This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 30 December 2021

නත්තල් මුද්දර කිහිපයක් ගැන කතාවක්

 සෑම වසරක නත්තලට සුබ පැතීම සදහා තැපැල් නත්තල් මුද්දරයක් යොදා ගැනීම මම කාලයක් පුරා පුරුද්දක් කරගෙන තිබුණි. මා කුඩාකල සිටම තැපැල් මුද්දර එකතු කරන්නෙක්මි.  ඊටත් වඩා මුද්දරවල ඇති අපුර්ත්වය සහ එහි දක්වා ඇති සංදර්භය සොයාබැලීමට රුචිකත්වයක් දක්වන්නෙක්මි. තැපැල් මුද්දර කැටිකොට ගන්නා රූප රාමුවල නියෝජනයවන කරුණු කාරනා බොහෝ විෂයන් නියෝජනය කරයි. එය එක්තරා ආකාරයක සාහිත්‍යයකි. එහෙත් මුද්දර  ගැන එවැනි අර්ථයකින් අවධානය යොමු කරන්නට අපේ රටේ මුද්දර එකතු කරන්නන් පවා තවමත් පෙළබි නැත. බොහෝදුරට තැපැල් මුද්දර දැන් නිකුත් කරන්නේ කිසියම් අනුස්මරණ අර්ථයකිනි. ලෝකයේ බොහෝ රටවල් නත්තල් සැමරුමට වාර්ෂිකව නත්තල් මුද්දරයක් නිකුත් කරන්නේද එවැනි සම්ප්‍රදායක් තුලය. එහෙත් ඒ තුල ගැබ්වෙන තොරතුර ගැන අප දක්වන අවධානය සීමිතය. එහෙත් එකී මුද්දර ගැන සොයාබැලීමේදී එහි අපට කියවිය හැකි තොරතුරු රාශියකි. 

නත්තල් තැපැල්  මුද්දර අතර  වතිකානු මුද්දර ලෝකයේ වඩාත්ම හඳුනාගත හැකි තැපැල් මුද්දර අතර වේ. නත්තල්ට සුබ පැතීමට බොහෝ රටවල් නිකුත් කරන නත්තල් මුද්දර අතුරින් වතිකානුව ගිය වසරේ (2020) සහ මේ වසරේ (2021) නිකුත්කල නත්තල් මුද්දර වෙත ඔබේ අවධානය යොමුකිරීමට මම  කැමැත්තෙමි. 

මෙම වසරේ (2021) 'ශුද්ධ වූ පවුල' තේමා කරගත්  වතිකානු නත්තල් මුද්දරය පසුබිම් කරගත් විශේෂ කතාවක් ඇත. එය Adam Piekarski නම් දැනට වසර 6ක් තිස්සේ රෝමයේ ජීවත් වන 42 හැවිරිදි පෝලන්ත ජාතිකයෙක් විසින් අදින ලද්දකි. ඔහු මෙන්ම චිත්‍රයට තේමාවී ඇති පවුලද වසරක් පමණ නිවාසක් නොමැතිව සිටි නිවහන් අහිමිව තැන තැන ජීවත්වු පිරිසකි (homeless). 

වතිකානු මාලිගාවේ නේවාසික චිත්‍ර ශිල්පියෙකුවීමට මත්තෙන් Adam Piekarski යනු වීදිවල නිදා සිටියේක්ය. "වසරකට වැඩි කාලයකට පෙර මා වීදිවල චිත්‍ර අඳිනවා පෝලන්ත  ලෙස්සෙක් පයිස් (Fr. Leszek Pys) පියතුමා දැකගන්නා තෙක්, ඔවුන්ගේ දේවස්ථානය සඳහා ප්‍රතිමූර්තියක් පින්තාරු කළ හැකිදැයි මගෙන් අසන තෙක්, මා ද තැන තැන ජීවත්වු නිවාස අහිමි  මහමගට වැටුන තැනැත්තෙක්. මා වැනි තනි පුද්ගලයන් පමණක් නොව කුඩා දරුවන් අතතිව, යාමට ඒමට තැනක් නොමැතිව, නිවහනක් නැති දහසකුත් දෙනා අද මේ සමාජයේ ජීවත්වෙනවා. ජුසේතුමාද, මරියතුමියතුමියද, කුඩා ජේසු බිලිදා ඇතැතිව අප මෙන් නිවහනක් නොමැතිව එසේ සිටි බව සෑම නත්තලකම අපට මතක්වුනා" Piekarski පවසා තිබුනි. 

Piekarski සිතුවම් ඉතා වටිනා කලා කෘති බවට ප්‍රවෘත්තිය ඉක්මනින් පැතිර ගිය අතර, 2021 අප්‍රේල් 19 වන දින, පුණ්‍ය කටයුතු සඳහා පාප්තුමාගේ ප්‍රධානියා වන පෝලන්ත කාදිනල් Konrad Krajewski විසින් Piekarski ට වතිකානු  මාලිගාවේ සහ  Palazzo Migliore අට්ටාලයේ චිත්‍ර පිලිසකර කිරීම පැවරීය. Adam Piekarski දැන් නිවාස නොමැති අයගේ නවාතැන් වෙනුවෙන්වු වතිකානුවේ පුණ්‍ය ආයතනයක ප්‍රධාන ක්‍රියාකාරිකයෙක්. 

ශුද්ධ වූ පවුල සහ රජතුන් කට්ටුව තේමාකර ගත් නිල් පැහැදිලි මුද්දර දෙක ඔහු විසින් නිර්මාණය කල මෙවර (2021) නත්තල වෙනුවෙන් වතිකානුව නිකුත්කල  නත්තල් මුද්දරය. 

ඊට අමතරව බෙත්ලෙහෙම් සාම ආලෝකය තේමා කරගත්  2020 නත්තලට කැප වූ වතිකානු තැපැල් මුද්දරයද ආනුභාව සම්පන්න තේමාවක් මුල්කරගත් නත්තල් මුද්දරයක්. එම මුද්දරය බෙත්ලෙහෙම්හි පිහිටි ජේසු උපත පිළිබඳ දේවස්ථානයේ සියවස් ගණනාවක් තිස්සේ සදාකාලිකව දැල්වෙන තෙල් ලාම්පුවක් මුල්කරගත්තක්. එය ලෝකයේ සියලුම ජාතීන් විසින් පරිත්‍යාග කරන ලද තෙල්වලින් දැල්වෙන පහනකින් පෝෂණය වන්නක්. සෑම වසරකම දෙසැම්බර් මාසයේදී, නත්තලට පෙර, එම දැල්ලෙන් ආලෝකය ලබා ගෙන මිනිසුන් අතර සාමයේ සහ සහයෝගීතාවයේ සංකේතයක් ලෙස ලොව පුරා පහන් දැල්වීමේ වැඩ සටහනක්  ෆ්‍රැන්සිස් පාප්තුමාගේ මග පෙන්වීමෙන් දැන් දියත්වී තිබෙනවා. එය ලෝකයේ ආලෝකය නම් (Light in the Darkness / "Licht ins Dunkel") නත්තල් පුණ්‍යායතනයේ වැඩසටහන් වල කොටසක් ලෙස ආරම්භවූවකි. 

මේකී මුද්දර දෙකම නියෝජනය කරන තේමා සමග ලංකික කිතුනුවන් පවා කෙතෙක් සමීපද යන්න මොහොතක් සිතා බැලීම වැදගත් යැයි මම Solidarity Movement for Justice and Truth සංවිධානයේ Facebook පිටුවේ පලකල ලිපියේ දැක්වීය. 

පුරුදු පරිදි නත්තලට සුභපැතීමට මම මගේ Facebook පිටුවේ පලකලේ පෘතුගාලය නිකුත්කර ඇති මුද්දර කිහිපයකි. එම මුද්දර පෘතුගීසි දේශ ගවේෂකයෙක්වු ෆෙර්ඩිනන් මැගැලන් (Ferdinand Magellan) ආසියාවේ පිලිපීන දූපත්වලට පැමිණ වසර 500ක් ගතවීම නිමිත්තෙන් මෙන්ම පිලිපීනයේ  ජේසු බිලිදුන්ගේ (Santo Niño) කුඩා ප්‍රතිමාව කේන්ද්‍රකර ගත් මුද්දරය. 

1521 පිලිපීනයේ සෙබු (Cebu) දුපතට ගොඩසින ෆෙර්ඩිනන් මැගැලන්ව (Ferdinand Magellan) එහි ප්‍රධානියා (Rajah Humabon) සහ එහි වැසියන් විසින් මහත් හරසරින් පිලිගනගෙන ඇත. මැගලන් (Magellan) ඔවුන්ට Santo Niño නමින් හදුන්වන ජේසු බිලිදුන්ගේ කුඩා ප්‍රතිමාව ඔවුන්ට තැගී කර තිබේ. රතු ඇදුමින් සැරසුන කැරලි ගැසුනු කෙස් සහිත ජේසු බිලිදුන්ගේ (Santo Niño) මෙම කුඩා ප්‍රතිමාව එම දුපතේ ප්‍රධානියාගේ (Rajah Humabon) බිරිද සහ සෙබු (Cebu) දූපතේ වැසියන් මහත් ආදරයෙන් පිලිගෙන ඇත. 

ආසියාවේ බහුතර ජනතාවක් ක්‍රිස්තියානි ආගමික වැලදගත් ප්‍රථම රටවු පිලිපීනයේ ක්‍රිස්තියානි ආගම ප්‍රථමයෙන්ම වැලදගත් පිරිසවුයේද මෙම සෙබු (Cebu) දුපතේ වැසියන් ය. එම දූපතේ ප්‍රධානියාවු Rajah Humabonගේ හතුරන් විසින් මැගලන්ව (Magellan) ඉන් මාස කිහිපයකට පසුව මෙලේච්ච ලෙස මරාදැමුවද ශිෂ්ටත්වයේ ආගම ලෙස පිලිපීනය පුරාම ක්‍රිස්තියානි ආගම වේගයෙන් පැතිර ගියේය

සෙබු (Cebu) දූපතේ මැගලන් නමින් කුඩා දේවස්ථානයක් ගොඩ නගා ඇත. එහි ඇති කුරුසය මැගලන් කුරුසය ලෙස හදුන්වයි. එකී ඉතිහාසයක් කැටිකොටගත් පෘතුගාලයේ මෙම මුද්දර මෙවර (2021) නත්තල් මුද්දර අතර විශේෂ අවධානයක් දිනාගෙන ඇත.  

As usual, I have chosen a stamp to wish a Merry Christmas. This time, I chose a few Portuguese stamps. These stamps commemorate the 500th anniversary of the arrival of the Portuguese explorer Ferdinand Magellan to the Philippine Islands, a small statue of the baby Jesus (Santo Niño), and the Magellan chapel in Cebu, Philippines.

In 1521, Ferdinand Magellan landed on Cebu Island in the Philippines and he was warmly welcomed by the chief (Rajah Humabon) and his people. Magellan presented them with a small statue of the baby Jesus, called Santo Niño. This small statue of the infant Jesus (Santo Niño) in red robes with curly hair was loved by the people of the Island of Cebu.

The islanders of Cebu were the first people in Philippines to convert to Christianity. A few months later, Magellan was brutally murdered by the enemies of Rajah Humabon, the chief of the island of Cebu. But Christianity spread rapidly throughout the Philippines as a religion of civilization and the majority of people in the Philippines are Christians today. 

There is a church in Cebu dedicated to Magellan and the cross there is called the Magellan Cross. These stamps from Portugal, which have captured that history, have gained special attention among the Christmas stamps this year (2021).

Once again, Merry Christmas and happy holidays  to you all!!!

Marcus Priyantha Perera

මාකස් ප්‍රියන්ත පෙරේරා 

30/12/2021 

Tuesday 21 December 2021

පාස්කු ප්‍රහාරයට මාස 32යි, චන්ඩ මාරුතයකට පෙර දිගු නිහැඩියාවක්?

නත්තල උදාවෙන දෙසැම්බරයේ 21වන දිනයවන අද දිනය වනවිට 2019 අප්‍රියෙල් 21වෙනි දින ශ්‍රී ලංකාවේ සිදුවු පාස්කු ප්‍රහාරයට මාස 32ක් ගෙවී ඇත. වසර දෙකකුත් මාස අටක් ගෙවී ගියද පාස්කු  ප්‍රහාරය පිලිබදවවු කේන්ද්‍රීය අවධානය තවමත් නොඅඩුව පවති. දිනකට කිහිපවරක්ම රටේ ජනමාධ්‍ය තුලින්ද, දේශපාලන ක්ෂේත්‍රය තුලද, සමාජය තුලද පාස්කු ප්‍රහාරය පිළිබද කතිකාව නොඅඩුව ඇසේ. එහෙත් මේ දිනවල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාකාරිත්වයන්ගේ යම් අඩුවක් සිදුව ඇතයි යන මැසිවිල්ලේද අඩුවක් නැත. පසුගිය සති කිහිපය තුල විදේශයන් හි සිදුවූ උද්ගෝෂණ මාලාව මෙන්ම ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය මෙන්ම වෙනත් සංවිධාන විසින් රටතුල දියත්කල විවිධ පාස්කු ක්‍රියාදාමයන්හි අඩුවක් සිදුවීම ඊට හේතුවන්නට ඇත. 

එහෙත් මෙයවුකලී පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමේ හෝ පාස්කු ප්‍රහාරය පිලිබදව සත්‍ය මතුකර ගැනීමේ උන්නදුවේ අඩුවක් නොවේ. එහිලා ගන්නාවූ ඊලග උපායමාර්ගික ප්‍රවේශය සදහා පිවිසීමට සුදානම්වීමේ, ලකලැස්තිවීමේ, කාලයක් බව ඉදුරම ප්‍රකාශකළ හැක. එසේ පවසන්නේ පාස්කු ප්‍රහාරය සිදුවී දින 1000 ලගාවෙන එළබෙන 2022කේ ජනවාරි 14 වෙනි දිනට ක්‍රියාකාරම් රාශියක්ම සිදුවීමට නියමිත බව තතුදත් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙන නිසාය. ඇත්තවශයෙන්ම මේවූකලී පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකර ගැනීමේ සහ සත්‍ය සොයාගැනීමේ උත්සහයේ ක්‍රමික අඩුවක් නොව මේ ගමනේ ඊලග පිම්මටමට සුදානම්වීමේ  අවධියකි. 

මේ වන විටද රට තුල පාස්කු පරහාරය පිලිබදව නඩු දෙකක් විභාගවෙමින් පවතී. එකක් නම් නවුෆර් මවුලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විසිපස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි  චෝදනා 23,270ක් යටතේ පාස්කු ප්‍රහාරය එල්ල කලා යැයි චෝදනා නගමින් කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවය. එය විභාගවී තීන්දුවක් දීමට දීර්ග කාලයක් යනු නියතය. අනෙක නම් පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්දයෙන් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අධිචෝදනා 864ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවය. මීට අමතරව තවත් විත්තිකරුවන් දස දෙනකුට එරෙහිව මඩකළපුව මහාධිකරණයේ නඩුවක් පවරා ඇති අතර එයද නොබෝදිනකින් විභාගවීමට නියමිතය. එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය, ආබාධිතවූ හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව ගොනුකර ඇති නඩු 128ක විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නයැයි හිටපු ජනාධිපති සිරිසේන මහතා ඉදිරිපත්කල මෝසම පිලිබදව තීන්දුව ජනවාරි 7වෙනිදා කොළඹ දිසා අධිකරණයේදී ප්‍රකාශයට පත්කිරීමටද  නියමිතය. 

