This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 18 May 2022

රනිල් වික්‍රමසිංහ සොයන අසඩක්ලා කවුද?

රනිල් වික්‍රමසිංහ ඊයේ (17/05/22) පාර්ලිමේන්තුවේ දී කියනවා එයා වැල් පාලමේ කොතනද ඉන්නේ කියලා දන්නේ නැහැල්ලු...ඒ කතාව සම්බන්ධ කලේ ඔහු ඊට පෙර දින (18/05/22) කල කතාවේ අවසානයේ උපමා-රූපකව ඉදිරිපත් කල හුණු වටයේ කතාවේ දරුවා රැගෙන වැල්පාලමේ යන ගෲෂා ගේ කතාවටයි.

උපමා-රූපක ඕනෑ කෙනෙකුට විවිධ අර්ථ දැනෙන ලෙස විග්‍රහ කරගන්න පුලුවන්...ඒ හින්දා සමහරු හුණුවටයේ කතාවේ දරුවා මයිකල් කුමරු නිසා රනිල්ගේ උපමාවේ දරුවා නාමල් යැයි විග්‍රහ කර තිබුනා...ඒක එක අර්ථ දැක්වීමක්.

එහෙත් රනිල් ගේ හුණුවටයේ උපමා කතාවේ ගෲෂා ඔහු නම් දරුවා රට, රටේ අර්ථිකය සහ රටේ අනාගතය, විය යුතුයි.

ඒ උපමාව තුල රනිල් කියන්න හදන්නේ රට අමාරු අඩියක වැටිලා තියෙද්දී, වගකීමක් අරන් කරගෙන යන්න කෙනෙක් නැතිව සියල්ලෝ කරා අරිද්දී හුණුවටයේ කතාවේ සේවිකාවක් වූ ගෲෂා මයිකල් කුමරුව අරන් අබලන් වැල් පාලමෙන් එගොඩවෙලා දරුවා ව සුරක්ෂිත කලා වගේ තමනුත් රටේ අගමැති කම භාරගත්තේ රට ගොඩ දාන වැඩේ කරන්න කියන එක තමයි අදහස...

රනිල් ට එහෙම රට ගොඩදාන්න පුලුවන්ද? බැරිද? කියන එක පස්සේ බලන්න පුලුවන්. හැබැයි රනිල්ගේ ඒ උපමාව තුල රටේ ආර්ථිකය ගැන වගේම ඔහුගේ දේශපාලන අනාගතයත් දකිනවා කියලයි මගේ අදහස.

හුණුවටයේ කතාවේ ගෲෂා මයිකල් කුමාරයාව බේරාගෙන වැල් පාලමේනුත් එතරවෙලා ළමයව යන්තම් ලොකු කර ගත්තාහම ළමයගේ වදාපු මව, නටෙල්ලා අබෂ්විල්ලි බිසව, එනවා දරුවාගේ අයිතිය ඉල්ලන්.

නාට්‍යයට අනුව දරුවාගේ අයිතිය හිමි වෙන්න ඕනේ හදපු අම්මටද? වදපු අම්මටද? කියන එක විසදන්න වෙන්නේ නඩුකාරයා වෙච්ච අසඩක් ට. අසඩක් දරුවාගේ අයිතිය ගැන තීරණය ගන්නේ හුණු වටයක දාලා ලමයව දෙපැත්තට අදින්න කරලා තීන්දු කරලා එහිදී දරුවාගේ අත අත් හරින ගෲෂා ට දරුවාගේ භාරකාරත්වය හිමි කිරීමෙන්.

දැන් ඒ දරුවා නෙමේ රනිල් ගේ හුණුවටයේ උපමා කතාව දිහා බැලුවොත්, මේ වෙලාවේ දරුවා අතහරිනව ද? අසඩක් ගේ තීන්දුව දෙන වෙලාවේ දරුවා අතහරිනවද? කියලා තීන්දුවක් ගන්න වෙලා තියෙද්දී හුණුවටයේ ගෲෂා වගේ රනිලුත් තමන්ට කොහොමත් අයිතියක් ඇති දරුවෙක් ට කරගහනවා...දරුවා බේරගෙන ලොකු කරගත්තහම උරුමක්කාරයෝ හොයන් එයි කියලත් දන්නවා...එදාට තමන්ගේ ඉරණම තීන්දු කරන්නේ අසඩක් ලා කියලත් දන්නවා...

