This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 13 January 2023

සිරිසේනලා වරදකරුවන් බව සහතික කල ඓතිහාසික පාස්කු නඩු තීන්දුව!!


නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් 2019 අප්‍රේල් 21, පාස්කු ඉරිදා, රටපුරා ස්ථාන කිහිපයක කතෝලික දේවස්ථාන දෙකක්, කිතුණු දේවස්ථානයක් සහ හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූයේ යැයි කියමින් පාර්ශවකරුවන් කිහිපයක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 13ක් සලකා බලමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ඊයේ (12/01/23) පත්කර තිබුනා.

මෙම තීන්දුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතටත්, පීඩාවටත් පත් ජනයාට යුක්තිය ඉටුකරලීමට ගන්නාවු උත්සහයන්වල විශිෂ්ඨ ජයග්‍රහණයක්. එය, පාස්කු ප්‍රහාරයට යුක්තිය සොයන,  යුක්තිය, සත්‍යය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලාංකික මෙන්ම විවිධ දේශයන් හි වාසය කරන ජනයාගේ බලාපොරොත්තු ඉහල නැංවීමක්. කුමන බාධා පැමිණි‍යත් යුක්තිය පසිදලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි ඇති අති මහත් ගෞරවය සහ විශ්වාස තවදුරටත් ඉහල දැමීමට හේතුවන්නක් බව පැහැදිලියි. 

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් එම චූදිතයන් වින්දියන්ට පෞද්ගලිකව වන්දි ගෙවිය යුතු බව  ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සදහන් වෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විසින් පෞද්ගලිකව රුපියල් මිලියන 100ක්ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් පෞද්ගලිකව රුපියල් මිලියන 75 බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක්ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට නියෝග කර තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ රජය විසින්ද රුපියල් මිලියනයක් වන්දි වශයෙන් වින්දියන්ට ගෙවිය යුතු බවටත් නියෝග කර තිබෙනවා. මේ තීන්දු යුක්තිය සහ සත්‍ය සදහා වු අප ව්‍යාපාරයේ මෙන්ම යුක්තිය, සත්‍යය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විවිධ දේශවල වාසය කරන ජනයාගේද පැසසුමට ලක්වන්නක් බව නොඅනුමානයි. 

ශ්‍රී ලංකා දේශපාලන අධිකාරීය විසින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තින්දුවට අවනතව, අදාල පුද්ගලයන්ට පෞද්ගලිකව ගෙවීමට නියෝග කර ඇති මුදල් රජයේ අරමුදල් වලින් සපයාදීමට කටයුතු නොකර, නීතියේ පාලනය උල්ලංඝනය නොකිරීමට කටයුතු කරනු දැකීම අපි සියල්ලන්ම බලාපොරොත්තු වන්නක්.

 කෙසේවෙතත්, ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න ඓතිහාසික නඩු තීන්දුව ගැන සමාජය තුල විශාල සාකච්ඡාවක් පැන නැගී තිබෙනවා. අද ලංකාවේ වගේ විදේශිය පුවත්වලත් මේ නඩු තීන්දුව ගැන ප්‍රවෘත්ති පලවී තිබෙනවා. 

මුලින්ම මේ නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් කියන්නේ එය ලංකාවේ ඉතිහාසයේ විශාලතම වන්දියක් නියම කරපු නඩු තීන්දුවක් නිසාම නෙමේ, එය රටේ හිටපු ජනාධිපතිවරයා වගේම රටේ මහජන ආරක්ෂාව භාරව සිටි නිලධාරින් රාශියක්ම වරද කරුවන් ලෙස නම් කර තිබෙන නිසායි. 

එය ඉතාම වැදගත් කාරණයක්; හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම, වගකීම් පැහැර හැරීම,  අපොහොසත් වීම,නිසා මිනිස් ජීවිත 269 අහිමිවීමට සහ 500යකට අධික පිරිසක් තුවාල  ලැබීමට වරදකාරයෝ!! අන්න ඒකයි වැදගත්ම කොටස. 

මීට කලිනුත් ජාතික ආරක්ෂාව තහවුරු නොවීම නිසා රටේ දස දහස් ගණනින් මිනිස් ජීවිත අහිමිවු අවස්ථා තිබෙනවා, එහෙත් රටේ නායකයාගේ ඉදන් ඉහලම රාජ්‍ය නිලධාරින් දක්වා වැරදකාරයෝ කරපු පලමු අවස්ථාව මේක. මේ තීන්දුව දැන් ඉදිරියට රටේ පූර්ව ආදර්ශයක්. රටේ පාලකයාගේ ඉදන් සියළු නිලධාරින්ට මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියලා දුන්න දැඩි අනතුරු ඇගවීමක්. 

එය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් සහ පීඩිතයන්ට යුක්තිය දිනාගැනීම වෙනුවෙන් නොනවතින අරගලය විසින් ලාංකීය සමාජයට අත්කර දුන් ජයග්‍රහණයක්. 

ඒ අහිමිවු ජීවිත වලට වන්දි ගෙවල විතරක් ඇතිද? මුන් හිරේ දාන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම වන්දි අරගෙන විතරක් හරියන්නේ නෑ ඔවුන්ට නීතියෙන් දඩුවම් දෙන්නත් ඕනේ. ඒක ඊලඟ පියවරක්. කවුරුත් දන්නවා ඇති ලංකාවේ මෙතෙක් පවරා ඇති වැඩිම නඩු ප්‍රමාණයක් පවරා ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන. ඒ කියන්නේ තව නඩු එනවා පෝලිමට. ඒ සියල්ලටම මේ නඩුවේ ඔවුන් වැරදිකාරයෝ කර දුන් නඩු තීන්දුව ඉතාම වැදගත්. යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් වු සටන පියවරෙන් පියවර ඉදිරියට යායුතුමයි. ඒක වෙනවා. 

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවෙන වෙලාවේ රටේ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ රටේ ජනාධිපති වන නිසා ඔහුට ජනාධිපති මුක්තිය හිමිවෙන නිසා ඔහු මේ ධූරය අහිමිවීමෙන් පසුව හෝ නඩු විභාගයක් සිදුවිය යුතුයි. ඔහුට වුනත් වගකීමෙන් මිදෙන්න බෑ. 

