This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 22 July 2020

වැස්සට ගසාගෙන ගිය ලන්සලාගේ සහ ප්‍රසන්නලාගේ කලිසන්

දැන් සතියකට දෙකකට විතර කලින් නිමල් ලන්සාගේ චන්ද රැස්වීමක් තිබුණා වැල්ලවීදියේ රීටා පාරේ. ඒකට ආව ප්‍රසන්න රණතුංග කිව්වා ''බල්ලන ඉස්සර මීගමුව.. පොඩි වැස්සක් වහින්න බෑ යටවෙනවා, හැම තැනම ජරාව, අඩියක් තියලා යන්න බැහැ ජරා ගොඩක්. නිමල් ලන්සා තමයි මීගමුව හැදුවේ. දැන් බලන්න නගරය කොච්චර ලස්සනද?, ඊලග ආණ්ඩුවේ ඇමතිකමකටත් මම යෝජනා කරන්නේ ලන්සාව..වෙන කවුරුවත් නෙමේ..'' එයා එහෙම කිව්වේ විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඉලක්ක කරගෙන...ලන්සා ප්‍රසන්න රණතුංගට කටපුරා ස්තූති කරන ගමන් කියනවා ප්‍රසන්නට මනාපයක් දෙන්න අමතක කරන්න එපා..අගමැති මහින්දගෙන් පස්සේ ඉන්නේ එයා තමයි කියනවා..

ගිය සතියේ ප්‍රසන්න රණතුංග දිවුලපිටියට ගිහිල්ලා කියනවා ''බල්ලන ඉස්සර දිවුලපිටිය කොච්චර නොදියුණු පළාතක්ද, පොඩි වැස්සක් වහින්න බෑ යටවෙනවා, හැම තැනම ජරාව, අඩියක් තියලා යන්න බැහැ ජරා ගොඩක්.ඉන්දික අනුරුද්ධ තමයි දිවුලපිටිය දියුනුකලේ. දැන් බලන්න දිවුලපිටිය කොච්චර ලස්සනද?, ඊලග ආණ්ඩුවේ ඇමතිකමකටත් මම මෙයාව යෝජනා කරනවා..'' මුළු දිවුලපිටියේම පස් කදු ගනන් කපලා දිවුලපිටිය පත වලක් කරපු ඉන්දික අනුරුද්ධ ඒ එක්ම වේදිකාවට ඇවිත් කියනවා ප්‍රසන්නට මනාපයක් දෙන්න අමතක කරන්න එපා අපි එයාව ගම්පහින් එක කරන්න ඕනේ..අගමැති මහින්දට පස්සේ ඉන්නේ එයා තමයි කියලා

දෙය්යෝ උනත් මෙහෙම හැමදාම උදේ හවස අතේ පැලවෙන කෙප්ප කෙලින එක බලන් ඉන්නේ නැහැනේ.. එක වැස්සක් දුන්නා ඔක්කොටම බලාගන්න උන්ගේ දියුණු කිරිල්ලේ දියුණුව..අම්මපා සංවර්ධනය ගඟ වගේ වීදි දිගේ දොරේගලා ගියේ .. කොහෙන් ගෙනත්දාපු කුණු ගොඩවල්ද මන්දා කාණු කටවල්වලින් එලියට පැනලා කුණු කදු ගණන් නගරය පුරාම ඒ මේ අත පාවෙන්න පටන් අරන්..ඒ අස්සේ ලන්සා කියලා ගහපු ටී ෂර්ට් ඇදගත්තු දෙතුන් දෙනෙක් ඒ මේ අත දුව දුව මොන මොනවද හොයනවලු...

දැන් කලපුව ගාව දෙතුන් දෙනෙක් ඉන්නවාලු ලන්සාලාගේ, ප්‍රසන්නලාගේ වැස්සට ගලෝගෙනගිය කලිසම් ටික එකතුකරලා ගිහිල්ලා දෙන්න...අනේ මුන්ගේ සංවර්ධනය...මුන් ඇදුම් නැතිව ඉන්නේ කියලා අපේ උන්ට තවම තේරෙන්නේ නැහැනේ...

මාකස් ප්‍රියන්ත පෙරේරා
22/07/20

මීගමුවේ පරණ ගංවතුර කථා කියවන්න ඕනේ නම් මේ ලිපියත් කියවන්න 'ඊලග මහා ගංවතුරෙනුත් මීගමුව බේරේයිද?'

Tuesday 21 July 2020

මේ ජූලියට පාස්කු ප්‍රහාරයට මාස 15යි, අර්බුධයක් ඇතිකර බලයට පත්වන්නා අර්බුධයකින්ම විනාශවීයෑම නියතයක්

අද (21/07/20) වනවිට පාස්කු ප්‍රහාරයට මාස 15ක් ගතවේ. පසුගිය ජනාධීපතිවරණයේදී මෙන් නොව මේ මැතිවරණය වනවිට පාස්කු ප්‍රහාරය මැතිවරණ වේදිකාවේ තීරණාත්මකව මතු නොවන, තවදුරටත් මැතිවරණ වේදිකාවේ විකිණිය නොහැකි මාතෘකාවක් බවට පත්වී හමාරය.

ආණ්ඩු පක්ෂය පැත්තෙන් කොමිසන් යොදා, පරීක්ෂණ පවත්වමින්, සහරාන් සමග සමබන්දයැයි කියමින් විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන, මාධ්‍යවල ප්‍රවෘත්ති පළකරමින් ඒගැන දිගින් දිගටම කටයුතු කරන බව ප්‍රචාරයකරන අතරම...කතෝලික පියතුමෙකු ලෙස ඇදගත් කෙනෙකු ලවා ප්‍රචාරක වීඩියෝවක් නිකුත්කලද... ආණ්ඩු පක්ෂයට එයින් විශාල ප්‍රචාරයක්, පිටුබලයක් ලැබෙන පාටක් පෙනෙන්නට නැත.

ඒවගේම විපක්ෂයේ හරීන් ප්‍රනාන්දු කාදිනල්තුමාවත් විවේචනය කර, පසුව පැමිණ කාදිනල්තුමාගෙන් සමාව ඉල්ලා, අනතුරුව නැවත පාස්කු ප්‍රහාරය ගැන රාජපක්ෂලාට, පොහොට්ටුවට චෝදනා කරමින් පාස්කු ප්‍රහාරය පිටුපස්සේ සිටින්නේ ඔවුන් යැයි දිගින් දිගටම චෝදනා කලද, යහපාලන ආණ්ඩුව යටතේ කිතුණුවන්ට ආරක්ෂාව නොදීම ගැන, තොරතුරු දැන දැනත් ඒ ගැන කිසිවක් නොකරමින් මිනිස් ජීවිත සහ රටේ ආරක්ෂාව ගැන වගකීම පැහැර හැරීම පිලිබදව, ඔවුන්ටවූ වගකීමෙන් ගැලවීමට නොහැකිවී තිබෙනවා පමණක් නොව ඒවා නැවත අනෙක් පැත්තට කරකවා ඔවුන්ටවූ හානිය අවම කරගැනීමට ඔවුන් ගන්නා උත්සහයද අසාර්ථකවී තිබේ.

ඒ අනුව මේවර මැතිවරණයදී පාස්කු ප්‍රහාරය තවදුරත් තීරණාත්මකව මතු නොවන, තවදුරත් මැතිවරණ වේදිකාවේ විකිණිය නොහැකි මාතෘකාවක් බවට පත්වී තිබෙන බව පැහැදිලිය. ඒ වෙනුවට විවිධ මාතෘකා මතුවී තිබේ. කොරෝනා මර්ධනය, මහින්දානන්දගේ ක්‍රිකට් ලෝක කුසලානය පාවාදීමේ චෝදනා ආදිය මෙන්ම අගුලාන, කුරුණෑගල බුවනෙකබාහු රාජසභා ගොඩනැගිල්ල කැඩීම ආදී විවිධ අර්බුධ, මාතෘකා රාශියක් දැන් කරලියට පැමිණ තිබේ. රටම කිසියම් අර්බුධයකට මුහුණපා සිටින බව එත්තුයමින් තිබේ.

මෙවැනි පසුබිමක් තුල 'අර්බුධයකින් බලයට පැමිණෙන්නා අර්බුධයකින්ම වැනසී යන්නේය' යන මතයක් ස්ථාපිත වෙමින් තිබේ. පැහැලිවම පසුගිය වසරේ අප්‍රියල් 21 පාස්කු ප්‍රහාරයත් සමග රටතුල සමාජ අර්බුධයක් ගොඩ නැගුන බව පිළිගත හැක්කකි. ඒ රට තුල උද්ගතවී ඇති උග්‍ර ආර්ථික අර්බුධයට අමතරවය.

පාස්කු ප්‍රහාරයත් සමග රට තුල සමාජ ඒකාග්‍රතාව සම්පුර්ණයෙන්ම බිදවැටී තිබේ. ජාතීන් සහ ආගම් අතර බෙදීම උග්‍රවී තිබේ. දෙමළ ජනසමාජය මෙන්ම මුස්ලිම් ජනතාවද ශ්‍රී ලංකා රාජ්‍ය තුල ඔවුන්ට සමාන අයිතිවාසිකම් හිමිනොවන, සමානව නොසලකන, ආරක්ෂාව අහිමි, සතුරන් සේ සලකා කොන්කරන ලද සමාජ කොටසක්යැයි යන හැගීමක් ඇති පිරිසක් බවට පත්ව තිබේ. ඒමෙන්ම ක්‍රිස්තියානි ජන කොටස් තුලද බිය, අවිශ්වාසය සහ නිසි ආරක්ෂාව පිලිබදව දෙගිඩියාවක් ඉතා සීග්‍රයෙන් මෝදුවෙමින් තිබෙනවා පමණක් නොව ඔවුන් පෙර පරිදි උතුරා ගලාගිය සතුටකින්, උද්යෝගයකින් යුතුව ප්‍රබෝධමත්ව කටයුතු නොකරන තත්වයක් දකින්නට තිබේ. දැන් කොරෝනා තත්වය තුල මුළු රටම එවැනි තත්වයක පසුවුවද පාස්කු ප්‍රහාරයෙන් පසුව කිතුනු ජනතාව අතර පෙර තිබු සතුට, උනන්දුව, උද්යෝගය, ප්‍රබෝධය ගිලිහී ගොස් එය නැවත යථාතත්වයට පත්වීමක් සිදුනොවුනි.

