This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 29 April 2025

සමන් ද සිල්වාගේ පරමාදර්ශය ඩෙස්මන්ඩ් ද සිල්වා ද?


සමන් ද සිල්වා (Saman de Silva) බොහෝදුරට ඩෙස්මන්ඩ් ද සිල්වා (Desmond de Silva) ව අනුගමනය කළාද?" කියන කුතුහලය මට කාලයක් තිස්සේ තිබුන දෙයක්. හැබැයි මට එහෙම හිතන්නේ සමන් ද සිල්වාගේ හැම සින්දුවක් සම්බන්ධයෙන්ම නෙමෙයි. අර "පුන්චි කුරුළු කුඩූවේ උන් ඉන්නවා පාඩුවේ" වගේ සින්දු එහෙම සන්සන්දනය කරන්න බෑ. ඒත් ඔහුගේ බොහෝ සින්දු සම්බන්ධයෙන් ඩෙස්මන්ඩ් ද සිල්වාගේ බලපෑමක් ලැබූ බව පෙනී යන දෙයක්. සමන් ද සිල්වාගේ සින්දු සම්බන්ධයෙන් ඩෙස්මන්ඩ් ද සිල්වාගේ බලපෑම සීයට 50 (50% ක්) නැතිනම් අර්ධ වශයෙන් යැයි කියලා හිතමු, ඒත්, සමන් ද සිල්වාගේ ප්‍රාසාංගීක ඉදිරිපත් කිරීම් (Stage performance) සම්බන්ධයෙන් බලන විට, ඔහු හුගාක්දුරට ඩෙස්මන්ඩ් ද සිල්වාගේ විලාසිතාව සහ ඉදිරිපත් කිරීම සෑහෙන්න දුරට අනුගමනය කළ බව නම් පැහැදිලියි.

මේ දෙදෙනාම එකම තේමාවක් ඇති සින්දු කිව්වත්, දෙදෙනාගේ ගායන ශෛලිය එකිනෙකට සමාන වෙන්නෙ නෑ. ඩෙස්මන්ඩ්ගේ ගායන ශෛලිය වඩාත් උද්වේගජනකයි (vibrant) සහ ටිකක් පරිණත යි (matured). සමන් ද සිල්වා ගේ සින්දු වල කිසියම් ආකාරයක හැඟීම් බර ගතියක්, චිත්තවේගී බවක් (emotional ) බවක් දකින්නට තියෙනවා. නියරේ පිය නගලා ගීතයේ උනත්  ඒ ලක්ෂණ දකින්න පුලුවන්.


කාල වකවානු එක්ක බලද්දි දෙදෙනාම 1980–90 දශකයන් ඉහළ ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටි ගායකයින්. ඩෙස්මන්ඩ්ලගේ කාලේම සමන් ද සිල්වාටත් එසේ ඉහල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට එක හේතුවක් තමයි සමන් ද සිල්වා "කාලේ තාලය" ආමාන්ත්‍රණය කිරීමට සමත්වීම. "තණ නිල්ල දිගේ ඇදිල යනවා" කියන්නේ අන්න එහෙම සින්දුවක

ඒවගේම සමන් ද සිල්වාට, අර  "දෙව්ලොව දෙවියනේ", "පෙම් මාලිගාවේ අප්සරාවියේ", "පිණිබර හීත යෑමේ මේ උදෑසනේ " වගේ, ප්‍රාසාංගීක ප්‍රසංග වලට ගැලපෙන, නැගලා යන, නටන කට්ටියට අත්පය විසිකරලා නටන්න පුළුවන් සින්දු සෙට් එකක් තිබුනා. එය ඔහුට ප්‍රසංග අඩුවක් නැතුව ගලා ඒමට විතරක් නෙමේ ලෝකය පුරාම වෙසෙන ලාංකිකයන්ගේ ප්‍රසංග වේදිකාවලට ආරාධනා ලැබීමටත් හේතු වුනා. ඇතැම්විට ඩෙස්මන්ඩ් ගෙන් පස්සේ වැඩිම විදේශ ප්‍රසංග සංඛ්‍යාවකට සම්බන්ධ වුනු ලාංකික ගායන ශිල්පියා ඔහු විය හැකියි.

