This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 13 March 2018

දෙතැනක මිහිදන් කල වස්කෝ ද ගාමා ඉන්දියාවට මෙන්ම බ්‍රසීලයටද යන පාර කිව්වාද?

පෘතුගීසි දේශගවේෂකයෙකු වූ වස්කෝද ගාමා ක්‍රි.ව. 1498 මැයි 27 දින නිරිතදිග ඉන්දියාවේ කැලිකට්‌ වරායට පැමිණිමත් සමග යුරෝපීන්ට පෙරදිගට පැමිණීමට නව මුහුදු මාර්ගයක් විවිර කරදුන්නේය.  ඒ මග ඔස්සේ පසුව පැමිණි ලන්දේසින්ද (ඕලන්ද), ඉංග්‍රීසින්ද, ප්‍රංශ ජාතිකයන්ද  ආසියාවේ විවිධ යටත්විජිත පිහිටවුහ. ඒ අනුව යුරෝපා ඉතිහාසය තුල වස්කෝද ගාමාට සුවිශේෂ ස්ථානයක් හිමිවේ. සිය මව්රට වන  පෘතුගාලය  තුල ඔහුට හිමිවෙනුවේ ඊටත් වඩා අද්විතීය ස්ථානයකි. ජාතික වීරයෙක් ලෙස සලකන ඔහු නමින් මුද්දර, කාසි, මුදල් නෝට්ටු, මංමාවත්, පාලම්, ගොඩනැගිලි පමණක් නොව පාපන්දු කණ්ඩායමක්ද පෘතුගාලය තුල තිබේ.  වස්කෝද ගාමාව ඔවුන් සලකනුයේ යුරෝපයේ මායිමේ තිබු කුඩා රාජ්‍යක්වූ පෘතුගාලය ධනවත් මහ අධිරාජ්‍යයක් බවට පත්කළ සැබෑ දේශමාපකයෙක් ලෙසය. 

නූතන ඉතිහාසඥයින්ට  අනුව  වස්කෝ ද ගාමා යනු ක්‍රිස්ටෝපර් කොලොම්බස්ටත් වඩා වීරයෙකි. මන්දයත් පෙරදිගට පැමිණීම සදහා ගාමා දැරූ ව්‍යායාමය  කොලොම්බස්ටත් වඩා අති විශාලය. ක්‍රි.ව. 1497 ජුලි 09 දින පෘතුගාලයේ ලිස්බන් නුවර හරහා ගලාබසින ටෙගාස්‌ ගඟ ඔස්සේ යාත්‍රාකොට එතැන් සිට අත්ලාන්තික් සාගරයට පිවිස අප්‍රිකානු මහාද්වීපය වටා යාත්‍රාකර ඉන්දියාවට ලගාවීමටත්, නැවත ඉන්දියාවේ සිට ලිස්බන් නුවරට ආපසු පැමිණීමටත් වස්කෝ ද ගාමාට පුරාවසරක් ගතවී තිබුන අතර එම මුළු ගමන සදහා නාවික සැතපුම් 27, 000ක දුරක් ඔහු ගෙවා දමා තිබුණි. ආසන්න වශයෙන් එය ලොව වටා යෑමට සමානය. වස්කෝ ද ගාමාගේ මුල්ම ගමන සදහා මෙතරම් දුරක් ගියේ ඇයිදැයි සෙවීමට බොහෝ ඉතිහාසඥයින් උනන්දුවේ. 

