This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 14 September 2023

චැනල් 4 - කාදිනල්, ශෙහාන්, කීර්ති, චම්පික, අනුර සහ සිරිල් ගාමිණී පියතුමා

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශනය වූවායින් පසුව ශ්‍රී ලංකාව තුලත් රටින් පිටතත් දිගහැරුනු, අදටත් දිගහැරෙමින් ඇති කතිකා, සංවාද, විශ්ලේෂණ, සම්මුඛ සාකච්ඡා , මාධ්‍ය සාකච්ඡා, පුවත්පත් නිවේදන, ලිපි, වාර්තා, තීරු ලිපි සහ වෙබ් ලිපි ආදි මාධ්‍ය ප්‍රකාශණ රාශියකටම පසුගිය සතිය පුරාම අවධානය යොමු කලෙමි.

අවම වශයෙන් 100 කටත් වඩා වැඩිවු එකී මාධ්‍ය ප්‍රකාශිතයන් අතරින් මට තවමත් මුළුමනින්ම අවධානය යොමුකල හැකිවුයේ 42කට පමණි. ඒ අතරින් දේශිය වශයෙන් වැඩි පිරිසක් නැරබුවේ යැයි සදහන් වන සම්මුඛ සාකච්ඡා සහ මාධ්‍ය සාකච්ඡා 07 ක් සම්බන්ධයෙන් මගේ නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. එකී වැඩසටහන් පහත පිලිවලින් මෙසේය:

1. කාදිනල්තුමා සහ සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධ වූ මාධ්‍ය හමුව,

2. හිරු මාධ්‍ය නාලිකාව දයාන් ජයතිලක මහතා සමග පැවැත්වූ සාකච්ඡාව.

3. චමුදිත සමරවික්‍රම ශෙහාන් මාලක සමග පැවැත්වූ සාකච්ඡාව.

4. සිරිල් ගාමිණී පියතුමා කපිල ගුණරත්න මහතා සමග පැවැත්වූ සාකච්ඡාව.

5. චමුදිත සමරවික්‍රම කීර්ති රත්නායක සමග පැවැත්වූ සාකච්ඡාව.

6. පාඨලී චම්පික රණවක මහතා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව

7. අනුර කුමාර මහතා බදුල්ලේ පැවැත්වූ රැස්වීම.

චැනල් 4 වැඩසටහන විකාශනය වුවායින් පසුවදාම පැවැත්වූ කාදිනල්තුමා සහ සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධ වූ මාධ්‍ය හමුව චැනල් 4 වැඩසටහන ගැනත්, ඒ වන විටත් එකී වැඩසටහන විකාශනය වීමට මත්තෙන් පවා ලංකාවේ පාර්ලිමේන්තුව තුල පැන නැගී තිබු විවිධ කරුණු කාරණා ගැනත් අවධානය යොමුකර තිබුනි.

එහිදී කාදිනල්තුමා දැක්වුයේ 2019 පැවති ජනාධිපතිවරණයේදී තමා ගෝඨාභය රාජපක්ෂට චන්දය දෙන්න කියා හෝ සජිත් ප්‍රේමදාසට චන්දය නොදෙන්න කියා හෝ කිසි තැනක නොකී බවයි...එසේ කියා ඇත්නම් සාක්ෂි ඉදිරිපත් කරන මෙන් අභියෝගයක් ද කලේය. "උදේම ගොස් චන්දන දෙන්න" කියා මිස 'අරයට හෝ මෙයාට' චන්දය දෙන්න යැයි නොකී බව කීහ. තවද 69 ලක්ෂයක් දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට චන්දය දුන්නේ කාදිනල්තුමා හෝ වෙනත් ආගමීක නායකයින්ගේ කීම අසාදැයි විමසූ සිරිල් ගාමිණී පියතුමා කාට චන්දය දෙන්නේද? නොදෙන්නේද? යන්න තීරණය කිරීම මිනිස්සුන්ගේ වැඩක් මිස ආගමික නායකයින්ගේ වැඩක් නොවන බව ද කීහ. පොදුවේ චැනල් 4 නාලිකාව විකාශනය කල වාර්තා වැඩසටහන නගන චෝදනා ගැනත්, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනත්, ජාත්‍යන්තර වශයෙන් පිලිගත හැකි විමර්ශනයක් කරන මෙන් ඉල්ලා සිටීම කාදිනල්තුමා සහ සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධ වූ එම මාධ්‍ය හමුවේ අරමුණ විය.

