This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 31 May 2021

පල්ලියේ නීති දුප්පතාට එකක් පොහොසතාට තව එකක්ද?


"One canon law for the rich and one for the poor" - කතෝලික පල්ලියේ නීති දුප්පතාට එකක් පොහොසතාට තව එකක්ද?

මහින්ද රාජපක්ෂගේ බාලපුතා රෝහිත රාජපක්ෂ පල්ලියෙන් කසාද බැන්ද වෙලාවේ ලංකාවේත් ඇදිල ආව ඔය කතාව මේ දවස්වල බ්‍රිතාන්‍යයේත් කරලියට ඇවිත්.

එයට හේතුව බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් (Boris Johnson) ලංඩනයේ ප්‍රධානතම කතෝලික දේවස්ථානයවන වෙස්මිනිස්ටර් (Westminster Cathedral) දේවස්ථානයේදී කැරී සිමන්ස් (Carrie Symonds) සමග විවාහ ගිවිසගැනීම.

ගැටලුව වී ඇත්තේ බොරිස් ජොන්සන් මීට පෙර දෙවරක්ම එංගලන්ත සභාවෙන් විවාහවී, දික්කසාදවී සිටීන්නෙක්වීමයි.

සාමාන්‍යයෙන් කතෝලික පල්ලියේ නීතිය අනුව පල්ලියෙන් දෙතුන් පාරක් බදින්න බෑ. ඒ වගේම දික්කසාදවීම කතෝලික පල්ලිය පිලිගන්නෙත් නෑ. අනුමත කරන්නෙත් නෑ. හැබැයි ඒ සම්බන්දයෙන් දැන්නම් යම් යම් සහන සලසනවා. විවාහයට පෙර දෙදෙනාටම ලමයි ඉන්නවාද? නැද්ද? කියන එකත් දැන් අදාල නෑ. 

ජොන්සන්ට කලින් විවාහයෙන් අවුරුදු 27ක පුතෙක් ඉන්නවා. දැන් කසාද බැන්ද කැරී සිමන්ස්ටත් (Carrie Symonds) බොරිස් ජොන්සන්ගෙන් දරුවෙක් ඉන්නවා. විවාහයට පෙර ලිංගික සබඳතා කතෝලික පල්ලිය අනුමත කරන්නේ නෑ. මොකද එය කාන්තාවන්ගේ සමාජ ආරක්ෂාවට සහ ගෞවරවයට හානියක්ය යන අර්ථයෙන්. ඒත් එවැනි සම්බන්දයකින් දරුවන් ලැබී සිටින අයට පල්ලියෙන් විවාහවෙන්න පුලුවන්.

භක්තිවන්ත කතෝලිකයෙක් සහ ප්‍රබල සමාජ ක්‍රියාකාරීකාවක් වන ජොන්සන්ගේ බිරිද කැරී සිමන්ස් (Carrie Symonds) මීට පෙර කිසිදා කසාද බැදලා නැහැ. හැබැයි බොරිස් ජොන්සන් මීට පෙර එංගලන්තය සභාවේ පල්ලියකින් කසාද බැදලා තියෙනවා. ඒ වගේම සිය කතෝලික දෙමව්පියන් විසින් ජොන්සන්ව කතෝලිකයෙක් විදිහට බෞතීස්ම කරලත් තියෙනවා. ඒත් පාසැල් සමයේදී ඔහු එංගලන්ත සභාවට බැදුන බවත් දැක්වෙනවා. කතෝලික සභාව මිශ්‍ර විවාහවලට ඉඩදෙනවා. නමුත් විවාහයේදී සම්පුර්ණ කතෝලික ජුජා-වත්පිළිවෙත් සහ පූර්ණ ආශිර්වාදය හිමිවෙන්නේ නැහැ. එහෙත් ජොන්සන්ගේ විවාහය සම්පුර්ණ කතෝලික විවාහයක් ලෙසයි සිදුකර තිබෙන්නේ. ඇරත් ඔහු වෙනත් සභාවක පල්ලියකින් කලින් විවාහ වූ තැනැත්තෙක්..

