This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 9 July 2017

රටේ මිනිස්සු කාන්සියට ගිය නගරය - මීගමුව

'කාන්සියට මීගමු යනවා..මාන්සියට ගොන් කුර ගෙවුනා' යනු 1970 දශකයේ ජනප්‍රියවූ, ගුවන්විදුලියෙන් නිතර ඇසුණු, නාලනී රණසිංහ ගායන ශිල්පිනිය විසින් ගයනා කල එක් ගීතයකි. නුතන FM ගුවන්විදුලි සේවා ශ්‍රාවකයන්ගේ 'කර්ණ රසායන රසය' දියකර හැරීමට පෙර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ විවිධ සේවාවලින් නිතර ඇසුණු මෙම ගීතය සොයාගැනීමට මම වෙර දැරීමි. එහෙත් එය අන්තර් ජාලයේ හෝ YouTube යේ නොවිණි. ඒ වෙනුවට ඇය (නාලනී රණසිංහ) ගායනා කරන, මර්සිලේන් ජයකොඩි පියතුමා' ලියූ, මින්නේරිය වැව සහ ඒ හා මුසුවුණු ජාතික අනන්‍යතාවය ගැන කියවෙන,  'කහවන් ගොයමට රන්දිය වැහලා' ගීතය නම් පහසුවෙන් සොයාගත හැකිවිණි.  

අප මෙතෙක් කියමින් සිටින කථාව එයින්ම කිය නොවේදැයි මට සිතුනි! එනම් ජාතික අනන්‍යතාවය ගැන කියවෙන නාලනී රණසිංහගේ 'කහවන් ගොයමට රන්දිය වැහලා' ගීතය ඉතිරිවී තිබියදී රටේ ජනයා ගොන්කුර ගෙවාගෙන කාන්සියට ගිය මීගමුව ගැන සදහන් කල ගීතය 'අන්දර්දහන්' වී ඇත. 'ජාතික අනන්‍යතාවයන් ගොඩනැගුනේ ප්‍රාදේශීය අනන්‍යතාවයන් යටපත් කරගෙන'යැයි Will Kymlica (1991/1995/2001) දක්වන අදහස්ද, 'ජාතික-රාජ්‍ය ගොඩනැගෙනුයේ ප්‍රධාන අනන්‍යතාවයක් කේන්ද්‍ර කරගෙන බවත්, ප්‍රාදේශීය අනන්‍යතාවයන් එහිදී අභිබවායෑම අනිවාර්යෙන්ම සිදුවෙන්නේ යැයි' Charles Tilly (1992) දක්වන අදහසද, එහෙත් 'වාර්ගිකත්වයකට, ජාතියකට, ප්‍රදේශයකට පමණක් නොව පුද්ගලයෙකුට පවා හිමි අනන්‍යතාවයන් රාජ්‍යකට හෝ වෙනත් කිසිදු අධිකාරී බලයකට යටපත් කල නොහැකි යැයි'  Walker Connor (1991) දක්වන අදහසද මෙහිදී නිතැතින්ම සිහියට නැගේ. 

මාගේ විශ්වාසය වනුයේ විවිධ අනන්‍යතාවයන් කිසිදු බලඅධිකාරීත්වයක් මගින් යටපත් නොකළ යුතුය යන්නය; රාජ්‍ය එවැනි විවිධ අනන්‍යතාවයන් රැකගැනීමට, ප්‍රවර්ධනයට සහ වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය සහය සහ අවකාශය සැකසීය යුතුය. ඒවිට විවිධත්වයත්, සුන්දරත්වයත්, සහෝදරත්වය සහ සතුටත් රාජ්‍ය තුලත්, පුද්ගලයා තුලත් සුරැකිව පවතිණු ඇති බව මගේ අදහසය.

අවංකවම, මීගමුවටම උරුමවූ අනන්‍යතාවයක් තිබේ. එය පෘතුගීසි යුගයට පෙරත්, පසුවත් පැවතුනකි. පෘතුගීසි යුගයට පෙර තිබී ඇති මීගමුවේ අනන්‍යතාවය 'හින්දු සහ දකුණු ඉන්දියානු සංස්කෘතිය' පදනම් කරගෙන තිබුනි නම්, පෘතුගීසි යුගයෙන් පසු එය 'ක්‍රිස්තියානි සහ බටහිර සංස්කෘතිය'  පදනම් කරගැනුනි. ලන්දේසි, ඉංග්‍රීසි සහ නිදහසින් පසු 70 වසරක කාලයක් පසුකල පසු අද එය පෙර-අපරදිග, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු, බෞද්ධ ආදී සියලූ  සංස්කෘතික පදනම් සම්මිශ්‍රණය කරගනිමින් වඩාත් ප්‍රබෝධමත්ව විකාශනය වී ඇත. 

