This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 22 August 2023

රනිල් මඩු මංගල්‍යයට සහභාගීවීම කතෝලික පල්ලියේ ප්‍රතිපත්තිමය වෙනසක් නිරූපණය කිරීමක්ද?

පසුගිය අගෝස්තු 15 දා මඩු පල්ලියේ පැවැති වාර්ෂික මංගල්‍යයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආවනේ.. ඔහු එහිදී කතාවකුත් කලානේ... "රනිල් වික්‍රමසිංහට මඩු මංගල්‍යයට එන්න කිව්වේ කවුද?", "එයාට කතාවක් කරන්න ඉඩ දුන්නේ කවුද?",  "එයා එතන කලේ සම්පුර්ණ දේශපාලන කතාවක් නේද?", "රනිල් වික්‍රමසිංහට හෝ වෙනත් ඕනෑම  දේශපාලකයෙක්ට මංගල්‍යය පුජාව අතරතුර කථා පවත්වන ඉඩදීලා මංගල්‍යය පුජාව දේශපාලන වේදිකාවක් බවට පත්කරගන්න ඉඩ දෙනවද?", "මිනිස්සුන්ගේ සද්ධාවට, භක්තයට සහ ශුද්ධ භූමියට එමගින් හානිවෙනවා නේද?"  ආදි ලෙස ඒ සම්බන්ධයෙන් කිතුනුවන් අතර මතුව ඇති  විරෝධයත්, කතිකාවත් පිළිබඳව මම ඉතා උනන්දුවෙන් බලා සිටියා...

මගේ අදහස නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මඩු දේවස්ථානයේ ප්‍රධාන වාර්ෂික මංගල්‍යයට සහභාගීවීමත්, එහිදී කතාවක් පැවැත්වීමත් ඉතා වැදගත් සංදිස්ථානයක් සටහන් කරනවා කියන එකයි. 

මම එහෙම කියන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි දැන් බලන්න අර මතුවෙලා තියෙන්න කරුණු: "රනිල් වික්‍රමසිංහට මඩු මංගල්‍යයට එන්න කිව්වේ කවුද?", "එයාට කතාවක් කරන්න ඉඩ දුන්නේ කවුද?"...ඕවා බලද්දීම අපිට තේරෙනවා නේද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපේ තියෙන විරෝධය. අපි දන්නවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වෙද්දීම කාදිනල් තුමා ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ එක්ක එකට හිටගනිමින් කිව්වා "අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව වගේම ඔහුගේ පත්වීමත් පිලිගන්නෙත් නෑ" කියලා. ඔහුට ජනවරමක් නෑ කියලාත් කිව්වා. 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකින් ජයගෙන පත්වූ ජනාධිපතිවරයෙක් නොවන බව ඇත්ත. ඒත් ඔහු පත්වුනේ දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව. එහෙම පත්වූ ජනාධිපතිවරයෙක් අපි පිලිගන්නේ නෑ කිව්වහම ඒක එක්තරා ආකාරයකින් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිගන්නේ නෑ කියනවා වගේ කතාවක්... මම දන්නේ නෑ කාදිනල් තුමා ඒ ප්‍රකාශය කලේ රදගුරු මණ්ඩලයේ තීරණයක් අනුවද? දේශපාලන දැනුවත්භාවයක් උඩද? නැතිනම් ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ගේ ලණුවක් කාලද කියලා... අනික අපි රනිල් වික්‍රමසිංහගේ ජනවරම ගැන ප්‍රශ්ණ කරනවා නම් එහෙම ප්‍රශ්න කරන්න තිබුනේ ඔහු පැරදිලා ඒත් ජාතික ලැයිස්තුවේ මංත්‍රිවරයෙක් ලෙස දිවුරුම් දීමේ ඉදලමයි. අන්න එහෙම කලා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීම අපි පිලිගන්නේ නෑ කියන්න අපිට පැහැදිලි පදනමක් තියෙනවා. 

