ජුනි 08 ලෝක සාගර දිනය ලෙස නම් කලේ 1992 බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ (Rio de Janeiro) නගරයේ පැවැති මිහිකත (The Earth Summit) සමුළුවේදීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 1992දී සංවිධානය කල එම සමුළුවට එම යුගයේදී ලෝකයේ සුවිශේෂී අවධානයක් යොමුවිය. එයට එක් හේතුවක්වුයේ එවකට පැවැති සෝවියට් දේශය හෙවත් සෝවියට් රුසියාව බිදවැටී නැගෙනහිර සහ බටහිර ලෙස ලෝකය බෙදාවෙන්කල සීත යුද්ධය (The Cold War) අවසන්වී, ඇමරිකාව, බ්‍රිතාන්‍යය ආදී බටහිර රටවලට හිතවත් කදවුර හෙවත් බටහිර කදවුරේ රටවල් සහ රුසියාව, චීනය සහ නැගෙනහිර යුරෝපයේ රටවලට හිතවත් නැගෙනහිර කදවුරේ රටවල් ලෙස ලෝකය බෙදාවෙන්කල ධ්‍රැවීය දේශපාලන බේදීම් (Bipolarity) අභිබවා සමස්ථ ලෝකයම එකම මිනිස්සු මිනිස් ප්‍රජාවක් ලෙස පොදුවේ මුහුණ දෙන ප්‍රශ්නවලට පොදු පිලිතුරු සෙවීමට සමස්ථ ලෝක ජනයා ගත් ගෝලීය උත්සාහයක් (global approach) වශයෙන් මිහිකත සමුලුව සැලකීමයි.
එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමස්ථ ලෝක ප්‍රජාවම 'පරිසරය' (environment) නම් පොදු අරමුණක් වෙනුවෙන් එක් පෙලට එකට පෙලගැස්වීමට කටයුතු කලා පමණක් නොව 'පරිසර දූෂණය' යනු එක් රටකට, එක් භූමියකට හෝ එක් කලාපයකට සීමා නොවන, එක් එක් රටවල ජාතික දේශසීමා ඉක්මවා ගිය පෘතුවිවාසී සියල්ලන්ටම පොදුවේ මුහුණපෑමට සිදුවෙන විනාශයක් සහ පොදුවේ පිලිතුරු සෙවිය යුතු අතීශය තීරණාත්මක ප්‍රශ්නයක් බව සමස්ත ලෝක ප්‍රජාවටම ඒත්තු ගැන්වීමට සමත්විය.
එම නිසාම 1992දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සංවිධානය කල 'මිහිකත සමුළුව' ජාත්‍යන්තර සබදාතාවන් 'අන්තර්ජාතිකවාදී' අස්ථානයක සිට 'ගෝලීයවාදී' අස්ථානයක් (internationalism to globalisation) දක්වා ප්‍රවර්ධනය කල බව Daniel Jonathan Sargent (2008), Jeffrey Haynes (2013) ආදීන්ගේ ශාස්ත්‍රීය රචනාවල සදහන් කර තිබේ.
විශේෂයෙන්ම එම සමුළුවේ මුලික එකතාවයක්වූ දින දින උග්‍රවෙමින් ඇති පරිසර දූෂණය වැනි කරුණු තවදුරටත් එක්සත් ජාතීන්ගේ සමාජික රටවලට තනි තනිව හෝ සිය දේශසීමා තුල පමණක් විසදාගත නොහැකි බව පිලිගෙන එහිලා සමස්ථ ලෝක ප්‍රජාවම එක්ව කටයුතු කලයුතුයැයි යන ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය සීමාවන් ඉක්මවා ගිය ලෝක ප්‍රජාවගේම මැදිහත්වීමකගේ අවශ්‍යතාවය හෙවත් ගෝලීය ප්‍රවේශයක් (global approach) පිලිබදව අවධානය යොමු කිරීම ඔවුන්ගේ එකී අර්ථ දැක්වීමට හේතුවන්නට විය.
මිහිකත සමුළුව අවධානය යොමුකල කරුණු අතරින්, 1. විෂ රසායනික සහ න්‍යෂ්ටික ප්‍රතිකාරක අඩංගු නිෂ්පාදන සීමා කිරීම, බැහැර කිරීම හෝ ක්‍රමයෙන් නවතා දැමීම, 2. පොසීල් ඉන්ධන වෙනුවට විකල්ප ශක්ති ප්‍රභවයන් ගැන අවධානය යොමුකිරීම, 3. විෂ වායූන් සහ වෙනත් අපද්‍රව්‍ය පිටකරන පොදු ප්‍රවාහනය සහ ගමනාගමන මාධ්‍යය වෙනුවට පරිසර හිතකාමී පොදු ප්‍රවාහන මාධ්‍යයන් සහ නියාමනයන් ගැන එක් එක් රටවල අවධානය යොමුකිරීම, 4. ජල භාවිතය ඉහල යෑම, ජල මූලාශ්‍රයන් හිදීයෑම, සාගරය සහ ජලාශයන්ට අපද්‍රව්‍ය එක්වීම නිසා සිදුව ඇති ජල දූෂණය ආදී කරුණු මූලික තැනක් ගනු ලැබීය.
