This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Saturday, 19 July 2025

මීගමුව කොටුව අවට කලාපය සුද්ද කළ පමණින් එහි ඓතිහාසික උරුමය රැකේද?


මීගමුව බලකොටුව හා කොටුව පල්ලිය (St. Stephen's Anglican Church, Negombo) අවට කලාපය එළිපෙහෙළි කර ඇති බව වාර්තා වේ. කැලෑව වැවී, වල් බිහිවී තිබූ මෙම කොටස සුද්ද පවිත්‍ර කර නැවත මහජයාට දැක බලාගත හැකි ස්ථානයක් බවට පත් කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත විය යුතුය.

 මීගමුවේ පෘතුගීසි - ලංදේසි බලකොටුව නැරබීමට මීගමුවට පැමිණෙන සංචාරකයින්ට පමණක් නොව, මීගමුවේ බලකොටුවක් ඇත්තේ කොහේදැයි විමසන ශ්‍රී ලාංකිකයන්ට ද මීගමුව කොටුවේ ඉතිරිවී ඇති කොටස් මෙසේ හෝ දැකබලා ගැනීමට මෙලෙස හෝ  අවස්ථාවක් හිමිවේ නම් එය ද වටින්නේය. මීගමුවේ පෘතුගීසි - ලන්දේසි කොටුව යනු මීගමුවේ ඓතිහාසික සංස්කෘතික උරුමයකි. 

එහෙත් මීගමුව කොටුව අවට කලාපය මෙසේ සුද්ද කළ පමණින් එකී ඓතිහාසික සංස්කෘතික  උරුමය රැකෙන්නේ හෝ එහි වටිනාකම නැවැත  මතු පරපුර වෙත රැගෙන යන්නේ හෝ නැත. 

එය කළ හැක්කේ මීගමුව කොටුව මීගමු ජනයාගේ ජන ජීවිතයේ කොටස් බවට පත්වුවහොත් පමණි. එහිලා දිගින් දිගටම මෙම  ස්ථානය පිරිසිදුවට, පිලිවෙලට හා ආකර්ෂණීයව පවත්වාගෙන යෑමේ ක්‍රමයක් අත්‍යවශ්‍යය.

 එපමණක් නොව මීගමුව කොටුවේ වටිනාකම මීගමු ජනයා අතර තහවුරුවීමට නම්  මීගමුව පෘතුගීසි - ලන්දේසි කොටුව අවට කලාපය මීගමු ජනයාගේ සංස්කෘතික අනන්‍යතාවයේ කේන්ද්‍රයක්  බවට පත්විය යුතුය. 

එහිලා මීගමුව කොටුව අවට කලාපය මීගමු ජනයාට විවේකියව ගත කළ හැකි ප්‍රදේශයක් බවට  පත්විය යුතුය. 1950 - 80 කාලවල ම්ගමුව කොටුව අවට කලාපය කොළඹ ගෝල්ෆේස් පිටිය මෙන් වූ බව එම යුගයේ තරුණ්‍යය ගත කළ මීගමුවේ හැදී වැඩුන ඔබේ දෙමාපියන්ගේ විමසා බලන්න. එකී සුන්දරත්වය මීගමුවට නැවැත ගෙනා යුතුය. 

එහිලා මීගමුව කොටුව, කොටුව පිටිය හා ඒ අසල ඇති වෙරළ තීරුව ඉතා හොද තෝතැන්නකි. දැන් එලිපෙහෙළි කර ඇති මීගමුව කොටුව ඉදිරි පිට බිම් තීරුව එලිමහන් සංස්කෘතික ප්‍රසංගයට කදිම පසුබිමක් ඇති ස්ථානයක් බවට පත්කරගැනීමට, නත්තල් සමයේදී අලංකාර නත්තල් ගසක් ඇති ස්ථානයක් බවට පත් කර ගැනීමට, වෙසක් සමයේදී අලංකාර වෙසක් කූඩුවක් ඇති ස්ථානයක් බවට පත් කර ගැනීමට අදාල බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය!!

 ඒ සමග කාලාන්තරයකට පසුව හෙලිපෙහෙලි කර ගත් මෙම බිම මීගමුව සංස්කෘතික අනන්‍යතාවයේ කොටසක් බවට පත්වීම නතර කිරීමට ගන්නා උත්සාහයන් පරාජය කිරීමට ද මීගමුවේ ජනයා සැහැදී පැහැදී සිටිය යුතුය.

 දැනටමත් මෙම භූමිය මීගමුව  මහනගර සභාවට හෝ නාගරික මංත්‍රීවරයෙකුට හෝ ඔවුන්ගේ හෙංචයියන්ට හෝ මුදල් උපයාගත හැකි රථ ගාලක් හෝ වෙනත් කටයුත්තක් සදහා කුලියට දීමට හෝ දත නියවන්නන් ද පෙරට පැමිණ ඇති බව ද  කියවේ.  

එවැනි නහීන උත්සාහයන් පරාජය කරමු!! 

මීගමුව කොටුව අවට කළාපය මීගමුවේ සංස්කෘතික අනන්‍යතාවයේ කේන්ද්‍රස්ථානය බවට  පත් කරගැනීමට හැකි උපරිමයෙන්ම කටයුතු කරමු!! 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
16/07/25

Wednesday, 9 July 2025

කාදිනල්ගේ ජුබිලි සැමරුමේදී ජනාධිපති කළ කතාවේ හරය කුමක්ද?


කොළඹ අගරදගුරු ගරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ පූජක දිවියේ 50 වන ජුබිලි සැමරුමට පැමිණි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දෙස අවධානය යොමුකරමු.

අනුර කුමාර දිසානායක මහතා දැක්වුයේ:

 "කාදිනල් උන් වහන්සේ අද වන විට කැකෑ­රෙන වේද­නා­වක සිටින බව අප දන්නවා. වින්දි­ත­යන්ට ඉටු විය යුතු සාධා­ර­ණය පිළි­බඳ උන් වහන්සේ නිර­න්ත­ර­යෙන් කතා කර­නවා. උන් වහන්සේ අප වෙත එම වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කිරීම සඳහා නිර­න්ත­ර­යෙන් කති­කා­වත් කර­නවා. ඒ පිළි­බඳ කාලයේ වැලි­තලා වෙන් යට නොවී සාධා­ර­ණ­යක් ඉටු කිරී­මට කට­යුතු කරන බව උන් වහ­න්සේට මා සහ­තික වෙනවා. එය අභි­යෝ­ගා­ත්මක වෙන්න පුළු­වන්. රජය රජ­යෙන් පරි­බා­හි­ර­වත්, රජය රජය පිළි­බඳ­වත් විම­ර්ශ­නය මේ සඳහා යොමු කර තිබෙ­නවා. අද රජය විසින් රජය ඇතු­ළා­න්තය පිළි­බඳ විම­ර්ශ­න­යක් සිදු කර­නවා. උන් වහන්සේ මේ පිළි­බ­ඳව දරන ප්‍රය­ත්නය පිළි­බඳ අප අග­ය­නවා.'' ය යනුවෙනි

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ඉතා හොදින් අධ්‍යයනය කරන්නෙකුට පෙනී යන කරුණු කිහිපයක් පිලිබදව ඔබේ අවදානය පහතින් යොමු කිරීමට කැමැත්තෙමි. 

