This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 26 February 2018

මීගමුවේ මත්විරෝධී රැළියේ ඊලග පෙළ ගැස්ම කුමක්ද ?

ඊයේ (25/02/2018) මීගමුව නගර මධ්‍යයේ මත් උවදුරට විරුද්ධව දැවැන්ත රැළියක් සහ පෙළපාලියක් පවත්වනු ලැබ ඇත. මීගමුව කතෝලික පල්ලියේ මූලිකත්වයෙන් පැවැත්වූ මෙම රැළියට කාදිනල් රන්ජිත් මැල්කම් අගරදගුරුතුමාද, ප්‍රදේශයේ සියලුම කතෝලික පල්ලිවල පියතුමන්ලාද, මීගමුවේ සියළු කන්‍යාරාම නියෝජනය කරමින්  කන්‍යා සොහොයුරියන්ද, මුස්ලිම්, හින්දු, බෞද්ධ සහ ක්‍රිස්තියානි ආගමික නායකයින්ද, මීගමුවේ සියලු මීසම්වල විවිධ සංවිධාන නියෝජනය කරන පිරිස්ද, ප්‍රදේශයේ පාසැල්වල දරු දැරියන්ද ඊට සහභාගීවී සිටියහ. 

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සත්මහල් ගොඩනැගිල්ල අබලන්ව, මීගමුව රෝහලේ එක් එක් අංශ වෙනත් රෝහල් වලට පවරාදී මීගමුව රෝහල ක්‍රමයෙන් හකුළුවා දැමීමට උත්සහකල විට එයට විරුද්ධව මීගමුව කතෝලික සාසනාරාක්ෂක මණ්ඩලය දියත්කල දැවැන්ත රැළියෙන් අනතුරුව මීගමුවේ පැවැත්වූ ඊලග විශාලතම ජන රැලිය මෙය විය. (ඉහත රැළිය ගැන මා මෙයට පෙර ලියු මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය සමග මීගමු ජනයා පාරට බසී - දැන් අපි නොනැවතිය යුතුය !!!   යන ලිපියෙන් ඔස්සේ කියවිය හැක)

ඇත්ත වශයෙන්ම, මීගමුවේ පල්ලියට තරම් සෙනගක් මීගමුවේ කිසිම දේශපාලනඥයෙකුට ගෙන්වා ගැනීමට නොහැකි බව දන්නා නිසාත්, පල්ලියේ ස්වාමිට ඇති ගෞරවය, බලය සහ හයියවත්  තමන්ට නැති බව දන්න නිසාත් දෝ,  මීගමුවේ සියලු දේශපාලනඥයින් මෙම රැළියට සහභාගීවී සිටියහ. ඒහින්, කවදත් අති දක්ෂ සංවිධාන ශක්තියකින් සහ පුළුල් ව්‍යූහයකින් යුතු කතෝලික පල්ලිය මෙම රැළිය ඉතා සාර්ථකව සංවිධානය කර තිබු බව නොකිය මනාය.  

මීගමුවේ 'කුඩු දේශපාලනය'  සම්බන්දයෙන් චෝදනා ප්‍රථමයෙන්ම  මාධ්‍යයට ඉදිරිපත් කල සරත් කුමාර ගුණරත්න හිටපු ඇමතිවරයාද, ඔහුගේ එම චෝදනාවට ලක්ව, විශේෂ කාර්ය බලකායේ දැවැන්ත සෝදිසි කිරීමකට හසුව, සිය මුළු දේශපාලන දිවිය පුරාම මැකිය නොහැකි කළු පැල්ලමකට ලක්වූ,  සරත් කුමාර ගුණරත්නගේ දේශපාලන එදිරිවාදියාවූ, හිටපු නියෝජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතා සහ ඔහුගේ සොහොයුරු මීගමුව මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලන්සාද මෙම රැළියට පැමිණ එකිනෙකාට යාබද අසුන්වල වාඩිවී සිටියහ. එය රැළියට සහභාගීවූ සියල්ලන්ගේම කසුකුසුවට ලක්වූ කරුණක් විය. තවද මෙම රැලියේ රැගෙන යාම සදහා අවශ්‍ය දැන්වීම් පුවරු (Placard) දයාන් ලන්සාගේ අනුග්‍රහයෙන් ලබා දුන්නේ යැයි මීගමුවේ වෙබ් මධ්‍යයක් පළකර තිබුණි. එහෙත් රැළියේ එක් ප්‍රධාන සංවිධායකයෙකුවූ ගරු ටෙරන්ස් බෝදියාබදු පියතුමා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් මීගමුවේ මත්විරෝධි රැළියට එවැනි කිසිවෙකුගෙන් කිසිම අනුග්‍රහයක් ලබා නොගත් බව දක්වා තිබුණි. 

