැර, හිස ලූ ලූ අතේ කටයුතු කරන්නට විය.

පාස්කු අපරාධයෙන් වින්දිතයන් වූ ජනයාට යුක්තිය ඉටුවීම වෙනුවට ඔවුන්ව දිගින් දිගටම වේදනාවේ පතුලටම ගිල්වමින් මරණය වැළදගැනීමට සැලැස්වීම හැර ඔවුන්ගේ රුධිරය වැගිරීම්වලට, ඔවුන්ගේ වද වේදනාවලට සැබෑ අර්ථයක්, සැබෑ වටිනාකමක්, එක් කරලීමට අප සියල්ලන් තවමත් අසමත් ය..

2019 පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ඇය මෙන්ම, ඇගේ දරුවා ඇතුළු 316 දෙනෙකු දැනටමත් මියගොස් ඇත. සිය ගණනක් විපතට පත්වූහ. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළේ "බලය ලබාගැනීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්" ලෙස නම්: එසේ ජන ඝාතක කුමන්ත්‍රණයකින් හටහත් මහජන කැලඹිල්ල ඔස්සේ 69 ලක්ෂයක ජන්දයක් ගෙන බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ එවැනිම මහජන කැලඹිල්ලකින්ම ගෙදර යවා ඇත.

ඉතින් ඒ ගැන තිළිනාට සතුටු විය හැකිව තිබුණි. එහෙත් ඒ සතුට කුමකට ද, තවමත් බලයේ ඉන්නේ ඔවුන් නම්.. ඔවුන්ගේ නියෝජතයෙක් නම්...

නැටුමෙන්, ගැයුමෙන්, සිත් පිනා යන සිනහවකින් මුව සරසාගෙන, ජවසම්පන්නව සිටි ඇය සදාකාලිකව ඔත්පල විය. ඇය ආබාධිත තත්වයට පත් වුයේ, තොරතුරු ලැබී තිබියදීත්, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවෙන බව දැන දැනත්, මහජන ආරක්ෂාව සලසන්නට නොහැකි වූ රාජ්‍යය යාන්ත්‍රණයක අසමත්කම පෙන්වා දෙන්නට නම්: ඇය මිය ගියේ, "ගැලනිගම මුරපොළේදී බෝම්බ ලොරිය පරික්ෂා කිරීමට ඉඩ නොදුන්", වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇය වැතිර හුන් ගිලන් ඇද අසලටම පැමිණ බඩු මල්ලක් දී යෑ මෙන්‍ ය. ප්‍රහාරයක් එල්ල වෙන බව දැන දැනත් එය වැලැක්වීමට කටයුතු නොකර නිවාඩු ගිය කොළඹ උතුර පොලිස් කොට්ඨාසය භාරව උන් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවීමෙන් අනතුරුව පාස්කු ප්‍රහාරයෙන් ඔත්පලව සිටි ඇය අසලටම පැමිණ බඩු මල්ලක් දී යෑමෙන් කියවෙන්නේ: "තොප සිටින්නේ අපගේ බිලි පුජාවන්ට බිලි වීමට මිස අන් කිසිවෙකට නෙමේ" යන්න නොවේ ද?

ඇය ගොදුරු වූයේ ලෝකය පුරාම මූලධර්මවාදී ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩ නැගීමේ භයානක සැලැස්මට ශ්‍රී ලංකාවත් ඇතුල් කරලීමේ ජෙහාඩි ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු ප්‍රහාරයක ප්‍රතිඵලයක් ලෙස නම්: ඇය මිය යන්නේ ඇගේ අල්ලපු ගම වූ මීගමුව පෙරියමුල්ලේ පවා කරක් ගැසූ isis ත්‍රස්තයන් කණ්ඩායමක් ඉංදියාවේ හයිද්‍රාබාද් හීදී අත් අඩංගුවට ගත් පුවතක් කණවැකී සතියක් යන්නටත් පෙරය. ඇගේ දරුවා ඇතුළු ගම්වාසීන් රැසක් බිලිගත්, ඇයව ඔත්පල කළ, මරාගෙන මැරෙන isis ත්‍රස්තවාදීන් අවතාර නැවත නැවතත් හොල්මන් කරමින් සිටින පසුබිමක ඇය වැනි සිය ගණන් දෙනා ජීවිත පුජාකල ඊනියා "ආරක්ෂාව බිද වැටීම" තවමත් තහවුරු වී නැද්ද?