ප්‍රේක්ෂකයන් සමන් ද සිල්වා තුලින් ඩෙස්මන්ඩ් ද සිල්වා දැක්කා ද? කියන්න පැහැදිලි එකගතාවයකට එන්න බැරි ප්‍රශ්නයක් වුනත් සමන් ද සිල්වා ව ඩෙස්මන්ඩ් ද සිල්වා සමග සංසන්දනාත්මකව විමසා බැලීමට ඉන් කිසියම් පදනමක් සැකසෙන බව එයින්ම කියවෙනවා.

මම නම් සමන් ද සිල්වාගේ ආසම සින්දුව "රුවල් නැවෙන් ගොඩ බැහැලා" කියලා කියන සින්දුවටයි. ඒ සින්දුව තුල සමන් ද සිල්වාගේ ලකුණ විතරක් නෙමේ , සමන් ද සිල්ව ලා නියෝජනය කල සංස්කෘතියත් නිරූපනය වෙනවා කියලා මට හිතෙනවා.

මාකස් ප්‍රියන්ත පෙරේරා

28/04/25

රුවල් නැවෙන් ගොඩ බැහැලා

ගාලු කොටුව මැද ඉඳගෙන

හඳපානෙ ගැයුවත් බයිලා

අර ලිස්බන් වල බෝයේ නගරෙ

පෘතුගීසි ජෝලිය අරන්

අහන්නෙ මේ අපේ කපිරිඤඤා

වයලින් මැන්ඩලින්, ට්‍රැංගල්,

බැන්ජො රබන් අතට අරන්

වේදිකාව උඩට ඇවිල්ලා

එළිසම අක්ෂර යොදාලා දහඅට තාලෙට බෙදාල

කියල බලමු තරඟෙට බයිලා

සෙනසුරාගෙ කරට නැගල සිකුරු තරුව තරණ කරල, බ්‍රහස්පතිය දෙවෙනි කෙරුව මං

රාවණාව මෙල්ල කරපු හනුමන්තගෙ බණ අසාල

මූදු හතෙන් එතෙර වුණා මං

සක්වල ගල මුදුනෙ ඉඳල පිදුරුතලාගලට නැගල

සීගිරි ගල අතට ගත්තනං

ගුරැ සරසවි වරම් ලබල හිටිවන පද ගැනල ගොතල බයිල කියල පරදිනවද මං

පොළව යටින් උමං කපල නාග දරණ හඳට විදල

ඉරයි දෙකයි දෙක හැංගුව නං

සක්‍රභවන තුලට නැගල තරු ඔක්කොම බිමට දාල

අහස පුරා කුරුටු ගෑව මං

කැපිලි කෙටිලි අහක දාල දිණුංකණුව මත ඉඳගෙන

තනි කකුලෙන් පිණුං ගැහුවනං

ගුරැ සරසවි වරම් ලබල විදුරණ පද ගැනල ගොතල

බයිල කියල පරදිනවද මං

# සමන් ද සිල්වා මහතාට මොක්සුව අත්වේවා#

Friday, 25 April 2025

මීගමුවට පැමිණි එකම පාප්තුමාට මීගමුවේ සොව පලවේ!!

හයවෙනි පවුළු පාප්වහන්සේ (1970), දෙවෙනි ජුවාම් පාවුළු පාප්වහන්සේ (1995), හා ෆ්‍රැන්සිස් පාප්වහන්සේ (2015), ඇතුළු ශ්‍රී ලංකාවට පාප්තුමන්ලා තිදෙනෙක් සැපැත්වී තිබුන ද, ලංකාවේ කිතුණුවන්ගේ මුදුන් මල්කඩ වන් නගරය ලෙස මීගමුව සැලකුව ද, මීගමුවට පැමිණ ඇත්තේ එක් පාප්වරයෙකු පමණි. ඒ ෆ්‍රැන්සිස් පාප්තුමා පමණි. ඇත්තවශයෙන්ම, 1954 අප්‍රියෙල් 21 වෙනි දින බ්‍රිතාන්‍යයේ දෙවෙනි එළිසබෙත් මහරැජින මීගමුවට පැමිණියායින් පසු පැමිණි එකම රාජ්‍යය නායකයා වන්නේ ද වතිකානු රාජ්‍යයේ නායකයා වන ෆ්‍රැන්සිස් පාප්තුමාය.

