This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 21 June 2021

පාස්කු ප්‍රහාරය අමතකද?

පාස්කු ප්‍රහාරය දැන් කරේ තියන් යන්නේ කාදිනල් විතරක්යැයි එක් මාධ්‍යවේදියෙකු පසුගියදා ලියා තිබෙනු දුටුවෙමි. එය පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් ඔහුගේ ප්‍රවේශයේ තරම හෝ මේ වනවිටද පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් සිදුවෙන්නේ කුමක්දැයි යන්න පිලිබදව ඔහුගේ ඇති උන්නදුවේ සහ අවබෝධයේ තරම කියාපාන්නකි. ඇතැම්විට ඔහු මෙතෙක් පාස්කු ප්‍රරහාරය ගැන අවධානය යොමුකර ඇත්තේ තනිකරම එය කරේ තියන්නේ කවුද? එහි දේශපාලන වාසිය යන්නේ කාටදැයි? යන රාමුවක සිට වියහැක.

ලංකාවේ මාධ්‍යවේදීන් බොහෝදුරට උන්නදුවන්නේ එදිනෙදා ප්‍රවෘත්ති ගැනය. එයිනුත් මූලික වශයෙන්ම දේශපාලනය ප්‍රවෘත්ති ගැනය. එයත් තමතමන්ගේ රුචි අරුචිකම් අනුවය. පක්ෂ, පාට, හිතවත්කම් සහ ලෙන්ගතුකම් අනුවය. රටේ ජනයාගේ කැකෑරෙන වේදනාවන්, දින දින පැසවමින් කෙදිනක හෝ පුපුරා යාහැකි ලෙස ගිනි කන්දක්සේ ගොඩනැගෙන මහජන විරෝධය, දිගින් දිගටම සිය දුක්ගැනවිලි ගැන නොසලකා හරිමින් ක්‍රමයෙන් බිත්තියට හේතුකරමින් යන පීඩාවට පත් ජනයාගේ නොනැනවතිය නොහැකි ප්‍රතිරෝධයන් ගැන ඔවුන් දක්වන උනන්දුව අල්පය.

පීඩාවට පත් ජනයාගේ හඩ මාධ්‍යය තුලින් හෝ දිගින් දිගටම නිරාවරණය වෙන්නේ නම් එයද එම ජනයාට ඇස්වැසිල්ලකි. රටේ දේශපාලනය මෙන්ම රටතුල ඇති මෙම මාධ්‍යය සම්ප්‍රදායද රටේ ජනයාගේ ඉච්ඡාභංගත්වයට පැහැදිලිවම හේතුවී තිබේ.

පාස්කු ප්‍රහාරය සිදුවී අදට, 21/06/21, මාස 26කි. 

සති දෙකකින් සියල්ල අමතක වෙනවායැයි කියන රටක වසර දෙකකුත් මාස දෙකක් ගත්වී තිබුනද පාස්කු ප්‍රහාරය රටට අමතකව ගොස් නැත. විපතට පත් ජනයාගේ නෑබන්දුමිත්‍රාදීන් පරම්පරා කිහිපයක්ම ජීවත්වන තෙක්ම එය ඔවුන්ට අමතක නොවනු ඇත. මීගමුව, කටුවාපිටිය සා. සෙබස්තියන් පල්ලිය. කොලඹ, කොච්චිකඩේ සා.අන්තෝනි පල්ලිය, මඩකලපුවේ සියෝන් පල්ලිය තිබෙන තාක්කල්, 2019 අප්‍රියල් 21වෙනි පාස්කු ඉරිදා එම පල්ලිවලට ඉස්ලාමීය අන්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර දිව්‍ය පූජාවට සහභාගීවෙමින් සිටි ලමා ලපටීන්, කාන්තාවන්, පිරිමින් අදීන් පවුල් පිටින්ම අමුඅමුවේ මරාදැමූ බව සටහන්වනු බව නොවනුමානය. ශ්‍රී ලංකා කතෝලික පල්ලිය මෙන්ම ලෝක ව්‍යාප්ත විශ්විය කතෝලික පල්ලිය ඇති තාක්කල් පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේද කිතුවන්ගේ සමුහ ඝාතනයකට ලක්කල බව සදාකාලිකව සටහන්වෙනු ඇත. ඔවුහු ඔවුන් නම්නොකල සාන්තුවරුන් ලෙස සලකනු ඇත. මන්දයත් කතෝලික පල්ලිය ගොඩනැගුනේම දහස් සංඛ්‍යාත කිතුනුවන්ගේ ජීවිත පුජාවෙන් බව ඔවුන් අදහන බැවිනි. වසර දෙදහසකට පෙර මරාදැමු සිය ශාස්තෘවරයාගේ මෙන්ම ඔහුගේ අනුගාමිකයන්ගේ ඝාතනයන් අදද ඔවුන් වසරක් වසරක් පාසා සමරති. එහින් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය කිසිදිනක අමතක කල නොහැකි, කිසිදිනක ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි, කාලයේ වැලි තලාවට හෝ ඉතිහාසයේ කුනු බක්කියට නොයන සිද්ධිවාචකයන් බව නම් නොකියමානය.

ඒ සම්බන්දයෙන් බින්දුවක හෝ සැකයක් නැත.

යම් ආකරයක හෝ සැක සාංකාවක් ඇත්නම් ඇත්තේ මෙකී පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත් එය වැලැක්වීමට කිසිවක් නොකල බලධාරීන්ට සහ නිලධාරින්ට එරෙහිව ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස නිසි පියවර ගනීද?නොගනීද? යන්න සම්බන්දවය. පාස්කු ප්‍රහාරය ගැන සිදුකල විමර්ශන ඔස්සේ රජයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බාරව සිටි ඇතැම් නිලධාරීන්ට මෙන්ම බලධාරීන්ටද ඇගිල්ල එල්ලවී ඇති බව පැහැදිලිය. එමෙන්ම පාස්කු ප්‍රහාරයේ විමර්ශන සිදුකල කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තුවේදී සිදුකල විවාදයේදී ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයේ කණ්ඩායමක් වෙතටත් ඇගිල්ල දිගුවිය. එහෙත් ඔවුන් පිලිබදව, අදාල නිලධාරින් සහ බලධාරීන් පිලිබදව, ශ්‍රී ලංකාවේ වත්මන් රජය නිසි පියවරක් ගන්නේද? නැද්ද? යන්න ගැන ඇත්තේ මහත් විචිකිච්ඡාවකි.

