This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 30 September 2022

1672 බැලදියුස් ඇඳි මීගමුවේ පෘතුගීසි කොටුපවුරට සිදුවුයේ කුමක්ද?

1672 දී බැලදියුස් (Baldaeus) විසින් අඳින ලද 'මීගමුව කුරුළු ඇහැකින්' (Bird's eye view of Negombo) නම් චිත්‍රය පිලිබදව සාකච්ඡාවක් ‍යලිත් ආරම්භ වෙලා තියෙනවා. ඒ මෙම චිත්‍රයේ සදහන් තොරතුරු (details) සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදුවී නැහැ කියන පදනමින්. විශේෂයෙන්ම මීගමුවේ ලංදේසි නගර සංවර්ධන සැලැස්මක් පිලිබදව තොරතුරු පැවැතියත් මිගමුවේ පෘතුගීසි නගර සැලැස්මක් ගැන අවධානය යොමුවී නැති වීම තුලයි.

බැලදියුස්ගේ මෙම චිත්‍රය ඇතුලත් 'Nauwkeurige beschrijving Malabar en Choromandel, derz. aangrenzend rijken, en het machtige eiland Ceylon.' ( Description of the East Indian Countries of Malabar, Coromandel, Ceylon, etc.) නම් කෘතිය මුලින්ම පලවෙන්නේ ජර්මන් භාෂාවෙන් 1672 දී යි. බැල්දියස් කියන්නේ ලංදේසි ජාතික රෙපරමාදු පුජකයෙක්. ඔහු මූලික වශයෙන් පදිංචි වී සිටියේ යාපනයේ. එහෙත් ඔහු තූත්තුකුඩියේ සිට මීගමුව දක්වාත්, මලබාරයේ සිට මඩකලපුව දක්වාත් දෙමළ ජනයා සමග සමීප සම්බන්ධයක් ගොඩනගා ගත්තෙක් ලෙස සලකනවා. යාපනයේ පමණක් නෙමෙයි දකුණු ඉංදියානු කලාපයේ දෙමළ ජනයාගේ ඉතිහාසය, සමාජ-සංස්කෘතික ජීවන රටාව අධ්‍යයනය කරද්දී Baldaeus අඳින ලද චිත්‍රත්, ඔහුගේ ලේඛන ආදියත් ඉතා වැදගත් වටිනාකමක් එකතුකරන බව පිලිගැනෙනවා.

බැලදියුස් (Baldaeus) මීගමුවට ආවද? ගියාද?, මීගමුව හරහා ගොඩබිමින් හෝ මුහුදෙන් ගමන් කරලා තියෙනවාද? නැද්ද? යන්න පැහැදිලි නෑ. එහෙත් මීගමුව කොටුව මුල්කරගෙන බැලදියුස් (Baldaeus) අඳින ලද 'මීගමුව කුරුළු ඇහැකින්' (Bird's eye view of Negombo) නම් චිත්‍රයට අඩු වැඩි වශයෙන් මීගමුව ගැන යම් තොරතුරු ප්‍රමාණයක් ඇතුලත්වීම තුල ඔහුට මීගමුව සමග කිසියම් සම්බන්ධයක් තිබී ඇති බව පැහැදිලියි. එය ඇතැම් විට මීගමුව, තූත්තුකුඩිය, කොරමැන්ඩල්, යාපනය, මඩකලපුව අතර එහාමෙහා ගමන් කල දෙමළ භාෂාව කතාකල ව්‍යාපාර සහ ධීවර ප්‍රජාවන් සමග බැලදියුස් (Baldaeus) ගොඩනගාගෙන තිබුණ සම්බන්ධයක ප්‍රතිඵලයක් විය හැකියි.

කෙසේ හෝ ඔහු රැස්කර ගත් තොරතුරු අනුව හෝ ඇඳ ඇති 'මීගමුව කුරුළු ඇහැකින්' (Bird's eye view of Negombo) නම් වූ මෙම චිත්‍රය තුල මීගමුව කොටුවත්, කොටු බැම්මකින් වටවු නගරයකුත්, කොටු බැම්මට එපිටින් ප්‍රදේශ වල ජනාවාසත් දකින්න පුලුවන්. කොටු බැම්ම ඇතුලේ ඇති නගරය තුල ඇති නිවාස කිසියම් යුරෝපීය පෙනුමක් නිරූපණය කරන අතර කොටු බැම්මට එපිටින් ඇති ජනාවාස වල ඇති නිවාස එසේ නොවන බව පෙනී යනවා. ඒ අනුව කොටු බැම්ම තුල සහ ඉන් එලියේ පදිංචි වී සිටි ජනයා විදේශීය සහ ස්වදේශීය ජනයා නිරූපණය කරන්නේද යන්න ගැන අවධානය යොමුවන්නක්. වඩාත් ලොකු කර බැලුවහොත් කොටුව තුල මෙන්ම ඉන් එපිටිත පිහිටි ගොඩනැගිලි අතරත් කුරුස ලකුණ යෙදූ ගොඩනැගිලි කිහිපයක් හදුනාගත හැකියි. ඒම ගොඩනැගිලි පල්ලි විය යුතුයි.
කොටු බැම්ම තුල පිහිටි ප්‍රදේශයේ වගේම ඉන් පිටතත් මාර්ග පද්ධතියක් පැවැති බව පෙනී යනවා. ඒ වගේම කොටුවට පිටින් පිට්යකුත්, පාලම් හා ජල සම්පාදනයක්, කොටුවෙන් පිටත්, ඇතුලතත, භව බෝග වගාවන්, එළුවන්, ගවයින් ආදී සතුන්, ධීවර සහ මුහුදු යාත්‍රාවන්ද මෙම චිත්‍රය තුල ඇතුලත්වීම නිසාම සක්‍රීය නගරයක පැවැත්ම චිත්‍රය තුල හොදින් නිරූපණය කරන බව පැහැදිලියි.

