This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 19 November 2021

මේ චෙස්නට් කාලයයි

මේ චෙස්නට් (Chestnut) කාලයයි. දැවැන්ත චෙස්නට් ගස්වල හටගන්නා චෙස්නට් ගෙඩියේ පොත්ත පැලිලා මේ දවස්වල ගෙඩි බිමට වැටෙනවා.

චෙස්නට් කන්න කැමති අය කටු සහිත පොත්ත ඉවත්කරලා චෙස්නට් එකතුකර ගන්නවා. එසේ එකතුකරගත් චෙස්නට් ටික දිනක් වේලෙන්න ඇරලා තද දුබුරුපාට පොත්ත මත පිහියකින් කුඩා කැපුමක් තබා උදුනේ (oven) හෝ කබලේ (frying pan) විනාඩි 20-30 බැදගන්නවා. ඉන් පසුව අර කුඩා කැපුමක් තැබු තැනින් දුබුරුපාට පොත්ත ඉවත්කර කහපාට චෙස්නට් මදය පාදා ගන්නවා.

චෙස්නට් ඉතා ප්‍රනීත ඇට විශේෂයක්. බොහෝ අතුරුපස (dessert) වලට වගේම නිකන් කන්නත් මරු. කබලේ බැදගත් චෙස්නට් (roasted chestnuts) වයින් (wine) හෝ සින්ගල් මෝල්ට් විස්කි (single malt whiskey) එක්ක බයිට් එකටත් මරු.

එහෙත් එහෙම කන්නේ ස්විට් චෙස්නට් (Sweet Chestnut) කියන ප්‍රබේදයයි. තව තියෙනවා හොර්ස් චෙස්නට් (Horse Chestnuts) කියලා ප්‍රබෝධයක්. ඒය නම් සත්ව ආහාරයක් ලෙසයි සලකන්නේ. ඒ හැර කොන්කර්ස් (Conkers) කියලා ප්‍රබේධයකුත් තියෙනවා. බොහෝදුරට හොර්ස් චෙස්නට් සහ කොන්කර්ස් කියන්නේ එකම වගේ චෙස්නට් ජාතියකට. ඒවා ස්විට් චෙස්නට් (Sweet Chestnut) වලට වඩා විශාලයි.

මේ රටේ ලමුන් අතර සෙල්ලමක් තියෙනවා අර කොන්කර්ස් කියන චෙස්නට් ජාතිය මැදින් විදලා නූල් පොටකින් ගැට ගසාගෙන එකිනෙකා තරගෙට එනෙකාගේ කොන්කර්ස් එකින් එක හප්පා ගන්නවා. ඉස්සෙලාම කොන්කර්ස් එක පිපුරුන කෙනා පරාදයි. ඒ සෙල්ලමට කියන්නේ කොන්කර්ස් සෙල්ලම් කරනවා කියලයි (Conkers game).

කොහොමත් ඔක්තෝබර් වාර මැද සරත් නිවාඩුවේදී ගහ-කොලවල වර්ණ වෙනස්වීම් බලන්න ගම්වදින ලමුන් වගේම දෙමාපියනුත් චෙස්නට් වගේම හතු එකතුකිරීමටත් දැඩි කැමැත්තක් දක්වනවා. චෙස්නට් හතු (chestnut mushrooms) කියලා දුබුරුපාට හතු විශේෂයකුත් කලින් චෙස්නට් වැටුන ගස් යට මේ දවස්වල පැලවෙනවා. එම චෙස්නට් හතුවලිනුත් ඉස්තරම් ව්‍යන්ජන සකස්කරගත හැකියි.

එහෙත් චෙස්නට් වගේ නෙමේ හතු (mushrooms) එකතුකිරීම නම් ඉතා පරිස්සමින් කල යුත්තක්. බොහෝ විෂ සහිත හතු පැවැතීම එයට හේතුවයි.
හතු එකතුකරන වැඩේ (mushroom picking) ඒ සදහා පලපුරුද්දක් සහ දැනුමක් ඇති අය සමග කලයුත්තක්. පෝලන්ත වැනි නැගෙනහිර යුරෝපියානු ජාතිකයොත්, ග්‍රිසීය, ඉතාලිය වැනි මධ්‍යධරණීය සහ දකුණු යුරෝපා ජාතිකයෝත් මේ සදහා විශේෂඥයෝ.

ඒත් චෙස්නට් එකතුකිරීමට හෝ චෙස්නට් පිසගැනීමට එහෙම විශේෂ දැනුමක් අවශ්‍ය නෑ. ඕනෑම කෙනෙකට කලහැක්කක්. ගස් යටින් අහුලා ගත්තේ නැතත් සුපර් මාර්කට් එකකින් හෝ වෙලදපොලෙන් හෝ චෙස්නට් මිලදී ගෙන ඕනෑම කෙනෙකුට පිසගත හැකියි. වෙලදපොලේ ස්විට් චෙස්නට් (sweet chestnut) ග්‍රෑම් 400යක් මෙරට මුදලින් පවුම් 3ක් පමණ වෙනවා.

එහෙත් චෙස්නට් එකතුකරගෙන කෑමක් ලෙස සකස්කර ගන්නවා කියන්නේම සල්ලිවලින් මැනිය නොහැකි මහගු අත්දැකීමක්. විශේෂයෙන්ම ආහාර එන්නේ සුපර්මාර්කට් එකෙන් නෙමේ ගහ කොලවලින්, ගොවිපොලවලින් කියලා ලමයින්ට කුඩාකල සිටිම එත්තුගන්වන්නත්, සොබාදහම සමග ජීවත්වීමේ වැදගත්කම අවබෝධ කරදීමටත්, දෙමාපියන් චෙස්නට් එකතු කිරීමට ඔක්තෝම්බර් අර්ධවාර සරත් නිවාඩුවේදී චෙස්නට් සහ හතු එකතුකිරීමේ ක්‍රියාකාරකම් සදහා ලමයින් රැගෙන යෑමෙන් බලාපොරොත්තුවෙන බව මම දැනගත් දෙයක්. ඇත්තවශයෙන්ම ලමුන්ටත් එයින් ඉතා අපූරු අත්දැකීමක් ලැබෙනවා.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
18/11/21

2 comments:

  1. වැස්සෙ සීතලේ ඇවිදිනකොට පාර අයිනෙ රෝස්ට්කරන තැනකින් පොඩි බෑග් එකක් අරන් කාල තියනව. රස්නෙ පිටින් රසයි. නිවුනාම ඒතරම් හරිනෑ.

    අනිත් කෑම රසකරන්න දානකොට හුගක් රසයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. උනුවෙන් තමයි වඩාත් රස. නැතිනම් නිකන් කොස් ඇට වගේ තමයි.

      Delete