This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 27 November 2019

කිතුණු මර්ධනයට එරෙහි රතු බදාදා (Red Wednesday)

අද රතු බදාදා (Red Wednesday) දිනයි. ලොව පුරාම මරාදැමු, වද හිංසාවට ලක්කළ, දුෂණයකල සහ තර්ජනයන්ට මුහුණපා සිටින කිතුනුවන් සමරමින් ලොව පුරාම කිතුනු දේවස්ථානවල රතු පැහැය ප්‍රදර්ශනය කිරීම අද සිදුකරයි. තවමත් ලෝකයේ වැඩියෙන්ම පීඩාවට පත්ව අති ජන කොටස කිතුනුවන් බව පසුගිය කාලය පුරාම වාර්තා වී ඇති සිද්ධීන් අතුරින් පෙනී යන්නක්. ලොව පුරාම රටවල් 50ක කිතුනුවන් 11 දෙනෙක් දිනකට මරාදමන තත්වයක් උදාවී තිබේ. ඒ තර්ජනයන්ට, දුෂණය කිරීම්වලට සහ වද හිංසනයන්ට ගොදුරුවුන්ට අමතරවය. විශේෂයෙන්ම අප්‍රිකාවේ, මැද පෙරදිග, දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ කිතුනුවන්ට එරෙහිව එල්ලවී ඇති අනතුර වඩා වේගයෙන් ඉහල ගොස් ඇත.

ඒ අතරින් දකුණු සහ නැගෙනහිර ආසියාවේ තත්වය ක්‍රමයෙන් උග්‍ර අතට හැරෙමින් තිබේ. මන්දයත් අප්‍රිකානු සහ මැදපෙරදිග කලාපවල කිතුනුවන්ට බොහෝ සෙයින් තර්ජන එල්ලවී ඇත්තේ මුස්ලිම් අන්තවාදීන්ගෙන් පමණක් වුවත්, දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපවල කිතුනුවන්ට තර්ජන එල්ලවී ඇත්තේ මුස්ලිම් අන්තවාදයෙන් පමණක් නොව එකී කලාපයේ රටවල නැගී එන ආගමීක සහ වාර්ගික ජාතිකවාදීන්ගෙන් සහ අත්තනෝමතික පාලකයන්ගෙන්ද වීම නිසාය.

මුස්ලිම් අන්තවාදීන්ගෙන් මෙන්ම ආගමීක සහ වාර්ගීක ජාතිකවාදීන්ගෙන්ද, අත්තනෝමතික පාලකයන්ගෙන්ද පීඩාවට පත්ව ඇති කිතුණුවන් අතරට පාකිස්ථානය, ඉන්දියාව, පිලිපීනය, චීනය,උතුරු කොරියාව, බුරුමය (මියන්මාර්) මෙන්ම දැන් ශ්‍රී ලංකාවද ඇතුලත්ව ඇත. ඒ හුදෙක් පාස්කු ප්‍රහාරය නිසාම නොව පසුගිය කාලයේ පුරාම වර්ධනය වී ඇති තත්වයන්ද සැලකිල්ලට ගනිමින්. 2017 ජුනි මාසේදී ආණ්ඩුවේ ඇමතිවරයෙක්වූ විජේදාස රාජපක්ෂ මහතා මානව හිමිකම් නීතිවේදියෙකු වූ ලක්ෂාන් ඩයස් මහතාට රූපවාහිනී නාලිකාවක දිගහැරුණු සංවාදයකදී ප්‍රසිද්ධියේ තර්ජනය කිරීම මෙන්ම, හිටපු නීතිපති මොහාන් පීරිස්ට තර්ජනය කිරීමද, පල්ලිවලට සහ කිතුනු ආගමික ස්ථාන 50කට වැඩි ප්‍රමාණයකට පහරදීම, තර්ජනය කිරීම සහ විනාශ කිරීමත්, වලක්වාගත හැකිව තිබියදීත් ශ්‍රී ලංකා රාජ්‍යයේ නොසලකා හැරීම සහ ආරක්ෂාව නොසැලසීම නිසා ජීවිත 300 කට අධික ප්‍රමාණයක් බිලිගනිමින් 500 කට අධික ප්‍රමාණයකට තුවාල සිදුකල පාස්කු ඉරිදා ප්‍රහාරයත් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව කිතුනුවන්ට එරෙහිව ඇති අනතුර ඉහල යන රටක් ලෙස සැලකීමට හේතුවී තිබේ.

ඉන්දියාව, බුරුමය, පාකිස්ථානයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආගමික නිදහස තහවුරුකර තිබුනද, ක්‍රමයෙන් වර්ධනය වන ආගමික සහ වාර්ගික ජාතිකවාදී ප්‍රවණතා, අත්තනෝමතික පාලකයන්ගේ කටයුතු සහ ඉස්ලාමිය අන්තවාදීන්ගේ ක්‍රියාවන් නිසා එකී ආගමික නිදහස කිතුනුවන්ට අහිමිකරන තත්වයක් එම රටවල් සියල්ලේම ඇතිවී ඇත. ඊට අමතරව වෙනත් ආගම් අදහන අය හා මිශ්‍ර විවාහවලට එළබි තැනැත්තන්ට සිය කිතුනු විශ්වාසය සහ ඇදහිල්ල තුල ජීවත්වීමට අවස්ථාව අහිමිවීමත්, ඔවුන්ගේ දරුවන්ව පවා කිතුනු ඇදහිල්ලෙන් ඈත්කර තැබීමට ලක්කිරීමත් අවධානය යොමුවෙමින් පවතින තත්වයකි. මෙම ප්‍රවනතාවය ඉන්දියාව, බුරුමය, පාකිස්ථානයේ මෙන්ම ලංකාවේද ක්‍රමයෙන් ඉහල යමින් තිබෙන බව පෙනේන්නට තිබේ. ඒ කිතුනු සංස්කෘතික අංගයන් ක්‍රමයෙන් අතුගා දමමින් සිටීමට අමතරවය.

