This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 28 January 2022

එම්මානුවෙල් පියුම්වර්ධන මහතා මතුකල මීගමුවට වීඇති වින්නැහිය

පහුගියදා කතෝලික ගිහි සංවිධාන එකතුවක්  බිහිවුවා. එහිදී  එම්මානුවෙල් පියුම්වර්ධන මහත්තයා හොද කතාවක් කලා. එම කතාව තුල ඔහු මීගමුවේ ජනයා අද මුහුණපා තිබෙන ගැටලු රාශියක් එක පෙලට, එක ලෙසට කැටි කොට ගත්තා. විශේෂයෙන්ම අද මුළු මීගමුවටම වෙලා තියෙන වින්නැහිය එම කතාව තුල ඔහු ලඝු කරගත්තා. 

අද මුළු  රටේම මිනිස්සු  ප්‍රශ්න රාශියකට ගොදුරුවෙලා තියෙන්නේ. මිනිස්සුට කන්න බොන්න නැහැ. බඩුමිල අහස උසට. මිනිස්සුට අතේ සල්ලි නෑ. සල්ලි තිබ්බත් ගන්න බඩු නෑ. ආහාර වගේම ගෑස්, විදුලිය, ඉන්ධන, ජලය, ගොවීන්ට පොහොර ආදී නිමක් නැති හිගයකින් පෙලෙද්දී මීගමුවේ ජනයාට හුස්මක්-කටක් අරන් ජීවත්වෙන්න බැරි තත්වයකට නගරය පත්කරලා. 

අර බලන්න පිටිපන මාළු අපද්‍රව්‍යවලින් කාබනික පොහොර හදනවා කියලා පටන් අරන් කරලා තියෙන වින්නැහිය. ඒ පලාතේ මිනිස්සුන්ට පලාතේ ඉන්න බැරි දුර්ගන්ධස්සාරේ පතුරුවලා. මාළු අපද්‍රව්‍යවලින් කාබනික පොහොර හදන එක හොද අදහසක්. ඒත්, ඒකේ ප්‍රමිතියක් තියෙන්න ඕනේ. පිටිපන වගේ මීගමුවේ ජනාධිකම තැනකද  එවැනි ව්‍යාපෘතියක් හදන්න ඕනේ? 

පිටිපන ඉදන්  නගරය  පැත්තට එද්දී කලපුව හාරනවා කියලා කලපුව හාලා පලාතේ ඉන්න බෑ. ධීවරයින්ට බෝට්ටුවක් ගහන්න  තැනක් නෑ. කලපුවේ ගොඩදාන පස් තට්ටු විකුණනගන්න දේශපාලුවෝ ඉහද පනුවෝ වගේ පොරකනවා.

එතනින් කොටුව පැත්තට ආවහම කරෝල ගදේ ඉන්න බෑ . මීගමුවේ උසාවියේ වැඩකරන නීතිඥයින්ට, නඩුකාර උන්නාන්සේලාට නහයක් නැද්ද දන්නේ නෑ හැමදාම මේ දුර්ගන්ධස්සාරේ දරාගෙන ඉන්න. මුළු මීගමුවට තියෙන ලස්සනම වෙරළ මීගමුවේ  කාලකණ්ණි දේශපාලකයෝ කරෝල මුදලාලිලාට බදු දීලා. මුලු මීගමුව කරෝල ගදේ බෑ. 

අනෙක් පැත්තෙන් මාළු මාකට් එකේ වහල කඩන්  වැටිලා, වැසිලි වලවල් උතුරලා, මාලු වෙලෙන්දන් විතරක් නෙමේ, ධීවරයින්ට විතරක් නෙමේ, මාලු ගන්න එන මනුස්සයෙක්ට පවා හදිස්සියකට  යන්න වැසිකිලියක්, කැසිකිලියක් නෑ. ඔක්කොම යන්නේ වෙරළට. ඉස්සර කාන්සියට ගිය නගරයවු මීගමුව, අද දුර්ගන්ධස්සාරේ නගරය වෙලා. ලන්සාලා ගොඩනගලා තියෙන නගරය එන්න ඒවගේ ජරාගොඩක්. 

මීගමුව කොටුව පිට්ටනිය ගරාවැටිලා, නගරේ ප්‍රධාන පුරාවස්තුව වෙච්ච මීගමුව කොටුව කුණු කන්ද වලින් වැහිලා ගිහිල්ලා. ධීවරයින්ට ඉන්ධන නෑ. වැඩි මිලදිලා ඉන්ධන ගහලා මුහුදු ගිහින් මාලු අල්ලන් ඇවිත් ඒ ගනණ්වලට මාළු විකුණන්න බැරිව ධීවරයාත් ලත්වෙනවා, ඒ ගනන් වලට මාළු ගන්න  බැරිව මිනිස්සුත් ලතවෙනවා. 

කාමච්චෝඩේ ඩඩ්ලි මාර්කට් එක කඩලා එතන වෙලද සංකීර්ණයකුයි, තට්ටු ගෙවලුයි ඉදිකරනවා කියලා එතන නන්නත්තාර කරලා දාලා. 

තෙල්වත්ත හන්දියේ මීගමුව නගර සභා පුස්තකාලය හදන්න ගිහින් එකට දැන් දොරවල් ජැනෙල්වත් දාගන බැරිව මීගමුවේ පුස්තකාලයත් ඉවරයි. 

