This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 29 June 2020

තණමල්විල කොල්ලෙක්, තංගල්ලේ ලොක්කෙක් සහ බාලිකාවක දේවියක්


සති ගණනාවක් ආසාවෙන් බැලූ තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යය ඊයෙන් (29/06/2020) අවසන් විය. ඊළගට බලන්න හොද ටෙලිනාට්‍යයක් එන්නේ කවදාදැයි අපි දැන් ඇගිලි ගනිමින් සිටින්නෙමු. ඒතරමට හොද නාට්‍යය හිගය..ඇත්තටම ටෙලිනාට්‍යය නැතිකමක් නැත. ටෙලිනාට්‍යය නම් ඕනෑ තරම් තිබේ..නැත්තේ අපේ හිතට අල්ලන, අපේ රුචිකත්වය දිනාගන්නා ටෙලිනාට්‍යය.. තණමල්විල කොල්ලෙක් ඉන් එකකි


තණමල්විල කොල්ලෙක් යැයි කියූ සැනින්ම අපවෙත කැදවන චමත්කාරජනක ආශ්වාදය, 'යෞවනයේ අප්‍රකාශිත පරිච්ඡේදය' යැයි කියූ සැනින් නොපෙනුන ගැබුරට කැදවාගෙන ගියේය. ආශ්වාදය, චමත්කාරය යටින් විනිවිද යන විරැකියාව, දිළිදුකම, අනාගතයක් ගොඩනගා ගැනීමට මාර්ගයක් නැතිකම, ජීවිත ගමනේ විවිධ බාධා කරදර ආදී දහසකුත් දේ ඒ යටින් දිවයයි..ජීවිතේ ඇත්ත තත්වය එයය. තණමල්විල ඇත්ත තත්වයද එසේය..නම ඇසු සැනින් ආතල් ලෙස පෙනී ගියද තණමල්විල කොල්ලන්ගේ ඇත්ත තත්වය දුෂ්කරය, කර්කෂකය. අපි සමග ඇත්තටම තණමල්විලින් පැමිණි කොල්ලෙක් කොළඹ විශ්ව විද්‍යාලයේ විය..ඔහු ඇත්තවශයෙන්ම සුන්දර, තැම්පත්, අහිංසක චරිතයකි.. එහෙත් ඔහු ගැන මිතුරන් විවිධ උපහාස කථා පටබැන්දේය..එම උපහාස කතා අතර ඔහුගේ නිවසට ගිය අපේ මිතුරන්ට ඔහුගේ පියා ඔහු ගැන කිව්වේ යැයි කියන කථාවක්ද විය...''මේකා විභාග පාස්කරලා, කොළඹ ගිහිල්ලා මහත්තයලා එක්ක එකතුවුණු නිසා හොදයි නැත්නම් ගමේ හිටියා නම් ඕකා කෙහෙල් හොරෙක් හරි, හරක් හොරෙක් හරි වෙනවා'' යැයි කියූ කථාවද එවැන්නකි. ඔය කථාව කියුවිට අපේ මිතුරා කියන්නේ ''එහෙ වෙන මොනවා කරන්නද බන්'' යනුවෙනි..හේනක් කොටන්න.. හිරේ යන්නට .. ඔහු අකමැතිවිය..

අපේ තණමල්විල කොල්ලාට උසස් පෙළ සමත්ව කොළඹ විශ්ව විද්‍යාලයට ඒමට හැකියාව ලැබුණි. එහෙත් තණමල්විල දීප්තට ඒ අවස්ථාව උදානොවුනි. තණමල්විල දීප්තලාගේ ජීවිතය දිග හැරෙන්නෙම එතැන් සිටය එය දීප්තගේ පමණක් නොව රටේ තරුණයින් වැඩි දෙනෙකුගේ ඉරණමය..හරියට ට්‍රැක් එක්කට නොවැටුනොත් ඔය මොනවා මොනවා හරි දේවල් කරමින් ජීවිතය ගොඩදාගැනීම හැර වෙන විකල්පයක් අපේ රටේ තරණ තරුණියන් බොහෝ දෙනෙකුට නැත. එහින් තණමල්විල කොල්ලෙක්හි එක් ප්‍රකාශනයක් වන්නේ අපේ රටේ තරුණ තරුණියන් බොහෝ දෙනෙකුගේ පොදු ඉරණමය..අනෙක් අතට සුවිශේෂී අවස්තාවන් ලැබීමය..දීප්තට නම් යශෝධා අක්කා හමුවිමය...දීප්තගේ පස්සෙන් පාරෙන් ගොස් ඔහුට මාර්ගයක් තනාදීමට ඇය වෙහෙසුනේය..දීප්ත සිය ගමන ගියේ ඔහුගේ දක්ෂතාවය,හැකියාව සහ මනුස්ස වටිනාකම් නිසා බව පැහැදිලිවම ඇත්තය... එහෙත් යශෝධා අක්කා හමු නොවන්නට දීප්තට සිය මිතුරන්ට වඩා වෙනස් ඉරණමක් අත්නොවීමට ඉඩ තිබුණි..

දීප්තලා වැනි තරුණයින් බොහෝ දෙනෙකුට යශෝධා අක්කා වැනි කවුරුන් හෝ සිටිති..එහෙත් සමාජයේ වෙනත් බොහෝ දෙනෙකුට එසේ නොමැත..ඔවුන් එවැනි කවුරුන් හෝ හොයා යති..එසේ සොයායෑම් තුල සාර්ථකත්වයන් මෙන්ම වල්මත්වුවන්ද එමටය..

ඇත්තටම රටේ තත්වය වී ඇත්තේ එවැනි කිසියම්ම හෝ හවුහරණක්, ආධාරයක්, උපකාරයක්, හේත්තුවක්, තල්ලුවක් නැතිව ඉදිරිගමනක් නොමැතිවීමය..තනිවම නැගී සිටීමට වුවද කාගේ හරි අතේ ඉල්ලිය යුතුය... කාගේන් හරි උදව්වක්, උපකාරයක්, ආධාරයක්, අනුබලයක්, ලියුමක්, කියුමක්, රෙකමදෝරුවක් ලැබිය යුතුය යන අවසනාවන්ත තත්වයට රටම වෙලාගෙන හමාරය..

නාමල් රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක වීඩියෝවක දැක්වෙන ආකාරයට ඔහු කෝච්චියෙන් බැස එනවිට තරුණ තරුණයින් පොරකා පැමිණෙන තත්වයක් පෙන්නුම් කරන්නේ ඒ නිසාය..නාමල් තරුණයින් අතර තරුණයින් වටකරගන්නා තරුණයෙක් වන්නේ දේශපාලන බලය නිසාය..සිය පියාගේ දේශපාලන බලය නිසාය... නාමල් තණමල්විල කොල්ලන්ට වඩා වෙනස් ඉරණමක් උරුමකරගන්නේ එවැනි සන්දර්භයකය. සිය පියා දේශපාලනය තුල රැස්කරගත් ධනය බලය කීර්තිය-අපකීර්තිය ආදිය නිසා මිනිස්සු ඔහු පස්සෙන් පාරෙන් වැටී ඇති ආකාරයටම තරුණ-තරුණියන්ද තමා වටා රොක්වීම, පස්සෙන් පාරෙන් වැටෙන බව පෙන්වීම නාමල්ගේ දැන්වීමේ පණිවිඩයද?..නාමල් පපුව පුම්බා, කොන්ද කෙලින් තබාගෙන, උස් හිසින් යන්නේ ඒ අනුවය...නාමල්ට එසේ යෑමට කී දාහක් හිස් පත්කරගෙන, බඩ වියතට තදකරගෙන, කොන්ද නමාගෙන සිටිය යුතුද?

නාමල්ලා හිතේ පිපෙන්නේ මහජනයා කොච්චි පීල්ලට බෙල්ල තියන තාක්කල් පමණි...ඔවුන්ගේ කෝචිචියේන් එලියට බැස ඉදිරියට එන්නේ නාමල් පමණක් වුවද ඔය කෝච්චියේ නැග එන තවත් දහසකුත් අය සිටිති...ඒ අය අතර උගත් බුද්ධිමත් යැයි කියන පිරිසක්වීමද දීප්තලා වැනි කොල්ලෝ කෙල්ලන්ට උසස් අධ්‍යාපනය නොලැබීම සහ ඔවුන්ට උසස් අධ්‍යාපනය ලැබීම අතර වෙනසක් නොමැති බව කියාපායි..උසස් අධ්‍යාපනයක් ලැබුවද, විවිධ වෘත්තීය සුදුසුකම් සපුරා තිබුනද ඔවුන් කරනේද කෙසේ හෝ ගොඩයෑමට ආවස්ථාවක් සෙවීමය...දීප්තලා ඇතුළු කොල්ලෝ/කෙල්ලෝ ගොඩයෑම සහ උගත් බුද්ධිමත් සෙට් එකක් ගොඩයෑම අතර පැහැදිලි වෙනසක් තිබේ.. දීප්තලා ඇතුළු කොල්ලෝ/කෙල්ලෝ ජීවත්වීමට, ජීවිතය ගොඩදාගැනීමට මගක් හොයද්දී උගත් බුද්ධිමත් සෙට් එක හොයන්නේ තනතුරු, තාන්‍න-මාන්න, ධන උල්පත් ආදියය. එවිට ඔවුන්ට පමණක් නොව ඔවුන්ගේ දරුවන්ටද වැජබිය හැක..නාමල්ලා මෙන් කෝච්චියෙන් බැස ඒමට හැකිය..එසේ බැස එනවිට ඔවුන් වටා රොක්වෙන පිරිසක් ගොඩනගා ගත හැක. ඒ අතර ඔවුහුද නාමල් ට මෙන් 'පියවරු' සිටින බවටද..පරම්පරාවක් සිටින බවටද චිත්‍රයක් නිර්මාණය කරති.. 'පියෙක්' බැරි නම් පාසැලක් හෝ පෙන්වති. රාම-රාවණා හොයන ජාතියකට සීතාවක් වූ සීතා අරබේපොළවල් පොලවේ පය ගසාසිටීමට නම් තමා වැනි දේවි බාලිකා වැනි බාලිකාවකින් බිහිවුණු දේවියන් අවශ්‍ය බව කියා සිටින්නේ එහිනි.

තණමල්විල කොල්ලන්ට ආදරය කරන අපිට ඔය මොන 'යටි බඩවල්ද'?

ඔය එක එකාගේ නිදන් හාර ගන්න අපේ චන්දේ නොදී අපි අපේ නිදානය ගොඩදා ගනිමු!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
29/06/2020

Wednesday 24 June 2020

හරීන් ප්‍රනාන්දු බෝර්න් අගේන්ද?

හරීන් ප්‍රනාන්දු 'බෝර්න් අගේන්ද?' ඔය ප්‍රශ්නය පසුගිය දින කිහිපයේම කිහිප දෙනෙක්ම මගෙන් ඇසු ප්‍රශ්නයකි. ඇත්තටම මම ඒ ගැන කිසිවක් නොදනිමි. එහෙත් හරීන් ප්‍රනාන්දු 'බෝර්න් අගේන්ද?' කියා අසන්නේ ඔහු මැරිලා උපන්නාද? වැනි ප්‍රශ්න කිරීමක නොව ඔහු 'බෝර්න් අගේන්  ක්‍රිස්තියානි' (Born Again Christian) ආගමට බැදුන කෙනෙක්ද යන පදනමකින් බව දනිමි. හරීන් ප්‍රනාන්දුගේ ආගම ගැන ද මම කිසිවක් නොදනිමි. එහෙත් හරීන් ප්‍රනාන්දු  'බෝර්න් අගේන්ද'? කියා අසන්නේ ඔහු තවදුරත් කතෝලික නොවේද? යන පදනමකින් බව මම තේරුම් ගනිමි.  මේ සියල්ල මතුවන්නේ හරීන් ප්‍රනාන්දු අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාව විවේචන කිරීමේ සංදර්භයක් තුලය. විශේෂයෙන්ම හරීන්ට අගරදගුරු කියා කියාගන්නටවත් නොහැකි පසුබිමක් තුලය. 'කාදිනල්ව දකිනකොටත් හිරිකිතයි' කියා කියන පසුබිමක් තුලය.  හරීන් කතෝලිකයෙක් නොවන්නේද? ඔහු 'බෝර්න් අගේන්' වැනි කතෝලික සභාව ප්‍රතික්ෂේප කරන ආගමකට බැදී තිබේද? යන කුකුස මතුවෙන්නේ එවැනි පදනමක් තුලය. 

හරීන් දක්වා ඇති ආකාරයට ඔහුගේ මව බෞද්ධය. පියා කතෝලිකය. අධ්‍යාපනය ලබා ඇත්තේ කතෝලික පාසලක්වන මරදාන සා. ජෝසප් විදුහලේය. හරීන් සහ කතෝලික ආගම අතර ඇති සම්බන්දය ඊට වඩා  ගැබුරට විහිදී ගියබවක් නොපෙනේ. ඔහු කතෝලිකවුවද, නොවුවද, පැහැදිලිවම කතෝලික පල්ලිය සමග ඇති සම්බන්දතාවලින් ඈත්වූවෙක්, විගලිතවුවෙක්, දුරස්වුවෙක් බව ඔහු ලංකා කතෝලික සභා නායකයින්ට චෝදනාකරන ආකාරයෙන්ම පෙනීයයි. 

මීට දශක 5-6කට පෙර කතෝලික සභා නායකයින්ව විවෙච්නය කල ක්‍රිස්තියානින්ව සැලකුවේ වාමාංශිකයන් ලෙසය. කලක් මහජන එක්සත් පෙරමුනේ සභාපතිවරයා ලෙස කටයුතු කළ, 1947 මහා මැතිවරණයේදී මීගමුව ආසනයට ලංකා සම සමාජ පක්ෂයෙන් තරගකල, කුමාරතුංග මුනිදාසයන් සමග හෙළ හවුලේ ආරම්භකයෙක් ලෙස කටයුතුකල, ව.ස. ප්‍රනාන්දු ගුරුන්නාන්සේ වැනි ප්‍රකට ගුරුවරු එසේ වාමාංශිකයින් ලෙස සලකා පල්ලියේ කනත්තවත් නොදිය යුතුයි කියා සැලකු වාමාංශිකයින්ය (එහෙත් නැසීගිය නිකුලස් මාකස් ප්‍රනාන්දු කොළඹ අගරදගුරුවරයා පසුකලක ව.ස. ප්‍රනාන්දු මහතාගේ මීගමුව සෝන්ඩර්ස් පාරේ නිවසට පැමිණ ඔහු සහ සභා නායකයින් අතර පැවති ආරව්ව සමතයකට පත්කර ගත්තේය). එහෙත් මේ යුගයේ කතෝලික සභාව සහ එහි නායකයින්  විවේචනය කරන බොහෝදෙනාව පොදුවේ හදුන්වාදීම සදහා දැන්  භාවිතා කරන්නේ ඔවුන් 'බෝර්න් අගේන් ක්‍රිස්තියානි' (Born Again Christian) සභාවන්ට බැදුන පිරිස් ලෙස හදුන්වාදීමය. හරීන් ප්‍රනාන්දු බෝර්න් අගේන් ද? කියා අසන්නේ එවැනි පදනමක් තුලවිය හැක. 

ඇත්තවශයෙන්ම, 'බෝර්න් අගේන් ක්‍රිස්තියානි' සභාවන් ගැන ලංකාවේ විශාල විවේචනයක් ගොඩනැගෙමින් තිබේ. ඒ ඔවුන් කතෝලිකයන්ව, හින්දුන්ව පමණක් නොව වැඩි වශයෙන් බෞද්ධයන්වද මුදල් මෙන්ම විවිධ වරදානදෙමින් ඔවුන්ගේ ක්‍රිස්තියානි ආගමට හරවාගන්නේයැයි යන චෝදනාව මතය. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ ක්‍රීඩකයන්වද, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්වද, විවිධ ඉහල තනතුරු දරන පුද්ගලයින්වද 'බෝර්න් අගේන් ක්‍රිස්තියානි' සභාවන් බිලිබාගෙන ඇති බවට විවිධ චෝදනා  එල්ලවී ඇත. මෙවර මහා මැතිවරණයට පොහොට්ටුවෙන් ගම්පහ දිස්ත්‍රිකයට තරගකරන නාලක ගොඩහේවා 'බොර්න් අගේන්' ක්‍රිස්තියානි සාමාජිකයෙක් බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රජය ඔහු ඇතුළු 'බොර්න් අගේන්' කල්ලියේන් බේරාගතයුතු බවත් මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් ප්‍රකාශකළ බව මාධ්‍ය වාර්තාවල පලවී තිබුණි. 'බෝර්න් අගේන්' යනු එතරමටම ශ්‍රී ලංකා රාජ්‍යය තුලට ප්‍රවිෂ්ටවූ එහි සිංහල බෞද්ධ පදනම් පවා යටින් හාරා බිද දැමිය හැකි තර්ජනයක් ලෙස ඉස්මතුවී ඇති බව නලින්ද සිල්වා මහාචාර්යතුමාගේ රචනා ඇසුරෙන් මෙන්ම දිවයින පුවත්පතේ වරින්වර පලවෙන පුවත් ඇසුරින්ද පෙනීයයි. 

