අප කුඩා වියේදී මීගමුවේන් බිහිවූ විශිෂ්ඨයින් ලෙස රටම සැලකු කිහිපදෙනෙකුගේම අසුර ලැබීමට හෝ ඔවුන්ගෙන් ගුරුහරුකම් ලැබීමට හෝ ඔවුන්ව සියසින් දැකගැනීමට හෝ අප වාසනාවන්තයන්වුවෙමු. ඔවුන් අතරින් ලංකාවේ මුල්ම කාදිනල්වරයාවූ ගරු තෝමස් කුරේ කාදිනල් තුමාද, හිටපු අගරදගුරු නික්ලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුතුමාද, ලංකා සමසමාජයට බැදුන මුල්ම කතෝලිකයා ලෙස දැක්වෙන, ශ්‍රී ලංකාවේ ප්‍රථම මහමැතිවරණයවූ 1947 මැතිවරණයට ලංකා සමසමාජ පක්ෂයෙන් මීගමුව ආසනයට තරගකර සුළු ජන්ද සංඛ්‍යාවකින් පරාජයවූ ව.ස. ප්‍රනාන්දු හෙවත් සන්තියාගෝ ප්‍රනාන්දු ගුරුතුමාද, ඔහුගේ පුත් ප්‍රකට ලේඛකයෙක්වූ හිටපු මහාධිකරණ විනිසුරු ලෙස්ලි ප්‍රනාන්දු මහතාද, සිංහල සිනමාවේ අරම්භක පාඨක යෝදයින්වූ B.A.W ජයමාන්න, එඩී ජයමාන්න, ඇන්ඩෘෘ ජනමාන්න, හියුගෝ ප්‍රනාන්දු, රුක්මණී දේවි (ඇයගේ මරනයට රැස්වු මහජන කදද), විජිත මල්ලිකා, ඇන්ටන් ගෙගරි, කැරිස් ආදි සිනමා තරු, එඩ්මන් කාර්යකරවන, හෙක්ටර් වෙල්ගම්පොල, සුනිල් මිහිඳුකුල ආදී සිංහල මෙන්ම ඉංග්‍රීසි පුවත්පත් කතෘවරුන්ද, මීගමුවේ මයිකල් ඇන්ජලෝ ලෙස හැදින්වූ මහා චිත්‍ර ශිල්පී N.S.ගොඩමාන, නෙවිල් ප්‍රනාන්දු, ශෙල්ටන් මුතුනමගේ, විල්බට් ඇන්තනි අදී ගායන ශිල්පීන් ආදී මෙකී නොකී වීරයන් ගනනාවක්ම එකල මීගමුවේ විය. ඔවුන් අතරින් අදටත් ඉතිරිවී සිටින අද්විතීයකු වන්නේ ප්‍රවීණ කාටුන් ශිල්පී කැමිලස් පෙරේරාය මහතාය. වඩාත් හොදින් දක්වතොත් ගජ්මෑන්ව හදුන්වාදුන් කැමිලස් පෙරේරාය.
මා හිතන්නේ එක්තරා ආකාරයට 'ගජමෑන්' යනු මීගමුවේ ඇති අපුර්ව මිශ්‍ර අනන්‍යතාවයන්ගේ නියෝජනයේ තවත් එක නිර්මාණයක් බවය. උදාහරණයක් ලෙස ගජ+මෑන් (man) නමම ගැන සිතන්න. එයත් අපේ පැත්තේ තිබෙන නමක් වැනිය. මිශ්‍ර නොවූ, සංකලනය නොවූ යමක් මීගමුවේන් සොයාගත නොහැක. හරියට අර ජය+රාජ්+ප්‍රනාන්දු+පුල්ලේ, නිමල් ලාංසා වැනි නම්ද එසේය. එහි සිංහල, දෙමළ, ඉංග්‍රීසි හෝ වෙනත් වර්ගවල නියෝජනයන්ගේ සහමිශ්‍රණය හොදින් නිරූපණයවේ. කැමිලස්ගේ ගජමෑන්ද එවැන්නකි.