ලංකාවේ තත්වය දැන් ක්‍රමයෙන් ලගාවෙමින් ඇත්තේ පාකිස්ථානයේ කිතුණුවන්ට එරෙහි මර්ධනය හිස එසවූ 1980 අගභාගයේ තත්වයට යැයි ගණන් බලා ඇත. ඒ අනුව ලංකාවේ කිතුනුවන්ට උදාවෙමින් ඇත්තේ ඉතා දුෂ්කර තත්වයක් යැයි යන්න එහි නිගමනයයි.

ලොවපුරාම කිතුනුවන්ට එරෙහිව උද්ගතවී ඇති මෙම බිහිසුණු මර්ධනකාරී තත්වය ගැන ලොව පුරාම කිතුනුවන් දැනුවත් කිරීම මෙම රතු බදාදා (Red Wednesday) දිනයේ අරමුණුය. ඒ සදහා කතෝලික සභාව සියලුම ක්‍රිස්තියානි, අපෝස්තලික සහ ඉවන්ජලික් කිතුනු කණ්ඩායම් සමග එකට එක්ව කටයුතු කරන අතර කිතුනු සංහාරයට එරෙහිව එක් පෙරමුණක් ලෙස මුහුණදීමට තීරණය කර ඇත.

ඒ අනුව අද දිනයේදී ලොව පුරාම රාජ්‍යයන් ගණනාවක පාලකයින්ට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලොව පුරාම කිතුනුවන් මුහුණදී ඇති පීඩාවන්, මර්ධනයන්, දුෂණයන්, ඝාතනයන් සහ තර්ජනයන් ගැන පුර්ණ වාර්තාවක් ලබාදීමටද ඒ වෙනුවෙන් ක්‍රියාකරන සංවිධාන කටයුතු කරමින් සිටී. එකී සංවිධානවල ක්‍රියාකාරීත්වය නිසාම බුරුමයේ Kachin පළාතේ කිතුනුවන්ට, ඉන්දියාවේ සහ පාකිස්ථානයේ එරෙහිව එල්ලවී ඇති ඇතැම් තර්ජන සහ මර්ධනයන් පිටු දැකීමට යම් ආකාරයක නැබුරුවකට එකී රටවල පාලකයන්ගේ අවධානය යොමුකරවීමට සමත්ව ඇත.

කෙසේවුවද, කිතුනුවන්ට එරෙහිව ඇති තර්ජන සහ මර්ධන එලෙස ලේසියෙන් සහ ඉතා ඉක්මනින් ඉවත්වන බවක් පෙනී නොයයි. එසේ හෙයින් මෙම රතු බදාදා (Red Wednesday) දිනයේදීවත් කිතුනු සංහාරය ගැන අවධානයෙන් සිටින්න.

''එබැවින්, සහෝදරයෙනි, ආසියාවේදී අපට පැමිණි පීඩාව ගැන නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමුව. එනම් ජීවිතය ගැන පවා අපට බලාපොරොත්තුවක් නැති තරමට, උසුලන්ට බැරි පමණ, අප පිටට බර පැමුණුණ බවය(2 කොරින්ති 1:8)'' (We do not want you to be uninformed, brothers and sisters,[a] about the troubles we experienced in the province of Asia. We were under great pressure, far beyond our ability to endure, so that we despaired of life itself.'' - 2 Corinthians 1:8).

''If they persecuted me, they will persecute you also.'' (John 15; 20.)

මාකස් ප්‍රියන්ත පෙරේරා.
27/11/2019

Monday 18 November 2019

පොහොට්ටුව මීගමුවේදී පැරදුනේ ඇයි?

පොහොට්ටුවෙන් තරගකළ ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල-බෞද්ධ ප්‍රදේශවල අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවද මීගමුවේදී දරුණු පරාජයකට ලක්විය. ඒගැන ගෝඨාභය රාජපක්ෂ මහතා රටපුරාම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමටත් වඩා විශාල ගෝෂාවක් පැන නැගී ඇත. 

මීගමුවේ මැතිවරණ ප්‍රථිපලය ගැන පොහොට්ටු පාක්ෂිකයින් කෙතෙක් කිපී අදත්දැයි කිවහොත් ඔවුහු සිය facebook පිටුවල 1. "මීගමුවේ එවුන්ට බෝම්බ ගහලත් උන් බෝම්බකාරයන්ටමයි වෝට් කරලා තියෙන්නේ"  2. "මීගමුවට බෝම්බ ගහල මදි වගේ" 3. "මීගමුවේ එවුන්ට බෝම්බ කාලත් ලැජ්ජ නැහැ"  4. "මීගමුවට බෝම්බ පිට බෝම්බ ගැහුවත් මදි"  5. ''සහරාන් මචෝ මීගමුවේ තව පල්ලි තියෙනවා''  6. ''තව එක පල්ලියකට දෙකකට වදිනවා නම් දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ'' 7. ''මීගමුවට පරමාණු බෝම්බයක් ගහන්න ඕනේ නැත්තටම නැතිවෙලා යන්න'' 8. ''මීගමුවේ චන්ද ප්‍රථිපලයෙන් පේන්නේ දෙමෙල්ලු, හම්බයෝ විතරක් නෙමේ කුරුසකාරයින්වත් අතුගාලම දාන්න ඕනේ'' ආදියද, ඊට අමතරව ''අවජාතක'', ''කලවම්'', ''සුද්දට ඇල්ලුව'', ''පරගැති බල්ලෝ'' ආදී සැහැසික, මේලේච්ච, කෘර, වර්ගවාදී, තිරිසන්, අමානුෂික සහ තුච්ඡ ප්‍රකාශ රාශියක් මුදාහැර තිබුණි. 
  