ඊට සමාන ඉල්ලීමක් හිරු මාධ්‍ය නාලිකාව දයාන් ජයතිලක මහතා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේද ඉදිරිපත් විය. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජාත්‍යන්තර සංඝටක සහිතව අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරව පිලිගත හැකි පරික්ෂණයක් සිදුකල යුතු බවත් එසේ නොවුනහොත් බිලියන 2.6 වන ලෝක කිතුණු ප්‍රජාව තුලින් පැනනැගෙන විරෝධය ලංකාවට දැඩි ආනිසංස කැදවන දරුණු කළුවලාවක් බවට පත්වෙන බවත් ඔහු සහසුද්දෙන්ම කියාපෑහ.

එමෙන්ම පිලිගත හැකි පරීක්ෂණයක් පවත්වා නිසි නිගමයක් ලැබෙන තුරු සුරේෂ් සලේ සිය තනතුරුවලින් ඉවත්විය යුතු බවද ඔහු ද සදහන් කලේය. සුරේෂ් සලේ පමණක් නොව නිලන්ත ජයවර්ධන, දේශබන්දු තෙන්නකෝන් ආදී පොලිස් නිලධාරීන්ද තාවකාලිකව හෝ ඉවත්වී අපක්ෂපාතී පරීක්ෂණයකට ඉඩදිය යුතු බව කාදිනල්තුමා සහ සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධ වූ මාධ්‍ය හමුවේද ඉදිරිපත් කරන ලද ඉල්ලීමකි.

ජාත්‍යන්තර වශයෙන් පිලිගත හැකි පරීක්ෂණයක අවශ්‍යතාවය දිගින් දිගටම පෙන්වාදුන් හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වු දයාන් ජයතිලක මහතා දැක්වූ එක් ප්‍රබල අදහසක් වූයේ එක් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙකුගේ ක්‍රියාපටිපාටියක් නිසා සමස්ථ රටක්, ජනතාවත් උවදුරේ නොවැටිය යුතු බවයි.

තවද, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කල සහරාන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම සමග ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරීන් පවත්වාගෙන ගිය සම්බන්ධතා පිලිබදව ඉදිරිපත් වී ඇති තොරතුරු ශ්‍රී ලංකාවට අතීශයින් අවාසිදායක බව ද දයාන් ජයතිලක මහතා පෙන්වා දුන් කරුණු අතර විය. එහිදී ඔහු උදාහරණ ලෙස ගත්තේ දෙහිවල බෝම්බය පුපුරුවාගත් ජමීන්ව හමුවීමට බුද්ධි නිලධාරීන් යෑම, පොලිස් අත් අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ සමාජිකයා නිදහස් කරගැනීමට හමුදා බුද්ධි අංශය සම්බන්ධ වීම ආදී කරුණුය.

සහරාන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම සමග ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරීන් පවත්වාගෙන ගිය සම්බන්ධතා පිලිබදව කියවෙන වාර්තාවක් ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ විශේෂ කමිටුවක් විසින් මේ දිනවල සකසමින් සිටින බවත්, එකී ලැයිස්තුව ඉදිරියේදී ඉදිරිපත් කරන බවත්, කාදිනල්තුමා සහ සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධ වූ මාධ්‍ය හමුවේදී දැක්වීය. එම තොරතුරු ලැයිස්තුවට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කල වාර්තාවලින් මෙන්ම හිටපු පොලිස් පරීක්ෂක ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල දිවුරුම් ප්‍රකාශය ඔස්සේ ද ඉදිරිපත් වූ කරුණු ඇතුලත් වන බව දැක්වීය.