කොහොමත් අපිට රනිල්ට විරුද්ධ වෙන්න පැහැදිලි කාරණා රාශියක් තියෙනවා. මූලික දේ තමයි පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දී ඔහු තමයි අගමැති. ඔහුට ඒ වෙලාවේ ජාතික ආරක්ෂාව ගැන වගකීමක් තිබුනේ නෑ කියන කාරණය ගැන පදනමක් තියෙන්න පුලුවන්, එහෙත් ඔහු තමයි සිරිසේන ජනාධිපතිවරයා කර අරිද්දී රජයක් විදිහට ජාතික ආරක්ෂාවේ බිදවැටීම නිසා ප්‍රහාරය එල්ලවුනා කියලා වගකීම බාරගත්තේ..අද ඔහු ජනාධිපති ඒත් පාස්කු ප්‍රහාරය ගැන නිසි නීතිමය ක්‍රියාමාර්ග තවම අරගෙන නෑ...පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන නිලන්ත ජයවර්ධලා, දේශබන්දු තෙන්නකෝන්ලා, සුරේෂ් සාලි ලා තවම තනතුරුවල ඉන්නවා..රනිල් වික්‍රමසිංහට ඕනේ නම් කියන්න පුලුවන් එයා ජනාධිපතිවරයා වුනාට ආණ්ඩුව පොහොට්ටුවේ නිසා එයාට එහෙම්ම ක්‍රියාමාර්ග ගන්න බෑ කියලා. ඒත් අපි විශ්වාස කරනවද රනිල් වික්‍රමසිංහ එහෙම ක්‍රියාමාර්ග ගනියි කියලා.. නෑ රනිල් වික්‍රමසිංහ ලංකා රාජ්‍යය ආරක්ෂා කරන්නෙක් මිසක් රාජ්‍යය යට ක්‍රියාත්මක වෙන ජාතිවාදී, වර්ගවාද, මිලිටරි, බල දේශපාලන හස්තයන් හෙලිකරන්න, ඒවා එක්ක හැප්පෙන්න යන්නේ නෑ...ඒවා එක්ක හැප්පිලා එයාගේ දේශපාලන න්‍යාය පත්‍රය අවුල් කරගන්න එයා යන්නේ නෑ...ඇත්තම කිව්වොත් එයා විතරක් නෙමේ රාජ්‍යය බලය ගැන උනන්දු ඔය කිසිම සිංහල දේශපාලකයෙක් ශ්‍රී ලංකා රාජ්‍යය යට ක්‍රියාත්මක වෙන, ශ්‍රී ලංකා රාජ්‍යය තුල මුල්බැසගෙන ඇති, ජාතිවාදී, වර්ගවාදී, මිලිටරි, බල දේශපාලන හස්තයන් එක්ක හැප්පෙන්න යන්නේ නෑ...එනිසා තමයි රනිල්ගේ පාලනයක් තුල පවා පාස්කු ප්‍රහාරය ගැන විතරක් නෙමේ අතුරුදන් කල, ඝාතනය කල උතුරේ පියතුමන්ලා, ගිහියන් පිලිබදව විතරක් නෙමේ රෝෂාන් චානක, හලාවත ඇන්ටනී, ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැල්ගොඩ ආදීන්ට පවා යුක්තිය ඉටුවෙයි කියලා හිතන්න බැරි. 

ඉතින් අපි රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප කරන්න ඕනේ නේද? ඔහුට විරෝධය දක්වන්න ඕනෑ නේද? ඔව් ඇත්ත. හැබැයි කතෝලික පල්ලිය එහෙම කටයුතු කරන්න යන්නේ නෑ..මොකද එහෙම කටයුතු කරන්න ගිහිල්ලා එගොල්ලන්ට කිසිදෙයක් කරගන්න බෑ විතරක් නෙමේ පවතින්නත් බෑ කියලා ඒගොල්ලෝ දන්නවා... එක තමයි ඒගොල්ලන්ගේ තක්සේරුව... 

එගොල්ලන්ගේ විතරක් නෙමේ ෆාස්‍ටර් ජෙරම්ගේ තක්සේරුවත් එහෙමයි. ඒ නිසා නේ විරෝධාර දිවැසිවරයෙක් වගේ ප්‍රකාශ කරලා දැන් අම්මා-තාත්තව දාලා ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ හරහා කිසියම් පිලිසරණක් හොයන්න හදන්නේ... ඔය කවුරුත් දන්නවා "දෙවියන්ගේ දෙවියන්ටත්, සීසර්ගේ දේ සීසර්ටත්" දෙන්න කියලා ජේසු කිව්වත් ක්‍රිස්තියානි පල්ලියේ බලය තිබ්බ, පල්ලියත් රාජ්‍යයත් එකට බද්ද වෙලා තිබ්බ, මධ්‍යතන යුගය බිදවැටිලා බිහිවුනු නූතන ජාතික රාජ්‍යය තුල දේශපාලනයෙන් තොරව පවතින කිසිවක් නෑ කියලා. දේශපාලනයෙන් තොරව පල්ලිවල මංගල්‍යයක්වත් කරගන්න බෑ කියලා ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව පිලිගන්නේ නෑ, මාව බලන්න කිසිම දේශපාලකයෙක් එන්න එපා කියන කාදිනල්ගේ තද ස්ථාවරය තුල පල්ලියට දිගටම පවතින්න බෑ කියලා පල්ලිය දන්නවා...ඒ නිසා කාදිනල්ගේ ස්ථාවරය පැත්තකින් තියෙද්දී  කතෝලික සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ක කටයුතු කරන්න තීරණය කරනවා. 