ඒකී පහත්, නින්දිත ප්‍රහාරයන්ට මුහුණදී ගත නොහැකිව හෝ එකී මැතිවරණ ප්‍රතිපලවලට තමන්ගේ සම්බන්දයක් නැති බව කීමට හෝ ඇතැමුන් සිය facebook පිටුවල 1. ''අපිට මීගමුවේ කියන්නත් ලැජ්ජයි'' 2.''කටුවපිටිය තියෙන්නේ මීගමුවේ නෙමේ කටානේ, කටාන පොහොට්ටුව දින්නනේ''  3.  ''මීගමුවේ හැම ජාතියක්ම ජීවත්වෙනවා ඔය මුස්ලිම් මිනිස්සුන්ගේ ජන්දවලින් තමයි හංසයා දින්නේ'' ආදී ලෙස මුස්ලිම් ජනයා බිල්ලට දී තමන්ගේ මුහුණ හොද කරගැනීමට හෝ උත්සහ දැරූවන්ද විය. 

එහෙත් ඇත්ත තත්වය නම් මීගමුවේ චන්ද ප්‍රතිපලය හුදෙක් මුස්ලිම්, ක්‍රිස්තියානි හෝ බෞද්ධ ජන්ද ප්‍රතිපලයක් නොව මීගමුවේ අනන්‍යතාවය නියෝජනයවූ ජන්ද ප්‍රතිපලයක් බව එහි ප්‍රතිපල විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි. මට ලැබී ඇති චන්ද ගණන් කිරීමේ  මධ්‍යස්ථානවල ප්‍රතිපල වාර්තා මෙසේය:

1. චන්ද කොට්ටාශ 8, 16, 24, 32, 40, 48, 56, 64, 72, 77 ඇතුලත්වූ    ශාලා අංක 17; 
        අනුර - 533  සජිත් -5116 ගෝඨාභය 4089.

2.  චන්ද කොට්ටාශ 7, 15, 23, 31, 39, 47, 55, 63, 71, 76 ඇතුලත්වූ ශාලා අංක 16; 
        අනුර - 503  සජිත් -6109 ගෝඨාභය 3654. 

3.  චන්ද කොට්ටාශ 6, 14, 22, 30, 38, 46, 54, 62, 70, 78 ඇතුලත්වූ ශාලා අංක 15; 
        අනුර - 429  සජිත් - 6179 ගෝඨාභය 3843.

4.  චන්ද කොට්ටාශ 05, 13, 21, 29, 27, 45, 53, 61, 69, ඇතුලත්වූ ශාලා අංක 14; 
        අනුර - 577  සජිත් -5649 ගෝඨාභය 3040. 

5. චන්ද කොට්ටාශ 24, 12, 20, 38, 44, 58, 60e, 60g, 68 ඇතුලත්වූ ශාලා අංක 13; 
        අනුර - 437  සජිත් -5414 ගෝඨාභය 4021. 

6. චන්ද කොට්ටාශ 3, 11, 19, 27, 35, 43, 51, 59, 67, 75 ඇතුලත්වූ ශාලා අංක 12; 
        අනුර - 555  සජිත් -5184 ගෝඨාභය 4440.

7.  චන්ද කොට්ටාශ 2, 10,18, 26, 34, 42, 50, 58, 66, 74 ඇතුලත්වූ ශාලා අංක 11; 
        අනුර - 554  සජිත් -5127 ගෝඨාභය 3823. 

8.  චන්ද කොට්ටාශ 1,9, 17, 25, 33, 41, 49, 57, 65, 73  ඇතුලත්වූ ශාලා අංක 10; 
        අනුර - 544  සජිත් -5263 ගෝඨාභය 4033. 

ඒ අනුව චන්ද ගණනය කල සෑම ශාලාවකම ප්‍රතිපල අනුව පෙනී යන්නේ එකී සෑම ශාලාවකම බහුතරය හිමිකර ගත්තේ සජිත් ප්‍රේමදාස මහතාය. එමෙන්ම ඉතා විශ්වාසනීය ලෙස පැවසිය හැක්කේ මීගමුවට අයත්වන කටුවපිටිය කොට්ටාශ දෙකද, කටාන ආසනයට අයත් කටුවපිටිය  කොට්ටාශද පැහැදිලිවම ජයගත්තේ සජිත් ප්‍රේමදාස මහතාය. මේ අනුව කිව හැක්කේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්දයෙන් ආණ්ඩුවට විරුද්ධව කෙතරම් විශාල ජනමතයක් ගොඩනැගුවද මීගමුවේ චන්ද දායකයින්ගේ චන්දය ප්‍රකාශකිරීම සම්බන්දයෙන් ඉන් විශාල බලපෑමක් සිදුකර නැති බවය. 

එසේ නම් මීගමුවේ චන්ද දායකයින්ගේ චන්දය ප්‍රකාශකිරීම සම්බන්දයෙන් පැහැදිලිවම බලපා ඇත්තේ කුමක්ද? 

මීගමුව කාලාන්තරයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් නිසා මීගමුව නිසැකයෙන්ම එක්සත් ජාතික පක්ෂයට හිමිවෙන්නේ යැයි පොදු කථාවක් තිබේ. එහෙත් 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී මීගමුව ජයගත්තේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. 1956දී ලංකා සමසමාජ පක්ෂයේ දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු මහතා මීගමුවේ ජය ලැබීය. 1947 ලංකාවේ මුල්ම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයගත්තද, ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයාවූ ව.ස. ප්‍රනාන්දු මහතා පරාජයවුයේ ජන්ද 800ක් තරම් සුළු ප්‍රමාණයකිනි. කෙසේවුද, මීගමුවේ වැඩිම මැතිවරණ ප්‍රමාණයක් ජයගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි. එසේ එක්සත් ජාතික පක්ෂයට මීගමුවේ වැඩිම මැතිවරණ ප්‍රමාණයක් ජයගැනීමට හැකිවී ඇත්තේ ඇයි? එයට ඇත්තේ එක පිළිතුරකි. එනම් එක්සත් ජාතික පක්ෂය සියළු ජනකොටස්වලට සාධාරණව සලකන, සුළු ජාතීන්ට සමානව  සලකන, වර්ගවාදී හෝ ආගම්වාදී දේශපාලන ප්‍රතිපත්තියක් නොදරන ප්‍රධාන දේශපාලන පක්ෂයක්යැයි මීගමුවේ බුහුතර ජනයා විශ්වාස කිරීමය. මීගමුවේ පමණක් නොව දෙමළ ජනයා ජීවත්වෙන ප්‍රදේශවලද, මුස්ලිම් ජනයා ජීවත්වෙන ප්‍රදේශවලද එක්සත් ජාතික පක්ෂයට එවැනිම පිළිගැනීමක් ඇති බව මෙම ජනාධිපතිවරණ ප්‍රතිපල තුලින්ද පෙනීයයි. එම නිසාම ලංකාවේ සිංහල - බෞද්ධ බුහුතරයේ දේශපාලන අභිලාෂය නියෝජනය කල ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ සහ මුස්ලිම් ජනයා බහුලව ජීවත්වෙන ප්‍රදේශවල අන්ත පරාජයක් ලබන අතරේ එක්සත් ජාතික පක්ෂය පෙරටුකරගත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය අති විශාල ජයක් ලැබීය. එහෙත් සිංහල භාෂාව කථා කරන ප්‍රදේශ අතර පිහිටි මීගමුව එසේ වෙන්නේ ඇයි? (අවශ්‍යනම් කොලබ දකුණේ සිට වත්තල ආදී ප්‍රදේශද එසේ ජය ගන්නේ ඇයි යන්නටද දිය හැකි පිළිතුරද මේ සමග කැටිකොට තිබේ)   

