This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 29 March 2023

විජේවීර නන්දසිරි අත්හරින විට නන්දසිරි නම අගට දාගත් සනත්

සනත් නන්දසිරි කියන්නේ අපි කවදත් කැමැතිම ගායකයෙක්...

ඔහු ගායනා කල “එදා මෙදා තුර”, “ලස්සන නම් නෑ පෙනෙන්නේ”, “එක යායට මල් පීදුණු බිම් තීරේ”, “මම නම් ආසයි අහන්න නයනා”, “වරදක් කළත් සිතකින් නොවෙයි”, වගේ සින්දු අපි 'සෙට්වුනාම' කියන සින්දු අතර නොවරදාම කියන සින්දු කිහිපයක්...

ඒ එක්කම, කපුගේ ගේ, අබේවර්ධන බාලසූරියගේ, අපි කැමැතිම ගීත කිහිපයකම සංගීතය නිර්මාණය කරලා තියෙන්නේත් සනත් නන්දසිරි කියලා දැක්කහම සනත් නන්දසිරිට අපේ ඇති රුචිකත්වය තවත් ඉහල යනවා...

ඒ වගේම, සනත් නන්දසිරි කියන්නේ අමරදේව ගෙන් පස්සේ කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති වෙලා හිටිය, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ඉගැන්නූ, සම්මානිත මහාචාර්ය ධූරයකින් පිදුම් ලැබූ, 'සංගීත් නිපුන්' කියන ඉංදියානු රාගධාරී සංගීත උපාධිය දිනාගත් ප්‍රථම ලාංකිකයා, ඉංදියාවේ ලක්නව් වල භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයෙන් විශාරද උපාධිය හැදෑරූවෙක්...ආදි කරුණු කාරණා දැන ගත්තහම අපි 'සෙට්වුනාම' අහන/ගයන ගායකයා ගැන අපිට ඇතිවෙන්නේ ගෞරවයක්, සැලකිල්ලක් සහ උපහාරයක්...

හැබැයි සනත් නන්දසිරි ගැන මට තිබුන ඒ බුහුමන එක මොහොතක අවුල් වෙලා ගියා ඒ එයා ගේ බිරිද මල්කාන්ති නන්දසිරි (බදින්න කලින් මල්කාන්ති පීරිස්) 2008 මාර්තු 16 ලංකාවේ Sunday Observe පත්තරයට දීලා තිබුන interview එකකදී...

ඉංග්‍රීසි කථා කරන, ඉහල මධ්‍යම පාන්තික කතෝලික පවුලක හැදී වැඩුන මල්කාන්ති කියනවා; 'මගේ නව යොවුන් විය හරිම සුන්දරයි. අපිත් ‘වැලන්ටයින් දිනය’ සැමරුවා. ඒ කාලේ සාන්ත වැලන්ටයින් වෙනුවෙන් යාච්ඤා කරලා රෑ කෑම නොකා නිදාගන්න පිලිවෙතක් තිබුනා. ඒ පිලිවෙත අනුගමනය කලාම අපේ අනාගත සහකරු ගැන සිහින දැකීමට අපට හැකි වෙනවා (ඇය ඒ කාලේ අනිවාර්යෙන්ම Charlotte Bronte ගේ Jane Eyre වගේ නවකතා කියවපු කෙනෙක් වෙන්න ඕනේ) කියලා අපි විශ්වාස කලා. ඒ සඳහා අපි වැලන්ටයින් සාන්තුවරයාට පවා යාච්ඤා කළා. මමත් එක පාරක් අර පිලිවෙත අනුගමනය කලා. නමුත් මට සිහිනෙන් පෙනුනේ කාවද දන්නවාද? - බෝතල් පත්තර කාරයෙක් ව" ('My teenage years were wonderful. And we too celebrated ‘Valentine’s Day’. On that day we used to pray for St.Valentine and go to bed without having dinner. We believed that this practice would let us give an opportunity to dream of our future partner. We even prayed to the saint for that. I too did it once. But you know what I dreamt of; a ‘Bothal Paththara Karaya’...) කියා දක්වා තිබුණා.

මොකක්... බෝතල් පත්තර කාරයෙක් ව....සනත් නන්දසිරි බෝතල් පත්තර කාරයෙක්ද? කියලා මට එක පාරටම හිතුනා..

මල්කාන්ති එහෙම කියලා නෑ, එහෙම සම කරන්නත් බෑ, ඒ මට හිතිච්ච දේ...ඒත් මල්කාන්ති නන්දසිරි/බදින්න කලින් මල්කාන්ති පීරිස් ගේ 2008/03/16 Sunday Observe පත්තරේට දීලා තිබුන ඒ interview එක කියවද්දී මට හිතුන දේ තමයි සනත් නන්දසිරි ගෙයි, මල්කාන්ති පීරිස් ගෙයි පැහැදිලි පන්ති පරතරයක් තියෙනවා කියන එක.

මල්කාන්ති (මුතුතන්ත්‍රීගේ රන්ජනී මල්කාන්ති කාමෙල් පිරිස් 
- Muthuthanthirige Ranjani Malkanthi Carmel Peiris) කියන්නේ කලින් කිව්ව විදිහටම ඉංග්‍රීසි කථා කරන, ඉහල මධ්‍යම පාන්තික කතෝලික පවුලක හැදී වැඩුන කාන්තාවක්. ඇයගේ පියා හැරිසන් පිරීස් (Harrison Peiris). අදටත් පලවන ලංකාවේ පැරණිම පුවත්පත වන ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ඉංග්‍රීසි පුවත්පත වන the ‘Catholic Messenger’ පුවත්පතේ අවුරුදු 35 ක්ම කතෘ. ප්‍රසිද්ධ ඉංග්‍රීසි කවියෙක්. ලෙස්ටර් ජේමිස් පිරිස් ලගේ, චිත්තම්පලම්ලා ගේ, ලෙස්ටර් ගාඩිනර්ලාගේ, D.B. ධනපාල ලාගේ, A.S මචාඩෝලගේ සමකාලීනයෝ, ගජයෝ. මම දන්නේ නෑ ඇයි එයා ඒයාගේ දරුවන්ට මල්කාන්ති, කුමාර, නිර්මලා, නිරංජලා, සකුන්තල, මනෝජ් වගේ නම් දැම්මේ කියලා (Shyam Selvadurai ගේ Cinnamon Gardens නවකතාව කියවද්දි ඒ කාලේ, ඒ වගේ පංති පදනමක් තියෙන මිනිස්සුත් ඒවගේ නම් යෙදීම ගැන අරුමයක් හිතෙන්නේ නෑ...) සමහරවිට මල්කාන්තිටයි එයාගේ සහෝදර/සහෝදරියන්ටයි නම් දාන්න ඇත්තේ එගොල්ලන්ගේ අම්ම වෙන්න ඇති. ඇය තමයි මල්කාන්තිව ලංකාවේ ගුවන් විදුලියේ සිංහල ගායනයටත් යොමු කරන්නේ...