(1) එකක් නම්, ජනාධිපතිවරයා කාදිනල්තුමාගේ වේදනාව සෘජුව පිළිගෙන, ඔහුගේ මනෝභාවයන්ට ගරු කරමින්, කාදිනල්තුමා සහ ලාංකික කිතුනු ප්‍රජාවගේ චිරන්තන වේදනාව ආමාන්ත්‍රණය කිරීමට හා ආවරණය කිරීමට ඉදිරිපත් වන බවට සහතික වීමය. 

(2) දෙවැන්න නම්,  වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය දිනාගැනීම පිළිබඳව කාදිනල්තුමා අඛණ්ඩ කැපවීමක හා උද්යෝගයකින් පසුවන්නේ යැයි ජනාධිපතිවරයා සෘජුව පිළිගන්නා බවක් හා එය ආගමික නායකයකුගේ සමාජ වගකීම පිළිබඳව පරමාදර්ශයක් ලෙස කාදිනල්තුමාගේ   ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රජයේ (රාජ්‍යයේ) සැලකිල්ල හා අවධානය යොමුවී ඇති බවක් පෙන්වයි.

(3) තෙවැන්න නම්, රාජ්‍යය රාජ්‍යය පිලිබදව  විමර්ශනයක් සිදුකරන බව ජනාධිපතිවරයා සිදුකරන විවෘත ප්‍රකාශයයි. "රජය රජය පිළි­බඳ­වත් විම­ර්ශ­නය මේ සඳහා යොමු කර තිබෙ­නවා. අද රජය විසින් රජය ඇතු­ළා­න්තය පිළි­බඳ විම­ර්ශ­න­යක් සිදු කර­නවා."  යැයි දක්වා තිබීම තුල මෙන්ම, එම ප්‍රකාශය තුල "අද රජය විසින් රජය පිළිබඳව විමර්ශනයක් සිදු කරයි" යන වාක්‍යය ඉතා විශාල වැදගත්කමක් ඇති ප්‍රකාශයක් ලෙස සැලකිය හැක.  එම ප්‍රකාශය තුල  
 රජ්‍ය්‍යයේ ක්‍රියාකාරිත්වය, රාජ්‍යය ආයතන, ආරක්ෂක ආයතන සහ රාජ්‍ය ක්‍රමය පිළිබඳ විවෘතව කතා කිරීමේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නැබුරුව තවදුරටත් දේශපාලනික සහ සමාජ සාහිත්‍ය අතර සබඳතාවයක් ඇති ප්‍රවනතාවයක් ලෙස යාවත්කාලීන කරයි. 

(4) හතරවැන්න නම්, එවැනි ප්‍රවනතාවයක් තුල දිසාගතවීමේ අභියෝගයන් පිළිබඳව ජනාධිපතිවරයා අවධාරණය කිරීමය.
“එය අභියෝගාත්මක විය හැකිය” යැයි යනුවෙන්  ජනාධිපතිවරයා දැක්වීම තුල මෙම විමර්ශන හා සාධාරණත්වය ලබාදීමේ කටයුතු රාජ්‍යය, රාජ්‍ය යාන්ත්‍රණය, සහ සමාජ බලපෑම් අභිබවා කරගෙන යාමට කැමැත්ත පළ කළ ද එය
පහසු නොවන බවක් දක්වයි.

ඉහත කාරණා හතර සැලැකිල්ලට ගතහොත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දියන්ට යුක්තිය ඉටුකරලීම හා සාධාරණත්වය උදාකිරීම ලාංකික දේශපාලනය තුළ පාලක බලවේගයන්ට මුහුණ දීමට සිදුව ඇති තවත් ප්‍රබල අභියෝගයක්ය යන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පිලිගනී. ලාංකික කිතුනු ජනයාගේ වේදනාව සහ සාධාරණය උදාකර ගනු පිණිස ඔවුන් ගෙන යන අඛණ්ඩ අරගලය කාදිනල්තුමා නියෝජනය කරන කතෝලික සභාව තුලින් නිරන්තරයෙන් නිරූපනය වන බවක්  අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සනිටුහන් කරයි. 

මෙම ස්ථාවරය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරයට වඩා හාත්පසින්ම වෙනස් ස්ථාවරයකි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කතෝලික සභාව පමණක් නොව කොළඹ අගරදගුරු ගරු මැල්කම් රංජිත් කාදිනල්වරයාව වත් ලාංකික කිතුණු ජනයාගේ 'එකම නියෝජිතයා' ලෙස තියා 'ප්‍රධාන නියෝජිතයා' ලෙසවත් පිලිගත්තේ නැත. වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලාංකික කතෝලික සභාවේ නායකයා ලෙස සලකා කටයුතු කළේ කාදිනල්තුමා සමග නොව නිලබලයෙන් ශ්‍රී ලංකාවේ කතෝලික  රදගුරු මණ්ඩලයේ ප්‍රධානියා වන කුරුණෑගල රදගුරු ගරු හැරල්ඩ් ඇන්තනී රදගුරුවරයා සමගය. එමෙන්ම ලංකාව තුල කතෝලික සභාව පමණක් නොව අනෙකුත් කිතුනු සභා ද ඇති බවක් ජාතික හා ජාත්‍යන්තර මාධ්‍යය ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ මහතා වරක් දෙවරක් නොව කිහිප වරක්ම ප්‍රකාශ කර තිබුණි. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ එකී ස්ථාවරය දෙමළ ජනයාගේ ගැටළුව සම්බන්ධයෙන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ස්ථාවරයට බෙහෙව්න් සමාන ස්ථාවරයකි. 

එහෙත් ජනාධිපති වික්‍රමසිංහ මෙන් නොව වින්දිතයන්ට යුක්තිය ඉටු කරලීම ලාංකික දේශපාලනය තුල පාලක බලවේගයන්ට මගහැරයෑ නොහැකි දේශපාලන අභියෝගයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක නිවැරදිව වටහාගනී. 

ඇත්තවශයෙන්, මේ ආකරයෙන්ම හා මීටත් වඩා සෘජුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවනට යුක්තිය හා සාධාරණය ඉටුවිය යුතුය යන්න හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද ස්ථාවරය  වූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට වසර 03ක් ගත්වූ 2022 අප්‍රියෙල් 21 නිකුත්කළ නිවේදනය අනුව ද පෙනී යැයි. 

එම නිවේදනයේ දැක්වුයේ: 

"2019 වර්ෂයේ උතුම් පාස්කු සැමරුම් දිනයේදී රටේ නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කර ගෙන සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අද දිනයට වසර තුනකි...

ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා දමා තිබූ එකල රජයේ නොසැලකිල්ල මත එදා නිකරුණේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූයේ අහිංසක කිතුනු ජනතාවට ය...

මේ වන විට අපගේ රජය පත් වී වසර තුනකට ආසන්න ව තිබුණ ද මිනිසුන් 269 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරමින්, 400කට අධික පිරිසක් තුවාලකරුවන් බවට පත් කරමින් සිදු වූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට තවමත් යුක්තිය ඉටු වී නැතැයි නැඟෙන චෝදනා බොහෝ ය...

එහෙත් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ඇති යුගයක මෙවන් සංවිධානාත්මක ප්‍රහාරයක් සිදු වීම සුළුපටු කාරණාවක් නො වේ.

මේ වන විට විවිධ සාක්ෂි ඔස්සේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට පත් ව ඇති අතර ඔවුන්ගෙන් ලබා ගත් ප්‍රකාශ ඔස්සේ ද පරීක්ෂණ ක්‍රියාත්මක බව අවධාරණය කරමි.