ඉතා කෙටි වේලාවකට පමණක් පැමිණි එතුමා මීගමුව බෝලවලානේ 16 වෙනි බෙනඩික්ට් ජෝශප් (the Benedict XVI Catholic Institute of Higher Education) උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය (BCI Campus) විවෘත කර ගියේය. මීගමුවේ ජනයා එතුමා එන මග දෙපස රැස්වී එතුමාට ආචාර කළෝය. ප්‍රීතිගෝෂා නැගූහ. ඒ 2015 ජනවාරි 15 දාය.

අද එතුමාගේ අභාවය සම්බන්ධයෙන් ද මීගමු වැසියන් බැනර් දමමින් සිය ශෝකය පළකර ඇත. මීගමුව කතෝලික බලමණ්ඩලය ද සිය නිල ශෝක ප්‍රකාශයන් නිකුත් කර ඇත. එතුමාගේ අවමංගල්‍යය වෙනුවෙන් හෙට ද මීගමුවේ ශෝකය පළකිරීමේ වැඩසටහන් යෙදෙනු ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා
25/04/25

Monday, 21 April 2025

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 6යි: විමර්ශනය කළ යුතු මූලිකතම ගැටළුව විමර්ශනය වුවා ද?


පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට වසර 6කි. 2019 අප්‍රේල් 21 වනදා පාස්කු ඉරිදා උදෑසන 8.45ට, කොළඹ කොච්චිකඩේ පිහිටි සා. අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවපිටියේ සා. සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුවේ සියෝන් දේවස්ථානය වෙතත්, එදිනම කොළඹ පිහිටි කිංග්ස්බරි, ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වෙතත් එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පුද්ගලයින් 270 දෙනෙකු මියගිය අතර, 508කට අධික පිරිසක් තුවාල ලැබුහ.

මියගිය අය අතර විදේශිකයන් 45 දෙනෙකු වූ අතර, දේවස්ථාන තුනෙහිදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 202කි. එහිදී, කටුවපිටිය දේවස්ථානයේදී 115 දෙනෙකු, කොච්චිකඩේ දේවස්ථානයේදී 56 දෙනෙකු, මඩකලපුවේ දේවස්ථානයේදී 31 දෙනෙකු ද මියගියහ.

මෙම ප්‍රහාරයෙන් කටුවපිටියේ 32 දෙනෙකු ද, කොච්චිකඩේ 10 දෙනෙකු ද, මඩකලපුවේ 15 දෙනෙකු හා හෝටල් තුලට එල්ලවූ ප්‍රහාරවලින් මියගිය අය ද ඇතුළුව දරුවන් 68 දෙනෙකු මිය ගියේය. පවුල් 482ක් විපතට පත්විය.

ප්‍රහාරයට පෙර ලැබුණු අනතුරු ඇඟවීම් හා තොරතුරු අභිබවා යෑම
=======================

ප්‍රහාරය සිදුවී පැය දෙකක් යෑමට මත්තෙන්, ශ්‍රී ලංකා ආරක්ෂක අංශයන් මෙම ප්‍රහාරය ගැන දැන සිටි බව පැවසෙන බහුවිධ ආරක්ෂක ආඥා සහිත රහසිගත ලියවිල්ලක් සමාජ මාධ්‍යය තුල සංසරණය වන්නට විය. එදිනම (2019 අප්‍රේල් 21) ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ප්‍රහාරය එල්ල විය හැකි ස්ථාන සම්බන්ධයෙන් පූර්ණ බුද්ධි තොරතුරු සහිත වාර්තාවක්, එදින උදෑසන 6 වන විටත් ඉංදියානු බුද්ධි අංශ විසින්, ශ්‍රී ලංකා බුද්ධි අංශ වෙත ලබාදී ඇති බවය.