දයාන් ජයතිලක මහතා හිරු නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී රාජපක්ෂ කදවුරෙන් නිතර මතුකරන ප්‍රශ්ණ දෙකක් සම්බන්ධයෙන්ද ඔහු සිය අවධානය යොමුකලේය. එකක් නම්

* "මුස්ලිම් සහරාන් සිංහල බෞද්ධ නායකයෙක් බලයට ගෙන ඒමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කරයිද?"

අනෙක නම්

* "යහපාලනය දියාරු වෙලා තිබුනේ, පොහොට්ටුව කොහොමත් දිනන්න හිටියේ එහෙව් එකේ බෝම්බ පුරුවයිද?" යන්නය.

මුල් කාරණය සම්බන්ධයෙන් 1978 දී රතු බ්‍රිගේඩ් නම් කල්ලිය විසින් ඝාතනය කල හිටපු ඉතාලි අගමැතිවරයෙකුවු Aldo Moro ගේ සිද්ධිය උදාහරණයට ගත් ඔහු ඝාතකයන් ඉෂ්ට කලේ කාගේ උවමනාවක් දැයි ඝාතකයන් පවා දැන නොසිටින්නට ඇති බවට තර්ක කලේය.

තවද රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදීම මහින්ද රාජපක්ෂව අගමැති කරමින් බිහිකල දින 52කේ ආණ්ඩු සමයේදී ජනාධිපති සිරිසේන පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂගේ සහයෝගයෙන් නැවැත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමේ කටයුත්තේ යෙදී සිටි පිරිසට දැඩි සැකයක් සහ අවිනිශ්චිතතාවයක් පැවැති බව දැක්වීය.

ඔහු දක්වන එම කරුණ ගැන අවධානය යොමුකලහොත්, එවැනි ද්වීඝට්ටණාත්මක අවස්ථාවක් පැවැතියේ නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එක් අන්තයකට පැහැදිලිවම සිය අභිප්‍රායන් සාක්ෂාත් කරගැනීමට බොහෝසේ දායකවී ඇත. මන්ද යත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා ජනාධිපති සිරිසේනට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට ඇති හැකියාව නැත්තටම නැතිකර දැම්මා සේම ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට වැඩි ඉඩක් විවර කලේය.

ඒ අනුව දයාන් ජයතිලක මහතා මතුකරන පොහොට්ටුවේ අපේක්ෂකයා සම්බන්ධයෙන් මිහින්ද - සිරිසේන දින 52කේ ආණ්ඩු කාලයේ පැවැති අභ්‍යන්තර ආතතිය පිලිබද තොරතුරු චැනල් 4 වැඩසටහන මතුකරන පාස්කු බොම්බ ප්‍රහාරය යනු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට සිදුකලායි යන්න සනාථ කරන එක්තරා ආකාරයක ඌන පූර්ණකයෙකි.

එකී සම්මුඛ සාකච්ඡාවලින් දින දෙකක් යන්නට මත්තෙන් චමුදිත සමරවික්‍රම ශෙහාන් මාලක සමග පැවැත්වූ සාකච්ඡාවක් විකාශනය විය. එම සම්මුඛ සාකච්ඡාව මූලික වශයෙන්ම නැඹුරු වූයේ චැනල් 4 වැඩසටහනින් ඉදිරිපත් වුවද, නොවූවද, "ඔය මතුවූයේ අපි මෙතෙක් කලක් කිය කියා සිටි කරුණු මයි" යන ශෙහාන් මාලකගේ ප්‍රස්තුථයක් සනාථ කිරීමටය. එම වැඩසටහන පුරාම ශෙහාන් මාලක කිසියම් ආකාරයකින් තහවුරු කිරිමට වෙර දැරුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු සුරේෂ් සලේ යන්න සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කරුණු දැන් පැහැදිලිවම ඔප්පු වි ඇති බවක් පෙන්වාදීමටය. තවද පසුගිය කාලේ රට තුල සිදුවූ මනුෂ්‍ය ඝාතන රාශියක් පිටුපස හමුදා බුද්ධි අංශයේ පිරිසක් සිටින බව නැවත නැවතත් තහවුරු වෙන වගක් පෙන්වාදීමටද ශෙහාන් මාලක දිගින් දිගටම කරුණු ඉදිරිපත් කලේය. කුරාලයට නැගි කට්ටඩියෙකු සේ ඉස්පාසුවක් නැතිව විවිධ කරුණු, තොරතුරු, චෝදනා, නිගමන, මතවාද, එලඹගැනීම්, උපකල්පන සහ සිතාගැනීම් සියල්ල ශෙහාන් මාලක එක පොදියට කියාගෙන කියාගෙන යන්නට විය. ශෙහාන් මාලකගේ ඉදිරිපත් කිරීම හමුවේ චමුදිත සමරවික්‍රම නිරුත්තර වූවායැයි ඇතමෙකුට පෙනී යන්නට පුලුවන. එහෙත් සියල්ල එලියට දමන්න යැයි කියන්නාක් මෙන් සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ චමුදිත සමරවික්‍රම ශෙහාන් මාලකට වැඩි බාධාවකින් තොරව ඔහුගේ කතාව කරගෙන යන්නට ඉඩ ලබාදුන්නාද විය හැක. සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නගේ එවැනි උපාය උපක්‍රම අප හදුනාගත යුතුය. කෙසේවෙතත්, ලද එම ඉඩ තුල ශෙහාන් මාලක සිය සංයමය බිදගත්තා දැයි මට සිතුනි.