නගරේ මැද්දෙන් ගමන් කරන දුම්රියයි පාර කොච්චියක් යද්දී වැහුවහම නගරේ දෙපැත්තේන්ම වාහන වලින්  හිරවෙනවා. ඒකට එක්කෝ දුම්රිය මාර්ගය උස්සලා හදන්න ඕනේ, නැතිනම් වෙන මොනවා හරි විසදුමක් දෙන්න ඕනේ කියලා මිනිස්සු ඉල්ලනවා, ඒත් ඒවට විසදුමක් නෑ. 

මීගමුව සංවර්ධන සැලැස්ම කියලා එකක් ඉදිරිපත් කරලා තියෙනවා ඒවයින් මීගමුවේ  ඔය කියපු ප්‍රශ්න එකකටවත් උත්තර නෑ. 

ඒත් නගරය සංචාරක පුරවරයක් කිරීමට නම් සැලැස්මේ ලොකු බරක්, ඉඩක්, වෙන්කරලා තියෙනවා. ඔය කරන්න හදන්නේ  මොකක්ද? 

මිගමුවේ මිනිස්සුන්ගේ ඉඩම් ටික  කොල්ලකන්නයි හදන්නේ. සංචාරක කර්මාන්තය සදහා කියලා ඉඩම් ටික පවරාගන්නයි හදන්නේ. 

එතකොට මීගමුවේ මිනිස්සු කොහෙද යන්නේ? එක්කෝ නගරයේම මුඩුක්කු වලට යන්න ඕනේ නැති නම්  නගරය අතහැර යන්න ඕනේ. 

එතකොට මීගමුවේ අනන්‍යතාවයට, ලංකාවේ කතෝලිකයින්ගේ අගනගරය කියන පුංචි රෝමය කියලා හදුන්වපු මිගමුවට වෙන්නේ මොකක්ද? මේ හදන්නේ මීගමුව කතෝලික/ක්‍රිස්තියානි ජනයාගෙන් හිස් කරලා දාන්නද? පාස්කු බෝම්බයෙන් කතෝලිකයින්ට කල හානියවගේ දහ ගුණයක හානියක් කරන්නද මේ හදන්නේ...

පියුම්වර්ධන මහත්මයා ඔය සියලු කරනු කැටිකර   ගන්නවා. කැටිකරගන්නවා විතරක් නෙමේ ඒ සදහා කතෝලික ගිහි සංවිධාන එකතුවක් ලෙස සංවිධානයවීමේ වැදගත්කමත් මතුකරනවා. කතෝලික සභාව කියන්නේ පූජකයන්ගේ විතරක් සභාවක් නෙමේ. ගිහියන්ගේද සභාවක්. අතීතයේ ලංකාවේත් ශක්තිමත් කතෝලික ගිහි ව්‍යාපාරයක් තිබුනා. එහෙම ශක්තිමත් කතෝලික ගිහි ව්‍යාපාරයක් තිබ්බ කාලවල දේශපාලකයෝ විතරක් නෙමේ පාලකයෝත්, කතෝලිකයින්ට/ක්‍රිස්තියානින්ට හානි කරන  කිසිවක් කරන්න පැකුලුනා. අදත් අපිට එවැනි සාමුහික ශක්තියක් අවශ්‍යයි. අර මේ පක්ෂ නෙමේ, අපි ගිහි ජනතාවක්  ලෙස සංවිධානයවීමයි වැදගත්. 

එම්මානුවෙල් පියුම්වර්ධන මහත්තයලා, මිගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය විදිහට එකතුවෙලා මීට කලිනුත් එහෙම කරලා තියෙනවා. මීගමුවේ දිස්ත්‍රික් මහ රෝහලේ සත්මහල් ගොඩනැගිල්ලට හානිපැමිනිලා එම ගොඩනැගිල්ල හිස්කරද්දී, මීගමුව රෝහලේ විවිධ අංග, දෙපාර්තමේන්තු ගලවන් ගිහින් ගම්පහ රෝහලට හයිකරලා මීගමුව රෝහල පහත හෙලන්න යද්දි, ඒකට විරුද්ධ පියුම්වර්ධන මහත්තයලා මිගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය කියන ගිහි ස‍ංවිධාන විදිහට එකතුවෙලා මීගමුව ඉතිහාසයේම පැවැත්වු දැවැන්තම පෙලපාලිය ස‍ංවිධානය කරලා, දැවැන්ත වැඩ කොටසක් කරලා මීගමුව රෝහල ආරක්ෂා කරගත්තා. අපිට ඕනේ එහෙම බලයක්. මම ඒ ගැන ලියලා තියෙනවා. එයමෙම යොමුවෙන් කියවන්න පුළුවන්. එම්මානුවෙල් පියුම්වර්ධන මහත්මයාගේ කතාව පහතින් තියෙනවා අහන්න. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 

28/01/22

Tuesday 18 January 2022

අපේ මාස්ක් එකතුකරන විදේශිකයා

ලංකාවට ආපු විදේශිකයෙක් පාරේ දාල තියෙන මාස්ක් එකතුකරලා කෝටුවක ගහන් යන මේ පින්තූරය ගැන සමාජ මාධ්‍යයවල කියවුනු කරුණ  තමයි 'අපි ලැජ්ජා වියයුතුයි' කියන එක. 

