This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 19 November 2021

මේ චෙස්නට් කාලයයි

මේ චෙස්නට් (Chestnut) කාලයයි. දැවැන්ත චෙස්නට් ගස්වල හටගන්නා චෙස්නට් ගෙඩියේ පොත්ත පැලිලා මේ දවස්වල ගෙඩි බිමට වැටෙනවා.

චෙස්නට් කන්න කැමති අය කටු සහිත පොත්ත ඉවත්කරලා චෙස්නට් එකතුකර ගන්නවා. එසේ එකතුකරගත් චෙස්නට් ටික දිනක් වේලෙන්න ඇරලා තද දුබුරුපාට පොත්ත මත පිහියකින් කුඩා කැපුමක් තබා උදුනේ (oven) හෝ කබලේ (frying pan) විනාඩි 20-30 බැදගන්නවා. ඉන් පසුව අර කුඩා කැපුමක් තැබු තැනින් දුබුරුපාට පොත්ත ඉවත්කර කහපාට චෙස්නට් මදය පාදා ගන්නවා.

චෙස්නට් ඉතා ප්‍රනීත ඇට විශේෂයක්. බොහෝ අතුරුපස (dessert) වලට වගේම නිකන් කන්නත් මරු. කබලේ බැදගත් චෙස්නට් (roasted chestnuts) වයින් (wine) හෝ සින්ගල් මෝල්ට් විස්කි (single malt whiskey) එක්ක බයිට් එකටත් මරු.

එහෙත් එහෙම කන්නේ ස්විට් චෙස්නට් (Sweet Chestnut) කියන ප්‍රබේදයයි. තව තියෙනවා හොර්ස් චෙස්නට් (Horse Chestnuts) කියලා ප්‍රබෝධයක්. ඒය නම් සත්ව ආහාරයක් ලෙසයි සලකන්නේ. ඒ හැර කොන්කර්ස් (Conkers) කියලා ප්‍රබේධයකුත් තියෙනවා. බොහෝදුරට හොර්ස් චෙස්නට් සහ කොන්කර්ස් කියන්නේ එකම වගේ චෙස්නට් ජාතියකට. ඒවා ස්විට් චෙස්නට් (Sweet Chestnut) වලට වඩා විශාලයි.

මේ රටේ ලමුන් අතර සෙල්ලමක් තියෙනවා අර කොන්කර්ස් කියන චෙස්නට් ජාතිය මැදින් විදලා නූල් පොටකින් ගැට ගසාගෙන එකිනෙකා තරගෙට එනෙකාගේ කොන්කර්ස් එකින් එක හප්පා ගන්නවා. ඉස්සෙලාම කොන්කර්ස් එක පිපුරුන කෙනා පරාදයි. ඒ සෙල්ලමට කියන්නේ කොන්කර්ස් සෙල්ලම් කරනවා කියලයි (Conkers game).

කොහොමත් ඔක්තෝබර් වාර මැද සරත් නිවාඩුවේදී ගහ-කොලවල වර්ණ වෙනස්වීම් බලන්න ගම්වදින ලමුන් වගේම දෙමාපියනුත් චෙස්නට් වගේම හතු එකතුකිරීමටත් දැඩි කැමැත්තක් දක්වනවා. චෙස්නට් හතු (chestnut mushrooms) කියලා දුබුරුපාට හතු විශේෂයකුත් කලින් චෙස්නට් වැටුන ගස් යට මේ දවස්වල පැලවෙනවා. එම චෙස්නට් හතුවලිනුත් ඉස්තරම් ව්‍යන්ජන සකස්කරගත හැකියි.

එහෙත් චෙස්නට් වගේ නෙමේ හතු (mushrooms) එකතුකිරීම නම් ඉතා පරිස්සමින් කල යුත්තක්. බොහෝ විෂ සහිත හතු පැවැතීම එයට හේතුවයි.
හතු එකතුකරන වැඩේ (mushroom picking) ඒ සදහා පලපුරුද්දක් සහ දැනුමක් ඇති අය සමග කලයුත්තක්. පෝලන්ත වැනි නැගෙනහිර යුරෝපියානු ජාතිකයොත්, ග්‍රිසීය, ඉතාලිය වැනි මධ්‍යධරණීය සහ දකුණු යුරෝපා ජාතිකයෝත් මේ සදහා විශේෂඥයෝ.

ඒත් චෙස්නට් එකතුකිරීමට හෝ චෙස්නට් පිසගැනීමට එහෙම විශේෂ දැනුමක් අවශ්‍ය නෑ. ඕනෑම කෙනෙකට කලහැක්කක්. ගස් යටින් අහුලා ගත්තේ නැතත් සුපර් මාර්කට් එකකින් හෝ වෙලදපොලෙන් හෝ චෙස්නට් මිලදී ගෙන ඕනෑම කෙනෙකුට පිසගත හැකියි. වෙලදපොලේ ස්විට් චෙස්නට් (sweet chestnut) ග්‍රෑම් 400යක් මෙරට මුදලින් පවුම් 3ක් පමණ වෙනවා.

එහෙත් චෙස්නට් එකතුකරගෙන කෑමක් ලෙස සකස්කර ගන්නවා කියන්නේම සල්ලිවලින් මැනිය නොහැකි මහගු අත්දැකීමක්. විශේෂයෙන්ම ආහාර එන්නේ සුපර්මාර්කට් එකෙන් නෙමේ ගහ කොලවලින්, ගොවිපොලවලින් කියලා ලමයින්ට කුඩාකල සිටිම එත්තුගන්වන්නත්, සොබාදහම සමග ජීවත්වීමේ වැදගත්කම අවබෝධ කරදීමටත්, දෙමාපියන් චෙස්නට් එකතු කිරීමට ඔක්තෝම්බර් අර්ධවාර සරත් නිවාඩුවේදී චෙස්නට් සහ හතු එකතුකිරීමේ ක්‍රියාකාරකම් සදහා ලමයින් රැගෙන යෑමෙන් බලාපොරොත්තුවෙන බව මම දැනගත් දෙයක්. ඇත්තවශයෙන්ම ලමුන්ටත් එයින් ඉතා අපූරු අත්දැකීමක් ලැබෙනවා.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
18/11/21

Tuesday 16 November 2021

'මීගමු කලපු ලුණු' නිෂ්පාදන ක්‍රියාවලිය සහ 'රන්කාසි' සොයාගත් 'ප්‍රන්කාසි' ලා.