මෙවර මඩු පල්ලියේ වාර්ෂික මංගල්‍යයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැමිණීම තුල සටහන් කරන්නේ කතෝලික සභාවේ එම ප්‍රතිපත්තිමය වෙනස වෙන්න පුලුවන්. එයා මීට කලින් 2018 දීත් ආවා, ඊටත් පෙර ජනාධිපති ප්‍රේමදාසත් මඩු මංගල්‍යයේ පුජාවට 1982දී ඇවිත් තියෙනවා...

ඒ කොහොම වුනත්, ඇත්තටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මඩු පල්ලියේ වාර්ෂික මංගල්‍යයට එන්න ආරාධනා කලේ කවුද? අල්‍තාරේ නොවුනත් අල්තාරේ පැත්තකින් ඉදලා හරි කතාවක් කරන්න ඉඩ දුන්නේ කවුද? මන්නාරම රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු ද රනිල්ට ආරාධනා කලේ, රදගුරු සමුළුවේ තීරණයක් අනුවද ආරාධනා කලේ නැතිනම් ශ්‍රී ලංකාවේ වතිකානු තනාපති (අපෝස්තලික නන්සියෝ) බ්‍රයන් උදයිග්වේ ද රනිල් ට ආරාධනා කලේ කියලා අහන,කතෝලික ගිහි ක්‍රියාකාරීන්, ගිහි සංවිධානය ලංකා කතෝලික සභාවෙන් අහන්න ඕනෑ ඒවා නෙමේ... ඒ අය අහන්න ඕනෑ කතෝලික සභාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න තීරණය කළාද? කියන එකයි...එහෙම නම් ඒ මොන පදනමින්ද? පාස්කු ඉරිදා  ප්‍රහාරට යුක්තිය ඉටුකරගන්න,  සත්‍යය මතුකරගන්න, ඔහු සහයෝගය දෙන්නේ කොහොමද? ස්කොට්ලන් යාඩ් එක සම්බන්ධ කරගන්නවාද? ආදිය තමයි අහන්න ඕනේ..

අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාවේ වතිකානු තනාපති (අපෝස්තලික නන්සියෝ) බ්‍රයන් උදයිග්වේ එම මංගල්‍යය පුජාවේ සදහන් කල සංහිඳියාව ගොඩනැගීමට ජනාධිපතිවරයා දරණ උත්සාහයට  වතිවානුවේ සහය හිමිවෙනවා කියන එක ගැනත් පැහැදිලි කරගන්න ඕනේ...එහිදී ඔහු  සංහිඳියාව කියලා සදහන් කලේ පල්ලිය සහ ජනාධිපතිවරයා අතර සංහිඳියාවද නැතිනම් ජාතීන් අතර සංහිඳියාවද කියන එකත් පැහැදිලි කරගන්න ඕනේ. මොකද ජනාධිපතිවරයා සංහිඳියාව ගොඩනගවා කියන්නේ 13වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම හා එකට එක් කරලා කතා කරන නිසා කතෝලික සභාව 13 ගැනයි මේ කියන්නේ කියලා වෙනත් අර්ථ නිරූපණයන් ඇති වෙන්නත් ඉඩ ඇති නිසා...

ඒවගේම ජනාධිපතිවරයා මඩු පල්ලියේ දේශපාලන කතාවක් කෙරුවා කියන එක ගැනත් කියන්න ඕනේ... දේශපාලකයෝ කරන්නේ දේශපාලන කතා මිසක් වෙන මොනවද? හැබැයි රනිල් එතැන ක්‍රවුඩ් එක, රැස්වෙලා ඉන්න පිරිස, ගැන අදහසකින් තොරවයි කතා කලේ.. ඔහු, ඔහුගේ කතාව තුල මන්නාරමේ සංවර්ධන සැලසුම් ගැන කතා කලේ එතැන ඉන්න වැඩි පිරිසක් මන්නාරමේ ය කියලා හිතන්ද? වන්දනාකරුවන්ට  දුම්රියක් දාන එක තමයි ඔහු වන්දනාකරුවන් ඉලක්ක කරන් සදහන් කලේ... ඇත්තටම රනිල් කතා කලේ එතැන හිටපු පිරිසට වඩා එතැන නැති පිරිසට... මුළු රටටම.. සහ ඉංදියාවට...ඉංදියාවේ අද්වානිලාගේ ආයෝජකයන් විදිහටනේ ඔය මන්නාරමේ සහ පුනරින් බලශක්ති උත්පාදන වැඩසටහන් දියත්වෙන්න යන්නේ...රනිල් ඔහුගේ කතාව තුල ඉංදියාවක් ගැන කිව්වේ නම් නෑ තමයි, නමුත් වැඩපිළිවෙළ ගැන කිව්වා... 