කෙසේවුවද, පල්ලියට හදිස්සියේ කුඩු මතක්වුනේ ඇයි?  මීගමුවේ කුඩු ප්‍රශ්නය කථා කරන්න පල්ලියට මීගමුවේ ලාන්සලා පරදිනකම්ම ඉන්න ඕනෑ උනාද? යන මා වැන්නවුන් නගන ප්‍රශ්න වලටද වලංගුතාවයක් පැවැතී. එහෙත් එම ප්‍රශ්න නගනුයේ මෙම රැළිය හා ඉන් මතුකරන කරුණු විවේචනය කිරීමට නොව, මෙම රැළිය හා සම්බන්ද සියලු තොරතුරු, තීරණ, පෙළගැසීම් ආදීය පිළිබද සෑම තොරතුරුකම දැන ගන්නා අටියෙනි. 

මන්දයත්: 

1. මීගමුවේ කුඩුවලට ඇබ්බැහිවූවෙකු විසින් මල්වත්ත පල්ලියේ මීසම් භාර පියතුමා ලෙස කටයුතුකල ගරු අබා කොස්තා පියතුමාව ඝාතනය කලවිටදී පවා මීගමුවේ මෙලෙස මත්ද්‍රව්‍ය විරෝධී පෙළගැස්මක් සිදුනොවීමත්,  

2. ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය ඉතා තදින් විරුද්ධවන (A.) ගබ්සාව සහ  (B.)  සමලිංගික සබදතා සදහා යහපාලන රජය යටතේ යම් නිල හෝ නිල නොවන පිළිගැනීමක් ලැබුනහොත්, හෝ,  (C.) රජයේ කැපීපෙනෙන පුද්ගලයන් දෙදෙනෙකු වන එරාන් වික‍්‍රමරත්න, රෝසි සේනානායක ආදීන්ගේ මැදිහත්වීම් සහ අනුග්‍රහයන් ඔස්සේ ප්‍රවර්ධනයවන ඉවන්ජලික් (Evangelical - කුඩා, කුඩා ක්‍රිස්තියානි) කණ්ඩායම් කතෝලික පල්ලියට එල්ලකරන බලපෑම ආදියත් සම්බන්දයෙන් ඔවුන් ඉතා අවධානයෙන් පසුවීමත් තුල,

මෙවැනි රැළි ඔස්සේ යම් දේශපලන පණිවිඩයක් කතෝලික පල්ලිය යහපාලන රජයට දෙන්නේ දැයි යන සැකයත්, අවධානයත් යොමුවී තිබීම එයට හේතුවයි. 

විශේෂයෙන්ම, එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂයකට ගම්පහ දිස්ත්‍රිකය ජයග්‍රහණය කිරීමට නම් මීගමුව වැඩි ජන්ද 25,000 කින්වත් දිනීම අත්‍යඅවශ්‍ය සාධකයක් වීමත්, රටේ කතෝලික ජන්ද දායකයින්ගෙන් 25%කට ආසන්න ප්‍රමාණයක් මීගමුව කේන්ද්‍ර කරගත් කිලෝමීටර් 25ක වපසරියක් තුල සිටීමත් මෙහිදී සැලකිල්ලට ලක්වේ. 

එහින්, මීගමුවට පුංචි රෝමය හෙවත් ලාංකික කිතුනුවන්ගේ අගනගරය ලෙස හදුන්වන්නේ ඇයිදැයි යන්න පැහැදිලිවනු ඇත. එහි දේශපාලන බලය සම්බන්දයෙන් පල්ලියට එල්ල කල හැකි බලපෑමද සුළුපටු නොවේ. 

ගරු රන්ජිත් මැල්කම් කාදිනල්තුමා මීගමුවට ඒ අදාල වැදගත්කම ලබාදීමට  නොපැකිලිවිය. විශේෂයෙන්ම, ආසියාවේ බිෂොප්වරුන්ගේ සමුළුව මීගමුවේ පැවැත්වීම තුලත්, අටවන බෙනෙඩික් පාප්තුමාගේ මධ්‍යස්ථානය මීගමුවේ පිහිටවීමටත්, එය විවෘත කිරීමට බෙනෙඩික් පාප්තුමාගේ අනුප්‍රාප්තිකයාවූ ගරු ප්‍රැන්සිස් පාප්තුමා මීගමුවට ගෙන්වීමත් තුල එය සනිටුහන් වේ. 