ලිස්බන් නුවර සිට සති කිහිපයක් ඇතුළත උතුරු අප්‍රිකාවට ඉහලින් පිහිටි කැනරි දූපත්වලට ලගාවූ වස්කෝ ද ගාමාගේ නැව් 4කින් සමන්විතවූ නාවික පන්තිය පසුව වයඹ දිග අප්‍රිකානු වෙරළේ වාර්තමාන  සියරාලියොන් රාජ්‍යයෙන්  බටහිරට යාත්‍රා කර  නැවත මාස 05කින් පසු    දකුණු අප්‍රිකාවේ  සුබ පැතීමේ තුඩුවට (කේප් තුඩුවට)  පැමිණ තිබේ. ගතවූ මාස 05ක කාලය තුල  වස්කෝ ද ගාමාගේ නාවික පන්තිය එතෙක් සොයාගෙන නොතිබූ දකුණු ඇමරිකාවේ බ්‍රසීලයට ඉතා ආසන්නව ගමන් කර තිබුණි. ඔහු මෙතරම් බටහිරට බරව ගමන් කලේ ඇයි? ඔහුට ඉන්දියාවට පැමිණීමට අමතරව වෙනත් කාර්යභාරයක් පැවරී තිබුනාද? 

ගාමාට බටහිරට යෑම සදහා යම් පෙළබවීමක් තිබු බවට සාක්ෂි පැවැතී. විශේෂයෙන්ම,පෘතුගාලයේ 3 වැනි ජෝන් රජුගේ හා පිලිප්පා බිසවගේ තුන්වැනි පුත්‍රයා වූ (නාවික) හෙන්රි එම යුගයේ සිටි ගණිතය, තාරකා විද්‍යාව, භූගෝල විද්‍යාව පිළිබද උගතුන්  එක්කර, දකුණු පෘතුගාලයේ වින්සන්ට්‌ තුඩුවේ සාග්‍රේස්‌ නගරයේ පිහිටි තාරකා විද්‍යාගාරයත්, නාවික කටයුතු පිළිබඳ පර්යේෂණ ආයතනයත්  අනුබද්දකර ආරම්භකල පෘතුගාලයේ නාවික විශ්ව විද්‍යාලය විසින් දැක්වූ ප්‍රධාන මතයන් අතර ඉන්දියාවට යෑමට අප්‍රිකාව වටා යාත්‍රාකිරීම මෙන්ම බටහිරට ඍජුව ගමන් කිරීම තුලද කල හැකියැයි යන මත දෙකම වස්කෝද ගාමාට එක ලෙස බලපෑ බව පෙනේ. ඔහු එම මාර්ග දෙකම පිලිබදව සලකා බැලූ බව ඉන් කියවේ. 

එහෙත්, බ්‍රසීලයට ආසන්නව මාස 4ක පමණ කාලයක් ගාමා ගමන්කලද, බටහිර දෙසින් විශාල මහාද්වීපයක්වන් ගොඩබිමක් ඇතිබව වටහාගත්තද, ඔහු සිය මුලික ඉලක්කය සපුරාගැනීම සදහා  බර්තලොමියෝස් දියෙස් ජයගත් දකුණු අප්‍රිකාවේ කේප් තුඩුව හෙවත් සුභපැතීමේ තුඩුවට පැමිණ  එතැන් සිට නැගෙනහිරට ගමන් කර ඉන්දියාවට යෑම තෝරාගෙන ඇත. එය එක් අතකින් ඔහුට පෙර දකුණු අප්‍රිකාවේ කේප් තුඩුවට යාත්‍රාකල විශිෂ්ඨ, ජේෂ්ඨ පෘතුගීසි නාවිකයෙකුවූ  බර්තලොමියෝස් දියෙස් පෙන්වාදුන් අත්ලාන්තික් සාගරය හරහා ඉන්දියන් සාගරයට ඇතුල්වීම නම් වූ ප්‍රවේශය සහ එම දැනුම තවත් ඉදිරියට ගෙන යාමකි. අනිත් අතින්, ඔහුට පෙර (1492දී) ඉන්දියාව බලා බටහිරට යාත්‍රාකළ ස්පාඤ්ඤ නැවියෙකුවූ ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඉන්දියාවට නොව මෙතෙක් හදුනානොගත් වෙනත් ගොඩබිමකට ලගාවී ඇති බව දැන සිටි නිසා  වස්කෝ ද ගාමා ඉන්දියාව සොයා බටහිරට යාත්‍රා කිරීම වෙනුවට  අප්‍රිකාව ඔස්සේ නැගෙනහිරට යෑම ඉතා විශ්වාස කටයුතු මාර්ගයක් යැයි සිතු බව පෙනේ.