ඉන් දින කිහිපයකට පසුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා "ප්‍රහාරයක් සිදුවෙන බව දැන සිටියත් මෙතරම් විශාල ප්‍රහාරයක් සිදුවේ යැයි" නොසිතූ බව ප්‍රසිද්ධියේම පිලිගත්තේය. ප්‍රහාරය සිදුවන විට රටේ නොසිටි එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ පොලීසියේ ඉහල නිලධාරින්ට ප්‍රහාරය ගැන අනතුරු ඇගවීම් කලින්ම දැනුම් දුන් බව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

එකී තොරතුරු අනුව පාස්කු ඉරිදා දින ප්‍රහාරයක් එල්ලවනු ඇති බව දැන සිටියද, එය වළක්වා නොගැනීම පිළිබඳව වහාම සත්‍යය හෙළිදරව් කළ යුතුයැයි කාදිනල් තුමන් ඇතුළු කතෝලික සභාව, ආණ්ඩු පක්ෂ හා විපක්ෂයේ දේශපාලන පක්ෂ, රට තුළ සහ ලෝකය පුරා විශාල අවධානයක් යොමු කළ හෙයින්, එම කාරණය විමර්ශනය කිරීමට පළමුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද, දෙවනුව මලල්ගොඩ කොමිසම ද, අනතුරුව ජනාධිපති කොමිසමක් ද පත් කරන ලදී.


විමර්ශනවල අරමුණ කුමක්ද?
=============================

එකී සියළු විමර්ශන අවසන් වී වාර්තා නිකුත් කර තිබුණද, පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර හයක් ගතවී ඇති අද දිනට ද, එම විමර්ශන වල මුලික අරමුණ වූ 'පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ලවනු ඇති බව දැන සිටියද, එය වළක්වා නොගත්තේ ඇයි?' යන ප්‍රශ්නයට තවමත් පිළිතුරක් ලැබී නොමැත.

විමර්ශන වාර්තා ගැන කිසියම් පරිචයක් ඇතිව සිටි හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා "පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවුයේද? යන සැකය තවදුරටත් සැකයක් නොව, පැහැදිලිවම සාක්ෂි සටහන් ඔස්සේ නිගමනයකට පැමිණිය හැකි කාරණයක්" යැයි සදහන් කළ ද 'පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ලවනු ඇති බව දැන සිටියද, එය වළක්වා නොගත්තේ ඇයි?' යන්න ගැන සදහන් නොකළේය. ඒ කුමන්ත්‍රණයක් යැයි කීම තුල ප්‍රහාරය වලක්වා නොගැනීම ද කුමන්ත්‍රණයේම කොටසක් යැයි සිතාගැනීමකට යොමුකළේ ද?

2023 ජනවාරි 12 වැනිදා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ ඓතිහාසික තීන්දුව මඟින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි සේවා ප්‍රධානී සිසිර මෙන්ඩිස්, සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිස, තොරතුරු ලැබී තිබූන ද, ප්‍රහාරය වළක්වා ගැනීමේ වගකීම පැහැරහැරීම නිසා මිනිස් ජීවිත 270 ක් අහිමිවීමට සහ 500යකට අධික පිරිසක් තුවාල ලැබීමට වරදකාරුවන් කරමින්, වන්දි වශයෙන් රුපියල් කෝටි 31ක මුදලක් ගෙවීමට නියම කළ ද, 'එම ප්‍රහාරය වැළක්විය නොහැකිවූයේ ඇයි?' යන්න පිළිබඳව කරුණු හෙළිවූයේ නැත.

විමර්ශන වෙනත් මගකට යොමුවී ද?
===========================

විමර්ශනය කළ යුතු එකී මූලිකතම ගැටළුව වු "ප්‍රහාරයක් එල්ලවනු ඇති බව දැන සිටියද, එය වළක්වා නොගත්තේ ඇයි?' යන්න මෙතෙක් නිසි ලෙස විමර්ශනය නොවී, තවදුරටත් නොවිසදී පවතින අතර, මේ දක්වා සිදුකළ විමර්ශන ප්‍රධාන වශයෙන්; පාස්කු ඉරිදා ප්‍රහාරය ISIS සංවිධානයක ක්‍රියාවක්ද? නැතහොත් රටේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක්ද? යන්න මූලික කර ගනිමින් දියත්වෙමින් තිබේ.