චමුදිත සමරවික්‍රම සමග පැවැති එම සාකච්ඡාවේදී ශෙහාන් මාලක විසින් අතුරලියේ රතනසාර හිමියන් කොළඹ අගරදගුරු නිවසට විටින් විට රිංගා කාදිනල්තුමාගේ මොළය හෝදා ගෝඨාභය කදවුරු දෙසට නැඹුරු කරගත් බවට දරුණු චෝදනාවක්ද ඉදිරිපත් කලේය...

අතුරලියේ රතනසාර හාමුදුරුවන් යනු "ගෝඨාභය ඊලග ජනාධිපති කරමු", "ගෝඨාභය ඊලග ජනාධිපති කෙරුවොත් හොදයි නේදැ?" යැයි අසමින් තමාටද මුල පටන් ගෝඨාභය ගැන යෝජනා කරමින් සිටි ගෝඨා කදවුරේ කසකරුවෙක් යැයි දයාන් ජයතිලක මහතා හිරු නාලිකාව සමග පැවති සාකච්ජාවේදීද දක්වා තිබුනි.

එහෙත්, "අතුරලියේ රතනසාර හාමුදුරුවෝ කොළඹ අගරදගුරු නිවසට විටින් විට රිංගා කාදිනල්තුමාගේ මොළය හේදුවේ" යැයි ශෙහාන් මාලක නැගූ බරපතල චෝදනාව සිරිල් ගාමිණී පියතුමා කපිල ගුණරත්න මහතා සමග පැවැත්වූ සාකච්ඡාවේදි මුළුමනින්ම ප්‍රතික්ෂේප කලා පමණක් නොව "ශෙහාන් මාලක එවැන්නක් දන්නේ කෙසේදැයි" සිරිල් ගාමිණී පියතුමා ප්‍රශ්න කලේය.

"ශෙහාන් මාලක දන්නේ කෙසේද?" යන ප්‍රශ්නය සිරිල් ගාමිණී පියතුමාට පමණක් නොව බොහෝ දෙනෙකුට ද ඇති ප්‍රශ්නකි. ශෙහාන් මාලක ඉදිරිපත් කරන කරුණු, තොරතුරු, චෝදනා, නිගමන, මතවාද, එලඹගැනීම්, උපකල්පන සහ සිතාගැනීම් ඔහු දන්නේ කෙසේද? ඔහුට ඒවා කිසිවෙක් විසින් ලබා දුන් දෑ ද? ශෙහාන් මාලක කිසිවෙකු ගේ ආදිසි හස්තයක්ද? කිසිවෙකුගේ බළල් අතක්ද? යනුවෙන් ප්‍රශ්න කරන්නන් අප අතර නැත්තා නොවේ...ඊට ශෙහාන් මාලකගේ පිලිතුර නම් ඔහු මතුකරන දෑ වසර 4 පුරා ඔහු කල අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස සොයාගත් දෑය යන්න ය. එහෙත් ඇතැම් කරුණු හෙලිවී ඇති කාලවකවානුව සමග සැසදීමේදී එකී කරුණු ඔහුට අධ්‍යයනය කිරීමට හැකිවූයේ කුමන මූලාශ්‍ර ඇසුරින් ද යන්න ගැන අවධානය යොමුවීම සහේතුකය.

එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍යය මතුකර ගැනීමටත්, කිසිදු බාධාකයක්, අභියෝගයක් හමුවේ නොපසුබටව වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලීමට නැගී සිටීමටත්, පෙරමුණ ගත්තෙක් ලෙස ශෙහාන් මාලක සොහොයුරාට අපේ ප්‍රණාමය යොමුවිය යුතුමය. ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් අපි එකපෙළට, එක ලෙසට සිටගත යුතුමය. ඔහුව කිසිසේත්ම අත්නොහැරිය යුතුය. අපි නැතිවූ, මංමුළාවූ බැටළුවන් සොයායන එඩේරෙකුගේ කාර්යභාරයක් ගැන විශ්වාස කරන්නන් බව නැවත නැවත් පසක් කර ගතයුතුමය.

නැවතත් අපි සිරිල් ගාමිණී පියතුමා කපිල ගුණරත්න මහතා සමග පැවැත්වූ සාකච්ඡාව වෙත අවධානය යොමු කලහොත් එම සාකච්ඡාව වු කලී චැනල් 4 නාලිකාව විකාශනය කල වැඩසටහන සම්බන්ධයෙන් කතෝලික සභාවේ ස්ථාවරය ඉතාමත් පැහැදිලිවම ප්‍රකාශයට පත්කළ සම්මුඛ සාකච්ඡාවක් ලෙස දැක්විය හැක.

සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කලේ චැනල් 4 නාලිකාව විකාශනය කල වැඩසටහන තුලින්ද පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කල කොමිෂන් සභා වාර්ථාවලින් මතුකලාක් මෙන් අවධානය යොමුකල යුතු කරුණු රාශියක් නැවත මතුකර ඇති බවයි. එහෙත් එය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක් පමණක් බවත්, මධ්‍ය වාර්තා ඔස්සේ විවිධ කරුණු මතුවිය හැකි වුවත්, එහෙත් තීන්දු තීරණ ගත හැක්කේ ජාත්‍යන්තර වශයෙන් පිලිගත් පරික්ෂණයකින් පමණක් බව කතෝලික සභාවේ ස්ථාවරය යැයි දැක්වීය.

එකී ස්ථාවරය තුල චැනල් 4 නාලිකාව හෝ එම නාලිකාව විකාශනය කල වැඩසටහන මත්තේ එල්ලී සිටීමට වඩා කතෝලික සභාවේ අරමුණ එකී වාර්තා වැඩසටහන තුල මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කල කොමිෂන් සභා වාර්ථාවලින්ද මතුකල කරුණු ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය මතුකරලීම බව නැවත නැවතත් නිවැරැදිව සනාථ කලේය.

තවද සිරිල් ගාමිණී පියතුමා කපිල ගුණරත්න මහතා සමග පැවැත්වූ සාකච්ඡාවේදී හිටපු ජනාධිපති ගෝඨාභයගේ නිවේදනයේ සදහන්වූ

"අපි පල්ලියේ විවිධ වැඩසටහන් සදහා උදව් උපකාර කලා" යැයි වූ 'කරපුවා කිවීමේ ගතිය' ට උත්තර දෙමින් ප්‍රකාශ කලේ; ගෝඨාභය රාජ්‍යය නායකයා වශයෙන් හෝ රාජ්‍යය නිලධාරීයෙකු වශයෙන් හෝ රටේ ව්‍යවස්ථාවේ සදහන් අන්‍යාගමිකයන්ට ලබා දෙන සහයෝගය ලබා දීම සිදුකලා මිස ඊට වඩා වැඩි යමක් ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ඔහුගෙන් හෝ ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා සිටියේ හෝ ලබා දුන්නේ හෝ ලැබුනේ නැති බවයි.

