This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 13 December 2022

නිහාල් නෙල්සන්ව පිරිපුන් කලේ 'කිරි දුන්නේ දරුවන්ටයි' ගීතයද?

නිහාල් නෙල්සන් කලාකරුවා මියගිය පුවත අද උදේම දැක්කා. ඒ පුවත සම්බන්ධයෙන් මට වගේම තවත් බොහෝදෙනෙකුටත් ඇත්තේ දුකක්, වේදනාවක්, සාතිශය කනගාටුවක්ද, නැති නම් කිසියම් දන්න කියන කෙනෙක් නික්ම ගියා, වෙන්ව ගියා වගේ හැගීමක්ද කියන එක ගැන අපිට තවම හරියටම කියන්න බෑ... මට එහෙම හිතෙන්නේ අප බොහෝදෙනෙක් නිහාල් නෙල්සන්ගේ රසිකයෝ නිසයි...ඒ රසිකයෝ අතර නිහාල් නෙල්සන්ගේ 'නාන් දීන් තිලක නදින්' කාවඩි බයිලාවට පොලොවේ පස් කාගෙන, වැස්සේ මඩ නාගෙන, සංගීත සංදර්ශනවල රෑ එලිවෙනකම් නැටුව අයත් ඇති තරම් ඇති... ඔහුගේ 'ලස්සනට පිපුන වන මල්' වල ඉදන්, 'සල්ලි මිටි ගණන්' වගේම 'මේක ගුණ අය්යාගේ බජ්ව් දාන කාමරේ' වගේ සින්දුත්, ඒවගේම ශ්‍රද්ධාව මතුකරන 'කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ' වගේ ගීතත් රසවිදපු විවිධ සමාජ ස්ථරයන්වලට අයත් බොහෝ දෙනා අප අතර වෙනවා. 

මට නම් නිහාල් නෙල්සන් කියන්නේ ඇත්තටම ගායකයෙකුට වඩා performer කෙනෙක්. මොකද ලංකාවේ ගායකයෝ කියන හුගාක් අය සලකන්න පුලුවන් වෙන්නේ vocalist විදිහටයි. ලංකාවේ ඔය ගායකයෝ කියන බොහෝ vocalist ලා කරන්නේ ගීතයකට  හඩ සැපයීමයි. කිසියම් සංගීතයකට අනුව සැකසූ පද ටිකක් තාලයට උච්චාරණ කරන එක තමයි ඔය ගායකයෝ කියන vocalist ලා හුගාක් දෙනෙක් කරන්නේ...අපි කවි, සින්දු, ගීත, ගීතිකා කියලා රසවිදින්නේ අර vocalist ලා කිසියම් සංගීතයකට අනුව මුසු කල හඩයි. ඒත් නිහාල් නෙල්සන් කියන්නේ එහෙම vocalist කෙනෙක් නෙමේ..performer කෙනෙක්, ප්‍රසාංගික කලාකරුවෙක්...ඔහු වේදිකාවට ගොඩවුනාම උඩ පනිනවද, දගලනවද, මයික් එක විසිකරන්න යනවද, උඩදාලා අල්ලනවාද, ඇබැරෙනවද, ඇකිලෙනවද, කෑගහනවද, බෙරිහන් දෙනවද, විසිල් ගහනවද, නටනවද, වාදකයින්ට වාදනය කරන හැටි කියලා දෙන්න යනවද කියලා හිතාගන්න බෑ...ඒ තරමට performance, ප්‍රසාංගිකයි...මුළු වේදිකාවම කුල්මත්... රසිකයෝ ෆුල් චූන්..බැහැලා යන්න දෙන්නේ නෑ.. මේ අදක ඊයෙක ඉදන් නෙමේ ඔහුගේ මුල්ම ගීතය විදිහට ප්‍රචාරණය වුන 'ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්' ගීතය ප්‍රචාරණයවුනු කාලේ ඉදන්.. ඒ සින්දුව නිකුත්වෙලත් දැන් අවුරුදු 60ක් විතර වෙනවා... එදා ඉදන් මේ වෙද්දි කැසට් එකසිය 113 ක්ද කොහෙද ගහලා තියෙනවාලූ.. 'සන්ෆ්ලවස්'ලා එක්ක ඩොට්.කොම් කියලා 110 කැසට් එකක් නිකුත්කරලා තියෙනවා නම් දැක්කා..අපි කොහොමත් 'සන්ෆ්ලවස්' ෆෑන්ලා නේ.