ඇත්තටම අපි ලැජ්ජාවිය යුතුයි තමයි. 

හැබැයි ඒ, මේ විදේශීකයා ඇවිත් අපේ මිනිස්සු පාරේ දාලා ගිය මාස්ක් එකතුකරන එක ගැන නෙමේ අපි අපේ සවිඥානකත්වය නැතිනම් අපේ චෛතසිකය  (Consciousness) ගැනයි ලැජ්ජාවෙන්න ඕනේ. 

වෙනවිදිහකට කිව්වොත් මේ පින්තුරය දැකලා ඇයි අපිට කියන්න බැරි, නැතිනම් මාතෘකාවක් දාන්න බැරි: "පිටරටක නගරසභාවේ රස්සාව කරන එකෙක් හොලිඩේ ආවාහම කරන දේ" වගේ එකක්..

එහෙම කියන්න බැරි වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි අපි දන්නවා අපි වැරදිකාරයෝ කියලා..අපි දන්නවා අපි ඔහොම වැඩ කරනවා කියලා... මාස්ක් විතරක් නෙමේ ඕනෑ කුණු ගොඩක් ඔහේ අතහරිනවා කියලා අපි දන්නවා... වගවිභාගයක් නැතිව ඔහේ දේවල් කරනවා කියලා අපි දන්නවා...අපි වැරදිකාරයෝ බව අපි දන්නවා.

 මේ විදේශිකයා කරන දෙයින් අපි ලැජ්ජාවෙන්න ඕනේ පාවිච්චි කරපු මාස්ක් හරි වෙන කුණු ගොඩක් හරි පාරේ දැමීම ගැන විතරක් නෙමේ: ඊට වඩා පුළුල් අර්ථයකින් අපි අපේ Consciousness එක ගැන ලැජ්ජාවෙන්න ඕනේ. 

'සිතින්, වචනයෙන්, ක්‍රියාවෙන් අපි පව්කලෙමු' කියන එක ගැනයි අපි සවිඥානක වෙන්න ඕනේ. ඒක පල්ලි ගිහින් මම පව්කාරයෙක්මි කියනවාට වඩා බැරෑරුම් දෙයක්. 

ලැජ්ජාවෙන්න වැඩ නොකරන චෛතසිකත්වයකුයි අපි ගොඩනගා ගන්න ඕනේ.  එතකොට පාරේ කුණු දැමිම වගේ දේවල් විතරක් නෙමේ තවත් බොහෝ දේවල් නොකරාවි.  රටක් ජනතාවක් විදිහට විතරක් නෙමේ තනි තනිවත් එවැනි සවිඥානකත්වයක් ගොඩනගා ගැනීම දැවැන්ත අභියෝගයක්. හැබැයි එක කරනවා නම් විශාල සහනයක් වගේම මහත්වූ සුන්දරත්වයක් සහ සතුටක් අත්කරගැනීමටත් හේතුවක්. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
18/01/22

Wednesday 12 January 2022

ශ්‍රී ලාංකිකයන්ගේ ආතල් නොකැඩූ ඩෙස්මන් සිල්වා

අපි වොලී බැස්ටියන් දැක නැත්තෙමු. එහෙත් "ලංකාවට බයිලාගෙනා වොලී බැස්ටියන්" ගැන අසා ඇත්තෙමු. ඒ ඩෙස්මන් සිල්වා නිසාවෙනි. බන්ඩලාව වෙසක් බලන්න එක්ක ගියේ ඔහුය. මැනිකෙලාව 'චූඩා මාණිකේ' බලන්න එක්කන් ගියේද ඔහුය. මුළු රටම 'යන්න රට වටේ එන මා ප්‍රියේ' යැයි කියමින් සවාරි එක්කන් ගියේද ඔහුය. ‘Mamma No…Pappa No ආප්ප කන්න තුට්ටු No..!‘ කිය කිය හිටිය කොල්ලන්ව, 'ලණුව උඩින් ඇර සොයිසා, ලණුව උඩින් ඇර..හයි හායි හිප් හිප් හුරේ' කියමින් බිග් මැච් එක්කන් ගියේද ඔහුය. 'කිරිල්ලී, රන් කිරිල්ලී, නොකියා ගියා පියඹලා..නෑ..ආදරේ, මට නෑ ආදරේ..'' කිය කිය සිටි කොල්ලන්ව..., ‘නිල්වන් මුහුදු තීරේ..ගල්මල් පිපුණු යායේ.. නැව්තලේ තනිවී' සිටි කොල්ලන්ව....,'පොල්කටු හැන්දෙ මිට වගේ, රූබර ඇගේ ආදරේ, ඇය එන්නෙ නෑ අනේ, ඇගේ භූමිතෙල් මොලේ, Oh she never come again, She got kerosene oil in her brain, She never come right again...!‘ යැයි කියමින් හොටුපෙරන් හිටපු කොල්ලන්ව...,' රෑ දොලහට ලයිට් ගියා මමී පපී හෙව්වා ඔයා' යැයි කියමින් කුල්මත් කර 'කොල්ලුපිටියෙ junction, There you all had a function, I saw you kissing ආයාගේ කොල්ලා...!‘ යැයි කියමින් fun එකට සෙට් කර ගත්තේද ඔහුය.

