This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 31 December 2019

Negombo Fort Ground's Carnival - කානිවල් නම් ඉතින් මීගමුව කොටුව පිට්ටනිය තමයි.

ඉස්සර නත්තල් කාලේ වෙද්දී මීගමුව කොටුව පිට්ටනියේ කානිවල් දානවා. රෑ එළිවෙනකම් සංගීත සංදර්ශන. නත්තල් කාලෙට විතරක් නෙමේ අවුරුද්දේ කිහිප සැරයක්ම ඔය පිට්ටනියේ විවිධ සැණකෙළි, සංගීත සංදර්ශන තියෙනවා. ඒ වගේම විවිධ පුද්ගලයෝ විවිධ වාර්තා තියන්න විවිධ දේවල් කලා ඔතන. වරක් ගිනස් වාර්ථාවක් තියන්න මිනිහෙක් ඔතන නොනවත්වා නැටුවා. මිනිස්සු සල්ලි කොළ අමුණලා මාල හදලා ඒ මිනිහට ගෙනත් දැම්මා. පාසල්වල නිවාස අන්තර ක්‍රීඩා උළෙලවල් විතරක් නෙමේ පාසැල් ළමුන් ක්‍රීඩා පුහුණුවුණේත් මේ කොටුව පිට්ටනියේ. නිදහස් දින සමරු උත්සව තිබ්බෙත් ඔතන. ජුබිටර්ස්, යුත් පාපන්දු කණ්ඩායම් පාපන්දු පුහුණුවුනෙත් ඔතන.

මේ කොටුව පට්ටනිය ක්‍රීඩා පිටියේ තිබුන මණ්ඩපයේ කාලයක් කිසිම නඩත්තුවක් නැතිව තිබිලා දැන් වහල බිමටම කඩාවැටිලා. පිට්ටනියේ තණකොළ කපන්නේත් නැහැ. සර්පයෝ ඉන්නත් පුළුවන් කියලා ළමයි සෙල්ලම් කරන්න එන්නෙත් බයෙන්.

කෝ මේ ලන්සලා? කෝ මේ මීගමුවේ නගරාධිපති දයාන් ලන්සා? අර දවසකට එක වැඩක් කිය කිය facebook එකේ පොටෝ දාගෙන මීගමුව හදනවා කිය කිය හිටිය දයාන් ලන්සා කෝ? මීගමුවේ මහා කතෝලිකයා තමන් යැයි කිය කිය ගිය නිමල් ලන්සා කෝ? මීගමුවෙන් චන්ද ගන්න සුදර්ශනීලා, ප්‍රසන්නලා කෝ? මීගමුව එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද තවම මේක දැක්කේ නැද්ද? මීගමුව නගර සභාව මේ ගැන මොකද කරන්නේ? ඈත ඉන්න අපිට පේන දේවල් ලග ඉන්න ඔයාලට පෙන්නේ නැද්ද? නැතිනම් උවමනාවක් නැද්ද?

මතක තියාගන්න, මීගමුව කැඩිලා බිදිලා, විනාශවෙලා යනවා දකින්න ඕනෑ තරම් මිනිස්සු ඉන්නවා එත් එක රැකගන්න ඉන්නේ කිහිපදෙනයි. ඒ නිසා ඒ ටිකවත් එකතුවෙලා, ඔය සමාගමකින් ආධාරයක් හරි අරන් ඕක හදන්න කටයුතු කරන්න. 

Long ago, this ground was famous for carnivals, funfairs and musical shows not only at Christmas time but throughout the year. People said there was no carnival better than Negombo Fort Ground's Carnival.

It was a playground for many kids, many sports and many inter-school sports competitions and sports meetings. It was the home ground to St. Mary's College, Newstead Girls College, Jupiters and Youth Football clubs of Negombo. I remember once a man tried to get the Guinness World Record of non-stop dancing. People rewarded him with a necklace of money.

That was exactly on this pavilion. Now due to the neglections, it's run down and the roof has fallen.

