සිබිල් වෙත්තසිංහ වගේ කෙනෙක් කවදාවත් මැරෙන්නේ නැහැ...එයා ඒ සිතුවම්වල හැමදාම ජීවත්වෙනවා.
ලස්සන රවුම් ඇස් ඇති..පාට පාට වර්ණ ඉහිරුණු බෝලගෙඩි වගේ ළමයි ඉන්න සිත්තම් තුල ඇය හැමදාම ජීවත්වෙනවා... සිබිල් වෙත්තසිංහගේ සිතුවම්වල කවදාවත් දත් තිබුන කටවල් ඇදලා තිබුනේ නැතිවුනාට හිනා නොවී ඉන්න මුහුණක් හොයාගන්න නැති තරම්...'තොවිල් ගෙදර' යකාව උනත් ඇදලා තිබුනේ භයක් හිතෙන විදිහට නෙමේ, ආසා හිතෙන විදිහටයි. ළමා චිත්‍ර ඇත්තටම අදින්න ඕනේ ඒ විදිහට..දකින කරන ඕනේ දෙයකට භයක්, සැකයක් ඇතිවෙන විදිහට නෙමේ, සතුටක්, ආදරයක්, කරුණාවක් ඇතිවෙන විදිහටයි... අත්තම්මව අදින විදිහ, 'දුවන රැවුලේ' ඉන්න සීයාලා අදින විදිහ ඇත්තටම සීයලාට, ආච්චිලා ළමා සිත් තුල ආදරයක් සටහන් කිරීමට සමත්වෙනවා. ඇයටම සුවිශේෂීවූ හැඩරටා වගේම, ඇයගේ වර්ණ සංයෝජනයත් ඇයව ලංකාවේ විතරක් නෙමේ ලෝකය පුරාම ළමා චිත්‍ර ශිල්පිණියක්, ළමා කථා ලියන්නියක් ලෙස පිළිගැනීමක් අත්කරදී තිබෙනවා. ඇයගේ ළමා කථා පොත් දෙකක් තුනක්ම අප ගාව තිබුනත්, ඇයගේ ලෝක ප්‍රසිද්ධ 'කුඩ හොරා' වත් එහි ඉංග්‍රීසි පරිවර්තනය වන 'The Umbrella Thief' වත් නැහැ. එක ලොකු අඩුවක්.
සිබිල් වෙත්තසිංහගේ කථාවල් හුගක් පදනම් කරගන්නේ ගම, පැරණි සිංහල ජනකතා, සිංහල සිරිත්විරිත් ආදිය නිසා මේ කාලේ ඕනේ නම් ඔය සිංහල ජාතික අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට උනන්දු ජාතිකවාදී වැඩපිලිවේලකට දේශපාලන වශයෙන් නෙමේයි කලාත්මක වශයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන් කලා නිර්මාණ...ඇත්තටම, ඒ තරමට ඇයගේ නිර්මාණ ළමා මනස තුල අදින ලබන චිත්‍රණයක් තියෙනවා..හැඩයක් තියෙනවා..කලාවක් තියෙනවා..දකුණේ උරුවකින් හෝ ගෙනා යම් යම් සංස්කෘතික වටිනාකම් ටිකක් එහි ගැබ්වෙලා තියෙනවා.
වෙන රටවල නම් ඇය වගේ කළාකාරිණියකට හිමිවෙන අවධානය ඉතා ඉහලයි..ඇය ජීවත්වී සිටිද්දීම ඇයගේ චිත්‍ර එකතුකරලා කලාගාරයක් තනන්න තිබුනා... 250 විතර වෙනවා යැයි කියන ඇයගේ සියළු පොත් එහි විකුණන්න පුළුවන් පොත් කඩයක් දාන්න තිබුණා...පොඩි උන් එක්ක ඇවිත් දවස ගතකරලා යන්න ලස්සන තැනක් හදන්න තිබුනා...එහි ඇය ගැන විද්වත් දේශනා පවා පවත්වන්න තිබුනා...දැන් උනත් එක කරන්න පරක්කු නැහැ...එහෙත් ඇය වගේ අය ජීවත් වෙලා ඉද්දී එහෙම කෙරුවනම් ඇයට විශාල ආත්ම තෘප්තියක් ලබන්න තිබුනා.
වෙනත් රටවල එහෙම තැන් රාශියක්ම තියෙනවා... Peter Rabbits වගේ ලෝකප්‍රකට ළමා කථා පොත් පෙළක් පලකල Beatrix Potter වෙනුවෙන් ඉදිවූ එහෙම තැනක් තියෙනවා උතුරු එංගලන්තයේ Windermere පළාතේ. ඒක මෙරටේ දෙමාපියන් ළමයින්ව එකක් ගිහින් පෙන්නවන තැනක්. එතන ඇය ලියපු, ඇදපු මුල් සටහන් වගේම අගේ පොත්පත්, නිර්මාණ, ආකෘති පවා විකුණන්න තියෙනවා...එක පැත්තකින් එය ළමා මනසට අපූර්ව අත්දැකීමක්..තමන් කියවූු පොත්, ඒවායේ චිත්‍ර ඔවුන්ට ඇත්ත අත්දැකීමක් ලෙස ඒ ඔස්සේ විදින්න හැකියාවක් ලැබෙනවා.
අපි වගේ රටවල අවධානය යොමුවෙන්නේ ඒ වගේ දේවල් ගැන නෙමේයි.ඒවගේ කලාකරුවන්, ඔවුන්ගේ නිර්මාණ සුරැකෙන..ළමයින්ට සතුටින් දවසක් ගෙවා දැමිය හැකි කලාගාරයක්..ස්ථානයක් ඉදිකරන්න නෙමේ...බලයට ආවහම.. බලය ලැබුනහම... රටේ මහජන මුදලින් තමන්ගේ අම්ම-තත්තා වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදිකරන්න...ඒවාට තමයි අපේ දේශපාලකයින් පෙලෙබෙන්නේ..
එක අතකට සිබිල් වෙත්තසිංහලා වැනි කලාකරුවන් වෙනුවෙන් දේශපාලකයෝ මැදිහත්වෙලා එහෙම දේවල් ඉදිනොකරනවා නම් වඩා හොදයි...මොකද අදාල කලාකරුවාට හිමි වැදගත්කම ලබාදෙනවා වෙනුවට ඔවුන් කරන්නේ එකෙනුත් තමන්ගේ නම පුම්බා ගැනීමට කටයුතු කිරීමයි.
මාකස් ප්‍රියන්ත පෙරේරා.
01/07/2020.
No comments:
Post a Comment