ඇත්තවශයෙන්ම, නලින්ද සිල්වාගේ රචනා ඇසුරෙන් මෙන්ම විවිධ පුවත්පත් වාර්තා ඇසුරෙන් පෙනීයන තවත් කරුණක් නම් 'බෝර්න් අගේන්' කල්ලියට එරෙහිව මෙරට සිටිනා ප්‍රධාන සතුරා කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාව බවය. විශේෂයෙන්ම නලින්ද සිල්වාට අනුව කාදිනල් මැල්කම් රංජිත් එක්සත් ජාතික පක්ෂය සලකන්නේ 'බෝර්න් අගේන්' කල්ලියට නතුවූ පක්ෂයක් හෝ ඔවුන්ට සහයෝගය දක්වන 'ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි' පක්ෂයක් ලෙසය. ඒ අනුව සිංහල බෞද්ධ රාජ්‍යයට තර්ජනයක්වන 'බෝර්න් අගේන්' සතුරාගේ සතුරාවන කාදිනල් මැල්කම් රංජිත් ඔවුන්ට 'මිතුරෙකි'!! ඔවුන්ට අනුව කාදිනල් මැල්කම් රංජිත් යනු සිංහල බෞද්ධ පදනමට ගරුකරන, එහි නයිසර්ගික පැවැත්ම පිළිගන්නා, වචනයකින්වත් එයට හානිවෙන හෝ අභියෝගවෙන කිසිවක් නොකියන, නොකරන, සුවීච සහකරුවෙකි, කොටස්කරුවෙකි!! පාස්කු ප්‍රහාරයෙන් පසුව නම් ඉස්ලාමීය ත්‍රස්‌තවාදයට එරෙහි සටනේදී ප්‍රබල මිත්‍ර පාක්ෂික සටන් සගයෙකි !! එපමනක් නොව නව ලිබරල් ධනවාදී ගෝලීය ආධිපත්‍යයෙන් එල්ලවන විවිධ තර්ජන හමුවේ පලිහක්සේ පෙරට පැමිණෙන ප්‍රබල ආරක්ෂකයෙකි!!! කාදිනල් මැල්කම් රංජිත්ට එකෙකු හෝ වචනයක් කීවිට, කරුණා අම්මාන් සිංහල සෙබළුන් සිය දහස්ගානක් මරූ බව කීවත්  ඒගැන වද නොවී, කාදිනල්ගේ සහයට ඔවුහු වහා වහා සටනට වඩින්නේ ඒහිනි!!!

නලින්ද සිල්වා වැනි ජාතිකවාදීන්ගේ තක්සේරැව කෙසේවුවද 'බෝර්න් අගේන් ක්‍රිස්තියානි' (Born Again Christian) සභා වැනි ඒවන්ජලිකල් ක්‍රිස්තියානි සභා (Evangelical Christianity) සමග කතෝලික සභාවේ පාප්තුමා වැනි ඉහල නායකත්වයන් කටයුතුකරමින් සිටින්නේ වෙනත් ආකල්පයක සිටය. කතෝලික-ප්‍රේතෙස්තන්ත්‍ර ආගම් අතර යුරෝපයේ පැවති 30 අවුරුදු යුද්ධය අවසන්වී දැන් බොහෝ කල් ගෙවීගොසිනි. එකී ආගමික බෙදීම් අතර දැන් ඇත්තේ යුද්ධය වෙනුවට සහයෝගයය. සමාදානයය. සහෝදරත්වයය. අඩු වැඩි වශයෙන් 'බෝර්න් අගේන්  ක්‍රිස්තියානි' (Born Again Christian) සභා වැනි ඒවන්ජලිකල් ක්‍රිස්තියානි සභා (Evangelical Christianity) සමගද කතෝලික පල්ලිය යම් ආකාරය අන්‍යෝන්‍ය අවබෝධයක් ගොඩනගාගැනීමට කටයුතු කරමින් සිටී. අනෙක් අතට ඉස්ලාමීය ත්‍රස්‌තවාදයට එරෙහි පෙරමුණකට කතෝලික සභාව පෙළගැසෙන්නේ නැත. ඒ වැඩේ කරගහගෙන යන්නේ කතෝලික පල්ලිය නොව බටහිර රාජ්‍යයන්ය. එමෙන්ම නව ලිබරල් ධනවාදී ගෝලීය ආධිපත්‍යය සම්බන්දයෙන් කතෝලික සභාව විටෙන්විට, වරින් වර විවිධ විවේචනයන් එල්ලකලද නව ලිබරල් ධනවාදී ගෝලීය ආධිපත්‍යට විරුද්ධව ඍජු පෙළගැසීමක් නම් කතෝලික සභාව තුල දක්නට නැත. 

එහෙත්, රංජිත් මැල්කම් කාදිනල්වරයා ලංකාව තුලදී නම් නව ලිබරල් ධනවාදී ගෝලීය ආධිපත්‍යය සම්බන්දයෙන් යම් යම් විවේචන ඉදිරිපත් කරයි. එහෙත් ඒ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ පාලනයක් පවතින අවස්ථාවලය. එකී ප්‍රතිපත්ති බොහෝදුරට රාජපක්ෂ පාලනයක්  තුල දිග හැරෙනවිට ඔහුට එයට දක්වන්නේ ඉතා අල්මරුන උන්නදුවකි. ඇතැම්විට අපිට මේ ගැන තවමත් පැහැදිලි නිගමනයකට ඒමට කල් වැඩි වියහැක. කෙසේවුවද, කාදිනල් මැල්කම් රංජිත් මැල්කම් පාස්කු ප්‍රහාරයට පෙර සිටම  රනිල් වික්‍රමසිංහගේ  පාලනය  ප්‍රතික්ෂේප කල, එහි බිදවැටීම අපේක්ෂා කලබව අවස්ථා කිහිපයකදීම පැහැදිලිවිය. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහගේ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කාදිනල්තුමා බැහැදැකීමට ගිය අවස්ථාවේ ඔහු ඔවුන් සමග සිදුකල අදහස් බෙදාගැනීම තුල රනිල් වික්‍රමසිංහගේ පාලනය පිලිබදව සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කළේය.  

ඔහු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව බිදවැටීම අපේකෂා කලබව පැහැදිලිය.  ඒ පාස්කු ප්‍රහාරයට වසර ගණනාවකට පෙරය. කාදිනල්තුමා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ බිදවැටීම අපේකෂා කලේ ඔවුන් බටහිර නව ලිබරල් ධනවාදී ගෝලීය බලපෑම රටතුලට ගෙඩිය පිටින් කැන්දන් එන නිසා බව කියැවුනි. ඒකී බටහිර නව ලිබරල් ධනවාදී ගෝලීය ක්‍රියාදාමය තුල 'බෝර්න් අගේන් ක්‍රිස්තියානි' වැනි ඒවන්ජලිකල් ක්‍රිස්තියානි සභා මෙන්ම සමලිංගික විවාහ නීතිගත කිරීම දක්වා විහිදුන විශාල පරාසයක්විය. රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ නිසාම කාදිනල් රාජපක්ෂවාදියෙකු යැයි යන  මතයක් තහවුරුවුවා නොව එවැනි මතයක් ගොඩනැගීමටත්, තහවුරු කිරීමටත් කටයුතුකලේ  රාජපක්ෂවාදීන්මය. 'අප සමග නොසිටින්නා අපේ අනෙකා' යැයි යන්න වෙනුවට රාජපක්ෂවාදය ලංකාව තුල ගොඩනැගුවේ 'අප සමග නොසිටින්නා අපේ හතුරාය' යන දෘඩ මතය ය. එවැනි සංදර්භයක් තුල  කාදිනල්ට කාගේවත් හතුරෙක්වීමට අවශ්‍ය නැත. අනෙක් අතට  රාජපක්ෂලා 'බෝර්න් අගේන්' වැනි ඒවන්ජලිකල් ක්‍රිස්තියානි සභා මෙන්ම සමලිංගික විවාහ නීතිගත කිරීම දක්වා විශාල පරාසයක විහිදෙන බටහිර නව ලිබරල් ධනවාදී ගෝලීය බලපෑම රටතුලට ගෙඩි පිටින් කැන්දන් එන්නේ නැති බව කාදිනල්තුමාට එත්තුයාමට  ඇති ඉඩකඩද අතිමහත්ය. ඒ සියල්ලටම වඩා  රාජපක්ෂ  පාලනයක් තුල ආගමීක සංස්ථාපිතයන්ට, හික්ෂුන් ඇතුළු සියලු ආගමීක නායකත්වයන්ට රාජ්‍යය සැකැස්ම තුල හිමිවන අද්වීතීය ස්ථානයේ රශ්මිය ලංකා කතෝලික සභාවේ පියතුමන්ලාටද ආගම නායකයන් ලෙස නිබදවම ගලාඑන බව කාදිනල්තුමා පැහැදලිවම දනී. පුජකයින්ට, ආගමික සංස්ථාපිතයන්ට   සුවිශේෂ වැදගත්කමක් හිමි නොවන රනිල් වික්‍රමසිංහලාගේ, මංගල සමරවීරලාගේ බටහිර නව ලිබරල් ධනවාදයට වඩා  රාජපක්ෂලාගේ 'නව වැඩවසම් ග්‍රාම්‍ය ධනවාදය' ඔවුන්ට කෙතරම් නම්  ආශ්වාදජනක වියහැකද?  

එහෙත් හරීන් ප්‍රනාන්දුලාට එහි දිග පළල නොතේරේ.  ඔහු හිතන්නේ  කාදිනල් උපන්ගෙයිම රාජපක්ෂවාදියෙක් හෙවත් 'බෝර්න් රාජපක්ෂවාදියෙකු' බවද? එහෙම අය නැති බව හරීන් පමණක් නොව අප සියල්ලන් දනී. හරීන්ට මෙන්ම කාදිනල්ටද  රනිල්  විරෝධියෙකුවීමට ඕනෑ තරම්  හේතු ඇත. ඒ හේතු පිලිබදව නිසි අධ්‍යයනයකින් තොරව කාදිනල් විවේචනය කිරීම හරීන්ට මැරිලා උපදින්නටම, නැවත ඉපදීමට ම, බොර්න් අගේන් වීමටම  කටයුතු  සැලසනු  නියතය. 

ඇත්තවශයෙන්ම, මහින්දානන්දගේ ක්‍රිකට් ලෝක කුසලානය පවාදීම ගැන කථාද, හරීන්ගේ කාදිනල් විවේචනයද, කරුණාගේ කොටි කෙරුවාවල්ද හුදු හිස් ලාභ මැතිවරණ ප්‍රචාරණය උපක්‍රමයන්ට වඩා  වැඩක් ඇති  කථාවන් ලෙස සැලකියයුතු නොවේ. අනෙක් අතට කාදිනල් පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන කතෝලික ඡන්ද ගෝඨා පිලට ලබාදෙන්නට දැවැන්ත උත්සාහයක් ගත් බවට ඔහු කරන චෝදනාව පැහැදිලිවම පදනම් විරහිතය. විශේෂයෙන්ම කතෝලික ප්‍රදේශවල ජනයා චන්ද භාවිතාකර තිබු ආකාරය දෙස බැලීමේදීවුවද එය පැහැදිලිවම පෙනීයන්නකි. මීගමුවේදී ගෝඨාභය පරාදය...මීගමුවේ පමණක් නොව කටුවපිටිය චන්ද කොට්ටාශ දෙකේම ඔහු පරාදය... ආසන්න වශයෙන් ලංකාවේ මුළු  කතෝලික ජන්ද සංඛ්‍යාව ලක්ෂ 7ක් පමණය. ඉන් ලක්ෂ 5කට වඩා සිටින්නේ මොරටුවේ සිට හලාවත දක්වා වෙරළ තීරයේය. එම  ප්‍රදේශවලින් ගෝඨාභය රාජපක්ෂට වැටුන චන්ද සංඛ්‍යාව දෙස  බැලීමේදී පෙනීයන්නේ කාදිනල් පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන කතෝලික ඡන්ද ගෝඨා පිලට ලබාදෙන්නට දැවැන්ත උත්සාහයක් ගත් බවට ඔහු කරන චෝදනා පදනම් විරහිත බවය. පැහැදිලිවම පැවසිය යුතුදෙයක් වනුවේ  කතෝලිකයින්ගේ චන්ද ප්‍රකාශකිරීම සහ කතෝලිකයින්ගේ දේශපාලන මතය සම්බන්දයෙන් කාදිනල්ට තියා පල්ලියේ ස්වාමි කෙනෙකුටවත් කල හැකි මහා ලොකු බලපෑමක් නැති බවය. කාදිනල්ට මෙන්ම පල්ලිවල පියතුමන්ලාද කතෝලික ජනයාගේ අධ්‍යාත්මික ජීවිතයට විශාල බලපෑමක් එල්ල කල හැකිවුවද කතෝලිකජනයාගේ දේශපාලන මතයන් සමබන්දයෙන් කලහැකි කිසිදු බලපෑමක් නැති තරම්ය. අත්තවශයේන්ම, ඔවුන් ඒ සදහා තීරණාත්මක මැදිහත් නොවේ. පැහැදිලිවම පල්ලිය කියන කරන දේ අනුව අපේ අපේ පලාත්වල මිනිස්සුන් චන්දේදීමට යන්නේ යන්නේ නැත. අපේ බටහිර වෙරළ තීරයේ ජනයා 'මරියා වන්' ගැන  මෙන්ම  'මාරියාවන්' (ගහගෙන මහ රැල්ල) ගැනද  හොදින් දනී. එහෙයින්  එන එන රැල්ලට ඔවුන් පැන පැන ප්‍රතිචාර  දැක්වීමට  නොයයි. එක්සත්  ජාතික පක්ෂය එකී ප්‍රදේශවල ජනයාට සුවිශේෂ කිසිවක් නොකලද  ජාතිවාදයට නතු නොවීම, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය යන කරුණු නිසා ඔවුහු එක්සත් ජාතික පක්ෂයට යම් සහයෝගයක් දැක්වුවන බව පැහැදිලිය. එහෙත් ඔවුන්ට හෝ ඔවුන්ගේ ප්‍රදේශවල සංවර්ධනයට කිසිවක් නොකර එක්සත් ජාතික පක්ෂයේ චන්ද බැංකුවක් ලෙස එම ප්‍රදේශ සහ එම ජනයා සම්බන්දයෙන් කටයුතු කිරීමට යෑම නිසාම  එක්සත් ජාතික පක්ෂය සිය පදනම්  අහිමිකරගනිමින් සිටී.  හරීන් ප්‍රනාන්දු කරගනිමින් සිටිනේද එයය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
24/06/2020  

Saturday 20 June 2020

පාස්කු ප්‍රහාරයට මාස 14යි, සමාව ඉල්ලීමටවත් නොහැකියි

පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසරකුත් මාස දෙකක් හෙවත් මාස 14ක් ගෙවී ගොස් ඇත. 
    
වරද කරුවන්ට දඩුවම් ලබා දීම මෙන්ම ප්‍රහාරය ගැන දැන දැනත් එය වැලක්වීමට කටයුතු නොකල නිලධාරීන්ට, බලධාරීන්ට විරුධව නීතිය ක්‍රියාත්මක කිරීම කෙසේවෙතත් සිදුවූ ඛේදවාචකය ගැන සමාව ඉල්ලීමටවත් එවකට ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ඇමතිවරයාද වූ මෛත්‍රීපාල සිරිසේන සුදානම් නොමැති බව පසුගියදා සිදුකල මාධ්‍ය සාකච්ඡාවකදී උද්දච් ස්වරයෙන් කියා සිටියේය.

ප්‍රහාරය ගැන තමාට කිසිසේත්ම වගකීමක් බාරගත නොහැකි බවත් ඒ නිසා කිසිසේත්ම සමාව ඉල්ලීමට අවශ්‍ය නොවන බවත් ඔහු කිව්වේය... 

මේ කුමන නම් අධමකමක්ද? තමා රාජ්‍ය නායකයා නොවුනද, ඊට අවුරුදු ගණනාවකට කලින් සිදුවූ විනාශයන් ගැන පවා සමාව ඉල්ලන රාජ්‍ය නායකයින් සිටින ලෝකයක රාජ්‍ය නායකයා ලෙස සිය කාලය තුලවූ මේ මහා සංහාරය ගැන සමාව ඉල්ලීමට නොහැකියැයි කියන්නේ කුමන නම් අධම පාලකයෙක්ද?