ඇයට සනත් නන්දසිරිව හම්බවෙන්නේත් ගුවන් විදුලියේ දී, වැඩියෙන්ම කුළු පගවුනයි කියන්නේත් සනත් නන්දසිරි සංගීත අධ්‍යක්ෂණය කල 'මාර පරාජය' කියන වෙසක් නාට්‍යයේ දී ලු, මල්කාන්ති ත් එහි චරිතයකට පණ පොවලා තියෙනවා. සනත් නන්දසිරිව ගුවන් විදුලියේදී හමුවීම ගැන මල් කාන්ති අර Sunday Observe පත්තරේ interview එකේ කියලා තියන්නේ; "දැක්ක ගමන් වදින්න හිතුනා... ඉංදියාවේ ඉදලා ආව ගමන්.. (හින්දි නළුවෙක් වගේ) ඉංදියන් කාරයෙක් වගෙයි... ඔහුගේ සංගීතයෙන් ඇය මුසපත්වුනා.. සිංහල කතා කලෙත් හරි වෙනස් විදිහට...එයා යෝදයෙක් මම ලිලිපුට්ටෙක්... (“My love for him was not one at first sight; it was a respect in abundance; a grand feeling; enthralling. I was mesmerised with the music he played. And I thought he was an Indian. He looked like an Indian and spoke in Hindi with the others around him. I felt he was even pronouncing Sinhala words differently. I was almost worshipping him. He was a giant and I was like a Liliput before him,”) ඔය වගේ විදිහටයි ඇය ඔහුව හමුවීම සදහන් කරලා තිබුනේ...

කොහොමවුනත්, සනත් නන්දසිරිව හමුවීම තුල ඇත්තටම වුනේ, එතෙක් Elvis Presley ලා, Jim Reeves ලා, Cliff Richard ලා, Nat King Cole ලා අහ අහ හිටිය මල්කාන්ති පිරීස්ගේ ලෝකයට ඉංදියානු රාගධාරී සනත් නන්දසිරි අරක්ගැනීමයි.

සනත් නන්දසිරි කිව්වට සනත් නන්දසිරගේ වාසගම නන්දසිරි නෙමේ. එයාගේ තාත්තගේ නම H.M. ව්ලියම් පෙරේරා. සනත් එයාගේ තාත්තගේ පෙරේරා වාසගම ගත්තේ නෑ.. නන්දසිරි කියලා නමකිනුයි ප්‍රසිද්ධ වුනේ.. 1960 ගණන්වල ඔය කාලේම තමයි නන්දසිරි විජේවීර නන්දසිරි කෑල්ල හලලා රෝහණ කියලා නමකින් ප්‍රසිද්ධ වෙන්නේ... විජේවීර නන්දසිරි කෑල්ල හලනවා, සනත් නන්දසිරි කෑල්ල එකතුකර ගන්නවා...

ඒ ක්‍රියාවන් දෙකටම රටේ සිංහල-බෞද්ධ-ජාතික- අනන්‍යතාවය පිලිබද ඒ වන විට රටේ තිබුන පෙලගැස්ම බලපාන්න ඇති...

සනත් නන්දසිරිත් හැදෙන්නේ ඒවගේ වටාපිටාවක, ජීවත්වන්නේ ගොතටුවේ, ස්කොලේ යන්නේ මහා බෝධි මහා විද්‍යාලයට, තරුණ කාලේ ගත කරන්නේ බොරැල්ලේ තරුණ බෞද්ධ සංගමයේ (YMBA), සංගීත හාණඩය (instrument) ලෙස තෝරාගන්නේ තබ්ලාව, එක්කෝ පොලීසියට යන්න ඕනේ නැත්නම් ඉංදියාවට ගිහින් සංගීත හදාරන ඕනැයි කිව්වහම තාත්තා කොන්ත්‍රාත්කරුවෙක් විදිහට යම් ආර්ථික හැකියාවක් තිබු තැනැත්තෙක් නිසා ඔහුව ඉංදියාවට යවනවා...ඒ කාලේ වැඩි ගාණකුත් නෑ... එහෙම අවුරුදු 6 විතර ඉදලා ලංකාවට ආවහම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න පුලුවන් වෙනවා...සංගීත ගුරුපත්වීමකුත් ලබා ගන්න පුලුවන් වෙනවා.. ඉතින් ඒ අතින් ජීවිතයට පදනමක් දාගන්න පුලුවන් වෙනවා...

හැබැයි එයාගේ ජීවිතයේ සාර්ථකත්වය ගොඩ නැගෙන්නේ මල්කාන්තිව බැන්දයින් පස්සේ... ආගම සහ පවුල් පසුබිම නිසා මල්කන්තිගේ පවුලේ අය මුලින් විරුද්ධවුනත් ජයට මගුල් කාල තමයි බැදලා තියෙන්නේ. 1971 සිරිමාවෝ ගේ කාලේ, හාල් පෝලිම්, සලාක ක්‍රමයට බඩු බෙදන කාලේ, ජයට මගුලක් ගන්නවා කියන්නේ ලේසි නෑ... හැබැයි සනත්-මල්කාන්තිලා එහෙම කරලා.. දාහකට විතර ආරාධනා කරලා මගුල් ගෙවල් තුනක්ම අරන් තියෙනවා...

කොහොමවුනත් මල්කාන්ති වැලන්ටයින් සාන්තුවරයාට යාච්ඤා කරලා, රෑ කෑම නොකා නිදාගෙන, හිනෙන් දැක්ක ඇගේ අනාගත සහකරුවා බෝතල් පත්තරකාරයෙක් නොවෙයි කියලා සහතික කරන්න නම් මල්කාන්ති මගුල් ගෙදර දවසේ ඉදලා කටයුතු කරලා තිබෙනවා...

සංගීත වැඩ, ඉගැන්වීම් ආදියට අමතරව සනත් නන්දසිරි වාහන අංගනයක් පවත්වාගෙන ගිය සහ වෙනත් ව්‍යාපාර කටයුතුවල නිරතවුනු ව්‍යාපාරිකයෙක් කියලත් කියනවා...ඒ වගේම ඔහු 2001 දී කොළඹ කෝට්ටේ ට UNP එකෙන් චන්දේ ඉල්ලු වා. කොහොමත් මහින්ද ගේ දෑත ශක්තිමත් කරන්න පස්සේ ගියත් සනත් නන්දසිරි ලා උපන්ගේ UNP කාරයෝ, දේශපාලකයින්ට කඩේ ගිය කලාකරුවන් / ගායකයින්ගේ සංගම්වල එයා ආරම්භ සභාපති වරයෙක්. UNP යේ මහවැලි ගීතයවුනු 'ගංගා එන්නකෝ ගංගා' ගීතය කිව්ව අබේවර්ධන බාලසූරිය මෙයාගේ මස්සිනා... සනත් නන්දසිරි මල්කාන්ති පිරිස්ව බැන්දයින් පස්සෙ ඒ පවුලේ අනෙක් සහෝදරියන් වූ නිර්මලා, නිරංජලා බැන්දෙත් ගායකයෝ, මම හිතන්නේ ඒගොල්ලත් බෞද්ධ වුනා.. සකුන්තලා විතරක් පිලිපීනයේ Radio Veritas එකේ වැඩකලා..