ඔවුන් සම්බන්දයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම කෙසේවුවද පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් 42 දෙදෙනෙකුට හෝ ඊට වඩා අඩු පිරිසකට 2021 ජුලි මාසය අගවනවිට නඩු දැමිමට අභිනවයෙන් පත්වූ නිතිපතිවරයා කටයුතු කරනු ඇති බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගිය 18/06/ 2021 පැවති පුවත්පත් සාකච්ඡාවකදී දක්වා තිබුණි. එහිදී ඔහු දක්වා තිබුණු ආකාරයකට පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් මේ වනවිටද චුදිතයන් 32 දෙදෙනෙකුට එරෙහිව නඩු 8 පවරා අවසන්ය. එකී නඩු අතර 1.මාවනැල්ලේ බුදුපිළිම කැඩිම, 2.ලැක්ටෝස් වත්තේ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම, 3.පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දුන් තස්ලිම්ට වෙඩි තැබීම, 4. වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය ආදිය වේ.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා දක්වා ඊයේ (20/06/21) දක්වා තිබුනේ පොලිසියේ සහ ආරක්ෂක හමුදාවල නම් සදහන් කරමින් පාස්කු ප්‍රහාරයට සම්බන්දයෙන් ප්‍රශ්න කිරිමට අවශ්‍යයැයි සදහන් කරමින් කපප්පම් ඉල්ලා සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුම මේවන විට අත් අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් කවුද, ආරක්ෂක අංශවලට සම්බන්ද පිරිසක්ද? ආදිය ගැන මෙතෙක් කරුණු හෙළිකර නොමැත. ඒ මහතා තවදුරටත් දක්වා තිබුනේ 2019 පාස්කු ඉරිදා සිට මේ දක්වා එම ප්‍රහාරය සම්බන්දයෙන් 724 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අතරින් 227 දෙනෙකු රක්ෂිත බන්දනාගාර ගතකර, 83 දෙනෙකු රැදවුම් නියෝග ඔස්සේද රදවාගෙන සිටින බවයි. තවද පොලිස් භාරයේ ඇති එකී සැකකරුවන්ගේ දේපල සහ වත්කම්වල වටිනා කම රුපියල් මිලියන 205 ක් බවද සදහන් කළේය. එමෙන්ම විමර්ශන ඔස්සේ රුපියල් බිලියන 28.5ක්ද, ඇමරිකානු ඩොලර් හය ලක්ෂ 95, 830ක්ද, රුපියල් මිලියන 14ක නිල් මැණික් තුනක් සහ රුපියල් මිලියන 24ක ස්වර්ණාභරණද, වෑන් රථ 7ක්, කැබ් රථයක්, මෝටර් සයිකල් 7ක්, ත්‍රිරෝද රථයක්ද, කාත්තන්කුඩියේ සහ වනාතවිල්ලුවේ ඉඩම් අක්කර 7 බැගින් ඉඩම් දෙකක් සහ තවත් ඉඩමක්ද පොලිස්භාරයේ ඇති බව දැක්වීය. ඒ අනුව සැකසැකකරුවන් 42කට ඊට ආසන්න ප්‍රමාණයකට අධිචෝදනා ඉදිරිපත්කරන බව දැක්වීය.

එම ප්‍රකාශය ඔස්සේ කියවෙනුවේ, පාස්කු ප්‍රහාරය ගැන ඊලගට නඩුවරන්නට යන්නේද සරත් වීරසේකර මහතා දැක්වූ නඩු 8 ආකාරයේ නඩු බවයි. එනම් පාස්කු ප්‍රහාරයට ඍජුවම සම්බන්ද, ඒ සම්බන්දයෙන් දැනදැනත්, ඒ ගැන තොරතුරු තිබියදීත් එය වැලක්වීමට කිසිවක් නොකල නිලධාරීන්ට සහ බලධාරීන්ට එරෙහිව නඩු පවරණ බවක් කියවෙන කිසිදු ඉගියක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයෙන් ඉදිරිපත්වී නැත. රජය ඔවුන් සම්බන්දයෙන් දක්වන ඇල්මැරුණු උනන්දුව, ඔවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සමබන්දයෙන් නිසි පියවර නොගැනිම සම්බන්දයෙන් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ ජනයා පසුවන්නේ මහත් ආවේගයකය. ශ්‍රී ලංකාවේ කිතුනුවන් පසුවන්නේ මහත් උදහසකය. කාදිනල්තුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා කතෝලික පල්ලිය පසුවන්නේ මහත් විරෝධයකය.

ඒ බව පසුගිය මස 21 සිට මේ මස 21ක දක්වා මාසක පමණ කාලයක්  තුල පමණක් කාදිනල්තුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා කතෝලික පල්ලිය දැක්වූ ප්‍රකාශයන්ගෙන් පෙනීයනු ඇත. ජුනි මස මුලදී කාදිනල්තුමා සදහන් කලේ පාස්කු ප්‍රහාරය සමබන්දයෙන් පුර්ණ විමර්ශනයක් සිදුකර අපරාදකරුවන්ට දඩුවම්දීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කදිනල්වරයාට ලබාදුන් පොරොන්දුව දැන් පුස්සක් වී ඇති බවයි. එහින් ජාත්‍යන්තර සහය ලබාගෙන පුළුල් විමර්ශනයකට යෑමට ශ්‍රී ලංකා කතෝලික පල්ලිය නොපැකිලෙන බව දැක්වීය. එමෙන්ම නෞකාවේ අනතුරෙන් අනතුරුව කාදිනල්තුමා ප්‍රකාශ කලේ ලංකාව සාපයකට ලක්වී ඇති බවයි. එකී සාපය පිළිබද කථාව සමග බොහෝ දෙනාගේ මතකයට නැගුනේ හරින් ප්‍රනාන්දු මතුකළ පාස්කු ප්‍රහාරයේ සාපය ඇතුලත් 'ස ගේ සත් සාපය' පිළිබද කතාවය. එමෙන්ම පසුගිය සතියේ සා. අන්තෝනි මංගල්‍යය දිනය සමරමින් කොච්චිකඩේදී සා. අන්තෝනි පල්ලියේදී කාදිනල්තුමා පැවසුවේ රජය පාස්කු ප්‍රහාරයේ චෝදනා එල්ලවී ඇති අයට දඩුවම් නොදෙන්නේ නම්  දේව දඩුවම් ඉල්ලා යදින බවයි.

මෙකී ප්‍රකාශ තුල පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවනට යුක්තිය ඉටුකිරීමට ශ්‍රී ලංකා රජය දක්වන උදාසීන, මන්දගාමී වැඩපිළිවෙල ගැන ශ්‍රී ලංකා කතෝලික පල්ලිය දක්වන අප්‍රසාද පැහැදිලිවම සටහන්වෙන බව පැහැදිලිය. එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවනට යුක්තිය ඉටුකරගැනීමට ඔවුන් දරන්නාවූ නොපසුබස්නා උත්සහය තවමත් අත්හැර නැති බවද පැහැදිලිය. ඔවුන් මෙතක් සිදුකල ආකාරයටම, දෙවියන් ඉදිරියේ යැදිම, විරෝධය දැක්වීම, යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තරයට යෑමට වුවද ඔවුන්ගේ ඇති අප්‍රතිහත ධෛර්යය සහ උවමනාවේ කිසිදු අඩුවක් දැකිය නොහැකි බවද පැහැදිලිය. රටේ පවත්නා කොරෝනා වසංගත තත්වය හමුවේ යම් යම් ක්‍රියාකාරීත්වයන්ගේ අඩුවක්, සීමාවක් දැකිය හැකිවුවද පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් යුක්තිය ඉටුවීමට ප්‍රමාදවීම සම්බන්දයෙන් කිතුනුවන්ට ඇති උවමනාවේ කිසිදු අඩුවක් නැත. කිසිසේත්ම එය ඔවුන්ට අමතකව ගොස් නැත. ඇත්තවශයෙන්ම, පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවීමට තවදුරටත් පමාවීම ඔස්සේ සිදුවන්නේ එය ඔවුන් තුල අභ්‍යන්තරව සක්‍රියවෙමින් ඇති ගිනිකන්දක් බවට පාස්කු ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය ඉටුනොවුනා යන මතය පත්වීමය. ගිනිකන්දක් පුපුරා යන මොහොත කිසිවෙකු නොදනී. එහි ඇතිවිය හැකි ආනිසංස ගැනද කිසිවෙකුට කලින් කිව නොහැක. එහින් ප්‍රමාදයකින් යුක්තිය ඉටුකර මේ ගිනිදැල් නිවා දමන්නේ නම් මැනවි!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
21/06/21

Friday 18 June 2021

ගම්වල නම් හැදීම ගැන ඉංග්‍රීසි කතාවක්

ගම්වල නම් ඉතිහාස කතා එක්ක සම්බන්ද කරන හැටි ලංකාවේ අපි හොදින් දන්නවා.

බ්‍රිතාන්‍යයෙත් එහෙම උත්සාහයන් හොදින් දකින්න තියෙනවා. උදාහරණයක් විදිහට මෙහෙ ගමක් තියෙනවා Whestone (වෙට්ස්ටෝන්) කියලා. එහි වචනාර්ථය තමයි මුවහත් තියෙන ගල (sharpening stones) කියන එක. එම අර්ථය හා එක්කාසු කරපු ඉතිහාස කතාවකුත් තියෙනවා. 

