This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday, 7 May 2026

යටත්විජිත යුගයේ මීගමුව රේගුව




මීගමුව නගරයේ අදටත් “රේගු පාර” නමින් පාරක් පවතී. වර්තමානයේ ද මීගමුවේ රේගු කාර්යාලයක් පවතී. එසේම සුරාබදු කාර්යාලයක් ද පවතී. එහෙත්, අතීතයේදී මීගමුවේ ඉතා සක්‍රිය රේගු කාර්යාලයක් මෙන්ම රේගු ගබඩා සංකීර්ණයක් ද තිබූ බවට ඉතිහාස වාර්තා මෙන්ම අතීත තොරතුරු ඇසුරෙන් ද පෙනී යයි.

අද වන විට මීගමුව නිව්ස්ටඩ් විදුහල දෙසට යනවිට හමුවෙන කලපුවත්, එම විදුහලත්, පැරණි තානායමත් ආසන්නයේ පිහිටි මෙම ප්‍රදේශය අතීතයේ වරාය හා වාණිජ කටයුතු සමඟ සම්බන්ධ වූ ස්ථානයක් ලෙස සැලකේ. මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ මුල්ම ගොඩනැගිල්ල මෙන්ම එම ප්‍රදේශයේ ඇති තවත් පැරණි ගොඩනැගිලි කිහිපයක් ද 19 වන සියවසේදී වඩා සක්‍රියව පැවති මීගමුව රේගුව හා රේගු ගබඩා සංකීර්ණයක කොටසක් විය හැකි බවට තොරතුරු පවතී. එවැනි ගබඩා සංකීර්ණයක් තිබී ඇත්නම්, ඒ සඳහා විශාල හා ක්‍රියාශීලී රේගු පද්ධතියක් තිබීම අනිවාර්ය විය යුතුය.

ඉතිහාස වාර්තා සහ පැරණි තොරතුරු අනුව මීගමුවේ ඉතා ක්‍රියාශීලී රේගු පද්ධතියක් සහ ගබඩා සංකීර්ණයක් පැවති බව පැහැදිලිය. 19 වන සහ 20 වන සියවස් ආරම්භ කාලයේදී මීගමුවේ රේගු ගබඩා තිබූ බවට ද සාක්ෂි ඇත.

අතීතයේදී මීගමුව වරායක් ලෙස ද ක්‍රියාත්මක වූ බවට තොරතුරු පවතී. ඇතැම් ඓතිහාසික මූලාශ්‍ර හා වාර්තා අනුව ක්‍රි.ව. 1277 පසු උදාවූ ආර්ය චක්‍රවර්ති යුගයේදී යාපනය රාජධානිය උතුරේ ස්වාධීන රාජ්‍යයක් ලෙස වර්ධනය වෙමින් දකුණ දෙසට සිය බලය ව්‍යාප්ත කළ කාලයේදී වයඹදිග සහ බටහිර වෙරළ තීරයේ වරායවල් 9ක් පමණ සිය පාලනය යටතේ තබාගෙන සිටි අතර, මීගමුව වරාය ද ඒ අතර ප්‍රධාන තැනක් ගත් බව දැක්වේ. එම යුගයේ ආර්ය චක්‍රවර්තිගේ ප්‍රාදේශීය පාලකයෙක් මීගමුව වරාය හා ආශ්‍රිත ප්‍රදේශය පාලනය කළ බවට ද තොරතුරු පවතී.

කෙසේ වෙතත්, මීගමුවේ වරාය ක්‍රමවත්ව දියුණු වූයේ පෘතුගීසි යුගයෙන් පසුවය. ඒ, පෘතුගීසින් මීගමුව කලපුවත් මුහුදත් යාවෙන කොනක මීගමුව පෘතුගීසි බලකොටුව ගොඩනැගීමත් සමඟය. එහෙත් රේගු පාලනය සහ ගබඩා සංකීර්ණ වඩාත් සංවිධානාත්මක ලෙස වර්ධනය වූයේ ලන්දේසි පාලනය සමයේදීය. ලන්දේසි පාලන කාලයේදී තෙල්, පොල්, කුරුඳු, කොප්පරා, රා, අරක්කු, මාළු, කරවල, පොල් පැණි හා දුම්කොළ වැනි වාණිජ ද්‍රව්‍ය නිෂ්පාදනය සහ අපනයනය ඉතා වේගයෙන් මීගමුව අවට ප්‍රදේශවල වර්ධනය විය. තවද එම භාණ්ඩ ප්‍රවාහනය සඳහා පුත්තලමේ සිට කොළඹට ලන්දේසීන් කැපූ පාරු ඇළ හෙවත් හැමිල්ටන් ඇළ වැටී තිබුණේ ද මීගමුව හරහාය. එම නිසාම තෙල්, පොල්, කුරුඳු, කොප්පරා, රා, අරක්කු, මාළු, කරවල, පැණි හා දුම්කොළ ආදී ද්‍රව්‍ය හුවමාරු වන වාණිජ නගරයක් ලෙස ද මීගමුව ප්‍රකට විය.