ඕනේ නම් ඕනෑ කෙනෙකුට විවාද කල හැකිවුවද, මීගමුවේ  චන්ද දායකයින්ගේ ඉහත චන්දය ප්‍රකාශ කිරීමට බලපානුයේ මීගමුවේ ඇති අනන්‍යතාවය. මීගමුවේ එකී අනන්‍යතාවය ගොඩනැගී ඇත්තේ කතෝලික-ක්‍රිස්තියානි පදනම තුලය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස දැක්වුවද ලංකාවේ සිංහල-බෞද්ධ නොවන ප්‍රදේශ රාශියක් තිබේ. මීගමුවද ඉන් ප්‍රධාන එකකි. මීගමුව සිංහල-බෞද්ධ අනන්‍යතාවය තුල නොව කතෝලික-ක්‍රිස්තියානි සංස්කෘතිය අනන්‍යතාවය මත ගොඩ නැගුන නගරයකි. එය සිංහල නගරයක්වත්, දෙමළ නගරයක්වත් නොව ක්‍රිස්තියානි නගරයකි. මීගමුව නු සිංහල, දෙමළ මෙන්ම බර්ගර් කතෝලික-ක්‍රිස්තියානි ජනයා පුංචි රෝමය ලෙස සලකන ක්‍රිස්තියානි නගරයකි.  මීගමුවේ ජන මනස ගොඩනැගී ඇත්තේ ක්‍රිස්තියානි අනන්‍යතාවය මත මිස බෞද්ධ හෝ හින්දු හෝ මුස්ලිම් පදනම් මත නොවේ. ක්‍රිස්තියානි අනන්‍යතාවය යනු කන-බොන-ජොලිකරන මිනිස්සු ලෙස වඩා ජනප්‍රියව දැක්වුවද එහි ඇත්ත හරය දෙවියන් අදහන, දසපනත අනුව දිවිගෙවිය යුතුයැයි පිලිගන්නා, අසල්වැසියාට ප්‍රේම කරන, සතුරාට පවා සමාව දීම මුලික හරය කරගත් අනන්‍යතාවයකි. මෙකී කතෝලික-ක්‍රිස්තියානි අනන්‍යතාවය මීගමුවේ මුල් බැසගත් අනන්‍යතාවය ය.  එම නිසාම කවුරු කෙසේ උත්සහ කලද සහරාන්ලාගේ බෝම්බ නිසා සිය අසල්වැසි මුස්ලිම් ජනයා කෙරෙහි වෛර බැද නොගත්තේය. මුස්ලිම් ජනයා පිටුදැකීම  නොකල, ඒ වෙනුවට අන්තවාදය පිටු දැක්ක පිරිසකි. එම නිසා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් කිතුනු ජනයා සහ මුස්ලිම් ජනයා අතරේ වෛරයක් ඇතිකිරීමට උත්සහකලේ නම් එය පැහැලිවම මීගමුව තුල ක්‍රියාත්මක කල නොහැකි බව පෙන්වා දී ඇත්තේ වෛර වෙනුවට ප්‍රේමය සහ සමාවදීම නම්වූ කිතුනු වටිනාකම් මීගමුව තුල මුල්බැසගෙන අති නිසාය. ඒ අර්ථයෙන් ගත්කල එය එක්තරා ආකාරයකට කාදිනල්තුමා පසුගිය කාලය පුරාම මීගමුවේ නැවත නැවත දේශනාකළ ප්‍රේමය, සාමය, සමාවදීම, සහෝදරත්වය ආදීය යලිත්වරක් ස්ථාපිතවී ඇති බවටවූ ප්‍රකාශනයක් ලෙසද සැලකිය හැක.


මේ මැතිවරණය සම්බන්දයෙන් කතෝලික රදගුරු සම්මේලනයේ අදහසක් ලෙස ඉදිරිපත්වී තිබුනේ 1. ජාතිවාදය පිටු දකින, 2. ප්‍රජාතන්ත්‍රවාදය සුරකින නායකයෙක් පත්කරගන්න යන්නය. එය එක් පක්ෂයක අපේක්ෂකයෙක් ඉලක්ක කරගත්තක් නොවීය. පැහැදිලිවම පොදු මුලික යහපත් අරමුණක් මුල්කරගත්තකි. මීගමුවේ චන්ද දායකයෝ එය අකුරටම පිළිපැද ඇත. 


එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වී ඇති අපේ ජනයාගේ ලේ කදුළු දේශපාලන වාසි සදහා යොදා ගැනීමට පොහොට්ටුව සහ ඔවුන්ගේ නියෝජිතයින්වූ ලන්සලාව ප්‍රතික්ෂේප කිරීමක්ද මීගමුවේ චන්ද ප්‍රතිපල තුල නිරූපණය වේ. ලන්සලාගේ ගම වන වැල්ලවීදියේ සා. සෙබස්තියන් විද්‍යාලයේ ජන්ද පෙට්ටියෙන් පවා ලන්සලාගේ පොහොට්ටුව චන්ද 300කින් පරාජයවි. කුඩාපාඩුවේ තත්වයද එසේය. පාස්කු ඉරිදා ප්‍රහාරය අලෙවි කරමින් දේශපාලන වාසි සෙවූ ඔවුන්ට මීගමුවේ ජනයා පැහැදිලි උත්තරයක් ලබාදී ඇත. සිය ජාවාරම් දිගටම කරගෙනයෑමට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා ගැනීමට පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනයාගේ දුක්සෝ කදුළු අලෙවිකල ඔවුන්ව ගෝඨාභය රාජපක්ෂ සමගම  මීගමුවේ ජනයා ප්‍රතික්ෂේප කර තිබේ.  ''මතකද 21/4?'' යනුවෙන් ගෝඨාභයගේ පොස්රටයක් මීගමුවේ ඇලවුයේ ඔවුන්ය. එය කිතුනු ජනයා තේරුම් ගත්තේ එක්තරා ආකාරයක තර්ජනයක් ලෙසය.  මෙසේ පෝස්ටර් අලවමින් සිටි පොහොට්ටුවේ ආධාරකරුවන් පිරිසක් 13/11/19 දින මීගමුවේදී හසුවි. ඔවුන්ට පෝස්ටර් ගැසීමට දී ඇත්තේ කවුදැයි ඔවුන් හෙළිකර තිබේ.  පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපේ මිනිසුන්ටවූ විනාසයෙන් පවා දේශපාලන වාසි සොයන තත්වයට පොහොට්ටුව මෙන්ම ලන්සලාද ඇද වැටී තිබීම ගැන මීගමුවේ ජනයා සිටියේ දැඩි පිළිකුලකිනි. එම නිසාම පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස පවා ඔවුන්ගේ සැගවුණු හස්තයන් තිබීමට ඉඩඇති බව ඇතමේක් සැකකළේය. හලාවත ධීවර ඇන්ටනීට සහ කටුනායක රොෂේන් චානකට වෙඩි තබා ඝාතනය කිරීම, රතුපස්වල වතුරු ඉල්ලු ජනයාට පල්ලිය පැන පහරදීම ආදිය ගැන මීගමුවේ ජනයාට තවම අමතක නැත. කිතුනුවන් සිය පීඩකයා ගැන  නිතර අවධානයෙන් සිටී. ඔවුහු යක්ෂයාගේ දුෂ්ටකම්වලටත් ඔහුගේ සතුරුකම් ගැනත් අමතක නොකර පරීක්ෂාවෙන් සිටී. එහින් දුෂ්ට දේශපාලන ව්‍යාපෘතිවලින් බලය සොයන්නේ මොකාද යන්න ඔවුන්ට පහසුවෙන්ම හදුනාගත හැක. නාග ලොවින් නොව, කපාල කන්දෙන් ධාතු ගෙනාවා කීවද ඔවුන් රැවටිය නොහැක. 

මීට අමතරව 14/11/19 දින කටාන ප්‍රදේශයේ මුස්ලිම් පිරිසකට ''චන්දේ දෙන්න ගියොත් බලාගෙනයි'' යනුවෙන් තර්ජනය කිරීමට ගිය කාණ්ඩායමක එකෙක් අල්ලාගත් බව මුස්ලිම් ජනයා අතර මෙන්ම බෝලවලාන, කුරණ ආදී ප්‍රදේශවල කිතුනු ජනයාටද දැන ගැනීමට ලැබී තිබේ. ජනයාගේ නිදහස් කැමැත්තට මේ ලෙස සිදුකරන අනිසි බලපෑම් නිදහස, සාමය සහ සහෝදරත්වය අගයන මීගමුවේ ජනයා දැඩිව ප්‍රතික්ෂේප කළේය.

තවද චන්දයට පෙරදින කොලබ අගරගුරු නිවසින් නිකුත්කළ video පටියක් තුලින් පියතුමෙක් දක්වා තිබුනේ කතෝලික ප්‍රදේශවල කතෝලික පියතුමන්ලා මෙන් ලෝගුවක් පැලදී පුද්ගලයින් දේශපාලන වේදිකාවට නංවා පාස්කු ප්‍රහාරයට විරුද්ධව පොහොට්ටුවට චන්දේ දෙන්න යැයි ඉල්ලන වැඩසටහනක් දියත්වී ඇති බවත් එහෙත් කතෝලික සභාවේ කිසිම පියතුමෙකු එසේ කිසිම දේශපාලන වේදිකාවකට ගොඩවී නැති බවත් දක්වන ලදී. ඒවා මිනිස්සු නොමග යැවීමට කරන දේවල් ලෙසත්, පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන උවමනාවන් ඉෂ්ට කරගැනීම නවත්වන ලෙසත් ඉල්ලා සිටියහ. 

ඒ වන විටද අපේ පළාතේ මන්ත්‍රී කෙනෙකු වන කුප්‍රකට නිමල් ලාන්සා මහතා ඔහුගේ Facebook පිටුවේ රදගුරුවරයෙක් කිව්වේ යැයි කියා ගෝඨාභයට ජන්දේ දෙන ලෙස ඉල්ලා සිටින වීඩියෝවක් නිකුත්කර තිබුණු. ඔහු එ සදහා යොදාගත් රදගුරුවරයාවුයේ කතෝලික රදගුරුවරයෙක් නොවූ, එංගලන්ත සභාවේ සිටි, මුදල් වංචාවක් නිසා එම සභාවෙන් ඉවත්කළ  තැනැත්තෙකි. මහා කතෝලික මන්ත්‍රීවරයෙක් ලෙස තමාව හදුන්වා ගන්නා නිමල් ලාන්සා, මෙන්ම ඔහුගේ සහෝදරයා වන මීගමුවේ චන්ද බලයෙන් නොව සල්ලි බලයෙන් නගරාධිපතිවූ දයාන් ලන්සාත්, පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබාගැනීමට පාස්කු ප්‍රහාරය විකුණන්නේ ඇයි? ආගම බේරාගැනීමටද? කතෝලිකයින්ව බේරාගැනීමටද? නැතිනම් ඔවුන්ව බේරා ගැනීමටද? ඔවුන්ගේ ජාවාරම් බේරාගැනීමටද? තමන්ගේ නිවසේ නීතිවිරෝධී ද්‍රව්‍ය ඇතයි සිතා තමන්ගේ නිවසට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා වැටලීමක් කරමින් ඔවුන්ගේ පරම්පරා ගණනාවකට මහා නින්දාවක් කල ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරවන්න ලන්සලා දගලන්නේ මීගමුව තවත් විනාශ කරදීමීටදැයි යන සැකය මීගමුවේ ජනයා තුල නිතර කැසකැවුණු ප්‍රශ්නයක්විය. 

මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී මීගමුවේදී ගෝඨාභය රාජපක්ෂ දරුණු පරාජයකට පත්වීම නොවැලක්විය හැක්කකි. එසේම ගෝඨාභයගේ පරාජයෙන් අනතුරුව මීගමුවේ ජනයාට එල්ලවූ තර්ජන ගර්ජන සහ නින්දිත ප්‍රහාර හමුවේ මීගමුවේ ජනයාට තමන් කවරහුද? ඔවුන් නියෝජනය කරන අනන්‍යතාවය කුමක්ද? යන්න තේරුම්ගැනීමටද අවස්ථාවක් උදාවිය.  නිදහසින් පසු ක්‍රියාත්මකවූ මීගමුවේ ජනයාගේ සැබෑ අනන්‍යතාවයවූ කතෝලික-ක්‍රිස්තියානි අනන්‍යතාවය ක්‍රමයෙන් දියකර හරිමින් සිංහල-කතෝලික යනුවෙන් එහෙටත් නැති, මෙහෙටත් නැති, ව්‍යාජ අනන්‍යතාවයක් ගොඩනැගීමේ ව්‍යාපෘතියද හෝදා යන ලදී. පැහැදිලිවම කියන්නේ නම් මේම ජනාධිපතිවරණය මීගමුවේ ජනයාගේ  කතෝලික-කිතුනු අනන්‍යතාවය වඩ වඩා සහතික කල, වඩ වඩාත් ඔවුන්ගේ සිත් තුලට කාවැද්දු ජනාධිපතිවාරණයක් විය. ජනාධිපතිවරණයේ ප්‍රතිපල නිකුත්වෙන විට ''බෙදුන දේශයක, බහුතරයේ ආධිපත්‍යට එරෙහිව සුළුතරයේ ප්‍රතිවිරෝධය දැක්වූ ජන්දයක්'' යැයි මගේ Facebook පිටුවේ මම සදහන් කලේ ඒ නිසාය. 

කෙසේවුවද දැන් මීගමුව වඩ වඩා පරික්ෂාකාරී විය යුතුය, ඒ යක්ෂයාගේ හෝරාවා පැමිණ ඇති නිසාම නොව සතුරන්ද අප අතරම වන නිසාය. 

මීගමුවට ජයවේවා !! සුළු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා වේවා!! පීඩිතයින්ට විමුක්තිය අත්වේවා!! සියළු ජනයා සාමයෙන්, සහෝදරත්වයෙන් පසුවේවා!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
18/11/2019 

Wednesday 13 November 2019

නුවර ටවුමේ මුස්ලිම් ස්කෝලයක් හදලා දෙන්නවා කිව්ව මහින්දානන්ද නාවලපිටියේ සා.මරියා පාසලේ නම වෙනස් කිරීමටත් පොරොන්දුවෙලා

මහනුවර ටවුමේ 10%යක් වන ගෝඨාභය රාජපක්ෂගේ ජන්ද පදනම 25% දක්වා වැඩිකර දෙන්නේනම් මුස්ලිම් ජනයාට මුස්ලිම් පාසැලක් මහනුවර නගරයේ ඉදිකරදෙන බව පොහොට්ටුවේ මහනුවර මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ  පවසන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යයන්ට මුදාහැර තිබුණි.

ඔහු එසේ ප්‍රකාශ කිරීමට පෙර පවා, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ සිට, ඔහුගේ ආසනය වන නාවලපිටියේ පිහිටි සා. මරියා පාසැලේ නම වෙනස් කර දෙන බවට එම ප්‍රදේශයේ මුස්ලිම් කොටසකට පොරොන්දුවී ඇති බව දැනගැනීමට ලැබුණි.

නාවලපිටියේ සා. මරියා පාසැල යනු නාවලපිටිය සා. මරියා කතෝලික පල්ලියට අනුබද්ධව 1915 දී පිහිටවූ කතෝලික පාසැලකී. කදිරේෂන් හින්දු විද්‍යාලය, අනුරුද්ධ බෞද්ධ පාසැල ආදී පාසැල් අතරින් නාවලපිටිය සා.මරියා පාසැලට වැඩි අවධානයක් එකල යොමුවූයේ එහි පැවති කිතුනු අධ්‍යාපනයත්, නාවලපිටිය සා. මරියා පල්ලියේ සහ පියතුමාගේ දායකත්වයත්, Young Mariyans පාපන්දු කණඩායම ආදිය ඔස්සේ විනය, අධ්‍යපනය, ක්‍රීඩාව ආදී ක්ෂේත්‍රවලට ප්‍රසිද්ධවීම නිසාය. ආරම්භයේ සිටම සුවිශේෂ නමක් දිනාගත් මෙම පාසැල ප්‍රදේශයේ කිතුනු ජනයා සදහා පමණක් නොව කිතුනු නොවන ජනයා සදහාද වීවෘතවූ මිශ්‍ර පාසැලක් විය.