කොහොම හරි මල්කාන්ති පිරිස් හිනෙන් දැක්ක ඇගේ අනාගත සහකරුවා බෝතල් පත්තරකාරයෙක් නම් නොවී සනත් නන්දසිරි නම් විවිධ ක්ෂේත්‍රවල සාර්ථක තැනැත්තෙක් බවට නම් පත්වුවා...එහෙත් ඔහු ලාංකික සංගීත ක්ෂේත්‍රය තුල කිසියම් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකලාද? නොමැකෙන සලකුණක් සටහන් කලාද? ඒක නම් විවාද ජනකයි...!! ඉංදියානු සංගීත දැනුමක් අරන් ආව සනත් නන්දසිරිට, බටහිර රුචිකත්වයක්, ඉංග්‍රීසි කියවීමක්, සංස්කෘතික සංදර්භයක් තිබුන මල්කාන්ති පීරිස් වගේ කෙනෙක් එකතුවුනාම නවතම ආකාරයක ඉදිරිගමනක් බලාපොරොත්තු වියහැකි වුනත් එවැන්නක් සිදුවුනේ නෑ... එහෙම මිශ්‍ර සංස්කෘතික අනන්‍යතාවයක් ඇති පරම්පරාවක් රටේ බිහිවුනෙත් නෑ... වුනේ රටේ මහා සංස්කෘතිය විසින් ක්ෂුද්‍ර සංස්කෘතිය අවශෝෂණය කරගැනීමයි. බෞද්ධ සංස්කෘතිය කතෝලික සංස්කෘතිය අවශෝෂණය කරගැනීමයි. ඉතින් සංස්කෘතික අනන්‍යතාවයන් දෙකක් තිබූ සනත් - මල්කාන්තිගේ විවාහය තුල අලුත් මිශ්‍ර සංස්කෘතික අනන්‍යතාවයක් බිහිවෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් බෑ. ඇතැම් විට ඔවුන්ගේ කුළුදුල් පුතා ගේ මරණය නොවන්නට ඔවුන්ගේ නිර්මාණ මෙයටත් වඩා වෙනස් වෙන්නත් තිබුනා... ඒත් ඔවුන් දෙදෙනා මහත් ආදරයකින් බැදී සිටි දෙදෙනෙක් බව නම් සදා සත්‍යයක්!!

සුබ ගමන් !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා

29/03/23

Friday 24 March 2023

ඇත්තටම කුරුසයේ ඇණ ගසන පිලිපීන පාස්කුව

පාස්කු හෙවත් කොරොස්ම කාලය යනු පිලිපීනයට සුවිශේෂී වූ කාලයක් බව පාස්කු කාලයක එහි ගොස් ඇති සියල්ලන් දනී. ආසියාවේ විශාලතම කතෝලික රාජ්‍යය වන පිලිපීනයේ සීයට 80 කට වැඩි පිරිසක් කතෝලිකයන් ය. වෙනත් සභා වලට අයත් කිතුනුවන් ද එරට ජනගහනයෙන් සීයට 12 කට ආසන්නය. සීයට 6 ක පමණ මුස්ලිම් ජනගහනයක් ද වේ. ඔවුන්ගෙන් බහුතරයක්  දකුණු දිග පිලිපීන Mindanao දූපත කේන්ද්‍ර කරගෙන වාසය කරයි. Mindanao යනු එරට අගනුවර වන Manila නුවර පිහිටි Luzon දූපතට අනතුරුව පිහිටි විශාලතම දූපතයි. පිලිපීන පාලනයට එරෙහිව කැරලි ගසන මුස්ලිම්  කැරලිකරුවන් වඩාත්ම ක්‍රියාත්මක වන්නේ එම දකුණු දිග පිලිපීන දූපත් කේන්ද්‍ර කරගෙනය  වෙනත් කිතුනු සභාවකට අයත් කිතුනු පාස්ටර් වරයෙකු කුරුසයේ ඇණ ගසා මරාදැමීමක් ගැන ප්‍රවෘත්තියක් පලව තිබුනි. මා මේ ලියන්නට යන්නේ එකී ප්‍රවෘත්ති ගැන නොව චතාරික කාලයේ පිලිපීනයේ සිදුකරන චතාරික පිලිවෙතක් ගැනය.

කලින් සදහන් කල ලෙසම චතාරික කාලය යනු පිලීපිනයට සුවිශේෂී කාලයකි. චතාරික සමයේදී පිලිපිනයේ විදී පුරා සිදුකරන පාදනමස්කාරයන් එහි සුලබ දසුනකි. එකී පදනමස්කාරයන් සදහා කුරුසය කරෙන් දරාගෙන, කටු ඔටුන්නක් පැලද, ජේසු මෙන් ඇදගත් පිරිස්ද, රෝම සොල්දාදුවන් මෙන් ඇදගත් පිරිස් ද, බැතිමතුන්, පියතුමන්ලා,  පැවිදි සොහොයුරු සොහොයුරියන්ද යාච්ඤා කරමින් ගමන් කිරීම සුබල දසුනකි. 

එයටත් වඩා අවධානය යොමුකරන දසුනක් වන්නේ කසයක් වැනි දෙයකින්, උණ පතුරුවලින් තනාගත් කටු සැරමිටියකින්, සිය සිරුරේ පිටට තලමින්, පව් සමාව ඉල්ලමින්, එම පෙරහැර වල ගමන් කරන පිරිස්දය. එය එක්තරා ආකාරයක කෲර වදබධනයක් තමා පිටම පවරා ගන්නා සිත් තැතිගන්වන දසුනකි. හිත් කීරිගන්වන එවැන්නක් පාස්කු කාලයේ එරට වැසියන්ට නම් කිසිසේත්ම නුපුරුදු අත්දැකීමක් නොවේ. 

එහෙත් එයටත් වඩා තැති ගන්වන කරුණක් නම් ඇත්තටම කුරුසයේ ඇණ ගැසීමය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇණ ගැසුවාක් මෙන් දෑත් දෙක කුරුසයේ තබා ඇණ ගසා කුරුසයේ එල්ලීමේ චාරිත්‍රයක් චතාරික කාලයේදී පිලිපීන කිතුනුවන් අනුගමනය කරති.  San Pedro Cutud Lenten Rites නමින් හදුන්වන එම චතාරික චාරිත්‍රය ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සැබෑවටම  ප්‍රතිනිර්මාණය කිරීමකි. එහෙත් එසේ ඇණ ගසන්නේ ක්‍රිස්තුස් වහන්සේ මෙන් මරණ දක්වා නොවේ. තාවකාලිකවය. විනාඩි 5 පමණ කාලයක් එසේ ඇණගසා එල්ලා තබා ක්‍රිස්තුස් වහන්සේගේ සිරුර කුරුස ගසින් බාගන්නාක් මෙන් කුරුසයෙන් ඉවත් කරගනී. ඇතැම් අවස්ථාවල ස්ත්‍රී/ පුරුෂ දෙගොල්ලෝම මෙසේ ඇණ ගැසයි. 