මාතරට 'ගජමන් නෝනා' නම් මීගමුවට 'ගජමෑන්' ලෙස හැදින්වීමේ වරදක් නැත. විනෝදාත්මකවුවද ඇතා/අලියා නැතිනම් හොදම (ගජ+මිතුරා) ලෙස අර්ථ දක්වන 'ගජ' යන උපසර්ගයට කැමිලස්ගේ 'ගජමෑන්' තුලින් නව අර්ථ සංඥායක්ද ලැබී තිබේ. උපහාසාත්ම මාධ්‍යක් ලෙස කාටුන් කලාව යොදාගත හැක්කේ කෙසේද යන්න කැමිලස් පෙරේරා ශූරීන්ගේ නිර්මාණ ඔස්සේ හොදින් ප්‍රගුණ කල හැක්කකි.
අනික් අතට කැමිලස්ගේ 'ගජමෑන්' නිසා ලංකාවේ කාටුන් කලාව ඔස්සේ යම් යම් සංකේත රාශියක්ද ශ්‍රී ලංකා සමාජය තුල තහවුරුවී තිබේ. ඒ අතරින් දේශපාලකයා යනු "මගෝඩිස්තුමා" ලෙස මුල්බැස ගැනිම දැක්විය හැක. මගෝඩිස්තුමා 'බඩ මහත', 'ලොකු කටක්' සහිත, 'ජාතික ඇදුම' ඇදගත්තෙක් ලෙස කැමිලස් පෙරේරා 'ගජමෑන්' ඔස්සේ ජනිතකල සංකේතාත්මක හැගවුම පසු කලක බොහෝ දේශපාලකයින් ඇදීමේදී ලංකාවේ කාටුන් ශිල්පීන් යොදාගත් බව දාසගේ කාටුන් ඔස්සේද නිගමනය කල හැක. එමෙන්ම සාමන්‍ය ජනයාද 'ගජමෑන්' මෙන් 'පන්මල්ලක්' අතින් ගත් 'කෙසග සිරුරක්' ඇති පුද්ගලයෙක් ලෙස ඇදීමද තවත් එවැනිම මුල්බැස ගැනීමකි. 'හැන්දි මිට' අතින් ගත් 'චීත්තයක් සහ හැට්ටයක්' ඇදන් සිටිනා හාමිනේ එක්තරා ආකාරයකට ගජමෑන්ට ගැලපෙන හුදී ජනයාගේ භාර්යාවක් ලෙස ඇද දක්වා තිබුණි. මෝස්තරකාර 'පොෂ්' කාන්තාවන් පෙන්වීම සදහා කොන්ඩ මෝස්තර ආදී විවිධ ගති ලක්ෂණ වලින් යුක්තව එවැනි කාන්තාවන් ඇදීමද කැමිලස්ගේ ගජමෑන් දක්වා තිබුනේ විශිෂ්ඨ කලා නිර්මාණාත්මක හැඩතලයන්ය. උපහාසාත්මක 'ගජමෑන්' කිසිම දිනක අපහාසාත්මක හෝ දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයන් වෙනුවෙන් යොදානොගෙන සිය නිර්මාණය දිගටම එකසේ පවත්වාගෙන යෑමට කටයුතු කිරීම කැමිලස් පෙරේරා මහතාගේ විශිෂ්ඨ ලක්ෂණය ලෙස සැලකිය හැක.
කැමිලස් පෙරේරා මහත්මයා ගජමෑන්ව හදුන්වලාදී දැන් 55ක් ගතවී ඇත. කැමිලස් පෙරේරා මහතාටද දැන් වසර 81කි. ඔහුගේ ‘ගජමෑන්’ට අවුරුදු පනහක් ගතවීම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශණයක් 2016 වසරේදී සංවිධානය කර තිබුණි. එහිලා නිර්මාණය කල විශාල ප්‍රමාණයේ කාටුන් නිර්මාණවලට ඉන් අනතුරුව සිදුවුයේ කුමක්දැයි නොදනිමි. එහෙත් එවැනි නිර්මාණ ඔහුගේ නිවසේ හෝ වෙනත් ස්ථානයක වසරේ සෑම දිනකම කිසියම් මුදලක් අයකර ප්‍රදර්ශනයට තැබිය හැකි නම් කැමිලස් පෙරේරා මහතාගේ නිර්මාණාත්මක භාවය පිලිබදව තවදුරටත් තිවුර කතිකාවක් නිර්මාණය කරනවා පමණක් නොව මිගමුව වැනි සංචාරකයින් නිතර ඇදෙන නගරයක නැරබීමට පිවිසිය හැකි තවත් ප්‍රදර්ශනාගාරයක් බිහිකරනු ඇත.
