This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 25 February 2022

යුක්රේනයේ අද සිදුවනදේ පිලිබදව 2014 විග්‍රහයක්


හරියටම මීට වසර 08කට පෙර, 2014 වසරේ පෙබරවාරි මාසේ අවසාන සුමානේ, 'සමබිම' සගරාමය පුවත්පතට ලිපියක් ලියු මම එකල යුක්රේනය යුරෝපා සංගමයට ගෙනයාමට වෙර දරන පිරිස් සහ යුක්රේනය රුසියාවට පක්ෂපාතී රටක් ලෙස තවදුරටත් තබා ගැනීමට වෙර දරන එවකට පැවති රජය අතර ඇති වූ  ගැටුම් දෙස බැලීමේදී පෙනී යන්නේ ප්‍රජාන්ත්‍රවාදී පාලනයක් පවතින රටවල් සහ අර්ධ-අධිකාරීවාදී රෙජීමයන්ගේ රටවල් අතර බෙදුම් ඉර බොහෝ දුරට යුක්රේනය හරහා ඇදීමට නියමිත බව දැක්විය. 

ඒ මන්දයත් යුක්රේනයෙන් නැගනහිරින් පිහිටි රුසියාව, චීනය, උතුරු කොරියාව, මොන්ගෝලියාවේ සිට  සිංගප්පූරුව ආදී රටවල් පැහැදිලිවම අර්ධ - අධිකාරීවාදී රෙජීමයන්ගේ පාලනයට අයත්ව තිබීමත්, මෙතෙක් ආසියාවේ වූ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ලෙස සැලකු  ජපානයේ, දකුණු කොරියාවේ, මැලේසියාවේ සහ ශ්‍රී ලංකාවේ පවා ජාතිකවාදී රෙජීමයන් බලයට පැමිණීමත්, නරේන්ද්‍ර මෝදී යටතේ ඉන්දියාවේ පවා ජාතිකවාදී රෙජීමයක් බලයට පත්වීමත්, තායිලන්තයේ, බුරුමයේ සහ ඉන්දුනීසියාවේ පවා හමුදා පාලනයක් හෝ ජාතිකවාදී රෙජීමයක් බලයට පත්වීමට ඉඩක් තිබිය හැකිවීමත් එයට හේතු මම දැක්විය. 

එම නිසා යුක්රේනයෙන් බටහිර කොටස ප්‍රජාතන්ත්‍රවාදී ලෙසත්, යුක්රේනයෙන් නැගෙනහිර කොටස අර්ධ-අධිකාරීවාදී රෙජීමයන්ගේ පාලනයට නතුවූ කොටස ලෙස බෙදීමක් ඇතිවීමට තවත් වැඩි කලක් නොයනු ඇති බව තවදුරටත් දැක්විය. මිට වසර 08කට පෙරාතුව මා ලියු එකී  විග්‍රහය අද සනාථ වී  ඇත. 

එහෙත් එක දෙයක් පමණක් යම් අතරමකට හිතුවාට වඩා තිව්‍රරව ඇත. එනම් මා එකල සිතුවේ රුසියාව යුක්රේනය සහමුලින්ම ආක්‍රමණය නොකරනු ඇති බවයි. ඒ වෙනුවට යුක්රේනයේ නැගෙනහිර ප්‍රාන්ත පමණක් අල්ලාගනු ඇතයි මම එකල තක්සේරු කළේය. එහෙත් පසුගියදා ''යුක්රේනය රාජ්‍යයක්වත් නොවේ...යුක්රේනය බිහිකලේ ලෙනින් ඇතුළු සෝවියට් රුසියාවයි, යුක්රේනය සහමුලින්ම රුසියාවේ කොටසක් යැයි ''(“Ukraine is not even a state,..Modern Ukraine was entirely created by Russia...Lenin and his associates.. what is historically Russian land.")  පුටින් ප්‍රකාෂකලවිට පුටින් යුක්රේනයම ආක්‍රමණය කරන බව පැහැදිලිවිය. V. I. ලෙනින් ගැන සදහන් කල නිසාම ලෙනින්  සදහන් කල තවත් යමක්ද සදහන් කරමි: “There are decades where nothing happens; and there are weeks where decades happen” (කිසිවක් සිදු නොවන දශක ගණනාවක් තිබේ; සහ දශක ගණනාවකදේ සිදුවන සති ඇත) ...

 'සමබිම' සගරාමය පුවතපතේ පළවූ ලිපිය මෙසේය: 

 නවතම බටහිර-පෙරදිග දේශපාලන බෙදුම

දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයත්, සමස්ත ලෝකයත්, නැගෙනහිර සහ බටහිර ලෙස නොහොත් සමාජවාදී සහ ධනවාදී ලෙස බෙදී ගිය සීත යුද්ධ සමය සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ අවසන් විය. ඉන්පසුව ලොව පුරාම බොහෝදුරට දැකිය හැකිවූයේ විවිධ වාර්ගික සහ ආගමික ගැටුම්ය. ඒ නිසා එය ශිෂ්ටාචාරයන්ගේ ගැටුමක් ලෙස විස්තර කර ලෝකය විවිධ සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් යුතු කලාප කිහිපයකට බෙදා දක්වන මතවාදයන් ඉදිරිපත් විය. මෙම ලිපියේ දක්වනුයේ ලෝකය දැන් හටගෙන ඇත්තේ ශිෂ්ටාචාරයන්ගේ ගැටුමක් නොව, උසස් ශිෂ්ටාචාරයන් කරා ඇදී ඒමට හෝ තමන්ගේ ශිෂ්ටාචාරයන් වෙනත් උසස් ශිෂ්ටාචාරයන්ගේ ප්‍රමිතීන් අනුව ගොඩනගා ගැනීමට සිදුකරන අරගලයන් බවයි. එය ප්‍රජාන්ත්‍රවාදයේ සහ අර්ධ-අධිකාරීවාදයේ (Democracy vs. Semi Authoritarian) ගැටුමක් ලෙස දක්වන මෙම ලිපිය, එය එක් එක් රාජ්‍යන්ගේ අභ්‍යන්තර දේශපාලන ගැටුමක සිට නැවත ලෝකයම නැගෙනහිර සහ බටහිර ලෙස බෙදී යාමට තරම් තීව්‍ර වන බෙදුමක් නිර්මාණය කරන බව දක්වයි.

මීට වසර 25කට පෙර යුරෝපය නැගෙනහිර සහ බටහිර ලෙස දෙකට බෙදී තිබුණ බව නොරහසකි. නැගෙනහිර යුරෝපය එවකට සෝවියට් දේශයේ පැවතියේ යැයි පිළිගත් මාක්ස්-ලෙනින්වාදී සමාජවාදය දේශපාලන ක්‍රමයක් ලෙස පිළිගෙන තිබූ අතර, බටහිර යුරෝපය අත්ලාන්තික් සාගරයෙන් එහා පැවති ඇමරිකා එක්සත් ජනපදය ප්‍රගුණ කළ ධනවාදී ආර්ථික ක්‍රමයත්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයත් අඩුවැඩි වශයෙන් මිශ්‍ර කරගත් දේශපාලන ක්‍රමයක් පවත්වාගෙන යන ලදී. 

යුරෝපයෙන් පිටතද, ඉහත කඳවුරු දෙකට අයත් ලක්ෂණ හිමිකරගත් තවත් රාජ්‍යයන් පැවති හෙයින්, නැගෙනහිර සහ බටහිර බෙදුම යුරෝපීය භූගෝලීය මායිම්වලට පමණක් සීමා නොවී, සමසත ලෝකයම නැගෙනහිර සහ බටහිර ලෙස කඳවුරු දෙකකට බෙදා වෙන්කළ හැකි තරම් තියුණු බෙදීමක්ව පැවතිණි.

එහෙත් 1989 සැප්තැම්බර්යේදී නැගෙනහිර ජර්මනියෙන් පටන්ගත් ‘We want out’ (අපට පිට වීමට උවමනා කර තිබේ) උද්ඝෝෂණ රැල්ල එම වසරේ නොවැම්බරයේම, ජර්මනිය නැගෙනහිර සහ බටහිර ලෙස දෙකට බෙදා වෙන්කළ බර්ලින් තාප්පය බිඳ දැමීමත්, එම උණුසුමෙන් පන්නරය ලද සෝවියට් දේශයට අයත්ව තිබූ රටවල් 1991දී සෝවියට් දේශයෙන් පිටවීමත් සමඟ සෝවියට් දේශයද බිඳ වැටීමත් නිසා ලෝකය තවදුරටත් ඉහත ආකාරයෙන් නැගෙනහිර සහ බටහිර ලෙස දෙකට ලෙස බෙදා වර්ග කළ නොහැකි විය.