එම සමුළුව 'ජුනි 8 ලෝක සාගර දිනය' ලෙස ප්‍රකාශයට පත්කරන්නේද ඉහත කී ජල දූෂණ ගැන ඔවුන් යොමුකල අවධානය තුලය. එක් අතකින් ජලය ගැන අවධානය යොමුකිරීමේදී සාගර ජලය ගැන අවධානය යොමුනොකරම බැරිය. මන්දයත් පෘතුවියේ ඇති ජලයෙන් සීයට 90කට වඩා ඇත්තේ සාගරයේය. එමෙන්ම පෘතුවියෙන් සීයට 70ක් පිරී ඇත්තේ සාගර ජලයෙනි. එමෙන්ම ලෝකයේ ජෛව විවිධත්වයෙන් සීයට 80ක්ම වාසය කරන්නේ සාගරයේය. පෘතුවියේ වායුගෝලීය සැකැස්ම සදහා සාගර දක්වන දායකත්වය අතිමහත්ය. පෘතුවියේ ඔක්සිජන් ප්‍රමාණයෙන් සීයට 50ක්ම සම්පාදන කරන්නේ සාගරය. එමෙන්ම බිලියන සංඛ්‍යාත පෘතුවිවාසීන්ගේ ආහාර සම්පාදනය සදහා සාගර දක්වන දායකත්වය කිසිසේත්ම ගණනය කල නොහැකි තරම් ය. 2030 වන විට ලෝක ජනයාගේ රැකියා නියුක්තියෙන් සීයට 40කට ආසන්න ප්‍රමාණයක රැකියාවල නිරතවන්නේ සාගරය ආශ්‍රිතව බවද දැක්වේ.
ඇත්තවශයෙන්ම, ලෝක සාගර දිනයක් 1992 දී මිහිකත සමුලුව මගින් හදුන්වා දුන්නේ සාගරයේ ඇති මෙකී වැදගත්කම පිලිබදව මහජනයා දැනුවත් කිරීමටය. මුල්ම සාගර දිනය සැමරීම සදහා ලංකාවේ පාසැල් අතර විවිධ තරග සංවිධානය කර තිබු අතර එසේ සංවිධානය කර තිබූ සමස්ථ ලංකා කථික තරගයකින් ජයග්‍රහණය කිරීමට පැසැල් ශිෂ්‍යයෙකු ලෙස මට හැකිවිය. තවද 1993 මීගමුවේ අධ්‍යපන අධ්‍යක්ෂක කාර්‍යාලය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව සංවිධානය කල මීගමුවේ පාසැල් සිසුන් සදහාවූ ලෝක සාගර දින සම්මන්ත්‍රණය සංවිධානය කිරීමට දායකවීමටද පාසැලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස මම මහත් ඕනෑ කමකින් කටයුතු කලේය. ඉන් අනතුරුව ලෝක සාගර දිනය ගැන උනන්දුව ක්‍රමයෙන් ඉහල යනවා වෙනුවට දැකගත හැකිවූයේ ක්‍රමයෙන් පහල යෑමකි. 1990 දශකයේ අවසාන භාගයේදී මීගමුවේ ධීවර සංවිධානයක් සංවිධානය කල ලෝක සාගර දිනය පිලිබදවවූ සම්මන්ත්‍රණයකට සහ උද්ඝෝෂණයකටද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ලෙස මම සහභාගීවූයෙමි. එහිදී පෙනීගිය කරුණක් වුයේ ලෝක සාගර දිනයේදී සාගරය පිලිබදව අවධානය යොමුකරනවා වෙනුවට ඔවුන් ධීවරයා ගැන අවධානය යොමුකරන දිනයක් බවට ලෝක සාගර දිනය පරිවර්තනය කරගෙන ඇති බවයි. සාගරය ගැන අවධානය යොමුකිරීමේදී ධීවරයා ගැන අමතක කල නොහැකි බව ඇත්තය. එහෙත් ධීවරයා රැකෙනුයේ සාගරය රැකුමෙනි.
අප දැන් ජීවත්වන්නේ සාගරය රැකගැනීමේ වැදගත් කම සහ එහි අවශ්‍යතාවය වඩ වඩාත් තීරණාත්මකව පැන නැග ඇති තත්වයකය. ලෝක මත්ස්‍ය නිෂ්පාදනයෙන් සීයට 40 පමණ දැන් අඩුව ගොස් ඇතිබව දැක්වේ. සාගරයේ කොරල්පරවලින් සීයට 50 පමන වදවී ගොස් ඇත. සාගර ජලයේ අපද්‍රව්‍ය ප්‍රමාණය පෙරට වඩා බොහෝ ගුණයකින් ඉහල ගොස් තිබේ. දැවැන්ත යාන්ත්‍රික දැල් මගින් සිදුකරන Bottom trawling වැනි මහා පරිමාණයෙන් සිදුකරන ධීවර කටයුතු නිසා මුහුදු පතුලේ සිට කුඩාම මාලු පැටියා දක්වාවූ සමස්ථ සාගරය අනුකම්පා විරහිත සූරාකෑමට ලක්කර තිබේ. එහිලා දායකවන මහා පරිමාණ සමාගම් සම්බන්දයෙන් අන්තර්ජාතික වශයෙන් හෝ ජාතික වශයෙන් ගත් ක්‍රියාමාර්ග කිසිසෙත්ම ප්‍රමාණවත් නැත. එමෙන්ම සාගර ජලයට අපද්‍රව්‍ය එක්වීමේ ප්‍රමාණය පාලනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් සියලු ක්‍රියාමර්ග සහ නිර්නායකයන්ද අසමත්ව තිබේ.
එවැනි තත්වයක් තුල අප සිටින්නේ දැවැන්ත ඛෙදවාචකයක් අභියස බව පසුගියදා ශ්‍රී ලංකාවේ සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නැව් ගින්නෙන් වුවද සිතාගත හැක. ඇත්තටම සාගරය ගැන අවධානය යොමුකරන අද වැනි දිනයක සාගරය සුරැකීම පිලිබදව අවශ්‍යතාවය අද වඩ වඩාත් අවධානයට යොමුකල යුතුව ඇත්තේ එහිනි.
මාකස් ප්‍රියන්ත පෙරේරා
08/06/2021
No comments:
Post a Comment