ඒ වගේම පාස්කු ප්‍රහාරයේ සියලු තොරතුරු හෙලිකර ගන්න, සම්පුර්ණ සත්‍යය හෙලිකර ගත යුතුයි. මොකද පාස්කු ප්‍රහාරය පිටුපස්සේ දැවැන්ත කුමන්ත්‍රණයක් තිබුනා කියලා රටේ හිටපු නීතිපතිවරයෙක්වූ දප්පුල ද ලිවේරා මහතාම කියලා තිබුනා. ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්  විමර්ශනය කල කොමිසම් සභා වාර්තා වගේම, තවත් බොහෝ තොරතුරු සම්බන්ධයෙන් නිසි අවබෝධයක් සහ යම් හැදෑරීමක් තිබෙන්නට ඇති බවට සැකයක් නෑ. ඔහු වැන්නෙක් එසේ කියන්නේ කිසියම් පදනමකින්. ඒ වගේම අදත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී කරුණු ඇතුලත්ව ඇතයි කියා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පුළුල් විමර්ශනයක් කල ජනාධිපති කොමිසමේ සියළු වෙළුම් මහජනයාට විවෘත කරලත් නෑ. මහජන ආරක්ෂාවට වඩා ඇති ජාතික ආරක්ෂාව මොකක්ද? පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සම්පුර්ණ සත්‍යය හෙලිකර ගැනීම වැදගත් වෙන්නේ අන්න ඒ නිසයි. 

ඒවගේම ඊයේ නඩු තීන්දුව තුලින්  හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දක්වා තිබුනා. දැන් ඉන්න පොලිස්පති තව මාස කිහිපයකින් විශ්‍රාම ගියහම පොලිස්පති විය හැකි යැයි දැක්වු පොලිස් නිලධාරින්ගෙන් කෙනෙක් තමයි නිලන්ත ජයවර්ධන. ඊට පෙර ඔහු ගැන අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පවත්වන එක පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය ඉටුකරගැනීමට විතරක් නෙමේ නිතියේ පාලනයක්  සහ දුෂාණයෙන් තොර යුක්ති සහගත පොලිස් දෙපාර්තමේන්තුවක් බලාපොරොත්තු වන සියලු දෙනාගේම අපේක්ෂාවක්. හරි නම්, දැන් මුලික අයිතිවාසිකම් පෙත්සමකින් වරදකරුවෙකු කරලා තියෙන නිසා නිලන්ත ජයවර්ධන මහත්තයාට උසස්වීම් දෙන්න බෑ. ලංකාවේ දූෂිත දේශපාලනය තුල එවැනි නිති කොහොම ක්‍රියාත්මක වෙයිද දන්නේ නෑ. ඒත් පැහැදිලිව මෙම නඩු තීන්දුව නිලන්ත ජයවර්ධන මහත්තයාට පරහට හිටින බව නම්  පැහැදිලියි. 

වැරදිකරුවන්ගෙන් අදාල වන්දි මාස 06ක් තුල පෞද්ගලිකවම අය කරගෙන විශේෂ අරමුදලක තැම්පත්කල යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා තියෙනවා. දැන් ඉතින් මෛත්‍රිපාල සිරිසේනලාට, හේමසිරි ප්‍රනාන්දුලාට, පූජිත් ජයසුන්දරලාට, සිසිර මෙන්ඩිස්ලාට, නිලන්ත ජයවර්ධනලාට ගෙවල්දොරවල් විකුණාලා හරි වන්දි මුදල් ගෙවන්න වෙන තත්වයක් ඇතිවෙලා ඇති. බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. 

මේ තීන්දුව දුන්නේ සත් පුද්ගල අධිකරණයේ විනිසුරුවරුන් සියලු දෙනාම ඒකමතිකව. ඉතින් ආයේ ඇපිල් බෑ. 

මේ කාරණා ටිකම ඇති නේද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නේ ඓතිහාසික නඩු තීන්දුවක් කියලා  කියන්න. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 

13/01/23

Tuesday 10 January 2023

'සේපාලගේ දළදා කතාව' සජබ/ජාජබ ඉලක්ක කරගත් මැතිවරණ මඩ ප්‍රචාරයක කොටසක්ද?


'සේපාල ගේ දළදා කතාව' ඇතැම්විට සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජනබල වේගයද ඉලක්ක කරගත් මැතිවරණ මඩ ප්‍රචාරයක මුල් පියවරක් විය හැක.

එසේ සිතෙන්නේ දළදා මාලිගාව, දළදා වහන්සේ සහ පත්තිරුප්පුව ආදිය මුල් කරගනිමින් මේ දිනවල සමාජ මාධ්‍යවලත්, අනෙකුත් මාධ්‍යවලත් දිග හැරෙන විවිධ පෝස්ට්, ලිපි, ප්‍රවෘත්ති සහ අනෙක් ඇතැම් වැඩසටහන් හා විවිධ දිගහැරීම් ආදිය දෙස බැලීමෙනි.

සේපාල දළදා වහන්සේ ගැන සදහන් කරමින් ආන්දෝලනාත්මක කතාවක් කියන්නේ මහනුවර නගරය මහ වැස්සට යටවීමත් සමගය. ඒ ගැන කතාකල චම්පික රණවක මහනුවර නගරය මහ වැස්සට යටවූයේ තමන් 'මෙගා' නගර සංවර්ධන ඇමැතිව සිටියදී කරගෙන යමින් සිටි මහනුවර නගර සංවර්ධන වැඩසටහන් කඩාකප්පල් වීම නිසා යැයි දක්වා තිබුනි.

හරි නම්, සේපාල වැන්නවුන් සිය වැඩසටහන් සදහා එය හොද නිමිත්තක් කරගනු ඇත. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට දරදිය ඇදි, සිංහල-බෞද්ධ ජාතිකවාදී නූතනත්වයක් ගැන පෙනී සිටින සේපාල වැන්නවුන්ට චම්පික රණවකගේ මහනුවර නගර සංවර්ධන සැලැස්ම කඩාකප්පල්වී හොද තොරතුරක් මෙන්ම හොද මාතෘකාවක් වීමටද ඉඩ තිබුනි. එහෙත් සේපාල ඒ වෙනුවට අල්ලගත්තේ වෙනකකි.