සිරිල් ගාමිණී පියතුමා මතු කලේ ඔහු එසේ කලා කියා අපි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නිහඩව සිටිය යුතුද? යන්න ය. එය අපේ ක්‍රිස්තියානිකම නොවන බව එතුමා දැක්විය.

තවද හිටපු ජනාධිපති ගෝඨාභය බලයට පැමිණි වහාම එතෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරමින් සිටි ශානි අබේසේකරව ඉවත් කිරීම ගැන සදහන් කරමින් දක්වා තිබු "ඔහු (ශානි) ට චෝදනා එල්ලවී තිබූ නිසා ඉවත්කළා" යැයි යන්න නිලන්ත ජයවර්ධනට, දේශබන්දු තෙන්නකෝන්ට, සුරේෂ් සලේට අදාල නොවුයේ මන්ද යන්න විමසූහ. ගෝඨාභය ජනාධිපති වූ වහාම සිදුවූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරමින් සිටි ශානි අබේසේකර ඇතුළු තවත් නිලධාරීන් 14 දෙනෙකු ඉන් ඉවත් කිරීමත්, වෙනත් අංශ වෙත මාරුකර හැරීමත් සහ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන චෝදනා එල්ල වූ නිලන්ත ජයවර්ධන, දේශබන්දු තෙන්නකෝන්, සුරේෂ් සලේ ආදී නිලධාරීන්ට උසස් නිලතල සහ සේවා වර්ධනයන් ලබාදීමය. සිරිල් ගාමිණී පියතුමා කපිල ගුණරත්න මහතා සමග පැවැත්වූ සාකච්ඡාවේදී මේ කරුණු කාරණා මතුකරලිම තුල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබූ මාධ්‍ය නිවේදනය පුස්ස බින්දා සේ බොරු, හිස් ලියවිල්ලක් සේ හිස් අහසට මුසුවිය.

චැනල් 4 වැඩසටහන "අපේ පවුලට එරෙහිව කුමණ්ත්‍රණයක්" යැයි කියූ සිය පවුලේ පැවැත්ම හැර වෙනත් ලෝකයක්, මානයක් නොදකින නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය ගැන සිරිල් ගාමිණී පියතුමාගේ අවධානය යොමු නොවිම හැර වෙනත් බොහෝ කරුණු කාරණා ගැන සාධාරණ, විශ්වාසනීය ප්‍රවේශයකින් පිලිතුරු සැපයූ වැඩසටහනක් ලෙස සිරිල් ගාමිණී පියතුමා කපිල ගුණරත්න මහතා සමග පැවැත්වූ සාකච්ඡාව දැක්විය හැක.

එම වැඩසටහනෙන් පසු දිනක විකාශනය වූ චමුදිත සමරවික්‍රම කීර්ති රත්නායක සමග පැවැත්වූ සාකච්ඡාව ද මම නැරඹුවේමි. එය නැරඹීමට හේතුවූයේ කීර්ති රත්නායක කාලාන්තරයක් තිස්සේ ලංකා ඊ නිව්ස් මාධ්‍යයට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ලියන්නෙක්, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මුලින්ම ලිව්වෙක්, අනතුරු ඇගවූවෙක්, අභ්‍යන්තර තොරතුරු හෙලිකල තැනැත්තෙක් ලෙස ඔහු නමක් ගොඩ නගාගෙන තිබූ නිසාය. "සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට ගෝඨාභය සුරේෂ් සලේ නම් හමුදා නිලධාරියෙකු පත් කර ඇතැයි" පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමට වසර 10කට පෙර සිට ලියූවෙක් වු ඔහු චමුදිත සමරවික්‍රම සමග පැවැති වැඩසටහනේදි දැක්වූයේ සුරේෂ් සලේ යනු පාස්කු ඉරිදා ප්‍රහාරයේ "වාටියක" සිටි නිලධාරීයෙකු මිස මහමොළකරු නොවන බවයි. ඔහුට අනුව මහමොළකරු ඉංදියාවේ සහ සිංගප්පූරුවේ ඔත්තු සේවාවන්‍ ය. රටට අවශ්‍ය වන්නේ ඊශ්‍රායලයේ මොසාඩ් පන්නයේ ඔත්තු සේවාවකි යැයි යන්න ඔහුගේ අදහසය.. ඔහු පෙනී සිටින්නේ ද එවැන්නක් වෙනුවෙන්ය. වර්ගවාදී, ජාතිවාදී, මිලිටරිවාදී රාජ්‍යය යාන්ත්‍රණයක් මිස නිසි පැවැත්මක් ඇති රාජ්‍යයක් ගැන ඔවුන් නොදනී, නොදකී. විවිධාකාරයේ පරස්පර ප්‍රකාශණ, හිතලු, එලඹගැනිම් මෙන්ම ඇතැම් කරුණු කාරණාද ඇතුලත්වූ කීර්ති රත්නායකගේ අරමුණ වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වූ විමසුම නොමග යැවීමද? වෙනතක යොමු කිරීමද? පඹගාලක පැටලවීමද? කීර්ති රත්නායකලා ඉටුකරමින් සිටින්නේ තවත් බුද්ධි මෙහෙයුමක් ද? අපි ඒ සියල්ල ගැන විමර්ශනශීලිව සිටිය යුතුය.

