This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 31 May 2021

පල්ලියේ නීති දුප්පතාට එකක් පොහොසතාට තව එකක්ද?


"One canon law for the rich and one for the poor" - කතෝලික පල්ලියේ නීති දුප්පතාට එකක් පොහොසතාට තව එකක්ද?

මහින්ද රාජපක්ෂගේ බාලපුතා රෝහිත රාජපක්ෂ පල්ලියෙන් කසාද බැන්ද වෙලාවේ ලංකාවේත් ඇදිල ආව ඔය කතාව මේ දවස්වල බ්‍රිතාන්‍යයේත් කරලියට ඇවිත්.

එයට හේතුව බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් (Boris Johnson) ලංඩනයේ ප්‍රධානතම කතෝලික දේවස්ථානයවන වෙස්මිනිස්ටර් (Westminster Cathedral) දේවස්ථානයේදී කැරී සිමන්ස් (Carrie Symonds) සමග විවාහ ගිවිසගැනීම.

ගැටලුව වී ඇත්තේ බොරිස් ජොන්සන් මීට පෙර දෙවරක්ම එංගලන්ත සභාවෙන් විවාහවී, දික්කසාදවී සිටීන්නෙක්වීමයි.

සාමාන්‍යයෙන් කතෝලික පල්ලියේ නීතිය අනුව පල්ලියෙන් දෙතුන් පාරක් බදින්න බෑ. ඒ වගේම දික්කසාදවීම කතෝලික පල්ලිය පිලිගන්නෙත් නෑ. අනුමත කරන්නෙත් නෑ. හැබැයි ඒ සම්බන්දයෙන් දැන්නම් යම් යම් සහන සලසනවා. විවාහයට පෙර දෙදෙනාටම ලමයි ඉන්නවාද? නැද්ද? කියන එකත් දැන් අදාල නෑ. 

ජොන්සන්ට කලින් විවාහයෙන් අවුරුදු 27ක පුතෙක් ඉන්නවා. දැන් කසාද බැන්ද කැරී සිමන්ස්ටත් (Carrie Symonds) බොරිස් ජොන්සන්ගෙන් දරුවෙක් ඉන්නවා. විවාහයට පෙර ලිංගික සබඳතා කතෝලික පල්ලිය අනුමත කරන්නේ නෑ. මොකද එය කාන්තාවන්ගේ සමාජ ආරක්ෂාවට සහ ගෞවරවයට හානියක්ය යන අර්ථයෙන්. ඒත් එවැනි සම්බන්දයකින් දරුවන් ලැබී සිටින අයට පල්ලියෙන් විවාහවෙන්න පුලුවන්.

භක්තිවන්ත කතෝලිකයෙක් සහ ප්‍රබල සමාජ ක්‍රියාකාරීකාවක් වන ජොන්සන්ගේ බිරිද කැරී සිමන්ස් (Carrie Symonds) මීට පෙර කිසිදා කසාද බැදලා නැහැ. හැබැයි බොරිස් ජොන්සන් මීට පෙර එංගලන්තය සභාවේ පල්ලියකින් කසාද බැදලා තියෙනවා. ඒ වගේම සිය කතෝලික දෙමව්පියන් විසින් ජොන්සන්ව කතෝලිකයෙක් විදිහට බෞතීස්ම කරලත් තියෙනවා. ඒත් පාසැල් සමයේදී ඔහු එංගලන්ත සභාවට බැදුන බවත් දැක්වෙනවා. කතෝලික සභාව මිශ්‍ර විවාහවලට ඉඩදෙනවා. නමුත් විවාහයේදී සම්පුර්ණ කතෝලික ජුජා-වත්පිළිවෙත් සහ පූර්ණ ආශිර්වාදය හිමිවෙන්නේ නැහැ. එහෙත් ජොන්සන්ගේ විවාහය සම්පුර්ණ කතෝලික විවාහයක් ලෙසයි සිදුකර තිබෙන්නේ. ඇරත් ඔහු වෙනත් සභාවක පල්ලියකින් කලින් විවාහ වූ තැනැත්තෙක්..

එහෙම නම් කොහොමද ඔහු කතෝලික පල්ලියේ පූර්ණ ආශිර්වාද සහිතව කතෝලික පල්ලියෙන් විවාහවෙන්නේ? මාධ්‍ය මේ ප්‍රශ්නය කතෝලික පල්ලියෙන් විමසා සිටියා. 

කතෝලික පල්ලියේ උත්තරයවුයේ 'පල්ලියේ ක්‍රිස්තියානි කල තැනැත්තෙක් වශයෙන් බොරිස් ජොන්සන්ව දිගටම කතෝලිකයෙක් ලෙස සලකන බවත්, කලින් විවාහ කතෝලික පල්ලියෙන් සිදුකර නැති නිසා ඔහු මීට පෙර විවාහවූවෙක් ලෙස කතෝලික පල්ලිය නොසලකන බවයි, 'He is a Catholic because he was baptised Catholic, his first two weddings weren’t in a Catholic church overseen by a Catholic minister, therefore the Roman Catholic church does not recognise those two marriages as valid'.