කැමිලස් පෙරේරා මහතාගේ ජිවන චරිතය පිළිබද තොරතුරු පහතින් පලවෙන 2019 ජුනි 11 දින දිනමිණ පුවත්පතේ දර්ශ කපුගේ සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාව ඔස්සේ කියවිය හැක.
මාකස් ප්‍රියන්ත පෙරේරා
14/06/2021
‘ගජමෑන්’ ට දැන් අවුරුදු පනහක්
=====================
සිංහල චිත්‍ර කතා කලාවට කොතෙකුත් හාස්‍ය උපදවන කාටුන් චිත්‍ර ශිල්පීන් බිහිවූවත්, ඔහුට එයින් කිසිදු අභියෝගයක් නොවීය. එතරම්ම ඔහු කාටුන් චරිත හරහා පාඨක හදවත් දිනාගත් පුද්ගලයකු බවට පත් වූ වග නොරහසකි. සිරිබිරිස්, දොං සේතං, ලපයා, ටික්කා පමණක් නොව දේශපාලන හාස්‍ය චරිතයක් ලෙස කාටුන් කලාවට මගෝඩිස් තුමාවද එක් කළේ ඔහුය. ‘ගජමෑන්‘ කිව් සැණින් ලාංකීය කාටුන් චිත්‍ර කලාව තුළ ඔහුව නොහඳුනන කෙනකු නොමැති තරම්ය. ඒ අන් කවරකුවත් නොව කැමිලස් පෙර්රා යි. මේ ඒ අපූරු පුද්ගලයා සමග කළ සංවාදයේ දිගහැරුමයි.
l ඔබ චිත්‍ර අඳින්න පටන් ගත්තේ මොන කාලයේදී ද?
පොඩි කාලෙ සිටම මම චිත්‍ර අඳිනවා.මගේ ගම මීගමුව. මා පදිංචි වෙලා සිටි ගෙදරට වැල්ල ඉතා කිට්ටුයි. ඉතිං පොඩි කාලෙ වැල්ලට ගිහින් ඇඟිල්ලෙන්,කෝටු කෑල්ලකින් හරි වැල්ලේ චිත්‍ර අඳිනවා. එහෙම තමයි පටන් ගත්තේ.
පසුව මා පාසල් ගිය විදුහල්වල ගුරුවරු මගේ හැකියාව දැකලා මාව දිරිමත් කළා. දවසක් විදහලේ විදුහල්පතිතුමාව චිත්‍රයකට ඇඳලා මාව එතුමා ගේ කන්තොරුවටත් කැඳෙව්වා. මම හිතුවේ දඬුවම් කරාවි කියලයි. නමුත් එතුමා මාව දිරිමත් කළා ‘පුතා ඔයා දිගටම අඳින්න‘ කියලා.
l ඔබ ශිල්ප හැදෑරුවේ මොන පාසලෙන්ද ?
මුල්ම කාලේ මීගමුව සිංහල පාසලකට ගියා. ඒ වැල්ල වීදියේ රෝමානු කතෝලික මිශ්‍ර පාසලකට. එහි දෙවැනි වසරෙන් පස්සේ තුන් වැනි වසරට මීගමුව මාරිස්ටෙලා විදුහලට ගියා. එතන වසරක් ඉඳලා ශාන්ත මරියා විදුහලට ආවා. එහි සාමාන්‍ය පෙළ වෙනකල් අධ්‍යාපනය හැදෑරුවා.එස් එස් සී විභාගයෙන් පස්සේ මම හේවුඩ් චිත්‍රකලායතනයට ඉල්ලුම් කළා. එහි පරීක්ෂණයට තිබුණේ නිරුවත් රුවක් බලාගෙන අඳින්නයි. මම ඒක ඇඳලා ඉහළින්ම තේරුණා. මේ ගැන මගේ චිත්‍ර ගුරුතුමා කැමති වුණේ නැහැ. නිරුවත් රූප අඳින එක නරක වැඩක් කියලා එතුමා මාව අධෛර්ය කළා. ඒ ගමන එයින් වැළකුණා. එහෙම වුණේ මගේ වාසනාවකට කියලා මට අද හිතෙනවා. එහෙම වුණානම් අද මම චිත්‍ර ශිල්පියෙකු මිසක් කාටුන් ශිල්පියෙක් නොවෙයි.