කේප් තුඩුවට ලගාවෙන විටද සිය නැව් 04න් දෙකක් නැවත පිළිසකර කිරීමටත් 170වක් වූ සිය පිරිවරින්  තුනෙන් එකක් මියගොස්, තවත් තුනෙන් එකක් ශීතාද රෝගයෙන් ඔත්පලව සිට ඇත. ගාමා ගමන් කල කාලතුවක්‌කු 20ක් ගෙන ගිය ශා. ගේබ්රියල් ගැලියන්ස්‌ නෞකාව ද, ඔහුගේ සොහොයුරු පාවුලෝ ගාමා ගමන්කල  ශා. රෆායෙල් නෞකාවද එසේ පිළිසකර කිරීමට සිදුව තුබූ නෞකා අතර විය. ඉදිරියෙන් සහ පිටු පසින් ගමන් කල යුධායුද සහ සැපයුම් ද්‍රව්‍ය රැගෙන ගිය කුඩා නෞකා දෙක  නාවික හෙන්රි කුමාරයාගේ මග පෙන්වීම ඔස්සේ නිපදවූ  දුර ගමන්වලට ඔරොත්තු දෙන සැහැල්ලු සහ ශක්‌තිමත් නෞකාවිය. 

දකුණු අප්‍රිකාවේ කේප් තුඩුවට පැමිණි සිය ගමන සංකේතවත් කිරීම සදහා කුරුස සලකුණ රැගත් ස්ථම්භයක් සිටවූ වස්කෝ ද ගාමාගේ නැවියන් ඉන් අනතුරුව අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ ඔස්සේ වර්තමාන සන්සිබර් රාජ්‍යයට ද අනතුරුව වර්තමාන කෙන්යාවේ මලින්දී වරායටද ගොඩ බසින ලදී. එතැන් සිට එක එල්ලේ නැගෙනහිරට  ගමන්කල ගාමා ඇතුළු පිරිස ඉන්දියාවේ කැලිකට් වරායට සම්ප්‍රාප්තවිය. ඉන්දියාවේ කැලිකට් සුල්තාන්වරයා වස්කෝ ද ගාමා ඇතුළු පිරිස පිළිගත් අතර  "අපි ක්‍රිස්‌තියානින් සහ කුළුබඩු සොයාගෙන ආවෙමු" යැයි ගාමගේ ප්‍රසිද්ධ ප්‍රකාශය  කරනුයේ එම හමුවේදීය. 