කරුණු කෙසේවුවද, මීගමුවේ මත් උවදුර පිටු දැකීමට දැන්වත් මීගමුවේ ප්‍රධාන බල අධිකාරියවන කතෝලික පල්ලිය පෙරට පැමිණීම ඉතාමත් ඉහලින් අගය කලයුත්තකි.  මීගමුවේ පල්ලිය මුලසිටම ඉතා තදින් ක්‍රියාකලේනම් පැහැදිලිවම මීගමුවේ මත් උවදුර මෙතරම් දුර දිග ගොස් මුළු ප්‍රජාවම වෙලාගත් ව්‍යාසනයක් බවට පත්නොවනු ඇති බව මගේ විශ්වාසය විය. එහෙත්, ඒ සදහා තවමත් ප්‍රමාද නැත. දැන්වුවද, ප්‍රජාව එක ලෙසට එක පෙලට පෙළගස්වන්නේ නම් මෙම ව්‍යාසනය පිටු දැකිය හැක. 

විශේෂයෙන්ම, මෙම රැළියේදී කාදිනල් මැල්කම් රන්ජිත් හිමියන් දැක්වූ ලෙස ඔහු නායකත්වය දරන කමිටුවක් පිහිටුවා මගින් සෑම මීසමකම මත්ද්‍රව්‍ය අලවිකරන්නන්ට විරුද්ධව කරුණු රැස්කර, එයට එරෙහිව, එක්කෙනෙකුට හෝ කිසිදු බුරුලක් නොදෙන ලෙසට නිතිය සහ ජනයා පෙළගැස්වන බවට දුන් පොරොන්දුව ඒ අයුරින්ම  කල හැකි නම්, මීගමුවේන් මත් උවදුර දුරුකිරීමට වැඩිකල් නොයනු ඇත. 

මෙවැනිම පෙළගැස්මක් අපේ පුංචි රෝමය නැවත ගොඩ නැගීමටත්, එහි වෙසෙන ජනයාට යහපත් ජීවිතයක් අත්කර දීමටත්, කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුවරයා ප්‍රමුඛ කතෝලික පල්ලියට ලබා දිය හැකි නම් ඉතා  අගනේය. එහෙත්, එය දේශපාලන ව්‍යාපෘතියකට එහා ගිය කුරුසියේ මාර්ගය වන්නාවූ විමුක්තියේ ගමනක්ම වියයුතු බව පසක් කර සිටිය යුතුමය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
26/02/2018

Tuesday 20 February 2018

විශ්වාසීන්ගේ මහත් භක්තියට පාත්‍රවූ පාතිමා පුදබිම වෙත ගියෙමි.


පාතිමා සිද්ධස්ථානය යනු අප කුඩාකල සිටම ඇසීමටත්, දැකීමටත් බොහෝසේ ආශාකල කතෝලිකයින්ගේ මහත් භක්තියටත්, ආදරයටත් පාත්‍රවූ ආශ්චර්යමත් පුදබිමක් විය. ඒ මීට වසර 101කට පෙර, එනම් 1917දි, ජසින්තා මර්ටෝ, ෆ්‍රැන්සිස්කෝ මර්ටෝ(Jacinta and Francisco Marto) සහ ලුසියා සන්ටෝස් (Lúcia Santos) යන දරුවන් තිදෙනාට දේවමාතාවන් වහන්සේ දර්ශනයවීමත්, ඈ අහසේ පෑ  ආශ්චර්යවත් සිදුවීම් පෙළත් නිසාය. 

එම සිදුවීම් පෙළ ඡයාරූපයට නැගීමටත්, රූප මාධ්‍ය තුල පටිගත කරගැනීමටත් හැකිවීම තුල එය ලොවපුරාම වේගයෙන් ප්‍රචාරණයවිය. පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන් ගණනාවකම සාකච්ඡාවට ලක්කර තිබු දේව මෑණියන් වහන්සේගේ පාතිමා දර්ශනය මම කුඩා අවධියේදී නිතර ඇසු විස්තරයක් විය. ඒ හා සමානවම ප්‍රංශයේ ලුර්දු නුවර බෙර්නඩේට් සුබ්‍රියස් (Bernadette Soubirous) නම් දැරියට දේවමාතාවන් දර්ශනයවීම පිලිබද විස්තරයද අප කුඩා කල බොහෝවාරයක් ඇස් දල්වා අසාසිටි විස්තරයක් විය. 