මෙකි නඩු පිළිබද කටයුතු එසේ සිදුවෙමින් පවතින අතර පසුගිය සතිය දක්වා විභාගවූ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්දයෙන් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නඩුවේ රජයේ සාක්ෂිකරුවෙක් ලෙස සාක්ෂි ලබාදීමට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි , සහ වත්මන් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා නම් කිරීම පිලිබදව දැදී විරෝධයක්ද එල්ලවිය. එම නඩුවෙ රජයේ සාක්ෂිකරුවකු ලෙස සාක්ෂි ලබාදෙන නිලන්ත ජයවර්ධන මහතා දිගින් දිගටම කියා සිටින්නේ තමා ජනාධිපති සිරිසේනට මෙම ප්‍රහාරය පිළිබඳව ලැබුණූ තොරතුරු දැනුම් නොදුන් බවය. නමුත් ඒ මහතාගේ ප්‍රකාශ පාස්කු ප්‍රහාර පිලිබදව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව පිළිගෙන නොගත්තා  පමණක් නොව කොමිෂන් සභාව විසින් ඒ මහතා දැඩි දෝෂදර්ශනයකට ලක්කර නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළයුතුයයි නිර්දේශද නිකුත්කර ඇත. එසේ තිබියදී ඔහුව පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්දයෙන් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නඩුවේ රජයේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කිරීම කෙතෙක් යුක්ති සහගත යන්න නිරන්තරයෙන් පැන නැගුන ප්‍රශ්නයකි. 

ඒ අතර මේ නඩුව තුලදී නිලන්ත ජයවර්ධන මහතා ලබාදුන් සාක්ෂි එවකට සිටි යුද හමුදා බුද්ධි ප්‍රධානි විශ්‍රාමික බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු මහතා  අධිකරණය හමුවේ ලබාදුන් සාක්ෂිය ඔස්සේ අභියෝගයට ලක්විය. නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති සිරිසේනට සෘජුවම බුද්ධි තොරතුරු සන්නිවේදනය කරන බව ආරක්ෂක ප්‍රධානින් සියලු දෙනාට අවබෝධයක් තිබු බව ද, පාස්කු ප්‍රහාරය පිළිබදව අප්‍රේල් 04 වනදා ලැබුණු විදේශ බුද්ධි තොරතුර ප්‍රහාරයට පෙර අප්‍රේල් 09 වන දා පැවති අවසන් බුද්ධි සමාලෝචන රැස්වීමට ඉදිරිපත් නොකළ බවද හිටපු  යුද හමුදා බුද්ධි ප්‍රධානි විශ්‍රාමික බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු මහතා  අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. එම සාක්ෂි ලබාදීමත් සමග නඩුවේ ඊළගට කැදවීමට සිටි තුන්වන සාක්ෂිකරුවූ ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ගේ සාක්ෂිය නොකැදවීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි නඩුව කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය. ඒ සමග හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂියට කැදවුයේ නම් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා දිගින් දිගටම ප්‍රකාශකරන 'ජනාධිපති සිරිසේනට මෙම ප්‍රහාරය පිළිබඳව ලැබුණූ තොරතුරු දැනුම් නොදුන්නා' යැයි යන ප්‍රකාශය තවදුරටත් විමර්ශනය කිරීමට මෙන්ම තව තවත් තොරතුරු මතුවීමටද ඉඩ තිබුණ බවත් මෙන්ඩිස් මහතා සාක්ෂියට නොකැදවීමේන් එම අවස්ථාව දැන් ඇහිරී යන්නේ යැයි යන්න දැක්වෙන මාධ්‍යවල වාර්තා පසුගිය දින කිහිපය පුරාම පලවී තිබුණි. 

මෙකී සිද්ධීන් සමුදාය එක්තරා ආකාරයට ලංකාව තුල සිදුකරන විමර්ශන ඔස්සේ හෝ නඩු විභාග ඔස්සේ හෝ පාස්කු ප්‍රහාරයේ සැබැ සත්‍ය හෙළිකරගැනීමට හා යුක්තිය ඉටුකර ගැනීමට නොහැකිය, එහෙයින් එය ජාත්‍යන්තර අධිකරණයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් පිළිගත් ජාත්‍යන්තර ආයතනයක් වෙත ගෙනයා යුතු යැයි යනුවෙන් හඩනගන්නගේ හඩ නැවත ප්‍රතිරාවදීමට මංපෙත් විවිර කරන්නට හේතුවිය.

එකී හඩ නගන්නන් බොහොමයක් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සලකනුයේ රාජ්‍යයේ දේශපාලන නායකත්වයන් විසින් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය සහ ඉලක්ක හඹායෑම සඳහා ස්වාධීනව ක්‍රියාත්මකවිය හැකි රහසිගත සහ අවසර හෝ අනවසර කණ්ඩායම්/ බුද්ධි නිලධාරීන්/ නිල හෝ නිල නොවන හමුදා ජාලයන් යොදා ගනිමින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන මෙහෙයුම්වල ප්‍රතිපලයක් ලෙසය. 'Deep state' යන භාෂිතයකින් (rhetoric) හදුන්වන එම ක්‍රියාකාරිත්වය ලෝකේ බොහෝ රටවල දේශපාලන ක්‍රියාකාරිත්වයන් සම්බන්දයෙන් කුමන්ත්‍රණ න්‍යාය (Conspiracy theories) ඔස්සේ සාකච්චාවට  ලක්කරන්නකි. ශ්‍රී ලංකාවේද පාස්කු ප්‍රහාරය වත්මන් රාජපක්ෂ පාලනය බලයට ගෙන ඒමට, රාජපක්ෂලාට බලය ලබාගැනීමට කල කුමන්ත්‍රණයක් යැයි යන කියවීමද එක්තරා ආකාරයකට ඉහත උපන්‍යාසය (hypothesis) පදනම් කරගෙන ගොඩනැගුනකි. එකී උපන්‍යාසය ඔප්පු කිරීම නොකිරීම සිදුවනුවේ පාස්කු ප්‍රහාරය පිලිබදව විනිවිද භාවයකින් යුතු, සමට පිළිගත් විමර්ශනයක් සිදුකිරිමෙන්ය. කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික පල්ලියත්, රටේ බොහෝ දෙනාත් ඉල්ලා සිටින්නේද එයමය. 

මේ අතර පසුගියදා (03/12/2021) ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශිර්ෂය පිලිබද විවාදයට එක්වෙමින් ජාතික ජනබලවේගය මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ආණ්ඩුව දෙසට එල්ල වෙන චෝදනා වළක්වන්න නම් පාර්ලිමේන්තුවට කරුණු පහක් පැහැදිලි කළ යුතුව තිබෙන බවය. ඔහු පැහැදිලි කිරීම් ඉල්ලු කරුණු 05වුයේ:

1. මහින්ද රාජපක්ෂ අගමැතිවූ දින 52කේ ආණ්ඩුව තුල සිදුවූ  වවුනතිව් ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම එල්ටීටීඊය දෙසට යොමු කරන්න කටයුතු කළේ කවුද? 

2. සහරාන් ඇතුළු කණ්ඩායමට වැටුප් ලබා දුන්නාද? එහෙම නම් ඒ වැටුප් ලබා දුන්නේ කවුරුද? ඊට නිර්දේශ දුන්නේ කවුද? වැටුප් ලබා දුන්නේ කවර පිරිස්වලට ද? යන්න හෙළි කළ යුතු බව.

3. ටාජ් සමුද්‍රා හෝටලයට ප‍්‍රහාර එල්ල කිරීමට ආ පුද්ගලයා පසුව දෙහිවල ප‍්‍රදේශයේ නවාතැන්පලකදී පුපුරුවා හැරීමක් කර ගන්නවා. ඒත් ටාජ් සමුද්‍රා හෝටලයේ සිට ඒ පිපිරීම දක්වා ඇතුළත කාලයේදී බුද්ධි අංශ ඔහුගේ ගෙදරට යනවා. ඒ වනවිට ඔහු ගැන හෙළිදරව් වෙලාවත් නැතුව බුද්ධි අංශ ඔහුගේ ගෙදරට ගියේ කොහොමද?  

4. පාස්කු ප‍්‍රහාරයට අදාළව ඒ ස්වයං ඝාතක කණ්ඩායම් සතුව තිබූ පරිගණකය පාවිච්චි කරන ලද පුද්ගලයා කවුද?

5. ප‍්‍රහාරයෙන් පසුව එහි වගකීම අයි. එස්. අයි. එස්. සංවිධානය මෙහි සිට කතා කළ පොඩි සහරාන්ගේ දුරකථන ඇමතුම පිළිබඳ පිළිතුරු දෙන්න, ආදි ඔහු පැහැදිලි කිරීම් ඉල්ලු ප්‍රශ්නය. 

අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී මතු කල මෙම කරුණු  සම්බන්දව ශ්‍රී ලංකා රජය පැහැදිලිවම  පිළිතුරු සැපයිය යුතුව ඇත. එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පමණක් නොව රාජපක්ෂ රජයේ පමණක් නොව සමස්ථ  ශ්‍රී ලංකාවේම අනාගතය  තීරණය  කරන ප්‍රශ්න  5කි. මෙම ප්‍රශ්න පහට ලබාදෙන පිළිතුරු සහ එකී ප්‍රශ්න පහට පිළිතුරු සපයා ගැනීමට දරන්නාවූ සෑම සියළු උත්සහයක්ම අතිශයින්ම තීරණාත්මකය. 

එහෙත්  පාස්කු ප්‍රහාරයට යුක්තිය සහ සාධාරණය සොයායෑමත්, සත්‍ය මතුකර ගැනීමත් එකී ප්‍රශ්න පහට පමණක් ලඝු නොවේ. මන්දයත් පාස්කු ප්‍රහාරයවූකලී නිදහසින් පසු ක්‍රමයෙන් ගොඩනැගුන ශ්‍රී ලංකා රාජ්‍යයේ විනාශකාරී ජඩ දේශපාලන විභයන්ගේ එක් තිවුර හරස්කඩක් හොදින් ප්‍රදර්ශනය කරන නිසාය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 

21/12/2021.    

Wednesday 15 December 2021

නදිෂ්කා ඇලෝසියස්ගේ 'ඒ පාස්කු ඉරිදා' (That Easter Sunday) ළමා කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍රවේ

නදිෂ්කා ඇලෝසියස් විසින් රචිත 'ඒ පාස්කු ඉරිදා' (That Easter Sunday) නම් ඉංග්‍රීසි ළමා කෘතිය 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ළමා සාහිත්‍ය කාණ්ඩය II ලෙසින් සම්මානයට පාත්‍ර විය.

කතාව 'විභූ' සහ 'සේහා' නම් කුඩා පල්ලියේ මීයෙකු වටා ගොඩ නැගුනකි. විභූ සහ ඔහුගේ මිතුරන් ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට මිනිසුන් හසුවන අයුරු ඔවුන්ගේ මී සිදුරෙන් නිරීක්ෂණය කරයි. අවුල් වියවුල් මධ්‍යයේ, විභූට වැටහෙන්නේ ඔහුගේ හොඳම මිතුරිය වන සේහා අතුරුදහන්වී ඇති බවයි. විභූ සුන්බුන් හරහා ගමන් කරන අතර ඔහුගේ මිතුරිය සෙවීමේදී බොහෝ බාධකවලට මුහුණදෙයි. එම ඛේදජනක දිනයේ සිදුවීම් සහ ප්‍රහාරවලින් පසු සිදුවීම් මෙම කුඩා මීයන්ගේ ඇසින් කතාව විස්තර කරයි. විභූ ඛේදවාචකය, අහිමි වීම සහ ශෝකය සමඟ කටයුතු කිරීමට ඉගෙනගන්නා විට පාඨකයා විභු නම් කුඩා මියාගේ ඇසින් කම්පිත ජිවිත අත්දැකීමක් අනුගමනය කරන්නට යොමුකරයි. ඇතැමුන් විපතට පත්වුවනට උපකාර කිරීමට ඉදිරියටයන ආකාරයත් තවත් සමහරු බියෙන් සැඟවී සිටින ආකාරයත් විභූ නම් කුඩා මියාගේ අත්දැකිම ඔස්සේ අත්විදීයි. 

මෙම පොතේ ප්‍රධාන අරමුණ එම ඛේදවාචකයේදී ජීවිත අහිමිවූවන් කිසිදා අමතක නොකරනබව සහතික කිරීමය. කතාව කියවන ළමයින්ට සහ වැඩිහිටියන්ට භාව-විශෝධන (catharsis) හැඟීමක් ලබාදෙන අතර මනුෂ්‍යත්වය සහ දෙවියන් කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට යොමුකරයි.

කතුවරිය, නදිෂ්කා ඇලෝසියස්, විසින් කෘතියේ පිටපතක් පසුගියදා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට ප්‍රධානයකල අතර එහිදී අදහස් දැක්වූ කාදිනල්තුමා දක්වා ඇත්තේ මේ කෘතිය සරල භාෂා ශෛලියකින් එම අවස්ථාවේදී සෑම කෙනෙකුම ග්‍රහණය කරගත් බිය, ශෝකය, ඔවුන්ගේ මනස සහ හදවත සජීවීකළ දුක සහ බෙදාගැනීමේ හැඟීම් ඉතා තිවුරව ප්‍රකාශකරන බවයි. 'මෙම දුක්ඛිත අත්දැකීම සෑම කෙනෙකුටම ජීවිතයේ උතුම්ම අරමුණු සඳහා අපේක්ෂා කරන ආකාරය, ඛේදවාචකයේ අළුවලින් සැබෑ සහෝදරත්වය, සැලකිල්ල සහ අන් අය කෙරෙහි සැලකිල්ල දක්වා නැගීසිටීමේ අධිෂ්ඨානයත් කතුවරිය සිය කෘතිය ඔස්සේ සමාජගතකරන බවද මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් එහිදී දක්වා ඇත. 

පොතේ මිල රු. 400කි. ලංකාවේ  ප්‍රමුඛ පොත් සාප්පුවලින්, තෑගි ගබඩාවලින් සහ සෘජුවම කතුවරියගෙන්ද කෘතිය ලබාගත හැක. කෘතියේ සියළු ආදායම් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූ, තවමත් ආධාර අවශ්‍යව සිටින අයට ලබාදෙන බව නදිෂ්ක ඇලෝසියස් කතුවරිය දක්වයි.

නදිෂ්කා ඇලෝසියස් ගුරුවරියකි. රංග ශිල්පිණියකි. පොත් 13ක කතුවරයකි. 2019දී Gratiaen සම්මානය දිනු 'Raavana’s Daughter' රචනා කලේද ඇයය. එය 2020 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහාද ලැයිස්තුගත කෙරුණි. 2019 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නම් කරන ලද 'Ronan's Dinosaur' ඇය රචනා කරනු ලැබුවකි. ඇය විසින් රචිත 'Roo The Little Red Tuk Tuk' කෘතිය 2019 වසරේ පැවති International Wishing Shelf Book Award සම්මාන උළෙලේදී  අවසන් තරඟකරුවන් අතර තෝරාගන්නා ලදී .


රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ළමා සාහිත්‍ය කෘතියක් ලෙසින් සම්මානයට පාත්‍රවිම සම්බන්දයෙන් සිය Facebook ගිණුමේ 07/12/2021 දින සටහනක් තබමින් නදිෂ්කා ඇලෝසියස් මහත්මිය ප්‍රකාශකර ඇත්තේ: 

'මට හොඳ ආරංචියක් බෙදා ගැනීමට අවශ්‍යයි!! 

2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම ළමා සාහිත්‍යයට හිමි සම්මානය පාස්කු ඉරිදා මගේ පොතට හිමි විය!  මම පාස්කු ප්‍රහාරය ගැන ළමා පොතක් ලිව්ව එක ගැන ගොඩක් අය පුදුම වෙනවා. ඔව්, එය චෛකිත්සීය පහත දමන්නක්. ඒවගේම විෂයට ප්‍රවේශ වූ ආකාරය ගැන සැලකිලිමත් වියයුතු බව මම නිතරම දැන සිටියෙමි.ඉතින්, පොතේ තියෙන්නේ බෝම්බයට ගොදුරු වූ පල්ලියේ මීයන් දෙදෙනෙකු ගැන. මම ළමා මනෝවිද්‍යාඥයන් දෙදෙනෙකුට එය කියවන ලෙස ඉල්ලා සිටියා. අතිඋතුම් කාදිනල්තුමාගේ පෙරවදනක් ද ලියා තිබෙනවා. මෙම පොත පසුගිය වසරේ ප්‍රකාශයට පත්කලදා සිට කියවා ප්‍රතිපෝෂණ ලබා දුන් බොහෝදෙනාට මම ස්තූතිවන්ත වෙමි.

ඔව්, එය දැන් සම්මානයක් ලබා ඇත, නමුත් ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි සිටින සෑම දිනකම පාඨකයන්ගෙන් මට ලැබුණු දිරිගැන්වීමේ වචන කිහිපයක් බෙදා ගැනීමට මම සිතුවෙමි:

"එය දරුවන් සමඟ සාකච්ඡාව ආරම්භ කිරීමට විවෘත කිරීමක්, ආරම්භක ලක්ෂයක් සපයයි."

"ඒ ගැන කතා කරන එක පාපිස්ස යටට අතුගාන්න හදනවට වඩා වැදගත්."

"එය මට ගැඹුරින් ස්පර්ශ කළා"

"ඔබ ශෝකයේ අවධීන් පසුකර යන නමුත් අවසානයේ බලාපොරොත්තුවක් ඇත"

ඔව්, මෙම පොත ළමා සාහිත්‍යය සඳහා වන සම්මානය දිනාගත් නමුත් එය වැඩිහිටියන් සඳහා ද වන බැවින් ඔබ එය අර්ථකථනය කරන ආකාරය පාඨකයා මත පමණක් රඳා පවතී. වැඩිහිටියෙකුට කතාවට ආවේණික වූ අද්විතීය සංකේතවාදය පිළිබඳ ගැඹුරු ඇගයීමක් සහ අවබෝධයක් ඇති අතර එය ළමයින් සඳහා සතුන් පිළිබඳ කතාවක් පමණක් වනු ඇත.'

(I want to share some good news: My book THAT EASTER SUNDAY won Best Children's Literature at the State Literary Awards 2021! A lot of people are surprised that I wrote a children's book about the Easter attacks. 

Yes it was therapeutic putting it down. And I was always conscious that I need to be careful how the subject was approached. 

So, the book is about two church mice who are affected by the bomb. I asked two child psychologists to read through it and it also has a foreword by His Eminence The Cardinal. I am thankful for the many people who have read this book and provided feedback since it was published last year.Yes, it has now won an award but I thought I'd share some of the words of encouragement I have received from every day readers both in Srilanka and overseas:  

"It provides an opening, a starting point  to begin the discussion with kids."

"Talking about it is more important than trying to sweep it under the rug." 

"It touched me deeply" 

"You go through the stages of grief but there's a sense of hope at the end"

Yes the book won the award for Children's Literature but it is also for adults since how you interpret it depends solely on the reader. An adult would have a deeper appreciation and understanding of the unique symbolism inherent in the story whereas it will be just a story about animals for kids.)

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් බිදවැටුන ලාංකික මනුෂ්‍ය ආත්මය සුවපත් කිරීමටත්, පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය මතුකරගැනීමටත්, වින්දිතයන්ට යුක්තිය ඉටුකරගැනීමටත් දරන්නාවූ උත්සහයන්ට ඇයගේ මෙම කෘතිය සහ ඇයගේ ඉදිරි සාහිත්‍ය කටයුතු තවදුරටත් දායකවේවායි ප්‍රාර්ථනා කරමු!!

මාකස් ප්‍රියන්ත පෙරේරා

15/12/2021 

Friday 10 December 2021

මානව හිමිකම් ගැන අපට ඇති අවබෝධය කවරාකාරද?

අද, දෙසැම්බර් 10, ජගත් මානව හිමිකම් දිනය අදය. සෑම මනුෂ්‍යයෙක්ම ජාතිය, ආගම, කුලය, භාෂාව, පන්තිය, තරාතිරම, අධ්‍යාපන තත්වය, ආබාධිතත්වය, ලිංගිකත්වය, හමේ පැහැය ආදි කිසිදු බේදයකින් තොරව සමාන අයිතිවාසිකම් හිමි එකම මනුෂ්‍යයන් පිරිසක්ය යන්න තහවුරුකල විශ්ව මානවහිමි ප්‍රකාශණය සම්මුති ගතකල දිනය අදය.

එකී සම්මුතිගත එකගත්වය නිසාම විශ්ව මානව හිමිකම් රැකීමට සෑම‍, රාජ්‍යයක්ම,ආයතනයක්ම වගකීමෙන් බැදී සිටී.

එකී සම්මුතිගත එකගත්වයන් උල්ලංඝනය කරමින් මානව හිමිකම් කඩකරන ඕනෑම පාර්ශ්වයකට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කිරීමට නිතිමය ඉඩප්‍රස්ථාවන් එක් එක් රටවල අභ්‍යන්තර නිති රාමුවල් යටතේ මෙන්ම, අන්තර් ජාතික නීතිය යටතේ කටයුතු කිරීමටද ඉඩප්‍රස්ථාවක් ලොව වෙසෙන සෑම මනුෂ්‍යයෙකුටම උරුම කරදී ඇත.

නිදහස, සමානත්මතාවය, සාමය, ගරුත්වය, නීතියේ අධිපත්‍ය, යුක්තිය සහ යහපත් මානව සමාජයක් පිලිබදවවු බලාපොරොත්තුව පෙරදැරි කරගත් මානව හිමිකම් පිලිබද එම විශ්ව ප්‍රකාශණය සෑම මනුෂ්‍යයෙක්ම අතබුලක්සේ ප්‍රගුණ කලයුතු, ගලක කෙටු අකුරක්සේ මතකයේ තබාගත යුතු, ආගමක්සේ එදිනෙදා පිලිපැදියයුතු හර පද්ධතියකි.

එහිලා මානව හිමිකම් පිලිබද විශ්ව ප්‍රකාශණයේ එන සෑම යෙදුමක්ම ඇහැට හුරුකරගනිමු!! පොදු නිතිය සේ එදිනෙදා භාවිතයට ගනිමු!! එය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දණ්ඩ නීතිය භාවිතා කරන ලෙස බලකරමු !!

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය
==================================
පුර්විකාව

ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේ ම සහජ ගරුත්වය හා අන්සතු කළනොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින් ද,

මානව අයිතිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක්කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් වර්ගයාගේ හෘදය සාක්ෂිය සාහසික පීඩනයට භාජනය කෙරෙන ම්ලේච්ඡ කෲරකම් සිදුවී ඇති හෙයින් ද, මිනිස් වර්ගයාට අදහස් ප්‍රකාශ කිරීමේ හා විශ්වාස ඇදහිලි දැරීමේ නිදහසත්, බියෙන් හා අඟහිඟකමින් තොරවීමේ නිදහසත් භුක්ති විඳීමට හැකි ප්‍රජාවක් ඇරඹීම පොදු ජනතාවගේ ශ්‍රේෂ්ඨතම අපේක්ෂාව ලෙස ප්‍රකාශයට පත් වී ඇති හෙයින් ද,

දුෂ්ඨ පාලකයන්ට හා පරිපීඩනයන්ට විරුද්ධව අන්තිම ක්‍රියා මාර්ගයක් වශයෙන් කැරලි කෝලාහල ඇති කිරීමට මිනිසා පෙළඹවීම වැළැක්වීමට නම් නීති මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කරදීම අත්‍යාවශ්‍ය වන හෙයින් ද,

ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වන හෙයින් ද,

මූලික මානව අයිතිවාසිකම් කෙරෙහිත්, මිනිසාගේ ගරුත්වය හා අගය කෙරෙහිත්, ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ සමාන අයිතිවාසිකම් කෙරෙහිත්, තම වීශ්වාසය හා භක්තිය එක්සත් ජාතීන්ගේ සාමාජික ජාතීන් විසින් ප්‍රඥප්තියෙහි ස්ථිර ලෙස නැවත පිළිගෙන ඇති හෙයින් ද, සමාජ ප්‍රගතිය හා වඩා යහපත් ජීවන තත්ත්වයක් වඩා පුලුල් ලෙස වර්ධනය කිරීමට අධිෂ්ඨානය කර ඇති හෙයින්ද,

මානව අයිතිවාසිකම් හා මූලික ස්වාධීනත්වයන් කෙරෙහි විශ්ව ගරුත්වයත්, ඒවා රැක දීමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගිත්වයෙන් වර්ධනය කිරීමට සාමාජික රාජ්‍ය ප්‍රතිඥා දී ඇති හෙයින් ද,

ඒ ප්‍රතිඥාව පරිපූර්ණව සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම අයිතිවාසිකම් හා ස්වාධීනතා පිළිබඳව පොදු අවබෝධය ලබා ගැනීම අතිශයින් වැදගත් වන හෙයින් ද,

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙසේ ප්‍රකාශ කර සිටී.

මානව අයිතිවාසිකම් පිළිබඳ මෙම විශ්ව ප්‍රකාශනය සමාජය, සෑම පුද්ගලයෙකු හා සංවිධානයක් විසින් නිරන්තරයෙන්ම සිහිපත් කෙරෙමින් සකල ජනතාවන්ට හා සියලු ජාතීන්ට සාක්ෂාත් කරගත යුතු පොදු තත්ත්වයක් වශයෙන් අධ්‍යාපනයෙන් හා අධ්‍යයනයෙන් මෙම අයිතිවාසිකම් හා ස්වාධීනත්වයන් ගරු කළ යුතුයයි ද, ජාතික වූත්, ජාත්‍යන්තර වූත්, ප්‍රගතිශීලී විධිවිධාන මගින් මේ හිමිකම් සාමාජික රටවල මෙන්ම ඒවායේ බලයට අවනත සෙසු රටවල ජනතාව අතර ද අගය කිරීමට සලැස්වීමෙන් ලෝකය මුලුල්ලේම ඒ පිළිබඳ ගරුත්වය හා ක්‍රියාකාරිත්වය සැලසිය යුතුයයි ද ප්‍රකාශ කර සිටී.

1 වන වගන්තිය
සියලු මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත. ගරුත්වයෙන් හා අයිතිවාසිකම්වලින් සමාන වෙති. යුක්ති අයුක්ති පිළිබඳ හැඟීමෙන් හා හෘදය සාක්ෂියෙන් යුත් ඔවුන්, ඔවුනොවුන්ට සැළකිය යුත්තේ සහෝදරත්වය පිළිබඳ හැඟීමෙනි.

2 වන වගන්තිය
ජාති, වංශ, වර්ණ, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම්, දේශපාලන ආදී කවර බේදයක් හෝ සමාජ, ජාතික, දේපළ, උපත ආදී කවර තත්ත්වයක විශේෂයක් හෝ නොමැතිව මේ ප්‍රකාශනයේ සඳහන් සියලු හිමිකම්වලට හා ස්වාධීනත්වයන්ට සෑම පුද්ගලයකුම උරුම වන්නේය.
තවද යම් පුද්ගලයකු අයත්වන රටේ දේශපාලන, නීතිමය හෝ ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳ කිසිදු විශේෂයක් ද ඒ රටේ ස්වාධීන, භාරකාර, අස්වාධීන ආදී කවර තත්ත්වයක් පිළිබඳ විශේෂයක් ද නොමැතිව මේ හිමිකම් ඔහු සතු වන්නේය.

3 වන වගන්තිය
සෑම පුද්ගලයෙකුටම ජීවත්වීමටත් නිදහස්ව සිතීමටත් පෞද්ගලික ආරක්ෂාවටත් හිමිකම් ඇත්තේය.

4 වන වගන්තිය
කිසිම පුද්ගලයෙකු වහල් කමෙහි හෝ බන්ධනයෙහි (දාසත්වයෙහි) නොරැඳවිය යුතුය. සෑම ආකාරයකම වහල් වෙළඳාම හා වහල්කම තහනම් වන්නේය.

5 වන වගන්තිය
කිසිම පුද්ගලයකු වධ හිංසාවට හෝ කෲර, අමානුෂික පහත් සැළකිල්ලකට හෝ දඬුවමකට හෝ භාජනය නොකළ යුතුය.

6 වන වගන්තිය
සෑම අවස්ථාවකදී ම නීතිය ඉදිරියේ පුද්ගලයකු වශයෙන් පිළිගනු ලැබීමේ අයිතිය සෑම කෙනෙකුම සතුය.

7 වන වගන්තිය
සියල්ලන්ම නීතිය ඉදිරියෙහි එකිනෙකාට සමාන වන අතර, නීතීයේ ආරක්ෂාව ලැබීමට කිසිදු විශේෂයක් නොමැතිව, සියල්ලෝම හිමිකම් ලබති, මේ ප්‍රකාශනයට පටහැනි ලෙස කෙරෙන ඕනෑම අසාධාරණයකින් ආරක්ෂා වීමේ අයිතියත් එබඳු අසාධාරණයන්ට පෙළඹවීමෙන් ආරක්ෂාවීමේ අයිතියත් සියල්ලන්ටම හිමි වේ.

8 වන වගන්තිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් හෝ නීතියෙන් හෝ ප්‍රදානය වී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකදී බලධාරී ජාතික අධිකරණයකින් ප්‍රතිකර්ම යොදා ගැනීමේ හිමිකම් සෑම පුද්ගලයකු සතු වේ.

9 වන වගන්තිය
බලහත්කාරයෙන් අත් අඩංගුවට ගැනීමට හෝ අත් අඩංගුවේ රඳා තැබීමට හෝ පිටුවහල් කිරීමට හෝ කිසිම පුද්ගලයකු භාජනය නොකළ යුතුය.

10 වන වගන්තිය
තමන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව හෝ තම්න්ට විරුද්ධව යම් අපරාධ චෝදනාවක් පිළිබඳව හෝ නිශ්චය කිරීම සඳහා සාධාරණ වූත්, විවෘත වුත්, ස්වාධීන අපක්ෂපාත නඩු විභාගයකට සෑම තැනැත්තකුම පූර්ණ සමානත්වයෙන් යුක්තව හිමිකම් ලබයි.