රටකට මෙලෙස ඉදිරියටයා නොහැක...රට වැසියන් සතුටින්, උද්යෝගයකින්, ප්‍රබෝධයකින් සහ ජවයකින් යුතුව කටයුතු කරන්නේ නැතිනම් ඒ රට ඔහේ දුවන, එක එක තැන පල්වෙන, කිසිදු ප්‍රගතියක් දක්නට නොමැති තත්වයක්ට පත්වෙනවා මිස රටක් ලෙස එම රට විකසිතවන්නේ නැත. 1980 වනවිට ලංකා ආර්ථිකයේ ජවසම්පන්න ව්‍යාපාරිකයින් පිරිසක්වූ දෙමළ ජනයා 1983 කළු ජූලියත් සමග හැකිලී ගියාසේ, පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව, දෙමළ ව්‍යාපාරිකයින්ගෙන් පසුව මෙරට ආර්ථිකයේ ජවසම්පන්නම ව්‍යාපාරිකයින් පිරිසක් ලෙස ඉදිරියට පැමිණි, මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවද දැන් කිසියම් ආකාරයක සීමා සහිතව කටයුතු කරන තත්වයකට පත්ව තිබේ.

එමෙන්ම 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් අනතුරුව ලංකා සමාජය තුල වඩාත්ම ප්‍රබෝධමත් ජනකොටසක්වූ බර්ගර් ජනයා විශාල ලෙස රට හැරයෑමෙන් අනතුරුව, ඒ අඩුවත් පුරවමින් ශ්‍රී ලංකා ජනසමාජය තුල විවිධ සංස්කෘතික, අධ්‍යාපනික සහ ක්‍රීඩා ආදී ක්ෂේත්‍රවල නිරතවෙමින් උතුරාගලා ගිය සතුටකින්, ප්‍රබෝධයකින් සහ ජවයකින් ක්‍රියාකල ක්‍රිස්තියානි ජනයාට පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එකී සතුට, ප්‍රබෝධය සහ උනන්දුව අහිමිවී ගොස් තිබෙනවා පමණක් නොව ඔවුන් කිසියම් ප්‍රවේශම් සහගත ප්‍රවේශයකට යොමුවෙමින් සිටී.

පාස්කු ප්‍රහාරයත් සමග රටතුල විශාල සමාජ අර්බුධයක් ගොඩනැගී ඇතැයි යනුවෙන් දක්වන්නේ එවැනි පසුබිමක් තුලය. මේ තත්වයෙන් අත්මීදීමට නම් රටේ විවිධ ජනසමාජයන් අතර ශ්‍රී ලංකා රාජ්‍ය කෙරෙහි විශ්වාසය තවුරුකළ යුතුය. පාස්කු ප්‍රහාරය ගැන නිසි පරීක්ෂණයක්කර, වරදකරුවන්ට සහ තොරතුරු දැනදැනත් ඒ සම්බන්දයෙන් කිසිවක් නොකල නිලධාරීන්ට සහ බලධාරීන්ට තරාතිරම නොබලා දඩුවම් කළයුතුවන්නේ එහිනි. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් මෙන්ම, පසුගිය කාලය පුරාම ශ්රා‍රී ලංකා රාජ්‍යයේ වගකීම් විරහිත ක්‍රියාදාමය නිසා විපතටපත් ජනයාට යුක්තිය සහ සාධාරණ ඉටුකිරීමකින් තොරව ශ්‍රී ලංකා රාජ්‍යයට නැවත ගොඩඒමක් නැත.

එසේ නොවුනහොත් සිදුවන්නේ 1983 කළු ජූලියත් සමග ඇතිකළ අර්බුධයෙන් එකී පාලනතන්ත්‍රයම අර්බුධයට ගොස් විනාශවුවාසේ අර්බුධයක් ඇතිකර බලයට පත්වන්නා අර්බුධයකින්ම විනාශවී යාමය.

මාකස් ප්‍රියන්ත පෙරේරා
21/07/2020

Monday 20 July 2020

බුවාලට බුවනෙකබාහුගෙන් ඇති වැඩේ මොකක්ද?

දැන් ඉන්න බුවාලට බුවනෙකබාහු රජ්ජුරුවෝ වැඩකුත් නැහැ, රාජ සභා ගොඩනැගිල්ල වැඩකුත් නැහැ, 13 වන සියවසේ නිර්මාණ වැඩකුත් නැහැ, කුරුණෑගල රාජධානියාවත්, දඹදෙණි යුගයවත් වැඩක් නැහැ. කොහෙන් හරි කමක් නැහැ ගානක් හම්මකර ගන්න පුළුවන් නම් ඒවා කඩලා බිදලා දාලා ලට්ටලොට්ටවලට හරි, අබිලිදුබුලිවලට හරි, කළුගල්, ගඩොල්, ලී කෑලිවලට හරි විකුණන පුළුවන් නම් එච්චරයි...ගානක් හොයාගන්න එක තමයි ඒ අයට තියෙන ලොකුම දේ.

එහෙම ගණනක් හොයාගෙන ටයිල් අල්ලලා, හොද බාත්රූම් එකක් දෙකක් එක්ක අළුත් ගෙයක්දෝරක් හදාගන්න එක, අළුත් වාහනයක් පදින එක, කොහේ හරි ගිහිල්ලා හොදට කලාබීලා ෆොටෝ ටිකක් ගන්න එක, තමන්ගේ නම ගහගන්න මොනවා හරි දෙයක් කරලා පුම්බිලා පෙන්නන ඉන්න එක තමයි ඒගොල්ලෝ ජීවත්වෙනවා කියලා කරන්නේ...

ඇත්තටම ඔය වගේ මිනිස්සු කොච්චර පුම්බන්න හැදුවත්, පිම්බිලා පෙන්න හැදුවත්, පුම්බන්න බැහැ...පිම්බිලා ඉන්න බැහැ..මැද ලොකු පැච් එකක් තියෙනවා... ඔය මිනිස්සුන්ගේ ජීවිතවල ලොකු හිලක් තියෙනවා..පිරවිය නොහැකි ලොකු පදාසයක් තියෙනවා...කුරුණෑගල නගරාධිපතිගේ විතරක් නෙමේ..අනෙක් නගරාධිපතිලාගේ විතරක්..පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්‌ගේ විතරක් නෙමේ..රටේ බොහෝ දෙනෙකුගේ තත්වය ඒකයි...

එක උගත්කමක් පිළිබද ප්‍රශ්නයක්වත්, වැදගත්කම පිලිබදව ප්‍රශ්නයක්වත් නෙමේ. සංස්කෘතික වටිනාකම් පිලිබදව ප්‍රශ්නයක්. ජීවත්වෙනවා කියලා තේරුම් අරන් තියෙන්නේ දේ පිලිබදව ප්‍රශ්නයක්. ඇත්තටම ජීවත්වෙන්න දන්නේ නැතිකම පිලිබද ප්‍රශ්නයක්.

ලස්සනට ජීවත්වෙන්න කැමති මිනිස්සු තමා වටා ඇති පරිසරය විනාශය කරයිද? ගහ කොළ සතා සිව්පාව විනාශ කරයිද? පැරණි දේ කඩලා බිදලා දාලා කුඩු පට්ටම් කරයිද? නැහැ කවදාවත් නැහැ. ඒඅය ඒවා තවදුරටත් වැඩිදියුණුකරයි.. ලස්සන කරයි.. තියෙනදේ රැකගෙන තවදුරත් අලංකාරවත් ලෙස පවත්වාගෙනයයි..එහෙමයි මිනිස්සු ජීවත්වෙනවා කියන්නේ. සංස්කෘතික වටිනාකම් ගැන හරයක් තේරෙන මිනිස්සු කටයුතු කරන්නේ එහෙමයි. සමාජයක් පවතින්නේ ඒ වගේ සමාජ වටිනාකම් තේරුම්ගත්ත මිනිස්සු ඉන්නකම් විතරයි...

කලින් පරම්පරාවල ඒවායේ වටිනාකම් දන්න අය ටික දෙනෙක් හරි ඉතුරුවෙලා හිටියේ නැතිනම්, ඕවා මීට කලිනුයි විනාශවෙලා යන්නේ..දැන් නම් ඒ අයත් අඩුයි..සුද්දගේ කාලේ, ඊට පස්සේ පත්වුණු කළු සුද්දන්ගේ කාලේ ඕවා ඔහොම හරි ආරක්ෂා වුනා, මිනිස්සු රැකබලාගත්තේ නැතත් අඩුම තරමින් නීතිය හරි ක්‍රියාත්මකවුනු නිසා...

නමුත් දැන් ඉන්න පද්දන්ගේ කාලේ..උන්ට සංස්කෘතික වටිනාකම් කියලා දේකුත් නැහැ..නීතිය, ආචාර ධර්ම කියලා දෙයකුත් නැහැ...ඔක්කොම ඉවරයි හරයක්..වටිනාකමක්..දැනුමක්...අවබෝධයක් කියලා කිසිම දෙයක් නැහැ.

පාලකයින්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත් නැහැ..වෙන රටවල මිනිස්සු තමන්ගේ කියන දේවල් රැකගෙන..බලාගෙන...වැඩිදියුණු කරගෙන.. කොච්චර ලස්සනට තියන් ඉන්නවද...අඩුම තරමින් කෑලී කැඩිලා බිමට වැටිලා තියෙනදේ වල් බිහිවෙලා කැලාවෙලා යන්න නොදී සුද්ද බුද්ද කරලා හරි...පෙන්න කරන්න, දකින්න බලන්න සලස්වලා තියෙනවා.ඒ අවට පරිසරයේ පවා ගහක් කොළක් මලක් වවලා ලස්සනට තියෙනවා.ඒවා බලාකීයා ගන්න විවිධ සංවිධාන හදාගෙන ඒවා ආරක්ෂා කරලා, ඒවා ගැන දිගින් දිගටම ජනතාව දැනුවත් කරනවා. විවිධ උත්සව සංවිධාන කරලා ඒවා ගැන අවධානය ගිහිලී නොයන්න කටයුතු කරනවා..