ඔවුන් කථාකරන, ඔවුන් අයත්, ඊනියා ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය කුමක්ද? විපතට පත් ජනයාගේ දුක් කදුළු වේදනා ගැන කිසියම්ම හෝ හැගීමක් නැති මේ මිනිස් අමුනුස්සයන්ට සිටිය හැක්කේ කුමන නම් ශිෂ්ට සමාජයකද? 

ලංකා ඉතිහාසය පුරාම ගලාගිය ලේ ගංගාවල් ගැන අමතක කර කිසිවක් සිදුනොවුනා සේ සිටීම චිරාගත පුරුද්දක් වී ඇති රටක පාස්කු ප්‍රහාරය ඔවුන්ට තවත් එක් සිදුවීමක් පමණක් විය හැක. 

එහෙත් අපට නම් එය මනුෂ්‍යත්වය පිළිබවද, යුක්තිය පිලිබදව, සාධාරණත්වය පිළිබදව, ශිෂ්ටත්වය පිළිබදව, නීතියේ ආධිපත්‍යය පිළිබදව, රාජ්‍ය පාය හ එහි  ගොඩනැවීම් පිළිබදව ප්‍රශ්නකරන තීරණාත්මක කඩඉමකි. පාස්කු ප්‍රහාරයේ දී වගුරන ලද අපේ ජනයාගේ රුධිරය වෙනුවෙන් අපි දිගින් දිගටම යුක්තිය ඉල්ලා සිටින්නේ එහිනි. 

මේ අධම අමුනුෂ්‍යකම්වලින් මිදීමට නම් පාස්කු ප්‍රහාරයේ වරද කරුවන්ට දඩුවම් ලබාදීම මෙන්ම ප්‍රහාරය ගැන දැන දැනත් එය වැලක්වීමට කටයුතු නොකල නිලධාරීන්ට, බලධාරීන්ට විරුධව නීතිය ක්‍රියාත්මක විය යුතුය. 

සමාවක් ඉල්ලීමට තරම්වත් බැගපත් මනුෂ්‍ය සමාජයක් ගොඩනැගීමට එය අත්‍යඅවශ්‍යය පදනමකි. 

 මාකස් ප්‍රියන්ත පෙරේරා. 
 21/06/2020

Tuesday 16 June 2020

Father, ෆාදර්ගේ ගම පෝරුතොටද?


''Father, ෆාදර්ගේ ගම පෝරුතොටද?
කොහෙද මීගමුවේ පෝරුතොටද?
ඔව්... 
නැහැ... නැහැ මම මාරවිල...
ඒ පැත්තේ පෝරුතොටක් නැහැ නේද?..'' 
ඒ 1995දී පමණ මම අර්නස්ට් පෝරුතොට පියතුමා හමුවීමට වත්තල පල්ලියට ගිය අවස්ථාවේ මම එතුමාගෙන් මුලින්ම ඇසු ප්‍රශ්නය...

මම අර්නස්ට් පෝරුතොට පියතුමා හමුවීමට ගියේ එකල මා සොයමින් සිටි පොතක් එතුමා ලග ඇතැයි මට තවත් පියතුමෙක් දුන් හෝඩුවාවක් මතය. පොතේ නම 'කතෝලික සමාජ දර්ශනය' ය. සීමිත පිටපත් ගණනක් මුද්‍රණයකර තිබු ඒම පොතේ ඔහු ලග තිබු පිටපත මට ලබාදුනි...ඉන් ටික කලකට පසුව මම එතුමාට එම පොත නැවත බාරදීමට ගියෙමි. පොතෙන් උකහාගත්තේ මොනවාදැයි ඇසීය...අපි පොතේ ඇති මාගේ අවධානය යොමුවූ කරුණු ගැන කථා කළේය...කථාව දහවල් කෑම කා යන්නට යැයි කියන තරමට දික්විය...අවසානයේ පිටත්වී යන්නට මත්තෙන් පොත නැවත බාරගන්නවා වෙනුවට එතුමා මට ඒ පොත තියාගන්නටම දුන්නේය. අදද මා සතුව ඇති 'කතෝලික සමාජ දර්ශනය' පොත එතුමා දුන් ඒ පොතය. ඒ පොත තවමත් මා සතුව ඇත... එහෙත් අර්නස්ට් පෝරුතොට පියතුමා නික්ම ගොස්ය...

කරුණාවන්ත විචාරශීලී පියතුමෙක්වූ එතුමා..බොහෝ ඇසුපිරු තැන් දැන සිටි...උගත්, බුද්ධිමත් පියතුමෙකු විය. වත්තලින් ගිය පසුව වරක් හෝ දෙවරක් මට එතුමාව 6වෙන පාවුළු මධ්‍යස්ථානයෙදී හමුවී ඇත. කථා බහකිරීමට වැඩිවෙලාවක් නොතිබුණද කලකට පසු එතුමා හමුවෙන සෑම විටම මම එතුමා හමුවට ගියේ ''Father, ෆාදර්ගේ ගම පෝරුතොටද?'' කියා අසමිනි. එසේ කියන විටම සිනාසී ''හරි හරි මට ඔයාව මතකයි'' කියා සැප-දුක විමසා වචනයක් දෙකක් කථාකිරීමට තරම් එතුමා කරුණාවන්ත විය.

පසුකාලීනව නිදහසින් පසු යුගයේ ලංකා කතෝලික සභාවේ විවිධ සමාජ දායකත්වයන් ගැන මගේ කියවීම් අතර එතුමාගේ නම මතුවූ අවස්ථා රාශියක් තිබේ. වරක ලංකාවේ පල්ලියක මංගල්‍යකට ප්‍රථමයෙන්ම ගොක්කොළවලින් තොරණක් ගසා දේශීය උරුවට පල්ලියේ සැරසිලි කිරීමට කටයුතු කලේ එතුමා යැයි සදහන්වී ඇත. ඒ බෝලවලාන පල්ලියේය..එහෙත් එතුමා බෝලවලාන මීසමේ කටයුතු කලේ දැයි මම තවම හරියටම නොදනිමි. එමෙන්ම එතුමා කතෝලික සිනමා පර්ෂදයේ කටයුතු කරමින් සිටින විට ලංකාවේ සිනමා කර්මාන්තය මෙන්ම විචාර කලාවේ දියුණුව සම්බන්දයෙන්ද විශාලා අවධානයක් යොමුකළ බව කියවේ...එමෙන්ම 1972 දී ප්‍රංශයේ Organisation Catholique Internationale du Cinéma et de l'audiovisuel (OCIC) (Catholic Organization for Cinema and Audiovisual) අනුව යමින් හිටපු කාදිනල් තෝමස් කුරේ අගරදගුරුතුමා ලංකාවේ ජාතික කතෝලික සිනමා පර්ෂදය (OCIC) ගොඩනැංවීමට කටයුතු කිරීමේදී අර්නස්ට් පෝරුතොට පියතුමාව එහිලා තෝරාගත්තේ එතුමා එකී ක්ෂේත්‍ර පිලිබදව දැක්වූ කෘතහස්තභාවය නිසා යැයි ද කියවේ. ඒ පිලිබදව තවදුරත් දැනගැනීමට කැමැත්තෙන් සිටියෙමි.

එහෙත් එතුමා නික්ම ගොසිනි...ගිය වසරේදී එතුමා ගැන නව පොතක් පළවූ බවද දැනගත්තෙමි..තවම එය ලබාගැනීමට හැකිවී නැත.. ඇතැම්විට මම එතුමාගෙන් අසා දැනගැනීමට සිටි යම් යම් කරුණු එහි තිබීමට ඉඩ ඇත..

Rest in Peace Father Ernest Poruthota!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
16/06/2020

Monday 15 June 2020

මහ ජාතියේ ජාතිවාදය සහ සුළු ජාතියේ ජාතිවාදය

''මහ ජාතියේ ජාතිවාදය සුළු ජාතියේ ජාතිවාදයත්, සුළු ජාතියේ ජාතිවාදය මහ ජාතියේ ජාතිවාදයත් නඩත්තු කරනවා...'' 

හරියටම ඕක කියලා තියෙන්නේ කවුද කියලා කියන්න නිශ්චිතවම බැරිව ගියත් කොළඹ  විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කෙනෙක්වූ භීෂණ සමයේදී මරාදැමූ දයා පතිරණ ඔය කථාව කියලා තියෙනවා කියලා අපි අහලා තියෙනවා...තව පැත්තකින්, ඔය කතාව, පැරණි චීන දර්ශණික සංකල්පයක් වන 'Yin and Yang' වගේ ඉගැන්වීම්වල විස්තර කරන එකිනෙකට ප්‍රතිවිරුද්ධ නමුත් එකිනෙකට සහසම්බන්ධිත සබදතා සිහි කැදවන්නක්. බැලු බැල්මට එසේ පෙනීගියත් තයෝසියානු (Taoism) 'Yin and Yang' ඉගැන්වීම් ඊට වඩා පුළුල් සහ ගැබුරු දාර්ශනික නැබුරුවක් සදහා යොමුවන්නකි. 

එහෙත්, එක් ජාතිවාදයක්/වර්ගවාදයක් අනෙක් ජාතියේ ජාතිවාදය/වර්ගවාදය නඩත්තු කරනවා කීමම 'Yin and Yang' වැනි කළු සුදු චිත්‍රයක් නොවේ. එහෙත් නරක/අභව්‍යදේ විස්තර කරන 'Yin'  යන්නට අදුරු/කළු පැහැය යොදාගන්නත් හොද/යහපත්දේ විස්තර කරන Yang යන්නට සුදූ පැහැය යොදාගන්නෙත් ඇයි?  යන්න ප්‍රශ්න කරන තත්වයට අද වනවිට 'Black Lives Matter' උද්ගෝෂණ ගමන්කර තිබේ. 

ඇත්ත වශයෙන්ම, ප්‍රශ්න කර නවතින තැනකට නොව...මිනිස් ජීවිත කළු සුදු ලෙස බෙදාවෙන් කල, කළු ජනයාගේ ලේ කදුළු දහඩිය මතින් සුදු අයගේ ලෝකය ගොඩනැගීමට ක්‍රියාකළ අයගේ ප්‍රතිමා ගලවා විසිකරන තත්වයකට, ඔවුන්ව ඉතිහාසයෙන් අකාමකා දැමිය යුතුයි කියන තත්වයකට, 'කළු' මිනිස්සුන්ගේ ජීවිත අදුරුකළ සියල්ලන්ව එකී ක්‍රියා සදහා පශ්චත්තාපයකට කැදවන තත්වයකට George Floydගේ මරණයෙන් පසුව ගොඩනැගුන උද්ගෝෂණ රැල්ල දැන් ගමන්කරමින් ඇත. 

කළු ජනයාව උපහාසයට ලක්කල Little Britain නම් හාස්‍යජනක රූපවාහිනී නාට්‍ය නිර්මාණය කල David Walliams සහ Matt Lucas අද වන විට සිය වැඩසටහන තුල උපහාසාත්මකව හෝ සිදුවූ වරද ගැන සමාව ඉල්ලා සිටී. BBCය වගේම Netflix මාධ්‍ය ආයතනයත් එම වැඩසටහන වගේම තවත් එවැනි වැඩසටහන් ගණනාවක්ම  නවතා දමා ඇත. එවැනිම වැඩසටහන් නිෂ්පාදනයකල කලාකරුවන් වගේම අනෙක් පිරිසුත් දැන් එවැනි වැඩසටහන් නිසා සිදුවූ වර්ගවාදී සහ ජාතිවාදී ගොඩනැන්වීම්වලට දැනුවත්ව හෝ නොදැනුව දායකවීම ගැන කණගාටුව පලකිරීමට පටන්ගෙන තිබේ. 

දැන් සිදුවන්නේ එක්තරා ආකාරයකට දෙවන ලෝක යුද්ධයෙන් පසුව දියත්වූ යුදෙව් ජනයාට ජුදෙව්වීම නිසා ඉතිහාසය පුරාම සිදුවූ අකටයුතුකම්, නොසලකාහැරීම, තාඩන, පීඩන සහ මර්ධනයන්ට (anti-Semitic) එරෙහිව ගොඩනැගුන Philo-Semitism ව්‍යාපාරයක් පෙරටගෙනා ව්‍යාපෘතියක් පෙරට යාමය. එහෙත් 'Black Lives Matter' උද්ගෝෂණ ව්‍යාපාරය Philo-Semitism ව්‍යාපාරය වැනි ක්‍රමානුකූල නොවුන, එයට වඩා දරුණු ව්‍යාපාරයකි...තවත් නම් කළුවීම නිසා අසාධරණයට ලක් නොවිය යුතුය යන තිර අදිටනේ සිට දැඩි ප්‍රතිචාර දක්වන දරුණු ව්‍යාපෘතියකි. 


George Floydගේ කෘර ඝාතනයෙන් පසුව ගොඩඩනැගුන වර්ගවාදය, සුදු අන්තවාදයට, ජාතිවාදයට එරෙහි උද්ගෝෂණ රැල්ලට විශාල ධනාත්මක ප්‍රතිචාරයක් හිමිව තිබුණි. එහෙත් එකී උද්ගෝෂණ රැල්ලේහිවූ ප්‍රචන්ඩත්වය, සමාජ විරෝධී හිංසා සහගත ප්‍රවේශයන්, ගිනි තැබීම්, කඩාබිද දැමීම්  කලකෝලාහල සහ කඩාකප්පල්කාරී ක්‍රියාකාරීත්වයන් නිසාම එම උද්ගෝෂණ රැල්ලට හිමිව තිබු ප්‍රසාදය, සහයෝගය සහ සුජාතභාවය  අහිමිව ගොස් නැවතත් කළු ජනයා මත ගොඩනැගී ඇති ඉතිහාසය පුරාම මුල් බැසගත් 'කලහකාරී ජන කොටසක්' යන්න මතය  නැවත තහවුරු කරන තත්වයක් මතුවෙමින් මුළු උද්ගෝෂණ ව්‍යාපාරයම කණපිට පෙරලෙන තත්වයක් උද්ගතවිය. 

එහෙත් එම තත්වය පසුගිය සෙනසුරාදා (13/06/2020) නැවත වෙනස්වූ බවක් පෙනී ගිය සිදුවීමක් ලන්ඩනයේ සිදුවිය. ඒ සුදු වර්ගවාදීන් පාරට පැමිණ කළු වර්ගවාදයට එරෙහිව දරුණු ප්‍රචන්ඩ උද්ගෝෂණයක නිරත්වීමත් සමගය. සුදු වර්ගවාදීන්ගේ උද්ගෝෂණ කළු ජනයා වෙනුවෙන් දියත්වූ උද්ගෝෂණවලටත් වඩා දරුණු, ප්‍රචන්ඩ, පොලීසියට පහර පිට පහරදෙන, ISIS ත්‍රස්‌වාදියෙකුගේ පිහිපහරින් මියගිය පොලිස් නිලධාරියෙකුගේ ස්රමාකයකට පවා මුත්‍රාකරන, සහාසික උද්ගෝෂණයක්විය. සුදු වර්ගවාදීන්ගේ එකම සටන් පාඨයවුයේ ''මේක අපේ රට'' ''චර්චිල් බේරාගත් රට'' යන්න ආදියයි. 

ඇත්ත වශයෙන්ම, කළු උද්ගෝෂකයන් වින්ස්ටන් චර්චිල්ගේ ප්‍රතිමාවට හානිකිරීම බොහෝ බ්‍රිතාන්‍ය වැසියන් හෙලාදැක තිබුනද ඒ මත ක්‍රියාත්මකවූ සුදු අන්තවාදීන්ගේ ප්‍රචන්ඩ උද්ගෝෂණ සම්බන්දයෙන්ද ඔවුන් දැක්වුයේ දැඩි පිළිකුලකි. එය එක්තරා ආකාරයකට සුදු මිනිසුන්ට ලැජ්ජාවක් ගෙන දෙන්නක් බවට පත්වී තිබුණි. 

මේ තත්වය මත ආණ්ඩුව ප්‍රකාශකලේ අපේ වීදි අන්තවාදීන් අතට පත්වීමට ඉඩ නොදිය හැකි බවයි. මාධ්‍ය පුල පුල කියා සිටියේ ''එක් අන්තවාදයක්/වර්ගවාදයක්/ජාතිවාදයක් අනෙක් අන්තවාදය/වර්ගවාදය/ ජාතිවාදය නඩත්තුකරන කරන බවය. මාධ්‍ය ප්‍රවර්ධනය කිරීමට උත්සහකලේ එම නිසා උද්ගෝෂණ මධ්‍යස්තවිය යුතුය යන  අදහසකි. 