තවද එම ප්‍රවාහන මාර්ගය ඔස්සේ ගමන් කළ බෝට්ටු සහ නෞකාවලින් රේගු බදු අය කර ගැනීමේ ක්‍රමයක් මීගමුවේ පිහිටුවා තිබූ රේගුව හා රේගු ගබඩා සංකීර්ණය ඇසුරෙන් ක්‍රියාත්මක වීමට ඇත.

ඉංග්‍රීසි යුගයේදී ද රේගු කටයුතු සහ සුරාබදු ආදායම් එකතු කිරීමේ කාර්යාලයක් මීගමුවේ ක්‍රියාත්මක වූ බව වාර්තාවලින් පෙනේ. එම කාලයේදී මීගමුවේ සිට කොළඹ සහ කළුතර දක්වා ස්ටීම් බෝට්ටු සේවාවක් ද පැවති බවට නිව්ස්ටඩ් විදුහල බිහිකළ රොබට් නිව්ස්ටඩ්ගේ වාර්තාවල සඳහන් වේ. තවද ඉංග්‍රීසි යුගයේ අවසාන කාලය වනවිට ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට හුණුගල් හා වෙනත් වෙළඳ ද්‍රව්‍ය බත්තල් හා මුහුදු යාත්‍රා ඔස්සේ මීගමුවට ගෙනා බවත්, මීගමුව රේගු කාර්යාලය ඒවා සම්බන්ධයෙන් අදාළ රේගු ගාස්තු අය කරගැනීම් කළ බවත් වාර්තා වේ.

නමුත් නිදහස ලැබීමෙන් පසුව මීගමුව වරායේ වැදගත්කම ක්‍රමයෙන් නැතිවී ගියේය. ඒ, නිදහස ලැබීමෙන් පසුව 1948 දී ශ්‍රී ලංකා රජය සංක්‍රමණික සහ විගාමික පනත සංශෝධනය කර රටට ඇතුළුවීම සහ පිටවීම සම්බන්ධයෙන් නිකුත් කළ ලේඛනය සමඟය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ හා පිටවීමේ ප්‍රධාන වාණිජ වරායක් ලෙස මීගමුව නොසැලකූ අතර, මීගමුව ධීවර වරායක් ලෙස පමණක් සීමා විය. විශාල නෞකා සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වීමත්, වෙනත් ප්‍රධාන වරායන් වර්ධනය වීමත් මේ තත්ත්වයට හේතු වන බව පෙනී ගියද, එය නිදහස ලැබීමෙන් පසුව මීගමුවේ එතෙක් පැවති වැදගත්කම ක්‍රමයෙන් හීනකර දැමීමේ පළමු පියවර විය.

අද වන විට “රේගු පාර” නමින් පාරක් පවතී ද, රේගු කාර්යාලයක් පවතිය ද, එය මීගමුවේ අතීතයේ පැවති වරාය සහ රේගු පද්ධතිය හා සැසඳිය නොහැක. එහෙත් අතීතයේ පැවති මීගමුව වරාය හා රේගු කටයුතු පිළිබඳ සජීවී සාක්ෂියක් ලෙස පමණක් එය අදට ද ඉතිරිව ඇත. අද ද මීගමුව ධීවර කටයුතුවලට පමණක් සීමා නොවූ කුඩා විනෝදාස්වාද යාත්‍රා (yachts) සහ සංචාරක බෝට්ටු සඳහා සුදුසු වරායක් ලෙස සංවර්ධනය කළ හැක. එවැනි සංවර්ධනයක් සිදු කළහොත් මීගමුවේ සංචාරක කර්මාන්තය, ආර්ථිකය සහ නගරයේ වැදගත්කම යළිත් ඉහළ නැංවිය හැකි වනු ඇත.