ඔහු ලංකිකයන්ට ලබාදුන් ආතල් ඔහුගේ අඩි පාරේ ගිය,  ගීත ගායනයෙන් මෙන්ම මයිකල් ජැක්සන් මෙන් නැටුමෙන් කුල්මත් කල, ඔහුගේ පුත් ස්ටීව් ද සිල්වා 2011දී පිලිකා රෝගයකි මියගියාවුද අඩුවුයේ නැත. 31st Night වලට නැතිව බැරි ගායකයෙක් වු ඔහු දැන් සදහට වේදිකාවෙන් බැස ගොස් ඇත. එහෙත් ඔහු කියු 'හොදට ජොලි කරපල්ලා.. හොදට ජොලි කරපල්ලා' යන්න නම් කොෆින් එකේ ඔහු නිදියතත් සදාකාලිකව වැයෙනු ඇත. 

1944 ජූලි 13 වන දි මාතරදී උපත ලැබූ ඩෙස්මන්ඩ් ද සිල්වා සහෝදර සහෝදරියන් දෙදෙනෙකු සමඟ පවුලේ වැඩිමල්ලාවිය. ඔහුගේ පියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු (PHI) වූ ක්ලෙමන්ට් ආර්නෝල්ඩ් ද සිල්වා ය. ගුරුවරියකවූ මව හලාවත පදිංචි ඔල්ගා කොරයා. මුලින්ම බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයෙත් පසුව ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙත්, නැවත ශාන්ත පීතර විද්‍යාලයෙත් අවසානයේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන්  අධ්‍යාපනය ලැබූ ඔහු මුලින්ම විවාහවී ඇත්තේ දීනා ද සිල්වා සමඟය. 2011 දී පිළිකා රෝගයකින් මියගිය ජනප්‍රිය නර්තන ශිල්පියෙක් සහ ගායකයෙක් වූ ස්ටීව් ද සිල්වා එම විවාහයෙන් ලද පුතුන් දෙදෙනාගෙන කෙනෙකි. පසුව වෛද්‍ය ලීලාමනී සමඟ විවාහ වී ලන්ඩනයේ පදිංචි ඩෙස්මන්ට එම විවාහයෙන් මේගනා නම් දියණියක් සිටි. 

'ඩෙස්' යන කෙටි නමින් 1963 දී කොළඹදී සිය සංගීත ජීවිතය ආරම්භ කල ඔහු එවකට පැවති ෆයර්-ෆ්ලයිස් (Fire-Flies) සංගීත කණඩායමේ ප්‍රධාන ගායකයා විය. ඔහුගේ ගීත ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දැන් හදුන්වන, දකුණු ආසියාවේ පැරණිතම ගුවන් විදුලි මධ්‍යස්ථානය වන 'රේඩියෝ සිලෝන්' (Radio Ceylon) ඔස්සේ විකාශනය විය. 70-80 දශකවල ලංකාවේ ප්‍රකටම පොප් කණ්ඩායම් වූ "ස්පිට්ෆයර්ස්" (Spitfires), "ගැබෝ ඇන්ඩ් ද බ්‍රේක්ඒවේස්" (Gabo and the Breakaways) සහ "ජෙට්ලයිනර්ස්" (Jetliners) කණ්ඩායම් සමග ගී ගැයූ ඔහු "ජෙට්ලයිනර්ස්" (Jetliners) සංගීත කණ්ඩායමේ මිග්නෝන් ප්‍රනාන්දු සමඟ එක්ව ගයනා කල 'ඔබ නිසා' ලංඩනයේ පැවති ජාත්‍යන්තර ගීත උළෙලකදී සම්මානයට ලක් විය. 1976 දී ඔහු පිහිටුවා ගත් "ඩෙස්මන්ඩ් සහ ක්ලැන්" (Desmond and the Clan) සංගීත කණ්ඩායම මාලදිවයින ඇතුළු අග්නිදිග ආසියාවේ විවිධ රටවල ප්‍රසංග ඉදිරිපත්කළේය. 1979 දී ග්‍රීසියේ ඇතන්ස්හි පැවති 5 වැනි ගීත ඔලිම්පියාඩ් (Olympiad of Songs) උළෙලට සහ 1980 දී ජපානයේ ටෝකියෝ හි පැවති යමහා ගීත උළෙලට ද (Yamaha Festival of Song) ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවී ඇත. හඩ්සන් සමරසිංහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාව සිටියදී ඩෙස්මන් සිල්වාව ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රියකරවූ බව කියවේ. ඩෙස්මන්ඩ් සිල්වා ලවා පැරණි ග්‍රැමෆෝන් යුගයේ ගීත ගුවන් විදුලියෙන් ගැ යිමට හඩ්සන් සමරසිංහ මහතා  කටයුතු කර තිබුණි. ඩෙස්මන් ගේ  'කිරිල්ලී  රන් කිරිල්ලී'  මෙන්ම 'යන්න රටවටේ එන්න මා ප්‍රියේ' ගීතත් හඩ්සන් ගේ යුගයේ ගුවන් විදුලියෙන් නිතර විකාශනය කල ගීත අතර වී ඇත .   