ශ්‍රී ලංකාවට සිංහල සිනමාවක් හදුන්වාදුන් මීගමුවේ 'මිනර්වා' නාට්‍ය කණ්ඩායමද, ලංකාවට නාට්‍ය කලාවක් ප්‍රවර්ධනය කිරීමෙහිලා දායකවූ මීගමු දූවේ පාස්කු සංදර්ශනය සහ නිතැතින්ම බිහිවූ ගායක-ගායිකාවන්, සංගීත කණ්ඩායම් හා සංගීතය මීගමුවේ ප්‍රාරම්භක සංස්කෘතික ප්‍රකාශකයන්විය. එහෙත් මීගමුවේ සංගීතය සහ රංගකලාව ප්‍රදර්ශනයකල   සංස්කෘතික අනන්‍යතාවය පල්ලිය සමග මුසුවූවක්යැයි යන්න ඉවත දැමිය නොහැක. පුංචි රෝමය නම් වූ මීගමුව නගර සීමාව තුල පමණක් ලොකු-කුඩා පල්ලි සහ මණ්ඩප 57ක් පමණවීම මීගමුවට ඉහත නම ගෙනදී තිබුනි. පල්ලියේ බලපෑම මීගමුවේ බොහෝ සංස්කෘතික දහරාවල පමණක් නොව පරිභෝජන රටාවේ පවා දැකිය හැක්කකි.  අවුරුද්දේ බොහෝ මාස වල සෑම සති අන්තයකම පාහේ දැකිය හැකි පල්ලියේ මංගල්‍ල, එම නිසාම වූ විදී සැරසිලි, තොරන්, විදි පෙරහැර, කඩපිල්-සැණකෙළි සහ මංගල්ලය නිමිත්තෙන් යෙදෙන සතිඅන්ත රාත්‍රී සංගීත සංදර්ශන පමණක් නොව නත්තල සහ පාස්කුව කේන්ද්‍රකරගෙන දියත්වෙන විවිධ සංස්කෘතික ක්‍රියා කාරකම් මීගමුවේ සංස්කෘතික අනන්‍යතාවය සම්බන්දයෙන් පල්ලියේ දායකත්වය කෙතෙක් දැයි යන්න හොදින් නිරූපණයවේ (මීගමුවේ පාස්කුව සහ නත්තල ගැන මම වෙනම ලිපි පලකර ඇති බැවින් ඒ සම්බන්දයෙන් මෙහි සටහන් නොකරමි). 
පල්ලිය පමණක් නොව මීගමුවේ ප්‍රධාන කර්මාන්තය වන ධීවර කර්මාන්තයද මීගමුවේ අනන්‍යතාවය ගොඩ නැගීමට මහත් දායකත්වයක් ලබාදී ඇත. එක් අතකින් මීගමුවටම උරුම  'අතුකොටු' නම් ධීවර කර්මාන්තයක් තිබේ. අනෙක් අතට ධීවර ආම්පන්න, රුවල් ඔරු, ඔවුනටම උරුම වූ සංස්කෘතියක්, ජීවන රටාවක්, කලා ශිල්ප සහ ඉතිහාසයක්ද තිබේ. ජාඩි, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, මාළුන් සහ කරෝල වලටද මීගමුව ඒක සේ ප්‍රසිද්ධ බව නොරහසකි.
මීගමු ධීවරයාත්, ඔවුන් භාවිතාකරන මීගමුවටම  අනන්‍යවූ රුවල් යාත්‍රාත් ගැන බොහෝ ඡයාරූප පමණක් නොව වාර්තා වැඩසටහන් පවා නිෂ්පාදනය කර ඇති බව මා මීට පෙර ලියා ඇත. මීගමු ධීවරයා හෙවත් Fishermans of Negombo එයට එක් උදාහරණයක් පමණි. ඇත්තවශයෙන්ම,  මීගමුවේ ධීවර කර්මාන්තය මීගමුව තුල කෙතෙක් මුල්බැසගෙන තිබුණාදයත් මීගමුවේ පහන් කණු සහ බොහෝ නගර සැරසිලිවල අංගයක් ලෙසද මාළුවන්, ඉස්සන් සහ කකුළුවන් යොදාගැනීම සිදුකර තිබුණි. 