ඒකත් මරු  උත්තරයක් නේද යනුවෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. 
 
ලංකාවේ නම් පල්ලියෙන් සහ පෝරුවෙන් යන දෙකෙන්ම කසාද බදිනවා නම් ඉස්සෙල්ලා පල්ලියෙන් කසාද බැදිය යුතුයි කියලයි පල්ලිය කියන්නේ, හැබැයි රෝහිත රාජපක්ෂ එක වෙනස් කලා එයා පෝරුවෙන් බැදලා පස්සේ පල්ලියෙන් බදිනවා. එහිදීත් කතෝලික පල්ලියේ නීති දුප්පතාට එකක් පොහොසතාට එක්කක්ද කියන සාකච්ඡා ආවා. එහෙත් පල්ලිය නිල වශයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කලේ නෑ. 

දැන් ඕනේ නම් පල්ලියට දෙන්න පුළුවන් බොරිස් ජොන්ස්ටන්ගේ විවාහය ගැන දුන්නාවගේ උත්තරයක්. ඒ කියන්නේ රෝහිත රාජපක්ෂ පෝරුවෙන් විවාහවීම අපිට අදාල නෑ වගේ උත්තරයක්. ඇත්තටම විවහ රෙජිස්ට්‍රාර්ලා ඉද්දී පල්ලියෙන්, පෝරුවෙන් මොකට බදිනවාද කියලා ඕනේ නම් කෙනෙකුට අහන්න පුළුවන්. එත් ඒවා ආගමික, සංස්කෘතික සහ අනන්‍යතාවය ආදී ක්ෂේත්‍ර රාශියක් සමග බැදී තිබෙන්නක්. ලංකාවේ නම් කතෝලික ඉස්කෝලවලට ළමුන් ඇතුලත් කරවන්නත් පල්ලියෙන් කසාද බදින්න පෙලබෙනවා කියලා කියනවා. 

එහෙත් මම හිතන්නේ දෙදෙනෙක් කසාද බදින්නේ පල්ලියෙන්ද, පෝරුවෙන්ද, රෙජිස්ට්‍රාර් කෙනෙක්ගෙන්ද යන්නට වඩා වැදගත්වන්නේ ඔවුන් සිය විවාහ ජීවිතවල ආධ්‍යාත්මික, ආගමික/අනාගමික, සංස්කෘතික සහ අනන්‍යතාවයන්ගේ පදනම ලෙස තෝරාගන්නේ කුමක්ද? කියන එකයි. පවුලක් කියන්නේ මාලිගාවක් නම් කිසිවෙක් එවැන්නක් වැලිමත ඉදිකීරීමේ තේරුමක් නෑ.     

මාකස් ප්‍රියන්ත පෙරේරා
31/05/21

Friday 28 May 2021

ලංකාව - සල්ලිවලට ඕනෑ කුනුගොඩක් කරගහන රටක්?

සල්ලි හම්බවෙනවා නම් ඕනෑ කුනුගොඩක් ගොඩගහගන්න රටක් වෙලා දැන් ලංකාව. 

කුවේටයේ ඉදන් ඉංදියාව වෙනකම්ම වරායවල් ගානක් වැද්ද නොගත්ත මේ නැව කොලඹ වරායට එන්න දෙන්නේම මොනවා හරි වුනොත් වන්දි හම්බවෙනවානේ කියන චේතනාවෙන්මයි.

ඒත් ඔය හම්බවෙන වන්දියට පුලුවන්ද මේ වෙච්ච විනාශය ආවරණය කරගන්න. බෑ. කිසිසේත්ම බෑ. දැන් මීගමුවේ ඉදන් උස්වැටකෙයියාවට නෙමේ පානදුරේ ඉදන් හලාවත දක්වාම මේ ගිනිගත් නැව කල විනාශය බලපෑම් කරනවා කියලයි කියන්නේ. 

මීගමුව පැත්තේ වෙරළ කළු වෙලා, මුහුදට විස රාසායන ද්‍රව්‍ය මුසුවෙලා, කැස්බෑවෝ රංචු පිටින් මීගමුවේ දුන්ගාලපිටියට ගොඩගහන්න පටන් අරන්ලු, ප්ලාස්ටික් කෑලි මාලූන්ගේ වරමල්වලට පවා ඇතුල්වෙලාලු, ධීවරයින්ට මුහුදු යන්න විදිහක් නෑ, වෙරළ අද්දර ධීවර කර්මාන්තයේ නිරතවුනු සුලුපන්න ධීවරයා ඉවරෙටම ඉවරයි. මීගමුව මෝය ඔස්සේ මේ ව්නාශය මීගමු කලපුවටත් පැතිරෙන එක වලක්වන්න පිටිපන මහපාලම ගාව පොලිතීන් එලාගෙන, දැල් එලාගෙන විශාල පරිශ්‍රමයක් දරනවා. 