එහිලා මුලින්ම කළ යුත්තේ මීගමුව ධීවර වරායක් පමණක් නොව සංචාරක හා වාණිජ යාත්‍රා සඳහා ද පැමිණිය හැකි, රටට ඇතුළුවීම සහ පිටවීමේ ලේඛනයට වාණිජ වරායක් ලෙස මීගමුව ඇතුළත් කිරීමය. අතීතයේ පැවති මීගමුවේ වැදගත්කම නැවත මතුකර ගැනීමට එය හේතු වනු ඇත.

ඇත්ත වශයෙන්ම මීගමුව නැවත නගා සිටුවීම හුදු මීගමුව පිරිසිදු කිරීමටවත්, ගොඩනැගිලි හැදීමටවත් පමණක් සීමා නොවූ ඊට එහා ගිය රාජ්‍ය පරිපාලනමය හා රජයේ මැදිහත්වීම මත සිදුවිය යුත්තකි. එය 1948 අංක 20 දරණ සංක්‍රමණික සහ විගාමික පනත සංශෝධනය කිරීම මෙන්ම 1978 සැප්තැම්බර් 7 වන දින නිකුත් කරන ලද පරිපාලන දිස්ත්‍රික්ක පනතේ 3 වන වගන්තිය යටතේ වත්තල, ජාඇල, සීදුව-කටුනායක, කටාන, මීගමුව ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළත් කළ ගැසට් නිවේදනය ද සංශෝධනය කළ යුතුය. එය එක්කෝ ඊට පෙර පැවති ලෙසම කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් විය යුතුය, නැතහොත් වෙනම දිස්ත්‍රික්කයක් විය යුතුය.


මාකස් ප්‍රියන්ත පෙරේරා
06/05/26

Sunday, 3 May 2026

පක්ෂයට දරදිය ඇදූ මිනිසුන් පවා ඉච්ඡාභංගත්වයට පත්වීම


 ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වූ ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාළව වැඩ තහනමට ලක්ව සිටි රංග නිශාන්ත මහතා සියදිවි නසාගෙන ඇති බවට පළවී ඇති පුවත් කියවූවෙමි. රංග නිශාන්ත මහතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ බවත්, ඔහු පක්ෂයේ කාඩර්වරයෙකු ලෙස කටයුතු කරමින් පක්ෂය වෙනුවෙන් දැඩිව පෙනී සිටි, සමාජවාදී හරයන් සහ ශ්‍රී ලංකාවේ සැබෑ වෙනසක් වෙනුවෙන් කැප වූ අවංක තරුණයකු බවත්, ඔහු පිළිබඳ ලියැවී ඇති කරුණු අනුව පෙනී යයි. එමෙන්ම ඔහුගේ මරණයට අදාළව මාධ්‍ය මඟින් නිකුත් කර ඇති වීඩියෝ බැලීමේදී පෙනී යන්නේද, ඔහු එතරම් වත් පොහොසත්කම් රැස් කර ගැනීමට හෝ උජාරු ජීවිතයක් ගත කිරීමට උනන්දුවක් තිබූ තරුණයකු නොවන බවයි.

පැහැදිලිවම ඔහු අවංක මෙන්ම සමාජ වෙනසක් වෙනුවෙන් කැප වූ දේශපාලනයක නිරත වූ තරුණයෙකු මෙන්ම, රාජ්‍ය නිලධාරියෙකු වශයෙන්ද දූෂිත පුද්ගලයෙකු නොවන බව පෙනේ. එමෙන්ම, මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වූ ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක මුදල ඔහු විසින් හොරකම් කිරීමට ඇති ඉඩකඩ අවමය. එහෙත් ඔහුටද සියදිවි නසා ගැනීමකින් හෝ ජීවිතය අහිමි වී ඇත.