අද මෙම බොහෝ නගර අලංකාර ලකුණු අතුරුදහන්වෙමින් යයි. කලකට පෙර මීගමුව කාමච්චෝඩේ වෙරල මෙවැනි පහන් කණුවලින් අලංකාරවූ, රාත්‍රී කාලයේ පවා ජනයා ඇදී ආ සුන්දර වෙරළ තීරයක් විනි. එහෙත් අද එය කරෝල මුදලාලිලා කිහිපදෙනකු විසින් අත් කරගෙන මීගමුවේ සුන්දර වෙරළත්, ඒ අවට පරිසරයත් සහමුලින්ම විනාශ කරමින් ඇත. ඉංග්‍රීසි ජාතිකයන් මීගමුව කොටුව පසුබිම් කරගෙන ඉදිකළ බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහරැජින පවා පැමිණි, කලක් මීගමුවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ සලකුණු ලෙස සැලකු මීගමුව නව තානායමද එම නිසාම විනාශ වී ගොස් තිබේ. මේ සියල්ල නැවත නගා සිටවීමට නම් මීගමුව කොටුව නැවත ප්‍රතිසංස්කාරණය කල යුතුමය.

මීගමුවේ නගර සලකුණ වන මීගමුව කොටුව සහ එහි වික්ටෝරියානූ ඔරලෝසු කනුව කඩාවැටුනහොත් මීගමුව නගරයේ හදවත කඩා වැටුනා සේ නොසිතේද? යාපනය  පුස්තකාලය ගිනිතැබූ විට එම නගර වැසියන්ට දැනුන හැගීමට සමාන හැගීමක් මීගමුව කොටුවේ පිවිසුම් දොරටුව සහ එහි වික්ටෝරියානූ ඔරලෝසු කනුව කඩා වැටුන විට මීගමුව නගර වැසියන්ට දැනෙන බව අමුතුවෙන් කිවයුතු නැත. 

මීගමුව ප්‍රවාහන ක්‍රමයේ සලකුණු වූ ඩබල් ඩෙකර් බස් රථ පමණක් නොව ගොන් කරත්ත, ලාම්පු තෙල් කරත්ත සහ මීගමුව ඇලේ ගමන්කල පාරු පවා  මීගමුව අනන්‍යතාවයේ ලක්ෂණ විය. ලංකාවේ කරත්ත අතර මීගමුව කරත්තය යනුවෙන් වෙනමම කරත්තයක් තිබුණ අතර එය මීගමුවේ පැරණි ප්‍රවාහන සේවයේ ලක්ෂණයක් මෙන්ම ලංකාවේ කරත්ත ඉතිහාසයේ ද කොටසකි. අදටත් මීගමු කරත්තයක් මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේ තිබේ. මෙම ලිපියේ මුල්ම ඡයාරූපයේ දක්වා ඇත්තේ ඉන් එකකි. පසුව පැමිණි ඩබල් ඩෙකර් බස් රථ මීගමුවේ ප්‍රවාහන සේවයට තවත් සලකුණක් එක් කල අතර අද එම බස් රථ මීගමුව ඩිපෝවේ කොට උඩ  නවතා තිබෙණු දැකීමද කණගාටුවට කරුණකි. 



දැවැත්ත නුගගස්, මාරගස්, පොල්ගස් වලින් අලංකාරව පැවැති මීගමුවේ ගස් කෝලන් කැපීම ගැන කිසිදු වගවිභාගයක් නොවීම නිසාම එහි උෂ්ණත්වය ඉහල ගොස් මුහුද සහ කලපුව ඔස්සේ හමා ආ සුළග මගින් ගෙන ආ සිසිලස පවා අහිමවී ගොසිනි. 