l කාටුන් චිත්‍ර කලාවට යොමු වුණේ කොහොමද?
පාසල් යන කාලේ සිටම කාටුන් චිත්‍රවලට මම පුදුම විදිහට කැමැත්තක් දැක්වූවා. පාසල් අධ්‍යාපනයෙන් පසු මට රජයේ රැකියාවක් ලැබුණා. ඒ සිතියම් අඳින්නෙක් ලෙසයි. මට කොච්චර චිත්‍ර අඳින්න පුලුවන් වුණත්, එහි පළමු සම්මුඛ පරීක්ෂණයට ගිය වෙලේ ඉරක්වත් ඇඳගන්න බැරි වුණා බයට. නමුත් මා ඊට යොමු කළ මගේ මිත්‍ර මහත්මයෙක් මාව දිරිමත් කරලා, බය නැති කරලා රැකියාව ලබා ගන්න උදව් කළා.පුත්තලම් දිස්ත්‍රික්කයෙන්ම 2500 ගෙන් මාව තමයි තොරා ගත්තේ. පස්සේ ඉතිං වැඩ කරගෙන යනකොට තිබුණු බය හරි ගියා. මං රැකියාව කළත් හිත තිබුණේ චිත්‍ර අඳින්නමයි. රැකියාවට කෝච්චියේ යන විටත් කාටුන් කලාවට අදාල පොත් කියෙව්වා.
1962 වසරෙදි විතර ‘සරසවිය‘ පත්තරේ මගේ නිර්මාණයක් පළවුනා. ඒ අන්දරේ ගේ කවියක් ඇසුරින් ඇඳපු කාටුන් එකක්. පසුව ලේක්හවුස් එකේ පත්තරවලට දේශපාලන චරිත වගේ ඒවා කාටුන් ලෙස ඇඳලා දුන්නත් ඒවා හැම හැම එකක්ම පළ වුණේ නැහැ. ඉඳ හිට ජනතා පුවත්පතේ කාටුන් එකක් දෙකක් පළවුණා.එහි වැඩකරපු අයෙක් මට කිව්වා වෙන පත්තරේකට ඇඳලා නමක් හදාගෙන එන්න කියලා. පසුව මට ‘දවස‘ පත්තරේට‘තෙපානිස්‘ කියලා කාටුන් එකක් අඳින්න අවස්ථාවක් ලැබුණා. ඒ නම් දැම්මෙත් ඩේවිඩ් කරැණාරත්න කියන මහත්මයා. එහි අඳිනකොට මම දීපු කාටුන් ‘සිළුමිණ‘ පත්තරේ පළවෙන්න පටන් ගත්තා. පත්තර දෙකක අඳින නිසා මට දොස් අහන්නත් වුණා.
l ඔබ කාටුන් ශිල්පියකු ලෙස වඩාත් ජනප්‍රිය වුණේ ඔය කාලෙදිද?
මට කාටුන් අඳින්න තියෙන වුවමනාව නිසා කොළඹ දිසාපති කාර්යාලයට මාරුවීමක් පවා හදාගෙන ආවා. ලේක්හවුස් එකේ හිටිය කොලට් කියන කාටුන් ශිල්පියා වගේ ජනප්‍රිය වෙන්නයි මට වුවමණාව තිබුණේ. මම ජනතා පත්තරේට ඇඳපු ‘දොං සේතං‘ ඒ කාලේ හරි ජනප්‍රිය වුණා.ඒවා ඩේලි මිරර් පුවත්පතෙත් පළ වුණා.සිළුමිණ පත්රේට ‘සිරිබිරිස්‘ නිර්මාණය කළේ 1967 දි පමණ. එයත් හරි ජනප්‍රිය වුණා. සරසවිය පුවත්පතටත් මම කාටුන් එකක් ඇන්දා ‘දැක්කොත් පද්මාවතී‘ කියලා. ඒ කාලෙ දිනපතා ඔබ්සවර් පත්තරයක් පළ වුණා. එයටත් මම සාලිය අශෝකමාලා චිත්‍ර කතාවක් ලෙස ඇන්දා.