ඇග කිරීගන්වන, දැඩි ආතතියක් දනවන මෙම දසුන නැරඹීමට තරමක් අසුරුවිය හැක. එහෙත්  එකී චාරිත්‍රයේ නිරතවන්නන්ට නම් එය අතිමහත්වූ භක්ති අභ්‍යාසයකි. ප්‍රේමණීය ක්‍රිස්තුස් වහන්සේ වින්දාවු දුක්ගාවිනාව තමන්ම විද දරාගැනීමකි. මැනිලා අගනුවර සිට පැය එකහාමරකින් පමණ ලගාවිය හැකි Cutud ගමේ Ruben Enaje නම් තැනැත්තා මෙසේ 33 වතාවක් කුරුසේ ඇණ ගැසීමට ඉදිරිපත්වූ බව කියවේ. ඇත්ත වශයෙන්ම එසේ කුරුසයේ ඇත්තටම ඇණ ගැසීමට ඉදිරිපත් වීමට මෙන්ම, එවැනි දසුනක් ලග සිට බලා සිටීමටද හැක්කේ කිසියම්වූ ආකාරයකට භක්තියේ ගැඹුරු අන්තයකට ලගාවිය හැකි පුද්ගලයෙකුට පමණි. චතාරික කාලය තුල එවැනි  තැනැත්තන් පිලිපීනයේ ඇති තරම් සොයාගැනීමට හැක. 

පිලිපීන වැසියන් පාස්කු සමයේ නිරතවන පාස්කු භක්ති අභ්‍යාසයන්  සැබෑවටම භක්තියේ විවිධ වු අන්තයන් විදහා දක්වන්නකි. පිලිපීනයේ සිට විසුරුවා හරින වෙරිටාස් ගුවන් විදුලියේ   (Radio Veritas) සිංහල සේවය ඔස්සේවත් පිලිපීනයේ එකී පාස්කු සම්ප්‍රදායන් ගැන විකාශනය කරන්නේ නම් ලාංකික කිතුනුවන්ට යම් අවබෝධයක් ඒ පිලිබදව ලැබිය හැකිය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 

24/03/23

Tuesday 21 March 2023

ණය ජම්ම පාපයක් නම් අපිට අහිමිවෙන්නේ සුගති උද්‍යානයද?


 IMF ඒකෙන් ලංකාවට ඩොලර් බිලියන තුනක් ලැබුනා තමයි, හැබැයි ඒකත් ණයක්... අපි ඔය සියලු ආර්ථික සංවර්ධන සිහින දකින්නේ ණය කන්දක් උඩ ඉදගෙන... රටවල් විතරක් නෙමේ මිනිස්සුත් එහෙම තමයි... ගෙවල් දොරවල් යානවාහන තව බොහෝ දේවල් ගන්නේ, කරන්නේ ණය වෙලා... ටික ටික ගෙවනවනේ කියන එක තමයි උත්තරේ... ඒත් ඒ එක්ක අපි පොලියක් ගෙවන්න ඕනේ, අපි පොලියටයි, මුදලටයි දෙකටම ගෙවන්න දිගටම උපයන්න ඕනේ කියන එක ගැන තකන්නේ නෑ... අන්තිමට අපි අපේ වත්කම් කියලා කියන්නේ ණය... අපි උපයලා තියෙන්නේ ණයයි, පොලීයි ගෙවන්න කියන එක අපි දැනුවත්ව හෝ නොදැනුවත්වම අමතක කරනවා, අනාගත ලාභයන් ගැන සිහින දකිමින්  ඒ කාරණය අපි අපේ මතකයේ කෙරවලක තබනවා...

අපි මිනිස්සු විදිහට වගේම, එහෙම හිතන මිනිස්සු ඉන්න රටක් විදිහටත්, අපි දැක්කේ පියවරෙන් පියවර ආදායම් මාර්ග දියුණු කරගෙන සංවර්ධන සිහින සැබෑ කරගන්නවා වෙනුවට කොහෙන් හෝ ණයක් අරන් එකපාර අදායම් වැඩි කරගැනීමයි, එහෙම ආදයම් ගැන පුරෝකතනය කරමින් තව තවත් ණයට වත්කම් එකතුකර ගැනීමයි. අපි සංවර්ධනය කියලා දැක්කේ එහෙම හීන. ඒ සංවර්ධන සිහින අපේ ඇස් ඉදිරියේම බිදවැටුනේ රට බංකොලොත් රටක් වෙලා, මිනිස්සුන්ට දවස් ගණන් පෝලිම්වල තපින්න වෙලා, පැය ගණන් ලයිට් නැතිව ජීවිත  අන්දකාරයට පත් කරලයි. 

අන්තිමට එදිනෙදා දේවල් ටික ගෙන්න ගන්නවත්, විකුණාගන්න මොනවා හරි දෙයක්  හදාගන්නවත්, වවාගෙන කන්නවත් ණයක් ගන්න කෙනෙක් නැතිවුනා. බංකොලොත් රටකට ණය දෙන්නේ කවුද? ඔය IMF උනත් අපිට ණය දුන්නේ අපි අහවල් අහවල් දේවල් කරන්න කටයුතු එකගවෙන නිසයි. 

ඉස්සර ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න IMF එකයි, ලෝක බැංකුවයි, ලෝක වෙළද සංවිධානය යි හැදුන්වුයේ නූතන ධනවාදයේ ත්‍රීමුර්තිය ලෙසයි. ඒ අය පෙනී ඉන්නේ ලෝක ධනවාදී ක්‍රමය පවත්වාගෙන යන්නයි කියන එක තමයි ඔහු අපිට ඉගැන්වුයේ. කවුරුත් ණය නොදී බංකොලොත් වුන ලංකාවට පවා ආපහු ආපහු පාරක් ණය දෙන්නේ (මේ පාර දුන්නේ 17වෙනි වතාවට) මේ එක කොනක හෝ එක රටක් කඩන් වැටුනාම එහි ප්‍රතිවිපාක අනෙක් අයටත් පැතිරෙන නිසයි.. බලපාන නිසයි. අපි ණය කොච්චර ගත්තත් ගොඩ ආපු නැති නිසා මේ පාර IMF එකෙන් උනත් ණය ගත්තේ අමාරුවෙන් වෙන්න පුලුවන්...

"එහෙම ගන්නත් මාර ගේමක් ගහන්න වුනා, රනිල් නැත්නම් ඒකත් නෑ, ඒක රනිල්ගේ ජයග්‍රහණයක් කියලා අයත් ඉන්නවා.." හැබැයි එකත් ණයක්!!

ඇත්ත ජයග්‍රහණය තමයි ණය නැතිව ඉන්න එක... ඒත් ණය නොවී කොහොමද කරගන්නේ කියන එක තමයි අභියෝගය.. ඇත්ත, මේ ක්‍රමය ඇතුලේ ණයක් ගන්නේ නැතිව කරගන්න බෑ තමයි... එහෙම කරන්න නම් අපි වෙනස්ම විදිහට හිතලා, වෙනස්ම විදිහට ජීවත්වෙන්න පටන් ගන්න වෙනවා... හැබැයි එහෙම හිතලා, එහෙම ජීවත්වෙන්න පටන්ගත්තත් මිනිස්සුන්ට ගැලවීමක් නෑ... මොකද රට ගත්ත ණය ගෙවන්න වෙනවා. ඒක පැටැවෙන්නෙත් රටේ මිනිස්සුන්ටමයි. භූමිතෙල් බෝතලේ ඉදන්, පාන් ගෙඩියේ ඉදන්, බෙහෙත් පෙත්ත වෙනකම්ම රටේ මිනිස්සු  වෙනවා... මේ සිස්ටම් එක ඇතුලේ ලේසියෙන් ගැලවීමක් නෑ, බේරීමක් නෑ...