මෙම විස්තරය අපට කියාදුන් මගේ මව, ලොකු අම්මා (මීගමුවේ මවගේ මවට කියනුයේ ආච්චි නොව ලොකු අම්මා කියාය.) මෙන්ම වෙනත් වැඩිහිටියන්ද, පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්ද අපට නිතර පසක් කර දෙනු ලැබුවේ කුඩා දරුවන් දේව විශ්වාසයෙන් සහ යහපත්කමින් කල්ගෙවන්නේ නම් ඉතා ප්‍රියකරු, ආශ්චර්යවත් දේවමාතාවන් වහන්සේ වන මරියතුමීය දැක ගැනීමට හැකිවෙතැයි යන්නය.

එය හුදෙක් ලාංකීක කතෝලිකයන් අතර පමණක් නොව ලොව පුරාම බොහෝ කතෝලික ප්‍රජාවල් සිය දරුවන්ට ඉගැන්වූ ධර්මතාවයකැයි දැන් පෙනීයයි. ඒ බව විශේෂයෙන්ම බොස්නියා-හර්සගොවිනියා (Bosnia and Herzegovina) රටේ මජගොරි (Međugorje) ප්‍රදේශයේ දේවමාතාවන් දර්ශනයවීම් සහ ඒ ආශ්‍රිත සිද්ධි සමුදායන් ඔස්සේ තේරුම්ගත හැක. 1980 පටන් දේවමාතාවන් වහන්සේගේ දර්ශනයන් පිළිබද ආරංචිවෙන එම ප්‍රදේශයට පවුල් පිටින් දරුවන් සමග පැමිණ යදින ඇතැම් දෙමාපියන් වාර්තාකරනුයේ තම දරුවන් දේවමාතාවන් දැකගැනීමේ භාග්‍යය අත්විදි බවය. දරුවන් දුටු දර්ශනයන් පිලිබදව කතෝලික පල්ලිය සිය අවධානය යොමුකර ඇත.  

කෙසේවුවද, පාතිමා සිද්ධස්ථානය  පිහිටා ඇත්තේ පෘතුගාලයේවීමද මට එහි යෑමට වූ උවමනාව තවත් දිරිමත් කල අනෙක් කාරණය විය. විශේෂයෙන්ම මාගේ ගම්පලාතවූ මීගමුව සහ පෘතුගීසින් ආශ්‍රිතව පැවති නොයෙකුත් යටත්විජිත සම්බන්දතාත්, ඔවුන් නික්ම ගොස් වසර 350කට අධිකවුවද තවමත් ඔවුන්ගේ සිරිත්විරිත්, කෑමබීම, භාෂා යෙදුම් සහ අංග උපාංගයන් අප මත තබා ඇති විවිධ බර තැබීම් ආදිය නිසාත් පෘතුගාලය නැරබීමට යෑමට මා පමණක් නොව බොහෝ ලාංකිකයන් කැමතිවෙනු ඇත. 

කෙසේවුවද, පෘතුගාලයටත්, පාතිමා නුවරටත් යෑම පිලිබදවවූ අපේ උවමනාව ගිය වසරේදී අප කල් තැබුවෙමු. ඒ පාතිමා දර්ශනයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පාප්තුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වූ වැඩසටහන් සදහා 70,000 කට අධික ජන සංඛ්‍යාවක් පෘතුගාලයේ පාතිමා නුවරට පැමිණ සිටීම කරුනුකොටගෙන ඇතිවූ අධික තද බදය නිසාය. 

මේ වසරේ පළමු පාසැල් නිවාඩු සමයේම ඒ සදහා කටයුතු පිලියල කරගනු ලැබුවේ තදබදය මෙන්ම වියදම්ද අඩු සමයක්වීම නිසාය. 

පෘතුගාලයේ ලිස්බන් නුවරට ගුවන් මගින් ගොස් එතැන් සිට ලිස්බන් නුවර සිට දුරගමන් යන බස් නැවතුම් පොළ වන Sete Rios වෙත පැමිණ පාතිමා නුවර බලා අපි පිටත්වුවෙමු. ලිස්බන් නුවර සිට පැය එකාහාමරක (විනාඩි 90) දුරකින් රට තුලට වන්නට පිහිටි පාතිමා නුවරට ලගාවීම එතරම් අපහසු නැත. 