11 වන වගන්තිය
1. දණ්ඩන වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සෑම පුද්ගලයෙකුටම, නීත්‍යානුකූල විවෘත අධිකරණ විභාගයකින් වරදකරු බව ඔප්පුවන තෙක් නිර්දෝෂියකු ලෙස සලකනු ලැබීමටත්, ඒ අධිකරණයේදී තම නිදහසට කරුණු පෙන්වා සිටීමට වුවමනා සියලු අවශ්‍යතා නොඅඩුව ලැබීමටත්, හිමිකම් ඇත්තේය.
2. යම් වරදක් හෝ ප්‍රමාද දෝෂයක් කිසිවකුගෙන් සිදු වූ අවස්ථාවේදී එම කාලයේ පවතින ජාතික හෝ අන්තර්ජාතික නීතියෙහි එම වරද හෝ ප්‍රමාද දෝෂය දණ්ඩනය වරදක් සේ නොසඳහන්ව පැවති නම් එම වරදට හෝ ප්‍රමාද දෝෂයට ඔහු වරදකරුවකු ලෙස නොසැළකිය යුතුය. දණ්ඩන වරද කළ කාලයේදී වලංගුව පැවති දඬුවමකට වඩා වැඩි දඬුවමක් එවැනි වරදකරුවකු උදෙසා නොපැනවිය යුතුය.

12 න වගන්තිය
කිසිම පුද්ගලයකුගේ පෞද්ගලික ජීවිතයට (රහස් භාවයට) පවුලට, නිවසට හෝ ලිපි ගනුදෙනුවලට බලෙන් ඇඟිලි ගැසීම හෝ ගරුත්වයට හෝ වැදගත් භාවයට පහර ගැසීම හෝ නොකළ යුතුය. එබඳු ඇඟිලි ගැසීම් හෝ පහර ගැසීම්වලට විරුද්ධව නීතියේ රැකවරණ ලැබීමේ අයිතිය සෑම පුද්ගලයකු සතුව ඇත.

13 වන වගන්තිය
1. සෑම පුද්ගලයකුටම තම රාජ්‍ය සීමාව ඇතුළත නිදහසේ ගමනාගමනයට හා පදිංචියට හිමිකම් තිබේ.
2. ස්වකීය රට ද ඇතුලුව කවර දේශයකින් හෝ ඉවත්ව යාමටත්, තම රටට ආපසු පැමිණීමටත් සෑම පුද්ගලයකුටම හිමිකම් ඇත.

14 වන වගන්තිය
1. පරිපීඩනයන්ගෙන් මිදී විදේශයක අභයාරක්ෂාව සෙවීමට හා ඵය භුක්ති විඳීමට සෑම පුද්ගලයකුටම හිමිකම් ඇත.
2. දේශපාලනමය නොවූ අපරාධවලින් උද්ගතවන චෝදනා හා එක්සත් ජාතීන්ගේ අරමුණුවලට පටහැනි ක්‍රියාවන් නිසා පැන නඟින චෝදනාවලට ලක් වූවන් සම්බන්ධයෙන් යට කී හිමිකම් ක්‍රියාත්මක නොවනු ඇත.

15 වන වගන්තිය
1. සෑම පුද්ගලයකුටම ජාතිකත්වයකට හිමිකම් ඇත.
2. කිසිම පුද්ගලයකු සතු ජාතිකත්වය බලෙන් අහෝසි නොකළ යුතු අතර, ඔහුගේ ජාතිකත්වය වෙනස් කිරීමට ඔහුට ඇති අයිතිය පැහැර නොගත යුතුය.

16 වන වගන්තිය
1. පූර්ණ වියට පත් සියලු ස්ත්‍රී පුරුෂයන්ව ජාතිය, ජාතිකත්වය හෝ ආගම ආදී කිසිදු සීමාවක් නොතකා විවාහ වී පවුලක් ඇති කිරීමේ අයිතිය ඇත්තේය. විවාහ වීමේදී මෙන්ම විවාහය අවලංගු කිරීමේදී ද ඔවුන් සමාන අයිතිවාසිකම් දරයි.
2. විවාහයට ඇතුළත් කළ යුත්තේ එසේ ඇතුළත් වන ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ සම්පූර්ණ නිදහස් කැමැත්ත පිට පමණකි.
3. සමාජයේ ස්වාභාවික වූත්, මූලික වූත්, සමූහ ඒකකය වන පවුල සමාජයේ හා රාජ්‍යයේ රැකවරණ ලැබීමේ අයිතිය දරයි.

17 වන වගන්තිය
1. සෑම පුද්ගලයකුටම තනිව මෙන්ම හවුලේ ද දේපළ අයිතිය සඳහා අයිතිවාසිකම් ඇත්තේය.
2. කිසිවෙකු සතු දේපළ බලෙන් අහිමි කිරීමට නොහැකිය.

18 වන වගන්තිය
සීතීමේ, හෘදසාක්ෂිය දැරීමේ හා ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳීමේ අයිතිවාසිකම සෑම පුද්ගලයකුම සතුව ඇත. තම ආගම හෝ විශ්වාසයවෙනස් කිරීමේ නිදහසත්, තනිවම හෝ අන්‍යයන් සමඟ සමූහ වශයෙන්, පෞද්ගලිකව මෙන්ම ප්‍රසිද්ධියේ තම ඇදහීම් හා ආගම ප්‍රකට කිරීමේ, ඉගැන්වීමේ, පිළිපැදීමේ, වන්දනා කිරීමේ හා අනුගමනය කිරීමේ නිදහසත් එයට ඇතුළත් වේ.

19 වන වගන්තිය
තම නිදහස් මතය දැරීමට හා ප්‍රකාශ කිරීමට සෑම පුද්ගලයකුටම අයිතිය ඇත. අනුන්ගේ බාධාවක් නොමැතිව, තම මත දැරීමටත්, දේශ සීමා නොසලකා කවර මාධ්‍යයකින් හෝ තොරතුරු ලැබීමට හා දීමටත් ඇති අයිතිය ද ඊට ඇතුළත් ය.

20 වන වගන්තිය
1. සාමකාමීව එක්රැස්වීමේ හා සංගම් පැවැත්වීමේ අයිතිය සෑම පුද්ගලයකු සතුව ඇත.
2. සමිති සමාගම්වලට බැඳීමට කිසිවෙකුට බලකළ නොහැක.

21 වන වගන්තිය
1. කෙලින්ම හෝ නිදහස්ව තෝරාගත් නියෝජිතයින් මගින් හෝ තම රටේ රජයට සහභාගි වීමට සෑම පුද්ගලයකුටම අයිතිය ඇත.
2. තම රටේ රාජ්‍ය සේවයට ඇතුළත් වීමට සෑම පුද්ගලයකුටම සමාන අයිතිවාසිකම් ඇත.
3. රජයේ බලතලවල පදනම වන්නේ ජනතාවගේ කැමැත්තය. මේ කැමැත්ත ප්‍රකාශ වන්නේ සර්වජන ඡන්ද බලය අනුව රහසේ දෙන ඡන්දයෙන් හෝ ඊට සමාන ස්වාධීන ඡන්ද ක්‍රම මගින් කලින් කලට අව්‍යාජ ලෙසින් පවත්වන ඡන්ද විමසීම් මගිනි.

22 වන වගන්තිය
සමාජයට අයත් පුද්ගලයකු වශයෙන් සෑම පුද්ගලයකුටම සමාජ ආරක්ෂාව හිමි වේ. සෑම රාජ්‍යයකම සංවිධානය හා සම්පත්වලට අනුකූලව තමන්ගේ ගරුත්වයටත්, තම පෞරුෂත්වයේ වර්ධනයටත් අත්‍යාවශ්‍යවන ආර්ථික, සමාජයික හා සංස්කෘතික අයිතීන් ජාතික ප්‍රයත්නයන්ගෙන් හා ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් ද ඒ ඒ රාජ්‍යයන්ගේ සංවිධාන හා සම්පත්වලට අනුකූලව ද සාක්ෂාත් කර ගැනීමේ හිමිකම සෑම පුද්ගලයකුම සතුව ඇත්තේය.

23 වන වගන්තිය
1. වැඩ කිරීමටත්, තම රැකියාව නිදහස්ව තෝරා ගැනීමටත්, සාධාරණ වූත්, යුක්ති යුක්ත වූත් චැඩ කිරීමේ පහසුකම් ලැබීමට මෙන්ම විරක්ෂා විපතින් ආරක්ෂාව ලැබීමටත්, සෑම පුද්ගලයෙකුටම හිමිකම ඇත්තේය.
2. කිසිදු විශේෂතාවක් හෝ වෙනස්කමක් නොමැතිව සමාන වැඩට සමාන වැටුප් ලැබීමේ අයිතිය සෑම පුද්ගලයකු සතුව ඇත.
3. වැඩ කරන සෑම පුද්ගලයකුටම තමන්ට හා තම පවුලට මිනිස් ගරුත්වය රැකෙන ජීවනයකට අවශ්‍ය සාධාරණ වැටුපක් ලැබීමටත්, අවශ්‍ය වුවහොත් අවශේෂ සමාජ ආරක්ෂාවන්ට රැකවරණ අත්කර ගැනීමටත් අයිතිය ඇත.
4. ස්වකීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වෘත්තීය සමිති ඇති කර ගැනීමට හා ඒවාට බැඳීමටත් සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත.

24 වන වගන්තිය
වැඩ කරන පෑ ගණන් පිළිබඳ සීමාවක් ඇතිව කලින් කලට ලැබෙන වැටුප් සහිත නිවාඩු දිනයන් ද ඇතුලුව විවේක ගැනීමේ අයිතිය සෑම පුද්ගලයකුම සතු වේ.

25 වන වගන්තිය
1. අහාර, ඇඳුම්, නිවාස සා සෞඛ්‍ය සේවා ආරක්ෂාව ද අවශ්‍ය සමාජසේවා ආරක්ෂාව ද ඇතිව තමන්ගේත් තම පවුලේත් සෞඛ්‍යයට හා යහපතට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් භුක්ති විඳීමටත් රැකියාව අහිමිවීම, රෝගාබාධ, දුබලතාව, වැන්දඹු වීම, මහළු බව හා වෙනත් තමන්ට පාලනය නොකළ හැකි ආපදාවලින් ජීවිකාව දුෂ්කර වූ විට රැකවරණ ලැබීමටත් සෑම පුද්ගලයකුටම අයිතියක් ඇත.
2. මාතෘ භාවය හා ළදරු භාවය විශේෂ උපකාර භා ආරක්ෂාවට උරුම තත්ත්වයෝය. විවාහක හෝ අවිවාහක මව්වරුන්ගෙන් ලැබෙන සියළුම දරුවෝ සමාන ආරක්ෂාවට හිමිකම් ඇත්තෝය.

26 වන වගන්තිය
1. අධ්‍යාපනය ලැබීමට සෑම පුද්ගලයකුටම අයිතියක් ඇත්තේය. ප්‍රාථමික හා මූලික අවස්ථාවලදී පමණක්වත් අධ්‍යාපනය නොමිළයේ විය යුතුය. ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතුය. කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය ලැබීමට සාමාන්‍යයෙන් අවස්ථාව සැලසිය යුතු වන අතර දක්ෂතා පදනම් කොට උසස් අධ්‍යාපනය අත්කර ගැනීමේ අවස්ථාව සමානව සැලසිය යුතුය.
2. මිනිස් පෞරුෂත්වය පරිපූර්ණ සංවර්ධනයට පත් කරන අතටත්, මානව අයිතිවාසිකම් හා මූලික ස්වාධීනතාවයන් පිළිබඳ ගරුත්වය ප්‍රබල වන අර්ථවත්, අධ්‍යාපනය යොමුකරවිය යුතුය. මිනිස් ප්‍රජාවගේ සියලු රාජ්‍යයන්, ජාතීන් හා ආගමික කණ්ඩායම් අතර අන්‍යොන්‍ය අවබෝධයත්, උපේක්ෂාව හා මිත්‍රත්වයත් වර්ධනය වන අන්දමින් ඒ අධ්‍යාපනය සකස්විය යුතුය. සාමය උදෙසා එක්සත් ජාතීන් ගෙන යන ක්‍රියාමාර්ගයට ද, එය අනුබලයක් විය යුතුය.
3. තම දරුවන්ට දිය යුත්තේ කුමන අධ්‍යාපනයක් දැයි තෝරා ගැනීමේ මුල් අයිතිය මව්පියන් සතුය.

27 වන වගන්තිය
1. සමාජයේ සංස්කෘතික ජීවිතයට නිදහසේ සහභාගී වන්නටත්, කලාවෙන් ආශ්වාදය භුක්ති විඳීමට හා විද්‍යාත්මක දියුණුවට සහභාගී වී එහි ප්‍රතිඵල භුක්ති විඳිමටත් සෑම පුද්ගලයකුටම අයිතියක් ඇත්තේය.
2. තමන්ගේ කර්තෘත්වයෙන් නිෂ්පාදිත විද්‍යාත්මක, සාහිත්‍යමය හෝ කලාත්මක කෘතියකින් ජනිත වන අධ්‍යාත්මික හා භෞතික ඵල ප්‍රයෝජන රැක ගැනීමේ අයිතිය සෑම පුද්ගලයකු සතුව ඇත.

28 වන වගන්තිය
මෙම ප්‍රකාශනයෙහි සඳහන් අයිතිවාසිකම් හා ස්වාධීනතාවයන් පරිපූර්ණව සාක්ෂාත් කරගත හැකිවන සමාජ හා ජාත්‍යන්තර රටාවකට සෑම පුද්ගලයකුටම අයිතියක් ඇත.

29 වන වගන්තිය
1. පුද්ගලයකුගේ පෞරුෂත්වය නිදහස් පරිපූර්ණ සංවර්ධනයකට පත්කර ගැනීමෙහි ලා ඉටු කළයුතු සමාජ යුතුකම් රැසක් සෑම පුද්ගලයකු කෙරෙහිම පැවරී ඇත.
2. පුද්ගලයාගේ අයිතිවාසිකම් හා ස්වාධීනතාවයන් ක්‍රියාත්මක වීමේදී සීමාවන් තිබිය යුත්තේ හුදෙක් අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා ස්වාධීනතා ආරක්ෂාවීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මහජන සාමය හා පොදු සුභසිද්ධිය ආරක්ෂා වීම පිණිසත් පැනවෙන නීති පද්ධතියක් මගින් පමණි.
3. එක්සත් ජාතීන්ගේ පරමාර්ථයන් හා ප්‍රතිපත්තිවලට පටහැනි වන අන්දමකින් මෙම අයිතිවාසිකම් හා ස්වාධීනතාවයන් ක්‍රියාත්මක නොකළ යුතුය.

30 වන වගන්තිය
මේ ප්‍රකාශනයෙහි සඳහන් කිසිඳු අයිතිවාසිකමක් හෝ ස්වාධීනතාවයක් වැනයි යන අන්දමේ කිසිම ක්‍රියාමාර්ගයකට අයිතියක් කිසිඳු රාජ්‍යයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයකුට අත්වන අන්දමේ අර්ථ නිරූපණයක් මේ ප්‍රකාශනයෙහි කවරි වගන්තියකින් හෝ නොකළ යුතුය.