ඇතැම් විට, සේපාල, 75 වෙනි නිදහස් උත්සවය නිමිත්තෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු-අස්ගිරි මහා විහාරවලට යැවූ ලිපිය එහෙන් මෙහෙන් ඉලක්ක කරගත්තා විය හැක. එසේ සිතෙන්නේ සේපාල ඔහුගේ අදාල යූටියුබ් වීඩියෝවේ "දළදාව එලියට ගත්තේ කවුද?" යනුවෙන් අහන ප්‍රශ්නය තුලය.

විශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නේ විශේෂ කරුණක් මුල්කරගෙනය. අපල උපද්‍රව වලින් මිදීම සදහා මෙන්ම නියග, ඉඩෝරය ආදියෙන් සහනය පතාද දළදා වහන්සේ ප්‍රදර්ශනය කල බව අප අසා ඇත. දළදා වහන්සේගේ පිහිටෙන් එවැනි අවස්ථාවල නියන් ඉඩෝර හමාර කරමින් මහ වැසි වැසි බවද අප අසා ඇත. මහනුවර මහ වැසි ජලයෙන් යටවී යන අවස්ථාවක සේපාල "දළදාව එලියට ගත්තේ කවුද?" යනුවෙන් අසන්නේ ඉහතකී ජන මනස පිලිබද දැනුමකින් බව පැහැදිලිය.

ඉන් පසුව දළදා වහන්සේ සම්බන්ධ කරමින් වෙනත් දේවල් සහ ඔහු තවත් වැඩසටහනක් කරන්නේ කිසියම් ඉලක්කයක්, උවමනාවක්, අරමුණක්, වැඩපිලවෙලක් ඇතිවය.

එහි දෙවන දිග හැරුම 'වැලේ වැල් නැතිව හිටි' විමල් වීරවංශලා එල්ලීමය. සේපාල ගේ වීඩියෝව පාර්ලිමේන්තුවේත් ප්‍රශ්න කිරීමටත්, සේපාලව අත් අඩංගුවට ගෙන රදවා ගැනීමත් ඉන් අනතුරුව සිදුවේ.

ඒ සමග, රාජ්‍ය මර්ධනය, මාධ්‍ය මර්ධනය ආදිය ගැන කතා කරන සජබ/ජාජබ වැනි විපක්ෂද දළදා වහන්සේ අපහාසයට ලක් කිරීම ගැන චෝදනා කරමින් සේපාලට එරෙහිව කදවුරු බදී. මෙහිදී ජාජබ ඇතුළු ජවිපෙ සේපාලව වහා වහා ගලවා දැමීමට කටයුතු කලේ සිය කකුලේ වසා සිටි කූඩැල්ලෙකු ඉවත් කිරීමට කටයුතු කරන පරිදිමය. අතීතයේ චන්ද්‍රිකා, මහින්ද මෙන්ම සේපාල ද එක්තරා ආකාරය ඔවුන් මත පතිතවූ පිලිලයක් බව ඔවුන්ට තේරුම් යන්නට ඇත. සේපාල විවේචනය කිරීමට ඔවුන් වේගයෙන් මැදිහත්වන්නේ එහෙයින්.

සේපාලගේ කතාව මෙසේ නැගලා යන විට පොතුහැර දළදා මාලිගාවට සමාන ඉදිකිරීමක් කඩන්න යැයි කියමින් කුප්‍රකට මර්වින් සිල්වා ද කරලියට පැමිණියේය. එහිදී කවුදෝ කාන්තාවක් පැමිණ කුරුනෑගල පල්ලියකද එවැනි ඉදිකිරීමක් ඇතැයි කියමින් මර්වින් සිල්වාට කරුණු කීවද මර්වින් සිල්වා දක්වනුවේ "මම ආවේ ඒවා ගැන හොයන්න නෙමේ මේවා ගැන හොයන්න" යැයි කියයි.

ඉන් අනතුරුව මහනුවර දළදා මාලිගයේ පත්තිරුපුවට සමාන ඉදිකිරීම් දැක්වෙන ජයාරූප ෆෙස්බුක් පිටුවල සංසරණය වීමට පටන් ගනී. දළදා මාලිගයේ පත්තිරුපුවට සමාන ආනමඩුව ගම් උදාවේ උදිකල ගොඩනැගිල්ලකුත්, මහියංගනය මහජන පුස්තකාලයේ ජයාරූපත් ඒ අතර වේ. එම ගොඩනැගිලි බොහොමයක් ඉදිකර ඇත්තේ ආර්. ප්‍රේමදාස අගමැති යුගයේය. එකී ජයාරූප සමග හුවමාරුවෙන අදහස්/කොමෙන්ට් අතර 'හේමා (ප්‍රේමදාස) ත් නැග්ගා නේ පත්තිරුප්පුවට?' යනුවෙන් කතාවක්ද කියවේ. දළදා මාලිගාවේ පත්තිරුප්පුව කාන්තාවන්ට අකපැයි යන අදහසක් ඉන් ගම්‍ය වේ. 'හේමා ප්‍රේමදාස පත්තිරුප්පුවට නැග්ගා' යැයි සදහන් කරන්නේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා මහනුවර දළදා මාලිගායේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමය. එ අවස්ථාවට හේමා ප්‍රේමදාස මෙන්ම තවත් කාන්තාවක්ද එතැන සිටියහ. ඇය ඇතැම්විට එවකට දියවඩන නිලමේ නිරංජන් විජේරත්න මහතාගේ බිරිද විය හැක. එහෙත් විවේචකයින්ගේ ඉලක්කයවුයේ හේමා ප්‍රේමදාස මහත්මිය පමණි. එම විවේචන තුල කාන්තාවක් වීම යන්න පමණක් නොව කුල ප්‍රශ්නයක්ද මතුකලේය.

දැන් පුවත්පත්වල ජේවිපේ 88/89 යුගයේදී දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කිරීම ගැන නැවත ලිපි පලවේ. නැතහොත් පරණ ලිපි නැවැත හුවමාරුවේ...