එම නිසාම නාවලපිටිය නගරයේ ක්‍රමයෙන් වර්ධනයවූ මුස්ලිම් ජනයාගේ දරුවන් වැඩි වශයෙන් මෙම විදුහලට ඇතුල්කිරීම සිදුවූ අතර අද වනවිට එහි වැඩි වශයෙන් ඉගෙනුම ලබන්නේ මුස්ලිම් සිසුසිසුවියන්ය. එම විදුහලේ ප්‍රධාන දොරටුව ඉහලින් සා. මරියාතුමියගේ සුරුවමක් තිබුනද, ඇතුල් ශාලා කිහිපයකම කුරුස සලකුණ තිබුනද, එය දැන් මුස්ලිම් විදුහලක්යැයි ප්‍රදේශවාසින් කියති. එවැනි තත්වයක් තුල තවදුරටත් සා. මරියා වැනි කිතුනු නමකින් එම පාසැල හැදින්වීම තේරුමක් නැතයි යන අදහසක්ද ප්‍රදේශයේ රැඩිකල් මුස්ලිම් තරුණ කොටසකගෙන් මතුවී තිබුණි.

එම අදහස වඩා දළුලා ඇත්තේ නාවලපිටිය ආසනයේ පොහොට්ටුවේ සංවිධායකයාවන මහින්දානන්ද අළුත්ගමගේ මහතා නාවලපිටිය සා. මරියා පාසැලේ නම වෙනස් කරදීමට තමා කටයුතු කරන බව දැක්වීම තුලය. අළුත්ගමගේ මහතා වරක දක්වා ඇත්තේ නාවලපිටිය කදිරේෂන් හින්දු විද්‍යාලයට තමා ඉඩම් පවා ලබා දුන්නද, අනුරුද්ධ බෞද්ධ පාසැලට ගොඩනැගිලිපවා ලබා දුන්නද, ප්‍රදේශයේ මුස්ලිම් ජනයාට එසේ යමක් කර නැති නිසා අඩුම තරමින් මුස්ලිම් දරුවන් දැන් බහුලව සිටින නාවලපිටිය සා. මරියා පාසැලේ නම වෙනස්කර මුස්ලිම් ජනයාට කැමති නමක් දාගැනීමට හෝ ඉඩදෙන බවය.

මහින්දානන්දගේ සහය ලැබූ මුස්ලිම් තරුණ කණ්ඩායමක් පසුගිය කාලයේදී විදුහලේ ඇති සා. මරියතුමියගේ සුරුවම ගලවා දැමීට සහ ශාලාවල ඇති කුරුස සහ සුරුවම් ගලවා දැමීමට උත්සහකලද ප්‍රදේශයේ ජනයාගේ, පල්ලියේ සහ පොලීසියේ මැදිහත්වීමෙන් එම උත්සහය ව්‍යාර්ත කෙරුණි.

දැන් අළුත්ම තත්වය වී ඇත්තේ නාවලපිටියේ සහ අවට ප්‍රදේශවල මුස්ලිම් ජනයා මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට පොහොට්ටුවට චන්දය දෙන්නේ නම් අනිවාර්යෙන්ම නාවලපිටිය සා. මරියා විදුහලේ නම වෙනස්කිරීමට ඔවුන් කටයුතු කරන බවට රාවයක් පතුරුවා හැරීමයි.

පැහැදිලිවම මහින්දානන්ද අළුත්ගමගේ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන එමට අවශ්‍ය ඔහුට විරුද්ධව ඇති නඩුවලින් බේරීමට බව ප්‍රදේශවාසීන් දනී. එමෙන්ම සා. මරියා විදුහලේ පමණක් නොව දැන් මුස්ලිම්වරුන්ගේ ක්‍රීඩා සමාජයක්වී ඇති නාවලපිටිය Young Mariyans පාපන්දු කණඩායමේ නමවත් වෙනස්කිරීමට ප්‍රදේශයේ බොහෝ මුස්ලිම් ජනයා පවා අකැමතිව සිටී. මන්දයත් එකී නම් වලට ඇති කීර්තිනාමය නම වෙනස්කිරීම තුල මුළුමනින්ම අහෝසිවී යන නිසාය.

එවැනි තත්වයක් තුල සිය පෞද්ගලික වාසි සදහා ජාතිවාදී, ආගම්වාදී කාණ්ඩයම්වලට වරදාන දෙමින් ජාතිවාදය සහ ආගම්වාදය පතුරුවමින් මෙම මහින්දානන්දලා ප්‍රමුඛ ගෝඨාභය පෙරටුකරගත් පොහොට්ටුවේ දේශපාලනය පැහැලිවම පරාජය කලයුතුය.

මාකස් ප්‍රියන්ත පෙරේරා.

Tuesday 5 November 2019

ගෑස් හිගය සහ පොහොට්ටුවේ ජනාධිපතිවරණ උපාය මාර්ගය


ගෑස් හිගයක් හදලා ජනාධිපතිවරණයක් දිනන්න පුලුවන්ද? මම හිතන්නේ බැහැ. මොකද, ලංකාවට ගෙන්වන මුළු LPG (Liquefied petroleum gas) ගෑස් ප්‍රමාණයෙන් 88% (169,000Mts) ක් භාවිතා කරන්නේ ගෘහ ආශ්‍රිතව ඉවුම් පිහුම් කටයුතු සදහා උනත්, හෝටල් සහ කර්මාන්ත මට්ටමින් ගෑස් භාවිතා කරන්නේ 11%ක් (20,000Mts) සහ ප්‍රවාහනය සදහා භාවිතා කරන්නේ 1% (2,000) විතර ප්‍රමාණයක් උනත්; රටේ ජනතාවගෙන් තවමත් ගෘහ ආශ්‍රිතව ඉවුම් පිහුම් සදහා ගෑස් පාවිච්චි කරන්නේ ජනග්‍රහණයෙන් 30% ක් විතරයි. ඒ අයගෙනුත් අතිබහුතරයක් ඉන්නේ බස්නාහිර පලාතේ. කොටින්ම ගෑස් හිගයක් රටේ වැඩිපිරිසක් වන ග්‍රාමීය ජනයාට සිදුකරන බලපෑම ඉතාම සීමිතයි.