එසේ බෙදා වෙන් කිරීමට තරම් තවදුරත් පැහැදිලි දෘෂ්ටිවාදී වෙනස්කම් ලෝකය තුළ තවත් ඉතිරිව නැති බවත්, ඉතිරි වී ඇත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී (Liberal Democracy) දේශපාලන ක්‍රමය පමණක් බවත්, එය මිනිස් වර්ගයාගේ අවසාන දෘෂ්ටිවාදී විකාශනය (the endpoint of mankind’s ideological evolution) මෙන්ම, මිනිස් වර්ගයාගේ අවසාන ආණ්ඩුක්‍රමය (final form of human government)  බවත්, ඒ නිසා (හේගල්ගේ අර්ථයෙන්) වෙනත් පාර-භෞතික විකල්පයක් නොමැති බැවින් (Non-met a physical option) එය ඉතිහාසයේ අවසානය යැයිද (The End of History), සෝවියට් දේශය බිඳවැටෙන යුගයේම ෆ්‍රාන්සිස් ෆුකුයාම (1989දී /1992දී) සටහන් කළ බව නොරහසකි.

එහෙත් ෆුකුයාම එම මතය ඉදිරිපත් කරන යුගයේම එවකට පැවති සදාම් හුසේන්ගේ ඉරාකය (1990 අගෝස්තුවේ) කුවේටය ආක්‍රමණය කිරීමත්, කුවේටය බේරා ගැනීමට ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිකරගත් විශාලම යුද්ධ සන්ධානය ගොඩනගා ගනිමින් ඉරාකයට එරෙහිව (1991) යුද්ධ වැදීමත් නිසා, ඉතිහාසය අවසන් වී තිබේද? නැතහොත් එය නැවත දිගහැරෙමින් තිබේද? ඉතිරි වී ඇත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය පමණක්ද? නැතහොත් එයට ප්‍රතිපක්ෂ තවත් පාරභෞතික විකල්පයන් ඉතිරිව පවතින්නේද? යන ප්‍රශ්න පැන නැගිණි.

මෙම ප්‍රශ්න තව තවත් තීව්‍ර වූයේ, නැගෙනහිර සහ බටහිර දේශපාලන වර්ගීකරණය නිම වීමට පෙරත්-පසුවත්, ජාතික සහ ආගමික පදනම් මුල් කරගෙන ඉහත කඳවුරු දෙකේම, මතවාදීමය සහ යුද්ධමය ආධිපත්‍යට එරෙහිව ප්‍රතිවිරෝධතාවයන් ස්පාඤ්ඤයේ බාස්ක් පළාතේ (Basque Country) සිට බෙල්ජියමේ වැලුන් පළාත (Walloon Region) දක්වාත්, පැරණි යුගොස්ලෝවියාව, හංගේරියාව, ඇෆ්ගනිස්ථානය සහ චීනය දක්වාත් පැතිර යාමයි.

නලින් ද සිල්වා හන්ටින්ටන්ගේ අනුගාමිකයෙක් වීම

ඉහත කරුණු සැලකිල්ලකට ගනිමින් වෙනත් මතයක් ඉදිරිපත් කළ සැමුවෙල් හන්ටින්ටන් (1993) දැක්වූයේ නැගෙනහිර සහ බටහිර දේශපාලන බෙදීම් අවසන් වීමෙන් පසුව ඉදිරියට පැමිණ ඇත්තේ මූලික වශයෙන් දෘෂ්ටිවාදී හෝ ආර්ථික (primarily ideological or primarily economic) වශයෙන් වූ බෙදීමකට වඩා, විවිධ සංස්කෘතික අනන්‍යතාවයන් පදනම් කරගත් ශිෂ්ටාචාරයන්ගේ ගැටුමක් (Conflicts between nations and groups of different civilisations / The clash of civilisations) බවයි. මෙම අදහසට අනුව එතෙක් පැවති නැගෙනහිර සහ බටහිර බෙදුම වෙනුවට, විවිධ ශිෂ්ටාචාරයන් පදනම් කරගත් විවිධ සංස්කෘතික අනන්‍යතාවයන් මත ලෝකය කැලි-කෑලිවලට බෙදා වර්ග කළ හැකි අතරම, එම කලාපයන් අතර මෙන්ම එකම කලාපය තුළ සිදුවන ගැටුම්ද විස්තර හැකි බව පෙනිණි. ඒ නිසා එය අල්-කයිඩා මුස්ලිම් අන්තවාදීන්ගේ මෙන්ම, ඉවැන්ජලික් ක්‍රිස්තියානිගේ අභිලාසයන්ද (Evangelical Christian interest), බුරුමයේ විරතු හිමියන්ගේ සිට ශ්‍රී ලංකාවේ බොදුබල සේනාත්, ඉන්දියාවේ ශිව සේනාහීත් ක්‍රියාකාරීත්වයන් විස්තර කළ හැකි බව පෙනේ.

තවද එය බහුතර සිංහලයන් සහ සුළුතර ඊලාම් ද්‍රවිඩයින් අතර යුද්ධය ද, යුද්ධයෙන් පසුව යුද්ධ අපරාධ චෝදනා අපට එල්ල කරන ඇමරිකානු, යුරෝපියානු මැදිහත්වීම්ද විස්තර කිරීමටත් යොදාගත හැක. ඒ මන්දයත් නලින් ද සිල්වාට අනුව ඇමරිකාව, එංගලන්ත ප්‍රමුඛ බටහිර රටවල් අපට එවැනි චෝදනා නගන්නේ මෙරට පවතින සිංහල බෞද්ධ සංස්කෘතියත්, සිංහල බෞද්ධ චින්තනයත් කුඩු පට්ටම් කර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය සහ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය මෙරට තුළ තහවුරු කිරීමට සුද්දන්ට උවමනා කරන නිසාය. මේ අනුව නලින් ද සිල්වා ද විස්තර කරනුයේ සංස්කෘතික අනන්‍යතාවයන් පදනම් කරගත් ශිෂ්ටාචාරයන්ගේ ගැටුමකි. එය සැමුවෙල් හන්ටින්ටන්ගේ (1993) ශිෂ්ටාචාරයන්ගේ ගැටුම (The clash of civilisations) නම් ප්‍රවාදයේ කාබන් පිටපතකි.

නලින් ද සිල්වාට මෙහිදී සිදුව ඇත්තේ රටේ ජාතික ගැටලුවක් විස්තර කිරීමට තමන් ඉතාමත් පිළිකුලෙන් හෙළා දකින විජාතික ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය නිර්මාණය කළ ප්‍රවාදයන්ගේම සරණ සොයා යාමට සිදුවීමේ අවාසනාවන්ත සිද්ධියය.

එහෙත් ඇත්ත වශයෙන්ම සංස්කෘතික අනන්‍යතාවයන් පදනම් කරගත් ශිෂ්ටාචාරයන්ගේ ගැටුම යන්න අද ඊයේ ඇතිවූවක් නොව එය ඉතිහාසයේ සෑම කාලයකම සිදුවූවකි. ශ්‍රී ලංකාවේ විජයාගමනය සිට පෘතුගීසින්ගේ, ඉංග්‍රීසීන්ගේ පැමිණීමද, ඉන්දියාවේ ආර්ය, මොංගල්, ග්‍රීක (ඇලෙක්සැන්ඩර්), යුරෝපීයානු ආක්‍රමණයන්ද, එංගලන්තයේ රෝම, වයිකින් ආක්‍රමණයන්ද, කුරුස යුද්ධයද, මෙලෙස ඉතිහාසයේ සෑම කාලයකම සිදු වූ සංස්කෘතික ආක්‍රමණයන් හෝ ශිෂ්ටාචාරයන්ගේ ගැටුම් ලෙස විග්‍රහ කළ හැක.