ඩෙස්මන්ඩ් සිල්වා වොලී බැස්ටියන්ස්ගේ අඩිපාරේ ගිය බයිලා ගායකයෙක් ලෙස සැලකුවද වොලී බැස්ටියන්ස්ගේ  'බයිලා' ගයනා බොහෝදුරට පෘතුගීසි සහ ස්පාඤ්ඤ සංගීත ශෛලියට සමාන මුත් ඩෙස්මන්ගේ බයිලා කලාව 'සිංග්ලිෂ්  බයිලා කලාවක් ලෙස ඔහුම හදුන්වා දී තිබුණි. ශ්‍රී ලංකාවේ ඔටිසම් දරුවන් සහ ඔටිසම් රෝගීන් වෙනුවෙන් ආයාචනා කළ පළමු ශ්‍රී ලාංකික සංගීතඥයාද  ඔහුය. 2006 මාර්තු 31 වැනි දින ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ඔහු ශ්‍රී ලංකාවේ  ඔටිසම් රෝගීන් සඳහා  ප්‍රසංගය පවත්වා ඇත. 

ඩෙස්මන්ඩ් ද සිල්වා සිංහල පුවත්පතකට අවසාන වශයෙන් ලබාදුන් සම්මුඛ සාකච්චාව වියහැක්කේ  'අරුණ' පුවත්පතට ලබාදුන්  සම්මුඛ සාකච්චාවය. එය පහතින් පලකරමි. 

මාකස්  ප්‍රියන්ත පෙරේරා 
12/01/2021
********************

දෙයියන්ගෙ පිහිටෙන් මට තවම හොඳට සින්දු කියන්න පුළුවන් – ඩෙස්මන්ඩ් ද සිල්වා
=================================================

ඔබ පසු කළේ ඔබේ 75 වැනි උපන් දිනය?

ඔව්. ම​ගේ උපන් බිමේ, මගේ ආදරණීය රසික, රසිකාවෝ වටකරගෙන ඒ උපන්දිනය ගොඩක් සුන්දර විදිහට සැමරුවා. ඒ වගේම මගේ සංගීත දිවියට වසර 55ක් පිරීම සමරන්නත් එක්ක තමයි මේ ප්‍රසංගය කළේ.

ඔබේ උපන් දිනය?

1943 ජූලි 13

උප්පැන්නයේ සඳහන් නම ?

ඩෙස්මන්ඩ් ඇනක්ලීටස් රාජිව ද සිල්වා

මව්පියන් ගැන මතකය අවදි කළොත්?

තාත්තගෙ නම ක්ලෙමන්ට් ආර්නල්ඩ් ද සිල්වා. ගෙදර කට්ටිය කිව්වේ කාලෝ කියලා. අම්මා ඔල්ගා කොරයා. බැන්දට පස්සේ ද සිල්වා වුණා. තාත්තා මාතර. අම්මා හලාවත. මම ඉපදුණේ මාතර.

සහෝදර සහෝදරියෝ හිටියද?

ඔව්. මගේ මල්ලියි, නංගියි, මල්ලි පදිංචි ඔස්ට්‍රේලියාවේ. නංගි ලංකාවේ ජීවත් වෙනවා.

තාත්තගේ රැකියාව වුණේ ?

තාත්තා පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර් කෙනෙක්. හැබැයි ඒ කාලේ කිව්වේ සැන්ටිපෝට් කියලා. සැන්ටිපෝට් ඉන්ස්පෙක්ටර්. දැන් කියන්නේ පී.එච්.අයි. කියලා. මගෙ අම්මා ටීචර් කෙනෙක්. ඒ දෙන්නම ඉතින් එඩියුකේටඩ්. හැබැයි දෙන්නගෙම කැමැත්තක් තිබුණා මියුසික්වලට.

එතකොට පුංචි කාලේ ගෙවුණේ මාතර?

නෑ. අපි බම්බලපිටියට ආවා. හරියට සෙන්ට් පීටර්ස් කොලේජ් එක ඉස්සරහ. අන්තිමට ගම වුණේ බම්බලපිටිය.

කොහෙද පාසල් ගියේ?

ඉස්සර වෙලාම ගියේ සෙන්ට් පීටර්ස් එකට. මම දඟ නිසා ඊට පස්සේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ බෝඩිං කළා. එතැනින් ආයේ සාන්ත පීතර විදුහලට දැම්මා. දඟ වැඩියි කියලා මාව මාතරට ගිහින් දැම්මා. තාත්තගෙ අම්මා තමයි මාව බලා ගත්තේ. මගේ පාසල් දිවිය අවසන් වුණේ මාතර සාන්ත තෝමස් විදුහලෙන්.

පාසලේ ගායකයෙක් හැටියට ප්‍රසිද්ධ වෙලා හිටියද?

නෑ එහෙම දෙයක් තිබුණේ නෑ. අම්මයි, තාත්තයි ඉගෙනීම පැත්තට තමයි මාව තල්ලු කළේ. ඒත් මගෙ හිත ගියේ සංගීතෙට. හැබැයි එයාලා ඒකට විරුද්ධ වුණේ නෑ. ගෙදර තිබුණු සංගීතමය පරිසරය හින්දා ඉබේම ඒ පැත්තට තල්ලු වුණා. අම්මටයි, තාත්තටයි පුංචි සංගීත කණ්ඩායමකුත් තිබුණ ඒ කාලේ.