සේපාල ගේ දළදා කතාව දැන් බොහෝ දුර ගොසිනි. එය මහජනයා තුල උතුම්වු පුජා වස්තුවකට හානි කිරීමේ අවස්ථා රාශියක් සිහිකැදවා ඇත. තවත් එවැනි අවස්ථා සිහි කැදවීමට ඉඩ ඇත. මේ අවස්ථාවේ, දැනට, එය සජබ සහ ජාජබ ඉලක්ක කරගෙන ඇත. එහි දිග පලල, ඉදිරි දිග හැරීම් අපි නොදනිමු. එහෙත් බලයේ සිටින පාලක පන්තිය ජාතිය, ආගම, කුලය, භාෂාව හෝ වෙනත් ඕනෑම බෙදයකින් ජනයා බෙදා වෙන්කර දිගටම බලයේ සිටීමට ඕනෑම කුමන්ත්‍රණයක් කරනු ඇත. බෙදා වෙන්කර, එකිනෙකා කොටවා, පාලනය කිරීම ඔවුන් යටත් විජිත පාලකයින්ගෙන් හොදින් ප්‍රගුණකල පාඩමකි. සේපාල ලා යනු දැනුවත් ව හෝ නොදැනුවත්ව එකී න්‍යාය පත්‍රවල කොටස් ය. 





මාකස් ප්‍රියන්ත පෙරේරා
10/01/23

Friday 6 January 2023

XVI වන බෙනඩික්ට් පාප්තුමාගේ කාර්යභාරය වූයේ කුමක්ද?

"We were looking for a 'good shepherd,' and instead we got a German shepherd" එසේ පැවසුවේ වෙන කිසිවෙකුත් නොව XVI වන බෙනඩික්ට් පාප්තුමාය. ඒ 2005 අප්‍රේල් 25 දින, පාප් ධුරයට පත්වීමෙන් පසුව ශාන්ත පීතර බැසිලිකාවෙන් පිටතදී පැවැත්වු ඔහුගේ මංගල දිව්‍ය පූජාවේදී මය.  

XVI වන බෙනඩික්ට් පාප් වහන්සේගේ ඉහත ප්‍රකාශය සරලව සිංහලට පරිවර්තනය කලහොත් කිසිවෙකුට එය "අපි 'යහපත් එඬේරෙකු' සොයමින් සිටි අතර, ඒ වෙනුවට අපට ලැබුණේ 'ජර්මන් එඩේරෙකු" යැයි යනුවෙන්ද දැක්විය හැක. 1927 දී ජර්මනියේ මියුනිච් නගරය පිහිටි 'බවේරියාවේ' උපත ලද, 1951 දී එහිම පූජකවරයට පත්ව, ජර්මනියේ විශ්ව විද්‍යාල කිහිපයකම දේව ධර්මය පිලිබද මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කල, 1978 දී මියුනිච් හී රදගුරුවරයාද, පසුව අගරදගුරුවරයා හා කාදිනල්වරයා බවටද පත්වූ ජෝසෆ් රැට්සිංගර් (Joseph Aloisius Ratzinger) ජර්මන් ජාතිකයෙකු වූ නිසාම ඔහුව 'ජර්මන් එඩේරෙකු' ලෙස හදුන්වා දීමට පදනමක් තිබිය හැක. එහෙත් 'German shepherd' යන්නෙන් අදහස් කරන්නේ දැඩි/දරුණු/වීනිත/ශක්තිමත්/හොදින් හැඩ ගැසුනු/ ස්වාමියාට වඩාත් පක්ෂපාති සුනඛ විශේෂයකි. බෙනඩික්ට් පාප්වරයා තමාව 'German shepherd' ලෙස හදුන්වාදීම තුල කියවෙන්නේ 'ජර්මන් එඩේරෙකු' යන්නට වඩා 'මුර බල්ලෙකු' යන්නය.

ඇත්තවශයෙන්ම, XVI වන බෙනඩික්ට් පාප් වහන්සේගේ සේවය පිලිබදව ඇගයීමේදී පෙනීයන්නේ ඔහුගේ සේවය සැබෑවටම බිලියන 1.3 කට වඩා සමාජිකත්වයක් ඇති රෝමානු කතෝලික පල්ලියේ දැඩි ආරක්ෂකයෙකුගේ කාර්යභාරයට (German shepherd) සමාන බවයි.

ඔහු කතෝලික සභාව ආරක්ෂා කලේ වංචාවෙන්, දූෂණයෙන්, ලමා අපචාරවල නිරතවූ පූජකයින්ගෙන් පමණක් නොව කතෝලික ධර්මය යටින් හාරා බිද දැමීමට ඒ තුලින්ම පැන නැගුණු විවිධ බලවේගයන්ගෙනි. ඒ සදහා ඔහු ලද මගපෙන්වීම වුයේ දේව ධර්මය (Theology) පිලිබදව ඔහුගේමවු අති මහත් ගැබුරු අධ්‍යයනයන්‍ ය. දේව ධර්මය (Theology) පිලිබදව ඔහුගේ ශාස්ත්‍රීය අධ්‍යයනයන් ජර්මනියේ විශ්ව විද්‍යාලවලද, යුරෝපය තුලද, වතිකානුව තුලද දැඩි පිලිගැනීමකට ලක්වූ නිසාම දෙවන වතිකානු සම්මේලනයේ තීන්දු/තීරණ පිලිබදව දේව ධාර්මික වශයෙන් ප්‍රතිවිමර්ෂණයට ලක් කිරීමට පත්කල අධ්‍යයන කමිටුවේ ප්‍රධානියා ලෙසද ඔහුව පත්කලේය.

එවකට 51 හැවිරිදි කාදිනල්වරයෙක්වු ජෝසෆ් රැට්සිංගර් (පසුව XVI වන බෙනඩික්ට් පාප්වහන්සේ) රදගුරුවරයාට පැවතියේ අපූර්ව අනන්‍යතාවකි.