එහෙත් ඉතිහාසය පුරාම සිදු වූයේ එක් එක් සංස්කෘතියන් අනෙකුත් සංස්කෘතියන් ආක්‍රමණය කිරීම හෝ එක් එක් ශිෂ්ටාචාරයන් අනෙකුත් ශිෂ්ටාචාරයන් සමඟ ගැටුමක නිරතවීමම නොවේ. වඩාත් බහුලව සිදු වූයේ, ශ්‍රී ලාංකිකයන් බෞද්ධාගම වැළඳ ගැනීම වැනි එක් එක් සංස්කෘතියන් අනෙකුන්ගේ උසස් සංස්කෘතියන් වැළඳ ගැනීමත්, එසේ නොමැති නම් අනෙකුත් උසස් සංස්කෘතියන්ගේ අභාසයන් සහ වෙනත් ශිෂ්ටාචාරයන්ගේ සම්පත් උකහාගෙන තම තමන්ගේ සංස්කෘතියන් සහ ශිෂ්ටාචාරයන් දියුණු කර ගැනීමත්ය. ගැටුම ඇති වනුවේ මෙවැනි සංස්කෘතික ප්‍රවාහයන්ට එක් එක් සංස්කෘතියන් මුහුණ දෙන ආකාරය අනුවය. ඒ අනුව තායිලන්තය, නේපාලය, ස්වීඩනය, තුර්කිය, ලයිබීරියාව වැනි රටවල් අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිත නොවීමත්, ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි විශාල සංස්කෘතියන් සහ ශිෂ්ටාචාරයන් ඇති රටවල් වෙනත් සංස්කෘතියන් සහ ශිෂ්ටාචාරයන් ඇති රටවලට යටත්විජිත බවට පත්වීමත් සිදු විය.

අද සිදුවන්නේ කුමක්ද?  

එහෙත් අද මේ වැනි දේශපාලනමය හෝ යුද්ධමය හෝ සංස්කෘතිමය ආධිපත්‍යයන් පිහිටවීමට එක් එක් ශිෂ්ටාචාරයන් අතර ගැටුමක් ඇතිවී ඇතැයි සිතීම මුලාවකි. අද සිදුවන්නේ එයට වඩා වෙනස් දෙයකි. එනම් එක් එක් සංස්කෘතියන් සහ එක් එක් ශිෂ්ටාචාරයන්වල සිට, වෙනත් දියුණු සංස්කෘතියකට හෝ දියුණු ශිෂ්ටාචාරයකට ජනයා ඇදී ඒමට දක්වන පෙළගැසීමත්, එවැනි දියුණු ශිෂ්ටාචාරයන්ගේ ප්‍රමිතීන්ට අනුව තම රටවල ශිෂ්ටාචාරයන් යළි ගොඩනගා ගැනීමට සිදුකරන අරගලයන් හෝ එසේ කිරීමට බල කරන අරගලයනුත්ය.

අද ලෝකයේ සිදුවන ආගමන, විගමන සහ සංක්‍රමණ මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ලොව පුරා සිදුකරන අරගලයන් ද බටහිර දේශපාලන මැදිහත්වීම් ද මේ කරුණ වඩාත් පැහැදිලි කරනු ඇත.

ඇත්ත වශයෙන්ම මුස්ලිම් සහ ක්‍රිස්තියානි සංස්කෘතියන් සහ ශිෂ්ටාචාරයන් අතර ගැටුමක් පවතින්නේ නම් ඇමෙරිකාවට, කැනඩාවට, යුරෝපයට, ඕස්ට්‍රේලියාවට ඇතුළු ක්‍රිස්තියානි රටවලට මෙතරම් අතිවිශාල මුස්ලිම් ජනකායක් තවදුරටත් සංක්‍රමණය වන්නේ නැත. එසේම, මුස්ලිම් මැද පෙරදිගට ක්‍රිස්තියානින්, බෞද්ධයන් සහ හින්දුන් බුරුතු පිටින් රැකියා සඳහා හෝ ඇතුළු වෙන්නේ නැත. ශ්‍රී ලාංකිකයන් හෝ වෙනත් කිසිවෙක් සිය දිවි දෙවෙනි කර සිය යහපත් ජීවන අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීම සඳහා සිය සංස්කෘතියන් හෝ ශිෂ්ටාචාරයන් වැනසීමට සිටින සතුරු කලාපයකට කෙසේ හෝ ඇතුළු වීමට උත්සාහ කරයිද? පැහැදිලිවම නැත.

ලෝකයේ එක් කලාපයක සිට තවත් කලාපයකට, වඩාත් යහපත් ජීවිතයක් පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන, මිනිසුන් සංක්‍රමණ වන්නේ එම සංක්‍රමණ වන කලාපය තමන් ජීවත්වන කලාපයට වඩා යහපත් වන බව සිතන නිසාය. මෙය හුදෙක් ආර්ථික කරුණුවලට පමණක් සීමා කළ නොහැක්කේ, යුද්ධ සහ අත්තනෝමතික දේශපාලනික තත්ත්වයක් පවතින එහෙත් ආර්ථික වශයෙන් යහපත් රටවල් වන සිංගප්පූරුව, හොංකො, චීනය, රුසියාව, ඉරානය සහ මැදපෙරදිග වැනි රටවල සිට ද වඩා යහපත් පාලන ක්‍රමයක ජීවත්වීම සඳහා ඇමෙරිකාවට, කැනඩාවට, යුරෝපයට සහ ඕස්ට්‍රේලියාවට ඉතා විශාල වශයෙන් ජනයා සංක්‍රමණ වන නිසාය.

මෙසේ ඉහත දැක්වූ කලාපයන්වලට අති විශාල ජනගහනයක් ඇදී එන්නේ පැහැදිලිවම වෙනත් කලාපවලට නැති යමක් එම කලාපවල තිබෙන්න නිසාය. විශේෂයෙන්ම ආර්ථික සහ දේශපාලන නිදහස මෙම ඇමෙරිකාව, කැනඩාව, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව වැනි කලාපයන්ගේ පැහැදිලි ලක්ෂණය වී තිබේ. ඒ නිසා ඉහළම රැකියාවක් නොකළද සෑම පුද්ගලයෙකුටම අවම ජීවන මට්ටමක් ඇතිකර ගැනීමට සිය මව් රටේ මෙන් දැවැන්ත අරගලයක් සිදු කිරීමට සිදු නොවන බව සෑම සංක්‍රමණිකයෙක්ම දනී. අනෙක් අතට, පුද්ගලයා කුමන තරාතිරමකද, ඔහුගේ/ඇයගේ වාර්ගික, ආගමික, ලිංගික හෝ අදහස්වල වෙනස්කම් නොසලකා එම රටවල සෙසු මිනිසුන්ට හිමිවන නීතිය ඉදිරියේ සමානාත්මතාවය එහි වෙසෙන සෑම පුද්ගලයෙකුටම ලබාදීමට තරම් නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය එම රටවල තහවුරු වී ඇති බව ද ඔවුන් දනී. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට ඇතුළු වී ජීවත්වීමට මනුෂ්‍යන් දිවි හිමියෙන් වෙර දරන්නේ, තමන්ගේ සංස්කෘතියන් සහ ශිෂ්ටාචාරයන් රැකගැනීමේ ගැටුමක නිරත වීමට වඩා, වෙනත් උසස් සංස්කෘතියන් සහ ශිෂ්ටාචාරයන් සහිත කලාපයන් වටිනා බව සිතන නිසාය. මහා සංක්‍රමණික ප්‍රවාහයකට එකතුවීමට ජනයා පෙළගැසෙන්නේ එම නිසාය.

එහෙත් මෙම මහා ජන ප්‍රවාහයට තවදුරටත් මුහුණ දීමට ඉහත කී යහපත් සංස්කෘතියක් සහ ශිෂ්ටාචාරයක් ඇති රටවලට පවා නොහැකි වෙමින් තිබේ. විශේෂයෙන්ම, දෙවන ලෝක යුද්ධයෙන් පරාජයට පත්කර, යුරෝපයෙන් ප්‍රතික්ෂේප කළ, හිට්ලර් සහ මුසෝලනි වැන්නවුන් වරනැගූ, වාර්ගික සහ ආගමික පදනම් මත දියත්වූ, දේශපාලන ව්‍යාපෘතීන් වෙනත් කලාපවල තහවුරු වී, විවිධ ජාතික සහ ආගමික වෙනස්කම් මත බෙදී, තම තමන්ව මරා දමන තත්ත්වයකට ලොව බොහෝ රටවල් පත්වීමත්, ලෝකයේ බොහෝ රටවල රාජ්‍යයන් මහජන පාලනයන් හෝ යහපාලනයන් නොවී, පිරිසකට පමණක් සෙත සලසන අර්ධ-අධිකාරීවාදී  පාලනයන් වීම නිසා, ඉහත ආකාරයේ මහා ජන සංක්‍රමණවලට විසඳුමක් සෙවීම ප්‍රජාතන්ත්‍රවාදීන්ට අනිවාර්යයෙන්ම සිදුකළ යුතු ප්‍රශ්නයක් වන්නේ එලෙසය.

ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් වෙනුවෙන් සටන්වදින පිරිස් දිරිමත් කිරීමේ සිට ප්‍රජාතන්ත්‍රවාදී නොවන අර්ධ-අධිකාරීවාදී රටවලට ප්‍රජාන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා බලපෑම් කිරීම දක්වාත්, කිසිසේත්ම ප්‍රජාන්ත්‍රවාදී නොවන රටවල පාලනයන් පහකිරීම දක්වාත් වූ ක්‍රියාදාම රාශියකට ප්‍රජාන්ත්‍රවාදී රාජ්‍යයන් එක්ව ක්‍රියා කරන්නේ මෙවැනි පසුබිමකය. එසේ ඔවුන් එක්ව ක්‍රියා නොකළහොත්, ප්‍රජාන්ත්‍රවාදී නොවන මහා ජන සංක්‍රමණයන්ගේ සිට, ත්‍රස්තවාදය, ලෙඩ රෝග, වසන්ගත, දිළිඳුකම, මත්ද්‍රව්‍ය, පරිසර විනාශයන් සහ විශාල මිනිස් ඛේදවාචකයන් ආදී දහසකුත් එකක් ගැටලුවලට තනි තනිව මෙන්ම පොදුවේත් මුහුණ දීමට සිදුවන බව ඔවුන් දනී.

එහෙත්, මෙම පෙළගැසීම්වල සාධනීය තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලක් නොදක්වමින් අද ප්‍රජාතන්ත්‍රවාදී නොවන අර්ධ-අධිකාරීවාදී රෙජීමයන් සිදු කරනුයේ, සිය බලය තවදුරටත් තමන් අතම තබා ගනු වස්, ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ පෙළගැසීම්වලට මුහුණ දීමට අර්ධ-අධිකාරීවාදී රෙජීමයන්ගේ පෙරමුණක් ද ගොඩනගා ගැනීමට ක්‍රියා කිරීමයි. ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එල්ලවන චෝදනාවලට තනිවම මුහුණ දී එම ගැටලුව රාජ්‍යතාන්ත්‍රිකව විසඳා ගැනීම වෙනුවට, ජිනීවා යෝජනාවන්ට එරෙහිව එයට මුහුණ දීමට රුසියාව, චීනය, ඉරානය මෙන්ම වෙනත් එවැනිම අප්‍රිකානු, ලතින් ඇමෙරිකානු රටවල සහයෝගය සොයාගෙන යාමට තරම් උනන්දු වන්නේ මෙවැනි අද ලෝකයේ ප්‍රමාණවත් අර්ධ-අධිකාරීවාදී රෙජීමයන් කොටසක්ද සිටින නිසාය.

අවාසනාවකට, බොහෝ ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටුණ, ජාතික සහ ආගමික මතවාදයන් වඩා වඩාත් හිස එසවූ, වර්ගවාදී සහ ආගමික ගැටුම් පවතින, යහපාලනය බිඳ වැටුණ රටවල අද පහළ වන්නේ අර්ධ-අධිකාරීවාදී රෙජීමයන්ය. ඒ හේතුවෙන් අද ලෝකය පැහැදිලිවම ප්‍රජාන්ත්‍රවාදී පාලනයක් පවතින රටවල් සහ අර්ධ-අධිකාරීවාදී රෙජීමයන් පවතින රටවල් ලෙස දෙකට බෙදීයාමක් දැකිය හැක.

පසුගිය දා යුක්රේනය යුරෝපා සංගමයට ගෙනයාමට වෙර දරන පිරිස් සහ එය රුසියාවට පක්ෂපාතී රටක් ලෙස තවදුරටත් තබා ගැනීමට වෙර දරන එරට රජය අතර ගැටුම් දෙස බැලීමේදී පෙනී යන්නේ ඉහතින් දැක්වූ ප්‍රජාන්ත්‍රවාදී පාලනයක් පවතින රටවල් සහ අර්ධ-අධිකාරීවාදී රෙජීමයන්ගේ රටවල් අතර බෙදුම් ඉර බොහෝ දුරට යුක්රේනය හරහා ඇදීමට නියමිත බවයි. ඒ මන්දයත් යුක්රේනයෙන් නැගනහිරින් පිහිටි රුසියාව, චීනය, උතුරු කොරියාව, මොන්ගෝලියාව සිංගප්පූරුව අද පැහැදිලිවම අර්ධ-අධිකාරීවාදී රෙජීමයන්ගේ පාලනයට අයත්ව තිබීමත්, මෙතෙක් ආසියාවේ වූ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වූ ජපානයේ, දකුණු කොරියාවේ, මැලේසියාවේ සහ ශ්‍රී ලංකාවේ පවා ජාතිකවාදී රෙජීමයන් බලයට පැමිණීත්, නරේන්ද්‍ර මෝති යටතේ ඉන්දියාවේ පවා ජාතිකවාදී රෙජීමයක් බලයට පත්වීමට ඉඩ තිබීමත්, තායිලන්තයේ, බුරුමයේ සහ ඉන්දුනීසියාවේ පවා හමුදා පාලනයක් හෝ ජාතිකවාදී රෙජීමයක් බලයට පත්වීමට ඉඩතිබීමත් නිසාය.

ඒ නිසා යුක්රේනයෙන් බටහිර කොටස ප්‍රජාතන්ත්‍රවාදී ලෙසත්, යුක්රේනයෙන් නැගෙනහිර කොටස අර්ධ-අධිකාරීවාදී රෙජීමයන්ගේ පාලනයට නතුවූ කොටස ලෙස බෙදීමක් ඇතිවීමට තවත් වැඩි කලක් නො යනු ඇත.

ශ්‍රී ලංකාව මින් කුමන කඳවුරක නතර වන්නේදැයි තීරණය වන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනයක් වෙනුවෙන් ගෙන යන සටන්වල ජයග්‍රහණයන් තුළය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ සටන් පරාජය වී ජාතිකවාදීන්ගේ ජයග්‍රහණයන් සිදුවන්නේ නම් ශ්‍රී ලංකාව තවදුරටත් අනතුරුදායක තත්වයක පැවතීම පමණක් සිදු නොවේ. ඒ වෙනුවට, දකුණු ආසියාවේ පැවතියේ මහා භාරතයක් පමණක් යැයි දේශපාලන වේදිකාවේ ඉතිහාසය විකෘති කර පුරසාරම් දොඩන නරේන්ද්‍ර මෝදි වැනි මහා ඉන්දියානු ජාතිකවාදීන්ට පවා ශ්‍රී ලංකාව ගොදුරක් බවට පත්වීම සිදුවිය හැක. ඒ මන්දයත්, අප දැන් දැන් වඩ වඩා උඩ දමන, මහා වංශයේවත් සඳහන් නොවන, රාවණා කෙනෙකු සහ රාම-රාවණා යුද්ධයක් පැවති ලංකා පුරය පැවතියේ මහා භාරතය තුළ වීමත්, ඒ බැවින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අපේ රටට අයිතිවාසිකම් නොකී සිටීමට තරම් නරේන්ද්‍ර මෝදි ඉදිරිපත් නොවනු ඇති බවට කිසිවකුට සහතිකයක් දීමට නොහැකි නිසාත්ය.

බටහිර ලෝකයේ මුල් බැසගත් ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් සහ එහි ඇති වැදගත්කම අපට වැටහෙන්නේ එදාටය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 

2014 මාර්තු වේදී 'සමබිම' සගරාමය පුවත්පතට ලියු ලිපියකි. 

එය 2014 මාර්තු 05 සහ 2014 අප්‍රියල් 07 කොටස් දෙකක් වශයෙන් සමබිම සගරාවේ පලවිය. 

http://www.samabima.com/?p=10043&fbclid=IwAR3lUgNmGIjvS0dd-mhJsMV59F_w3_1w85FLMcN7vU59h4zN837uwuiwCqE.

https://www.samabima.com/?p=10259&fbclid=IwAR1YmR9cZd80Cf_O5nm1WW6TnRFqKuHMqf_UeC_WS28Aklrh2Ef13xj7hOE

Tuesday 22 February 2022

පාස්කු ප්‍රහාරයට මාස 34යි. ගෝඨාභය පාලනයේ සමස්ථ පාස්කු ප්‍රවේශයම තාර්කික අවසානයකට ලගාවීම.


ඉකුත් 2019 අප්‍රියල් 21ක පාස්කු ඉරිදා දින දේවස්ථාන 3කට සහ කොළඹ හෝටල් 3කට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවී 269 දෙනෙකු මියගොස් 500කට අධික පිරිසක් තුවාල ලබා රටම මහා ඛේදවාචකයකට ලක්ව අදවන විට මාස 34ක් ගෙවීගොසිනි. රටම දැඩි ව්‍යාසනායකට මුහුණදුන් ඒ මහා විනාශයෙන් මියගිය අයගේ තුන්මාසේ දානය දීමටත් මත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශයට පත්කළේය. 