Solidarity Movement for Justice and Truth 
facebook පිටුවට මම ලියූ සටහනකි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
10/12/2021

Wednesday 8 December 2021

Zurbarán ගේ Immaculate Conception චිත්‍රය, මරියතුමිගේ 'නිර්මල පිළිසිදගැනීම' සහ ස්ත්‍රිවාදීන්

පහතින් දක්වා ඇත්තේ Francisco de Zurbarán නම් ස්පාඤ්ඤ චිත්‍ර ශිල්පියෙක් 1632දී අදින ලද මරියතුමිගේ 'නිර්මල පිළිසිද ගැනීම' (Immaculate Conception) නම් චිත්‍රය ය.

කතෝලික පල්ලිය මරියතුමියගේ නිර්මල පිලිසිදගැනීම සමරන අද දින (08/12) මෙම චිත්‍රය ගැන අවධානය යොමුවෙන්නේ කාරණා කිහිපයක් හේතුවෙනි.

එක් කරුනක් නම් ස්පාඤ්ඤ චිත්‍ර ශිල්පී Francisco de Zurbarán මේ නමින්ම (Immaculate Conception) මේ චිත්‍රයම පදනම් කරගත්, යම් යම් වෙනස්කිරීම් සහ එකතුකිරීම් ඇතුලත්, තවත් චිත්‍ර කිහිපයක් ස්පාඤ්ඤයේ බාසිලෝනා කෞතුකාගාරයේ ඇතුලු කෞතුකාගාර කිහිපයකම දකින්නට තිබීමය. එම චිත්‍ර පසුව සංස්කරණය කරන ලද චිත්‍ර ලෙස සැලකේ.

පින්තුරයේ දැක්වෙන නියම/මුල් (the original) චිත්‍රය සියවස් තුනක කාලයක් අතුරුදන්වී තිබි ප්‍රංශයේ බෝදෝ (Bordeaux) නගරය කිට්ටුව ඇති ලැන්ගොන් (Langon) ගම්මානයේ පරණ පල්ලියක සොල්දෝරයක (attic) තැම්පත් කර තියෙද්දී නැවත සොයාගත්තේ 1863 දි ය.

ඒ, මරියතුමියගේ 'නිර්මල පිළිසිද ගැනීම' (Immaculate Conception) කතෝලික පල්ලියේ ආගමික ඉගැන්වීම්වල නිල මතයක් වශයෙන් නමවන පියුස් පාප්තුමා (Pope Pius IX) 1854දී ප්‍රකාශයට පත්කර වසර 9කින් අනතුරුවය.

ප්‍ර‍ංශයේ ලූර්දු නුවර (Lourdes) බර්නදෙත් සුබ්‍රියු (Bernadette Soubirous) නම් දැරියට මරියතුමියගේ දර්ශනයවීම (Marian Apparition) සහ ලූර්දු නුවර (Lourdes) හාස්කම් සිදුවීම වාර්තාවන්ට පටන් ගන්නේද මෙම කාලය තුලය.

Francisco de Zurbarán ගේ මුල් චිත්‍රය නැවත සොයාගන්නේ නමවන පියුස් පාප්තුමා (Pope Pius IX) 1854 දී 'නිර්මල පිළිසිද ගැනීම' (Mary's Immaculate Conception) නිලවශයෙන් ප්‍රකාශයට පත්කලායින් අනතුරුව වුවද මරියතුමිය යනු 'ජම්ම පාපයෙන් නිර්දෝශව පිලිසිදගත්' (Virgin Mary was free original sin) තැනැත්තියක් යැයි යන්න මධ්‍යකාලීන (Medieval) යුගයේ සිට කතෝලික පල්ලිය තුල විවිධ වාදවිවාදයන්ට, හැලහැප්පීම්වලට ලක්වී ඉදිරියට පැමිණි ආගමික මතයක් බව කතෝලික ආගමික ඉතිහාසය තුල ප්‍රකාශවන්නකි.

ස්පාඤ්ඤ චිත්‍රශිල්පී Francisco de Zurbarán විසින් 1632 දි අදින ලද මෙම චිත්‍රයට නිර්මල පිළිසිද ගැනීම' (Immaculate Conception) ලෙස නම් තැබීම තුලද, මරියතුමියගේ නිර්මල පිළිසිද ගැනීම පිලිබද මතය නමවන පියුස් පාප්තුමා (Pope Pius IX) විසින් 08/12/1854 දින නිකුත්කල 'Ineffabilis Desu' ප්‍රකාශණය මගින් නිල වශයෙන් පිලිගැනීමටත් පෙර, කාලයක් තිස්සේ පැවැති බවට එක් උදාහරණයක්. ඇතැම්විට නියම/මුල් චිත්‍රය කාලයක් සැගවී තිබීමටත්, මුල් චිත්‍රය විවිධ ස‍ංස්කරණයන්වලට ලක්වී සංස්කරණය කරන ලද චිත්‍ර පමණක් ප්‍රසිද්ධව පැවැතීමටත් හේතුව මරියතුමියගේ නිර්මල පිලිසිදගැනීම පිලිබද කතෝලික පල්ලියේ පැවැති විවිධ වාදවිවාදයන් කඹ ඇදීම්, පරස්පරයන් වීමට පුලුවන.

ඒ කෙසේ වෙතත්, නිර්මල පිලිසිදගැනීම පිලිබද කතෝලික ආගමික ඉගැන්වීම කතෝලික පල්ලියවුවද නිලවශයෙන් ප්‍රකාශයට පත්කලේ කලාන්තරයක් තිස්සේ දියත්වු සුවිශේෂවු අධ්‍යනයකින් පසුවය. ඒ සමගත්, සමකාලීනවත් සහ ඉන් අනතුරුව මරියතුමියගේ දර්ශනයවීම් (Marian Apparition) රාශියක් වාර්තාවන්නටවිය.

එමෙන්ම ක්‍රිස්තියානි ආගමේ ආරම්භයේ සිටම කිතුනුවන් අතර මුල්බැසගත් මරියතුමියටවු සුවිශේෂී භක්තිය, මරියබැතිය (Mariology) මරියතුමියගේ නිර්මල පිලිසිදගැනීම (Immaculate Conception) නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීමත් සමග මහත් ගැබුරුකට යොමුකිරීමට හේතුවිය.

කතොලික පල්ලිය 1854 දී මරියතුමියගේ නිර්මල පිළිසිද ගැනීම (Immaculate Conception) පිලිගැනීම ම ස්ත්‍රි අයිතිවාසිකම් වෙනුවෙන්, කාන්තාවන්ට සම අයිතින් දිනාගැනීම වෙනුවෙන්වු ඉදිරියටයාමට මහත් පිටුවහලක් සැපයු බව Mary Daly සහ වෙනත් ස්ත්‍රිවාදීන් (Feminist) දක්වා තිබේ. Mary Daly දක්වා ඇත්තේ 'ආදම්ගේ බිරිදවූ ඒව (Eve) තහනම් ගහේ ගෙඩි කෑමෙන් උපන් ජම්ම පාපයෙන් තවත් ස්ත්‍රීයක්වු මේරි නිර්දෝෂව උපන්බව පිලිගැනීමම සහ ඇය දේව පුත්‍රයාගේ මවවීම ම (Mother of God) කතෝලික ආගමීක ඉගැන්වීම තුලත්, සමාජය තුලත් කාන්තාවන් ඇති ස්ථානය උසස් කරලීමට හේතුවු බව දක්වයි.

එකී අර්ථය තුල මරියතුමියගේ නිර්මල පිළිසිද ගැනීම (Immaculate Conception) පිලිබද කතෝලික ආගමීක ඉගැන්වීම මානව සමාජයේ ප්‍රගමනයටද හේතුවී ඇතිබව පෙනී යන්නෙකි. මරියතුමියගේ නිර්මල පිළිසිදගැනීම (Immaculate Conception) සමරන අද දිනය (08/12/21) කතෝලික පල්ලියේ පමණක් නොව ඉතාලිය වැනි ඇතැම් යුරෝපා රටවලද ප්‍රධාන නිවාඩු දිනයක් සහ මංගල්‍යය දිනයක් ලෙස සැමරීමට එම කරනුද හේතුවී ඇතිවාට සැක නැත.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
08/12/21

Friday 3 December 2021

සේවියර්තුමාගේ 'නොදිරන සිරුර' සරත් වීරසේකරලා රාහුල හිමි ලෙස ජිවම් කිරීමේ වාර්ගික දේශපාලනය

සාන්ත ෆ්‍රැන්සිස් සේවියර්තුමාගේ (Saint Francis Xavier) මංගල්‍ය දිනය යෙදී ඇත්තේ අද (දෙසැම්බර් 3) දිනය. ක්‍රි.ව. 1506 අප්‍රියල් 7වෙනි දින වර්තමාන ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඈදාගෙන ඇති බාස්ක් (Basque) රටේ සේවියර් රජමාලිගේ (the royal castle of Xavier / The Castillo de Javier, Navarre, Spain) කුමාරයෙක් ලෙස උපත ලැබූ ෆ්‍රැන්සිස් සේවියර් 1552 දෙසැම්බර් 03 දින චිනයේ සැන්ග්චුආන් (Shangchuan Island) දුපතේදී මිය ගියේය. සේවියර්තුමාගේ මංගල්‍යය දිනය යෙදී ඇත්තේ එතුමා මියගිය දිනය පදනම් කරගෙනය. 

ෆ්‍රැන්සිස් සේවියර්තුමා යනු සා. ඉග්නේෂ් ලොයලාතුමා (Ignatius of Loyola) සමග එක්ව කතෝලික ධර්මදුත ප්‍රචාරණයේ ප්‍රකට සේවාවක නිරතවූ ජේසුනිකාය (Jesuits) බිහිකළ 1525-29 වසරවල පැරිස් විශ්ව විද්‍යාලයේ (University of Paris) අධ්‍යාපනය ලැබූ කතෝලික පුජා ප්‍රසාදිවරුන්ගෙන් කෙනෙකි. 

එහෙත් ෆ්‍රැන්සිස් සේවියර්තුමා වඩාත් ප්‍රකටව ඇත්තේ ජේසුනිකාය (Jesuits) බිහිකළ පුජක කණ්ඩායමේ කෙනෙකු වඩා ඉන්දියාවේ සිට ජපානය දක්වා ක්‍රිස්තියානි ආගම ප්‍රචාරයකල ධර්ම ප්‍රචාරකයෙක් වශයෙන්ය. ඉන්දියාව, ලංකාව, සිංගප්පුරුව, මලක්කාව (වර්තමාන ඉන්දුනීසියාව-මැලේසියාව) වියට්නාමය, චීනය සහ ජපානය යන රටවල තර්ජන-ගර්ජන, තාඩන-පීඩන, වදහිංසාවලට සහ අත්අඩංගුවට ගැනීම්, සිරගතවීම් විදිමින් ක්‍රිස්තියානි ධර්මය ප්‍රචාරණයකල සේවියර් පියතුමා චිනයේ සැන්ග්චුආන් (Shangchuan Island) දුපතේදී රෝගාතුරුව මියයන විට වයස අවුරුදු 46 කි. 

මියගිය දිනට පසුදාම  සැන්ග්චුආන් (Shangchuan) වෙරළට ඔබ්බෙන් වැල්ලේ වළලනු ලැබූ එතුමාගේ සිරුර ඉන් මාස තුනකට පසුව ගොඩගෙන පෘතුගීසි පාලනය යටතේ පැවති මලක්කාවේ සා.පොල් දේවස්ථානයේ 1553 මාර්තු 22වෙනිදා තාවකාලිකව තැම්පත්කර ඇත. දේහය එතුමා ධර්ම ප්‍රචාරක කටයුතු සදහා පිටත්ව ගිය ගෝවේ නුවරට ගෙන ඒමට තීරණය කළහෙයින් පෙරේරා පියතුමා ඇතුළු කිහිපදෙනුකු පිටත්ව දේහය නැවත ගොඩගෙන 1553 දෙසැම්බර් 11වෙනිදා ඉන්දියාවේ ගෝවේ නුවරට ගෙන යන ලදී. 

දේහය ගෝවේ නුවරට ගෙනඒමට මලක්කාවෙ සා.පොල් දේවස්ථානයෙන් ගොඩගත් අවස්ථාවේදී දේහය නොදිරා ඇති බවත්, එය ෆ්‍රැන්සිස් සේවියර්තුමා ජීවමානව සිටින ආකාරයටම පැවති බවත් පෙරේරා පියතුමා  සටහන් තබා තිබේ. පෙරේරා පියතුමා සේවියර්තුමාව ලිස්බන් නුවර සිට හදුනන්නෙකි. එමෙන්ම එතුමා සමග ඉන්දියාවේ ගෝවේ ප්‍රදේශයේ ක්‍රිස්තියානි ධර්මදුත සේවයේ යෙදුනෙකි. එතුමාගේ සිරුර මලක්කාවෙ සිට ගෙන ඒමේ සිට ගෝවේ නුවර Basilica of Bom Jesus දේවස්ථානයේ දිව්‍ය පුජාවක් පවත්වා මිහිදන් කිරීම දක්වාම ජේසුනිකායික පියතුමන්ලා තබා ඇති ලිඛිත සටහන් තවමත් සුරක්ෂිතව පවතී. එම සටහන් කිසිවක් අතර එතුමාගේ දේහය ලංකාවට ගෙන් එමක් ගැන සදහන්ව නැත. 

එහෙත් පසුගිය කාලයේදී ලංකාවේ දිවයින පුවත්පතට ලිපි මාලාවක් ලියු දැන් මහජන ආරක්ෂක ඇමති, හිටපු රියල් අද්මිරාල්, සරත් වීරසේකර මහතා දක්වා තිබුනේ ඉන්දියාවේ ගෝවේ ඇති ෆ්‍රැන්සිස් සේවියර්තුමාගේ 'නොදිරන සිරුර' (ඇත්තවශයෙන්ම එය ක්‍රමයෙන් දිරාපත්වෙමින් ඇත) එතුමාගේ නොව ලංකාවේ විසු සුප්‍රකට ෂඩ් භාෂා  පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ බවයි. 

ඔහු එසේ තර්ක කරනුයේ; 

1. අවසාන කාලය ගැන පැහැදිලි විස්තරයක් නැති රාහුල හිමියන් ගාලු දිස්‌ත්‍රික්‌කයේ ඇල්පිටියට නුදුරු "අම්බත" නම් ප්‍රදේශයේ ගල් ගුහාවක තම අවසාන කාලය ගෙවූ බවත්, 

2. වසර 83ක්‌ ආයුවලදා උන්වහන්සේ 1491දී  අපවත්වූ බවත්, අපවත්වන විට වසර 1000ක් සිය සිරුර නොදිරා තිබීමට කිසියම් තෙලක් බී සිටි බවත්,

3. 1552දී  ගාල්ලට පැමිණි  තවත් සේවියර් නම් පෘතුගීසි පුජකයෙකු එම සිරුර ගල්ලෙන  කඩා ගෝවේට රැගෙන ගිය බවත්,

4. එසේ ගෙන යාම පිලිබදව ජනප්‍රවාදයේ

        'සතුරු සිංහල සේවියර් සෙන්පතිහු යුද පත් වතාවේ

        ඉඳුරු ගල්ලෙනෙහි යක්‌ සෙන් ඇසුරු කර සිටියෙහි මනාවේ

        මිතුරු ජපකළ දහසකට කල් පවතිනා තුරු කරපු ජීවේ

        මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර ගෙන ගොස්‌ තැබුවෙ "ගෝවේ"'

යනුවෙන් කතෘවරයෙක්, පලකල කාලයක්, පිළිබද කිසිදු සදහනක් නැති, ජනප්‍රවාදයේ පැවත එනවා යැයි කියන කවියක් ඇති බවත්,

5. මේ සම්බදයෙන් 1953 දෙසැම්බර් 27 ධර්මපාලතුමාගේ 'සිංහල බෞද්ධයා' පුවත්පතේද ලිපියක් පලවී තිබු බවත්, සදහන් කරයි. 