නිහාල් නෙල්සන්ගේ තව දෙයක් තියෙනවා ඒ තමයි ඔහු කතා කරන භාෂා ශෛලය ඔහුගේ ගීතවලත් දකින්න පුලුවන්වීම...එය එක්තරා ආකාරයක බජාර් භාෂාවක්..මොරටුවේ වුනත් අමරදේවට, සුනිල් පෙරේරා ලාට වඩා නිහාල් නෙල්සන්ගේ භාෂා ශෛලය වෙනස්. ඇත්තම කිව්වොත් 'ගැන්සි භාෂාව' කියලා එය හදුන්වා දුන්නට වරදක් නෑ...අනෙක් ගායකයින්ට වඩා වෙනස් නිහාල් නෙල්සන්ගේ භාෂා ශෛලය මගේ මතකයේ තැම්පත්වුනේ මීට කාලෙකට කලින් අපේ පැත්තේ, මීගමුවේ, සංගීත සංදර්ශනයකට ඇවිත් ගායකයින්ගේ වාරය එනකම් කෑම-බීම ආගිය කතා කියමින් සප්පායම් වෙමින් ඉද්දී ඔහු කතා කරන විදිහ ගැන අවධානය යොමු කිරීමෙනුයි. එහිදී ඔහුගේ භාෂා ශෛලය එඩ්වඩ් ජයකොඩිගෙන්, ෂෙල්ටන් මුතුනමගෙන්, සන්ෆ්ලවස් නීල්ගෙන්, ආත්මා ලියනගේ ආදීන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා මම හොදට දැක්කා...හරියම ඒක කොහොමද විස්තර කරන්නේ කියලා හොය හොය ඉද්දි තමයි ඔහු අර 'ජනරළ' කියන පත්තරයකට දීලා තිබ්බ interview එක දැක්කේ. ඒ interview එක හොදින් කියවලා බලන්න මම කියනදේ ඔබට අහුවේවී..!!

ඇත්තටම මට හිතෙන්නේ එහෙම ගැන්සි භාෂා ශෛලයක් එක්ක ඉස්සරහට ගිය එකම කලාකරුවා ඔහු වෙන්න ඇති. එහිලා ඔහු ගැයූ: "කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ..ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ..එපා එපා මස් කන්නට කිරි අම්මාගේ..." කියන ගීතය ලොකු බලපෑමක් කරන ඇති. මොකද ඒ ගීතය ආමන්ත්‍රණය කරන සමාජ ස්ථරයන් විතරක් නෙමේ ජාති, ආගම්, භාෂා පදනම් විතරක් නෙමේ එක්තරා ආකරයකින් අනන්‍යතා නියෝජනයකුත් නිරූපණය කරනවා. ඔහු ජීවත්ව සිටියදීම නිහාල් නෙල්සන් නමින් පාරකුත් නම් කරන තත්වයට ඔහු ලගාවුනා!! ජීවත්වෙලා ඉද්දි විතරක් නෙමේ මියගිය පසුව වත් මොරටුවේ සුනිල් පෙරේරාට හෝ ටෙනිසන් කුරේරලාට ඒහෙම පිලිගැනීමකට ලගාවෙන්න පුලුවන්ද කියලා දැන්ම කියන්න කල් වැඩියි. 

ඉතින් ඔහුගේ මරණය ගැන අසා ඔහුට අනෙක් බොහෝ දෙනෙකු ප්‍රාර්ථනා කරනවා වගේ  නිහාල් නෙල්සන් කලාකරුවාට සුබ ගමන් යැයි කියන්න බෑ.  ඔහු කිසියම් ආකාරයක ගමනක් ඉතා හොදින් නිමකල තැනැත්තෙක්. ඔහු ගිය මග යන වෙන කිසිවෙකුත් නෑ!! වෙන කිසිවෙක්ටත් බෑ!! ඔහු ඔහුමයි!!ඒ නිසා ඔහුට ගැලපෙන්නේ නිහාල් නෙල්සන් කලාකරුවාට නිවන් සුව ලැබේවායි යන්නයි!!   

නිහාල් අය්යා, ජයවේවා👍!!

ඔහු හිටියනම් ඔහු දෙන උත්තරෙත් මට හිතා ගත්ත හැකියි;

"හරි මල්ලි ගිහිල්ලා එනනම්, ෆිට් එක ආ"👍!!

මාකස් ප්‍රියන්ත පෙරේරා 

13/12/22

6 comments:

  1. කැමතිම ගායකයෙක්. RIP

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන් අතර නොමැකෙන නමක් තියපු ගායකයෙක්...අපි කොහොමත් performers ලාට කැමැතියි නේ...

      Delete
  2. කවුරුත් වැඩිය කතා නොකළත් ඔහුගේ ගීත වලින් ප්‍රකාශ වෙන සමාජ විවරණයකුත් තියනවා. පත්තරවල විස්තර... වගේ ගීතයක ගායන ශෛලියත් අර්ථයක් එකට මතු කරන හැටි අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඔහු රටේ එදිනෙදා ප්‍රශ්න තමන් ඇසුරුකරන ප්‍රජාවට දැනෙන ආකාරය ඇසුරින් ගීතය ඔස්සේ ඉතා හොදින් ඉදිරිපත් කිරිමට දක්ෂයෙක්. මිනිස්සු ඔහුගේ ගීත වැලද ගැනීමේ පදනමත් එය වියහැකියි.

      Delete
  3. ඇයි මාකස් අයියේ. ජැක්සන්, රූකාන්ත වගේ කතෝලික අයගේ පවුල් ඉක්මනට කැඩෙන්නේ

    ReplyDelete
    Replies
    1. අය්යෝ ඕකත් අහන්න දෙයක්ද? පියදාස සිරිසේනගේ වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස හා රොසලිනා කියවලා තිබ්බ නම් හේතුව හොයාගන්න පුලුවන්නේ.

      Delete