ප්‍රංශයේ ලුර්දු නුවර මෙන් වැඩි වානිජ්‍ය කරණයකට හසුව නොතිබි පාතිමා නුවර බොහෝ කඩ සාප්පු වසා තිබුනද පාතිමා සිද්ධස්ථානය විවෘතව පැවතිනි. 

අප ප්‍රථමයෙන් පාතිමා බැසිලිකා දේවස්ථානයට ගියෙමු. 1917 දේවමාතාවන් දර්ශනය වූ ජසින්තා මර්ටෝ, ෆ්‍රැන්සිස්කෝ මර්ටෝ(Jacinta and Francisco Marto) සහ ලුසියා සන්ටෝස් (Lúcia Santos) ගේ සිරුරු මිහිදන් කර ඇත්තේද මෙම බැසිලිකාව තුලද. කුඩා කදු ගැටයක් මත ඉදිකර ඇති මෙම දේවස්ථානය අතිවිශාල එළිමහන් පීඨයකින් යුතුය. විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනයා මහත් භක්තියකින් මේ දේවස්ථානය තුල යාච්ඤාවේ නිරතවේ. දේවස්ථානය රාත්‍රී 9යට වසනු ලැබේ.   

එහෙත් බැසිලිකාව ඉදිරිපිට පිහිටි කුඩා පල්ලිය පැය විසිහතර පුරාම විවෘතව පැවතිනි. 

මෙම කුඩා පල්ලියවූ කලී අනෙකක් නොව දේවමාතාවන් දර්ශනය වූ ස්ථානයේම ඉදිකළ මුල්ම දේවස්ථානයය. එහි පාතිමා දේව මාතාවන්ගේ සුරුවම තබා ඇති ස්ථානය කුඩා දරුවන් තිදෙනා දේවමාතාවන් හරියටම දුටු ස්ථානය ලෙස සටහන් කර ඇත. ගිය වසරේදී 100වන ජුබිලිය සැමරීමට පැමිණි ෆ්‍රැන්සිස් පාප්තුමා මෙම දේවමාතා සුරුවම ඉදිරිපිට දනින් වැටී යාච්ඤා කරන ඡයාරූපයක් තවමත් මගේ මනසේ මැවී පෙනේ.  මෙම කුඩා දේවස්ථානය දවසේ පැය 24 පුරාම, රාත්‍රීය එළිවනතුරුම, ජනයා විවිධ භාෂාවලින් ජපමාලය කියනු ලැබේ. පෘතුගිසි භාෂාවෙන් ඇට ගනිමින් සිදුකරන යාච්ඤාව හදුන්වන්නේ කොන්තා (kõta) කීම යනුවෙනි. ජපමාලයට ලාංකිකයන් කොන්තේ කීම යනුවෙන් හදුන්වන්නේද මෙම පෘතුගිසි යෙදුම නිසා විය යුතුය.(එමෙන්ම කොන්තා (kõta) යන්න පෘතුගීසි භාෂාව තුල ඇති අනෙක් යෙදුම් සමග විවිධ ලෙස  අරුත් දක්වන බවද මතක් කර සිටිමි. විශේෂයෙන්ම counting / accounting ආදිය සමග) කෙසේවුවද, මෙම කුඩා දේවස්ථානය තුල  මධ්‍යම රාත්‍රියේ පවා විවිධ භාෂාවලින් දේව මෙහෙයන් පත්වනු ලැබේ. ලෝකයේ විවිධ රටවලින් පැමිණි විවිධ ජන පිරිස් එහි විය. 

රාත්‍රී 10ට පමණ අප මෙම කුඩා දේවස්ථානයේ පැවති කොන්තය කීම   අවසන් කර පිටත්වීමට යන විටම ස්පාඤ්ඤයේ සිට බස් රථවලින් පැමිණි 700 පමණවූ වයස 15-21 අතර තරුණ තරුණියන් පිරිසක් රාත්‍රිය එළිවෙනතුරු කොන්තය කීම ඇරබීම සදහා පැමිණියේය. නව යෞවන වියේ සිටි හිරිමල් කොල්ලෝ - කෙල්ලන් රාශිය කොන්තය කීමට පොරෝන රැගෙනවිත් මෙලෙස පෙළගැසෙන හැටි බලාසිටීම පවා සතුට දැනෙන දසුනක් විය. 