එත් අපේ රටවල, අපේ මිනිස්සු අතර එහෙම දේවල් නැහැ..කඩලා බිදලා විනාෂම කරලා දාපුවහාම විතරක් කෑ කෝ ගහනවා...එතකොට පරක්කු වැඩියි. ඔක්කොටම වඩා මිනිස්සුන්ට passion එකක් ලැදියාවක්, ලලසාවක්, මහත් උනන්දුවක් තියෙන්න ඕනේ..අපේ මිනිස්සුන්ට තියෙන්න passion නෙමේ fashion -මොස්තර, විලාසිතා, අනුකරණ. Fashion වලට grace එක ගන්න බැහැ..ලාලිත්‍යය, අලංකාරය, ශිෂ්ටත්ව ගොඩනගන්න බැහැ..එක කරන්න පුළුවන් passion වලට විතරයි (Fashion cannot build grace, but passion can.) මිනිස්සුන්ට තමන්ගේ සමාජ වටපිටාව ගැන ලැදියාවක්, ලලසාවක්..වටිනාකමක් නැතිනම් ඔය මොකවත් රැකන්නේ නැහැ..පවතින්නේ නැහැ..අඩුම තරමේ ඒ මිනිස්සුන්ටවත් පැවැත්මක් නැහැ...නික්ම්ම නිකන් ශරීර කූඩු ටිකක්, හිස් පොළවක් විතරයි ඉතුරුවෙන්නේ...

මාකස් ප්‍රියන්ත පෙරේරා
20/07/2020

Friday 17 July 2020

පොලිසියට ගල් ගහන්න අගුලාන කාන්තාවන්ට ඇති හයිය කොහෙන්ද?

පොලිසියට ගල් ගහන්න අගුලාන කාන්තාවන්ට එහෙම හයියක් ආවේ කොහෙන්ද ? තමන්ට දඩ කොලයක් දුන්න පොලීසියේ රාළහාමිලාව ආපහු හරොගෙන ඇවිත් යටකරගෙන යන්න මාතර ටිපර් ඩ්‍රයිවර්ට කොහොමද එහෙම හැගීමක් ඇතිවුනේ?

මිනිස්සුන්ට ඇතිවෙලා තියෙන්නේ.....

දවසම හම්බකරපු එක පොලිසියේ දඩ කොලේටයි, තව පගාවටයි, ජරාවටයි, කොත්තුවක් නැතිනම්, සිගරට් එකක් නැතිනම් බුලත්විටක් බැරිනම්, ටෙලිපොන් කාඩ් එකක් හරි ගෙනල්ලා දීපන්ලා කියන එක...

ඇතිවෙලා තියෙන්න...

පොලීසියට අල්ලන් ගියහම මැරෙනතුරු ගුටි කන එක, වෙඩි තියලා මරලදාන එක, කුඩු පැකට් එකක් හරි දාලා හිරේ අරින එක, ඊට පස්සේ ඒ මිනිස්සුන්ගේ ගෑනු පස්සේ එන එක..

ඇතිවෙලා තියෙන්නේ...

ගෙවල් සොදිස්සි කරන්න ඇවිත් ගෙදර ලිපේ තියෙන මස් හොද්දට ආතදාලා කෑවා... උයලා තිබ්බ ඌරු මස් ඇතිලිය පිටින් උස්සන් ගියා.. නත්තලට පෙරලා තිබුන තැම්බිලි වයින් බෝතල් තුන උස්සන් ගියා කියලා මීගමුව පැත්තේ මිනිස්සු කියන ආඩපලි ඕනේ තරම් අහලා තියෙනවා...

ලංකාවේ විතරක් නෙමේ දැක්කනේ ඇමරිකාවේ කළු මිනිහෙක්ව බෙල්ල පාගලා මරනවා...

මිනිස්සුන්ට ඇතිවෙලා තියෙන්නේ...

මට නම් පීඩකයාට එරෙහිව නැගී හිටින හැම මනුෂයෙක්ම මහා ධෛර්යය සම්පන්න මිනිහෙක්...ගැහැණියෙක්...

දැන් කියනවා පොදු දේපලවලට හානි කෙරුවලු... පොදු දේපල කියන්නේ මොනවද? මිනිස්සුන්ගේ බදු මුදලින් හදපුවා...උන්ට මිනිස්සු ගැන කැක්කුමක් නැතිනම් , මිනිස්සුන්ගේ ජීවිත ගැන කැක්කුමක් නැතිනම්...මිනිස්සුන්ගේ බදු මුදලින් හදපුවා ගැන තියෙන කැක්කුම මොකක්ද?...

ඒවා රැකගන්න වෙන්නේ උන්ට එරෙහිව නැගී සිටීමෙන් මිසක් වෙන විසදුමක් නැහැ....

මට නම් ඒ මිනිස්සු ගැන තියෙන්නේ ගෞවරවයක්.. ගැම්මක්...රෙස්පෙක්ට් එකක්...

මාකස් ප්‍රියන්ත පෙරේරා.
17/07/202

Tuesday 14 July 2020

යාපනේ නවාලි පල්ලියට බෝම්බ දමා වසර 25යි, රදගුරු සෞන්ද්‍රනායගම්ට කලදේ කාදිනල්ටත් වෙන්නට ඉඩනොතබමු!!!

කොළඹ පදවිය සදහා නව සහයක රදගුරුවරයෙකු ලෙස පාප්තුමන් විසින් ගරු ඇන්ටන් රංජිත් පිල්ලෙයිනායගම් පියතුමන්ව පත්කර ඇති බව ඊයේ (13/07/20) වතිකානු පුවත්සේවය ඇතුළු බොහෝ පුවත්සේවා වාර්තාකර තිබුණි. බම්බලපිටිය සා.පීතර සහ සා.ජෝසප් විදුහල්වල සහයක අධ්‍යක්ෂක පියතුමන් ලෙස කටයුතුකර තිබු මෙතුමා යාපනයේ උපත ලැබුවෙක් ලෙසද එම වාර්තාවල සදහන්විය. 


මීට පෙර සිදුකල වෙනත් සහයක රදගුරුවරුන් පත්කිරීමට වඩා ගරු ඇන්ටන් රංජිත් පියතුමාගේ පත්වීම ගැන වැඩි උනන්දුවක් යොමුවී තිබු බවක් පෙනෙන්නට විය. එහිලා බොහෝදුරට හේතුවන්නට ඇත්තේ මොරටුව සා.සෙබස්තියන් විදුහලේ සිට කොළඹ 10 සා.ජෝසප් විදුහල දක්වා එතුමා අධ්‍යක්ෂක පියතුමෙකු සහ සහයක අධ්‍යක්ෂක පියතුමෙකු ලෙස දිනාගෙන තිබු කීර්තියවීමට පුළුවන. මට නම් හිතෙන්නේ ගරු ඇන්ටන් රංජිත් සහයක රදගුරුතුමන් ගැන උනන්දුව ඉදිරියේදී තව තවත් ඉහල යාහැකි බවයි. මා එසේ සිතනුයේ සභා සම්මතයන්ට අනුව ගරු මැල්කම් රංජිත් අගරදගුරුවරයා ක්‍රමයෙන් විශ්‍රාමයාමේ වයසට ලගාවෙමින් තිබීමත් ඒ අනුව ඉදිරියේදී කොළඹ පදවිය සදහා නව අගරදගුරුවරයෙකු තෝරාගැනීමට ඉඩ විවරවීමත්, එවැනි අවස්ථාවක කතෝලික පාසැල් කිහිපයකම අධ්‍යක්ෂක ධුරයන් දැරූ ඇන්ටන් රංජිත් සහයක රදගුරුතුමන් ගැන අවධානය යොමුවිය හැකියැයි යන උපකල්පනයත් තුලය. එහෙත් එය හුදෙක් උපකල්පනයක් පමණි. ඊලග අගරදගුරුවරයා කවුරුන්දැයි ඔහු පත්වනතුරුම කිසිවෙක් නොදනී. 

කෙසේවෙතත්, යුද්ධ සමයේදී යාපනයේ නවාලි හි පිහිටි සා.පේදුරු-පාවුළු පල්ලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෝම්බ දමා වසර 25 යෙදෙන දිනවලම කොළඹ පදවිය සදහා යාපනයේ උපත ලැබූවෙකු සහයක රදගුරුවරයෙකු ලෙස පත්වීම සුවිශේෂි අවස්ථාවකි. යාපනේ නවාලි සා.පේදුරු-පාවුළු පල්ලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෝම්බ දැම්මේ 1995 ජුලි 09 වෙනිදාය. ඇතැම් වාර්තාවලට අනුව ජුලි 10 වෙනිදාද පල්ලිය අවට ප්‍රදේශවලට බෝම්බ දමා ඇත (අසල පිහිටි කෝවිලට බෝම්බ වැටුනේ ජුලි 10 යැයි කියවේ). ඒවූකලී යාපනය අත්කරගැනීමට රජය යුද්ධ මෙහෙයුම් දියත්කර තිබු වකවානුවය. එම මෙහෙයුම් නිසා අවතැන්වූ බොහෝ දෙනෙක් නවාලි සා.පේදුරු-පාවුළු පල්ලියේ රැදී සිටියහ. සිය මෙහෙයුම් සදහා ඉදිරියට ඇදෙන පාබල හමුදාවන්ට සහයපතා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් ප්‍රහාර දියත්කර තිබු අතර නවාලි සා.පේදුරු-පාවුළු පල්ලියට බෝම්බ දමන්නේ එවැනි පසුබිමකය. පල්ලිය ගැන හෝ කෝවිල ගැන හෝ අවතැන්වුන් රැදීසිටින ස්ථාන ආදිය ගැන හෝ නිසි අවධානයක් යොමුනොකර එල්ලකල ගුවන් ප්‍රහාර නිසා නවාලි සා.පේදුරු-පාවුළු පල්ලියේ සිටි 125 දෙනෙක් මිය ගියේය. 