විස්තර ටිකක් කියමුකො?

ඒකේ නම මෙරි මේකර්ස්. ඒක ලොකු ප්‍රසිද්ධ Band නෙවෙයි. ඒත් ගම් පළාතේ ජනප්‍රියයි. ඉතින් පුංචි, පුංචි සාදවලට එයාලා මාවත් එක්කර ගෙන යනවා. අපි කට්ටියම සින්දු කියනවා. මට මතකයි බොල්ගොඩ සෙන්ට්මිචල් එකේ උත්සවවලට ඇවිල්ලා ඒගොල්ලො නිකම් Play කරනවා ආසාවට.

ඔහොම කාලය ගෙවෙනකොට?

මුලින්ම මම සම්බන්ධ වුණේ ෆයර් ෆයිල්ස් කියලා සංගීත කණ්ඩායමකට. ඒ කාලේ ගායනා කළේ බටහිර ගී. සිංහල සින්දු කියන්න හිතුවෙවත් නෑ.

කාගේ ගීතද එතකොට ගායනා කළේ?

ටොම් ​ජෝන්ස්, එංගල්බ(ර්)ඩ්,එල්විස් ප්‍රෙස්ලි. වැඩිපුර කිව්වේ එල්විස්ගේ සින්දු තමා. වැඩේ නැගලා ගියා. ඊට පස්සේ මම ජෙට්ලයින​ර්ස් කියන සංගීත කණ්ඩායමට එකතු වුණා.

ඔබේම සංගීත කණ්ඩායමකුත් තිබුණනේ?

ඔව්. මම ඒක හදනකොට ගායකයෙක් හැටියට ජනප්‍රිය වෙලා හිටියේ. Desmond and The Clan තමයි ඒ සංගීත කණ්ඩායම. මගේ නම රසිකයන් අතරට ගියා ඒ Band එකත් එක්ක.

ඔබ බයිලා ගීත කලාවට යොමු වුණේ වොලී බැස්ටියන්ගේ හමුවීමත් එක්ක?

මම ඔහුගේ ගීතවලට ගොඩක් කැමැතිවුණා. ප්‍රසංගවලදී මට වොලී මුණ ගැහෙනවා. ඒ ඇඳුනුම්කම උඩ මම දවසක් ඔහුට ආරාධනා කළා අපේ ගෙදර කෑමකට. එදා ​වොලී ඔහුගේ ගිටාරය වාදනය කරමින් ගීත කිහිපයක් ගායනා කළා. මමත් ඔහුගේ ගීත දෙක තුනක් කිව්වා.

මොකද වොලී කිව්වේ?

ඔහු සතුටු වුණා. පුතා පුළුවන් තරම් මගේ ගීත ගායනා කරන්න කියලා ඔහු එදා මට කිව්වා. කොටින්ම ඒක මට ඔහුගේ ගීත ගායනා කරන්න දුන්නු ලයිසන් එකක් වගේ.

ඔබ වොලී ගැන උපහාර ගීතයකුත් ගායනා කළා?

ඔව්. ඒක රසිකයෝ අතර ගොඩක් ජනප්‍රිය වුණා. ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්. බයිලවලින් රට හොල්ලපු බයිලා චැම්පියන් කියලා තමයි මම ඒ ට්‍රිබියුට් එක ඔහුට පුද කළේ.

මුළු රටම එකම රැයකින් ඩෙස්මන්ඩ් ද සිල්වා හඳුනා ගත්තේ ‘‘චූඩා මාණිකේ’’ ගීතයෙන්?

ඒ කාලේ කැසට් පට තිබුණේ නෑ. EP, LP තැටි තමයි තිබ්බේ. නිව් සවුන්ඩ් ලේබලයට මම ඔය ගීතය ගායනා කළේ. ඔයා කිව්වා වගේ ගීතය Super Hit එකක් වුණා. ඕක මම Record කරන්න ඉස්සර වෙලා පාටීස්වලදී කියපු ගීතයක්. කවුරුත් දන්නේ නෑ ඕක ඉස්සර වෙලාම කිව්වේ කවුද කියලා. හැබැයි දැන් ඒක මගේ අයිතියක් වගේ වෙලා තියෙන්නේ.

මේ ගීතයේ විශේෂත්වයකුත් තිබුණා?

‘‘චූඩා මාණිකේ’’ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාව Mix වුණු ගීතයක්. ඒ වෙනසට මිනිස්සු ගොඩක් කැමැති වුණා. සිංහල වචන දැම්මේ මට මතක හැටියට හඩ්සන් සමරසිංහ. ඉංග්‍රීසි ව(ර්)ස් එක ලිව්වේ මම. දෙමළ ව(ර්)ස් එකත් කවුද ලිව්වා. මට මතක නෑ. කොහොම හරි දෙමළ බසින් මම මොනවද කිව්වෙ කියලා අදටත් දන්නෙ නැහැ.

එතැනින් පස්සේ?

ඊළඟට මම පොල්කටු හැන්දෙ මිට වගේ, මම්ම නෝ පප්ප නෝ, යමන් බණ්ඩො වගේ ගීත ගායනා කළා. කොල්ලො කෙල්ලො ඒවාට වහ වැටුණා. ගී පද රචකයෝ, සංගීතඥයෝ පෝලිමට මාව හොයාගෙන ආවා.