මීගමුව මුන්නක්කරය කලපුව අසල ඇති දුපතකින් රත්තරන් සොයාගත් පවුලක් ගැන මීගමුව මුන්නක්කරය ප්‍රදේශයේ කාලාන්තරයක් පුරා පවතින  ජනකතාවක් වේ. 

එම ජනප්‍රවාදය පදනම්වන කාලවකවානුව 1800 ගණන්වල අවසාන භාගයේ හෝ 1900 මුල් කාලය යැයි පිළිගැනේ. පුරුදු පරිදි මීගමුව කලපුවේ දුපත්වලට ගොස්, කලපු වතුරට සේදී එන සුදුපැහැති පෙන එකතුවෙන වැල්ලත් මඩත් කැටිවූ පස් එකතුකරන මුන්නක්කර ග්‍රාමයේ සුළුපන්න ධීවරයෙක් උදෑසනම කලපුවේ දුපතකට ගිය ගොස්  දුපතේ වෙරලේ ඇති පස් තට්ටු සුරමින් සිටියදී කිසියම් ඝන ද්‍රව්‍යයක් එම දුපතේ වෙරලේ ඇති බව සොයාගෙන තිබේ. තවදුරටත් හාරා බැලීමේදී එහි ඇත්තේ රන්කාසි බව දුටු එම ධීවරයා පස් තට්ටුවලින් එය ආවරණය කර වහාම සිය නිවසට ගොස් කොට්ට උර කිහිපයක් ඇතිව සිය බිරිද සමග පැමිණ පස් තට්ටු හරා රත්තරන් කාසි ගොඩට ගෙන කොට්ට උරවල පුරවා සිය නිවසට ගෙනගිය බව එම ජනප්‍රවාදයෙන් කියවේ.  

මෙම ජනප්‍රවාදය මුන්නක්කර ග්‍රාමයේ ජනයාට අවසාන වශයෙන් වැඩි විස්තර  සහිතව කියමින් සිට ඇත්තේ මුන්නක්කරය කෙලවරේ පිහිටි 'තල්ගහවත්ත' ග්‍රාමයේ ජිවත්වූ, මිට කලකට ඉහත නැසී ගිය නිකදේමුස් සීයාය. නිකදේමුස් සියාට අනුව රත්තරන් සොයාගත් ධීවරයා උර 7ක් හෝ උර 70ක් පිරෙන්නට රන්කාසී සොයාගෙන තිබේ. මෙසේ රන්කාසි සොයාගත් පවුලේ අයව 'රන්කාසි' ලෙස හැදින්වූ බවත් පසුව එම නාමය ''ප්‍රන්කාසි'' ලෙස හැදින්වූ බවත් කියවේ.  අද ද  මුන්නක්කරය ග්‍රාමයේ මෙන්ම එකී ග්‍රාමයෙන් මීගමුව පිටිපන ග්‍රාමයට ආවාහ-විවාහවී ගිය පිරිස් අතරද, එමෙන්ම ඔවුන්ට කිසිදු සම්බන්දයක් නැති පිරිස් අතරද,  'ප්‍රැන්කාසි' නමින් හදුන්වන පුද්ගලයින් සිටි. මා ඔවුන්ගෙන් කිහිපදෙනෙකු සම්බදකරගෙන ඉහත ජනප්‍රවාදයේ සදහන් කාරණය සමබන්දයෙන් කිසියම් හෝඩුවාවක් සොයාගැනීමට කලකට ඉහත සිට උත්සහ කලෙමි.

 එහෙත් නිකදේමුස් සීයාය තැන තැන කියමින් සිටි 'රන්කාසි' සොයාගත් පවුල ගැන කිසිදු විස්තරයක් සොයාගැනීමට නොහැකි විය. අද ද එම පළාත්වලද, මිගමුවේ විවිධ ප්‍රදේශවලද, 'ප්‍රැන්කාසි' නමින් හදුන්වන පුද්ගලයින් සිටි. ඔවුන්ගේ නාමයක් බොහෝ දුරට ලැබී ඇත්තේ ක්‍රිස්තියානි ශාන්තුවරයෙකු වන ප්‍රැන්කාස්තුමාගේ (Saint Pancras) නාමය අනුවය නම් තැබීමෙනි. බෞතිස්මයේදී ක්‍රිස්තියානි සම්ප්‍රදාය අනුව යමින් නාම සාන්තුවරයෙකුගේ නමක් සිය දරුවන්ට ලබාදීම ලොවපුරාම කිතුවන්ගේ පොදු ක්‍රියාදාමයකි. ඒ අනුව මුන්නක්කරය, පිටිපන, මීගමුව හෝ වෙනත් තැනක සිටින ප්‍රැන්කාසි ලෙස හැදින්වෙන නාම ඉහත කථාවේ  පරිදි 'රන්කාසි' ඔස්සේ ඇතිවුවකට වඩා  උක්ත ක්‍රිස්තියානි සම්ප්‍රදාය ඔස්සේ ඇතිවුවක් බව පැහැදිලිය. 

මෙවැනි අහවල් දුපතෙන්, වැල්ලේ අහවල් තැනින්, මුහුදෙන්, කැඩුණු නැවෙන් රත්තන් හෝ වෙනත් වටිනා වස්තු හමුවූ හමුවූවා යැයි කියවෙන කතාන්දර රාශියකි. එහෙත් ඒවා බොහෝදුර ජනකතා, ජනප්‍රවාදවලට වඩා වැඩි පදනමක් නැති හරසුන් ගෙත්තම්ය. හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස ගොතන ලද කතාන්තරය. එහෙත් ඒවා තුලවුද කිසියම් ගත යුත්තක් ඇත. මුන්නක්කරයේ  නිකදේමුස් සීය්යා තැන  තැන  කිය කියා  ගිය 'රන්කාසි' හමුවූ පවුලක් ගැන කෙසේවුවද දිනපතාම උදෑසන මීගමුව කලපුවේ දුපත්වලට මෙන්ම කලපුව අවටටත් ගොස්, කලපු වතුරට සේදී එන සුදුපැහැති පෙන එකතුවෙන වැල්ලත් මඩත් කැටිවූ පස් සුරා එකතුකරන පිරිස් මුන්නක්කර ග්‍රාමයේ මෙන්ම පිටිපනද කලපුව අවට සිටි බව පැහැදිලිය. එසේ කලපු වතුරට ගසාගෙන එන සුදුපැහැති පෙන එකතුවෙන වැල්ලත් මඩත් කැටිවූ පස් එකතුකරන පිරිස් එසේ පස් එකතුකලේ එම පස් සෝදා පිරිසිදුකර, උණුකර, ලුණු සෑදීමටය. 