ක්‍රිස්‌තියානින් සහ කුළුබඩු සොයාගෙන ආවෙමු යැයි කී වස්කෝ ද ගාමාගේ ප්‍රකාශය තුල එතෙක් හදුනාගෙන නොතිබූ බ්‍රසීල  වෙරළට ඉතා ආසන්නව ගමන්කල නමුත් ඒ දෙසට ඔහු ලගා නොවීමට හේතුවත්, ඉන්දියාවටම පමණක්ම යාත්‍රාකිරීමට වූ ඔහුගේ උවමනාවත් මැනවින් කියවේ. කුරුස යුද්ධයත් සමග මුස්ලිම්වරුන් අත්කරගත්  කුළුබඩු සැපයුම ඇතුළු පෙරදිග වෙළද සබදතාත්, එමගින් මුස්ලිම්වරුන් ඉපැයූ අධික ලාභයත්, එම ලාභය ඔස්සේ ජෙරුසලම ඇතුළු ක්‍රිස්තියානීන්ගේ ආගමීක වශයෙන් වැදගත් ස්ථාන අත්කරගැනීමට සහ දිගින් දිගටම රදවාගැනීමට ඔවුන් ගෙනගිය කුරුස යුද්ධයත් බිදදැමීට ගාමාට මෙන්ම පෘතුගාල රජටද අවශ්‍යවිය. කුරුස යුද්ධ සමයේදී යුරෝපයේ පාලකයන් මෙන්ම ප්‍රභූ පවුල්ද විවිධ ක්‍රිස්තියානි නිකායවල්වල අනුග්‍රහකයන් වුහ.  වස්කෝ ද ගාමා ගේ පියා පමණක් නොව මුත්තාද කුරුස යුද්ධයේ සටන්කල  'සල්වදොර්' නිකායේ අනුග්‍රහකයන්ය. ඔවුන් සියලු දෙනාටම ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකු වූ අපෝස්තුලු තෝමස් විසින් ආසියාව පුරාම පිහිටවූ ක්‍රිස්තියානි සංඝයවල් නැවත සොයාගෙන ඔවුන් සම්බන්දකර ගැනීමට අවශ්‍යවිය. ආසියාවේ සහ අප්‍රිකාවේ ක්‍රිස්තියානින් Prester John නම් නායකයෙකු යටතේ පාලනය වෙන බවත් එම සංඝයවල්  නෙස්ටෝරියන් (Nestorian) ක්‍රිස්තියානි  සංඝ ලෙස හැදින්වූ බවත් යුරෝපීන් දැන සිටියහ. ආසියාවේ සහ අප්‍රිකාවේ පිහිටි නෙස්ටෝරියන් (Nestorian) ක්‍රිස්තියානි  සංඝවලින් යුරෝපයට අවසාන වශයෙන් පණිවිඩයක් ලැබී ඇත්තේ කුරුස යුද්ධ සමයේදීය. එනම් ක්‍රි.ව. 1259 දීය. එම පණිවිඩය ඔස්සේ මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන්  සිය ආගම සහ අනුගාමිකයන් රැකගැනීම සදහා ආධාර ඉල්ලාසිටි බව කියවේ (මෙම පණිවිඩය රැගත් යැයි සදහන් සන්නස වතිකානු ලේඛනාගාරයේ තැම්පත්කර තිබේ). වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණෙන විට එහි  නෙස්ටෝරියන් (Nestorian) ක්‍රිස්තියානි  සංඝයවල් සිටියේ නැත. විසිවන වන සියවසේ සිදුකල පුරාවිද්‍යාත්මක ගවේ ඔස්සේ සොයාගත් සාක්ෂි රටවල් රාශියකින්ම ලැබෙන තෙක්ම අප්‍රිකාවේ මෙන්ම ආසියාවේද නෙස්ටෝරියන් (Nestorian) ක්‍රිස්තියානි සංඝයවල් හුදෙක් මන:කල්පිතයන් වීමට ඉඩ තිබුණි. ලංකාවේද, අනුරාධපුරයෙන් 5වන සියවසට අයත් නෙස්ටෝරියන් (Nestorian) කුරුසයක්ද, වව්නියාවෙන්  නෙස්ටෝරියන් (Nestorian) පල්ලි විසින් බෞතීස්මය සදහා භාවිතාකරන බෞතීස්ම ජල ස්ථම්භයක්ද (baptismal font) සොයාගෙන ඇත. 

කෙසේවුවද, වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණෙනවිට ඉන්දියාවේ පැවතියේ ඔහු මින් පෙර කිසිකලක අසා නොතිබු ආගමක්වූ  හින්දු ආගමය. ඔවුන් වෙළද සම්බන්දතා පැවැත්වුයේ මුසල්මානුවන් සමගය. වස්කෝ ද ගාමා සමග වෙළද ගිවිසුමක් අත්සන් කිරීමට ඉන්දියාවේ කැලිකට් සුල්තාන්වරයා ප්‍රතිෂේප කළේය. ගාමා කුළුබඩු සහ වෙනත් වෙළද ද්‍රව්‍ය කිහිපයක් රැගෙන ඉතිරිව සිටි නැවියන් 57 දෙනාද සමග නැවත ක්‍රි.ව. 1499 සැප්. 18 දින පෘතුගාලයට ආපසු පැමිණියහ. එහිදී ඔවුන්ව ජාතික වීරයන් ලෙස සලකා පිළිගන්නා ලදී. 