පැහැදිලිවම, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළේ 'ජාතික තව්හීත් ජමාත්' (NTJ) සංවිධානයේ සහරාන් හෂීම් සහ ඔහුගේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් වන අතර, ඔවුන් 'ඉස්ලාමීය රාජ්‍යය' (ISIS) ක් වෙනුවෙන් ක්‍රියාත්මකවුවන්‍ ය. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දින, එනම් 2019 අප්‍රේල් 20 වැනිදා, සහරාන් සහ ඔහුගේ සමූහය ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි වෙත 'බයාත්' (පක්ෂපාතීත්වය) ප්‍රකාශ කර ඇති බව විමර්ශන වලින් සහතික වී ඇත. අනෙකුත් ISIS ත්‍රස්තවාදීන් මෙන්ම ඔවුන්ද, ක්‍රිස්තියානි ආගමිකයින් ඉලක්ක කරගෙන පාස්කු ඉරිදා දින දේවස්ථානවලට, හා බටහිර පුද්ගලයන් ඉලක්ක කරගෙන හෝටල්වලට, මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම තුල ද ඔවුන් පෙනී හිටි අරමුණ කුමක්ද යන්න තවදුරටත් සනාථ කරයි.

ඒ සමගම, මෙතෙක් පැවැති විමර්ශනවලින් හෙළිවී ඇති අනෙක් කරුණා වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ලවෙනු ඇතැයි යන්න පමණක් නොවේ: ප්‍රහාරයන් එල්ල කරන පුද්ගලයන් කවුද? ඔවුන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ කලාන්තරයක් පුරා දැන සිටි, ප්‍රශ්න කිරීම්වලට හා සෝදිස්සි කිරීමවලට පවා ලක්වු, ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරීන් ද දැන සිටි හා බුද්ධි අංශ නිලධාරීන් සමඟ සබදතා පවත්වා ඇති පුද්ගලයින් බව හෙලිවී ඇත. එම නිසාම පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදී කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සබදතා පවත්වා ඇති බව තවදුරටත් රහසක් නොවේ.


සම්බන්ධය කුමක්ද යන්න හෙළිකර ගැනීම
===============================

සහරාන් ඇතුළු ඉස්ලාමීය අන්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයන් රටේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ද යන්න මතුවන්නේ ශ්‍රී ලංකා බුද්ධි අංශයන් හා සහරාන් ඇතුළු ඉස්ලාමීය අන්තවාදීන් අතර පැවැති එකී සබදතා පදනම් කරගෙනය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන උනන්දු බෙහෝ දෙනාගේ අරමුණ වී ඇත්තේ සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් සමඟ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ කුමන ආකාරයේ සම්බන්ධයක් පවත්වාගෙන ගියේද යන්න හෙළිකරගැනීම බව පෙනී යැයි. එය හෙළිකරගැනීම තුල පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලන බලය ලබා ගැනීම සඳහා කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ද යන්න හෙළිකරගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. දේශපාලන අරමුණු වෙනුවෙන් නිමක් නැති මිනීමැරූම් වල අඩුවක් නැති ශ්‍රී ලංකාව වැනි රටක් තුල පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි සමුහ ඝාතනයක් පිටුපස ද එම හෙවනැල්ලිම ඇති බවට සිතා ගැනීම සම්පුර්ණයෙන්ම අත්භූතජනක සිතාගැනීමක් නොවීමට පුළුවන.

එහෙත්, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු ඉස්ලාමීය අන්තවාදීන් සමඟ ශ්‍රී ලංකා බුද්ධි අංශයන් සබදතා පවත්වා ඇති බව හෙළිවීම තුල පමණක්, පාස්කු ඉරිදා ප්‍රහාරය යනු රටේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක්ද?, යන්න හෙලිවේ ද?