කතෝලික පල්ලියේ ගතානුගතික/ සම්ප්‍රදායවාදීන් සැලකුවේ කාදිනල් ජෝසෆ් රැට්සිංගර් යනු ඔවුන්ගේම කෙනෙකු ලෙසය. එමෙන්ම මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ විමුක්ති දේවධර්මාචාර්යවරුන් (liberation theologians) විශේෂයෙන්, බ්‍රසීලයේ ලෙනාඩෝ බොෆ් (Leonardo Boff), උරුගුවේහි ජුවාන් ලුයිස් සෙගුන්ඩෝ (Juan Luis Segundo) සහ පේරු හි ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) ආදීන් පනපෙවු කතෝලිකයන්ගෙන් “කාලයේ සලකුණු කියවන්න” (Read the signs of the times) කණ්ඩායමේ/කවුන්සිලයේ අදහසවුයේ කාදිනල් ජෝසෆ් රැට්සිංගර් යනු නිර්ධන පාංතීක විමුක්තිය, මාක්ස්වාදී න්‍යායන්, පැස්සිට්වාදී ප්‍රවනතා ගැනත්, කිතුණු ශුභාරංචි ආඛ්‍යානවල රළු බව සහ එහි බටහිරවාදී අර්ථ නිරූපනයන් ගැනත් සංශ්ලේෂණ අධ්‍යයනයක් (synthesis study) ඇති තැනැත්තෙක් ලෙසය.

එහෙත් කාදිනල් ජෝසෆ් රැට්සිංගර් එකී කිසිදු ආකාරයකට නතුවු හෝ නතුකරගත හැකි චරිතයක් නොවුනි.

දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ වතිකානුවෙහි මූලධර්ම කාර්යාලය වන 'ඇදහිල්ලේ ධර්මය සඳහා වූ සභාවෙ' හි (Congregation for the Doctrine of the Faith - C.D.F) ප්‍රධානියා ලෙස 1981 දී පත් කිරීමෙන් අනතුරුව දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේගේ සමීපතම සහයෝගිතාකරු ලෙස කටයුතුකල කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ට කතෝලිකයන්ට නව යුගයේ මුහුණදීමට ඇති ප්‍රශ්න සමඟ මූලධර්මාත්මකව මෙන්ම විවෘතවද කටයුතු කිරීමට වැඩි ඉඩක් සහ පුළුල් ඉඩ ප්‍රස්ථවක් සැලසුණි.

කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ගේ මුල්ම කාර්යන් අතර කතෝලික විශ්ව විද්‍යාල තුල ජනප්‍රිය වෙමින් පැවැති විමුක්ති දේවධර්මයේ (liberation theology) ඉගැන්වීම් පිලිබදව අවධානය යොමු කිරීම දැකිය හැකි විය. පූර්ණ අධ්‍යයනකින් අනතුරුව කාදිනල් රැට්සිංගර්ගේ කාර්යාලය (C.D.F) කතෝලික සභාව තුල ජනප්‍රිය ව්‍යාපාරවලට ජීවය දුන් විමුක්ති දේවධර්මයේ (liberation theology) ඇතැම් ඉගැන්වීම් නිවැරදි නොවන බවත් එමගින් "දෙවියන් වහන්සේ ඔහුගේ පල්ලියට භාර දුන් ක්‍රිස්තියානි පණිවිඩය විකෘති කිරීමක්" (“a perversion of the Christian message as God entrusted it to His Church”) කර ඇති බවත් ප්‍රකාශයට පත්කලේය. එපමණක් නොව එකී දේව ධර්මය ප්‍රචලිත කල පේරු හි ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) ආදින් පිළිබඳ විමර්ශනයක් කිරීමටත් 'පැහැදිලි කිරීම්' ඉල්ලා සිටීමටත් දැඩිව කටයුතු කලේය. එකී ක්‍රියාමාර්ග මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ විමුක්ති දේවධර්මාචාර්යවරුන් (liberation theologians) ගේ බලය බිදීමටත්, කතෝලික පල්ලිය තුල ඔවුන් අත්කරගත් සුවිශේෂී අවධානය අහිමි කිරීමටත් හේතුවිය. එහි වගකිවයුත්තා ලෙස ඇගිල්ල දිගුවුයේ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේට නොව වතිකානුවෙහි මූලධර්ම කාර්යාලය වන ඇදහිල්ලේ ධර්මය සඳහා වූ සභාවෙහි (Congregation for the Doctrine of the Faith - C.D.F) ප්‍රධානියා ලෙස කටයුතුකල කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ටය. ඔහු පිලිබදව වූ අප්‍රසාදය ඔහු එම ධූරයේ සිටි දශක ගණනාවක් පුරාවටම විහිදුනි. විශේෂයෙන්ම ඉග්නාසියෝ එල්ලකුරියා පියතුමා (Father Ignacio Ellacuría) ඇතුළු විමුක්ති දේවධර්මය වෙනුවෙන් හඬ නැගූ ජේසු නිකායික පියතුමන්ලා හය දෙනෙකු, ඔවුන්ගේ ගෘහ සේවිකාව සහ ඇගේ දියණිය එල් සැල්වදෝරයේ මධ්‍යම ඇමරිකානු විශ්ව විද්‍යාලය තුල එරට හමුදාවට අනුයුක්ත මිනීමරුවන් විසින් ඝාතනය කල 1989 දී පවා කතෝලික සභාව සභාවක් ලෙස ඊට එරෙහිව දැඩි පියවරක් නොගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය යොමුවුයේද කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ටය. ලංකාවේ තිස්ස බාලසූරිය පියතුමාට අතුරු තහනම් නියෝගයක් පනවමින් බාලසූරිය පියතුමා ලියු 'Mary and human liberation' කෘතිය සම්බන්ධයෙන් විමර්ශනයක් කලේද කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ගේ කවුන්සිලය ය. (එම කෘතිය පිලිබදව වූ තහනම මෙන්ම තිස්ස බාලසූරිය පියතුමාට පැනවූ අතුරු තහනම් නියෝගයද විමර්ශනයකින් පසුව වතිකානුව ඉවත් කරගන්නා ලදි. )