මිගමුවේ ලුණු සෑදීමේ ක්‍රියාවලියවූකලී මිගමුවටම සුවිශේෂීවූ ක්‍රියාවලියකි. එම ලුණුවල රසද ඉස්තරම් යැයි  කියවේ. මෙසේ නිවෙස්වල නිෂ්පාදනය කල ලුණු මිගමු ධිවරයන්ගේ භාර්යාවන් විසින් අසුරා පාර දෙපස තබා විකුණා මුදල් උපදවා ඇත. 'මිගමු කලපු ලුණු' ලෙස සාඩම්බරයෙන් හදුන්වා දී ඇති එම ලුණු මිලදී ගැනීමට සුද්දන් පවා පැමිණි බව කියවේ. ලුණු  පමණක්  නොව තුනපහ පදමට දමා හදන, කෙහෙල් කොළේ ඔතාදෙන, 'මිරිස් ගුලි' ද එකල මීගමුවේ පැවතියේය. වෙලදපොලේ විකිනීමට ඇති තුනපහ මිශ්‍රණ 'කඩ සරක්කු' ලෙස හැදුන්වූ මිගමු  කාන්තාවෝ තමන්ගේ  මස්-මාළු ව්‍යන්ජනවලට යෙදුවේ මීගමුවේ 'කලපු ලුණු'  සහ මිරිස් ගුලිය. මීගමුවට සුවිශේෂීවූ මස්, මාළු, කකුළු ව්‍යන්ජනවල රසකාරක රහසවුයේ ඉහත කී 'මීගමු කලපු ලුණු සහ මිරිස් ගුලිය'. 

දැන් එම කර්මාන්ත දෙකම නැවති ගොසිනි තමන්ගේ බොහොමයක් දේවල් තමන්ම නිපදවාගත්  ඒ සශ්‍රිකත්වය මීගමුවේ පමණක් නොව රටෙම නැතිව ගොස්ය. මීගමුවේ නම් තමන්  හරිහම්බකරගෙන රටේ ජනයාගේද බඩද පිරවූ කලපුව, මුහුද පමණක් නොව ධීවරයන් වාසයකරන භුමිය පවා අහිමිවෙමින් පවතී. මිගමු කලපුවේ ලුණු නිෂ්පාදන කිරීම 1980 ගණන්වලින් පසුව ඇණහිටි බව වාර්තා වේ. මෑතකදී මීගමු පිටිපන ප්‍රියන්ත සිල්වා ගජසිංහ කලාකරුවා තම Facebook පිටුවේ මීගමුවේ කලකට කලින් අතහැර දමන ලද ලුණු නිෂ්පාදන ක්‍රියාදාමයක් දැක්වෙන දුර්ලභ ජයාරුපයක් පලකල කළේය. මෙම ලිපියේ මුලින්ම පලවී ඇති ජයාරුපය ඉන් උපුටා ගත්තකි. ඔහුට එම ජායාරූපය ලබාදී ඇත්තේ පිටිපන ස්ටැන්ලි රෝසා මහතාය. එම ජයාරුපය  ඔහු විස්තර කර තිබුනේ  '1960 දශකයේ මීගමුව කලපුව අසල පස් ගෙන ආහාර සදහා ලුණු සිදින පිටිපන කාන්තාවන්' යනුවෙනි. මෙම ජයාරුපයේ විශේෂත්වය වනුවේ සැම්සන් ඥානසිරි මහතා 2018 March 10 මීගමුවේ ප්‍රාදේශීය පුවත්පතක් වන 'මීපුර පුවත්පත' ට (meepura.com) ලියු ගවේශනාත්මක වර්තාවක්වූ  'සුද්දන්ටත් ලුණු විකිණූ සිරිවර්ධන පෙදෙස් කාන්තාවෝ' නම් ලිපියේ සදහන් කරුණු  සමග මනාව ගැලපීමය. 

මීගමුව මුන්නක්කරය ප්‍රදේශයේ ලුණු නිපදවූ ජනයා සමග සම්මුඛ සාකච්චාවල නිරතවෙමින් ඔවුන්ගේ පැරණි නිෂ්පාදන ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය සදහා යොදාගත් ආම්පන්න ආදිය ගැන විමර්ශන කරමින් සැම්සන් ඥානසිරි මහතා ලියූ  ගවේශනාත්මක  ලිපිය සහ පිටිපන ප්‍රියන්ත සිල්වා ගජසිංහ කලාකරුවා සිය Facebook පිටුවේ පලකල පිටිපන ස්ටැන්ලි රෝසා මහතාගේ ජායාරූපය පහතින් දැක්වේ.

=================================================

මීගමුව මුන්නක්කරය පසුකර යනවිට සිරිකුරුස පාලම හමුවෙයි. සිරිකුරුස පාලම සීමාවෙන් පසු සිරිවර්ධන පෙදෙස හමුවෙයි. සිරිවර්ධන පෙදෙස අපේ කථාවට මූලික වන්නේ වෙනස් මිනිස් අත්දැකීම් රැසක් මෙම ගම්මානය තුළ අතීතයේදී ක්‍රියාත්මකයාත්මකවී ඇතිනිසයි.. අප මීටපෙර “ කෑම රසවත්කරන මුන්නක්කරයේ මිරිස් ගුලිය “ යන තේමාව පදනම් කරගනිමින් ලිපියක් පලකළෙමු.

මෙය ගෘහකර්මාන්තයක් ලෙස අද වනවිටත් ක්‍රියාත්මක වන අතර එහි ප්‍රමුඛතාවය ගත්තේ කාන්තාවන්ය. වසර 100කට පමණ පෙර මෙම ගම්මානයේ ගෘහකර්මාන්තයක් ලෙස ලුණු නිපදවීම සිදුවී ඇත. නමුත් මෙම කර්මාන්තය අදවනවිට අභාවයට ගොස් ඇත. මෙහි විශේෂත්වය වන්නේද මෙම කටයුත්තේ නියැළුනේ කාන්තාවන් වීමයි. ධීවර ගමක් වන හෙයින් ස්වාමිපුරුෂයා මසුන් ඇල්ලීම සඳහා කළපුවට යන අතර කාන්තාවන්ද තම පවුලේ ආර්ථිකය වෙනුවෙන් විවිධ කාර්යයන්හි නිරතවිය.

