This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 26 September 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය මේ ආණ්ඩුවේ අම්ල පරීක්ෂණයයි. සුරේෂ් සලේ තවමත් රාජ්‍යය බුද්ධි අංශ ප්‍රධානියා



ජේෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා එසේ දක්වා ඇත්තේ ඊයේ (25/09/24) මරදාන සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ (CSR) හි පැවැති 'පාස්කු ඉරුදින ප්‍රහාරය පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසඳුණු අහිරහස්' නම් සිය කෘතිය එළිදක්වමිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබදව මෙතෙක් සිදුකර ඇති විමර්ශන වාර්තා ඇසුරෙන් මෙන්ම ගවේෂණාත්මක මාධ්‍යයවේදියෙකු ලෙස තමා රැස්කරගත් කරුණු ද ඔස්සේ ලියා ඇති එම කෘතිය, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව බොහෝ කරුණු ඉදිරිපත් කිරීමට අමතරව ශ්‍රී ලංකා රාජ්‍යය තුල ක්‍රියාත්මක වන 'පාර රාජ්‍යයේ' (deep state) මිලිටරි සෙවනැලි 2021 අප්‍රියෙල් 21 වෙනි පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරයන් මත ද වැටී ඇති බව පෙන්වා දෙන බව කෘතිය හදුන්වමින් දක්වා තිබේ. ශ්‍රි ලංකා රාජ්‍යයේ අභ්‍යන්තරයේ සිට ක්‍රියාත්මක වෙන මෙම මිලිටරි 'පාර රාජ්‍යය' (deep state) සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් බලයට පත් වූ නව රජය පවා අනතුරකට මුහුණ දීමේ අවධානමක් ඇති බව ද ඒ මහතා තවදුරටත් පෙන්වා දෙනවා.

එම කෘතිය එළිදැක්වීමේ උලෙළ අමතමින් කථා කළ ජේෂ්ඨ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා සහරාන්ගේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායම සමග සුරේෂ් සලේ හා රාජ්‍ය හා හමුදා බුද්ධි සේවා අතර පැවැති සම්බන්ධතා එකිනෙක කරුණු සහිතව ගෙන හැර පා තිබෙනවා.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබද විමර්ශන නොමග යැවීමට මෙන්ම අදාල විමර්ශන කඩාකප්පල් කිරීමට රාජ්‍ය හා හමුදා බුද්ධි සේවා පමණක් නොව ගෝඨාභය රාජපක්ෂ රජය ද කටයුතු කර ඇති ආකාරය සුනන්ද දේශප්‍රිය මහතාගේ එම කෘතිය එළිදැක්වීමේ උලෙළට සහභාගීවෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා විස්තර සහිතව පෙන්වා දී තිබෙනවා.

එම අදහස් දැක්වීම් තුනට සවන්දීමෙන් පමණක් වුවද ශ්‍රි ලංකා රාජ්‍යය තුල කෙතරම් බරපතළට විහිදුනු මිලිටරි 'පාර රාජ්‍යය' ක (deep state) හස්තයක බලපෑමට ලක්ව ඇත්ත යන්න පිළිබඳව සිතා ගත හැක්කක්.

දැන් ප්‍රශ්ණය වී ඇත්තේ එකී 'පාර රාජ්‍යය' යෙන්, මිලිටරි හස්තයන්ගෙන් මිදී ශ්‍රී ලංකාව තුල ආණ්ඩුවකට පැවැතිය හැකිද? යන්නයි.

1. ජාතික ජනබලවේගයේ (මාලිමාවේ) වේදිකාවට ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර අමු අමුවේ මරා දැමුවේ යැයි චෝදනා එල්ල වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් අසෝක තෝරදෙණිය ගොඩවීමත්;


2. ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී, විශේෂයෙන්ම 2009 මැයි මාසයේ, අසීමිත ලෙස කාපට් බෝම්බ ප්‍රහාරවල නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති අංක 09 බලඝණයේ, Fleet 24 සම්බන්ධ මෙහෙයුම් අධීක්ෂණය කළ, මුල්ලිවයික්කාල් සමූල ඝාතන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති කුප්‍රකට හිටපු විංග් කමාන්ඩර් තුයකොන්ත, මාලිමාව ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කිරීමත්;

3. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි චෝදනාවන්ට ලක්ව ඇති සුරේෂ් සලේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ මාලිමා ආණ්ඩුව යටතේ පවා තවදුරටත් බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමත්;

ශ්‍රී ලංකා රාජ්‍යය තුල ඇති එකී 'පාර රාජ්‍යය' යේ, මිලිටරි හස්තයන් සමග ජාතික ජනබලවේගය (මාලිමාව),අනුර කුමාර දිසානායක මහතාගේ රජය සමග කිසියම් ආකාරයක සම්මුතියකට එළබීමක් ද?