ඇයි මේ? ඇයි මේ කොහවත් යන කුනු නැව් ලංකාව වැද්දගන්නේ ?? වැද්දගෙන මේ තරම් විනාශයක් කරගන්නේ??? දැන් ඔය හම්බවෙන වන්දියෙන් පුලුවන්ද වෙච්ච විනාශය ආවරණය කරගන්න. පරිසරයට වෙච්ච විනාශය, අපේ මුහුදුට, අපේ වෙරළට වෙච්ච විනාශ ආවරණය කරගන්න පුලුවන්ද? බෑ. කොහෙත්ම බෑ. 

රට ආර්ථික අහේනියක ඉන්න බව ඇත්ත. ගත්ත ණය ගෙවාගන්නවත් විදිහක් නැතිව ඉන්න බවත් ඇත්ත. ඒත් වන්දි හම්බවෙනවා කියලා මෙහෙම කුනුගොඩවල් කරේ තියා ගන්නවාද? 

කවුද කිව්වේ ඔය වගේ නැව් විනාශවුනත් වන්දි හම්බවෙනවා නේ කියලා? ගිය පාර නැගෙනහිර වෙරලේ ගිනිගත්ත නැවද මේ පාලකයින්ට ඉගැන්නුවේ මේ වගේ නැව්වලින් වන්දි ගන්න පුලුවන් කියල? කෝ ඒ ලැබුන වන්දි? ඒකට මොකද වුනේ? ඒක ගැන හෙව්වොත් මේ වගේ නැව් ලංකාවේ වෙරලට එන්න දෙන්නේ කවුද? ඒ ඇයි කියලා හෙලිකරගන්න පුලුවන්ද? 

හොරාකාලා පුරුදුවුනාහම මරන්න ගෙනියද්දීත් වදකයාගේ බෙරය හරි හොරකම් කරන්න තිබ්බ නම් හොදයි කියලා හිතන ජාතියේ හොරු ඉන්නවා කියලා කියනවා වගේ නැව් ගිනිගෙන මුහුදම කලුවෙලා ගියත් වන්දි ලැබෙනවා නේ කියන පාලකයෝ තමයි අපිට ඉන්නේ...

මුන් ගහකොල, සතා සිව්පාවා, ගොඩබිම විතරක් නෙමේ මුහුදත් විනාශකරලයි පස්ස බලන්නේ. එහෙම කාලකණ්ණි ආන්ඩුවක් තමයි අපිට ඉන්නේ..

මාකස් ප්‍රියන්ත පෙරේරා.
28/05/21

Friday 21 May 2021

විශ්‍රාමයන නීතිපති හෙලිනොකරන පාස්කු කුමන්ත්‍රණය

පාස්කු ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව විශ්‍රාමයන නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඉකුත් 18/05/21 සිරස රූපවාහිනී වැඩසටහනකදී ප්‍රකාශකරන ලදී. 

පාස්කු ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇතයි ලොවපුරාම ජනයා කියන්නට ගත්තේ නීතිපතිවරයා එසේ කියන්නට වසර දෙකකට පෙරය. එනම් පාස්කු ප්‍රහාරය එල්ලවූදා සිටය. 

මහජනයාට එසේ හැගීගියේ පාස්කු ප්‍රහාරය එල්ලවී විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් Facebook ඇතුළු සමාජ මාධ්‍යයවලට මුදාහැර තිබූ ලිපියක් නිසාය. එකී ලිපියට අනුව ශ්‍රී ලංකා පොලීසියේ ඉහලම නිලධාරීන් පිරිසක් පාස්කු ඉරුදින ලංකාවේ පල්ලිවලට මෙන්ම අගනුවර හෝටල්වලටද ප්‍රහාරයක් එල්ලවිය හැකියැයි කලින් අනතුරු අගවා තිබුනු බව හෙලිවිය. ඔවුන් එය දැනගත්තද ප්‍රහාරය වැලැක්වීමට කිසිවක් නොකලේ ඇයිදැයි මහජනයා ප්‍රශ්න කරන්නට විය.