ඇල්තාරයට නැග විවිධ භාෂාවලින් කොන්ත පන්ති කියන ජනයා අතර එක්වරම සිංහල භාෂාවෙන් කොන්තය කීමටද පටන්ගන්නා ලදී. එය අපට මහත් ආනන්දයක් ගෙන දුන්නේය. අපද අල්තාරය මත සිට සිංහලෙන් කොන්තය කී තැනැත්තා හා එක්ව සිංහලෙන් කොන්තය කීහ. 

පසුදිනද මෙම කුඩා දේවස්ථානයේ දිගින් දිගටම විවිධ භාෂාවලින් කොන්ත පන්ති කීම සදහා ජනයා රැස්ව සිටි අතර නොකඩවාම එම ක්‍රියාවලිය කරගෙන ගියහ. නොකඩවා කොන්තය කීම 1917 සිදුවූ පාතිමා දර්ශනයේ එක් ඉල්ලිමක්ද වී තිබුණි.

තවද, ලෙඩ රෝගවලින් සහ වෙනත් කරදරවලින් තමන් මුදවාගන්නා ලෙස ඉල්ලමින් පාතිමා දේවමාතාවන්ට බාර-හාර වූ ජනයා ඒවා ඔප්පුකිරීම පිණිස විවිධ ප්‍රමාණයේ සහ ශරීරයේ විවිධ අංගයන්ගේ හැඩයට නිර්මාණය කර ඇති ඉටිපන්දම් රැගෙන ඉටිපන්දන් දල්වන ස්ථානයේ තම වාරය එළබෙන තෙක් බලාසිටින අයුරු දුටුවිට මෙම ස්ථානය කෙතරම් ආශ්චර්යමත් ස්ථානයක්දැයි නොබදවම සිතේ. 

පාතිමා බැසිලිකාවේ එළිමහන් පීඨිකාවේ එක් කෙරවලක පොලොව යට ඉදිකර ඇති පාතිමා කෞතුකාගාරය නැරබීමටද අපි ගියෙමු. 1917 දේවමාතා දර්ශනය ගැන සියලු තොරතුරු රැස්කර තබා ඇත්තේ මෙම පාතිමා කෞතුකාගාරයේය. ඒහි ඇති තොරතුරු මරිය බැතිය පිලිබදව කතෝලික පල්ලියේ ඉගැන්වීම් පිලිබදව කදිම ශාක්ෂි සපයන්නක් විය. 

මේ පිලිබදව තවදුරත් කියවීම සදහා මා මීට පෙර ලියු 'මරිය බැතිය, පාතිමා පණිවිඩ සහ කතෝලික සභාව' ලිපිය මෙතනින් පිවිසෙන්න.


කතෝලිකයන්ගේ මහත් භක්තියටත්, ආදරයටත් පාත්‍රවූ ආශ්චර්යමත් පාතිමා පුදබිම වෙත සියලු විශ්වාසීන්ට සැදැහැ සිතින් යාමට වරම් අත්වේවායි යන්න මාගේ පැතුමයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
20/02/2018. 












මාකස් ප්‍රියන්ත පෙරේරා 
20/02/2018

Monday 5 February 2018

සතුටුයි!!!! මීගමු කොටුවේ සංරක්ෂණ කටයුතු අරභයි !!!! එහෙත් යායුතු දුර බොහොමයි !!!!



මීගමුවේ ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු දැන් ආරම්භ කර ඇත. මීගමුව කොටුවේ අද ඉතිරීවී ඇති ඇතුල්වීමේ දොරටුව සහ වික්ටෝරියානු ඔරලෝසු කණුව කඩාවැටීමට ඉතා ආසන්න බව අපි දිගින් දිගටම කීහ. අදාළ අමාත්‍යාංශයවලට ලිපි ලියුහ. රජයේ බලධාරීන්ට දැනුම් දුන්හ. මාධ්‍ය සගයින් ලවා මීගමුව කොටුවේ තත්වය ගැන ජනමාධ්‍යවලින්ද මතුකළේය. කොටුව රැකගැනීමට උන්නදුවූ සියල්ලන් නිරන්තරයෙන් දිරිගැන්වුහ. 



එහෙත් පසුගිය මහින්ද රාජපක්ෂ රජය ඒ කිසිවක් ගැන නැසූ කන් ඇතිව සිටිහය. නිලධාරීන් පැමිණ ගියද කිසිවක් සිදුනොවුනි. කටානේ ලන්දේසි කුළුන කඩා වැටීම ගැන රජයේ දෙපාර්තුමේන්තුවකට කථා කලවිට ඔවුන් කිව්වේ "සුද්දා හැදු දේවල් කැඩුනට කලබල වෙන්න එපා, එහෙත් අපේ රජවරු හදපු ඒවා කැඩුනොත් තමයි ප්‍රශ්නේ" යනුවෙනි. 