ඉතින් ණය කියන්නේ එක්තරා ආකාරයක කරුමයක්... ජම්ම පාපයක්... එහෙම ගත්තාම  IMF එකෙක් අපිට දීලා තියෙන්නේ සාතාන් ඒවට දීලා, ඒවා ආදම් ට දුන්නා වගේ ඇපැල් ගෙඩියක්... අපිට අහිමිවෙනේ මොකක්ද දන්නවාද? සුගති උද්‍යානය!! සුගති උද්‍යානය අහිමිවීම ගැන  'ආදම්-ඒව සහ ඇපල් ගෙඩිය' ගැන ඔය කතාව කියන බයිබලයේ  කියන්නේ 'උබලට මීට පස්සේ කන්න වෙන්නේ  මුහුණ ඩාදියෙන් පෙගෙනකම් වැඩකරලා, වෙහෙසවෙලා..' කියලයි. අපි දැන් ගෙවමින් ඉන්නේ එහෙම  ජීවිත නෙමේද? සුගති උද්‍යානය කියන්නේ හීනයක්ම විතරද? 

“Cursed is the ground because of you; through painful toil you will eat food from it all the days of your life.

It will produce thorns and thistles for you, and you will eat the plants of the field.19By the sweat of your brow you will eat your food until you return to the ground.." (Genesis 3 17-19).

මාකස් ප්‍රියන්ත පෙරේරා 

21/03/23

Wednesday 15 March 2023

පොදු +රාජ්‍ය+මණ්ඩලයට = පොදු මොනවද ?

 

දාහත්වන සියවසේ එංගලන්තයේ විසු, පුරාවස්තු සහ ඉතිහාසය පිලිබදව උනන්දුවුවෙකු  වූ, ජෝන් ඔබ්රේ (John Aubrey) ගේ 1659 සටහනකට අනුව එකල එරට සාමාන්‍ය ජනයා සුරා-සැල් වල රැස්වෙමින් එදිනෙදා පොදු කටයුතු, භව-බෝග, දේශපාලනය, ආදී ආගිය විස්තර කථාකරමින් සිදුකරන හමුවන් හැදින්වීම සදහා ‘ක්ලබ්’ යන නව වචනයක් භාවිතයට ගෙන ඇති බව දක්වා තිබේ. (“We now use the word clubbe for a sodality [a society, association, or fraternity of any kind] in a tavern.”) මෙම  සුරා-සැල් (tavern) ඇසුරින් ගොඩනැගුන පොදු ජනයාගේ හමුවන්, දැඩි ගෝෂාකාරී විවාදයන් (Contention) බවටත්, නව දේශපාලනය මතයන් පෙරදැරිකරගත් දේශපාලනය ව්‍යාපාරයන් (Social Movements) බවට‍ත් පත්ව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු බටහිර ලෝකය නව ගමන්මගක් කරා යොමුකර වූ බව චාල්ස් ටිලිගේ (Charles Tilly (1998), Social movements and (all sorts of ) other political interactions) නම් රචනය දක්වයි. 

මෙලෙස බ්‍රිතාන්‍ය සාමාන්‍ය ජනයා සුරා-සැල් වල රැස්වෙමින් සිදුකරන පොදු හමුවන් දේශපාලන පෙරලි බවට වර්ධනය වනවිට,  එරට ප්‍රභූ මට්ටමේ පිරිස් ද එවැනිම හමුවන් සිදුකරමින්, තමන්ට අවශේෂ පොදු විෂයන් සාකච්ඡාවට ලක්කරමින්, සිය අතිරේක කාලය තම තමන්ගේ රසවින්දනය සදහා යොදවාගන්නා ලදී. මෙම ප්‍රභූන්ගේ පොදු හමුවන් හැදින්වීම සදහා යොදාගනු ලැබුවේ Club යන වචනයයි. එය මීට පෙර සාමාන්‍ය ජනයාගේ සුරා-සැල් වල හමුවන් විස්තර කිරීමට යොදාගත් clubbe යන වචනයේ වඩාත් ඔපදැමු භාවිතය විය. ප්‍රථමයෙන් කෝපි ක්ලබ් (Coffee Club) වලින් ඇරබුනු ප්‍රභූන්ගේ මෙම පොදු සමාජ හමුවන් පසුව, ටෙනිස් ක්ලබ්, ඔරු පදින සමාජ, සහ දේශපාලන මත දරන ‘ලිබරල් සමාජ’ (Liberal Club) වැනි ප්‍රතිපත්ති තීරණයකරන Club දක්වා වර්ධනය වන ලදී. 

සාමාන්‍ය ජනයාගේ පොදු හමුවන් මගින් පණපොවන ලද දේශපාලන සටන්පාඨයන් සම්බන්දයෙන් ප්‍රභූන්ගේ සමාජයන්ද නිතර සාකඡචාවට ලක්කල බවට විවිධ සාක්ෂි තිබේ. එහිලා හොදම උදාහරණය වන්නේ ප්‍රංශයේ 16වන සියවසේ ඇතිවූ කතෝලික සහ රෙපරමාදු ක්‍රිස්තියානි ආගමික ගැටුම් නිසා එංගලන්තයට පලාආ කෙල්වින්වාදීන් (Calvinist/Huguenot) දේශනා කල, එංගලන්තයේ කේම්බ්‍රිජ් පළාතේ කතෝලික බිෂොප්වරයා ප්‍රසිද්ධියේම පිළිගත්, ‘සෑම මිනිසෙකුම සමානව මවා ඇතිබව’ (All men being created equal) සදහන් ක්‍රිස්තියානි ආගමික ඉගැන්වීමයි. මෙම ආගමික මතයන් එංගලන්තයේ සහ ප්‍රංශයේ සාමාන්‍ය ජනයාගේ ඕපාදූප කථාබහේ සිට, වහල් සේවයට එරෙහි එංගලන්තයේ සමාජ-දේශපාලන පෙළගැසීම් වලත්,  ප්‍රංශ විප්ලවයේත්, ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනයෙත් (1776/07/04) ඉහලින්ම පිළිගැනීමට ලක්විය. එහෙත් බ්‍රිතාන්‍ය ප්‍රභූන්ගෙන් නම් එම මතයට එල්ල වුයේ දැඩි විවේචනකි. 1902 බ්‍රිතාන්‍ය  අගමැතිවරයාවූ ආතර් බැල්ෆෙර් (Arthur Balfour) වරක් ප්‍රකාශ කලේ ‘යම් ජාතියක මිනිසුන් සමානව මවා ඇතිමුත්, මාධ්‍යම අප්‍රිකානු මිනිසාත් යුරෝපියානු මිනිසාත් සමානව මවා නැති බවයි’ (‘All men of a particular nation were created equal, but not that a man in Central Africa was created equal to a European’).  පන්ති, වාර්ගික සහ වෙනත් සමාජ වෙනස්කම් සොභාවික ස්වරූපයන් යැයි විශ්වාස කල ආතර් බැල්ෆෙර් වැනි ප්‍රභූන්ගෙන් සැකසෙන බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනය පිළිගත් තවත් මතයක් වුයේ මිනිසුන් සමානව මවා නොතිබුණද, ස්වයන් පාලනයක් ඇති ප්‍රදේශවල වෙසෙන්නේ එක ජාතීයකට අයත් ජනයා බවයි. එනම් කැනඩාවේ ඉංග්‍රීසි, ප්‍රංශ, රතු ඉන්දියානුවන් ආදී විවිධ ජන වර්ගවලට අයත් ජනයා ජීවත්වුවද ඔවුන් අයත් වන්නේ කැනේඩියානුවන් නම්  එක් ජාතියකට බව පිළිගැනීමයි. මෙම මතය පැටලිලි සහගත කෘතිමව නිර්මර්ණය කල මතයක් උවද එහි දේශපාලන අදහසක් තිබුණි.