එකී පෙලගැස්මත් සමග මෙම ප්‍රහාරයේ අරමුණ රට තුල ප්‍රබල ආන්ඩු විරෝධී පෙලගැස්මක් ඇතිකර ඒවන විටත් අප්‍රසාදයට පාත්‍රව පැවැති යහපාලන රජය කෙරෙහි ජනතා අප්‍රසාදය තවතවත් ඉතා තීව්‍ර ලෙස වර්ධනයකර යහපාලන ආන්ඩුව ඉතිහාසයෙන්ම අතුගාදැමිම හෙවත් ප්‍රහාරය පිටුපස බල දේශපාලන පෙළගැස්මක් තිබුණිදැයි යන කසුකුසුවක් පැවතිනි. එවැනි කසුකුසුවකට හේතුවන්නේ අගමැති S.W.R.D. බණ්ඩාරනායක ඝාතනයේ සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ ඇසක් අහිමිවිමේ බෝම්බ පිපිරිම දක්වා නිමක් නැති ඝාතන ලංකා දේශපාලනයේ මැතිවරණ සිතියම සමග ගැට ගැසී ඇති නිසාය.

එකී එලඹගැනීම් තවතවත් තහවුරු කරමින් ප්‍රහාරයෙන් සතියක් යන්නට මත්තෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශයට පත්කලේය. ඒ ඔහුව පොහොට්ටුවේ නිල අපේක්ෂාකයා ලෙස ඉදිරිපත් කිරීමට තියා, අඩුම වශයෙන් ඒ වනවිට පොහොට්ටුව සිය අපේක්ෂකයා තෝරාගැනීම සදහා රටපුරාම පවත්වමින් පැවති සමීක්ෂණයවත් අවසන්වී නොතිබි තත්වයකය. එමෙන්ම ඒ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවයවත් ඉවත්කරගෙන තිබුනේ නැත. එහෙත් පාස්කු ප්‍රහාරය එල්ලවී සතියක් යන්නට මත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනබව ලහි ලහියේ ප්‍රකාශ කිරීම බොරදියේ මාළු බෑමක්ද? නැතිනම් කිසියම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක කූටාප්‍රප්තියක්දැයි මහජනයා සැකකරන්නට විය. 

අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා 'ප්‍රහාරයක් සිදුවෙන බව දැන සිටියත් මෙතරම් විශාල ප්‍රහාරයක් සිදුවේ යැයි' නොසිතූ බව දැක්වීමද, හිටපු ජනාධිපතිවරයාට සහ පොලීසියේ ඉහල නිලධාරින්ට ප්‍රහාරය ගැන අනතුරු ඇගවීම් කලින්ම දැනුම් දුන් බව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ප්‍රකාශ කිරීමද, පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දෲඩ කුමන්ත්‍රණයක් දියත්වී ඇති බව තවදුරටත් ඉස්මතු කරන්නටවිය. 

මෙකී සැකය තව තවත් තහවුරු කරමින් සහරාන්ගේ මුස්ලිම් අන්තවාදි ක්‍රියාකාරකම් ගැන පරීක්ෂණ පවත්වමින්, සහරාන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කරගත් පොලිස් පරීක්ෂක නාලක සිල්වා මහතාව නාමල් කුමාර නම් ආදිසි පුද්ගලයෙක් හෙලිකල ඊනියා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන ව්‍යාජ තොරතුරු ඔස්සේ අත්අඩංගුවටගෙන සහරාන් සහ ඔහුගේ පිරිවර අත්අඩංගුවට පත්වීම වැලැක්වීමට කටයුතුකල බව හෙලිවීමද පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රණයක් දියත්වී ඇති බව නැවැත නැවැත මතුකරන්නට විය. 

ප්‍රහාරයෙන් පසුව සිදුකල විමර්ශනවලදී රටපුරාම ඉස්ලාමීය ත්‍රස්තවාදයක් උඩුදුවා ඇතිබවක්ද, ඔවුන් කඩු, කිනිසිවල සිට මරාගෙන මැරෙන බෝම්බ දක්වා අවිආයුධවලින් සන්නද්ධවී සිට ඇති බවද, ඔවුන්ගෙන් ඇතැමෙක් කලින් පැවැති රාජපක්ෂ රජය යටතේ ආරක්ෂක අමාත්‍යංශයෙන් වැටුප් ලබා සිටි පිරිසක් බවද පෙනීයන්නට විය. එමෙන්ම ප්‍රහාරය එල්ලවන විට ජාතික ආරක්ෂාව බිදවැටී, යහපාලන රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන සහ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දර මහතාව පවා ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැදවන තත්වයක් උද්ගතවී තිබුනි. එසේවුයේ හිටපු ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා විරෝධීව පැවති රජය පැවතියෙදිම මහින්ද රාජපක්ෂ මහතා සමග නව රජයක් පිහිටවීමට ගොස් එය අසාර්ථකවූ තත්වයක් තුල ඇතිවූ විරසකය නිසාය. ඒ ඔස්සේ ජාතික ආරක්ෂාවේ හිඩසක් නිර්මාණයවී තිබූ බව සහ ඒ හිඩස ඔස්සේ ආරක්ෂක ජාලයන්ට මුවාවී කිසියම් හෝ ප්‍රහාරයක්, විනාශයක්, කිරිමේ හැකියාව වීවෘතව තිබුනු බව ජාතික ආරක්ෂක වැඩපිළිවෙළ පිලිබද අභ්‍යන්තර තොරතුරු දන්නා අයට රහසක් නොවූ බවද හෙළිවන්නට විය. 