රජවරු හැදු කිසිවක් නැති අපේ මීගමුවේ පුරාවස්තුවකට කියා ඇත්තේ මීගමුව කොටුව පමණි. එය අපට ආරක්ෂා කර දීමට අවශ්‍ය බව අපි ඔවුනට කීහ. වර්තමාන යහපාලන රජයේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස අකිල විරාජ් කාර්යවසම් මහතා පත්වූවිට අදාළ විෂයභාර ඇමතිවරයා ලෙස ඔහුට මීගමුවේ කොටුව පත්වී ඇති සෝචනීය තත්වයත්, එය රැකගැනීමට ඇති අවශ්‍යතාවයත් පිලිබදව අපි ඔහුට දැනුම් දුන්හ. ඔහු ඒ සදහා කටයුතු කරන බවට පොරොන්දුවිය. එතුමාගේ ලේකම්වරයෙකු වන සුජීව සම්පත් සරත්චන්ද්‍ර මහතා ඒ සදහා සම්බන්ධීකරණ කටයුතු කිරීමට පත්කර ඇති බව දැනුම් දුන්හ. ඒ සම්බන්ධයෙන් ඇමතිවරයා සහ අදාළ අමත්‍යාංශය කටයුතු කරමින් සිටි බව සහ එහි ප්‍රගතිය පිලිබදව සුජීව සම්පත් සරත්චන්ද්‍ර මහතා දිගින් දිගටම අපව දැනුවත් කරන ලදී. දැන් මාස දෙකකට පෙර කොමසාරිස්වරයා සමගවූ රැස්වීමක් අවසාන වූ විගසම සුජීව සම්පත් සරත්චන්ද්‍ර මහතා අපට දුරකථනයෙන් දැනුම් දුන්නේ මීගමුව කොටුව සංරක්ෂණ කිරීමේ කටයුතු ඇරබීමට ඇමැතිවරයා නිලවශයෙන් පියවර ගත් බවත්, ඒ සදහා අවශ්‍ය කටයුතු අවසන් කළබවය. දැන් එම කටයුතු අරභා ඇත. 

ඒ සම්බන්දයෙන් අපි අපේ ස්තූතිය ඔවුනට පුදකරමි. එහෙත් එම කටයුතු අදාළ පුරාවිද්‍යාත්මක නිර්ණායකයන්ට, නිවැරදි ක්‍රම වේදයන් අනුව සිදුවන්නේ දැන් සොයා බැලීමද වැදගත්ය. ඒ සදහාද අවශ්‍ය අවධානය යොමුවෙන්නේ නම් මැනවි. තවද මීගමුවේ කොටුවේ ශ්‍රී විභූතිය නැවත මතුකිරීමට නම් අසල ඇති භාවිතයට නොගන්නා වාහන නැවතුම් පොළ ඉවත්කර අදාළ පරිසරය නිසි පරිදි සකස්කලයුතුය. ඒ සදහා මීගමුව නගර සභාවට තරගවදින මීගමුවේ දේශපාලන නායකයන්ගේ මැදිහත් කාර්යක් ඉටුවෙතයි අපි අපේක්ෂා කරමු. 

වසර ගණනාවක් පුරා අප දරු මෙම පරිශ්‍රමයේ ප්‍රථිපලයක් ලෙස මීගමුව කොටුවේ සංරක්ෂණය කිරීමේ කටයුතු ඉෂ්ඨ සිද්ධ කරගැනීමට තීරණාත්මක මැදිහත්වීමක් කල අධ්‍යාපනය ඇමති ගරු අකිල විරාජ් කාර්වසම් (Akila Viraj Kariyawasam) මහතාට සහ ඔහුගේ ලේකම්වරයෙකු වන සුජීව සම්පත් සරත්චන්ද්‍ර (Sujeewa Sampath Sarathchandra) මහතාට අපේ ස්තුතිය පුදකරන අතරම අප ඉල්ලා සිටිනුයේ එය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ජාතික වස්තුවක් ලෙස සලකා මීගමුව කොටුව මෙන්ම ඒ අවට පරිසරයද ආරක්ෂාකර ප්‍රවර්ධනය කිරීම සදහා අදාළ නීතිමය ප්‍රතිපාදනද සලසා දෙන ලෙසය. 