ඉතින් කවුද මේ අසඩක්ලා...රටේ මිනිස්සු වෙන්න ඕනේ...ඔහු පෙර දින (18/05) කතාවෙත්, ඊයේ (17/05) පර්ලිමේන්තුවේත් කිව්ව අපි මේ පාර්ලිමේන්තුවේ සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ නැත්නම් ආපහු අපිට එන්න පාර්ලිමේන්තුවකුත් ඉතුරුවෙන්නේ නෑ කියලා ඔහු කියන්නේ මේ පාර්ලිමේන්තුවට විතරක් නෙමේ රට ට මයි. රටේ මිනිස්සුට ඇහෙන්න තමයි ඔහු කියන්නේ...ඔහු කියන්නේ රටේ මිනිස්සුට අසඩක් ලා වෙන්න කියලා නෙමේද? ඔහුගේ විතරක් නෙමේ මේ බලයේ ඉන්න, මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ අනාගතය තීන්දු කරන අසඩක්ලා රටේ මිනිස්සු කියලා හිතේ තියන් නෙමේද ඔහු එහෙම කතා කියන්නේ...

අපි දන්නවා රනිල් කියන්නේ ජනතා හඩට කන්දීපු නායකයෙක් කියලා ඉතිහාසයක් තියෙන පාලකයෙක් නෙමේයි... එහෙම නම් ඇයි දැන් අවසාන තීන්දුවක් ගන්න පුලුවන් අසඩක්ලා වැනි ජනතාවක් ගැන රනිල් වැනි ජනතාවට කන්දීමේ ඉතිහාසයක් නැති පාලකයෙක් හිත යොමුකරන්නේ...

මම කියන්නේ අන්න ඒක තමයි අරගලය මේ රටට උරුම කලේ...දැන් රටේ අවදිවූ ජනතාවක් ඉන්නවා...ඒ ජනතාව තමයි අවසාන තීන්දුවක් ගන්නේ...ගෝල්ෆේස් අරගල භූමියට ගහද්දී දුවගෙන ආවේ අරගලය එහෙම මැඩපවත්වන්න දෙන්න බෑ.. මේක අපේ අරගලයක් කියල හිතපු ජනතාව..හෝටල් වල..අවට කොම්පැනිවල... වරායේ.. සේවය කල ජනතාව..කොළඹ අවට වතුවල ජනතාව..අවට හිටිය මිනිස්සු...ඒ ජනතාවගේ නැගිටීම පාවිච්චි කරලා සමහරු ගිනිතැබීම්, කොල්ලකෑම් ආදියත් කලා..ඒවා අනුමත කරන්න බෑ..හැබයි ජනතාවක් ලෙස රටේ මිනිස්සු නැගී සිටියා...එහෙම අවදියෙන් ඉන්න ජනතාවක් දැන් රටේ ඉන්නවා කියලා ඔප්පු කලා.

අන්න ඒකයි අරගලයේ ජය...

උන්නත් දහයි, මලත් දාහයි, කියලා හිතලා රනිල් බලයට කර ගැහැවත් ඔහු උනත් දන්නවා ඇති දැන් බලය තියෙන්නේ ජනතාව අතේ මිසක් පාර්ලිමේන්තුවේ ඉන්න උන් අතේ නෙමේ කියලා.. ඒත් ඒක පාර්ලිමේන්තුවේ අයට තවම තදින්ම දැනිලා නෑ වගේයි..ඒකට තව කොච්චර කල් යයිද කියන්න දන්නේ නෑ..හැබැයි ඒ තාක් මේ අරගලය දියත්වෙන්නම ඕනේ...

