This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 28 June 2019

බණ්ඩාරනායකත් එල්ලා මරණ බණ්ඩාරනායක අනුගාමිකයෝ

තමා S.W.R.D. බණ්ඩාරනායක මහත්තමයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූ දිනයේ උපතලැබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිතර පාරට්ටු කරගන්නා කරුණකි. එහෙත් එසේ පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 මැතිවරණය ජයගෙන, සිය නායක S.W.R.D. බණ්ඩාරනායක මහතා අගමැති ලෙස පත්ව පිහිටවූ රජය පැවත්වූ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම මරණ දඩුවම අවුරුදු 3කට අත්හිටවීමට තීරණය කල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්නේදැයි නොදනිමි.

එසේ තුන්වසරකට අත්හිටවූ මරණ දඩුවම පසුව 1958 අප්‍රියල් මාසේදී 'මරණ දඩුවම අහෝසි කිරීමේ පනත' සම්මත කරමින් ස්ථීරවම අත්හිටවන ලදී. කෙසේවුවද එම යුගයේ පාර්ලිමේන්තුවේ පැවති මන්ත්‍රී මණ්ඩල දෙකකම මරණ දඩුවම අහෝසි කිරීම සම්බන්දයෙන් විද්වත් මණ්ඩලයක් පත්කර ඒ සම්බන්දයෙන් තව දුරටත් විමසා බැලිය යුතු බව ඉල්ලා සිටියේය

ඒ අනුව ලංකා විශ්ව විද්‍යාලයේ නීතිපීඨයේ හිටපු පීඨාධිපති, නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්ව විද්‍යායේ නීතිපීඨයේ සේවය කල, ආචාර්ය Norval Morris ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත්කරන ලදී. එම කොමිසමේ විදිමත්  කරුණු විමර්ශනයකින් පසුව ඔවුන් පැමිණි අවසන් නිගමනයවුයේ 'අපි මරණ දඩුවම දිගටම අත්හිටවීම නිර්දේශ කරමු' යන්නය ( "We recommend that capital punishment should continue to be suspended"). 

ඇත්තවශයෙන්ම එම කොමිසමේ නිර්දේශ නිකුත්වුයේ බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමට සති දෙකකට පෙරය. කොමිසම කුමක් නිර්දේශකලද බණ්ඩාරනායක මහතා මැරූ අයට මරණ දඩුවම දියයුතු බවට ලොකු හා-හුවක් පැන නැගුණි. ඔවුන්ට කොමිසමේ නිර්දේශ හෝ බණ්ඩාරනායක මහතා මැරෙන ඇදේ සිට ඉල්ලා සිටි ඉල්ලීමද කිසිසේත් අදාලවුයේ නැත. ඔවුන්ට අවශ්‍යවුයේ මිනීමරුවන්ට මරන දඩුවම ලබාදීමය. ඇහැට-ඇහැක්, දතට-දතක් මෙන්ම ජීවිතයට-ජීවිතයක්ද ඔවුන් ඉල්ලා සිටියහ. එහෙත් බණ්ඩාරනායක මහතාගේ අවසාන ඉල්ලීමවු ''ඒ භික්ෂුවට අනුකම්පා කරන්න ඔහුගෙන් පලිගැනීමට කිසිවක් කරන්න එපා'' යන්නය. බණ්ඩාරනායක මහතාගේ එම අවසන් ඉල්ලීම ගැන ඔවුන් කිසිසේත්ම සවන් යොමු නොකළහ. 


මරණ ඇදේ සිට බණ්ඩාරනායක මහත්තයා එසේ ඉල්ලුවද බණ්ඩාරනායකවාදීන්ට අවශ්‍යවූයේ බණ්ඩාරනායක මහතා මරාදැමූ සෝමාරාම භික්ෂුවට මරණ දඩුවමදීමය. ඒ අනුව මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළහ. ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල අවස්ථාවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සිටි S. Natesan මහත්මයා කියා සිටියේ 'ආණ්ඩුව පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායකය) සතු නීති හැදීමේ බලය පලිගැනීමට/එකට එක කිරීමට යොදාගන්නේ නම් එය ව්‍යවස්ථාදායකය සතු බලය ගණිකාසේවයේ යෙදවීමක් බවත්, ඒවගේ වැඩ කිසිම රජයකට ගැලපෙන වැඩ නොවෙන බවය.' (''the government was prostituting the legislature of the country and was acting in a spirit of revenge that was unworthy of any government.'')

අවුරුදු 40ක කාලයක් ක්‍රියාත්මක නොකර අත්හිටවා තිබු මරණ දඩුවම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට 'හොද පාඩම්ක් උගන්වන්නවා', 'ඕකුන්ව එල්ලනවා', 'උන්ට මම කවුද කියලා පෙන්වනවා', 'මම කවුද කියලා ඔය ඔක්කොටම උගන්වනවා' වැනි චේතනාවකින් නැවත ක්‍රියාත්මක කරන්නේ නම් එය S. Natesan මහතා පෙන්වාදුන්ලෙස රාජ්‍ය බලය අවභාවිතා කිරීමකි. එවැනි ක්‍රියා යහපාලනයකට නම් කිසිසේත්ම ගැලපෙන්නේ නැත. කොහෙත්ම මෛත්‍රීපාලගේ නමටවත් එය ගැලපෙන්නේ නැත. දුෂ්ට දඩුවම්දීම් ඔස්සේ රටක් නොව දරුවෙක්වුවද නිසිමග යැවිය නොහැක. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
29/06/2019

No comments:

Post a Comment