ඒහෙත් කවුරුවත් ප්‍රශ්න නොකරන්නේ සුළු ජාතියේ ජාතිවාදය මතුවුනේ කෙසේද? යන්නයි...ඇත්ත කථාව නම් සුළු ජාතියේ ජාතිවාදය ඇතිකළේ  මහ ජාතියේ ජාතිවාදය විසිනි. සුළු ජාතියේ ජාතිවාදය මහ ජාතියේ ජාතිවාදයට ප්‍රතිවිරෝධතාවයක් ලෙස ගොඩනැගෙන්නකි. එමෙන්ම සුළු ජාතියේ ජාතිවාදය මහ ජාතියේ 'මහ-ජාතිය' / 'අලි-ජාතිය' බිද දැමීම ඉලක්ක කරගත්තකි. සැබෑ දේශපාලන පෙළගැස්ම ඇත්තේ එතැනය. මනුෂ්‍ය සමාජයකට මනුෂ්‍ය සමාජයක් ලෙස ජීවත්වීමට නම් ඒම අරගලය ජයග්‍රහණය කල යුතුමය . 

මාකස් ප්‍රියන්ත පෙරේරා
15/06/2020 

Friday 5 June 2020

1900 දී ලංකාවේ සෞඛ්‍යය සම්පන්නම දිස්ත්‍රිකය මීගමුව. Negombo was the healthiest district in Ceylon

දන්නවාද? 1900 වෙද්දී, ඒ කියන්නේ මීට අවුරුදු 120කට කලින්, ලංකාවේ හොදම සෞබ්‍යය තත්වයක් තිබු දිස්ත්‍රිකය මීගමුව බව!!!

ඒ කාලේ මීගමුව දිස්ත්‍රික්කයක්. අද වගේ මීගමුව ගම්පහ දිස්ත්‍රික්කයේ කොටසකුත් නෙමේ, ගම්පහ කියලා දිස්ත්‍රික්කයක් 1978 වෙනකම් තිබුනෙත් නැහැ. මීගමුව කියන්නේ වෙනම දිස්ත්‍රික්කයක්. වර්ග සැතපුම් 247.5ක ලංකාවේ තිබුන කුඩාම දිස්ත්‍රික්කය. 148, 240ක ජනගහනයක් ජීවත්වූ, ලංකාවේ කොළඹ හැරුනහම දෙවෙනියට වැඩිම ජනඝනත්වයක් හෙවත් වර්ගසැතපුමකට 599දෙනකු ජීවත්වූ ලංකාවේ දෙවැනි ජනාධිකම දිස්ත්‍රික්කය වූ බව... 
එවැනි අධික ජනඝනත්වයක් තිබුනත්, 1900වෙද්දී ලංකාවේ ඉහලම සෞඛය තත්වයක් තිබු දිස්ත්‍රික්කය මීගමුව. ලංකාවේ අඩුම මරණ ප්‍රමාණයක් හෙවත් මිනිසුන් 1000ක්ට 18.8ක් පමණක් වාර්තාවූ දිස්ත්‍රික්කය වගේම 1898-1904 කාලය තුල ලංකාවේ අඩුම ළමා මරණ ප්‍රමාණයක් වාර්තාවූ දිස්ත්‍රික්කයත් මීගමුව. ඒ වගේම ලංකාවේ රෝහලක වැඩියෙන්ම විදේශීය කන්‍යාසොහොයුරියන් ප්‍රමාණයක් (Catholic nuns) ස්වේචාවෙන් සේවයකල දිස්ත්‍රික්කයවී තිබෙන්නත් මීගමුව. එම යුගයේදී මීගමුව දිස්ත්‍රික්කයේ සෑම මීසමකම කතෝලික පල්ලිය විසින් දියත්කල සෞඛය සහ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මකකර තිබෙනවා... මිනිස්සු තම දරුවන්ගේ බර කිරාගැනීමටත්, තුවාලයකට බෙහෙත් දමාගැනීමටත් පැමිණ ඇත්තේ එක්කෝ මඩමට නැතිනම් පල්ලියේ ශාලාවට. එහෙත් ස්වෙච්චා පදනමක්මතවත් දේශීය/විදේශීය කන්‍යාසොහොයුරියන්ට (catholic nuns) ලංකාවේ රෝහල්වල කටයුතු කිරීමට නොහැකිවන ලෙස අණපනත් ගෙනත්, 1963වෙද්දී විදේශීය කන්‍යාසොහොයුරියන්ගේ වීසා අත්හිටවා ලංකාවෙන් පිටුවහල්කර තිබෙනවා. එම නිසා මීගමුවේ ඉහතකී පල්ලිවල/මඩම්වල තිබූ සෞබ්‍ය මාධ්‍යස්ථාන වැසීගොස් ඇත. රෝහල්වල සේවයකල, ඇප-උපස්ථානකල හෙදි කන්‍යා සොහොයුරියන්ගේ අමිල සේවය මීගමුවටත් අහිමව ගොස් තිබෙනවා. 1970, 80වන විට ලංකාවේ වැඩිම හෙද හිගයක් පැවති රෝහලක් ලෙස මීගමුව රෝහලත් නම් කර ඇත්තේ එවැනි පසුබිමක් තුලයි. 

1900වන විට දිස්ත්‍රික්කයක්වූ මීගමුව පශ්චාත්-යටත්විජිත යුගය තුල ගෙවීගිය දශක හතක කාලය තුලදී ක්‍රමයෙන් ජරාජීර්නයවන නගරයක් බවට පත්කරලා තිබෙනවා පමණක් නොව, එහි සෞඛ්‍යය තත්වයද පහතට ඇදවැටී තිබේ. මීගමුව නගරය වටා ගොඩනැගී තිබු බොහෝ රජයේ ආයතන පවා අදවන විට ක්‍රමයෙන් ඉවත්කරගනිමින් ඇත. නිදහසෙන් පසු මීගමුවට අත්වූ ඉරණම කවරාකාරද යන්න ගැන මා ලියු මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය සමග මීගමු ජනයා පාරට බසී - දැන් අපි නොනැවතිය යුතුය !!! ලිපියත්, හිටපු සෞඛ්‍ය ඇමැති, දැන් ජනාධිපති, මෛත‍්‍රීපාල සිරිසේන නොසලකා හැරී මීගමුව මහ රෝහල සිය සත් මහල් ගොඩනැගිල්ලෙන් ඉවත්වේ යන ලිපිත් කියවන්න.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
05/06/2020 
Did you know that 1900 Negombo was the most top ranked healthiest district of Ceylon (now Sri Lanka)? 

Those days, Negombo was a district. Not a part of Gampaha district, Gampaha was not even a district until 1978. But, at the beginning of the twentieth century, Negombo was a separate district. In fact, the smallest, 247.5 square miles, district in Ceylon. It had a population of 148, 240, which was the second most highest densely, 599 for one square miles, populated district of the country then. 

But, more than that, Negombo was the healthiest district of Ceylon. According to statistics, Negombo district had the lowest mortality rate, 18.8%. And, the lowest infant mortality, 114 dead (1894- 1904). 

Negombo district had the highest number of Catholic nuns who voluntarily worked at the hospital, as well as the medical centres in churches and convents. According to the reports, by the time of 1900, every Catholic church parish in Negombo ran a local dispensary or medical centre in which local people check their children's weights and get medicine for their small injuries. These centres also helped to improve and uplift Negombo district healthcare standards.
In 1963, the Sri Lankan government banned Catholic nuns to work in hospitals and foreign Catholic nuns who also worked at hospitals were deported, their visa extension also stopped.

Today, Negombo is not a district, the healthcare standards are not as fantastic as those days... one by one, the government offices gradually takes out and relocated elsewhere in Gampaha district. The misery of Negombo in Sri Lanka's post-colonial period could be read about more in this link - Negombo people gathered in a rally to raise their issues !!!

Marcus Priyanatha Perera.
05/06/2020

Wednesday 3 June 2020

කැරැලිගහන කල්ලන්ගේ කැකෑරෙන කලකිරීම

ඇමරිකාවේ සුදු වර්ගවාදය නැතිකරලීමට Malcolm Xගේ සටන්කාමී හඩටවත්, Martin Luther King ගේ ජීවිත පුජාවෙන් ඉටුකළ කාර්යභාරයටවත්, Muhammad Aliගේ බොක්සින් ශුරතාවලටවත්, Jesse Owensගේ ඔලිම්පික් පදක්කම්වලටවත්, Ray Charlesගේ මිහිරි ගීතවලටවත්, Barack Hussein Obamaගේ ජනාධිපතිකමටවත් නොහැකිවී ඇත. George Floyd ගේ කෘර ඝාතනය එහි තවත් එක් පිලිබිබුවක් පමණි. දිනපතා මිය යන, වද හිංසාවට ලක්වන, නොසලකා හරිනලද මිලියන ගණනක කළු ඇමරිකානුවන්ගේ ජීවිතවලට සාධාරණයක් ඉටුවීම/නොවීම බොහෝදුරට තීරණයවනුවේ ඇමරිකානු අධිපති දේශපාලන මතවාදය එරට රාජ්‍ය පාලනය තුල කෙතරම් තීරණාත්මකව නියෝජනය වෙනවාද?/නැද්ද? යන්න මතය. ඩොනල්ඩ් ට්රම්ප් වැනි සුදු-වාර්ගීක-ජාතිකවාදී, මිලිටරි දක්ෂිණාන්ශිකයෙකුගේ රාජ්‍ය පාලනය තුල පීඩිතයින්ට හිමිවෙන යුක්තියක් නැති බව කළු ජාතිකයින් මෙන්ම සෙසු සමාජ ස්ථරයන්ද දනී. ඔවුන් විදී බැස්සේ ඇත්තේ  ඔවුන්ගේ  විරෝධය සටහන් කිරීමටය. කඩ සාප්පු ගිනිතබමින් නගරවීදී අවුළුවන්නේ සිය හදවත්ව තුල බුරා බුරා  දැල්වෙන ගින්න  සටහන් කිරීමට  මෙන්ය. පොලීසීයට  ගල් ගහමින්, පොලිස් වාහන ගිනි තබමින් ඔවුන් ඉදිරියට ඇදෙන්නේ 'තොපේ නීතිය අපේ මරණයද?' යන්න මතු කරලමිනි. 

ඇමරිකාවේ මුළු ජනග්‍රහණයෙන් කළු මිනිස්සු සිටින්නේ 13.4%කි. ආසියාතිකයෝ  5% ක් සිටී, ලතින් ඇමරිකානුවන් 18%ක් සිටි. 'සුදු' යැයි කියන යුරෝපීය ජනයා ඇමරිකාවේ ජනග්‍රහණයෙන් 60%ක් පමණවේඑම සුදු ජාතිකයින් ස්පාඤ්ඤයෙන්, බ්‍රිතාන්‍යයෙන්, ප්‍රංශයෙන්, ජර්මනියෙන්, ඉතාලියෙන්, අයර්ලන්තයේන්, පෝලන්තයෙන්, පෘතුගාලයෙන්, රුසියාවෙන් සහ වෙනත් නැගෙනහිර යුරෝපියානු රටවලින් සංක්‍රමණයවුවන්සංඛ්‍යාත්මකව තත්වය එසේවුවත් අපවැනි රටවල බොහෝදෙනා සිතා සිටිනුයේ ඇමරිකාවේ 'සුදු' සහ 'කළු' ජනයා හරි හරියට, පනහට-පනහක්, පනහට-හතලිහක්, වැනි ප්‍රමාණයක් සිටින බවය. 

සමහරවිට එසේ සිතීමට හේතුවක් වනුයේ, එරට චිත්‍රපටි, ක්‍රීඩා, සංගීතය සහ වෙනත් ජනප්‍රිය-සංස්කෘතික අංග රාශියක එරට කළු ජනයා කැපී පෙනෙන ලෙස ඉස්මතුවී පෙනීයාමත්, සුවිශේෂ දක්ෂතා දැක්වීමත් නිසා වියහැක. එහෙත් එරට ආර්ථික, දේශපාලන සහ අධිපති සංස්කෘතික ධාරාව තුල කළු ජාතිකයින් කිසිසේත්ම බලයක්, හැකියාවක්, ආධිපත්‍යයක් උසුලන පිරිසක් නෙම්.

ඇමරිකාව තුල කළු ජාතිකයින්ට වඩා ආසියාතිකයින් ව්‍යාවසායකින්, වෘත්තීයවේදීන්ව සිටී. නිෂ්පාදන සාධක, නිෂ්පාදන සබදතා අතිමහත් බහුතරයක් එරට 'සුදු' ජනයාට අයත්ව තිබෙන අතර එහි අයිතිය අනුව ගත්තෝත් ඇත්තටම කළු ජාතිකයින් සිටිනුයේ ආසියාතිකයන්ට පමණක් නොව ලතින් ඇමරිකානුවන්ටත් වඩා අඩු හිමිකාරත්වයකිණි. දේශපාලන තලය තුලවුවත්, බැරක් ඔබාමා එරට ජනාධිපතිවරයෙක් ලෙස පත්වුවත්, ඇත්තටම කළු ජාතිකයින්ට වඩා ලතින් ඇමරිකානු නියෝජිතයින් වැඩි පිරිසක් ඇමරිකාවේ මහජන නියෝජිතයින් ලෙස කටයුතු කරනු ලැබේ. අධිපති සංස්කෘතික ධාරාවවන 'බටහිර-ක්‍රිස්තියානු' සංස්කෘතිය තුලත් කළු ජාතිකයින්ට වඩා ලතින් ඇමරිකානුවන් එකී සංස්කෘතික ධාරාව තුල වඩා අනන්‍යවී සිටී. එයට එක් හේතුවක් වන්නේ අතිමහත් ලතින් ඇමරිකානුවන් පිරිසක් කතෝලිකයින් වෙන අතර ඔවුන් ඉතාලි, අයර්ලන්ත, ස්පාඤ්ඤ, පෝලන්ත, පෘතුගීසි ජනයාගේ සමග එකම දේවස්ථාන පරිශ්‍රයක් තුල සමාජානුයෝජනයවීමත්, කළු ජාතිකයින් විවිධ නම්වලින් විවිධ දේවස්ථාන ගොඩනගාගෙන වෙන වෙනම කටයුතු කිරීමත් එයට හේතුවී තිබේ. එය එක්තරා ආකාරයක කළු ජාතිකයින් ප්‍රධාන ධාරාවෙන් විතැන්ව ඔවුන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට ගන්නා උත්සහයක් ලෙසද දැක්විය හැක.

මේ සියලූ කාරණා තුල පෙනී යන්නේ කළු ඇමරිකානු ජනයා ඇමරිකාව තුල අසාධාරණට, නොසලකා හැරීමට, නිසි පිළිගැනීමකට ලක් නොවූ සුළු ජනකොටසක් බවයි. ඓතිහාසිකව නම් ඔවුන් වහල්ලුන් ලෙස ඇමරිකාවට ගෙනෙනු ලැබුවන්ය. දහසකුත් එකත් වදහිංසාවට ලක්වුවන්ය. මීට අවුරුදු 50 විතර යනකම්ම (1970 විතර වෙනකම්) ඔවුන්ට සුදු ජාතිකයින් සමග එකම අසුනේ ඉදගැනීමටවත්, එකම පොදු වැසිකිලිය භාවිතා කිරීමටවත් ඉඩක් ලැබුනේ නැහැ.

අද නීතියානුකුලව එවැනි වර්ගවාදී නීතිරීති පැනවිය නොහැකිවූවත්, හමේ පැහැය නිසා කළු ජාතිකයින්ව වෙනස්කොට සැලකිය නොහැකිවුවත්, ඔවුන් දෙස තවමත් බලන්නේ ඒ විදිහටමය.. සැකයෙන් සහ වැඩිය ලංකර ගතයුතු නැති පිරිසක් ලෙසය... රස්සාවක් දීමේදී හෝ කළු ජාතිකයින් සමග එකට වැඩකිරීමේදී හිතන්නේ 'මුන් හොරකම් කරයිද?', 'තියෙන දෙයක් උස්සන් දුවයිද?', 'අහුවෙන දෙයකින් දමල ගහයිද?', 'මුණකට කුඩුකරලා දායිද?', 'ඇග තිබ්බට කට කියෝ කියෝ ඉන්නවා මිසක් වැඩක් කරන්න හරි කම්මැලි ජාතියක්', 'වැසිකියකට ගියත් එකත් ඉවරයි නේද?' ...ආදී ද්වේශ සහගත ආකල්ප සමගය.

කළු ජාතිකයිනුත් ඒ ගැන හොද දන්නී... කොච්චරවුවද ඔවුන් 'සුද්දෝ' සමග පෑහෙන්නේ ඉහතකී තත්වයන් කොයි මොහොතේ හෝ මතුවිය හැකියැයි යන මානසිකත්වය තුලය. කළු ජාතිකයින් සුදු ජනයා ගැන සිතනුයේ ''ඔවුන් අපි දිහා බලන්නේ සමාන මනුෂයෝ ලෙසවත්, දයානුකම්පාවෙන්වත් නොව.. සැකයෙන්, බයෙන් ද්වේශෂයේන්'' බවය. කළු ජාතිකයින්ට මේ ආතතිය දැඩි පීඩනයක් ගෙනදෙන්නකි. ඔවුන්ට එය තදින්ම දැනේ... ඔවුන් එය හැමදාම විදී... ඔවුන් එය හිරකරගෙන සිටිනුයේ ඉතාම අමාරුවෙන්ය..

ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd)ගේ ඝාතනය වැනි සිද්ධියක් ඔවුන්ට සිය විරෝධය එළිපිටම දක්වන්නට අවස්ථාවක් උදාකාරයි. පාරට බැහැස, කඩ කුඩුකර, වාහන ගිනි තබා, පොලිසියට ගල්ගසා, පොලිස්වාහන ගිනි තිබා ඔවුන් සිය විරෝධය පිටාර ගලායන්නට සලස්වයි.

කල්ලෝ පාරට බැස කඩ කුඩුකරද්දී එයට කළු-සුදු බේදයකින් තොරව ලුම්පන්, ලතින් ඇමරිකන්, අරාජික, හොරු, මිනීමරු, තක්කඩි, මංකොල්ලොකාර, සියළු සමාජ විරෝධීන් එයට එක්වේ. ඔවුන් සියල්ලෝම එකට එක්වී පුළුවන් තරම් කඩාබිද දමා විනාෂය උපරිමයෙන්ම සිදුකිරීමට වගබලාගනිති. ඔවුන්ට හැකිනම් කදාබිද දමා ගිනිතබා දමනවාට අමතරව කපා, කොටා, මරා, පුළුස්සා දැමීමට හැකිනම් එයත් කරති.

ඒ සියල්ල අන්තිමට බැරවෙන්නේ කළු මිනිස්සුන්ගේ ගිණුමටය. ''කල්ලෝ කියන්නේ කලබල ඇතිකරන, කැරලි ගහන, කඩාකප්පල්කාරී ජාතියක්'' යන මතය එ මගින් තවත් වටයකින් නැවත තවුරුවීමක් සිදුවේ. අවසාන වශයෙන් පොලිසීය හමුදාව පැමිණ වෙඩිතබා මරාදමන්නේද කළු ජනයාමය... ඔවුන් හැමදාම සෙක්කුවේ බැදී සතුන්මෙන් එකම ඉරණමක් කරමත තියාගෙන එකම රවුමේ නැවත නැවත කැරකෙන...ඒ මතම හති වැටී මියයන...ගැලවීමක්, විමුක්තියක්, ගැන අස්වැසිල්ලක්වත් නොලත් ජන පිරිසක්වී ඇත.

එය අපව නැවත කැදවන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) ගේ අවසාන් වචන පෙළටය - 'I Can't Breathe'.

පීඩීතයින්ට නිදහසේ හුස්ම ගැනීමටත් වෙරදරා අත්කර යුත්තකි.  

මාකස් ප්‍රියන්ත පෙරේරා
02/06/2020

Monday 1 June 2020

ගරු.ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ලියන දේව මාතාවන් පිළිබද ලිපි එකතුව- අවසාන කොටස

දේවමාතාවන්වන  මරියතුමියට කැපකළ  මැයි මාසයේ දින 31 පුරාවටම ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ''දේව මාතාවන්ට ලබා දී ඇති එක එක නාමයන් පිලිබදවත්, ඒ නාමයන් සමග බද්ධව ගොඩ නැගුණු ප්‍රතිමා හෝ පින්තූර පිලිබදවත්, ඒ නාමයන් පසුපස ඇති ඉතිහාසය හා දේව ධාර්මික ඉගැන්වීම පිලිබදවත්'' සාකච්චාකරණ ලිපිපෙළක් ලියා පළකළේය. මෙතෙක් අප බොහෝ දෙනෙකු නොදත් කරුණු රාශියක් අන්තර්ගතවු එකී ලිපිවල එකතුවක් මෙම බ්ලොග් අඩවිය කොටස් වශයෙන් පළකරන්නට විය. මෙහි පලවෙනුවේ පස්වෙනි  හෙවත්  එහි අවසාන  කොටසය. මෙම ලිපි එකතුවේ මුල්ම කොටසවූ  මැයි 01දා  සිට 07 දක්වාවූ ලිපිවල  එකතුව ඉකුත් මැයි මස 05වෙනිදා පලවිය. එය මෙම යොමුවෙන් කියවිය හැක. මැයි 8 සිට 13 දක්වාවූ ලිපිවල එකතුවවූ දෙවන කොටස 13/05/ 20 බදාදා පලවිය. දෙවන කොටස මෙම යොමුවට පිවිසීම ඔස්සේ කියවිය හැක. තුන්වන කොටස වූ මැයි 14 දින සිට මැයි මස 19 දක්වා එතුමා ලියු ලිපිවල එකතුව පසුගිය මැයි 19වෙනි අගහරුවා පලවිය. තුන්වන කොටස මෙම යොමුව ඔස්සේ කියවිය හැක.  මැයි මස 20දා සිට මැයි මස 25දා දක්වා ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ලියු ලිපිවල එකතුව හතරවන කොටස යටතේ පලවිය. එය මෙම යොමුවෙන් කියවිය හැක. ''දේවමාතා බැතිය හා සම්බන්ධව පවතින විශේෂ භක්ති අභ්‍යාසයන් හා බැඳුණු දේව මෑණියන් ලත් විශේෂ නාමයන් කිහිපයක් පිළිබඳව'' වූ සාකච්චාව  හතරවන කොටස තුලදී ''ලෝකයේ විවිධ රටවල් වල ඇති විශේෂ ස්ථාන හා බැඳුණු දේවමාතාවන් ලත් විශේෂ නාමයන් කිහිපයක් පිළිබඳව'' දැනුවත් කිරීම දක්වා යොමුවිණි.  එම  සාකච්චාවේ අවසන පරිසමාප්තිය  සටහන්  කරමින් "ශ්‍රී ලංකා අප ස්වාමිදුව"  පිලිබදව  අප දැනුවත් කරමින් ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා මසක් පුරා ලියූ මෙම ලිපිපෙළ  අවසාන කරයි. දහසකුත්  එක්ක  වැඩ රාජකාරී  අතරතුර  අපව  දැනුවත් කිරීමටත්,  මරිය බැතියෙන්  අප ජුවලිත කිරීමටත් ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා දැරූ මෙම උත්සහයට අපි  අනේකවාරයක්  ස්තූතිවන්ත වෙමු.  

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන්වූ දේව මාතාවන්වන මරියතුමිය පිලිබදව කතෝලික සභාව තුල ඇත්තේ ඉතා පුළුල් කතිකාවකි. දේවධාර්මික (theological), දෘෂ්ටිවාදී (ideological), දර්ශනවාදී (philosophical) සහ තවත් පැතිමාණයන් රාශියකින් ජුවලිත කරන ලද එකී කතිකාව මරියතුමිය පිළිබද අචල භක්තියකට සහ විශ්වාසීය යැදුමට කිතුනුවන් රැගෙනයයි. එහෙත් මරියබැතිය ගැන හෝ දේව මාතාවන් පිළිබදව හෝ අඩුම තරමින් දේවමාතාවන්වන මරියතුමියව ගෞරවපුර්වක පුදන විවිධ දේවමාතා නාමයන් පිලිබදව හෝ සිංහල භාෂාවෙන් තවමත් සාකච්ඡාවී ඇත්තේ ස්වල්පයකි, පලව ඇත්තේද එයිනුත් ඉතා අල්පයකි. විශේෂයෙන්ම දේව මාතාවන් පුදන මේ මැයි මාසය තුල ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ඒ සදහා ඒ සදහා යම් උත්සහයක් දරා ඇත. 'දේව මාතාවන්ට ලබා දී ඇති එක එක නාමයන් පිලිබදවත්, ඒ නාමයන් සමග බද්ධව ගොඩ නැගුණු ප්‍රතිමා හෝ පින්තූර පිලිබදවත්, ඒ නාමයන් පසුපස ඇති ඉතිහාසය හා දේව ධාර්මික ඉගැන්වීම පිලිබදවත් කෙටියෙන් හෝ' සාකච්ඡා කිරීමට එතුමා මුලපුරා ඇත. පහතින් දැක්වෙන්නේ දිනපතා පලවන එකී සාකච්ඡාවේ ලිපි එකතුවකි. එහි ඇත්තාවූ අනගි වටිනාකම සලකා එකී සාකච්ඡාව කොටස් වශයෙන් මෙහි පලකිරීමට මම අදහස් කලෙමි. පහතින් පලවෙන්නේ ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමාගේ එකී සටහන්වල එකතුවකි. 

******************************************************

26. "මෙජගෝරිහී මාතාවෝ" Our Lady of Medjugorje". 
=======================================
ලෝකයේ විවිධ රටවල, විවිධ ප්‍රදේශවල, විවිධ පුද්ගලයින්ට, විවිධ කාලයන්හි, දේවමාතාවන් දර්ශනය වී ඇති බව ප්‍රකාශ වේ. එනමුත් ඒ සියලු දේවමාතා දර්ශනයන් නිල වශයෙන් කතෝලික සභාව පිළිගන්නේ නැත. දේවමාතා දර්ශනයක් සත්‍ය බව නිල වශයෙන් කතෝලික සභාව පිළිගනු ලබන්නේ විවිධ ක්ෂේත්‍රයන්හි දීර්ඝ අධ්‍යනයකින් පසුව පමණි.

එනමුදු කතෝලික සභාව තුළ නිල වශයෙන් එම දේවමාතාදර්ශනයන් නොපිළිගත්තද, එවැනි යම් සිදුවීමක් සිදුවූ විට කතෝලික හා කතෝලික නොවන ජනතාව එවැනි ස්ථාන කරා ඇදී එන බවත්, ඒ එන ජනතාවගේ ජීවිත තුළ දෙවියන් වහන්සේගේ විශේෂ ප්‍රාතිහාර්යයන් සිදුවී ඇති බවත්, ඉතිහාසය තුළ අපි දකින්නෙමු.

මෙලෙස තවමත් කතෝලික සභාව නිල වශයෙන් නො පිළිගත් නමුත්, මහ ජනතාවක් නිරතුරුවම ඇදී එන සහ බොහෝ දෙනෙකු දේවමාතාවන්ගේ මැදිහත් බව තුළ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අත් දැක ඇති විශේෂ ස්ථානයක් ලෙස 'මෙජගෝරිය' හැඳින්විය හැක.
1981 ජුනි 24 බොස්නියාවේ හෙර්සෙගොවිනා (Herzegovina) හී පද්බ්‍රොදෝ (padbrodo) කඳු මුදුනට ගිය නව යොවුන් තරුණියන් දෙදෙනෙකු වූ මිර්ජානා ඩ්‍රැගිචෙවිච් (Mirjana Dragicevic) හා ඉවන්කා ඉවන්කොවිච් (Ivanka Ivankovic) හට දරුවෙකු වඩාගෙන සිටි මවක් දර්ශනයවී ඇත. ඒ කවුරුන්දැයි ඇයගෙන් ඔවුන් විමසූ විට තමන් දේවමාතාවන් බවත්, විශේෂ දූත කාර්යයක් සඳහා ඔවුන්ව තෝරාගෙන ඇති බවත් මරිය මාතාවන් ප්‍රකාශ කර ඇත.

පසුදින මෙම දියණියන් දෙදෙනා තමන්ගේ යහළුවන් දෙදෙනෙකු වූ අයිවන් ඩ්‍රැගිචෙවික් (Ivan Dragicevic) හා ජැකොව් කෝලෝ (Jakov Colo) ද, යෙහෙළියන් දෙදෙනෙකු වූ මරිජා පවියෝවිච් (Marija Paviovic) සහ විකා ඉවන්කොවිච් (Vicka Ivankovic) සමග එම කඳු මුදුනට ගොස් ඇති අතර එදින ද මෙම නව යොවුන් දරුවන් හය දෙනාටම දේවමාතාවන් දර්ශනය වී ඇත. ඉන්පසුව දිනපතාම වසර ගණනාවක් යනතුරු දේවමාතාවන් ඔවුන්ට දර්ශනය වී ඇති අතර, තවමත් දේවමාතාවන්ගේ දර්ශනය දකින, දැනට වැඩිහිටියන් බවට පත් වී ඇති කිහිප දෙනෙකුම ඔවුන් අතර සිටින බව ප්‍රකාශ වේ.

මෙම සෑම දර්ශනයකදී ම දේවමාතාවන් ඉල්ලා සිටියේ නොකඩවා යාච්ඤා කරන ලෙසත්, නිරාහාර ශීලය රකින ලෙසත්, පශ්චාත්තාපී ක්‍රියාවන් වල නිරත වන ලෙසත්ය.

මෙම ආරංචිය ලැබුණ විට මුලින්ම කතෝලික සභාව එකහෙලාම මෙය ප්‍රතික්ෂේප කළ අතර එම ස්ථානයට වන්දනා ගමනක් ලෙස යාම පවා තහනම් කරන ලදි. නමුත් 2017 මැයි 13 දින ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියාණන් විසින් මෙජගෝරිහී ගැඹුරු යාඥාවන් සිදුවන නිසාත්, ජීවිත වෙනස් වන නිසාත්, ප්‍රාතිහාර්යයන් පවා එහිදී අත්දකින නිසාත්, මෙය මුළුමනින්ම ප්‍රතික්ෂේප නොකළ යුතු අතර ඒ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකට කතෝලික සභාව යොමු විය යුතු බව ප්‍රකාශ කලේය. දැනට එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක කතෝලික සභාව නිරතව සිටින්නීය.

එසේම 2019 මැයි දොළොස් වෙනි දා මෙම ස්ථානයට වන්දනා ගමන් යාමට කතෝලික සභාව නිල වශයෙන් අවසර ලබා දෙන ලදී.
මෙම දේව මාතා දර්ශනයන් ලැබූ 6 දෙනා පිළිබඳ වර්තමාන තත්ත්වය ගැන දැන ගැනීම යහපත් යයි සිතමි

1). ඉවන්කා ඉවන්කොවිච් (Ivanka: Ivankovic). 
1966 ජූනි 21 ඉපදී ඇති අතර මුලින්ම දේව මෑණියන් දර්ශනය වූයේ ඇයටය. 1985 මැයි 7 තෙක් අයට දිනපතා දේවමාතාවන් දර්ශනය වූ අතර රහස් 10ක් ඇයට ලබාදී ඇත. 1985 මැයි 7 න් පසුව වසරකට වරක් ජූනි මස 25 වන දින දේවමාතාවන් ඇයට දර්ශනය වන බවට පවසා ඇති අතර ඇයට ලබාදී ඇති මූලික දූත කාර්යය වන්නේ පවුල් වෙනුවෙන් යාච්ඤා කිරීමය. දැනට විවාහ වී ඇති ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.

2). මිර්ජානා ඩ්‍රැගිචෙවිච් (Mirjana Dragicevic). 
1965 මාර්තු 18 උපන්න ඇයද ඉවන්කා මෙන් 1981 ජුනි 24 දේවමාතා වන් දුටු දියණියකි. 1982 දෙසැම්බර් 25 තෙක් දිනපතා දර්ශනයන් ඇයට ලැබුණු අතර, ඇයට ද රහස් 10 ම ලබා දී ඇත. සෑම මසකම 2 දින ඇය දේවමාතාවන් සමග දෙවියන් වහන්සේ විශ්වාස නොකරන අය වෙනුවෙන් යාඥා කරනු ලබන බව කියැවේ. දැනට විවාහ වී සිටින ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඇය ලබා ඇති විශේෂ කැඳවීම වන්නේ දෙවියන් වහන්සේ විශ්වාස නොකරන අය වෙනුවෙන් යාච්ඤා කිරීමය.

3). ජැකොව් කෝලෝ (Jakov Colo)
1971 මාර්තු 06 ඉපදී ඇති ඔහුට 1981 ජූලි 25 තෙක් දේව මාතාවන් දිනපතා දර්ශනය වී ඇත. ඔහුට ද වසරකට වරක් නත්තල් දින දේවමාතාවන් දර්ශනය වන බව පැවසෙන අතර ඔහුව කැඳවා ඇත්තේ රෝගීන් වෙනුවෙන් යාච්ඤා කිරීමට ය. දැනට විවාහ වී සිටින ඔහු දරුවන් තිදෙනකුගේ පියෙකි

4). අයිවන් ඩ්‍රැගිචෙවික් (Ivan Dragicevic). 
1965 මැයි 25 ඉපදී ඇති ඔහුට තවමත් දිනපතා දේවමාතාවන් දර්ශනය වන බව කියැවේ. ඔහුට රහස් 9ක් ලබා දී ඇත. ඔහුට ලබා දී ඇති විශේෂ කැඳවීම නම් තරුණ දරුවන් සහ ගරු පූජාප්‍රසාදිවරුන් වෙනුවෙන් යාච්ඤා කිරීමය. දැනට විවාහ වී සිටින ඔහු දරුවන් හතර දෙනෙකුගේ පියෙකි.