සැකකරුවන්ට දඬුවම් ලබා දිය හැක්කේ සාක්ෂි, සාධක විමසා බලා අධිකරණයකදී වරදකරුවන් වූ පසුව ය. එබැවින් මේ දක්වා ම විවිධ සාක්ෂි මත පදනම් ව සිදු කළ පරීක්ෂණවලින් පසු ඔබ සැම දෑස් දල්වා බලා සිටින යුක්තිය නුදුරේදී ම ඉටු කරන බව ද ඒ සඳහා මා බැඳී සිටින බව ද අද දිනයේ ප්‍රකාශ කරන බව.. " 

21/04/2022 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දක්වනුයේ ඊටත් වඩා ඉදිරියට ගොස් ආණ්ඩුකාරක ව්‍යුහයේ විවෘත වගකීම පවරාගෙන "අද රජය විසින් රජය පිළිබඳ විමර්ශනයක් සිදුකරයි" යන්නය. 

ඒ තුල ජනාධිපතිවරයා සුවිශේෂී දේශපාලනික පණිවිඩයක් සඟවා ඇත. එනම්, ශ්‍රි ලංකාවේ රාජ්‍යය තුළ වගකිවයුතු පාර්ශව සිටින බවත්, ඔවුන්ව හදුනාගෙන ඇති බවත්, එකී ආයතන හා පාර්ශව සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කරමින් සිටින බවක් හගවයි. මෙම කාරණය  දේශපාලන වශයෙන් නිරීක්ෂණය කළහොත්, ජනාධිපතිවරයා තමන්ගේ බලය, ආරක්ෂක ආයතන, හා පසුගිය ආණ්ඩු වල ක්‍රියාවලීන් සම්බන්ධයෙන් නිදහස් විමර්ශනයකට අවසර දෙන බව සහතික කරන පණිවුඩයක් ලෙස සැලකිය හැක.

එහෙත්, එය අවදානම් සහගත, අභියෝගාත්මක  ක්‍රියාවලියක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දනී. 

ජයවර්ධන, ප්‍රේමදාස, රාජපක්ෂ හා වික්‍රමසිංහ යන රෙජීමයන් මෙන් අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා 'අපරාධකාරී රාජ්‍යය' වෙනුවෙන්  සෘජුව එලිපිට පෙනී සිටින්නෙකු නොව, එකී අපරාධකාරී රාජ්‍යය ව්‍යවුහය ප්‍රශ්ණ කරන්නෙකු බව පෙනී යන කරුණකි. 

එමෙන්ම රාජ්‍යයේ ප්‍රශ්න සහගත සිදුවීම්වලට නිවැරදි වගකීම හා වගවීම පිළිබඳව පෙනීහිටින්නෙකුගේ කාර්‍යභාරයක් නිරූපනය කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුලින් නිරූපනය වේ. 

එහෙත් ඔහු ද වින්දිතයින්ට  යුක්තිය හා සාධාරණය ඉටුකරදීම, සහ රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් වූ රාජ්‍යය යාන්ත්‍රණයේ මැදිවීම, නම් වු දේශපාලනිය ද්වන්දවයක හිරවීමට ආසන්න බවක් හෝ  හිරවී ඇති බවක්  "එහෙත් එය අභියෝගාත්මක විය හැකියි"  යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයේ ඇති  උක්ත වාක්‍යය තුළින් නිරූපන වේ. 

ඇත්තවශයෙන් එය ඔහුගේ  ප්‍රායෝගික දේශපාලනයේ පසුබැසීමක් ද, උපායමාර්ගික ප්‍රවේශයක් ද, යන්න ගැන කීමට තවමත් කල්  වැඩිය. එනම්, සාධාරණය ඉටු කිරීමට කැමති නමුත්, ඒ සඳහා ඇති දේශපාලන, ආරක්ෂක, ආගමික සහ සමාජ බලපෑම් පිළිබඳව ඔහු අවධානයෙන් සිටින බව ඔහුගේ ඉතා ප්‍රවේශම් සහගත වචන තෝරාගැනීම තුලින් නිරූපනය වන බව පැහැදිලිය.

එය අවදානම් වළක්වා ගන්නා වූ ආරක්ෂක මනෝභාවයක සිට මහජන අභිලාෂයන් හා රාජ්‍යය බලය ක්‍රියාත්මක කිරීම අතර මද්‍යස්ථ පිළිවෙතක්  වෙත ඔහු ගමන් කරමින් සිටීමක්ද?  විශාල අවදානමක් ගනිමින් සුළු ජනතාවකට සහ ආගමික නායකයන්ට යුක්තිය හා සාධාරණය සහතික කරනවා ද? නැතහොත්  රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය තුළ ඇති ඇත්ත ගැටළු තේරුම් ගෙන,  අවදානම කළමනාකරණය කරගන්නා දිසාවකට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යොමුවී සිටී ද? ආදී උභතෝකෝටිකයට අපව ගෙන යන්නකි.

ඒ කෙසේවුවද, මේ උදාවෙමින් ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබදව විමර්ශනවලින් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ ස්ථාවරය මෙන් තවත් එවැනිම මොහොතක් නොවේවා!!

මාකස් ප්‍රියන්ත පෙරේරා 
09/07/25

Wednesday, 4 June 2025

ලංකාවේ පළමු ග්‍රැමෆෝන් ගායිකා මීගමුවේ ග්‍රේටා ජෙනට් ද සිල්වා අවසන් ගමන් යයි.

මීගමුව, කට්ටුව, පදිංචිව සිටි, ශ්‍රී ලංකාවේ පළමු ග්‍රැමෆෝන් ගායිකාවද වූ ද, චිර ප්‍රසිද්ධ "මුනි නන්දන සිරි පාද වදිමි සමනෙළ කන්දේ" නම් ගීතය හා "දුල් සල්වනේ ලකල් ව" ආදී බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත කළ ගීත මුලින්ම ගැයූ ගායිකාව වූ ද, ශ්‍රි ලංකාවේ මෙතෙක් ජීවත්ව සිටි ජ්‍යෙෂ්ඨතම ගායිකාව වු ද, වයස අවුරුදු 12 ක් වනවිටම, ලංකා ෆිල්ම් කොම්පැණි ග්‍රැමෆෝන් තැටියක සිය කටහඩ තැටිගත කිරීමට භාග්‍යය ලද්දා වූ ද, කොලොම්බියා ලේබලය යටතේ ගී තැටිගත කළ ලබාලම කාන්තාව වූ ද, ගී තැටියක විරුදු පටිගත කල මුල්ම ලාංකික කාන්තාව වූ ද, ජීවත්ව සිටි සමයේ දී සිංහල ග්‍රැමෆෝන් ගීත ක්ෂේත්‍රයේ ජීවමාන සාක්ෂිය ලෙස සැලකූවා වූ ද, 1926 වසරේ මැයි මස 06 වැනි දා මීගමුවෙි උපන් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කලාකාරීනියක් වූ ගරු ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය, වසර 99 ක් ආයු වළඳා, පසුගිය 02 දින (02/06/2025), සිය දිවිසැරිය නිමා කර ඇත.