පල්ලි, පංසල්, පාසැල් කියලා නෑ,  රනිල් ඕනෑ තැනක ගිහින් දැන් කියන්නේ එයාගේ වැඩපිළිවෙළ ගැන.. එහෙම කියලා එයා අපෙන් අහන්නේ  මම මේක කරන්න යන්නේ ඔයලා එකතුවෙනවද? නැද්ද? කියන එකයි... මඩු පල්ලියේ දී රනිල් එයාගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා වතිකානුවෙන්, රදගුරු මණ්ඩලයෙන් වගේම රටේ කතෝලියන්ගෙන් ඇහැව්වේත් ඒකයි: "මම මේක කරන්න යන්නේ...ඔය ගොල්ලෝ එකතුවෙනවද? නැද්ද?"

අපිට තියෙන්නේ විසදුම් තුනයි..එක්කෝ රනිල් එක්ක එකතුවෙන්න ඔනේ...නැතිනම් රනිල්ව පන්නන්න ඕනේ..ඒත් රනිල්ව පැන්නුවා කියලා වැඩක් නෑ.. මොකද අර වැඩපිළිවෙළ යනවා..කවුරු ආවත් ඒ වැඩපිළිවෙළ දැන් යනවා.. IMF හරහා, IMF එකෙන් උදව් ගන්නවා කියලා වෙලා තියෙන්නේ ඒක.. අර වැඩපිළිවෙළ ස්ථාපිත වෙන එකයි වෙන්නේ...ඒ නිසා රනිල් එලෙව්වා කියලත් වැඩක් නෑ වැඩපිළිවෙළ දිගටම යයි... ඉතින් ඔය විසදුම් දෙකම වැඩක් නෑ...තුන්වෙනි විසදුම තමයි ඔය වැඩපිළිවෙළ පරාජය කරන්න කටයුතු කරන එක..ඒක ලේසි නෑ.. ඉක්මනින් කරලා ඉවර කරන්නත් බෑ, සංකිරණයි, පුළුල්, සීමාවක් නෑ, ජාත්‍යන්තරයි, ක්ෂේත්‍ර ගණනාවකට විහිදෙනවා..හැබැයි උත්සාහයක් දරන එක, දායක වෙන එක වටිනවා...මොකද ඒකෙන් මුළු මනුෂ්‍ය සංහතියටම,  ලෝක ගෝලයටම අද්විතීය ප්‍රතිඵලයක් ලැබෙනවා, හරියට අර බයිබලයේ සදහන් කරන විමුක්තියේ සුභාරංචිය වගේ!! 


මාකස් ප්‍රියන්ත පෙරේරා 

21/08/23

Tuesday 8 August 2023

පල්ලියට හෝ පාලකයින්ට සීමා කල නොහැකිවූ මෙඩ්ජුගෝර්ජේ (Medjugorje) බැතිය!!


බොස්නියාවේ මෙඩ්ජුගෝර්ජේ නොහොත් මෙජගොරේ (Medjugorje) යනු ප්‍රංශයේ ලූර්දු, පෘතුගාලයේ පාතිමා, මෙක්සිකෝවේ ගුවාදලූපේ තරම්ම කිතුණුවන් අතර අති මහත් භක්ති-ආදරයකට ප්‍රාප්තවූ දේවමාතාවන් වහන්සේ දර්ශණය වුයේ යැයි ප්‍රකාශයට පත්වූ සිද්ධස්ථානයන්ය. එහෙත් ලූර්දු, පාතිමා හෝ ගුවදලූපේ මෙන් නොව මෙඩ්ජුගෝර්ජේ /මෙජගොරේ (Medjugorje) දේවමාතා දර්ශණය කතෝලික සභාව තවමත් නිලවශයෙන් සනාථ කිරීමට හෝ පිලිගැනීමකට ලක් කර නොමැත.

දේවමාතාවන් දර්ශණය වූයේ යැයි වාර්තා වූ මෙජගොරේ (Medjugorje) කඳු පෙදෙසට (Apparition Hill) නොයන මෙන් එරට කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටීමට පවා කතෝලික සභාව මුලින්ම පියවරගෙන තිබුනි. කතෝලික සභාව තුල එවැනි දේවමාතා දර්ශණයන් හෝ ප්‍රාතිහාරයන් ගැන දීර්ඝ අධ්‍යනයකින් මිස එක එල්ලේම පිලිගැනීමේ සම්ප්‍රදායක් නොවිනි. ඇරත්, 1980 දශකයේ මුල් කාලය වන විට එවැනි දේවමාතා දර්ශණ ගැන ඉතාලියෙන්, අයර්ලන්තයෙන් සහ තවත් බොහෝ ස්ථානවලින් වාර්තාවන්නට විය. ඒ සියල්ල මෙන්ම මෙඩ්ජුගෝර්ජේ/මෙජගොරේ (Medjugorje) දේවමාතා දර්ශනය ගැන ද අදටත් එවැනි පිලිගැනීමක් කතෝලික සභාව ලබාදී නැත.