ඉන් උපරිම ප්‍රයෝජනය ගෙන ලොව පුරාම මධ්‍යකාලින යුගයේ මෙන් ඉස්ලාමීය ආගමික ක්ලිෆාට් රාජ්‍යයක් (Caliphate) බිහිකිරිම පිළිබද උනන්දුවූ සහරාන්ලා ඇතුළු ඉස්ලාමීය අන්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකරමින්,  සිය දිවි නසා ගනිමින්, ඉස්ලාමීය ආගමික ක්ලිෆාට් රාජ්‍යයක් පිළිබදවු සිතියමට ලංකාවද ඈදීමට කටයුතු කලද, ප්‍රහාරය පිටිපස හෝ ප්‍රහාරය ගැන තොරතුරු කලින්ම හෙළිවී තිබියදීත්, ප්‍රහාරය වැලක්වීමට කටයුතු නොකරමින් ප්‍රහාරකයින්ට වක්‍රකාරව හෝ සහය දැක්වූ වෙනත් බලවේග වුයේදැයි යන සැකයද නොබදව ඉතිරිව තිබුණි. 

මේ සැකය වඩ වඩාත් මෝදුවූයේ පසුගිය ජනාධිපතිවරණයේදී පාස්කු ප්‍රහාරය මහා බැංකු වංචාවත් අභිබවමින්, පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුන්ගේ සෝසුසුම් ගැන පවා අනුකම්පා විරහිතව, පොහොට්ටුවේ වේදිකාවල සිය දේශපාලනය ව්‍යාපෘතිය සදහා පාස්කු ප්‍රහාරය නිර්ලැජ්ජිතව ප්‍රචාරක වැඩපිළිවෙලක් ලෙස භාවිතා කිරිම තුලය. ''තුවක්කුව බැන්ඳේ කවුද කියා හෙලිවෙනවලු දඩයම කරතියන් යද්දී'' යැයි යන ප්‍රකට කියමන සමාජ සහ දේශපාලන වේදිකාවල සාකච්චාවට ලක්වෙන්නේ එවැනි පසුබිමකය. ඇත්තවශයෙන්ම, පාස්කු ප්‍රහාරය ලංකාවේ ජනාධිපතිවරණයේ ප්‍රතිපල සම්බන්දයෙන් පමණක් නොව ඉංදියාවේ මහමැතිවරණයේ ප්‍රතිපල සම්බන්දයෙන්ද අතිශයින් බලපෑම් කළේය. පාස්කු ප්‍රහාරය එල්ල වෙන්නේ ඉන්දියාවේ මහාමැතිවරණ සමයේය. එකී මැතිවරණය තුල අගමැති මෝදීගේ භාරතිය ජනතා පක්ෂය මුළුමනින්ම පාහේ ස්ථානගතවී තිබුණේ මුස්ලිම් විරෝධයක් මතය. ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ලවන බව ඉන්දියාව දිගින් දිගටම අනතුරු අගවා තිබිම අගමැති මෝදී යටතේ ඉන්දියාව ජාතික ආරක්ෂාව සම්බන්දයෙන් කෙතරම් ඉදිරියක පසුවන්නේද, ශ්‍රී ලංකාව කෙතරම් පසුබෑමක පසුවන්නේද, යන්න ජනගත කිරිමට මෝදීගේ භාරතිය ජනතා පක්ෂයට හොද අවස්ථාවක් සැලසිණි. ඇතැම් විචාරකයින්ට අනුව ඉන්දියානු දේශපාලනය තුල මුස්ලිම් විරෝධය සහ ජාතික ආරක්ෂාව කේන්ද්‍රීය සාධකයක් බවට පත්වීමට සමාන්තරව එවැනිම මාතෘකාවක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය තුල පොහොට්ටුවේ කේන්ද්‍රීය මාතෘකාව බවට පත්වීම එහි අපේක්ෂකයාවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දීය දේශපාලන පෙලගැස්ම යම් ආකාරයක් අනුමැතියක් අත්කර දෙන්නක්ද විය. 