මුලින්ම අල්ජසීරා ප්‍රවෘත්ති සේවයට ලබාදුන් සාකච්ඡාවකදී එලෙස ප්‍රකාශකළ ඒ මහතා 2019 ජුලි 18 වන දින රොයිටර් ප්‍රවෘත්ති සේවයට ලබාදුන් සාකච්ඡාවකදී එලෙසම ප්‍රකාශ කරමින් 2019 වසර අග පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂා කරන බව නැවත තහවුරු කළේය. විරුද්ධ පාක්ෂිකයින් එයට 'බොරදියේ මාළු බෑමක් ලෙස' අවලාදාත්මක විවේචනයක් එල්ලකලද ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ඉදිරිපත්කල තර්කවල වලංගුභාවයක් පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව රට තුල මතුව තිබුණි. 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ඉදිරිපත්කල එක් ප්‍රධාන තර්කයක් වුයේ යහපාලන රජය සමයේ රටේ බුද්ධි අංශ බිදවැටී, ජාතික ආරක්ෂාව අනතුරකට ලක්ව, රට තුල ඉස්ලාමීය ත්‍රස්තවාදය නම් නව ත්‍රස්තවාදයක් හිස ඔසවා ඇති බවය. 

ඒ අනුව ප්‍රහාරය එල්ලවන්නේ ජාතික ආරක්ෂාව බිදවැටි ඇති තත්වයක් තුල බවත්, රට තුල ජාතික ආරක්ෂාව තහවුරු කර පාස්කු ප්‍රහාරයට සම්බන්ද සියලු දෙනාටම දඩුවම් කරන බවත් දැක්වීය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම ප්‍රවේශය රටේ බහුතර ජනතාවගේ පමණක් නොව ශ්‍රී ලංකා කතෝලික පල්ලියේද පොදු කැමැත්ත දිනාගැනීමට හැකිවූ ප්‍රවේශයක් විය. ඒ වන විටත් රට තුල 'වද කොත්තු', 'වද සැත්කම්' ආදියේ සිට ඉස්ලාමීය භීතියක් රට පුරා වැපිරි තිබුන අතර මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිට පාස්කු ප්‍රහාරය එල්ලවීම දක්වා එය ඉස්ලාමීය ත්‍රස්‌තවාදයක් දක්වා වර්ධනයවී ඇති බවටවූ ප්‍රචාරණ රට තුල මුල්බැසගේන තිබුණි. 

අනෙක් අතට පාස්කු ප්‍රහාරය එල්ල වී සති කිහිපයක් ඇතුලත හිටපු ජනාධිපති සිරිසේන පත්කළ විජිත මලල්ගොඩ කොමිසම හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර ආදීන් වටේ කැරකෙමින් සිටින අතර  එය යහපාලන ආණ්ඩුවේ ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පසමිතුරුකම්වල ඕනෑ එපාකම් කැසකවන තැනක් මිස පාස්කු ප්‍රහාරය ගැන නිසි විමර්ෂණයක් සිදුකරන කොමිසමක් නොවන බවද කියවෙන්නට විය. 

ඒ අඩුව පිරිමැසීමට මෙන් යහපාලන රජයේ බහුතරය හිමිව තිබු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටවූ පාස්කු ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්‍රහාරයේ වගකීම ජාතික ආරක්ෂාව භාරව සිටි ජනාධිපති සිරිසේන සහ ඔහුගේ ආරක්ෂක අමාත්‍යංශයේ නොහැකියාවක් බව පෙන්නුම් කිරීමට දරන උත්සහයක්ය යන අදහසද රට තුල වර්ධනය වී තිබුණි. එම වාතාවරණය තුල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරිපත්කල එක් තිරාණාත්මක ප්‍රධාන නිගමයක් වූ 2019 වසර අග පැවැත්වෙන ''ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් රට තුළ බියක් සහ අවිනිශ්චිතතාවක් සහ කැළඹිලි ඇතිකිරීම අරමුණු කරගෙන...පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්වයකට මග පාදන" ප්‍රහාරයක්ද ගැන පවා නිසි අවධානයක් යොමු නොවිණි. 

මෙම පසුබිම තුල ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ඉදිරිපත්කල ප්‍රධාන තර්කයක් වු 'යහපාලන රජය යටතේ රටේ බුද්ධි අංශ බිදවැටී, ජාතික ආරක්ෂාව අනතුරකට ලක්ව, රට තුල ඉස්ලාමීය ත්‍රස්තවාදය නම් නව ත්‍රස්තවාදයක් හිස ඔසවා ඇතයි' යන්නට පොදු පිළිගැනීමක් පමණක් නොව විශාල වැඩි ජන්දයකින් ඔහුව  ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමට පවා හේතුවූ පදනමක් ගොඩනන්වන ලදී.  බුද්ධි අංශ බිදවැටිම තුල  ජාතික ආරක්ෂාව බිදවැටී, ලෝක ව්‍යාප්ත ඉස්ලාමීය ත්‍රස්තවාදය ලංකාව තුලද නව ත්‍රස්තවාදයක් ලෙස හිස ඉසවීමට හේතුවී ඇතයි කියමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාස්කු ප්‍රවේශයට බුද්ධිමය පරාසයක්ද  ආරෝපණය කරමින් ත්‍රස්තවාදී කටයුතු පිලිබදව ප්‍රකට අධ්‍යනාචාරවරයෙක් යැයි හදුන්වන රොහාන් ගුණරත්න ආදීන් පවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පිලට ක්‍රීඩා කරන්නට පෙරට පැමිණ තිබිණි. 

එහෙත් ඔවුන්ගේ එම තර්කවල කිසියම් හෝ වලංගු භාවයක් පැවතියේ ගෝඨාභය රජය බලයට පත්වී ටික කලක් යන තුරු පමණි. විශේෂයෙන්ම ප්‍රහාරය එල්ලකල සහරාන් ඇතුළු කණ්ඩායමට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුගයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේන් වැටුප් ගෙවූ බව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මෙන්ම කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවී සක්‍රියකල පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කල  ජනාධිපති කොමිසන් සභාවේ සාක්ෂි ඔස්සේ පාස්කු ප්‍රහාරය එල්ල කල සහරාන් හෂින් ඇතුළු කණ්ඩායම සමග රජයේ බුද්ධි අංශවල ඇතැම් පිරිස් කටයුතුකර ඇති බවත් හෙළිවන්නටවීමත්  සමග පාස්කු ප්‍රහාරය පිටුපස සහරාන් හෂීම්ගේ ඉස්ලාමිය ත්‍රස්තවාදීන් පමණක් නොව තවත් පිරිස් එම ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මකවී ඇති බව හෙළිවන්නට විය.

ඒ සමග පාස්කු ප්‍රහාරය පිළිබද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ (සහ රොහාන් ගුණරතන ඇතුළු අයගේ) මුල් ප්‍රවේශයවූ පාස්කු ප්‍රහාරය යනු බුද්ධි අංශ බිදවැටී, ජාතික ආරක්ෂාව අනතුරකට ලක්ව, රට තුල ඉස්ලාමීය ත්‍රස්තවාදය නම් නව ත්‍රස්තවාදයක් හිස එසවීම නිසා එල්ලවූ ප්‍රහාරයක් යැයි යන මතය දෙදරීමට ලක්විය. ඒ වෙනුවට පාස්කු ප්‍රහාරය යනු රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරු හෙළිවී තිබියදීත් වලක්වා නොගත් ප්‍රහාරයක් බව මෙන්ම එකී විනාශය වලක්වා නොගත්තේ කිසියම් දේශපාලන අභිලාෂයක් පෙරදැරි කරගෙනද? යන්නත් මතු වන්නට විය.  

එය එක්තරා අකාරයකට 'Deep state' න්‍යායක ප්‍රවේශය ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය අරභයාද අදාල කරගැනීමට ඉඩප්‍රස්ථා ජනනය කළේය. ඇමරිකානු නාට්‍ය අනුසාර භාෂිතයකින් පැනනැගුන 'Deep state' න්‍යායික ප්‍රවේශය ඔස්සේ විග්‍රහ කලේ ලෝකයේ විවිධ රාජ්‍යයවල දේශපාලන නායකත්වයන් විසින් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් සහ දේශපාලන ඉලක්කයන් මුදුන්පත් කරගැනීමට හෝ ලගාකර ගැනීමට ස්වාධීනව ක්‍රියාත්මකවිය හැකි රහසිගත හෝ  අවසර හෝ අනවසර කණ්ඩායම්/ බුද්ධි නිලධාරීන්/ නිල හෝ නිල නොවන හමුදා ජාලයන් යොදා ගනිමින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන විවිධ මෙහෙයුම් හෝ ක්‍රියාවන් ඔස්සේ දේශපාලන බලය හැසිරවීම පිළිබද කතිකාවයි.