Where is our Mayor, Dayan Lanza? Can't he see this? Don't they want to repair it? Where is the MP, Nimal Lanza? And the new UNP organiser, Kavinda Jayawardena? And the other MPs who got the votes from Negombo? What about our Municipal Council? What are they going to do about it?

Please don't let the heritage of our glorious city of Negombo fall apart. We know many people who want to see that happen. Please don't allow them to succeed.

Let's join together and demand to keep our Negombo a safe, beautiful and glorious place again. Try to draw the attention of everybody to repair and restore this memorable pavilion and the Negombo Fort Ground.

Marcus Priyantha Perera.

Tuesday 24 December 2019

නත්තලේ ජීව ගුණය අඩුකර නොගනිමු !!

මෙවර නත්තල් දිනයේදී මට කීමට ඇත්තේ අප කිසිසේත්ම නත්තලේ ඇති නත්තල් ජීව ගුණය අඩුකර නොගත යුතුය බවය. 

නත්තල යනු අපට ඇති මහගුම මංගල්‍යයයි. අප සමරණ අනෙකුත් සියලු මංගල්‍යයන්ට වඩා එය උසස්ය. උද්වේගකරය. විශිෂ්ඨතමවුත්, අති උදාරම වුත් මංගල්‍යයය. මන්දයත් ඒ අප සමරන්නේ මුළු මහත් මිනිස්  සංහතියටම විමුක්තිය රැගෙනා විශිෂ්ඨතම විමුක්තිදායකයාගේ උපතය. නත්තලේ උපන් ජේසු නොවන්නට අද ලෝකය මීටත් වඩා යහපත්, නිදහස් තැනක්වීමට ඉඩ තිබුණිද? සමාජය වඩා යහපත් තැනක් කිරීමට ක්‍රිස්තු ධර්මය මහත්පිටුවහලක් සපයා ඇත. අද අප භක්තිවිදීන සෑම මිනිස් අයිතිවාසිකමක්ම, නිදහසක්ම, පොදු සමාජ සත්තාවන්ද මෙම පරිමාණයෙන් හෝ අප වෙත පැමිණ ඇත්තේ අද අප නත්තල් දිනයේ  සමරණ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය පැමිණීම ඔස්සේය. මුළු මිනිස් ඉතිහාසය පුරාම වඩාත් දීර්ගකාලීනව බලපවත්වන ලද විප්ලවයක්වුයේ නම් ඒ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය තහවුරුවීමය. අප සියල්ලන් අද එහි ප්‍රතිපල භුක්තිවිදින්නෝය.

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ විමුක්තිදායක පණිවිඩය නොවන්නට අද අප මොනවගේ සමාජයක ජීවත්වෙන, මොනවගේ පුද්ගලයන්වීමට ඉඩ තිබුණිද? එය අප සියල්ලන් තනි තනිවම තම තමන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි. ක්‍රිස්තියානින් වුවද, නොවුවද, අප සියල්ලෝම ක්‍රිස්තු ධර්මය මතුකළ පොදු මිනිස් වටිනාකම්වල හරය විදින්නෝය. 

මුළු මිනිස් සමාජයටම එවැනි වෙනසක් ගෙනදුන් උදාර පුත්‍රයෙක්ගේ උපතක් සැමරීමේදී අප කිසිසේත්ම උකටලී වන්නො නොවෙමු. 

ඇත්ත, අපේ සහෝදර ජනයා පාස්කු ප්‍රහාරය නිසා විපතට පත්ව ඇත. මේ නත්තලේදීද ඔවුන් අප අතර නැති බව ඔවුන්ගේ පවුල්වලට මෙන්ම අපටද දැනේ. එහෙත් ලොවපුරාම ක්‍රිස්තුස් වහන්සේගේ විමුක්තිදායක සුභාරංචිය වෙනුවෙන් ලොව සෑම තැනම දිවිපිදු, සහ අදටත් දිවිපුදන දහසකුත් එකක් ප්‍රාණපරිත්‍යාගීන් අතර පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් අපේ ජනයාද සිටිනු බව දැක අපට ඔවුන් ගැන අභිමානයෙන් ඇතිවිය යුතුය. අද අප ජීවත්වෙන මේ ලෝක තලය වඩා යහපත් තැනක් කරගැනීමට දිවිපිදු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ උපත සමරණ නත්තල අපට ගෙන එම සදහා පුරාණයේ සිට දිවිපුජාකල ජනයා අතරට ඔවුන්වද ගැනෙන බව දැන අප සතුටු විය යුතුය. 