මෙසේ කතෝලික දේවධර්ම ඇසුරෙන් මතුව ඇති විවිධ ප්‍රවනතා පිලිබදව දැඩි විමර්ශනක සහ සූක්ෂම අවධානයක නිරතවු කාදිනල් ජෝසෆ් රැට්සිංගර් ඊලගට අත තිබ්බේ කතෝලික පල්ලියේ දුෂණ, වංචා, ලමා අපචාර, ස්ත්‍රී දූෂණ, සමලිංගිකසේවනය ආදිය වෙතය . එය කතෝලික පල්ලියේ ගතානුගතික, සම්ප්‍රදායික කදවුර පවා සලිත කිරීමට සමත්විය. එවැනි අපරාධ, දූෂණ සහ වංචා ආදිය ගැන සදහන් ලිපි ලේඛන බුරුතුපිටින් වතිකානුවට ගෙන්වා ගත් කාදිනල් ජෝසෆ් රැට්සිංගර් පූජක ලිංගික අපයෝජන පිලිබද අර්බුදය සමඟ ගනුදෙනු කිරීමේදී වතිකානුව දැඩි අවධානයක් යොමුනොකිරීම බරපතල අඩුපාඩුවක් ලෙස සැලකීය. පූජක අපයෝජනයන් පිළිබඳ පළමු ගැඹුරු වාර්තා 1985 දී පළ වූ නමුත්, පූජකයන් හික්මවීම අභ්‍යන්තර කටයුත්තක් බව අවධාරනය කරමින් පල්ලිය නීතිඥයින්ට සහ නීතිය ක්‍රියාත්මක කරන්නන්ට එරෙහිව පස්සට තල්ලු කිරීම නිසා දශක දෙකකට ආසන්න කාලයක් ගැටලුව උග්‍ර වීමට හේතු විය. එහෙත්, ලොව පුරා රදගුරු පදවි විසින් රැස්කරන ලද සිය ගණනක් පූජකවරුන්ගේ ලිංගික අපරාධ සහ දූෂිත මූල්‍ය ගනුදෙනු හෙළිදරව් නොකිරීම සහ එහිලා නිසි ක්‍රියාමාර්ග නොගැනීම ඉක්මනින්ම නිවරදිකල යුතු වරදක් ලෙස සලකා ඔහු දැඩිව ක්‍රියාත්මක විය. ලොවපුරාම සෑම රදගුරු වසමකින්ම එවැනි චෝදනා ගැන විශ්වාසනීය ලෙස චෝදනා ලද පූජකවරුන් පිලිබද වාර්තා මිටි පිටින් ගෙන්වාගෙන කියවීම සහ පෞද්ගලිකව ඔවුන් සම්බන්ධයෙන් විධිමත් ලෙස කටයුතු කිරීමේ සම්ප්‍රදාය (Our Friday penance -"අපේ සිකුරාදා සද්භවය") ආරම්භ කලේ එතුමාය.

ලිංගික අපයෝජන චෝදනා දුසිම් ගණනක් ගැන ලොව පුරාම චූදිත බිෂොප්වරුන් සහ පූජකවරුන් සම්බන්ධයෙන් පල්ලියේ නීතිය හෝ සභාවේ අධිකරණවලවත් නඩු පැවරීමට කටයුතු නොකිරීම ගැන කාදිනල් ජෝසෆ් රැට්සිංගර් සභාව තුල දැඩිව හඩක් නැගුවෙක් යැයි සැලකේ. පල්ලියේ ඉහලම තනතුරක් දරමින්ම පල්ලියේ "අපිරිසිදුකම" ගැන ගුප්ත ලෙස කතා කිරීමට අපූර්ව බලයක් කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ට තිබුනි. ඇමෙරිකාවේ මැසචුසෙට්ස්හි පුලුල්ව පැතිරුනු පූජක ලිංගික අපයෝජනයන් පිලිබඳව 'Boston Globe' රූපවාහිනිය විසින් විශ්මයජනක ගවේෂණාත්මක වාර්තා මාලාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, Boston හි Cardinal Bernard Lawට ඉල්ලා අස්වීමට බලකිරීමට මෙන්ම සියලු ඇමරිකානු කාදිනල්වරුන් රෝමයට කැඳවා දෙවන ජුවාම් පාවුළු පාප්තුමා යටතේ අසාමාන්‍ය සමුළුවක් කැදවීමටද වතිකානුවෙ මූලධර්ම කාර්යාලය වන ඇදහිල්ලේ ධර්මය සඳහා වූ සභාවෙහි (Congregation for the Doctrine of the Faith - C.D.F) ප්‍රධානියා ලෙස කටයුතු කලේද කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ය.

දූෂිත පුජකයින් සහ සභා නායකයින් ගැන වඩ වඩාත් දැඩි ක්‍රියාමාර්ග වර්තාවන්නට ගත්තේ කාදිනල් ජෝසෆ් රැට්සිංගර් XVI වන බෙනඩික්ට් පාප්වරයා ලෙස 2005 දී පත්වීමත් සමගය. 2006 සිට බුරුතුපිටින් පුජකයින් පිලිබද පරීක්ෂණ පැවත්වීම්, නෙරපීම්, දඩුවම් පැවැරීම් ආදිය සුලබව වාර්තාවන්නට විය. 2011 සිට 2012 දක්වා කාලය තුළ පමණක් බෙනඩික්ට් පාප් වහන්සේ රදගුරුවරුන්/පූජකවරුන් 400කට ආසන්න සංඛ්‍යාවක් ගැන දැඩි ක්‍රියාමාර්ග ගත් බවත්, 2004 සිට 2014 දක්වා කාලය තුළ රදගුරුවරුන්/ පූජකවරුන් 800 කට අධික සංඛ්‍යාවක් නෙරපීමට කටයුතු කල බවත් එක් ඇස්තමේන්තුවකට අනුව කියවේ. එමෙන්ම දූෂිත පුජකයින්ගේ අතවරයට පාත්‍රවූන්ට යුක්තිය, සාධාරණත්ව සහ සහනය ලබාදීමට 'රූත් කාර්‍ය්ංශය' (Ruth Institute), “Ask a Survivor” ආදි විවිධ පියවරයන් ගන්නා ලදි. වරක සිය මීසම් භාර පියතුමාගේ අතවරයට ලක්වූ 'Faith Hakesley' ආදින් බැහැදැකීමටද, ඔවුන්ට යුක්තිය ඉටුකරලීමට හැකි සියළු පියවර ගැනීමටද මැදිහත්විය. තවද පූජකවරුන්ගේ හික්මවීම, වගකිම ආදිය ගැන ගතයුතු ක්‍රියාමාර්ග විනය පරීක්ෂණවලින් ඔබ්බට එතුමා ගෙන ගියේය.

