This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday, 25 November 2024

"නිධානය"- නිර්මාණාත්මක යාථාර්ථයක්ද?

ඔය නිධන් ගොඩගන්න යන කථා ඇහැද්දී මට මතක්වෙන්නේ කාලේකට කලින් ලෙස්ටර් ජේමිස් පිරිස් සිළුමිණ පුවත්පතට ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාවක්.

ලෙස්ටර් ජේමිස් පීරිස් 'නිධානය' චිත්‍රපටය කරන්න කලින් ඒ චිත්‍රපටය පදනම් වූ 'නිධානය' කෙටිකතාව ලියූ ජී. බී සේනානායකව හමුවෙන්න ජී. බී. සේනානායකගේ කදානේ නිවසයට ගිහින් එහිදී ඇතිවූ කතා බහක් ගැන විස්තරයක් ඒ සම්මුඛ සාකච්ඡාවේ පළවෙලා තිබුනා.

කෙටිකතාවක් ඇසුරෙන් චිත්‍රපටයක් කිරීම ලේසි නැති නිසා, එම කෙටිකතාවට පදනම් වූ කිසියම් සිද්ධියක්, වස්තු බීජයක්, වෙනත් කතාවක් තියෙනවා ද කියලා තොරතුරු හොයා බැලීම තමයි ලෙස්ටර් ජේමිස් පීරිස් හා ජී. බී සේනානායක අතර ඇතිවූ එම හමුවේ මුඛ්‍යය අරමුණ වී ඇත්තේ.

එම හමුවීමෙන් පසුව ලෙස්ටර් ජේමිස් පීරිස් තේරුම් ගත්තු දෙයක් තමයි ලූ ජී. බී. සේනානායක 'නිධානය' කෙටිකතාව ලියලා තියෙන්නේ අභ්‍යන්තර වශයෙන් කඩාවැටුන මනුෂ්‍යයෙක්ගේ චිත්ත ස්වභාවය මනෝ මූලිකව විනිවිද දැකීමට බව.

ඒ ප්‍රස්තුතයම තමන්ගේ 'නිධානය' චිත්‍රපටය තුලින් ද නිරූපනය කිරීමට තමන් උත්සාහ ගත් බවක් ද සිළුමිණ පත්තරේ පලවු ලෙස්ටර් ජේමිස් පීරිස් ලබා දුන් එම සම්මුඛ සාකච්ඡාවේ දක්වා තිබුනා.

'නිධානය' චිත්‍රපටය විචාරය කරපු බොහෝ ලාංකික සිනමා විචාරකයෝ ලෙස්ටර් ජේම්ස් පීරිස් සිළුමිණ පුවත්පත්ට ලබාදුන් එම සම්මුඛ සාකච්ඡාව 'නිධානය' චිත්‍රපටය විචාරය කිරීමේ පදනම ලෙස භාවිතා කළ බවක් ද පෙනී යනවා. "එය කළේ මා නොව මා තුළ සැඟ වී සිට එවේලෙහි මට ආවේශ වූ යක්ෂයකු විසිනැයි සිතමි” යැයි කියන දෙබස් කාණ්ඩය එම චිත්‍රපටය විචාරය කරද්දී නිතර මතුවෙන්නේ ඒ නිසා වෙන්න පුලුවන්.

මගේ අවධානය ඒ ගැන නෙමේ..

මගේ ප්‍රශ්ණය, ජීවිතය ජී. බී. සේනානායක වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස් ද ඔවුන් ඔවුන්ගේ 'නිධානය' නිර්මාණයන් ඔස්සේ කියන්න හදන්නේ 'මිනිසෙකු අභ්‍යන්තර වශයෙන් කඩාවැටුනාම මොනතරම් පිරිහෙනවා ද' යන්න නම්:

අධිකරණය, පොලීසිය, හමුදාව, පතල් හා කැනීම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍යය මැදිහත්වීමෙන් සිදුකළ 'වේයන්ගොඩ නිධානය' කැනීමෙන් කියවෙන්නේ නිධන් විස්වාස කරන්න තරම් ශ්‍රී ලාංකා රාජ්‍යය මනෝ මූලික හා මතවාදීමය වශයෙන් පවා අභ්‍යන්තර වශයෙන් මොන තරම් පිරිහෙලා යන්න නෙමේ ද?


මාකස් ප්‍රියන්ත පෙරේරා
24/11/24

Thursday, 7 November 2024

දෙවියෝ ට්‍රම්ප්ගේ ජීවිතය බේරුවේ ද?