ඇයගේ දේහය මීගමුව, කට්ටුව, හලාවත පාරේ, අංක 115 දරණ නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු අද (ජුනි මස 05 වෙනි බ්‍රහස්පතින්දා) සවස 4.30ට මීගමුව කට්ටුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

කුඩා කාලයේ පටන්ම කලාලෝලී මීගමුව පුරවරයේ හැදී වැඩුන ඇය, පාසැල් සමයේම ගීත ගායනයට දස්කම් පා, ගායනා තරඟ රාශියකට සහභාගී වී, විවිධ වූ ජයග්‍රහණ රාශියක් අත්කර ගන්නට සමත් වී ඇත. ඇයගේ එම දස්කම් ගැන පැහැදුනු ලංකා ෆිල්ම් කොම්පැණි හි ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වූ යු.ඩී ප්‍රේරා මහතාගේ දිරිගැන්වීම තුල කොළොම්බියා ලේබලයේ ගායිකාවක ලෙස වයස අවුරුදු 12 දී, එනම් 1938 දී, ගිවිසුම්ගත වූ ඈ "පානා මේ කුරුලන්ගේ" සහ "මෙරුන් වගේ සතර අතින්" යන විරිදු දෙක මුලින්ම තැටිගත කර ඇත. එකී විරිදු ශ්‍රී ලාංකික ගායිකාවක විසින් මුලින්ම ගී තැටියක තැටිගත කළ විරිදුව ද විය.

ඉන් අනතුරුව ඈ කොළොම්බියා ලේබලය යටතේ ගීත 29 ක් පමණ තැටිගත කර ඇත. එම ගීත අතර සරළ ගී, සරල ශාස්ත්‍රීය ගී, කපිරිඤ්ඤා, විරිදු හා බැති ගී ආදී විවිධ ශෛලීන්වල ගීත අඩංගුය. එමෙන්ම ඇස්. ඩී. ස්ටීවන් සිල්වා, මාස්ටර් මොහිදීන් බෙග්, එඩී ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි, වසන්තා සන්දනායක හා රුක්මණී දේවී ආදී ගායක ගායිකාවන් සමඟ ද ග්‍රේටා ජෙනට් මහත්මිය ගීත ගායනා කර ඇත.

විවාහයෙන් පසු දරු පිලිසිදගැනීමුත් සමග වරුගනන් ගතවෙන ගී තැටි සඳහා ගීත ගැයීම ඇය නතර කර තිබේ. ඒ 1945 දී පමණය. එහෙත් කොළඹ ගුවන් සේවයට, ලංකා ගුවන්විදුලි වැඩසටහන් සඳහා ඇය 1950 පමණ වනතෙක්ම සම්බන්ධව සිට ඇත. ඇය ගීත ගායනයෙන් ඉවත් වුව ද ඇගේ ගායනා මෑතක් වන තුරුම ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ “පැරැණි රසාංග’ තීරය ඔස්සේ ප්‍රචාරය විය. එසේ ප්‍රචාරය වූ ගීත අතර “මුණි නන්දන සිරිපාද වඳිම් සමනොළ කන්දේ”, “පුංචි නංගි එයි දැන් තාත්තා අපේ”, “නුඹෙ අම්මත් කලුම කලුයි නුඹෙ අප්පත් කලුම කලුයි”, “මල්ලි නංගි එන්න අම්මට වඳින්න”, මගේ පනවැනි පුංචි නංගි සැනසෙන්න නාඩා” වැනි ගීත ශ්‍රාවකයන් අතර මුල් බැසගත් ගීතය.

දශක හතරක් පමණ මාධ්‍යය අවධානයෙන් ගිලිහී ගොස් තිබුණ ද, ඇගේ ගිත, තමන්ගේ ගීත මෙන් අන් අය ගයා, ඇයගේ මුල් අයිතිය පිලිබද අයිතිය අමතක කර තිබුණ ද, ඇගේ යසස යටත් කළ නොහැකි විය.

ජීවිතයේ අවසාන භාගය ලගාවෙත්ම ඇය පිලිබද මතකය නැවත දැල්වී දසත පැතිරෙන්නට විය. එහිලා ඇගේ දරු මිනි මුනුබුරන්ගේ දායකත්වය ද අගය කළ යුතුය. ඔවුහු සිය මිත්තණියගේ කීර්තියෙන් වැජඹ්මට, ඇයගේ අනන්‍යතාවයෙන් තමන්ගේ අනන්‍යතාවය ගොඩනැගීමට නොගියේය. ඒ වෙනුවට, සිය මිත්තණියට සිය ජීවිතයේ අවසාන කාලය යසසේ ගෙවන්නට, ඇගේ යසස දසත පතුරුවාලමින් ඇයට හිමි ගෞරවය අත්කර දීමට, ඇගේ ජීවිතයේ අවසාන භාගය යසසින් ගෙවන්නට, අවශ්‍ය සියළු කටයුතු සකසා ලූහ. එහිලා අපි ඇගේ දරු මිනි මුනුබුරන්ට ස්තුතිවන්ත විය යුතුය.

ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මියට මොක් සුව අත්වේවා!!🙏❤️🙏

මාකස් ප්‍රියන්ත පෙරේරා
05/06/25 

ඇයගේ ගීත කිහිපයක් පහතින් ඇසිය හැක👇 





Monday, 2 June 2025

R.ප්‍රේමදාස මහතාගේ පියාට මිගමුව පෙරියමුල්ලේ දුම්කොළ කඩයක් තිබුණා ද?

ඉහත කාරණය පිළිබඳව මගේ අවධානය යොමුවන්නේ, ශ්‍රී ලංකාවේ පුළුල් ජනමාධ්‍ය සාහිත්‍යයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය වෙනුවෙන් කැපවී සිටි ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකුගේ අත්දැකීම් පදනම් කරගෙන ලියවුණු පොත් තුනකින් සමන්විත මතක සටහන් ගොන්නක කුඩා ඡේද කිහිපයක විස්තරයක් ඇසුරින්ය.

ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රකට මීගමුවේ, ධීවර හා මත්ස්‍ය නිෂ්පාදන සඳහා තොග වෙළඳපොලක් පවතින බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත්, කලකට පෙර මීගමුව අවට ප්‍රදේශවල වෙනත් නිෂ්පාදන සඳහා ද තොග වෙළඳපොලවල් දැකිය හැකිවිය. උදාහරණයක් ලෙස, මීගමුවට බොහෝ දුරක් නොවූ මරදගහමුල ප්‍රදේශයේ සහල් තොග වෙළඳපොලක් පැවතුණි . ඒ සේම, මීගමුව පෙරියමුල්ලේ පිහිටි පිගන් කර්මාන්තශාලාව පදනම් කරගෙන, තොග වශයෙන් පිගන් භාණ්ඩ සැපයීමක් ද සිදු වී තිබුණි.

එහෙත්, මීගමුව පෙරියමුල්ලේ දුම්කොළ තොග වෙළඳපොලක් පැවති බව අද වන විට බොහෝ දෙනා නොදන්නා කරුණකි.

මීගමුව පෙරියමුල්ලේ දුම්කොළ තොග වෙළඳපොල පිහිටුවා තිබුණේ මීගමුව-හලාවත පාරේ, පෙරියමුල්ල හන්දිය සහ ඩිපෝ හන්දිය අතර කොටසකය. කඩ පේළි කිහිපයකින් හා එම පිටුපස ගබඩා කිහිපයකින් සමන්විත වූ මෙම වියලි දුම්කොළ තොග වෙළඳපොල, රටේ බොහෝ දුරබැහැර ප්‍රදේශවලින් පැමිණි වෙළඳුන්ට විවිධ වර්ගයේ දුම්කොළ සැපයූ ප්‍රධාන වෙළඳපොළක් වූ අතර, දේශීය දුම්කොළ වෙළදාමේ සැලකිය යුතු ස්ථානයක් හිමිකරගෙන තිබුණි.

උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන යුගයේදී මීගමුවේ දුම්කොළ වගාවන් පැවැත ඇති බවට මෙන්ම ඈත එපිට තමණ්ඩුව වැනි ප්‍රදේශවලින් පවා විකිණීම සඳහා මීගමුවට දුම්කොළ සැපයූ බව 1883 දෙසැම්බර් මාසේ 'The Tropical Agriculturist' සගරාවේ කතුවරයාගේ විමසුමට සිය දුම්කොළ නිෂ්පාදන සමග එවා තිබූ ලිපියක සදහන්ව ඇත: DEAR SIR, I send you (accompanying my letter) a small packet of tobacco, prepared from plants grown in the Tamankaduwa district on the banks of the Mahaweliganga. It is, I believe, of good quality, and is said to have been sold in Negombo (where native tobacco of the best kind is grown and cured) at the rate of R48 per thousand, the standard price there being, I think, R50.

ක්‍රි.ව. 1850 වන විටම, මීගමුවේ දුම්කොළ වගාවන් මෙන්ම දුම්කොළ තොග වෙළඳපොලක්ද ගොඩනැගී තිබුණ බව 1857 දී ප්‍රකාශයට පත් කළ The Journal of Agriculture කෘතියේ දැක්වෙන කරුණු මඟින් පෙනී යයි.

මීගමුවේ දුම්කොළ වගාව, ලන්දේසි යුගය තෙක් දිව යන බවටත්, ඒත්තුකාල, දුන්ගාල්පිටිය, දළුපොත සහ දළුවකොටුව වැනි ප්‍රදේශවල දුම්කොළ වගා කර තිබුණ බවට ප්‍රදේශවාසීන් අතර මතයක් පවතී.

උදාහරණයක් ලෙස, මීගමුවේ පරවර ජනයා සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වූ නුවන් ගන්කන්දගේ 'අපි නොදන්න ලාංකිකයෝ' (2006) කෘතියේ සඳහන් වූ, මීගමුව ඒත්තුකාල ශාන්ත සිල්වෙස්තර පල්ලියේ වාසය කළ අන්නවී රාළ වූ වාස් මහතාගේ ප්‍රකාශයක් උපුටා දැක්විය හැක:

'අපේ අය ඉස්සර දුම්කොළ, මිරිස්, ලූණු වගේ බෝග වගා කෙරුවා. ඒ වගේම ව්‍යාපාරික කටයුතු වලත් නියැලුණා...' (පිටුව 58)

1850 වාර්තාවල සඳහන් වූ මීගමුවේ දුම්කොළ තොග වෙළඳපොල, ඉන් වසර සීයකට පසුව — එනම් 1950 දී ද — දැකිය හැකිවීම පමණක් නොව, එවක මීගමුව පෙරියමුල්ලේ පිහිටි එකී දුම්කොළ තොග වෙළඳපොලේ කඩයක්, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පියා වන ඒ. රිචඩ් සිල්වා මුදලාලි මහතාගේ පියාට අයත් වී තිබූ බව, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදී ඩී. එෆ්. කාරියකරවන මහතාගේ 'දසක සතක මතක' (1998) කෘතියේ සඳහන් විස්තරයකින් හෙලිවේ.

එම විස්තරය මෙසේය :

"මේ අතර තුරේ ලැබුණු අනෙකුත් ලියුම් වලින් මගේ සිත ගියේ ඉතා ලස්සන අකුරෙන් වියත් සහ ආචාර ශීලී අන්දමට ලියා තුබුණු ලියුමකට ය. එය ආර්. ප්‍රේමදාස නමැත්තකු ගෙනි. "මිහිර" සගරාව අගයමින් ලියූ එම ලියුමෙන් තවත් කරුණක් ද අසා තිබිණි. ඒ, ඔහුත් සඟරාවක් පළ කරන්නට යන හෙයින් ඊට උපදෙස් දිය හැකි ද යන්න යි.

මම පිළිතුරු ලියනුවා වෙනුවට කොළඹ ගිය විටෙක කෙහෙල්වත්තේ, සාන්ත බස්තියමේ "සැනසුම" සොයා ගියෙමි. මුඩුක්කු පෙදෙසක වුවද ඇතුළට වන්නට පිහිටි ඒ ගෙය විශාල එකක් විය. ඉහළ මධ්‍යම පන්තියේ ගෙයක් සේ පෙනිණි.

මා යන විට ඒ තැනැත්තා එහි සිටියේ නැත. "ඉක්මනින්ය ඒවි. ටිකක් ඉන්නැ " යි ගෙදර ළඳක කී හෙයින් මම සුදුසු අසුනක් බලා වාඩි ගතිමි. ටික වේලාවක් ගත වන විට කාකි කොට කලිසමකින් සහ සුදු ටී කමිසයකින් සැරැසුණු ගැටවරයෙක් බයිසිකලයක් පැදගෙන ඇවිත් ගෙට ගොඩ වුණේ ය. බතල ගෙඩියක් වගේ පිරිපුන් නිරෝගී දේහයකින් යුත් ඔහු ගෙට ගොඩ වන ගමන් හොඳ සිනාවක් පා, මේ මහත්මයා කොහෙන්දැ " යි ඇසී ය. මේ නම් ආර්. ප්‍රේමදාස විය යුතු යැයි සිතූ මම, 'මී ගොමු වෙනැ" යි පිළිතුරු දුනිමි. " ඕ, කාරියකරවන මහත්මයා නේ ද?" යි කියමින් ඉමහත් ප්‍රීතියෙන් හා ඉමහත් ආදරයෙන් මා පිළි ගත්තේ ය.

ඒ මුහුණ මා කවදා හෝ කොහේදී හෝ දැක ඇති සැටියක් මට හැගිණි. ඔහුටත් එසේම හැගෙන්නට ඇත. අප ඒ ගැන කතා කළේ කලක් ගත වූවාට පසුව ය.

පුංචි කලේ අප දෙදෙනා මුණ ගැසී තිබුණි. මීගොමුවේ පෙරියමුල්ලේ දුම්කොළ තොග වෙළද පළේ කඩ පේළියෙකය. මගේ පියා සිරියාලේ, අඹන්පොළ, වැටකේපොත, සහ ඒ අවට තවත් පෙදෙස්වල දුම්කොළ වතු වවමින් වියැළි දුම්කොළ තෝරා වර්ග කොට ඒවා පෙරියමුල්ලේ තොග වෙළෙඳ පළට ගෙනවුත් විකුණන තොග වෙළෙන්දෙකි. ඔහු එහි හැඳින්වුණේ "මනුවෙල් මුදලාලි යනුවෙනි. අල්ලපු කඩේ අයිති "සිල්වා මුදලාලි" මපියා ගේ හිත මිතුරෙකි. ඒ රිචඩ් සිල්වා මුදලාලි තමා ප්‍රේමදාස ගේ පියා.

කුරණ අපේ නිවසේ සිට, පෙරියමුල්ලේ දුම්කොළ කඩ පේළියට එතරම් දුරක් නොවීය. පාසල් සමයේ සනි දිනවල එහි යෑම මගේ සිරිතක් විය. එහි දී සිල්වා මුදලාලි සිහින් ස්වරයෙන් නිතොර කියන සිංදුවේ මුල් පේළිය මට තවමත් මතකය. "ලක් මවගේ හොඳ ම පුතා - ගුණසිංහ අපෙ මැතිඳා" ඒ. ඊ. ගුණසිංහ මහතා සිල්වා මුදලාලිගේ ඥාතියකු බව ද මා අසා තිබිණි.