ඇතැම්විට අද (05/02/2018) රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ලෙයිටන් පිටියේ පැවැත්වෙන එ.ජා.පක්ෂ රැළියේදී මීගමුව කොටුව සංරක්ෂණය කිරීමට තම රජය ක්‍රියාත්මකවූ බව කියනු ඇත. 

එහෙත් ප්‍රාදේශීය මට්‌ටමින් මීගමුව එ.ජා.පක්ෂයේ නායක-කාරක ආදීන් කිසිවක් තවමත් මෙම ස්ථානයට ගොස් නැත. ඒ ගැන විමසූ විට ඔවුන් කියනුයේ "යන්නම් මල්ලී, දන්නවානේ මේ දවස්වල මේ චන්ද වැඩනේ" යනුවෙනි. 

පැහැදිලිවම එය පිළිගත හැකි පිළිතුරකි. ඔවුන් මීගමුවේ කොටුව සංරක්ෂණයකර, පැරණි මහාධිකරණය ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත්කර ඒ අවට ප්‍රදේශය මීගමුවේ පෞරාණික නගරය ලෙස ගොඩනැගීමට ක්‍රියාකරන බවට සිය මැතිවරණ ප්‍රකාශනයේම දක්වා ඇත. අවාසනාවකට මීගමුවේ එ.ජා.පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය හැර පොහොට්ටුවෙන් හෝ ශ්‍රී. ල. නි. පක්ෂයෙන් හෝ වෙනත් කිසිදු පක්ෂයකින් හෝ මේ ගැන කිසිදු අවධානයක් යොමුකර නැත. එය කණගාටුවට කරුණකි. 

කෙසේවුවද අප දරූ අති මහත් පරිශ්‍රමක ප්‍රථිපලයක් ලෙස ඇරබුනු මීගමුව කොටුව ප්‍රතිසංස්කරණ කටයුතු අපිට හැකි ඉහලම මට්ටමකින් සිදුකරගැනීමට අප නිරන්තරයෙන්ම කැපවී සිටිමු. කිසිසේත්ම තනි උත්සහයක් නොවන මෙම ප්‍රයත්නය සදහා බොහෝ දෙනෙකු උරදී සිටී. ඔවුන් සියළු දෙනාම නම් වශයෙන් සදහන් කිරීම පසුවට කල් තැබුවද, පසුගිය සති දෙක තුල Harin Amirthanathan, Roshan Fernando සහ Ramdas Ragunathan යන මහත්වරු දැක්වූ උනන්දුව ඉතා ඉහලය. 


විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බටහිර සම්භාව්‍යය සංගීතය තුල කලකට පෙර මීගමුවට හිමිව පැවති ස්ථානය නැවත හිමිකර දීමේ උත්සහයක නිරතවන Harin Amirthanathan මහතා මෙම සංරක්ෂණය සදහා දායකවෙන පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට මෙතෙක් අප එකතුකර ඇති මීගමුව කොටුවේ පැරණි පින්තුර ඉදිරිපත්කමින් ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කලේය. 

එසේම මේ දිනවල ලංකාවට පැමිණ සිටින පෘතුගීසි යුගයේ බලකොටු පිලිබද ශාස්ත්‍රඥයෙක්වන, පෘතුගාලයේ ලිස්බන් විශ්ව විද්‍යාලයේ Dr. Joaquim Rodrigues dos Santos මහතාද මීගමුවට ගෙන්වා මීගමුව කොටුව ගැන යම් තක්සේරුවක් ලබා ගැනීමටද අපට හැකිවිය. ඒ පිලිබදව අපි පසුව ලියන්නෙමු. 

කෙසේ වෙතත් මීගමුව කොටුව සහ ඒ අවට ප්‍රදේශය ප්‍රතිනිර්මාණය කිරීමට මීගමු මහ නගර සභාවේ සහ ප්‍රදේශයේ දේශපාලන නායකයින්ගේ මැදිහත්වීම ඉතා අවශ්‍යය. විශේෂයෙන්ම කොටුව ඉදිරිපිට ඇති භාවිතයට නොගන්නා, වල්වැදී ඇති රථ ගාල ඉවත්කර ප්‍රදේශය පිරිසිදු සහ දර්ශනීය ස්ථානයක් බවට පත්කිරීමට ඔවුන්ගේ මැදිහත්වීම අවශ්‍යය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
05/02/2018