ඒ තමයි ක්‍රි.ව.1455–1487 යන කාලවල ඉංග්‍රීසි රජපෙලපත් දෙකක් අතර ඇතිවූ රෝස යුද්ධවලදී (Wars of the Roses) තීරණාත්මක සටනක්වුනු 1471 'බාර්නට් සටනේදී' (The Battle of Barnet) ජයගත් 4 වන එඩ්වඩ් (Edward IV) රජගේ හමුදා මෙතන තිබුන ගලකින් කඩු මුවහත් කල නිසා ඒ ගමට කඩු මුවහත්කල ගල හෙවත් Whestone (වෙට්ස්ටෝන්) කියන නම ලැබුනා කියන එක. ඒ කතාව ඔප්පු කරන්න මේ ගමේ හන්දියේ තඩි ගලකුත් තියෙනවා මහජනයාට පේන්නම. 

ඕවා ඉතින් ගම්වලට අවධානය දිනාගන්න, වටිනාකම් එකතුකරගන්න ගොඩනගපු කතා වෙන්න පුලුවන්. ඒ වගේම තමයි මෙවැනි ගොඩනගන්න ලද ඉතිහාස කතා ඔස්සේ එකී ගම් රටේ ජාතික ඉතිහාසය ලෙස ප්‍රකාශිත මහා ඉතිහාස කතාවත් එක්ක සම්බන්ද කරනවා. එමගින් ජාතික ඉතිහාසය, ජාතික අනන්‍යයතාවය සමග එම ගම්මානත් පුරුද්දනවා. 

හරියට අර මීගමුව සහ මීවදය වගේ. විහාර මහාදේවිගේ දොලදුක සම්පුර්ණ කරන්න මීවදය හොයාගත්තේ මීගමුවේන්ය, ඒ නිසා මීගමුවට ඒ නම ලැබුනාය කියලා අපි කවුරුත් අහලා තියෙන කතාවක් තියෙනවා. විහාර මහාදේවිගේ දොලදුක ගැන කතාව මුලින්ම සදහන්වන්නේ ථුපවංශයේයි. ඒහි දක්වන්නේ ඔය කියන මීවදය හොයාගත්තේ 'ගොළු මුහුද' සමීපයෙන් කියලයි. 'ගොළු මුහුද' කියන්නේ මීගමුව මුහුදයි කියලා අර්ථ නිරූපනය කලේ මීගමුවේ හෙළහවුලේ ප්‍රධානියාවුනු, ඒ වගේම 1940ස් ගනණ්වල ලංකා සම සමාජ පක්ෂයේ මීගමුවේ නායකයාවුනු, පසුව පිලිප් ගුනවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ සභාපතිවරයාවුනු, ව.ස. ප්‍රනාන්දු හෙවත් වර්ණකුලසූරිය සන්තියාගෝ ගුරුන්වහන්සේයි කියලා අපි හොයාගෙන කියලා තියෙනවා කලින්ම.

මීගමුව ඇතුළු බස්නාහිර මුහුදට ඉස්සර කියලා තියෙන්නේ අරාබි මුහුද කියලයි. ඇරැත් මීගමුවේ ඉදන් කිලෝමීටර් 200 විතර එහායින් තියෙන මාගම හිටිය විහාර මහාදේවිලා මීවද හොයාගෙන මෙච්චර දුරක් එනවද ලංකාව වගේ මීවද බුහුලව සොයාගත හැකි රටක. 

ඒහෙත් කරුනු විකෘති ලෙස අර්ථ දක්වමින් හෝ ව.ස. ප්‍රනාන්දු ගුරුන්වහන්සේ උත්සාහ කලේ මීගමුවත් එවකට මහාවංසය මුල්කරගනිමින් නැගී එන ජාතික ඉතිහාසයට සම්බන්ද කිරීමටයි. ඔහු එහිලා අතිසාර්ථකවුනු බව අදත් මීගමුවේ නම සමග විහාර මහාදේවි, දුටුගැමුණු ආදීන් සම්බන්ද කිරීමෙන් පෙනීයනවා. 

ව.ස. ප්‍රනාන්දු ගුරුන්වහන්සේගේ එකී උත්සාහය ගැන ප්‍රවීන පුවත්පත් කතුවරයෙකුවූ එඩ්මන් කාරියකරවන මහතාත් සදහන් කරලා තියෙනවා.

ඔහොම ඉතිහාස කතා එමටයි. 

ඔය අපි මුලින් කතාකල බ්‍රිතාන්‍යයේ තියෙන Whestone (වෙට්ස්ටෝන්) ගමේ කතාවත් ඒ වගේමයි. ඒත් දැන් තහවුරු කරගෙන තියෙනවා ඔය තියෙන කඩුගෑවයි කියන ගලත් එච්චර පරණ නෑ. ඒ වගේම හොයාගෙන තියෙනවා ඔය ගමේ මුල් නම ලෙස සදහන්වී ඇත්තේ 'Le Weston' (1398), පසුව එය 'Wheston' (1417), 'Whestonestret' (1440) ඉන් අනතුරුව දැන් හදුන්වන Whestone (වෙට්ස්ටෝන්) නම පන නැගුන බව. ඒ අනුව එය 'කඩුගෑ ගල' යන අර්ථයෙන් බිදී ආවක් නොවන බව පැහැදිලියි. ඒ වගේම දැන් සොයාගෙන් තියෙන පැරණි වාර්තා (සුද්දෝ ලේඛනගත වාර්තා පවත්වාගෙන යන්න රුසියෝ) අනුව මේ ගමේ මුල් පදිංචිකරුවන් වෙලා තියෙන්නෙත් කුරුස යුද්ධ සමයේ ජෙරසලමේ කදවුරු බැදන් හිටපු උපස්ථායකයෝ (Hospitallers) කියන භටකණ්ඩායම් සහ ඔවුන්ගේ පවුල් කියලත් හොයාගෙන තිබෙනවා. බොහෝදුරට ඔවුන් මධ්‍යධරණීය කලාපයෙන් පැමිණි අය වියහැකියි කියලයි විශ්වාස කරන්නේ. මොකද කුරුස යුද්දයට සම්බන්දවුණු උපස්ථායකයෝ (Hospitallers) කියන භටකණ්ඩායම් ඉතාලි, ග්‍රීක සහ මෝල්ටා සම්භවයක් ඇති පිරිසක් ලෙස තමයි පොදුවේ පිළිගන්නේ. 

මෙන්න මෙහෙම තමයි ඔය මිනිස්සු මරාගෙන මැරෙන්න, ලියලා, විවිධ අර්ථ දැක්වීම් ඉදිරිපත්කරලා පිළිගන්වලා තියෙන විවිධ ඉතිහාස කතාවල් ගොඩනැගිලා තියෙන්නේ. ලංකාවෙත් තත්වය එක්කයි, බ්‍රිතාන්‍යයේ තත්වයත් ඒකයි. 

හුගාක්වෙලාවට ඔය ඉතිහාසය ලියන, කියන එක ඔස්සේ වෙලා තියෙන්නේ දන්න කරුනුවලින් නොදන්න කරුණු ආවරණය කරගන්න හදන එකයි, නැතිනම් දන්න කරුනු විවිධ විදිහට අර්ථ කථනය කිරීමයි. ඒ නිසා තමයි E.H.Carr (1961) ඔහුගේ 'What is History' කියන පොතේ කියන්නේ ''ඉතිහාස කරුණුත් හරියට මාළු කාරයාගේ මාළු ලෑල්ලේ තියෙන මාළු වගේ, අරන් ගිහින් විවිධ විදිහට හදලා විවිධ විදිහට පිලිගන්වන්න පුලුවන්'' කියලා ("The facts...are like fish on the fishmonger's slab. The historian collects them, takes them home and cooks and serves them"). ඔහු එයින් පෙන්වා දෙන්නේ ඉතිහාසය ගොඩනගන්නේම, ලියමින්, කියමින් ඉදිරිපත් කරන්නේම, කිසියම්වූ සමාජ සංදර්භයකට, හෝ කිසියම්වු අරමුණක් හෝ වුවමනාවක් වෙනුවෙන් කියන එකයි. 