එනම් එක් රාජ්‍යක් තුල සිටිනුයේ එක ජාතියක්ය යන්නය, නොහොත් එක ජාතියක් වෙසෙන ස්වයන් පාලනයක් ඇති ප්‍රදේශ ජාතික රාජ්‍ය (Nation-State) වශයෙන් සලකන ලබන බවයි. මෙම මතයට අනුව අප්‍රිකානුවන් හෝ ආසියානුවන් හෝ යුරෝපීන් සමානවුවද-නැතද, ඒ ඒ ප්‍රදේශවල ජාතික-රාජ්‍ය වෙනත් ජාතික-රාජ්‍ය හා සමාන බව පිළිගනී. එවැනි ජාතික-රාජ්‍යනට එකට කටයුතු කල හැකිබව ද පිළිගනී. ජාත්‍යන්තර දේශපාලනයෙදී මෙම සෑම ජාතියකටම සමාන අයිතීන් හිමිවන බවද පිළිගනී. මේ දේශපාලන මතය බ්‍රිතාන්‍ය සිය රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයෙදී නිල ප්‍රතිපතියක් වශයෙන් 1926 දී  පිළිගන්නා ලද අතර එය ආතර් බැල්ෆෙර් ගේ  ප්‍රකාශනය නැතහොත් බැල්ෆෙර් ප්‍රකාශනය (Balfour Declaration) නමින් නම් කර ඇත. 

පොදුරාජ්‍ය මණ්ඩලය මුලින්ම ගොඩනැගෙන්නේ (Commonwealth of Nations) මේ බැල්ෆෙර් ප්‍රකාශනය මුල්කරගෙනය. 1926 බැල්ෆෙර් ප්‍රකාශනය එලිදක්වන විටත් බ්‍රිතාන්‍ය යටත් විජිතය තුල ස්වයන් පාලනයක් ඇති ප්‍රදේශ කිහිපයක් තිබුණි, එනම් කැනඩාව, නිව් ෆවුන්ලන්තය, (1922 උතුරැ සහ දකුණ ලෙස අයර්ලන්තය බෙදීමෙන් පසුව බිහිකල) නිදහස් අයර්ලන්තය, ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයය. එහි වෙසෙන ජන වර්ගයන්ගේ වෙනස් කම් පසෙක තබා ඔවුන් එක ජාතියක් ලෙස සලකන ලදී. එවැනි ඒකක වල පාලන තන්ත්‍රයනට එකට එක්ව සමානයන් මෙන් කටයුතු කළහැකි බව පිළිගන්නා ලදී. ඒ සෑම පාලන තන්ත්‍රයකටම සමාන අයිතිවාසිකම් හිමි බව දක්වන ලදී. ඔවුන් සියල්ලෝම පාහේ ජනපදවාසි-විජිතයන් (settlers colonies) ගෙන් ආ සූදු සම ඇති යුරෝපීන්ම වු නිසා ඉහත බැල්ෆෙර් ප්‍රකාශනය ගැන එතරම්ම ගැටළුවක් නොවිණි. එනෙක එම විජිත වලින් පැමිණියේද ප්‍රභූ පාලකයන්ම නිසා එතරම්, වෙනසක් හෝ විවාදයක්ද නොතිබිණි. එහෙයින් මුල්ම පොදුරාජ්‍ය මණ්ඩලය තවත් ප්‍රභූන්ගේ ‘ක්ලබ්’එකකට වඩා යමක් ද නොවිණි. 

එහෙත් නිදහස් අයර්ලන්තය නොබෝ කලකින් අයර්ලන්ත ජනරජය බවට පත්ව බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්ව ගිය අතර, නිව් ෆවුන්ලන්තය (1949) කැනඩාවේ ප්‍රාන්තයක් බවට එක්වීමත් සමග පොදුරාජ්‍ය මණ්ඩලය බ්‍රිතාන්‍යටත්, දකුණු අප්‍රිකාවත්, ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයටත් පමණක් සීමාවිය. එයටත් වඩා  දෙවන ලෝක යුද්දයෙන් පසුව ලෝක බල තුලනය වෙනස් වීය. එතෙක් බ්‍රිතාන්‍යට පැවති ස්ථානය අභිබවා ඇමෙරිකානු සහ සෝවියට් රුසියාව නව බලවතුන් බවට පත්වීය.  ඒ සමග ඉන්දීයාව ඇතුළු බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ට නිදහස් ලබාදීමටද සිදුවීය.  එහෙයින් මෙතෙක් බ්‍රිතාන්‍ය ලෝක දේශපාලනය තුල පවත්වාගෙන ආ සිය අස්ථානය තවදුරත් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න බ්‍රිතාන්‍යයේ විවිධ සමාජයන් තුල දීර්ඝ සාකච්ඡාවනට ලක්විය. 

එහිදී ඔවුන් පැමිණි නිගමනය වුයේ, ඇමෙරිකා එක්සත් ජනපදය සමග විශේෂ සම්බන්දයක්  (Special Relationship) පවත්වාගෙන යන අතරම එවකට 04 දෙනෙකුට සිමාවී ඇති පොදුරාජ්‍ය මණ්ඩලය නව සාමාජිකයන් සමග නැවත පණගැන්විය යුතු බවයි. එහෙත් ඉන්දියාව වැනි බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබූ රටවලට එයට එක්වීමට බාධකයක්ව පැවතියේ එහි  සාමාජිකත්වය ‘බ්‍රිතාන්‍ය යටත් විජිතයට අයත් ස්වයන් පාලනයක් ඇති ප්‍රදේශ වලට’ සීමාවී තිබීමයි. නිදහස දිනූ ඉන්දියාව තව දුරටත් බ්‍රිතාන්‍ය විජිතයට අයත්  ප්‍රදේශයක් නොවන බැවින් එම රෙගුලාසි වෙනස් කරතොත් තමන්ටද සහභාගී වීය හැකියැයි දැන්වුයෙන් 1948 ලන්ඩන් ප්‍රකාශනය (The London Declaration ) මගින් බ්‍රිතාන්‍ය යටත් විජිත පමණක් නොව ජනරජයන්ටද  එහි සාමාජිකත්වය හිමිවන බව පිළිගන්නා ලදී.  වර්තමාන පොදුරාජ්‍ය මණ්ඩලය බිහිවෙන්නේ එලෙසිනි. ශ්‍රී ලංකාවද 1948 දීම එම පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගන්නා ලදී. වර්තමාන පොදුරාජ්‍ය මණ්ඩලය බිහිවන විටවත් එහි මුල් පදනම් සකස්කල බැල්ෆෙර් ප්‍රකාශනය ගැන හෝ එහි කාර්යභාරය ගැන හෝ  එහි එහි ප්‍රතිපත්ත ගැන හෝ පුළුල් සංවාදයක් නොතිබිණි. එහින් එය තවත් සමාජයකට (Club) සාමාජිකයන් බැදෙනවාට වඩා වෙනසක් නොපෙන්වන ලදී.