පාස්කු ප්‍රහාරය නිසා හෝ අබල දුබලතා නිසා හෝ අප කිසිසේත්ම නත්තලේ ඇති නත්තල් ජීවගුණය නැති කරගතයුතු නැත. නත්තල් ජීව ගුණය ඇත්තේ අපි අදින ඇදුමේවත්, කනබොන දේවලවත්, නත්තල් සැරසිලිවලවත් නොව අපේ සිත් තුලය. අප නත්තල් කියා සමරන්නේ ලස්සනට සරසා, ලස්සනට සැරසී, හොදට කෑම බීමෙන් සප්පායම්වීම නම් එය නත්තලක් නොව විවාහ මංගල්‍යයක් වැනි යමකි. නත්තල යනු ඊට වඩා උසස් මංගල්‍යයකි. උස්සම මංගල්‍යයය. මුළු මහත් සමාජ සත්තාවම වඩා යහපත් තැනක් කල, තවදුරටත් එසේ කිරීමට මගපෙන්වන මහගු විමුක්තිදායක සුභාරංචියක් ගෙනා විමුක්තිදායකගේ පැමිණීම සමරණ මංගල්‍යය. එය අප සැමරිය යුත්තේ තමන් වඩාත් ප්‍රේමාන්විතව ආදරය කරන, තමන්ගේ මුළු මහත් ජීවිතය ගොඩ දැමු, ඉන් එහා කෙනෙකු නොවූ තරම්වූ වීරයෙකුගේ පැමිණීම සමරණ ආකාරයට. 

එවැනි මහගු මංගල්‍යයක් 'මගේ නත්තල දුගියා බත්කන දාය, වැරහැලි නැතිවෙන දාය, පව පල්ලි යන දෑය', 'නත්තල යනු ආධ්‍යාත්මික භාවනාවකි', 'පාස්කු ප්‍රහාරය නිසා නත්තල සමරන්නේ නැහැ',නත්තල පුහු ආටෝපවලින් මුදාගනිමු' ආදී යෙදුම්වලට ලඝුකල නොහැක.  නත්තල තුල කිසිම ප්‍රතිගාමීත්වයකට ඉඩ නැත. එහි ඉඩ ඇත්තේ  ප්‍රගතිශීලීත්වයටය. විශිෂ්ඨ, උදාර, උද්වේගකර ප්‍රගතිශීලීත්වයටය. 

අවශ්‍යව ඇත්තේ ජේසුගේ උපත තුල මතුකරන විමුක්තියේ පණිවිඩය මතුකරගෙන සැබෑ සතුට අත්කර ගත හැකි, සැමට සතුටින් සිටිය හැකි සමාජ, දේශපාලනික, ආර්ථික සහ පාරිසරික වටපිටාවක් ගොඩනැගීමට ජව සම්පන්නව මැදිහත්විය හැකි උදාර, ප්‍රේමයෙන් යුතු පුද්ගලයින් මෙන්ම ජන සමාජයක් බවටද පත්වීමය. 

ඒ සදහා අප  නත්තලේ ඇති ජීවගුණය කිසිසේත්ම අඩුවීමට නොදී හැකි උපරිමයෙන්ම පවත්වා ගෙන යමු !!!