"God spared my life for a reason" - 

දෙයියෝ එයාගේ ජීවිතය බේරුවේ හේතුවක් ඇතිවයි කියලා ජනාධිපතිවරණය දින්නයින් පස්සේ ට්‍රම්ප් කිව්වා.. දැන් ඒක හැම මධ්‍යයකම ලොකු අකුරින් පළවෙලා තියෙනවා. 

ඝාතන තැතකින් දෙය්යෝ ඔහුගේ ජිවිතය බේරුවේ මොන හේතුවක් ඇතිව ද? යන්න ගැන කියන්න අපි කවුරුත් දන්නේ නෑ.. ඒත් ඇමැරිකානු ක්‍රිස්තියානි කණ්ඩායම් ට්‍රම්ප්ගේ ජය වෙනුවෙන් දැඩි මැදිහත්වීමකින් කටයුතු කළා. විශේෂයෙන්ම Alabama, Arkansas, Georgia, Louisiana, Mississippi, Missouri, Nebraska, North Carolina, Oklahoma, South Carolina, Florida, South Dakota සහ Tennessee වගේ ඇමැරිකානු Bible Belt එකේ දැවැන්ත සහයෝගය හිමිවුනේ ට්‍රම්ප්ට. කමලා හැරිස්ට ඒ ප්‍රදේශය වල නිසි සහයක් නොලැඹීම ඇගේ පරාජයට එක් හේතුවක්. 

ට්‍රම්ප් ආගමික අනන්‍යතාවයක් නියෝජනය කරනවද? නැද්ද? කියන එක කොහොම වුනත් ගබ්සාවට විරුද්ධවීම, බයිඩන්ලගේ, කමලා හැරිස්ලගේ ඩිමොක්‍රටික් පක්ෂය සහයෝගය දෙන ලිබරල් වැඩපිලිවෙළ හැකිලීම, වැනි එරට ක්‍රිස්තියානි කණ්ඩායම්වල ඉල්ලිම් ඉටුකිරීමට නම් ට්‍රම්ප්ගේ සහයෝගය හිමිවේවි. 

ඒ වගේම යුක්‍රේන - රුසියානු යුද්ධය, මැදපෙරදිග අර්බුදය ආදියටත් මැදිහත්වේවි. ඒ සියල්ලටම වඩා ඇමැරිකාව තුල මතුවි ඇති අභ්‍යන්තර ආර්ථික අර්බුදය, විරැකියාව, සංක්‍රමණික අර්බුදය, නිවාස අහිමි ජනයාගේ ප්‍රශ්නය, සෞඛ්‍ය හා අධ්‍යාපන අර්බුදය ගැන අවදානය යොමු කරන්න ඔහුට තදින්ම සිදුවේවි. ඔහුගේ ඒ මැදිහත්වීම තුල දෙවියෝ ඔහුගේ ජීවිතය බේරුවේ කුමන හේතුවකට ද යන්න කාලයත් සමග විමසා බැලිය හැකිවේවි. අන්න ඒ තත්වයන් තුල අර ඇල්බට් අයින්ස්ටයින් වරක කිව්ව වගේ දෙවියෝ දාදු කෙළින්නේ ද? යන්න හෙළිවේවි

 - "God does not play dice" !!

මාකස් ප්‍රියන්ත පෙරේරා
06/11/24

Wednesday, 6 November 2024

Quincy Jones ලාංකික සංගීත ක්ෂේත්‍රය තුල අවධානයට ලක් නොවුයේ ඇයි?


දැන් ලංකාව තමන්ගේම වූ ලෝකයක හිරවෙමින් තියෙන්නේ...සෙසු ලෝකයේ වෙන්නේ මොකක්ද කියන්න දන්නේ නෑ... මෙච්චර උණුසුමක් තියෙන ඇමැරිකානු ජනාධිපතිවරණය ගැන පවා එහෙට එහෙම දැනෙන්නේ නෑ... එහෙව් එකේ Quincy Jones ගේ මරණය කොහොමත් අදාල වෙන්නේ නෑ... Quincy Jones කියන්නේ කවුද කියලාවත් බොහෝ දෙනෙක් දන්නේ නෑ... හැබැයි Quincy Jones ගේ නම නොදන්නවා වුනත් අතිශය ජනප්‍රිය වූ ඔහුගේ ඇතැම් සංගීත නිර්මාණ නම් රටේ මිනිස්සු අහලා තියෙනවා. විශේෂයෙන්ම මයිකල් ජැක්සන්ගේ Billie Jean, We Are the World, Thriller, Bad, Don’t Stop වගේ සින්දු.