අද එහි සාමාජිකයන් 53 සිටී. මුළුමනින්ම පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතයට අයත්  සාමාජිකයන්ගෙන් සැදුම් ලද්දද සෑම පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ම මෙහි සාමාජිකයන් නොවේ. ඉරාකය, (ඊශ්‍රරායලය සහ පලස්තීනය අයත්) පැරණි බ්‍රිතාන්‍ය පලස්තීන ප්‍රදේශ, ඊජිප්තුව, ජෝර්දානය, යේමනය ආදී රටවල් මෙහි සමාජිකත්ව ලබා නොගන්නා ලද අතර අයර්ලන්තය, සිම්බාබ්වේ සහ නැමීබියාව (පසුගිය ඔක්තෝබර් මාසේ) වැනි රටවල් සිය සාමාජිකත්වයෙන් ඉවත්වන ලදී. එසේවුවද පොදුරාජ්‍ය මණ්ඩලය ලෝක ජනග්‍රහනයෙන් සීයට 30ක ප්‍රතිශතයක් (30%) නියෝජනය කරන, ලෝකයේ පිළිගත් රටවලින් හතරෙන් එකක් (1/4) නියෝජනය කරන ලෝක දේශපාලන ක්‍රමය තුල යම් බලයක් ගොනුවී ඇති සංවිධානයකි. 

එහෙත් ඔවුන් එම බලය යොදාකල දෙයක් නැත. ලෝකයේ දේශපාලන, සමාජ, ආර්ථික වෙනසක් කම් වෙනුවෙන් හෝ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් හෝ කිසිසේත්ම කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුනොකරන ලදී. බ්‍රිතාන්‍ය රජය මගින් උසස් අධ්‍යාපනය සදහා වසරකට ලබාදෙන ශිෂ්‍යත්ව ටික ( එයත් දැන් වසරකට 70 දක්වා අඩුකර තිබේ) හැරුනු විට අඩුම තරමින් සාමාජික රටක සමාජ-ආර්ථික දියුණුව වෙනුවන් පොදුරාජ්‍ය මණ්ඩලය සිදුකරන කිසිදු වැදගත් මෙහෙයක් නැති තරම්ය. එය ඒසේ වෙතත් සෑම වසර 02කටම වරක් සියලු සාමාජික රටවල රාජ්‍ය නායකයෝ කොහේ හෝ  සාමාජික රටක රැස්ව රාජ්‍ය තාන්ති‍්‍රක සාකච්ඡා වල නිරතව බරපැන එම රටවල ජනයා මත පටවා ආපසු පිටත්ව යති. 

පසුගිය දශක  හයටම පොදුරාජ්‍ය මණ්ඩලය සිදුකල එකම ප්‍රගතිශීලී වෙනස්කම වුයේ 1971 සාමාජික රටවල් විසින් අත්සන් කල සිංගප්පූරු ප්‍රකාශන යයි (Singapore Declaration). එමගින් සාමාජික රටවල් ලෝක සාමය, නිදහස් වෙළදාම, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ සමානාත්මත්වය ආරක්ෂා කිරීමට  ගිවිසුම් ගතවිය. එහෙත් ඒවා සාමාජික රටවල් විසින් කඩකිරීමේදී කලයුත්තේ කුමක්ද යන්න පිලිබදව කිසිදු එකගතාවයක් නොවිණි. සිදුකළ එකම කාර්යය වුයේ එලෙස කඩකල රටවල සාමාජිකත්වය තවකාලිකව අත්හිටවීම පමණි. එය එම රටවල සාමයවත්, ප්‍රජාතන්ත්‍රවාදයවත්, මානව අයිතිවාසිකම්වත් සහ සමානාත්මත්වයවත් තහවුරු කල දෙයක් නොවිනි. ඒහිලා හොදම උදාහරණ වුයේ සමේ වර්ණය මත කළුසුදු ලෙස බෙදා එරට වැසියන්ට සැලකු දකුණු අප්‍රිකානු සුදුජාතික රජය පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත්කල පමණින් එහි කළු මිනිසුන්ට වූ සුගතියක් නැත. අනෙක් අතට පොදුරාජ්‍ය මණ්ඩලයේ මුදුන් මුල වන බ්‍රිතාන්‍යයේ එවකට අගමැතිවරිය වූ මාග්‍රට් තැචර්ගේ වඩාත් දෝෂදර්ශනයට ලක්වුයේ දකුණු අප්‍රිකානු සුදුජාතික රජය නොව කළු මිනිසුන්ට සිදුවන අසාධාරණය වෙනුවෙන් සටන් කල නෙල්සන් මැන්ඩලාය. වරක් මාග්‍රට් තැචර් නෙල්සන් මැන්ඩලාව හැදින්වුයේ ත්‍රස්තවදියෙකු ලෙසය. 

පොදුරාජ්‍ය මණ්ඩලයේ සෑම සාමාජික රටකටම එක සමාන අයිතිවාසිකම් හිමි බව එහි ආරම්භ බැල්ෆෙර් ප්‍රකාශනය මගින් දක්වා තිබුනද කිසිදු රටක් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ප්‍රතිපත්තිය විවේචනයට නොගියේ ඇයිදැයි ප්‍රශ්නයකි. බ්‍රිතාන්‍ය ෆොක්ලන්තය සමග යුද්දයට ගියවිටවත්, ඉරාක ආක්‍රමණය කලවිටවත් පොදුරාජ්‍ය මණ්ඩලය දැක්වූ විරෝදයක් හෝ විවේචනයක් නැත. ඒ බ්‍රිතාන්‍ය තමන්ගේ හිටපු හාම්පුතා වීම නිසාද, නැතහොත් බ්‍රිතාන්‍යන්ට සෙසු සාමාජිකයන්ට වඩා විශේෂ ස්ථානයක් හිමිවන නිසාදැයි නොදනී. අනෙක් අතට එවැනි ප්‍රශ්නකිරීම් ප්‍රභූ සමාජවල ලක්ෂණයක් නොවන බව සාමාජිකයන් අවබෝධකරගෙන එලෙස ප්‍රභූන් ලෙස හැසිරීමට උත්සහ කිරීම් නිසා ඔවුන් බ්‍රිතාන්‍ය ගැන ප්‍රශ්න නොකරන්වාදැයි නොදනී.