ඉන් වසරකට පසු ගාමාගේ උපදෙස් පරිදි  වයඹ දිග අප්‍රිකානු වෙරළේ සිට බටහිරට ගමන්කල පෙද්රෝ අල්වාරිස් කබ්රාල් (Pedro Álvares Cabral) ක්‍රි.ව. 1500 අප්‍රියල් 22 දින බ්‍රසීලයට ගොඩ බැස නැවතත් ඉන්දියාව බලා යාත්‍රා කළේය. පෙද්රෝ අල්වාරිස් කබ්රාල් (Pedro Álvares Cabral)  බ්‍රසීලයට ගොඩ බැසි ප්‍රථම යුරෝපියානුවා මෙන්ම, බ්‍රසීලය හරහා ඉන්දියාවට ගිය ප්‍රථමයාදවේ. පෘතුගාලයට අයත්ව තිබු විශාලම යටත්විජිතයවූ බ්‍රසීලය අත්කර ගැනීමේ පිඹුරැපත් සැකසෙනුයේ ඉන් අනතුරුවය. කෙසේවුද,  කබ්රාල්ගේ ගමනේ මුලික ගමනාන්තයවූ ඉන්දියාවට ඔහු පැමිණිවිට එහිසිටි මුස්ලිම් වෙළෙන්දන් සමග ඔවුන් ගැටුමක් ඇතිකරගත්තේය. එහිදී පෘතුගීසින් 70දෙනෙක් මියගියගොස් තිබේ.

පසුව, පෘතුගාලයේ එවකට පාලකයාවූ පළමුවන ජෝන් රජතුමාගේ ඉල්ලීම අනුව  ක්‍රි.ව. 1502දී 800ක පිරිසක් සමග නැව් 15කින්  නැවත ඉන්දියාව බලා ගමන්කිරීමට වස්කෝ ද ගාමාට  සිදුවිය. එහිදී ඔවුන්  ඉහත පෘතුගීසි ඝාතන සදහා පලිගැනීම් වශයෙන්  විශාල ජීවිතහානි රාශියක් සිදුකර තිබේ. ඒ අතර මක්කම වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටි බාල, මහලු, කාන්තාවන් ඇතුළු 700 රැගත් නෞකාවක් ගිල්වා දැමීමත්, සන්සිබර්, ඔර්මන්, ඒඩන් ආදී මුස්ලිම් වරායවල්වලට පහරදීමත් ඉන්දියාවේ නිරතදිග කැලිකට් සිට දකුණුට වන්නට පිහිටි සියලු මුස්ලිම් ව්‍යාපාර සහ කැලිකට් නගරයට කාලතුවක්කු ප්‍රහාර එල්ලකිරීමත් ඇතුලත්ය. ඒ ඔස්සේ ගාමා සිය දෙවන ගමනේදී ඉන්දියාවේ ප්‍රථම පෘතුගීසි පාලන අදිකාරිය පිහිටුවන ලදී. 

නැවත ක්‍රි.ව. 1503දී පෘතුගාලයේ ලිස්බන් නුවරට පැමිණි ගාමාට, ඉන්දියාවේ පෘතුගාල ප්‍රතිරාජ්‍යා ලෙස පත්වීයන ලෙස ජෝන් රජ  ඉල්ලා සිටියද ඔහු විවාහවී විවේක සුවයෙන් සිටීමට ප්‍රිය කල නිසා එම තනතුර ප්‍රැන්සිස්‌කෝ ද අල්මෙදාට දෙලදී. ප්‍රැන්සිස්‌කෝ ද අල්මෙදා යනු 1505දී ලංකාවට පැමිණි ලොරොන්සෝ ද අල්මේදාගේ  පියාය.  