මුලින්ම ගීතයක් ගායනා කරලා ලැබුණු මුදල මතකද?

රුපියල් 25ක්ද කොහෙද.

ඉංග්‍රීසි, සිංහල කලවම් කරලා හරි අපූරු ගීත ශෛලියක් බිහි කළේ ඔබ?

ඒකට මුල්වුණේ ආනන්ද සෙනෙවිරත්න කියන ගීත රචකයා. එයා තමයි මුලින්ම ඔය සිංහලයි, ඉංග්‍රීසියි එකට දැම්මේ. ඊට පසසේ තමයි ‘‘සිංග්ලිෂ්’’ කියන වචනෙ හැදුණෙ. ඒ ගීත අහපු ගමන් මිනිස්සුන්ට හිනා යන ගතියක් තිබුණා.

රසික රසිකාවියෝ ඔබේ ගීතවලට වගේම රුවටත් වසඟ වුණා?

එහෙම දේවල් තිබුණා ඒකත් අපේ වාසනාවක් තමයි.

ඔබට තිබුණේ රසබර, විනෝදකාමී ජීවිතයක්?

අපොයි ඔව්. හොඳට කෑවා බීවා. ජොලි කළා. මගේ සින්දුවල තියෙන්නෙත් ඒ ​ජොලි ජීවිතේනේ. හැබැයි මම දැන් ඒ සේරම නවත්තලා. මම ඊළඟ ආත්මෙටත් එක්ක බීපු කෙනෙක්. ඒත් බීම නවත්තලා දැන් අවුරුදු තිස් හතක්. සින්දු කියලා තමයි මට මේ සේරම ලැබුණේ. ඉතින් ඒක හරියට කරන්න ඕනෑ නිසා අනෙක් ඒවයෙන් වැළකුණා.

මේ තරම් දුරක් ආවේ ඒ කැපකිරීමෙන්?

ගායන දිවියේ මට දැන් අවුරුදු පනස් පහක්. දෙයියන්ගෙ පිහිටෙන් මට තවම හොඳට සින්දු කියන්න පුළුවන්. අනෙක මේ ෆීල්ඩ් එකේ කවුරුත් නෑ මගෙ තරහකාරයෝ. කා එක්කවත් තරගයක් නෑ.

තරගෙට කිව්වේ වාද බයිලා විතරයි?

ඔව්. මම වාද බයිලා කිහිපයක් ගායනා කළා. ඒ කාලේ පෝල් ප්‍රනාන්දු එක්ක කියපු වාද බයිලාව ගොඩක් ජනප්‍රිය වුනා. බයිලා පොළේ ගෝරි නැතුව එහාට වෙයන් ෆර්නැන්ඩු කියලා මම කිව්වම පෝල් බයිලා රජා කවුද බලමු ඇයි ඩෙස්මන් මුරණ්ඩු කියලා අහනවා. ඒ වගේම ජිප්සීස් සුනිල් එක්ක කියපු ‘මිඤ්ඤමයි රෝස කැෆර් බයිලා’ ගීතයක් නැගලා ගියා.

ඩෙස්මන්ඩ් කියන්නේ ලෝකල් එල්විස් ප්‍රෙස්ලි කියලා ඒ කාලේ ​ගොඩක් අය කිව්වා.?

ඔව්. ඔව්. එල්විස්ට මාව සමාන කරපු එක මට ලොකු ගෞරවයක්.

ඔබේ ප්‍රාසාංගික කලාවට ඔහුගේ දේවල් එකතු කර ගත්තද?

ඒක නිකං ඔටෝමැටිකලි එනවා. මොකද මම එයාට ආදරේ නිසා එයා වගේ ටිකක් වෙන්න හැදුවා.

70 දශකයේ මැද ඔබ ගායනා කරපු සමහර ගීතවලට ලොකු විවේචන එල්ල වුණා.?

‘‘කකුල කකුල කකුල මගේ’’, එතකොට ‘‘රෑ දොළහට ලයිට් ගියා’’ වගේ ගීතවලට ලොකු විවේචන එල්ලවුණා. මේවා ඒ කාලේ හැටියට කියපු සින්දු. ඕවා ඉතින් එච්චර ගණන් ගන්න ඕන නෑ. ඔයිට වඩා කොච්චර වනචර හින්දි සින්දු තියනවද? සිංහල සින්දුත් තියෙනවනේ. මගේ ගීතවල වචන දෙක තුනක් තිබ්බට ඒකෙන් මම හිතන්නේ නෑ රසිකයන්ට වැරදි අදහසක් දුන්නා කියලා. මම හිතන්නේ ඒ ගීත අහපු ගමන්ම මිනිස්සුන්ට පොඩි හිනාවක් යනවා.

එහෙම ගීත ගැයුවා කියලා ඔබට කවුරුත් දොස් කියලා නැද්ද?

මාව හරියටම නොදන්න කාලේ ‘කවුද පිස්සෙක් සින්දු කියනවා. හැබැයි ටිකක් හොඳයි වාගේ’ කියලා කියන්නත් ඇති. ඒත් මූණටනම් කවුරුත් මොකුත් කියලා නෑ.