කාමච්චෝඩේ ඉතිරිව පැවති විශාල නුගගස වටකොට දැන් දේවලයක් ඉදිකර ඇති අතර ඒ සදහා අවසර ලැබුනේ කෙසේදැයි මීගමුවේ දේශපාලන අධිකාරීත්වයෙන් සහ මීගමු මහ නගර සභාවෙන් ප්‍රශ්න කල යුතුය. 
මුහුදු සුළගේ සිසිලසත්, උණුසුමත් එකවිට හමා ඒමට ඉඩ ප්‍රස්ථා ඇති කරමින් පෘතුගීසින්, ලන්දේසින් සහ ඉංග්‍රීසින් ඉදිකළ ගෘහ නිර්මාශිල්පය අද මීගමුවෙන් අතුරුදහන් වෙමින් යන අතර ඉතිරිවී ඇති ගොඩනැගිලිද විනාශවීමට ඉඩ හැර තිබේ.  

කලකලට පෙර රටපුරාම ජනයා කාන්සියට  පැමිණි ජීවිතය ජීවත් කරවූ, ජීවිතය වින්දනය හැකිවූ සුන්දර නගරයක්වූ සුන්දර මීගමුව දැන් ක්‍රමයෙන් ජරාවාස වෙමින් තිබේ. 

දැන් වර්ධනයවෙමින් ඇති ප්‍රවණතාවන් අනුව කිසිවෙක් කාන්සියට නොව මහන්සියට විඩානිවා ගැනීමටවත් මීගමුවට ගොඩවේදෝයි යැයි සැකයක් ඇතිවේ.

එහින් අද අපට අවශ්‍ය කරනුයේ මීගමුවේ මෙම සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂාකර,  වර්ධනයකර  නගරේ ඇති සාමය, සහජීවනය, සතුට සහ උද්යෝගය වර්ධනය කරන  දේශපාලනයකි. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
09/07/2017. 

3 comments:

  1. රසබර විස්තරයක් බොහෝම ආසාවෙන් කියෙව්වා, ස්තුතියි.
    නාලනී රණසිංහ ශිල්පිනියගේ ගීතය //හද ගී පොත// බ්ලොග් එක කරන තිස්ස දොඩංගොඩ මහතාගෙන විමසා බලමු.

    ReplyDelete
  2. ස්තූතියි, වෙනත් ගායිකාවක් ඔය සිංදුව කියනවා හොයාගන්න පුළුවන් උනා එහෙත් මම සාකච්ඡා කරන්නේ මෙම ගීතයට එහා ගිය කථාවක් !!!https://soundcloud.com/piyasiri-gunasinghe/kansiyata-meegamu-yanawa

    ReplyDelete
  3. කාන්සියට මීගමු යනවා
    මාන්සියට ගොන් කුර ගෙවුනා //
    ආගමනක් නැත ආපු කෙනෙක් නැත
    කේලම් දෙඩුවා බැනුම් ද ඇහුවා //
    කාන්සියට මීගමු යනවා
    මාන්සියට ගොන් කුර ගෙවුනා
    පාලු ගෙයක දොර බින්දා - ගේ හිමියා ඇස බැන්දා (?)
    දිරූ වහල සිදුරු තුළින් විදුලිය - ගෙතුළට ආවා //
    ගෙයි කිසිවකු නැත - එතැන ද කෙළවර //
    කාන්සියට මීගමු යනවා
    මාන්සියට ගොන් කුර ගෙවුනා //
    මන්දාරම් වැහි කුණාටු - කන්ද කපා මතු වෙනවා
    නින්දගමක් තෑගි දෙන්න - මෙගොඩින් එතෙරට යනවා //
    එහි කිසිවකු නැත - එතැනද කෙළවර //
    කාන්සියට මීගමු යනවා
    මාන්සියට ගොන් කුර ගෙවුනා //
    ආගමනක් නැත ආපු කෙනෙක් නැත
    කේලම් දෙඩුවා බැනුම් ද ඇහුවා //
    කාන්සියට මීගමු යනවා
    මාන්සියට ගොන් කුර ගෙවුනා

    පද රචනය: රත්නසේන ඩයස්
    තනුව සහ සංගීතය: සරත් බාලසූරිය
    ගායනය: නාලිනී රණසිංහ
    https://www.youtube.com/watch?v=p-N2K3yvx-o&feature=youtu.be

    ReplyDelete