රජගේ උපදේශකයෙක් මෙන්ම පෘතුගාල නාවික මෙහෙයුම් අධීක්ෂකයා ලෙස පෘතුගාලයේ වසර 20ක් නැවතී සිටි වස්කෝ ද ගාමාට නැවත ඉන්දියාවේ   ප්‍රතිරාජයා ලෙස පත්වී යන ලෙස එතෙක් පෘතුගාලයේ රජකම් කල පළමුවන ජෝන් රජගෙන් පසු බලයට පත්වූ පළමුවන මැනුවෙල් රජ ඉල්ලා සිටින ලදී. ඒ වන විට ඉන්දියාවේ  ප්‍රතිරාජ්‍යා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රැන්සිස්‌කෝ ද අල්මෙදා මෙන්ම ඔහුගේ පුත් ලොරොන්සෝ ද අල්මේදා ද ගැටුම්වලින් මියගොස් ඉන්දියාවේ පෘතුගිසි පාලනය අවුල්වී තිබුණි. මැනුවෙල් රජගේ ඉල්ලීම අනුව නැවත ඉන්දියාවට ගිය  වස්කෝ ද ගාමා ක්‍රි.ව.  1524 දෙසැම්බර් 24 දින නත්තල් සන්ධ්‍යාවේදී මැලේරියා රෝගයෙන් මිය ගියේය. 

ප්‍රථමයෙන් ඉන්දියාවේ කැලිකට් නුවර ශා. ප්‍රැන්සිස් දේවස්ථානයේ මිහිදන් කල ඔහුගේ දේහය ක්‍රි.ව. 1539දී  නැවත පෘතුගාලයේ ලිස්බන් නුවරට ගෙනවිත් පෘතුගීසි වීරවරයන් ගේ දේහ තැම්පත්කරන  Belém හී The Jerónimos Monastery  යේ තැම්පත්කරන ලදී. 

පසුගියදා පෘතුගාලයේ ලිස්බන් නුවරට ගිය මට එම ස්ථානය නැරබීමට අවස්ථාව ලැබුණි. එම ස්ථානය මට එකවරම සිහිකැදවුයේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර Antoni Gaudí විසින් ඉදිකිරීම් ආරම්භකල Sagrada Família දේවස්ථානයය. අන්තෝනියෝ ගෞදී පැහැදිලිවම පෘතුගාලයේ The Jerónimos Monastery යෙන් අභාෂය ලබා ඇත. Sagrada Família දේවස්ථානයේ අභ්‍යන්තරය සහ The Jerónimos Monastery ඇතුළත එකිනෙකට ඉතා සමානය. 

අප  කුඩා කාලයේදී දේශාටකයන් ගැන බොහෝ විස්තර කියවුයෙන් වස්කෝ ද ගාමා, ක්‍රිස්ටෝපර් කොලොම්බස්, බර්තොලොමිස් දියෙස්, ෆර්ඩිනන් මැගලන්, සර් ෆ්‍රැන්සිස් ඩෙරික් ආදීන් ගැන තවතවත් කියවීමටත්, නැරබීමටත් සහ තවත් කරුණු සොයා බැලීමටත් මම විශාල උනන්දුවකින් පසුවූවෙමි. ඔවුන්ගේ ඇතැම් චාරිකා මම පොත් කඩවලින් මිලට ගත් ලෝක සිතියම් පිටපත්වල ඇදීමට පවා ආශා කළේය. එහෙත් මෙවැනි දේශාටකයින්, දේශගවේශකයින් පිලිබදව සොයා බලා දැන කියා ගැනීමට අද ළමයින්ට එවැනි උනන්දුවක් ඇත්තේදැයි මම නොදනිමි. 



මාකස් ප්‍රියන්ත පෙරේරා
13/03/2018

9 comments:

  1. If possible pl add a photo of the gama's tomb. Thank you for informative article.

    ReplyDelete
    Replies
    1. Hello කට්ටකාඩුවේ ලොකු මල්ලි, I am really enjoying your articles, you're a brilliant writer. Here I added some photos of Gama's tomb.

      Delete
  2. ක්‍රිස්තියානි සංඝයවල් ???? what is it??

    ReplyDelete
    Replies
    1. කුඩා ක්‍රිස්තියානි කණ්ඩායම්.

      Delete
  3. Nice article with interesting facts. Thanks.

    ReplyDelete