එවකට යාපනයේ රදගුරුවරයාවූ ගරු තෝමස් සෞන්ද්‍රනායගම් රදගුරුවරයා මේ සම්බන්දයෙන් වහා මැදිහත්ව කටයුතු කරන ලදී. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ මෙන්ම රජයේද සහයෝගය ඇතිව විපතට පත්වුවනට සහන සැලසීමට කටයුතු කළේය. ඒ වනවිටද සිදුවී තිබු විනාශය හද කම්පා කරවන සුළුය. බෝම්බවැදී මියගිය පිරිසගේ සිරුරු කෑලි කෑලිවලට කැඩී බිදී සුනුවිසුණුවී ගොස් තිබුණි. පල්ලියේ බිත්ති හතර පමණක් ඉතිරිවන්නට සියල්ල විනාශවී ගොස් තිබුණි. වගවිභාගයකින් තොරව සිදුකල මේ බෝම්බ දැමීම ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලා එවකට යාපනයේ රදගුරුවරයාවූ ගරු තෝමස් සෞන්ද්‍රනායගම් රදගුරුවරයාද, ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයද, කතෝලික සභාවද, මානව හිමිකම් සංවිධානද, ද්‍රවිඩ දේශපාලන පක්ෂද හඩ නගන්නට විය. 

විවිධ බලවේග ඔස්සේ නැගී එන දැඩි බලපෑම නිසාම ඒ ගැන සොයාබැලීමට එවකට බලයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය කොමිසමක් පත්කළේය. පැහැදිලිවම අනෙක් කොමිසන් මෙන්ම එම කොමිසමෙන්ද පලක් නොවිණි. කොමිසමේ අවසන් නිගමන ගැන එම ප්‍රදේශයේ ජනයාගේ අදහසවුයේ ''අපි අපටම බෝම්බ ගහගත්තා'' වැනි අදහසක් කොමිසමේ වාර්තාවෙන් කියවෙන බවය. එම බෝම්බ ප්‍රහාරය සම්බන්දයෙන් මෙන්ම, කොමිසමේ නිගමන ගැනද, රජයේ හමුදාව වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා සිදුවූ ජීවිත විනාශයන් ගැනද එල්ලවූ විරෝධය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් 1995 දෙසැම්බරයේදී යාපනේ අල්ලාගැනීමත් සමග ඇතිවූ විජයග්‍රාහී මානසිකත්වයත් සමග යටපත්කර දමන ලදී.

එහෙත්, ඒ කිසිදු තත්වයකට නොසැලුණු, යටපත් නොවූ, එවකට යාපනයේ රදගුරුවරයාවූ ගරු තෝමස් සෞන්ද්‍රනායගම් රදගුරුවරයා දිගින් දිගටම යාපනයේ නවාලි හි පිහිටි සා.පේදුරු-පාවුළු පල්ලියට බෝම්බ හෙලීම ගැන පක්ෂපාති පරීක්ෂනයක් ඉල්ලා සිටියහ. ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත් ජනයා වෙනුවෙන් යුක්තිය සහ සාධරණය ඉල්ලා සිටියහ. එතුමන්ගේ හඩට කන්දී සාධාරණ පරීක්ෂණයක් කර විපතට පත් ජනයාට යුක්තිය ඉටුකරදීම වෙනුවට ක්‍රමයෙන් සිදුවුයේ ඒ වෙනුවෙන් හඩ නැගු ගරු තෝමස් සෞන්ද්‍රනායගම් රදගුරුවරයා කොටියෙක් ලෙස හංවඩු ගැසීමය. ඒ වෙනුවන් හඩ නැගු ශ්‍රී ලංකා කතෝලික සභාව කොටින්ට පක්ෂපාතයැයි මතයක් හැදීමය. යාපනයේ නවාලි සා.පේදුරු-පාවුළු පල්ලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෝම්බ හෙලීම ගැන පරීක්ෂණයක් ඉල්ලා සිටීම ක්‍රමයෙන් යටපත්කලේ කොටි ලේබලය අලවා යාපනයේ තෝමස් සෞන්ද්‍රනායගම් රදගුරුවරයා කොන් කිරීමෙනි, කොටි ලේබලය පෙන්වා ලංකා කතෝලික සභාව නිහඩ කිරීමෙනි.

දැන් නැවතත් අලුත් වටයකින් එවැනිම ඉරණමකට ශ්‍රී ලංකා කතෝලික සභාව මෙන්ම කාදිනල් මැල්කම් රංජිත් රදගුරුවරයාද ගොදුරුවීමට හෝ ගොදූරු කිරීමට ආසන්න ද යනුවෙන් ප්‍රශ්න කල හැකි වාතාවරණයක් මේ වනවිට ක්‍රමයෙන් ගොඩනැගී තිබේ. 

ශ්‍රී ලාංකික කිතුනු ප්‍රජාව ක්‍රි.ව. 1544 දී යාපනේ පළමුවන සංකිල්ලි රජ විසින් මන්නාරමේදී කතෝලිකයින් 600කට වැඩි පිරිසක් ඝාතනය කිරීමෙන් අනතුරුව, 1995 ජුනි 09 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව යාපනයේ නාවලිහි පිහිටි සා.පේදුරු-පාවුළු පල්ලියට බෝම්බ හෙලා 125 දෙනෙකුට වැඩි පිරිසක් මරාදැමීමෙන් අනතුරුව, ඉතිහාසයේ ලක් පොලොව තුල ඔවුන් මුහුණපෑ විශාලතම සමුහ සංහාරයට පසුගිය වසරේ (2019) පාස්කු ඉරිදා (21/04/2019) ලක්විය. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුවරයා මෙන්ම ශ්‍රී ලංකා කතෝලික සභාව නගන හඩද තවමත් නිහඩවී නොමැත. දැන් ක්‍රියාත්මක වෙන විමර්ශනයන් මෙන්ම මේ දිනවල දිගින් දිගටම රැස්වෙන ජනාධිපති කොමිසමද සක්‍රියව පවතින්නේ එහි ප්‍රතිපලයක් ලෙසය. 

එහෙත් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුවරයා නගන හඩ මෙන්ම ශ්‍රී ලංකා කතෝලික සභාව නගන හඩද ක්‍රමයෙන් යටපත්කර දැමීමට හෝ නිහඩකර දැමීමට හෝ අඩපන කරදැමීමට හෝ නැතහොත් යටින් හරා බිද දැමීමට ඉතා සූක්ෂ්ම වැඩපිළිවෙලක් දියත්වී ඇති බව පෙනීයැයි.

මට පෙනීයන ලෙස මෙම සැලැස්මේ මුල්ම පියවරවුයේ කාදිනල්වරයා රාජපක්ෂවාදියෙකු යැයි ලේබල් කිරීමය. ඒ අනුව කාදිනල් මැල්කම් රංජිත් රාජපක්ෂ පවුල සමග ඉතා සමීපම සම්බන්දයක් ඇති, රාජපක්ෂ පවුලේ ඉතා කිට්ටුවන්ත හිතවතෙකු බව තහවුරු කිරීම එසේ ලේබල් කිරීම ඔස්සේ  සිදුවිය. සැලැස්මේ එම ජවනිකාව දැන් බොහෝදුරට සාර්ථකව තිරගතකර අවසන්ය. එනම් කාදිනල් රාජපක්ෂවාදියෙකු යැයි මතයක් ගොඩනගා අවසන්ය. 

එම සැලැස්මේ කූටප්‍රාප්තිය දිග හැරෙන්නේ ඊලග අදියරේය. එය දිග හැරී ඇත්තේ ''පාස්කු ප්‍රහාරයදා කාදිනල් සිටියේ කොහෙද?'', ''හැම පාස්කු ඉරිදාම පල්ලියන ශිරාන්ති (රාජපක්ෂ) එදා පල්ලි ගියේ නැහැ නේද?'', ''ප්‍රහාරය ගැන ඔවුන් දැනන් හිටියා...'', ''ශිරන්ති දන්නවා නම් කාදිනල් දන්නවා...'' ආදී කටකතා සමුදායක් මුදාහැරීම ඔස්සේය. මෙකී කසුකුසුව අතරම ''කාදිනල් දැනන් හිටියා''...''කාදිනලුත් වගකියන්න ඕනේ''...''කදිනල්ගේ අතෙත් ලේ''...ආදී පව්කාර කථාවල් රාශියක්ද පතුරුවා හරිමින් තිබේ. 

කරුණාකර මේ අපරාදයට දායක නොවන්න... මෙකී ප්‍රචාරයන්ගේ යටින් දිවයන අරමුණ තේරුම් ගන්න...

අප පැහැදිලිවම දන්නා පරිදි ලංකාවේ සිදුවූ අනෙක් සියළු අපරාද මෙන් නොව පාස්කු ප්‍රහාරය සති දෙකෙන් අමතකව ගියේ නැත. පාස්කු ප්‍රහාරයෙන් විපතට ජනයාට යුක්තිය සහ සාධාරණය ඉල්ලා නගන හඩ අද ද නිහඩවී නැත.