අප සඳහන් කරන ඉහතකී ලුණු නිෂ්පාදන ක්‍රියාවලියවලියද එවැන්නකි. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට අදවනවිට ජීවත්ව සිටින්නේ කිහිප දෙනෙකු පමණි. අප ඔවුන් සොයා ගැනීමට උත්හාහ කළේ එම අතීත කථාව දැනගැනීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම නිසාය. 

මෙසේ ලුණු නිපදවීමට අදාළව එහි තිබුණු පරිසරයද හේතුවක් වී ඇත. කලපුව ආසන්නයේ කැලෑව ල මඩ සහිත පස ල වඩදිය – බාදි ය ඇතිවීම තුළින් ලුණු සහිත වතුර කලපු බිමෙහි නිදහසේ පෙන නගමින් ගලායෑම ආදී වශයෙන් අදාළ කරුණු සැකසී තිබින. වැඩිහිටියන් මෙම කර්මාන්තයට අදාළව කරන කටයුතු දෙස බලාසිට ඒවා සඳහා උදව් කළ තම අතීතය ගැන මේරි මර්සි අම්මා (අවුරුදු 78 ) අප සමඟ අදහස් පළකලේ මෙසේය.

මේ හරියෙ වටේටම කලපුව. කලපු වතුර ඇවිල්ල පෙන පිපෙනව. අපේ අම්මල, ලොකු අම්මලා මේ වතුර පසුත් එක්ක තහඩු කෑල්ලකින් හූරනව. ඒව හූරල ගොඩ ගහල තියාගන්නව. පස්සෙ ලොකු කලගෙඩියකට යටින් හිලක් හදල මටුළු දාල වතුර පෙරෙන විදිහට හදනවා. ඊට පස්සෙ අර පසුත් දාලා කළපුවේ වතුර උඩින් දානවා. යටින් ඒ වතුර පෙරාගෙන ඒව වෙන භාජනයකට අරගෙන දර දාල රත්කරල තමයි මේ ලුණු හදාගන්නේ. මේ වඩියට පොල් චුට්ටකුත් දානව සුදුපාට වෙන්න. ඒවා විකුණුවේ කාට ද? මුහුදු රස්සාකාරයෝ ඇම ට සාලයින්ට දාන්න ගෙදරට ඇවිත් අරගෙන යනව. සුද්දන්ටත් දෙනවා. පාරට අරන් ගිහිල්ලා අපි විකුණනව. ඒව විකුණලා හවස 6.00ට විතර තමයි ගෙදර එන්නෙ. අලියපොලේ තමයි විකුණන්නේ. 

මේ පිළිබඳව තවදුරටත් කරුණු දැනගැනීමට සිරිවර්ධන පෙදෙසේ ජීවත්වන මර්සි සුසිලා අම්මා ( අවුරුදු77 ) හමුවිය. ඇය ලුණු සෑදීමේ ක්‍රායාවලිය ඇය විස්තර කළේ මෙසේය. අපේ නැන්දලා තමයි මේ වැඩේ කළේ. කලපුවේ ඉඳල එන වඩදිය වතුරට පස තෙත් වෙනව ඊට පස්සෙ හදාගත්ත යකඩ පටියකින් හූරල ගොඩවල් ගහනව. ඒකට කියන්නෙ ලුණුපස්ගානවා කියලයි. පස්සෙ මැස්සක් හදල ලොකු කලයකට අර හූරපු පස් පුරවනව. ඒ කලේට යටින් හිලක් හදල මටුළු කෑල්ලක් තියනව පෙරෙන්න. උඩින් තව කලපු වතුර දානව. යටින් ගස්මුට්ටියක් තියල මේ වතුර අරගන්නවග දෙතුන් පාරක් පෙරාගත්තට පස්සෙ ලොකු තාච්චියකට දාල දර දාල රත් කරල තමයි ලුණු හදාගන්නෙ.

අවසන් වරට අපට අදහස් පළකලේ සිරිවර්ධන පෙදෙසේ නිකුලස් මාමාය. (අවුරුදු 77) ඔහු අපට මේ රස්සාව කළ ආකාරය, කළ ස්ථාන, මේවා විකිණීමට වෙළඳපලට ගෙනයාම දක්වා ආදී දේවල් ඔහු පැහැදිළි කරන ලදී. අපි පොඩි කාලෙ අපේ අම්මල තමයි මේ රස්සාව කරේ. අපිට හුඟක් අමාරුනිසා අපිට කන්න දෙන්න විදිහක් නැතිනිසා මේව කරල තමයි ඒ කාලෙ අපි ජීවත් වුනේ. එතකොට මගෙ වයස අවුරුදු 13ක් විතර ඇති කොහොමද මේව කරේ ?

මේ වගේ දවස්වල කලපු වතුර ආවට පස්සෙ ඒපස් අම්මල හූරල ගන්නව. ඒකට යකඩ වලින් පටියක් හදාගන්නව. ඒකෙ දෙපැත්තෙන් අල්ලල තමයි පස් හූරන්නෙ. හූරපු පස් ගොඩවල් ගහල තියාගන්නව. මේව කට ලොකු ගස් මුට්ටියකට දාල යටින් හිල් කරල මටුළු කෑල්ලක් තියල වතුර පෙරෙන්න හදනව. ඒ මුට්ටිය පොල්පිති වලින් හදපු මැස්සක තියනව. පෙරෙන වතුර ගන්න යටින් භාජනයක් තියනව. ඒ භාජනයට වැටෙන වතුර ආයි සැරයක් ලොකු මුට්ටියට දානව. එහෙම තුන්පාරක් විතර දාල පෙරුවට පස්සෙ තමයි ඒ වතුර තාච්චියකට දාල රත්කරන්නෙ. අපේ අම්මල මඩකුණු කැපෙන්න කියල පොල් කෑලි ටිකකුත් කපල ඒකට දානව. වඩිය රත්වෙන්න ගොඩක් දර ඕන. ඒනිසා කැලේට ගිහිල්ල දර කපාගෙන එන්නත් සෑහෙන්න මහන්සි වෙන්න ඕන.