ලිංගිකත්වය ගැන කතෝලික පල්ලියේ ඉගැන්වීම නැවත නැවත් යාවත්කාලීන කරමින් ලිංගිකත්වය සම්බන්ධයෙන් ලොව පුරාම ගොඩනැගී ඇති 'විසකුරු ලිංගික සංස්කෘතිය' (toxic sexual culture) සම්බන්ධයෙන් ව්සංයෝජනාත්මක (deconstructive) ප්‍රවේශයක් ඉදිරිපත් කලේය. සාම්ප්‍රදායික ලිංගික සදාචාරයේ සිට ක්‍රමානුකූලව ව්පරිවර්තනය වු 'විසකුරු ලිංගික සංස්කෘතිය' (toxic sexual culture) සමාජ සත්තාවේ පමණක් නොව සභාවේ බැදිම්ද බිඳ දැමීම දක්වා සංස්කෘතික හෝදාපාළුවකට ලක්කර ඇති බවත්, පල්ලිය තුළ පවා ඒ සම්බන්ධයෙන් මූලධර්මාත්මකව වෙනසක් සිදු කල යුතු බවත් එතුමා දැක්වා තිබුණි. ප්‍රැන්සිස් පාප්තුමාද මෑතකදී ප්‍රකාශ කලේ පූජකයින් සහ පැවිදි සොයුරියන් පවා නිරුවත් ජයාරූප/චිත්‍රපට (pornography) නරබන බවත් එමගින් යක්ෂයා පල්ලිය තුලට රිංගන බවත් දැක්වීය. එහෙත් XVI වන බෙනඩික්ට් පාප්තුමාගේ ප්‍රවේශය ඊටත් වඩා ගැබුරු සහ මූලධාර්මික විය. ඔහු දැක්වුයේ "ලජ්ජා නැති ලිංගික සංසර්ගය සහ දරුගැබක් ගැන නොසිතන සංසර්ගය විලෝපිකයන්ගේ පාරාදීසයක් සහ අන් සියල්ලන්ටම බියකරු සිහිනයක් නිර්මාණය කර ඇති බවයි (sex without shame and intercourse without babies have created a paradise for predators and a nightmare for everyone else). ලිංගිකත්වය පිලිබදව මෙයටත් වඩා ගැබුරු දාර්ශනික පදනමක් ඉදිරිපත් කිරීමට මේ යුගයේ සිටි අද්විතීයම දේවධර්ම ආචාර්ය වරයා ජෝසෆ් රැට්සිංගර් (Joseph Aloisius Ratzinger) කාදිනල්වරයා හෙවත් XVI වන බෙනඩික්ට් පාප්තුමා බව අවිවාදිතය.

ඇත්තවශයෙන්ම, ජෝසෆ් රැට්සිංගර් කාදිනල්වරයෙකු ලෙස සිටියදී මෙන්ම XVI වන බෙනඩික්ට් පාප්තුමා ලෙස ඉටුකල සේවය පල්ලිය දූෂිතයන්ගෙන් බේරාගෑනීම හා දේව ධර්මය විවිධ විකෘති ප්‍රවනතාවලින් බේරාගැනීමට පමණක් සීමා නොවී සෙසු ආගම් අතර සහජීවනයද දිරිමත් කලේය.

එය එක්තරා ආකාරයකට දෙවන ජුවාම් පාවුළු පාප්තුමා ගත් පියවරක් ඉදිරියට ගෙන යෑමක් විය. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ 1986 ඔක්තෝම්බර් මාසයේදී, සාමය සඳහා වූ ලෝක යාඥා දිනයක් (World Day of Prayer for Peace) සඳහා ලෝක ආගම්වල නායකයින්ගේ පෙර නොවූ විරූ රැස්වීමක් ඉතාලියේ අසීසිහිදී කැඳවමින් කටයුතු කරන විට කාදිනල් රැට්සිංගර් සිටියේ තිරය පිටුපසිනි. එහෙත් පාප්තුමා, කැන්ටබරි අගරදගුරු, ජෙරුසෙලමේ ප්‍රධාන රබ්බි, සෞදියේ මව්ලමිතුමන්ලා, දලයි ලාමා තුමා සහ අනෙකුත් ආගමික නායකයන් සමඟ උරෙන් උර ගැටී සිටීමේ අදහස දිරිමත් කලේය. එහෙත් "ආගමික නිදහස යන්නෙන් අදහස් කළේ ආගමික සමානාත්මතාවය බවත් කතෝලික සභාවට විශ්ව ගැලවුම්කරුවා ලෙස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුවිශේෂත්වය තදින්ම අල්ලාගෙන සිටීම දැඩිව අවශ්‍ය බවත් ජෝසෆ් රැට්සිංගර් කාදිනල්වරයා වශයෙන් මෙන්ම XVI වන බෙනඩික්ට් පාප්තුමා ලෙස කටයුතු කිරීමේදී ද ඔහු දිගින් දිගටම අවධාරණය කලේය.

පල්ලියේ නිරන්තර මිෂනාරි ප්‍රකාශණ (Dominus Iesus) මගින් ඔහු එවකට පෙන්වාදීමට උත්සහකර ඇත්තේ 'ආගමික බහුත්වවාදය' (religious pluralism) සාධාරණීකරණය කිරීමට සාපේක්ෂ වශයෙන් දරණා උත්සාහයන් මගින් න්‍යායාත්මකවත්, ප්‍රතිපත්තිමය වශයෙනුත්, අනුගාමිකයින් ලෙසත්, සහ වෙනත් ආගමික සම්ප්‍රදායන් වශයෙන් සැලකීමේදීත් එය ('ආගමික බහුත්වවාදය - religious pluralism) ආගම් "දැඩි ලෙස දුර්වල තත්වයකට" ඇද දමන බවයි ('relativistic theories which seek to justify religious pluralism, not only de facto but also de iure (or in principle),” and which deemed the followers of other religious traditions “in a gravely deficient situation').