මෙසේ ඉදිරිපත් කරනලද කරුණු ඇතුලත් ලිපිපෙළ 'ගෝවේ තිබෙන ඉපැරණි දේහය තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේමයි' යනුවෙන් 'හෙළයේ යතිවරු' නම්  බ්ලොග් අඩවියක්ද (http://dahamvila22.blogspot.com/p/blog-page_27.html) පළකර තිබුණි. 

මෙකි කරුණු, සේවියර්තුමාගේ සිරුර ගැන සදහන් ජෙසුනිකායික පියතුමන්ලාගේ සටහන් සමග සැසදීමේදී පෙනී යන්නේ සරත් වීරසේකර මහතා සහ ධර්මපාලතුමාගේ සිංහල බෞද්ධයා පුවත්පතේද ඉදිරිපත්කරන කරුණු ජනප්‍රවාද මත පදනම්වී ඇති බවත් ජෙසුනිකායික පියතුමන්ලාගේ සටහන් ඔවුන් එදිනෙදා තැබූ ඇසින් දුටු, එදිනෙදා මුහුණදුන් අත්දැකීම් ඇසුරින් තැබූ  සටහන්වන බවත්ය. 

සේවියර්තුමාගේ නොදිරන සිරුර ගැන 1554, 1614, 1782, 1859, 1952 දී විවිධ විද්‍යාත්මක පරික්ෂණ සිදුකර තිබේ. ඒ සම්බන්දයෙන් විචාරාත්මක පරියේෂනාත්මක ලිපියක් Lerhistoria ජර්නලයට Pamila Gupta මහත්මිය 2010දී 'Discourses of Incorruptibility: Of Blood, Smell and Skin in Portuguese India' යනුවෙන් ලියා ඇත. එහිදී ඇය පල්ලියේ භක්ති ප්‍රබෝධය මතුකරණ ලෙස ඉදිරිපත්කර ති කරුණු මෙන්ම වෙනත් බොහොමයක්  හිත්ලුද දැඩි විවේචනයකට ලක්කර තිබේ. එම ලිපිය ඔස්සේ මෙන්ම වෙනත් අධ්‍යයන ආදියේද පළකර ති කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙනීයන කාරණා  කිහිපයක්වේ. වානම්;

1 ගෝවේ ඇති නොදිරන සිරුර වයස අවුරුදු 80 ඉක්මවුවෙකුගේ නොව වයස අවුරුදු 50ට අඩු තැනැත්තෙකුගේ බව.

2. DNA සම්පල අනුව ආසියතිකයෙකුගේ නොව බාස්ක් (Basque) වර්ගිකයෙකුගේ විය හැකි බව.

3. සිරුර නොදිරනවා නොව දිරාපත්වෙමින් ඇති බව. 

4. සිරුර ලවන් මිශ්‍ර  පසක වලලා තිබී ඇති බව.  

5. ජේසු නිකායික පියතුමන්ලාගේ ලිඛිත සටහන්, කාල නිර්ණය සහ වෙනත් කරුණු සමග සැසදීමේදී  නිවැරදි බව පිළිගත හැකි බව.

6. පෘතුගීසි ජාතික පියතුමන්ලා ගාල්ලේ ධර්ම ප්‍රචාරක කටයුතු වලට පැමිණෙන සහ නිරතවන අවස්ථාවේදීත් සා.සේවියර්තුමාගේ නොදිරන සිරුර ගෝවේ පවති බව. 

මෙකි කරුණු සැලකීමේදී 1953 දෙසැම්බර් 27 ධර්මපාලතුමාගේ 'සිංහල බෞද්ධයා' පුවත්පතේ පලවූ ලිපිය මෙන්ම 2014 සිට හිටපු රියල් අද්මිරාල්, දැන් මහජන ආරක්ෂක ඇමති, සරත් වීරසේකර මහතා ලියු ලිපිපෙළ ඔස්සේ සමාජගතකල ගෝවේ ඇති සාන්ත ෆ්‍රැන්සිස් සේවියර්තුමාගේ නොදිරන සිරුර ලංකවේ විසු කීර්තිමත් හිමි නමක්වූ, සංදේශ කාව්‍ය ගණනාවක් පබදි, ෂඩ් භාෂා  පරමේශ්වර, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේයැයි දක්වන තර්කය  පැහැදිලිවම බිදවැටෙන බව පිළිගත හැක. 

ඇත්තවශයෙන්ම, ධර්මපාලතුමාගේ සිංහල බෞද්ධයා පුවත්පතේ මෙන්ම සරත් වීරසේකර මහතා ලියු ලිපිපෙලේද අරමුණුවුයේ සිංහල-බෞද්ධ ජාතිකත්වය ඉස්මතු කිරීමය. සිංහල ජාතියට, සිංහල-බෞද්ධ ජනයාට උදාර ඉතිහාසයක් හිමි බව පැහැදිලිව පිළිගත හැක්කකි. එහෙත් ඒ උදාරත්වය ඉස්මතු කිරිමෙහිලා 'නොදිරන සිරුරු' පසුපසයෑම හරසුන් ව්‍යායාමයකි.

එවැනි කල්පිත, ප්‍රබන්ධ, සම්ප්‍රයෝගවලට කාලය මිඩංගු නොකර රටේ ඇති විශිෂ්ඨ ඉතිහාස කරුණු කෙතරම් නම් මතුකල හැකිද? එවැනි කරුණු මතුකරලිම වෙනුවට ධර්මපාල යුගයේ සිට සරත් වීරසේකරලා දක්වාම දියත්වී ඇත්තේ එක් ජාතියක්, එක්  ආගමක් අනෙකට වඩා උසස්ය, ප්‍රධානය, ආදීය මතුකරන වාර්ගික-ජාතිකවාදී දේශපාලන වැඩපිළිවෙලකි. එවැනි වැඩපිළිවෙලක ප්‍රචාරක අරමුණු වෙනුවෙන් හෝ සමාජගතකරන බොරුවෙන්, මුලාවෙන්, වෛරයෙන්, ද්වේෂයෙන් ගොඩනැගෙන ජාතියක්, ආගමක්, සමාජයක් හෝ රටක් නොමැත. ඇත්තේ විනාෂයක්ම පමණි. ධර්මපාල යුගයේ සිට සරත් වීරසේකරලා දක්වා ගෙනගිය එම මාවත ඔස්සේ ලංකාවට අද අත්වී ඇති ඉරණම ම ඊට හොද උදාහරණය. දැන්වත් සත්‍ය සහ යුක්තිය මත ගොඩනැගෙන වැඩ පිළිවෙලකට පියවර ඔසවමු. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.

 21/12/2021

*******************************************************

සාන්ත ෆ්‍රැන්සිස් සේවියර්තුමාගේ (Saint Francis Xavier) මංගල්‍ය දිනය වෙනුවෙන්  'ලක්දිව කතෝලික ඉතිහාසය' Facebook පිටුවේ පලවූ ලිපියක් පහතින්. 

ලක්දිව ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ භක්තිය

පෙරදිග අපෝස්තුළුවරයාණන් සහ ආසියාවේ දහම් ගිණි සිළුව යන ආදරබර නාමයෙන් හදුන්වනු ලබන ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ මංගල්‍යය දෙසැම්බර් මස 03 වන දින ඉමහත් ආනන්දයෙන් යුතුව සමරන්නීය. ස්වකීය දිවි මග තුළ ශුද්ධෝත්තම පියතුමන්ගේ තානාපතිවරයකු ලෙස ඉන්දියාව මුල් කරගෙන ජපානය දක්වා ධර්මදුතික මෙහෙවරේ යෙදී , අහම්බෙන් හෝ මෙරටට වැඩම කොට ලාංකේය ධර්මදුතික මෙහෙවරට සහ ආසියාවේ පළමූ ප්‍රාණපරිත්‍යාගි පිරිසගේ ජිවිතපරිත්‍යාගයට වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙමින් ද අද්විතීය වූත් , අසහාය වූත් ධර්මදානීය මෙහෙවරක යෙදුණු මෙතුමන් කැපවුණු , වැයවුණු ධර්මදුතික මෙහෙවර වෙනුවෙන් ආසියාවේ මෙන්ම ලාංකේය ශු. සභාව සදා මෙතුමන්ට ණය ගැතිය.

පෘතුගීසි සමයේදී සිට අද දක්වා සුපතල සාන්තුවරුන් අතුරින් ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ භක්තියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඊට සවිමත් පදනම වූයේ ක්‍රි.ව. 1602 දී මෙරටට පැමිණි ජේසු නිකායික ධර්මදුතවරුන් නිසාවෙනි. එනමුදු එතුමන්ගේ දිවිමග තුළ එතුමන් ලක්දිවට වැඩම කර තිබීම ද සුවිශේෂී වේ.

ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ ලාංකාගාමනය

ශු . ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමා ක්‍රි.ව. 1551 දී ගාල්ලට පැමිණි බව ඓතිහාසිකව ගොන්සාල්වෙස්ගේ කෘතියේ සදහන් කෙරේ ශු . ප්‍රැන්සිස් සාවියෙර්තුමා දකුණු ඉන්දිය මුහුදු තිරයේ සිට ජපානයේ සිට සිංගප්පුරුව හරහා මල්කකා සමුද්‍ර සන්ධිය හරහා පැමිණි බව සදහන් කරයි. ක්‍රි.ව. 1552 ජනවාරි 24 වන දිනට සාවියෙර්තුමා ඉන්දියාව බලා පිටත් වන්නේ මල්ක්කාවෙනි, මලක්කාවේ දි එතුමාණන්ට "ගාලේගෝ" නැමති නෞකාව තුලින් ලංකාව හරහා ඉන්දියාවට යෑමට එතුමන්ට සිදුවේ මෙම නැව වනාහි පැරණි තත්ත්වයේ නැවකි.

එම නිසා ක්‍රි.ව. 1551 දෙසැම්බර් මස අවසාන දින කීපය ද ජනවාරි මුල් දින කීපය ද එතුමාණන්ට ගාල්ලේ නතර වීමට සිදුවූයේ මෙකී නැවේ කුඔ ගස කැඩී නැව නැවත අලූත්වැඩියා කරන තෙක් එතුමාණන් ගාල්ලේ විසීය. මෙහි දි එතුමාන්ට මිගුවෙල් ෆර්ඩිනැන්ඩස් හමුවිය. ඔහුගේ නැව ද ඒ වසරේ දී වීදිය බණ්ඩාර විනාශ කරන ලද්දෙන් ඔහුට ද ගාල්ලේ විසිමට සිදුවිය. ප්‍රැන්සිස් සාවියර්තුමාට මිගුවැල් ෆර්ඩිනැන්ඩස් හමුවන විට ඔහු ඉතා තදබල ලෙස අසනිප තත්ත්වයෙන් පසුවිය. මෙහි දි සාවියර්තුමා මිගුවෙල් වෙනුවෙන් දිව්‍ය පුජාවක් පවත්වා නැවත ඔහුගේ සුව දුක් බැලිමට ගිය බවත් සදහන් වේ.

මෙහි දී එතුමාණන් කාලේගාන ප්‍රදේශයට පැමිණ දේශනා කළ බවත්, එහිදි ප්‍රාතිහාර්යය කීපයක් සිදුකොට කිතු දහම දේශනා කළ ස්ථානය "කිතු දම් පිටිය" පසු කලෙක එය "කිතුලම් පිටිය" ලෙස අද දක්වා ම ජන ව්‍යාවහාරයෙන් පවති. මෙහි දී නැවත ගාල්ලෙන් එන ගමනේ දි මිගුවෙල්ගේ සුව දුක් බලා ඔහු සුවසේ විසීම හේතුවෙන් දෙවිදුන්ට ප්‍රශංසා කළේය. පසුව කලෙක ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමා ශුද්ධවරයට එසැවීමේදී මිගුවෙල් ෆර්ඩිනැන්ඩස්ගේ සාක්ෂිය ඉතා වැදගත් විය. ( Gonsalves vol. p. 275 & Rev. Fr. V. Perniola S.J., The Catholic Church in Sri Lanka , The Portuguese Period , volume 1 , 1505 - 1565, pg - 289 )

මන්නාරමේ ප්‍රාණපරිත්‍යාගිවරු

ක්‍රි.ව. 1519 යාපනයේ සිංහාසනය සංකිලි නමැත්තකු විසින් පැහැර ගන්නා ලදි. පරරාජසේකරන් ලෙස ආරූඪ නමක් යොදාගත් මොහු නීත්‍යානුකුලව පත් වී සිටි රජු මරා දමා රජකම පවරා ගත්තේ ය. එසේ ම රජතුමනට පක්ෂපාතීව සිටි පිරිස ද මරා දැමුවේය. මේ හේතුවෙන් රජකමට උරුමක්කරුව සිටි රජකුමරා ඉන්දියාවට පැන ගියේ ය. ඔහු එහි ගියේ කම රාජ්‍ය දිනා ගැනීමට පෘතුගීසීන්ගේ සහාය ලබා ගනීම පිණිස ය. යාපනය අවට පිහිටි නොගැඹුරු මුහුදු වැලි වැටියේ රැදෙන සියලූ නැව් තමනට අයත් වන බව යාපනයේ රජවරුන්ගේ පිළිගත් සම්ප්‍රදායක් විය. මේ අනුව අවට මුහුදු වැල්ලේ රැදුනු නැව් බොහෝමයක් සංකීලි පැහැර ගත්තේ ය. මේ හේතුන් නිසා ක්‍රි.ව. 1543 දී පෘතුගීසී මාටින් අල්ෆොන්සෝ ද සෞසා විශාල නැව් හමුදාවක් ද කිරුළ අයත් කුමරුන් සමග පැමිණ සංකිලි පෘතුගාල රජුට බදු ගෙවන වැඩවසම් පාලකයකු බවට පත් කෙළේය. එහෙත් සංකිලි එම ගිවිසුම නොසලකා හැරියේ ය. මේ කාලය තුළ යාපනයට අයත් මන්නාරමේ සිටි ජනතාව ඉන්දියාවේ සිට ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමා ගැනත් උන්වහන්සේගේ ඉගැන්වීම් හා ප්‍රාතිහාර්යයන් ගැනත් අසා උන්වහන්සේට එහි පැමිණෙන ලෙස ආරාධනා කළහ. මන්නාරමේ මේ පිරිසට මෙම " සුදු ස්වාමියර් " වසරක් පමණ කාලයක් තුළ කරැති සේවාව ගැන ආරංචි ලැබිණි. එතුමන්ගේ දැහැමි හා ශික්ෂාකාමි පැවැත්ම ගැනත්, ජනතා සමීප සේවාව ගැනත් මන්නාරමේ පිරිස දැනගන්නහ. 'පෙරිය පාද්‍රෝ 'හෙවත් 'ලොකු ස්වාමි' නමින් එහි විශාල ගෞරවයට පාත්‍ර වී සිටි එතුමන් මෙහි ද ගෙන්වා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව විය. මෙසේ සාවියෙර් පියතුමනට මන්නාරම වෙත වැඩම කරන ලෙස ආරාධනා කරන ලදි.