ලංකාවට ගෙන එන ගෑස්වලින් වැඩි හරියක් ඉවුම් පිහුම් සදහා භාවිතා උනත්, ගෑස් භාවිතා කරන අයගෙන් වැඩිදෙනෙක් ඉවුම් පිහුම් සදහා ගෑස් විතරක්ම භාවිතා කරන, වෙනත් කිසිම ද්‍රව්‍යයක් ඉන්ධන ලෙස භාවිතා නොකරන, පිරිස ඉතා ස්වල්පයයි. ලංකාවේ ගෑස් භාවිතා කරන බොහෝ දෙනෙක් ගෑස් භාවිතා කරන්නේ හදිස්සියට, ඉක්මනින් යමක් උයාගන්න විතරලු. ගෑස් එක ගෙදර තියෙන අතරේ තවමත් ඉවුම් පිහුම් සදහා වැඩියෙන්ම භාවිතා කරන්නේ දරළු. ඒ කියන්නේ ගෑස් භාවිතා කරන අයගෙත් වැඩි හරියකටත් ඉවුම් පිහුම් සදහා ඉන්ධනමය වශයෙන් ගෑස්  අත්‍යවශ්‍යම නැහැ. ඒ නිසා ගෑස් හිගයක් හදලා ලංකාවේ ජන්දවලට කරන්න පුළුවන් බලපෑම අල්පයි.

අනෙක් අතට ඉවුම් පිහුම් සදහා ගෑස් වැඩිපුරම භාවිතා කරන බස්නාහිර පළාතේ නගරබද, මධ්‍යම පාන්තික ජනයාගේ දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී එකවර, මැතිවරණයේ පස්වන සතියේ, ඇතිවෙන ගෑස් හිගයක් ඇතිකරන බලපෑම සීමා සහිතයි. මොකද ඉහල දේශපාලන සබුද්ධිකතාවයක් තියෙනවායි කියන එකී පිරිස පසුගිය කාලේ පුරාම සිදුවුණු වැඩ වර්ජන රැල්ල ගැන යම් කිසි විචක්ෂණයකින් තමයි පසුවෙන්නේ.

ඕනේ නම් ගෑස් හිගයක් තුලින් හරි, නැතිනම් එසේ මවාපෑම තුලින් හරි, කරන්න පුළුවන් එකම දේ තමයි රටේ ප්‍රශ්නයක් ඇති කිරීම හෝ ප්‍රශ්නයක් තියෙන බව පෙන්වීම පමණයි. එසේ කිරීමෙන් ආණ්ඩුවේ අසමත්කම පෙන්වීමට හැකියි. පසුගිය කාලේ පුරාම පොහොට්ටුවේ දේශපාලන උපාය මාර්ගයවුනේ ඒක. කෙසේ හෝ කුමන තත්වයක් යටතේ හෝ රටේ ප්‍රශ්නයක් මතුකරලා, ඇතිකරලා, නැතිනම් මවලා පෙන්වලා හරි ආණ්ඩුව අසාර්ථකයි කියලා පෙන්වන්න හදන ඒක තමයි ඒ අයගේ දේශපාලන උපාය මාර්ගය වුනේ. ඒ උපක්‍රමය යම් විදිහකට හරි සාර්ථක වෙන්නේ ආණ්ඩුව ප්‍රතිචාර දැක්වීමේදී දක්වන මන්දගාමී තත්වය තුලයි. ආණ්ඩුවට ඕනේ නම් මේ වෙලාවේ උනත් කරන්න පුළුවන් ගෑස් කවුරු හරි හංගන් ඉන්නවා නම් වැටලීම් කරන ඒක. එහෙම කරලා ගෑස් හංගන් ඉන්නේ කවුද කියලා පෙන්වන ඒක. නැතිනම්, ගෑස් නැත්නම් වහාම ගෑස් ගෙන්වන ඒක. එහෙම නැතිව ''රාජපක්ෂලා බලය ගන්න මොනවද නොකරන්නේ?'' කියා කියා ඉන්න ඒක විතරක් සෑහෙන්නේ නැහැ.

අනෙක් අතට ගෑස් හිගයක් ඇතිකිරීම තුල හෝ එසේ මවාපෑම තුල පොහොට්ටුව කිසියම් දේශපාලන වාසියක් අත්කරගන්න උත්සහකරනවා නම් එකත් එච්චරම සාර්ථක නැහැ. මොකද එකෙන් රටේ බහුතරයකට කලහැකි බලපෑම ඉතා සීමා සහිතයි. ඕනේ නම් නාගරික ජනයාට යම් බලපෑමක් කල හැකියි. පසුගිය කාලය පුරාම සිදුවූ වැඩවර්ජන, කොළබ පාරවල් අහුරා කරන පෙළපාලි, සහ අනෙකුත් ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ග පොහොට්ටුවේ දේශපාලන උවමනාව උඩ සිදුවුවක් නම් පැහැදිලිවම කිව යුත්තක් තමයි ඒවායේ බලපෑ වැඩියෙන් සිදුවුයේ නාගරික ප්‍රදේශවලට විතරයි. ඇත්තටම පොහොට්ටුවේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණය පවා නාගරික මැද පන්තිය මුල් කරගත්තක්. දිළිදු ජනයා ගැන දක්වන අවධානය ප්‍රමාණවත් නැහැ. ඒ නිසාම, සජිත් ප්‍රේමදාස, ඊට ප්‍රතිපක්ෂව, ග්‍රාමීය දිළිදු ජනයා කේන්ද්‍ර කරගෙන සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බවක් තමයි පේන්න තියෙන්නේ.

මේ අනුව ගෑස් හිගය එක්තරා ආකාරය ජනාධිපතිවරණයේ ප්‍රචාරක උපක්‍රමයන්ගේ පිලිබිබුවක් ලෙසත් ඕනේ නම් සලකන්න පුළුවන්. තත්වය එසේ නම්, සීමිත බලපෑමක් ඇති ගෑස් හිගයවගේ දෙයක් නෙමේ, ජනාධිපතිවරණයේ අවසාන සතිය වනවිට රටපුරාම ඉන්ධන හිගයකුත්වුනත් ඇතිවෙන්න පුළුවන්.

මාකස් ප්‍රියන්ත පෙරේරා
05/11/2019