මේ ආකාරයට ක්‍රමයෙන් මූදුවෙමින් පැවති පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවුයේද? තවදුරටත් එකී කුමන්ත්‍රණකරුවන් ක්‍රියාත්මකද? යන සැකය නැවත සාකච්චාවට පත්වෙන්නේ ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපති කොමිසම සක්‍රියකර එහි සාක්ෂි විභාගයන් නැවත අලුත්වටයකින් ඇරබීමත් සමගය. විවෘත කොමිසමක්ව පැවති එකී කොමිසමේ සාක්ෂි විභාගයේදී ඇතැම් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ජනමධ්‍යට පවා විවෘත නොකර රහසිගතව ලබාගැනිමට කටයුතු කිරීම තුල මහජනයාට හෙළිනොකළ යුතු තොරතුරු සහ සාක්ෂි තිබේදැයි යන සැකයක් මතුවීම තුල පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතිනේද යන සැකය නැවත කරලිය කැදවන ලදී. එම සැකය වඩාත් තහවුරුකලේ කොමිසමේ අවසන් වාර්තාව පවා මහජනයාට විවෘත නොවීම තුලය. කාදිනල්තුමා ඇතුළු ශ්‍රී ලංකා කතෝලික සභාවටද මුළු වර්තාවම ලබාදුන්නේ ඒගැන හඩක් නැගිමකින් අනතුරුවය. 

මෙලෙස මුල් බැසගෙන තිබූ පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවුයේද? යන සැකය තවදුරටත් සැකයක් නොව, පැහැදිලිවම සාක්ෂි සටහන් ඔස්සේ නිගමනයකට පැමිණිය හැකි කාරණයක්ය යන්න විශ්‍රාමයන නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රකාශය තුල ගම්‍යවේ. ඇතැම්විට විශ්‍රාමයන නීතිපති දප්පුල ද ලිවේරා මහතා එවැනි ප්‍රකාශයක් සිදුකරන්නේ නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉල්ලිම් ප්‍රකාරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සහ නඩු විභාගවෙතටයෑමට ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන අංශය අවශ්‍ය තරම් වේගයකින් කටයුතු නොකිරීම සහ ජාතික ආරක්ෂාවේ නාමයෙන් ජාතික බුද්ධි අංශ ඔස්සේ එල්ලවන විවිධ නියාමනයන් නිසා වියහැක. ඇත්තවශයෙන්ම, ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයේ ඇතැම් නිලධාරීන්ගේ නම් කොමිසමේ වාර්තාව ඔස්සේ හෙළිවී ඇතිබව පාස්කු ප්‍රහාරය පිලිබද පාර්ලිමේන්තු විවාදයේදීද කියවිණි. එහෙත් මෙරට අපරාද නඩු 27, 000 ක් අවසන්කළා යැයි කියන විශ්‍රාමයන නීතිපති දප්පුල ද ලිවේරා මහතා පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවී ඇතයි යනුවෙන් කල ප්‍රකාශය කිසිසේත්ම සුළුවෙන් සැලකිය නොහැක්කකි. ඇතැම්විට පාස්කු ප්‍රහාරය ගැන කිසියම් නඩුවක් පැවරුනහොත් මිටත් වඩා තොරතුරු හෙළිවේ යැයි යන සැකයක් නිසා පාස්කු ප්‍රහාරය පිළිබද නඩු නොපවරණ තැනකට  කිසියම් පාර්ටශවයක් කටයුතු කරමින් සිටින්නේදැයි යන සැකයක් එතුමාට තිබිමට පුළුවන. 

එහෙත් පැහැදිලිවම ශ්‍රී ලංකා කතෝලික සභාව මේ පිලිබදව නිහඩව නොසිටිනු ඇත. දිගින් දිගටම නඩු නොපවරන තත්වයක් මතුවුවහොත් දැනට ඉදිරිපත්වී ඇති සාක්ෂි විමර්ශනය ගැන සටහන් සහ  පාස්කු කොමිසමේ වාර්තාවවුවද නැවත සමාලෝචනය කිරීමට, නැවත විමර්ශනය කිරීමට කිසියම් ජාත්‍යන්තර ආයතනයක් වෙතයාමට ශ්‍රී ලංකා කතෝලික සභාවට හැකියාවක් ඇත. වසර තිහකට පෙර උතුරු අයර්ලන්තයේ Hugh Mullan පියතුමා ඇතුළු පිරිසක් ඝාතනය කල 'බැලිමර්ෆි සමුහ ඝාතනය' (Ballymurphy Massacre) ගැන තොරතුරු හෙළිකර ගත්තා වැනි ක්‍රියාමාර්ගයකටවුවද ප්‍රවේශවීමට ශ්‍රී ලංකා  කතෝලික සභාවට ඕනෑ තරම් ඉඩප්‍රස්තාව තිබේ. එහෙත් පවත්නා කොරෝනා වසංගත තත්වය සහ නඩු පවරන්නේ යැයි ශ්‍රී ලංකා රජය දිගින් දිගටම ලබාදෙන පොරොන්දුව ඉටුකිරිමට ඔවුන්ටද කාලයක් දියයුතුව ඇත. 