l ඔබේ නිර්මාණ අතරින් වඩාත්ම ජනප්‍රිය වුණ චරිතය ‘ගජමෑන්‘ ?
හැම කාටුන් එකක් ම ජනප්‍රිය වුණත් ගජමෑන් ට මින්ස්සු පුදුම විදිහට ආදරේ කළා. 1972 දී සතුට පත්තරේට තමයි මම ගජමෑන් මුලින්ම ඇන්දේ. ඒ කාලේ දිසාපති කාර්යාලයේ වැඩ කරපු මගේ මිත්‍ර මහත්මයෙක් තමයි ගජමෑන් තියන නම යෝජනා කළේ. නමුත් මට මුලින්ම හිතුනේ ඊට රජමෑන් කියලා යොදන්නයි. නමුත් එයින් මැති ඇමතීන්ට යම් පහරක් වදියි කියා සිතුණු නිසා ඒ නම් යෙදුවේ නෑ.
දේශපාලන චරිතයක් ලෙස මගෝඩිස් තුමා වගේ චරිතත් ගජමෑන් හරහා බිහිවුණා. මගේ හැම කාටුන් එකකම ප්‍රධාන කාටුන් චරිතයට අමතරව අතුරු චරිතවලටත් පාඨකයන් ප්‍රිය කළා. ඒක විශේෂයක්.
l පාඨක ආකර්ෂණයක් ඇති කරන චරිත ඔබ බිහිකරන්න වස්තු බීජ සොයාගත්තේ කොහොමද?
සමාජයෙන්ම තමයි. මම බොහෝවිට එදිනෙදා ජීවිතය, මිනිසුන්ගේ අදහස් උදහස් ගැන විශේෂයෙන් සැලකිළිමත් වුණා. ඒ නිසා මට නිර්මාණකරනයේදී වස්තු බීජ සොයාගන්න අපහසු වුණේ නැහැ.
l දිගින් දිගටම කාටුන් අඳින එක රැකියාවට බාධාවක් වුණේ නැතිද ?
රජයේ රැකියාවක් කළාට ඒ කාලෙ එහෙම නීති රීති තිබුණේ නැහැ . නමුත් මම වඩාත් පත්තරවල කාටුන් අඳින්න නැඹුරු වෙලා හිටියේ. ඒ කාලේ කැමති අයට රැකියාවෙන් අස්වෙන්න ඉඩ දුන්නා. මමත් ඉතිං වයස 29 දි විතර ඉන් ඉවත් වෙලා ජාතික පුවත්පත්වලට නිදහස් කාටුන් චිත්‍ර ශිල්පියෙකු ලෙස දිගටම කටයුතු කළා.
l නමුත් ඔබ පසු කලෙක චිත්‍ර කතා පුවත්පත් වල කාටුන් නිර්මාණය කරන්නට යොමු වෙනවා?
මට ලේක් හවුසියේ කාටුන් අඳින එක නතර කරන්න වුණා ඒ කාලේ. ඒ යම් සිදුවීමක් නිසා. ඒ කාලෙදිම දවස පත්තරේටත් සීල් තිබ්බා. ටික කාලයක් ‘අද‘ කියන දිනපතා පත්තරේටත් මම කාටුන් ඇන්දා. ඒ ප්‍රවීණ මාධ්‍යවේදී චින්තන ජයසේන මහතාගේ ආරාධනයෙන්.චිත්‍ර කතාවලටම වෙන් වුණු පුවත්පතක් ලෙස ‘සිත්තර‘ පටන් ගත්තේ ඒ කාලෙදිමයි. මම ඊට සම්බන්ධ වෙලා එහි ගජමෑන් ඇන්දා. දීර්ඝ කාලයක් එහි කාටුන් ඇඳලා එයිනුත් මම ඉවත් වුණේ මගේම ගමනක් යන්නයි.