ඔබේ විවාහය සිදුවෙන්නේ?

අවුරුදු විසි එක ලබන කොට මම විවාහ වෙලා ඉවරයි. පළමුවැනි විවාහය. ඒකෙන් තමයි මට ළමයි තුන්දෙනෙක් ලැබුණේ. මගේ ෆස්ට් වයිෆ්ගේ නම ඩියනා. මගේ ලොකු පුතා ස්ටීව්, ෂෝන් දෙවැනි පුතා. බාලයා දුවක්. එයා ජැකලීන්. ස්ටීව් අන්තරා වුණා.

ඒක ඔබේ ජීවිතයේ ලොකු කම්පනයක් ඇති කළ සිදුවීමක්?

මාව වළ දාන්න හිටපු කෙනාව වළලන්න වුණේ මට. ස්ටීව් මියගියේ කොඳු ඇට පෙළේ පිළිකාවකින්. ඔහොම තමයි ඉතින් ජීවිතේ.

එතැනින් පස්සේ?

මම ආයේ විවාහ වුණා. එයා නිලාමනී විජේරත්න. අපි විවාහ වුණේ එංගලන්තෙදී. ඇය වෛද්‍යවරියක්. ඊට පස්සේ මට පිලික්ස් වැන්හවුටන් කියලා නෝනා කෙනෙක් හම්බ වුණා.

එයත් එක්ක තමයි මම දැන් ජීවත් වෙන්නේ. අපි බැඳලා ඉන්නේ. එයත් ලංකාවේ එක්කෙනෙක්. එයා ලන්දේසි සම්භවයක් තියෙන කෙනෙක්. දැන් අවුරුදු දහයක ඉඳලා අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නිවල.

පහුගිය කාලේ ලෝකේ වටේම ගියා නේද ඔබේ ප්‍රසංගය එක්ක?

ඔව්. Journy කියලා ප්‍රසංගයක් පැවැත්වුවා රටවල් කිහිපයක. ඒ නම දුන්නේ මගේ වයිෆ්. මගේ සංගීත දිවියට අවුරුදු පනහක් ලබනකොට තමයි ඒ සංචාරය පටන් ගත්තේ.

සංචාරය ඇරඹුණේ ලංකා​වෙන්?

මාතර තිබුණු ප්‍රසංගයෙන් තමයි ඒ ගමන ආරම්භ කළේ. ඊට පස්සේ මැද පෙරදිග, ඩුබායි, ඊට පස්සේ කැනඩාව, ඇමෙරිකාව. එතැනින් එංගලන්තෙට ආවා. අයර්ලන්තයට ගියා. ඉතාලියට ගියා. එතැනින් ප්‍රංශයේ ප්‍රසංගයකට ගියා. ඊට පස්සේ ඉතින් ලංකාවට එන්නත් ඕනනේ. මගේ උපන් බිමට.

කොහොමද ලැබුණු ප්‍රතිචාර?

මට මම ගැන එච්චර කියන්න බෑ. නමුත් දෙවියන්ගේ පිහිටෙන් ඒ හැම ප්‍රසංගයකටම සෙනග ආවා. ලංකාවේ විතරක් නෙවෙයි පිටරටවල අයත් ඒ ප්‍රසංග නරඹන්න ආවා. ඒ හැමෝම ආපහු ගියේ ලොකු සතුටකින්.

රසිකයෝ වඩාත්ම ප්‍රිය කරන ඔබේ ගීතය?

මම හිතන්නේ ‘‘යන්න රට ව​ටේ’‘ තමයි. බාල, තරුණ, මහලු මේ හැමෝම ගෑනු පිරිමි භේදයක් නැතුව රස විඳින ගීතය ඒක තමයි.

ඒ වගේම සුමිහිරි පානේ පදමට ගහලා කියන ගීතයට බොහෝ දෙනෙක් කැමැතියි. ඒක දැන් කල්ට් සින්දුවක් වෙලා. එතැනින් පස්සෙ බලපුවාම ඉතින් මගෙ අනෙක් හැම ගීතයකටම වගේ රසිකයෝ කැමැතියි.

ඔබේ ගීත රස විඳින්න එක් එක් යුගවලදී වඩාත්ම පෙළ ගැසුණේ තරුණ, තරුණියෝ. අදටත් ඒ ආකර්ෂණය ලැබෙනවා?

ඇත්තටම මටම පුදුමයි. තමන්ගේ 21 වැනි උපන් දිනයේදී ගීත ගායනා කරන්න එන්න කියලා මට තාමත් දුරකථන ඇමතුම් ලැබෙනවා.

ඔස්ට්‍රේලියාවේදී ඒ වගේ විශේෂ උත්සව අවස්ථාවලට මම නිතරම සහභාගි වෙනවා. අවුරුදු පනස් පහක් තිස්සේ මට නොඅඩුව ලැබෙන මේ රසික ප්‍රසාදය නිසා තවදුරටත් ක්ෂේත්‍රයේ රැඳී ඉන්නේ හරිම තෘප්තියකින්.

අසංක දේවමිත්‍ර පෙරේරා
SEPTEMBER 2, 2019
'අරුණ' පුවත්පත 
                            
                                    Rest In Peace Desmond Silva !!