එ සමයෙහි සමහර දිනයන්හි රිචඩ් සිල්වා මුදලාලි ගේ දුම් කොළ කඩේ දී ඔහු ගේ පුතා මට මුණ ගැසී ඇත. කතා බස් කැර ඇත. එහෙත් දිගු කලක් තිස්සේ හැදී වැඩුණු සිරුරු නිසා අප එකිනෙකාට හඳුනා ගත නො හැකි වන්නට ඇති..."

ප්‍රවීණ මාධ්‍යවේදී ඩී. එෆ්. කාරියකරවන මහතාගේ ස්වයං ලිඛ්ත චරිතාපදානයේ 48-49 පිටුවල කුඩා ඡේද කිහිපයක සදහන් ඉහත විස්තරය මීගමුව ඉතිහාසයේ මෙතෙක් සාකච්ඡා නොවූ එක් පැතිකඩක් පිලිබදව අපේ අවධානය යොමු කරණු නියතය.

ඇත්තවශයෙන්ම, 1980 දශකය වන විටත්, මීගමුවේ ඒත්තුකාල, දළුවකොටුව, දුන්ගාල්පිටිය වැනි ප්‍රදේශවල දුම්කොළ ගස් එක දෙකක් දැකිය හැකිවීම පමණක් නොව, මීගමුව පෙරියමුල්ලේ එවකටත් සක්‍රියව ක්‍රියාත්මක වූ දුම්කොළ තොග වෙළඳපොළක් ද දැකිය හැකිවිය.

එහෙත් 1990 දශකය අගභාගය වන විට මීගමුව පෙරියමුල්ලේ දුම්කොළ තොග වෙළඳපොළ ඉතිහාසයට එක්වෙමින් අවසන් ගමන් ගියේය. එහිලා ප්‍රධාන හේතුව වූයේ එම කඩපේළි හිමිව තිබූ මීගමුව දළුපොත සා. අන්තෝනි පල්ලිය එම කඩපේළි විකුණා දැමීමය. අද එහි දැකිය හැක්කේ රෑ කඩය, මුස්ලිම් අපනශාලා හා කෑම කඩය. එකළ දුම්කොළ තොග වෙළදාමේ නිරතවු පවුල් කිහිපයක් අදටත් කුඩා පරිමානයෙන් එම වෙලදාමේ නිරතව සිටී. මීගමුව දළුවකොටුව වැලිහේනේ අදටත් කුඩා පරිමානයේ දුම්කොළ තොග වෙළදපොළක් ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ. එහෙත් මිගමුවේ පෙරියමුල්ලේ පැවැති දුම්කොළ තොග වෙළඳපොළ සුන්දර දසුනක් ලෙස පමණක් අප මතකයේ ඉතිරිව ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා
02/06/25

Tuesday, 27 May 2025

සෞම්‍ය ලියනගේ මාලනී ෆොන්සේකාගේ මලගෙදරදී කළේ eulogy ක් ද?


මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ සෞම්‍ය ලියනගේ කළ කථාව අහපුවාහම පෙනෙන දෙයක් තමයි "eulogy" යන්න ලංකා සමාජයට තවමත් එහෙම්පිටින්ම ආගන්තුකයි කියන එක...

මම මේ කියන්නේ සෞම්‍ය ලියනගේ ගේ කතාවේ තිබ්බ "මහා අෂ්පශ්‍ර දායකත්වය"/ "භාවමය ආචරණය"/ "සෞන්දර්යාත්මක ආචරණය"/"රූපණ දේහබන්දුතාව"/ "උක්ත මෙලෝනාටක සිනමාව"/ "උපස්ථම්භක"/ "සාදෘෂ්‍යය"/ "උත්තරාරෝපනය" වැනි යෙදුම් ගැනවත්, ඒ 'බර වචන' ගැනවත්, ඔහුගේ වචන මාලාවෙ හෝ වාග් කෝෂය (vocabulary) ගැනවත් නෙමේ - eulogy ය ගැන.

Eulogy කියන්නේ මියගිය කෙනෙකුට විශේෂ උපහාරයක් පිදීමේ සම්ප්‍රදායක්. මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ ඒ කාර්ය පැවැරී තිබුනේ සෞන්දර්ය විෂය, අධ්‍යායනය පිලිබදව, ආචාර්ය උපාධියක් හිමි, මාලනී ෆොන්සේකාගේ සිනමා දායකත්වය පිලිබදව ශාස්ත්‍රීය අධ්‍යායනයක් කර ඇති, සෞම්‍ය ලියනගේට බව පැහැදිලියි.

එහෙත් සෞන්දර්ය විෂය, සිනමාව, කලාව, සාහිත්‍යය පිලිබදව ශාස්ත්‍රීය අධ්‍යායනයක් ඇති සෞම්‍ය ලියනගේ පවා මියගිය කෙනෙකුට උපහාරයක් පිදීමේ විශේෂ කථා හෝ රචනා (eulogies) සම්බන්ධයෙන් යම් අධ්‍යායනයක් ඇතිව සිටියා නම් මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවයේදී ඔහුට මිටත් වඩා හොද උපහාරයක් දැක්විය හැකිව තිබුනා..

කලාව ගැන ශාස්ත්‍රීය හැදෑරීමක් ඇති සෞම්‍ය ලියනගේ අඩුම තරමේ Marilyn Monroe ගේ මරණය ගැන Lee Strasberg ගේ සුප්‍රකට කතාව (She had a luminous quality — a combination of physical beauty and a great inner beauty.. a woman who touched the hearts of millions around the world.. to the world, she was the blonde bombshell, the sex symbol, the icon... but to those who knew her, she was so much more. She was a dreamer..

අඩුම තරමේ, ඩයනා කුමාරියගේ (Princess Diana) අවමංගල්‍යය වෙනුවෙන් ඇමැරිකාවේ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ සුප්‍රකට සාහිත්‍යය විචාරකයෙක් වූ මහාචාර්ය Harold Bloom ගේ ඉදිරිපත් කිරීම් ගැන අවබෝධයක් ඇතිව සිටියා නම්....

Harold Bloom ඩයනා කුමාරිය (Princess Diana) ව ඉතිහාසය පුරාම පුරාවෘත්තයන් වූ ට්‍රෝයි නගරයේ හෙලේනා (Helen of Troy), විලියම් ශෙක්ෂියර්ගේ හැම්ලට් (Hamlet) පිටපතේ Ophelia යා, ග්‍රීක දේවකතාවල එන Medea යා ආදීන් සසදමින් ඩයනා කුමාරිය කියන්නෙත් ඒ වගේ උත්කර්ෂවත් සුන්දර, අහිංසක, ප්‍රේමාන්විත ස්ත්‍රීයගේ ඛේදනීය ඉරණම නැවැත මතක් කරන පුරාවෘත්තයක් බදු (mythic figure) ස්ත්‍රීයක් යැයි සදහන් කරමින් ඩයනා කුමාරියගේ මරණය ගැන සිදුකල විශේෂ උපහාරය සෞම්‍ය ලියනගේ කියවලාවත් තිබුනා නම්..

අඩුම තරමේ සෞම්‍ය ලියනගේ, ඩයනා කුමාරියගේ (Princess Diana) අවමංගල්‍යය උළෙලේ දී විශේෂ උපහාර පිදීම (eulogy) සිදුකල ඇගේ සහෝදරයාගේ (Earl Spencer) ගේ කථාව - "It’s important to remember one of the greatest ironies about Diana: she was a girl named after the ancient goddess of hunting, yet in her life, she became the most hunted person of the modern age" - අසාවත් තිබුනා නම් ...