එහෙත් පාස්කු ප්‍රහාරය ගැන නැවත නැවත මතුවීම එක් පාර්ශවයකට දේශපාලන වශයෙන් අවාසිදායක වෙන අතරම තවත් පාර්ශවයකට දේශපාලන වශයෙන් වාසිදායක නමුත් අභියෝගාත්මක්දවේ. එහින් පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් යුක්තිය ඉල්ලා හඩනැගීම නිහඩ කරදැමීම එම පාර්ශව දෙකටම යහපත්ය. කාදිනල් රාජපක්ෂ පවුලේ හිතවතෙක්ද? සමීපතමයෙක්ද? කාදිනල් රාජපක්ෂවාදියෙකු යන්න කතෝලිකයින්ට වැදගත් නැත. කාදිනල් එසේවීම හෝ නොවීම මත කතෝලිකයින් රාජපක්ෂලාට චන්දේදීමට හෝ නොදීමට කටයුතු නොකරයි. කොටින්ම ශ්‍රී ලංකා කතෝලික පල්ලිය ලාංකික කතෝලිකයාගේ දේශපාලන මතය සම්බන්දයෙන් කිසිදු තීරණාත්මක බලපෑමක් සිදුකරන්නේ නැති තරම්ය. නැතහොත් ඔවුන්ගේ බලපෑම සීමා සහිතය...නිෂ්ක්‍රිය ය. 

එහෙත් ශ්‍රී ලංකාව වැනි  අපරාදයන් යටගැසීමට අනේකවාර සමත්වූ රාජ්‍යයක, අපරාදකාරයින් රජයන රාජ්‍යයක, සිය පැවැත්ම ඇත්තේ බලය අත්කරගැනීම තුල හෝ බලය සදහා කේවල් කිරීම තුල බව දන්නා අපරාදකාරයින්, අපරාදයන්ට එරෙහිව නගන කුමන හඩක් හෝ නිහඩ කිරීමට, දුර්වල කිරීමට සියල්ල කරති. 

අනෙක් අපරාද මෙන් පාස්කු ප්‍රහාරයටද එම ඉරණම අත්වීමට ඉඩ නොතිබිය යුතුබව කාදිනල් මැල්කම් රංජිත් මෙන්ම ශ්‍රී ලංකා කතෝලික සභාවද දැන් නිතර නිතර පසක්කර සිටීම ශ්‍රී ලංකාව වැනි අපරාද මුල්බැස ගත්, අපරාදකාරයින් රජකරන රාජ්‍යයකට කිසිසේත්ම හිතකර නොවන බව ඔවුන් සියල්ලෝම දනී. එහින් ඒ හඩ යටපත් කිරීමට ඔවුන් සියළු උපාය-උප්පරවැට්ටි යොදමින් සිටී.  කාදිනල්ව ලේබල් කර, ඔහුත් මේ අපරාද දැන සිටීයායැයි යනුවෙන් මතයක් ඇතිකිරීම තුල කාදිනල්ව නිහඩ කිරීමට පමණක් නොව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා නගන හඩද යටපත් කිරීමටද, එය යටින් හාරා බිදීමටද කටයුතු කරමින් සිටී. 

අපි මේ උගුලට හසු නොවී සිටිමු !!!  නියම අපරදකරුවන් නීතිය ඉදිරියට පත් කරන තුරුම අපි අඛණ්ඩව හඩ නගමු!! ඒ වෙනුවන් නිර්හීතව පෙනී සිටිමු!! අපට ඇති එකම හයියක් හෝ ලේබල් ගසා හෝ විවිධ උපාය-උප්පරවැටි යොදා, යටින් හරා බිදදැමීමට, විශ්වාසය පළුදු  කිරීමට ඉඩ නොදෙමු!!!

අප සිතන්නේ, ප්‍රකාශ කරන්නේ කුමක්ද යන්න ගැන විචක්ෂණශීලී නොවනතාක් අප සිතන්නේ අපේ සිතිවිලිවලින් නොව අන් අයගේ සිතුවිලිවලින් බව අප තේරුම්ගත යුතුය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකාව වැනි දුෂිතයන්, වර්ගවාදීන්, අපරාදකරුවන් 'මතවාදී ආධිපත්‍යය'  හසුරුවන රටක අපේ සිතුවිලිවල අරක්ගෙන සිටින්නේ අපරාදකරුවන්, දුෂිතයින් සහ වර්ගවාදීන් වැනි යක්ෂයින්වීමට ඇති ඉඩකඩ වැඩි බව අප  තේරුම් ගතයුතුය.    

එහින් යාපනේ රදගුරු තෝමස්  සෞන්ද්‍රනායගම්ට කොටි ලේබලය අලවා යාපනේ නවාලි පල්ලියට බෝම්බ ගැසීමට එරෙහිව, එයින්  විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය සහ සාධාරණ ඉල්ලා ඔහු නැගු හඩ යටපත් කලාසේ, පාස්කු ප්‍රහාරයට එරෙහිව, එයින් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය සහ සාධාරණය ඉල්ලා කාදිනල් රංජිත් මැල්කම් නගන හඩ නිහඩ කිරීමට 'රාජපක්ෂ ලේබලයට' ඉඩ නොදෙමු!!! රටේ අනෙක් අපරාද යටගැසූ සේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින අපරාදකාරයින්ට අපරාද යටගසා ගැලවීයාමට ඉඩ නොදෙමු!!! විපතටපත් ජනතාවට යුක්තිය  සහ සාධාරණත් ඉටුකිරීමට පෙලගැසෙමු!!!  

මාකස් ප්‍රියන්ත පෙරේරා
14/07/2020

Friday 10 July 2020

1971 අප්‍රියෙල් කැරැල්ල සහ මීගමුව

'සිරිමාවෝ '71 කැරැල්ල මර්දනය කළ හැටි' යනුවෙන් දැක්වෙන වීඩියෝවක් පසුගිය සමයේ facebook පිටුවල සංසරණය විය. ප්‍රංශ පුවත් සේවය  (The Associated Pres) නිෂ්පාදන කළ එම වීඩියෝපටිය නම් කර ඇත්තේ 'CEYLON: BANDARANAIKE v THE REBELS' ලෙසය. 1971 අප්‍රියෙල්  කැරැල්ල ගැන මෙන්ම එකවට පැවති සිරිමා බණ්ඩාරනායක   රජය යටතේ ශ්‍රී ලංකාව මුහුණපා සිටි ආර්ථික අර්බුධයත් රටේ පැවති තත්වයත් එම වීඩියෝවේ නිරූපණයවේ.

විනාඩි 15කුත් තත්පර 50ක් පුරා දිගහැරෙන මෙම වීඩියෝ පටියේ 10 විනාඩියේ 40වෙනි තත්පරයේ සිට 11 වන විනාඩියේ 14වෙනි තත්පරය දක්වාවූ කොටසේ පෙන්වනුයේ මීගමුව කොටුව බන්ධනාගාරයේ සිට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය දක්වා රැගෙන යන 1971 කැරැල්ල නිසා අත්අඩංගුවට පත් රැදිවියන් පිරිසක් ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් පෙළපාලි යන ආකාරය ය. පසුබිමේ මීගමුව කොටුවත්, කන්ද උඩ පිහිටි මහාධිකරණ ගොඩනැගිල්ලත් හොදින් පෙනෙන්නට තිබේ. ඉහතින් දැක්වෙන්නේ එහි ජයාරූප කිහිපයකි.

මම 1971 අප්‍රියෙල්  කැරැල්ල ගැන විවිධ ලේඛණ  කියවා ඇති මුත් 71 කැරැල්ල සහ මීගමුව අතර තිබු සම්බන්දතා, එය මීගමුවට බලපෑ ආකාරය සම්බන්ධයෙන්  විශේෂයෙන් වාර්තා වී නොමැත. පහත  වීඩියෝවේ දැක්වෙන ආකාරයකට එම පෙළපාලියේ යන කැරළිකරුවන්  ගණන 63 දෙනෙකි. ඒ අනුව පෙනීයනුවේ 1971 කැරැල්ල නිසා අත්අඩංගුවට පත් රැදිවියන් පිරිසක් මීගමුව බන්ධනාගාරයේද  රදවා සිටි බවය. එහෙත්, ඒ කවුද? ඒ අයට සිදුවුයේ කුමක්ද? ඔවුන් මීගමුව අවට පෙදෙස්වලින් අත්අඩංගුවට පත්වුවන්ද? මීගමුව දළුපොත තරුණ වරදකරුවන්ගේ පුනරුත්ථාපන කදවුර ඉදිකරන්නේ ඔවුන් සදහාද? ආදීය ගැන තොරතුරු හමුවී නැත.

මම දන්නා ආකාරයට 1971 කැරැල්ල සමයේදී මීගමුව අවට දිවුලපිටිය, කටාන, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල කැරැල්ල හා සබැදි යම් යම් දේ සිදුවී තිබුනත් මීගමුව නාගරික සීමාව තුල කිසිදු සිද්ධියක් වාර්තාවී නැත. 1971 කැරල්ල මතුවූ දිනය අප්‍රියෙල් 05 වෙනිදා වූ අතර එය කිතුනුවන්ගේ චතාරික සමය විය. එකල විටින් විට පුරාම  ප්‍රකාශ කළ හදිස්සි තත්වයත්, අඳුරු නීතිය පැනවීම් ඔස්සේ රටේ සාමාන්‍ය ජන ජීවිතය බිද වැටුනු අතර එසමයෙහි කිතුනුවන් ගේ චතාරික ආගමික වතාවත්වලට බාධා වෙන්නට ඇත.

1971 අප්‍රියෙල් කැරැල්ල හා බැදුණු කිසිදු ක්‍රියාවක් මීගමුව නාගරික බල ප්‍රදේශය තුල වාර්තා වී නැති නමුත්   මීගමුව නගර සීමාව තුල තරුණයින්ව අත්අඩංගුවට ගැනීම් නම් වාර්තා වී තිබේ. 