ඔබ සැමට සුභ නත්තලක් !!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
24/12/2019

**** මාධ්‍යතන යුගයේ ඉතාලි චිත්‍ර ශිල්පියෙකුවූ Sandro Botticelli ගේ Mystic Nativity (1501) ඉහලින් වේ.  

Sunday 22 December 2019

ගෝඨාභය ජනාධිපතිට, ආණඩුවට සහ ආරක්ෂක අංශවලට මල්මිටක්

චාල්ස් මහතා කරගෙන යන 'කදුල' වැඩසටහනට පසුගියදා මතුගම ප්‍රදේශයේ භික්ෂුන්ගෙන් විරෝධයක් එල්ලවුනා. බොදුබල සේනාවේ ඥානසාර හාමුදුරුවෝ ඒ ගැන මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් 'කදුල' වැඩසටහන මතුගම ප්‍රදේශයේ කරන්න දෙන්න එපා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන්, ආණ්ඩුවෙන් සහ එය සංවිධානය කල ජගත් විතාන මහත්මයාගෙන් ඉල්ලා සිටියා. එත් එක නැවතුනේ නැහැ. ආණ්ඩුව පොලිසියේ සහ හමුදාවේ ආරක්ෂාව ලබා දුන්නා. බලාපොරොත්තු උනාටත් වඩා හොදට මතුගම 'කදුල' වැඩසටහන සාර්ථක වෙලා.

ඊට පස්සේ මඩකලපුවේ ඉවැන්ජලික් කණ්ඩායමක් කරන්න ගිය නත්තල් කැරොල් වැඩසටහනක ප්‍රචාරක වැඩවලට මඩකලපුවේ සුමන හාමුදුරුවෝ මැදිහත්වෙලා නවත්වන්න කරන උත්සහයක් ගැන වීඩියෝ එකක් සංසරණය වෙන බව දකින්න ලැබුණා. ඒ හිදී ඒ හාමුදුරුවෝ මේකේ ඉන්නේ කොටි, මුන් බලෙන් ආගම ප්‍රචාරය කරනවා වගේ විවිධ චෝදනා එල්ල කරපු නිසා පොලිසියට ගෙනවිත් කරුණු සොයා බලා තියෙනවා. පස්සේ ඒ කිතුනු කණ්ඩායමට තමන්ගේ වැඩේ කරගෙන යන්න පොලිසිය ඉඩ දීලා විතරක් නෙමේ ආරක්ෂාවත් සපයලා තියෙනවා.

මේ අවස්ථා දෙකේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයෙන්, පොලිසියෙන් සහ හමුදාවෙන් ලබාදුන් සහයෝගයට අපි ස්තූතිවන්ත විය යුතුයි.

ඒ වගේම ඉහත අවස්ථා දෙකේදීම අර හාමුරුවරු රටේ නීතිය අතට ගන්නටත්, ඊට පිටින් කටයුතු කිරීමටත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහතිකකර ඇති අන්ආගමිකයන්ට ඇති නිදහස උල්ලංඝනය කිරීමටත්, රජය සහ ආණ්ඩුව අපහසුවට පත්කිරීමටත් කටයුතු කර තිබෙනවා. මේ තත්වය තවදුරටත් වර්ධනයවීමට නොදී යම් ක්‍රියාමාර්ගයකට එළබෙන්නේ නම් මැනවි.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
20/12/2019

Thursday 12 December 2019

'ලෝක විවාහක රූ රැජින' කැරෝලයින් ජුරි සහ 'අපේ උරුමය'


මම ඔය රූපරැජින තරගවලින් දිනන්නේ කවුද කියන ගැන උනන්දු නැත, ඒවායින් ප්‍රවර්ධනය (promote) කරන්නේ මොනවාද යන්න ගැන තමයි මා වඩාත් උන්නදු. මේ වසරේ 'විවාහක රූ රැජින' ලංකාවේනුත්, 'විශ්ව රූ රැජින' දකුණු අප්‍රිකාවෙනුත් තෝරාගත්තා. ඒ අය ගැන ලියා තිබු දේවල් අතර ඒ අයගේ සමේ පැහැය ගැනද සදහන් කර තිබෙනු දුටුවෙමි. එය ඇතැම්විට රූපලාවන්‍ය ආලේපන වර්ග ප්‍රවර්ධනය සහ එකී නිෂ්පාදනවල ඊලග වෙළද පොළ ගැන දක්වන ඉගිකිරීමක්ද විය හැක.