ඇය පමණක් නොව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූ සිය ගණනක් වූ ජනයාට හවුහරණක් වූ ශ්‍රී ලංකා කතෝලික පල්ලිය විපතට පත්වූවන්ගේ වේදනාවන්ට අවතීරණය වෙමින් ඔවුන්ගේ අගහිගකම්වල සිට සිත් තැවුල් දක්වාද, රෝගාබාධවල සිට දරුවන්ගේ අධ්‍යාපනය දක්වාද සියලු බර පැණ දරමින්, විවිධ සහන සැලැසූහ. තිළිනා සම්බන්ධයෙන් ද එසේය. ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය නොවන්නට ඇය මිය ගොස් බොහෝ කල්ය. ඇගේ දරුවන් ඇතුළු බොහෝ දරුවන් ද, දරු පවුල් සිය ගණනාවක් ද, මහ මගට වැටී බොහෝ කල් ය. ශ්‍රී ලංකා කතෝලික පල්ලිය පාප්තුමා ඇතුළු ජාත්‍යන්තර ක්‍රිස්තියානි ජනයාගේ සහයෝගය ඇතිව පාස්කු ඉරිදා වින්දිතයන්ගේ දුක් වේදනාවන් සදහා සහන සැලැසූ බව සැබෑය. සීරීමක් ඇතිවූවන්ට පවා මුදලක් ගෙවා සහනයක් සැලසූ බව සැබෑය. බරපතළ සත්කම් අවශ්‍ය වූවනට අවශ්‍යය සැත්කම්වලට කෝටි ගණන් මුදල් වියදම් කළේය. වින්දියන්ගේ දරු පවුල් වල අධ්‍යාපනය සදහා දෙස් විදෙස් ශිෂ්‍යත්ව දී ඔවුන්ගේ අධ්‍යාපනය සදහා ඇප කැප වූහ. ඒ සියල්ලටම වඩා වින්දියන්ගේ මානසික සුවය වෙනුවෙන් බොහෝ දේ කළහ.

ඒහෙත් ඒ සියල්ල තුල පමණක් පාස්කු වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉටු නොවන බව ඔවුහු දන්නාහුය. යුක්තිය ඉටුකරගැනීමේ මුලිකම දේ සත්‍යය හෙළිකරගැනීම බව ඔවුහු දන්නාහුය. එහිලා ඔවුන් මෙතක් අනුගමනය කළ ක්‍රියාමාර්ග ගැන ඔවුන්ට සතුටුවිය හැකිද? පාස්කු ප්‍රහාරය විමර්ශනය කර, වරදකරුවන්ට දඩුවම් ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරතැයි තමා බලාපොරොත්තු වූ බව කාදිනල්තුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය. එහෙත් මේ සටකපට දේශපාලකයන්ගෙන් එතුමාට තියා ගහක් කොලයකටවත් යුක්තියක්, සාධාරණත්වයක්, ඉටුවන්නේ නැත. දේශපාලකයෝ තීන්දු තීරණ ගන්නේ සිය 'බල - පැවැත්මේ - අභිලාෂයන්' මත සිට මිස යුක්තිය, සත්‍යය සහ සාධාරණත්වය මත පදනම්ව නොවේ.

පාස්කු ප්‍රහාරයට යුක්තිය සෙවීමේදී දේශපාලකයන් තීන්දු තීරණ ගන්නා 'බල - පැවැත්මේ - අභිලාෂයෙන්ට' සැබෑ ලෙසම අභියෝග කළ හැකි, බලපෑම් කළ හැකි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සහය ලබාගත් මූලෝපායන් සකස්කර ගැනීමට ශ්‍රී ලංකා කතෝලික සභාව තවමත් අසමත්ව ඇත. ජිනිවා හී ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම හමුවට ගිය පමණින් සිදුවන කිසිවක් නොමැත. තවත් සිදුකල යුතු කාර්‍යභාරයන් රාශියක්ම තිබේ


එහිලා මූලික වශයෙන්ම පසක් කරගත යුත්තක් නම් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගියේ, රුධිරය වැගිරුවේ, වද වේදනාවලට පත්වූයේ අන් කිසිවෙකුත් නොව 'ක්‍රිස්තියානි සමාජ ආගමික සංස්කෘතික ඇගයුම්' ජීවත් කිරීමට වෙර දැරූ පිරිසක් බව අවබෝධ කරගැනීම වැදගත් ය. ඔවුන් කුමන ආගමකට, ජාතියකට, කුමන වර්ගයකට, කුමන රටකට, කුමන භාෂාවකට අයත්වුව ද, ඔවුහු එදින සෑදී පැහැදි සිටියේ ක්‍රිස්තියානි සමාජ, ආගමීක, සංස්කෘතික අංගයන් ජීවත් කරවීමටය. ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සමරමින් ආගමික වතාවත් සදහා දේවස්ථානවල දිව්‍යය පුජා සදහා එක් රැස්වූව සිටි කිතුනු බැතිමතුන් හෝ වේවා, තරු පහේ හෝටල්වල පාස්කු ඉරුදින සුප්‍රකට උදෑසන භෝජන සංග්‍රහයන්ට (Easter Sunday brunch) එක්ව සිටියේ අන් කවරෙකුත් නොව 'ක්‍රිස්තියානි සමාජ, ආගමීක, සංස්කෘතික ඇගැයුම්' ජීවත් කරවූ පිරිස්‍ ය. ජාතික ආරක්ෂාව අහිමි වූයේ එම පිරිස්වලටය. සත්‍යය මතුකර ගැනීම යනු එසේ වුයේ ඇයි දැයි හෙළිකරගැනීම ය.