මෙම ප්‍රශ්නය අපේ රටේ මහින්ද රාජපක්ෂ පාලනයටද වදදෙන ප්‍රශ්නයකි. එනම් ලොකුරටවල් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල කටයුතු පමණක් ප්‍රශ්න කරන්නේ ඇයි යන්න ඔහුද, ඔහුගේ මාධ්‍ය සගයන්ද නිතර මතුකරන ප්‍රශ්නය වී තිබේ. එහෙත් ඔවුන් අමතක කරන ප්‍රධාන කරුණනම්  යුද්ද පැවති සමයේදී පැවති පොදුරාජ්‍ය මණ්ඩල සැසි වාර කිසිවකදී ශ්‍රී ලංකාවේ  යුද්ද ගැන විරෝධයක් මතුනොවීමයි.

එයට හේතුව ශ්‍රී ලංකාවේ යුද්දය එරට අභ්‍යන්තර කටයුත්තක් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් සැලකු නිසාම නොවේ. ශ්‍රී ලංකාව ඒ වෙනවිටත් කරමින් සිටියේ බ්‍රිතාන්‍යන් විසින් පිහිටවන ලද ඒකීය ශ්‍රී ලංකාව නම් රාජ්‍යයේ දෙමළ සුළුතරය විසින් අභියෝගයට ලක්කර තිබු භුමිය නැවත ඒකරාශි කරන (territorial integration) ව්‍යායාමයකය. එවැනි භුමිය එක් කේන්ද්‍රයක් වෙත ඒකරාශි කිරීම යුරෝපයේ උපන් නූතන ජාතික රාජ්‍යයේ මුලික ලක්ෂණයක් වී තිබුණි. බ්‍රිතාන්‍ය පමණක් 1489 ටියුඩර්  යුගයේ යෝක්ෂේයා (Yorkshire) පළාතේ සිට 1553 ව්‍යට් (Wyatt’s) කැරලිකරුවන්ට එරෙහිව පමණක් යුද්ද 17 කරතිබුණි. ඒ සියල්ල භුමිය එක් කේන්ද්‍රයක් වෙත ඒකරාශි කිරීමේ ක්‍රියාවලියන් වූ අතර එය ජනසංහාර ක්‍රියාවලියක් බව අමුතුවෙන්ම කිවයුතු නොවේ. 2006 ජුලි 28 සිට 2009 මැයි 18 වනතුරු ශ්‍රී ලංකාව කරමින් සිටියේද එයයි.  

බ්‍රිතාන්‍යයන් විසින් මෙම රට තුල රෝපණය කරන ලද ඒකීය රාජ්‍ය විසින් යුද්දය නිර්මාණය කර තිබු අතර යුද්දය විසින් නැවත ඒකීය රාජ්‍ය පිහිටවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබුණි. ඒහින් එය බ්‍රිතාන්‍යන්ට හෝ පොදුරාජ්‍ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ට  හෝ ප්‍රශ්න කිරීමට තරම් අරුමයකුත් නොවීය. බ්‍රිතාන්‍යන් විසින් නිර්මාණය කල රාජ්‍ය පද්ධතියක, බ්‍රිතාන්‍යයන් විසින් පුරුදුපුහුණු කල ආකාරටය හැසිරීම ඔවූන් විසින් අපේක්ෂා කල අතර එය එසේ නොවන විට පමණක් ප්‍රතිචාර දැක්වීමට ඔවුන් සිදු කරන ලදී. ඔවුන් එදා ශ්‍රී ලංකාවේ යුද්දය පැවති සමයේ සිදුවූ යුද්ද අපරාදයන් විමර්ශනය කරන්නට කියන්නේත්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොරගසන්නෙත් ඔවූන් අපේක්ෂා කල ආකාරයට අප හැසිරීරෙන්නේ නැති බැවිනි. දයාන් ජයතිලක වැනි මහත්වරුන් අද ආණ්ඩුවට කියන්නේත්, අපේ රාජ්‍ය පාලකයා සරම ඇන්දත්, ඉහත කී බ්‍රිතාන්‍යන් බලාපොරොත්තු වන ආකාරයට හැසිරෙන්නේනම් කිසිම ගැටළුවක් ඇති නොවන බවයි. 

එහෙත් අපේ රාජ්‍ය පාලකයා යහපත් මහත්තයෙකු ලෙස බ්‍රිතාන්‍යන්ගේ ප්‍රභූ සමාජවල කෙතරම් හොදට හැසිරුනත්, සාමාන්‍ය ජනයාටනම් ඇතිවන සුගතියක් නැත. මන්දයත් බ්‍රිතාන්‍යන් ඇතුළු යුරෝපීන් විසින්, එක ජාතියකට අයත් යැයි කෘතීමව එකම භූගෝලීය කලාපයක් තුලට මිනිසුන් ගාල් කරමින්, ගොඩනගන ලද නුතන ජාතික රාජ්‍යය වෙසෙන වැසියන්ට, සිය අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින විට,  රැගෙන එන්නේ ජනඝහතක යුද්දයත්, එදිනෙදා දිවිය යන්තම් ගෙවා ගැනීමට ආදායමකුත්, අපව පාලනය කිරීමට අප අතරින්ම ඉදිරියට ගනුලැබු, අපටම විනකටින පාලන තන්ත්‍රයකුත් පමණි. ඒ වෙනුවට ප්‍රභූන්ට ධනලාභද, විවේකයද, සියලු පහසුකම් සහිත ජීවන රටාවකුත් ලැබේ. 

යටත්විජිත යුගයේ බ්‍රිතාන්‍යයන්ගේ වතුවල, කර්මාන්තශාලාවල සේවය කල ජනයාට උරුමවූ ඉරණම අදද අප විදිමින් සිටී, බ්‍රිතාන්‍යයේ නම් සුදු ජාතික  වතුපාලකයා, කර්මාන්තශාලා හිමිකරුවා  සිය සේවකන්ගේ ගේ වැඩකටයුතු ගැන හිවලෙකු ලෙස ඉව අල්ලමින් ගැවසෙන අයුරු පෙනේ. එහෙත් ඔවුන්ගේ යටත් විජිත වලනම් ඔහුව නිතර දැකිය නොහැක, නමුත් ඔවුන්ගේ කන්කානිලානම් උදේ හවස වලසුන්මෙන් එහි වැසියන්ගේ ශරීර මතට පහත්වෙමින් සිය හාම්පුතුන්ගේ ආදායම් තරකරමින්, ඔවුන් ද තර වෙමින් සිටී. මේ නොවැම්බර් මස 10-17 දක්වා නම් ශ්‍රී ලාංකිකයන්ටක් නම් සිය ජිවිත කාලය පුරාම ණය ගෙවා ඉතා විරල දර්ශනයක් දැක ගත හැකිය, එනම්  හිවලුන් මෙන් තමන්ගේ යටත්වැසියන් දෙස ඉව අල්ලන සුදු ජාතික වතුපාලක, කර්මාන්තශාලා හිමියන් සහ  ඔවුන්ගේ කන්කානම් ලාවූ අප වැනි  රටවල රාජ්‍ය නායකයන් නම් වූ වලසුන්ගේ සුහද හමුවක් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව නමින් කොලඹ බණ්ඩාරනායක සමරු ශාලාවේ පැවැත්වෙන බැවිනි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 

(2013 නොවැම්බර් මාසේ සමබිම පුවත්පතට ලියූවකි)