මන්නාරමේ කිතුනු පිරිස හුදෙක් කම ආරක‍ෂාව පිණිස පෘතුගීසින්ගේ සිත් දිනා ගැනීමේ චේතනාවෙන් මෙසේ ආරාධනා කළහු ද යන්න ඇතැම්හු ප්‍රශ්න කරති. එහෙත් ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමාගේ ලිපි වලින් ම පැහැදිලි වන්නේ එසේ නොවන බව යි. ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමාගේ සේවාව ද හොදින් හදුනා ගෙන සිටී. මේ පිරිස කිතු දහම වැළැද ගැනීමේ පිරිසිදු චේතනාවෙන් එසේ කළ බව පැහැදි වන්නේ ය. මෙසේ ආරාධනා ලද ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමාට මෙහි පැමිණිම සදහා පහසුකම් නොතිබිණි. එම නිසා තම හිතවත් සහායක මන්සිල්හාස් පියතුමන් එවන්නට එතුමෝ සැලැසුම් කළෝ ය. එම උත්සහය ද අසාර්ථක විය. එම පියතුමාට ද තමන් සිටි තුත්තුකුඩියේ පැවැති විරුද්ධවාදින්ගේ ගැටුම් නිසා සිටි තැනක් බවත් වීම නිසා අපහසු බව දන්වන ලදි. එහි සිටි එක ම පදවි පුජක ජුවාම් ද ලිසානෝ පියතුමන් මෙහි එවන ලදි.

ජුවාම් ද ලිසානෝ පියතුමෝ මෙහි පැමිණ ක්‍රි.ව. 1536 දී විසි දහසක් වු ජන සමුහයක් කිතු දහමේ කුලවැද්දුහ. මේ පිරිස ලැබු දහම් දැනුම අල්ප බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් සැලැසුම් කළ පරිදි, ඒ දැනුම ක්‍රමයෙන් ව්‍යාප්ත කැර දියුණු කරන ලදි. කෙසේ වෙතත් කල් ගත වන්නට පෙර මෙහි වගතුග දැනගත් පරරාජසේකරන් හෙවත් සංකිලි රජතුමා මේ ගැන වියරු විය. ඒ සදහා හේතුවුයේ කුමක්දැයි ප්‍රශ්න කළ හැකිය. මේ වන විටත් පෘතුග්‍රීසින් සමග උරණ වී සිටි නිසා තම රටවැසි පිරිසක් පෘතුග්‍රීසි ගෙනා ආගම වැළැද ගැනීමෙන් තමාට විරුද්ධව ඔවුන් හට පක්ෂපාති වෙත් දැයි අති වු සැකය නිසා ද ? එසේ නැත්තම් ඔවුන් කිතු දහම වැළැද ගැනීම පමණක් නිසා එසේ අරමුණ වුයේ ද? යනු ප්‍රශ්න කිහිපයකි.

ඒ කුමක් වුවත් රජ මේ මුළු පිරිසම මරා දැමුවේ ය. මේ අනුව මැරුම් කෑ පිරිස නව කිතුනු පිරිසක් වුවත් එඩිතරව දිවි පිදුවේ කතෝලික දම කෙරෙහි තමන් දැක් වු විශ්වාසිය නිසාම ය. මොවුන් ඝාතනය කරන ලද්දේ තෝට්ටවේලි හා පට්ටිතෝට්ටම් නමැති ස්ථානයේ දීය. පසු කළ හෙළි වි ඇති ලේඛණ අනුව මැරුම් කෑ සංඛ්‍යාව හය සියයය ඉක්ම වන්නේය. මේ සිදුවිම ඛේදජනක වන නමුත් දිවයිනේ කතෝලිකයිනට ජයග්‍රහණයේ ප්‍රතිමුර්තියක් සහ නිදර්ශණයක් ද වන්නේ ය. මේ සියල්ලෝ නිසැකවම ප්‍රාණ පරිත්‍යාගවරු ය. මෙම ප්‍රාණපරිත්‍යාගිවරු වු කලි ඕලන්ද යුගයේ විරෝදාර කතෝලිකයන්ගේ පුර්ව රූපණ වෙති. ක්‍රි.ව. 1544 දෙසැම්බර් මාසයේදී ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් දකුණු ඉන්දියාවේ බටහිර මුහුදුකරයේ විසු මුක්කර් ජනතාවට ධර්මය දේශනා කරන කළ මන්නාරමේ ප්‍රාණපරිත්‍යාගීවරුන් පිළිබදව ආරංචි වූ අතර , මන්නාරමේ නව කිතුනුවන් එතරම් ඉක්මනින් දෙවිදුන් උදෙසා දිවි පිදීම ගැන දෙවිදුන්ට තුති පිදු අතර සංකිලි වැනි කෘෘර පාලකයන්ට දඩුවම් කළ යුතු යැයිද ප්‍රකාශ කරන ලදී.

ශ්‍රී ලංකාවේ පෘතුගීසි ඉතිහාසය පිළිබඳ අසහාය ග්‍රන්ථයක් රචිත ෆර්නාඹ් ද ක්වේරොස් ජේසු නිකායික පියතුමා මේ ප්‍රාණ පරිත්‍යාගි වීම ගැන විචිත්‍ර වූ විස්තරයක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාව ගැන ඇති සිය ඇල්මත් අසාධාරණයට එරෙහි වීමට නිතැතින් එතුමන් තුළැති ගුණාංගයත් එතුමන්ගේ ලිපිවලින් මනාව පිළිබිඹු වේ. ක්‍රි.ව. 1545 ජනවාරි 20 වැනි දින කොචින් හි සිට තුන්වෙනි ජුවන් පෘතුගීසි අධිරාජයා වෙත ලියන මෙතුමා යාපනයේ රාජ්‍යයේ දහම් දෙසුමේ වැදගත්කම අවධාරණය කරයි. ඉන් සතියකට පසු රෝමයේ සිය නිකායික සොයුරන්ට ලියන එතුමා මන්නාරමේ ප්‍රාණ පරිත්‍යාගිවරුන් හා කෝට්ටේ රජ වාසල බුවනෙකබාහු රජ විසින් කළ ඝාතනයක් හා කෝට්ටේ දහම් දූත ප්‍රගතිය ගැන සඳහන් කරයි.

ක්‍රි.ව. 1545 දී ශු. ප්‍රැන්සිස් සාවියෙර්තුමා කොළඹ වරායට සේන්දු වන අතර එහදී එතුමන්ගේ සේවයෙන් නැවෙහි කපිතාන්වරයාගේ සිදුවන සිත්හැරිම හා ජිවිත වෙනස ඉතිහාසඥයෝ ඉතා විචිත්‍රව දක්වති. මේ ගමනේ දී කෝට්ටේ රජු සත්වන බුවනෙකබාහු රජු හමුවන එතුමා රජුට පෘතුගාලයේ අධිරාජයාගෙන් ලිපියක් භාර දෙයි. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව ඉන්පසුව මන්නාරම දක්වා යාත්‍රා කරන ප්‍රැන්සිස් සාවියෙර්තුමා ඉන්පසු නැදුන්තිව් දූපතට ගොඩබට බව කියැවේ.

ස්වර්ගස්ථ වීම සහ ශුද්ධවරය

ක්‍රි.ව. 1552 දෙසැම්බර් මස 03 වන දින ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් චීනයේ සන්චියන් දුපත නම් දූපතේ දී ස්වර්ගස්ථ වුණි. එවිට එතුමන්ගේ වයස අවුරුදු 45 කි. ස්පාඤ්ඤයේ නාවර් ජනපදයේ සාවියෙර් මන්දිරයේ රදලයෙකු ලෙස උපත ලැබුවද සමිදුන්ගේ ඇරයුමට ප්‍රතිචාර දක්වා ජේසු නිකායට බැදී අපෝස්තලික තානාපතිවරයෙකු සහ ධර්මදුතවරයෙකු ලෙස ලක්දිවට පැමිණ දිළින්දන්ගේ දිළින්දෙකු වෙමින් සැබෑ ක්‍රිස්තු අනුගාමිකයකු වූ ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමා සැබවින්ම අසහාය ධර්මදුතවරයෙකි. එතුමන්ගේ සම්පුර්ණ ධර්මදානිය මෙහෙවර වසර 10කි. ක්‍රි.ව. 1619 ඔක්තෝම්බර් මස 25 වන දින දී පස් වන පාවුලූ ශුද්ධෝත්තම පියතුමා විසින් මෙතුමන්ව භාග්‍යවරයට එසවූ අතර ක්‍රි.ව. 1622 මාර්තු මස 22 වන දින 15 වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමා විසින් මෙතුමන් විශ්ව සභාවේ ශුද්ධවන්තයෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ජනවන්දනා වසරේ මෙතුමන්ගේ මංගල්‍යය දෙසැම්බර් මස 03 වන දිනට යෙදී ඇති අතර , " ධර්මදුතික මෙහෙවරේ නාම සාන්තුවරයා" යන ආදර නාමයෙන් මෙතුමන් හැදින්වේ.

ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ නොදිරන ශරීරය ලංකාව හරහා ගෝව පුරයට වැඩම කිරීම

ක්‍රි.ව. 1552 දෙසැම්බර් මස 03 වනදා ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් සුරලෝප්‍රාප්ත වූහ. එතුමන්ගේ මෘත ශරිරය බටහිර සම්ප්‍රදායට අනුව ලී පෙට්ටියක බහා මේ දූපතේ වැළලීමට මොහොතකට පෙර එහි සිටියවුන්ගෙන් ඔවුන් ඉතා ගෞරවාදර කළ ප්‍රැන්සිස් සේවියර්තුමන්ගේ ඇට කටු ඉතා ඉක්මනින් ලබාගෙන එය ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයට හෝ ස්පාඤ්ඤ දේශයට ගෙන යාමට යෝජනා කෙරුණු අතර මේ සඳහා ශරිරයේ මාංශය හැකි තරම් ඉක්මනින් දියැවී යාමට උපකාරි වන ක්‍රමයක් ලෙස අළු හුණු මෘත ශරිරය බහාලූ මිනී පෙට්ටියට දැමු අතර ඉන්දියාවට ගෙන යන තෙක් තාවකාලිකව කෙරුණු මිහිදනේ මිහිදන් ස්ථානය අමතක නොවනු වස් අන්තෝනියෝ නම් එතුමන් සමග සිටි පුද්ගලයකු විසින් ගල් කීපයක් තබන ලදී. වසර ගණනාවක චීනයේ කොමියුනිස්ට්වාදී පාලනය නිසා, නොසලකා ගරා වැටී තිබුණු මෙම ස්ථානයේ ඉදිකළ ස්මාරකය හා කුඩා දෙව්මැදුර සා. ප්‍රැන්සිස් සේවියර් මුනිතුමන්ගේ 500 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන්, හොංකොං හි ජේසු නිකායික විද්‍යාලයේ මැදිහත්වීමේ හා උපකාරයෙන් නැවත පිළිසකර කරන ලදී. ක්‍රි.ව. 1553 පෙබරවාරි මස මැද වන විට මාස 2 1/2 පමණ වල දමා තිබූ ප්‍රැන්සිස් සේවියර්තුමන්ගේ මෘත ශරිරය නැවත ගොඩගෙන මලක්කාවට ගෙන යාමට කටයුතු කරන ලදී. ක්‍රි.ව. පෙබරවාරි මස 17 වන දින මෘත ශරිරය බහාලු මිනි පෙට්ටිය ගොඩට ගෙන විවර කළ විට ඔවුන් මහත් වූ පුදුමයට පත්වූයේ නොදිරා, නැවුම්ව තවමත් සුගන්ධයෙන් යුතුව තිඛෙන සිරුර දැකගන්නට ලැබූ හෙයිනි. දණ හිසට පහළින් ඇගිල්ලක තරම් ප්‍රමාණයේ කොටසක් මාංශය කැපූ ඔව්හු මෘත ශරිරයේ නොදිරුනු බව සාන්ත කෘෘස් යාත්‍රාවේ කපිතාන්වරයා වන දියාගෝ වාස්ට ඔප්පු කරනු වස් එය රැගෙන ගියහ. ඉන්පසුව නව සේද වස්ත්‍ර ශරිරයට පැළඳූ ඔවුහු මිනී පෙට්ටියේ බහාලූ සිරුර සාන්ත කෘෘස් නැවට ගෙන ගියහ. සිරුර සහිත නැව, ක්‍රි.ව. 1553 මාර්තු මස 22 දින මලක්කාවට ළගා විය. එහිදී අනුනායක හිමියන්ගේ අධීක‍ෂණයෙන් පසු ප්‍රැන්සිස් සේවියර්තුමන්ගේ සිරුර මලක්කා කන්දේ පිහිටි ශා. පාවුළු විද්‍යාලයේ දේවස්ථානයේ තැන්පත් කරන ලදී. සිය ජිවිත කාලය තුළදී මලක්කාවේ පෘතුගීසි පාලකයන් විසින් ජනතාවට කළ පීඩා වලට විරුද්ධව හඩ නැගිම නිසා ප්‍රැන්සිස් සේවියර්තුමන් හා ඇති වූ වෛරයට මෙන් එහිදී එතුමන්ගේ සිරුර මහත් නොසැළකිල්ලෙන් වළලන ලදී. එනම් එතුමන්ගේ සිරුර මිනී පෙට්ටියෙන් ඉවත්කර සංක්‍රිස්තියන් කාමරයට ඇතුළු වන දොර අභියස කුඩා ඉඩක වැළලීමේදී මිනී වල තුළම බලහත්කාරකමින් තදකිරිමෙන් සිරුරේ ගෙලට හානි සිදුවිය. ක්‍රි.ව. 1553 අගෝස්තු මස 15 දින සිරුර පරීක්ෂා කරන ලදී. මුහුණ වසා තිබූ රෙදිකඩ සහ හිසට තබා තිබූ කුඩා මෙට්ටය වියළි රුධිරයෙන් පෙගී තිබුණි. නාසයට ද තරමක හානි සිදුවී තිබූ අතර රළු සිරුරට සැළකුම හේතුවෙන් මේ දේවල් සිදුවූවද ශරිරය දරදඬු වීමක් නම් වී නොතිබුණි. සිදුකරන ලද සියලුම පරික්ෂණ වලින් හෙළිවූයේ ශරිරය කල්තබා ගැනීම සඳහා කිසිදු ආකාරයක රසායනික ද්‍රව්‍ය භාවිතයක් සිදු නොකර ඇති බවයි. එමෙන්ම ගඳක් වහනය වීමක් ද අසන්නට සහ දකින්නට නොලැබුණි.ඉන් පසුව ශරිරය ගෝව නුවරට ලෝපෝ ද නොරොන්ඤ්ඤ නම් කපිතාන්වරයා බාරයේ මංජුසාවක බහා ගෙන යන ලදී. ඒ අනුව ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ සිරුර මලක්කාවේ සිට ගෝව ප්‍රදේශයට රැගෙන ගියේ ලංකාව හරහාය.