ඒ වගේම මා උනන්දු තවත් දෙයක් තිබේ. ඒ විශේෂයෙන්ම ලංකාවේ කැරෝලයින් ජුරි (Caroline Jurie) ගැනය. මුලික වශයෙන්ම ඇය ජයග්‍රහණයෙන් අනතුරුව සිදුකල ප්‍රකාශයක් ගැනය: “I'm so honored to share my heritage and culture on the global stage”.

ක්‍රිස්තියානි, බර්ගර්, නම කියුවිට ද ලංකාවේ කෙනෙක් වගේ නෙමේ යැයි හිතෙන 'කැරෝලයින් ජුරි' (Caroline Jurie) මගේ "උරුමය" (heritage) සහ "සංස්කෘතිය"(culture) "ගෝලීය තලයට (global stag) ගෙන යෑමට ලැබීම භාග්‍යයක්" ලෙස සලකන බව එම ප්‍රකාශයෙන් දක්වා තිබුණි. ඇත්තටම, ඇය එයින් අදහස් කර තිබුනේ කුමක්ද? ඇය කියන 'උරුමය' සහ 'සංස්කෘතිය' කුමක්ද? කලින් කියූ ලෙස මගේ උනන්දුව ඇත්තේ ඒ ගැනය. ජයග්‍රහණයෙන් අනතුරුව ඇය ඇගේ Facebook profile පින්තුරය යාවත්කාලීන කරමින් මෙසේ දක්වා තිබුණි: ''All Glory to Jesus"!!! එය ඇය දක්වා ලූ ඇගේ 'උරුමය' සහ 'සංස්කෘතිය' කුමක්ද යන්න ගැන විස්තර කිරීමක්ද?

එය එසේය. ලංකාවට පැමිණි පසුව ඇය සිදුකල ප්‍රථම මාධ්‍ය සාකච්චාවේදීම සිය ආගම අනුව දෙවියන් පසසමින් ඇය ඇගේ සංස්කෘතික අනන්‍යතාවය ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන ලදී. එහෙත්, එම මාධ්‍ය සාකච්චාවේදී ඇය දෙවියන් පසසමින් කල ප්‍රකාශය ලංකාවේ කිසිදු මාධ්‍යකින් නොපෙන්වීමට ශ්‍රී ලංකාවේ විද්‍යත් මාධ්‍ය කටයුතු කරන ලදී. 

එයට හේතුව ඇය නියෝජනය කරන අනන්‍යතාවය ලංකාවේ මේ වනවිට ගොඩ නැගෙමින් ඇති 'සිංහල-බෞද්ධ ජාතික අනන්‍යතාවය' සමග  අනන්‍ය නොවීමද?

මේවන විට ශ්‍රී ලාංකීක  අනන්‍යතාවය 'සිංහල-බෞද්ධ' අනන්‍යතාවය තුල පමණක් ලඝු කිරීමට උත්සහයක් ඇති බව පැහැදිලිව පෙනීයයි. ඒ සමග අනෙක් අනන්‍යතා සහිත පිරිස් සිංහල බෞද්ධයාට තර්ජනයක් ලෙස සලකා ඔවුන් ලාංකීක සමාජයේ පිටස්තරයන් ලෙස සලකන තත්වයක්ද ක්‍රමයෙන් මතුවෙමින් තිබේ.  ක්‍රිස්තියානි / බර්ගර් අනන්‍යතාවයක් සහිත පිරිස් 'සිංහල-බෞද්ධ' සංස්කෘතිය කාදමන ''පරදේසක්කාර විලිසංගෙ නැති සංකර'' පිරිසක් ලෙසද, මුස්ලිම් නම් 'ආක්‍රමණිකයන්' පිරිසක් ලෙසද, දෙමළ නම් රට බෙදන ඩයස්පෝරාවේ එකෙක් ලෙසද සලකන තත්වයක් උද්ගතවී තිබේ.