මෙම  'Deep state' න්‍යායක ප්‍රවේශයට අනුව යමින් ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ඉරිදා පල්ලි සහ හෝටල් වෙත එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර පිටුපසද කිසියම් දේශපාලන අභිලාශයක් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලක් තිබෙන බව විග්‍රහ කිරීම ක්‍රමිකව  පෙරට පැමිණීම සිදුවිය. 

ඇත්තවශයෙන්ම, අද වන විට සිදුවී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ (සහ රොහාන් ගුණරතන ඇතුළු අයගේ) මුල් ප්‍රවේශයවූ පාස්කු ප්‍රහාරය යනු බුද්ධි අංශ බිදවැටි, ජාතික ආරක්ෂාව අනතුරකට ලක්ව, රට තුල ඉස්ලාමීය ත්‍රස්තවාදය නම් නව ත්‍රස්තවාදයක් හිස එසවීම නිසා එල්ලවූ ප්‍රහාරයක්ය යන්න සසහමුලින්ම බිදවැටී පාස්කු ප්‍රහාරය යනු රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරු හෙළිවී තිබියදීත් වලක්වා නොගත්, කිසියම් දේශපාලන අභිලාෂයක් පෙරදැරි කරගෙන එල්ලවූ ප්‍රහාරයක්ය යන 'Deep state' න්‍යායික ප්‍රවේශය ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ඉරිදා පල්ලි සහ හෝටල් වෙත එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර අරභයා වඩ වඩාත් තහවුරුවීමය. 

විශේෂයෙන්ම පසුගිය මාස දෙකක කාලය තුල සිදුවූ විවිධ වර්ධනයන් දෙස ආපසු හැරී බලන ඕනෑම කෙනෙකුට පාස්කු ප්‍රහාරය යනු හුදෙක් බුද්ධි අංශ බිදවැටී, ජාතික ආරක්ෂාව අනතුරකට ලක්ව, රට තුල ඉස්ලාමීය ත්‍රස්තවාදය නම් නව ත්‍රස්තවාදයක් හිස එසවීම නිසා සිදුවූවකට වඩා බුද්ධි අංශවලට හොදින් තොරතුරු ලැබී තිබියදී, බුද්ධි අංශ ඉතා හොදින් ඒ පිලිබදව දැන සිටියදීත්, එය වැලැක්වීමට කිසිවක් නොකල ප්‍රහාරයක් පමණක් නොව 'මාතලේ පොඩි සහරාන්' නම් තැනැත්තෙක් හරහා එකී ප්‍රහාරයේ දිශානතිය ISIS සංවිධානය සමග බද්ධකිරීමට බුද්ධි අංශ නිලධාරියෙක් ක්‍රියාත්මකවූ බවට හෙළිවෙන, එකී බුද්ධි අංශ නිලධාරීන් පිලිබදව නීතිමය විමර්ශන ජාතික ආරක්ෂාව වෙනුවෙන් යැයි කියමින් බුද්ධි අංශ ප්‍රධානින් විසින් වලක්වමින්, එකී නිලධාරීන්ව ආරක්ෂා කරන තත්වය සිටි බව  හෙළිවී අවසන්ය. 

මෙම කාරණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකුවූ ශානි අබේසේකර මහතා පෙබරවාරි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් ඉදිරිපත්කර ඇති පෙත්සමකින් වඩ වඩාත් තහවුරු කර ඇත. එම කරුණු අතර 'සොනික් සොනික්' නමින් සහාරාන්ලා සමග සම්බන්ධවී ඇති පුද්ගලයා බුද්ධි අංශයට සම්බන්ද පුද්ගලක් බව, මාතලේ 'පොඩි සහරාන්' නැමැත්තා සහ බුද්ධි අංශ නිලධාරී උප පොලිස් පරීක්ෂක බණ්ඩාර සමග ඇති සම්බන්ධය ගැන ප්‍රශ්න නොකරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ මහතා ශානි අබේසේකරට දැනුම්දුන් බව, සහරාන් හා ජාතික තව්හිද් ජමාත් (NTJ) පිළිබඳ පරීක්ෂණ පවත්වන CIDයට නොදන්වාම යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙහිවල ට්‍රොපිකල් ඉන් තානායමේ බෝම්බය පිපිරීමට පෙරම එම බෝම්බකරු වන ජමීල්ව සොයා වැල්ලම්පිටියේ ජමීල්ගේ මවගේ නිවසට ගොස් ඇති බව, සහරාන් සිටින ස්ථානය සොයාගැනීම සඳහා සහාය වන ලෙස CID විසින් නැවත නැවතත් ඉල්ලීම් කළ ද, අබ්දුල් ලතීෆ් ජමීල්ගේ අනන්‍යතාව, NTJහි ඔහුගේ භූමිකාව, සහ ඔවුන්  යන එන තැන් පිළිබඳ පූර්ව දැනුමකින් සිටි හමුදා බුද්ධි අංශය CIDය සමග එම තොරතුරු බෙදානොගත් බව ද දක්වයි. එකී කරුණු අනුව බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් සහ සහරාන්ගේ මරාගෙන මැරෙන්න  ඉස්ලාමීය ත්‍රස්තවාදීන් අතර යම් සම්බන්දයක් පැවති බව පැහැදිලිවම පෙනී යන්නකි. 

එම කාරණා සම්බන්දයෙන් පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කල ජනාධිපති කොමිසමේදී හෙළිවූ බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙන්ම මනුෂ  නානායක්කාර මන්ත්‍රීවරයාද 2021 නොවැම්බර් 11 දා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය. එම  පාර්ලිමේන්තු විවාදයේදී පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කල  ජනාධිපති කොමිසමේ විමර්ශන වාර්තාවක 362 පිටුව ගැන මෙන්ම දැනට නිකුත්වී ඇති විමර්ශන වාර්තාවේ පළමු වෙළුමේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ රජය අද (22/02) නිකුත්කළ අනෙකුත් වෙළුම් 22 කේද යම් යම් කරුණු  අඩංගු බවත්, එකී කරණු අතර ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරීන්  ගැනද කරුණු මතුවෙන බවත් හෙලිවුයේය.

කාදිනල්තුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා කතෝලික සභාවත්, ශ්‍රී ලංකාවේ විපක්ෂත්, තවත් බොහෝ පාර්ශවත් එකී වෙළුම් නිකුත් කරන්න යැයි එල්ලා සිටියද ගෝඨාභය  රාජපක්ෂ රජය අද (22/02) වෙන තෙක් එකී වෙළුම්  නිකුත් නොකරන ලද්දේ 'ජාතික ආරක්ෂාව' සදහා වැදගත් තොරතුරු එහි  අඩංගුවී ඇත්තයි යන්න සදහන් කරමිනි. ඇත්ත වශයෙන්ම එය 'ජාතික ආරක්ෂාව' සදහා ගනු ලබන  පියවරක්ද නැතහොත් 'රණවිරැ ආරක්ෂාව' නම් රාජපක්ෂ රජයන් නිතර වර නගන වාග්ප්‍රලාපය යටතේ දැයි යන්නද පැහැදිලි නැත. එහෙත් 'රණවිරැ ආරක්ෂාව', 'ජාතික ආරක්ෂාව' ආදී ලේබල ඔස්සේ රාජපක්ෂ පාලන යටතේ ශ්‍රී ලංකා රජය අපරාධකරුවන් ආරක්ෂා කරන රාජ්‍යයක් යැයි යන චෝදනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පවා අවධානයට ලක්වූ රාජ්‍යයක් වී ඇති. කර්නල් මුවමර් ගඩාෆිගේ ලිබියාව, සදාම් හුසේන්ගේ ඉරාකයද එවැනි අපරාධකරුවන් ආරක්ෂා කරන රාජ්‍යයන් ලෙස ලේඛනගත කිරීමෙන්  අනතුරව භයානක ඉරණමකට මුහුණ පෑ රාජ්‍යයන් යැයි මෙහිලා මතක් කරණුයේ එවැනි ඉරණමක් අප මව්බිම වන සුන්දර ශ්‍රි ලංකා දීපයට අත්නොවිය යුතු නිසාය. 