අපි තේරුම් ගන්න උත්සහ කරන්න ඕනේ එවැනි ඉතිහාස කතා ඔස්සේ තහවුරු කරන්න, මතුකරන්න බලාපොරුත්තුවෙන වෙන කාරණය කුමක්ද? එහි අරමුණ කුමක්ද? කියන කාරණයයි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
18/06/2021

Monday 14 June 2021

ගජමෑන්ට දැන් 50 පැනලා, එතකොට කැමිලස් පෙරේරාට ?

අප කුඩා වියේදී මීගමුවේන් බිහිවූ විශිෂ්ඨයින් ලෙස රටම සැලකු කිහිපදෙනෙකුගේම අසුර ලැබීමට හෝ ඔවුන්ගෙන් ගුරුහරුකම් ලැබීමට හෝ ඔවුන්ව සියසින් දැකගැනීමට හෝ අප වාසනාවන්තයන්වුවෙමු. ඔවුන් අතරින් ලංකාවේ මුල්ම කාදිනල්වරයාවූ ගරු තෝමස් කුරේ කාදිනල් තුමාද, හිටපු අගරදගුරු නික්ලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුතුමාද, ලංකා සමසමාජයට බැදුන මුල්ම කතෝලිකයා ලෙස දැක්වෙන, ශ්‍රී ලංකාවේ ප්‍රථම මහමැතිවරණයවූ 1947 මැතිවරණයට ලංකා සමසමාජ පක්ෂයෙන් මීගමුව ආසනයට තරගකර සුළු ජන්ද සංඛ්‍යාවකින් පරාජයවූ ව.ස. ප්‍රනාන්දු හෙවත් සන්තියාගෝ ප්‍රනාන්දු ගුරුතුමාද, ඔහුගේ පුත් ප්‍රකට ලේඛකයෙක්වූ හිටපු මහාධිකරණ විනිසුරු ලෙස්ලි ප්‍රනාන්දු මහතාද, සිංහල සිනමාවේ අරම්භක පාඨක යෝදයින්වූ B.A.W ජයමාන්න, එඩී ජයමාන්න, ඇන්ඩෘෘ ජනමාන්න, හියුගෝ ප්‍රනාන්දු, රුක්මණී දේවි (ඇයගේ මරනයට රැස්වු මහජන කදද), විජිත මල්ලිකා, ඇන්ටන් ගෙගරි, කැරිස් ආදි සිනමා තරු, එඩ්මන් කාර්යකරවන, හෙක්ටර් වෙල්ගම්පොල, සුනිල් මිහිඳුකුල ආදී සිංහල මෙන්ම ඉංග්‍රීසි පුවත්පත් කතෘවරුන්ද, මීගමුවේ මයිකල් ඇන්ජලෝ ලෙස හැදින්වූ මහා චිත්‍ර ශිල්පී N.S.ගොඩමාන, නෙවිල් ප්‍රනාන්දු, ශෙල්ටන් මුතුනමගේ, විල්බට් ඇන්තනි අදී ගායන ශිල්පීන් ආදී මෙකී නොකී වීරයන් ගනනාවක්ම එකල මීගමුවේ විය. ඔවුන් අතරින් අදටත් ඉතිරිවී සිටින අද්විතීයකු වන්නේ ප්‍රවීණ කාටුන් ශිල්පී කැමිලස් පෙරේරාය මහතාය. වඩාත් හොදින් දක්වතොත් ගජ්මෑන්ව හදුන්වාදුන් කැමිලස් පෙරේරාය.

මා හිතන්නේ එක්තරා ආකාරයට 'ගජමෑන්' යනු මීගමුවේ ඇති අපුර්ව මිශ්‍ර අනන්‍යතාවයන්ගේ නියෝජනයේ තවත් එක නිර්මාණයක් බවය. උදාහරණයක් ලෙස ගජ+මෑන් (man) නමම ගැන සිතන්න. එයත් අපේ පැත්තේ තිබෙන නමක් වැනිය. මිශ්‍ර නොවූ, සංකලනය නොවූ යමක් මීගමුවේන් සොයාගත නොහැක. හරියට අර ජය+රාජ්+ප්‍රනාන්දු+පුල්ලේ, නිමල් ලාංසා වැනි නම්ද එසේය. එහි සිංහල, දෙමළ, ඉංග්‍රීසි හෝ වෙනත් වර්ගවල නියෝජනයන්ගේ සහමිශ්‍රණය හොදින් නිරූපණයවේ. කැමිලස්ගේ ගජමෑන්ද එවැන්නකි.

මාතරට 'ගජමන් නෝනා' නම් මීගමුවට 'ගජමෑන්' ලෙස හැදින්වීමේ වරදක් නැත. විනෝදාත්මකවුවද ඇතා/අලියා නැතිනම් හොදම (ගජ+මිතුරා) ලෙස අර්ථ දක්වන 'ගජ' යන උපසර්ගයට කැමිලස්ගේ 'ගජමෑන්' තුලින් නව අර්ථ සංඥායක්ද ලැබී තිබේ. උපහාසාත්ම මාධ්‍යක් ලෙස  කාටුන් කලාව යොදාගත හැක්කේ කෙසේද යන්න කැමිලස් පෙරේරා ශූරීන්ගේ නිර්මාණ ඔස්සේ හොදින් ප්‍රගුණ කල හැක්කකි. 

අනික් අතට කැමිලස්ගේ 'ගජමෑන්' නිසා ලංකාවේ කාටුන් කලාව ඔස්සේ යම් යම් සංකේත රාශියක්ද ශ්‍රී ලංකා සමාජය තුල තහවුරුවී තිබේ. ඒ අතරින් දේශපාලකයා යනු "මගෝඩිස්තුමා" ලෙස මුල්බැස ගැනිම දැක්විය හැක. මගෝඩිස්තුමා 'බඩ මහත', 'ලොකු කටක්' සහිත, 'ජාතික ඇදුම' ඇදගත්තෙක් ලෙස කැමිලස් පෙරේරා 'ගජමෑන්' ඔස්සේ ජනිතකල   සංකේතාත්මක හැගවුම පසු කලක බොහෝ දේශපාලකයින් ඇදීමේදී ලංකාවේ කාටුන් ශිල්පීන් යොදාගත් බව දාසගේ කාටුන් ඔස්සේද නිගමනය කල හැක. එමෙන්ම සාමන්‍ය ජනයාද 'ගජමෑන්' මෙන් 'පන්මල්ලක්' අතින් ගත් 'කෙසග සිරුරක්' ඇති පුද්ගලයෙක් ලෙස ඇදීමද තවත් එවැනිම මුල්බැස ගැනීමකි. 'හැන්දි මිට' අතින් ගත් 'චීත්තයක් සහ හැට්ටයක්' ඇදන් සිටිනා හාමිනේ එක්තරා ආකාරයකට ගජමෑන්ට ගැලපෙන හුදී ජනයාගේ භාර්යාවක් ලෙස ඇද දක්වා තිබුණි. මෝස්තරකාර 'පොෂ්' කාන්තාවන් පෙන්වීම සදහා කොන්ඩ මෝස්තර ආදී විවිධ ගති ලක්ෂණ වලින් යුක්තව එවැනි කාන්තාවන් ඇදීමද කැමිලස්ගේ ගජමෑන් දක්වා තිබුනේ විශිෂ්ඨ කලා නිර්මාණාත්මක හැඩතලයන්ය. උපහාසාත්මක 'ගජමෑන්' කිසිම දිනක අපහාසාත්මක හෝ දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයන් වෙනුවෙන් යොදානොගෙන සිය නිර්මාණය දිගටම එකසේ පවත්වාගෙන යෑමට කටයුතු කිරීම කැමිලස් පෙරේරා මහතාගේ විශිෂ්ඨ ලක්ෂණය ලෙස සැලකිය හැක.