මාකස් ප්‍රියන්ත පෙරේරා

18/05/22

Sunday 15 May 2022

ලෝගු අත්හල ලීනස් සුවාමි

 ලීනස් ජයතිලක ගේ මරණය ගැන අසා මම අතීශයින් දුක්වූවෙමි. මා ලීනස් ජයතිලකව හදුනන්නේ අසූව දශකයේ අගභාගයේ සිටය. ඒ බ්‍රිටෝ අය්යා හරහාය. පල්ලියේ තරුණ වීරයෙක් වු බ්‍රිටෝ අය්යා ඒ දිනවල නව සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු විය. නිතර එහි යන අප, වරක් ලීනස් ජයතිලකව මුණගැහුණි. අපට වඩා බොහෝ වැඩිමහල් වූ ඔහු කොල්ලෝ-කුරුට්ටන්වු අපගෙන් කෙලින්ම ඇසුවේ "සහෝදරයා කොහෙද? දෙමව්පියෝ කවුද?" කියාය. මම මගේ මවගේ සහ පියාගේ නම් කිව්වෙමි. එසැනකින්ම ඔහු "ආ මේ ෆීලික්ස්ගෙයි, ෆ්‍රීඩාගෙයි පුතාද? එයාලා ඒකාලේ අපේ මහවීදිය පල්ලියේ තරුණ සමාජයේ හිටියනේ..ඒගොල්ලෝ හමුවුනෙත් එහෙ වෙන්න ඕනේ.." යැයි කියා මගේ දෙමාපියන්ගේ සුවදුක් විමසුවේය.

මම ගෙදර විත් මට බ්‍රිටෝ අය්යලාගේ ගෙදරදී ලීනස් ජයතිලකව හමුවූ බව මගේ දෙමාපියන්ට කීවෙමි. ඔවුන් ලීනස් ජයතිලක මීගමුව මහවීදියේ සා. මරියා දේවස්ථානයේ එවකට සිටි තරුණ පියතුමෙකු බවත්, ඔහු තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍යය ව්‍යාපාරය (YCS) බාරව සිටි බවත්, 1971 කැරැල්ල සමයේ ඇතිවූ තරුණ පිබිදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික පල්ලිය දැක්වු ඇල්මැරැනු උනන්දුව ගැන පල්ලිය දැඩිව විවේචනය කල පියතුමෙක්වූ බවත්, පසුව කතෝලික සභාවේ පුජකවරයෙන් ඉවත්වී පුර්ණ කාලිනව වාමාංශික දේශපාලනයට කැපවු බවත් දැන ගන්නා ලදි. ඔහු මීගමුවේ සා. මරියා දේවස්ථානයේ සහයක පියතුමා ලෙස පත්වීමට පෙර කදවල මීසමේ පියතුමා ලෙස එම ප්‍රදේශයට විශාල සේවයක් කල බවත්, 1980 වැඩ වර්ජනයෙන් රැකියා අහිමිවූ දහසකුත් දෙනා වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිස්තියානි ස්වෙච්ඡා සංවිධානයක් වන Christian Aid සංවිධානයෙන් අරමුදල් සපයාගෙන විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නැන්වූ තැනැත්තෙක් බවත් පසුව දැනගත්තෙමි.

කතෝලික පල්ලියේ පූජකවරයෙන් ඉවත්වු ඔහු සිය ජීවිත කාලය පුරාම ජනතාවගේ පියතුමා විය. කතෝලික පුජකවරයෙන් ඉවත්වී දශක ගණනාවකට අනතුරුව පවා ඔහුගේ ගමවු උස්වැටකෙයියාවේ පමණක් නොව, මීගමුවේ ජනයාද, ලීනස් ජයතිලකව හැදින්වුයේ 'ලීනස් ස්වාමි' ලෙසය. වෙනකක් තබා බ්‍රිටෝ අය්යාගේ පියාවූ නැසීගිය ප්‍රවීන නළු හියුගෝ මාස්‍ටර් ද ලීනස් ජයතිලකව හැදින්වුයේ 'ලීනස් ස්වාමි' යනුවෙනි. මා දන්නා ලෙස බ්‍රිටෝ ප්‍රනාන්දු ව නව සම සමාජ පක්ෂයේ දේශපාලනයට එකතුකර ගත්තේද ලීනස් ජයතිලක විය යුතුය . ඒ 1977 දී පමණය. හමුවු දා පටන්ම 'සහෝදරයා යනුවෙන් අප ආමන්ත්‍රණය කල නිසාම අපද ලිනස් ජයතිලකව පසුව හැදින්වුයේ ලීනස් සහෝදරයා' යනුවෙනි.