මීගමුව පෙරියමුල්ලේ එවකට පිහිටි ලංකා පිගන් සංස්ථාවට පැමිණි පොලිස් නිලධාරීන් ලැයිස්තුවක් පෙන්වා තරුණයින්ව අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට ගත් පිරිස් අතර කිසිසේත්ම ජනතා විමුක්ති පෙරමුණට හෝ කැරැල්ලට සම්බන්ද නොවූ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිතිය වූ ජාතික සේවක සංගමයේ කටයුතු කල පෙරියමුල්ලේ පදිංචිව සිටි කුවින්ටස් කොළඹගේ, ලෙස්ලි ප්‍රනාන්දු, බෙන්ජමින් ජයකොඩි යන අය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පන්තියකට සහභාගිවුවෙකු වූ මීගමුව තෙල්වත්ත හන්දියේ පදිංචිව සිටි කැලිස්ටස් ප්‍රනාන්දු  මහතා ද විය. කුවින්ටස්, ලෙස්ලි, බෙන්ජමින් 
යන අයව මීගමුව බන්ධනාගාරයේ දින කිහිපයක් රදවා සිට පසුව නිදහස් කර  ඇති නමුත් කැලිස්ටස් මහතාව මහර පුනරුත්ථාපන කදවුරකට යොමුකර ඇත. මීගමුව පෙරියමුල්ලේ පිහිටි ලංකා පිගන් සංස්ථාවේ පුද්ගලයින්ව මෙලෙස අත් අඩංගුවට ගැනීමට ලැයිස්තු සැකසුවේ මීගමුව සා. පීතර පල්ලිය අසල පිහිටි බාබිටන් (Babiton) නම් ගොඩනැගිල්ලට රැස්වූ මීගමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලය බවත් එහිලා පෙරමුණ ගෙන ක්‍රියාකළේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීගමුව බලමණ්ඩලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව  ද එකල නියෝජනය කළ ප්‍රේමානන් ද සොයිසා බවත්  පෙරියමුල්ල පිගන් සංස්ථාවේ එවකට සේවය කළ පුද්ගලයින් කිහිප දෙනෙකුම මා සමග බෙදාගත් අදහසකි.

පෙරියමුල්ල පිගන් සංස්ථාවේ සේවය කළ මීගමුව තෙල්වත්ත හන්දියේ පදිංචිව සිටි කැලිස්ටස්ට අමතරව මීගමුව පිටිපන පදිංචිව සිටි රේමන් සහ රංජි යන දෙදෙනෙක් ද, මීගමු දූවේ අඩුම වශයෙන් එක් අයෙකුද, මීගමුව  කටුවපිටියේ විමල් යන අයෙකු ද ජනතා විමුක්ති පෙරමුණේ පංති වලට සහභාගිවී හෝ පංති පැවැත්වීම මත අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.   

ඒ අනුව පෙනී යන්නේ මීගමුව අවටත් ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන පන්ති පවත්වා තිබෙන බවය. මීගමුව අවට ප්‍රදේශවල ජනතා විමුක්ති පෙරමුණේ එවකට සංවිධායකයාව සිටියේ දිවුලපිටියේ 'ගාන්ධි' නම් අයෙකු බවත් ඔහුව කැරැල්ල සමයේම ඝාතනය කල බවත් කියවෙන පුවතක් 2019/01/06 දින ලංකාදීප පුවත්පතේ පලව තිබුනි. 'කැරලි ගැසූ කාන්තාවෝ' නමින් යුතු  එම ලිපියට අනුව  දිවුලපිටිය පොල් වත්තක පිහිටි ජ.වි.පෙ. කදවුරේ සිටි එකම කැරළිකාරිය වුයේ ලීලාවතී නම් තැනැත්තියකි. ඇය එම කවුරේ නායක 'ගාන්ධි' සමග වෙස්වලාගෙන පලායෑමේදී අත්අඩංගුවට පත්ව මීගමුවේ පුනරුත්ථාපන කදවුරකට යොමුකරන ලද බව එම පුවතේ දැක්වේ. මේ අනුව පෙනී යන්නේ 1971 අප්‍රියෙල් කැරළිකරුවන්  පුනරුත්ථාපනය කළ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් මීගමුවේ තිබූ බවය. එය බොහෝ දුරට දළුපත පල්ලන්චෙනේ  අදටත් පිහිටි ඇති 'තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය' විය හැකි යැයි පෙනී ගියද, එහෙත් දළුපොත පල්ලන්චෙනේ  පිහිටි 'තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය එම ස්ථානයේ පිහිටුවා ඇත්තේ 1976 වසරේදීය. එනම් 1971 අප්‍රියෙල් කැරැල්ලේන් වසර 5කට පසුවය. 
ඒ අනුව 1971 දී අත් අඩංගුවට පත් කැරළිකරුවන් රදවා සිටියේ මීගමුව  බන්ධනාගාරයේද?  පහත   වීඩියෝ පටියේ 10 විනාඩියේ 40වෙනි තත්පරයේ සිට 11 වන විනාඩියේ 14වෙනි තත්පරය දක්වා පෙන්වන මීගමුව බන්ධනාගාරයේ  සිට මහේස්ත්‍රාත් උසාවිය  දක්වා  රැගෙන යන අතර ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් පෙළපාලියේ යන පිරිස් ඔවුන් ද? ඔවුන් අතර කාන්තාවන්ද සිටින බව පෙනීයයි.  

එමෙන්ම දොස්තර රුවන් ජයතුංගගේ  Transylvania බ්ලෝග් අඩවියේ 2015/04/17 පළවූ ''71 කැරැල්ල සහ සෝමවංශ අමරසිංහ භූමිකාව'' නම් ලිපියට අනුව  කළු රන්ජි සහ සෝමවංශ අමරසිංහ මීගමුව බන්ධනාගාරයේ රදවා සිටි බව සදහන් කරයි. ''පශ්චාත් කැරැල්ල සමයේ සෝමවංශ අමරසිංහ ව්‍යපාරය කෙරෙහි කළකිරී ජවිපෙ විරෝධි ස්ථාවරය සිටි බව එම බ්ලෝග් සටහනේ දැක්වෙන සාකච්ඡාවකදී රංජිත් දිසානායක හෙවත් කළු රංජිත් සදහන් කරයි. මීගමුව බන්ධනාගාරයේ දී ජවිපෙන් ඉවත් විය යුතු බව සෝමවංශ අමරසිංහ තමාට කියූ බව රංජිත් දිසානායක ඔහුගේ 2009 සම්මුඛ සාක්ච්ඡාවේදී පවසන ලදි.'' යැයි  දැක්වේ.

තවද  එම ලිපියට අනුව 1971 කැරැල්ල  සමයේ ජ.වි.පෙ. විදේශ කටයුතු අංශය  බාරව  සිටි විරාජ්  ප්‍රනාන්දු ද ඔවුන් සමග  බන්ධනාගාරයේ  සිට ඇති බවක් ද කියවේ: ''විරාජ් ප්‍රනාන්දු බන්ධනාගාරයේ දී රෝහණ විජේවීර​ විවේචනය කිරීම නිසා විජේවීර​ හිතවාදීන් ඔහුට පහර දීමට තැත් කළ අවස්ථාවේ දී ඔහුව ආරක්ෂා කිරීමට ඉදිරියට ආවේ සෝමවංශ අමරසිංහ බව විරාජ් ප්‍රනාන්දු මා සමග පැවසී.'' 
දැක්වේ. එහෙත් ඒ මීගමුව බන්ධනාගාරයේ ද  නැතිනම් ඔවුන් රදවා තිබූ වෙනත් බන්ධනාගාරයක දැයි යන්න පැහැදිලි නැත. 

තවද  1971 තරැණ නැගිටිමට සම්බන්දව පුරෝගාමී වු මීගමුව - කටාන අවට ප්‍රදේශවල ක්‍රියාකාරීවූ  පිලීෂියන් හෙවත්  කිංග්ස්ලි  නම් තැනැත්තෙක් ගැනද දැන ගැනීමට ලැබුණි ඔහු පසුව ජ. වි. පෙ. ට  විරුද්ධව නඩු විභාගයන් හිදී සක්ෂි ලබා  දුන් බවත් ජ. වි. පෙ. පාක්ෂිකයෝ  ප්‍රකාශ කරණු මා අසා ඇත. මීට අමතරව  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙක් ගැනද කියවේ.  එම විශ්ව විද්‍යාල සිසුවා  කටුවපිටියේ විමල් විය යුතුය.

1971 අප්‍රියෙල් කැරැල්ල ගැන අදහස් දැක්වූ 88/89 ජ. වි. පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරියෙක් වූ, එවක කටානේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකයෙක්ව සිට අත් අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටි, පසුව මැගසින් බන්ධනාගාරය කඩාගෙන පැමිණි පිරිස අතර සිටි, කටාන, වැලිහේන ඇත්ගාලේ, පදිංචිව සිටි කුයින්ටයින් ප්‍රනාන්දු මහතාගෙන් මා කල විමසීමකදී දක්වා ලූයේ  මීගමුවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වයන් අරඹා ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කටුවාපිටියේ විමල්  සහෝදරයා විසින් බවයි. එකී විමල් සහෝදරයා දූවේ පාස්කු  නාට්‍යය අධ්‍යක්ෂක ක්ලෙමන්ට් ප්‍රනාන්දු මහතා සමග පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගනුම ලැබූ සමකාලීනයෙකු බව වෙනත් තොරතුරු ඔස්සේ මා අසා ඇත. විමල්ගේ දායකත්වය නිසාම 1971 වන විට ජනතා විමුක්ති පෙරමුණේ කුඩා කුඩා කමිටු කටාන, වැලිහේන, ඇත්ගාල, කටාන විද්‍යාලෝක විද්‍යාලය, මිගමුව සා.පීතර විද්‍යාලයේ, සා. මරියා විද්‍යාලය, පෙරියමුල්ල පිගන් සංස්ථාව, සහ මීගමුව පිටිපන ආශ්‍රිතව බිහිවි තිබේ. 1971 කැරැල්ල සමයේදී මීගමුව  කොච්චිකඩේ පොලීසියට පහරදීමට උත්සාහ කිරීමක් හෝ සැලසුම්  කිරීමක් සම්බන්දයෙන්ද සාකච්ඡා වී තිබුන බව කුවින්ටින් ප්‍රනාන්දු මහතා අසා ඇත. එහෙත් මීගමුව කොච්චිකඩේ පොලිස් ස්ථානයට පහරදීමක් වාර්තා නොවේ. කුයින්ටයින් ප්‍රනාන්දු මහතාගේ අදහස දැක්වීමට අනුව නිශ්චිතවම දංකොටුව මල්ලව පොලීසියට පහරදීමට මීගමුව, කටාන ආශ්‍රිතව  එවකට සිටි ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් සම්බන්ධව සිට ඇත.  එකී පහරදීම සදහා මල්ලව පොලීසිය අවට විදුලි පහන් කණුවල ලයිට් කඩා දැමීම සදහා කැටපොලු ප්‍රහාරයන් දියත්කර ඇත්තේ එවකට ජනතා විමුක්ති පෙරමුණට රහසිගතව සම්බන්දවී සිටි මීගමුවේ පාසැල් සිසුන් දෙදෙනෙකු බවත් කුයින්ටයින් ප්‍රනාන්දු මහතා දැක්වීය. ඒ ඇතැම්විට කුයින්ටයින් ප්‍රනාන්දු මහතා හෝ ඔහු ඉතා හොදින් දන්නා අය විය යුතු යැයි ඔහුගේ අදහස් දැක්වීමට සාවධානව සවන්දී සිටි මගේ අදහසයි.