කැමිලස් පෙරේරා මහත්මයා ගජමෑන්ව හදුන්වලාදී දැන් 55ක් ගතවී ඇත. කැමිලස් පෙරේරා මහතාටද දැන් වසර 81කි. ඔහුගේ ‘ගජමෑන්’ට අවුරුදු පනහක් ගතවීම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශණයක් 2016 වසරේදී සංවිධානය කර තිබුණි. එහිලා නිර්මාණය කල විශාල ප්‍රමාණයේ කාටුන් නිර්මාණවලට ඉන් අනතුරුව සිදුවුයේ කුමක්දැයි නොදනිමි. එහෙත් එවැනි නිර්මාණ ඔහුගේ නිවසේ හෝ වෙනත් ස්ථානයක වසරේ සෑම දිනකම කිසියම් මුදලක් අයකර ප්‍රදර්ශනයට තැබිය හැකි නම් කැමිලස් පෙරේරා මහතාගේ නිර්මාණාත්මක භාවය පිලිබදව තවදුරටත් තිවුර කතිකාවක් නිර්මාණය කරනවා පමණක් නොව මිගමුව වැනි සංචාරකයින් නිතර ඇදෙන නගරයක නැරබීමට පිවිසිය හැකි තවත් ප්‍රදර්ශනාගාරයක් බිහිකරනු ඇත. 

කැමිලස් පෙරේරා මහතාගේ ජිවන චරිතය පිළිබද තොරතුරු පහතින් පලවෙන 2019 ජුනි 11 දින දිනමිණ පුවත්පතේ දර්ශ කපුගේ සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාව ඔස්සේ කියවිය හැක. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
14/06/2021 


‘ගජමෑන්’ ට දැන් අවුරුදු පනහක්
=====================
සිංහල චිත්‍ර කතා කලාවට කොතෙකුත් හාස්‍ය උපදවන කාටුන් චිත්‍ර ශිල්පීන් බිහිවූවත්, ඔහුට එයින් කිසිදු අභියෝගයක් නොවීය. එතරම්ම ඔහු කාටුන් චරිත හරහා පාඨක හදවත් දිනාගත් පුද්ගලයකු බවට පත් වූ වග නොරහසකි. සිරිබිරිස්, දොං සේතං, ලපයා, ටික්කා පමණක් නොව දේශපාලන හාස්‍ය චරිතයක් ලෙස කාටුන් කලාවට මගෝඩිස් තුමාවද එක් කළේ ඔහුය. ‘ගජමෑන්‘ කිව් සැණින් ලාංකීය කාටුන් චිත්‍ර කලාව තුළ ඔහුව නොහඳුනන කෙනකු නොමැති තරම්ය. ඒ අන් කවරකුවත් නොව කැමිලස් පෙර්රා යි. මේ ඒ අපූරු පුද්ගලයා සමග කළ සංවාදයේ දිගහැරුමයි.

l ඔබ චිත්‍ර අඳින්න පටන් ගත්තේ මොන කාලයේදී ද?

පොඩි කාලෙ සිටම මම චිත්‍ර අඳිනවා.මගේ ගම මීගමුව. මා පදිංචි වෙලා සිටි ගෙදරට වැල්ල ඉතා කිට්ටුයි. ඉතිං පොඩි කාලෙ වැල්ලට ගිහින් ඇඟිල්ලෙන්,කෝටු කෑල්ලකින් හරි වැල්ලේ චිත්‍ර අඳිනවා. එහෙම තමයි පටන් ගත්තේ.

පසුව මා පාසල් ගිය විදුහල්වල ගුරුවරු මගේ හැකියාව දැකලා මාව දිරිමත් කළා. දවසක් විදහලේ විදුහල්පතිතුමාව චිත්‍රයකට ඇඳලා මාව එතුමා ගේ කන්තොරුවටත් කැඳෙව්වා. මම හිතුවේ දඬුවම් කරාවි කියලයි. නමුත් එතුමා මාව දිරිමත් කළා ‘පුතා ඔයා දිගටම අඳින්න‘ කියලා.

l ඔබ ශිල්ප හැදෑරුවේ මොන පාසලෙන්ද ?

මුල්ම කාලේ මීගමුව සිංහල පාසලකට ගියා. ඒ වැල්ල වීදියේ රෝමානු කතෝලික මිශ්‍ර පාසලකට. එහි දෙවැනි වසරෙන් පස්සේ තුන් වැනි වසරට මීගමුව මාරිස්ටෙලා විදුහලට ගියා. එතන වසරක් ඉඳලා ශාන්ත මරියා විදුහලට ආවා. එහි සාමාන්‍ය පෙළ වෙනකල් අධ්‍යාපනය හැදෑරුවා.එස් එස් සී විභාගයෙන් පස්සේ මම හේවුඩ් චිත්‍රකලායතනයට ඉල්ලුම් කළා. එහි පරීක්ෂණයට තිබුණේ නිරුවත් රුවක් බලාගෙන අඳින්නයි. මම ඒක ඇඳලා ඉහළින්ම තේරුණා. මේ ගැන මගේ චිත්‍ර ගුරුතුමා කැමති වුණේ නැහැ. නිරුවත් රූප අඳින එක නරක වැඩක් කියලා එතුමා මාව අධෛර්ය කළා. ඒ ගමන එයින් වැළකුණා. එහෙම වුණේ මගේ වාසනාවකට කියලා මට අද හිතෙනවා. එහෙම වුණානම් අද මම චිත්‍ර ශිල්පියෙකු මිසක් කාටුන් ශිල්පියෙක් නොවෙයි.

l කාටුන් චිත්‍ර කලාවට යොමු වුණේ කොහොමද?

පාසල් යන කාලේ සිටම කාටුන් චිත්‍රවලට මම පුදුම විදිහට කැමැත්තක් දැක්වූවා. පාසල් අධ්‍යාපනයෙන් පසු මට රජයේ රැකියාවක් ලැබුණා. ඒ සිතියම් අඳින්නෙක් ලෙසයි. මට කොච්චර චිත්‍ර අඳින්න පුලුවන් වුණත්, එහි පළමු සම්මුඛ පරීක්ෂණයට ගිය වෙලේ ඉරක්වත් ඇඳගන්න බැරි වුණා බයට. නමුත් මා ඊට යොමු කළ මගේ මිත්‍ර මහත්මයෙක් මාව දිරිමත් කරලා, බය නැති කරලා රැකියාව ලබා ගන්න උදව් කළා.පුත්තලම් දිස්ත්‍රික්කයෙන්ම 2500 ගෙන් මාව තමයි තොරා ගත්තේ. පස්සේ ඉතිං වැඩ කරගෙන යනකොට තිබුණු බය හරි ගියා. මං රැකියාව කළත් හිත තිබුණේ චිත්‍ර අඳින්නමයි. රැකියාවට කෝච්චියේ යන විටත් කාටුන් කලාවට අදාල පොත් කියෙව්වා.

1962 වසරෙදි විතර ‘සරසවිය‘ පත්තරේ මගේ නිර්මාණයක් පළවුනා. ඒ අන්දරේ ගේ කවියක් ඇසුරින් ඇඳපු කාටුන් එකක්. පසුව ලේක්හවුස් එකේ පත්තරවලට දේශපාලන චරිත වගේ ඒවා කාටුන් ලෙස ඇඳලා දුන්නත් ඒවා හැම හැම එකක්ම පළ වුණේ නැහැ. ඉඳ හිට ජනතා පුවත්පතේ කාටුන් එකක් දෙකක් පළවුණා.එහි වැඩකරපු අයෙක් මට කිව්වා වෙන පත්තරේකට ඇඳලා නමක් හදාගෙන එන්න කියලා. පසුව මට ‘දවස‘ පත්තරේට‘තෙපානිස්‘ කියලා කාටුන් එකක් අඳින්න අවස්ථාවක් ලැබුණා. ඒ නම් දැම්මෙත් ඩේවිඩ් කරැණාරත්න කියන මහත්මයා. එහි අඳිනකොට මම දීපු කාටුන් ‘සිළුමිණ‘ පත්තරේ පළවෙන්න පටන් ගත්තා. පත්තර දෙකක අඳින නිසා මට දොස් අහන්නත් වුණා.

l ඔබ කාටුන් ශිල්පියකු ලෙස වඩාත් ජනප්‍රිය වුණේ ඔය කාලෙදිද?