ඔවුන් සෑදු ලුණු හැදින්වූයේ “ හිඳිලුණු , ලෙසිනි. මේවා සකස්කළ ආකාරය, ඒ සඳහා භාවිතාකළ උපකරණ ආදිය ගැන අපට අවබෝධයක් නොතිබුනු නමුත් ඒපිළිබඳව මේරි අම්මා , මර්සි අම්මා සහ නිකුලස් මාමා කියන ලද කරුණු චිත්‍රයකට නඟා ගැනීමෙන් ඒ පිළිබඳ යම් අදහසක් හැකිවිය. 

මේ වකවානුවේදීම එංගලන්තය, ජර්මනිය වැනි රටවල්වලද සරල තාක්ෂණික ක්‍රම මගින් ලුණු නිපදවා ඇත.ඔවුන් මේ සදහා ක්‍රම දෙකක් භාවිතා කරඇත. එකක් වූයේ සූර්්‍ය රස්මිය උපයෝගි කරගනිමින් වාෂ්පීකරණයට ලක්කර ලුණු හැදීමේ ක්‍රමයයි. දෙවැන්න රත්කිරීමේ ක්‍රමයයි. මේ සදහා මුලින් මැටිභාජන වලට , අදාල කරදිය වතුර දමා දරවලින් රත්කරඇත. පසුව එම භාජන තඹ වලින් සකස්කරගෙන ඇත.රෝමන්වරු ද තඹ භාජන භාවිතාකළ බව සදහන්වේ. ඉන්පසු තඹ වෙනුවට යකඩ යොදාගෙන මෙම භාජන නිර්මානය කරඇත. රත්කිරීම සදහා දර වෙනුවට ගල්අගුරුද පසුව වාෂ්ප ඇංජිම සොයාගැණීමත් සමගින් මෙම කර්මාන්තයේ විශාල වර්ධනයක් ඇතිවිය.

මුලින් ලී රේක්ක යොදාගනිමින් ලුණු එකතු කරඇත. මුලින් තිබු මැටි භාජන අඩි 3ක් පළල අඩි 3ක් දිග සමදතුරශ්‍රාකාර එකක් විය. පසුව අඩි 25 පළල අඩි 35 දිග අඩි 1 ½ ගැඹුරටද පසුව එයද වෙනස්වී , අඩි80 දිග අඩි 30ක් පළලින් යුතු භාජන දක්වා වර්ධනයක් ඇති කර ගන්නා ලදී. එසේම මෙම භාජන දැමීම සඳහා වෙනම කුටි නිර්මාණය කර ඇත. එංගලන්තය වැනි රටවල්වල මේ කර්මාන්තයට අදාලව වෙනම නගරද බිහිවී ඇත. මේ අනුව සරල තාක්ෂණයේ සිට දියුණු තාක්ෂනික සහ විද්‍යාත්මක ක්‍රම භාවිතා කර මෙම කර්මාන්තය වැඩි දියුණු කර ගැනීමට ඉහත කී රටවල් සමත් වී ඇත. මේ අදහස් වැදගත් වන්නේ අපගේ කථාවට මූලිකවූ මිනිසුන් හට මෙම සරල තාක්ෂණය දියුණු කරගතහැකි වුයේනම් මේ වනවිටත් සිරිවර්ධන පෙදෙසේ මෙම ලුණු කර්මාන්තය පැවතීමට ඉඩ තිබුනි. 

සැම්සන් ඥානසිරි 




=========================================================================

මීගමුව මුන්නක්කරය ග්‍රාමය  ගැන වැඩි විස්තර රජයේ වැඩවල මෝඩකමේ ප්‍රතිමුර්තිය - මීගමුව මුන්නක්කරයේ මෝඩ පාලම නම් වූ මර උගුල  යන ලිපිය ඔස්සේ කියවිය හැක. 

මීගමුවේ මීගමුවේ අතීත නිෂ්පාදන සහ පරිභෝජන රටාව ගැන දැනගැනීමට මෙම යොමුවෙන්ම පිවිසෙන්න. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
16/11/2021

Wednesday 10 November 2021

ගුරු, ගොවි, සිසු, කම්කරු, කාන්තා උද්ඝෝෂණ අතරට කිතුනු විරෝධයත් ගොනුවේ !!



මේ දිනවල රටපුරාම උද්ඝෝෂණය.

ගොවියෝද, ගෘහනියෝද, වෘත්තිකයෝද, කම්කරුවෝද, ගුරුවරුද, දෙමාපියෝද, විශ්ව විද්‍යාල සිසුවෝද, මහපාරේය. මුළු රටම එකම විරෝධතා භූමියකි.

එම උද්ඝෝෂණ සමුදාය අතරට දැන් කිතුනුවන්ගේ විරෝධයද එකතුවී ඇත. එසේවුයේ පසුගිය සදුදා (08/11/21) සිරිල් ගාමිණි පියතුමා වෙනුවෙන් එතුමාගේ නීති උපදේශකයෝ ගොනුකල පෙත්සම විභාගවීම සිදුවූ දිනයේදී සිය ගණනක්වු කතෝලික පියතුමාන්ලා, කන්‍යා සොයුරියන් සහ ගිහි ජනයා සිරිල් ගාමිණි පියතුමන්ට සහය පලකිරීමට අළුත්කඩේ උසාවි භූමිය අවට රැස්වීමත් සමගය.

සුදු ඇදුමෙන් සැරසුන පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරින් එක පෙලට, එක ලෙසට, සැදැහැවත්ව අළුත්කඩේ උසාවියට යන මාවත දෙපස රැස්ව සිටියේ මුනිවර මුනිවරියන්ගේ සුරුවම් පරිද්දෙනි.

හැලහොල්මනක් නැති, බැතිබර කිතුනු තාපස තාපසිකාවන් මෙන් ඔවුහු පහන් සිතින් නිහඩව ජපමාල යාක්ච්චාවේ නිරතවෙමින් සන්සුන් සිතින් සිය ශක්තිය සකල ලෝකවාසී ජනයාට බැගෑපත්ව ප්‍රදර්ශනය කලහ.
තොරතෝංචියක් නැති ශබ්දාධික පිටකොටුවේ, අලුත්කඩේ, මෙතරම් නිහඩ විරෝධයක නිරතවු පිරිසක් මින්පෙර නම් කවදාවත් නොදුටුවෝ යැයි උද්ඝෝෂණය නැරඹීමට මෙන්ම වාර්තා කිරීමටද ගිය වාර්තාකරුවෝ සටහන් තැබුහ.