කතෝලික සභාවට වඩා දැඩි ස්ථාවරයක් අනුගමනය කළේ එරට පාලකයින්‍ ය. ඔවුහු දේවමාතා වහන්සේ දර්ශණය වූයේ යැයි වාර්තාවූ පද්බ්‍රොදෝ කඳු පෙදෙසට (Padbrodo /Apparition Hill) පොලීසිය සහ හමුදාව යොදා මහජනයාට ඇතුල්වීම තහනම් කරන ලදි. එපමණක් නොව දේවමාතාවන් දර්ශණය වූ දරුවන් හය දෙනාව දැඩි ප්‍රශ්ණ කිරීම්වලට ලක් කිරීම් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ව අත් අඩංගුවට ගැනීම් හා විවිධ තාඩන පීඩන එල්ල කිරීමද සිදුකර තිබුනි. එකල බොස්නියා - හර්සගොවීනියාව (Bosnia and Herzegovina) අයත්ව තිබුනේ පැරණි යුගොස්ලෝවියානු සමාජවාදී සමූහාණ්ඩුවටය.

ස්ලොවේනියාව, ක්‍රොයේෂියාව, බොස්නියා - හර්සගොවීනියාව, සර්බියාව, මොන්ට්‍රිනෙග්රෝ සහ උතුරු මැසිඩෝනියාව අයත්ව තිබූ යුගොස්ලෝවියානු සමුහාණ්ඩුව බැද තැබූ බැම්ම වූ එරට හිටපු පාලක මාර්ෂල් ටිටෝ (Josip Broz Tito) 1980 දී මියගියේය. ඒ සමග සර්බියානු සහ කොසෝවෝ ජනයා අතර වාර්ගික ගැටුම්ද මතුවන්නට විය. ක්‍රොයේෂියාව ද ස්වාධීන රාජ්‍යයක් වීමේ අභිලාෂයක් ප්‍රකාශයට පත්කර තිබුනි. දේවමතා දර්ශණය වාර්තාවූ මෙඩ්ජුගෝර්ජේ/මෙජගොරේ (Medjugorje) පිහිටා ඇත්තේ බොස්නියාවේ ක්‍රොයේෂියානු ජනයා බහුල පෙදෙසේය. බොස්නියාව යනු ක්‍රොයේෂියානු, බොස්නියානු සහ සර්බියානු යන ජන කණ්ඩායම් තුනකින් සමන්විත රාජ්‍යයකි. ක්‍රොයේෂියානුවන් කතෝලිකයන්‍ ය, සර්බියානුවන් ඔර්තස්ඩෝක්ස් ක්‍රිස්තියානි ආගම අදහන්නන්‍ ය. බොස්නියානුව ඉස්ලාම් ආගම අදහන්නෝය. මෙකී ත්‍රිවිධ ජාතීන් ජීවත්වූ බොස්නියා - හර්සගොවීනියාවේද 1981 වන විට වාර්ගික ගැටුමක් නිර්මාණයවීමේ ලකුණු ද දැකිය හැකිවිය.

දේවමාතාවන් වහන්සේගේ දර්ශණයක් වාර්තාවෙන්නේ එවැනි පසුබිමකය. ඒ මුලින්ම 1981 ජුනි 24 දී ය. එදින සවස 6:30 ට පමණ, පහළොස් හැවිරිදි ඉවන්කා ඉවන්කොවිච් (Ivanka Ivankovic) සහ දහසය හැවිරිදි මිර්ජානා ඩ්‍රැගිචෙවිච් ( (Mirjana Dragicevic) යන මිතුරියන් දෙදෙනාට අසල වූ, දැන් Apparition Hill නමින් හදුන්වන, පද්බ්‍රොදෝ (padbrodo) කන්ද මත දීප්තිමත් ආලෝකයක් විහිදෙන ලද කාන්තාවකගේ දිලිසෙන චායාවක් දැක ඇත. ඒ දෙසට ඇදුනු ඔවුන් දෙදෙනා ඇය කවුරුන්දැයි විමසූ විට තමන් දේවමාතාවන් බවත්, විශේෂ දූත කාර්යයක් සඳහා ඔවුන්ව තෝරාගෙන ඇති බවත් මරිය මාතාවන් ප්‍රකාශ කර ඇත.