ඒවත් අහලා තියෙන්නේ මයිකල් ජැක්සන් කියන සින්දු විදිහට මිසක් ඒ සිංදු හැදුව කෙනා දන්නේ නැතිවයි. අපි "නිර්මාණකරුවා දන්නේ නැති, නිර්මාණ පමණක් රසවිඳින ජාතියක්" කියලා මම facebook ආපුම කාලේ නිමල් මෙන්ඩිස් ගැන ලියද්දි ලිව්වා (ඒ ලිපිය මෙතනින් පිවිස කියවන්න පුලුවන්). ඒ වගේම තමයි අපි මයිකල් ජැක්සන්ගේ සින්දු අහලා තිබුනට, ඒවා දන්නවා වුනාට, ඒවා බලලා තියෙනවා වුනාට, මයිකල් ජැක්සන්ගේ සිංදු විතරක් නෙමේ මයිකල් ජැක්සන්ගේ ස්වතන්ත්‍ර සංගීත ජීවිතයම ගොඩනැගුවේ Quincy Jones කියලා ලංකාවේ මයිකල් ජැක්සන්ගේ සිංදු අහන හුගාක් දෙනෙක් දන්නේ නෑ.

මයිකල් ජැක්සන්ගේ නිර්මාණ ඔස්සේවත් Quincy Jones ව හදුනා නොගත් කෙනෙකුට Frank Sinatra ගේ Fly Me to the Moon සින්දුව, Ray Charles ගේ One Mint Julep සින්දුව, Lesley Gore ගේ My Party වගේ සිංදු නිර්මාණය කළේ ඔහු, Elvis Presley ගේ සින්දුවල second trumpet part එක ගහන්නේ ඔහු...The Pawnbroker වගේ චිත්‍රපටිවල ඉදන් Prince of Bel-Air, The Color Purple වගේ චිත්‍රපටිවල සංගීතය නිර්මාණය කළේ ඔහු වගේ කාරණා කිසිසේත්ම හදුනාගනී කියලා හිතන්න බෑ...

Quincy Jones වගේ අය විතරක් නෙමේ, බටහිර ජනප්‍රිය, pop, මෙන්ම ශාස්ත්‍රීය සංගීතය ගැන වගේම පෙරදිග සංගීතය ගැන වුනත් ලංකාවේ ඒ හැටි මුල් බැසගත්ත කතිකාවක් නෑ... විවිධ සංගීත ශානර ගැන ගැඹුරු කතිකාවක් නෑ... instrument එකක්, සංගීත භාණ්ඩයක්, වාදනය කරන්න පුලුවන් ගොඩාක් අය හිටියට music notes කියවන්න, ලියන්න පුලුවන් අය ඉතා අඩුයි. ගීත රචනය, තනු නිර්මාණය හා නිෂ්පාදනය ආදිය ගැන අවධානය යොමු කළත් සංගීතය කියන්නේ ප්‍රසාංගික හා නිර්මාණාත්මක (performance and composition) මාදිලියකට (featured) පමණක් සීමා නොවූ මානව ශාස්ත්‍ර සංස්කෘතික දෘෂ්ටිකෝණයකින් (perspective) මානව චර්යාව විශ්ලේෂණය කළ හැකි විෂයක් ලෙස සංගීතය හැදෑරීම ලංකාවට තවමත් ආගන්තුකයි.

එතරම්ම දුරකට නොගියත් අඩුම තරමේ සමකාලීන සංගීත නිර්මාණ පිටුපස සිටින විශිෂ්ඨයන් පිලිබදවත් ලාංකිකයන්ට එතරම්ම අවබෝධයක් නෑ...ඒ නිසා තමයි මයිකල් ජැක්සන් ගේ සින්දු ඇහැව්වත් එම නිර්මාණ පිටුපස සිටි Quincy Jones වගේ කෙනෙකුව මගහැරෙන්නේ... එහෙත් ඇත්තම ප්‍රශ්නය අවුරුදු 91ක් ජීවත්වූ, ඒ වගේ දැවැන්තයෙක්ව ලාංකිකයන්ට මගහැරෙන්නේ කොහොමද? සංගීතය පිලිබද ලාංකික කතිකාව තුලට ඔහුව හසු නොවෙන්නේ කොහොමද? කියන එකයි...ඒ අපි සෙසු ලෝකයෙන් ක්‍රමයෙන් දුරස්වෙමින් යන නිසා ද?


මාකස් ප්‍රියන්ත පෙරේරා
05/11/24