This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 9 September 2015

මීගමුවට ප්‍රථමවරට දුම්රිය පැමිණි දා !!!!


ඉහතින් දක්වනුයේ 1909 දෙසැම්බර් මස 01 වෙනි බදාදා දින මීගමුව දුම්රිය ස්ථානය ප්‍රථමවරට විවෘත කල දිනයේදී ගනු ලැබූ ඡයාරූයකි. ඉන් පසු වර්ෂයේ, එනම් 1910 වර්ෂයේම, බ්‍රිතාන්‍යයේ Cassell and company limited ආයතනය මුද්‍රණය කර ඇති Henry William Cave ගේ “The Ceylon Government Railway” කෘතියේ 232 පිටුවේ පල කල මේ ඡයාරූපය සහ තවත් ඡයාරූප කිහිපයක් බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයට අදාල තොරතුරු රැස්කර ඇති ලේඛනාගාරවල තවමත් සුරක්ෂිතව තිබේ. 

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය යටතේ ලංකාවේ ප්‍රවාහන සේවයට දුම්රිය එක්වීමත් සමග මීගමුවට ද දුම්රිය මාර්ගයක් අවශ්‍ය බව මුලින්ම ප්‍රකාශකර ඇත්තේ 'පහත රට වැවිලිකරුවන්ගේ සංගමය' විසිනි. ඒ 1880 අගභාගයේ දීය.  මීගමුවේ පදිංචිව සිටි පැරණි ව්‍යාපාරික පවුලක් වූ  'ද කෘස් (de Croos) පවුලේ සහෝදරයින් 'පහත රට වැවිලිකරුවන්ගේ' සංගමයේ ප්‍රබල ක්‍රියාකරුවන් වූ විට මීගමුවට දුම්රිය මාර්ගයක් දිනාගැනීමට ඉතා උනන්දුවෙන් කටයුතු කර තිබේ. 

එයින් ඔවුන්ට ඔවුන්ගේ පොල්, කොප්පරා සහ කුරුදු කොලඹට ප්‍රවාහනය කිරීමේ වාසිය සැලසෙනවා මෙන්ම බස්නාහිර පළාතේ කොලඹට පසු පැවති විශාලතම නගරය වූ මීගමුවට තවදුරටත් අංග සම්පුර්ණ නගරයක් ලෙස දියුණුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙන ලදී. 
මේවන විටත් කොලඹ-නුවර දුම්රිය මාර්ගය යටතේ  1864 දෙසැම්බර් 27 වන දින බ්‍රිතාන්‍යයන් විසින් හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය නමින් වර්තමාන  ගම්පහ දුම්රිය ස්ථානය පිහිටා ඇති (ඒ වනවිටත් ගම්පහ නගරයක් ලෙස වර්ධනය වී නොතිබිණි) ස්ථානයට නොදුරින්ද, රාගම හන්දියේද දුම්රිය ස්ථාන ගොඩනගා තිබුනද බ්‍රිතාන්‍යයට එම දුම්රිය ස්ථානවලින් සැලකියයුතු අදායමක් නොලැබේන ලදී. 

එහෙත් 'පහත රට වැවිලිකරුවන්ගේ' සංගමයේ ඉල්ලීම් මල්පල ගන්වමින් 1907 ජුලි මස 03වන දින හෙන්රි ආතර් බ්ලේක් (Sir Henry Arthur Blake) ආණ්ඩුකාරයා විසින් මීගමුව දුම්රිය මාර්ගයට මුල්ගල තබන ලදී. ඉන් වසර 02කට පසු, එනම් 1909 දෙසැම්බර් මස 01 දින, මීගමුව දුම්රිය ස්ථානය විවෘත කලවිට එතෙක් මීගමුවේ සිට කරත්ත සහ පාරු මගින් කොළඹට ගෙන ගිය පොල්, කොප්පරා, කුරුදු සහ කරවල මීගමුවේ සිට දුම්රිය මගින් කොළඹට ගෙනයාම අරබන ලදී. රාගමින් ප්‍රධාන දුම්රිය මාර්ගයට එක්කල මීගමුව-කොළඹ දුම්රිය මාර්ගයේ කදාන, ජා-ඇළ, සීදුව සහ කටුනායක යන ප්‍රදේශවලද දුම්රිය ස්ථාන පිහිටුවා තිබු අතර එම ප්‍රදේශවල ප්‍රාදේශීය නිෂ්පාදන ද  මෙම මාර්ගය ඔස්සේ කොළඹට ප්‍රවාහනය කල බව Henry William Cave ගේ “The Ceylon Government Railway” කෘතියේ 231 පිටුවේ සදහන් වේ. 
තවද මීගමුව ගැන පිටු දෙකක වර්ණාවක් කරන  Henry William Cave දක්වනුයේ මීගමුව යනු මල්, පලතුරු වලින් පිරි, හරිත වර්ණ, පිරිසිදු චිත්‍රසදෘශ්‍ය, නැතහොත් චිත්‍රාකාර, දර්ශනීය නගරයක් වන බවයි (Negombo is one of the most  picturesque towns in Ceylon). දිස්ත්‍රික්කයක් ලෙස මීගමුව කෙතරම් සශ්‍රීකද, කෙතරම් හොදින් පාලනය වන්නේ දැයි Henry William Cave ඉදිරිපත් කරන විස්තරය සහ අද මීගමුව නගරය මුහුණපා ඇති ඉරණම ලෙස බැලූවිට ඉතාමත් කනගාටුවක් සිතට දැනේ. 
විසිවන සියවසේ මුල්කාලයේදී මීගමුව නගරයේ සිදුවූ සීග්‍ර වානිජ්‍ය සහ වෙළද ව්‍යාපාරවල වර්ධනයට මීගමුව දුම්රිය මාර්ගය මහත් ආශිර්වාදයක් වූ අතර එය 1926 දී පුත්තලම දක්වා දීර්ඝකරන ලදී. මුලින්ම ඉදිකළ මීගමුව දුම්රිය ස්ථානය 1970 දශකයේදී තවදුරටත් විශාලකර එය වේදිකාවන් 03ක් සහ ගුවන්පාලමක් සහිත දුම්රිය ස්ථානයක් බවට පත්කරන ලදී. 