ඒ පිලිබදව තවදුරටත් නොදුරේදීම කතා කළ හැකිවනු බව නියතය.

මෙම අර්ථයෙන් ගත් කල සුනන්ද දේශප්‍රිය දක්වන්න පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශන කිරීම පමණක් නොව, ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ, ඝාතන විමර්ශනය කිරීම් ද, මේ ආණ්ඩුවට මුහුණදීමට ඇති බරපතළ අම්ල පරීක්ෂණය (litmus test) මන්ද යත් එම ඝාතන සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා රාජ්‍යයේ ඇති 'පාර රාජ්‍යය' යේ, මිලිටරි හස්තයන් ගැන චෝදනා එල්ල වී ඇති බැවිනි.

'පාස්කු ඉරුදින ප්‍රහාරය පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසඳුණු අහිරහස්' නම් සිය කෘතිය හදුන්වා දෙමින් සුනන්ද දේශප්‍රිය මහතා ඉදිරිපත් කළ කථාව ද, එම එළිදැක්වීමේ උලෙළේ දී අදහස් වූ ප්‍රවීන මාධ්‍යයවේදී තරිඳු ජයවර්ධන මහතාගේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ගේ අදහස් දැක්වීම් ද පහතින් දක්වා ඇත.

මාකස් ප්‍රියන්ත පෙරේරා
26/09/24 





Monday 23 September 2024

ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා"


"ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. අපට සහාය නොදුන්, අපව විශ්වාස නොකරන පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමට ද අප කටයුතු කරනවා" - නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින් අනුර කුමාර දිසානායක මහතා එසේ ප්‍රකාශ කර තිබෙනවා. එය ඉතා වැදගත් ප්‍රකාශයක්. ඒ වගේම යහපත් ප්‍රවේශයක්.


එම ප්‍රකාශය තුලම: "රටේ ජනතාව විසින් පාලකයෙක් තෝරා ගැනීමෙන්, මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීමෙන් සහ පාලකයා තෝරා ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ..." යනුවෙන් ද දක්වා තිබුනා. එනම් ජනතාවගේ සක්‍රීය දේශපාලන මැදිහත්වීම මැතිවරණ කාලෙන් පසුත් දිගින් දිගටම සිදුවිය යුතු බව ඔහු විශ්වාස කරනවා.


මැතිවරණ කාලෙන් පසු ජනතාවගේ දේශපාලන මැදිහත්වීම දැකිය හැක්කේ විවේචන, විරෝධතා, උද්ඝෝෂණ, වර්ජන, පෙළපාලි, නීති ක්‍රියාමාර්ග හා මැදිහත්වීම් ලෙස බව එවැනි භාවිතයකින් පැමිණි ජනාධිපතිවරයෙකු ලෙස ඔහු ඉතා හොදින් දන්නා කරුණක්. ඒ අයිතිය තහවුරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදව ලිට්මස් පරික්ෂාවක් බවත් එම අයිතීන් මර්ධනය කිරීම කිසිසේත්ම පිලිතුර නොවන බවත් ඔවුන් පැමිණි ඉතිහාසය ඔස්සේම ඔවුන් උගත් බව තවුරු කිරීම අතිශයින්ම අවශ්‍ය වන්නක්.


එමෙන්ම, 'අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියාටත් වගකීමක් තිබෙන බවත්, තමා ඉන්ද්‍රජාලිකයෙක් හෝ මැජික්කරුවෙක් නොවෙන බවත්, රටේ සාමාන්‍ය පුරවැසියෙක් ලෙස දන්නා දේවල් මෙන්ම නොදන්නා දේවල් තිබෙන බැවින් අන් අයගේ ද හැකියාවන් යොදාගෙන, නොදන්නා දේ එක්රැස් කරගනිමින්, වඩා හොඳ තීන්දු තීරණ ගැනීම' තමාගේ අරමුණ ලෙස ද ඔහු දක්වා තිබුනා. 

එම සංදර්භය තුලම අනුර කුමාර දිසානායක මහතා අභිනව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින් සිදු කළ ඉහත ප්‍රකාශය අගය කළ යුත්තක්.


එකී අරමුණු සාක්ෂාත් කරගැනීමට ඔහුට අවශ්‍යය ශක්තිය හා ධෛර්යය ලැබේවා යැයි සුබ පතමු!!


මාකස් ප්‍රියන්ත පෙරේරා

23/09/24