පසුදින ඔවුන් දෙදෙනා 16 හැවිරිදි අයිවන් ඩ්‍රැගිචෙවික් (Ivan Dragicevic), 20 හැවිරිදි ජැකොව් කෝලෝ (Jakov Colo) ද, 13 හැවිරිදි මරිජා පවියෝවිච් (Marija Paviovic) සහ 17 හැවිරිදි විකා ඉවන්කොවිච් (Vicka Ivankovic) යන ඔවුන්ගේ මිතුරු මිතුරියන් 04 දෙනෙකු සමග එම කඳු මුදුනට ගොස් ඇති අතර එදින ද මෙම දරුවන් හය දෙනාටම දේවමාතාවන් දර්ශනය වී ඇත. එම දර්ශනය ගැන ඔවුන් දෙමාපියන්ට සහ ගම්වාසීන් ට දැන්වු අතර ඔවුන්ද එම කන්ද කරා ඇදෙන්නට විය. දිනපතාම ඔවුන් මේ ආකාරයට කන්ද කරා ගමන් කළ අතර ඒ සෑම අවස්ථාවකම ඔවුන් සියලු දෙනාම එකම දර්ශනයක් දුටු බවත් මෙම සෑම දර්ශනයකදී ම දේවමාතාවන් ඉල්ලා සිටියේ නොකඩවා යාච්ඤා කරන ලෙසත්, නිරාහාර ශීලය රකින ලෙසත්, පශ්චාත්තාපී ක්‍රියාවන් වල නිරත වන ලෙසත් බව දැනුම් දුන්නේය.

මේ සිදුවීම් මාලාව වාර්තා වෙන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ නාසි ජර්මනියේ සහය ලැබූ ක්‍රොයේෂියානු වර්ගවාදි Ustaše හමුදා සෝවියට් රුසියාවේ සහය ලැබූ ඔර්තඩොක්ස් සර්බියානු ජාතිකයන් මරා දමා වසර 40 ගතවීමේ සමරුවෙන් දින කිහිපයකට පසුව නිසා මෙඩ්ජුගෝර්ජේ/මෙජගොරේ (Medjugorje) දේවමාතා දර්ශනය ගැන දෙගිඩියාවත්, සැකයත්, ප්‍රශ්න කිරීමත්, දේශපාලන කෝණවලින් බලා විග්‍රහ කිරීමේත් අඩුවක් නොවුනි.

එම නිසාම යුගොස්ලෝවියානු හමුදාවේ, පොලීසියේ සහ දේශපාලන බල අධිකාරියෙන්ද දේවමාතා දර්ශනය වාර්තා කල නවයොවුන් වියේ පසුවූ එම තරුණ තරුණියන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විශාල බලපෑමක් එල්ලවන්නට විය. එම තරුණ දරුවන්ව දැඩි ප්‍රශ්න කිරීම්වලට පමණක් නොව බලහත්කාරයෙන් මනෝ චිකිත්සකයින් වෙත සහ සායනික පරික්ෂණ වෙත නිරන්තරයෙන් යොමු කිරීමත් දිගින් දිගටම සිදුව තිබේ. ඒ සෑම පරික්ෂයකින්ම දේවමාතා දර්ශනය වාර්තා කල දරුවන් හය දෙනා පවසන්නේ සත්‍යයක් බව සහ ඔවුන් පැහැදිලි මනසකින් යුතු දරුවන් බව දිගින් දිගට තහවුරු කර තිබුණි.

එසේ තිබියදීත් කතෝලික සභාව මෙඩ්ජුගෝර්ජේ/මෙජගොරේ (Medjugorje) දේවමාතා දර්ශනය එකහෙලාම පිලිගත්තේ නැත. සභාව කලේ එම ස්ථානයට වන්දනා ගමන් යෑම පවා තහනම් කිරීමය. අඩුම තරමින් මීසම්භාර පියතුමා වු ෆ්‍රැන්සිකන් නිකායේ Father Jozo Zovko පවා මුලින්ම දරුවන් හයදෙනාට දේවමාතාවන් දර්ශනය වූ බව පිලිගත්තේ නැත. එහෙත් ඔහු ඔවුන්ගේ විශ්වාසය තුල දරුවන් පවසන්නේ ඉදුරාම සත්‍යය යැයි ඒත්තු ගත් කල දරුවන් වෙනුවෙන් පමණක් නොව මෙඩ්ජුගෝර්ජේ/මෙජගොරේ (Medjugorje) දේවමාතා දර්ශනය ගැනත් එකහෙලාම සාක්ෂි දරන්නට ඉදිරිපත්විය. පලාතේ මීසම් බාර පියතුමා ලෙස මෙඩ්ජුගෝර්ජේ/මෙජගොරේ (Medjugorje) මීසමේ ප්‍රධාන දේවස්ථානයවූ St. James දේවස්ථානය මෙඩ්ජුගෝර්ජේ දේවමාතාවන් වෙනුවෙන් වූ යැදීමට පැමිණෙන ජනයාගේ ප්‍රධාන සිද්ධස්ථානය ලෙස ඉඩ සලසාදීමටත් කටයුතු කලේය. අද ද මෙඩ්ජුගෝර්ජේ දේවමාතාවන්ගේ පිහිට පතා එන ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන්ගේ මෙම දේවස්ථානයත් අවට භූමියත් පිරී ඉතිරී යයි.