ලක්දිව බැතිය

පෘතුගීසි සමයේදී ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ ගෞරවය පිණිස දේවස්ථාන තුනක් කැපකර තිබුණි. මෙම දේවස්ථාන තුනම ජේසු නිකායික ධර්මදුතවරුන් භාරයේ පැවති දේවස්ථාන විය. ඉන් පළමු දේවස්ථානය වන්නේ ඒත්තාලේ වේ. මෙහි කතෝලිකයන් 100ක් ද , සිසුන් 30ක් ද , සිටි බව කියැවේ. එම දේවස්ථානය තිබු ස්ථානයේ නෂ්ඨාව ශේෂ කොටස් අදත් දක්නට ඇති අතර, එම ස්ථානය අදත් " සවිරියෙර් කෝවිල් " යන නාමයෙන් හැදින්වෙන අතර මෙම දේවස්ථානයට අනුබද්ධිතව දේවස්ථාන තුනක් පැවතිණි. ඒවා වන්නේ නාරක්කල්ලිය, මරිපෝ සහ නාවක්කඩුව වේ. ( නාරක්කල්ලිය සහ මරිපෝ යන දේවස්ථාන ශ්‍රී කුරුසියට ද නාවක්කඩුව ස්වර්ගාරෝපිත රාජේශ්වරිය නමින් ද කැපකර තිබුණි.) දෙවන දේවස්ථානය පිහිටියේ මාරවිල වේ. මාරවිල ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ දේවස්ථානය පිළිබඳව හැදින්වෙන්නේ පෘතුගීසි සමයේදී මාදම්පේ ස්ථාපිතව පැවති ස්වර්ගාරෝපිත දේවමාතා දේවස්ථානයට අනුබද්ධිත පැවති මාරවිල දේවස්ථානය මාදම්පේ දේවස්ථානයට ලීග තුනක් පමණ දුරින් පිහිටා තිබු බව සදහන් වේ. එහි වු දේවස්ථානය ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් නමින් කැපකරන ලද අතර එහි කතෝලිකයන් 600කුද, ධර්මෝපදේශකයින් 50 කුද විසු බවයි. පෘතුගීසි සමයේ පැවති ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් නමින් කැපකරන ලද තෙවන සහ අවසන් දේවස්ථානය වන්නේ වැලිගම්පිටිය හෙවත් වර්තමාන වෑවල වේ. ජේසු නිකායික වාර්තාවන්ට අනුව පෘතුගීසි සමයේදී ජේසු නිකායික ධර්මදුතවරුන් සතු ආරාමයක් සහ දේවස්ථානයක් මෙහි පැවති අතර ප්‍රථමයෙන් එය බෝම් ජේසු හෙවත් යහපත් ජේසු සමිදුන් නමින් කැපකරන ලදී. එය පිහිටා තිබුනේ ඕලන්ද ඇළ ආසන්නයෙන් බවත් පසුව පාරසරික හේතුන් මත වෙනත් ස්ථානයක් කරා රැගෙන ගිය අතර පසුව එනම් ක්‍රි.ව. 1628 න් පසුව ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් නමින් කැපකරන ලද බව සදහන් වේ. එය පිහිටා තිබුනේ වර්තමාන වෑවල සුසාන භුමිය පරිශ්‍රයේ බව සදහන් වේ. වර්තමානයේ ද ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් නමින් ඉදිකර ඇති දේවස්ථානය වෑවල ප්‍රදේශයේ ඉදිවූ පස්වන දේවස්ථානය වන අතර , ජා-ඇල ප්‍රදේශයේ පවතින ඉපැරණිම කිතුනු සංඝය වන්නේ ද වෑවලයි.

ලන්දේසි යූගය

ඕලන්ද හෙවත් ලන්දේසි යුගය ලාංකේය ශු. සභාවේ නවෝදන යුගයේ දී ලාංකේය දේවජනතාවගේ භක්ත්‍යාදරයට පෑ ශුද්ධවරුන් අතුරින් ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් හට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි. ඊට ප්‍රධානතම හේතුකාරකය වූයේ ලංකා අපෝස්තුළුවරයාණන් වන ශු. ජුසේ වාස් මුනිතුමාණෝය. ශු . ජුසේ වාස් මුනිදුන්ගේ දිවි ගමන තුළ හදබැදි ස්ථානයන් අතර ගෝවේ බෝම් ජේසු බැසිලිකාවට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි. මේ බැසිලිකා දෙව්විමන ගෝවා පුරයට පමණක් නොව සමස්ථ කතෝලික ලෝකයට ම වැදගත් වන ස්ථානයකි. මන්දයත් ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිදුන්ගේ නොදිරන ශ්‍රී ශරීරය මේ දෙව්විමනේ ස්ථාපිත කර ඇති නිසාය. බෝම් ජේසු යන පෘතුගීසි වචනයේ අර්ථය වන්නේ යහපත් ජේසු සමිදාණන් වහන්සේ යන්නයි. පෘතුගීසි ප්‍රදේශ වල මේ නාමය භාවිතා කරනු ලබන්නේ ලංකාවේ පවා සුපතල චතාරික භක්ති අභ්‍යාසයක් වන Ecce Homo යන භක්ති අභ්‍යාසය සිදුකිරීමට බව සදහන් වේ. මෙම බැසිලිකා දෙව්විමන සදහා මුල්ගල් තබන ලද්දේ ක්‍රි.ව.1594 දී වන අතර එහි වැඩ අවසන් වී එය කැපකොට අභිෂේක කරන ලද්දේ ක්‍රි.ව.1605 දී එවකට ගෝව අගරදගුරු අති උතුම් ඇලෙක්ෂියෝ ඩි මෙනසෙස් හිමිපාණන් විසිනි. බාරෝක් ගෘහ නිර්මාණ ශිල්ප වලට නෑකම් කියන්නාවූ මේ බැසිලිකා දෙව්විමන ජුසේ වාස් මුනිදුන්ගේ හදබැදි ස්ථානයක් වන්නට වුයේ එතුමන්ගේ දෙව්සත්හල් සමයේදී බව සදහන් වේ. දෙව්සත්හල් ශිෂ්‍යයෙකු ලෙසත් තරුණ සහෝදරතුමකු ලෙසත් මේ දේවස්ථානයේ ස්ථාපිත ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිදුන්ගේ නොදිරන සිරි සිරුර දකින වාරයක් වාරයක් පාසාම ජුසේ වාස් මුනිතුමන්ද ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිදුන් මෙන් තමන් ධර්මදුතවරයෙකු වීමට අපේක්ෂා කරන්නට විය.

එතුමන්ගේ ජීවිතය තුළ පරමාදර්ශ ශුද්ධවරුන් දෙදෙනෙකු ගත් අතර ඒ දෙදෙනා වන්නේ අසීසියේ ශු . ප්‍රැන්සිස් මුනිතුමන් සහ ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිදුන්ය. අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමන් මෙන් දිළිදුකම මුල් කර ගත් සරල චාම් දිවියක් ගත කරන්නට මෙතුමාණෝ අපේක්ෂා කළ අතර ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් මෙන් ප්‍රබල ධර්මදුතවරයෙකු වන්නට ද අධිෂ්ඨාන කර ගත්තේය. එම නිසාම එතුමන්ගේ දිවි ගමන තුළ ඉහත කී ප්‍රැන්සිස් යන ශුද්ධවරුන් දෙදෙනාගේම සංකලනයක් දක්නට ලැබේ.ඒ සදහා එතුමන්ට මහගු පිටුවහල වුයේ මේ දෙව්විමනයි. පසුකාලීනව මෙරටට පැමිණි ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන් ද මෙම අසහාය ශුද්ධවරයාණන්ගේ භක්තිය මෙරට තුළ ප්‍රචලිත කළෝය.


ලක්දිව කතෝලික ඉතිහාසය, Facebook පිටුව, 01 December, 2021 16.15.
****************************************************************************************

සා. සේවියර්තුමාගේ නොදිරන සිරුර ලංකාවේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ යැයි යන්න ප්‍රතික්ෂේප කරමින් ගෝවේ Herald පුවත්පතේ 02 Nov 2014 පලවූ ලිපියක් 

The Fake Battle over the Body of St Francis Xavier

Fr Victor Ferrao

The 17th Exposition of the Sacred Relics of St. Francis Xavier will be solemnly inaugurated on November 22. In recent days, we had some people raising the question of the genuineness of the sacred body, which echoed the polemic that gripped the people of Goa in 1792 after the suppression of the Jesuits. 

The claim at that time was rather different from present one. It stated that the Jesuits shifted the real body of St Francis Xavier to Portugal and it was claimed that a body of a dead priest had replaced him in Goa. The same controversy raised its ugly head 25 years ago in Goa without much substance. The reining controversy that drew our attention claims that sacred body of St Francis Xavier was lost at sea during its transit to Goa and was replaced by the then Portuguese authorities with the body of Buddhist Monk Thhotgamuwe Sr Rahula Thera.

This claim was highlighted by the Sinhalese as well as the English press of Sri Lanka igniting a new controversy in Goa. Sri Lankan Journalist W T J S Kaviratne, who championed the conflict in Goa, failed to persuade Goans about the same. These claims are both misleading and provocative and cannot stand any critical scrutiny.

Those who interrogate its authenticity have no basis. At best, their view has to be dismissed as a conspiracy theory. 

Francis Xavier landed on Goan soil on May 6, 1542. During his ten years sojourn in the East, Francis Xavier returned to Goa four times but his total stay in Goa did not exceed eight months. His missionary expeditions took him to foreign territories like the islands surrounding Ceylon, Malacca, Moro, Moluccas and Japan. He died on the island of Sanciao while awaiting his entry into China.

Although, Francis worked on islands close to Ceylon, there is no evidence that he entered Sri Lanka. Of all things said and done, one thing is certain, Francis Xavier did not die in Sri Lanka.

Soon after his death, the body of St Francis was put in a Chinese-styled coffin on the Island of Sanciao. On February 17, 1553, after more than two months, his body was exhumed with the hope of taking his remains to Goa so that they can be sent to his family.

The body was taken to Malacca and was reburied without a coffin and very crudely at the entrance door of the sacristy of the Church of Our Lady of Mount at the end of March 1553.

After some months, the body was exhumed and it was still fresh and did not decompose. On August 15, 1553, the ship ‘Santa Cruz’ set sail for Goa along with the body. The body was embanked at Port Bhatkal and the convoy then set sail for Goa.

The convoy arrived into Goa on March 14, 1554. It was kept in the Ribandar Church for a night and the next day, the body was kept at St Paul College, Old Goa.

Dr Cosme Saraiva, then physician of the Viceroy and who personally knew Francis, after examination of the body, certified under oath that he medically checked all parts of the body and found it fresh without being embalmed with any artificial means.

It took 67 years for the Church to declare Francis Xavier as a saint. In 1556, the canonical process was initiated from Goa and in 1614, the right arm was amputated as the Pope required a concrete proof of his incorruptible body. Francis Xavier was beatified by Pope Paul V in 1619 and three years later, Pope Gregory XV canonized him.

From 1681, the Jesuits superiors in Goa already noticed that the body was already exhibiting signs of deterioration. In 1686, the body was shifted to a new and better coffin. Then in 1698, Cosmas III, the Grand Duke of Florence, sent a gift of the Florentine marble mausoleum on which the casket was mounted.

In 1744, under the orders of John IV, the king of Portugal, the Archbishop of Goa and the Viceroy opened the body to verify its condition and established that it was integral.

In 1751, the body was again opened for the sake of the family of the Viceroy.

From 1782-1952, the body of St Francis Xavier was exposed for solemn public veneration.

It is reported that for the first six expositions, every time that the body was exposed, it was subjected to through medical examination by a team of eminent surgeons.

All through the various examinations of the sacred relics of St Francis Xavier, there is nothing that suggests that body is of Asian and not of European origin.

But it was discovered the rate of deterioration of the body was increasing and therefore, the body was placed in a glass casket and no longer could be touched directly. This continued in the last five solemn expositions. The same will continue during the current solemn exposition. 

Hence, we can notice that there is no basis to believe that the body is that of an Asian or for that matter, of a brown Sri Lankan. When the body was brought to Goa, certainly there were those who knew and met Francis Xavier when he was alive and would have certainly discovered if his body was a fake one.

Moreover, the body cannot be of an old monk who died at the age of 83 in 1491 as the Portuguese came into India only in 1498 and thereafter entered Sri Lanka in 1505.  There are too many holes in the narrative that is under our study to merit any real attention. The body is certainly the sacred relic of St Francis Xavier and cannot be subject to further brutalization because of an un-substantive conspiracy raised by some people. 

Fr Victor Ferrao is a leading Christian theologist and dean at Rachol Seminary. 

*********************************************************************************
ශා. ප්‍රැන්සිස් සේවියර් ලංකාවට පැමිණ තිබේද? මේ ප්‍රශ්නය 'සිරිලක කිතුනු ඉතිහාසය' facebook පිටුවේ පළවූ ලිපියකට ප්‍රතිචාර වශයෙන් කිසිවෙක් අසා තිබුවක්. ඔව් ඒ සම්බන්දයෙන් තොරතුරු තියෙනවා. විශේෂයෙන්ම ප්‍රැන්සිස් සේවියර්තුමාගේ සේවය දැනුම්දෙමින් ඉන්දියාවේ කොචින් හී සිටි ජෙසුනිකායික පියතුමන්ලා වතිකානුවට සහ පෘතුගාලයේ ලිස්බන් නුවරට යවනලද 1545 ජනවාරි 27 දිනැති ලිපිය, ඒ වගේම Amboyna නම් පෘතුගීසි හමුදා නිලධාරියෙක් 1546 මැයි මාසේ ලියන ලද වාර්තාව, ප්‍රැන්සිස් සේවියර්තුමාගේ ජීවිතය සහ සේවාවන් ගැන පරීක්ෂණාත්මක ග්‍රන්ථයක් ලියු H. T. Coleridge (1872) 'Life and Letters of St. Francis Xavier' කෘතිය ආදිය දැක්විය හැකියි. එම තොරතුරුවලට අනුව සේවියර්තුමා දකුණු ඉන්දියාවේ සහ මන්නාරමේ වසර 03ක කාලයක් සේවය කර තිබෙනවා. ඒ විතරක් නෙමේ 1622 මැයි 22 ශාන්තුවරයට එසවූ ප්‍රැන්සිස් සේවියර්තුමාගේ ජීවන චරිතය, ධූත මෙහෙවර, සිදුකල හාස්කම් ආදිය ගැන පෘතුගාලය පමණක් නොවේ යුරෝපය පුරාම විශාල සාකච්ඡාක් පවා ඇතිවී තිබෙනවා. එම නිසාම එම යුගයේ චිත්‍ර ශිල්පීන්ට පවා එතුමා වස්තුවිෂය වී තිබෙනවා. 1590-1641 අතර ජීවත්වූ Baroque චිත්‍ර ශිල්පියෙක්වූ Andre Reinozo විසින් අදින ලද ‘St. Francis Xavier Restores to Life a Native of Ceylon’ එවැන්නක්. මෙම චිත්‍ර ශිල්පියා ලංකාවට පැමිණ නැහැ. මන්නාරමේ හැඩරුව හෝ මෙරට ජනයාගේ ඇදුම් පැළදුම්, පරිසරය ආදිය ගැන දැකලා නැහැ. ඒහෙත් සේවියර්තුමා ලංකාවේ මන්නාරමේදී මියගිය තරුණයන් දෙදෙනෙකුට නැවත ජීවය දුන්බව අසා තිබුනා. මේ ඔහු ඒ ඇසුරින් අදින ලද චිත්‍රය. මෙම චිත්‍රය පෘතුගාලයේ ලිස්බන් නුවර Sao Roque (Church of Saint Roch) දක්නට තිබෙනවා.