1971 අප්‍රියෙල් කැරැල්ලට මීගමුව අවට ප්‍රදේශවලින් සම්බන්ධ වූ ඇතැම් රැඩිකල් තරුණ/තරුණියන් පසුකලකදී ඔස්කා අබේරත්න පියතුමාගේ කිතුදන පුබුදුවට සම්බන්ධව අධ්‍යාත්මික ජීවිතයක් සොයාගිය බව  ද කියවේ.. ඒමෙන්ම ආරක්ෂාව සදහා එවකට කාදිනල්ව සිටි ගරු තෝමස් කුරේ අගරදගුරුතුමා මීගමුවේ සිටි කතෝලික පියතුමන්ලා කිහිප දෙනෙකුව වහාම කොළඹ  අගරදගුරු මැදුරට කැදවූ බවත් අසා තිබේ. 

එසේ කොළඹ අගරදගුරු මැදුරට (Bishop Place) කැදවූ පියතුමන්ලා අතර   මහවීදියේ සා. මරියා දේවස්ථානයේ එවකට සිටි තරුණ පියතුමෙකු වූ ලීනස් ජයතිලක පියතුමා ද විය. එතුමා එවකට තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍යය ව්‍යාපාරය (YCS) බාරව සිටි පියතුමා බවත්, 1971 කැරැල්ල සමයේ ඇතිවූ තරුණ පිබිදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික පල්ලිය දැක්වු ඇල්මැරැනු උනන්දුව ගැන පල්ලිය දැඩිව විවේචනය කල පියතුමෙකු බවත්, පසුව කතෝලික සභාවේ පුජකවරයෙන් ඉවත්වී පුර්ණ කාලිනව වාමාංශික දේශපාලනයට කැපවු බවත් මම එතුමාගෙන්ම අසා  දැන ගන්නා ලදි. 

ලීනස් ජයතිලක පියතුමා  මීගමුවේ සා. මරියා දේවස්ථානයේ සහයක පියතුමා ලෙස පත්වීමට පෙර කදවල මීසමේ පියතුමා ලෙස එම ප්‍රදේශයට විශාල සේවයක් කල බවත්, 1980 වැඩ වර්ජනයෙන් රැකියා අහිමිවූ දහසකුත් දෙනා වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිස්තියානි ස්වෙච්ඡා සංවිධානයක් වන Christian Aid සංවිධානයෙන් අරමුදල් සපයාගෙන විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නැන්වූ තැනැත්තෙක් බවත් පසුව දැනගත්තෙමි.

කතෝලික පල්ලියේ පූජකවරයෙන් ඉවත්වු ඔහු සිය ජීවිත කාලය පුරාම ජනතාවගේ පියතුමා විය. කතෝලික පුජකවරයෙන් ඉවත්වී දශක ගණනාවකට අනතුරුව පවා ඔහුගේ ගමවු උස්වැටකෙයියාවේ පමණක් නොව, මීගමුවේ ජනයාද,  ලීනස් ජයතිලකව හැදින්වුයේ 'ලීනස් ස්වාමි' ලෙසය. වෙනකක් තබා බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ පියාවූ නැසීගිය ප්‍රවීන නළු හියුගෝ මාස්‍ටර් ද ලීනස් ජයතිලකව හැදින්වුයේ 'ලීනස් ස්වාමි' යනුවෙනි. ලීනස් පියතුමා සම්බන්ධයෙන් මම ලියූ 'ලෝගුව අත්හල ලීනස් ස්වාමි' ලිපිය එම යොමුවෙන් කියවිය හැක.

1971 අප්‍රියෙල් කැරැල්ල හා මීගමුව අතර ඇති  සම්බන්ධතා සම්බන්ධයෙන් මා දැනට රැස්කරගෙන  මම ඉහතින් සදහන් කළෙමි.

ඒ සම්බන්ධයෙන් ඔබත් දන්නා යමක් වේ නම් සදහන් කරන්න... 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
09/07/2020

Friday 3 July 2020

මීගමුව දූව මුහුදුට ගසාගෙන යයිද?

මම මේක ගියා අවුරුද්දෙත් මේ කාලෙම ලිව්වා...

ඉස්සර වගේ නෙමේ දැන් වාරකන් කාලෙට පිටිපන ඉදන් දූව දක්වා ප්‍රදේශය විශාල වශයෙන් මුහුදු ඛාදනය වෙනවා කියන කථාව දැන් දැන් නිතර කියවෙන, පුවත්පත්වල නිතර පලවෙන ප්‍රවෘත්තියක්...රළ පහරත් එන්න එන්නම සැරයි කියන කථාව අපි ගිය අවුරුද්දේත් එහි ගිය වෙලාවේ දැක්කා... රැල්ල ගසාගෙන ඇවිත් ගල් පරවල, ගෙවල් වල බිත්ති, තාප්ප, අත්තිවාරම්වල වදින්නේ හෙනගෙඩි වගේ...කොයි වෙලේ ගෙවල් දොරවල් පිටින් මුහුදට ගහන්යයිද දන්නේ නැති තත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ...මිනිස්සු මරබයෙන් ඉන්නේ...දූව පල්ලිය ගාව ඉදන් මෝය කට පැත්තට වෙනකම් ගල් වැටියත් දාලා තිබුනත් මිනිස්සු කියනවා මේ එන රළ පාරේ වේගයට ඒවත් ඔරොත්තු දෙයිද දන්නේ නැහැ කියලා..ඉස්සර වගේ මොරවලේ වැලි තීරයක් දැන් නැහැල්ලු... වැලි නැත්තටම නැතිවෙන්න මුහුදට ගහගෙන ගිහින් ගල් තට්ටුවක් පෑදෙන්න පටන් අරන්ලු...

මේ ගැන දන්න අය කියන්නේ පෝට් සිටි එකට වැලිගන්න මුහුද හාරලා හාරලා දැන් මුහුදු පතුලේ සමබරතාව බිදිලා මුහුද වලවෙලා තියෙන නිසා එක පුරවන්න මුහුද ගොඩබිමෙන් වැලි ඇදගන්නවා කියලයි...ඒ කියන්නේ ගොඩබිම මුහුදට ගසාගෙන යනවා කියන එකයි. ඒ අස්සේ මුහුදෙන් මහ භයානක සද්දයක් රෑට රෑට ඇහෙනවා කියලත් කියනවා....එක ඇහෙන්නෙත් ලිහිණියා ගල පැත්තෙන්ලු...ලිහිණියා ගල කියන්නේ පිටිපනටත් එහා ඉදන් දූව, මෝය කට පැත්ත වෙනකම් විහිදිලා තියෙන මුහුදේ පිහිටි ගල් පර්වතයක්. අපි පොඩි කාලේ එකේ නැවක් හිරවෙලා තිබුනා...සුනාමි කාලේ මීගමුව බේරුනා කියන්නේ මේ ගල විශාල සැර රළ පහරවල් පාලනය කල නිසා කියලත් කියනවා...දූවේ අය කියනවා දැන් ඔය ලිහිණියා ගල පැත්තෙත් වැලි ගහගෙන ගිහින් එහි යටින් එහෙම හුම්මානේ වගේ වතුර එනවාද දන්නේ නැහැ ඒ නිසාද දන්නේ නැහැල්ලු දැන් ඇහෙනවා වගේ භයානක සද්දයක් ඇහෙන්නේ... ඒ කියන්නේ ගල් පර්වතයත් යටින් කඩාගෙන බිදගෙන හාරාගෙන එන තරමට රළ සැර වෙලා, වැලිවැටිය දියවෙලා...

දැන් ඉස්සර වගේ නෙමේ  සුන්දර මෝරාවල නැහැ...මුහුදු ඛාදනයට ලක්වෙලා...1996 වසරේ දවසක මම, චන්දන, ශිරාන්ත, නිර්මල්, ජූඩ්, ප්‍රේඩි සහ තවත් කිහිදෙනෙක් මෝරවලේ නාන්න ගියා. ඈතින් ඉස්සෝ රැල්ලක් එනවා, පොඩි ඉස්සෝ උඩ පනිනවා පේනවා. අපිට ඉස්සෝ අල්ලන්න මුකුත් තිබුනේ නැහැ, අපි ඇදන් ආව T ෂර්ට් වල කට පැත්ත ගැට ගහලා ඇල්ලුවා. T ෂර්ට් පිරෙන්න ඉස්සෝ. එදා හවස තලාදුවේ සෙලින් අක්කලාගේ ගෙදර ඒ ඉස්සොවලින් වඩේ හදලා කෑවා මතකයි. දැන් එහෙම අත්දැකීම් විදින්න බැහැ මුහුද රැල දරුණුයි.

ගිය අවුරුද්දේ චමින්ද එක්ක නංගිගේ ළමයිනුයි අපේ ළමයිනුයි මොරවලේ නාන්න ගියා. සැඩපාර පුදුම විදිහට වැඩිවෙලා තිබුනා විතරක් නෙමේ, කොහේද ඉදන් කුණු ජරාව පවා රැල්ලට ඇදී ආවා. මුහුදෙන්  ගසාගෙන එන  ප්ලාස්ටික් කුණුකන්දල් එක්ක  මුහුදේ නාන එකත්  හිරිකිතයි..වෙරළත් කළුම කළුවෙලා, මෝරවලේ තිබුන සුන්දරත්වය නැතිවෙලා ගිහින් තිබුනා.