එකසිය පස්වසරක් (105) සපුරා ඇති මීගමුව දුම්රිය ස්ථානයට සිදුකල එකම නවීකරණ ක්‍රියාවලිය එය වූ අතර අදටත් දිනකට 8,000 කට වඩා භාවිතාකරන මීගමුව දුම්රිය ස්ථානය නුතන යුගයට ගැළපෙන ලෙස නැවත නවීකරණය කිරීමට දැන් කාලය පැමිණ තිබේ.

මාකස් ප්‍රියන්ත පෙරේරා
09/09/2015.

6 comments:

  1. දුම්රිය ස්ථානය නවීකරණය කරනවාට වඩා කරන්න තියෙන්නෙ ඔය පාරට වැඩිපුර කෝච්චි ටිකක් දාන එක. අඩුම තරමේ නිතරම පාහේ රාගමටවත් මිනිසුන්ව ගෙනියන්න පුළුවන් නම් කොළඹට යන මීගමුව අවට ජනතාව කෝච්චිය තෝරාගනීවි.

    ReplyDelete
  2. හරියටම හරි, හොද අදහසක්. ක්‍රියාත්මක කරනවානම් ගොඩාක්දෙනෙකුට ප්‍රයෝජනවත් වෙවී.

    ReplyDelete
  3. දුම්රියත් ඒක්ක ටිකක් වැඩිපුර සම්බන්ධ වෙන නිසා රූප ටිකනම් අල්ලලා ගියා.... හැම දුම්රිය ස්ථානයකම පාහේ ඔය පරණ දුම්රිය ස්ථානය තාම තියෙනවා.... ලොකු ඉතිහාසයක් තියෙන අංශයක්... දියුණුව තමා මදි...

    ReplyDelete
    Replies
    1. එකෙත් වැඩේ කියන්නේ, යුරෝපීන් කොච්චි හැදුවේ වැඩි මගීන් පිරිසක් අඩු කාලයකින් ප්‍රවාහනය කරන්න. එත් අපේ රටේ වෙන්නේ වැඩිකාලයකින් අඩු පිරිසක් අරන් යන එක්කයි.

      Delete
  4. පුත්තලම දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් හදාගත්තොත්, සංචාරක ව්‍යාපාරයද සාමාන්‍ය මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය අතින්ද, විශාල දියුණුවක් ලබාගත හැකියි.

    ලංකාවේ ඓතිහාසික ඡායාරූප අතිවිශාල සංඛ්‍යාවක්, දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. නමුත්, ඒවා මහජනතාවට දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඉස්සර සමහර දුම්රිය ස්ථානවල තිබුණ එවැනි ඡායාරූපත්, දැන් ඉවත් කරලා. මේවා සංරක්ෂණය කර, විශාල ප්‍රමාණයේ ඩිජිටල් මුද්‍රණ ලෙස, දුම්රිය ස්ථානවල ප්‍රදර්ශනය කිරීමේ අගය ඔවුන් දන්නේ නැහැ.

    ReplyDelete
  5. ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රදර්ශනයක් තියලා හරි මේවා ප්‍රදර්ශනයකරනවා නම් නියමයි !!!

    ReplyDelete