බොහෝ ඇසූ පිරූ තැන් අතැතිව, රටවල් රාශියක සංචාරය කර තිබූ ලීනස් සහෝදරයා, ඉතා හොදින් පොතපත කියවූ, භාෂා කිහිපයක් හැසිරවිය හැකි අයකු විය. විශේෂයෙන්ම මාක්ස්වාදය, කතෝලික ආගම සහ ක්‍රිස්තියානි සමාජ දර්ශනය පිලිබදව සුවිශේෂ දැනුමක් ඔහු සතුවිය. වරක් සුරේෂ් ප්‍රනාන්දු කුරණ-කටුනායක ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය සමග ඇති කර ගත් මතවාදී ආරවුල විසදීමට බ්‍රිටෝ භාරකලේ ලීනස් ජයතිලකටය. දෙපාර්ශවයන් කැදවා ලීනස් ජයතිලක ඉදිරිපත්කල විග්‍රහය මම එතෙක් ක්‍රිස්තියානි ආගම සහ මාක්ස්වාදය සම්බන්ධයෙන් ඇසූ විශිෂ්ඨම විග්‍රහයන් වලින් එකකි. ඕනෑම සාකච්ඡාවකින් අනතුරුව "සහෝදරයා තේරුනාද? මොකක්ද ගත්ත පණිවිඩය?" යනුවෙන් විමසීම ඔහුගේ සිරිතක්ව තිබුනි. කුරණ-කටුනායක කම්කරු සෙවනේ ඇතිවු ඉහත සංවාදයේදී නම් මම උකහාගත්තේ 'විප්ලවාදි ජීවගුණය' පිලිබද ඔහු ඉදිරිපත් කල අදහස යැයි කී විට එහිදී මෙන්ම, ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම, විප්ලවවාදී ජීවගුණය පිලිබදව ඔහුගේ අදහස ඔහු නැවැත නැවැතත් කතා කලේය.

න්‍යාය සම්බන්ධයෙන් මෙන්ම ප්‍රායෝගිකව සමාජ සංවිධාන ගොඩනැගීම ගැනත්, ඒවා පවත්වාගෙන යෑමට වැඩ සටහන් ගොඩනගා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙනුත් ලීනස් සහෝදරයා මහත් හපන්කම් දැක්වුවෙක් ය. වරක් පුත්තලම එළුවන්කුලමේ සත්ව ගොවිපලක් ගොඩනන්වා සමාජ-දේශපාලන ක්‍රියාකාරීන් නඩත්තු කිරීමට වැඩපිලිවෙලක්ද ඔහු ක්‍රියාත්මක කලේය. 88/89 අතුරුදන්වූවන් වෙනුවෙන් ගොඩනැගුනු 'අතුරුදන්වූවන්ගේ මාපිය දූදරු සංගමය' ගොඩනැගීමටත්, ඒවාට අරමුදල් සොයා දීමට ඔහු පල්ලිය සමග ඔහුට ඒ වන විටත් ඉතිරිව පැවැති සම්බන්ධකම් භාවිතා කරමින් Christian Aid වැනි ජාත්‍යන්තර ක්‍රිස්තියානි ස්වෙච්ඡා සංවිධානවලින් අරමුදල් ඉල්ලා දෙන ලදි. වෙනකක් තබා අතුරුදන් වුවන් පිලිබදව පැමිණිලි කිරීමට ජිනීවා හි පිහිටි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට යෑමට සියලු කටයුතු පිලියල කර දුන්නේද, ලියකියවිලි සකස්කර දුන්නේද, ගුවන් ටිකට් පත් ගැනීමට Christian Aid සංවිධානයෙන් මුදල් ඉල්ලා දුන්නේද ඔහුය. මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර සමග ජිනිවා ගිය ඔහු මහින්ද අවශ්‍ය කටයුතුවලට මුල්තැන නොදී වෙනත් දේවලට කාලය මිඩංගු කිරීම ගැන සිටියේ කලකිරීමකිනි. මහින්ද ගැන වු එකී කලකිරීම අතුරුදන්වූ තරුණයෙකුගේ මවක් සිය පුතා අතුරුදන්වූ මාතලේ ප්‍රදේශයේ හමුදා කදවුරක් බාරව සිටියේ මහින්ද ගේ සහෝදරයාවු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව දැන ගැනීමෙන් තවත් කලකිරුණි.