දැන් මෝරවල සම්පුර්ණයෙන්ම මුහුදට ඛාදනය වෙලා, නැත්තටම නැතිවෙලා ගිහිලා. පෝට් සිටි ව්‍යාපෘතිය නිසා මේ තත්වය මෙහෙම වෙලා තියෙනවා කියලා තමයි ධීවර නායකයින්ගේ අදහස.

මෝරවල විතරක් නෙමේ කවදා හරි මුළු මීගමුවම උනත් මුහුදට ඛාදනය වෙන්න පුළුවන් මේ විදිහට මුහුදු ඛාදනය උනොත්. මුහුද පැත්තෙන් එහෙම වෙද්දී අනික් පැත්තෙන් කලපුව හරලා පස්ගන්න පටන් අරන්. පහුගිය කාලේ නඩුවක් දාලා තිබුන නිසා කලපුව හාරන එක නැවතිලා තිබුනත් දැන් ආපහු කලපුව හාරන්න පටන් අරන්ලු..රෑටත් ලයිට් දාගෙන හාරනවාලු...නියමිත ප්‍රමාණයට වඩා ගැබුරට හාරනවාලු...දැන් හාරන පස් තලාහේනේ ඉස්පිරිතාලේගාව ගොඩගහනවා කියලා තමයි කියන්නේ...තව ටික කාලයක් යන්න කලින් ඒ පස් කන්ද හොද ගානකට විකුණලා දායි...

උන් එහෙම කරලා බඩවඩාගද්දී කලපු ධීවරයෝ මාළුවෙක් අල්ලගන්න වරුගනන් කලපුවේ රස්තියාදුවෙනවා...තමන් හරි හම්බකරපු මුළු සේසතම මුහුදට ගසාගෙන යාවියි..සිය අබු-දරුවෝ එක්කම මුහුදට ගහගෙන යාවියැයි කියන මර බයේ ඉන්නේ...

පෝට් සිටි ව්‍යාපෘතිය හරහා දිග හැරුනේ උස්වැටකෙයිවාවේ සිට මීගමුව ඇතුළු වෙරළ තීරයම මුහුදට ගසාගෙනයාමට ඉඩ විවරකල විනාශකාරී සංවර්ධන ව්‍යාපෘතියක්...එකෙන් පාරම්පරික ධීවර ජනතාව විතරක් නෙමේ, ලංකාවේ දේශීය සංස්කෘතික අනන්‍යතාවයක් ගොඩනගාගැනීමට දායකවුනු දූව පිටිපන සුවිශේෂි ජනකොටසක්ම අනතුරේ හෙලලා තියෙනවා...පෝට් සිටි ව්‍යාපෘතියට එරෙහිව ධීවර සංවිධාන සහ කතෝලික පල්ලිය තරමක් දුරට විරෝධය දක්වලා අද නිහඩ වෙලා තිබුනත් අනතුර එන්න එන්නම ඉහලයෑම තුල තවදුරත් ඒ අය නිහඩවී සිටිනවා කියන්නෙම ස්ව-කැමත්තෙන්ම මුහුට බිලිවීමක්.

මාකස් ප්‍රියන්ත පෙරේරා
03/07/2020

Wednesday 1 July 2020

සිබිල් වෙත්තසිංහ පොඩි අය එක්ක ලස්සන දවසක් ගතකළහැකි තැනක්...

සිබිල් වෙත්තසිංහ වගේ කෙනෙක් කවදාවත් මැරෙන්නේ නැහැ...එයා ඒ සිතුවම්වල හැමදාම ජීවත්වෙනවා.

ලස්සන රවුම් ඇස් ඇති..පාට පාට වර්ණ ඉහිරුණු බෝලගෙඩි වගේ ළමයි ඉන්න සිත්තම් තුල ඇය හැමදාම ජීවත්වෙනවා... සිබිල් වෙත්තසිංහගේ සිතුවම්වල කවදාවත් දත් තිබුන කටවල් ඇදලා තිබුනේ නැතිවුනාට හිනා නොවී ඉන්න මුහුණක් හොයාගන්න නැති තරම්...'තොවිල් ගෙදර' යකාව උනත් ඇදලා තිබුනේ භයක් හිතෙන විදිහට නෙමේ, ආසා හිතෙන විදිහටයි. ළමා චිත්‍ර ඇත්තටම අදින්න ඕනේ ඒ විදිහට..දකින කරන ඕනේ දෙයකට භයක්, සැකයක් ඇතිවෙන විදිහට නෙමේ, සතුටක්, ආදරයක්, කරුණාවක් ඇතිවෙන විදිහටයි... අත්තම්මව අදින විදිහ, 'දුවන රැවුලේ' ඉන්න සීයාලා අදින විදිහ ඇත්තටම සීයලාට, ආච්චිලා ළමා සිත් තුල ආදරයක් සටහන් කිරීමට සමත්වෙනවා. ඇයටම සුවිශේෂීවූ හැඩරටා වගේම, ඇයගේ වර්ණ සංයෝජනයත් ඇයව ලංකාවේ විතරක් නෙමේ ලෝකය පුරාම ළමා චිත්‍ර ශිල්පිණියක්, ළමා කථා ලියන්නියක් ලෙස පිළිගැනීමක් අත්කරදී තිබෙනවා. ඇයගේ ළමා කථා පොත් දෙකක් තුනක්ම අප ගාව තිබුනත්, ඇයගේ ලෝක ප්‍රසිද්ධ 'කුඩ හොරා' වත් එහි ඉංග්‍රීසි පරිවර්තනය වන 'The Umbrella Thief' වත් නැහැ. එක ලොකු අඩුවක්.

සිබිල් වෙත්තසිංහගේ කථාවල් හුගක් පදනම් කරගන්නේ ගම, පැරණි සිංහල ජනකතා, සිංහල සිරිත්විරිත් ආදිය නිසා මේ කාලේ ඕනේ නම් ඔය සිංහල ජාතික අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට උන්දු ජාතිකවාදී වැඩපිලිවේලකට දේශපාලන වශයෙන් නෙමේයි කලාත්මක වශයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන් කලා නිර්මාණ...ඇත්තටම, ඒ තරමට ඇයගේ නිර්මාණ ළමා මනස තුල අදින ලබන චිත්‍රණයක් තියෙනවා..හැඩයක් තියෙනවා..කලාවක් තියෙනවා..දකුණේ උරුවකින් හෝ ගෙනා යම් යම් සංස්කෘතික වටිනාකම් ටිකක් එහි ගැබ්වෙලා තියෙනවා.

වෙන රටවල නම් ඇය වගේ කළාකාරිණියකට හිමිවෙන අවධානය ඉතා ඉහලයි..ඇය ජීවත්වී සිටිද්දීම ඇයගේ චිත්‍ර එකතුකරලා කලාගාරයක් තනන්න තිබුනා... 250 විතර වෙනවා යැයි කියන ඇයගේ සියළු පොත් එහි විකුණන්න පුළුවන් පොත් කඩයක් දාන්න තිබුණා...පොඩි උන් එක්ක ඇවිත් දවස ගතකරලා යන්න ලස්සන තැනක් හදන්න තිබුනා...එහි ඇය ගැන විද්වත් දේශනා පවා පවත්වන්න තිබුනා...දැන් උනත් එක කරන්න පරක්කු නැහැ...එහෙත් ඇය වගේ අය ජීවත් වෙලා ඉද්දී එහෙම කෙරුවනම් ඇයට විශාල ආත්ම තෘප්තියක් ලබන්න තිබුනා.

වෙනත් රටවල එහෙම තැන් රාශියක්ම තියෙනවා... Peter Rabbits වගේ ලෝකප්‍රකට ළමා කථා පොත් පෙළක් පලකල Beatrix Potter වෙනුවෙන් ඉදිවූ එහෙම තැනක් තියෙනවා උතුරු එංගලන්තයේ Windermere පළාතේ. ඒක මෙරටේ දෙමාපියන් ළමයින්ව එකක් ගිහින් පෙන්නවන තැනක්. එතන ඇය ලියපු, ඇදපු මුල් සටහන් වගේම අගේ පොත්පත්, නිර්මාණ, ආකෘති පවා විකුණන්න තියෙනවා...එක පැත්තකින් එ ළමා මනසට අපූර්ව අත්දැකීමක්..තමන් කියවූු පොත්, ඒවායේ චිත්‍ර ඔවුන්ට ඇත්ත අත්දැකීමක් ලෙස ඒ ඔස්සේ විදින්න හැකියාවක් ලැබෙනවා.

අපි වගේ රටවල අවධානය යොමුවෙන්නේ ඒ වගේ දේවල් ගැන නෙමේයි.ඒවගේ කලාකරුවන්, ඔවුන්ගේ නිර්මාණ සුරැකෙන..ළමයින්ට සතුටින් දවසක් ගෙවා දැමිය හැකි කලාගාරයක්..ස්ථානයක් ඉදිකරන්න නෙමේ...බලයට ආවහම.. බලය ලැබුනහම... රටේ මහජන මුදලින් තමන්ගේ අම්ම-තත්තා වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදිකරන්න...ඒවාට තමයි අපේ දේශපාලකයින් පෙලෙබෙන්නේ..

එක අතකට සිබිල් වෙත්තසිංහලා වැනි කලාකරුවන් වෙනුවෙන් දේශපාලකයෝ මැදිහත්වෙලා එහෙම දේවල් ඉදිනොකරනවා නම් වඩා හොදයි...මොකද අදාල කලාකරුවාට හිමි වැදගත්කම ලබාදෙනවා වෙනුවට ඔවුන් කරන්නේ එකෙනුත් තමන්ගේ නම පුම්බා ගැනීමට කටයුතු කිරීමයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
01/07/2020.