ඒ කාලේ සිටි ප්‍රවීණ වගේම ජනප්‍රිය චිත්‍ර ශිල්පීන් එකතුකරගෙන මම 1986 දි ‘සත්සිරි‘ පත්තරේ පටන් ගත්තා. ඒ පත්තරේ පාඨකයන් සිතුවටත් වඩා වැළඳ ගත්තා. එයින් මගේ ජීවිතයත් වෙනස් වුණා. මගේම ආයතනයක් ලෙස ඉන් පසු එයින් තව තවත් ප්‍රකාශන නිකුත් වුණා. ‘රසික‘ නමින් තවත් පුවත්පතක් පටන් ගත්තා. එයත් ජනප්‍රිය වුණා. තවත් ළමා ප්‍රකාශන රාශියක් නිකුත් කළා.
l ඔබ දේශපාලන කාටුන් ශිල්පියෙකු ලෙස කටයුතු කිරීම ගැන කතා කළොත්?
මුල් කාලයේ පටන් මා ජාතික පුවත්පත්වල දේශපාලන කාටුන් ඇන්දා. එදිනෙදා සමාජයේ තිබෙන අඩුපාඩු, පුද්ගලයන්ගේ අඩුපාඩු, අපහාසයක් නැතිව උපහාසයෙන් මා පෙන්වා දුන්නා. කවුරුත් ඒවාට ඇලුම් කළා. හොඳ නිර්මාණශිල්පියෙකුට වගකීමක් තිබෙණවා සමාජයේ අඩු ලුහුඩුකම් තම නිර්මාණ හරහා පෙන්වා දෙන්න. මා කළේ ඒ කාර්යයයි.
l කාටුන් චිත්‍ර ශිල්පියෙකු වීම ගැන අද ඔබට මොකද හිතෙන්නේ?
හරිම සතුටුයි. ‘ගජමෑන්‘ ට දැන් වසර පනහක් පමණ වෙනවා. ඒ වෙනුවෙන් ප්‍රදර්ශණයක් පවා පහුගිය කාලෙ පැවැත්වුවා. මිනිස්සු හාස්‍යට නැමතියි. නමුත් ඒ අය හිනස්සවන එක ලෙහෙසි නැහැ. මේ කාලය පුරාවට මගේ අතින් නිර්මාණය වුණු, ඇඳපු කාටුන් චරිත මෙතෙකැයි කියා කියන්න බැහැ. සාමාන්‍ය මනුස්සයාගේ පටන් මැති ඇමතිවරු, ජනපතිවරු, අගමැතිවරු වගේ බොහෝ දෙනා මගේ කාටුන් වලින් වින්දනයක් ලැබුවා. මගේ ‘ගජමෑන්‘ චරිතය ඇසුරින් චිත්‍රපටයත් පවා නිපදවලා තිබෙණවා. මේ හැමදේම මට ලැබුණේ කාටුන් චිත්‍ර ශිල්පියෙකු වූ නිසයි. කාටුන් චිත්‍ර ශිල්පියෙකු වීම මා ලැබූ භාග්‍යයක් කොට සලකනවා.
‘ගජමෑන්’ ට දැන් අවුරුදු පනහක්
දර්ශ කපුගේ
11/06/2016
දිනමිණ පුවත්පත
Thank you!!
ReplyDeleteගජමෑන් වගේම සිරිබිරිසුත් ලස්සන නිර්මාණ. අර ඔබ කිව්වා වගේ මේවා සංරක්ෂණය කරන්න ක්‍රමයක් නැති එක කනගාටුවක්. දැනට තියෙන ටික හෝ පොතක් විදිහටවත් පලකරන්න හැකි නම් වටිනවා. ස්තූතියි ලිපියට.
ReplyDeleteඇත්තටම ඒකත් හොද අදහසක්. ප්‍රශ්නය මේවා ගැන උනන්දුවෙලා කටයුතු කරන්න කෙනෙක් නැතිවිමයි.
ReplyDelete