ඇත්ත වශයෙන් එම කාරණා දෙක අතර දැවැන්ත පරතරයක් පවති. එනම්, ඉස්ලාමීය අන්තවාදීන් සමඟ ශ්‍රී ලංකා බුද්ධි අංශයන් සබදතා පවත්වා ඇති බව තහවුරු වූ පමණින් පාස්කු ඉරිදා ප්‍රහාරය රටේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා කළ කුමන්ත්‍රණයක්ද? යන්න තහවුරු වන්නේ නැත. ඒ සදහා තවදුරටත් වෙනම ම විමර්ශනය කළ යුතුව ඇත.


අපට අවශ්‍යය කුමක්ද?
==================


එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන ඒදෙසට යොමුවූවහොත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍යය මතුකරගන්නවා වෙනුවට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශන දේශපාලන අභිලාෂයක් ඉටුකරගැනීම වෙත යොමු වෙනු ඇත. විමර්ශන එවැනි මගක ගමන් කළහොත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබද විමර්ශන දේශපාලනීකරණයකට ලක්වනු නියතය.

අපිට අවශ්‍ය වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය ඉටුකරගැනීමට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සම්පුර්ණ සත්‍යය මතුකර ගැනීමය.

එය ඉටුකර ගත හැක්කේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබද විමර්ශනවල මුලික අරමුණ වූ 'පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ලවනු ඇති බව දැන සිටියද, එය වළක්වා නොගත්තේ ඇයි?' යන්න සොයාගැනීමට විමර්ශන මූලික වශයෙන්ම යොමුකිරීම තුලය.

එහෙත් එය පහසු කටයුත්තක් නොවේ: පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන්ගේ පිරිස හා ISIS ඉස්ලාමීය ත්‍රස්තවාදීන් අතර පැවැති සබදතා ශ්‍රී ලංකාවේ විමර්ශකයන් අඩුවක් නැතිව හෙළි කරණු ඇත. එහෙන්ම, ශ්‍රී ලංකාවේ විමර්ශකයන් සහරාන් ඇතුළු ඔහුගේ පිරිස සමග ශ්‍රී ලංකා ආරක්ෂක අංශ හා බුද්ධි අංශ පවත්වාගෙන ගිය සබදතාද කිසියම් ප්‍රමාණයකට හෙළිකිරීමකට එකගවනු ඇත. එහෙත්, තොරතුරු දැන දැනත් ප්‍රහාරය වලක්වා නොගත්තේ ඇයි? යන්න ශ්‍රී ලංකාව වැනි අපරාධකාරී පැවැත්මක් ඇති රාජ්‍යයක් හෙළිකරයි ද? එය විශ්වාස කිරීමට අපහසුය.

මන්දයත්, ඒවැනි හෙළිදරව් වීමක් ඔස්සේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ද, රාජ්‍ය යාන්ත්‍රණයේ ද, සමස්ථ රාජ්‍යයේ ද අභ්‍යන්තර සැකැස්ම, දෘෂ්ටිවාදී පෙළගැස්ම, ක්‍රියාත්මකවිමේ සීමා සහිතකම් හා භාවිතයේ දුර්වලත්වයන් සහමුලින්ම හෙළිදරවී සමස්ථ රාජ්‍යයේ පැවැත්ම උවදුරේ හෙළිය හැකියැයි ශ්‍රී ලංකාව පිලිගන්නා නිසාය.

එහෙත් මෙතෙක් පැවැති ශ්‍රී ලංකා රාජ්‍යයේ සැබෑ වෙනස් අපේක්ෂා කරන්නේ නම් පවත්නා රාජ්‍යය වෙනස කළ යුතුය. එහිලා පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබදව නිසි විමර්ශනයක් සැබෑ අවස්ථාවක් උදාකරණු ඇත.

එහිලා දේශිය හා විදේශීය විශේෂඥ විමර්ශකයන්ගෙන් සමන්විත ජාත්‍යන්තර වෂයෙන් පිලිගත් විමර්ශනයක් ඉල්ලා සිටිමු!!