එහෙමත් නැතිනම්, මයිකල් ජැක්සන් (Michael Jackson) ගේ මරණය සම්බන්ධයෙන් විශේෂ උපහාරයක් පිදූ ඇමැරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ මහාචාර්යවරයකුවූ Cornel West ගේ සුප්‍රකට "Black, tragicomic genius" ප්‍රකාශය.. "Michael Jackson was a wounded healer. He had been broken. He had been scarred. But he turned his pain into love through his art "..

ඔය ආදී විශේෂ උපහාර පිදීම (eulogy) ගැන අහලාවත් තිබුන නම්...

සෞම්‍ය ලියන ගේ මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ ඇයට විශේෂ උපහාර පිදීම (eulogy) ක් ලෙස තමන්ගේ ශාස්ත්‍රීය රචනාවල (research papers) වල කෑලී ටිකක් එකතු කරලා කතාවක් කරනවා වෙනුවට මීට වඩා විශිෂ්ඨ, ශ්‍රේෂ්ඨ උපහාරයක් පිදීමට ඉඩ තිබුනා.

මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ eulogy යක් වෙනුවට සෞම්‍ය ලියනගේ කළේ ඔහුගේ ශාස්ත්‍රීය අධ්‍යායනවල (academic reserch) දී එකතුකරගත් කෑලී ටිකක් එකතු කර යමක් ඉදිරිපත් කිරීමයි. එක eulogy යක් නෙමේ..

Eulogy ඒකක් අහපුවහම හෝ කියවපුහම තේරෙනවා.. එය මියගිය පුද්ගලයට පිදිය හැකි උපරිම ගෞරවය පිදීමක් ද? නැතිනම් වෙන මොකක් හරිද කියලා..

මට සෞම්‍ය ලියනගේ මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ කළේ ඔහුගේ ශාස්ත්‍රීය අධ්‍යායනවල (academic reserch) දී එකතුකරගත් කෑලී ටිකක් කතාවක් ලෙස ඉදිරිපත් කිරීමක් විදිහටත්.... , Marilyn Monroe ගේ මරණය ගැන Lee Strasberg ගේ.., ඩයනා කුමාරියගේ (Princess Diana) මරණය ගැන Harold Bloom හා Earl Spencer ගේ ත්..., මයිකල් ජැක්සන් (Michael Jackson) ගේ මරණය ගැන Cornel West ගේත් විශේෂ උපහාර පිදීම් eulogy ලෙසත් පෙනෙන්නෙත් ඒ පදනමින්.

මේකට එක හේතුවක් වෙන්න පුළුවන් eulogy යන වචනය සම්බන්ධයෙන් ඇති සිංහල තේරුම... eulogy කියන වචනයේ සිංහල තේරුම ලෙස හුගාක් තැන්වල දක්වා ඇත්තේ.. වාක් ප්‍රණාමය, අභිනන්දනය වගේ තේරුමක්. ඒත් ඇත්තටම eulogy කියන්නේ ඊට වඩා ගැබුරු දෙයක්. ඒක තේරුම් ගන්න අවමංගල්‍යය උත්සවයක පැවැත්වෙන eulogy යක් යැයි හදුන්වන විශේෂ උපහාර පිදීමේ සංස්කෘතික සංදර්භය තේරුම් ගන්න ඕනෑ.. ඒක රටේම විතරක් නෙමේ රටේ ජාතික අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වන විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ ආචාර්ය මහචාර්ය ඇදුරන්ටවත් නැති බව තමයි සෞම්‍ය ලියනගේ මාලනී පොන්සේකා ගේ අවමංගල්‍යය උත්සවයේදී සිදුකළ කතාවේදී පෙනී ගියේ...

මාකස් ප්‍රියන්ත පෙරේරා
27/05/25

Saturday, 24 May 2025

මාලනී ෆොන්සේකා - සිංහල සිනමාවේ නව ස්ත්‍රී සලකුණ (La nouvelle femme).

ලංකාවේ සිනමා නිලියෝ දිහා බලලා ලංකාවේ සිනමාව විතරක් නෙමේ, ලංකාවේ සමාජ දේශපාලන පරිවර්තනයන් පවා කියවාගන්න පුලුවන්.

මුලින්ම අපි බැලුවොත් රුක්මණී දේවී දිහා, අපි දන්නවා රුක්මණී දේවිව දැක්ක ගමන්ම හිතෙනවා එයා නිකන් 'අපේ නෙමේ' වගේ.. දෙමළ වගේ.. සිංහල නෙමේ වගේ කියලා.. ඇගේ නම, ඩේසී රාසම්මා ඩැනියෙල්, කියන නම ඔස්සේ වුනත් එයා සිංහල නොවන බව තහවුරු වෙනවා.

හැබැයි මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා හෙවත් මාලනී ෆොන්සේකා දිහා බැලුව එහෙම නෑ.. එයා කෙලින්ම 'අපේ වගේ'.. 'හදවතින්ම ලාංකිකයි'.. 'සිංහලයි', 'බෞද්ධයි ', යැයි පිලිඹිබු වෙනවා.. අන්න ඒක තමයි මාලනීගේ විශේෂත්වය.. 1956 පසු බලවත් වූ සිංහල - බෞද්ධ අනන්‍යතාව මුල්කරගත් නව සමාජ සැකැස්මේ ස්ත්‍රී සලකුණ වෙන්නේ මාලනී පොන්සේකායි... මහින්ද රාජපක්ෂලා වුනත් මාලනිව එයාලගේ කදවුරේ සංකේතයක් විදිහට භාවිතා කරන්නේ ඒ පදනමින්... ලාංකික සිනමාවක් වෙනුවට සිංහල සිනමාවක් පමණක් ඇති ලංකාවේ ඇයව 'සිංහල සිනමාවේ නිළි රැජින' යන නමින් හදුන්වන්නෙත් ඒ පදනමින්. ඕනෑ නම් පරණ පින්තුර අරන් බලන්න සිංහල සිනමාවේ හුගාක් නිලියෝ මාලනී වගේ.. ඒකට හේතුව සිනමාවේ අධ්‍යක්ෂකවරුන්ට වුනත්, සිනමා ලෝලීන්ට වුනත් මාලනීගේ හැඩ - රුවෙන් සම්පුර්ණයෙන්ම මිදෙන්න බැරිවෙනවා. මාලනීගෙන් පස්සේ ආපු හුගාක් නිලියන්ට මාලනීගේ රූපකායෙන්, ස්ත්‍රී ලකුණෙ යම් යම් සමානකම් ඇත්තේ ඒ නිසයි.

හේතුව මාලනී තමයි තමයි 1956 පසු බලවත් වූ සිංහල - බෞද්ධ අනන්‍යතාව මුල්කරගත් නව සමාජ සැකැස්මේ නව ස්ත්‍රී සලකුණ (La nouvelle femme).

පසුකාලීනව මාලනීට වඩා වෙනස් ස්ත්‍රී සලකුණක් ලෙස ස්වර්ණා මල්ලවආරච්චි මතුවෙන්නේත් ඒ සමාජ දේශපාලනය සැකැස්මේ වෙනස් වීම් වලට සමපාතවයි.

ඉතින් අර කලින් කිව්වා වගේ ලංකාවේ සිනමා නිලියෝ දිහා බලලා ලංකාවේ සිනමාව විතරක් නෙමේ ලංකාවේ සමාජ දේශපාලන පරිවර්තනයන් පවා කියෝගන්න පුලුවන් කිව්වේ ඒ අනුවයි.