මට කාටුන් අඳින්න තියෙන වුවමනාව නිසා කොළඹ දිසාපති කාර්යාලයට මාරුවීමක් පවා හදාගෙන ආවා. ලේක්හවුස් එකේ හිටිය කොලට් කියන කාටුන් ශිල්පියා වගේ ජනප්‍රිය වෙන්නයි මට වුවමණාව තිබුණේ. මම ජනතා පත්තරේට ඇඳපු ‘දොං සේතං‘ ඒ කාලේ හරි ජනප්‍රිය වුණා.ඒවා ඩේලි මිරර් පුවත්පතෙත් පළ වුණා.සිළුමිණ පත්රේට ‘සිරිබිරිස්‘ නිර්මාණය කළේ 1967 දි පමණ. එයත් හරි ජනප්‍රිය වුණා. සරසවිය පුවත්පතටත් මම කාටුන් එකක් ඇන්දා ‘දැක්කොත් පද්මාවතී‘ කියලා. ඒ කාලෙ දිනපතා ඔබ්සවර් පත්තරයක් පළ වුණා. එයටත් මම සාලිය අශෝකමාලා චිත්‍ර කතාවක් ලෙස ඇන්දා.

l ඔබේ නිර්මාණ අතරින් වඩාත්ම ජනප්‍රිය වුණ චරිතය ‘ගජමෑන්‘ ?

හැම කාටුන් එකක් ම ජනප්‍රිය වුණත් ගජමෑන් ට මින්ස්සු පුදුම විදිහට ආදරේ කළා. 1972 දී සතුට පත්තරේට තමයි මම ගජමෑන් මුලින්ම ඇන්දේ. ඒ කාලේ දිසාපති කාර්යාලයේ වැඩ කරපු මගේ මිත්‍ර මහත්මයෙක් තමයි ගජමෑන් තියන නම යෝජනා කළේ. නමුත් මට මුලින්ම හිතුනේ ඊට රජමෑන් කියලා යොදන්නයි. නමුත් එයින් මැති ඇමතීන්ට යම් පහරක් වදියි කියා සිතුණු නිසා ඒ නම් යෙදුවේ නෑ.



දේශපාලන චරිතයක් ලෙස මගෝඩිස් තුමා වගේ චරිතත් ගජමෑන් හරහා බිහිවුණා. මගේ හැම කාටුන් එකකම ප්‍රධාන කාටුන් චරිතයට අමතරව අතුරු චරිතවලටත් පාඨකයන් ප්‍රිය කළා. ඒක විශේෂයක්.

l පාඨක ආකර්ෂණයක් ඇති කරන චරිත ඔබ බිහිකරන්න වස්තු බීජ සොයාගත්තේ කොහොමද?

සමාජයෙන්ම තමයි. මම බොහෝවිට එදිනෙදා ජීවිතය, මිනිසුන්ගේ අදහස් උදහස් ගැන විශේෂයෙන් සැලකිළිමත් වුණා. ඒ නිසා මට නිර්මාණකරනයේදී වස්තු බීජ සොයාගන්න අපහසු වුණේ නැහැ.

l දිගින් දිගටම කාටුන් අඳින එක රැකියාවට බාධාවක් වුණේ නැතිද ?

රජයේ රැකියාවක් කළාට ඒ කාලෙ එහෙම නීති රීති තිබුණේ නැහැ . නමුත් මම වඩාත් පත්තරවල කාටුන් අඳින්න නැඹුරු වෙලා හිටියේ. ඒ කාලේ කැමති අයට රැකියාවෙන් අස්වෙන්න ඉඩ දුන්නා. මමත් ඉතිං වයස 29 දි විතර ඉන් ඉවත් වෙලා ජාතික පුවත්පත්වලට නිදහස් කාටුන් චිත්‍ර ශිල්පියෙකු ලෙස දිගටම කටයුතු කළා.

l නමුත් ඔබ පසු කලෙක චිත්‍ර කතා පුවත්පත් වල කාටුන් නිර්මාණය කරන්නට යොමු වෙනවා?

මට ලේක් හවුසියේ කාටුන් අඳින එක නතර කරන්න වුණා ඒ කාලේ. ඒ යම් සිදුවීමක් නිසා. ඒ කාලෙදිම දවස පත්තරේටත් සීල් තිබ්බා. ටික කාලයක් ‘අද‘ කියන දිනපතා පත්තරේටත් මම කාටුන් ඇන්දා. ඒ ප්‍රවීණ මාධ්‍යවේදී චින්තන ජයසේන මහතාගේ ආරාධනයෙන්.චිත්‍ර කතාවලටම වෙන් වුණු පුවත්පතක් ලෙස ‘සිත්තර‘ පටන් ගත්තේ ඒ කාලෙදිමයි. මම ඊට සම්බන්ධ වෙලා එහි ගජමෑන් ඇන්දා. දීර්ඝ කාලයක් එහි කාටුන් ඇඳලා එයිනුත් මම ඉවත් වුණේ මගේම ගමනක් යන්නයි.

ඒ කාලේ සිටි ප්‍රවීණ වගේම ජනප්‍රිය චිත්‍ර ශිල්පීන් එකතුකරගෙන මම 1986 දි ‘සත්සිරි‘ පත්තරේ පටන් ගත්තා. ඒ පත්තරේ පාඨකයන් සිතුවටත් වඩා වැළඳ ගත්තා. එයින් මගේ ජීවිතයත් වෙනස් වුණා. මගේම ආයතනයක් ලෙස ඉන් පසු එයින් තව තවත් ප්‍රකාශන නිකුත් වුණා. ‘රසික‘ නමින් තවත් පුවත්පතක් පටන් ගත්තා. එයත් ජනප්‍රිය වුණා. තවත් ළමා ප්‍රකාශන රාශියක් නිකුත් කළා.

l ඔබ දේශපාලන කාටුන් ශිල්පියෙකු ලෙස කටයුතු කිරීම ගැන කතා කළොත්?

මුල් කාලයේ පටන් මා ජාතික පුවත්පත්වල දේශපාලන කාටුන් ඇන්දා. එදිනෙදා සමාජයේ තිබෙන අඩුපාඩු, පුද්ගලයන්ගේ අඩුපාඩු, අපහාසයක් නැතිව උපහාසයෙන් මා පෙන්වා දුන්නා. කවුරුත් ඒවාට ඇලුම් කළා. හොඳ නිර්මාණශිල්පියෙකුට වගකීමක් තිබෙණවා සමාජයේ අඩු ලුහුඩුකම් තම නිර්මාණ හරහා පෙන්වා දෙන්න. මා කළේ ඒ කාර්යයයි.

l කාටුන් චිත්‍ර ශිල්පියෙකු වීම ගැන අද ඔබට මොකද හිතෙන්නේ?

හරිම සතුටුයි. ‘ගජමෑන්‘ ට දැන් වසර පනහක් පමණ වෙනවා. ඒ වෙනුවෙන් ප්‍රදර්ශණයක් පවා පහුගිය කාලෙ පැවැත්වුවා. මිනිස්සු හාස්‍යට නැමතියි. නමුත් ඒ අය හිනස්සවන එක ලෙහෙසි නැහැ. මේ කාලය පුරාවට මගේ අතින් නිර්මාණය වුණු, ඇඳපු කාටුන් චරිත මෙතෙකැයි කියා කියන්න බැහැ. සාමාන්‍ය මනුස්සයාගේ පටන් මැති ඇමතිවරු, ජනපතිවරු, අගමැතිවරු වගේ බොහෝ දෙනා මගේ කාටුන් වලින් වින්දනයක් ලැබුවා. මගේ ‘ගජමෑන්‘ චරිතය ඇසුරින් චිත්‍රපටයත් පවා නිපදවලා තිබෙණවා. මේ හැමදේම මට ලැබුණේ කාටුන් චිත්‍ර ශිල්පියෙකු වූ නිසයි. කාටුන් චිත්‍ර ශිල්පියෙකු වීම මා ලැබූ භාග්‍යයක් කොට සලකනවා.