කෙසේවෙතත්, පාස්කු ප්‍රහාරයට මාස 25ක් ගතවෙන අදවන දිනයක අප නැවත මතක් කල යුත්තේ පාස්කු ප්‍රහාරය ගැන යුක්තිය ඉටුවීම ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ට සහ කිතුනුවන්ට සැනසීමක් අත්කර දෙන්නක් වන අතර පාස්කු ප්‍රහාරය ගැන සෑම සියලු තොරතුරක්ම හෙළිවීම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය තවුරුවීමට වඩ වඩාත් හේතුවන බවයි. ඒ  සදහා අප සියල්ලන් එකට පෙලගැසෙමු. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
21/05/21

Wednesday 19 May 2021

කොස්, පොලොස් සහ ඇපැල්

ගිය සුමානේ මම මේ ටින් තෝරතෝර ඉද්දී සුද්දෙක් ඇවිල්ලා කියනවා මේවා නම් මරු, ඌරු මස් වගේමයි: Absolutely fantastic, කියලා. මම එයාට කියන්න ගියේ නෑ ඔව්, ඔව් මම දන්නවා. අපි පොඩිකාලේ ඉදන් ඕවා කලා තියෙනවා. සුද්දෝ අපිට ඕවා කියලා දෙන්න ඕනෑ නෑ, කියලා..

අපි මොකටද අපි දන්න කියන දෙයක් අලුතින් රසවිදින මිනිහෙක්ට එහෙම පල්පාට් දාන්නේ? තවතවත් ඔහුව දිරිමත් කරනවා මිසක්.

ඒත් මම ඔහුගෙන් ඇහැව්වා ''උබ කොහොමද මේවා ඉව්වේ?'' ''මොකක්ද රෙසපි එක?'' කියලා. එතකොට මට මේ හාදයා YouTube එකෙනුයි, වෙබ් සයිට්වලිනුයි රෙසපි බර ගානක් පෙන්නුවා .

ඊට පස්සෙ මගෙන් ඇහැව්වා අපි කොහොමද මේවා උයන්නේ කියලා...YouTube එකේ උයන "අපේ අම්මා" උයන්නේ සිංහලෙන් විතරක් නිසා මට සිද්දවුනා ඒ ටික ඒ හාදයාට තේරුම් කරලා දෙන්න. ඒ වගේම අපේ රටේ, අපේ අම්මලා, කාන්තාවෝ පොලොස් හදන හැටි ගැනත් මම දන්න ටිකත් කිව්වා.

ඊට පස්සේ මම ඔහුට වරකා ටින් එහෙමත් තියෙනවා කාලා බලන්න කිව්වා. ඔහු මගෙන් ඇහැව්වා ඊට අමතරව තව මොනවද මේ Jack Fruit වලින් උයන්නේ කියලා. මම ඔහුට කොස්, පොලොස්, හෙරලි, Brazil nut වගේ තියෙන කොස් ඇට ගැනත්, කිරිකොස්, වැල / වරකා ගැනත් කිව්වා. ඊට අමතරව කොස් කොළ, කොස් ලී ගැනත් සදහන් කලා.

එතකොට ඔහු කියපු දෙයක් තමයි මේ වගේ රටවල (බ්‍රිතාන්‍යයේ/යුරෝපයේ) එහෙම ගස් නෑනේ කියලා. ඔහු එයින් අදහස් කලේ කොස් ගස් නෑ කියන එක නෙමේයි; කොළයක ඉදන් කද දක්වා ප්‍රයෝජනයට ගත හැකි ගස් නෑ කියන එකයි.

මම ඔහුගෙන් ඇහැව්වා ''ඇපැල් ගස් ටිකක් ඒ වගේ නේද?'', ''ඇපැල් ගෙඩි කන්න, උයන්න, රසකැවිලි/ඩෙසර්ට්(dessert) හදන්න, සයිඩර් (Cider) ඉදන් ඇපැල් යුස පානයන් හදන්න, ඌරුමස්, සලමන්, මැකරල් වගේ මාළු දුම් ගස්සන්න ලී දඩු වශයෙන් භාවිතා කරන්න, ඇපැල් කොළ, දළු, උදරාබාධ, සමේ රෝගවලට, තම්බලා, කොටලා එහෙම ගන්නවා නේද''? කියලා.

"ඇත්තම නේන්නම් උබ කියනකම් මට ඒක මතක් උනේ නෑනේ" කියලා ඔහු කිව්වා. මම කිව්වා කොස් (Jack Fruit) උනත් අපේ රටවල එහෙම තමයි. එහි වටිනාකම අවබෝධ වෙන්නේ මෙහෙම ටින් වලින් හරි, මර්කට් එකෙන් හරි සල්ලිදීලා ගන්න ගියහමයි, එතකන් තවත් නිකන් බෝගයක්, අතුරු ආහාරයක් (staple food) විතරයි කියලා...