"බලන්න මේ අයගේ විනය, සංවරකම, අපටත් කොච්චර නම් දේවල් මේ කිතුනු පියතුමාන්ලාගේ, කන්‍යා සොයුරියන්ගේ සහ ගිහි ජනයාගේ විරෝධයන්ගෙන් ඉගෙනගත හැකිදැයි" යන කොමෙන්ටු සිද්ධිය වාර්තාකල ෆේස්බුක් පිටු අතර ලියවී තිබුනහ.

විරෝධය අවසානයේ අසල දේවස්ථානයකට රැස්වු විරෝධයට සහභාගිවු ගිහිපැවැදි සියල්ලෝම යාක්ච්චාවකින් අනතුරුව පැවැති තේ පැන් සංග්‍රහයක් භුක්තිවිද සාමකාමී ලෙස විසිර ගියහ. කිතුනුවන්ගේ ජිවලිතකම, උද්‍යෝගය, සතුට, ප්‍රබෝධය, කැපවීම, වැයවීම ඒ සියල්ල උසාවිය ඉදිරිපිට ඉතා හොදින් විද්‍යාමානවීම ගැන බොහෝ දෙනෙක් සංවිධායකයන්ට ස්තුතිය පලකලේය.

තවත් විරෝධතාවයක් යැයි සිතා වතුර බවුසර් සහ කදුලු ගෑස් ජල විදිනයන්ද අතතිව පැමිනි පොලිස් කැරලි මර්ධන ඒකකය ලත්තැනම ලොප්වී විටක් හපමින් පැත්තකටවී බලා සිටියහ.

මෙවැනි නිහඩ විරෝධයකට පවා ජල විදිනයන් සහිතව කැරලි මර්දනය පොලීසිය පැමිණ සිටීම ගැන ෆේස්බුක් පිටුවල සමච්චලයට ලක්ව තිබුනි. "ඔය ජලවිදිනයන්ගෙන් පාස්කු ප්‍රහාරයේ සැගවුනු අපරාධකරුවන්ගේ අත්පා පමනක් නොව හිස සිට පතුලටම සෝදා හරිනු මැනවයි" සටහන් කල අයද විනි.

එහෙත් උසාවි භූමියෙන් එපිට වෙනත් විරෝධයකටද කිතුනුවන්ට මුහුණදීමට සිදුව ඇති බව එදිනම ප්‍රවෘත්ති විකාශනය ඔස්සේ විකාශනයවූ පුවතකින් පෙනීගියේය.

එනම් සිහල රාවය, රාවණා බලය ලෙස හදුන්වාගන්නා භික්ෂූන් දෙනමක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් "සාක්ෂි ඇත්නම් සිරිල් ගාමිණී පියතුමන්ට කෙලින්ම ගිහින් සාක්ෂි දිය නොහැක්කේ ඇයි දැයි" විචාලහ.

එහෙත් උන්වහන්සේලා නොදැන සිටියේ රාජ්‍යය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව පැමිණිලිකර තිබුනේ දණ්ඩ නීති සංග්‍රහයේ ICCPR වගන්ති ප්‍රකාරවය යන්නය. එවැනි පදනමක් මත සිරිල් ගාමිණී පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි ලබාදීමට ගියහොත් ඇප නොමැතිව දිගටම රදවාතබා ගැනීමේ අනතුරක් පැවැතිනි.

පියතුමන්ගේ නීති උපදේශකයෝ උසවියේ අවදානයට යොමුකලේ එකී අනතුරුය. ඉදිරියේදී පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුවට සාක්ෂිදීමට යන්නේ උසාවියෙන් ලබාගත් නිසි නීති නියාමයන් යටතේය.

මෙකී කරුණු දැන හෝ නොදැන භික්ෂූන් වහන්සේලා දෙනමක් මාධ්‍යය සාකච්ඡාවක් පවත්වා කුමන හෝ අරමුනකින් මහජන මතය වෙනතකට යොමුකිරීමට උත්සහකලේදැයි විමසාබැලිය යුතුමය.

මෙම කාරණය ඊයේ (09/11/21) මීගමුවේ පැවැති අති දැවැන්ත උද්ඝෝෂණය තුලදීද මතුවිය. පාස්කු ප්‍රහාරය සැකසුම් කල සැබෑ අපරාධකරුවන් හෙලිවීම වැලක්වීමට ජාතිවාදි ආගම්වාදි වර්ගවාදී බේද ඇති කිරීමට කිසිවෙකුට අවශ්‍යව ඇත්දැයි ඊයේ මීගමුවේ පැවැති උද්ඝෝෂණයේදීද මතුකල කරුනක්විය.

එහෙත් මීගමුවේ ඊයේ පැවැති දැවැන්ත උද්ඝෝෂණය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති උද්ඝෝෂණයකට වඩා ආන්ඩුවේ මුතුරාජවෙල ගැස්ට් නිවේදනය නිසා ඉඩම් අහිමිවීමට එරෙහිව ඇතිවූවකි.

ආන්ඩුවේ විනාශකාරී ක්‍රියාදාමයන් නිසා සිය ධීවර රැකියාවටද පහරවැදී, එදාවේලවත් සොයාගත නොහැකිව අසරණවී ඇති ජනතාව පාතබා සිටින ඉඩම පවා අහිමිකරන, වත්තල සිට මීගමුව දක්වා ධීවර ජනයාව, කතෝලික ජනයාව, මුලින්‍උපුටාදමන ක්‍රියාවලියට එරෙහි දැවැන්ත පෙලගැස්මක් විය.

ඒ වුකලී පසුගිය කාලය පුරාවටම මීගමුවේ පැවැති දැවැන්තම උද්ඝෝෂණයය.

පිටිපන සිට පෙලපාලියෙන් පැමිණි ධීවර ජනයා මුලුමහත් මීගමු නගර මධ්‍යයම වටකරගත්හ. නැගීආ මහජනකද නිසා මීගමු පොලීසියට සිදුවූයේ රථවාහන වෙනත් මාර්ග ඔස්සේ හරවා යැවීමටය.