එහෙත්, ඔහු කිසිවෙකු සම්බන්ධයෙන් කිසිදු කහටක් හිතේ දරා සිටියෙකු නොවිනි. පූජක වරයෙන් ඉවත්වුවද කිසිදා විවාහ නොවු ඔහු සිය මුලු ජීවිතය පුරාම නිකලැල්, පිරිසිදු, සරල, චාම් ජීවිතයක් ගත කලේය. ඔහුගේ කරුණාබර මුදු කතා විලාශය මෙන්ම පිලිවෙකට ඇදුම් ඇදීමත් මට කිසිවිටක අමතක වන්නේ නැත. එමෙන්ම ඔහුට එක එක සංවිධාන වැඩ සදහා එක එක දින පොත් තිබීම ගැනත්, ඒවා එහෙ මෙහෙ වීම ගැනත්, අප ඔහුට විහිලු කල වාර අනන්තවත් මතකයට නැගේ.

ඔහු වචනේ පරිසමප්ත අර්ථයෙන්ම පල්ලියෙන් පිටවු නමුත් සිය ජීවිතකාලය පුරාම ශුද්ධවූ ජීවිතයක් ගෙන ගිය සැබෑ ජනතා පියතුමෙක් විය. ඔහුට, ඔහු සිය ජීවිතයම කැපකල ස්වර්ග රාජ්‍යය හිමිවේවායි යන්න මාගේ පැතුමයි !! R.I.P ලීනස් සහෝදරයා!! ❤️❤

මාකස් ප්‍රියන්ත පෙරේරා
11/05/2022

Thursday 12 May 2022

ජනාධිපතිවරයාගේ සංයුක්ත වැඩපිලිවෙල

ඊයේ ජනාධිපතිවරයාගේ කතාව අසා සිටියෙමි. එය ඔහු මෙතෙක් කල කතා කිහිපයටම වඩා වෙනස් ස්වරූපයක කතාවක් බව පසුගිය මාස කිහිපයේ ඔහු කල අනෙකුත් කතා දෙක, තුනක් නැවත නැරබීමෙන් වුවද පෙනී යනු ඇත.

මෙවර ඔහුගේ කතාව සංයුක්ත වැඩපිලිවෙලක් පිලිබදව අදහසක් ඉදිරිපත් කරයි.

මීට පෙර පැවැත්වු ඔහුගේ අනෙකුත් කතාවල පැවැති වියුක්ත, ව්‍යාකූල සහ විසිරුණු ස්වරූපය ඊයේ කතාව තුල නොතිබුණු බව මගේ හැගීමයි. මෙවර ඔහු කිසියම් වැඩපිලිවෙලක්, කිසියම් න්‍යායපත්‍රයක්, දේශපාලන මාර්ග සිතියමක් ඇතිව පැමිණ තිබේ.

මෙම වැඩපිලිවෙල කාගේද? ඔහුට එවැනි වැඩපිලිවෙලක් සකස්කර දුන්නේ කවුද? යන්න පිලිබදව අවධානය කිරීමට පලමුව ඔහුගේ කතාවේ පැවැති සංදර්භය/පෙලගැස්ම කුමක්ද? යන්න විමසා බැලීම වටී.

1. කතාව ආරම්භ කරමින් - "අපේ රට ඉතිහාසයේ බරපතලම අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්ථාවක්" යැයි කියයි.

2. "විසඳුම් හැටියට විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කල පොදු යෝජනාවක් වුයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් පක්ෂ එකතුකරන නව ආණ්ඩුවක් පිහිටුවීම " යන්නයි.

3. ඒ සදහා පලමු පියවරක් ලෙස "රාජපක්ෂවරු නැති තරුණ ඇමැතිවරුන්ගේ යුතු කැබිනට් එකක් පත්කලා" යැයි දක්වයි.

4. "අගමැතිවරයා ඉල්ලා අස්වී සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවා නව අගමැතිවරයෙකුට සහ කැබිනට් මණ්ඩලයකට අවස්ථාව සලසා දෙන්න එකඟතාවකට පැමිණියා." යැයි කියයි.