තවද ප්‍රහාරය පිළිබද විමර්ශනය කල ජනාධිපති කොමිසන්  සභාවේ දෝෂ දර්ශනයට ලක්ව, අපරාධ චෝදනා ගොනු කරකරන්න යැයි නම් කර ඇති හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී  නිලන්ත  ජයවර්ධන රජයේ සාක්ෂිකරුවා කරගැනීම මෙන්ම මීගමුව උසාවියේ විමර්ශනය වන පාස්කු වන්දි නඩුවේ ඔහු වෙනුවෙන් නීතිපතිවරයා පෙරකලාසි ඉදිරිපත් කිරීමද, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීමට  බාධාවක් ලෙස මතුවෙන බවක්ද හැගී යයි. රජයේ නිලධාරියෙක් වෙනුවෙන් නීතිපතිවරයා පෙරකලාසි ඉදිරිපත් කිරීම රටේ මුල්බැසගත් නිතී සම්ප්‍රදායක්ය යන්න හෝ සිවිල් උසාවියේ නඩුවක් සදහා ඉදිරිපත්කල පෙරකලැසි ඔස්සේ අපරාධ නඩුවකට හවුහරණක් ලැබේද යන්න පිලිබදව අවධානය පසක තිබියදී අපරාධ චෝදනා  නැගිය යුතුයැයි කොමිසම නම් කර ඇති නිලධාරියෙකු රජයේ සාක්ෂිකරුවා කරගැනීම වැරදි පුර්වාදර්ශයක් මෙන්ම වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට ඇති බාධකයක් ලෙස ද පෙනී යයි. 

එයද අපරාධකරුවන්  ආරක්ෂා  කිරීමට ගෝඨාභය රාජපක්ෂ  රජය යෙදු තවත් උප්පරවැට්ටියක් ලෙසද සැලකීමට ලක්ව ඇත. එහෙත් රජය එවැනි වෑයමක  නිරතවුයේ නම් නීතිපතිට, හිටපු රාජ්‍යය බුද්ධි ප්‍රධානී නිලන්ත  ජයවර්ධනට ඇගිල්ල දිගුකරමින්  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව එල්ලකර ඇති චෝදනාවලින් නිදොස් කොට නිදහස්කල කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ 18/02/2022 තීන්දුව යම් අභියෝගයක් වනු නියතය. 

එනයින්ම රජයේ  උප්පරවැට්ටි ගැන කතා කරමින් පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරුණු ජනවාරි 15 දින රාගම තේවත්ත  බැසිකාවේ පැවති දෙවියන්ට මොරගැසිමේ දේව මෙහෙයේදී ''පාස්කු ප්‍රහාරය ජන්දය දිනන්න ගහපු උප්පරවැට්ටියක්'' යැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව උපුටා දක්වමින් කාදිනල් මැල්කම් රංජිත් හිමියන් කල කතාව ඉතා තීරණාත්මක ප්‍රකාශයක් මෙන්ම ශ්‍රී ලංකා කතෝලික සභාව ගෝඨාභය රාජපක්ෂ රජය කෙරෙහි කෙලින්ම ඇගිල්ල දිගුකරන තත්වයකට ගමන්  කිරීමක් විය. 

කාදිනල්වරයා ප්‍රමුඛ  ශ්‍රී ලංකා කතෝලික  සභාව එවැනි තීරණාත්මක ස්ථාවරයකට යොමුවීමට  පසුගිය කාලය පුරාම සිදුවූ බොහෝ කරුණු හේතුවිය. ඒ අතර බොරැල්ල සියළු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තිබීමත්, එම බෝම්බය සම්බන්දයෙන් පල්ලියේ සන්ක්‍රිස්තියන් ඇතුළු නිරපරාදේ අහිංසකයන් අත්අඩංගුවට ගැනීමත්, වත්මන් බුද්ධි  අංශ ප්‍රධානී සුරේෂ් සාලිගේ පැමිණිල්ලක් අනුව ගරු සිරිල් ගාමිණී පියතුමාව දින ගණනාවක් අපරාධ විමර්ශන  අංශයට කැදවීමත් ආසන්න හේතුවිය හැක. 

ඉන් සති කිහිපයකට පසුව පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් යුක්තිය ඉල්ලා හඩ නැගු ෂෙහාන් මාලක ගමගේ තරුණ ක්‍රියාකාරිකයාව අයුතු ලෙස මහ මගදී සුදු වැන් රියකින් පැමිණ පැහැරගැනිමක ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමත් කාදිනල්තුමාගේ දැඩි විවේචනයට  ලක්විය. 

මෙලෙස වින්දිතයන්  වෙනුවෙන්  යුක්තිය  ඉටුකිරීම වෙනුවට දිගින් දිගටම  වින්දිතයන් සහ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඩ නගන්නන් පීඩාවට  පත්කරන අතර සැබෑ අපරාධකරුවන් හෙලිවීම වැලැක්වීමට සහ ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර නොගැනීම ගෝඨාභය රාජපක්ෂ රජයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  දැන් භාවිතයයි. 

එසේවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත්කල පාස්කු ප්‍රහාරය යනු බුද්ධි අංශ බිදවැටි, ජාතික ආරක්ෂාව අනතුරකට ලක්ව, රට තුල ඉස්ලාමීය ත්‍රස්තවාදය නම් නව ත්‍රස්තවාදයක් හිස එසවීම නිසා එල්ලවූ ප්‍රහාරයක් යන ප්‍රවේශය තාර්කික අවසානයකට ලගාවී ඇති නිසාය. තව දුරටත් එකී මතයට ලබාගත හැකි සමාජ අවනත භාවයක් නැත. දෘෂ්ටිවාදී හෙජමනික අවනත භාවයක් අහිමිවන තත්වයක් තුල පාලකයා මුදාහරින්නේ මර්ධනකාරී ආධිපත්‍යයක් බව ග්‍රාම්ස්ච්යානු ඉගැන්වීම් ඇසුරින් අපි ඉගෙනගෙන ඇත්තෙමු.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ පාලනය හිමිකරගෙන සිටි මතවාදි ප්‍රවේශයම බිදවැටී, ඔවුන්ගේ සමස්ථ අධිපතිවාදී කතිකාවම  බිදවැටී ඇත. එම තත්වයක් තුල  පාස්කු ප්‍රහාරය යනු  රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරු හෙළිවී තිබියදීත් වලක්වා නොගත්, කිසියම් දේශපාලන අභිලාෂයක් පෙරදැරි කරගෙන එල්ලවූ ප්‍රහාරයක්ය යන 'Deep state' න්‍යායික ප්‍රවේශය ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ඉරිදා පල්ලි සහ හෝටල් වෙත එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන්  වඩ වඩාත් අදාලවීමක් සහ තහවුරුවීමක් සිදුව ඇත. 

එය පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කල ජනාධිපති කොමිසමේ මෙතෙක් නිකුත්  නොකර රජය  රදවාගෙන සිටි ඉතුරු වෙළුම් කතානායකවරයාට බාරදීමෙන්  ආපසු හැරවිය හැකි දැයි කියන්නට  තවමත්  කල් වැඩිය.

මාකස් ප්‍රියන්ත පෙරේරා. 

22/02/2022   

Monday 7 February 2022

ප්‍රංශ සෙන්ට් කුප්පියට සිංහල සිංදුවක් කියූ ලතා මංගේෂ්කාර්

අවුරුදු 92 ජීවත්වු ලතා මංගේෂ්කාර් සමහරවිට ලංකිකකයන් අතර මුලින්ම මුල් බැසගත්තේ 1954 තිරගතවූ T. සෝමසේකරන්ගේ 'සැඩ සුලන්'  චිත්‍රයෙන් වෙන්න පුලුවන්. 

සමහරවිට ඊටත් කලින් ඉදලම ලතා මංගේෂ්කාර්ව ලංකාවේ හින්දි ගී රසිකයෝ හදුනනවා ඇති. ඒ කොහොමවුනත් 1954 වෙද්දීත් ලාංකිකයෝ ඇය භාරතයේ ගීත කෝකිලාවක් කියලා අසා ඇතිවාට සැක නෑ. මොකද ඇය සින්දු කියන්න පටන් අරන් තියෙන්නේ 1942 විතර. ඒ කියන්නේ T. සෝමසේකරන්ගේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න අවුරුදු 12කට විතර කලින්. ඒවනවිටත් ඇය භාරතයේ ප්‍රකට ගායිකාවක්වී අවසන්. ඒ නිසා වෙන්න ඇති සෝමසේකරන්ගේ 'සැඩ සුලන්'  චිත්‍රපටියේ ප්‍රචාරක පෝස්ටර් සදහා 'ලතා මංගේෂ්කාර් ගී ගැයූ' සිංහල චිත්‍රපටිය කියලා යොදන්නේ. 