ආර්ථික, සමාජ අරමුණු හෝ සිය ජීවිතයේ සුඛිත විවරණයන් වෙනුවෙන් කටයුතු නොකළ, සමාජ වෙනසක් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ, සිය ජීවිත කාලය තුළදීම අවසාන වශයෙන් සිය උත්තරීතර අරමුණ ජයග්‍රාහීව අත්කරගත්, සිය දේශපාලන අරමුණු මුදුන්පත් කරගත හැකි ආණ්ඩුවක් පිහිටවීමටත් එහි තනතුරු දැරීමටත් භාග්‍යය ලද මෙවැනි පුද්ගලයින්, සියදිවි නසා ගන්නා තත්ත්වයකට පත්වෙන්නේ හෝ ජීවිතය අහිමිවෙන තත්ත්වයකට පත්වෙන්නේ ඇය

මගේ නිරීක්ෂණය නම්, එයට ප්‍රධාන හේතුව ඉච්ඡාභංගත්වයට පත්වීමයි.

මේ මාලිමා ආණ්ඩුව බලයට පත්වන්නේද රටේ ආර්ථිකය කඩා වැටී, රට බංකොලොත් වී, මුළු ජනතාවක්, සමාජයක්, රටක් වශයෙන් සියලු දෙනාම ඉච්ඡාභංගත්වයට පත් වූ තත්ත්වයක් තුළය.

එසේ ඉච්ඡාභංගත්වයට පත් වූ ජනතාවකට නායකත්වය දීමටත්, එකී ඉච්ඡාභංගත්වයෙන් ඔසවා තැබීමටත් මෙම ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි යන්න, මේ ආණ්ඩුවට සහය දුන් සියල්ලන්ගේම බලාපොරොත්තුව විය. එහෙත් දැන් පෙනී යන්නේ, ඒ බලාපොරොත්තු ඉටුකිරීමේ බර කරටගත් පුද්ගලයින් පවා ඉච්ඡාභංගත්වයට පත්ව, බලාපොරොත්තු පමණක් නොව ජීවිතයද අහිමි කරගනිමින් හෝ අහිමිව යමින් සිටින බවයි.

ඇත්ත වශයෙන්ම දැන් රටට අහිමිව ඇත්තේ මහා භාණ්ඩාගාරයෙන් නැතිවූ ඩොලර් මිලියන 2.5ක මුදලක් පමණක් නොවේ; සමාජ වෙනසක් වෙනුවෙන් දල්වාලූ අපේක්ෂාවය. වඩා යහපත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් වූ බලාපොරොත්තුවය.

මාලිමා රජය ජනතාවට පොරොන්දු වූ සැබෑ වෙනස මේ වන විටද අත්කර දීමට අපොහොසත්ව ඇත. සතර වටෙන්ම හොරකම් පිළිබඳව නැවත ඇසීමට පටන්ගෙන ඇත. විටින් විට හිස ඔසවමින් ඇති ම්ලේච්ඡත්වය, විරුද්ධවාදීන්ට අසූචි ප්‍රහාර එල්ල කිරීම දක්වා ගමන් කර ඇත. වඩා යහපත් සමාජ ක්‍රමයක් පිළිබඳ බලාපොරොත්තුව දැන් වසුරු ගොඩේය. එහෙත් ඒ සියල්ල ඔවුන්ගේ මාධ්‍යය මෙහෙයුම් ඔස්සේ වසා ගනිමින් ජනතාවගේ බලාපොරොත්තු තව දුරටත් කිතිකවමින් සිටී.

රට බංකොලොත් කළා යැයි, රට විනාශ කළා යැයි කී හොරු තවමත් රට තුළ හොඳින් වැජඹෙමින්, දේශපාලන පිටියේද යහපතින් සිටිති. සමස්ථ ජරාජීර්ණ ක්‍රමයේම මුදුන් මුල වන විධායක ජනාධිපතිධූරය, ජේ. ආර්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ඔවුන්ගේ ආර්ථික මොඩලය අංශු මාත්‍රයක හෝ වෙනසක් නොකර හිටපු අයටත් වඩා හොදට මේ ආන්ඩුවට කළ හැකි බව ඔවුහු පෙන්වා දෙමින් සිටිති.

එදිනෙදා ජීවිතය වෙනුවෙන් පොරබදින නිර්ධන වැඩකරන ජනයාගේ බලාපොරොත්තු කෙසේ වෙතත්, මධ්‍යම පන්තිකයින්ගේ බලාපොරොත්තු ඉහළ දැමීම සඳහා නම් රජය වඩ වඩාත් උනන්දුය.

ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුවේ සැබෑ සැකසීම හෙළිදරව් වන හොඳම ආකාරයත් එයය. එනම්, ආණ්ඩුවේ දේශපාලන අභිලාෂය රටේ මධ්‍යම පන්තිකයන්ගේ දේශපාලන අභිලාෂය මුදුන්පත් කිරීමට කටයුතු කිරීම තුළම හෙළිදරවීමය.

ක්‍රිකට් පාලක මණ්ඩලයට එරාන් වික්‍රමරත්න, සංගක්කාර ඇතුළු මධ්‍යම පන්තික නියෝජිතයන් පත් කිරීම තුළද එය පැහැදිලි වේ. ක්‍රිකට් ක්‍රිඩාවට සම්බන්ධ පුද්ගලයින් එයට පත් කිරීමේ වරද කුමක්දැයි කිසිවෙකුට ප්‍රශ්ණ කළ හැක. නමුත් ඒ ගොඩ මැදට මාලිමාවෙන් මාතර දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලූ උපුල් කුමාරප්පෙරුමද පත් කර තිබේ.

මෙසේ පත් කිරීම තුළ පෙනී යන්නේ මාලිමා ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන ක්‍රමයයි. එනම්, කිසියම් ආයතන ව්‍යුහයකට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කාඩර්වරකු හෝ ඔවුන්ගේ දේශපාලනයට හිතවත් අයකු පත් කර එය ඔවුන්ගේ දේශපාලන පක්ෂය සමඟ සම්බන්ධ කිරීමට හෝ පක්ෂයේ අධීක්ෂණය යටතේ මෙහෙයවීමට ක්‍රමයක් සැකසීම ඔවුන්ගේ ක්‍රමයයි. එහෙත් එසේ පත් කරන තැනැත්තන් අදාල ආයතන ව්‍යූහයත් පක්ෂ යාන්ත්‍රණයත් අතර ගිරයට හිරවීම පිලිබදව ඔවුන්ට කනගාටුවක් නැත. එය ඔවුන් නියෝජනය කරන දේශපාලනයේ පමණක් නොව පන්ති පදනමේ ද ස්වභාවය. තමන්ගේ නැගීම මිස අනෙකාගේ වැටීම ඔවුන්ට අදාල නැත.

ඇත්ත වශයෙන්ම මහා භාණ්ඩාගාරයේ සිදුවී ඇති කටයුතුවලින් පෙනී යන්නේ ද, පත් කරන ලද, රංග නිශාන්ත වැනි වැඩ තහනමට ලක් වූ පිරිස් හරහා මහා භාණ්ඩාගාරය මෙහෙයවීමට පවා උත්සාහ කිරීමේ ප්‍රතිඵලයන්ය.

අවසාන වශයෙන් වන්දි ගෙවීමට සිදුවී ඇත්තේ පක්ෂයට දරදිය ඇදී, පක්ෂයක් වෙනුවෙන් සියලු කටයුතු මෙහෙවූ, ජීවිතයම කැප කළ පිරිසට පමණක් නොව, සැබෑ වෙනසක් වෙනුවෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටි පිරිස්වලටය.

අපට නම් අවංකවම මාලිමා ආණ්ඩුව පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් තිබූ දේශපාලන කියවීම්වලින් එකක් වූයේ, එය සුළු ධනේශ්වර (petty bourgeoisie) දේශපාලන උවමනාවන් මත පදනම්වන, අතරමැදි පන්තිවල අරමුණු වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ප්‍රවාහයක් බවයි.