මෙකී දිගහැරිම් වලින් පසුව පැවති පාඨලී චම්පික රණවක මහතා ගේ මාධ්‍ය සාකච්ඡාවේ හා අනුර කුමාර මහතා බදුල්ලේ පැවැත්වූ රැස්වීමේත් විඩීයෝපට මෙන්ම මාධ්‍ය වාර්තා කෙරෙහිත් අවධානය යොමුකලෙමි.

දෙදෙනාම චැනල් 4 වැඩසටහන ප්‍රස්තූතය කරගනිමින් පැවැත්වූ එම අදහස් දැක්වීමේදී වැඩි අවධානයක් යොමු කලේ රාජපක්ෂවරුන්ගේ විවිධ මගඩි, කුමණ්ත්‍රණ, දුෂණ, ඝාතන, ත්‍රාඩ ජඩ පැවත්ම ආදිය ගැන අවධානය යොමු කිරීමට ය. යුද්ධ ජයග්‍රහණයේ අයිතිය සහ යුද්ධය දිනාදීමට දායක වූ සිය කාර්යභාරය ගැන චම්පික රණවක එම සාකච්ඡාවේදි ද උදම් ඇනූ අතර රාජපක්ෂලා යුද්ධ ජයග්‍රහණය අවභාවිතා කිරීම ගැන ද කරුණු ඉදිරිපත් කලේය. යුද්ධය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දායකත්වය ගැන දැන් ප්‍රසිද්ධියේ කතා නොකරන අනුර කුමාර දිසානායක පාස්කු ප්‍රහාරය ප්‍රස්තුතයවූ බදුල්ලේ රැස්වීමේදී කියා සිටියේ යුද්ධයෙන් පසුවද රාජපක්ෂලාට නැවත යුද්ධයක් අවශ්‍ය වූ බවයි. මුස්ලිම් මෙන්ම සිංහල අන්තවාදී කණ්ඩායම් ඔවුන් එහිලා පෝෂණය කර යොදාගත් බව අනුර කුමාර මහතා දැක්වීය. චම්පික රණවක මෙන්ම අනුර කුමාර ද එහිලා දියත්වූ වැඩපිළිවෙළ ක්‍රමයෙන් සිය කතාවලදී විස්තර කර තිබුණි.

මෙහිදී එක් වැදගත් කරුණාක් පිලිබදව වූ මගේ නිරීක්ෂණයක් ගැන ඔබේ අවධානය යොමුකරමි. එය නම් වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය, ඉන් දින කිහිපයකට පසු අවට බෝක්කුවකින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටියක් සොයාගැනිම සහ එකී පරීක්ෂණ අජන්තා නම් පුනරුත්ථාපන වූ LTTE සමාජිකයාගේ නිවස වෙත යොමුවීමය.