‘ගජමෑන්’ ට දැන් අවුරුදු පනහක් 
දර්ශ කපුගේ
11/06/2016
දිනමිණ පුවත්පත 

Tuesday 8 June 2021

මිහිකත සමුළුව ප්‍රකාශයට පත්කල ලෝක සාගර දිනය මුහුදට ගසාගෙනයෑම

ජුනි 08 ලෝක සාගර දිනය ලෙස නම් කලේ 1992 බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ (Rio de Janeiro) නගරයේ පැවැති මිහිකත (The Earth Summit) සමුළුවේදීය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1992දී සංවිධානය කල එම සමුළුවට එම යුගයේදී ලෝකයේ සුවිශේෂී අවධානයක් යොමුවිය. එයට එක් හේතුවක්වුයේ එවකට පැවැති සෝවියට් දේශය හෙවත් සෝවියට් රුසියාව බිදවැටී නැගෙනහිර සහ බටහිර ලෙස ලෝකය බෙදාවෙන්කල සීත යුද්ධය (The Cold War) අවසන්වී, ඇමරිකාව, බ්‍රිතාන්‍යය ආදී බටහිර රටවලට හිතවත් කදවුර හෙවත් බටහිර කදවුරේ රටවල් සහ රුසියාව, චීනය සහ නැගෙනහිර යුරෝපයේ රටවලට හිතවත් නැගෙනහිර කදවුරේ රටවල් ලෙස ලෝකය බෙදාවෙන්කල ධ්‍රැවීය දේශපාලන බේදීම් (Bipolarity) අභිබවා සමස්ථ ලෝකයම එකම මිනිස්සු මිනිස් ප්‍රජාවක් ලෙස පොදුවේ මුහුණ දෙන ප්‍රශ්නවලට පොදු පිලිතුරු සෙවීමට සමස්ථ ලෝක ජනයා ගත් ගෝලීය උත්සාහයක් (global approach) වශයෙන් මිහිකත සමුලුව සැලකීමයි. 

එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමස්ථ ලෝක ප්‍රජාවම 'පරිසරය' (environment) නම් පොදු අරමුණක් වෙනුවෙන් එක් පෙලට එකට පෙලගැස්වීමට කටයුතු කලා පමණක් නොව 'පරිසර දූෂණය' යනු එක් රටකට, එක් භූමියකට හෝ එක් කලාපයකට සීමා නොවන, එක් එක් රටවල ජාතික දේශසීමා ඉක්මවා ගිය පෘතුවිවාසී සියල්ලන්ටම පොදුවේ මුහුණපෑමට සිදුවෙන විනාශයක් සහ පොදුවේ පිලිතුරු සෙවිය යුතු අතීශය තීරණාත්මක ප්‍රශ්නයක් බව සමස්ත ලෝක ප්‍රජාවටම ඒත්තු ගැන්වීමට සමත්විය. 

එම නිසාම 1992දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සංවිධානය කල 'මිහිකත සමුළුව' ජාත්‍යන්තර සබදාතාවන් 'අන්තර්ජාතිකවාදී' අස්ථානයක සිට 'ගෝලීයවාදී' අස්ථානයක් (internationalism to globalisation) දක්වා ප්‍රවර්ධනය කල බව Daniel Jonathan Sargent (2008), Jeffrey Haynes (2013) ආදීන්ගේ ශාස්ත්‍රීය රචනාවල සදහන් කර තිබේ. 

විශේෂයෙන්ම එම සමුළුවේ මුලික එකතාවයක්වූ දින දින උග්‍රවෙමින් ඇති පරිසර දූෂණය වැනි කරුණු තවදුරටත් එක්සත් ජාතීන්ගේ සමාජික රටවලට තනි තනිව හෝ සිය දේශසීමා තුල පමණක් විසදාගත නොහැකි බව පිලිගෙන එහිලා සමස්ථ ලෝක ප්‍රජාවම එක්ව කටයුතු කලයුතුයැයි යන ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය සීමාවන් ඉක්මවා ගිය ලෝක ප්‍රජාවගේම මැදිහත්වීමකගේ අවශ්‍යතාවය හෙවත් ගෝලීය ප්‍රවේශයක් (global approach) පිලිබදව අවධානය යොමු කිරීම ඔවුන්ගේ එකී අර්ථ දැක්වීමට හේතුවන්නට විය. 

මිහිකත සමුළුව අවධානය යොමුකල කරුණු අතරින්, 1. විෂ රසායනික සහ න්‍යෂ්ටික ප්‍රතිකාරක අඩංගු නිෂ්පාදන සීමා කිරීම, බැහැර කිරීම හෝ ක්‍රමයෙන් නවතා දැමීම, 2. පොසීල් ඉන්ධන වෙනුවට විකල්ප ශක්ති ප්‍රභවයන් ගැන අවධානය යොමුකිරීම, 3. විෂ වායූන් සහ වෙනත් අපද්‍රව්‍ය පිටකරන පොදු ප්‍රවාහනය සහ ගමනාගමන මාධ්‍යය වෙනුවට පරිසර හිතකාමී පොදු ප්‍රවාහන මාධ්‍යයන් සහ නියාමනයන් ගැන එක් එක් රටවල අවධානය යොමුකිරීම, 4. ජල භාවිතය ඉහල යෑම, ජල මූලාශ්‍රයන් හිදීයෑම, සාගරය සහ ජලාශයන්ට අපද්‍රව්‍ය එක්වීම නිසා සිදුව ඇති ජල දූෂණය ආදී කරුණු මූලික තැනක් ගනු ලැබීය. 

එම සමුළුව 'ජුනි 8 ලෝක සාගර දිනය' ලෙස ප්‍රකාශයට පත්කරන්නේද ඉහත කී ජල දූෂණ ගැන ඔවුන් යොමුකල අවධානය තුලය. එක් අතකින් ජලය ගැන අවධානය යොමුකිරීමේදී සාගර ජලය ගැන අවධානය යොමුනොකරම බැරිය. මන්දයත් පෘතුවියේ ඇති ජලයෙන් සීයට 90කට වඩා ඇත්තේ සාගරයේය. එමෙන්ම පෘතුවියෙන් සීයට 70ක් පිරී ඇත්තේ සාගර ජලයෙනි. එමෙන්ම ලෝකයේ ජෛව විවිධත්වයෙන් සීයට 80ක්ම වාසය කරන්නේ සාගරයේය. පෘතුවියේ වායුගෝලීය සැකැස්ම සදහා සාගර දක්වන දායකත්වය අතිමහත්ය. පෘතුවියේ ඔක්සිජන් ප්‍රමාණයෙන් සීයට 50ක්ම සම්පාදන කරන්නේ සාගරය. එමෙන්ම බිලියන සංඛ්‍යාත පෘතුවිවාසීන්ගේ ආහාර සම්පාදනය සදහා සාගර දක්වන දායකත්වය කිසිසේත්ම ගණනය කල නොහැකි තරම් ය. 2030 වන විට ලෝක ජනයාගේ රැකියා නියුක්තියෙන් සීයට 40කට ආසන්න ප්‍රමාණයක රැකියාවල නිරතවන්නේ සාගරය ආශ්‍රිතව බවද දැක්වේ. 