කිසිවෙකුට, කිසිදෙයකට අබමල්රේනුවක හානියක් සිදුනොවූ මෙම දැවැන්ත උද්ඝෝෂණයද මෙහෙයවූයේ මීගමුවේ කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන්‍ ය.

උද්ඝෝෂණය අවසන් කරමින් ජයන්ත පියතුමා ප්‍රකාශ කලේ මේ රැස්කලේ මීගමුවේ ජනයාගෙන් සීයට එකක්වන් ප්‍රමාණයක් පමනක් බවත් ඔවුන්ගේ හඩ මෙතරම් නම් අනෙකුත් සියලු දෙනාම පැමිණියේ නම් කෙතරම් නම් බලවත් හඩක් මතුවේදැයි සිතාගනු මැනවි යැයි කීහ.

මේ පෙලගැසේන්නේ බයිබලයේ එන රතු මුහුද දෙබෑකර ගිය නික්මයාමේ ජනයාගේ හඩද, නැතිනම් ජෙසුතුමන් සමග රාජ තේජසින් ජෙරුසෙලමට ඇදුන ජනයාගේ හඩදැයි මම නොදනිමි.

එහෙත් මේ පෙලගැසෙන්නේ යුක්තිය වෙනුවෙන් සාපිපාසිතවූවන්ගේ හඩබව නම් නිසැකවම දනිමි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
10/11/2021

Thursday 4 November 2021

ලාංකික කිතු දන පුබුදුව ඇති කල ඔස්කා අබේරත්න පියතුමා

ගරු ඔස්කා අබේරත්න පියතුමා ස්වර්ගස්තවූ බව අසා අතීශයෙන්ම කණගාටුවට පත්වුවෙමි. ඔස්කා අබේරත්න පියතුමා මට අවසාන වශයෙන් මුණගැසුනේ මීට වසර 25කට පමණ පෙරය. ඒ ඉරණවිල ඇමරිකානු හඩ ව්‍යාපෘතිය සදහා හලාවත ඉරණවිල ග්‍රාමයේ ඉඩම් අත්පත් කරගැනීමට එරෙහිව ගොඩනැගුන ජාතික ව්‍යාපාරයේ කටයුතු කරමින් සිටි යුගයේ ය. සුදු වතින් සැරසුන කිතු දන පුබුදුවේ සමාජික සමාජිකාවන් සමග ඉරණවිල ග්‍රාමයේ කදවුරු බැදගනිමින් පාදනමස්කාර මෙහෙයන් සිදුකරමින්, පෙළපාලි, උද්ගෝෂණවල නිරතවෙමින්, දෙන දෙයක් කමින්, ලද තැනක බයිබලය දිගහැර ගනිමින් දේව වචනය මනස්කාන්ත ලෙස බෙදාගත්, මහත් අධ්‍යාත්මික ජිව ගුණයක් ප්‍රදර්ශනය කල සරල චාම් දිළිදු ජිවිතයක් ගතකල සැබෑ කිතුනු පියතුමෙක්වූ එතුමෝ දැන් සදහටම දෑස් පියාගෙනය. ඉරණවිලට එපිට කණ්ඩලමේදීද, වෙනත් අවස්ථා කිහිපයකදීම මුණගැසුන එතුමන්ව නැවත හමුනොවන බව සිහිවත්ම දැනෙන කණගාටුව අපමණය. ඊටත් වඩා පසුගිය වසර 25ක කාලය පුරාවටම කෙතරම් ඉඩප්‍රස්ථා සැලසුනද එතුමා හමුවීමට නොයෑම ගැන මා මහත්සේ ලතවෙමි. එතුමන් වැනි පියතුමෙක් නැවත හමුවීමට අවස්ථාවක් නොලැබෙන බව සිහිවනවිට අප කෙතරම් අවාසනාවන්තයෝදැයි සිතෙති. 

ඔස්කා අබේරත්න පියතුමා වඩාත්ම ප්‍රකටව පැවතියේ එතුමා බිහිකළ කිතු දන පුබුදුව නිසාය. කිතු දන පුබුදුව වූ කලී ලංකා කතෝලික සභාව තුල පැන නැගුන සුවිශේෂමවූ කිතුනු එකතුවකි. සභාව තුලත්, කිතුනු ජනතාව තුලත්, රටතුලත් අධ්‍යාත්මක, සංස්කෘතික සහ ජිවිත පුබුදුවක් ඉලක්ක කරගෙන පිහිටුවාගත් කිතු දන පුබුදුව ක්‍රිස්තියානි ජිවගුණය ප්‍රතිස්ථාපානය කිරීමට ශුද්ධාත්ම ආලෝකය ඉල්ලා හඩනගා යාක්ච්චා කල කිතුනු සංඝයකි. වෛයිවර්නවත්වුත්, අලංකාරවුත්, මහෝශාක්‍යවුත්, විනෝදවත්වුත් ජිවිතයක් ගතකල ලාංකික කිතුනුවන්ට ඉන් එහාට කිමිදී ගිය සැබෑ කිතුනු වටිනාකම් මතුකරගත් අධ්‍යාත්මික චිත්තප්‍රීතියක් සොයායන්නට කිතු දන පුබුදව මන් පෙත් විවර කළේය. එහෙත් එකී හරයන් හදුනාගන්නවා වෙනුවට ලංකික කතෝලිකයෝ කිතු දන පුබුදුව හදුනාගත්තේ සුදු අදින, තමන් උරුම කරගත් සංස්කෘතික අංගෝපාන්ගයන්ට අංචි අදින, සභා විරෝධී, දේශීයකරණය යැයි  කියමින් සිංහල-බෞද්ධ සංස්කෘතික අංග ගෙඩිපිටින් කිතුණු ජනයා මත පටවන්නට හදන එහෙටත් නැති මෙහෙටත් නැති ව්‍යාපාරයක් ලෙසය. 

එහෙත් කිතු දන පුබුදුව ද දෙවන වතිකානු මන්ත්‍රණ සභාව දිරිමත් කල 'ගිහි-සභා ප්‍රබෝධය' සහ 'දේශානුරූප සභාවක්' ගොඩනැගීම ඉලක්ක කරගෙන පිහිටවූ ජාත්‍යන්තර Charismatic Christians කිතුනු ව්‍යාපෘතියේම කොටසක්  ලෙස මෙරට  කතෝලිකයෝ හදුනා නොගත්හ. කිතු දන පුබුදුවද තම කිතුනු ව්‍යාපෘතිය සභා සම්මතයන් තුල දිරිමත්කල, ජාත්‍යන්තර මුලයකින් පැනනගින ලද  ගෝලීය කිතුනු  ව්‍යායාමයක කොටසක් යැයි යන්න හදුන්වාදීමට ප්‍රමාණවත් පරිදි කටයුතු නොකලේය. 