මාලනී පොන්සේකා කියන්නේ 1956 පසුව ලංකාවේ මුල්බැසගත් සිංහල - බෞද්ධ අනන්‍යතාව මුල්කරගත් නව සමාජ සැකැස්මේ 'නාරී පරිකල්පනාවේ සංකේත යයි' (symbol of a nouvelle femme/La nouvelle femme) යැයි යන්න ඇයට හිමි සිංහල සිනමාවේ නිළි රැජින යැයි කියන යෙදුමෙන්ම තහවුරු වෙනවා. ශ්‍රී ලංකාවේ සිංහල - බෞද්ධ අනන්‍යතාව මුල්කරගත් සමාජ - සංස්කෘතික සැකැස්ම තියෙන තාක්කල් මාලනී ෆොන්සේකා රිදී තිරයේ විතරක් නෙමේ ශ්‍රී ලංකාවේම මුල් බැසගත් ස්ත්‍රී සලකුණක් ලෙස පවතීවි.

සුබ ගමන්!!

මාකස් ප්‍රියන්ත පෙරේරා

24/05/25

Tuesday, 20 May 2025

Brexit වලින් පස් වසරකට පසුව බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර ගිවිසුමක්

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වී (Brexit) පස් වසරකට පසුව යුරෝපා සංගමය සමග ඊයේ (19/05/25) නව ගිවිසුමකට එළබුනි. මෙම ගිවිසුම බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර විශේෂ සමීප සම්බන්ධයක් නැවත ඇති කිරීමට අතීශයින්ම ඉවල්වනු ඇත. ගිවිසුම අනුව:

1. වෙළඳ, ආර්ථික, ආහාර සහ පරිභෝජන (SPS) සහයෝගිතාවය තහවුරු කරණු ඇත. එමගින් මස් නිෂ්පාදන හා කෘෂි නිෂ්පාදන ඒ ඒ වෙළදපොළ වෙත ඇතුල්වීම පහසු කරන අතර ආහාර මිල අඩු කිරීමට සහ වෙළඳ ද්‍රව්‍යය වල විවිධත්වය හා සුලබ බව වැඩි කිරීමට කටයුතු යෙදෙනු ඇත.

2. බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධනයට මෙම ගිවිසුම මගින් යහපත් බලපෑමක් ඇති කරණු ඇත. විශේෂයෙන්ම යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් (Brexit) සමග බ්‍රිතාන්‍යය ආර්ථිකයට සිදුවූ අයහපත් බලපෑම අවම කරගැනීමට මෙම ගිවිසුම මගින් අපෙක්ෂා කෙරේ. 2040 වන විට බ්‍රිතාන්‍යය ආර්ථිකයට පවුම් බිලියන 9කට ආසන්න ආදායමක් මෙම ගිවිසුම මගින් ලබාදෙනු ඇතැයි ද බලාපොරොත්තු වේ.

3. මෙම ගිවිසුම මගින් ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වෙනු ඇත. ගිවිසුම අනුව 2038 දක්වා යුරෝපියානු ධීවරයන්ට බ්‍රිතාන්‍යය මුහුදේ ධීවර කටයුතු කිරීමට අවසර ලබා දේ. ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ධීවර ප්‍රජාවෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇත. ගිවිසුමේ මෙම කොටස සම්බන්ධයෙන් දැඩිව විවෙචන එල්ල කරන විරුද්ධ පක්ෂ එමගින් බ්‍රිතාන්‍යය ධිවරයින් කබලෙන් ලිපට ඇද දමා ඇති බව ද, බ්‍රිතාන්‍යයේ ස්වාධිපත්‍යය උල්ලංඝනය වී ඇති බව ද දක්වයි. එහෙත් සැමන් මත්ස්‍ය නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් මෙම ගිවිසුම ඉහලින්ම අනුමත කර සිටී. මන්දයත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වී (Brexit) වීමෙන් පසුව සැමන් මත්ස්‍යය නිෂ්පාදන යුරෝපයට අලෙවි කිරීමට පැවැති බාධාක මින් ඉවත්වන නිසාය. බ්‍රිතාන්‍යයේ වඩාත්ම සංවිධානාත්මක ධීවර ප්‍රජාවක් වන ස්කොට්ලන්ත ධීවර සංගමය මෙම ගිවිසුම ඔවුන්ට අවාසිදායක බලපෑමක් ඇති කරනු ඇති බව දක්වයි.

3. මෙම ගිවිසුම ඔස්සේ බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර නව ආරක්ෂක සහයෝගිතාවයක් ගොඩනැගේ. ජාතික හා කලාපීය ආරක්ෂාව, ආරක්ෂක ක්ෂේත්‍ර අතර අන්තර් සම්බන්ධය සහ මිලිටරි උපකරණ වෙළදාම මෙම නව ගිවිසුම ඔස්සේ යළි ස්ථාපිත කරණු ඇත. ඒකාබද්ධ ආරක්ෂක අරමුදලක්ද පිහිටවනු ඇත.

4. අපරාධ නීති ක්‍රියාමාර්ග අතර අන්තර් සම්බන්ධය යලි ක්‍රියාත්මක කිරීම, අපරාධ යුක්තිය ඉටුවීම සහ අපරාධ සම්බන්ධ තොරතුරු හුවමාරුව වඩාත් සක්‍රිය කිරීමට මෙම ගිවිසුම අනුව ගිවිසුම් ගත්වේ. එමගින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම පහසු කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු හුවමාරුව, නිතී විරෝධී සංක්‍රමණ අවම කිරීම සහ Europol සමඟ බ්‍රිතාන්‍යය ආරක්ෂක සේවයන්ට වැඩ කිරීම පහසු කරනු ඇත. නව සැලසුම්වලට ද එලඹෙනු ඇත.

5. යුරෝපයේ හා බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 18- 30 අතර තරුණ/තරුණියන්ට සංචරණයට, අධ්‍යාපනය ලැබීමට (Erasmus හා සම්බන්ධවීමට) හා රැකියා කිරීමට අවස්ථාව හිමිවෙනු ඇත. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමග අහිමිවූ එම අයිතිය නැවැත තහවුරුවීම සම්බන්ධයෙන් ඉතා යහපත් ප්‍රතිචාරයක් ශිෂ්‍යය ප්‍රජාවන්ගෙන් ලැබී තිබේ. මෙම ගිවිසුම අනුව විස්තර කර නැති තරුණ අත්දැකීම් හුවමාරු කරගැනීමේ ක්‍රමයක් යෝජනා කර ඇත. එය තරුණ/ තරුණියන්ට එක් රටකින් අනෙක් රටට ගමන් කිරීම පහසු කිරීම අභිබවා ගිය නව සංස්කෘතික හුවමාරු වැඩසටහනක යෝජනා ක්‍රමයක් වනු ඇත.

මෙම නව ගිවිසුමේ ධීවර කටයුතු පිලිබදව එකගතාවයන්ට දැඩ් විරෝධයක් එල්ලවුව ද සමස්ථයක් වශයෙන් ගිවිසුම පිලිබදව ඇත්තේ මිශ්‍ර නමුත් යහපත් ආකල්පයක් බව පෙනී යැයි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ ආර්ථික, ආරක්ෂක හා සංක්‍රමණික අභිලාෂයන් සම්බන්ධයෙන් මෙම ගිවිසුමට කිසියම් සාධනීය දායකත්වයක් සැපයිය හැකි බව පෙනේ. විශේෂයෙන්ම තරුණ/ තරුණියින්ට එමගින් විවරවන ඉඩ ප්‍රස්තාව අති විශාලය.

මාකස් ප්‍රියන්ත පෙරේරා
20/05/25