5. එහෙත්, 9වෙනිදා, "හමුදාව ස්ථානගත කරන්නත් කලින් සිද්ධීන් ඇතිවුනා." යැයි ද

6. "ඒ සදහා අනුබල දුන්න අයට දැඩි පියවර ගන්නවා" යැයි ද

7. ඒවගේම, "ඉන් පසුව ඇතිවු මංකොල්ලකෑම්, ජීවිත හා දේපළ හානි දෙස බලා තවදුරටත් වෛරය වපුරුවන කණ්ඩායම් හෙළා දකින්නට මේ රටේ වගකිවයුතු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින.."බවත්

8. රට අරාජිකවීම වලක්වන්න, පාර්ලිමේන්තුවේත්, රටේත් බුහුතර විශ්වාසය දිනාගත් නව අගමැතිවරයෙක් සහ රජයක් මේ සතිය අවසන් වෙන්න පෙර පිහිටුවන බවත්,

9. ඊට පස්සේ පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක කරන බවත්,

10. පත්වන රජය රට ස්ථාවර කර ඉදිරියට ගෙන ගියායින් පසු ජනාධිපතිධූරය අහෝසි කරන්න සලකා බලන බවත් දක්වයි..

ජනාධිපතිවරයාගේ කතාව පෙලගැසී තිබුන ආකාරයටය එයයි .

එම කතාවට අනුව ජනාධිපතිවරයා දේශපාලන සංශෝධන කිහියකට එකගවී සිටි බවත් හිටපු අගමැතිවරයා සහ ඔහුගේ පාර්ශ්වය එය කිසියම් ආකාරයකින් ප්‍රමාද කිරීමට හෝ නොකිරීමට වගබලාගෙන සිට ඇති බවත් පෙනී යයි.

ඇත්තවශයෙන්ම, ජනාධිපතිවරයා රාජපක්ෂලා නැති, නව අගමැතිවරයෙක් සහිත රජයක් පිහිටුවිමට කටයුතු කිරීම තුල කිසියම් දේශපාලන සංශෝධන කිරීමට එකගබව පමණක් නොව ඒ සදහා පියවර ගනිමින් සිටින බවද කියා පෑමකි.

ජනාධිපතිවරයා දේශපාලන සංශෝධන කිරීමට පියවර ගැනීම ම අරගලයේ ජයග්‍රහණයකි.

එහෙත් ඒ අරගලය ජය ගැනීම නම් නොවේ.

අරගලය ජය ගැනීමට නම් ජනාධිපතිවරයා ඉවත්වී සමස්ථ රාජ්‍යය ව්‍යහුයම වෙනස්කිරීමක් කරා යොමුවිය යුතුය.

ජනාධිපතිවරයාගේ කතාව තුල ඔහු ඉවත්වී, සමස්ථ රාජ්‍යය ව්‍යහුයේම වෙනසක් කරා යොමුවෙන බවක් නොකියයි. ඒ වෙනුවට සංශෝධනයන් ඉදිරිපත් කරයි.

නව අගමැතිවරයෙක් යටතේ නව රජයක් යන්න මෙන්ම අන්තර්වාර / අන්තර්කාලීන පාලනයක් ආදිය ඔස්සේ ද ඉදිරිපත් වූයේ එකී සංශෝධනයන් ය.

ජනාධිපතිවරයා එකගවුවා යැයි කියන දේශපාලන සංශෝධන කිරීමට දැන් ඔහුට අවස්ථාවක් හිමිවී ඇත. ඒ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉවත්වීම පමණක් නොව ඔහුගේ ආධාරකරුවන්ගේ සහ ඔහුගේ පාර්ශ්වයේ බලය බිදවැටීම තුලය. ඇත්තවශයෙන්ම, එකවිට දියත්වූ පොහොට්ටුවේ කෙරුමන්ගේ ගෙවල් ගිනිතැබීමද මහින්ද පාර්ශ්වයේ බලය බිදවැටීම, සහ බිද දැමීමට, හේතුවී ඇති බවට සලකුණුකි.

එවැනි අවකාශයක් තුල ජනාධිපතිවරයා එකගවු බව කියන සංශෝධන ක්‍රියාත්මක කල හැකි වනුයේ ඔහු ජනාධිපති ලෙස සිටියදීම කිසිවෙක් අගමැතිධූරය බාර ගැනීමට එකග වන්නේ නම් පමණි.

රනිල් වික්‍රමසිංහ අගමැති වෙනු ඇතැයි කියවෙන්නේ එවැනි පසුබිමකය. ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ සමග ඊයේ සාකච්ඡා කල බව මාධ්‍යය මගින් නිවේදනය කලේය. පාර්ලිමේන්තුවේ එක් මංත්‍රිධුරයක් ඇති රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවා නම් වෙන්නේ පොහොට්ටුවේ ජනාධිපතිවරයාගේ පූර්ණ අනුග්‍රහය සහ රනිල් හිතවාදී සෙසු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිවය.