යටත් විජිත පාලකයින් යටතේ 'සිංහල-බෞද්ධ උරුමය' විනාෂවුවා යැයි දක්වමින් ගොඩනැගු 'සිංහල-බෞද්ධ' ස්වොත්තමවාදී ව්‍යාපෘතිවල අවසාන ඉලක්කය වී ඇත්තේ ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ රටක් බවට පත්කරගැනීමය. එහිදී 'සිංහල-බෞද්ධ' නොවන දෙමළ, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ඇතුළු අනෙක් සියළු ජන කොටස් පිටස්තරයන් ලෙස දැක්වීම පියවරෙන් පියවර සිදුවුවකි. දැන් එය එසේ කිරීම, එසේ සිතීම පවා රටේ ජාතිමාපක, දේශමාපක, දේශප්‍රේමීත්වයේ අනිවාර්ය ලක්ෂණයක් බවට පත්වී තිබේ. එය අනෙක් ජනකොටස්වලට සෑම අතින්ම අහිතකර ලෙස බලපානවා පමණක් නොව, ලංකාවට දියුණු රටක් ලෙස නැගී සිටීමට ඇති ඉඩත් සීමා කර ඇත.

මා ලියන්නේ මහජාතියේ එකී වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී, අධිපතිවාදී (hegemonic) ව්‍යාපෘතියට විරුද්ධවය. ඒකී ප්‍රවාහය විසින් යටපත්කර සම්පුර්ණයෙන්ම අතුගා දැමීමට දගලන චූල, (මීගමුව වැනි) ප්‍රාදේශීය, ප්‍රගතිශීලි අනන්‍යතාවයන් මතුකරලීම සදහාය. ඒක-වාර්ගික අනන්‍යතාවයක් මුල්කරගෙන දියත් වෙන වාර්ගික-ජාතිකවාදී (ethno-nationalism) ප්‍රවණතා මෙන්ම එය යටතේ ඉදිරියට පැමිණ ඇති 'වාර්ගික ජාතික රාජ්‍ය ගොඩනැගීමේ ව්‍යාපෘතියද (ethno-cultural nation-state building projects) පරාජය කලයුතුය. 

කිසිවෙකු ඉහතකී මහජාතියේ, වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී, අධිපතිවාදී (hegemonic) ව්‍යාපෘතියට වඩ වඩා අනන්‍ය වෙන තරමට ඔවුනට මා හතුරෙකු ලෙස පෙනීයාම සිදුවන බව මම දනිමි. එහෙත් මම දේශපාලනය ලෙස දකිනුයේ 'රාජ්‍ය' සහ 'බලයට' ප්‍රතිචාර දැක්වීමය. එහෙයින් පුද්ගලයන් සමග පැටලීම අනවශ්‍ය. අඩුම වශයෙන් බොහෝ පුද්ගලයින්ගේ කොමෙන්ට් වලට පවා ප්‍රතිචර දැක්වීම තේරුමක් නොමැති වැඩක් බව සිතන්නේ ඒහිනි. 

වැඩිකල් නොගොස්ම අහන ප්‍රශ්නයක් වනුවේ කැරෝලයින් ජුරි (Caroline Jurie) කොතරම් ශ්‍රී ලාංකිකද? යන්නය. ඒය එවැනි නම් සහ වෙනත් අනන්‍යතාවයන් තියෙන බොහොමයක් දෙනෙකුට මුහුණ පෑමට සිදුවෙන ප්‍රශ්නයකි. එදිනට කිරුල දිනූ නිසා 'කැරෝලයින් ජුරි' (Caroline Jurie) ශ්‍රී ලංකා කියමින් උඩදාන සියල්ලෝම ඇයව උඩම දාලා කොන්ද කැඩේන්න වැටෙන්න අත්හරිති. නැතිනම් හැකිතාක් විගස ඇය මෙන්ම ඇගේ කිරුලද සම්පුර්ණයෙන් අමතකර ඉතිහාසයෙන්ම අකාමකා දැමීමට කටයුතු කරති.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
09/12/2019

Monday 9 December 2019

පාප්වහන්සේ නාගසාකි නුවරට යාම

පාප්වහන්සේ ඉකුත් 23/11/2019 දින ජපානයේ නාගසාකි නුවරට ගියේය. අපිට ජපානයේ නාගසාකි කියපුවහම මතක් වෙන්නේ හිරෝෂිමා-නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරය. ඒ නිසා විනාශවූ මිනිස් ජීවිත. ඒ මහා විනාශය. පාප්වහන්සේ හිරෝෂිමා-නාගසාකි නගර දෙකටම ගියේය. විපතට පත්වූවන් වෙනුවෙන් දුක්වුයේය. ඔවුන් වෙනුවෙන් දෙවියන් යදින ලදි. නැවත එවැනි විනාශයක් නැවත සිදුනොවීමට කටයුතු කිරීම සියල්ලන්ගේම වගකීම බව පසක් කලේය. 


