This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 3 June 2021

අනේ අපි කවදාක පීනමුද ඒ දියෙහි?

මේ වගේ වෙරළවල් දකිද්දී නිල් කැටේ වගේ තිබ්බ අපේ වෙරළට වෙච්ච විනාශය ගැන අහද්දි ඇත්තටම පුදුම දුකක් දැනෙනවා...

ලංකාවට ඇවිල්ලා පැය කිහිපයක් ඇතුළත අපි අනිවාර්යයෙන්ම දුවන තැනක් තමයි මීගමුවේ මුහුදු වෙරළ; නිල් පාට වතුර ටික. රත්තරන් පාට වෙරළ. ත්ස්, ත්ස් ගාලා රළ වදින වේගය...රළට උඩින් පිහිනන්න අපි දරන තැත..., පෙන බුබුළු කලතන මුහුදු හුලග...පොලොවේ පයගහලා ලුනු වතුර ටිකක් හරි බීලා ඉන්න පුලුවන් වෙන්න තරම් හයියක් තියෙන්න ඕනෑ කියලා කියලා දුන්නු දේවල් මතක් කරන ලුනුම ලුනු, ලුනු වතුර...ඒ ඔක්කොටම වඩා උනුසුම් මුහුදු වතුර...ග්‍රීෂ්ම කාලේට මේ රටවල් කොච්චර රස්සේවුනත් මේ මුහුදවල්වල වතුර ඒ වගේ රස්සේ නෑ... ඒ රස්නේ තේරෙන්න මේ වගේ සීතල වතුර ඇති මුහුදවල්වලත් නාලා තියෙන්න ඕනේ. ඒත් අපි මුහුදට ආදරෙයි...ඒ නිසා කොහේවුනත් අපි අනිවාර්යයෙන්ම මුහුදට යනවා.

ඒත් ඒ හැමවෙලාවේම අපි නාපු මීගමු මුහුද මතක් වෙනවා. කාලා, බීලා, නාලා, නටපු මීගමුවේ වෙරළ මතක්වෙනවා..රෑ එලිවෙනකම් පාටිදාපු මීගමුවේ වෙරළ මතක්වෙනවා... ලෝකේ කොහේ හිටියත් ලංකාවට ඇවිලා පැය කිහිපයක් ඇතුලත මීගමුවේ මුහුදු වෙරළට අපි දුවන්නේ ඒනිසයි. ඒත් දැන් අපි ආයේ කවදා ඒ මුහුදේ ඒ විදිහට ගිහින් නාන්නද?

වෙරළ අද්දරට ආව බෝට්ටුවලින් එදා උදේ අල්ලන් ආව අලුත්ම අලුත් මාළු දිනපතා මිලදී ගත් අපේ තාත්තා දැන් කල්පිටියෙන් අල්ලන් එන මාළු එනකම් බලන් ඉන්නවා... ඒගොල්ලන්ගේ ජීවිතවල මොන මොනවාහරි දේවල් ටිකක් දැන් ක්‍රමයෙන් නැතිවේග යනවා කියලා ඒ අයට දැනෙන්නේ පටන් අරන්.

ධීවරයින්ට ඒගොල්ලන්ගේ රස්සාවට යන්න විදිහක් නෑ, ගියත් දැල් එලලා අල්ලන් එන්න වෙන්නේ මාළු නෙමේ ප්ලාස්ටික් කෑලි. දැල් ටික ආපහු ගන්න බැරිවෙන තරමට ජරාව. හැමිල්ටන් ඇළේ නවත්වලා තියෙන බෝට්ටු දින ගානක් තිස්සේ හෙලවෙන්නේ නැත්තේ ඒකයි...

ධීවරයින්ගේ බෝට්ටු විතරක් නෙමේ මිනිස්සුත් එක තැනමයි. රටත් එතනමයි. සැහැල්ලුවෙන් හුස්ම ටිකක්වත් ගන්න බැරි කාලයක් උදාවෙලා තියෙන්නේ...

මම නම් දන්නේ නෑ මේවයින් කවදා නම් ගොඩඒමක් තියේද කියලා...හරිම කනගාටුයි. අපේ මුහුදත් මේවගේ නේද තිබුනේ කියලා මතක් වෙද්දී හරිම කනගාටුයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
03/06/21

*බ්‍රිතාන්‍යයේ කෝර්න්වෝල් (Cornwall) පෙදෙසේ ඇති පෝර්ත්කර්නෝ වෙරළ (Porthcurno Beach).

No comments:

Post a Comment