ඇත්ත වශයෙන්ම මාලිමාව වටා එක්රැස් වූයේ ද මධ්‍යම පන්තික, සුළු ධනේශ්වර සමාජ දේශපාලන අරමුණු හඹාගිය ඉහළ සහ පහළ මධ්‍යම පන්තික ආශාවන් වෙනුවෙන් පෙනී සිටි පිරිස්ය. රටේ ආර්ථික අර්බුදයෙන් වඩාත්ම පීඩාවට පත් වූයේද මේ මැද පන්තිය ය. ඉච්ඡාභංගත්වයට පත් වූ ඔවුන්ට ඊනියා “රට ගොඩනගන සංවර්ධන” මුසාවෙන් මුසපත් කළේ ද ඔවුන්මය. ඇත්ත වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ගැන ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික වමේ කියවීම වූයේද, ඔවුන් සුළු ධනේශ්වර දේශපාලන ව්‍යාපාරයක් බවය. මාලිමාව වටා එක්රැස් වූයේද එවැනි ආකාරයෙන් නිදහස් අධ්‍යාපනය ඔස්සේ හෝ කිසියම් ආකාරයකින් නැගී ආ, අලුතින් බිහි වූ මධ්‍යම පන්තික උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින පිරිසකි. එකී සුළු ධනේශ්වර පිරිස්වලට යම් වෙනසක් කළ හැකි වුවද, සමස්ත ක්‍රමය මුලින් උපුටා දමන විප්ලවීය වෙනසක් කළ නොහැක.

ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව අර්බුදයට ලක්ව ඇත්තේ මෙකී මධ්‍යම පන්තික අරමුණු ඉෂ්ට කිරීමට යාමේදී, එකී උවමනාවන් ඇත්ත වශයෙන්ම සේවය කරන්නේ සැබෑ සමාජ උවමනාවක් වෙනුවෙන් වත්, සැබෑ සමාජ විපර්යාසයක් හෝ සමාජ විප්ලවයක් බලාපොරොත්තු වූ උවමනාවන් වෙනුවෙන් වත් නොව, වෙනත් කිසියම් ආකාරයක සුළු ධනේශ්වර අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින අයගේ අදහස් සහ උවමනාවන්, ඔවුන්ගේ අපේක්ෂාවන් වෙනුවෙන්ම බව පැහැදිලි වීම තුළය.

එය සමාජ ක්‍රමයේ සැබෑ වෙනසක් පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටින්නන් ඉච්ඡාභංගත්වයට පත් කරන, ඔවුන් සියදිවි තොර කර ගැනීමට හෝ ඔවුන්ට ජීවිතය අහිමි කරන තත්ත්වයක් උදා කරන බව රංග නිශාන්ත මහතාගේ මරණය ඇසුරෙන් වුවද පෙන්වා දිය හැක.

ඇත්ත වශයෙන්ම, සැබෑ සමාජ වෙනසක් වෙනුවෙන් අපේක්ෂාවෙන් සිටි, වඩා යහපත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටි පිරිස්වලට දැන් සිදුව ඇත්තේ මධ්‍යම පාංතික අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින සුළු ධනේශ්වර දේශපාලන නායකත්වයක් පසුපස වැටීමටය. සුළු ධනේශ්වරය පිළිබඳ මාක්ස්වාදී කියවීම වන්නේ ද එය පරස්පර විරෝධතාවන් ජීවමාන කරන පන්තියක් යන්නය. ඔවුන්ගේ ආර්ථික, දේශපාලන, ආගමික, සදාචාරාත්මක, බුද්ධිමය, විද්‍යාත්මක සහ කලාත්මක අවශ්‍යතාවයන් ඇතුළු සෑම ක්ෂේත්‍රයකම “එක් පැත්තකින්” මෙන්ම “අනෙක් පැත්තෙන්” ද, එනම් දෙපැත්තෙන්ම, පරස්පර විරුද්ධතාවන් ජීවමාන කරන බව මාක්ස් දක්වා තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන මාලිමා ආණ්ඩුව යටතේ අපට දිනෙන් දින දැකිය හැක්කේ ද එයයි. එනම් පරස්පර විරුද්ධතාය. එහෙත් ඒකී පරස්පරතාවන් වෙවෙන් දිවි දීමට සිදුව ඇත්තේ සැබෑ සමාජ වෙනසක් වෙනුවෙන් අපේක්ෂාවෙන් සිටි, වඩා යහපත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් බලාපොරොත්තු තබා වැඩ කළ අයටය.

"the petty bourgeois is made up of 'on-the-one-hand' and 'on-the-other-hand'. This is so in his economic interests and therefore in his politics, religious, scientific and artistic views. And likewise in his morals, IN EVERYTHING. He is a living contradiction" - Karl Marx, "On Proudhon", (1865), letter to Johann Baptist von Schweitzer, Selected Works of Karl Marx and Frederick Engels.

මාකස් ප්‍රියන්ත පෙරේරා
01/05/26