කාදිනල් රැට්සින්ගර් වශයෙන් කටයුතු කල කාලයේදි මෙන්ම XVI වන බෙනඩික්ට් පාප්තුමා ලෙස කටයුතු කල කාලයේදී ද එතුමාගේ කටයුතු බාධාවකින් තොරව දිගටම දිග හැරුණා නොවේ. දක්ෂ විද්වතුන්ගේ, දේවධර්මාචාර්යවරුන් සහ සභා නායකයින්ගේ ප්‍රතිරෝධයන්, විරෝධයන්, කඹ ඇදීම් , පරීක්ෂණයන්වලින් ඔහුට නොඅඩුව බාධාවන් එල්ල වෙමින් තිබුණි. එහෙත් ඔහුගේ භක්තිය, ඇදහිල්ල සහ අතිමහත්වු විශ්වාසය ඒ සෑම බාධාවක්ම දියකර හැරීමට සමත්විය.

කෙසේවුවද ඔහුගේ නිරන්තර අරගලය අවසානයේ ඔහුට දෙවියන් ගේ හඩ (God's voice) ගිලිහී ගිය අවස්ථාවක් උදා කල බවත් ඒ හඩ නැවත ඇසීමට ලැබුනේ අර්ජන්ටිනාවේ Buenos Aires හි කාදිනල් Jorge Mario Bergoglio තුලින් බවත් XVI වන බෙනඩික්ට් පාප්තුමා වරක දක්වා තිබුනි. කාදිනල් Jorge Mario Bergoglio යනු වර්මාන ප්‍රැන්සිස් පාප්වරයා ය. කාදිනල් Jorge Mario Bergoglio ගේ හමුව XVI වන බෙනඩික්ට් පාප්තුමාට 'දෙවියන් ගේ හඩ නැවත' ගෙන ආවා පමණක් නොව දෙවියන්ගෙන් පණිවිඩයක්ද ගෙන ඒමට ඇත. එකී හමුවෙන් ටික කලකට පසුව, 2013 පෙබරවාරි 28දා XVI වන බෙනඩික්ට් පාප්තුමා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට තීරණය කලේය. ඒ වසර හයසියයකට ආසන්න කාලයකදී ඉල්ලා අස්වු පළමු පාප්තුමා ලෙසිනි. එය ඉතා වැදගත් ක්‍රියාවකි. මන්දයත් එමගින් පාප් පදවියේ ඇති ජීවිතාන්තය දක්වා බලයේ සිටිය හැකි 'රාජාණ්ඩු ගුණාංග' හීන කළ හැකි නිසාය. එමගින් ලබාදුන් පූර්වාදර්ශය වුයේ පාප් ධුරයද යම් සීමිත සේවා කාලයක් සහිත සේවයක් විය යුතුබවය. එය බෙනඩික්ට් පාප්තුමාගේ අනුප්‍රාප්තිකයින්ටද පූර්වාදර්ශයක් තැබීය . විශේෂයෙන් ආසන්නතම තැනැත්තා වන අසූහය හැවිරිදි වත්මන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වයස හෝ අසනීප තත්ත්වය හේතුවෙන් ඉල්ලා අස්වීමේ හැකියාව ගැන දැන් කතා කරන්නේ XVI වන බෙනඩික්ට් පාප්තුමා ගේ මග යමිනි. සිය ධුරයෙන් ඉල්ලා අස්වී XVI වන බෙනඩික්ට් පාප්තුමාද ඇමැරිකානුවේ හිටපු ජනාධිපති රිචඩ් නික්සන් මෙන්ම ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන් හෙලිකොප්ටරයක නැගී ඉවත්ව ගියේය. එසේ ගොස් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙන් ජැනේලයක එල්ලී සිය මුද්‍රාව නැවැත තැබීමට උත්සහකලේ නැත. සුපුරුදු පරිදි සිය දේවධර්මික අධ්‍යයනයන්හී නිරත විය. කතෝලික සභාව තුල කාන්තාවන්ට පුජකවරය දිය යුතුද? නැද්ද? යන්න ගැන මෙන්ම සමලිංගික ප්‍රජාව සම්බන්ධයෙන් සභා ස්ථාවර‍යන් ගැන නැවත නැවත් උනන්දුව විමර්ශනයන් හී නිරතවිය. කලකට පෙර ඔහුගේ දැඩි විමර්ශනයට සහ විරෝධයට ලක්වූ ප්‍රංශයේ Notre Dame සරසවියේ දේවධර්මාචාර්ය Richard P. McBrien පියතුමාගේ 'කාන්තාවන්ට පුජකවරය ලබාදීම' (women’s ordination) සම්බන්ධයෙන් වූ රචනා සම්බන්ධයෙන් නැවැත් කිසියම් ශාස්ත්‍රීය අධ්‍යයනයක නිරතවු බවත් වාර්තාවේ.

XVI වන බෙනඩික්ට් පාප්තුමාගේ ලේඛන තවත් දශක ගණනාවකට පසුවද අවධානයට ලක්වෙනු ඇත. අනිවාර්යයෙන්ම එකී රචනා සම්බන්ධයෙන් උද්ගතවන මතභේදයන්ගේද අඩුවක් නොවනු ඇත. එහෙත් කතෝලික පල්ලියේ මුලික ඉගැන්වීම් සහ එහි පදනම් වඩ වඩාත් ශක්තිමත් කරමින් නූතන ලෝකයේ පැනනැගෙමින් එන විවිධ අභියෝගවලට 'තනි මනසකින්' (single minded) මුහුණදුන් වෙනත් සභා එඩේරෙක් නොමැති තරම්‍ ය. ඒ තරමට ඔහු තබා යන දැවැන්ත සලකුණ අතිමහතය. XVI වන බෙනඩික්ට් පාප්තුමා මිය යන තෙක්ම කටයුතු කලේ කතෝලික සභාවටත්, කිතුනු ජන ජීවිතවලටත් නව ක්ෂිතිජයක් සහ තීරණාත්මක මඟ පෙන්වීමක් ලබාදීමටය.

XVI වන බෙනඩික්ට් පාප්තුමාට සදාතන ජීවනය අත්වේවා!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
(06/01/23)