කතෝලික පල්ලිය නිල වශයෙන් පිලිනොගත්තද කිතුනුවන්ගේ දැඩි භක්තියට ප්‍රාප්තවීම නිසාම 2017 මැයි 13 දින ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් මෙඩ්ජුගෝර්ජේ හී දේවමාතාවන් කෙරෙහි වූ ගැඹුරු යාඥාවන් සිදුවන නිසාත්, ජීවිත වෙනස් වන නිසාත්, ප්‍රාතිහාර්යයන් පවා එහිදී අත්දකින නිසාත්, මෙය මුළුමනින්ම ප්‍රතික්ෂේප නොකළ යුතු, ඒ පිළිබඳව තව තවත් ගැඹුරු අධ්‍යයනයකට කතෝලික සභාව යොමු විය යුතු බව ප්‍රකාශ කලේය. වා‍ර්තාවන ආකාරයට කතෝලික සභාවේ විශේෂ කමිටුවක් විසින් මෙඩ්ජුගෝර්ජේ දේවමාතා දර්ශනය ගැනත්, මෙඩ්ජුගෝර්ජේ දේවමාතා බැතිය ගැනත් එහි සත්‍යය, අසත්‍යතාවයන් පිළිබඳවත් ගැඹුරු අධ්‍යයනයක නිරතව සිටී.

එහි කිසියම් ප්‍රගතියක් පෙන්නුම් කරමින් 1981 මෙඩ්ජුගෝර්ජේ දේවමාතා දර්ශනය වාර්තාවූ කාලයේ සිට කතෝලික සභාව පනවා තිබු එහි වන්දනා ගමන් යෑමේ තහනම 2019 මැයි 12 වෙනි දින ඉවත් කරන ලදි. දැන් මෙඩ්ජුගෝර්ජේ යනු වන්දනා ගමන් යෑමට කතෝලික සභාව නිල වශයෙන් අවසර ලබාදී ඇති ස්ථානයකි. මෙඩ්ජුගෝර්ජේ දේවමාතා දර්ශනය කතෝලික සභාව නිල වශයෙන් පිලිගත්තද, නොගත්තද මෙඩ්ජුගෝර්ජේ හී ප්‍රවර්ධනය කරන්නේද නිල කතෝලික ධර්මය ය. යාච්ඤාව, පශ්චත්තාපය සහ ආපසු හැරීම එහි ප්‍රධාන හරයයි. 1.සෑම දිනකම හදවතින්ම ජපමාලය යාච්ඤා කිරීම. 2. සෑම සතියකම දෙවරක් නිරාහාරව සිටීම. 3.සෑම මසකම පාපොච්චාරණය කිරීම. 4. සෑම ඉරිදාවකම දිව්‍ය පූජාවට යෑම සහ 5. සෑම දිනකම බයිබලය කියවීම මෙඩ්ජුගෝර්ජ්ගේ මූලික ඉගැන්වීම් (The Five Stones of Medjugorje) වශයෙන් ප්‍රකාශිතය. එය මෙඩ්ජුගෝර්ජ් දේමාතා දර්ශනය තුලින් අනාවරණයවූ කරුණු 10 අතරින් ප්‍රකාශයට පත්වූ බවද දැක්වේ. 'සාමයේ මෑණියෝ' ලෙස සලකන මෙඩ්ජුගෝර්ජ්ගේ දේවමාතාවන් වන්දනාවට පැමිණෙන ජනයා අත්දකින අත්දැකීම වෙනම ම අත්දැකීමකි. සුවිශේෂි භක්ති අභ්‍යාසය කි. එහි තරම් හඩා වැටෙමින් යාච්ඤා කරන තරුණ තරුණියන්, පශ්චාත්තාපය හෙවත් කොමිසන් කරන තරුණ තරුණියන් මම වෙන කොහේදීවත් නොදැක්කෙමි. එය එතරම්ම සුවිශේෂී වූ වන්දනා මධ්‍යස්ථානකි. අද ද එහි දිනපතාම පාහේ දේවමාතාවන් දර්ශනය වීම් වාර්තාවේ. 