ඇත්තවශයෙන්ම, ගොල්ෆෙස් අරගලය පෙරටුකරගත් රටපුරාම දියත්වූ මහජන අරගලය විසින් රාජපක්ෂලාට ඉතිරිකර තිබුනේ විසදුම් කිහිපයක් පමණි.

1. ජනාධිපතිවරයා ඉවත්වීම

2. අගමැතිවරයා ඉවත්විම.

3.ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගෙන් එක් අයකු ඉවත්වී ඔවුන්ට අනතුරු අවම නව පාලනයක ඉඩ කඩ සැකසීම.

රාජපක්ෂලා තෝරාගන්නේ 3 වන විසදුම බව දැන් පෙනෙන්නට තිබේ. එහිලා රනිල් වික්‍රමසිංහව අගමැති ලෙස තෝරගැනීමට ඔවුන්ගේ නඩු වැටුනු ඉතිහාසය තුල රනිල් ඔවුන්ට ලබා දුන් සහන ම හොදටම ප්‍රමාණවත් ය. ශ්‍රී ලංකාවේ රාජපක්ෂ මාෆියාව Godfather චිත්‍ර පටියේ Don Corleone ලාට වඩා දේශපාලන වශයෙන්ද ශූරය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ කතාවෙන් නොකීවද ජනාධිපතිවරයා ගේ තීරණය රටේ ජනයාට කැමැතෙන් හෝ අකමැත්තෙන් බාර ගැනීමට සිදුවන වටාපිටාවක්ද ඔවුන්ගේ දායකත්වයෙන්ම දැන් ගොඩනැගී ඇත. එනම්

1. මහබැංකුවේ අධිපතිවරයා ඊයේ ඉදිරිපත්කල රටේ ආර්ථිකයේ සෝචනීය ඉරණම තුල නව රජයක් වහා පිහිටවුයේ නැති නම් බෙහෙත් ටිකවත්, කන්නවත් නැතිවෙන බවට වු අනතුර.

2. රටපුරාම හමුදාව බලාත්මකව ස්ථාන ගතකිරීම ඔස්සේ හමුදා පාලනයක් ඇතිවේ ද යන භීතිය.

මේ තත්වය තුල ජනාධිපතිවරයා පත්කරන නව රජයක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බාරගැනීමට රටවැසියාට සිදුවෙනු ඇත.

එවැනි තත්වයක් තුල අරගලයට සිදුවන්නේ කුමක්ද?

මගේ අදහස නම් 'පියවරක් පස්සට, පියවර දෙකක් ඉස්සරහට' -“It is necessary sometimes to take one step backward to take two steps forward” (Lenin -1904) ක්‍රියාවට නැන්වීම වඩා උචිත බවයි.

අරගලය ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා ඉවත්වීමේ සිට සමස්ථ රාජ්‍යය ව්‍යහුයේ වෙනසකි. ඒවෙනුවට දැන් ලැබෙන්න යන්නේ සංශෝධනයකි. එම සංශෝධනය භාරගැනීමට බලකරන පසුබිමක්ද නිර්මාණය වී හමාරය. අද අරගල භූමිය සම්බන්ධයෙන් නඩු තීන්දුවක්ද නිකුත්වීමට නියමිතය.

දැන් කල යුත්තේ අරගලයේ ඉදිරි දිශානතිය සකස් කරගනිමින්, ඉදිරි වැඩපිලිවෙලක්, සම්මුතියක්, යෝජනා කර, සකස්කර, අරගල භූමියෙන්ම එය සම්මත කරගැනීමය. මින් අදහස් කරන්නේ අරගලය අවසන් කිරීම යන්න නොවේ එය අලුත් පියවරකට ගෙන යා යුතු බවයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා

12/05/22

Wednesday 11 May 2022

මීගමුව ජාතිවාදීන්ගේ හා වර්ගවාදීන්ගේ ඉලක්කයක් වීම

පල්ලිවල පියතුමන්ලා, පැවිදි කන්‍යා සොයුරියන්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල මැදිහත්වීම් නොවන්නට මීගමුවේ මහා විනාශයක් සිදුවීමට බොහෝදුරට ඉඩ තිබුනි.