5). විකා ඉවන්කොවිච් (Vicka Ivankovic).
1964 සැප්තැම්බර් 9 ඉපදුනු ඇයට තවමත් දිනපතා දේවමාතාවන් දර්ශනය වන බවත් රහස් 9ක් ඇයට ලබාදී ඇති බවත් ප්‍රකාශ වේ. රෝගීන් වෙනුවෙන් විශේෂයෙන්ම යාඥා කරන ලෙස කැඳවා ඇත. ඇය විවාහ වී ඇති අතර දරුවන් දෙදෙනෙකුගේ මවකි

6). මරිජා පවියෝවිච් (Marija Paviovic). 
1965 අප්‍රේල් 01දා ඉපදුණු ඇයට ද දිනපතා දේවමාතාවන් තවමත් දර්ශනය වන බව කියැවේ. ඇය තුළින් තම මීසමට ද, මුළු ලෝකයටම ද දේවමාතාවන් විශේෂ පණිවුඩ ලබා දෙන බව පැවසේ. රහස් 9ක් ඇයට ලබා දී ඇත. ශුද්ධගිනිස්ථානයේ ඇති ආත්මයන් වෙනුවෙන් යදින්නට විශේෂයෙන්ම ඇයව කැඳවා ඇත. ඇයද විවාහ වී ඇති අතර දරුවන් හතර දෙනෙකුගේ මවකි.

දේවමාතාවන් දර්ශනය වූ විට එතුමියගෙන් ඔවුන් නැගූ ප්‍රශ්නය වන්නේ "ඇයි ඔබ ඔය තරම් ලස්සන?" යන්නයි. "මා මෙතරම් ලස්සන වී ඇත්තේ මා ආදරය කරන නිසයි. ඔබත් ලස්සන වීමට අවශ්‍ය නම් ආදරය කරන්න" යන්න දේවමාතාවන්ගේ පිළිතුර විය. ලෝකය අද අසුන්දර වී ඇත්තේ, අවලස්සන වී ඇත්තේ, ආදරය නොමැති නිසයි. මිනිසුන් මිනිසුන්ට ආදරය කරන්නට පටන් ගන්නා දිනයේදී මුළු ලෝකයම, ලෝකය ආරම්භයේ දී තිබූ සුන්දරත්වයෙන්, ලස්සනින් පිරී යනු ඇත. "මෙජගෝරිහී මාතාවෙනි - අප නිසා යාච්ඤා කළ මැනව".
මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් කරුණාකර අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් මෙය SHARE කරන්න.
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
(26/05/2020).
27. "පාතිමාවේ මාතාවෝ" - Our Lady of Fatima". 
===================================
ලූර්දු මාතාවන් මෙන්ම අප රට තුළද ඉතා ප්‍රචලිත වූ දේවමාතා බැතියක් වන්නේ 'පාතිමාවේ මාතාවන්' වටා ගොඩනැගුණු දේවමාතා බැතියයි. පෘතුගාලයේ ලිස්බන් අගනගරයේ සිට කිලෝමීටර 110 පමණ ඈතින් පිහිටි පාතිමා නගරයේ ඇති මෙම සිද්ධස්ථානය ලෝකය පුරා විසිරී සිටින කෝටි සංඛ්‍යාත කතෝලික හා කතෝලික නොවන බැතිමතුන්ගේ ආදරය දිනාගත් ශුද්ධවූ සිද්ධස්ථානයකි.

1910 වසන්ත සෘතුවේදී ලුසියා දොස් සන්තොස් ( Lucia dos Santos), ෆ්‍රැන්සිස්කෝ (Francisco) හා ජසින්තා මාර්තෝ (Jacinta Marto) යන දරුවන් තිදෙනා 'කෝවා ද ඉරියා' ( Cova da Iria) යන ස්ථානයේ බැටළුවන් බලමින් සිටින විට දේවදූතයෙක් තෙවරක් ම දර්ශනය වූ බවත්, දේව දූතයා තමන් 'සාමයේ දේව දූතයා' සහ 'පෘතුගාලයේ ආරක්ෂක දේවදූතයා' ලෙස හඳුන්වා දුන් බවත් ප්‍රකාශ විය. එසේම යාඥාව, පරිත්‍යාගය සහ සත්ප්‍රසාද වන්දනාව සඳහා දරුවන්ට යොමුවන ලෙස එම දරුවන්ගෙන් දේව දූතයා ඉල්ලා ඇති බව කියැවේ. පාතිමාවේ සිදුවූ දේවමාතා දර්ශනයන්හි ආරම්භය මෙය විය.

නැවතත් 1917 මැයි 13 වනදා ඉහත කී ස්ථානයේදීම එම දරුවන් තිදෙනාට දේවමාතාවන් දර්ශනය වී ඇත. හිරුටත් වඩා අති සුන්දර වූ දීප්තියකින් බැබළුණු ඇය ශුද්ධවු ත්‍රිත්වයට ජීවිතය කැප කරන ලෙසත්, යාඥාවට යොමුවන ලෙසත් ඉල්ලා සිටියාය. එම කාලය පළමුවන ලෝක යුද්ධය පැවතුණු සමයක් විය. ලෝක යුද්ධය අවසන් වීම සඳහා ජපමාලය උච්චාරණය කිරීමට සියලු දෙනා යොමු විය යුතු බව ඇය ප්‍රකාශ කරන ලදී.

නැවතත් 1917 ජූනි 13 වන දින දෙවන වරටත් දේවමාතාවන් මෙම දරුවන් තිදෙනාට දර්ශනය වී ඇති අතර, නිරය පිළිබඳව දර්ශනයක් එවිට ලබා දී ඇත. එසේම ෆ්‍රැන්සිස්කෝ සහ ජසින්තාව මෙලොව ජීවිතයෙන් ඉතා ඉක්මනින් කැඳවා ගන්නා බවත්, දේවමාතාවන්ගේ 'නිර්මල හෘදයේ බැතිය' ලොව පුරා පතළ කරනු සඳහා ලුසී ජීවත් විය යුතු බවත් දේවමාතාවන් දෙවන දර්ශනයේ දී ප්‍රකාශ කර ඇත.

මෙම දර්ශනයන් පිළිබඳව ප්‍රදේශය පුරා ප්‍රචලිත වූ අතර වැල නොකැඩී ජනතාව එම ස්ථානයට පැමිණ ඇත. නමුත් දරුවන් තිදෙනාගේ එම ප්‍රකාශයන් නිසා සමාජය කැළඹෙන බව චෝදනා කොට ඇති එම ප්‍රදේශය භාරව සිටි ආණ්ඩුකාරවරයා වන ආතර් සන්තොස් (Artur Santos), දරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. එබැවින් එම මාසයේදී දේවමාතාවන් අගෝස්තු 13 දර්ශනය නොවූ අතර දර්ශනය වූයේ අගෝස්තු 19 දින 'වැලින්හොස්' ( Valinhos) නැමැති ස්ථානයේ ය. ජපමාලය උච්චාරණය කරන ලෙස ඇය එවිට ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියා ය. එසේ ම ඔක්තෝබර් 13 දින විශේෂ ලකුණක් ලබාදෙන බව ඇය ප්‍රකාශ කොට ඇත.

1917 ඔක්තෝම්බර් 13 පාතිමාවේ සිදුවූ ප්‍රාතිහාරය හඳුන්වනු ලබන්නේ 'හිරුගේ ප්‍රාතිහාර්යය' (Miracle of the Sun) ලෙසය. දේවමාතා දර්ශනය පිළිබඳව ආරංචිය කණ වැකුණු පනස් දහසකට අධික පිරිසක් එම ස්ථානයේ රැස්ව සිටි අතර මහා වර්ෂාවක් ඒ මොහොතේ කඩා වැටී ඇත. නමුත් වර්ෂාව හමාර වීමත් සමගම අහසේ තිබුණු කළු වලාකුළු අතරින් මතු වූ සූර්යයා විවිධාකාර ලෙස අහස මත චලනය වන්නට පටන් ගෙන ඇත. මුළු පරිසරයම දේදුන්නක හැඩය කින් සහ අමුතුම වර්ණ වලින් පිරී ගොස් ඇත.

දරුවන් තිදෙනා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, වික්ෂෝප දේව මාතාවන්, කාර්මෙල් දේවමාතාවන්, ශුද්ධ වූ ජුසේ මුනිඳුන්, රැස්ව සිටි ජනතාව ආශිර්වාද කරන අයුරු දැක ඇත. මෙම ප්‍රාතිහාර්යය දෑසින්ම දුටු බොහෝ පිරිසක් ඒ අතර සිටි අතර පාතිමා පුවත ලොව පුරා පතළ වන්නට පාදක වූයේ මූලික වශයෙන්ම මෙම ප්‍රාතිහාර්යයයි.

පාතිමා දර්ශනය හා බැඳුණු විශේෂ රහස් තුනක් පිළිබඳව ලෝකය කතා කරන්නට පටන් ගත්තේ ය. නිරයේ දර්ශනය දැකීම පළමු රහස බවත්, නිර්මල හෘදය ට ඇති බැතිය වර්ධනය කිරීම, රුසියාවේ සිත් හැරීම සඳහා යාඥා කිරීම හා පළමුවන සෙනසුරාදා දේවමාතා බැතියට යොමු විය යුතු දිනය ලෙස දෙවන රහස බවත්, ශුද්ධෝත්තම පියතුමෙකු ඝාතනය කිරීම තුන්වන රහස බවත් ප්‍රකාශ වුණි.

1930 දී එම ප්‍රදේශය භාරව සිටි රදගුරුතුමා විසින් පාතිමාවේ සිදුවූ සිද්ධීන් විශ්වාස කලයුතු සිද්ධීන් බවට මුල්වරට ප්‍රකාශ කරන ලදී. එසේම 'පාතිමාවේ ශුද්ධෝත්තම පියා' (Pope of Fatima) ලෙස හඳුන්වනු ලබන 12 වන පයස් ශුද්ධෝත්තම පියා විසින් 1946 මැයි 13 වන දින පාතිමාවේ ස්ථාපිත කර ඇති පාතිමා මාතාවන්ගේ ප්‍රතිමාවට ඔටුනු පලඳවන ලදී. එසේම ලුසී කන්‍යා සොහොයුරිය ගේ ඉල්ලීම පරිදි 1942 දෙසැම්බර් 8 වැනිදා එම ශුද්ධෝත්තම පියාණන් විසින් රුසියාව දේව මාතාවන්ගේ නිර්මල හෘදයට කැප කරන ලදී.

1981 මැයි 13 වනදා, එනම් පාතිමාවේ මංගල්‍යය දා, වතිකානුවේ දී ශුද්ධ වූ දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියාණන්ට වෙඩි වැදුණු අතර උන් වහන්සේගේ දිවි ගැලවුණේ පාතිමා මාතාවන්ගේ මැදිහත් කම තුළ බව ප්‍රකාශ වුණි. ඒ නිසාම ශුද්ධවූ දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියාණන් ලැබූ එම අත්දැකීමට පාතිමාවේ මාතාවන්ට ස්තූති කරමින් තම සිරුරේ තිබූ මූනිස්සම 1987 මැයි 13 වැනිදා පාතිමා මාතාවන්ගේ ප්‍රතිමාවේ ඇති රත්තරන් ඔටුන්නෙහි තැන්පත් කරන ලදී.

පාතිමා මාතාවන් මුළු ලෝකයම පළමු ලෝක යුද්ධය නිසා විනාශ වූ යුගයක දර්ශනය වීමෙන් පැවසුවේ සිදුවන විනාශයෙන් ගොඩ එන්නට නොකඩවා යාඥා කරන ලෙසය. විශේෂයෙන්ම ජපමාලය උච්චාරණය කරන ලෙසය. ජපමාලයෙන් ඈත්ව සිටි අප නැවතත් 'කෝවිඩ් 19' නිසා පවුලක් ලෙස ජපමාලය උච්චාරණය කිරීමට යොමු විය. නැවතත් ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වූ විට, විනාශය තුළ අප ඉගෙනගත් ජීවිත පාඩම් අමතක කොට අපේ පරණ ජීවිතයට පිවිසෙමු ද? එසේ නොමැති නම් දේවමාතාවන් පැතූ ජීවිත වෙනස හැමදාම අපි ඇතිකර ගනිමු ද? නිරතුරු යාඥා කරන, ජපමාලය උච්චාරණය කරන පවුලක් බවට අපි පත් වෙමුද? 

"පාතිමාවේ මාතාවෙනි - අප නිසා යාච්ඤා කළ මැනව". මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.
ගරු. ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
(27/05/2020).

28. "වේලක්කන්නි මාතාවෝ" (ආරෝග්‍ය මාතාවෝ) - Our Lady of Good Health".
==============================================
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වේලන්කන්නි ගමේ ඇති 'වේලන්කන්නි මාතාවන්ගේ' සිද්ධස්ථානය හඳුන්වනු ලබන්නේ 'ආසියාවේ ලූර්දුව' ලෙසය. කතෝලික හා කතෝලික නොවන, විශේෂයෙන්ම හින්දු බැතිමතුන්ගේ ආදරය හා ගරුත්වය දිනාගත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නිරතුරුව ඇදෙන වේලන්කන්නි මාතාවන් දෙමළ භාෂාවෙන් 'ආරෝක්කිය අන්නෙයි' ලෙසත්, සිංහල භාෂාවෙන් "ආරෝග්‍ය මාතාවන්" ලෙසත් හඳුන්වනු ලැබේ.

වේලන්කන්නි ගමේ ආරෝග්‍ය මාතාවන්ගේ එම සිද්ධස්ථානය ගොඩ නැගෙන්නට 16 වන හා 17 වන ශත වර්ෂයේදී සිදු වූ සිද්ධීන් තුනක් විශේෂ වශයෙන්ම බලපා ඇති බව පැහැදිලිය. මෙම සිද්ධීන් වාචික සම්ප්‍රදාය තුළ පැවත එන සිද්ධීන් ලෙස හැඳින්විය හැක.

1). ඉන්දියාව යනු යහමින් කිරි වලින් පෝෂිත වූ බිමකි. වර්ෂ 1570 දී පමණ එක්තරා දිනක ධනවතෙකු ගේ නිවසට දුප්පත් යොවුන් දරුවෙකු 'කිරි මෝරු' රැගෙන යමින් සිටියේය. ගමන තරමක් දුර බැවින් අතරමග තිබූ කුඩා පොකුණක් අසල තිබූ නුග ගසක් අසල විවේක ගැනීම සඳහා ඔහු නතරවිය. එවිට දරුවෙකු වඩා ගත් අම්මා කෙනෙකු දර්ශනය වී එම දරුවාට කිරි ස්වල්පයක් ඉල්ලා ඇත. මෙම කිරි මෝරු රැගෙන ගිය දරුවා තමාගේ භාජනයෙන් කිරි මෝරු වීදුරුවක් දර්ශනය වූ එම 'අම්මාට' ලබා දීමෙන් අනතුරුව ධනවතාගේ කිරිමෝරු ලබා දීමට ඔහුගේ නිවසට ගොස් ඇත. මගදී ඔහු මුහුණ දුන් සිද්ධිය මෙම ධනවතා ට දන්වා සිටි අතර පමාවිමට හේතුව එය බවත්, දරුවාට කිරි ලබා දුන් නිසා ඔහුගේ භාජනයේ කිරි අඩු වී ඇති බවත් දරුවා ධනවතාට දන්වා සිටියේය. නමුත් පුදුමයෙකි! භාජනයේ කිරි අඩු වෙනවා වෙනුවට පිරී ඉතිරී යන තරමට කිරි තිබී ඇත. මෙය ප්‍රාතිහාර්යක් ලෙස පතළ විය. මෙම ස්ථානයේදී කුඩා දෙව්මැදුරක් තනා ඇති අයුරුද,, එම පොකුණ මැදිකරගෙන ළිඳක් නැති තනා ඇති අයුරුද අද අපට දැකගත හැක.

2). වර්ෂ 1597 දී පමණ කකුල ආබාධිත ඇවිදීමට නොහැකි තවත් දරුවෙකු, කිරිමෝරු විකුණමින් සිටින ලදී. එවිට ඔහුට දැනුණු අව් රශ්මිය නිසා අසල තිබූ නුග ගසක් අසල විවේක ගැනීමට යොමු වී ඇත. එවිටද කුඩා දරුවකු වඩා ගත් මාතාවක් දර්ශනය වී ඇති අතර එම දරුවා මෙම ආබාධිත දරුවාගෙන් කිරි ඉල්ලා ඇත. ලෝභ නොවී තම භාජනයෙන් කිරි ලබා දුන් පසු, එම මාතාව විසින් 'නාගපට්ටම්' නැමැති ගමේ වෙසෙන කතෝලික මහතෙකු ළඟට යන ලෙසත්, මෙම දරුවාට දර්ශනය වූ එම ස්ථානයේ දේවමාතාවන්ට කැපවූ දෙව්මැදුරක් ගොඩනගන ලෙසත් ඉල්ලා සිටියාය. නාගපට්ටම් යාමට පය එසැවූ එම දරුවාට තමා ගේ කකුලේ ආබාධය සම්පූර්ණයෙන්ම පහව ගොස් සුවය ලබා ඇතැයි දැනුණි. ඒ සැනෙන් නාගපට්ටම් වලට දිව ගිය මෙම දරුවා එම ආරංචිය එහි සිටි කතෝලික පිරිසට ලබා දී ඇති අතර ඔවුන් පැමිණ එම ස්ථානයේ පොල් අතුවලින් "ආරෝග්‍ය දේවමාතාවන්" ට කැප වූ දෙව්මැදුරක් ගොඩනගා ඇත.