ඊට අමතරව පාප්වහන්සේ නාගසාකි නුවර තවත් විශේෂ ස්ථානයකට ගියේය. ඒ සා. පෝල් මිකී ඇතුළු ක්‍රිස්තියානීන් 25 දෙනෙකු 1597 දී කුරුසියේ ඇනගසා මරා දැමු ස්ථානය ය. අද එහි පල්ලියක්ද ඉදිකර තිබේ. එහෙත් ජපානය 1560 ගණන්වල සිට 1900 පමණ වනතුරු ක්‍රිස්තියානි ආගම තහනම් කර, ක්‍රිස්තියානි ආගම ඇදහු ජනයව මර දමන ලදි. විදේශීය මිෂනාරීන් බුරුතු පිටින් අත් අත් අඩංගුවට ගෙන දසවද දීලා මරාදමන ලදී. ක්‍රිස්තියානි ආගම එන්නේ පෘතුගාලයෙන් සහ බටහිර ජාතිකයන්ගෙන් යැයි සලකා කිසිම පෘතුගීසිකාරයෙකුට ජපානයට එම තහනම් කර තිබුණි. අවුරුදු 200ක් කිසිම කතෝලික /ක්‍රිස්තියානි පියතුමෙකු ජපානයේ සිටියේ නැත. 


එත් මිනිස්සු කතෝලික ආගම රහසින් ඇදහැවුහ. ඒ අයගේ දරුවන් රහසින්ම ක්‍රිස්තියානි කරමින් සිය විශ්වාසය දිගටම අරගෙන ගියේය. අද එහි මිලියන 5ක කතෝලිකයින් පිරිසක් සිටී. එහෙත් අතීතයේ තිබු ක්‍රිස්තියානි මර්ධනය කෙතරම් දරුණුද යන්න දන ගැනීමට අවශ්‍යය නම් 2016 තිරගතවූ Martin Scorsese ගේ Silence චිත්‍රපටිය බලන්න. එය කෙතරම් කෘර මර්ධනයක්ද ඔබට උගත හැක.


ඒ ජපානයේ ජපන් ජාතිකවාදය තහවුරුවීම ආරම්භවූ වකවානුවේ. ජපන් ජාතිකවාදය ජපානය රණශූර ජාතියක් බවට පත්කළේය. එකී යුද්ධවාදී ජපන් ජාතිකත්වය අවසනවුයේ හිරෝෂිමා-නාගසාකි වැනි දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය කිරීමට හෙළු පරමාණු බෝම්බ ප්‍රහාරයට මග පාදමිනි. එම විනාශයෙන් අළුදුවිලි වුනු ජපානය නැවත ඇමරිකාව සහ බටහිර ජාතීන් මැදිහත්වී ගොඩනගැන ලදී. ජපානය නැවත ගොඩනැගීමට පැහැදිලිවම ජපන් ජනයාගේ කැපවීමද ඒ සමග අමතක නොකළ යුතුය. 


ජාතිකවාදය ගෙන යන්නේ මොනතරම් විනාශයකටද යන්න දෙවන ලෝක යුද්ධයේ විනාෂය ඔවුන් තේරුම් ගන්නා ලදි. අද ඔවුන් එයින් පාඩම් ඉගෙන ගෙන යහපත් මිනිසුන් පිරිසක් ලෙස අන්අයගේ නිදහසක් ගරුකරමින් ජීවත්වීම පාප්තුමාගේ ගමන තුල සාක්ෂාත් කරනු ඇත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
01/12/2019