චම්පික රණවක වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය අවස්ථා කිහිපයකදි මතුකල ද එකී පරීක්ෂණ අජන්තා නම් පුනරුත්ථාපන වූ LTTE සමාජිකයා වෙත යොමුවිම පිලිබදව එතරම් මතු නොකරයි. මීට හේතුව ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයේ පිරිසක් බේරා, තවත් පිරිසකට චෝදනා කිරීමට චම්පික රණවකට උවමනාවක් පැවතීමද? අනෙකුත් සෑම තැනකම මෙන්ම ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයේ ද තමන්ගේ පිරිසකගේ බලය තහවුරු ගැනීමේ අභිප්‍රායක් චම්පික රණවකට තිබේද? සුරේෂ් සලේව ඉලක්ක කරගැනීමත් එහිම කොටසක් ද? අපි මේ පිලිබදව නොදන්නෙමු. අපි දන්නේ චම්පික රණවක ද කෙක්කෙන් හෝ කොක්කෙන් බලය අත්කරගන්නට දගදරන දේශපාලන ගේම් කාරයෙකු බවය.

චම්පික රණවක මහතාගේ මාධ්‍ය හමුව තුලදි 2018 පලාත් පාලන චන්දය දැවැන්ත ආකාරයට දිනා තිබුනද පොහොට්ටුවට ජනාධිපතිවරණය දිනා ගැනීමට හැකියාවක් නොමැතිවූ බව සංඛ්‍ය දත්ත විශ්ලේෂණය කරමින් දක්වන්නට විය. චම්පික රණවක මහතා ඉදිරිපත් කල කරුණු, සංඛ්‍යා දත්ත ශෙහාන් මාලක ද ඊට පෙර ඉදිරිපත් කර තිබුනි. දෙදෙනාගේම කරුණු ඉතා හොදින් පෑහුණි. ශෙහාන් මාලකව චම්පිකගේ ගොඩට දමන්නට පුලපුලා බලාසිටිය අයට එය ඉනිමං සැපයීමක් බදුවිය. ශෙහාන් මාලක ට කරුණු, තොරතුරු එන්නේ චම්පික රණවකලාගෙන් යැයි කීමට බලාසිටි අයට එය අතටම ලැබුන උඩ පන්දුවක් බදුවිය. එහි ඇත්ත නැත්ත කෙසේවුවද, ශෙහාන් මාලකගේ සහ චම්පික රණවකගේ කරුණු එකට පෑහුනද, චම්පික රණවක ඉදිරිපත් කල සංඛ්‍යා දත්ත විශ්ලේෂණය ශෙහාන් මාලකගේ ඉදිරිපත් කිරීමට වඩා epistemological ඉදිරිපත් කිරීමක් විය.

කෙසේවුවද පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය සාකච්ඡාවේත්, අනුර කුමාර දිසානායක මහතා බදුල්ලේ පැවැත්වූ රැස්වීමේත් කියවුනු කරුණු වලින් පෙනී ගියේ ඔවුන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක අවශ්‍යතාවය මතුකරන්නේ නැති බවයි. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය පාලන තන්ත්‍රයේ වෙනසක් හෙවත් 'රෙජීම් චේන්ජ්' එකක් කිරීමය. ඔවුන්ගේ පාලනයක් යටතේ නිසි පරීක්ෂණයක් කරන බව ඔවුන් අපිට දෙන ප්‍රතිඥාවයි. එවැනි ප්‍රතිඥාව කීයක් නම් විවිධ දේශපාලකයින් කිතුනුවන්ට ලබාදී ඇත්ද!! ආණ්ඩු මාරුවූ පමණින් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සත්‍යය මතුවෙයිද? කුමන ආන්ඩුවක් බලයට පත්වූවද ශ්‍රී ලංකාවේ රාජ්‍යය යාන්ත්‍රණය පිටුපස ඇති වර්ගවාදී, ජාතිවාදී සහ මිලිටරි බලවේග පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නිසි පරික්ෂණයකට ඉඩදේද? "එයා නැතිනම් මෙයා" පත් කිරීමේ දේශපාලන පොරොන්දු අපිට තවත් අවශ්‍ය නැත. ජාත්‍යන්තර පරික්ෂණයක් මිස ඉන් මෙහා කිසිවක් වෙනුවෙන් අපි පෙනී නොසිටිමු!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
13/09/23