1981 දී එහි මුලින්ම දේවමාතාවන් දර්ශනය වු දරුවන් 06 දෙනාට වසර ගණනාවක් යනතුරුම දේවමාතාවන් දර්ශනය වී ඇති බවත්, තවමත් ඔවුන්ට දේවමාතාවන්ගේ දර්ශනය වන බවත් ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා ලියූ සටහනක දක්වා තිබේ. දැන් වැඩිහිටියන් බවට පත් වී ඇති ඔවුන් පිලිබදව ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා දක්වා තිබුනේ මේ ආකාරයටය:

1. ඉවන්කා ඉවන්කොවිච් (Ivanka Ivankovic)

මෙම දේව මාතා දර්ශනයන් ලැබූ 6 දෙනා ගෙන් මුලින්ම දේව මෑණියන් දර්ශනය වූයේ ඇයටය. 1985 මැයි 7 තෙක් අයට දිනපතා දේවමාතාවන් දර්ශනය වූ අතර රහස් 10ක් ඇයට ලබාදී ඇත. 1985 මැයි 7 න් පසුව වසරකට වරක් ජූනි මස 25 වන දින දේවමාතාවන් ඇයට දර්ශනය වන බවට පවසා ඇති අතර ඇයට ලබාදී ඇති මූලික දූත කාර්යය වන්නේ පවුල් වෙනුවෙන් යාච්ඤා කිරීමය. දැනට විවාහ වී ඇති ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.

(2). මිර්ජානා ඩ්‍රැගිචෙවිච් (Mirjana Dragicevic).

1965 මාර්තු 18 උපන්න ඇයද ඉවන්කා මෙන් 1981 ජුනි 24 දේවමාතා වන් දුටු දියණියකි. 1982 දෙසැම්බර් 25 තෙක් දිනපතා දර්ශනයන් ඇයට ලැබුණු අතර, ඇයට ද රහස් 10 ම ලබා දී ඇත. සෑම මසකම 2 දින ඇය දේවමාතාවන් සමග දෙවියන් වහන්සේ විශ්වාස නොකරන අය වෙනුවෙන් යාඥා කරනු ලබන බව කියැවේ. දැනට විවාහ වී සිටින ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඇය ලබා ඇති විශේෂ කැඳවීම වන්නේ දෙවියන් වහන්සේ විශ්වාස නොකරන අය වෙනුවෙන් යාච්ඤා කිරීමය.

(3). ජැකොව් කෝලෝ (Jakov Colo)

1961 මාර්තු 06 ඉපදී ඇති ඔහුට 1981 ජූලි 25 තෙක් දේව මාතාවන් දිනපතා දර්ශනය වී ඇත. ඔහුට ද වසරකට වරක් නත්තල් දින දේවමාතාවන් දර්ශනය වන බව පැවසෙන අතර ඔහුව කැඳවා ඇත්තේ රෝගීන් වෙනුවෙන් යාච්ඤා කිරීමට ය. දැනට විවාහ වී සිටින ඔහු දරුවන් තිදෙනකුගේ පියෙකි.

(4). අයිවන් ඩ්‍රැගිචෙවික් (Ivan Dragicevic).

1965 මැයි 25 ඉපදී ඇති ඔහුට තවමත් දිනපතා දේවමාතාවන් දර්ශනය වන බව කියැවේ. ඔහුට රහස් 9ක් ලබා දී ඇත. ඔහුට ලබා දී ඇති විශේෂ කැඳවීම නම් තරුණ දරුවන් සහ ගරු පූජාප්‍රසාදිවරුන් වෙනුවෙන් යාච්ඤා කිරීමය. දැනට විවාහ වී සිටින ඔහු දරුවන් හතර දෙනෙකුගේ පියෙකි.

(5). විකා ඉවන්කොවිච් (Vicka Ivankovic).

1964 සැප්තැම්බර් 9 ඉපදුනු ඇයට තවමත් දිනපතා දේවමාතාවන් දර්ශනය වන බවත් රහස් 9ක් ඇයට ලබාදී ඇති බවත් ප්‍රකාශ වේ. රෝගීන් වෙනුවෙන් විශේෂයෙන්ම යාඥා කරන ලෙස කැඳවා ඇත. ඇය විවාහ වී ඇති අතර දරුවන් දෙදෙනෙකුගේ මවකි.

(6). මරිජා පවියෝවිච් (Marija Paviovic).

1965 අප්‍රේල් 01දා ඉපදුණු ඇයට ද දිනපතා දේවමාතාවන් තවමත් දර්ශනය වන බව කියැවේ. ඇය තුළින් තම මීසමට ද, මුළු ලෝකයටම ද දේවමාතාවන් විශේෂ පණිවුඩ ලබා දෙන බව පැවසේ. රහස් 9ක් ඇයට ලබා දී ඇත. ශුද්ධගිනිස්ථානයේ ඇති ආත්මයන් වෙනුවෙන් යදින්නට විශේෂයෙන්ම ඇයව කැඳවා ඇත. ඇයද විවාහ වී ඇති අතර දරුවන් හතර දෙනෙකුගේ මවකි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
07/08/23