3). දාහත්වන සියවසේ එක්තරා දිනයකදී මැකව් සිට ශ්‍රී ලංකාව බලා ගමන් කරමින් තිබූ පෘතුගීසි නෞකාවක් බෙන්ගාල බොක්ක දී චණ්ඩ මාරුතයට අසු වී ඇත. එවිට නෞකාවේ සිටි සියලුම නාවිකයන් දේවමාතාවන්ට තමන් බේරා දෙන ලෙස කන්නලව් කර ඇති අතර, කිසිම උවදුරකට අසු නොවී ගොඩබිමකට සේන්දු වීමට හැකි වුවහොත් එම ස්ථානයේ දේව මාතාවන්ට කැපවූ දෙව්මැදුරක් ගොඩනගන බවට පොරොන්දු වී ඇත. සුළු වේලාවකට පසුව කුණාටුව නැවතී මුහුද නිශ්චල වී ඇත. නෞකාව වේලන්කන්නි ගමේ මුහුදු තීරයට ගසාගෙන පැමිණ ඇත. එවිට ගොඩ බිමට පැමිණි එම පෘතුගීසි නාවිකයින්ට පොල්අතු වලින් සෑදූ දේවස්ථානයක් මුණගැසී ඇති අතර එය ඉවත් කොට ඔවුන් දුන් පොරොන්දුව ඉටු කරනු සඳහා ගඩොලින් තැනූ දෙව්මැදුරක් එම ස්ථානයෙන් ගොඩ නගා ඇත. අද අප දෑසින් දකින වේලන්කන්නි බැසිලිකාවේ ආරම්භය මෙය වේ. එම නාවිකයින්ගේ එම ක්‍රියාව සිහිපත් කරනු සඳහා අදටත් දෙවස්ථානයේ දකුණු පසින් සිටුවා ඇති නැවක කුඹ ගසක් දැක ගත හැක.

වේලන්කන්නි හී සිදු වූ මෙම සිද්ධීන් කතෝලික සභාව නිල වශයෙන් පිළිගන්නේ නැත. නමුත් එදා පටන්ම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම ස්ථානයට ඇදී එන නිසාත්, ගැඹුරු යාඥාවන් නිරතුරුවම සිදුවන නිසාත්, ජීවිත වෙනස් වීම් සිදුවන නිසාත්, ප්‍රාතිහාර්යයන් බොහෝමයක් සිදු වන නිසාත්, විසිතුන් වන ජුවාම් ශුද්ධෝත්තම පියාණන් විසින් වක්‍රාකාරව මෙම බිම ශුද්ධවූ බිමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

වේලන්කන්නි මාතාවන්ගේ ප්‍රතිමාව ලෝකයේ ඇති අන් සියලු දේවමාතා ප්‍රතිමා වලට වඩා වෙනස් වන්නේ එය නිරතුරුවම ඉන්දියානු සාරියකින් සරසා ඇති බැවිනි. වේලන්කන්නි මාතාවන්ගේ මංගල්‍යය සැප්තැම්බර් මස 8 දින කතෝලික සභාව විසින් සමරනු ලැබේ.

ජේසුස් වහන්සේ පන්දාහකට ආහාර දීමේ ප්‍රාතිහාර්ය තුළ අප දකින්නේ මාළු කුරියන් දෙදෙනා සහ රොටි පහ ළඟ තබා ගෙන සිටි දරුවාගේ පරිත්‍යාගී හදවතය. වේලන්කන්නි මාතාව හා සම්බන්ධයෙන් ද අප දකින්නේ දරුවන් දෙදෙනා තුළ තිබූ පරිත්‍යාගී හදවත් ය. පරිත්‍යාගය සිදු වන තැන දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාර්ය අදත් සිදුවේ. බදාගෙන ජීවත් වන්නට වෙර දරන අපහට බෙදාගැනීමේ ජීවිතය තුළ ඇතිවන ජීවිත ගොඩ නැගීම ගැන, ජීවිත වෙනස් වීම ගැන, වේලන්කන්නි මාතාවන් කියා දෙන්නීය. 

"වේලන්කන්නි මාතාවෙනී - අප නිසා යාච්ඤා කළ මැනව". ඔබ මෙම සටහන තුළින් යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 28/05/2020).
29. "කිරි ගල්ගුහාවේ මාතාවෝ" - Our Lady of the Milk Grotto".
=============================================
ශුද්ධවු දේශයේ වන්දනා ගමන්හී නිරත වන සියලු දෙනා අනිවාර්යෙන්ම බැහැදකින ස්ථානයක් ලෙස 'කිරි ගල් ගුහාවේ දේවමාතාවන්ගේ දේවස්ථානය' හැඳින්විය හැක. පලස්තීනයේ, බෙත්ලෙහෙමේ, ජේසු බිළිඳුන් උපන් ස්ථානයේ ගොඩනැඟී ඇති බැසිලිකාව ට (Basilica of Nativity) මීටර් 500ක් පමණ දුරින් මෙම දේවස්ථානය පිහිටා ඇත. මා දන්නා පරිදි ලෝකයේ මෙම නමින් ඇති එකම දෙව්මැදුර මෙය වන අතර මෙම නාමය එම ස්ථානයට ලැබී ඇත්තේ මරිය මාතාවන්ගේ ජීවිතයේ සිදුවූ එක්තරා විශේෂ සිද්ධියක් නිසා බව සම්ප්‍රදාය තුළ ප්‍රචලිත ය.

ජේසු සමිදාණන් බෙත්ලෙහෙමේ උපත ලැබූ බව ගව් ගණනාවක් ඈත සිටිය ශාස්ත්‍රවන්තයින් තිදෙනා අහසේ පෑයු තරුවක් තුළින් දැනගත් බව ශු. මතෙව් සුවිශේෂය තුළ සඳහන් වේ. ඔවුන් එම දරුවා උපන් තැන කොහේද? යන වගතුග සොයා පැමිණෙන්නේ හෙරොද්ගේ මාලිගාවටය. (ශු. මතෙව් 2: 1-12).

එලෙස ශාස්ත්‍රවන්තයින් ගේ පැමිණීමත් සමග රජෙක් උපන් ව ඇති බව දැනගන්නා හෙරෝද් රජු, අලුත උපන් එම දරුවා ඝාතනය කරනු සඳහා බෙත්ලෙහෙම හා ඒ අවට සිටි අවුරුදු දෙකක් හා ඊට බාල සියළුම පිරිමි දරුවන් මරා දැමීමට නියෝග කර ඇති බව ශුද්ධ ලියවිල්ල තුළ පැහැදිලිය. (ශු. මතෙව් 2:16-18).

මෙම ආරංචිය දැනගත් ශුද්ධවූ ජුසේ තුමා ජේසු බිළිඳාණන් හෙරොද්ගේ කඩු පහරෙන් බේරා ගැනීම සඳහා මිසරයට පලා යන්නට තීරණය කළේය. (ශු. මතෙව් 2 :13-15). එලෙස මිසරයට පලා යන අතරතුර දරුවාට කිරි ලබා දීමට නතර වූ තැන මෙම ගල් ගුහාවයි.

මෙම ගල් ගුහාවේ නැවතී මරිය මාතාවන් දරුවාට කිරි ලබා දෙන අතරතුර, හෙරොද්ගේ හේවායන් ළඟ ළඟම එන බව ආරංචි වූ විට ඇතිවූ තිගැස්ම නිසා මරිය මාතාවන්ගේ පියයුරුවලින් මව්කිරි ඉහිරී ගිය බවත්, එම මව්කිරි බිම පතිත වූ බවත්, මෙම ස්ථානය හා බැඳුනු කතා පුවත තුළ ප්‍රකාශ වේ.

මරියාවන්ගේ එම මව්කිරි බිම පතිත වීමත් සමගම මුළු ගල්ගුහාව ම සුදු පාට වර්ණයෙන් වර්ණවත් වී ඇත. අදටත් එම ස්ථානයට ගිය විට අප දකින්නේ සුදු පාට වර්ණයෙන් යුත් ගල් ගුහාවක්ය. මෙම සිද්ධිය නිසා එම ස්ථානය "මරිය මාතාවන්ගේ කිරි ගල් ගුහාව" ලෙස නම් කෙරුණි.
හතර වන ශත වර්ෂයේ පටන් මෙම ස්ථානය ශුද්ධවත් ස්ථානයක් බවට පතල විය. ජුදා, කතෝලික, කිතුනු, හා මුස්ලිම් ජාතික මව්වරුන් මෙම ස්ථානයට එම කාලයේ පටන්ම එන්නට පටන් ගෙන ඇති අතර ඔවුන් බොහෝදෙනා තම ජීවිතයේ විශේෂ ප්‍රාතිහාර්යයන් අත්දැක ඇත.

විශේෂයෙන්ම සමහරක් මව්වරුන්ට දරුවන් බිහි කළ පසු තම දරුවන්ට දීමට ඇති තරම් මව්කිරි තම පියයුරුවල එරෙන්නේ නැති විට, මෙම ස්ථානයට ගොස් මරිය මාතාවන්ට කියූ පසු එම මව්වරුන්ගේ පියයුරු මව් කිරිවලින් පිරී ඉතිරී ගොස් ඇති බව කියවේ.

එසේම දරුවන් නැති බොහෝ දෙනෙක් මෙතැනට විත් බාරහාර වීමෙන් පසුව එම සොහොයුරියන්ට දරුවන් ලැබී ඇති බවට සාක්ෂි එමට ඇත. එලෙස දරුවන් ලැබූ එම මවුවරුන්ගේ සාක්ෂි දරුවන්ගේ පින්තූර ද සමග දහස් ගණනින් එම ස්ථානයට ගිය විට අපට දැක ගත හැක. සිහල හා දමිළ භාෂාවෙන් ද ලියැවුණු ස්තුති කිරීම් මාගේ දෑසින් ම මා දැක ඇත.
එසේම පියයුරු සම්බන්ධයෙන් මතුවන යම් යම් ආබාධ වලදීද, මෙම ස්ථානයට පැමිණ බාරහාර වන සොහොයුරියන්, තමන් ලැබූ සුවය පිළිබඳව ද සාක්ෂි එමට ඇත.

එබැවින් මෙම ශුද්ධ වූ ස්ථානයේ පළමු දෙව්මැදුර ගොඩනැඟී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 385 දී තරමය. 7 වන ශත වර්ෂයේ පටන් මෙම කිරි ගල් ගුහාවේ යම් යම් කොටස් ශුද්ධවූ වස්තූන් ලෙස සලකා යුරෝපයේ සමහර රටවලට ගෙන ගොස් ඇත. ක්‍රිස්තු වර්ෂ 1375 දී එකොළොස් වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියාණන් විසින් මෙම ස්ථානය 'ශුද්ධවූ ස්ථානයක්' ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත.

ක්‍රිස්තු වර්ෂ 1872 දී ෆ්‍රැන්සිස්කානු නිකායේ ගරු පියවරුන් විසින් නව දෙව්මැදුරක් මෙම ස්ථානයේ ගොඩනැගූ අතර දැනටත් එම ස්ථානය භාරව සිටින්නේ ෆ්‍රැන්සිස්කානු නිකායේ ගරු පියවරුන් ය. කිරි ගල් ගුහාවේ මරිය මාතාවන්ගේ මංගල්‍යය ජනවාරි 2 වනදා සමරනු ලැබේ.
දරුවන් යනු දෙවියන් වහන්සේ තුළ ලබන මහා සම්පත් වේ. එනමුදු දරුවන් ලොවට බිහි වන්නට පෙර මවුකුසේ දී ම එම දරුවන් මරා දමන සමාජයක අපි වෙසෙන්නේමු. ධනවත් රටවල් බිලියන ගණනින් මුදල් යුධ අවි සඳහා වියදම් කරද්දී, කුසගින්න පුරවාගන්නට කිරි පොදක් නැතුව හඬන දරුවෝ අප අසලම සිටින්නෝය. මුළු ලෝකයම දරුවකුගේ ජීවිතයේ වටිනාකම තේරුම් ගෙන, එම ජීවිත සුරකින්නට මුළු ලෝකයම යොමු වන විට මෙම ලෝකය ජීවත් වන්නට සුදුසු සුන්දර තැනක් වනු ඇත. "කිරි ගල් ගුහාවේ මාතාවනි, අප නිසා යාච්ඤා කළ මැනව".

මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 29/05/2020).

30. "පුදුම පදක්කමේ මාතාවෝ" - Our Lady of the Miraculous Medal".
==============================================
කතෝලික අප බොහෝ දෙනකු අප ගෙල වටා පැළඳ ගෙන ඇති විශේෂ බොරලික්කමක් ලෙස 'මරිය මාතාවන්ගේ පුදුම පදක්කමේ' බොරලික්කම හැඳින්විය හැක. ඒ තුළ අපට ලැබෙන දේවමාතාවන්ගේ ආරක්ෂාව හා රැකවරණය ගැන අපි විශ්වාස කරමු.

1806 මැයි 02 දා ප්‍රංශයේ උපන් කැතරින් ලැබූරේ (Catherine Laboure) 'ශු. වින්සන් ද පවුලා මුනිතුමාගේ දයාවේ කන්‍යා සොයුරියන්' ගේ පැවිදි නිකායේ (Daughters of Charity of St. Vincent de Paul) ගරු කන්‍යා සොහොයුරියක් වූවා ය. 1830 ජූලි 18 රාත්‍රියේ දී කුඩා දරුවකු කතා කරන හඬ කැතරින් ලැබූරේ කන්‍යා සොහොයුරියට ඇසුනු අතර, එම දරුවා විසින් ඇයට කන්‍යාරාමයේ දෙව්මැදුරට යන ලෙසත්, දෙව්මැදුරේ ඇය එනතුරු මරිය මාතාවන් බලා සිටින බවත් දන්වන ලදී.

ඇයට එලෙස මඟ පෙන්වූයේ ඇයගේ රැකවල් දේවදූතයා බව පසු කලෙක ඇය පැවසුවාය. එම හඬට ඇහුම්කන් දුන් කැතරින් ලැබූරේ කන්‍යා සොයුරිය කුඩා දෙව්මැදුරට ගිය අතර, එහිදී දේවමාතාවන් දර්ශනය වී ඇයව විශේෂ දූත කාර්යයක් සඳහා තෝරාගෙන ඇති බවත්, එම දූත කාර්යය කිරීමේ දී බොහෝ බාධාවන් මතුවන බවත්, නමුත් බිය නොවී ඉදිරියටම යා යුතු බවත් දන්වන ලදී.

ප්‍රංශයේ සහ මුළු ලෝකයේම අයහපත වර්ධනය වෙමින් පවතින නිසා විනාශයෙන් ගලවා ගැනීමට ඇය ඉදිරිපත් විය යුතු බව දේවමාතාවන් ඇයට ප්‍රකාශ කළාය. තවද මෙම පණිවුඩය ඇයගේ අධ්‍යාත්මික පියාට දන්වන ලෙසද, දේවමාතාව ඇයගෙන් ඉල්ලා සිටියාය.

1930 නොවැම්බර් 27 සවස දේවස්ථානයේ යාඥා කරමින් සිටිය දී නැවතත් දේවමාතාවන් කැතරින් ලැබූරේ කන්‍යා සොහොයුරියට දර්ශනය වී ඇත. මෙම දර්ශනය ඉතා සුවිශේෂ දර්ශනයක් වන්නේ ඇයගේ දූත කාර්යය පිළිබඳ තොරතුරු සියල්ල ඇය ලැබුවේ මෙම දර්ශනය තුළ වන නිසාය.

වක්‍රාකාර රවුමක් තුළ, ලෝක ගෝලය මත සිටගෙන සිටින මරිය මාතාවන්ගේ දර්ශනය ඇය දුටුවාය. දෑතේ විවිධ මැණික් ගල් අල්ලපු මුදු මරිය මාතාවන් පැලඳගෙන සිටියාය. ඉන් සමහරක් මුදු දිලිසුනේ නැති නිසා ඒ ඇයිදැයි කැතරින් ලැබූරේ කන්‍යා සොහොයුරිය විමසූ විට, එය මිනිසුන් විසින් තවමත් නොඉල්ලන ලද වරප්‍රසාද සංකේතවත් කරන බව පවසා ඇත.