අධ්‍යක්ෂක T. සෝමසේකරන් කොහොමත් සිය චිත්‍රපටි සදහා ප්‍රචාර කටයුතුවලට දක්ෂයෙක් ලෙසයි එකල සලකා ඇත්තේ. විශේෂයෙන්ම සෝමසේකරන්ගේ  1953 'සුජාතා' චිත්‍රපටිය සදහා ෆොරිඩා ජයලත් සහ ඩොමී ජයවර්ධන බිම වැතිරී සිපගැනීමට ඔන්න මෙන්න වගේ ඉන්න පෝස්ටරය  'සුජාතා' චිත්‍රපටිය බලන්න වැල නොකැඩි සෙනග ගෙන්න ගත්තයි කියලයි කියන්නේ. එම චිත්‍රපට පෝස්ටරයේ තිබිලා තියෙන්නේ 'ෆුල් සුට්' ගහන් ඉන්න ඩොමී  ජයවර්ධන හොදින් සාරියකින් සැරසි බිම දිගාවී සිටින ෆොරිඩා ජයලත්ව සිප ගැනීමට වගේ චිත්‍රයක් වුනත් සෙනග ඇදී ඇවිත් තියෙන්නේ සරාගික දර්ශන ඇතුලත්ව ඇතයි යන විශ්වාසයෙන් යැයි කියවෙනවා. 

මේ නිසා එම පෝස්ටරය ගැන විවිධ විචේචන එල්ලවුනාලු. ඒ අතරින් T. සෝමසේකරන් වගේ දකුණු ඉන්දියාවේ දෙමළ  අධ්‍යක්ෂකවරු මීගමුවට වෙලා ඉදගෙන ලංකාවේ රසිකයන්ව කුල්මත් කරවමින් ලක්ෂ ගණනන්  මුදල් ඉන්දියාවට රැගෙන යනවා කියලත් ඒ කාලේ කියවෙලා තියෙනවා. ඒ කොහොමවුනත් ඒ කාලේ නාත්තන්ඩිය, මාරවිල ආදි  පොල් ඉඩම්වලටත්,  මීගමුවේ සිනමාහල් කිහිපයකටත් සෝමසේකරන් ආයෝජනය කරලා තිබුනලු.

එත් ඔහු වැඩියෙන්ම ආයෝජනය කලේ සිංහල චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට බව නම් වඩා  පැහැදිලියි. ඒ සදහා ඔහු කොච්චර නොපැකිලිව ආයෝජනය කරලා තියෙනවාද කිව්වොත් ලතා මංගේෂ්කාර්ව ඔහුගේ 'සැඩ සුලන්' චිත්‍රපටියේ ගීතයක් ගයනා කරවාගන්න දැඩි උත්සහයක්  දරා තිබෙනවා. දකුණු ඉන්දියානු ගායක ගායිකාවන් රැසක් සිය චිත්‍රපටයට දායක කරගත් සෝමසේකරන්, සිය චිත්‍රපටය සඳහා ලතා මංගේෂ්කාර් ලවා ගීතයක් ගැයවීම එක්තරා ආකාරයකට ඔහුගේ හපන්කමක් ලෙස දැක්විය හැකියි. මේ සඳහා ඇයව හමුවුණ සෝමසේකරන්ට මුලින් ලැබුනේ හොද ප්‍රතිචාරයක් නොවේයිලු. තමා නොදන්නා භාෂාවකින් ගී ගැයීම ඇය එකහෙළාම ප්‍රතික්ෂේප කර සිටියාලු. එහෙත් සෝමසේකරන්  ලේසියෙන් පසුබැහැලා, උත්සාහය අත් හරන කෙනෙක් නෙමේ. 

ඔහු පළමුවෙන්ම හොයලා බැලුවලු ලතා මංගේෂ්කාරගේ රුචිකත්වයන් මොනවද කියලා. ඇය සුවද විලවුන්වලට ඉතා ඇලුම් කරන බව මේ විපරමේදී  ඔහුට දැන ගන්නට ලැබිලා විතරක් නෙමේ ඇය ඒ වෙද්දී  ඉන්දියාවේ නොතිබුණු නමුත් ලෝකය පුරාම ලැව් ගින්නක් වගේ පැතිරීගිය  ප්‍රංශයේ Chanel No22 කියන විලවුන් වර්ගය සොයමින් සිටින බවත් ආරංචි වෙලා. සෝමසේකරන් කිසිම පැකිළීමක් නැතිව ඉහල  මිලක් ගෙවා එම සුවද විලවුන් වර්ගය ප්‍රංශයේන් ගෙන්වා ගෙන ලතා මංගේෂ්කාර්ට යැව්වලු රසිකයෙකුගෙන් ලැබෙන තිළිණයක් විදිහට.

පස්සේ එම තිලිණය එව්ව රසිකයා තමන් බව සෝමසේකරන් ඇයට තමාව හදුන්වලාදීලා නැවතත් තම චිත්‍රපටියේ ගී ගයන්න එන්න කියලා ආරධනා කලාලු. ඒ විතරක් නෙමේ සිංහල භාෂාව ලතා මංගේෂ්කාරගේ මව් බසවන මරාති භාෂාවට සමාන බවත් කිව්වලු. ලතා මංගේෂ්කාරගේ සහෝදරියවු ආශා බෝශ්ලේ සිංහල භාෂාව මරාති භාෂාව වගේ කියලා පස්සේ කාලේක භාතිය-සංතුෂ්ලා එක්ක සිංදුවක් කරන්න ලංකාවට ආව වෙලාවේ කිව්වයි කියලා පත්තරෙන් දැක්කා.

කොහොමවුනත් අන්තිමට 1954දී  සෝමසේකරන්ගේ ඉල්ලීම  තවදුරටත් ප්‍රතික්ෂේප  කිරීමට නොහැකි තත්වයට ඇයව පතකරන් තමයි සේමසේකරන් ලතා මංගේෂ්කාර්ව  'සැඩ සුලන්' චිත්‍රපටියේ ගීත කියන්න නැබුරු කරන තියෙන්නේ. ඇය අවසානයේ සිංහල බසින් ගී ගයන්නට කැමැති වෙලා විතරක් නෙමේ  මදුරාසියට ඇවිත් ගීතය ගයනා කරන්නත් එකගවෙලා. එම චිත්‍රපටියේ බොහොමයක් රූගත කිරීම් කර ඇත්තේ එකල මදුරාසියේ අලුතින්ම ඉදිකල 'වාගී' චිත්‍රාගාරයේ.  ඇයට සිංහල  උච්චාරණය පුහුණු කිරීමට ආනන්ද සමරකෝන්ට පැවරුනාලු.  දෙපොලම එම කාර්ය හොදින් ඉටුකර ඇතිබව ගීතය ඇසූවිට සිතාගත හැකියි. එම ගීතය තමයි 'ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමී' කියන ගීතය. අද හුගාක් දෙනෙක් හිතෙන්නේ එම ගීතය ලතා වල්පොලගේ ගීතයක් කියලයි නමුත් එය ගැව්වේ ලතා මංගේෂ්කාර්. එය ඇය ගැයු මුල්ම සහ ඇතැම්විට එකම සිංහල ගීතය වියහැකියි. 

සැඩ සුලන් චිත්‍රපටියේ එම ගීතයට නැටුමෙන් දායකවෙන්නේ පසුකාලයක සිංහල සිනමාවේ  ජනප්‍රිය නිලියක්වුනු මාරවිල කොස්වාඩියේ උපන් මාරවිල ශුද්ධවූ පවුලේ බාලිකා මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ෆොරීඩා ජයලත්. ඇය දැන් වසර කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවේදී මියගියා. ලතා මංගේෂ්කාර් සුවද විලවුන්වලට ආසාකරන බව ප්‍රසිද්ධිය නිසාම ප්‍රංශ-ඉන්දියානු සුවද විලවුන් සමාගමක් 1999 දී ජෙස්මින් සහ රෝස මල් සුවදැති විලවුන් වර්ගයක් නම් කලේ 'Lata Eau De Parfum' ලෙසයි. ඒ අනුව ඇය ගායනාකල ගීත පමණක් නොව සුවද විලවුන් වර්ගයකුත් තියෙනවා.

මාකස් ප්‍රියන්ත පෙරේරා 

07/02/2022