මාකස් ප්‍රියන්ත පෙරේරා
21/04/25

Saturday, 19 April 2025

ආලේලූයියා සෙනසුරාදා මීගමුවේ "යක්කු යෑම"


මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර 1968 පලකල 'සිංහල ගැමි නාටක' කෘතියේ කරුණු අනුව, මීට වසර 60කට පෙර, එනම් 1960 දශකයේ පවා, මිගමුව වැනි කතෝලික ප්‍රදේශවල ආලේලුය්යා සෙනසුරාදා හෙවත් මහ සිකුරාදායින් පසුව එළබෙන සෙනසුරාදා, ජේසුස්වහන්සේ මරණයට පත්වීමත් සමග යක්ෂයන් අපායෙන් නික්මී පොළොවට පැමිණ, ගස්කොලන්වල ගෙඩි පලතුරු පමණක් නොව ගෙවල් දොරවල්, කඩවල් පවා කොල්ල කන ආකාරය සංකේතවත් කිරීම සදහා තරුණයින් යක්කු යෑම රග දැක්වා තිබේ.

එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ 'සිංහල ගැමි නාටක' කෘතියේ 176 පිටුවේ එම කාරණය දක්වා ඇත්තේ මේ ආකාරය ය:

''යක්ෂයන් හිස ලූ ලූ අත දිවූ සැටි දැක්වීමට ගමේ පිරිමි ළමයි කොළ ඇතු ඇද, ඇගේ දැලි තවරාගෙන ක්‍රීඩා විලාසයෙන් අවට කඩවලට වැද කොල්ල කෑහ. මෙය සිදුවෙන බව දැන සිටි කඩකාරයෝ නොවටිනා ද්‍රව්‍ය හා වුවමනා නැති බඩු මුට්ටි එළියේ තැබුහ....'"

එකී සංකේතවත් කිරීම තුල 'ජෙසු' නම් 'යහපත' මැරීම තුල 'නපුර' නම් යක්ෂයා රජවෙන ආකාරයත් එවැනි යක්ෂාධිපත්‍යක් තුල මහජනයාට අත්වෙන විනාශයත් හුවාදැක්වීම එම යක්කු යෑම තුල සංකේතවත් කිරීම සිදුවිය.

එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ඉහතකී 'සිංහල ගැමි නාටක' කෘතියේ 177 පිටුවේ දැක්වෙන ආකාරයට කලකට ඉහත (එනම් 1960 දශකයේ පවා) ආලේලුය්යා සෙනසුරාදා මීගමුවේ පිටිපන "සාතන්ගේ පරාජය' නම් නාට්‍යයක්ද රගදක්වා තිබූ බව කියවේ: 'පිටිපන නම් මෑත කාලයෙහි ද මේ වෙනුවට (යක්කු යෑම වෙනුවට) සෙනසුරාදා සවස, සාතන්ගේ පරාජය නමින් හැදින්වෙන නාට්‍යයක්ද රග දැක්වුහ. මේ නාට්‍යයෙහි යක්ෂයින් නිරයෙන් පිට වී යාමත් 'යක් සෙනෙවියා' විත් මිනිස්සුන්ගේන් නඩු විභාග කිරීමත් ඇතුළු මුළු සිද්ධිය ම නිරූපනය කෙරේ. මේ නාට්‍යය පොදු ව්‍යවහාරයෙහි "යකා පාට්" වශයෙන් හැදින්විණි." යැයි දක්වයි.

මෙම නාට්‍යය අවසන්වී ඇත්තේ පාස්කු ඉරිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරදා උත්ථානවූ බව සිහිකරන පුවතිනි. මෙහිදී මරිය මග්ලීනා හා මාර්තා යන දෙදෙනා කුරුසයේ ඇනගසා මරාදැමූ ජේසුගේ සිරුර තැම්පත්කර තිබූ සොහොනට ගොස් සිරුර සොයන ආකාරයත්, එකවිටම මුලු වේදිකාව ආලෝකමත් කර "ඔබ මලවුන් අතර ජීවත්වන්නන් හොයන්නේ ඇයි? ඔහු මලවුන්ගේන් නැගිට්ටේය" යැයි කියවෙන හඩක් ඇසේ. ඒ සමග නළු නිළියන් ද සෙනග ද සතුටින්, මහා හඩින් ජයගෝෂා තැබූ බවත්. එම 'සාතන්ගේ පරාජය' නම් නාට්‍යය අවසන්වන්නේ මෙලෙස සියල්ලෝම ජයග්‍රාහී සතුටකින් ඉපිලයෑමත් සමග බවත් දක්වයි.