අඩුම තරමින් කිතු දන පුබුදුව මෙරට තුල බිහි කිරීමට ගරු ඔස්කා අබේරත්න පියතුමාට ශුද්ධාත්ම දානය ලද එතුමාගේ ජිවිත අත්දැකිමවත්  නිසි පරිදි  සෙසු කිතුනුවන් සමග කිතු දන පුබුදුව බෙදා ගත්තේ නම් මෙරට කිතුනුවන් අතර ඔවුනට වඩ වඩාත් මුල් බැසගැනිමට ඉඩ ප්‍රස්තා ලැබීමට හේතුවීමට ඉඩ තිබුණි. 

1932 මැයි 5 වෙනි දින මොරටුවේදී  උපතලද ඔස්කා අබේරත්න 1957 පෙබරවාරි 02 දින තෝමස් කුරේ කාදිනල්තුමා විසින් පුජකවරයට එසවන ලදුව තරුණ කිතුනුවන් වෙනුවෙන් වැඩ කිරීමට යොමුකරන ලද පියතුමෙක් විය.  ලෝක ව්‍යාප්ත තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරයේ (YCS) ලංකා ශාඛාව බිහිකළ එතුමා 1957 සිට මෙරට ක්‍රිස්තියානි තරුණ කොටස් තුල ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකළ පියතුමෙක් විය. දැන් කටුනායක ගුවන් හමුදා කදවුරට නතුකරගෙන ඇති මීගමුව ගොලුවපොකුණ වත්තේ පැවති තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරයේ තරුණ කදවුරුවලට මගේ දෙමව්පියන්ද තරුණ තරුණියන්ව සිටියදී සහභාගීවී ඇත. එකල කිතුනු තරුණ තරුණියන අතර අතිශය ජනප්‍රියව පැවති තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරයට කණකොකා හැඩළුවේ 1971 කැරැල්ලත් සමගිනි. 

තමන්  අවිහිංසාවාදීව 'අපි විප්ලවය  නොකරමු, විප්ලවය අපිම වෙමු' යන තේමාව මුල් කරගත් ජෝසප් කාඩයින් පියතුමාගේ පරමාදර්ශය තුල ගොඩනැගු  තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරයේ තරුණ තරුණියන්ද 71 කැරැල්ලට සම්බන්දවනු දැක මහත්සේ කලකිරුණු එතුමෝ සිය පුජක කැදවීම ගැනද කලකිරුණි. එය වටහාගත් එවකට කාදිනල් කුරේ හිමිපාණෝ එතුමන්ව රෝමයට යොමුකර අධ්‍යත්මික ප්‍රභවය නැවත සොයායන්නට යොමුකලේය. එතනින් ද පරිපුර්ණත්වයකට පත්වීමට නොහැකිවූ බව කුරේ කාදිනල්තුමාට අබේරත්න පියතුමා දැන්වූ හෙයින් එතුමා ඔස්කා අබේරත්න පියතුමාව එංගලන්තයේ මැන්චෙස්ටර පළාතේ විසු Bob Balkam පවුලේ නිවසේ ටික කාලකට නැවතීමට යන්න යැයි දැන්වුහ. Bob පවුලේ නිවැසියන් සමග සිටියදී ඔවුන්ගේ යැදුම් වැඩසටහනකට සභභාගිවූ එතුමා මත ඔවුන් සියල්ලන් අත තබා යාක්ච්චා කරමින් ඔබ දෙවියන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි විමසුහ. යහපත් පුජකයෙක්වීම සිය අපේක්ෂාව බව ඔහු ඔවුන්ට දැන්වුහ. එකෙනෙහිම තමාමත කිසියම් ශක්තියක් ආරෝපණයවූ බවත් ශුද්ධාත්මයන් තමා මත ප්‍රභාවත්වූ බව දැනුන බව එතුමෝ  ප්‍රකාශකර  ඇත. Bob Balkam ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර Charismatic Christians කිතුනු ව්‍යාපාරයට සම්බද ශුද්ධාත්ම ආලෝකය වෙනුවෙන් වැඩකරන කණ්ඩායමක් බව සිරි ඔස්කා අබේරත්න  පියතුමා පසුව දැනගත්හ. වහා ශ්‍රී ලංකාවට පැමිණි  ඔස්කා අබේරත්න පියතුමා තම අත්දැකීම බෙදාගැනීමට කිතුනු සංඝ ගොඩනැගීමට කාදිනල් කුරේ හිමියන්ගෙන් අවසර ඉල්ලීය. ඔස්කා අබේරත්න පියතුමා පිහිටවූ ලංකා කිතු දන පුබුදුව බිහිවුයේ ඒ අනුවය.  

කිතු දන පුබුදුව ලංකික සභාවේ මෙතෙක් නොවීවිරු ලෙසින් දැඩි කිතුනු  පුබුදුවකින් කිතුනු  ජනයා අතර වේගයෙන් පැතිර යන්නට  විය. ඒ සම්බන්දයෙන් ප්‍රසංසා මෙන්ම දැඩි විවේචනද එල්ලවිය. එහෙත් ඒ සියල්ල හමුවේ එවකට ලංකික කතෝලික සභා එඩේරා ලෙස කාදිනල් කුරේ හිමියන්  ප්‍රකාශ කලේ  ''මෙය මනුෂ්‍යයන් පිරිසක් විසින් සිදුකරන කටයුත්තක් නම් එය කැඩී බිදී නවතිනු  ඇත. එහෙත්  දෙවියන් වහන්සේ විසින් සිදුකරනු ලබන්නක් නම් එය කිසිවිටකත් නොනවතිනු ඇත'' යනුවෙනි.  සිරි  ඔස්කා අබේරත්න පියතුමා ස්වර්ගස්ථ වී ඇති මේ මොහොතේ පවා කාදිනල් කුරේ හිමියන්ගේ ඒ වැකිය  අදාලය. 

ගරු සිරි  ඔස්කා අබේරත්න පියතුමාට මොක්සුව පතමු !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා 

04/11/2021