මේ අනුව 1644 දී ලංදේසින් මීගමුව අල්ලා ගන්නා විටත් මීගමුව නගරයක් වශයෙන් පෘතුගීසින් ගොඩනගා තිබුණ බවක් ඉහත චිත්‍රය ඇසුරෙන් පෙනීයන්නක්. එහෙත් ලංදේසින් මීගමුවේ පෘතුගීසි කොටුව අල්ලාගන්නා විට එය බලකොටුවක්වත් කීමට තරම් නොවටිනා දුර්වල කොටුවක් යැයි R.L. බ්‍රොහියර් 1978 දි පලකල 'Sri Lanka and the Netherlands' කෘතියේ සදහන් වෙනවා (The Portuguese Fort at Negombo was a weak irregular structure, and is said to have been unworthy of the name of a fort). ඒවගේම පෘතුගීසි කොටුව ලන්දේසින් විසින් වඩා ශක්තිමත්ව ගොඩනැන්වු බව Ceylon Literary Register Vol. II හී 53-54 පිටුවල සදහන් කරුණු අනුව පැහැදිලිව පිලිගත හැකියි.
ලංදේසීන් වඩා ශක්තිමත්ව ගොඩ නැගූ මීගමුව කොටුව බ්‍රිතාන්‍යයන් විසින් කඩා එහි ගල් ම යොදාගනිමින් එය බන්ධනාගායක් බවට පත්කරනවා. බ්‍රිතාන්‍යය පිහිටවු අද ඇති මීගමුව බන්ධනාගාරය යනු ලන්දේසින් ශක්තිමත්ව ගොඩ නැගු මීගමුවේ පෘතුගීසි කොටුවේ දැන් ඉතිරිවී ඇති වර්තමාන ස්වරූපයයි. කොටුව ගැන එසේ හෝ යමක් මතුකර ගැනීමට හැකිවූවත් බැලදියුස් (Baldaeus) ගේ චිත්‍රයේ පෙන්නුම් කරන කොටු පවුරට මොකද වුනේ කියන එක සම්බන්ධයෙන් කිසිම විස්තරයක් නෑ. එය කඩා ඉවත්කලේ බ්‍රිතාන්‍යයන්ද, ලන්දේසින් ද, යන්න පැහැදිලි නෑ. R. L. බ්‍රෝහීයර් (1978) යේදී සදහන් කරනවා පෘතුගීසින් මීගමුවේ ඉදිකර තිබු ආරක්ෂ පවුර ලංදේසින් ගොඩනැගුව නම් කොළඹ සිට පහසුවෙන් ලගාවිය හැකිව තිබූ සංස්කෘතික සහ සංචාරක කටයුතු සදහා වැදගත් මධ්‍යකාලීන යුගයේ පැවති මනස්කාන්ත කොටුවක් ලෙස මීගමුව පවතින්නට හැකිව තිබුනා යැයි කියා. ('The Dutch raised over the old the Portuguese defence at the Negombo might today have being a picturesque medieval fort within easy reach of Colombo and an inspiration to both cultural sources and tourism....p.51).

ඒ අනුව පෙනෙන්නේ ලංදේසීන් ශක්තිමත්ව ගොඩනගපු මීගමුව කොටුව බ්‍රිතාන්‍යයන් කඩා මීගමුව බන්ධනාගාරය ගොඩනැගුවා වගේ, පෘතුගීසින් මීගමුව නගරය වටා ගොඩනගපු කොටු පවුර ලංදේසීන් කඩා ශක්තිමත් බලකොටුවක් හදාගත්තා කියන එකද?

මේවා ගැන හොයන්න ලංකාවේ පුරාවිද්‍යාවටවත්, ඉතිහාසය හදාරන්නටවත් උනන්දුවක්, උවමනාවක් නෑ. ඒ ලංකාවේ රජවරුන් ගොඩනගපු දේවල් මිසක් පෘතුගීසින්, ලන්දේසීන් ඉංග්‍රීසින් හදපුවා ගැන හොයලා බලන්න ලංකාවේ ඉතිහාසය ගැන උනන්දුවන අයට ඇල්මක් ගැල්මක් නැති නිසාද?

මාකස් ප්‍රියන්ත පෙරේරා.

30/09/22

මේ සමග මේ ලිපි දෙකත් අමුණනවා...

මීගමුව ලන්දේසි නගර සංවර්ධන සැලැස්මේ නටබුන්!