එහෙම නම් කොහොමද ඔහු කතෝලික පල්ලියේ පූර්ණ ආශිර්වාද සහිතව කතෝලික පල්ලියෙන් විවාහවෙන්නේ? මාධ්‍ය මේ ප්‍රශ්නය කතෝලික පල්ලියෙන් විමසා සිටියා. 

කතෝලික පල්ලියේ උත්තරයවුයේ 'පල්ලියේ ක්‍රිස්තියානි කල තැනැත්තෙක් වශයෙන් බොරිස් ජොන්සන්ව දිගටම කතෝලිකයෙක් ලෙස සලකන බවත්, කලින් විවාහ කතෝලික පල්ලියෙන් සිදුකර නැති නිසා ඔහු මීට පෙර විවාහවූවෙක් ලෙස කතෝලික පල්ලිය නොසලකන බවයි, 'He is a Catholic because he was baptised Catholic, his first two weddings weren’t in a Catholic church overseen by a Catholic minister, therefore the Roman Catholic church does not recognise those two marriages as valid'.

ඒකත් මරු  උත්තරයක් නේද යනුවෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. 
 
ලංකාවේ නම් පල්ලියෙන් සහ පෝරුවෙන් යන දෙකෙන්ම කසාද බදිනවා නම් ඉස්සෙල්ලා පල්ලියෙන් කසාද බැදිය යුතුයි කියලයි පල්ලිය කියන්නේ, හැබැයි රෝහිත රාජපක්ෂ එක වෙනස් කලා එයා පෝරුවෙන් බැදලා පස්සේ පල්ලියෙන් බදිනවා. එහිදීත් කතෝලික පල්ලියේ නීති දුප්පතාට එකක් පොහොසතාට එක්කක්ද කියන සාකච්ඡා ආවා. එහෙත් පල්ලිය නිල වශයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කලේ නෑ. 

දැන් ඕනේ නම් පල්ලියට දෙන්න පුළුවන් බොරිස් ජොන්ස්ටන්ගේ විවාහය ගැන දුන්නාවගේ උත්තරයක්. ඒ කියන්නේ රෝහිත රාජපක්ෂ පෝරුවෙන් විවාහවීම අපිට අදාල නෑ වගේ උත්තරයක්. ඇත්තටම විවහ රෙජිස්ට්‍රාර්ලා ඉද්දී පල්ලියෙන්, පෝරුවෙන් මොකට බදිනවාද කියලා ඕනේ නම් කෙනෙකුට අහන්න පුළුවන්. එත් ඒවා ආගමික, සංස්කෘතික සහ අනන්‍යතාවය ආදී ක්ෂේත්‍ර රාශියක් සමග බැදී තිබෙන්නක්. ලංකාවේ නම් කතෝලික ඉස්කෝලවලට ළමුන් ඇතුලත් කරවන්නත් පල්ලියෙන් කසාද බදින්න පෙලබෙනවා කියලා කියනවා. 

එහෙත් මම හිතන්නේ දෙදෙනෙක් කසාද බදින්නේ පල්ලියෙන්ද, පෝරුවෙන්ද, රෙජිස්ට්‍රාර් කෙනෙක්ගෙන්ද යන්නට වඩා වැදගත්වන්නේ ඔවුන් සිය විවාහ ජීවිතවල ආධ්‍යාත්මික, ආගමික/අනාගමික, සංස්කෘතික සහ අනන්‍යතාවයන්ගේ පදනම ලෙස තෝරාගන්නේ කුමක්ද? කියන එකයි. පවුලක් කියන්නේ මාලිගාවක් නම් කිසිවෙක් එවැන්නක් වැලිමත ඉදිකීරීමේ තේරුමක් නෑ.     

මාකස් ප්‍රියන්ත පෙරේරා
31/05/21

No comments:

Post a Comment