ඇත්තටම එහෙම නෙමේද? වටිනාකමක් එකතුකරනකම් වටිනාකමක් නෑ නේද? කොස් උනත්, ඇපැල් උනත් එහෙම නෙමේද? ගස්යට වැටිලා යනකම්, ඔහේ තියෙනකම් කිසිම වටිනාකමක් නෑ. වටිනාකමක් එකතුකෙරුවොත්, මිලක් එකතුකෙරුවොත්, තමයි වටිනාකමක් ලැබෙන්නේ...

එහෙම වෙන්න ඕනේ නෑ...

හැම දේකම වටිනාකමක් තියෙනවා කියලා අවබෝධ කරගෙන ජීවත්වුනාම, හැමදෙයක්ම රැක ගන්නවා විතරක් නෙමේ, හැම දෙයක්ම හොදින් ‍රසවිදිනත් පුලුවන්. අවශ්‍යවන්නේ වටිනාකමක් තියෙනවා කියලා අවබෝධකරගෙන, වටිනාකමක් ඇතිව ජීවත්වීමයි !!!

අපේ ගම්වල කොස් කාපු හැටි ගැන මේ ලිපියෙන් කියවන්න - මීගමුවේ කොස් කෑම

මාකස් ප්‍රියන්ත පෙරේරා
19/05/21

Saturday 15 May 2021

ඊශ්‍රායල-පලස්තීන පිලිබද ප්‍රතිපත්තිය කුමක්ද ?


පි කිසිසේත්ම ඊශ්‍රායලයේ 'දතට දතක්ද, ඇසට ඇසක්ද' යන ප්‍රතිපත්තිය සමග සිටගත යුතු නැත. 

අප පෙනීසිටිය යුත්තේ යුක්තිය, සාමය සහ සහජීවන වෙනුවෙනි. 

එක්දිනකට පමණක්වත් ඊශ්‍රායලයට ගිය එකම පාප්වරයාවූ 6 වෙනි පාවුලු පාප්වහන්සේ සදහන් කල ආකාරයටම යුක්තිය ඉටුකිරීමකින් තොරව සැබෑ සාමයක් අත්කර ගත නොහැකි බවත්, යුද්ධයෙන් ඇතිකල හැකි සාමයක් නැති බවත් අපි පිලිගත යුතුය.

ඊශ්‍රායලය සහ පලස්තීනය යන රාජ්‍යයන් දෙකේම පැවැත්ම පිළිගෙන එකිනෙකා කටයුතු කලයුතුය යන එක්සත් ජාතීන්ගේ 'රාජ්‍යයන්-දෙකේ' විසදුම හැර ඊශ්‍රායල-පලස්තීන අර්බුදයට වෙනත් විසදුමක් නැතය යන්න අප අවබෝධ කරගත යුතුය.

එමෙන්ම 'ජෙරුසලම' යනු ජුදා, ක්‍රිස්තියානි, මුස්ලිම් යන සියළු ආබ්‍රහමික ආගම්වල 'ශුද්ධවූ නගරය' බව, සාමයේ නගරය ලෙස සියලු පාර්ශව පිළිගත යුතුය. 

මාගේ ක්‍රිස්තියානි මිතුරන්ගෙන් මම ඉල්ලා සිටින්නේ වතිකානුව 'ඊශ්‍රායලය සහ පලස්තීනය' සම්බන්දයෙන් දක්වන 'ප්‍රතිපත්ති' සොයා බලා හොදින් අධ්‍යනය කරන ලෙසයි. 

වතිකානුව කිසිසේත්ම ඊශ්‍රායල හෝ පලස්තීන ක්‍රියාමාර්ගයන් වෙනුවෙන් පෙනීසිටින්නේ නැත. වතිකානුවේ ඊශ්‍රායල-පලස්තීන ප්‍රතිපත්ති මුළුමනින්ම පදනම්වී ඇත්තේ යුක්තිය, සාමය, සහජීවනය සහ ජෙරුසලමේ අයිතිය පිළිබද ප්‍රතිපත්තිය මත පමණක් බව තරයේ එත්තුගත යුතුය. 

මට නම් ලංකික කිතුනුවන්ට කීමට ඇත්තේ ඊශ්‍රායල-පලස්තීන අර්බුදය "ජාතිවාදීන්ගේ සහ වර්ගවාදීන්ගේ තේරුම්ගැනීමක්වු ජුදා - මුස්ලිම් රාමුවක" සිිරවී නොසිට, දූපත් මානසිකත්වයකින් එපිටට ගිය විශ්වීය අනන්‍යතාවයක් සහ දේශීය පදනමක් සහිත කිතුනුවන් විය යුතු බවය. 

We should not stand with Israel's 'an eye for an eye, a tooth for a tooth' policy. 

We should stand for peace and co-existence. In order to achieve real peace, justice must be fulfilled. 

We should support the Israeli–Palestinian two-state solution.

All parties should recognise Jerusalem as a holy city of Abrahamic religions of Judaism, Christianity and Islam. 

මාකස් ප්‍රියන්ත පෙරේරා

15/05/21