බලය අහිමිවෙමින් යන හොර නඩය ඔවුන්ට කවදත් පුරුදු ජාතිවාදී වර්ගවාදී ගැටුමක් නිර්මාණය කර හෝ නැවැත බලය තහවුරු කර ගැනීමටත්, සිය දේපල සහ පැවැත්ම අහිමිවී ගොස් ඇති බලවතුන්ගේ වෛරය, ද්වේෂ සහ ක්‍රෝධයත්, ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන කාගේ හෝ දෙයක් කඩාවඩා ගැනීමට බලාසිටින අවස්ථාවාදීන්ගේත්, කුඩු කාරයින් සහ මංකොල්ල කරුවන්ගෙත්, දරිද්‍රතාවයෙන් පෙලෙන්නගෙත් එකම සංකලනයක් ලෙස දියත්වූ කොල්ලකෑම් සහ ගිනිතැබීම් ජාතිවාදී, ආගම්වාදි රැල්ලක් බවට පත්වීම වලක්වා ගැනීම මීගමුවේ ජනයා පමණක් නොව සමස්ථ ලංකාවාසීන්ම ලත් ජයග්‍රහණයකි.

එහිලා ප්‍රදේශයේ කතෝලික පියතුමන්ලාටද, කන්‍යා සොහොයුරියන්ලාටද, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලටද විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුය. සැහැසිකම්වලට පාරට පැමිණ සිටි පුද්ගලයන් අතරට ගොස්,සිය ජීවිත අනතුර ගැන පවා නොතකමින්, පිරිස් සන්සුන් කිරීමට කිතුනු පියතුමන්ලා මෙන්ම වෙනත් ආගමික නායකයින්ද දැඩි උත්සහයක් ගෙන තිබුනි. ඊට නොදෙවෙනි ලෙස එම ස්ථානවලට පැමිණි ආරක්ෂක අංශ සමාජිකයන්ද කටයුතු කරමින් පිරිස විසුරුවා හැර ඇත.

ගැටුම් ඇතිකිරීමට පැහැදිලිවම පිටස්තර බලවේගයක් ක්‍රියාත්මක වෙන බව අවබෝධ කරගත් සැනින්ම මීගමුවේ වෙසෙන වෙන වෙනස් ආගම් අදහන, විවිධ භාෂා කතාකරන, විවිධ ජාතීන්ට අයත් පිරිස් එකට එකතුවී එකාවන්ව කටයුතුකර අනතුරට එරෙහිව එක්ව මුහුණ දීමට එකා මෙන් සාමුහිකව නැගී සිටියහ. එය මීගමුවේ කවදත් ඇති ශක්තිය ය.

වර්ගවාදී, ජාතිවාදී බලවේග එකී සාමුහිකවත්ය බිද දැමිමට විවිධ තුරුම්පු අදිමින් සිටී. පැහැදිලිවම මීගමුව ජාතිවාදීන්ගේ මෙන්ම වර්ගවාදීන්ගේද ඉලක්කයක් වී ඇති නගරයකි. ගෝල්ෆේස් අරගල භුමීයට නිතිපතා ශක්තිය සපයාදිමට මිගමුවන් නිරන්තරයෙන් ක්‍රියා කිරීමත්, පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලමින්, සත්‍ය යටපත් වීමට ඉඩ නොදෙමින් අඛණ්ඩව නැගී සිටීමත් තුල ජාතිවාදීන්ගේ මෙන්ම වර්ගවාදීන්ගේද කැකෑරෙන වෛරයට මීගමුව පාත්‍රවී ඇත. ඔවුන් කිසියම් හෝ මොහොතක මීගමුව ඉලක්ක කරගැනීමට යම් ඉඩක් තිබේ. එයට මුහුණදීමට මෙන්ම ඔවුන් පරාජය කිරීමටද අපට ඇත්තේ ප්‍රාජාවක්, ජනතාවක් ලෙස සාමුහිකව, එකට එක්ව නැගී සිටීමය. එහිලා මුලින්ම අපි අප අතර ඇති අගතිගාමීත්වයන් මුලුමනින්ම හෙලිදරව් කර පිටුදැකිය යුතුමය.

මේ රාත්‍රි ගෙවීගොස්, හිරු නැග එනට තවත් හොරා කිහිපයක්ම තිබේ. ඒ දක්වාද අපි අපේ උත්සහයන් අත්නොහැර අවදියෙන් සිටිමු!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා

11/05/22