වින්දියන්ට යුක්තිය ඉටුවන්නේ පාස්කු අපරාධය ගැන දේශීය විදේශීය එකතුවක් තුලින් නිසි විමර්ශනයක් කර වරදකරුවන්ට දඩුවම් දීමෙන්ම පමණක් නොවේ. එමගින් පමණක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවනට යුක්තිය ඉටුවන්නේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට සැබෑ යුක්තියක් ඉටුකළ හැක්කේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය, රුධිරය වැගිරවූ, ආබාධිතයන් බවට පත්වු, වද වේදනාවන්ට ලක්වූ ජනයාගේ ජීවිතවලට සැබෑ අර්ථයක්, සැබෑ වටිනාකමක්, එක් කරලීමෙනි.

එසේ සෑබෑ වටිනාකමක්, අර්ථයක් එක් කල හැකි ව්‍යායාමයකට පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය සොයන සියල්ලන් ප්‍රවිශ්ට විය යුතුය. ඒ තුලින් දැන් ක්‍රමයෙන් දියවෙමින් හෝ දියකරමින් තිබෙන සැබෑ 'ක්‍රිස්තියානි සමාජ, ආගමීක, සංස්කෘතික ඇගැයුම්' නැවත පණගැන්විය හැක. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වැගිරීවූ ලේ, කදුළු, දහඩිය වලට සැබෑ වටිනාකමක්, සැබෑ අර්ථයක් එක් කළ හැක්කේ එවැනි උත්සාහයක් තුලය. එය එක්තරා ආකාරයට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පවා බිද දැමීමට නොහැකි, මරණයෙන් පවා නතර කළ නොහැකි, ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානීය (resurrective) පණිවිඩය ආගමික අර්ථයෙන් පමණක් නොව සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ වෙනත් බොහෝ අංශ ඔස්සේ ද සොයායෑමකි, පසක් කරගැනීමකි, ක්‍රියාවට නැන්වීමකි. තිළිනා හර්ෂණී වැනි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූනට සැබෑ යුක්තියක් ඉටුකරලීමට මරණයෙන් පවා නතර කළ නොහැකි 'ක්‍රිස්තියානි සමාජ, ආගමීක, සංස්කෘතික ඇගැයුම්' නැවත පණගැන්වීමට එක්වෙමු!!


මාකස් ප්‍රියන්ත පෙරේරා

29/05/24

2 comments:

  1. පාස්කු ප්‍රහාරය ගැන කතාකරන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවන්නේ මියගිය අය හා මහ මොලකරුවන් ගැන ය. ඒ හා සමාන හෝ ඊටත් වඩා අවධානය යොමුවිය යුත්තේ එයට මුහුණ දී තවමත් ජීවත්වන්නන් කෙරෙහි ය. ඔවුන් අතර නොයෙකුත් මානසික පීඩනවලට ලක්ව මානසිකව කඩාවැටී ජීවිතයට මුහුණ දීමට නොහැකිව කම්පනයට පත්වූ අය කොතෙකුත් සිටිනවා විය හැකි ය. ඒ අයට අවශ්‍ය වන්නේ ආර්ථික සුරක්ෂිතබවට වඩා මනස ශක්තිමත් කරන මානසික උපදේශනයයි. රජයේත් වෛද්‍ය අංශවලත් කතෝලික සභාවේත් අවධානය මේ පිළිබඳව යොමුවිය යුතුය.

    ReplyDelete
  2. ඇත්තටම කතෝලික සභාව ඒ සදහා නිසි වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කළා, අදටත් ක්‍රියාත්මක කරමින් ඉන්නා බව දැන ගැනිමට ලැබුණා. ඇත්තටම තිළිනා හර්ෂණී වැනි අය මෙච්චර කල් ඔහොම හරි සිටියේ ඇය ලැබූ මානසික සහනයන් නිසයි. ඒත් ඇයගේ මානසික සහනය තුල පමණක් ඇගේ ශරීරය සුවපත් කිරීමට හැකිවූයේ නෑ..

    ReplyDelete