මේ සියලු සටහන් ඔස්සේ පෙනී යනුවේ ජේසුගේ දුක් ප්‍රාප්තිය යෙදෙන පාස්කු සමය මීගමුවේ ජනයා සිය ආධ්‍යාත්මය කරගන්නා ආකාරය ය. ජේසුගේ මරනය සහ උත්ථා‍නය සිය ජීවිත තුලට ලංකරගන්නා අපූරුවත්වයත් ය.

2009 දෙසැම්බර් 09 වෙනි දින දිවයින පුවත්පතේ පලවූ වාර්තාවකට අනුව මහ සිකුරාදා රාත්‍රියේ ඡේසුතුමාගේ මරණයත් සමග පාතාල ලෝකයේ දොරටු විවෘත වන බවත්, එය නැවැත වැසී යන්නේ මරණය පරාජය කොට ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු ඉරිදා උත්ථානයත් සමග (ස්‌වරගීය මාර්ගය) බවත්, ඊට පෙර දින සෙනසුරාදා දින (අලේලුයියා සෙනසුරාදා) යකුන්ගේ නිදහස්‌ දිනය ලෙස සලකන බවත්, එසේ යකුන් රජ කරන ආකාරය මීගමුවේ රගදක්වන බවත් දක්වයි.

එම රගදැක්වීම ඉහත පුවත්පත් වාර්තාවේ දැක්වේ මෙලෙසය:

"මේ සිදුවීම සිහිකිරීම සඳහා ගමේ ළමෝ යකුන් ලෙසින් වෙස්‌වලා ගනු ලබති. කොළ අතුවලින් සහ විවිධ දැලි වර්ගයකින් ශරීර විකෘති කරගනු ලබයි. මේ ළමෝ ගමේ නිවෙස්‌ වෙත සහ කඩසාප්පු වෙත ගොස්‌ හිඟමන් ඉල්ලති. කලින් දින සිටම ඔවුන්ගේ පැමිණීම අපේක්‍ෂා කරන ව්‍යාපාරිකයෝ ඔවුන්ට අවශ්‍ය දේ තෑගි කිරීම සඳහා සූදානම් කරගනු ලබයි. මේ ක්‍රියාවලිය යකාපාටි ක්‍රමය ලෙස ක්‍රිස්‌තු බැතිමත්තු ව්‍යවහාර කරයි. මෑතක්‌ වන තුරුම මෙම ක්‍රියාවලිය මීගමුව නගරයේ පාස්‌කු සමයේදී දක්‌නට ලැබුණු සුලබ දර්ශනයක්‌ වී තිබිණ" ය යනුවෙනි.

අප කුඩා සමයේද ආලේලූයියා සෙනසුරාදාට එසේ "යක්කු යෑම් දැකිය හැකිවූ අතර, එසේ යන යක්කු කී සුපුරුදු වදන් පෙළ අද මෙන් මතක... ඒය මෙසේය:

"අපි මොක්කුද - යක්කු පැටව්‍

කොහෙන් ආවේ - පාතාලේන්

දුන් නැත්නම් යන්නෙත් නැහැ

දෙකෙන් අඩුව ගන්නෙත් නැහැ'',

"අපි කවුරුද, යක්කු පැටව්‍

කොහෙන් ආවේ

පාතාලේන්

ලේ බීලයි මේ එන්නේ

සල්ලි නොදුන්නෝත්

ලේ බොනවා....''.

මීගමුවේ නත්තල මෙන්ම කොරොස්ම හෙවත් පාස්කු සමයේ ද මීගමුවටම හිමි සුවිශේෂී සංස්කෘතික අනන්‍යතාවයක් නිරූපනය කරන සමයකි.


මාකස් ප්‍රියන්ත පෙරේරා.

19/04/25


photo courtesy Riyanzi Pushpamal