ඇත්තවශයෙන්ම, ලෝක සාගර දිනයක් 1992 දී මිහිකත සමුලුව මගින් හදුන්වා දුන්නේ සාගරයේ ඇති මෙකී වැදගත්කම පිලිබදව මහජනයා දැනුවත් කිරීමටය. මුල්ම සාගර දිනය සැමරීම සදහා ලංකාවේ පාසැල් අතර විවිධ තරග සංවිධානය කර තිබු අතර එසේ සංවිධානය කර තිබූ සමස්ථ ලංකා කථික තරගයකින් ජයග්‍රහණය කිරීමට පැසැල් ශිෂ්‍යයෙකු ලෙස මට හැකිවිය. තවද 1993 මීගමුවේ අධ්‍යපන අධ්‍යක්ෂක කාර්‍යාලය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව සංවිධානය කල මීගමුවේ පාසැල් සිසුන් සදහාවූ ලෝක සාගර දින සම්මන්ත්‍රණය සංවිධානය කිරීමට දායකවීමටද පාසැලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස මම මහත් ඕනෑ කමකින් කටයුතු කලේය. ඉන් අනතුරුව ලෝක සාගර දිනය ගැන උනන්දුව ක්‍රමයෙන් ඉහල යනවා වෙනුවට දැකගත හැකිවූයේ ක්‍රමයෙන් පහල යෑමකි. 1990 දශකයේ අවසාන භාගයේදී මීගමුවේ ධීවර සංවිධානයක් සංවිධානය කල ලෝක සාගර දිනය පිලිබදවවූ සම්මන්ත්‍රණයකට සහ උද්ඝෝෂණයකටද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ලෙස මම සහභාගීවූයෙමි. එහිදී පෙනීගිය කරුණක් වුයේ ලෝක සාගර දිනයේදී සාගරය පිලිබදව අවධානය යොමුකරනවා වෙනුවට ඔවුන් ධීවරයා ගැන අවධානය යොමුකරන දිනයක් බවට ලෝක සාගර දිනය පරිවර්තනය කරගෙන ඇති බවයි. සාගරය ගැන අවධානය යොමුකිරීමේදී ධීවරයා ගැන අමතක කල නොහැකි බව ඇත්තය. එහෙත් ධීවරයා රැකෙනුයේ සාගරය රැකුමෙනි. 

අප දැන් ජීවත්වන්නේ සාගරය රැකගැනීමේ වැදගත් කම සහ එහි අවශ්‍යතාවය වඩ වඩාත් තීරණාත්මකව පැන නැග ඇති තත්වයකය. ලෝක මත්ස්‍ය නිෂ්පාදනයෙන් සීයට 40 පමණ දැන් අඩුව ගොස් ඇතිබව දැක්වේ. සාගරයේ කොරල්පරවලින් සීයට 50 පමන වදවී ගොස් ඇත. සාගර ජලයේ අපද්‍රව්‍ය ප්‍රමාණය පෙරට වඩා බොහෝ ගුණයකින් ඉහල ගොස් තිබේ. දැවැන්ත යාන්ත්‍රික දැල් මගින් සිදුකරන Bottom trawling වැනි මහා පරිමාණයෙන් සිදුකරන ධීවර කටයුතු නිසා මුහුදු පතුලේ සිට කුඩාම මාලු පැටියා දක්වාවූ සමස්ථ සාගරය අනුකම්පා විරහිත සූරාකෑමට ලක්කර තිබේ. එහිලා දායකවන මහා පරිමාණ සමාගම් සම්බන්දයෙන් අන්තර්ජාතික වශයෙන් හෝ ජාතික වශයෙන් ගත් ක්‍රියාමාර්ග කිසිසෙත්ම ප්‍රමාණවත් නැත. එමෙන්ම සාගර ජලයට අපද්‍රව්‍ය එක්වීමේ ප්‍රමාණය පාලනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් සියලු ක්‍රියාමර්ග සහ නිර්නායකයන්ද අසමත්ව තිබේ. 

එවැනි තත්වයක් තුල අප සිටින්නේ දැවැන්ත ඛෙදවාචකයක් අභියස බව පසුගියදා ශ්‍රී ලංකාවේ සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නැව් ගින්නෙන් වුවද සිතාගත හැක. ඇත්තටම සාගරය ගැන අවධානය යොමුකරන අද වැනි දිනයක සාගරය සුරැකීම පිලිබදව අවශ්‍යතාවය අද වඩ වඩාත් අවධානයට යොමුකල යුතුව ඇත්තේ එහිනි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
08/06/2021

Thursday 3 June 2021

අනේ අපි කවදාක පීනමුද ඒ දියෙහි?

මේ වගේ වෙරළවල් දකිද්දී නිල් කැටේ වගේ තිබ්බ අපේ වෙරළට වෙච්ච විනාශය ගැන අහද්දි ඇත්තටම පුදුම දුකක් දැනෙනවා...

ලංකාවට ඇවිල්ලා පැය කිහිපයක් ඇතුළත අපි අනිවාර්යයෙන්ම දුවන තැනක් තමයි මීගමුවේ මුහුදු වෙරළ; නිල් පාට වතුර ටික. රත්තරන් පාට වෙරළ. ත්ස්, ත්ස් ගාලා රළ වදින වේගය...රළට උඩින් පිහිනන්න අපි දරන තැත..., පෙන බුබුළු කලතන මුහුදු හුලග...පොලොවේ පයගහලා ලුනු වතුර ටිකක් හරි බීලා ඉන්න පුලුවන් වෙන්න තරම් හයියක් තියෙන්න ඕනෑ කියලා කියලා දුන්නු දේවල් මතක් කරන ලුනුම ලුනු, ලුනු වතුර...ඒ ඔක්කොටම වඩා උනුසුම් මුහුදු වතුර...ග්‍රීෂ්ම කාලේට මේ රටවල් කොච්චර රස්සේවුනත් මේ මුහුදවල්වල වතුර ඒ වගේ රස්සේ නෑ... ඒ රස්නේ තේරෙන්න මේ වගේ සීතල වතුර ඇති මුහුදවල්වලත් නාලා තියෙන්න ඕනේ. ඒත් අපි මුහුදට ආදරෙයි...ඒ නිසා කොහේවුනත් අපි අනිවාර්යයෙන්ම මුහුදට යනවා.

ඒත් ඒ හැමවෙලාවේම අපි නාපු මීගමු මුහුද මතක් වෙනවා. කාලා, බීලා, නාලා, නටපු මීගමුවේ වෙරළ මතක්වෙනවා..රෑ එලිවෙනකම් පාටිදාපු මීගමුවේ වෙරළ මතක්වෙනවා... ලෝකේ කොහේ හිටියත් ලංකාවට ඇවිලා පැය කිහිපයක් ඇතුලත මීගමුවේ මුහුදු වෙරළට අපි දුවන්නේ ඒනිසයි. ඒත් දැන් අපි ආයේ කවදා ඒ මුහුදේ ඒ විදිහට ගිහින් නාන්නද?

වෙරළ අද්දරට ආව බෝට්ටුවලින් එදා උදේ අල්ලන් ආව අලුත්ම අලුත් මාළු දිනපතා මිලදී ගත් අපේ තාත්තා දැන් කල්පිටියෙන් අල්ලන් එන මාළු එනකම් බලන් ඉන්නවා... ඒගොල්ලන්ගේ ජීවිතවල මොන මොනවාහරි දේවල් ටිකක් දැන් ක්‍රමයෙන් නැතිවේග යනවා කියලා ඒ අයට දැනෙන්නේ පටන් අරන්.

ධීවරයින්ට ඒගොල්ලන්ගේ රස්සාවට යන්න විදිහක් නෑ, ගියත් දැල් එලලා අල්ලන් එන්න වෙන්නේ මාළු නෙමේ ප්ලාස්ටික් කෑලි. දැල් ටික ආපහු ගන්න බැරිවෙන තරමට ජරාව. හැමිල්ටන් ඇළේ නවත්වලා තියෙන බෝට්ටු දින ගානක් තිස්සේ හෙලවෙන්නේ නැත්තේ ඒකයි...

ධීවරයින්ගේ බෝට්ටු විතරක් නෙමේ මිනිස්සුත් එක තැනමයි. රටත් එතනමයි. සැහැල්ලුවෙන් හුස්ම ටිකක්වත් ගන්න බැරි කාලයක් උදාවෙලා තියෙන්නේ...

මම නම් දන්නේ නෑ මේවයින් කවදා නම් ගොඩඒමක් තියේද කියලා...හරිම කනගාටුයි. අපේ මුහුදත් මේවගේ නේද තිබුනේ කියලා මතක් වෙද්දී හරිම කනගාටුයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
03/06/21

*බ්‍රිතාන්‍යයේ කෝර්න්වෝල් (Cornwall) පෙදෙසේ ඇති පෝර්ත්කර්නෝ වෙරළ (Porthcurno Beach).