වක්‍රාකාර රවුම තුල "O Mary conceived without sin, pray for us who have recourse to thee" යන්න ප්‍රංශ භාෂාවෙන් සනිටුහන් වී ඇති අයුරු ඇය දැක්කා ය. එහි තේරුම "නිර්දෝශ පිලිසිදගත් මරියනි, ඔබගේ උපකාරය පතන අප නිසා යාච්ඤා කළ මැනව" යන්නයි. ඔබේ ළඟ ඇති, ඔබගේ ගෙල වටා ඔබ පැළඳ ගෙන ඇති පුදුම පදක්කමේ මෙම වචන අදටත් ඔබට දැක ගත හැක.

එසේම දිස්වූ වක්‍රාකාර රාමුව තුළ තරු 12ක් ද, කුරුසිය හා කුරුසිය පාදමට තවත් හරස් ලී කඳක් බද්ධ වී විශාල ' M' අකුරක් හා සම්බන්ධව තියෙන අයුරු ද, කටු ඔටුන්නෙන් වටවුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී හෘදය හා කඩුවකින් සිදුරු වී ඇති දේව මාතාවන්ගේ නිර්මල හෘදය ද ඇයට දර්ශනය විය.

ඇය දුටු මෙම සියලු සංකේත ඇයගේ අධ්‍යාත්මික පියා ළඟට රැගෙන යන ලෙසත්, ඒවා ඇතුළත් කොට බොරලික්කම් සාදා බෙදා හරින ලෙසත්, ඒවා පළඳින සියලු දෙනාට විශේෂ වරප්‍රසාද ලැබෙන බවත් දේවමාතාව කැතරින් ලැබූරේ කන්‍යා සොහොයුරියට ප්‍රකාශ කළාය.
කැතරින් ලැබූරේ කන්‍යා සොහොයුරිය ද ඇයට ලැබුණු පණිවුඩය තම අධ්‍යාත්මික පියා ට දැන්වූ අතර අවුරුදු දෙකකට පසුව අධ්‍යාත්මික පියා විසින් එය එම ප්‍රදේශය භාරව කටයුතු කරන අගරදගුරු තුමාට දන්වා සිටින ලදී. මෙම දර්ශනය පිළිගත් අගරදගුරුතුමා මෙම සංකේත අඩංගු පළමු බොරලික්කම පැරිසියේ ඒඩ්‍රියන් වෂෙත් (Adrian Vachette) නැමති රන්කරුවා විසින් නිර්මාණය කිරීම සඳහා යොමු කරන ලදී.

වර්ෂ 1832 දී ප්‍රංශය පුරා පැතිර ගිය කොළරා වසංගතය නිසා 20000ට අධික ප්‍රමාණයක් මිනිසුන් මියගිය අතර, මෙම පදක්කම් 2000ක් සාදා මුල්වරට පැරීසිය පුරා බෙදා හරින ලදී. මෙම පදක්කම් ලබාගත් අය සුව වූ බවත්, තවත් විශේෂ ප්‍රාතිහාර්යයන් මෙම පදක්කම් පැලඳූ අයගේ ජීවිතය තුළ සිදුවූ බවත්, ඉතිහාසය තුළ සඳහන් වේ. ඒ නිසාම මෙය පදක්කම "පුදුම පදක්කම" (Miraculous Medal) යන නාමය ලැබී ය.

1). පුදුම පදක්කමේ පළමු පැත්ත:
මරියාවන් ලෝකය මත සිටීම තුළ අය ස්වර්ගයට ඔසවා ගත් බව ද, ඇය දැන් විහිදා සිටීම තුල අපව තුරුල් කර ගැනීමට ඇය තුළ ඇති ආදරය ද, අප වෙත ඇයගේ උපකාරයද, දෑතින් විහිදෙන රැස් තුළින් දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඇය මැදිහත්වී අපට වරප්‍රසාද ලබා දෙන බවද ප්‍රකාශ වේ. තවද සර්පයා පාගාගෙන සිටීම තුළ සාතන් ඇය පරාජය කළ බව ද, (උත්පත්ති 3:15) ඇය වටා ඇති වැකිය තුළින් ඇය නිර්දෝෂ පිළිසිඳගත් මාතාව බවද කියැවේ.

2). පුදුම පදක්කමේ දෙවන පැත්ත:
' M ' අකුර තුළින් ඇය මරියාවන් සහ 'මැදිහත්කාරි' ( Mediatrix) බවත්, කුරුසිය තුළින් ලැබූ ගැළවීම හා එම කුරුසිය තිරස් කඳකින් M අකුර හා සම්බන්ධ වීම තුළින්, ගැලවීමේ ක්‍රියාවලිය තුළ ඇය ට ඇති සම්බන්ධතාවය හා කුරුස පාමුල සිටින අම්මා ඇය බවත් ප්‍රකාශ වේ. තරු 12, ගෝත්‍ර 12 සහ අපෝස්තුලුවරු 12 ද, එළිදරව්ව 12:1 හී සඳහන් වන මාතාව ඇය බව ද ප්‍රකාශ වේ.

මෙම පුදුම පදක්කම දර්ශනය දුටු කැතරින් ලැබූරේ කන්‍යා සොහොයුරිය 1876 දෙසැම්බර් 31 මියගිය අතර, දොලොස් වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් 1947 ජූලි 27 සාන්තුවර භාවයට ඔසවන ලදී. අදටත් මෙම සාන්තුවරිය ගේ නොදිරූ සිරුර දේවමාතාවන් එදා දර්ශනය වූ පැරිසියේ රියූ දි බක් ( Rue du Bac) දේවස්ථානයේ දැකිය හැක. පුදුම පදක්කමේ මංගල්‍යය නොවැම්බර් 24 සමරනු ලැබේ.

'පුදුම පදක්කම' යනු වාසනාව ගෙන දෙන තවත් පලඳනාවක් නොවේ. එය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය සහ ගැඹුරු යාඥාව ප්‍රකාශ කරන ශුද්ධවූ පළඳනාවකි. දේවමාතාවන්ගේ ආදරය තුළින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ගැඹුරු සබැඳියාවක් ගොඩ නගාගන්නට සහ කුරුසියේ ගමනකට අපව කැඳවන බව ප්‍රකාශ කරන ශුද්ධවූ පලදනාවකි. පුදුම පදක්කම පළද ගෙන සිටින ජනතාවක් වන අප, එම ජීවිත කැඳවීමට පිළිතුරු දී ඇති ජනතාවක් ද?

"පුදුම පදක්කමේ මාතාවෙනී - අප නිසා යාච්ඤා කළ මැනව". ඔබ මෙම සටහන තුළින් යම් දැනුමක් ලැබුවේ නම් කරුණාකර අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් මෙය SHARE කරන්න.
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 30/05/2020).
31. "ශ්‍රී ලංකා අප ස්වාමිදුව" - Our Lady of Sri Lanka".
======================================
දේවමාතාවන් හා බැඳුණු විශේෂ නාමයන් කිහිපයක් පිළිබඳව අවබෝධයක් ලබාගත් අප අවසන් වශයෙන් දැන් පිවිසෙන්නේ ශ්‍රී ලාංකික අපට පමණක් ආවේණික වූ දේවමාතාවන් හා බැඳුණු විශේෂ නාමයක් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටය. "ශ්‍රී ලංකා රාණි මෑණියෝ", "මාතර මෑණියෝ", "මරුද මඩු මාතාවෝ" හා "ශ්‍රී ලංකා අප ස්වාමි දුව" යන නාමයන් ශ්‍රී ලාංකික අපට පමණක් ආවේණික වූ දේව මාතාවන් හා බැඳුණු නාමයන්ය.

මේ අතරින් ශ්‍රී ලාංකික සැමට පොදු නාමයක් වන "ශ්‍රී ලංකා අප ස්වාමිදුව" යන නාමය පිළිබඳව යම් දැනුමක් ලබා ගැනීමට අපි දැන් යොමු වෙමු.

ක්‍රිස්තු වර්ෂ 1939 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විට ශ්‍රී ලංකාව තිබුනේ එංගලන්තයේ යටත් විජිතයක් ලෙස ය. හිට්ලර් යුරෝපය යටත් කරගනිමින් ඉදිරියට ඇදෙද්දී, ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යා ආසියාවේ බොහෝ රටවල් යටත් කරගනිමින් ඉදිරියට ඇදුනු අතර ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වූයේ ශ්‍රී ලංකාවය. ත්‍රිකුණාමල වරායේ ඇති වැදගත්කම නිසාම ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාවය ජපානයට තිබුණි.

එවිට 1940 මැයි 26 වැනිදා එවකට කොළඹ අගරදගුරු ව සිටි අති උතුම් ජෝන් මේරි මසොන් හිමිපාණන් තේවත්තේ තිබූ කුඩා දෙව්මැදුරට පැමිණ ශ්‍රී ලංකාව යුද්ධයෙන් බේරා දෙන ලෙසටත්, එයට ස්තූතියක් වශයෙන් තේවත්ත භූමිය තුළ දේව මාතාවන්ට කැප වූ විශේෂ බැසිලිකාවක් තනන බවටත් පොරොන්දු වී ඇත.

1942 අප්‍රේල් 05 දා ජපනුන් ලංකාවට බෝම්බ හෙළිය. කොළඹ වරාය හා ත්‍රිකුණාමලය වරාය ඔවුන්ගේ ඉලක්ක විය. නමුත් ඔවුන් බලාපොරොත්තු වූ විනාශය සිදු නොවීය. එලෙසම ඔවුන්ට දරුණු පහර කෑමකට ද ලක්වන්නට සිදුවිය. ජපනුන් ලංකාවේ දී ලැබූ පරාජය ඔවුන්ගේ පසුබැසීමට හේතුවක් වූ බවත්, බ්‍රිතාන්‍යයට යුද්ධය ජය ගැනීමට මූලික කරුණක් වූ බවත් එවකට බ්‍රිතාන්‍යයේ අගමැතිව සිටි වින්ස්ටන් චර්චිල් ශ්‍රීමතාණන් වරෙක ප්‍රකාශ කර ඇත.

1945 අගෝස්තු මස දෙවන ලෝක යුද්ධය අවසන් විය. 1946 දී රෝමයට ගිය අගරදගුරු හිමිපාණන් ශුද්ධෝත්තම පියාණන්ට තමන් කළ භාරය පිළිබඳව දැනුවත් කර දෙව්මව් "ශ්‍රී ලංකා අප ස්වාමිදුව" ලෙස නම් කිරීමට අවසරය ඉල්ලා ඇත. ඒ අනුව දොළොස් වන පියුස් ශුද්ධෝත්තම පියාණන් විසින් ඒ සඳහා අවසරය ලබාදී ඇති අතර 1947 පෙබරවාරි 15 වැනිදා නිල වශයෙන් දේවමාතාවන් "ශ්‍රී ලංකාවේ අප ස්වාමිදුව" ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

1948 ජූලි 28 අති උතුම් මසොන් අගරදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ විය. එදා සිදුකල භාරය ඉටු කිරීමේ භාරදූර වගකීම පැවරුණේ කොළඹ අගරදගුරු ලෙස ඉන් පසු පත් වූ අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ට ය.

ඒ අනුව එවකට රට වටා වන්දනා ගමනක නිරත වූ පාතිමා මාතාවන්ගේ ප්‍රතිමාව ඉදිරිපිට 1950 ජූලි 15 දී බැසිලිකාව තැනීමේ පළමු පස් පිඩැල්ල කපන ලදී.

1951 පෙබරවාරී 4 වැනිදා බැසිලිකාව ට මුල්ගල තබා ඇත. ස්පාඤ්ඤ ජාතික ජේසු නිකායික ගරු හෙරාස් පියතුමාගේ සැලැස්මට අනුව බැසිලිකාව ඉදිවීමට පටන් ගෙන ඇත.
බැසිලිකාව තැනුනේ ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගෙන් ලැබුණු ආධාර මත ය.

මුළු බැසිලිකාවම තනි කළු ගලින් තනා ඇත. "පේදුරු ඔබ පර්වතයකි. එම පර්වතය මත මාගේ සභාව ගොඩ නගන්නෙමි". (ශු. මතෙව් 16:18) යන්න ඉන් සිහිපත් කරනු ලැබේ. බැසිලිකාවේ අල්තාරය තනි සුදු ගලකින් තනා ඇත. ඒ සඳහා සම්පූර්ණ වියදම එම කාලයේ පාසල් දරුවන් එකතු කළ මුදල විය.

බැසිලිකාව ඉදිරිපස ඇති ගල් කණු හය එවකට ශ්‍රී ලංකාවේ පදවි වූ, කොළඹ, යාපනය, නුවර, ත්‍රිකුණාමලය, හලාවත, හා ගාල්ල නියෝජනය කිරීමට ගොඩනැගුණි.

ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ ප්‍රතිමාවේ හැඩය නිර්මාණය කළේ අතිගරු තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින්මය. එම කාලයේ අප රටේ පාතිමා මාතාවන්ගේ ප්‍රතිමාව වන්දනා ගමනක නිරතව සිටි අතර බොහෝ ජනයා අතර ඒ නිසාම 'පාතිමා බැතිය' පැතිරුණු කාලයක් විය. එමනිසා කාදිනල් හිමිපාණන් "ශ්‍රී ලංකා අප ස්වාමිදුව" ද පාතිමා මාතාවන්ගේ හැඩයට නිර්මාණය කළේය. එලෙසම එතුමියගේ දෑතට ජප මාලයක් අතින් ගත් ජේසු බිළිඳුන් එකතු කොට ඇත.

ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ කුඩා ප්‍රතිමාවක් මුලින්ම පාතිමා නුවර දී ම නිර්මාණය කොට 1952 නොවැම්බර් 05 වන දින 12 වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් ආසිරි ගන්වා ඇත. මෙය අප දේශයට වැඩම කළේ 1952 දෙසැම්බර් 11 වැනි දායි. එය අද බැසිලිකාවේ ඇතුළත ස්ථාපිත කර ඇති අතර සැදැහැවතුන් සිපාචාර කරන්නට පැමිණෙන්නේ එම ප්‍රතිමාවයි.

එසේම තවත් "ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ" විශාල ප්‍රතිමාවක් පාතිමා නුවර දී ම දේවදාර ලීයෙන් නිර්මාණය කොට ලංකාවට රැගෙන ආ අතර එය ස්ථාපිත කර ඇත්තේ පූජාසනයට ඉහළින්ය. ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ අතේ ඇති ජේසු සමිඳුන් ගේ එක් අතක ජපමාල යයි. අනෙක් අත දේවමාතාවන් වෙත දිගු කර ඇත. එහි තේරුම දේවමාතාවන්ට ළඟාවීමට ඇති මාර්ගය ජපමාලය බවයි. ප්‍රතිමාව පසුබිම ඇත්තේ ඔරායන් නැමැති තරු පන්තිය වේ. එය සදා පැවැත්ම සලකුණු කරනු ලැබේ. ප්‍රතිමාවේ පාදම ශ්‍රී ලංකාවේ ජාතික ගස වන නා ගසේ කොළ සහ මල් තුනකින් සරසා ඇත. එය දේශීය අනන්‍යතාවය ප්‍රකාශ කරයි. ජේසු බිලිඳුන්ගේ හදවත මත තරුවක් ඇත. එය ජේසුස් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තැබිය යුතු බව ප්‍රකාශ වේ.

1974 පෙබරවාරි 6 වැනිදා අතිගරු තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් සහ ශ්‍රී ලංකාවේ සියලුම රාජගුරු ප්‍රසාදී වරුන්ගේ සහභාගිත්වයෙන් තේවත්තේ බැසිලිකාව අභිෂේක කරන ලදී. ශ්‍රී ලංකා අප ස්වාමිදූගේ මංගල්‍යය සෑම වසරකම පෙබරවාරි 4 වන දින සමරනු ලැබේ.ශ්‍රී ලංකාවේ අප ස්වාමිදුව නිරතුරුවම අප දේශයේ විවිධාකාර විනාශකාරී තත්ත්වයන්ට මුහුණ දුන් විට අප දේශය වෙනුවෙන් මැදිහත් වූ මාතාවයි. තිස් වසරක යුද්ධය පැවතුණු විටද අප දිනපතා යාඥා කළේ එම මාතාවන්ගේ මැදිහත් කම ඉල්ලීමනුයි. අද අපගේ රටත්, මුළු ලෝකයත් විනාශකාරී යුගයකට පා තබා ඇති සමයක ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ මැදහත්කම තුළ සැනසීම පතා මරිය මාතාවන් වෙතට අපි හැරෙමු.

මැයි 01 දා සිට දේවමාතාවන් ගැන මා ලියූ ලිපි පෙළ මෙලෙස අවසන් කරන්නෙමි.

" ශ්‍රී ලංකා අප ස්වාමිදුවනී - අප නිසා යාච්ඤා කළ මැනව". මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
(31/05/2020).

******************************************************
ඉහත ලිපියේ කතෘත්වය සහ අයිතිය ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා සතුබව කරුණාවෙන් සලකන්න. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
01/06/2020